Saturday 26 November 2011

අයියා මල්ලී වාගේ (පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උන්ට පමණයි) - Comradery or Decadency?


ඔය පේරා උන්ට විතරයි කියලා දාලා තියෙන්නේ අහිතකින් නෙමේ. දිගටම කිවගෙන ගියොත් තේරෙයි!

මංතුමා පොඩි කාලේ ගියේ කොයි යුනිවසිටි එකටද කියලා මේ කතන්දර බ්ලොග් එක කියවන කවුරු කවුරුත් දන්නවානේ?

බ්ලොග් එක පටන්ගත් මුල් කාලේ ඒ හා අදාල සිද්ධීන් ගැන ලියන කොට මං පාවිච්චි කලේ නුවර පැත්තේ තිප්පොලක් කියන උපහාසාත්මක පදයයි. ඉස්කෝලවලට ඉන්නවා වගේ විශ්ව විද්‍යාලවලට අයිතිකාරයෝ නැති නිසා කවුරුත් මා එක්ක වලියට ආවේ නෑ.

හැබැයි ඊට පස්සේ, විශේෂයෙන්ම මේ ලඟදී මං සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් මං පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ගතකළ අවුරුදු හතරයි මාස දෙකයි දවස් පහේ කාලයේ ලියලා අපේ කලා කවයේ බිත්ති පුවරුවේ පලකරපු කවි වලින් කොටසක් කයි-කතන්දර විදියට දාන්න පටන් ගත්තට පස්සේ නම්, ඒ තිප්පොල කියන වචනේ අත හැරලා කෙලින්ම සෑබෑ නම් භාවිතා කළා.

මං ඒ කයි-කතන්දර පලකරන කාලේ නිතරම කමෙන්ට් දාපු බ්ලොග්කරුවෙක් තමයි චතු කියන්නේ. මගේ කතන්දර ගැන චතු ගේ උනන්දුව වැඩිවෙන්න එක හේතුවක් තමයි පොරත් පේරාදෙනියේ ඉංජිනේරු පීඨයට තේරී තිබීම. (ඕනයා ගේ සහ තවත් ඇනෝ කෙනෙකු ගේ ප්‍රශ්ණයට උත්තර ඔන්න ඒ වාක්‍යයේ තියෙනවා).

කම්මලට ගිය ගමන් චතු අතුරුදහන් වුණා වගේ පෙණුනත් ටික දවසකින්ම ඔන්න ලව් ස්ටෝරියක් ලියන්න පටන් ගත්තා. ඇත්තටම කියනවා නම් බූට් ස්ටෝරියක්. (ඒකත් පොරත්වයේ අනිවා ලක්‍ෂණයක් මගේ හිතේ!)

ඒ නවකතාව කොටස් වශයෙන් කියාගෙන ඇවිත් එක පාරටම නවත්තලා දාපු කෑල්ල බලන කොට මට නෝට් වුණා, මං කලිනුත් නිරීක්‍ෂණය කරලා, කීප දෙනෙකුගෙන් ම අහපු එක්තරා කාරණයක් නැවතත්.

ඒක තමයි දැන් පේරාදෙනිය යුනිවසිටියේ කොල්ලෝ එකිනෙකාට කතාකරන්නේ "අයියා-මල්ලී" කියලයි!

දැන් මං ඔය කම්මලෙන් අවුට්වෙලා කල්පයක් ගතවෙලා. ලෝකේ වෙනස් වෙනවා තමයි.

නමුත් අපේ කාලේ නං ඔය "අයියා-මල්ලී" කෑලි තිබුනේ නෑ. හැමෝම එක්කෝ "මචං" කියලා නැත්තම් දෙමව්පියෝ දුන්නු නමින් නැත්නම් වාසගමින් තමයි එකිනෙකා ආමන්ත්‍රණය කළේ. බැචා ලා - බැචා ලා ට, ජූනියර්ස් ලා - සීනියර්ස් ලා ට, සීනියර්ස් ලා - ජූනියර්ස් ලා ට!

මල්ලී, අයියා කියන වචන දෙක ඔය කම්මලේ තියෙන අග්නිදිග ආසියාවේ දිගම කොරිඩෝරය ඇතුලේදීවත්, අක්බාර්, නෙල්, නිව් වින්ග් ඇතුළු නේවාසිකාගාරවලවත් ඇහුණු වචන දෙකක් නෙමේ, එකම පවුලක දෙන්නෙක් ගැන ඇරුණහම!

මට මේ උදේ පාන්දර ඇතිවුණු බරපතල ප්‍රශ්ණ තමයි මෙන්න මේවා.

1. මේ වෙනස සිදුවුනේ කවදාද?
2. මේක ප්‍රගතියක්ද?
3. ආපස්සට යෑමක්ද?

මේ මුල්ම සැටඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක ලියලා දාන්න හිතුනේ ඒ නිසයි. එහෙම නැතුව මේක මං ඒ දවස්වල ලියපු මෙන්න මේ පෝස්ට් එකේ තියෙන දෙවෙනි කවියට අදාලයි කියලා කියන්න නම් නෙමේ!

-කතන්දරකාරයා

ප/ලි
උඩ මාතෘකාවේ පේරා උන්ට විතරයි කියලා දැම්මේ අහිතකින් නෙමෙයි, මේක පොඩි සමීක්‍ෂණයක් වගේ එකක් නිසයි.

ඒ එක්කම මේක හොඳ අවස්ථාවක් බ්ලොග් ලියන-කියවන, පේරා ඉන්න-හිටපු, ඉගෙන ගන්න-වැඩ කරන කෂ්ටිය අඳුණා ගන්න.
මෙන්න කීප දෙනෙක්. ලයිස්තුව සම්පූර්න කරන්න කරුණාකර උදව් දෙන්න.

Engineering
මකරා
මධුරංග
ගීතක
මරුමුස්
චමිත
චතු
මකුළුදැල
පිටුව සොයාගන්නට නැත
බූඩිගේ තීරුව
බැලීම සහ දැකීම
රූ සිරිනි
බිඟු නද
කස්සා

Science
ප්‍රියන්ත
පිසාචයා
රත්ගමයා
BleedingPencil
ජීවිතේ මල්

Arts/Other
ඩීප්ස්
නිහාල්
අකීකරු හිත
කළු කුමාර ලියමන
බුමුතුරුණු

Medical
ගෝඩොනියා සිලනිකා

Veterinary Medicine and Animal Science
හා පැටික්කි


(image: http://www.mbapdn.lk/mbapera/mbapera.html)

84 comments:

  1. මම නම් පේරා නෙවෙයි කොළඹ :) ඒක නිසා අදාළ නැද්ද දන්නේ නැහැ. කොහොම උනත් 2003 ඉඳන් 2007 වෙනකම් නම් එහෙ කතාකරේ අයිය අක්ක නංගි මල්ලි කියල තමයි. සෙකන්ඩ් ශයි කරලා ආපු අයත් බැච් එකෙන් සීනියර් නම් වයසින් බාල උනත් කියන්නේ අයියේ අක්කේ කියල.
    පුද්ගලිකව මට නම් කෝකත් එකයි. හැබැයි සමහරු 'අයිය අක්ක' වෙන්නේ බොරු පොරත්වයක් හදා ගන්න.

    ReplyDelete
  2. මම නම් කැළණියේ. ඒ කියන්නේ පදිංචිය. නමුත් ඔය ඔෆීස් වල වාසිටි පොරවල් කතා කරන කොට අහනවනේ මචං මම පේරා උඹ කොහෙද එතකොට අනික කියනවා මම නම් ජපුර. මං කොළඹ කියලා ඉතින් හැම එකටම කෑ ගහන මම සද්දේ වහගෙන ඉන්න කොට මගෙන් අහනවා උඹ කොහෙද කියල. මම කැළණියේ කියලා වෙන කතාවක් පටන් ගන්නවා. අදටත් සම හරක් ඉන්නවා. මම කැළණියේ කියලා හිතාගෙන ඉන්න. හැබයි ඉතින් උන් වැරදිත් නෑ. මොකෝ මම කැළණියේ නේ.

    ප්‍රශ්නෙට උත්තරේ නම් ප්‍රගතියක්. කොහේ හරි සහෝදර කම වර්ධනය වෙනවනම් ඒක ප්‍රගතියක් මිස. ආපස්සට යාමක් නම් නෙමෙයි. කවදා උනාද කියන්න බෑ. මොකෝ මම කැළණියේ නේ. පේරා නෙමෙයිනේ..

    ReplyDelete
  3. (ට්‍රැෆික්)
    1. මේ වෙනස සිදුවුනේ කවදාද?
    1988 සිට දීර්ඝ කාලයක් වසා දමා තිබී නැවත් කොටස් වශයෙන් පටන්ගැන්මේදී විශ්ව විද්‍යාලයේ තිබුනු සමහර සම්ප්‍රදායයන් බිඳිලා ගිහින් තිබුනු බව මට මතකයි.
    අපේ කාලයේදීත්, දුම්බර සෙට් එකේ, එතකොට කැළණියේ, ජ’පුර එහෙම අයියලා මල්ලිලා අක්කලා නංගිලා හිටිය මතකයි.
    2. මේක ප්‍රගතියක්ද?
    3. ආපස්සට යෑමක්ද?
    අයියලා මල්ලිලා විදිහට හඳුන්වන එක නොකරන්න හේතු හැටියට මම පිළිඅරන් තිබුනෙ කාරණා දෙකක්.
    එකක් තමයි, ඇත්තටම අයියද මල්ලිද කියල දන්නෙ නැති වීම. වයස අහල කතා කරන්න බෑනෙ හැම වෙලාවෙම. පෙනුමෙන් සම වයස් වගේ නම් මචං කිව්වහම ෂේප්. (හැබැයි ගෑනු ළමයි බොහෝ වෙලාවට නංගිලා තමයි.)
    අනිත් එක මම හිතනවා “සමානාත්මතාවය” ඇති කරගන්න අවශ්‍ය නිසා මේ මචං කියන එක මුල් කාලයේදී ‍promote කරන්න ඇති.

    ReplyDelete
  4. ඇත්තම කියනවනම් දැන් හැමෝම වගේ (විශේශයෙන්ම වහාම සින්නෝ..)අපේ බැජ් එකේ අයත් එක්ක කතා බහ කරනකොට ගොඩාක්ම පාවිච්චි කරන්නේ මල්ලි කියන වචනේ තමා...අපිත් එහෙමමයි..අයියා කියල තමා ගොඩක් තැන් වලදි තැනදි කියන්නේ...බැජ් එක ඇතුලෙ නම් ඉතින් ගොඩක්ම මචං තමා..(තව අර කාඩ් එකකුත් තියේනේ..)
    ඒක පරිහානියක්ද ,දියුනුවක්ද කියල කියන්න මං දන්නේ නම් නෑ..මොකද කකා ,කම්මලේ හිටපු දවස් වල මෙහේ තිබුන උපසංස්කෘතිය ගැන මං එච්චර දන්නේ නෑනේ...
    ඇත්තටම කකා හිතන්නේ ඒක දියුනුවක් නෙවේ පරිහානියක් කියල නේහ්...????
    කියන්නකෝ බලන්න ඒ ගැන හොද හේතු ටිකක් අපිට දැන ගන්නත් එක්ක...
    අහ්..තව දෙයක්,
    පේරා බ්ලොග් ලියන කස්ටිය දැම්ම එකනම් මරේ මරු...

    ReplyDelete
  5. මේකයි කතන්දර මාමෙ දැන් රැග් එක අඩු නිසා තමා ඕක වෙලා තියන්නෙ.
    රැග් එක තිබුණම අනිවාර්යෙන්ම කාඩ් එකක් වදිනවා.
    අපෙ හොස්ටල් වල ඉන්න එවුන්ටත් හොඳ හොඳ කාඩ් හම්බෙලා.
    එකක් "රැල්ලෙ වාෂ්".
    අයිය මල්ලි කියන එක වෙන්න හේතු තියනවා,
    1.කැම්පස් එන්න කලින්ම අදුරාගෙන තිබීම.
    එක ඉස්කෝලේ, යුධ පුහුණුවෙ එක කෑම්ප් එකේ, ෆේස්බුක් ඊටීසී.

    2.ජෝක් එකට;
    උදාහරණයකට මම අපෙ අපෙ බයෝකෙම ප්‍රැක්ටිකල් එකේ ඉන්න ඔක්කොම කෙල්ලොන්ට නංගි කියල තමා කියන්නෙ (ජෝක් එකටා

    මේ ප්‍රධාන හේතු දෙකක්.

    කොහොම වුනත් මම පටන් ගත්ත සම්මත් නාමයක් දාන්න,
    මේක ලෝක සම්මත නමක්,
    වෙනස් වෙන්නෙ නෑ.
    ලබන සතියේ සිට නාමකරණය පටන් ගන්නවා.

    http://myideasgordoniaceylanica.blogspot.com/2011/10/blog-post_7434.html

    ReplyDelete
  6. මම පේරා නොවන නිසා ලිපිය කියෙව්වේ....
    හවහට ගොරවන අකුණු ගහන නිසා බොරු කීමටද බයය.. මෙසේ අයියා මල්ලි සංස්කෘතිය කර්‍යාල වලට බලපාන ආකාරය පිළිබඳව යම් වටිනා කරුණු කීපයක් මෙම සබැඳියෙන් ලබා ගත හැක..

    http://managementinsinhala.wordpress.com/2011/10/24/20111024/

    ReplyDelete
  7. අපේ එකේ නම් මේ දවස් වල ඉන්නේ අයියලා අක්කලා නෙවේ...උත්තමයෝ...මම හිතන්නේ ඔය අයියා අක්කා කතාව නිසා තමා seniority සීන් එක තවත් වැඩි වෙන්නේ...අලයෝ අතර නම් අයියා අක්කා කතාව අඩුයි කියලා මට හිතෙනවා...දැන් ගොඩක් අය මට ඇහෙන විදියට නම කියලා කතා කරන්නේ..අයියා අක්කා නැහැ..කන්නේ බොන්නේ එකට...

    ReplyDelete
  8. මං නං වේරහැර [චුට්ටක් කාලයක් අඟුලානෙ]

    ReplyDelete
  9. මෙන්න තව බ්ලොග් පේරා කිහිපයක්

    Arts
    මේ තුනම නාමලී ලියන්නේ. 4 වසරේ දැන්
    http://bleedingpencil.blogspot.com/
    http://bachelor-years.blogspot.com/
    http://ndepunedited.blogspot.com/

    මේක අකිර. දැනට 3 වසරේ එක්කෙනෙක්
    http://akirakidronin.wordpress.com/

    Engineering
    ඉසුරු කියන්නේ හතර වසර මගේ යාළුවෙක්. මෙන්න එයාගේ බ්ලොග් එක
    http://itsmeisuru.blogspot.com/

    ReplyDelete
  10. මට බ්ලොග් ලියන්නට මග පෙන්නුවෙ අන්තිම පේළිය.අන්තිම පේලියෙත් අවුලක් තිබුන පිටුව පෙරලෙන්ට සෑහෙන වෙලාවක් යනව. ගොඩාක් වෙලාවට යමක් ලියන්ට-ලියන්ට තියෙන උනන්දුව ඒ නිසාම එපා වෙනව.කීප වතාවක් කිව්වට පස්සෙ ඔන්න තීම් එක වෙනස් කරල දැන් නම් හොඳයි. ඔබටත් මා කියනවා ඔබේ බ්ලොග් තීම් එක වෙනස් කරන්න කියල. මම මීට පෙරත් කියා තිබෙනවා. තවත් ඒ වගේ බලන්ට එපා වෙන එකක් තමා දයාල් බතීගෙ බ්ලොග් එක. කරුණාකර මේ ඉල්ලීම ගැන සලකා බලන්න.

    ReplyDelete
  11. මම ඉස්කෝලේ යන එකෙක්.. හැබැයි මටත් සීනියෝරිටි එක ගැන පොඩි දැනුමක් තියෙනව.. ඒ කැම්පස් ගිහිල්ල නෙමේ.. අපේ ඉස්කෝලේ අවුරුදු 100කට වැඩි අතීතයකට දිව යන එකක්.. ඒ හන්ද සිනියෝරිටි කියන්නේ ඉස්කෝලේ පුරාවට මුල් බැහගත්තු එකක්..

    මේක ගැන කියනවනම් මට කියන්න තියෙන්නේ මේක ප්‍රගතියක්‌ කියල.. ඒ මොකද දැන් දැන් අපේ ඉස්කෝලේ ඔය අයියා මල්ලි කෑලි කැඩිලා එන්න එන්නම මචං බවට පත්වෙනව. ඒක දිහා බලද්දී හිතෙන්නේ ඒක ආපස්සට යාමක් එහෙමත් නැත්තං අපි පො**යො වීමක් කියල. මොකද අයිය මල්ලි කෑලි නැති වුනාම වෙන්නේ සිනියර්ස්ලත් පොඩිඋන්ගේ තත්වෙට පත්වීම... එතකොට පොඩි උන් කරේ නගින්න එනව.. ඒක අත්දුටුවයි සත්තයි! එහෙම උනාම අපි අවුරුදු දහතුනක් අයියලාගෙන් කට්ට කාල ආපු ගමන වැඩක නැති වෙනවා.. මමනම් හිතන්නේ යුනිවසිටි වැනි වැදගත් තැන්වල මේ අයිය මල්ලි තියෙන්න ඕනේ කියලයි! ඒක අතුගෑවිලා ගියොත් ඒවායේ තියෙන සිනියෝරිටි නැති වෙනවා ෂුවර්... සිනියෝරිටි නැත්තං කැම්පස්වල තියෙන අගේ මොකක්ද නේ?

    ReplyDelete
  12. ඉතිං අයියා මල්ලි කියන ආපස්සට යාමක් වෙන්නේ කොහොමද..?

    ReplyDelete
  13. පේරා නිසා කමෙන්ට් නොලියමි. මගේත් සුන්දර තැනක්. පේරා මිතුරන් සමඟ රාත්‍රී කීපයක් ගත කිරීමට අවස්ථාව ලැබී ඇත.

    ReplyDelete
  14. මම නම් හිතෙන්නෙ මේක ආපස්සට යාමක් විදියටයි. ඔය කියන කාලෙ අපි දන්න විදියට විවි කියන්නෙ සමාජයේ සාපේක්ශ වශයෙන් සමානාත්මතාව තිබුනු නිදහස් අවකාශයක්. විවි කියන්නෙ සීනියර්ස්ලා ඩොමිනේට් කරන තැනක්. අද ඒ සීනියොරිටි එක අභියෝගයට ලක් වීමේ ප්‍රකාශනයක් තමයි ඔය. දැන් ඔය සමානාත්මතාව වෙනුවට ආදේශ වෙලා තියෙන්නෙ පොරත්වය මේන්ටේන් කිරීම. ඒකෙ ඉතාම ප්‍රාතමික ප්‍රකාශනයක් අද දවසේ ජනප්‍රිය දේශීය (දොරමඩලාව වර්ගයේ උගතුන් හරිම උනන්දුවකින් ප්‍රමෝට් කරන ) මුහුනුවරකින් ඇවිල්ලා තියෙන්න. ඕක කාලයක් ඉස්කෝලවලත් (ආර් අයි ටී අලස් වැනි විදුහල්පතිවරු ) ප්‍රොමෝට් කලා. නමුත් ඉතින් විවි කියන්නෙ ඉස්කෝල නෙමෙයිනෙ. (විහිලුවට එහෙම කියනව තමයි.)

    කෙනෙකුගෙ මුල් නමින් කතා කිරීම (සහ කතාකරනු ලැබීම ) තරම් සුහදතාවක් තවත් තියෙනවද? ලෝකයේ ඉහලම විවි වල තමන්ගෙ සුපවයිසර්ට පවා කතා කරන්නෙ මුල් නමින් නේද? එහෙම බලද්දි මේක ආපස්සට යාමක්. (වැඩවසම් ලක්ශන!!!)

    - සනාත

    ReplyDelete
  15. අපි නම් වෙන කොහෙදෝ.... හැබයි මචං කිවුවාම තමයි ගතියක් තියෙන්නේ... අයියෙ කියවගන්න සින්නො ටිකක් ආසයි මං හිතන්නෙ....

    ReplyDelete
  16. අපෙත් කතා කරන්නෙ අයියා,අක්කා,නංගි,මල්ලි කියලා තමා..

    ReplyDelete
  17. අපේ යුනියේ(ජ,පුර) නං දැ රැගක් ඇත්තේම නෑ වගේ තමා..එත් දහසක් බාධක මැද යන්තං යන්තං රැග දෙන අයගේ පලවෙනි නීතිය තමා බැජ් එකෙන් සීනියර් නං තමංගේ ළමයට උනත් අක්කේ,අයියේ කීම...
    අනේ මන්දා අපිට දැනෙන විදියට එ ක්රමේ හොදයි වගේ..මොකද නැත්තං අර මාතරේ මල්ලි කියනවා වගේ පොඩි උන් කරේ නගින්න එනවා.....
    (කතන්දර අයියේ(මාමේ ද සුවර් නැත) මේ මාගේ පළවෙනි කොමෙන්ටුව,
    මටත් බ්ලොගක් (මොකෙක් වත් නොබලන) ලියන්න අයිඩියාවක් ආවේ මෙක බලලා තමා
    එයට මාගේ උපහාරය)
    ප.ලි. එපා කිව්වට මං ජපුරේ වෙලත් මෙක බැලුවට සොරි වේවා හොදේ

    ReplyDelete
  18. අකිකරු හිත (ආර්ට්ස් ෆැකල්ටියේ)- රූප කඩේ
    http://akikaruhitha.blogspot.cඔම්

    කම්මලේ තව කට්ටියක්

    රූ සිරිනි
    http://ru-sirini.blogspot.com
    බිඟු නද
    http://bingunada.blogspot.com
    මකුළු දැලේ මුල්ල
    http://makuludala.blogspot.com

    ReplyDelete
  19. මං නං ගිය සතියෙත් එහෙ ගියා. ඇදුරුගෙ වැඩකට ඇදුරු ගිය නිසා. කෝ ඉතිං කවුරුත් අඳුනන එකක්යැ.අර තඩි එංජිම බලල ආවා.

    පේරදෙනියෙ පමණක් නොවේ සමහර රටවලත් විශ්ව විද්යාලවල මල්ලි නංගි කියල ඒගමන්ම අනවශ්‍ය පීඩනයක් එල්ල කරන අවස්තා මා දැක ඇත

    ReplyDelete
  20. ලංකාවේ යුනි එකකට ගිය මගේ හැඟීම නම් මෙය ආපස්සට යෑමක් බවයි. මෙය රැග් යනුවෙන් හඳුන්වන මනෝලිංගික ව්‍යාධියේම දිගුවක් ලෙස හඳුනාගැනීමයි උචිතම දේ. අයියා-මල්ලී (අක්කා -නංගී) භාවිතාවන හැම අවස්තාවකම අප්‍රකාශිත බලයක් සහ ඊට අවනත වීමක් හැඟ වෙනවා. අපේ ක්‍රිකට් ටීම් එකටත් මේ ලෙඩේ තිබුනා. මේකට කිව්වේ "රණතුංගකරනය" කියලා.

    ReplyDelete
  21. මම නම් 'ගල් ඔය' පොරක්. ඒත් ඉතින් පේරා එකට පොඩි සම්බන්ධයක් තියනවා කාලයකට පෙර 'පස්තාච්චි' (කකාගේ බාසාවෙන් කියනවනම්) ආයතනයක උගන්නපු හින්දා.

    විස්ස විජ්ජාල වලයි වැඩපොලවල් වලයි අයිය මල්ලි කතාවනම් එච්චර ගැලපෙන්නේ නෑ කියලයි මම හිතන්නේ. සිංහලෙන් කියනවානම් හරිම 'ඔඩ්'. කෙනෙකුට රැස්පෙක්ට් කරන්න හෝ ලෙංගතුකමක් පෙන්නන්න ඕනේ නම් නෑකම් භාවිතයම අවශ්‍ය වෙන්නෑනේ.

    ReplyDelete
  22. මම දන්න විදියට රත්ගමයා ත් පේරා ඉන්නෙ . . පිසාචයගෙ බැචා

    @Gordonia ceylanica:
    අපේ ජූන්නියෙක් හිටිය , . . කාඩ් එක උශ්න ශිරෝමි

    ReplyDelete
  23. "රණතුංගකරනය" එච්චරම නරක නැහැ[සාපේක්ෂකව], ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ පරණ කට්ටියට සර් කියන්න ඕනෙ කාලෙකුත් තිබිල තියෙනව.

    ReplyDelete
  24. @ ඔබ්සෝවර්,
    එහෙමත් එකක්ද?
    ඇත්තටම මම ඒ ගැන දැනගෙන සිටියේ නැහැ.

    ReplyDelete
  25. අමානුෂික රැග් එක නං ඔන නෑ තමයි, ඒත් ජුන්නියෝ සින්නන් ට පොඩි හරි ගවුරවයක් තිවුනෙ නැත්තං වෙන්නෙ උන් ලෙක්චර් වල ඩෙගා නටනවා,
    ලෙක්චර් කෙනෙක්ට ගවුරවයක් නෑ..ප්රැක්ටිකල් එකක් කලත්,ටියුට් එකක් කලත්,ලයිබ්රියෙන් පොතක් ගත්තත්...තමං ගැන විතරයි හිතන්නෙ...
    බෙදා හදාගන්න පුරැද්දක් නෑ..
    ඔය අයියා මලෝ කියන එක ඇතුලේ අමානුෂික රැගක් නැතත්,අද්දැකීම් වලින් තියෙන වැඩිමහලු කමට පොඩි ගවුරවයක් තියෙන නිසා ඒක හොද නැද්ද හැබෑට
    අපිට ගිය අවුරුද්දේ ඔය අමානුෂික රැග් 1ක් නම් තිවුනේ නෑ...අපිව ටිකක් බයිට් කරලා අපේ බැජ් ෆිට් එක හැදුවා කියලා තමා මට හිතෙන්නේ...
    *අපිට සිද්ද උනේ යුනියේ ඉතිහාසේ පාඩං කරන්න
    *විරු සිසුවො ගැන පාඩං කරන්න
    *කැම්පස් බිත්තිවල ලියවුනු ජනපිය කවි පාඩං කරන්න
    *කැම්පස් එකේ පාරිභාෂික ශබ්ධ මාලාව පාඩං කරන්න
    *බැජ් එකේ කට්ටියගේ නම ගම විස්තර පාඩං කරන්න
    වගේ දේවල්
    මේ ඔක්කොම ඉවර වෙලා කාර්ඩ් ගහන දවස් වෙද්දි අපි සෙට් එක බුදු ෆිට්
    හැබැයි අපි සින්නෙකුට කවදාවත් එදායින් පස්සේ අයියේ අක්කේ නොකියා කථා කලේ නෑ....
    මට දැනෙනනේ එක අපිට උන හොදක් විදියට
    ප.ලි
    එත් මං කොයි වෙලේ වත් මේ අවුරැද්දේ ආව කස්ටියට ඔය දේවල් පාඩං කරවන්න නං ගියේ නැත

    ReplyDelete
  26. @මම
    ඔයා වගේ "බැච්" එකට "බැජ්" කියන බයියෝ හදන්න නං ඉස්කෝල 100 කට ගියත් බැහැ කියන එක නම් අපූරුවට පෙන්නලා තියෙනවා. මානුශික රැග් කියල ජාතියක් තියෙනවද? කොන්දපන තියෙන මිනිහෙක් නම් හේතුවක් නැතුව තමන්ට අපහාසයක් කලොත් ඒකට ප්‍රතිචාර දක්වනවා. ඒත් ඉතිං Biological තාත්තා එහා ගෙදර එකා නම් ඔය කියන පෞර්ෂය වගේ ඒව නැති සෙවලයො බිහිවෙනවා. උං අනිත් ඔක්කොටම පීචං වෙලා ඒ වෛරය පිරිමහගන්න පුලුවන් අවස්තාව තමයි මානුශික රැග්. එතකොට "බැජ් ෆිට්" වගේ මෙලෝ තේරුමක් නැති බයිලා දොඩව දොඩව පරපීඩාකාමුකත්වය උපරිමව විඳ ගන්නවා, පොර වෙනවා!

    ReplyDelete
  27. මල්ලී නංගී කියන වචනත් බජාර් එකේ වචනයි.ඒවායින් කියවෙන සහෝදරකම පවුල්වල සහෝදරකමට වඩා එහා යන එකක්.
    පතිරාජගෙ අහස් ගව්ව බලල තියෙනවද?
    මම කො‍ළඹ... හැත්තෑවෙ අග හරියෙත් අපට ජූනියර් අයට මල්ලි නංගි කියන එක තිබුණ එහෙ. බැච් එකේ අයට නම් මචං මචෝ... හුඟක්ම කිට්ටු නම් හුයන්නෙනුත් කතා කරන එක අමුතු දේවල් නොවෙයි ඒ කාලෙ. කෙල්ලො අතර මචං කීම නොතිබුණු තරම්....
    කොළඹ ඉතින් කොළඹ.... කොච්චර දුරද පේරාදෙණියට...!

    -ලොකු

    ReplyDelete
  28. @ ඇනෝ
    කැම්පස් යන කෙනෙක් ද?
    ගිය කෙනෙක් ද?
    යන්න ඉන්න කෙනෙක් ද?
    නැත්තං කවදාවත් නොයන කෙනෙක් ද?

    කොහොම හරි කමක් නෑ මුලින් ම කියන්න ඔන දේ තමයි මම බී ඒ ටී සී එච් කියන වචනෙයි , බී ඒ ඩී ජී ඊ කියන වචනෙයි තේරුම් දෙක හොදට දන්න වග....
    Batch fit 1 ගැන නං කියන්න තියෙන්නෙ ඒකත් ඔය biological වගේ ම ඉංගිරීසි වචනයක් කියලා තමා....

    අපිට ලැබුන මම කලිං කියපු අත්දැකීම් ටික
    *1 බිත්තරේ හැමෝම ගිලපු
    *2 වැසිකිලි වතුර බීපු
    සහ මීට වැඩිය නරක අද්දැකීම් විදපු අය කොහෙත්ම රැග් එක කියලා නොකියන බව මට නං විස්වාසයි
    පුදුමෙ කියන්නෙ අපිට අමානුෂික බව නොදැනි කොහෙවත් ඉන්න ඇනෝ කෙනෙක් ට ඒක දැනීමය
    ඒ කෙසේ වෙතත් ප.ලි. ය කියවන්න

    අපි මේ දවස් වල කරන වැඩේ කැන්ටිම ආදී තැන් තැන් වල තනියම ගිහුන් රැග් නොවී බේරි එන ලෙස නවක සිසුන්ට දැන්වීම බව කරුණාවෙන් සලකන්න
    ඒ හැරුණු කොට කිසිදු අනවස්ය ඇයි හොදයි නැත

    ReplyDelete
  29. පේරා ලිස්ට් එකේ එක ඇග්‍රෙක් වත් නැති නිසා මගේ බ්ලොග් එක මමම දාන්න හිතුවා http://kashyapa1917.wordpress.com හැබැයි ඒකෙ කතන්දර නම් නැහැ.........මම දන්න විදිහට කකා පේරා හිටියෙ 80 දශකයේ මුල භාගෙ...අපි හිටියෙ 90 අග ඉදන් දෙදාස් ගනන්වල මුල....අපේ කාලෙත් වැඩියෙන් හිටියෙ මචන්ලා නැත්නම් මුල නම...ෆස්ට් ඉයර්ස්ලයි ෆයිනල් ඉයර්ස්ලයි අතරෙ කතාවලදිනම් සාමන්‍යයෙන් අයිය මල්ලි තිබ්බද කොහෙද

    ReplyDelete
  30. අප්පෝ ඕනයා ......
    ඒ කෙල්ල වල් කෙල්ලෙක් ද?

    ReplyDelete
  31. @Gordonia ceylanica:
    පොඩ්ඩක් ප්‍රොෆෙශනල් නංගි බබෙක් . . . .

    ReplyDelete
  32. .
    අයියා මල්ලි කියල කතා කරපු අයත්
    මචං කියල කතා කරපු අයත්
    නමෙන් කතා කරපු අයත්
    තුන් ගොල්ලොම මට හිටියා

    ඒ එක එක්කෙනා අතරේ Communication Protocol ඇති වෙන හැටි

    සයිබර් ස්පේස් එකෙත් මම තන්දරට කතන්දර, මාරයාට මාරයා මිස කතන්දර අයියා, මාරයා අයියා හෙම කියන්නෙ නෑ නෙ.

    ඒත් තිස්ස අයියට තිස්ස අයියා කියනව :)

    අද ඉඳන් කතන්දර අයියා කියන්නද ?

    ReplyDelete
  33. @ මාතරේ-මේ වගේ අය හින්දා තමයි ලංකාවේ රැග් එක ඇතිවෙලා තියෙන්නේ.අපේ ඉස්කෝලෙත් අවුරුදු එකසිය තිහකටත් වඩා පරනයි.ඒත් ඉස්කෝලේ ඔය සිනියෝරිටි කියලා එකක් නම් නැ.ගෞරවය කියන එක බලෙන් ගන්ඩ පුලුවන් දෙයක් නෙවෙයි.ඒක තමන් උපයාගන්න දෙයක්.බලෙන් අක්කේ අය්යේ කියලා කතා කරන්ඩ කියලා ගෞරවය ගත්තට යනකන් ඉන්දලා "අනේ ඕකා" කියනවනං වැඩක් නැනේ.හරියටම ගෞරව කරන්ඩ ඕන මනුස්සයෙක් නං බලෙන් කියන්ඩ ඕනේ නැ.මිනිස්සු තුලින් නිතැතින්ම ඒක මතු වෙනවා.
    පොඩි උන් කරේ නගින්ඩ එනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද?? ඇයි අපි කාටවත් බයෙන් ජිවත් වෙන්නේ??කෙනෙක් තව කෙනෙක් මත යැපෙන එක හොඳ දෙයක් නෙවේ.මට එහා පැත්තේ ජනාදිපතිගේ පුතා වාඩි වෙලා හිටියත් මට වැඩක් නැනේ නේද?? උගේ ලොකුකම් ඌට තියෙයි.අපි එයාගෙන් යමක් බලාපොරොත්තු වෙන්නේ නැත්තන්ම්,එයාට වැඳගෙන ඉන්ඩ ඕනෙද??අද්දැකීම් බහුල වෙන්ඩ පුලුවන්.ඒත් ඔබට වඩා දවසක් හරි කලින් ඉපදුන මිනිහෙක්ගේ අද්දැකීම් ඔබට වඩා වැඩියි කියලා ඒ මනුස්සයාව කර උඩ තියාගෙන ඉන්න සිරිතක් තියනවද??කාලයාගේ ඇවැමෙන් ඔබත් ඒ අද්දැකීම් ලබාගනිවී.

    අපි දවසක් කලින් විශ්ව විද්යාලයට ආවා කියලා මට පස්සේ එන එකාට පාට් දාන්ඩ ඕනෙද??ඔබ අවුරුදු දහතුනක් අය්යලාගෙන් කට්ට කැවේ මොකටද??ලේසියෙන් පාසැල් කාලේ ගත කරන්ඩ තිබුන එක ඒ අය්යලා විසි නැති කරලා නෙවෙයිද තියෙන්නේ?හැමෙඔටම තියන ආත්ම ගෞරවයට පෞරුශයට ඒ මිනිස්සු ගෞරව කරන්ඩ දන්නේ නැත්තේ ඇයි??මනුස්සයෙක්ව පාගගෙන ඉන්න එකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද??මිනිහෙක්ට මනුස්සයෙක් විදිහට ගෞරව කරන්ඩ බැරි ඇයි??

    ReplyDelete
  34. අනිත් එක තමයි කැම්පස් එක කියන්නේ සිනියොරිටි එක මේන්ටේන් කරන තැනක් නෙවේ.ලමයි උසස් අධ්‍යාපනය කරන ඉගෙන ගන්න තැනක්.එතනට ආවේ ඉගන ගන්න නං ඉගෙන ගෙන පිට වෙලා යන්ඩ.මේ ලඟදී මහාචාර්යවරයෙක් කිව්ව දෙයක් තමයි,විශ්වවිද්‍යාලවල ඉන්න ලමයි ඉගෙන ගන්න එක ඇරුනාම අනිත් හැමදේම කරනවා කියලා.ඉතින් ඔය මොනවා කරත් බැච් ෆිට් අර ෆිට් මේ ෆිට් කොච්චර කිව්වත් ඉන්න අවුරුදු තුන හතරේ විතරයිනේ ඔය බයිලා ඔක්කොම තියෙන්නේ.ඊට පස්සේ ඉති අර සමාජේ තියන විදිහට අනිත් එකාව කපාගෙන තමන්ගේ මඩිය තර කර ගන්න එක තමයි කරන්නේ.ඉතින් සිනියෝරිටි කියලා එකක් අල්ලගෙන නිකන් කාලේ නාස්ති කරන්නේ නැතුව තන්ගේ පාඩුවේ වැඩේ කරගෙන පිටවෙලා ගියාම ඉවරනේ.මේ ලඟදී මහාචාර්යවරයෙක් කිව්ව දෙයක් තමයි,විශ්වවිද්‍යාලවල ඉන්න ලමයි ඉගෙන ගන්න එක ඇරුනාම අනිත් හැමදේම කරනවා කියලා.

    ReplyDelete
  35. @ ඇනෝ
    කරුණාකර ප.ලි බලන්න

    ReplyDelete
  36. මම පේරා කම්මලේ හිටපු කාලේ (1993-1997) rag season එකේ හිටපු ජ්‍යෙෂ්ට උත්තමයෝ සහ කුණු ප්‍රෙශාල welcome එකෙන් පස්සේ ලස්සනට මචන් ල උනා. පස්සේ අපි නිකමට හරි සින්නෙක් ට අයිය කියල කතා කරොත් ඌ කියනවා 'අයිය කියන්න ඕනේ නැහැ මචන්' කියල.
    කසු සහ චතු කියන විදිහට දැන් මචන් ල අයියල මල්ලිලා වෙලා. "කාලය මැවූ වෙනසක අරුමේ...."
    කසු ට බොහොම ස්තුතියි ඔයාගේ ලිස්ට් එකට මාවත් දාපු එක ගැන. මම තාම blog follower කෙනෙක් විතරයි. බ්ලොග් එකක් ලියන්න තාම හිතුවේ නැහැ.. බලමු කෝ ඉදිරියට..

    ReplyDelete
  37. @ Malya Cruise
    ඔයා කියන එක හරි කියලා තමා මගේ අදහස..(ඇනෝ මොනවා හිතුවත්)
    සින්නන්ට ගවුරවේ තිබ්බත් නැතත් දැන් එන අය සහයෝගෙන් වැඩක් කරගන්නවා නම් එක නේ වැදගත්
    යුනියේ දෙක වසර විදියට අපි දැන් රැග ඔන නෑ කියන මතයේ ඉන්නේ ඒකයි
    මං හිතන්නෙ කැම්ප් ගිහින් එන නිසා දැන් එයාලාට කාගේ වත් උපදෙසක් ඕන නෑ
    (මේ මගේ අදහසයි.කවුරුත් කලබල විය යුතු නැත)

    ReplyDelete
  38. මේපෝස්ට් එක දැක්කම මට මතක් වුනා දැනට අව්රුදු පහකට විතර ඉස්සර මාගේ මීටීමකට ආපු ජුනියර් කට්ටෙක් එයාට අව්රුද්දක් senior කට්ටියක් ගැන කිව්වේ ආං ඒක ...අක්කා ලඟ කියලා . මම ඇහුවා are you related to her ?කියල . මු ඇදවෙලා ගිය කාරනේ දැන් තමයි මට තේරුනේ.

    ReplyDelete
  39. Traffic
    බලාගෙන ගියාම කතන්දරකාරය හැමදාම බට කැලෑ වලට ගිනි තියනවනෙ.

    ReplyDelete
  40. අනේ මගෙ නමත් ලිඅස්ට් එකට දාන්න.

    මම කතාවක් කියන්නම්. අපි හිටපු කාලෙ (ඒ කියන්නේ මේ අතලඟ ) අයියා මල්ලි සීන් එකක් තිබ්බ කියල එච්චර මීටර් වෙන්නේ නෑ .ඒ උනාට ෆැකල්ටියෙ පොඩි ට්‍රෙන්ඩ් එකක් තිබ්බා "සහෝදරයා" කියන එකට විරුද්දව. අපේ බැච් මිටින් වල්දි වත් ජෙනරල් බොඩි වලදිවත් එහෙම "සහෝදරවරු" හිටියෙ නෑ.කොටින්ම සමාජවාදී ශිෂ්‍ය සංගමේ උන් උනත් බං මචං කියලා කතා කලත් සහෝදර කතා තිබ්බෙ නෑ. ඔය පිකට් වලට එහෙම යන්ඩ වෙන ෆැකල්ටි වල අය ඇවිල්ලා කතාකරනකොට සහෝදරයා කියලා කතාකලොත්
    "මෙතන ශෝදායා කියලා කතාකරන්න ඕන නෑ ඕන නම් අයියලා මල්ලිලා කියලා කතාකරන්න " කියපු කට්ටිය හිටියා (මේ ගින්න අස්සෙ මම තව ගිනිකූරක් ගැහුවද මන්දා).
    කොහොමත් ඉමිඩියට් බැච් එක වගෙ බැච් එක්ක කොහොමත් අයිය මලෝ කං තිබ්බෙ නෑ.බං මචංලා හෝ කාඩ් පමණයි.අපි ජුන්නට නං කොහොමත් මල්ලි කිව්වෙ නෑ. ඔය අයියලා කියලා කියන්ඩ ගත්තෙ නම් අපිඅට අවුරුදු දෙකක් ජූනියර් විතර එවුන්. උන් එහෙම කියනකොට අපිටත් හෙන අමුතුයි.
    කොහොමත් ඕක ඉතින් ඉවර වෙන දෙයක් නෙවෙනේ.හැම එක්කෙනාම කියන්නේ "අපේ කාලෙනම් ඔහොම නෑ දැං තමා මේ එක එක එව්වා තියෙන්නේ "
    අනේ මංදා.
    මට කියන්ඩ තියන එකම දේ නම් ඒ ලස්සන ජීවිතේ ආයෙ විඳින්ඩ බැරිවෙන එක ගැන දුකයි. ඒකනේ ලඟදි සෙට් වෙච්ච සීනියර් මචං කෙනෙක් කිව්වේ "මිනිහෙක් වෙන්ඩනං නාකිවෙලා හරි කැම්පස් යන්ඩ ඕනෑ" කියලා.

    ReplyDelete
  41. අමතක උන තවත් කෙනෙක් හා පැටික්කි (http://haapatikki.blogspot.com/) වෙට් ෆැකල්ටි

    ReplyDelete
  42. අයිය මල්ලි.... හෙහ් හෙහ්... අයිය මල්ලි අක්ක නංගි නෙමෙයි. මටනම් තවම හරියට යාළුවන්ගේ නම් මතක නැහැ. විශේෂයනේ ඒකෙ අඩුපාඩුව තේරෙන්නෙ දැන්. දැන් ඉතින් රැකියා කරන ලොකු නෝන මහත්තරු වෙච්චි, හදිසියේ අඳුනන කෙනෙක් , තවත් අඳුනන යාළුවෙක් ගැන හෙම අහන්න වුනාම.
    “ ආහ් ඔයා රත්නපුර අහවල් දිහාද? අහවල් ගමේද? ආහ් මගෙත් යාලුවෙක් හිටියා. එකට කැමපස් එකේ.නම ද නම නම්... අපි එයාට කීවේ ලෑතර කියල කාඩ් එක නම්“
    ඔහොම කියන්න තමයි වෙන්නේ. කාඩ් එක කීව පමණින්, කැම්පස් එකේ කුවුරු හැඳුනුවත්, නම ?

    ReplyDelete
  43. @ Malya Cruise මම හිතන්නේ මම කියපු දේ ඔයාට හරියට තේරුනේ නෑ.. මෙහමයි මම කියන්නෑ සිනියර්සලා වෙච්ච කමට පොඩි උන්ව තලාගෙන පෙලාගෙන ඉන්න ඕනේ කියල.. මම කියන්නේ සිනියර්ලා සහ ජූනියර්ලා අතර තියෙන්න ඕනේ මූ මගෙ සීනියර් කෙනෙක් නේද මම මුට ගව්රව කරන්න ඕනේ කියල සහජයෙන්ම ඇතිවෙන හැඟීමක්.. එතකොට තමයි දේවල් ලස්සනට ගලාගෙන යන්නේ...

    උදාහරණයකට ගන්න ශිෂ්‍ය භට කණ්ඩයක්.. ඒක ඇතුලේ තියෙන්නේ මොනවද? තනිකරම සිනියෝරිටි... තමන්ගේ බැච් එකේ උනත් රෑනකර් කෙනෙක් නං නැත්තන් සීනියර් කැඩෙට් නං භටයෝ ගරු කරනව... සමහර කැඩෙට් ප්ලැටූන් වල නං රෑන්කර්ස් ලට කතා කරන්නේ සර් කියල... ඒකෙන් තමයි මේ ඛන්ඩය ඇතුලේ තියෙන දේවල් රැකෙන්නේ.. එකා වගේ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ...

    මට පොඩි කතාවක් මතක වෙනවා අපි නමය වසරේ ඉද්දි සිද්ද උනු.. මම අපේ ඉස්කෝලේ බෝඩිමේ ඉන්නේ.. ඒ කාලේ අපිට හිටිය සිනියර්ල මාර සැරයි පොඩ්ඩ වරදිද්දී කනේ පාර... හැබැයි දවසක් පුදුම දෙයක් සිද්ද උනා.. උදේ රැස්වීම ඉවර උනාට පස්සේ බෝඩිමේ නොවන ශිෂ්‍ය නායක අයියල වගයක් බෝඩිමේ අපිව නතර කරගෙන අපි රැස්වීම වෙලාවේ කෑ ගැහුවයි කියල අපිට ගැහුවා.. ඊට පස්සේ අපි ගිහින් ඒක බෝඩිමේ අයියලට කිව්ව... ඉස්කෝලේ අරින වෙලාව වෙද්දී දහතුනේ බෝඩිමේ සෙට් එකම බැහැල තිබ්බ අපිට ගහපු උන්ට ගහන්න.. කිව්ව වගේම දෙතුන් දෙනෙකුට ගහල මෙහෙම කිව්ව... "උඹල එකෙක්වත් ආයේ බෝඩිමේ එකෙකුට හරි අත තියල තිබ්බොත් බලාගත්ත හැකි.. යකෝ අපි කන්නේ එකට බොන්නේ එකට බුදියන්නේ එකට.. ඉස්කෝලේ හැම වැඩක්ම වගේ සිද්ද වෙන්නේ අපි හින්ද.. අපි පැය විසිහතරම ඉන්නේ ඉස්කෝලේ.. එහෙව් එකේ උදේට ඇවිත් හවසට ගෙදර දුවන උඹලගෙන් ගුටි කන්න මුන් අවාසනාවන්ත නෑ.." කොහොම හරි ඔතනදි මට කියන්න තියෙන කාරණය මේකයි.. ජුනියර්සලට සිනියර්ල අතින් පොර කම් ඇති වෙන්න පුළුවන්.. හැබැයි ඒකට සිනියර්සලා අතින් රිටර්න් එකකුත් තියෙන්න ඕනේ.. මෙතැනදී මම පැහැදිලි කරේ ඉස්කෝලේ තියෙන සිනියෝරිටි එක නෙමේ බෝඩිමේ තියෙන සිනියෝරිටි එක..

    අන්තිමේදී කියන්න තියෙන්නේ මෙන්න මේකයි.. ජුනියර්සලා සිනියර්ලට ගරු කරන්න ඕනේ... අයිය මල්ලි කමින් ඒක රැකෙනවා.. සිනියර්ලා සීනියර් වෙච්ච කමට නිකන් ඉන්න හොඳ නෑ... සිනියර්ස්ලට ඒගොල්ලෝ අතින් පොඩි අයට විය යුතු වගකීම් තියෙනව.. හුඟක් වෙලාවට ඒවා ජුනියර්ස්ලට කරන්න බැරි දේවල්.. ඒවා හරියට ඉටු කරන්න ඕනේ.. පොඩි අයව බලාගන්න ඕනේ.. එහෙම කරන් නැතුව ලැබිච්ච සීනියර් කම ඔලුවේ තියාගෙන පොඩි උන්ව තලන සිනියර්සලා වැඩක් නෑ... හරි සිනියෝරිටි එක කියන්නේ ඔන්න ඕකයි!!!

    පලි: මම හිතන්නේ මම Malya Cruise කියන ඉස්කෝලේ දන්නවා... නුවර පැත්තේද?

    ReplyDelete
  44. @මම- ඔයලගේ ගමන නම් තිබුනද ,නැද්ද කියන්න දන්නේ නෑ එහෙම ‍රැගක්..
    හැබැයි මේ ගමන නම් තිබුන හොදේ..හික්...(අහ්..ඔයා ඒ ගැන දැන ගන්න විදියක් නෑනේහ්...මොකද ඒක දෙන්න ඇවිත් නෑනේ..)

    ReplyDelete
  45. ග්‍රීස් යකා27 November 2011 at 00:16

    බැචා ලාට card එක. වහාම සින්නන්ට ,super සින්නන්ට බොහෝ විට card එක හෝ මචන්. එතනින් එහාට අය්යා අක්කා තමය්. ජුන්නන්ට card එක. ජුන්නියන්ට නංගී...(1997-2001) කාලය..............@ඕනය ..මේ අපේ ජුන්නියෝ කිහිප දෙනෙක්...යොවුන් රානි .....හිට මකුනි......කෙට මලියා...

    ReplyDelete
  46. මමනං ඕං ගමේ එකේ...ක‍ටුබැද්දේ..එකෙක් නෑ ‍රැග් එකට...උන් ඉතින් ගෙවල් දොරවල් වලට යන්න පාරට එන්න එපැයි...හික් හික් .....

    ReplyDelete
  47. කැම්පස්, ස්කෝලෙ ගිහින් අවුට් වෙච්ච අයියලාට තමන්ගේ පොඩි බැච් කරන වැඩ එච්චර අල්ලන්නෙ නෑ.

    "අපේ කාලේ වගේ නෙවෙයි දැන්" මුන් හරියට වැඩක් කරන්නෙ නෑ!

    ReplyDelete
  48. ජීවිතේ මල් පේරා සයන්ස් නේද?
    එතකොට බුමුතුරුණු ලියන ශාන්. එයා පෝස්ට් එකකුත් දාලා තිබ්බා කාලෙකට කලින්.

    http://bumuthurunu.wordpress.com/2010/09/26/%E0%B6%AD%E0%B6%BD-%E0%B7%80%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F-%E0%B6%B8%E0%B7%94%E0%B6%82-%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94-4/

    ReplyDelete
  49. @ මාතරේ-ඔයා කියන්නේ නැ තමයි,සිනියස්ලා වෙච්ච පලියට පොඩි එවුන් ව යටත් කරගෙන ඉන්ඩ ඕනේ කියලා.ඒත් අපි සිනියස්ලා කියන හැඟීම ආව ගමන් වෙන්නේ ඒක තමයි,කවුරු නැ කිව්වත්.ඔයා ඔය කියන සිනියස්ල ජුනියස්ලා කියන හැඟීම ගෞරවය බලෙන් ඇති කරන්ඩ ඕනේ නැ,ඇති විය යුතු නම්,මං කියන්නේ ඒ පුද්ගලයට ගෞරව කල යුතු නම්,ඒක ඉබේම ඇති වෙනවා.

    ඔබ ඔය කියන සිද්ධියෙත් බෝඩිමේ නොවන අය ඇවිල්ලා ගහලා තියෙන්නේත් අර අපි සිනියස්ලා කියන හැඟීමෙන්ම නෙවෙයිද??ඒ සිද්ධියෙන් පේන්නේ එකම ඉස්කෝලේ ලමයි බේද වෙලා ඉන්න හැටි නෙවෙයිද??

    "ජුනියර්සලා සිනියර්ලට ගරු කරන්න ඕනේ" මෙන්න මේහෙම නියතයක් නැ.ගරු කල යුතු නම් ගෞරවය ලැබෙයි,ඒක ලැබෙන අක්කරයට ජීවත් වෙන්ඩ සහ උපයාගන්ඩ ඒගොල්ලෝ දැනගන්ඩ ඕනේ.පොඩි අයව බලාගන්ඩ ඔතන බබාලා නැනේ??

    මමත් උදාහරනයක් දෙන්නම්-මල්ලි දන්නවද දන්නෙ නැ ichem එක ගැන.මීට අවුරුද්දකට විතර කලින් හිටියා රාජ් කියලා අය්යා කෙනෙක්.දෙමල එක්කෙනෙක්.වැඩිය කාත් එක්කවත් කතාවක් නැ, තමන්ගේ පාඩුවේ වැඩේ කරගෙන ඉන්නවා.ජුනියර් බැච් එකට කුප්පි දානවා,ඒ ආවත් දන්න දෙයක් කියලා දෙනවා මිසක් ඊට වඩා වැඩි වැඩ කරන්ඩ ගියේ නැ.ඒත් හැමෝගෙම හිත්වල එයා ගැන පුදුම ගෞරවයක් තිබ්බා.ඒ ඒ ගෞරවයට පුද්ගලයා සුදුසු නිසා මිසක් ඔය අය්යා මල්ලි කියලා ඇති කරවලා නෙවෙයි. දැන් මනුස්සයා ස්කොල් එකක් ලැබිලා ඇමරිකාවේ කියලයි ආරංචිය.

    ප/ලි- නුවර පැත්තේ තමයි.

    ප.ප.ලි- මේකත් පේරේ ආර්ට්ස් බ්ලොග් එකක්,හිරන්තගෙ-www.rthika.blogspot.com

    ReplyDelete
  50. ප.ප.ප.ලි-තව අමතක නොවෙන එක්කෙනෙක් තමයි,මුදිත අබේසේකර.මෙයා නම් ප්‍රසිද්ධයි.පේරේ හිටපු ඉන්ජෙක්/ඇන්ටි රැගර්. දන්න කවුරු හරි ඉන්නවනං අහලා බලන්ඩ මේ මිනිස්සු ගෞරවය කියන එක උපයා ගත්තේ කොහොමද කියලා.රැගර්ස්ලත් ලෙක්චරස්ලත් දන්න විදිහට මේ මනුස්සයාට ගෞරව කරා.

    ReplyDelete
  51. අනේ දැන් ඉතින් ඔය ඔස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ , එංගලන්තයේ එහෙම උපාධි තියන අයත් ඇවිත් මොනවා හරි කියන්ටකෝ. නැත්නම් ඉතින් ලැජ්ජාවේ බෑ...:D

    මේ පැත්තේ නම් ඉතින් ඔය නෑකම් මුකුත් නෑ.

    හැබැයි පේරාදෙණිය ලස්සන එක නම් ඇත්තයි.

    ReplyDelete
  52. @Gordonia ceylanica,

    //අප්පෝ ඕනයා ......
    ඒ කෙල්ල වල් කෙල්ලෙක් ද? //

    අපොයි ගෑනු ලමයින්ට මෙහෙම කතා කරන්ට හොඳද?..:(

    ReplyDelete
  53. කෝ මේ කකා.. ??????

    ReplyDelete
  54. @Malya Cruise මං මේක ගැන තව දුරටත් කියන්න යන්නේ නෑ.. ඕනෙවටත් වැඩියෙන් මම මේක ගැන ඉස්සෙල්ල කොමෙන්ට් ඒකෙන් පැහැදිලි කරලා තියෙනව.. ඒක තේරුම් ගන්න එක ඔයාගේ වැඩක්.. නැවත නැවත කියෝලා හරි තේරුම් ගන්න.. අනික අර බෝඩිමේ නොවෙන අයියල විතරක් නෙමේ බෝඩිමේ අයියල උනත් අපිට ගහල තියෙනව.. ඒ අර ඔයා කියපු සිනියෝරිටි කියන හැඟීමෙන් තමා.. ඒ උනාට ඒ ගහපුවට අපිට ඕනෙවට වඩා හොඳ දේවල් ඒ අයියල දීල තියෙනව, ඉතුරු කරලා ගිහින් තියෙනව.. අපිත් ඒ දේවල් අපේ පොඩි අයට දෙනව..

    "පොඩි අයව බලාගන්න ඔතන බබාලා නෑනේ" බබාලා නෙමේ උනාට අපිට කරන්න පුළුවන් වගේම කරන්න බැරි වැඩ කොටසකුත් තියෙනව.. ඔයා හිතනවද එදා අපිට ගැහුව වෙලාවේ අපිට ඒ කට්ටියට ප්‍රති ප්‍රහාර එල්ල කරන්න පුළුවන් කම තියෙනව කියල? නෑ.. කොහොමටවත් නෑ.. ඒ උනාට ඒ හැකියාව සිනියර්ස්ලට තිබ්බ.. ඒ ගොල්ලෝ ඒක කරේ යුතුකමක් ඉටු කරනව වගේ..

    මට හිතෙන්නේ ඔයාට කවදාවත් සිනියෝරිටි එක කියන්නේ මොකක්ද කියල අත්විඳින්න බැරිවෙලා තියෙනව.. සිනියෝරිටි එක කියන්නේ මොකක්ද කියල ඔයා දන්නේ නෑ.. නැත්තං ඔයාට බොහොම නරක සිනියර්ස්ලා හම්බවෙලා සිනියෝරිටි කියන වචනෙත් එපා වෙන තරමට චාටර් වෙලා.. සිනියෝරිටි එක අත්විඳින්න බැරි වෙන ඒකට කියන්නේ අවාසනාව කියල.. නරක සිනියර්සලා හම්බවෙලා සිනියෝරිටි එක එපා වෙනවට කියන්නේ කරුමේ කියලා...!!

    පලි: ඔයා දන්නේ නැති උනාට ඔයාගේ ඉස්කෝලෙත් තදින්ම සිනියෝරිටි එක ක්‍රියාත්මක වෙන ඉස්කෝලයක්.. සමහරවිට ඔයා හොස්ටල් එකේ හිටියනං ඔයාට ඒක මොකක්ද කියල අත්විඳින්න තිබ්බ... ඔයත් උදේට ඇවිත් හවසට ගෙදර දුවපු එක්කෙනෙක් වෙන්න ඇති!!!

    ReplyDelete
  55. @ මාතරේ-මං මේක ඔයාට කොච්චර පැහදිලි කරත්,තර්ක කරත් වැඩක් නැ.මොකද ඔයාගේ මතය වැරදියි කියන්ඩ මට ඕන තරං හේතු තියන නිසා.අනිත් එක මන් ඉස්සල්ලාම දාපු කමෙන්ට් එකේ අහලා තියන ප්‍රශ්න එකකටවත් ඔයා උත්තර දීලා නැනේ.මං කතා කරන්නේ ප්‍රති ප්‍රහාර කරන නෙවෙයි,ඇයි ඒ ගොල්ලෝ ඔයාට ගැහුවේ කියලා,එතනත් තියෙන්නේ සිනියොරිට්ය් තමයි.
    අපිව යටත් කරගෙන නොහිටපු සීනියස්ලා ගැන තමයි මං උදාහරන 2ක්ම දීලා තියෙන්නේ.අපි කවුරුත් සීනියර්ස්ලා මත ඩෙපෙන්ඩ් උනේ නැ.අපිට මනුස්සයෙක් විදිහට ගෞරව කරලා කතා කරන ඕනම කෙනෙක්ට අපිත් ඒ ගෞරවය දෙනවා.නැතුව මූ සිනියර් කියලා නෙවෙයි.


    ප/ලි- අපේ ඉස්කෝලේ ලමයි 4500කින් විත්‍ර(1 වසර පටන් ගන්න කලින්) ලමයි 150ක් නැත්තං 200ක් ඉන්ඩ ඇති හොස්ටල්.වැඩිම උනොත් 500ක් කියමු.එතකොට ඔයාම හිතලා බලන්ඩ මොකද්ද තත්වය කියලා.පයින් යන දුරින් ඉඳන් හොස්ටල් ඉන්ඩ පිස්සු නැනේ.ඔයා ඔය කියන එකෙන් මට තේරෙන්නේ ගෙවල් වල ඉඳලා ඉස්කෝලේ එන ලමයි ගැනත් ඔයගොල්ලොන්ගේ අකමැත්තක් තිබුනා කියලා තමයි.සමහර විට ඉරිසියාවක් වෙන්ඩ ඇති.

    ReplyDelete
  56. @Malya Cruise "ඇයි ඒ ගොල්ලෝ ඔයාට ගැහුවේ?" ඔව් ඇත්ත වශයෙන්ම මම ඉස්සෙල්ල කිව්ව වගේ ඒ ගොල්ලෝ නරක සිනියර්ස්ලා වෙන්න ඇති.. තලනව විතරයි කිසි වැඩකට නෑ... බෝඩිමේ දී අපි තැලුනා.. වැඩකුත් තිබ්බ.. ඔයා ඔය කියන ඕගොල්ලෝ මත ඩිපෙන්ඩ් උන් නැති සිනියර්සලා අතර තිබ්බේ බොක්ක වෙන්න ඇති.. බොක්ක සහ සිනියෝරිටි එක කියන්නේ මම හිතන විදිහට දෙකක්!! (සමහරවිට මනුස්සකම කියලත් කියනවා ඇති..) සිනියෝරිටි එකක් තියෙනවන් එතන ජුනියර්ස් සීනියර්ස් කියල වෙන් වෙන්ව අඳුනගන්නත් පුළුවන් වෙන්න ඕනේ.. නැත්තං ඒ සිනියෝරිටි කියන වචනේ තේරුම මොකක්ද?

    පලි: ඉරිසියාවක්ම කියන්නත් බෑ... හැබැයි ඒ අකමැත්ත ඇති කරේ ඔයගොල්ලොමයි.. මං හිතන්නේ ඔයා 2007 බැච් එකට කලින් වෙන්න ඇති.. මොකද 2007 බැච් එකෙන් පස්සේ තමයි බෝඩිමේ අයට පොඩ්ඩක් හරි අනන්‍යතාවයක් ලැබුනේ... එතකන් 1970 ගණන් වලට පස්සේ බෝඩිමේ කිව්වම බල්ලෙක්වත් ගණන් ගත්තේ නෑ.. අනික දැන් ඉස්කෝලේ රන් කරන්නේ බෝඩර්ස්ලා.. :ඩි

    ReplyDelete
  57. @Malya Cruise ආයේ නං ප්‍රතිචාර දෙන්න වෙලාවක් නෑ... ගමනක් යන්න වෙලා.. මොනවහරි කියන්න තියෙනවනං දාලා තියන්න අපහු ආපුවම උත්තර දෙන්නන්...!

    ReplyDelete
  58. @ ඕනය,

    උඹ කොහොමද දන්නෙ පොඩ්ඩයි ප්‍රොෆෙෂනල් කියල?

    ReplyDelete
  59. @ චතූ
    මේ ගමන?
    බොලේ බලාගෙන ගියාම මං මේකේ වෙන ඒවා මොකුත් දන්නේ නෑ නේ
    හැබැයි ෆැකල්ටිය අනුවත් ඕවා වෙනස් වෙනවා නේ...
    මොකද්ද ෆැකල්ටිය?

    ReplyDelete
  60. හිනා කපන යන්තරය, චිලි මෝල්ට්, ෆ්‍රිජ් එක, පාන්දර දෙකට ඇඳුම් පිටින් නාපු එක, නාල අක්බාර් 3rd floor එකේ balcony එකේ ඉඳන් සීතලේ ගැහි ගැහි සින්නන්ගේ තෙල අහගෙන ඉන්න එක, ඔය වගේ දහසකුත් එකක් දේවල් මතක් වෙද්දී නම් රැග් නැති වේගෙන යන එක ගැන දුකක් ඇතිවෙනවා.
    රැග් වීම ගැන වත් රැග් කිරීම ගැන වත් අද වෙනකම් මට නම් කිසිම දුකක් නැහැ. සුන්දර මතකයන් ටිකක් විතරයි ඉතුරු.
    කොහෙද මේ පාහර කාලකන්නි ටිකක් තමුන් ගේ වෙන වෙන ඔනෙකම් පිරිමහගන්න ගිහින් දැන් සින්නෙක් ජුන්නෙක් එක්ක වචනයක් කතා කරොත් පන්ති තහනම් වෙන තැනට යනකම් ඇවිත් නේ.
    අපේ කාලේ රැග් වීම බොහොම normal විදිහට ගියේ. ඒ වෙනකොටත් රැග් තහනම් කරලා තිබුණු නිසා රැග් කරන එකා දැනගෙන හිටිය තමුන් ගේ ආරක්ෂාව සලසා ගන්න. රැග් කරලා අහු උනොත් ඌ බේරගන්න strike කරන්නේ නැහැ කියල කල් ඇතුවම warn කරලා තිබුනේ.
    කෙනෙකුට රැග් නොවී ඉන්න ඕනෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම ඉන්න පුළුවන්. උන් ට පස්සේ බැච් එක එක්ක එකතුවෙන්නත් කිසි බාධාවක් උනේ නැහැ. එකම කොන්දේසිය ඊළඟ අවුරුද්දේ රැග් කරන්න අවසර නැති වීම විතරයි.
    කවුරුවත් කාටවත් ගැහුවේ නැහැ රැග් එක මුල් කරගෙන. කොටින්ම ඇඟට අතවත් නොතැබීම රැග් එකේ රීතියක්.
    එක එක maniya කාරයෝ ඕව misuse කරන්න ගිහින් තමයි අද තියෙන තැනට රැග් එක ඇවිත් තියෙන්නේ. රැග් නාමෙන් මිනි මරනවා (වරප්‍රගාෂ් සිද්දිය), පාරවල් දිගට ගහ ගන්නවා, කොටින් ම අද විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් කියන්නේ සමාජයේ හොඳ පිළිගැනීමක් තියෙන කෙනෙක් නෙවෙයි. ඇත්තටම කණගාටුයි.

    ReplyDelete
  61. @ All
    Thanks guys!

    මෙතන මගේ කේස් එක වුනේ කැම්පස් කොල්ලෝ කෙල්ලෝ නිකං බාලාංශ පන්තිවලදීත් අපි නොකරපු විදියට නංගී, මල්ලී, අයියා, අක්කා ලෙවල් එකට පල්ලම් බැස තිබීමයි.

    මගේ අදහස අනුව ඒක පසුගාමීත්වයක්. එක තැන එක දේ කරන අපි සමානයෝ, අනවශ්‍ය අයියා කෑලි වලින් වෙන්නේ නොහොඳක්.

    මං ගිය කණිෂ්ඨ විද්‍යාලයේවත්, ඊලඟට ගිය මධ්‍යමහා විද්‍යාලයේවත්, ඊටත් පස්සේ ගිය කොලඹ ඉස්කෝලේවත් ඒ ජෝක් කෑලි තිබුනේ නෑ. මට හොඳට මතකයි මං නමේ පන්තියේ ඉන්න කාලේ ඒ ඉස්කෝලේ දොලහේ පන්තියේ හිටියා අද ඉතා ජනප්‍රිය නළු බට්ටෝ දෙන්නෙක්. අපි කවුරුත් උන්ව නමින් මිසක එදත් හැඳින්නුවේ නෑ. අදත් නෑ.

    පේරාදෙනියේදීත් සිද්ධිය එහෙමයි. නම මිසක අයියා මල්ලී කෑලි තිබුනේ නෑ.

    ඔය උඩින් හොඳ ලිපියක ලිපියනයක් තිේ‍රනවා බලන්න අද ප්‍රොෆෙෂනල් සමාජයටත් ඔය අයියා මල්ලී කෑලි ගිහින් අලවෙලා තියෙන හැටි ගැන.

    අවසාන වශයෙන් කිව යුත්තේ මං මේ ලිපිය ලිව්වේ රුග් එක ගැන නෙමෙයි.

    ඒ බට කැලේට වෙන දවසක ගිනි තියන්නයි හිටියේ.

    සැටඩේ ස්පැෂල් දාපු එකෙන් මං 2011 අප්‍රියෙල් 24 දා සිට මාස හතක් තිස්සේ කොරගෙන ආපු සන්ඩේ ස්පැෂල් එකටත් කෙලවුණා. මේක පස්සේ දවසක සන්ඩේ ස්පැෂල් ගොඩට ඇදලා දාන්න ඕනෑ!

    Thanks once again.

    ReplyDelete
  62. @පොකු,

    // අනේ දැන් ඉතින් ඔය ඔස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ , එංගලන්තයේ එහෙම උපාධි තියන අයත් ඇවිත් මොනවා හරි කියන්ටකෝ. නැත්නම් ඉතින් ලැජ්ජාවේ බෑ //

    මේ පෝස්ට් එක පේරා අයට විතරයි කියලා කකා මුලින්ම කිවුවනේ.. ඒක නිසා මමනං මේක කියෙවුවෙවත් නෑ.. ඉතිං කොහොමද මොනාහරි කියන්නෙ..!? :D

    ReplyDelete
  63. @ ඕනයා
    ඔගේ නං පද පෙරලුම් දෙයියෙක්!

    ReplyDelete
  64. @ All
    මේ ප්‍රශ්ණයේම අනිත් විහිළුව තමයි මෙතනදී මට ගෝඩොනියා කියන බ්ලොග්කරු සහ මම කියන බ්ලොග්කාරිය මාමා යැයි කීම.

    එයින් හැගෙන්නේ අනවශ්‍ය බාල්දු වීමක් බවයි මගේ අදහස.

    බ්ලොග් ලියන අපි සැම සමානයෝ. මට කතන්දරකාරයා කීමට අකුරු ටයිප් නොවෙන්නේ (දිව නොනැමෙන්නේ) අමුතු හැදියාවක් නිසාද? තමන් ගැනම ඇති අවතක්සේරුවක් නිසාද?

    ReplyDelete
  65. @ කතන්දර,
    සමාවෙන්න..බ්ලොග් ලෝකයට මම තාම අලුත්,
    මේකේ තියෙන සාමාන්‍ය සිරිත් විරිත් වලට පිටින් යනවා නං තරහ අවසර...
    වැඩිහිටියෙක් කියලා දැන දැන නම කියලා කථා කරන 1 මට ටිකක් අමාරු දෙයක්
    (ඒ මගේ අමුතු හැදියාවක් වත් අවතක්සේරුවක් නොවන වග කරුණාවෙන් සලකන්න)
    එක මගේ පුරුද්දක්
    ඔං එහෙනං මීට පස්සේ මං කසු කියන්නං............

    ReplyDelete
  66. @ මම
    මේකයි වැඩේ සයිබර් ලෝකෙයේ දී හමුවන එකම වැඩේ කරන අයගේ වයස උපකල්පනය කරමින් ඒ අය නෑකම් සෙවීම කියන්නේම කාලයක් ගත කරන්න ඕනෑ වැඩක් නේ?

    ඇයි අපි එහෙම කරන්න පෙලඹෙන්නේ?

    ඇයි වයසේ අඩු වැඩිකම නිර්ණායකයක් කරගන්නේ?

    මං දැකලා තියෙනවා සමහරු ඔන්ලයින් ලියන කොට අක්කේ හරි මල්ලී හරි වගේ මුලින් කියලා ඊලඟට අනේ අක්කේ කිව්වට නංගි දන්නේ නෑ වගේ කතාත් ලියනවා.

    ඒ සේරම නැතුව දන්න නම කිව්ව නම් ඉවරයි නේ!

    ReplyDelete
  67. @කකා,

    මම හිතන්නෙ එහෙම වෙන්නෙ ඉස්සරකාලෙ ඉඳන්ම අපේ අයට පුරුදුවෙලා තියෙන ඇමතීමෙ රටාව නිසා කියලයි.. අපේ අය ඉතිං ජාති නෑ කම නිසා කවදාවත් නොදැකපු කෙනෙකුට වුනත් නැන්දෙ, මාමෙ, අයියෙ, අක්කෙ කියන්න පුරුදුවෙලානෙ තියෙන්නෙ.. සමහර උදවියට එහෙම නොකියා නමින් විතරක් ඇමතීම නුහුරු ඇති.. අර මකරා කියන්නැහේ ඒක ඉතිං එක එක්කෙනාගෙ Communication Protocol වල වෙනස නෙවෙයිද..!?

    ReplyDelete
  68. කසු, පොඩි ඌනපූරණයක්,
    මම රැග් එක ගැන විශේෂයෙන් කිව්වේ මචන් හෝ කාඩ් භාවිතයේ සිට අයිය මල්ලි ලෙසට කැම්පස් ඇමතීම වෙනස් වීමට රැග් එක ඇති නැති වීම සහ රැග් එක ක්‍රියාත්මක වූ ආකාරය බල පෑ බවට මම අදහස් කරන නිසාත් ඉහත කොමෙන්ටු කිහිපයක රැග් පිළිබඳව දරුණු වාග් ප්‍රහාර පළවූ නිසාත් ය. නැතුව මුල් මාතෘකාවෙන් බැහැර වීමට මම අදහස් නොකලෙමි.

    ReplyDelete
  69. කබාය ඉරිලා ඊට කමන් නෑ, මා දැන් මහළු වියේ. . .

    රදළ පැලැන්තියේ කෙනෙක් (පොඩි කුමාරිහාමි) ලියන්න ඇරයුම් කළ නිසා මම ඇමරිකාවේ ඉඳන් ලියනවා. පේරාදෙණියට හැතැප්ම දෙකකට එහායින් ළමා කාලය ගත කලත් ඒ ලස්සන පරිසරයේ ඉගෙනගන්න මට වාසනාව තිබුනේ නෑ. මම කතාකරන්නේ 1960 ගණන් ගැනයි. අපි වලේ සෙල්ලම් (සරච්චන්ද්‍ර කාලේ) බැලුවේ වැටෙන් පැනලා ගිහිනුයි. (සරච්චන්ද්‍ර ඇසුරෙන් මට තව අත්දැකීම් තියෙනවා). ධනපාල (මහාචාර්‍ය්‍ය --පාල ගේ සහෝ) මචං එන්න විජේවර්ධන එකේ දානෙට කිව්වහම ඒ පුන්‍ය කර්මයට සහභාගී වෙලා තියෙනවා. ඊට ඉහලින් වුන දේ තමයි අවුරුදු 14දී 20ස්සේ සිසුවිය හා අතර සිදුවූ සිද්ධියක් නිසා උන්මත්තක වූ හෙයින් අවුරුදු විස්සක් පමණ ලස්සන අය ලස්සන / අවලස්සන කියා නොපෙනුනු එක.

    අවුරුදු දෙකක් කටුබැද්දේ බැද්ද සුද්ද කරලා විශ්ව විද්‍යාල හදන්න ඉස්සර වෙලා ජේ.ටී.ඕ. හදාරන්න උතසහ කළත් ඔළුව තිබුනේ තව තැනක නිසා හැසිරීම අශොභනයි කියලා එලියට දැම්මා. එතන අපේ බැච් එකේ අයව රැග් කරලා පූර්ණ වරම් ලැබුනාට ටික දිනකට පස්සේ එකෙක් අපේ රෙසිඩෙන්ශල් හෝල් එකට ඇවිත් රැග් කළා කියා ලැබුනු ආරංචියෙන් සෝදිසියෙන් ඉඳලා ඌව අල්ලලා ඔලුවෙන් බාගයක් බූ ගාලා ගෙදර ඇරියා මට මතකයි.

    ඔය රැග් කිරිල්ල තවමත් තියෙනවා නම් ඒක වැරදියි. ඒ වෙනුවට අයියලා අක්කලා සංවිධාන වෙලා අළුතින් එන අයට කැම්පස් එකේ තැන් පෙන්නලා ඒ කරන ගමන් ඒකේ අළුත් පරණ සිරිත් විරිත් උගන්වනවා නම් අර මල්ලිලා නංගිලාට කොයි තරම් සන්තෝෂයක් ඇතිවෙයිද? ඔය අමන දේ මගේ බැච් එකේ එවුන් කරලා එකෙකුට සිහි මද වෙලා ගමේ ඉන්නවා කියලා හිතාගෙන බයිසිකලේ හොයන්න පටන් ගත්තා. ඉතිං අපි ඒ (මල්ලිව?) දොස්තර ලඟට අරගෙන ගියා. එයා බී කොම්ප්ලෙක්ස් ඉන්ජෙක්ශන් එකක් දීලා පියවි ලෝකෙට ගෙනාවා.

    මෙහේ ඉන්න කැලෑ සුබයිර් කියන තැනැත්තී (http://sites.google.com/site/calazubair/) ලියලා තියෙනවා ලිපියක් පේරාදෙණියේ ඉන්නවා කියලා රැගර්ස් කියලා සීනියර්ස් සමූහයක් අළුතින් එන අයට හරියට සිංහල කතා කරන්න බල කරන ජාති වාදී, කඩුවට විරුද්ධ පිරිසක් ගැන.
    http://studentorgs.utexas.edu/salsa/proceedings/2011/04TLF54-Zubair.pdf
    මම එයාට කතා කරලා ඇහුවා මම කැමතියි ඔයා කියන කඩුවට විරුද්ධ අය සමග කතා කරන්න, මමත් ඒ වගේ පිස්සෙක් කියලා. එයා කිව්වා එයා ඒ ළමයින් සමග කළ සාකච්ඡාවල් රහස්‍ය නිසා මට ඒ අය හඳුන්වලා දෙන්න බෑ කියලා. දැන් මම කතා කළොත් එයා මාව මග අරිනවා. හා හා! මේ ගැන විස්තරයක් කව්රුන්ටවත් කියන්න පුළුවන්ද?

    මම මේ සිංහල ලිව්වේ වෙන විදිහකටයි. ඒ කියන්නේ දෙරුව හෙළ කියන ක්‍රමයටයි. මේ දෙපොලෙන් ඒවා කියවා බලාගන්න. (මයික්‍රොසොෆ්ට්) ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරර් එකෙන් ඒවා හරියට පෙන්වන්නේ නෑ.
    http://www.ahangama.com/ (WordPress blog)
    http://www.ahangama.com/sing/
    http://www.lovatasinhala.com/ (ෆයර්ෆොක්ස් එකේ නම් සිංහල අකුරු පෙනෙන්න පිටු මාරු කළ යුතුයි)

    මෙන්න ලතින් අකුරු සිංහල: menna laþin akuru síhala


    කවිරුත් මේ ගැන හොඳ නරක කතා කරන්න කැමති වෙයි දෝ? යොනිකේත (සංස්කෘතෙන් කෙත කියන්නේ ආසා කරනවා කියන එකයි) අය නම් මේකට ජම්ම වෛරයි.

    ReplyDelete
  70. අපෙත් නංගි මල්ලි තමා යන්නෙ.. ඒත් චුට්ටක් ෆිට් වෙච්ච ගමන් මචං තමයි.

    ReplyDelete
  71. @මම-හයියෝ....!!!
    කම්මලේම තමා.... :DDDD
    අනික් තැන්වල කම්මලට වඩා දරුනු විදියට තිබුන...
    මස්කඩේ නම් නෑ ඕං...
    ඒත් වෙන වෙන කස්ටිය මස්කඩේ කස්ටියව බයිට් කරනව නේහ් ‍රැග් කිය කියා...

    ReplyDelete
  72. @ චතූ
    මොකක්?
    කම්මලේ..?
    හොස්ටල් ද?

    ReplyDelete
  73. කතන්දරගේ 'අයිය - මල්ලි' කෙළිය නැගලා යනවා.

    ඔය වගේ තව කෙළියක් තමයි බලෙන් 'සර්, මැඩම්" කියලා කියවාගන්න එකයි (විශේෂයෙන්ම වැඩපොලවල්වල්) සහ 'ඔබතුමා - ඔබතුමී" සීන් එක (විශේෂයෙන්ම "චැට් ඇන්ඩ් ලයිව්" එකේ).

    මේකත් සන්ඩේ එක්ස්ට්‍රා ස්පැෂල් එකකට හොඳ මාතෘකාවක්!

    ReplyDelete
  74. රැග් කිරීම (ඇමරිකාවේ hazing) විශෙෂවූ සමාජයකට භාර ගැනීම සඳහා කරන initiation (සං: දීක්‍ෂ) කිරීමක්. අපි පේරාදෙණියේ, අපි කොළඹ, අපේ බැච් එක, එයා අයියා / අක්කා කෙනෙක් ආදී වශයෙන් කියන්නෙත් තමන්ගේ වර්ගයේ අයගේ සම්මුතියේ ආරක්‍ෂාව ලබාගන්නයි.

    මම හිතනවා අපි හිතෙන් සමාජ අට්ටාලයක් හදාගෙන අනික් හැම දෙනාටම එක්කෝ අපට සමානව හෝ ඉහලින් හෝ පහලින් ඒ අට්ටාලයේ තැන් නියම කරනවා කියලා. මිතුරාගේ හතුරා මගෙත් හතුරා ආදී වශයෙන් කොටස් කර ගත්තහම ලේසියි. වැඩිය හිතන්නේ නැතිව තමන්ගේ ආරක්‍ෂිත ස්ථානය තබා ගන්න.

    මම ඉස්සර කියෙව්වා Tom Brown's School Days කියන පොත. මගේ හිතේ ඒක චිත්‍ර පටියක් ලෙසත් ආවා. ඒකේ කියනවා එංගලන්තයේ ඉහල පංතියේ Eton, Rugby වගේ විද්‍යාලවලට (Public Schools) ඇතුලත් වන අයව දරුනු ලෙස රැග් කරනවා. ඒක නිකම් මානසික හා ශාරීරික පීඩා විඳගන්න ඇති හැකියාව ඒ විශෙෂ වූ සමාජයට ඇතුලත් වීමට සුදුසු කමක් කියලා පෙන්වන්නයි. ඉස්සර පේරාදෙණියේ හර / kultur කියලා දෙපිල වෙලා හිටියා. low / law දෙක වෙන් කරලා උච්චාරණ කරන්න පුළුවන්ද වගේ ඒවා අනුව මේ පිල් දෙක බෙදුනා.

    අමෙරිකානුවන් අතර ගැවසෙන්නට අවශ්‍ය වන ව්‍යාපාරයක් කරන මට පෙනෙනවා හෙළයා ඔවුන්ට වැඩියෙන් කණ්ඩායම් වෙනවා කියා. ඒක හීනමානයක් නිසා දෝ? ටෙලිෆෝන් එකෙන් අමුත්තෙක් කතා කළ පමණින් අපට කියන්න පුළුවන් ඒ සිංහලයෙක්ද කියා. නමුත් මුල් වතාවේ දී කතාව යන්නේ ඉංග්‍රීසියෙන්. ඒ අතර හොයා ගන්නවා මොන ඉස්කෝලෙටද ගියේ, මොන විශ්වවිද්‍යාලයටද ගියේ, ගෑණි-මිනිහා කව්ද, මොන කුළයේද ආදී දේවල්. හරියටම ගැලපෙන්න ඕනේ සිංහලෙන් කතාව පටන් ගන්න, මචං ලෙවල් එකට එන්න. මම මේ කරන එකට කියන්නේ 'Cow The Moo' ටෙස්ට් එක කියලායි. ඒක පාස් වුනේ නැත්නම් තමන් කියන දේ අනිකුන් අහන්න හිතන්නේ වත් නෑ.

    ReplyDelete
  75. මගේ ඡන්දේ මචං කියන්නයි. ඒක දෙමළ මචං කියලා ගත්තොත් මස්සිනා වගේ සමානත්වය පෙන්නුම් කරනවා. ඉංග්‍රීසි m'chum (my chum) කියන එක හැටියට ගත්තොත් ගෑනු-පිරිමි භෙදය නැතිව කියන්න පුළුවන්. මම ඒක එහෙම කරනවා දැකලාත් තියෙනවා.

    ReplyDelete
  76. කසු
    හොද සමීක්ෂණයක්
    තව වැඩි දියුණු කරන්න පුළුවන්,university enter වුනු year එක ඇතුලත් ක‍රන්න.
    එතකොට මාමලා, සීයල , ආච්චිලා ..ආදී සියලු නෑකම් සහ seniors/juniors track කරන්න පුළුවනි.

    ReplyDelete
  77. කතන්දර, ඔයා ගිය කොළඹ ස්කෝලෙටම තමයි මමත් ගියේ. මම අවුට් වුනේ 2009.

    අපේ ස්කෝලෙ උඩ බැච් වල අයට අයියා කියලා තමයි කතා කරන්නෙ. නමුත් ඔය ලොකු සීන් දෙන එකක් ඒකෙ නෑ. ගොඩක් ‍ෆිට් නම් ඉතින් මචන් තමයි.

    ReplyDelete
  78. විසිතුරුට දැන් විශෙෂ වරප්‍රසා ද ලැබෙයිදෝ? නාකි මටත් ඔහෙ කියන්න දෙයිද? නාකි කතා කියන කොට මට හම්බ වුනා තම දරුවන් බලන්න නිවාඩුවට ආපු නුවර පදිංචි කෙනෙක්. එයා මම සැක කරන ඔය දෙන්නා ගිය ඉස්කෝලෙන් *පිටවෙලා* තියෙන්නේ 1949 දීයි!

    ReplyDelete
  79. I was in Pera (Engineering) from 1998. We also talked to our seniors as " Ayya" and juniors as " Malli". Im not sure when it was started.
    But I also think, 1988/89 is a turning point, that might have change some practices.

    -From Tokyo

    ReplyDelete
  80. @මම-ඔව් ඔව්...
    ;)

    ReplyDelete
  81. මම පේරාදෙනියෙ පශු වෛද්‍ය පීඨයේ. අපේ පැකල්ටි එකේ නම් ඉන්නෙ මචංලා විතරයි. කෙල්ලො නම් අක්කලා, නංගිලා. අපි නම් අපිට බැච් 4ක් සීනියර් අයටත් කාර්ඩ් කියලා තමයි කථා කලේ. හැබැයි ඉතින් ඔය පුස්ථකාලෙ ඇර අනිත් තැන් වලදි දකින්න නොලැබෙන, පාඩම් කරනවා ඇරෙන්න වෙන කිසි දෙයක් නොකරන එවුන් ඉතින් අපිත් එක්ක වැඩිය සෙට් වෙන්නෙ නෑනෙ. උන් නම් මල්ලිලා, අයියලා. ඇත්තම කියනව නම් අපේ පැකල්ටි එකේ නම් සින්නෙක්ට කාර්ඩ් එක කියලා කතාකරනවා කියන්නෙ ඒ ජුන්නයි, සින්නයි සෑහෙන සමීපයි කියන එක.

    ReplyDelete
  82. පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ කාන්තා සමලිංගික හිංසනය

    මෑතකදී පලවූ පුවත්පත් වාර්තා අනුව පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික අර්බුදයට අමතරව සදාචාරාත්මක අර්බුධයන්ටද මුහුණ දී සිටියි. මෙම සදාචාරාත්මක අර්බුධය පිළිබඳව කරුණු හරි හැටි තවමත් හෙළිවී නැත. එහෙත් එය ඔඩු දිවූ ප්‍රශ්නයකි.
    බොහෝ විට විශ්ව විද්‍යාල බලධාරීන් පවා ඒ සම්බන්යෙන් කරුණු ජනතාවට හෙළි නොකරති. එහෙත් සත්‍ය නම් බොහෝ කාලයක් පුරා පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සිසුවියන් අතර කාන්තා සමලිංගික හිංසනය තදින් පැතිරී තිබීමයි. මේ ගැන එළි පිට කතා කිරීමට කිසිම පුවත් පතක් මෙතෙක් නිර්භය උත්සාහයක දී නැත.


    read more
    http://andarademala.blogspot.com/2012/02/blog-post.html

    ReplyDelete
  83. මං කොම්පස් ගිය කාලේ ඔය අය්යමල්ලි කතාව තිබුනේ නැහැනේ.,..
    ලොකු පින්තූරේ අනුව බැලුවහම පසුගමනයක් තමයි

    ReplyDelete
  84. දැනට ජුන්නොන්ට සහ වහාම සින්නොන්ට නම් කාඩ් එකෙන්ම කතා කරනවා.. ඊට ලොකු උන් සහ පොඩි උන් ඉතින් අයියලා මල්ලිලා තමයි...
    අර උඩ කවුද කියල තිබ්බ වගේ සමහර එවුන් ඉන්නවා මචං ලෙවල් එකට ගත්තම කරේ නගින්න එන..
    ඒක ඉතින් මල්ලි කියල කතා කරාම නිකන්ම අඩු වෙලා යනවා..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.