Wednesday 2 November 2011

කඩ්ඩෙන් ලව් කළ හැකිද? - Can you express love in a third language?


වඩාත් සාධාරණීය කරල මේ මාතෘකාව ඇත්තටම කියවෙන්න ඕනෑ, තමන් ගේ මුල් භාෂාවලින් හැර වෙනත් තුන්වන භාෂාවකින් ආදරය කළ හැකිද? කියලයි.

මට මේ ප්‍රශ්ණය ආවේ මීට හරියටම පරම්පරාවකට විතර කලින් මං කැම්පස් එකේ ෆර්ස්ට් ඉයර් එකේ ඉන්න කාලේදීයි.

ඔන්න මේ කියන දවසේ හවස් වරුවේ මං පොඩි උවමනාකවකට කැම්පස් එක මැදින් ආට්ස් ෆැකල්ටිය හරියේ ඉඳලා ගෙම්බා කැන්ටිම ලඟින් වැටිලා තිබුණු අඩි පාරේ ගලහ පාර පැත්තට යනවා.

මා ඉස්සරහට ආවා කපල් එකක්. මේ දෙන්නාම මං හොඳට දන්නවා සිංහල. කපල් එක මාව පහු කරගෙන යන කොට මට තේරුණා මේ දෙන්නා කතා කර කර ගියේ කඩ්ඩෙන් බව.

එතකොටයි මගේ හිතට ඔය උඩින් තියෙන ප්‍රශ්ණයේ එක් උප ප්‍රශ්ණයක් වන සිංහල දෙන්නේකුට කඩ්ඩෙන් ලව් කළ හැකිද? කියන ප්‍රශ්ණය හිතට ආවේ.

ආදරේ වගේ අති සියුම් අදහස් තමන් ගේ මව් භාෂාවෙන් හැර වෙනත් භාෂාවකින් ඒ අවශ්‍ය ආකාරයටම ප්‍රකාශ කරන්න පුළුවන්ද කියන එකයි මට එවෙලේ ආපු ගැටළුව වුනේ.

දැන් අවුරුදු කීපෙකට කලින් රාජිනී සහ දයාපාල තිරානගම දෙන්නා ගේ ලව් අෆෙයාර් එක ගැන "නෝ මෝ ටියර්ස් මයි සිස්ටර්!" කියන වාර්තාමය චිත්‍රපටිය බලද්දීත් මට මේ කරුණම තමයි සිහියට ආවේ.

අපේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ, ඉංජිනේරු පීඨයේ, සිංහල, දෙමල භාෂා කතාකරන සිසුන් දෙපිරිසම හිටියත්, අන්තර් භාෂා ආදර සම්බන්ධකම් හෙම තිබුනේම නෑ මං දන්න තරමින් අපේ කාලේ.

අපිට කලින් කාලේ වුනත් දුරාවරේ එකකට දෙකකට වැඩිය තිබිලා නෑ කියලයි ආරංචිය.

xx xxxx වගේ දෙමල කෙල්ලො හිටිය අපේ බැච් එකේ, සිංහල කොල්ලන් අතර නිරතුරු කතාබවට ලක්වෙච්ච. ඒත් මං හිතන්නේ නෑ, සිංහල කොල්ලෙක් ඇතින් ඒ පිච්චමල් දිහා බලමින් සතුටු වුණා මිස, මල් කඩන්න ගියාය කියල.

ඒ වගේම, xxxx වගේ සිංහල කෙල්ලෝ හිටියා, මං හොඳට දන්න විදියට දෙමල කොල්ලන් අතර නිරතුරු කතාබහට ලක්වුණු. නමුත් ඒ රෝසමල් දිහා බලමින් සතුටු වුණා මිස, මං දන්න තරමින් දෙමල කොල්ලෝ කවුරුත් මල් කඩන්න ගියාය කියලා මං හිතන්නේ නෑ.

මේකට හේතුව භාෂාව ද, නැත්තම් බයක් ද මන්දා?

ඒ එක්කම මං පස්තාච්චි කුපාඩියක් කොරන්න ගිය ආසියානු තාක්‍ෂණික ආයතනයේත් විවිධ රටවල්වලින් විවිධ භාෂා කතාකරන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ හිටියා වුනත් තුන්වෙනි භාෂාවකින් කරගෙන යන අන්තර් භාෂා "සෙම් සබඳතා" තිබුනේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්.

ඒ විදියට ලව් කරලා විවාහ වෙච්ච මං දන්න ජෝඩු දෙකක්ම දැන් අවුරුදු කීපෙකට කලින් ඩිවෝස් වෙලා බවත් කණගාටුවෙන් වුණත් මෙතන ලියන්න වෙනවා.

අපේ පොරවල් රුසියාවට හරි වෙනත් බටහිර රටකට හරි ගිහින් එහේ දේශීය කෙල්ලෝ එක්ක සෙට් වුණාම ඒකට තුන්වෙනි භාෂාවක් සම්බන්ධ නැති නිසා ඒ කේස් මේ ගොඩට දාන්න බෑ.

ප්‍රතිවිරුද්ධ නිදර්ශනයක් විදියට මං දන්නේ එකම එක කේස් එකයි. මං දන්න කපල් එකක් ඉන්නවා දෙන්නා හම්බවෙලා තියෙන්නේ නැගෙනගිර ජර්මනිය හරි බල්ගේරියාව වගේ රටක ඉගෙන ගන්න ගිහින් ඉන්දැද්දීයි.

දෙන්නා ලව් කරන්නේ ඒ රටේ භාෂාවෙන්.

මෙන්න මේ ලිපියට අදාල වෙනත් කතන්දර.

1. කඩ්ඩෙන් සිතීම

2. තායි කෙල්ලෙකුට ලව් කිරීම

-කතන්දරකාරයා

ප/ලි:
කොල්ල කාලේ ඕනෑවට වඩා Blue චිත්‍රපටි බලපු සිංහල පොරකට "ලව් මේකින්" වෙලාවේ දී විතරක් සිංහල අමතක වෙනවා කියලා කවුද මන්දා තීරු ලිපියක ලියලා තියෙනවා මං දැක්ක බව මතකයි.


(image: http://www.whitegadget.com/pc-wallpapers/140319-love.html)

61 comments:

  1. සමහරු කියනවා ආදරේ කරන අයට ඇස්වලින් කතා කරන්ට පුලුවනිලු. එහෙම නම් ඉතින් භාෂා ප්‍රශ්නයක් එන්ට විදියක් නෑනේ.

    ඒ කාලේ ඉතින් කතන්දරට වෙන කල්පනා කරන්ට දෙයක් තිබිලත් නෑ වගේ ආදරය ගැනයි, කවි ලියන එකයි ඇර...:)

    දෙමළ කෙල්ලෝ - පිච්ච මල්
    සිංහල කෙල්ලෝ - රෝස මල්
    නරකමත් නෑ.

    ReplyDelete
  2. ඇයි කයිට්ස් ෆිල්ම් එකේ රිතික් රෝෂන් අර කෙලි පැටික්කිත් එක්ක ලව් කරන්නේ භාෂාව මොකුත් දන්නේ නැතුව :))

    කෝකටත් අරුණි අක්කගේ අදහසත් මේ කතාවට වැදගත් වෙයි

    ReplyDelete
  3. "සෙම් සබඳතා"-වඩාත් ගැලපෙන වචනයක්

    ReplyDelete
  4. අපොයි පුළුවන්.. මගේම අත්දැකීමෙන් කියන්නේ.. :)

    ReplyDelete
  5. ඕව මොනවද මෙයා අපෙ නැන්දම්මයි මාමන්ඩියි මැරෙනකං ලව් කලේ කඩ්ඩෙන්නෙ. අපි වඳිනකොටයි අපිට ලියුං ලියනකොටයි May mighty triple gem bless you කියල ලියනව. මුල්ම දවසෙ මං ඇහුව triple gem කියන්නෙ මොකක්ද කියල. මං ඉතින් දන්නෙ තිසරණ සරණ පමණමයිනෙ. හපොයි කට වහගෙන ඉන්නෙ නැතිව කරගන්න දේවල්....

    ReplyDelete
  6. දෙන්නටම හරි හැටි නොතේරේන භාෂාවකින් ආදරය කරන්න තියෙනම් , ආදරය මේ තරම් සංකීර්ණ වෙන එකක් නැහැ. ආදරය මේ තරම් දුකක් කණගාටුවක් ගේන එකක් නැහැ.

    අනික අනිත් කෙනා වෙනත් රටක වෙනත් භාෂාවක සංස්කෘතියක කෙනෙක් නම් , එ පුද්ගලයාගේ අපූරත්වය හැමදාටම රැඳිල තියේ වි.

    ReplyDelete
  7. මෙහෙමයි මහත්තයෝ ලංකාවේ එක පන්තියක් තියෙනවා කඩුවෙන් හිතලා සිංහලෙන් කතාකරන. මම ඒ වගේ යාළුවෝ ගොඩක් ආශ්‍රය කොරලා තියෙනවා. ඔය රනිල්, ජේ ආර්, සැටලයිට්, මංගල එහෙම ඒ සෙට් එකේ අය. ඉතින් ඒ ගොල්ලෝ ලව් කරන කොට අර බොක්කෙ තියෙන කඩු එලියට පනිනවා.

    දෙමළ කෙල්ලො පිච්ච මල්
    සිංහල කෙල්ලො අරලිය මල් උනානම් හොඳ නැතෙයි..

    ReplyDelete
  8. "මව් බස හැර වෙනත් බසකින් සිහින පේනවද?-මම නම් ජීවිතේට ඉංග්‍රීසියන් හීන දැකල නෑ"
    මගේ ඉංග්‍රීසි ගුරුතුමෙක්(එවකටත් අවුරුදු 30ක් විතර තිසිසේ ඉංග්‍රීසි උගන්වා තිබුණ) සිසුන්ට නිතර කියපු දෙයක් තමයි ඒ.
    ඒකේ තේරුම මේකයි.අපි සිතන්නේ මව් බසින් ම පමණයි.වෙනත් බසකින් කතාකරන්නේ ලියන්නේ දඅහස පළමුව මව් බසින් හිතල සිතින්ම අනෙක් බසට පරිවර්තනය කරගෙනයි.

    ReplyDelete
  9. සිතුවිලි වලට භාශාවක් නැහැ. අවශ්‍ය කරන්නේ සැබෑවට ආදරය කරන්න සහ ආදරය ලබන්න නම් භාශාව එච්චර වැදගත් නැහැ. හැබැයි අවශ්‍ය වෙන්නෙ ආදරයේ නාමයෙන් රවට්ටන්න නම් භාශාව , වචන, වචන වල තේරුම අනිවාර්‍යෙන්ම අතයාවශ්‍යයි.

    ReplyDelete
  10. මට නම් හිතෙන්නේ ආදරේ ප්‍රකාශ කරන්න පුළුවන් හොඳම විදිය තමන්ගේ මවු භාෂාව කියල. ඒ භාෂාවෙන් තරම් වෙන කිසිම භාෂාවකින් හැගීම් හරියටම ප්‍රකාශ කරන්න බා....

    ReplyDelete
  11. ඉන්ටනැෂනල් ලව්....!

    ReplyDelete
  12. ඔය මොන භාශාව තිබ්බත් තමන්ගෙ මව්භාශාව පාවිච්ච් කරනව තරන් දැනෙන්න කතා කරන්න,හැගීම් ප්‍රකාශ කරන්න වෙනත් භාශාවකට පුදුවන්ද කියල සැකයි විශේෂයෙන් ආදරයෙදි.

    ReplyDelete
  13. අනේ මන්දා මට නම් ඔව්වා තේරෙන්නේ නෑ.. මොකද තාම මව් භාශාවෙන්වත් හරියට එකක් කරගන්න බැරිඋනා තාමත්! :D

    ReplyDelete
  14. අඩේ අර දෙමළ කෙල්ලො පිච්චමල් උනේ..උං කොන්ඩේ පිච්චමල් ගහන හින්දද...හැබැ සිංහල කෙල්ලො රොසමල් උනේ කොහොමදැ...නටුවෙ කටු තියෙන හින්දද....
    මොනාඋනත් මචං ආදරේට ඔය ජාතිය සංස්කෘතිය වයස භාෂාව...වගේ දේවල් බාහිර බලපැම් විදිහට සලකන්ඩ පුලුවන් නේද...හැබැ දීග කනව කියන එක වෙනම ප්‍රශ්නයක්....

    ReplyDelete
  15. 'ලව්' කොරන එකට කොහොම වුනත් 'ලව් මේකින්' වලට නං බාසාව නෝ ප්‍රොබ්ලම්.

    ReplyDelete
  16. කොල්ලො කියනව වගේ ෆන් එකට ඇති කර ගන්නා සම්බන්ධ වලට නම් ඕක ප්‍රශ්නයක් වෙන එකක් නෑ වැඩිය... ඒ උනාට මව් බස තරම් හුරු බසක් කොහෙද ලව් කරන්න...

    මාතලං කිව්ව වගේ අරලිය මල් හොඳ නැද්ද.... රෝස මල් නිකන් සිංහල නෙමෙයි වගේ

    ReplyDelete
  17. අපිනං ඉතිං සිංහලෙන්ම තමයි ලව්කලේ. මාතෘකාවට අදාල කාරණාව ගැන කතා කලොත් එක එක්කෙනාගෙ භාෂා හැකියාව මත ඩිපෙන්ඩ් වෙන දෙයක් ඕක.උදාහරණයක් විදියට කැඩිච්ච ඉංග්‍රීසියෙන් කතාකරන දෙන්නෙක් ඉංග්‍රීසියෙන් ලව් කරනව කියන්නෙ විහිළුවක්.

    ReplyDelete
  18. සැරින් සැරේ බලන්නේ.. කඩ්ඩෙන් ලව් කරලා ලස්සන ආදර කතාවක් තියන, අරුණි අක්කා මොකද කියන්නේ කියල.. කොඅ තාම නෑනේ..

    ReplyDelete
  19. මං දන්න විදේශිකයින් බැඳපු අය මොන බාසාවෙං කතා කලත් තාම හොඳට ආදරෙං ඉන්නව

    ReplyDelete
  20. පුලුවාන්!
    ඕකේ හැබැයි මෙහෙම සීන් එකකුත් තියෙනවා
    එක එක ජාතින් කඩ්ඩ කතා කරන විදිය වෙනස්නේ. ඉතින් ඒ එක එක 'ඇක්සන්ට්' එක එක විදියයි. සමහරු කැමති 'ඇක්සන්ට්' තියෙනවා - අකමැති ඇක්සන්ට් තියෙනවා.

    දැන් බලන්න, කොච්චර හැන්ඩි උනත් අල්ලපු රටේ කොල්ලෙක් කට ඇරපු හැටියේ චාටර්නේ...

    ReplyDelete
  21. මගේ යාළුවෙක් හිටියා ලංසියා මූ පල්ලියේ කෙල්ලෙක්ට ලව් කරලා මුල්ම ලියුම හම්බුනේ ඉංගිරිසියෙන්....හප්පේ අපි හෙන ගේමක් දීලා එකේ තේරුම හොයාගත්තේ....කොහොමහරි කෙල්ල පවුල පිටින් රට යනව කියල තිබ්බේ.....

    ReplyDelete
  22. දෙන්නටම කඩ්ඩ හොඳට පුළුවන් නම් අවුලක් නැහැ....නැත්තම් ඉතිං දන්න සිංහලම හොඳයි :)

    ReplyDelete
  23. නියම ලිපිය..:)කතාවට කියන්නෙ නම් ඉතින් ආදරේට භාෂාව, ජාති, කුල මල, ආගම් මොන කෙහෙල්මලක්වත් වැඩ්ක් නෑ කියලානෙ..

    බලාගෙන ගියාම ඒක ඒ හැටිම ප්‍රශ්නෙකුත් නෑ වගෙ.. මොකද එතකොට රණ්ඩු සරුවල් එහෙම සෑහෙන්න අඩුවෙයි.. අනේ වාසනාවන්...:D

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. අත්දැකීම් ඇත....
    කියල තියනව වගේම වැඩේ ලේසි නැත. ඒ නිසා තුන්වෙනි භාෂාවට වඩා වැඩිපුරම යොදාගත්තේ ඇගේ බස. ඒත් කියන්ඩ ඕනෙ දේවල් ඒ විදිහට කියාගන්ඩ බැරුව සෑහෙන්ඩ දුකක් වින්ඳා. හැබැයි ඒ විදිහට ලව් කරද්දි වෙනම රසයකුත් තියනවා... මූනෙන්, ඇස්වලින් කරන කතාබහ ගොඩක් වැඩී. මුහුනේ ඉරියව්, ඇස්, කියවන්ඩ ට්‍රයි කරන නිසා බැඳීම වැඩී....
    මොනව උනත් වැඩේ හබක් උනා අන්තිමට....

    මෙතෙක් මට හම්බවෙලා තියන හොඳම කපල් එක ඔය කියන වර්ගයේ... බැඳලා සෑහෙන්ඩ කාලයක්. එළකිරි වගේ තමයි !!

    ReplyDelete
  26. වසිලිස්සා2 November 2011 at 11:24

    ආදරේට භාෂාවක් නැ කියල තමයි මන්නම් පිළිගන්නේ.මොකද ආදරේ කියන්නේ හදවතේ ගැඹුරටම දැනෙන්න ඕන දෙයක් නිසා බාෂාව ප්‍රශ්නයක් නෙමෙයි .හැබයි එකම බාෂාව කතාකරන දෙන්නෙක් වෙන බෂාවකින් ආදරේ කරන එකනම් ප්‍රයෝගික නැ කියලයි මගේ අත්දැකීම.තමන්ගේ මව් බාෂාව තරම් දැනෙන දෙයක් තවත් තියේද?

    ReplyDelete
  27. (Traffic Ano)
    තුන්වැනි භාෂාවෙන් ලව් කරන්නෙ කොහොමද කියන ප්‍රශ්නය මටත් ඒ කාලෙ ඉඳන් තිබුනු එකක්.
    හැබැයි ඉතින් යුග දිවිය ගත කරන සත්තු, සමහර කුරුළු වර්ග එහෙම ඉතා සීමිත වචන සංඛ්‍යාවකින් ලව් කරනවනෙ. (මෙතනදි වචන කිව්වෙ සත්තු අතර භාවිතා වන සංඥා වලටයි.) ඉතින් තුන්වැනි භාෂාවේ වචන සීමිත සංඛ්‍යාවක් දැනගත්තම ලව් කරන්න පුළුවන් මං හිතන්නෙ. ආදරය කිරීමේදී ප්‍රකාශ කරන දේට වඩා හඟවන දේ තමයි වැදගත් වෙන්නෙ.
    පහුගිය සතියෙ සිංහල ගෑනු ළමයෙක් සහ නිකරගුවානුවෙක් විවාහ වුනා. අපේ එකී ඌට පොඩ්ඩ පොඩ්ඩ සිංහල උගන්නලා, “ආයුබෝවන්”, “අඳුනාගන්නට ලැබීම සතුටක්” වගේ දේවල්. උන් දෙන්න කථාකරගන්නේ ඉංග්‍රිසියෙන් තමයි.
    මේකයි වැඩේ. සමහර අයගෙ අම්ම තාත්ත සිංහල වුනත්, ඉන්නෙ ලංකාවෙ උනත් මව් භාෂාව වගේ පුරුදු වෙලා තියෙන්නෙ ඉංග්‍රිසි නං ඔය ප්‍රශ්නෙ මතු වෙන්නෙ නෑ.‍ සමහර වෙලාවට මව් භාෂාවෙන් කිව්වත් “කියන්නා අදහස් කරන දේ අසන්නා විසින් ඒ හැටියෙන්ම තේරුම් ගන්නේ නැතිනම්” වැඩේ වල් වෙනවා.
    දැන් මට (බැන්දට පස්සෙ) හිතෙන්නෙ , ඉංග්‍රිසියෙන් රණ්ඩු වෙන්න පුළුවන්නං හොඳයි කියල. එතකොට එච්චර හිත රිදෙන වචන එහෙම කියවෙන එකක් නැහැනෙ. ඩික්ෂනරිය හොයාගෙන අදාළ වචනෙ බලනකොට තරහ නිවිල ගිහින්.

    ReplyDelete
  28. මං හිතන විදිහට ආදරේට භාෂාව ප්‍රශ්නයක් වෙන්නෙ නැති වෙයි. මටත් ඉස්සර හිටියා .. පෙම්වතිය හැටියට තම්බි කෙල්ලෙක්.පේරාදෙණියෙම තමයි. ඔගස්ටා රෝඩ් එකේ.[මෙතන තම්බි කියන්නෙ අපහාසෙට එහෙම නෙවෙයි]
    එයාට සිංහල අමාරුයි. මට දෙමළ අමාරුයි. නමුත් අපි කැඩිච්ච සිංහලෙමුයි .. කැඩිච්ච දෙමළෙමුයි[තම්බි වුනාට උන් ලංකාවෙ කතා කරන්නෙ අරාබි නෙවෙයිනෙ] වරු ගනන් කතා කර හිටියා. අන්තිමේ අපි වෙන් වුනේ ඔය මල ඉලව් භාෂාවක් හින්ද නෙවෙයි . එයාගෙ අම්ම තාත්ත මට තම්බි නීති රීති දාන්න ආපු හින්දයි.
    අපරාදෙ ලස්සන කෙල්ලෙක් මට නැති වුනා.

    ReplyDelete
  29. "සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී...
    තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී..." රත්න ශ්‍රී එහෙම ලිව්වෙ Inter-Racial Love එකක් ගැන. නඩේසන්ගෙ ලව් එක ගැන. ලව් කරන්න භාෂාව අදාළ නෑ... නඩේසන්ලට එහෙම ලව් කරන්න පුළුවන් නම් ඇයි අපි‍ට බැරි??? සිංහල-මුස්ලිම්, සිංහල-දෙමළ කපල්ස් ඔය සන්තෝසෙන් ඉන්නවනේ. ආදරයට භාෂාව අදාළ නෑ...

    ReplyDelete
  30. ලංකාවට ගිය වෙලාවක ඇම්. සී. එකේ ෆුඩ් කෝට් එක පැත්තෙ යන්න . . . බැරි කඩ්ඩෙං පෙමට කොටන ජෝඩු ඕසෙට . . . .(සමහරු ගෑරුප්පුවෙං පිඟානටත් කොටනව ඔය අතරෙ)

    ReplyDelete
  31. මංනං ආදරේ කරන්න දන්න හොඳම භාෂාව ඇස් භාෂාව.. ඒ ඇර ඔය වෙන වෙන ඕපා දුප කියව කියව ඉන්නනං කොයි භාෂාවත් එකයිනේ...වචන දාහකට වඩා එක බැල්මක තේරුම් රාශියක් ඇත...

    ReplyDelete
  32. භාෂාව නෙමේ ප්‍රශ්නේ . සංස්කෘතීන් දෙකක් නිසා තියෙන බය . පිච්ච මල් කොයි වෙලේ බ්ලාස්ට් වෙයිද බය කාලයක්නෙ තිබුනේ . [කොයි මලත් ගෙදර ගෙනාවම බ්ලාස්ට් තමයි කියල කියයි පිරිමි අය නම් ] .
    අන්තර්ජාතික විවාහ අපමණ දැක ඇත . මගේ ජපන් යාලුවෙක් ගේ මහත්තයා ප්‍රංශ . හම්බ වෙලා තියෙන්නේ එංගලන්තේදී . එයා හිනා වෙනවා එංගලන්තේදී ප්‍රංශ කාරයෙක්ම හමු වීම ගැන . දෙන්නටම දැන් භාෂා තුනක් පුළුවන් . ඔය මිශ්‍ර විවාහ වල ළමයි ලස්සනයි . ඒ වගේම සිංහල කොල්ලොයි වියට්නාම් කෙල්ලොයි බැඳලා ළමයි ඉන්නවා . තනිකඩව මෙහෙ ආවොත් ඉතින් මෙහෙන් මලක් කඩනවම තමයි . භාෂාව එච්චර ප්‍රශ්නයක් වෙලා නැහැ .

    ReplyDelete
  33. මට මතක විදියට මීට කලින් අපි මේ ගැන කතා කරලා තියෙනවා.
    මගේ අදටත් ප්‍රධාන භාශාව සිංහල නෙමෙයි.
    මම නම් ඉතින් ඔය ප්‍රශ්න නෑ. ඕනෙම භාශාවකින් එකම විදියට ආදරෙ කරන්න පුළුවන්. මම සිංහලෙනුත් හීන දකිනවා දැන්.

    පොඩ්ඩක් විතර තරහා ගියාම මගේ මව් භාශාවෙන් රතු ඉරට යන එක නම් ඉඳලා හිටලා වෙනවා.

    ReplyDelete
  34. කකා, මා නම් සාර්ථක අන්තර්ජාතික විවාහ අනන්ත දැක ඇත..

    හින්දි නොදන්නා පිලිපීන කාන්තාවන් තගලොග් නොදන්නා ඉන්දියානුවන් සමග විවාහ වී දරු මල්ලන් ලබා ඉංග්‍රීසියෙන් සාර්ථකව ගෙනයන විවාහ ජීවිත මෙහේ ඕනෑ තරම් ඇත...

    මා දන්නා ශ්‍රී ලාන්කික මිතුරියක් ඉන්දියානු මිතුරෙක් හා විවාහ වී ඉතා සතුටින් ඉංග්‍රීසියෙන් ආදරයෙන් දරු දෙදෙනෙකුත් සමඟ ජීවත් වෙයි...

    ජෝර්දානයේ අපේ කාන්තාවන් බෙංගාලි තරුනයන් සමග දෙදෙනාටම ආගන්තුක අරාබි බසින් කොටුපනිමින් ( live together ) ජීවත් වෙනු මාදැක ඇත...

    හොඳම එක... මෙය තේරුම් ගැනීමට සමහරෙකුට ටිකක් අපහසු විය හැක... ඉන්දියාවේ හින්දි නොදන්නා... හෝ හින්දි දෙවන බසක් ලෙස පසුව ඉගෙනගත් අති විසාල පිරිසක් ඇත...( විසේසයෙන් දකුණු ඉන්දියාවේ ) මේ අන්තර් ප්‍රාන්ත විවාහ වල බැන්දී ඇති අය හින්දියෙන් කතා කරමින් හොඳින් ජීවත් වෙති...

    ...........

    ප.ලි යට අදාල කතාව මට මතක හැටියට ඔබතුමාගේ "I was wondering what this little girl doing here " ( මතක හැටියට ) වැනි හෙඩිමක් තිබූ කතාන්දරයට කාන්තාවක් දැමූ කොමෙන්ටුවක සඳහන් වූවක් බව මගේ මතකයයි...

    ReplyDelete
  35. kumaraya 'කොනකපාල' කෙනෙක් නොවී බේරිල තියෙන්නේ 99.9 යෙන්

    ReplyDelete
  36. හොයලා බලන්න ඕන ගොළු කපල් එකක් ලව් කරන්නේ කොහොමද කියලා, sign language එකෙන්.

    අනික ගොළු සහ ගොළු නොවන කොම්බිනේෂන් එකේ හොඳ ලව් ස්ටෝරීස් එහෙමත් තියෙන්න පුළුවන්. එක්කෙනෙකුට sign language අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න වෙනවා.

    ReplyDelete
  37. අනේ මේ ඔබා මාමා මොනව කියනවද මන්දන්නෑ.... :D

    පාසැල් යන සංදියේ කෙරෙන ලව් බොහොම විට කෙරෙන්නෙ ඇස් වලින් නොවැ... භාෂාවෙන් කෙරෙනවට වැඩිය සුන්දරයි.... ප්‍රශ්න අඩුයි.....

    ReplyDelete
  38. මටනම් හිතෙන්නේ භාෂාව ප්‍රශ්නයක් නෑ කියලයි. ආදරේ කියන්නේ වචනවලින් ප්‍රකාශ කරන දෙයක්ම නෙවෙයිනේ. ප්‍රශ්න වෙන්නේ භාෂාව නිසාම නෙවෙයි. දෙන්නෙක්ගෙ භාෂාව වෙනස් වෙනකොට ඒ එක්කම බැදුන තවත් ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඒ කිව්වේ සමාජ මට්ටම, ඇදහීම්, විශ්වාසයන්... වගේ දේවල්. ඒ හරහාත් ප්‍රශ්න ඇති වෙනවා. හොඳ අවබෝධයක් තියෙනවානම් භාෂාව ආදරයට බාධාවක් නොවෙන්න පුළුවන්...

    ReplyDelete
  39. මෙහෙත් එහෙමයි..ලංකාවේ කෙල්ලො එහෙම ඉන්නවා නේපල් කොල්ලො එක්ක එහෙම යාලු!උන් ලව් කරද්දි හිතේ තියෙන දේ කියන්න දඟලන දැඟලිල්ල දැක්කම ලව් එපා වෙනවා!

    ReplyDelete
  40. Traffic Ano
    මට බරපතල චෝදනාවක් කරන්න තියෙනව, ඉස්සෙල්ල කමෙන්ට් දාන වෙලාවෙ ඒක අමතක වුනා.
    මානුෂිකයි, ජාතිවාද නෑ කියන කතන්දර බ්ලොග් එකේ සිංහල කෙල්ලො එක්ස් තුනයි දෙමළ කෙල්ලො එක්ස් පහයි එයාගෙ මල එක ජාතියක් මෙයාගෙ මල තව ජාතියක්. ඒක හරි නෑ.

    ReplyDelete
  41. මටත් කියන්න තියෙන්නෙ පූස කිව්ව එකමයි .. කඩ්ඩෙන් කොහේ කරන්නද තාම මව් භාශාවෙන් වත් ඕක කරන්න බැරිව

    මමත් මේ දවස්වල වෙන භාශාවක් ඉගනගන්නව... මටත් අවුල කොච්චර ජපන් වලින් හිතන්න හැදුවත් හිතෙන්නෙම සිංහලෙන්

    ReplyDelete
  42. මට නම් කවදාකවත් මම දන්න කියන එලම භාෂාව සිංහල ඇරුනහම වෙන කිසිම භාෂාවකින් කෙනෙක් එක්ක කතා කරලා නෑ . ගොලුවෙකුට ලවු කරන්න බොහොමයක් කෙල්ලෝ කැමති නෑ නේ ඉතින් මවු බස හැර මටනම් වෙන කිසිම බසකින් ලවු කල නොහැකියි ..

    වැදගත් පෝස්ට් එකක් සහ ගති කමෙන්ට් ගොන්නක් ..

    ReplyDelete
  43. මට නම් පේන විදියට කමෙන්ට්ස් දාපු අය කතාව හරියට කියවපු අයද මන්ද.. මෙතන මම නම් දැක්කෙ එකම භාෂාවක් මවු බස වුනු දෙන්නෙක් කඩ්ඩෙන් ලව් කරන එක ගැන කතන්දරයක්.. ජාතීන් දෙකක භාෂා දෙකක අයට මේකතාව අදාල නෑනෙ, මම නම් දකින්නෙ සිංහල උන් දෙන්නෙක් කඩ්ඩෙන් ලව් කරනව නම් ඒ බලෙන් පොශ් වෙන්න හදන එකයි මෝඩ ඇඩි එකයි විතරයි.. මවු භාෂාව වගේ අදහස් ප්‍රකාශ කරන්න ප්‍රලුවන් ද දෙයියනේ වෙනත් භාෂාවකට.. පුලුවන්නම් අර කිව්ව භාෂාව මවු භාෂාව නම් වෙන්න බැ..

    ReplyDelete
  44. මේක අරුණි අක්කගෙ සුදු අප්පුහාමිගෙන් අහල බලන්න වටින ප්‍රශ්නයක් :)

    ReplyDelete
  45. @ All
    මේ හා අදාලව අරුණි කලින් දුන් පිළිතුරක් මෙන්න.

    http://kathandara.blogspot.com/2010/09/blog-post_18.html?showComment=1284839644240#c1515298820755952741

    ReplyDelete
  46. "සිලෝ හඬින් පාවඩ පිට කැන්දන් යන්නයි
    ----
    පිච්ච මලෙන් යහන සැදෙන්නයි"

    ReplyDelete
  47. ඉංග්‍රීසි බ්ලොගර්ස්ල ලවු කරන්නෙයි හිතන්නෙයි කඩ්ඩෙන් ;)

    ReplyDelete
  48. ආදරයට ඉතින් භාෂා ප්‍රශ්ණ නෑ කියනවනෙ. අපේ පවුලේ මගේ පරම්පරාවේ දරුවන්ගෙ පළමු බස එකිනෙකට වෙනස් ඒ උනාට අපි ඔක්කොම එකට එකතු උනාම්ම ඔය හම බසම කලවම් වෙච්ච අළුත් බසකින් කතා කරනව. මගෙ යාළුවෙක් ඩවසක් කිව්ව අපේ ගෙදර ඔක්කොම එකතු උන දවසක හරියට රූපවාහිනියෙ ඉන්ටර්නැෂනල් චැනල් මාරුකරනව වගේ කියල. ඒ වගේ ඉතින් ඔය ප්‍රේම වන්තයොත් ඔක්කොම බසවල් කලවම් කරගන තමාගෙම භාෂාවක් හදාගන්නව ඇති. හැබැයි මම දන්න තව කපල් එකක් ඉන්නව මහත්තය සිංහල නෝන දෙමළ. දෙන්න කතාකරන්නෙ ඉංග්‍රීසියෙන්. දෙන්නගෙ වැඩිකතාබහක් නෑ.ඇයි ඉතින් හැමදේම කියන්න ඕන තුන්වෙනි බසකින් නෙ.

    ReplyDelete
  49. Anonymous said...
    මට නම් පේන විදියට කමෙන්ට්ස් දාපු අය කතාව හරියට කියවපු අයද මන්ද.. මෙතන මම නම් දැක්කෙ එකම භාෂාවක් මවු බස වුනු දෙන්නෙක් කඩ්ඩෙන් ලව් කරන එක ගැන කතන්දරයක්.. ජාතීන් දෙකක භාෂා දෙකක අයට මේකතාව අදාල නෑනෙ, මම නම් දකින්නෙ සිංහල උන් දෙන්නෙක් කඩ්ඩෙන් ලව් කරනව නම් ඒ බලෙන් පොශ් වෙන්න හදන එකයි මෝඩ ඇඩි එකයි විතරයි.. මවු භාෂාව වගේ අදහස් ප්‍රකාශ කරන්න ප්‍රලුවන් ද දෙයියනේ වෙනත් භාෂාවකට.. පුලුවන්නම් අර කිව්ව භාෂාව මවු භාෂාව නම් වෙන්න බැ..
    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  50. sinhala tamil aya atharama nam sambandakama athiwenne nathuwa athi ape rate jathiwadi prashna nisa.bashawa prashne wenna ba.mokada adare karanna bashawa prashnayak nemei mage paudgalika mathaya anuwa.mama adare karala marry kare french boy kenekwa miita awrudu 8kata kalin :) api thamath adaren innawa.bashawa nam prashnayak wela na.habai ape sinhala dennek kadden love karanna yanawa nam ithin eka apekama amathaka karapu sobana karayange wadak kiyala thamai kiyanna wenne :D :D

    ReplyDelete
  51. අද කතන්දරේ වෙන්න තිබුනේ -

    "දුමින්ද ගේ එයාපෝට් ට්‍රිප් එක"

    http://kathandara.blogspot.com/2011/01/blog-post_26.html

    ReplyDelete
  52. Traffic Ano.
    මට වැරදිල. කතන්දර ජාතිවාදී නෑ. XXX දාල තියෙන්නෙ නම වෙනුවට.

    අපි මේ “හිතනව, හිතනව” කියල කිව්වට ඕකෙ ස්ටෙප්ස් දෙකක් තියනවද කොහෙද මගෙ හිතේ. ටොගල් ස්විච් සහිත මොළය ගැන ලියපු අරුණි ෂෆිරෝ වගේ අය හරියටම දන්නව ඇති. මේ ලියන්නෙ මගේ වර්ෂන් එකක්.
    අපට හිතෙන්නෙ භාෂාවකින් නොවෙයි. සත්තුන්ටත් හිතෙනවනේ. බය හිතෙනව. කෑදර කම හිතෙනව. ඊරිසියාව (බල්ලා පූසාට ඊරිසියා කරනව, අයියල නංගිලට ඊරිසියා කරනව වගේ) වගේ සිතිවිලි සත්තුන්ටත් ඇති වෙනව. සත්තුන්ට භාෂාවක් නෑ, සන්නිවේදනය කරන්නේ සංඥා මගින්.
    ඒත් ඒ සිතිවිල්ල ක්රිසයාත්මක කරන්න යනකොට ඒක කැබිනට් පේපර් එකක් වගේ එකකට දාගන්න වෙන‍ ව. එතෙන්දි භාෂාව අවශ්යියි. ඒ භාෂාව වෙන්නෙ තමන්ට වඩාත්ම හුරු පුරුදු භාෂාව මිසක් තමන් ඉපදුනු ර‍ටේ භාෂාව හෝ දෙමව්පියන්ගේ භාෂාව නොවෙයි.
    ඒ වුනාට සමහර අයට මේ දෙක වෙන වෙනම කරන්න බැරිද කොහෙද? සමහර අය මං දැකල තියෙනව අතීත කාලයට අයත් සිද්ධියක් විස්තර කරද්දි වෙලාව ගැන කියනකොට ඔරලෝසුව දිහා බලල ඒක කියන අය. ඒ කියන්නෙ මෙන්න මෙහෙම. “මං ඊයෙ හවස ගෙදරට යනකොට කොහොමටත් හයයි කාලට හය හමාරට විතර ඇති” කියන්නෙ අත් ඔරලෝසුවට අනිත් අතේ දඹරැඟිල්ලෙන් පොඩි ‍තට්ටුවක් එහෙමත් දාල

    ReplyDelete
  53. කලින් කමෙන්ට් එකක් දාපු කෙනෙක් කියලා තිබුණ වගේම, සමහර උදවිය ඉන්නව සිංහල [ හෝ දෙමළ] වුණාට ඉංගිරිසිය වඩාත් පහසු. කතන්දරට මුණ ගැහෙන්න ඇත්තේ එහෙම ජෝඩුවක් වෙන්න ඇති. මගේ හොඳම යාළුවො දෙන්නෙක් ඉන්නව, බණින්න ගියාම ඉංගිරිසියට මාරුවෙන. මොකද, ඒක තමයි එයාලගෙ දිවට වඩාත්ම හුරු. පොඩි කාලෙ ඉඳල ගෙවල් වල ඉංගිරිසි කතා කරන අයට එහෙමනෙ. ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න පොඩි ළමයි හීනෙන් ඉංගිරිසියෙන් දොඩවනව මම නම් ඕනෙ තරම් දැකල තියෙනව. තුන්වෙනි භාෂාවකින් ලව් කිරීමත් අසාර්ථක දෙයක් නෙමෙයි. කතන්දර දන්න, ඩිවෝස් වුණු 'බහු ජාතික' කට්ටිය ඩිවෝස් වෙන්න ඇත්තෙ භාෂා ප්‍රශ්නය නිසා නෙමෙයි වෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ. ඔය තුන් වෙනි භාෂා ලව් එකට මම දන්න හොඳම උදාහරණය මගෙම මාමා. එයා යාළු වුණේ දෙමළ නැන්දා කෙනෙක් එක්ක..එංගලන්තෙදි...දෙන්නටම ටික ටික අනිත් කෙනාගෙ භාෂාව පුළුවන්. ඒත් දෙන්නා අදහස් හුවමාරු කරගන්නෙ ඉංගිරිසියෙන්. අවුරුදු තිස් දෙකකට කලින් ඇමෙරිකාවෙ පදිංචියට ගිය නිසා සිංහලවත් දෙමළවත් භාවිතයක් නෑ ගෙදර. ඒ නිසා කොල්ලො දෙන්නා ඒ දෙකෙන් එක භාෂාවක් වත් දන්නෙ නැහැ. ඒක නම් උන්ගෙ අවාසනාව! ලංකාවට ආවම මාමා ඉතා හොඳින් සිංහල කතා කරනවා, නැන්දා ඉතා හොඳින් දෙමළ කතා කරනවා. වඩාත් වැදගත් දේ...සිංහලෙන් [හෝ දෙමළෙන්] ලව් කරන, කතා කරන බොහෝ දෙනෙකුට වඩා හොඳින් ඒ දෙන්නා ආදරෙන් ඉන්නවා..:)

    ReplyDelete
  54. ඔන්න ඉතින්. ඇයි මේ අපි ඉන්නේ? ආදරයට් මොන බාධාද කතන්දර? භාෂාවත් ප්‍රශ්නයක් ද?

    ReplyDelete
  55. තවත් කිව්වොත් මව් බස සිංහල උනාට අපි මුලින්ම සිංහලෙන් කතා කලේ ආදරවන්තයින් වී වසරකින් විතර [දැන් අර ජාතිකත්වයේ මුරකරුවන් හෙවත් බහිරවයින් මගේ පස්සේ එලවාවිද දන්නේ නැහැ].

    ඒ මොකද කිව්වොත් අපිට ඕනේ නිසා. අපි ලව් කරන්නේ අපිට ඕනේ විදිහටනේ.

    සිංහලයෙකු වූ අපේ මලයා දෙමල නෑනා එක්ක මා දන්නා තරමට කතා කරන්නේ සිංහලෙන්. හැමදාම රචනා ලිවීම වගේ වැඩ වලින් කට්ටි පැන්න අපේ මල්ලිට වඩා හොඳට ඒ නංගිට සිංහල පුළුවන්.

    නිදහසේ හිතනවා නම් ඔය කෝකත් එකයි. ලංකාවේ මිනිස්සු සංස්කෘති ජාති කර ගෙන ඒවායේ හිරකාරයින් වෙලා.

    ReplyDelete
  56. මට නං හිතෙන්නේ ආදරය කරන්න භාශාව ප්‍රශ්නයක් නේවේ කියල..
    හැබැයි සමහර හැගීම් ඒ විදියටම ප්‍රකාශ කර ගන්න එක නම් ප්‍රශ්නයක් තමා..!!!!!!

    ReplyDelete
  57. @ All
    මං මේ ලිපියෙන් කතා කළේ, තමන් ගේ මව් බස නොවන භාෂාවකින් ආදරය වගේ සියුම් හැඟීම් ප්‍රකාශකරන කොට ප්‍රශ්ණ එයි නේද කියන දෙයයි.

    ආදරයෙන් ඉන්න, විවාහ ජීවිතයක් ගතකරන්න නම් භාෂාව ප්‍රශ්ණයක් නෙමේ.

    නමුත් අපි දන්නා කැඩී ගිය විවාහවලට බොහෝ විට මුල්වෙලා තියෙන්නේ කමියුනිකේෂන් ඉෂුස් හෙවත් අදහස් හුවමාරුවේ ප්‍රශ්ණ බව අමතක කරන්ණ එපා. එකම භාපාව කතාකළත් ඒ ප්‍රශ්ණය නම් එන්න පුළුවනි!

    සියළු දෙනාටම ස්තුතියි!

    ReplyDelete
  58. කතන්දර, End note එකක් වගේ comment එකක් දාලා තිබුණත්, මෙන්න මේක කියන්න ඕනැයි කියලා හිතුණා.
    "දිවට හුරු බස = මව් බස" උදවියට වෙනත් බසකින් හැඟීම් ප්‍රකාශ කිරීමේදී කතන්දර කියන විදියේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.
    "දිවට හුරු බස ≠ මව් බස" කට්ටියට, මව් බසින් හැඟීම් ප්‍රකාශ කිරීමේදී ඒ විදියෙම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්!

    ReplyDelete
  59. Ditto @ Sachi and Sujeewa. I don't think the language matters, because love doesn't depend on words you speak or write. It would help to be fluent in the language you speak, it also would help if the language you both speak is a 'romantic language', but neither is a necessary condition. I know many couples who don't speak their mother tongue.

    ReplyDelete
  60. කතන්දර..... ඇයි එක එක්කෙනාගෙ කතා අහන්න ගියේ ? (අහන්න ගියේ නෑ ඇහුනා කියලා නම් කියන්න එපා)
    අනික කවුද දන්නේ ඒ පෙම්වත්තු තමන්ගේ කඩ්ඩ හදා ගන්න දරපු අහිංසක එකඟතාවයක්ද කියලා? සිංහලෙන් කතා කලොත් රුපියලක් දඩ වගේ එකක්!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.