
වඩාත් සාධාරණීය කරල මේ මාතෘකාව ඇත්තටම කියවෙන්න ඕනෑ, තමන් ගේ මුල් භාෂාවලින් හැර වෙනත් තුන්වන භාෂාවකින් ආදරය කළ හැකිද? කියලයි.
මට මේ ප්‍රශ්ණය ආවේ මීට හරියටම පරම්පරාවකට විතර කලින් මං කැම්පස් එකේ ෆර්ස්ට් ඉයර් එකේ ඉන්න කාලේදීයි.
ඔන්න මේ කියන දවසේ හවස් වරුවේ මං පොඩි උවමනාකවකට කැම්පස් එක මැදින් ආට්ස් ෆැකල්ටිය හරියේ ඉඳලා ගෙම්බා කැන්ටිම ලඟින් වැටිලා තිබුණු අඩි පාරේ ගලහ පාර පැත්තට යනවා.
මා ඉස්සරහට ආවා කපල් එකක්. මේ දෙන්නාම මං හොඳට දන්නවා සිංහල. කපල් එක මාව පහු කරගෙන යන කොට මට තේරුණා මේ දෙන්නා කතා කර කර ගියේ කඩ්ඩෙන් බව.
එතකොටයි මගේ හිතට ඔය උඩින් තියෙන ප්‍රශ්ණයේ එක් උප ප්‍රශ්ණයක් වන සිංහල දෙන්නේකුට කඩ්ඩෙන් ලව් කළ හැකිද? කියන ප්‍රශ්ණය හිතට ආවේ.
ආදරේ වගේ අති සියුම් අදහස් තමන් ගේ මව් භාෂාවෙන් හැර වෙනත් භාෂාවකින් ඒ අවශ්‍ය ආකාරයටම ප්‍රකාශ කරන්න පුළුවන්ද කියන එකයි මට එවෙලේ ආපු ගැටළුව වුනේ.
දැන් අවුරුදු කීපෙකට කලින් රාජිනී සහ දයාපාල තිරානගම දෙන්නා ගේ ලව් අෆෙයාර් එක ගැන "නෝ මෝ ටියර්ස් මයි සිස්ටර්!" කියන වාර්තාමය චිත්‍රපටිය බලද්දීත් මට මේ කරුණම තමයි සිහියට ආවේ.
අපේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ, ඉංජිනේරු පීඨයේ, සිංහල, දෙමල භාෂා කතාකරන සිසුන් දෙපිරිසම හිටියත්, අන්තර් භාෂා ආදර සම්බන්ධකම් හෙම තිබුනේම නෑ මං දන්න තරමින් අපේ කාලේ.
අපිට කලින් කාලේ වුනත් දුරාවරේ එකකට දෙකකට වැඩිය තිබිලා නෑ කියලයි ආරංචිය.
xx xxxx වගේ දෙමල කෙල්ලො හිටිය අපේ බැච් එකේ, සිංහල කොල්ලන් අතර නිරතුරු කතාබවට ලක්වෙච්ච. ඒත් මං හිතන්නේ නෑ, සිංහල කොල්ලෙක් ඇතින් ඒ පිච්චමල් දිහා බලමින් සතුටු වුණා මිස, මල් කඩන්න ගියාය කියල.
ඒ වගේම, xxxx වගේ සිංහල කෙල්ලෝ හිටියා, මං හොඳට දන්න විදියට දෙමල කොල්ලන් අතර නිරතුරු කතාබහට ලක්වුණු. නමුත් ඒ රෝසමල් දිහා බලමින් සතුටු වුණා මිස, මං දන්න තරමින් දෙමල කොල්ලෝ කවුරුත් මල් කඩන්න ගියාය කියලා මං හිතන්නේ නෑ.
මේකට හේතුව භාෂාව ද, නැත්තම් බයක් ද මන්දා?
ඒ එක්කම මං පස්තාච්චි කුපාඩියක් කොරන්න ගිය ආසියානු තාක්‍ෂණික ආයතනයේත් විවිධ රටවල්වලින් විවිධ භාෂා කතාකරන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ හිටියා වුනත් තුන්වෙනි භාෂාවකින් කරගෙන යන අන්තර් භාෂා "සෙම් සබඳතා" තිබුනේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්.
ඒ විදියට ලව් කරලා විවාහ වෙච්ච මං දන්න ජෝඩු දෙකක්ම දැන් අවුරුදු කීපෙකට කලින් ඩිවෝස් වෙලා බවත් කණගාටුවෙන් වුණත් මෙතන ලියන්න වෙනවා.
අපේ පොරවල් රුසියාවට හරි වෙනත් බටහිර රටකට හරි ගිහින් එහේ දේශීය කෙල්ලෝ එක්ක සෙට් වුණාම ඒකට තුන්වෙනි භාෂාවක් සම්බන්ධ නැති නිසා ඒ කේස් මේ ගොඩට දාන්න බෑ.
ප්‍රතිවිරුද්ධ නිදර්ශනයක් විදියට මං දන්නේ එකම එක කේස් එකයි. මං දන්න කපල් එකක් ඉන්නවා දෙන්නා හම්බවෙලා තියෙන්නේ නැගෙනගිර ජර්මනිය හරි බල්ගේරියාව වගේ රටක ඉගෙන ගන්න ගිහින් ඉන්දැද්දීයි.
දෙන්නා ලව් කරන්නේ ඒ රටේ භාෂාවෙන්.
මෙන්න මේ ලිපියට අදාල වෙනත් කතන්දර.
1. කඩ්ඩෙන් සිතීම
2. තායි කෙල්ලෙකුට ලව් කිරීම
-කතන්දරකාරයා
ප/ලි:
කොල්ල කාලේ ඕනෑවට වඩා Blue චිත්‍රපටි බලපු සිංහල පොරකට "ලව් මේකින්" වෙලාවේ දී විතරක් සිංහල අමතක වෙනවා කියලා කවුද මන්දා තීරු ලිපියක ලියලා තියෙනවා මං දැක්ක බව මතකයි.
(image: http://www.whitegadget.com/pc-wallpapers/140319-love.html)