Thursday, 2 December 2010

සිංහල ලෙස්බියන් සින්දුව දන්නවාද? A Sinhala Lesbian Song?


කාලෙක ඉඳල මං මේ කතන්දර බ්ලොග් එකෙන් සින්දු ගැන කතන්දර ලියනව. මුලින්ම ලිව්වෙ මුහුදෙන් ගෙම්බෙක් ගැනයි. එම්.එස්. ප්‍රනාන්දු ගැන ගැන පොඩි කතාවතුත් ලිව්ව.

ඉන් පස්සෙ, අළුත්ම අළුත්, බ්‍රෑන්ඩ් නිව් සින්දු තුනකුයි, වෙන්ඩ සින්දු දෙකකුයි අපේ සිංහල බ්ලොග් අවකාශයේ මුදාහැරියා.

වෙන්ඩ සින්දු තමයි:
1. කතන්දරකාරයා හාමිනේට ලියූ නාඩගම් ගීතය සහ
2. නාන කාමරේ ගීතය

බ්‍රෑන්ඩ් නිව් සින්දු තමයි:
1. ඇම්.පී.ත්‍රී සහිත අම්මාට ද තාත්තාට ද වැඩිය ආදරේ?
2. ඇම්.පී.ත්‍රී සහිත හන්තානේ ලව් සෝන්ග් එක
3. යූ. ටියුබ් සහිත ටැබූ සබ්ජෙක්ට්ස් ගීතය.

තවත් ඇම්.පී.ත්‍රී සහිත සින්දු තියෙනවා, පසු කාලීනව බෙදාහරින්නම් ඉඩ ලැබෙන විදියට.

අද මාතෘකාවේ තියෙන ප්‍රශ්ණය මගේ හිතට ආවේ, අපි දන්න සමහර සින්දුවල ඒවා ලියපු, ගයපු අය සමහරවිට නොදැක්ක තේරුම් ශ්‍රාවක අපට තේරෙන බව මතක් වෙච්ච වෙලෙයි.

මෙන්න කවුරු කවුරුත් දන්න උදාහරණ කීපයක්.

1. මැවිලා පෙනේවි රූපේ
මං හිතන්නේ ඔය සින්දුව තියෙන්නේ කැලෑ හඳ කියන මූවී එකේ. කෙල්ලෙක් තමන්ට අතරමගදී හමු වුණු හැන්ඩ්සම් කොල්ලෙක් ගැන යි කියන්නේ - කොල්ලගේ රූපය කෙල්ලට මැවිලා පේනවාය කියලා.

නමුත් රුක්මනී දේවී ආච්චි ඕක කියන විදියට අපිට තේරෙන්නේ මැවිලා පෙනේ විරූපේ කියායි. ඒ කියන්නේ මේ කොල්ලව හීනෙන් දැකලා බය වෙලා කියන සින්දුවක්.

2. සන්නාලියනේ කාටද ඇඳුම වියන්නේ
සරෝජිනී නායිඩූ කියන ඉන්දියන් කිවිඳියගේ වීවර්ස් කියන කවිය ආශ්‍රයෙන් මහගම සේකර ලියලා, අමරදේව කියන මේ සින්දුවේ තියෙනවා වැරදි ගොඩක්. අපි දන්න පරිදි සන්නාලියෝ ඇඳුම් මහනවා. රෙදි වියන්නෝ රෙදි වියනවා. සන්නාලියෝ මහනවා මිස වියන්නේ වත්, රෙදි වියනවා මිස ඇඳුම් වියන්නේවත් නෑ.

3. වන දෙව් ලිය තුරුලේ
ක්ලැරන්ස් ලියපු, ඉන්ද්‍රානි කියන මේ සින්දුවත් කොමඩි ඔෆ් එරර්ස් වර්ගයේ එකක්.

මේ සින්දුවේ පෙර කල සිත්තරුවෝ, බිතු සිතුවම් නෙළුවෝ කියල කිව්වට අපි දන්නවනේ සිතුවම් අඳිනවා මිස නෙලන්නේ නැති බව. නෙලන්නේ පිළිම. හැබැයි ඒව නෙලන්නේ සිත්තරවෝ නෙමෙයි. සිත්තරුවෝ කරන්නේ චිත්‍ර අඳින එකයි.

ඊලඟට මේ සින්දුවේ තියෙනවා- දහස් ගණන් නරඹා සීගිරී බැස යනවා කියලා. මේ කියන්නේ සීගිරි කියන කෙල්ල කෝච්චියකින්වත් බැහැල යන එකක් ගැනද, නැත්තං, සීගිරි ගල දැන් තියෙන තැනින් පල්ලෙහාට බැහැල යාමක් ගැනද?

4. පිදුරු සෙවි කළ පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ
සිසිර සේනාරත්න ගේ මේ සින්දුව අහන කොට අපිට වැඩිය ක්ලික් වෙන්නෙ නෑ මොකක්ද මේ සෙවි කළ කියන්නෙ කියල. සෙව්ව බැලුවා කියන එකද? ඔන්න පිදුරු සෙවිලි කළ පැල්පත් ගැන නං අපි දන්නවා.

මේ වගේ තව උදාහරණ දන්න අය ඉන්නව නං ලියල යන්නකෝ.

ඔය සේරම දේවල් දැන දැන සිද්ද වෙච්ච වචන වැරදි කියලයි මට හිතෙන්නේ.

සිංහල ලෙස්බියන් සින්දුව නං එහෙම එකක් නෙමේ, ලියපු, කියපු අය හිතන්නෙවත් නැතුව අහන අපි පස්සෙන් පහු හිතාගත්තු එකක්. ඔය සින්දුව ලියවුණු, කියවුණු, කාලේ ලෙස්බියන් කියන වචනේ වත් තියෙන්න නැතුව ඇති ලංකාවේ.

බලමු කවුද මේ ගැන දන්නේ කියලා?

-කතන්දරකාරයා

ප/ලි
පොඩි හින්ට් එකක් දෙනව නං, මේ සින්දුවේ මුල් ගායිකාවගේ පරණ වර්ෂන් එකයි දැන් කියන ගායිකාවගේ කොපි කැට් අළුත් වර්ෂන් එකයි දෙකක් තියෙනවා. හැබැයි දැං ඇහෙන්නේ අළුත් වර්ෂන් එක විතරයි. හුඟ දෙනෙක් පරණ වර්ෂන් එකක් ගැන අහලාවත් නෑ.