Wednesday 6 April 2011

බණ, වැදි බණ, බුදු බණ, පොප් බණ සහ අනේ අපොයි බණ


මං පොඩි නිවාඩුවක් ලැබුණු වෙලාවක සිංහල බ්ලොග් අවකාශයේ පොඩ්ඩක් සැරි සැරුවා ලඟදි දවසක. ඔන්න ඒ වෙලාවේ තමයි දැක්කේ බුද්ධාගමට කැපවුණු බ්ලොග් මහ විශාල කන්දරාවක් තියෙනව.

මේවයින් සමහරක් ඒවා, ධර්ම කරුණු සිංහල අකුරෙන් බ්ලොග් අවකාශයට එකතු කරන වැදගත් සේවය ඉටු කරන ඒවා.

නමුත් පාඨකයින් ගේ වැඩිය හිත ගිහින් තිබුනේ නං, බුදු බණ මුවාවෙන්, හැබැයි බුදු වදන් අමතරක කරලා, අනික් ආගම්වලට පහර දීම මුඛ්‍ය පරමාර්ථය කරගත්තු බ්ලොග් කීපෙකටයි. මේව ලියන්නේ දේවදත්ත නිකායේ පන්සල්වලින් පන්සිල් ගත්තු අය වෙන්න ඕනෑ.

ඉස්සර මට මතකයි, අපි ආච්චිලා ගේ ගෙදර ඉන්න කාලේ ආච්චී රේඩියෝ එකෙන් බණ අහනවා සතියකට දෙතුන් පාරක් ම. ගමේ පන්සලේ බණ වාරෙට අම්ම අපිත් එක්කං යනව බණ අහන්න.

ඒ අහපු සේරම බණ එකම රටාවක ඒවා. පන්සිල් යනාදියෙන් පස්සේ, ඔන්න ගාථාවක් කියනවා. ඊට පස්සේ, ඒ ගාථාව සිංහලෙන් තේරුම් කරලා, ඒකේ අතීත කතාව, වර්තමාන කතාව ආදී තෝම්බුවත් පහදලා, අදාල ධර්ම කාරණා ටික අපිර තේරෙන සිංහල භාෂාවෙන් කියලා දෙනවා.

තුන් මාසේ දානෙක වගේ විශේෂ අවස්ථාවක් නං ඒ තෝරා ගන්නා ගාථා ධර්මයත් බොහෝ විට අවස්ථාවට අදාල එකක්.

මීට අවුරුදු දහයකට කලින් විතර වගේ තමයි මං මුලින්ම ඒ රටාවෙන් වෙනස් වුණු, ජනප්‍රිය රටාවේ, ඒ කියන්නේ පොපියුලර් නැත්තම් පොප් බණක් ඇහැව්වේ. මේ පොප් බණ වල යටින් ලොකු ගාථා ධර්මයක් හරි, බුදු වදනක් හරි, නිධාන කතාවක් හරි නෑ. විවිධ කාලීන පොඩි පොඩි මාතෘකා යටතේ මිනිස්සුන් ගේ එදිනෙදා ජීවිතයේ කරුණු ඇනලයිස් කරල හාමුදුරුවන් ට හිතෙන විදියට හරි මග කියා දීම තමයි මේ පොප් බණ වල අරමුණ වුනේ. ඒවත් නරක නෑ. ගත යුත්තක් තිබුණා.

නමුත් මොකද වුනේ, වැඩේ තවත් පොපියුලර් කරවන්න ටික ටික ලුණු මිරිස් දෙහි ඇඹුල් යනාදිය එකතු වෙන්න පටන් ගත්තා. මේකට හොඳම උදාහරණය තමයි, අර පිටකොටුවේ විකුණන්න තියෙන වී.සී.ඩී. බණ, උඩින් ඒ.සී., යටින් ඒ.සී., ඩබල් ඒ.සී. කතන්දර කෑලි.

අද මං කියන්න යන්නේ ඒ සේරටම වැඩිය වෙනස්, අනේ අපොයි බණක් ගැණයි. මේ කතන්දරේ ලියන්න හේතුව වුනේ අපේ දුකා සගයා ලඟදි ලියපු බණ කතන්දරේ තමයි.

ඔන්න අපේ තාත්තා ගේ හත් දවසේ දානයට කලින් දා රාත්‍රියේ අපි චාරිත්‍රාණුකූලව සිදු කරන බණ දේශණාව යොදා ගත්තා. වැඩම කලේ සෑහෙන පළපුරුදු හාමුදුරු නමක්.

ඔන්න හාමුදුරුවෝ පන්සිල් දීලා වැඩේ පටන් ගෙන ඉස්සෙල්ලාම ගාථාවක් කිව්වා. මට මතක විදියට ඒ ගාථාව දෙමව්පියන් හා සම්බන්ධ එකක්. මං හිතුවේ, ඒ කරුණු සම්බන්ධ කරගෙන මේ වගේ වෙලාවකට අදාල ගිහි ජීවිතය, ධාර්මිකව ජීවත්වීම වගේ සරල කාරණා කීපයක් එක්ක බණ කියයි කියලයි. ඒ කරුණු අපි ඕනැ තරම් අහල තිබුණත් ආයෙත් ඇහැව්වට පාඩුවක් වෙන්නේ නෑ නේ?

හැබැයි, හාමුදුරුවෝ පටන් ගත්තේම ප්‍රශ්ණයකින්.

මරණෙන් පස්සේ උපදින ලෝක කීයක් තියෙනවද?

උපාසක අම්මල එක එක ඉලක්කං වලින් උත්තර දුන්නා. ඒ සේරම වැරදියි.

ඉතිං ඔන්න හාමුදුරුවෝ විස්තර කරන්න පටන් ගත්තා.

තුසිතය, අරක මේක වශයෙන් දිව්‍යලෝක හයයි.
අවීචිය, අරක මේක වශයෙන් අපාය හතරයි.

දැන් කීයද පින්වතුනි.
දහයයි හාමුදුරුවනේ.

සිත මිස කය නැති බඹ ලොව හතරයි.
කය මිස සිත නැති බඹ ලොව හතරයි.

දැන් කීයද පින්වතුනි.
දහ අටයි හාමුදුරුවනේ.

ඊට පස්සේ ඕකට එකතු කළා, පේරෙත, කුම්භාණ්ඩ ලෝක, තිරිසන් යෝනිය අරක මේක. අන්තිමේදි මුළු ගාණ තිස් එකක් ද කොහෙද වුණා මගෙ හිතේ.

ඔය වෙන කොට මං "කය මිස හිත නැති බඹ ලෝකෙක" හිටපු හින්ද මුළු ලෝක ගාණ කීයද කියල ටක්කෙටම කියන්න නං දැන් මතක නෑ.

ඒ කිව්ඇන්ඒ සෙෂන් එකෙන් පස්සේ ඔන්න හාමුදුරුවෝ බණ කෑල්ල පටන් ගත්තා. මෙන්න මං ඉගෙන ගත්තු වැදගත් ධර්ම කරුණු.

මිනිහෙක් මලාම උඩු හිතටයි, යටි හිතටයි අමතරව තියෙන චිත්තයක් අනුව පෙරේතයෙක් වෙලා ඉපදෙන්න පුළුවනි.
ඒ පෙරේතයා ගේ ඉස්සරහා ගේට්ටුව ගාව පැල් බැඳගෙන ඉන්නවා.
ඒ අහල පහල පාරෙන් යන පෙරේතයින්ටත් කතා කරල එකතු කර ගන්නවා.
සමහර පෙරේතයෝ බඩගින්නේ ඉන්නේ.
සමහර පේරේතයින් ට අඳින්න වස්ත්‍රයක් නෑ.

ඉතිං ඔන්න ඔය ආකාරයට පැයකට කිට්ටු කාලයක් මල පෙරේත වස්තුව දේශණා කළා.

මනුස්සයෙක් මැරිල ඒ උණුසුම යන්න කලින්, නෑයෝ, මිත්‍රයෝ දුකෙන් ඉන්න වෙලාවේ කියන්න ඕනෑ හොඳම ධර්ම කරුණු ටිකක් තමයි ඒ මල පෙරේත කතා!

ඒ ධර්ම දේශණාව අවසානයේ මං කල්පනා කළා මේ ඇහැව්වේ කොයි ආකාරයේ බණක් ද, බුදු බණක් ද, වැදි බණක් ද, පොප් බණක් ද කියලා. එතකොට මට හිතුණා ඇත්තටම ඒ බණ මං කලින් අහලා නොතිබුණ අළුත් ආකාරයක අනේ අපොයි බණක් බව.

ඒත් දැන් මට හිතෙනවා ඒ බණ ඇත්තටම හොම්බට අණින ආකාරයේ බණක් කියලා.

කාගේ හොම්බට ද කියලා අහන්න එපා!

-කතන්දරකාරයා

ප/ලි:
ඔය හත් දවසේ දානේ ප්ලෑන් කරන වෙලේ තමයි මං ඉස්සෙල්ලාම තේරුම් ගත්තේ, නියම දානේ කියන්නේ බණ දවස කියලා. හත් දවසේ දවල් දානේ තියෙන්නේ බොහෝ විට සතියේ වැඩ කරන දවසක නිසා හුඟ දෙනෙක් සහභාගී වෙන්නේ කලින් දා බණ දවසේ රාත්‍රී කෑමටයි.

26 comments:

  1. නොදකින් විතරක් මනුස්සයෙක් මැරිච්ච තැනකට ඇවිත් ඔහොම බණ කියන්නෙ පිස්සෙක්ද කොහෙද ..මේ ලඟදි මම ගිය බණ ගෙදරකත් අපූරු බණක් කිව්වා ( තුන් මාසේ එක ), මොකක්දෝ ගාථ පාඨයකින් පටන් ගත්තා ඊට පස්සෙ පටන් ගත්තේ මැරුන කෙනාගෙ ගුණ කතනය ඒක විනාඩි 15 ක් විතර ගියා , ඔන්න අර ගාථාවෙ තේරුම කිව්වා , කොහොම හරි ඒ ගාථාව උපාසකයෙකුගේ ලක්ෂණ ගැන ද කොහෙද කියවෙන එකක් . විනාඩි දෙකක් විතර ඒ ගැන කියල මැර්ච්ච කෙනාගෙ උපාසක ගති ලක්ෂන වල්ට ආවා එයාගේ( මැරිච්ච කෙනාගෙ ) තාත්තල අම්මල හාමුදුරුවො චූටි කාලෙදි පන්සලට අපු විදිහ කටයුතු කරපු විදිහ ගැනත් කිව්ව. තවත් විනාඩි 20 ක් විතර හරි , අයෙමත් තව ගති ලක්ෂන ටිකක් ලයිස්තු ගත කරා ( විස්තර මොකුත් නැ ) ඊට පස්සෙ කියනව පන්සලේ බුදුගෙයි පිලිසකර කිරීමක් තියනවාය , ඒකට පිඟන් ගඩොල් අඩු පාඩුවක් තියනවාය මේ මැරුණු දායක මහත්තය වගේ අය කවදාවත් පන්සලේ අඩු පාඩු තියෙන්න හැරියෙ නැය කියල .. තව මොනවදෝ ටිකක් කියල ගියා . අච්චර සෙනගක් ඉස්සරහා ( ගමේ කට්ටිය ඔක්කොම වගෙ ) කිව්වාම නොකර බැරි කමට මැරුණු කෙනාගෙ ලමයි ටික පිඟන් ගඩොල් ආධාරයක් කරා ගොඩක් අපහසුතා මැද්දෙ වුනත්

    ReplyDelete
  2. අර දානෙ ගැන කියපු කතාවනම් සහතික ඇත්ත....වැඩ නිසා ඔය දාන වලට යැවෙන්නෙම නැහැනෙ අපි. හැබැයි බණ ගෙදරටනම් කොහොම හරි යනවනෙ...........


    http://aluthkolla.blogspot.com

    ReplyDelete
  3. කතන්දරට කියන්න . . . . මට බන හරි දානෙ හරි දෙකෙන් එකකට විතරක් යන්න ලැබුනොත් මම යන්නෙ බනට . . . හේතුව එදාට කොච්චර කෑවත් පෙරේතකම ප්‍රදර්ෂනේ වෙන්නෙ නෑ නෙ . . . ඒකයි.

    ReplyDelete
  4. කතන්දරට ආයෙත් වලියකට සෙට් වෙන්න හිතිල වගේ... දැන් නම් පොඩ්ඩක් බ්ලොග් අවකාශය සංසුන්ව තියෙනවා.. ආයෙ කඩි ටික අවුස්සන්න ද හදන්නේ...

    මේ කතන්දරට බණ කියල වැඩක් නැහැ. හි හි හි

    අර කාලයක් කට්ටියම හිනා වෙවි ඇහුව නේද බණක්.. සින්ගල් ඒසී , ඩුවල් ඒසී බණක්... ඒ බණ හොඳයි හිනා වෙන්න. මේකනෙව ගිහි මිනිස්සු ගිහි වෙලා ඉන්නේ ලෞකික දේවල් විදින්න දකින්න. ගිහිබව අතහැරල පැවිදි වෙන්නේ ලෞකික දේ ගැන කලකිරිලා ඒවයින් මිදෙන්න. ඉතින් එහෙම ගියපු අය අර ලෞකික සැප විඳින අය දැකල ඒ දේවල් වල වැරදි කියන එක වැරදි නැද්ද?

    අනික කතන්දර
    මේ තරම් බණ අහන , බණ කියන වෙන රටක් නෑ...

    ඇත්තම කියනව නම් මම කැමති ස්කෝලෙ කාලෙ අහපු බණ වලට. ජාතක කතාවකින් පටන් අරන් ඒ කතාවේ චරිත ගලපල කරන බණ කතා අහන් ඉන්න වුනත් පුලුවන්. අනික ඒ කතන්දර වලට අපිත් එක්ක ජීවත් වෙන අය ආදේස කරල බලන්න වුනත් අපට පුලුවන් නෙව....අනික තමයි කවි බණ... අහන්න ඉන්න කියනව නම් කවි බණ තමයි බණ....

    මෙන්න කතන්දරට මයෙ ගානේ බණ කවියක් ......
    රන් රුව ලෙස සසොබන ගත
    කෙතකට බැඳි පඹයකු ලෙස
    දුබල වෙමින් තිබෙන කලට
    තවත් මදි කියා

    තොණ්ඩුව දමමින් බෙල්ලට
    පොල්ලෙන් බැට දී තුනටිය
    කඩා දැමී සැට වයසෙදි
    ජරා මාරයා

    නහර රුදිර උරා බොමින්
    ගතෙහි බලය සූරාගෙන
    ලිපට දමන දරමිටියක්
    ලෙසිනි මේකයා

    එබැවින් අද අඬමින් කබ
    ගලමින් යන අය දකිමින්
    කුසල් කරව් දරුවෙනි තොප
    සිතා අනිසයා

    උදේම බණ කතාව කියෙව්වා ..........

    සාධු ! ! සාධු ! ! සාධු ! !

    ReplyDelete
  5. සම්පුර්ණ ඇත්ත ! තමුන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇහේ තියෙන දුවිලි බිඳ ගැන හය්යෙන් කතාකරන මේ අය බුද්ධ දර්ශනයට කරන අපහාසය අනන්තයි..

    ReplyDelete
  6. කතන්දර අහලා තියනවද 'අජාන් චා'ගේ බණ. කාලය, වයස, දේශය ඔය ඔක්කොම අල්ලලා ලස්සනට කියනවා. ඒවා ඇහුවොත් කතන්දර මහන වෙන්ටත් බැරි නෑ.

    ReplyDelete
  7. @සොඳුරු සිත

    තොණ්ඩුව දමමින් බෙල්ලට
    පොල්ලෙන් බැට දී තුනටිය
    කඩා දැමී සැට වයසෙදි
    ජරා මාරයා

    KATADA JARAA MARAYA KIUWE

    ReplyDelete
  8. අර VCD බන ටික නම් මරු අයියේ... ඒක කියපු හාමුදුරුවන්ට මොනා වුනාද දන්නේ නෑ... පොර මාර එව්වා තමා බලලා තියෙන්නේ... බුරියේ තයෙන කරාබුයි.. අරකයි මේකයි.. හැමදේම දන්නවා....

    ReplyDelete
  9. "නියම දානේ කියන්නේ බණ දවස කියලා"
    සබ්බ දානං ධම්ම දානං ජිනාති කිව්වේ ඕකනේ...

    ReplyDelete
  10. @Buwa
    මේ ආත්මේ පිඟන් ගඩොල් දන් දුන්නහම, උපදින ආත්මයක් ගානේ පිඟන් සහ ගඩොල් දෙකම ලැබෙනවා.

    ReplyDelete
  11. @අළුත් කොල්ලා
    අන්න ඕනයා නං කියල තියෙනව ඇත්තම හේතුව!

    ReplyDelete
  12. @ඕනයා
    එදා උඹ ආවද මලේ අපේ ගෙදර.
    එහෙනං ඒකයි හාමුදුරුවෝ එච්චර බණ කියලා තියෙන්නේ පෙරේතයෝ ගැන.

    ReplyDelete
  13. @සොඳුරු සිත
    මෙන්න අපේ පැත්තේ වෙසක් කූඩුවක් පෙන්නලා අවසාන දා කියපු කවි බණ අවසාන කරපු හැටි.

    (තාලය- හද විල කලඹන පෙම් ජල රේඛා)

    දිමුතු තරුණ කැල පරකන්දෙනියේ
    සතුටු සිතින් මේ කූඩුව සැදුවේ
    අවසා.......නයේ දී........ කවි බණ කිව්වේ
    ඒ ඇසු ඔහෙලා නිවනට යැව්වේ

    ReplyDelete
  14. @Lankapriya

    ඒව නං වැදි බණ. මං කියන්නේ අනේ අපොයි බණ ගැණයි.

    ReplyDelete
  15. @Podi Kumarihami

    අනේ මං අහන්නේ නෑ ඔය කඩු බණ.
    පැන්ෂන් ගත්ත කාලෙක හිතලා බලන්න ඕනෑ.

    ReplyDelete
  16. @prasanna86k

    ඒ බණ තියෙනවා එකේ. ඒ වගේ කතා හැඟදාම උදේට උදේට ටීවී එකේ යනවා නේද තාමත්?

    ReplyDelete
  17. @Grey

    සබ්බ රසං ධම්ම රසං ජිනාති කියලත් කියනවනේ.
    ඒත් එදා බණ දවසේ රහම කෑඟ ජාතිය වුනේ සෝමක්කා හදපු අච්චාරුවයි.

    ReplyDelete
  18. ඇත්තටම හත් දවසේ දානෙට වඩා අපි යන්නේ බණ ගෙදරට තමයි... මේ බණ ගැන නම් කියලා වැඩක් නැහැ... :)

    ReplyDelete
  19. නිර් ආගමිකයෙක් වෙන්න හිතෙන්නෙ නැද්ද?

    ලංකාවේ නිර් ආගමිකයෙක්ට මූණ දෙන්න වෙන පුරස්න ගැන හොඳ කතාවක් Secular Sri Lanka අඩවියේ දාලා තිබ්බා නාලක ගුණවර්දන.

    ReplyDelete
  20. හාමුදුරුවෝ ගණන් පාඩමක් කරලා වගේ. සාමාන්‍ය පෘථග්ජන මිනිසුන් මැරුණාම යන්නේ කාම ලෝක 11 න් එකකටලුනේ.

    සතර අපාය
    නිරය, තිරිසන්, අසුර, ප්‍රේත

    සදෙව් ලොව
    යාමය, තුසිතය, තාවතිංසය, චාතුර් මහා රාජිකාව, නිම්මාන රතිය, පරනිම්මිත වසවර්තිය

    අනිත් කාම ලෝකය තමා මිනිස් ලොව

    ඊටත් පස්සේ රූපාවචර බ්‍රහ්ම ලෝක 16
    බ්‍රහ්මපාරිසච්ඡය, බ්‍රහ්ම පුරෝහිත, මහාබ්‍රහ්මය, පරිත්තාභය, අප්පමාණාභය, පරිත්තසුභය, ආභස්‌සරය, අප්පමාණ සුභය, සුභකිණ්‌ණය, වෙහප්ඵලය, අස්‌ඤ්ඤ සත්තය, අවිහය, අතප්පය, සුදස්‌සය, සුදස්‌සීය, අකණිට්‌ඨය

    අරූපාවචර බ්‍රහ්ම ලෝක 4
    ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නේවසඤ්ඤානාසාඤ්ඤායතනය

    එහෙම බලද්දී ඉතින් ලෝක 31 යි තියෙන්නේ. තව තියෙනවා නම් දන්න අය කියන්න..............

    ReplyDelete
  21. @කොට ජීවිතේ
    මාත් බණ ගෙවල්වලට ගිහින් තියෙනවා. ඒත් ඒක දානේ ගෙයක් වෙන බව දැනං හිටියේ නෑ.

    ReplyDelete
  22. @dawkingsdodo

    ආගමක් නැති එකත් එක්තරා ආගමක් තමයි, නේද?

    ReplyDelete
  23. @Hasitha,

    ලිස්ට් එකට ස්තුතියි. මාත් එදා පාඩමෙන් ඉගෙන ගත්තේ තිස් එකයි කියල තමයි, එවෙලේ සිත නැති බඹ ලොවක ගිහිං හිටියට.

    අනිත් වෙලාවට මං ඉන්නේ "සුරන් නැලවූ සුයාමයේ...."

    ReplyDelete
  24. @All
    සැමට ස්තුතියි.

    මීලඟ කතන්දරේ - නෙසංඩාල අවලං කෙල්ලෝ ගැනයි!

    ReplyDelete
  25. @ ක.සූ/ඕනයා - අනෙ අප්පේ මම බණට යන්නෙ දානෙට යන්ඩ වෙලා නැති හින්ද මිසක් මම ඕනයා වගේ හින්ද නෙමෙයි...... අයියෝ.........

    http://aluthkolla.blogspot.com

    ReplyDelete
  26. මරනෙන් පස්සෙ මොකද වෙන්නෙ. පෙරේතයො, දෙවියො මිනිස්සු වෙලා ආයේ ඉපදෙන්නෙ කොහොමද, මිත්‍යාදෘෂ්ඨිය සම්‍යක් දෘෂ්ඨිය කියන්නෙ මොනවද, කියලා ඇත්ත දැනගන්න.

    කියවන්න

    01. ​බෞද්ධයාගේ අත්පොත http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/34938492-Bauddhayage-Athpotha-%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD.pdf

    02. බුද්ධ රශ්මි http://www.budurashmiya.net/

    03. රේරුකානේ චන්දවිමල මහ නාහිමිගේ තවත් දහම් පොත් http://www.seegiri.com/forum/sitemap/t-2239.html

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.