Tuesday 19 October 2010

ගැරඬි මැරුවොත් පව් සිද්ධ වෙනවද?


මං පොඩි කාලේ අපේ ගෙදර මෙට්ටෙකට මකුණො බෝ වෙලා තිබිල, ඒ බව තේරුනේ එක දවසක් මහ රෑ දෙගොඩහරි ජාමේ.

මල්ලියි, තාත්තයි බර අවි යොදා ගන්නෙ නැතුව කරපු මකුණු සමූල ඝාතන මහා මානුෂික මෙහෙයුමට මටත් හවුල් වෙන්න වුණා.

ඔය කතාව ගැන ලිපියක් මේ ලඟදි සඟරාවක පලකරන්න ලියන කොට මට මතක්වුනේ දහම් පාසලේ දී ඉගෙන ගත්තු ලෝවැඩ සඟරාවේ එන මෙන්න මේ කවි පද දෙක.

"පෙර අඟනක් එක් එළු දෙනක හිස සිඳා
ඇය ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ලඳා"

මේ කවිය සිහිවුනාම මට හිතුනේ හොඳ වෙලාවට මකුණන්ට මයිල් නැත්තෙ කියලා එළිච්චියන් ට වගේ.

ඒ කොහොම වුනත් මකුණෙක් මැරුවාම ලැබෙන පව අඩුයි නේද එළුවෙක් මැරුවට වඩා?

මට තේරිලා තියෙන විදියට මරණයට ලක්වෙන සතා ගේ ඇඟේ සයිස් එකට අනුලෝමව සමානුපාතිකයි සිද්ධවෙන පව. සතා පොඩි නං පව පුංචියි, සතා ලොකුවෙන්න වෙන්න පවත් ලොකු වෙනවා.

බණ අහන ගමන් උනත් මදුරුවෙක් වගේ පුංචි සතෙක්ව ඇඟට පතට නොදැනි චටස් ගාල තලල දාන්න පුළුවන් ඒ හින්දයි.

අලියෙක් මැරුවොත්, තල්මහෙක් මැරුවොත් හෙම මුළු ලෝකෙම වගේ කම්පාවෙන්නේ ඒ හින්දයි.

ඒ එක්කම ඉන්දියාවෙ දුම්රිය අනතුරකින් දෙසීය ගාණක් මැරෙන එකට වැඩිය, යූ.එස්.ඒ. වල දෙන්නෙක් මිය යාම ලොකු ඉන්ටර්නැෂනල් නිවුස් එකක් වෙන්නෙත් ඒ නිසයි.

-කතන්දරකාරයා

ප/ලි
දැන් ඔය අපි වගේ පොඩි ජුන්ඩෙක් වරදක් කරල හිරේ වැටුනොත් ඉතිං ඒ පරණ පව් නිසානේ. අපිට ඉතිං සොරි ඩොට් කොම් විතරයි.

ඒකටත් එක්ක ලොකු තල්මහෙකුට ජම්පර් අඳින්න වුනොත් ඉතිං කළු කොඩි තමයි රට පුරාම.

ඒ තල්මහ පොර වෙලා හිටිය කාලේ විනාස කරපු හාල්මැස්සො කන්දරාව ගැන කාටද අනේ මතක?

තල්මසුන් රකින්න ඉන්ටර්නැෂනල් වේලිං කොමිසම තිබුණට, පොඩි හාල්මැස්සන්ට ඉතිං දෙයියංගෙ පිහිටවත් නෑ.

ප/ප/ලි
ටියුබ් ලයිට් අයට- කතන්දරේ අද නෙමෙයි හෙට!

ප/ප/ප/ලි
මෙන්න දෙවෙනි කොටස - පූරුවේ පවක්!

29 comments:

  1. මදැයි ඉතින් හෙට වෙන්නෙ කවදද?
    යූ.එස්.ඒ හා ඉන්දියාව ගැන සංසන්දනය ඇහුවම නංගි කියපු කතාවක් මතක් වුනා. මං කවුරු වගේ ද කියල එයාගෙ යාළුවෙක් ඇහුවම “අපෝ අපි වගේ නෙමෙ, ඉතියෝපියාවේ හාමතේ ඉන්න කෙනෙක් වගේ අක්කා” කියලා කියලානේ.

    ReplyDelete
  2. :)

    -කාංචන

    ReplyDelete
  3. ඇබෑර්තු ඇත.

    ReplyDelete
  4. කිසිදු ආගමක් විශ්වාස නොකරන බැවින් මම යම් ක්‍රියාවක හොඳ නරක තීරණය කිරීමේදී පරිණාමය මිනුම් දණ්ඩ කර ගනිමි.

    පරිණාමයේ අවසාන අරමුණ බුද්ධිමත් ජීවී කොට්ඨාශයක් බිහි කිරීමයි. ඒ කවර හේතුවකටදැයි මම නොදනිමි. එහෙත් Richard Dawkins මින් වසර තිහකටත් පෙර The Selfish Gene හි විස්තර කළ පරිදි අප පමණක් නොව අපේ ජානද හැසිරෙන්නේ මේ අරමුණ සාක්ෂාත් කර ගැනීම පිණිසය.

    මේ පරිණාමීය අරමුණට රුකුල් දෙන යම් ක්‍රියාවක් වේද එය කුසලයකි. විරුද්ධ වන්න වේද අකුසලයකි.

    කවර හෝ ජීවියකු විනාශ කිරීම පරිණාමයට එරෙහිය. එහෙත් පරිණාමීය ඉණිමඟෙහි වඩා ඉහළ ජීවියකු (අලියා, තල්මසා) විනාශ කිරීම පහළ ජීවියකු (මකුණා) විනාශ කිරීමට වඩා ලොකු අකුසලයකි. එසේම යම් ජීවියකුගේ විනාශය ඊට ඉහළ ජීවියකුගේ පැවැත්ම උදෙසා නම් එය සීමා ඇතිව සාධාරණීකරණය කළ හැකිය. මෙය මනුෂ්‍යයින් සඳහාද අදාළය.

    කතන්දර සූරීන්ගේ ආන්තික උදාහරණය ගත්තොත් ඉන්දියාවේ සියයක් මිය යෑමෙන් පරිණාමීය ක්‍රියාවලියට වන හානියට වඩා වැඩි හානියක් ඇමරිකාවේ දෙදනකු මිය යෑම නිසා විය හැකිය.

    ReplyDelete
  5. අදනං කතන්දර අත ගහලා තියෙන්නේ බැනුං අහන මාතෘකාවකට තමා ඔං....

    ReplyDelete
  6. කතන්දර ගුටි කන්න හදන්නේ.

    ReplyDelete
  7. සතාගේ තරම පව් පිං හා බැදුනේ
    දඩුවමේ තරම තනතුරු හා සමවේ
    පණ කෙන්දත් බියත් මැනිමට මේ ලෝකේ
    උපකරණයක් හැදුවොත් නරකද මිතුරේ.....

    ReplyDelete
  8. පව් දවසකට අසරණ හාල් මැස්සෝ කීයක් මරණවද?. කවුරුත් උන් ගැන කතා කරන්නේ නෑ. ඉඳහිට මරණ තල්මසුන් ගැන තමා ලොකෙට පේන්නේ.
    මමත් බලන් ඉන්නේ හෙට වෙනකන්.

    ReplyDelete
  9. "දැන් ඔය අපි වගේ පොඩි ජුන්ඩෙක් වරදක් කරල හිරේ වැටුනොත් ඉතිං ඒ පරණ පව් නිසානේ. අපිට ඉතිං සොරි ඩොට් කොම් විතරයි." ඒක නම් සම්පුර්ණ ඇත්ත

    ReplyDelete
  10. කතන්දර,
    හාල්මැස්සන්​ට තල්මස්සු කරන පව් කරන්න බෑනෙ කොහොමත්...
    අනෙක් අතට සමහර තල්මස්සු ඔහොම පත සයිස් එකෙන් පෙණුනට හුලං පුම්බපු පුස් ලෝඩන් හාල් මැස්සොම තමයි...!

    කව්ද ඔය පව් පින් ගැන ආතල් ගන්නෙ මේ දවස්වල... වද වෙන්න කරද​ර වෙන්න ඕනෙ එකම එක දෙයක් ගැන විතරයි.

    කියමු බලන්න මොකක්ද කියල?

    ReplyDelete
  11. //මට තේරිලා තියෙන විදියට මරණයට ලක්වෙන සතා ගේ ඇඟේ සයිස් එකට අනුලෝමව සමානුපාතිකයි සිද්ධවෙන පව. සතා පොඩි නං පව පුංචියි, සතා ලොකුවෙන්න වෙන්න පවත් ලොකු වෙනවා.
    //

    මෙහෙම වෙන්නෙ ඇඟේ සයිස් එකයි මොලෙයි දෙකත් අනුලෝමව සමානුපාතික වෙනව නම් විතරයි. එහෙම නොවෙන අවස්තාත් ඇති නේද?

    ප.ලි
    මං මේ නිකමට අහන්නේ... කවුරු හරි ලඟදි රන්ජන් රාමනායක, ආර්. දුමින්ද සිල්ව ඩබලව එහෙම දැක්කෙ නැද්ද?

    ~M

    ReplyDelete
  12. //මට තේරිලා තියෙන විදියට මරණයට ලක්වෙන සතා ගේ ඇඟේ සයිස් එකට අනුලෝමව සමානුපාතිකයි සිද්ධවෙන පව. සතා පොඩි නං පව පුංචියි, සතා ලොකුවෙන්න වෙන්න පවත් ලොකු වෙනවා.
    //

    මෙහෙම වෙන්නෙ ඇඟේ සයිස් එකයි මොලෙයි දෙකත් අනුලෝමව සමානුපාතික වෙනව නම් විතරයි. එහෙම නොවෙන අවස්තාත් ඇති නේද?

    ප.ලි
    මං මේ නිකමට අහන්නේ... කවුරු හරි ලඟදි රන්ජන් රාමනායක, ආර්. දුමින්ද සිල්ව ඩබලව එහෙම දැක්කෙ නැද්ද?

    ~M

    ReplyDelete
  13. //මට තේරිලා තියෙන විදියට මරණයට ලක්වෙන සතා ගේ ඇඟේ සයිස් එකට අනුලෝමව සමානුපාතිකයි සිද්ධවෙන පව. සතා පොඩි නං පව පුංචියි, සතා ලොකුවෙන්න වෙන්න පවත් ලොකු වෙනවා.
    //

    මෙහෙම වෙන්නෙ ඇඟේ සයිස් එකයි මොලෙයි දෙකත් අනුලෝමව සමානුපාතික වෙනව නම් විතරයි. එහෙම නොවෙන අවස්තාත් ඇති නේද?

    ප.ලි
    මං මේ නිකමට අහන්නේ... කවුරු හරි ලඟදි රන්ජන් රාමනායක, ආර්. දුමින්ද සිල්ව ඩබලව එහෙම දැක්කෙ නැද්ද?

    ~M

    ReplyDelete
  14. මට “හෙට” උදා වූ නිසා නැවත ආවෙමි. අහෝ! දැන් ඔබට “හෙට” උදාවන තෙක් බලා සිටින්නට සිද්ධ වෙයි!!

    අර ඩෝකින්ස් කියන ස්වාර්ථ කතාවේ ඇත්ත වටා ගෙති අලංකාරය වෙන්කර ගැනීමට බැරිවීම අනාගත් ලෝකයක ජීවත්වන අපට නොහැකියාව පුදුමයක් නොවේ. සතුන් මරන්නට පව් කියන අය වතුර වීදුරුවක් බොන්නේ ඇහැටවත් පේන්නේ නැති උන් ගැන (දන්නේ නම්) එය කුමන පවක් ද යැයි සිතමින් ද? එක ජීවියකුගේ ජීවත්වීම පමණින් තවත් ජීවියකුගේ ජීවිතය අනතුරේ ය. එය හඳුනාගන්නට හැකියාව ඇත්තේ මිනිස් මොළයකට හිමිකම් දරන්නාට පමණක් නිසා එය හඳුනාගත හැකියාව නැති උන්ට වඩා වඩාත් වගකිව යුත්තෙක් විය යුතු නැද්ද?

    ජීවියෙකු නොමරා ජීවත්විය නොහැකි යයි කියා සියදිවි නසා ගත්තෝ ද ඉතිහාසයේ වූහ. අගයෙන් බාලයා බිලි දෙන්නට හැකි යයි සිතන අය ද ලෝකයේ තවමත් සිටිති! ඒ දෙකම අන්ත දෙකක් යැයි වටහා ගන්නේ සොච්චමකි.

    ReplyDelete
  15. @අරුණී
    නංගී නිකං සමෝවා වල රජ පවුලේ කෙනෙක් වගේ ඇති නේද?

    ReplyDelete
  16. @ඇනෝ 2
    ඇබෑර්තුව ටියුබ් ලයිට්වලටද?

    ReplyDelete
  17. @ටැබූ
    ඒ තියරියෙන්ම සොක්කෙක් වරදක් කළ විට හිරේ තපින්නට වුනත්, ලොක්කෙක් ඒ වරදම කළ විට විශේෂ ක්‍ෂමාවක් ලබීම විස්තර කරන්න පුළුවන් නේද?

    ReplyDelete
  18. @මාරයා
    @නිෂ්
    වලි නං වලි, ෂේප් නං ෂේප්, හරිය?

    ReplyDelete
  19. @වත්
    උපරකණයක් තියෙනවා.
    ඒකට කියන්නේ හදවත කියලයි!

    ReplyDelete
  20. @ප්‍රියන්ත
    මෙන්න බොලේ ප්‍රියන්තටත් ටියුබ් ලයිට්!

    ReplyDelete
  21. @අකීකරු හිත
    අනේ ද කියන්නේ?

    ReplyDelete
  22. @ලොකූ
    අනේ ආයිබෝං - කව්ද පනේ ඕව දන්නේ!

    ReplyDelete
  23. @~M
    ඔය කියන්නේ ඔළුව ලොකු කඳ පොඩි අය ගැනද?

    ReplyDelete
  24. @අරුණි 2
    මට නං තේරෙන්නේ නැත්තේ - ටූනා ව මරලා කන අපි ෂාක් ලා, ඩොල්ෆින් ලා බේරන්නේ ඇයිද කියලායි.
    පුද්ගලිකව මං නං මකුළුවෙක් වත් හිතලා මරන්නේ නෑ!

    ReplyDelete
  25. අන්තිමට ඉතින් වෙන්නේ තෝරු මෝරු තල්මස්සු හැප්පෙද්දී පැත්තක ඉන්න හාල්මැස්සෝ තැලෙන එක...............

    ReplyDelete
  26. ටූනාව මරාගෙන කා තල්මසා බේරීම ලොව කිසිම සම්මත ආගමකින් පැහැදිළි කළ නොහැකිය.

    1. ථෙරවාදයට අනුව ටුනා මැරීමේදීද, තල්මසා මැරීමේදීද එකම අකුසල චේතනාව පහළ වේ. එනිසා දෙකම වැරදිය.

    2. මහායානයට අනුව ටූනාද, තල්මසාද මතු බුදුවන බෝසතුන්ය. එනිසා දෙන්නාගෙන් කවුරු මැරුවත් වැරදිය.

    3. හින්දු ආගමට අනුව කවර හෝ ජීවියකු මැරීම වැරදිය. ටූනාටද, තල්මසාටද වෙනසක් නොකරයි.

    4. ඉස්ලාම් ආගමට අනුව ටූනාත් හලාල්ය. තල්මසාත් හලාල්ය. එනිසා දෙන්නාම එකය. කවුරු මරාගෙන කෑවත් කමක් නැත.

    5. ක්‍රිස්තියානි හා යුදෙව් ආගම් වලට අනුව සියළු සතුන් මවා ඇත්තේ මිනිසාගේ පරිභෝජනය පිණිසය. ඉතින් මිනිසාගේ කැමැත්ත අනුව ටූනා හෝ තල්මසා පරිභෝජනයට ගත හැකිය. එකකුට වෙනසක් නොකරයි.

    6. මාක්ස්වාදයට අනුව ටූනා හෝ තල්මසා මැරීම වැරදි වන්නේ ධනපති පංතිය කළොත්ය. පීඩිත පංතිය කළොත් ටූනා, තල්මසා නොව අම්මා තාත්තා මැරුවද වැරදි නැත.

    මෙනිසා ටූනා මරාගෙන කා තල්මසා බේරීම පැහැදිළි කළ හැකි එකම 'ආගම' පරිණාමයයි.

    - Taboo

    ReplyDelete
  27. කතන්දර විසින් රජ පවුලකට සමාන කළාට පස්සෙ ඩිංගිත්තකට තිබිච්ච නංගියාගෙ ඔළුගෙඩියත් දැන් ලොකුවෙලා!

    චීන්නු විතරයි ලොකු පොඩි භේදයක් නැතිව කනබොන දේ නියම කොමියුනිස්ට් විදියට කරන්නෙ. ඌරා ද පත්තෑයා ද කියලා කිසි ගාණක් නැතුව සෝයා සෝස් ටිකක් දා ගත්ත, තෙලෙන් බැදගත්ත, කෑවා!!

    හිතලා මරපු ප්‍රාණයක්?! :) මේ පැත්තෙ මැසි මදුරුවො හා මකුළුවො හිඟ හින්දා මේ පැත්තෙ අය අතින් පව් කෙරෙනවා අඩු ද මන්දා! සමහර විට ඒ නිසා පින් වැඩිය ලැබෙනවාත් ඇති ?!!!

    ReplyDelete
  28. @ කතන්දර
    ස්ටාටර් එක ගහල ගිහින්....
    හික්ස්........

    ReplyDelete
  29. දැං තුන් හතර පාරක්ම කියෙව්වා. ඔන්න ඔහේ හෙට වෙනකංම්ම ඉන්නවා...!

    මමත් -[|||||||||||||||||||]- අද
    ..........................................
    arunishapiro,
    පව් අඩුවෙන් කරා කියලා පින් වැඩිවෙන්නෑ මං දන්න හැටියට.
    පින් කෙරුවොත් පිං! පව් කෙ​රුවොත් පව්!! එහෙම නේද?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.