
ඒ මට මතක විදියට මා උසස් පෙළ නිමවා ගන්ධබ්බ ජීවියක් ගතකරන කාලයේ විය යුතුය. එක් දිනක් මම අපේ අංකල් ගේ බයිසිකලයේ නැගී රත්මලාන ප්‍රදේශයේ මංමාවත්වල කරක් ගැසුවෙමි.
මට යා යුතු නිශ්විත තැනක්, කළ යුතු වෙනත් කාර්යයක් නොමැති වූ නිසා අංකල් ගේ නිවසේ සිට බෙලෙක් කඩේ දෙසට විත්, එතැනින් ගාළු පාරෙන් අනෙත් පසට ගොස් දුම්රිය පොළ පැත්තේ ඔහේ පැදගෙන ගියෙමි.
සමහර විට මා එකම පාරේ දෙතුන් වරක් මේ ලෙස යන්නට ද ඇත.
එක්වරම මා දුටු කොලුවෙක් "මෙන්න හාල්පාරුවෙක්!" යැයි කෑ ගැසීය.
ඌ ඒ ආකාරයට ඒ නමෙන් හැඳින්වූයේ ගමේ ගොඩේ දී විටක දකින, කිසි වැඩකට නැති සතෙක් සේ සැලකෙන "හාල්පාරුවා" නම් වූ සර්පයෙකු නොව කිසි වැඩකට නැතුව ඔහේ සයිකලයක් පැද යන මා බව මොහොතකින් මට වැටහිණි. (ප/ලි: මා මෙහිදී ඇත්තටම අදහස් කලේ හාල්දණ්ඩා නම් වූ සර්පයා ය. හාල්පාරුවා නම් වූ සර්පයෙක් නැත.)
"හාල්පාරුවා" යන යෙදුමේ නියම තේරුම මට වැටහුණේ එදින ය.
මින් වසර කිහිපයකට පසු කාලයක "හාල් කෑලි" යන යෙදුම මට අසන්නට ලැබුණි.
මෙයින් අදහස් වෙන්නේ, කිසි සුවිශේෂීත්වයක් නැති, පොල් පිත්තකින් වුව කපා ගත හැකි, පඳුරකට ගැසූවිට දහයක් පහලොවක් පමණ විසිවෙන ආකාරයේ සාමාන්‍ය අවශේෂී පුද්ගලයින් ය.
අප මිතුරන් කීප දෙනෙකු අතර මේ යෙදුම තවමත් භාවිතාවෙයි. එසේ වුවත් අප කියන්නේ නිකම්ම නිකං "හාල් කැලි" කියා නොවේ, වැදගත් ආකාරයට "සහල්" කියා ය.
ඔය කතා දෙකම මට සිහිවූයේ මේ ලඟදී දිනක අළුත්ම හාල් වර්ගයක් උයා අනුභව කරන්නට ලැබුණු විටයි.
මෙය ඉන්දියානු සහල් වර්ගයකි.
මේ සහල් වර්ගයේ ඇති එක් සුවිශේෂී වෙනසක් නම් ඒ හාල් ඇට ඉතා දිගු ඒවා වීමයි.
මෙන්න හාල් ගැරීමට පෙර.

සෝදා ගත් සහල් රයිස් කුකරයේ ඉදෙන්නට පෙර.

මෙන්න බත් ඉදුණු පසු.

මෙන්න මේ ඉදුණු බත් ඇටවල දිග කෙතරම්ද වටහා ගැනීමට හැකි ආකාරයේ ඡායාරූපයක්.

කොහොමද දිග? ඉන්දියන් කියලා කියන්නවත් බෑ නේද?
මෙයින් මට තේරුම් ගිය එක් කාරණයක් නම් අවශේෂී හාල් කෑලි අතර ද සමහර හාල් කෑලි සුවිශේෂී ඒවා විය හැකි බවයි.
-කතන්දරකාරයා
ප/ලි
මේ කතන්දරයේ කිසිදු සැඟවුණු අරුතක් නොමැති බව කරුණාවෙන් මතක් කරමි.
(image: http://www.shutterstock.com/pic-2243346/stock-photo-a-rice-barge-on-the-chao-phraya-river-in-thailand.html)