Saturday, 15 October 2011

පේරාදෙනිය ගැන ප්‍රීතිමත් කවි ඇත්තෙම නැද්ද? : Self-deception


බලන්න ඒකෙත් හැටි!

මං ඉස්කෝලේ ටීචර් කෙනෙක් කොල්ලෙකුට බැනපු එක ගැන ලිපියක් ලිව්ව කියල ඉස්කෝලේ අයිතිකාරයෙකුට තද වුණා මතකනේ.

පහුගිය සාහිත්‍ය මාසේ කයි-කතන්දර කියල පටන් අරං දැන් මං සෑහෙන්න පේරාදෙනිය විශ්ව විද්‍යාලය ගැන ලියපු කවි පල කරලා තියෙනවා මේ බ්ලොග් එකේ. ඒ ලියපු තරමක් ලිව්වේ පේරාදෙනිය ගැන දුක්බර කවි. කොටින්ම කියනවනං පේරාදෙනියේ යන්න බැරි වුණාය කියල හිතේ දුකෙන් ඉඳල තියෙන සෑහෙන පිරිසක ගේ හිත හැදෙන තරමටම නෙගටිව් කවි ඒවා.

හැබැයි අද වෙනතුරු කවුරුවත් ම වලියට ආවේ නෑ මා එක්ක, අඩෝව්, කවුද ඩෝව්, අපේ කැම්පස් එකට කතන්දර හදන්නේ, ඩෝ! කියාගෙන.

බලන්න ඒකෙත් හැටි!

වලි නැති වුනත් මට හිතුනා පේරාදෙනයි ගැන ප්‍රීතිමත් කවියක් දාන්න. ගෑල්ලමයි ඉල්ලීමක් කළාම නොකර ඉන්න එක හරි නෑනේ. අනික, එක්කෙනෙක් ද, දෙන්නෙක් ද?

එහෙනං මෙන්න ඒක.

සරසවි බිමට වසන්තය එළැඹෙයි

සරසවිය වසාගෙන තිබුණු වියළුණු පෙනුම
මදින් මද ඇද හැලෙන සිරි පොදින් නැතිවෙලා
අවට සිසිලස රැගෙන ලපටි තණපත් පිබිද
බැලු බැලූ හැම අතම පලා පැහැ විසිරිලා

වියලි පරඬැල් පතින් පිරි තිබුණු තුරු ලතා
කහ පැහැති රත් පැහැති මල්වලින් බරවෙලා
රුදුරු ගිම්හානයේ කුරිරු බව නසාගෙන
හන්තාන නිම්නයට වසන්තය එළැඹිලා

සැඳෑ කල හමායන සිසිල් වූ මදනලින්
මහවැලිය ඉවුරු බඩ උණපඳුරු සෙලවෙතේ
සනාතන මැදුරු බද පිපුණු අරලිය පඳුරු
සුවඳ කැන් දස අතේ විසිරමින් හිනැහෙතේ

නෙක පැහැති සළු පැලැඳ තුටුව ගිය සිත් ඇතිව
කලාගාරයෙ වලේ මහ පිරිස් පොදි කතේ
සොඳුරු පෙම් ලොවේ තතු සවන්වෙත මුමුණමින්
උනුන් අත් පටලාන පෙම්වතුන් ඇවිදිතේ

කොයි අතක බැලූවද සිනහවෙන් පිරි මුහුණු
හැම සිතම හැම හදම සන්තොසින් පිරිලාය
වසන්තයෙ කුමාරිය සරසවිය පුරා අද
අඩු නැතුව සොඳුරු බව එක ලෙසට බෙදලාය෴


කවිය නං ඔහොමයි. ඒත් ඇත්තටම කියනව නං, මට නං මේ ප්‍රීතිමත් කවිවලට වැඩිය කොච්චරකළත් වටින්නේ දුක්බර කවිම තමයි.

(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී මා විසින් හස්තද්වාරයෙන් එලිදක්වන ලද "හන්තානේ කඳු පාමුල" කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

-කතන්දරකාරයා

ප/ලි:
කියවන අයට පේරාදෙනිය එපාවෙන විදියේ කවි ලිව්වට මට තාමත් වලියක් ඇදුනේ නැත්තේ ඉස්කොලේට වඩා විශ්ව විද්‍යාලේ ලොකු හින්දද? ඊට වඩා අයිතිකාරයෝ ඉන්න හින්ද ද? නැත්තං, ඒ ඉන්න අයිතිකාරයින්ට මොලේ උණ නැති හින්ද ද? අනේ මන්දා?

හැබැයි, ලංකාවේ අඳුරු සත්‍යය ගැන කියවෙන වචනයක් ලිව්වොත් නං ඒ සෙල්ලං නැතිවෙයි.

පොරවල් එයි සරොං වලාපොට ගහගෙන මා එක්ක වලියට!

(image: http://www.amazingonly.com/amazing/university-of-peradeniya-greenery-photography/)