Sunday, 1 January 2012

වසරේ මහා උභතෝකොටිකයට කතන්දරකාරයා ගේ විසඳුම - How to greet issue solved!


ලංකාවේ තියා ලෝකේ කොතැන හිටියත් සිංහල උංට සමරන්නට අවුරුදු උදාවන් දෙකක් ඇත.

එකක් අප්‍රියෙල් මැද එළැඹෙන සංස්කුරුතිමය එකය. අනික බටහිර කුමන්ත්‍රණයක් වන ජනවාරි පළමුවෙනිදා ට යෙදෙන ජනේරුවය.

දැන් මේ දෙකෙන්ම ගැලවී සිටිමට සිතීම නම් විහිළුවකි. පත්තරෙන්, රේදෙව්වෙන්, තලදසුනෙන් නොව බ්ලෝග්කාරී-විකාරරූපී ලෝකයෙන්ම මේ ඩබලම අපේ ඇස්, කන්, නාසා තුලින් අනුමස්තික්‍ෂ්කයටම කවයි. අපට කළ හැක්කේ යන්තම් ජාම් බේරා ගැනීමට සැලසුම්කර, ඒවා ක්‍රියාත්මක වේයැයි ඇඟිලි බැඳගෙන සිටීම පමණි.

අවුරුද්ද උදාවූ පසු ඒ වෙනුවෙන් සුභ පැතීම සාමාන්‍ය සිරිතයි. කොටින්ම ඊයේ රාත්‍රියේ මගේ අල්ලපු මේසේ හිඳ අවුරුදු සමරපු එකාද හරියට මධ්‍යම රාත්‍රී දොලහට මට ඇස්ඇම්ඇස් එකක් එවීය.

හැම අතින්ම පැහැදිළි වෙනස්කම් ඇති අවුරුදු දෙකක් ඇති නිසා ඒ දෙක වෙනුවෙන් සුභ පැතීමද පැහැදිලි වෙනස්කම් සහිතව කළ යුතුයි.

මං දන්නා පරිදි ජනවාරි පළමුවෙනිදා අප වැඩි දෙනා සුභ පතන්නේ Happy New Year කියා සුද්දන්ගේ භාෂාවෙනි. අප්‍රියෙල් වල එන සිංහල අවුරුද්දේ දී "සුභ අළුත් අවුරුද්දක් වේවා!" යැයි කියමු. සිංහල අවුරුද්දට Happy New Year කියන සිංහල උන් ගැන නම් මට ඇතිවෙන්නේ මහත් කේන්තියකි.

සිංහල භාෂාවෙන් ජනවාරි පළමුවෙනිදා සුභ පතන විට අප කිව යුත්තේ කුමක්ද යන්න නම් පැහැදිලි උභතෝකෝටිකයකි.

1. "සුභ අළුත් අවුරුද්දක් වේවා!" යැයි කිව යුතුද?
2. "සුභ නව වසරක් වේවා!" යැයි කිව යුතුද?

මට හිතෙන පරිදි මේ සඳහා වඩාත් සුදුසු "සුභ නව වසරක් වේවා!" යන්නයි. එය "හැපි නිව් ඉයර්" යන්නේ කෙලින්ම පරිවර්තනයකි.

එනිසාම ටිකක් අමු ගතියක් දැනේ.

එනිසාම එය මේ ජනවාරි පළමුවෙනිදා අවුරුද්දට මනාව ගැලපේ.

එසේ නම්, "සුභ නව වසරක් වේවා!"

"සුභ අළුත් අවුරුද්දක් වේවා!" යන්න අප්‍රියෙල් මාසයට තබා ගනිමු.

ඔය මොනවා වුනත් මංතුමා නම් වැඩිපුරම පාවිච්චි කරන සුභපැතුම මෙන්න මේකයි.
http://kathandara.blogspot.com/2010/04/blog-post_14.html



-කතන්දරකාරයා

ප/ලි:
දැක්ක නේද ෆොටෝ ෂොප් මැජික් වැඩ!

ප/ප/ලි
(2012 ජනවාරි 2 දින එකතු කළෙමි).

ඔය ෆොටෝවල කතන්දරය මෙසේය.

බලන්න බෝතලේ කඳට සාපේක්‍ෂව මූඩියේ සහ කටේ ප්‍රමාණය! ටිකක් අවුල් නේද?

ඔය සේරම බෝතල් 200ml ඒවාය. කඳේ වටප්‍රමාණය සහ උස වෙනස් වුවද, කට එක ප්‍රමාණයේය.

ඕවා මං අවුරුදු දෙකකට පමණ පෙර රට ගිහින් එන වෙලාවකදී ගෙනැවිත් ආපු ගමන් කබඩයේ දමා වසා දුම් ඇල්ලූ සෙට් එකක ඒවාය. කසායට අනුපාන ලෙස හාවා හඳ දකින්නාක් සේ වසර දෙකක් තුල ආගන්තුක සත්කාරයට යොදා ගත්තද ආදරේ වැඩිකමට හිස් 200 බෝතල් වීසි නොකළෙමි.

මෙන්න අද තත්වය. මේ ෆොටෝ එකෙන් 200ml සයිස් එකේ කතාව තේරෙනු ඇත.



දෙසැම්බර් 31 වෙනිදා මා මේ කිසිවක් නොබිව් බව කරුණාවෙන් සලකන්න.