Thursday, 1 September 2011

කල්පාන්තයක ආරම්භයක් - පේරාදෙනියේ දී ලියූ කවි


මේ කවිය මං ලිව්වේ පේරාදෙනියේ ඉංජිනේරු පිඨයට මුලින්ම ගිය දිනය ගැනයි.

මං හිටියේ මාකස් ප්‍රනාන්දු ශාලාවේ. උදේම නැගිටලා සීතලේම ඇඟ හෝදලා, සුදු ඇඳුම් ඇඳගෙන, පානුයි පරිප්පුයි ගිලලා, කඳු බැහැලා, ගඟ තරණය කරලා මං එදා උදේ හත හමාරට විතර ඔය උඩින් තියෙන රොකට් එන්ජිම තියෙන තැනට ගියා මට අද වගේ මතකයි!

අවුරුදු දාහතරක පාසල් ගමණක් අවසාන කරලා, වයස අවුරුදු දහනමයක තරුණයෙක් විදියට, එදා ඒ ගමන ගියේ කොච්චර සතුටක් හිතේ පුරෝගෙනද?

මුළු ලෝකෙම ජයගත්තා වගේ, හිමාල කන්ද තරණය කළා වගේ හැඟිමක් තමයි හිතේ තිබුණේ!

කල්පාන්තයක ආරම්භයක්

හිතේ හිරවුණු සතුට බිය සැකය එකට දරාගෙන
මද සිරිපොදයේ
අරුනළු වැටෙන පැයේ
කඳු මුදුනක සිට පහලට දිව විත්
මල්ගොමු ගංගා පසුකරගෙන විත්
වසන්ත උයනේ
කොණක ඉකිබිඳින
වැලිකතරක වූ
රොකට් එන්ජිමක් ලඟ නැවතුනු සඳ

හිමිදිරි උදයේ පිනි හා දිලිසෙන
තණපත් අතරින් හිස ඔසවන
නිදිකුම්බා මල් කැකුලක් සේ

සුපිපුණු පියුමක් සේ වූ වුවණයි
සුන්දර නෙත් කලු
කෙස් කළඹයි
තැඹිලි පැහැති සලු පටින් වැසී ගිය
පින්බර මුදු සිරුරයි

සිතට සතුට සැනසල්ල උදාකර
හදට මිහිර හසරැල්ල ලඟාකර
ඔබෙ රුව
නෙත ගැටුණා!෴


(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

-කතන්දරකාරයා

ප/ලි
අද සිට ඇරඹෙන සාහිත්‍ය මාසය වෙනුවෙන් මං මේ කයි-කතන්දර දාන්න හිතාගත්තා.

සුපුරුදු කතන්දර වලට බාදා නොකරමින් මේ කයි-කතන්දර පල කෙරෙනු ඇත්තේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවලයි.

සඳුදා, බදාදා සහ සිකුරාදා දිනයන් හි කතන්දර ද, ඉරිදා ට සන්ඩේ ඇක්ට්‍රා ස්පැෂල් එක ද සුපුරුදු ලෙස පල කෙරෙනු ඇති.