Friday, 3 December 2010

ඉතා කණගාටුවෙන් දැනුම් දෙමි


මේ ලෝකේ උපදින හැම දෙනෙකුට ම වෙන දෙයකට මුහුණ දෙන්න දැන් සුළු මොහොතකට කලින් මට සිදු වුනා.

ඒ තමයි මගේ තාත්තා ගේ මරණය පිළිබඳ ආරංචිය ලැබීම.

හිතේ දුක් ගින්න දරාගැනීම මං මේ මොහොත වෙන තුරු හොඳට කරනවා.

මගේ තාත්තාට නිවන් සුව ලැබේවා!

මිතුරෙකු ගේ තාත්තා ගේ මරණය ගැන ආරංචි වී මා ඔහු වෙනුවෙන් ලියූ මේ කවි කිහිපය කියවන මෙන් ඉල්ලා සිටිමි.


මිතුරා ට ලියූ ලිපිය

පියා මිය ගිය පුවත
ලැබ සිත වුවද කම්පිත
සඟවා කඳුළු නෙත
මා කියන බස අසන් පිය මිත

උපන්නොත් මෙලොවේ
දිනක මරණය හිමිවේ
මෙය බුදු දහම වේ
සියළු දේ ලොව නැසෙන සුළු වේ

ඔබ අද ලැබූ එම
දුක් බරිත පණිවිඩයම
මතු දිනයකදි මම
ලබන්නෙමි නැත කිසි සැකක් හෙම

එය අවසන නොවේ
දුක එලෙස නිම නොමවේ
අප පුතුනට ලොවේ
දිනෙක මේ දුක් පුවත හිමි වේ

අප කුඩා කල දී
හොඳ නරක පහදා දී
ගුණ දම් කියා දී
පිය මෙහෙය දෙවි කමට පරදී

අප උපන්දා සිට
පියවරුන් කල සේවෙට
ඇති ණය ගෙවන්නට
කෙලෙස නම් හැකි වේද අප හට

දුක් වන්නට එලෙස
කාරණා නැත කිසි ලෙස
මා කියන මේ බස
අසා සැනසෙන් මා මිතුර යස

ගත් ණය ගෙවන්නේ
ආපස්සට නොවන්නේ
පිය නම රැකෙන්නේ
ඉදිරි පරපුර රැකුනොතින්නේ

පිය ගුණ සිහි කරමු
හොඳ දූ පුතුන් සාදමු
හොඳ පියවරුන් වෙමු
පියාණන් ණය එලෙස පියවමු

-කතන්දරකාරයා