Monday 5 December 2011

මේ බල්ලා බැඳ දමනු - Tie up this mad dog!


බල්ලෙක් කෑවොත් ඉතිං මළා තමයි!

මොකද බල්ල ට පිස්සු ද දන්නේ නෑනේ?

අපේ තාත්තා ගේ හොඳම යාළුවෙක් ගේ වයිෆ් ගෙදර හිටපු බල්ල ට රෑ බත් දෙන්න ගිය වෙලේ උගේ නැට්ට පැගිලා ඌ හපලා තියෙනවා පොඩ්ඩක්. වැඩි තුවාලයක් නොතිබුණු නිසා ගණං අරං නෑ.

සතියකට විතර පස්සේ බල්ලත් මැරිලා හිටියා ලු.

අනේ, ඒ නැන්දාත් ටික දවසකින් ජලභීතිකාව හෙවත් පිස්සු බලු රෝගය හැදිලා මළා.

ඊට අවුරුදු දෙක තුනකට කලින් මගේ මල්ලි ගේ තුනේ පන්තිය භාරව හිටපු ගුරුවරයාත් ඔය විදියටම මිය පරලොව ගියා.

ගෙදර බල්ලා වුනත් ඒ දවස්වල හැපුවොත් ඉතිං බඩුම තමා. ඌට පිස්සු නං, ඌ මැරෙනවාලු. එහෙම වුනොත් ඉතිං, බල්ලා විසින් හපාකනු ලැබූ හැමෝම බේත් ගන්න වෙනවා.

අපි පොඩි කාලේ අපේ අම්මා අපිට බය කරනවා, බුරිය වටේ ඉන්ජෙක්‍ෂන් විසි එකක් ගහන්න ඕනෑ කියලා එක දිගටම, දවසට එක ගානේ.

දැන් නං ඉතිං ඒ ප්‍රතිකාර ක්‍රම ඊට වඩා සරලයි මගේ හිතේ.

අනික දැං කාලේ හැදෙන බල්ලෝ ඉස්සරට වඩා පිං කරපු උං. උන්ට ඔය පිස්සු බලු බේත් හේත් හෙම ඉස්සරට වඩා කලට වෙලාවට ලැබෙනවා.

මං අහල තියෙන කතාවක තියෙනවා මෙහෙම. ඔන්න එක පොරක් පාරේ යනකොට බල්ලෙක් හැපුවා ලු. මූ ඉස්සෙල්ලාම කරලා තියෙන්නේ කොලයක් අරං, නං ලයිස්තුවක් ලියන එකයි. පස්සේ බැලින්නම් මේ ලියලා තියෙන්නේ පොර ගේ තරහ කාරයින් ගේ නම්.

බැරිවෙලාවත් පිස්සු හැදුණොත් උන් ව හපන්නයි ලයිස්තුව හදන්න අරං තියෙන්නේ.

ඒ බොරු කතා වගේ නෙමේ, මේ මං කියන්න යන කතාව නං අමූලික ඇත්ත එකක්.

මේ සිද්ධිය වුනේ මං පස්තාච්චි කුපාඩි වැඩේට තායිලන්තයේ දැහැමෙන් සෙමින් කල් යවන කාලෙයි. අපේ ආයතනයේ හිටියා ලාංකික ඇදුරෙක්. පොරට හිටියා තඩිම තඩි ඇල්ශේෂන් වර්ගයේ බල්ලෙක්. බල්ලෙක් නෙමේ ඇත්තටම බලු රාජයෙක් කියලා කියන්න පුළුවනි සයිස් එක අනුව.

(හැම බල්ලෙක්ම රාජයෙක් නෙමේ. හැම රාජයෙක්ම බල්ලෙකුත් නෙමේ! ඒ පොඩි අතුරු කතාවක් හොඳේ?)

අපේ ඇදුරා මේ බලු තඩියාට හරිම ආදරෙයි. කොටින්ම කලින් වැඩකරපු රටේ ඉඳලා මේ රටට එද්දී මූව අරං ඇවිල්ලා තියෙන්නේ ප්ලෙන් එකේ. ලයිකා බැල්ලි ගැන පොඩි කාලේ ඇහැව්වට පස්සේ මං ඔය ගුවනින් ගිය බල්ලෙක් ගැන ඇහැව්වාමයි!

මංතුමා ආයතනයේ හිටිය අන්තිම කාලේ වගේ ඒකේ එක පැත්තක අළුත් ගොඩනැගිලි සහ පාරවල් දෙක තුනක් හැදුවා. බැංකොක් අවට පස හරිම මඩ පිරි එකක්. හිතන්න බැරි විදියට එරෙනවා. ඒ මදිවට සපත්තු වෙල හෙම ඇලෙනවා කිලෝ ගානේ.

දවසක් මං බයිසිකලෙන් ඔය අළුතින් හදමින් තිබුණු ගුරුපාරක ගියා. එරුණේ නැද්ද තුන්සිය හතරට! පදින්නම බෑ. මොකද කරන්නේ බයිසිකලයෙන් බැහැලා ඉතුරු ටික අමාරුවෙන් තල්ලු කරන්න පටන් ගත්තා.

අලි මදිවට හරක් කිව්වා සේ සෙරෙප්පු දෙකේ කිලෝ දෙකක විතර මඩ ඇලුණා. දැන් ඉතිං අඩිය උස්සලා ගමන් කරන්නත් බෑ.

ඒ කෙටි පාර අන්තිමේදී මං දැක්කා ඒ හරියේ තිබුණ තට්ටු නිවස ලඟ ටැප් එකක්. සයිකලේ පැත්තකට දාලා එතනට ගිහින් වතුරපාරට කකුල ඇල්ලුවා විතරයි මෙන්න බොලේ කොහේදෝ ඉඳලා කඩාගෙන පැණපු අර ඇදුරා ගේ ඇල්ශේෂන් බලු තඩියා මගේ කකුල ඇල්ලුවේ නැද්ද?

හොඳ වෙලාවට ඇදුරාත් දුවගෙන ආවා!

කලිසම් කකුල ඉරිලා. ඇතුලෙන් ලේ එනවා. බැලින්නම් දත් පාරවල් දෙක දෙක හතරක් දෙපැත්තේ.

ඇදුරා වැඩි කළබලයක් දැක්වුයේ නෑ. මොකද බලු රජාට ඉන්ජැක්ෂොන් ගහලනේ තියෙන්නේ.

මට නම් හිතට බයයි. කොහොමටත් පරීක්‍ෂාවෙන් හිටියා බලු රජා කජ්ජ ගහයිද කියලා. හොඳ වෙලාවට ඌට නං ඉහෙන් බහින රෝගයක් තිබුණු බවක් පෙනුනේ නෑ.

අපේ සමහර පොරවල් කළේ ඇදුරා ට කාඩ් එකක් (අන්වර්ථ නමක්) දාපු එකයි බී.එච්.පී. කියලා.

තවත් සමහරු කිව්වා බල්ලා ට පිස්සු නොහැදි බේරුනේ උගේ බුරිය වටේට ඉන්ජක්ෂන් විසි එකක් ගහලාය කියලා.

ඒ අළුගුත්තේරු කතා කෙසේ වෙතත් මං දන්නා පරිදි බලු රාජා තවත් බලු අවුරුදු ගණනාවක් ම ජීවිතේ ගෙවලා තමයි මිය පරලොව ගියේ.

-කතන්දරකාරයා

මේ බල්ලා බැඳ දමනු කියලා ඔය උඩින් කියලා තියෙන කෑල්ලේ සම්පූර්ණ කියමන මෙන්න මෙහෙමයි.

"සුරා පානය කරන්නා කුමකට හොබීද? මේ බල්ලා බැඳ දමනු!"

ඒ කතාව කර්පට් වෙන්න බීපු ලන්දේසි කප්පිත්තෙක් තමන් ගේ බිසවට කට කැඩිච්ච කතාවක් කියපු වෙලේ ද කොහෙද මහනුවර ඉඳන් රජ කරපු පොරක් කියපු කතාවක්.

(image: http://www.wpro.who.int/health_topics/rabies/)

39 comments:

  1. //"සුරා පානය කරන්නා කුමකට හොබීද? මේ බල්ලා බැඳ දමනු!"//

    ඒ කාලයේ මහනුවර යුගයේ හිටපු රජවරු, ලන්දේසි කප්පිත්තන්ට මෙනම, බල්ලන්ටද බිය නොවුබව මේ කියමනෙන් මනාව පැහැදිලිවේ.:D

    ReplyDelete
  2. මන් නං ටියුබ් ලයිට් වෙන්නැති, බී. එච්. පී. එකේ තේරුමත් කිව්වනං

    ReplyDelete
  3. අඩේ ඔය අමර පානේට නිග්ගරහ කොරන්ට එපා මචංලා...
    හැබැ බල්ලො හදන එකත් මරු විනොදාන්සේ.." කාටවත් කරදරයක් නොවෙන විදිහට..."

    ReplyDelete
  4. මං ඒත් බැලුවා මොකක්ද කකාට 'මේබල්'ලත් එක්ක තියෙන කේස් එක කියලා.. බලනකොට බල්ලා බඳින්න කියලයි කියලා තියෙන්නෙ.. :D

    ReplyDelete
  5. අපේ ගෙවල් පැත්තෙත් ගෙදරක තඩි බෝඩ් එකක් ගහලා ගෙදර කෙල්ල නෝන්ඩි උනා..බල්ල බැදලා නෑ කියලා බෝඩ් එකේ තිබුනේ...කෙල්ල පාරේ යනකොට කොල්ලෝ කෑ ගහනවා.....බල්ල බැදලදෝ කියලා...ටික දවසකින් බෝඩ් එක නෑ.....

    ReplyDelete
  6. මර්වින් සිල්වා රූපවාහිනියට ගහපු කාලෙත් පත්තරේ කතුවැකි ගියා "මේ බල්ලා බැද දමනු" කියලා..... කතන්දරට මතකද දන්නෑ?

    ReplyDelete
  7. සිරා බවිවා කතාවක්ය.. අර අදුරගෙ බව්වට පොඩ් පහේ පිස්සුවක් තිබෙන්නට ඇත. ඒ ලක්ෂන කතන්දරට ලැබී ඇති බව පෙනේ.. :)

    ඔබට ජය..

    ReplyDelete
  8. අර කිව්වැහේ බැඳ දමිය යුතු බල්ලන් රාශියක්ම සමාජ ගත වී ඇත. ඔබටයි මේ කල් තියා අනතුරු හඟවන්නේ....

    ReplyDelete
  9. මාතෘකාව දැක්කම මටත් හිතුනෙ දේශපාලන පෝස්ට් එකක් කියල. (මර්වින් සිල්වට එරෙහිව ඔය නමින් කතුවැකියකුත් ගියා)
    බුරිය වටේට බෙහෙත් 21ක් විදින සීන්එක දැන් නෑ. මට මතකයි අපේ අයිය කෙනෙක් පිස්සු බල්ලෙක් කෑව භීෂණ කාලෙ. බෙහෙත් 12ක්ද කොහෙද විදල ඉන්නකොට ඇදිරිනීතිය නිසා බේත් විදින්න බැරිවෙලා එක දවසක්. ඊට පහුවෙනිද ඉදල ආයෙත් 21ම විදින්න පටන්ගත්ත මුල ඉදල.

    ReplyDelete
  10. ඉස්සර අපේ ආච්චි අම්ම කියනවා, අපේ ගමේ මිනිහෙක් හිටියලු සයිමන් කියලා. පාරෙ ඉන්න බල්ලන්ට වෙඩි තියල මරණ එකළු ඒ මිනිහගෙ රස්සාව. ආණ්ඩුවෙන් දීලා තිබුණු තුවක්කුව කොයි වෙලෙත් අතේ තියාගෙන ඉන්න ඒ මිනිහට කවුරුත් බයයිලු. බල්ලො මරණ නිසාම කිව්වෙ " බලු සයිමන් " කියලලු. ( දැන් නං බලු සයිමන් කියන්න පුලුවන් කට්ටිය ගොඩයි නෙ ) අර මිනිහා ජීවිතේ අවසාන කාලෙ දුක් විඳලා , බල්ලෙක් වගේම මැරිලා ගියාලු.

    ReplyDelete
  11. කතන්දරට පිස්සු හැදුනෙ ඇයි කියලා දැන් දන්නවා...

    ReplyDelete
  12. \\\කතන්දරට පිස්සු හැදුනෙ ඇයි කියලා දැන් දන්නවා...\\\

    බල්ලට පිස්සු හැදුනේ නැත්තේ ඇයි කියලත් දන්නවා නේද?

    \\\බල්ලා ට පිස්සු නොහැදි බේරුනේ උගේ බුරිය වටේට ඉන්ජක්ෂන් විසි එකක් ගහලාය කියලා\\\

    ReplyDelete
  13. ඔය "බල්ලා බැඳ දමනු" කතාව කියල තීන්නෙ දෙවනි රාජසිංහ බැහැදකින්න ප්‍රංශෙන් ආපු ලැනරෝල් කියන තානාපතියටලු. මිනිහ පුරුද්දට බීල රජා ඉස්සරහට ඇවිත්. ඒ මලට දීපු අණක් නෙ ඔය. හැබැයි පස්සෙ උන්දැ හැදිල සිංහල හාමිනේ කෙනෙක් එහෙම අරන් මෙහෙ පදිංචිවෙලා ලැනරෝල් පරපුරක්ම හැදුවනෙ.

    දැන්නං ඉතින් රජවරු එහෙම කියන්නෙත් නෑ, ගෝලයො හැදෙන්නෙත් නෑ!

    ReplyDelete
  14. කතන්දර කුමාර,
    මේ බලු කතාව අහලා මට හිතුණා කාලෙකට ඉස්සර ලියවුනු 'නයි' කතාවක් අවුණන්න.

    -ලොකු

    http://images112.fotki.com/v587/photos/4/44482/3377429/nyipetiya1web-vi.jpg
    http://images17.fotki.com/v295/photos/4/44482/3377429/nyipetiya2web-vi.jpg

    ReplyDelete
  15. අම්මේ මාවත් බල්ලෙක් හපා කෑවා නොවැ නුවරැලියෙ බැච් ට්‍රිප් එක ගිය වෙලාවෙ.කට්ටිය මාව එක්කගෙන ඉස්පිරිතාලෙ යන්න හැදුවත් උන්ගෙ ෆන් එක නැති කරන්නෙ මොකටද කියලා මං එපා කිවා.පහුවදා කලුබෝවිල ගිහින් ඉන්ජෙක්ශන් ගැහුවා.දැන් ඔය 21ක් ගහන්නෙ නෑ.සති දෙකට පාරක් වගේ ගිහින් 3ක්ද 4ක්ද ගහනවා.

    දැන්නම් බයත් හිතෙනවා බැරි වෙලාවත් අර බල්ලාට පිස්සු තිබුනානම් මං අද මෙතන ඉන්න එකක් නෑ නේද කියලා හිතුවාම.

    ReplyDelete
  16. වසිලිස්සා5 December 2011 at 12:10

    අම්මේ..............බල්ලන් සැප කෑමනම් ඕනෙම නෑ.
    මන් මගේ කුමාරයාගේ ගෙදරට කැන්දන් ආපු අලුත ගෙදර හිටපු බලු රාජයෙක් මාව හැපුවා දත් පාරවල් 6 ක් වදින්න.අත ඉදිමිලා තිබ්බා බනිස් ගෙඩියක් වගේ හැබයි එයාට බෙහෙත් විදලා හින්ද බේරුනා.
    ටික දවසකට පස්සේ ගෙදරට ගෙනාව බලු පැටියෙක් කෑම දෙන්න ගිය මගේ අතට පැනල මහපට ඇඟිල්ල ගාව චුට්ටක් තුවාල වුණා.මූට ටිකක් අසනීපයි වගේ තේරුණා .ඌව පරික්ෂකරපු දොස්තර මට වහාම බෙහෙත් විදගන්න කිවා.අපොයි!මහපට ඇඟිල්ලේ තුවාලේ ගාවට විදපු බෙහෙතට මට මුත්‍ර බර හැදුන.ඇඟිල්ල ටික වෙලාවකින් කට්ලට් එකක් වගේ වුණා.බොහොම කරුණාවන්ත වෛද්‍ය වරියක් හිටියේ.ඊටපස්සේ අත් දෙකට සහ කලව දෙකටත් එන්නත් කලා.පැය දෙකක් විතර වාට්ටුවේ ඉඳල අයෙත් අත්දෙකට එන්නත් කරලා කාඩ් එකක් දුන්නා නැවත එන්න දින දීල.බල්ලා මැරුනොත් ඔලුව කපල ගෙන්න කිව්වා.මන් ගෙදර අවෙත් අමාරුවෙන් පහුවද මට උන.උදේ වෙද්දී අමාරුවෙන් හිටපු බල්ලා මැරිලා.(ඔලුව අපි අරන් ගියේ නෑ)
    නුලෙන් මන් බේරුනේ.සති කිහිපයක් එන්නත් කලා අත් දෙකට .
    හැබැයි අදටත් අපේ නැන්දම්මා කියන්නේ බලු පැටියට තිබුනේ පස්ස පන නැතිවෙන ලෙඩේ කියල.(දොස්තරලාට වැරදිලා අපරාදේ මන් බෙහෙත් විදගෙනනේ )
    හැබැයි අපේ කුමරයාට නෑහෙන්න කියන්නේ :)

    ReplyDelete
  17. 'me balla beda damanu' kiyla kalekata ossella 'divaina' pattre kathuwekiyak demma Dr dutugamunu gana...kiribathgoga kalaniye petthe thibba diwayina pattara, dr . ge mara yalauuwo tika okkoma kadawal waling aragen thibba...aasaawata kiyawanna wenne ethi...

    ReplyDelete
  18. පිස්සු නම් කියන්න එපා කතන්දර . .

    බල්ලෝ බැඳලා දැම්මොත් මිනිස්සුන්ව බය කරන්නේ කවුද . .

    කතන්දරද?

    අනික ඉඳලා හිටලා පුරුදු කරපු සර්කස් ටිකක් එහෙම පෙන්නලා මිනිස්සුන්ව සතුටුත් කරනවනේ . .

    රට්ටු කයි කතන්දර කියනවා තමා ඒ සර්කස් පෙන්නන්නේ වෙන වෙන ක්‍රිමිනල් කේස් අමතක කරවන්න කියලා . .

    ඒත් සර්කස් දිහා බලලා මිනිස්සු ගන්න ආතල් . . . !!!

    ReplyDelete
  19. බල්ලට පිස්සු හැදුනද දන්නෑ කතන්දරව හැපුවට පස්සෙ.

    ReplyDelete
  20. අනේ මන්ද... අපිට නම් ආරංචි කසු ව හැපුව හින්ද බල්ලට පිස්සු හැදිලා ඌ මලා කියලයි.. කසු මෙතන බොරු ටොන් එකක ම ඇත ඇරලා....

    ReplyDelete
  21. 'ඩෙවිල් ' මුලට එන නමක් තියන කෙනා ගැන වෙන්නැති ඔය කියන්නේ.

    'බල්ලා බැඳලද?' කියලා ගෙදරට ආපු කෙනෙක් අහපු වෙලාවේ 'නෑ තාම හොයනවා' කියලා මම අම්මාගෙන් අම්බානට ගුටිකෑවා .

    ReplyDelete
  22. ඔය වගේ බලු කේස් නම් අනන්තයි... අපේ පැත්තෙ බල්ලො අල්ලපු මිනිහට කිව්වෙ 'බලු හබරා' කියල.... නම කොහොම හැදුනද කියල නම් දන්නෑ....අපේ මහත්තයත් පොඩි කාලෙ බුරිය වටේට 21ක් විදගත්තු කෙනෙක්.... ඒකෙ රඟ මතක නිසා දැනුත් බල්ලන්ට බයයි... දරුවොන්ට ළඟට යන්න දෙන්නෙත් නෑ... බල්ලො ඉන්න ගෙදරකට තනියෙන් යවන්නෙත් නෑ....

    ReplyDelete
  23. හ්ම්ම්ම්. අයියා AIT ඉඳලා නේද ?මේ බල්ලා මැරුනද? ඔය වගෙම තඩි බලු රජෙක් තියාන ඉන්නවා තාම සර් කෙනෙක්. මන් හිතන්නෙ කතන්දර අය්යත් කියලා තියෙන්නෙ ඔය සර් ගැනම වෙන්න ඕනෙ :D මොනා උනත් උව අරන් මන් කියන සර් නම් jogging යනව හවහට :D

    ReplyDelete
  24. මේ ලෝකෙ බල්ලොයි මිනිස්සුයි ඉන්නකං ඉංජෙක්සනුයි, පිස්සු බලු රෝගෙයිත් තියෙයි නේද ඒ කියන්නෙ....

    ReplyDelete
  25. මේ ලෝකෙ බල්ලොයි මිනිස්සුයි ඉන්නකං ඉංජෙක්සනුයි, පිස්සු බලු රෝගෙයිත් තියෙයි නේද ඒ කියන්නෙ....

    ReplyDelete
  26. බලන්න මනුස්සෙක් කෑවහම බල්ලා දවස් දහයෙන් මැරෙනවා කියන්නෙ ? !!! මිනිස්සු කොයි තරම් නම් විසද ?

    ReplyDelete
  27. මේ ලඟදි "සත් සමුදුර" කියන බ්ලොග් එකේ මා දැක්ක පින්තූරයක්.. ගේට්ටුවෙ ගහල තියෙනව "Dog is OK , Beware of the Owner" කියල...

    බී එච් පී අපි ඉස්කෝලෙ යන කාලෙ කියපු හැටියි කකා ල කියන හැටියි එකම නම් ඉතින් නොදන්න අයට මේ බ්ලොගෙන් නම් අහ ගන්න වෙන්නෙ නෑ...

    ReplyDelete
  28. දැන් සමහර බල්ලන්ට තියෙන සැප මිනිස්සුන්ටවත් නෑ...

    ReplyDelete
  29. Pera "Porawal" in action

    http://epaper.dailymirror.lk/epaper/viewer.aspx?issue=86102011120500000000001001&page=1&article=d6919d84-fd3d-45f9-80bb-0901488f4dda&key=nyWRXepelwIPjnAKVoLJVQ==&feed=rss

    ReplyDelete
  30. ටැලිගි‍රැං එකක්

    මේ බල්ල බන බදා දාවා රිය පලට එනවා . . . .

    ReplyDelete
  31. අපේ පැත්තේ ඉන්න ලොකුම පෝසත් මුදලාලි මහත්තයාගේ බල්ලා බලාගන්න සේවකයාගේ පඩිය රු 15000ලු !!

    මම කල්පනා කලේ මම මේ අවුරුදු තුනක් ජොබක් කියලා කරේ මොකක්ද කියලයි .. මම හිතන්නේ ඒ පෝසත් මුදලාලිට පිස්සු !

    මම අහලා තියනවා එක ගෙදරක බල්ලෙක් උන්නලු උගේ නම "හපයි" ලු

    බල්ලට අඬ ගහනකොට වටේ පිටේ එවුන්ට නිකම්ම දුවවෙනවාලු !

    ReplyDelete
  32. බල්ලෝ ගැන කියවද්දී මරු සිද්ධියක් මතක් වුණා... දවසක් මම බස් එකේ වාඩි වෙලා කොහේ හරි යනවා... මට එහා පැත්තෙන් වීදුරුව අයිනේ හිටිය අංකල් ඇස් අඩවන් කරගෙන පොඩි නින්දක් දාගෙනයි හිටියේ... එකපාරම කෑගහගෙන අපිවත් ඉස්සර කරගෙන ගියා ප්‍රභූ රිය පෙරහරක්... මිනිහා ගැස්සිලා ඇහැරුණා... පොඩ්ඩක් කෙන්ති යන්නත් ඇති... වාහන ටික දිහා කින්ඩියට වගේ බලන් ඉඳලා බුවා මට කියනවා...

    "ඕකනේ පුතා කියන්නේ, බල්ලට ඇති වැඩකුත් නෑ... හෙමින් ගමනකුත් නෑ කියලා..."

    ReplyDelete
  33. [[බල්ලෝ]]

    පුංචි කාලේ බල්ලොත් එක්ක සෙල්ලමට යන නිසා මාවත් බය කරලා තිබ්බේ. මට තේරිලා තිබ්බේ බල්ලා මාව හැපුවට පස්සේ දවසක ඌට පිස්සු හැදුනත් මටත් හැදේවි කියලා. ඉතින් මාව හපා කෑ බල්ලන් ගැනගෙන උන් මැරෙනකම් බයේ හැටියේ උන් පිස්සු හදා ගනියි කියලා.

    බල්ලොත් එක්ක බෑ කියන නාට්‍යයේ තේරුම දන ගත්තේ පස් තාච්චි අදින්න කටුබැද්ද පැත්තේ රිංගන කොට. කතන්දර බල්ලෝ ගැන පොස්ට් එකක් ලියද්දි කටුබැද්ද කැම්පස් ඒක මග හැරුනේ කොහොමද?

    [["සුරා පානය කරන්නා කුමකට හොබීද? මේ බල්ලා බැඳ දමනු!"]]

    විමලධර්මසුරිය (පලමු). තමන් සමග යුධ උපාය සාකච්චා කිරීමට ආ ලන්දේසි කපිතාන් වරයෙකු දේවියට කඩප්පුලි කතාවක් කියූ නිසා කුපිත වී [මෙතන මාර සීන්. වී-ධ-සු ට 50+, කෙල්ලට 20+. බැන්දේ බලෙන් රට පරන්ගියාට යන එක වලකන්න]. ඒ පාර ඒ බල්ලා පිස්සු බල්ලා වගේ හතර අතේ වෙඩි තියාපු නිසා එතනම බෙල්ල කපලා මරා දැම්මලු මුලාදානියෝ.

    මේ රජතුමා ගැන මා වැඩි උනන්දුවක් දක්වන්නේ ඔහුගේ රාජ්‍යත්වය ලංකාවේ වර්තමානයට වැඩිම බලපෑමක් කල සමයක් නිසා. සමහර විට යුරොපියන්ගේ පැමිණීම දමිළයන්ගේ ආක්‍රමණ හැරුණු විට අපේ වර්තමානය තීන්දු කරන්න වැඩියෙන්ම බලපාන්න ඇත්තේ පරන්ගියාගේ අත යටින් 1590 ගණන් වල කොනප්පු බණ්ඩාර උඩරට රාජ්‍යය අල්ලා ගැනීම විය යුතුයි.

    බල්ලා යන යෙදුමේ සැබෑ තේරුම ඇත්තේ මේ ප්‍රකාශය ඔහු කල පෘතුගීසි බසින් [ඒක නිසා එය ඔහොම ලිටරලි ප්‍රසිද්ධ වුනේ]. සිංහලෙන් කිව්වා නම් ඔය වචනය යෙදෙන එකක් නැහැ. ඒ කාලේ සිංහලෙන් බනින කොට දිගු වගන්ති තමා යොදලා තියෙන්නේ. හිඟන්නා රොඩියා වගේ දේවල් කිව්වොත් ද්වන්ධ සටනකට යන්න පවා ඉඩ තියෙනවා. සිංහලෙන් බල්ලා කියා බනින ඒක අද කාලේ සීන් එකක්ද?

    [[බල්ලා ගැන යෙදුම්]]

    සන් ඔෆ් බීච් කියන්න යෙදෙන වදන බැල්ලිගෙ පුතා ලෙස සිංහලට ආවා උනාට, බිච් යන්නෙහි අරුතින් අපි බැල්ලි කියලා කියන්නේ නැහැ නේද? බිච් ගේ සිංහල වදනක් නැහැ නේද?

    එමෙන්ම බලු වැඩ, පර බල්ලා වගේ එව්වා අපේම යෙදුම් නේද? ඒවාට ඉංගිරිසි යෙදුම් නැහැ.

    [[ඔය "බල්ලා බැඳ දමනු" කතාව කියල තීන්නෙ දෙවනි රාජසිංහ බැහැදකින්න ප්‍රංශෙන් ආපු ලැනරෝල් කියන තානාපතියටලු. ]]

    මේක ගැන විස්තරයක් හොයා ගත්තොත් දන්වන්න. මං දන්නේ වෙනස් කතාවක්.

    [[මාතෘකාව දැක්කම මටත් හිතුනෙ දේශපාලන පෝස්ට් එකක් කියල]]

    නැතුව ඉතින්.

    ReplyDelete
  34. [["සුරා පානය කරන්නා කුමකට හොබීද? මේ බල්ලා බැඳ දමනු!"]]

    ඉන්දිකටත් ලෙහෙසියෙන් නොවරදින නිසා මට හිතුනා ඩබල් චෙක් කරන්න.

    මෙන්න මේ පැරා එකේ කතාව තියෙනවා. ලස්සන නිසා එහෙම්ම කොපි කරනවා.

    -------------

    Vice-Admiral Seebald de Weert who first arrived with another flotilla of the Hollanders met the King on 28th November and it was on a later visit of his that a most unfortunate incident occurred. When De Weent who was under the influence of liquor made a coarse remark regarding the Queen, the irritated Monarch hastily turned his back on the drunken sailor bidding the attendant nobles to "Bind that dog". (Mara isto can in Portuguese). Four men laid hands on him, when de Weert caught his gun, and shouting for assistance attempted to run out of the room. One of the nobles seized him by the hair, while another drew his sword and struck off his head. The King was greatly distressed and sent a curt epistle to the remaining Dutchmen in the ship: "He who drinks wine is vile. God has wrought justice. If you desire peace, it is peace. If war, war." (Que bebem vinho, nao he bem. Deos ha faze justicia. Se quisieres pas, pas. Se quries guerra, guerra.).

    ------------

    අන්තිම කෑල්ල එල. Se quisieres pas, pas. Se quries guerra, guerra බැරිනම් චේ ගුවේරා :)

    ReplyDelete
  35. බල්ලො වැහි වැහැලා. කොයි බල්ලද දන්නේ නෑ කතා අදහස් කලේ...

    ReplyDelete
  36. සුජීව ගොඩබැහැලා තියෙන්නෙ.. exams එහෙම ඉවර වෙලා වගේ.. :D

    ReplyDelete
  37. සිතුම් ප්රසදේ: නැහැ නැහැ මේ එතුමා නෙමෙයි. වෙන එක්කෙනෙක්. දැන් ඔය කතන්දර කපු බල්ලා මැරිලා. කතන්දර ඉන්න කලේ badi හිටියේ නැහැ. Kandyan ගේ comment එක කියෙව්වනම් කවුද කියල හොයාගන්න පුළුවන්

    ReplyDelete
  38. කතන්දර කාරයෝ සමහර විට බලල බයේ හිටියද දන්නේ නේ උබව හපපු නිසා උගේ බුරිය වටේට ඉන්ජෙක්ෂන් ගහන්න වෙයි කියල

    ReplyDelete
  39. බුරන බල්ල හපා නොකයි, හපන බල්ලා ????

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.