Tuesday 8 November 2011

කක්ක පාට මොන පාටද? - If its brown, flush it down!


මං පොඩිම පොඩි කාලේ, ඒ කියන්නේ ඉස්කෝලේ හෝඩියේ, දෙකේ පන්තිවල ඉන්න කාලේ, මූදු වෙරලක දර්ශනයක්, චීත්ත මෝස්තරයක් වගේ චිත්‍ර ඇන්දට, ඒවා කළු-සුදු ඒවා විතරයි මට මතක විදියට. වෛවර්ණ චිත්‍ර අඳින්න පටන් ගත්තේ තුනේ පන්තියේ දී යි.

ඇත්තටම, තුනේ පන්තියේ දී සතියට එක පීරියඩ් එකක් තිබුණා චිත්‍රවලට. වාර විභාගවලට විභාගයකුත් තියලා ලකුණුත් දුන්නා.

අපිට චිත්‍ර අඳින්න කියලා තිබුනේ සුදුපාට කොළ තියෙන චිත්‍ර පොතේ පැන්සලෙනුයි. ඊට පස්සේ තමයි පාට කරන්න ඕනෑ.

මේ චිත්‍ර පාට කරන්න ක්‍රම කීපයක් තිබුණා.

අපිට අමාරුම ක්‍රමය තමයි දිය සායම් වලින් පාට කරන එක. මේ දිය සායම් පොඩිත්තං ටියුබ්වලයි එන්නේ. පොඩ්ඩක් වතුරේ දිය කරගෙන පින්සලෙනුයි පාට කරන්න ඕනෑ. මේක මහා වාතයක්. වතුර හැලෙනවා, හැම තැනම පාට ගෑවෙනවා, මල ජරාවක්.

ඊට වැඩිය ලේසිම ක්‍රමය තමයි පාට පැන්සල්. පාට හයේ, දොලහේ පාට පැන්සල් පෙට්ටි තිබුණා. උල් කරලා අරගෙන සාමාන්‍ය ලියන පැන්සල් වගේ පාවිච්චි කරන්න පුළුවනි. හැබැයි පාට පැන්සල් වැඩේ එච්චර කලර්ෆුල් නෑ!

අපි හුඟ දෙනෙක් ගේ ප්‍රියතම ක්‍රමය වුනේ ඉටි වගේ ජාතියකින් හදල තිබුණ පැස්ටල් කූරු වලින් චිත්‍ර පාට කරන එකයි.

පැස්ටල් කූරු කියන්නේ හුණු කූරු වගේ, හැබැයි ඊට වඩා පොඩි පාට පාට සිලින්ඩිකා-කාර කූරු ජාතියක්. කූරට කවරයක් අන්දෝලා, එක පැත්තක් විතරක් උල් කරලා තිබුණා. ඒ පැත්තෙන් තමයි පාට කරන්නේ.

මං හිතන විදියට ඒ දවස්වල ලංකාවේ තිබුණු එකම පැස්ටල් කූරු ජාතිය හොම්රන් පැස්! ඒ ෆැක්ටරිය තිබුනේ දළුගම කැම්පස් එක පැත්තේ.

අපි දන්නවා නේ මූලික වර්ණ තුනයි තියෙන්නේ කියලා. ඒවා එකිනෙක අඩුවැඩි ප්‍රමාණයෙන් කවලම් කරගෙන තව විවිධ වර්ණ මිලියන් ගාණක් හදාගන්න පුළුවන්.

මිලියන් ගාණක් පාට කෙසේ වෙතත්, ඒ දවස්වල අපේ ප්‍රශ්ණය වුනේ හොම්රන් පැස් පාට විසිහතරේ පෙට්ටියේ තියෙන පැස්ටල් පාට විසි හතරෙන් සුදු, කළු, රතු, නිල්, කොල වගේ කීපය හැරුණ්ම ඉතුරු ඒවා, වචනයෙන් අඳුණාගන්න එකයි.

අපි බොහෝ විට මූලික වර්ණවල විවිධ ප්‍රබේධ අඳුණාගන්නේ අපි දන්නා වෙනත් ස්වභාවික දේවල්වල පාටවලට සාපේක්‍ෂවයි. කෙහෙල් දලු කොල පාට, ස්කයි බ්ලූ ඒ කියන්නේ අහසේ නිල් පාට, ලේ රතු පාට, මඩ පාට වගේ නම්වලින් පාට තියෙන්නේ ඒ අනුවයි.

මේ ලඟදී කිරිකෝපි ගේ බුකියේ දාලා තිබුණා මේකට අදාල මරු කෑල්ලක්.

ඒකේ අහලා තිබුනේ දොඩම්වලට ඔරේන්ජ් කියනවා නම්, ඔරේන්ජ් පාටට තැඹිලි පාට කියනවා නම්, තැඹිලිවලට කිං කොකන්ට් කියනවා නම්, එහෙනං දොඩම් කියන්නේ කිං-කොකනට් ද වගේ කතාවක්.

අපිත් ඉතිං ඔය වගේ තැඹිලි කුරුම්බා නම් වලින් එක එක හොම්රන් පැස් පාට නම් කරලයි තිබුනේ.

හැබැයි හොම්රන් පැස් විසි හතරේ පැක් එකේ කිසිම මලක, පලතුරක අහලින්වත් තියන්න බැරි පාටක් තිබුණා.

මේක දුඹුරු පාටට වඩා රතු පාටයි, හැබැයි රතු පාටට වඩා කහ පාටයි. කහ පාටට වඩා කළු පාටයි. ඔය පාට තුන හතර මැද්දේ තිබුණු මහා විජ්ජුම්බර, අළුගුත්තේරු, මස්තබාල්දු පාටක් මේක.

පලතුරු, මල්, අහස, මුහුද, පොළොව වගේ නොවුණත් වෙනත් ස්වාභාවික දෙයක් හරියටම මේ පාට වගේ නේද කියලා අපි කොයි කාටත් හිතුනේ ස්වභාවිකවමයි.

ඇත්තම කියනවා නම් මේ පාට අපි හොඳ ශරීර සෞඛයෙන් ඉන්නවා නම් අඩු ගානේ දවසට එක පාරක් විතර දකින පාටක්.

අමුතුවෙන් කියන්න ඕනි නෑනේ, මේක තමයි කක්ක පාට!

-කතන්දරකාරයා

ප/ලි:
යුනිවසිටියෙන් අවුට් වෙලා රෙදි මහන පැක්ටේරියක වැඩට ගියවෙලේ ඔන්න ඉගෙන ගත්තා මේ පාටේ ඉංගිරිසි නම බේජ් ය කියලා.

හැබැයි එහෙම නම් ඇයි,
    If it's yellow,
        Let it mellow
            If it's brown,
                Flush it down
කියන කවියේ බේජ් කියලා නැත්තේ?

මං චාට් එකක බලද්දී නං ඒකේ හැටියට බේජ් කියන්නේ වෙනිං ලා පාටක් (RBG=#f5f5dc). මට හිතෙන්නේ ඩාක් ඔරේන්ජ් තමයි හොඳම නම. ඒ කියන්නේ තද King Coconut!

ඒ කොහොම වුනත්, ඉංගිරිසි කාරයින් ගේ කක්කා, කක්ක පාට නෙමේ!

(image: http://www.shawwallace.lk/fmcg/index.php)

52 comments:

  1. lankaawe police eke nila adumath kakka paatata samaanai...monaa unah hoda thereemak....


    moko me hadiysye comments moderate karanne....anduwe wada addarashayta gaththada

    ReplyDelete
  2. බේඡ් පාට කියන්නෙ අර කැඩෙට් කරන අය අඳින නිල ඇඳුමෙ උඩ කොටසෙ පාට. දැන් ඔය බස් ඩ්‍රැයිවර්ලයි කොන්දොස්තරලයි අඳින්නෙ ත් ඒ පාට තමයි (හැබැයි ටිකක් තදයි).

    ඔය පාට තුන හතර මැද්දේ තිබුණු මහා විජ්ජුම්බර, අළුගුත්තේරු, මස්තබාල්දු පාටක් මේක.

    ෆට්ට නාම විශේෂණ ටික.

    ReplyDelete
  3. ඔය පාට තුන හතර මැද්දේ තිබුණු මහා විජ්ජුම්බර, අළුගුත්තේරු, මස්තබාල්දු පාටක් මේක.

    මටත් හිත ගිහිපුම කෑල්ල...

    හැබැයි හොඳ ශරීර සෞඛයෙන් ඉන්නවා උනත් පැපොල් ගෙඩියක් වගේ කාපු දවසට ඔය කක්ක පාට ටිකක් ලයිට් කලර් එකකට හැරෙනවනෙ...

    ආ.. පාට විතරක්ද...

    ReplyDelete
  4. වෙලාවට මොන්ටිසෝරි වල බ්ලොග් කියවන්නේ නැත්තේ....

    ReplyDelete
  5. why do u write such yucky stories?

    ReplyDelete
  6. සඳරු මල්ලිගෙ පෝස්ට් එකයි ,කකාගෙ පෝස්ට් එකයි දෙකම කියෙව්වට පස්සෙ මට හිතුනෙ..
    ඉන්ගිරිස්යි කක්කයි හරි ලඟින් යනව නේ..

    ReplyDelete
  7. කක්කි පාට කාකි පාට කිට්ටුවෙන් යනවා නේද ?

    ReplyDelete
  8. මම හිතං හිටියෙ මුහුදු වෙරලක දර්ශනයක් අඳින්න ගිය නිසා කක්කා පාට ඕනැ වුනා කියලා ඒවයින් එකක් පාට කරන්න.
    henryblogwalker the Dude

    ReplyDelete
  9. හක් හක් කක්කා..පාට..බෲස්...D

    ReplyDelete
  10. සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ආවෙ. බැලුබැලූ අත කක්කා සහ ලන්කට් නෙව :-s

    මම හිතන්නෙ ඔය කියන පාට yellow ochre වෙන්න ඕන :D

    ReplyDelete
  11. පාට ඉතිං මොකක් වුනාම මොකෝ?

    ReplyDelete
  12. කන බොන දේවල් අනුව ඕවගෙ පාට වෙනස් වෙනවානෙ. උදාහරනෙකට හොදට බීට් කෑවොත් ඕවගෙ පාට රතු වෙනවා.. :))

    ReplyDelete
  13. ගොරකා මද වැඩිපුර කෑවොත් කොළ පාට වෙනවනේ...

    කොළ පාට කිව්වට එකත මහ අලුගුත්තෙරු පට්ට චටර් දුබුරු පාටට හුරු පාටක්

    ReplyDelete
  14. පැස්ටල් නම් හොම්රන් තමයි ඒ කාලේ. තව පොඩි ගිනිපෙට්ටියක සයිස් පැස්ටල් ජාතියක් තිබුනා අපි පුංචිම කාලේ . රුපියල් 1.යි ශත 25 යි . හැබැයි ඒවා වැක්ස් ක්‍රෙයෝන් බව දැන් තමයි දන්නේ . ටියුබ් වල එන දිය සායම් පෙට්ටියක් හම්බ වුනහම මහා වස්තුවක් වගේ . මන් නම් ඒවායින් හොඳ ප්‍රයෝජන ගත්තා . තෙල් සායම් වලින් චිත්‍රයක් අඳින්න හීනයක් තිබුනා . ඉස්කෝලේ ඉගැන්නුවෙත් නැහැ . තෙල් සායම් ඉස්කෝලවලට වැද්ද ගන්න ජාතියක් නෙමේ ඒ කාලේ .ලඟදි ඒ ආසාව ඉෂ්ට කර ගත්තා . චිත්‍ර ගැන නම් දවසක් කතා කළහැකි .
    සුද්දන්ගේ කක්ක ලා පාට ඇති . වැඩිය කොළ නොකන නිසා . ඕන නම් බැරිය රට රට වල කක්ක පාට ගැන සමීක්ෂණයක් කරන්න . කවුද වැඩේ බාරගන්නේ .
    පැස්ටල් පෙට්ටියේ සමහර පාට මන් දැන ගත්තේ මෑතකදී . අර කැත කොළ පාට ටර්කොයිස් කියල කිව්වේ අපේ දු .

    ReplyDelete
  15. කතන්දරගේ කක්ක කතාව බැලුවෙ පරිප්පුත් එක්ක බත් කකා ඉන්න ගමන්. ඇයි ගොම කොළ පාට , ගඩොල් රතු පාට අහල නැද්ද ?

    ReplyDelete
  16. පාට සාපේක්ෂයි.... කන බොන දේවල් සහ කොච්චර කල් හිර කරගෙන ඉන්නවද කියන එකත් පාටට බලපානවා......!!

    ReplyDelete
  17. කතන්දරලගෙ අලුගුත්තේරු අජූත කක්ක කතා නිසාම දැන් එන හොම්‍රන් පැස් පැක් එකී පිටිපස්සෙ පාට කොටුවකුයි ඒකෙ නමයි දාල තීනව, නොදන්න අයට ඒ ඒ පාට වල නම් දැනගන්න.

    ReplyDelete
  18. "හොම්‍රන්පැස් පාට පාට මල් වගේම ලස්සනයි" කියලා ඇඩ් ගියා මතකයි. ඔය ඇඩ් එකට පාවිච්චි කළේ මොන ල (ළ ) යන්නද කියල මතක නෑ.
    මේකෙ කමෙන්ට්ස්වල විදියට කක්ක ලෝකෙ වටේ million colours වලින් වැටෙනව ඇති. කක්ක වැඩි දියුණු කරල පැස්ටල් හදන්න බැරිද? දන්නෙ නැති නිසයි අහන්නෙ?
    පාට දන්න අය ගඳ සුවඳ දන්නෙ නැද්ද ?

    Dick-son

    ReplyDelete
  19. chemistry වලදිත් (ගුණාත්මක විශ්ලේෂණය කරන කොට) මරු මරු පාට හම්බවෙනවනේ.ගඩොල් රතු, කැත කොළ,........ ect

    ReplyDelete
  20. හොම්රන් පැස් පාවිච්චිකලේ තුන වසරෙදි . . . ඊට කලිං පාවිච්චි කලේ අර බින්දි කියල තිබුන හීනි පාට කූර.
    හොම්රන් පැස් පාට කූරක් චිමිනි ලාම්පුවේ රත්වෙච්චි චිමිනියෙ උඩ හරියට තිබ්බාම ලස්සනට චිමිනිය දිගේ දියවෙලා වැක්කෙරෙනව. ඒ විදියට පාට ජාති කලවං උනාම මාර ලස්සන රටා මැවෙනව . . . .
    කතන්දර කියපු පාට ගැන ඒ දවස් වල ඒ හැටි නිච්චියක් නෑ . . . කන දහජරාවෙ හැටියට මේකයි කියලපාටක් තිබයෑ පහ කරන ඒවයෙ . . . .

    ReplyDelete
  21. කන එක දිහා නම් හොඳට ඇහැ ගහ ගෙන කෑවට රෙන එක දිහා නම් එච්චර උනන්දුවෙන් බලන්නෙ නැහැ.. ෆ්ලශ් කරලා දමනවා මිසක් ! ඩෙංගු හැදුනහම නම් කිව්ව බීට් සහ තද පාට ඒවා කන්න , බොන්න එපාය කියලා !

    ReplyDelete
  22. මම නම් ඔය පාට බලබලා ඉන්නෑ. බලන්නේ වෙලාව විතරයි. වැඩේට යන වෙලාවෙන් හිතාගත්තැහැකි පාට මොකක්ද කියලා...ලා පාට හෝ තද පාට. මම ඉතින් කලර් බ්ලයින්ඩ් නේ!

    ReplyDelete
  23. දැන් උනත් කොච්චර පාට ජාති තිබුණත් හොම්රන් එකේ තියෙන කොලිටිය ඒවයෙ නෑ.
    අර කිවුවත් වගේ දැන් පාට පෙට්ටි හදන අය මේ කක්ක කතා දැනගෙනද කොහෙද ඇතුලෙ තියෙන පාට කෑලිවල ඉංග්‍රීසි නම පෙට්ටියෙ පිටිපස්සෙ ගහලම එවනව.

    ReplyDelete
  24. පින්තූරෙ දැක්කම පරණ මතකයන් ඇවිස්සුනා...

    ReplyDelete
  25. ආ... අයිත් සැරයක් ක.කා.. කක්කි කොරං තීන්නෙ.... ආ..... මේ කස්ටිය ඒ කක්කි ගා ගන්නෙ......කට්ටියම හෝඩියේ... දෙකේ... පන්තිවලට ගොහිං වගේ.......හප්පේ මුං කක්කි වලට ආස තරමක්.... අනිවා... මුං ඔක්කොම පොඩි කාලෙ කක්කි කාල තීනව.....

    ක.කා දැන් කියමු බලන්න කක්කි මොන රහද කියල..?

    X-Porfter

    ReplyDelete
  26. @ All
    පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්.

    ඇනෝ කෙනෙක් අහලා තිබුණා ඇයි මේ යකී කතා ලියන්නේ කියලා. ආනන්දවර්ධනගෙනුත් ඒ හා සමාන අදහසක්.

    සත්‍යය තමයි මං මේවා අමුතුවෙන් මෙහෙම කක්කි එකක්, ජොක්කු එකක් ලියන්න ඕනෑ කියලා ලියන කතන්දර නොවේ.

    මගේ ජීවිතයේ එක එක කාලය ගැන සිහියට එන දේවල්. අපි හුඟ දෙනෙකුට මේ වගේ අත්දැකීම් තියෙනවා. මේවා අවංකවම හිතෙන ඒවා. හොර බොරු නෑ.

    මඩ කොල පාට කියන නම ඕනෑ වෙන්නේ ලා කොල, කොල, තද කොලටත් වඩා ගැඹුරු කොල පාටක් තියෙන නිසයි.

    කක්කි පාට කියන නම ඕනෑ වෙන්නේ ලා කහ, කහ, තද කහටත් අමතරව කහ පාටක් තියෙන නිසයි!

    කීප දෙනෙක්ම කියල තියෙන විදියට දැන් එන හොම්රන් පැස් වල පාට නම් කරලා තියෙන්නේත් මේ වගේ සිද්ධි නිසා වෙන්න ඕනෑ.

    ReplyDelete
  27. ෆැශන් වෙළඳාමෙ ඉන්න මට නම් ඉතින් පාට කියන එක එදිනෙදා ජීවිතේ කොටසක් වගේ...

    "නීග්‍රෝ " කියන්නෙ "කලු පාට" කියන එකත් මම දැනගත්තෙ ඔය සපත්තු වල පාට ගැන හදාරන්න ගිහින්...

    අපි පොඩි කාලෙ තිබුන "රුවන් පැස් " කියලත් පැස්ටල් වර්ගයක්...

    ReplyDelete
  28. ක කා ට ජෝක්කු සීරිස් එක ඉවර උනාම පඩ/කක්ක සීරිස් එක පටන් ගන්න හිතිලා වගේ. ඔහොම යන් ඔහොම යන්...
    මට නම් පොඩි කලේ එපා කරපුම විෂයක් තමයි චිත්‍ර. මට මිනිස් රුප අඳින්නම බැහැ. ඔය දර්ශනයක් වගේ දෙයක් නම් මොනවා හරි කරගත්තහැකි. කරුමේ කියන්නේ 5 පන්තිය වෙනකම් චිත්‍ර කියන්නේ අනිවාර්ය විෂයක් නේ. ඉතින් බැනුම් අහගෙන, මටම එපා වේගෙන ඒ කලේ චිත්‍ර ඇන්දා.
    ඔය කක්ක පාට ගැන කියනවා නම් ඉතින් ඔය ඔක්කොම කක්ක වර්ග වල පාටවල් පැස්ටල් කුරු 2-3 ක් එක එක ප්‍රමාණ වලින් කඩදාසියේ ගෑවහම හදා ගන්න පුළුවනි. කාපු දේ අනුව සහ පරණ වීම අනුව කක්ක පාට වෙනස් වෙනවා වගේම (ගඳත් වෙනස් වෙන එක වෙනම කතාවක්) ඔය රතු කහ තැඹිලි ඕනෙනම් කොළ වගේ පාට mix කරලා ඕනෙ කක්ක පාටක් හදා ගන්නත් පුළුවන්.

    ReplyDelete
  29. ඇත්තෙන්ම හොම්රන් පැස් පැස්ටල් වලට ගහන්න පැස්ටල් කූරක් තාම නෑ මම නම් හිතන්නේ

    ReplyDelete
  30. පාට ගැන කියද්දිත් මට තියෙන්නේ මහ කැත මතකයන් කීපයක් .. අප්පා මට චිත්තර විශයත් මාරම අබිලික් ..

    ඉස්සර අපේ පලාත් වල ළමයි පාට පෙට්ටි ගේනවා ගොඩාක් අඩුයි .දෙමාපියන් දුප්පත් වීම තමයි ඒකට මූලික හේතුව . අපේ අප්පුච්චා නම් මට හෙන ලොකු පාට පෙට්ටියක් ගෙනද්දෙනවා මාස දෙහෙකට වරක් .ඒක ඉස්කෝලේ ගෙනිච්ච ගමන් ටීචර් කරන්නේ ඒකෙන් මුලු පන්තියේ ඉන්න හැම ළමයාටම චිත්‍ර පාට කරන්න දෙන එක ..සමහර දාට පාට කූරු අඩුයි ළමයි මාටියා ගහලා ! ඉතින් මම තාත්තා මාව ඉස්කෝලෙට දාලා ඈතට යනකම් ඉඳලා පාට පෙට්ටිය තේක්ක ගහක් යට හංගලා තේක්ක කොල වලින් වහනවා .. ඉස්සර අපේ ඉකෝලේ හරියට ගස් ..

    කක්කා පාටක් කියලා පාටක් නම් අපේ සද්ද කෝසේ තිබ්බේ නෑ .

    ReplyDelete
  31. අදමයි කක්කා පාට හොයා ගත්තේ.

    ReplyDelete
  32. mama me) Aththamayi kiyanne), eka dheka vasara valadhi maath, ape akkath o)kata kiwwe guu paata kiyalaa. passe o) level chithra karana kota dhayaanandha sar kiyala dhunne o)kata kiyanne barnt siyaanaa kiyala . e) kaale o) leval chithra prashna paththare) බර්න්ට් සියානා yanu ................ kiyala thibba histhAnata mama, "griika dhevolaki " kiyala liwwa thaama mathakayi.

    ReplyDelete
  33. මම මේ ඇත්තමයි කියන්නේ, එක දෙක වසර වලදි මාත්, අපෙ අක්කත් ඕකට කිව්වෙ ගූ පාට කියලා. පස්සෙ ඕ ලෙවෙල් චිත්‍ර කරන කොට දයානන්ද සර් කියල දුන්නෙ ඕකට කියන්නෙ බර්න්ට් සියානා කියල . ඒ කාලෙ ඕ ලෙවල් චිත්‍ර ප්‍රශ්න පත්තරේ බර්න්ට් සියානා යනු ................ කියල තිබ්බ හිස්තැනට මම, "ග්‍රීක දෙවොලකි " කියල ලිව්ව තාම මතකයි.

    ReplyDelete
  34. කක්ක පාට කියල තමා අප්පා අපිත් ඕකට කිව්වේ..
    කොහොම උනත් දිය සායම් තමා මගේ නම් ෆේවරිට්...

    ReplyDelete
  35. (Trafic Ano said)
    පැස්ටල් කූරු වලට ඉංගිරිසියෙන් දාල තියෙන නම් පරම සත්යකය කියල හිතන්න එපා.
    උන් පාට වලට නම් තියන්නෙත් අපි වගේම තමයි. කොහොමත් උන්ට අපට තරම් ගැලපෙන විදිහට පාට වලට නම් තියන්න බෑ. එංගලන්තෙ දේශගුණේ හැටියට උන්ගෙ වර්ණාවලියෙ පාට අපට වඩා අඩුයි.
    (සුද්දො කක්ක පාට ගැන එච්චර දන්නෙ නෑ. සුද්දෝ පැටව් අපේ උන් වගේ අම්මගෙ පිටි පතුල් දෙක උඩ ඇණ තියාගෙන කක්ක කරන්නෙ නෑ.)

    ReplyDelete
  36. මේ කියන පාට මොකක්ද කියල හිතා ගන්න බැරි වෙච්ච මම වගේ අය වෙනුවෙන්

    https://lh3.googleusercontent.com/-IU3vwVDPgek/Trnt4z8MMaI/AAAAAAAAByI/r1trcE3XlTk/s576/untitled.bmp

    ReplyDelete
  37. @ හිස් අහස

    අන්න නියම ගුරුවරු !

    ReplyDelete
  38. බින්දි කියපු කැත කොළ පාට
    http://terkoiz.deviantart.com/

    ReplyDelete
  39. අනේ මන්දා...

    මට මතකයි මං 'Non' කියන ඉංගිරිස් වචනේ සිංහල තේරුම දැනගත්තේ හෝම්රන් පැස්ටල් පෙට්ටියේ ගහල තිබුණ Non-Toxic කියන වචනේ ගැන හොයන්න ගියපු හින්දා.

    කතන්දරගේ කක්ක කතා දකිද්දි නම් මතක් වෙන්නෙම ඉස්කෝලෙ කාලෙ තමයි.

    ReplyDelete
  40. අපේ වැඩිහිටියො පොඩි ළමයෙක් දැක්කහම කියනව මේ ළමය හරි අහිංසක පාටයි කියල. තව ළමයෙකුට කියනව හරි මුරණ්ඩු පාටයි කියල තව එවුව කියනව දැන් එකපාරට මතක් වෙන්නෙ නෑ. කොහොම හරි මම පාවිච්චි කරපු පාට 24 පැස්ටල් පෙට්ටියේ නම් ඔය පාට දෙකම තිබුනෙ නෑ. ඔය පින්තුරෙ තියන පාට 36 පෙට්ටියෙ ඒ පටවලුත් තියනවද දන්නේ නෑ. :D

    ReplyDelete
  41. කක්කා කියන්නෙත් කොකිස් වගේම පෘතුගීසි භාෂාවෙන් ආපු වචනයක්

    ReplyDelete
  42. කක්කා හුරතල් කරාමද කක්කි වෙන්නෙ?

    ReplyDelete
  43. කක්ක වලට වඩා මේක කියෙව්වට පස්සේ මගේ මතකේ ඇවිස්සුනා.
    මට මතකයි හොම්රන් පැස් වලට වඩා බොහොම පුංචි කූරු 12 ක් තිබුණු ගිනි පෙට්ටියක් සයිස් පාට පෙට්ටි වර්ගයකුත් තිබුනා
    ඒකෙ නමනම් මතක නැහැ
    හොම්රන් පැස් එකක්වත් ගන්න බැරි උදවිය තමයි එව්වා ගන්නේ
    මමත් ඒවා පාවිච්චි කරලා තියෙනවා පුංචි කාලේ.

    ReplyDelete
  44. අයියෝ කතන්දර කියවන අයගේ ලෙවෙල් එක හරි මදිනේ. මම ප්‍රතිචාර වල උඩින්ම බලපොරෝත්තුවෙච්ච ප්‍රශ්නේ කවුරුත් අහල නැහැ. ඔන්න එහෙනම්:

    කතන්දර කොහොමද ඉංග්‍රීසි කාරයන්ගේ කක්කා, කක්කා පාට නෙමෙයි කියල දන්නේ?

    මොනවා උනත් කතාව ඇත්ත. මම හැබැහින්ම දැකල තියනවා.

    ReplyDelete
  45. @ Bassa
    You asked:
    කතන්දර ‍ෙ‍කා‍ෙ‍හාමද ඉංග්໲සි කාරයන්‍ෙ‍ග් කක්කා, කක්කා පාට ‍ෙන‍ෙමයි කියල දන්‍ෙ‍න්?

    My answer:
    Its all here-

    If it's yellow,
    Let it mellow
    If it's brown,
    Flush it down

    See the title of the psot as well-

    -KK
    (Cannot use Unicode nor my profile)

    ReplyDelete
  46. kathandara ayya policiye eun adina adumath kakka patada? :D :D

    ReplyDelete
  47. පිස්සු නම් කතා කරන්නෙපා.. බේජ් කියන්නෙ සිරාම පාටත්.. මගෙ රථයේ පාට.

    ReplyDelete
  48. කතන්දර,
    මට දැනගන්න ඕනේ උනේ ඉංගිරිසි කාරයන්ගේ කක්කා කක්කා පාට නෙමෙයි කියල දැනගත්තේ හැබැහින් දැකලද කියලයි. කොහොම උනත් කක්කා වගේ දෙයක් ගැන වැඩියෙන් කතා කරන එකත් කක්කා ගොඩක් ගාගන්න සිද්ද වෙන වැඩක් නිසා ඒ ගැන වැඩිය කතා කරන්න ඕනේ නැහැ!

    ReplyDelete
  49. බේජ් කිව්වම මටත් මතක් උනේ කැඩෙට් කරපු කාලේ යුනිෆෝම් එක ...

    ReplyDelete
  50. turquoise is light blue

    ReplyDelete
  51. ඉස්සර මන් ඕක හිතන් හිටියේ හොම්රන් පැස් කියල...
    පස්සේ කාලෙක තමයි හෝම්රන් කියල තේරුම දැන ගත්තේ (Home Run - baseball)

    ... ඒ කාලේ මට තිබුන තව ප්‍රස්නයක් තමයි "හොම්රන් පැස්-ටල්" නොකිය බාගෙට පැස් කිව්වේ මොකද කියන එක ...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.