Sunday 10 July 2011

ට්‍රැෆික් කෝට් කේස් එකක් ද? ට්‍රැෆික් දෙයියන්ව චැනල් කරන්න! - Channelling the Traffic God


මාසයකටත් වඩා දුවපු කාර් කතන්දර මෙගා සීරීස් එකේ සැර දැනිලා අපේ බ්ලොග්කරයෝ කීප දෙනෙකුගේ වෙන්ඩ කතන්දර පීදිලා තියෙනවා මේ දවස්වල දකින්න පුළුවන්.

සුජීව කොකාවල මාර්ග නීති කඩලා පගා දිපු, නොදීපු හැටි ගැන කවි ලියනවා!

අභීත එදිරිසිංහ පොලිස් මාමලාට චාටු දාන හැටි කියනවා!

බුද්ධි ලක්ඛණ ලා නං කෙලින්ම 1,500 ක් ම දීලා පොලිස් මාමලාට බනිස් කන්න.

ඔය අතරේ මට මෙන්න මේ කතාව ලියලා එවලා තියෙනවා පාඨකයෙක්. කියවලාම බලන්න. වාහන තියෙන අයට පොඩි ප්‍රයෝජනයක් හරි ලැබෙන්න පුළුවන් මේ කතාවෙන්.

කතන්දරකාරයාට වගේ මට රතුපාට කොරොල්ලා එකක් තියා හම ගිය මයිනර් එකක්වත් නෑ.

ඒ වුනාට ලයිසමක් තිබුනා කාලෙක ඉඳන්. ඒ විතරක් නෙවෙයි, අරවට තිත නොතියා මෝටර් සයිකල් පැදලා ඇක්සිඩන්ට් වෙලා උසාවියේ දඩ කාලා පුරුද්දකුත් එහෙම තිබුනා.

ඔය අතරවාරේ මං දවසක් එළවගෙන යනවා කැරවන් එකක්. මං යන්නෙ මැද ලේන් එකේ (මේ පාරේ ලේන් තුනක් තියනවා) ඔන්න හදිසියෙම දකුණු පැත්තෙ ලේන් එකේ ගිය ආමි ට්‍රක් එක, එක පාරටම වමට කපල මැද ලේන් එකට දැම්මා. මං හිතන්නෙ එතනිං කවුරුහරි යූ ටර්න් එකක් ගහන්න ඇති.

මං ඒ පාර අනතුරක් වළක්වා නොගෙන ඉන්නෙ නැතුව, වහාම බ්‍රේක් එක ගහල නවත්ත ගත්ත. හැබැයි වාහනේ දැන් අංශක දහයක් පහළොවක් වමට හැරිල. ඇයි අර යෝද ට්‍රක් එක ගෑවුනානං සයිඩ් කන්නාඩිය කුඩුවෙනවනෙ.

ඔන්න එතකොටම පිටිපස්සෙන් ආපු ත්‍රී රෝද තුමෙක් මගෙ වම් පැත්තෙ කීස් ගාල ගෑවීගෙන ගිහින් තවත් වමට දාලා පේමන්ට් එක උඩට නැගලා ආයෙත් පාරට දාන්න ගන්නකොට පේමන්ට් එක අයිනෙන් දාල තියන යකඩ වැටේ වැදුන්-නැද්ද ඩාං ගාල.

ත්‍රී වීල් එකේ වින්ඩ්ස්ක්‍රීන් එක කුඩු. එළවගෙන ආපු ත්‍රී-වීල් මල්ලී ගෙ නිකටට යටින් ලේ එනව ටැප් එක වගේ.

සෙනග සූ ගාල වටවුනා.

කවුරුත් ත්‍රී වීල් එක එළවගෙන ආපු මල්ලීයාට දොස් කියන්න ගත්ත පාලනය කරගන්න බැරි තරම් වේගෙකින් එළවගෙන ආවට. ‍

මේ අතරතුරේ මාත් එක්ක වෑන් එකේ ආපු මගෙ හාමිනේ ලේන්සු තිය තියා අර ත්‍රී-වීල් මල්ලී ගේ තුවාලෙ ලේ එන එක නවත්තන්න දඟලනව.

කොහොමහරි ඔන්න පොලිසියෙන් ආව.රාළහාමි දිගට හරහට ප්‍රශ්න කළා. දැන් අර පේමන්ට් එකේ වැඩ කැඩිච්ච එක භයානකයි. මොකද රජයේ දේපොල නේ. ත්‍රී-වීල් මල්ලී මා දිහා බලලා වෑන් එකට අලාබයක් නෑ නේද කියල ඇහුව. මෑන්ට තේරිලා තිබුනේ වරද එයා අතේ බව. කරදරේ ගැන සොරි කියලත් මිනිහ අමාරුවෙන් කිව්ව.

වෑන් එක යන්තං සීරිලා විතරයි තිබුනෙ. කොහොමත් ඒ වෑන් එකේ සීරිච්චි පාරවල් කෙළවරක් නැතුව තිබුන කළින් ඉඳන්ම. (වෑන් එක මගෙ නෙමෙයිනෙ) ඉතිං මේ සිද්ධිය කොහෙත්ම ගණන් ගන්න අවශ්‍ය නැහැ වෑන් එක සම්බන්ධයෙන් නං.

ඒ අතරෙ ඉලන්දාරියා බෙහෙත් දාන්න ඉස්පිරිතාලෙ හෙවත් හොස්පිටල් එකට එක්කගෙන ගියා. රාළහාමි කිව්වා මට වෑන් එකත් අරන් පොලිසියට එන්න කියල. මං ඇහුව මෙතනදි මගේ වරදක් නැති නිසාත් වෑන් එකට සැළකියයුතු අලාභයක් නැති නිසාත් මම මගෙ ගමන යන්නං නේද කියල. ඒත් රාළහාමි කිව්වෙ “කෝකටත් එන්න, මොකද පස්සේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නේ” කියල.

මම රාළහාමිගෙන් ඇහුව “වෑන් එකේ මගෙ හාමිනෙයි ළමයිනුයි ඉන්නවා, මං ඒ ගොල්ලන්ව ගෙදර දාල එන්නද?” කියල. ඉතිං රාළහාමි බොහොම කාරුණික විදිහට “හා හා කමක් නැහැ කළබල වෙන්න එපා” කියල කිව්ව. කොච්චර හොඳ රාළහාමි කෙනෙක්ද කියල මට ඒ වෙලාවෙ නං හිතුන. හැබැයි ‍මගෙ ලයිසම නං ඒ වෙනකොට රාළහාමිගෙ අතට අරගෙනයි තිබුනෙ.

ඉතිං මම නිවිහැනහිල්ලෙ පොලිසියට ගියා. මෙන්න යනකොට අර තුවාල කාරය බෙහෙත් දාගෙන ඇවිල්ල තව කළු මහත හාදයෙක් එක්ක.

මෑන් කතා කරන්න පටන් ගත්තෙ සම්පූර්ණයෙන්ම මට වරද පටවලා. මමත් ඇරගන්ඩ ගියෙ නෑ. මට එච්චර එක්සිපීරියන්ස් එකක් තිබුනෙ නෑ ඔය‍ වගේ සිද්ධි සම්බන්ධයෙන් ඒ වෙනකොට. තිබුනනං ඒ වෙලාවේ නිශ්ශබ්දව ඉන්නෙ නෑ.

මම හිතුවෙ “මේ අහක යන මෑන් කෙනෙක් එක්ක පැටලෙන්නේ මොකටද, සිද්ධියට අදාළ ත්‍රී-වීල් මල්ලී ඒ වෙනකොටත් මට සොරි කියල කියලනේ තිබුනෙ” කියලා.

පස්සෙ මගෙන් කටඋත්තරයක් අරගෙන ලියාගත්ත. ටිකක් වෙලා ඉන්න කියල ත්‍රී-වීල් මල්ලී ගෙ කටඋත්තරේ ලියන්න පටන් ගත්ත.

මම ටිකක් එහායින් තිබුන බංකුවේ වාඩි වෙලා හිටිය. ත්‍රී-වීල් මල්ලී කියන ඒව මට ඇහෙන්නෙ නෑ. ඒ අස්සේ අර කළු මහත මෑන් ඉඳගෙන ඉලන්දාරියට උපදෙස් දෙනව. රාළහාමි මිනිහට දොස් කියන්න ගත්ත, මොකක් හරි දේකට. මෑන් හිටපු පොලිස් කාරයෙක් මට තේරුන විදිහට.

ඉතින් දැන් මට පේන්නෙ නං ඇක්සිඩන්ට් එක ඉන්ක්වයර් කරපු රාළහාමි ඉතා අපක්ෂපාතී කරුණාවන්ත පුද්ගලයෙක් හැටියට.

ඔක්කොම කටඋත්තර ලියාගත්තට පස්සෙ රාළහාමි කියපි, “රජයේ දේපල වලට අලාභ වෙලා තියෙන්නෙ. වාහන දෙක පරීක්ෂණ ඉවර වෙනකං පොලිසියෙ තියාගන්න වෙනව” කියල.

මදැයි කොළා! අනේ ඉතිං මං ආපහු ගෙදර ආව.

ඉතිං මට යන්න ගිය ගමනත් නෑ, වෑන් එක අයිතිකාරයට දෙන්න හැටියකුත් නෑ. දැන් මොකද කරන්නෙ?

මේ වෙලාවෙ ඉතිං සුපුරුදු පරිදි මගෙ වැඩපොලේ හිතවත්තු විස්තර අහල උදව් කරන්න ලෑස්තියි. මං ඒ අයට කිවුවෙ “පුළුවං ඉක්මනට වෑන් එක නිදහස් කරගත්තොත් හොඳයි” කියල. මොකද ඒක අයිතිකාරයට බාර දෙන්න එපායැ.

ඉතිං ඔන්න පොලිසියෙ ට්‍රැපික් ඕ අයි සී අඳුරන ලොකු මහත්තයෙක් මාර්ගයෙන් වෑන් එක නිදහස් කරගන්න පුළුවන් වුනා යන්තං.

දැන් ඉතිං මටයි අර ඉලන්දාරියටයි පොලිසියෙන් නඩු දාල තියෙන්නෙ. ඔන්න නඩු දවස ආවා.

මම හිතුවක්කාරකම් කරන්න ගියෙ නෑ මොකද ඒ වෙනකොට 'ට්‍රැපික් කේස්' වලදි 'ගිල්ටි ප්ලීඩ්' කරල ඒ කියන්නෙ වරද පිළි අරං මට පුරුදුයි.

ඒක සම්මතයක් නෙ, තමන් අතේ වරදක් තිබුනත් නැතත්, ට්‍රැපික් කේස් එකකට ගිහාම උසාවියෙදි වරද පිළිගත්තනං වියදම අඩුයි කියන එක.

හැබැයි ඉතිං අර එතන ඉන්න කළු කෝට් පොරක් අල්ලගන්න ඕනැ. මොකද ඔය උසාවියෙ සීන් මට තේරෙන්නෙම නෑ. අර බැද්දේගම බබුංට වෙච්චි වැඩේ තමයි මට මතක් වෙන්නෙ උසාවියකට ගියහම.

ඉතිං මට හම්බඋනේ බාගෙට නින්ද ගියා වගේ ඉන්න, හීන්දෑරි වයසක පොරක්. මොකා උනාම මොකද “වරද පිළිගන්නව ස්වාමීනි” කියල කියන්න පුළුවන්නං ඇතිනෙ. මොකද ගොයම් කොලේට මුවා වෙලා වෙඩි තිබ්බ කියල චෝදනාවක් නෙවෙයිනෙ තියෙන්නෙ.

අනතුරක් වළක්වා නොගැනීම සහ අපරික්ෂාකාරී ලෙස වාහන පැදවීම.ඉතිං චෝදනාව කියෙව්ව, කළු කෝට් පොර අර වාක්‍යය කිව්ව. නඩු ඇහුවෙ මැඩම් කෙනෙක්. රුපියල් දෙදාස් පන්සීයක් දඩ කියල තෝල්කතුමා කිව්ව. දඩය ගෙවනකං පොඩ්ඩක් ඉන්න කිව්ව.

දඩේ ගෙවල එන්න හදද්දි ඔන්න අර ත්‍රී-වීල් මල්ලී ගෙ නඩුව අහන්න ගත්ත. මේ යකා “නිවැරදිකරු” කියපි.

මළා ‍ජෝන් තව පොඩ්ඩෙන් තෝල්ක තුමත් හිරේ යන කේස් එකක් නෙ. මොකද, පොලිසියෙන් නඩු දාල තියෙන්නේ අර ඉස්සෙල්ල කිවුව චෝදනා දෙකට අමතරව “රජයේ දේපල වලට අලාභ සිදුකිරීම” කියල එකකුත් එකතු කරල.

මගේ නඩුවෙදි ඒක තෝල්ක තුමා දැකල නෑ. චූටියටලු ලියල තියෙන්නෙ.

තෝල්ක තුමා පොලිසියට දොස් කියන්න ගත්ත චෝදනා ටික පැහැදිළිව ලිව්වෙ නෑ කියල. කොහොමින් කොහොමින් හරි දැං මට ආපහු කූඩුවට යන්න පාර පෑදීගෙන එන්නෙ.

අන්තිමට රුපියල් පනස්දාහකද කොහෙද ශරීර ඇපයක් මත මාව නිදහස් කළා. මගෙත් එක්ක ගිය යාළුවෙක්ගෙ අයිඩන්ටිටි කාඩ් එකේ පොටෝ කොපියක් උසාවියෙ තියා ගත්ත. ඇප දෙනව කියන්නෙ ඒකටලු!

දැං ඉතිං දෙයියන්ට තමයි කියන්න වෙන්නෙ.

ඒත් මොන දෙයියන්ටද? එක එක දෙයියෝ එක එක සබ්ජෙක්ට් එකට නෙ ඉන්නෙ. එක්කො කෙළින්ම ශක්‍ර දෙයියන්ට කියන්ඩ වෙනව. නැත්තං ට්‍රැපික් දෙවියෙක් අල්ලගන්ඩ වෙනව.

මොකද දැං අර ඉලංදාරිය කළු මහත පොරගෙ ඉගැන්නිල්ල උඩ කියන්නෙ වෑන් එක ඇවිල්ල ත්‍රී වීල් එකේ හැපීම නිසා ඒක විසි වෙල ගිහින් ‍වැටේ හැපුන කියල. දැන් මේකට කොනක ඉඳන් පරීක්ෂණ කරන්න වෙනවනෙ. මොකද පොලිසියෙන් එහෙම මොකවත් කළිං කරල නෑනෙ. නැත්තං ත්‍රී වීල් එකේ පිටිපස්සෙ හරි පැත්තකින් හරි වෑන් එක ඇවිත් වැදිච්ච පාරක් තිබුනද, නැත්තං වෑන් එකේ ත්‍රී වීල් එක වැදිච්ච පාරක් තිබුනද කියල දැං කොහොමද බලන්නෙ සුමාන දෙකකට විතර පස්සෙ.

ඔන්න ආයෙත් වැඩපොලේ හිතවත්තු මට පිහිට වෙන්න ආව. හොයාගෙන යනකොට අපේ වැඩපොලේම වෙන අංශෙක හිටියා ට්‍රැපික් වලට අදාළ දෙවියෙක්ගෙ දුව. එයාට දෙව්දුව කිව්වොත් ආඩම්බර වෙන නිසා මම එහෙම කිව්වෙ නෑ. ඉතිං දෙව්දුව මාර්ගයෙන් මං දෙවියන්ට පණිවිඩයක් යවලා උදව්වක් ඉල්ලුවා.

ඔය අතරෙදි මේ දෙවියො දවසක් හවස එතුමාගෙ වාහනයෙන් අපේ වැඩපොලේ ගේට්ටුව ළඟට වැඩම කරල තිබුන දෙව්දුව එක්කගෙන යන්න. මට මාර චාන්ස් ‍එකනෙ. මං කතන්දරේ පැහැදිළි කරල කිව්ව.

දෙවි තුමාට අ‍වබෝධ වුනා වැඩේ හරියටම. “හරි මං මැඩම්ට කියන්නං, මං එයාව හොඳට අදුරනවා” කියල දෙවි තුමා කිව්ව.

දෙයි හාමුදුරු‍වනේ ඒකනං කරන්ඩ එපා. ඒක මාර අසාධාරණයක්නෙ. මට දැන් මාර අප්සෙට්. මං ඉතින් අර ඒ දවස්වල සීල් ප්‍රොපාටවත් කීයක්වත් දුන්නෙ නැති එකා නෙ. (හැබැයි දැන් නං දෙනව සුදු පටි රාළහාමිලාට විතරක්).

එතකොට දෙවි තුමා මට පැහැදිළි කළා. “නෑ මම බලපෑමක් කරන්නෙ නෑ. ඇත්ත සිද්ධිය පැහැදිළි කරල දෙනවා. එතකොට හිතල මතල නඩුව අහයි” මං කැමති උනා. වෙන මොනව කරන්නද?

ඔය අස්සෙ මං තව වැඩක් කරා. ඒක තමයි හොඳ පෙරකදෝරුවෙක් හොයාගන්න එක. ඇයි දැන් ඉස්සෙල්ල වගේ නිකංම වරද පිළි ඇරං හරියන්නෙ නෑනෙ. තර්ක කරල නඩුව කඩාගන්ඩ වෙනව.

ඉතිං, මගෙ ඥාති සහෝදරියක් ඉන්නව ඉන්ෂුවරන්ස් කොම්පැනියක නීති කටයුතු කරන. මං එයා හම්බ වෙලා කතාව පැහැදිළි කරල හොඳ නීතිඥතුමෙක් හොයල දෙන්ඩ කියල කිව්ව. අක්ක අපරාදෙ කියන්න බෑ උසාවියේ ඉන්න (ම‍ට තේරුනු විදිහට) ඉස්තරම්ම නීතිඥතුමෙක් මට “කන්ටෑක්ට්” කරල දුන්න.

වැඩේ හැටි කියන්නෙ මේ නීතිඥතුමන්ල මූණ බලන්නෙත් නැතිවනෙ නඩු බාරගන්නෙ. උසාවියට ගියාම තමයි දෙන්නට දෙන්න පළමු වතාවට මුණ ගැහුනෙ.

ඒ වුනාට මාර වැඩක්නෙ වුනේ. අර ත්‍රී-වීල් මල්ලී අල්ලල තියෙන්නෙත් අපේ අක්ක මට අල්ලල දුන්න නීතිඥතුමා මයි!

අනේ නීතිඥතුමා මට උදව් කළා. එ‍යාගෙ හිතවතෙක් මට සෙට් කරල දුන්න. නඩුව ගෙනියන හැටිත් කියල දුන්න.

දැන් ඔන්න අහන්න පටන් ගත්ත නඩුව මුල ඉඳං.

මෙහෙමනේ, නිවැරදිකාරය කිව්වොත් කල් දානව. වැරදි කාරය කිව්වොත් දඩ ගහනව. ඔච්චරයි පළවෙනි දවසට.

දැන් දෙවෙනි දවස ආවා. ඔය අතරේ දෙවිතුමා බැල්ම හෙලල වෙන්න ඇති දෙවැනි දවසෙදි තෝල්ක තුමා මට කිව්ව “ත්‍රී-වීල් මල්ලී ට විරුද්ධ නඩුවේදී පැමිණිල්ලේ සාක්ෂිකාරයෙක් වශයෙන් යුෂ්මතා නම් කරනවා” කියල.

දැන් මට තියෙන්නේ ත්‍රී-වීල් මල්ලී නිවැරදිකාරය කියල කිව්වොත් වෙච්ච සිද්දිය මං දැකපු විදිහට උසාවියෙදි කියන එකයි.

දැන් ත්‍රී-වීල් මල්ලී ට තේරුණා වැඩේ අඤ්ඤ කොරොස් තමයි කියල. මොකද එතන වෙච්ච සිද්දිය පැහැදිළි කළාම බූරුවෙක් නොවන ඕනැ කෙනෙකුට තේරෙනව වෙලා තියෙන්නෙ මොකක්ද කියල. අනේ ඉලංදාරියා වරද පිළිගත්තා.

කොහොමද දෙවියන්ගෙ මොලේ?


මේ කතාව මට වෙච්ච එකක් නං මං කොටස් තුනකට විතර කුට්ටි කරලා තමයි දාන්නේ.

මොනවා වුනත් මෙන්න මගේ උපදේශය.

පොලිස් පැමිණිලිවලදියි, උසාවි කේස්වලදියි කිසිම දෙයක් උපකල්පනය කරන්න යන්න එපා!

-කතන්දරකාරයා

ප/ලි
හෙට විශේෂ දවසකි! ඒත් වැඩි විච්චූරණ නම් ඒත් ප්ලෑන් කර නැත!

(image: http://www.123rf.com/)

34 comments:

  1. katandare mokakda me 50000ka sharira apayak kiyanne?meka gewanna one natida?..........
    tawa deyak man pull insuarance tiyanawa wahayak wenath wahanayaka happuwoth mage insurance eken happapu wahaneta wechcha alabe gewanawada?mata tiyana pashna tama ahanna kauruth ne onna katandaregen tama ahuwe

    ReplyDelete
  2. උපදේශය 100%ක් නිවැරදි බව මාත් අත්දැකීමෙන් දන්නවා.

    හෙට කේස් එක කිව්වනම් බලන්න....

    ReplyDelete
  3. මේ උසාවි වලට බන්ටි කොල කියලා දෑම්ම නම් හරි, නඩු අදින ඇදිල්ලේ තරමට බන්ටි කොල වලට උසාවී කියලා දාල, උසාවි වලට බන්ටි කොල කියලා දැම්ම නම් හරි..හැබයි ඉතින් කතන්දර ගේ කතන්දර කිවිල්ලත් උසාවි වල නඩු ඇහිල්ල වගේම තමයි...

    ReplyDelete
  4. මේ ඇක්සිඩන්ට් සීන් එක සන්ඩේ ඉෂ්පෙශල් ආටිකල් එකද ? අම්මෝ පුදුම වැඩ තමා වෙලා තියෙන්නේ.

    ReplyDelete
  5. @ Ano 1
    පනස්දාහක ශරීර ඇපයක් කියන්නේ පුද්ගලයෙක් ඇප වීමයි.
    චුදිතයා ඊලඟ නඩුවාරයට නොපැමිණියොත් ඇප කාරයා මාට්ටු. ඔහුට ගෙදර යන්න 50,000 ක් ඕනෑ.

    ෆුල් ඉන්ෂුවරන්ස් කියන්නේ වාහනය, සොරකම, ගින්න, ත්‍රස්තවාදී ක්‍රියා, දාමරික ක්‍රියා, රියදුරු, මගීන් සහ තුන්වන පාර්ශවයේ වාහන, පුද්ගල සහ දේපල අනතුරු වලට වන්දි ලැබෙනවා කියන එකයි.

    නමුත් මාර්ග නීති කැඩීමෙන් ගැලවෙන්න බෑ. ඒකට රජය වෙනුවෙන් පොලිසිය නඩු දානවා.

    ReplyDelete
  6. ඕක තමයි.රටේ නීතිය ගැන කිසිකෙනෙකුට විස්වාසයක් නෑ.කොහොම හරි ට්‍රෆික් කාරයවත් අල්ලගන්න ඕන.ඊට වඩා පුලුවන්කෙනා OIC අල්ල ගන්නව.තවත් පුලුවන්නම් DIG.පොලිස්පති.පුලුවන් කෙනෙක් ඇමතිම අල්ල ගත්තම්නම් ගොඩම තමයි.ඕක තමයි මෙ රටේ තියෙන ලොකුම දෙශපලන ප්‍රශ්නය.නීතියේ ආධිපත්‍ය බිඳවැටීම.

    ReplyDelete
  7. @ prasanna86k
    හෙට සීන් එක හෙට උදේ හයට බලන්න.

    ReplyDelete
  8. @ මයියා
    බන්ටි කොල කියන එක නං මගේ ශබ්ද කෝෂයේ නෑ. මොකක්ද ඒකේ තේරුම.

    කතන්දර බ්ලොග් එක ගැන කියනව නං ඉතිං, මයි කෝට්, මයි කේස්, මයි රූලින් තමයි!

    ReplyDelete
  9. @ මධුරංග
    මේ සේරම ඉතිං අපේ, අපේ ම කතන්දර තමයි!

    ReplyDelete
  10. @ La Srinka
    කියල වැඩක් නෑ දොරේ.

    මේ ලඟදී මං අර උඩින් ලින්ක් කරලා තියෙන අභීත ගේ, සුජීව ගේ සහ බුද්ධි ගේ ලිපිවලදීත් කිව්වේ ඔය ටික තමයි.

    කවදා ද අපි හැදෙන්නේ?

    ReplyDelete
  11. දැන්නම් උසාවි කියන්නෙ ආණ්ඩුවට සල්ලි එකතු කරන තැන් වෙලා. පොලිසියට තියෙන්නෙ ඒකට වැරැද්දක් කලත් නොකලත් දවසකට යම් ප්‍රමාණයකට නඩු දාන එක.

    ReplyDelete
  12. "මේ කතාව මට වෙච්ච එකක් නං මං කොටස් තුනකට විතර කුට්ටි කරලා තමයි දාන්නේ." හික් හික් මම ඕක කොමෙන්ට් එකකට දාන්න කියල හිතුවා විතරයි..

    හෙට විශේෂ නෙමෙයි කතන්දර අති විශේෂ දවසක් නේ...මෙව්වා එකක් තියනවා කියන්න හෙටම කියන්නම්.. :D

    ReplyDelete
  13. සුබ පැතුම් කතන්දර ...හෙට දිනේට ....

    අති විශේෂ දවසක් ... කතන්දරට වගේම කතන්දරව කියවන අපි කාටත්..

    ReplyDelete
  14. එතකොට ඔය ප්‍රශ්නෙට මූලික වෙච්ච ආමි ට්‍රක් එකට මුක්ත්ම කේස් එකක් නැද්ද .......

    ReplyDelete
  15. මේ පොලිස් ට්රැාපික් කතන්දරත් කෙළවරක් නෑ, අනිත් එක හුඟක් ඒව මාර ඉන්ටරස්ටිං.
    සාමාන්යසයෙන් ඉස්සර කාලෙදි වැඩිය එකිනෙකා නාඳුනන කීපදෙනෙක් ඔය මගුල් ගෙදරකදි වගේ තැනකදි "සෙට්" වුනහම කතා කරන්නෙ එක්කො කාලගුණේ ගැන, නැත්නං ‍දේශපාලනේ. ඒත් දැන් තත්වේ වෙනස්. එක හේතුවක් තමයි කාලගුණය ගැන අවධානය යොමු කරන්න හුඟක් නාගරික රැකියා කරන අයට වෙලාවක් නැති නිසා ඒ ගැන කතා කරන්න වැඩි දෙනෙක් දන්නෙ නෑ. දේශපාලනය ගැන කතා කරන එක භයානකයි, සමහරවිට ජීවිතයෙන් වුනත් වන්දි ගෙවන තත්වයකට පත් වෙන්න පුළුවන්.
    ඒ නිසා, එවැනි හමුවකදී දැන් තියන ජනප්රිියම මාතෘකාවක් තමයි මේ ට්රැපපික් පොලිස් කතන්දර. අනිත් එක, වැඩේ ඉවර වෙලා මෝටසයිකලේ හරි වාහනේ හරි එළවගෙන අහුවෙන්නෙ නැතුව ගෙදර යන්න ක්ර මයක් හොයාගන්නත් එපායැ.
    ---------------------------------------------
    සිද්දියට මුල් වුනේ ආමි ට්රහක් එක නෙමෙයිනෙ. එතනිං යූ ටර්න් ගහපු එකානෙ. කැකිල්ලෙ රජ්ජුරුවො හිටියනං නියමෙට තීන්දුව දෙයි.
    අනිත් එක වරදට මුල් වෙච්ච ‍එකා අල්ලගන්න බැරි උනාට කමක් නෑ. අනතුරක් වළක්වා නොගැනීමේ වරදට අනිත් ඔක්කොම දෙනා අහුවෙනවා.
    ---------------------------------------------
    මීට කතාව ලියපු ඇනෝ

    ReplyDelete
  16. යූ ටුර්න් එක හදපු කෙනාගේ තමා වැරැද්ද මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. මෙන්න කැකිල්ලෙ නංගි කෙනෙක් :D
      කැකිල්ලේ Ano

      Delete
  17. අපේ රටේ නිතිය...!!!!!

    කැකිල්ලේ රජ්ජුරුවෝ හිටියා නම්...මිනිහා අඩු වයසෙන්ම විශ්‍රාම යාවි.

    ReplyDelete
  18. @ කතන්දර

    මයියත් නාකියි තමයි, ඒත් කතන්දර ඊට වඩා නකියි වගෙයි..ඉස්කෝලේ යන කාලේ බන්ටි කියල ටොපී කොල ජාතියක් දැකල තියෙනවද..ඒ කොලේ මාර විදිහට ඇදෙනවා..ලම්ය දෙන්නෙක් මේක දෙපැත්තට වෙලා කොලේ ඉරා ගන්නෙ නැතුව අදින එක තමයි සෙල්ලම

    ReplyDelete
  19. @ Outsider
    ඔව් ඒ දවස්වලත් පොලිසියට තිබුණා මාසික ටාගට් එකක් දඩ සහ නඩු සඳහා මං අහල තිබුණු විදියට.

    මාසෙ අග දී අල්ලනව වැඩියි කියලයි කතාව තිබුනේ!

    ReplyDelete
  20. "මළා ‍ජෝන් තව පොඩ්ඩෙන් තෝල්ක තුමත් හිරේ යන කේස් එකක් නෙ."

    Kathandara, this is a Mo*** Fu***ing creative guy!
    you should encourage him to write his own blog!

    Enjoyed the story!
    cheers!

    ReplyDelete
  21. @ sudheera
    හොඳයි, හොඳයි හෙට හමුවෙමු!

    ReplyDelete
  22. @ සොඳුරු සිත
    සමහරු නං කියන්නේ දවස නෙමේ වැදගත් ගණන කියලයි, බලමු හෙට, හැබැයි වැඩි ලොකු දෙයක් නං නෑ.

    ReplyDelete
  23. @ පන්සල් හන්දිය
    ඔන්න සිද්ධියට මුහුණ දීල කතන්දරේ ලියපු පොරම උත්තර දීල තියෙනවා!

    ReplyDelete
  24. @ Gimhani
    අනේ මන්දා? උසාවිය නේ ඕව දන්නේ!

    ReplyDelete
  25. @ මයියා
    අපෝ මං බන්ටි ටොෆි දන්නවා. මං මයියා තරං නාකි නෑ වගේ.

    බන්ටි ටොෆී ගැන පොඩි කතාවක් කියන්නම්.

    ටොෆි කොලේ බන්ටි කියන එක දෙමලෙන් ලියලා තිබුනේ නෑ. දෙමල අකුරු වෙනුවට තිබුනේ Bunti කියලයි.
    ඒකට හේතුව දෙමලෙන් බ-යන්න සහ ප-යන්න දෙකම එක වීම සහ ටි යන්න සහ ඩි-යන්න එක අකුර වීම.

    ඉතිං, බන්ටි කියල දෙමලෙන් ලිව්ව නං කියවෙන්නේ පන්ඩි කියලයි! ඒක කුණුහරුපයක්.

    ReplyDelete
  26. @ සූස්ති ගුණේ
    මං ඊ-මේල් එකක් යවන්නං ඇනෝ ට.

    ReplyDelete
  27. මරුම සිනාරියෝ එක තමයි දෙන්නම එකම කාක්කෙක් ඇල්ලීම සහ කාක් පොර විසින් අපේ අහින්සකට නඩුව ගෙනියන හෙවත් බලන හැටි කියා දීම.......

    ලිවිල්ල නම් පංකාදුයි ඕං....කකාටත් පිං ඕං මේවා පල කොරනවට....

    ReplyDelete
  28. පොලිස් පැමිණිලිවලදියි, උසාවි කේස්වලදියි සහ..... ගෑනු හුටපට වලට මැදි වුනාමයි..... කිසිම දෙයක් උපකල්පනය කරන්න යන්න එපා!

    btw, හෙට කතන්දරගෙ උපන් දිනය වත්ද?

    - රසිකයා

    ReplyDelete
  29. හෙට දින උදාවන තෙක් නොයිවසිල්ලෙන් බලා සිටිමි .

    ReplyDelete
  30. ඔව්ව නොදන්නා අපිට මෙව්වා කියල දෙන ඒක ගැන මගේ ස්තුතිය . ට්‍රැෆික් රාළහාමිලා ගැන නම් කියන්න තියෙන්නේ මෙහෙ ඉන්නේ ඔහේ අයගේ අප්පචිලා බවයි. ඔන්න වැඩිය අහන්න නම් එපා ඔය ගැන හොඳේ

    ReplyDelete
  31. තවත් පොඩි පොලිස් කතාවක් තියෙනවා. ඒක මෙච්චර බරපතල නෑ. ඊලගට ඒක කියලා මගේ පොලිස් කතා දැනට ඉවර කරන්නයි හිතාගෙන ඉන්නෙ.

    ReplyDelete
  32. මා දන්නා තරමින් ඇනයාගේ කතාවේ වරදකරු ත්‍රී වීලරයාය. මොකද වෙනත් ඕනෑම ප්‍රශ්නයකදි අනතුරක් නොවන දුරකින් තම රිය පදවා යන්නටත් කල් ඇතුව වෙගය අඩු කර ගන්නටත් වගකීමක් ඇති බැවිනි. එහෙත් මෙය සාදාරන නීතියක් නොවේ යයි මට සිතේ. මෙහි වරද ආමි කාරයින්ට හා දකුනට හැරවූ එකාට ද අයිති විය යුතුයි.

    කතන්දර අඩ සියවස් සමරුවෙ නොවෙයි නේද? තවම පොඩි එකානෙ.

    ReplyDelete
  33. විවිධ මත වලට භාජනය වන මගෙ පගා සීරිස් එක ගැන කිව්වොත්, මට පෙන්නන්න ඕනෑ කලෙ මෙහි පවතින තත්වය පගා දෙන්නෙ නැත වගෙ අවංක ප්‍රතිපත්ති වලට වලංගු නොවන බවයි. අනික නිතිය හා උසාවිය එතරම් පිරිසිඳු හා සාධාරන නොවන බවයි. කෙසේ වෙතත් අත් දැකීම් ටිකක් කවි කරන ආසාවත් තියෙන නිසා තව දිගට මේක ලියන්නයි අදහස. "පගාව දුන්නා නරක ළමයා" වගෙ තියරි කතා වලට වඩා, මෙම සිද්ධි වටා ඇති සාමාජීය යතාර්ථයන් උකහා ගනීම වටියි [පට්ට සමාජ විද්යාවක් මෙහි ඇති බව කීවෙ නැහැ හොඳෙ. ටිකක් විචාරාත්මක ව බලන්න කියලයි කිව්වෙ]

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.