
බල්ලෙක් කෑවොත් ඉතිං මළා තමයි!
මොකද බල්ල ට පිස්සු ද දන්නේ නෑනේ?
අපේ තාත්තා ගේ හොඳම යාළුවෙක් ගේ වයිෆ් ගෙදර හිටපු බල්ල ට රෑ බත් දෙන්න ගිය වෙලේ උගේ නැට්ට පැගිලා ඌ හපලා තියෙනවා පොඩ්ඩක්. වැඩි තුවාලයක් නොතිබුණු නිසා ගණං අරං නෑ.
සතියකට විතර පස්සේ බල්ලත් මැරිලා හිටියා ලු.
අනේ, ඒ නැන්දාත් ටික දවසකින් ජලභීතිකාව හෙවත් පිස්සු බලු රෝගය හැදිලා මළා.
ඊට අවුරුදු දෙක තුනකට කලින් මගේ මල්ලි ගේ තුනේ පන්තිය භාරව හිටපු ගුරුවරයාත් ඔය විදියටම මිය පරලොව ගියා.
ගෙදර බල්ලා වුනත් ඒ දවස්වල හැපුවොත් ඉතිං බඩුම තමා. ඌට පිස්සු නං, ඌ මැරෙනවාලු. එහෙම වුනොත් ඉතිං, බල්ලා විසින් හපාකනු ලැබූ හැමෝම බේත් ගන්න වෙනවා.
අපි පොඩි කාලේ අපේ අම්මා අපිට බය කරනවා, බුරිය වටේ ඉන්ජෙක්‍ෂන් විසි එකක් ගහන්න ඕනෑ කියලා එක දිගටම, දවසට එක ගානේ.
දැන් නං ඉතිං ඒ ප්‍රතිකාර ක්‍රම ඊට වඩා සරලයි මගේ හිතේ.
අනික දැං කාලේ හැදෙන බල්ලෝ ඉස්සරට වඩා පිං කරපු උං. උන්ට ඔය පිස්සු බලු බේත් හේත් හෙම ඉස්සරට වඩා කලට වෙලාවට ලැබෙනවා.
මං අහල තියෙන කතාවක තියෙනවා මෙහෙම. ඔන්න එක පොරක් පාරේ යනකොට බල්ලෙක් හැපුවා ලු. මූ ඉස්සෙල්ලාම කරලා තියෙන්නේ කොලයක් අරං, නං ලයිස්තුවක් ලියන එකයි. පස්සේ බැලින්නම් මේ ලියලා තියෙන්නේ පොර ගේ තරහ කාරයින් ගේ නම්.
බැරිවෙලාවත් පිස්සු හැදුණොත් උන් ව හපන්නයි ලයිස්තුව හදන්න අරං තියෙන්නේ.
ඒ බොරු කතා වගේ නෙමේ, මේ මං කියන්න යන කතාව නං අමූලික ඇත්ත එකක්.
මේ සිද්ධිය වුනේ මං පස්තාච්චි කුපාඩි වැඩේට තායිලන්තයේ දැහැමෙන් සෙමින් කල් යවන කාලෙයි. අපේ ආයතනයේ හිටියා ලාංකික ඇදුරෙක්. පොරට හිටියා තඩිම තඩි ඇල්ශේෂන් වර්ගයේ බල්ලෙක්. බල්ලෙක් නෙමේ ඇත්තටම බලු රාජයෙක් කියලා කියන්න පුළුවනි සයිස් එක අනුව.
(හැම බල්ලෙක්ම රාජයෙක් නෙමේ. හැම රාජයෙක්ම බල්ලෙකුත් නෙමේ! ඒ පොඩි අතුරු කතාවක් හොඳේ?)
අපේ ඇදුරා මේ බලු තඩියාට හරිම ආදරෙයි. කොටින්ම කලින් වැඩකරපු රටේ ඉඳලා මේ රටට එද්දී මූව අරං ඇවිල්ලා තියෙන්නේ ප්ලෙන් එකේ. ලයිකා බැල්ලි ගැන පොඩි කාලේ ඇහැව්වට පස්සේ මං ඔය ගුවනින් ගිය බල්ලෙක් ගැන ඇහැව්වාමයි!
මංතුමා ආයතනයේ හිටිය අන්තිම කාලේ වගේ ඒකේ එක පැත්තක අළුත් ගොඩනැගිලි සහ පාරවල් දෙක තුනක් හැදුවා. බැංකොක් අවට පස හරිම මඩ පිරි එකක්. හිතන්න බැරි විදියට එරෙනවා. ඒ මදිවට සපත්තු වෙල හෙම ඇලෙනවා කිලෝ ගානේ.
දවසක් මං බයිසිකලෙන් ඔය අළුතින් හදමින් තිබුණු ගුරුපාරක ගියා. එරුණේ නැද්ද තුන්සිය හතරට! පදින්නම බෑ. මොකද කරන්නේ බයිසිකලයෙන් බැහැලා ඉතුරු ටික අමාරුවෙන් තල්ලු කරන්න පටන් ගත්තා.
අලි මදිවට හරක් කිව්වා සේ සෙරෙප්පු දෙකේ කිලෝ දෙකක විතර මඩ ඇලුණා. දැන් ඉතිං අඩිය උස්සලා ගමන් කරන්නත් බෑ.
ඒ කෙටි පාර අන්තිමේදී මං දැක්කා ඒ හරියේ තිබුණ තට්ටු නිවස ලඟ ටැප් එකක්. සයිකලේ පැත්තකට දාලා එතනට ගිහින් වතුරපාරට කකුල ඇල්ලුවා විතරයි මෙන්න බොලේ කොහේදෝ ඉඳලා කඩාගෙන පැණපු අර ඇදුරා ගේ ඇල්ශේෂන් බලු තඩියා මගේ කකුල ඇල්ලුවේ නැද්ද?
හොඳ වෙලාවට ඇදුරාත් දුවගෙන ආවා!
කලිසම් කකුල ඉරිලා. ඇතුලෙන් ලේ එනවා. බැලින්නම් දත් පාරවල් දෙක දෙක හතරක් දෙපැත්තේ.
ඇදුරා වැඩි කළබලයක් දැක්වුයේ නෑ. මොකද බලු රජාට ඉන්ජැක්ෂොන් ගහලනේ තියෙන්නේ.
මට නම් හිතට බයයි. කොහොමටත් පරීක්‍ෂාවෙන් හිටියා බලු රජා කජ්ජ ගහයිද කියලා. හොඳ වෙලාවට ඌට නං ඉහෙන් බහින රෝගයක් තිබුණු බවක් පෙනුනේ නෑ.
අපේ සමහර පොරවල් කළේ ඇදුරා ට කාඩ් එකක් (අන්වර්ථ නමක්) දාපු එකයි බී.එච්.පී. කියලා.
තවත් සමහරු කිව්වා බල්ලා ට පිස්සු නොහැදි බේරුනේ උගේ බුරිය වටේට ඉන්ජක්ෂන් විසි එකක් ගහලාය කියලා.
ඒ අළුගුත්තේරු කතා කෙසේ වෙතත් මං දන්නා පරිදි බලු රාජා තවත් බලු අවුරුදු ගණනාවක් ම ජීවිතේ ගෙවලා තමයි මිය පරලොව ගියේ.
-කතන්දරකාරයා
මේ බල්ලා බැඳ දමනු කියලා ඔය උඩින් කියලා තියෙන කෑල්ලේ සම්පූර්ණ කියමන මෙන්න මෙහෙමයි.
"සුරා පානය කරන්නා කුමකට හොබීද? මේ බල්ලා බැඳ දමනු!"
ඒ කතාව කර්පට් වෙන්න බීපු ලන්දේසි කප්පිත්තෙක් තමන් ගේ බිසවට කට කැඩිච්ච කතාවක් කියපු වෙලේ ද කොහෙද මහනුවර ඉඳන් රජ කරපු පොරක් කියපු කතාවක්.
(image: http://www.wpro.who.int/health_topics/rabies/)