
මේ කතාව වගේ සිද්ධි නම් හුඟ දෙනෙකු ගේ කතන්දර ලැයිස්තු වල ඇති.
ඉස්සර පොඩි කාලෙ මං හරි කැමතියි අම්මලගෙ මහ ගෙදර යන්න. සීතල පලාතක, කන්දක් පාමුල යි ආච්චිල ගෙ ගෙදර තිබුණෙ. ගෙදර වත්ත දෙපැත්තෙන් හඳයො, තිත්තයො, මගුරො ඉන්න වතුර පාරවල් ගලාගෙන යනව. ගමේ ඉන්න කාලෙ අපිට හරිම ජොලි කාලයක්. ආපහු එන දවසට මට ඇඬෙනව.
අපි හිටියෙත් ගමක. තාත්තගෙ ගමේ. ඒත් එච්චර ජොලියක් නෑනෙ ගෙදර ඉන්න එක.
මේ වගෙ එක දවසක, අපි අම්මගේ ගමට ගිය වෙලේ අපේ පුංචි අම්ම, ඒ කියන්නෙ අම්මගෙ නංගි, මල්ලියිගෙනුයි මගෙනුයි ඇහැව්ව පොඩි ප්‍රශ්ණයක්.
පුතා ල ලොකු වෙලා කවුරු වෙන්නද හිතා ගෙන ඉන්නේ?
මේක මං හිතන්නෙ කොයි ළමයගෙනුත් පොඩි කාලෙ කවුරු කවුරුත් අහන පොදු ප්‍රශ්ණයක්. මේ කාලෙ වෙනකොට මගේ වයස අවුරුදු හයක් විතර ඇති. මං පාසැල් යනවා. මල්ලි ගෙ වයස හතරක් විතර ඇති.
හැබැයි, මට මතක හැටියට වෙන කවුරුත් මේ ප්‍රශ්ණය අපෙන් මීට කලින් අහල තිබුණෙ නෑ.
මට ප්‍රශ්ණෙ තේරුණත් උත්තරේට මොනව කියන්නද කියල මට වැටහීමක් තිබුණෙ නෑ. මේක තේරිලා ද කොහෙද පුංචි අම්ම මගෙ කටට දුන්න උත්තරයක්.
ඔයා කැමති දොස්තර කෙනෙක් වෙන්නද? නැත්තම් ඉංජිනේරුවෙක් වෙන්නද?
ඔන්න මට වැඩේ ටිකක් තේරුණා.
දොස්තර කෙනෙකුට ද, ඉංජිනේරුවෙකුට ද පඩි වැඩි? මං ඇහැව්ව.
ඉංජිනේරුවෙකුට කියල ආව උත්තරේ.
එහෙනං මං ඉන්ජිනේරුවෙක් වෙනව මං කෙලින් ම කිව්ව.
එදා ඉඳල තවමත් මං ඒ සිහිනය හැබෑවෙන කං බලාගෙන ඉන්නව. අවුරුදු දා හතරක් ඉස්කෝලෙ ගමනටයි, තව අවුරුදු ගණනාවක් එක එක තිප්පොලවල් වලයි ලැග්ගට ඒක නිකං මිරිඟුවක් විතරයි.
මල්ලි ට තිබුන මට වඩා මොලේ.
මං තාත්ත කෙනෙක් වෙනව. ඌ කෙලින් ම කිව්ව.
ඒ ජොබ් එක නං අමාරුවෙන් හරි අල්ල ගත්න පුළුවන් එකක්.
පසු සටහනඃ
අවුරුදු දා හතරක් ඉස්කෝලෙ ගියා කිව්වෙ වැරදීමක් වෙලාවත්, මං ඉස්කෝලෙදි විභාග වලින් ෆේල් වෙලාවත් නෙමේ.
ඉස්කොලේ පන්ති තියෙන්නෙ එකේ ඉඳල දොලහට විතරක් උනත්, අපි දන්නෙම නැතුව තව අවුරුද දෙකක් නිරපරාදෙ නාස්ති වෙනව නේද.
තේරුණේ නැද්ද? කවදද ඕ ලෙවල් කලේ? කවදද ඒ ලෙවල් කලේ? වෙනස අවුරුදු තුනක් විතර නේද? කවදද ඒ ලෙවල් ප්‍රතිපල ඇවිල්ල, ඒ ප්‍රතිපල අනුව ඇප්ලිකේක්‍ෂන් දාල මොනව හරි තෘතියික මට්ටමේ කෝස් එකක් කරන්න යන්න පුළුවන් උනේ?
අවුරුදු දෙකක් දන්නෙම නැතුව බ්ලාස් ගිහින් නේද?