Sunday 27 February 2011

වෙන්ට කතන්දර සීය


හෝව්, හෝව්, පොඩ්ඩක් ඉන්න, මේ කියන්නේ කතන්දර සීය කෙනෙක් ගැන නම් නෙමේ. ඒක ලඟින් යන එකක්.

ගිය සුමානේ දවසක හොඳ සිද්ධියක් වුණා. ඇත්තම කියනව නං සිද්ධි දෙකයි. වඩාත් හොඳින් කියනව නං, එකම සිද්ධිය දෙපාරක් වුණා, දෙතැනක එකම දවසේ වගේ.

ඒ සිද්ධි දෙක (හෝ එක) තමයි අපේ සිංහල බ්ලොග් දෙකක ම සියවෙනි ලිපිය පලවීම.

අභීත ලියන ටිකක් හිනාවෙන්න බ්ලොග් එකෙයි, පූසෝ ලියන බ්ලොග් ගඩොල් බ්ලොග් එකෙයි, දෙකේම සියවෙනි ලිපිය පල කෙරුණේ එකම දවසේ වගේ. ඇත්තටම පැය කීපයක් එහා මෙහා වෙලා.

මේ සිද්ධියේ මට තියෙන වැදගත් කම තමයි, මේ බ්ලොග් පෝස්ට් දෙකෙන් ම මට පොඩි තෑන්ක් යූ පාරක් ගානේ දාලා තිබීම.

ඉතිං, මේ පෝස්ට් දෙක කියවලා මට පොඩි පහේ අවංක ජොලියක් ආවා ය කිව්වොත් නිවරදියි.

ඒ සතුට වෙනුවෙනුත්, අභීතත්, පූසෙන් තුන් දෙනාත් එක්ක ඒ සතුට බෙදා ගන්නත් එක්ක මට හිතුණා පොඩි අමුතු වැඩක් කරන්න.

ඒක තමයි, මං ඉස්සරහට කතන්දර බ්ලොග් එකේ දාන්න හිතා ගෙන ඉන්න කතන්දර සීයක ලයිස්තුවක් පල කරන්න. මේක තමයි වෙන්ට කතන්දර සීය කියන්නේ. මතකනේ මං මේ ගැන කිව්වා මට රයිටර්ස් බ්ලොක් එක හැදුණු වෙලාවේ.

ඉතිං, මෙන්න ඒ වෙන්ට කතන්දර සීයේ ලයිස්තුව.

001. රෝයල් එකේ ටීචර්
002. දකුණු කුරු දිව් කව්
003. කඩේ යැවීම -කුමාර ට එන්න එපා කියන්න
004. මැයි 22 - ජාතික වීරයෙකු ගේ දිනය
005. වැරදි නමින් කතා කලොත්?
006. අපේ එවුන් ගේ මල් කැඩිලි
007. හන්තානට පායන සඳ -රිවර්ස් ඇක්ෂන්
008. කැම්පස් එකේ කොම්පියුටර් සෙන්ටරේ
009. යූ.ඇම්.පී. ජනරජය
010. මට මේ කුමරුන් කවුදෝ දුන්නේ
011. දළදා මැදුරේ බාරය
012. කුලේ ගේ පරණ ලව් කෝන්තරේ
013. ගලඋඩ කෝලිත
014. දම්පාගම - විදේශප්‍රිය
015. මයි අයිඩියල් ජොබ්
016. පරණ බැග් එක එල්ලා ඇත
017. කුලවංශ බිකම්ස් කූල්
018. මල ගෙදර කතාව -කෝස්වර්ක්
019. එලවලු ජීවිතේ
020. මේක චිකන් ද, ෆිෂ් ද?
021. නාඩි වාක්‍ය බැලීම සහ කේන්දර බැලීම
022. ස්ටාෆ් බස් එක
023. කුසුමලතා ගේ දුව ට සම තැන
024. සන්ග්ලාස් ඇට් ටෙම්පල්
025. සුදු හාමිනේ ට මොකටද ඉස්පිරිතාලේ ඉන්න සල්ලි
026. මොහිදීන් බෙග් මැරුණු දා
027. චී, චී, චී, ලැජ්ජ නැද්ද
028. ලන්ච් ද ඩිනර් ද ? –උදුල් ධර්මවර්ධන ගේ පාටි පොජ්ජ
029. ජනේලට තට්ටු කරන්න මං කන්නම්
030. සතිෂ් පෙරේරා ගේ මනමාලි සෙවීමේ ක්‍රයිටීරියාව
031. අනේ තාම ආවෙ නෑනේ
032. අත ඉඹලා කාල ද බලන්න
033. ෆෝන් එතික්ස්
034. මහරාජා ගේ දොස්තර ක්‍රොස් එක
035. කාර් එකක් ගත්තා
036. කාර් එකේ ප්‍රයෝජන
037. ධර්මායතන යේ සිල් ගැණීම
038. ෂෙයා කරපු කාමරේ
039. හව් ඊස් යුවර් ප්‍රොබ්ලම් Sivakumar?
040. ලක්සෙට බින්දු කීයද?
041. බූරු ඇඳේ ඉංජිනේරුවා
042. ගොවියෝ කැමති කිරීම
043. පිටුවකට ගාන කීයද?
044. භූගෝලීය අසමතුලිතතාවය
045. දුමින්ද ගේ කඩේ යන බඩු ලයිස්තුව
046. හික්කඩුව ලියනගේ -තාත්තාගෙන් පුතාට
047. හාමිනේ ගේ අයිෆෝන් එකේ පාස්වර්ඩ් එක
048. හාමිනේ පෝස්ට් ග්‍රැජුවෙට් කළ හැටි
049. ගෑනි ගේ පඩිය
050. අම්මා බුදුවේවා
051. ස්ලැබ් එක යට ජීවිතේ
052. මගේ ඝනත්වය අඩුයි
053. බඩගිනිවෙලා මා ගිය කල පුතුගෙ ගෙට
054. නියුසන්ස් වැලියු එක
055. පුංචි අම්මා මට කවපු හැටි
056. අංජනී, රසෝ සහ බෝඩිම
057. අඹ වාරේ සහ තුවාල
058. කුප්පි ලාම්පුවෙන් පාඩම් කළ හැටි
059. තුවායයි, මග් එකයි, සරමයි
060. ණුවනක්කාරයෙක්?
061. තිත්ත ඇත්ත -මාතලේ බස් එකේ කතාවක්
062. රිජු දිසානායක = 063 (එකම කතාවට ඈඳුවෙමි)
063. වයිස් චාන්සලර් ගේ පඩිය කීයද?
064. යුතුකම් ඉටු කිරීම
065. ටින්-ටින් පොත්
066. හැඩ්ලි චේස්
067. කිරිපිටි-සීනි–ටිංකිරි
068. එලකියුෂන්
069. හෙට්‍රසාන් පෙත්ත ලොකුද?
070. ලා මෝඩ් එකේ ගායකයෝ සහ මෝරෝන්ස්
071. හදවත ට අත = #73 (එකම කතාවට ඈඳුවෙමි)
072. ටී.එම්. ගේ අල්ලපු ගෙදර
073. ප්‍රේමරත්න ගේ පුතා ප්‍රේමතිලක?
074. හෙය්යංමාරුව
075. රෝමය ගිනි ගනී -මල කෙලියයි
076. රහස් පරීක්‍ෂක කතා සිංහලෙන්
077. බෝඩිමේ කතා-සබන් කෑල්ල, පාං කෑම, නූඩ්ල්ස් කෑම
078. මහදැණමුත්තා ගේ ශිෂ්‍යාව - 2
079. මල්ලි ට කැල්කියුලේටරේ දුන්නා
080. ඒ-ලෙවල් ලකුණු කීයද?
081. ස්විනීතා -නමක වත
082. සල්ලි වෙනුවට මුද්දර
083. ඉංගිරිසි කරාටේ
084. පව්ලේ වැඩි බර
085. අයියේ තෑන්ක්ස්
086. ජනිතා ඉන් නේපෝල්
087. චාරිකා ලර්නර්ස්
088. බැච් එකේ පොර
089. හිල්ටන් එකේ වයින්
090. සුභ අළුත් අවුරුද්දක් වේවා
091. හේමරත්න ගේ අයියා
092. ෆේස් බුක් රැවටිල්ල
093. ඒ-ලෙවල් රී-කරෙක්ෂන්
094. අහමඩාබාඩ් ගමන
095. ආච්චි ගේ මලගෙදර
096. පරගස්දෙනියේ බුද්ධවංශ
097. සර්, මහත්තයා, ටීචර්,මිස්
098. බල්ලා බත් කයි
099. චීත්ත මෝස්තරේ
100. ඉන්ටර්වීව් එක සහ ඩබල් පඩි

මෙහෙමයි, මේවා වෙන්ට කතන්දර විතරයි. කවදා (ලිය)වෙයිද, කොයි ඕඩර් එකෙන් (පල)වෙයිද කියල කියන්න බෑ. මේ වෙන්ට කතන්දර සීය ලියවිලා, පලවෙලා ඉවර වෙන්න කලින්, වෙනම ම කතන්දර සීයක් එන්නත් ඉඩ තියෙනවා.

-කතන්දරකාරයා

ප/ලි
අභීත සහ පූස් සෙට් එක වගේ කතන්දර බ්ලොග් එක කියවලා කික් එකක් අරගෙන විතරක් නෙමේ, කතන්දර බ්ලොග් එකේ තමන් ලියූ කතන්දර පල කරලා, බ්ලොග්කරණයට පිවිසුණු අයත් ඉන්නවා. ඒ අය ගැනත් පස්සේ දවසක ලියන්න ඕනෑ.

අන්න බලන්න වෙන්ට කතන්දර ගාන දැන් ම ම 105 ක් විතර වගේ වුන හැටි!

දැන් ඉතිං හොයන්න කෝ පුළුවන් නං, ඒ බ්ලොග් ටික මොනවාද කියලා.

Friday 25 February 2011

කතන්දරහාමිනේ ට මෙව්ව එකක් අරං දුන්නු හැටි


උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ, මරණයක් කොටා ඇත නළලේ කියල කියනවනේ. උපන්න කවුරුත් මැරෙනවා, මගේ තාත්තත් මැරුණා, මගේ පුතා ගේ තාත්තත් මැරෙනවා.

ඇත්තටම කියනවා නං මගේ පුතා ගේ තාත්තා නං, මැරිල ඉපදුණා ය කියලත් කියන්න පුළුවන් බය නැතුව.

ඉතිං, කාලෙකට ඉස්සර දවසක, කතන්දරකාරයයි, හාමිනේ යි බැඳපු අළුතම වගේ, මට ආවා මේ මරණ බය. ඒ කියන්නේ, දැන් බැන්දට පස්සේ දෙන්නගෙන් එක් කෙනෙක් මැරුණොත් අනිත් එක්කෙනා තනි වෙනවා නේද කියන භයානක සිතුවිල්ල.

කවුද බලලා තියෙන්නේ "ගෝස්ට්" කියන මූවී එක? මේ මං කියන්නේ අර පැට්‍රික් ස්වාසී, ඩෙමී මෝ, වූෆී ගෝල්ඩ්බර්ග් රඟපාන චිත්‍රපටිය ගැනයි.

මේ මුවි එකේ කතාව මෙහෙමයි. ජොඩුවක් බැඳපු අළුත, මිනිහා රොබරියකට අහුවෙලා මැරෙනවා. හැබැයි ඇත්තටම මේක සෙට් කරපු එකක්. දෙන්නා ගේ ම යාළුවෙක් මේක සෙට් කරලා තියෙන්නේ මිනිහාව මරලා ගෑනිව අයිති කරගන්නයි.

මැරිච්ච මිනිහා ගෝස්ට් කෙනෙක් විදියට ඇවිල්ලා ඇත්ත එලි කරලා, තමන් ගේ හිටපු ගෑනිව, මේ කරදරෙන් බේරා ගන්න හදනවා.

හැබැයි මේ කතන්දරේ, මේ මං කියා ගෙන යනවට වැඩිය හරිම දුක හිතෙන කතාවක්.

මෙතනදී අවතාරෙට තමන් කවුද කියන එක හරියටම ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ, පොර වයිෆ්ට අරං දුන්නු පුංචි තෑග්ගක් ගැන මතක් කරලායි.

ඉතිං, අර භායනක සිතුවිල්ල අතරේ, මේ කියන "ගෝස්ට්" චිත්‍රපටිය ගැනත් මතක් වුණු නිසා, කතන්දරකාරයාටත් හිතුනා හාමිනේ ට ඒ වගේ අමතක නොවෙන තෑග්ගක් අරං දෙන්න.

අන්න බලන්න හොඳ හස්බන්ඩ් ලා!

මට කෙලින් ම හිතුනේ කතන්දරහාමිනේ ට මෙව්ව එකක් අරං දෙන්න ඕනෑ කියලා.

නමුත් ඉතිං ඔය එව්වා ගැන, මෙව්වා ගැන, මං හරියට නොදන්න හින්දා, මං හිතුවා මේ ගැන පොඩි උපදෙසක් ගන්න කතන්දරහාමිනේ ගේ බැචියෙක් ගෙන්.

මේ බැචී ත් බැඳලා කොළඹ ට කිට්ටුව හිටියේ ඒ දවස්වල.

මං කෝල් එකක් දාලා අලෝමා ගෙන් ඇහැව්වා, මෙව්ව වල හොඳ වර්ගය මොකක්ද? කොහෙන්ද මෙව්වා එකක් ගන්න පුළුවන් වගේ සරල ප්‍රශ්ණ කීපයක්.

අලෝම ගත් කටටම කියපි, "අනේ කතන්දර, හොඳ වෙලාවට ඔයා මේ කතා කලේ. මගේ හබියා ලබන සුමානේ සිංගප්පුර් යනවා. එයාට කියලා හොඳම මෙව්ව එකක් ගෙන්න ගන්න පුළුවනි. මං වැඩේ බාරගන්නං" ය කියලා.

මටත් මාර ජොලි. මේ අවශ්‍යතාවය ගැන හිතුවාම, ගන්න එකේ හොඳම මෙව්ව එකක් නේ ගන්න ඕනෑ. එතකොට සෙන්ටිමෙන්ටල් අගය වැඩියි නේ!

මං ඉතින් ඔන්න ප්ලෑන් කළා, අලෝමා ගේ හබියා තිරාන් සිංගප්පූරුවෙන් මෙව්ව එක ගෙනාවාම, හාමිනේ ව හොඳ රෙස්ටුරන්ට් එකක ඩිනර්වලට එක්ක ගෙන ගිහිල්ලා, අර නිකං චිත්‍රපටිවල තියෙනවා වගේ ම කඳුළු පනින විදියට මේ වැඩේ කොරඤ්ඤං, කියලා.

නමුත් මොකක්ද දන්නවද සිද්ධ වුනේ?

හරියටම තිරාන් කාරයා සිංගප්පූරුවේ ගිහින් ආපු දවසට පස්සෙ දවසේ ම කතන්දරහාමිනේ කොළඹ ගිය වෙලේ බැචී හම්බ වෙන්න අලෝමා ගේ ගෙදර ගිහින්.

මේ වෙන කොට අලෝම යි තිරානු යි බැඳලා අවුරුදු එක හමාරක් විතර ගිහින් පොඩි කොළු පැටියෙකුත් ඉන්න කාලේ. ඒක හින්ද ද කොහෙද අලෝමා ට මං මෙව්ව එකක් කතන්දරහාමිනේ ට අරං දෙන්න ගිය ප්ලෑන් එකේ තිබුණු සුන්දරාත්මක බව තේරිලා නෑ වගේ.

අලෝමා කරලා තියෙන්නේ "ආ මෙන්න එදා කතන්දර මට කෝල් කරලා කියපු විදියට මෙව්ව එකක් අරං ආවා සිංගප්පූර්වලින්" කියලා, ඒ මෙව්ව එක කෙලින්ම කතන්දරහාමිනේ ගේ අතට දීලා.

මං ප්ලෑන් කරපු විදිය ට ඒ තෑග්ග හම්බ වුණා නං දැනෙන්න තිබුණු තරම් ම ම නොවුනත්, කතන්දරහාමිනේ ට පොඩි පහේ ජොලියක් යන්න ඇති මේ සර්ප්‍රයිස් ප්‍රසන්ට් එක ගැන.

ඊ ලඟට වෙච්ච එකයි අති දරුණු වැඩේ!

අලෝමා කතන්තරහාමිනේ ට කියලා මෙන්න මෙහෙම.

"මතකනේ මං ඔයා ගෙන් දැන් මාස හයකට විතර කලින් ගත්තු ලෝන් එක? ඒකෙන් මේ මෙව්ව එකට ගිය ගාන අඩු කරලා, මෙන්න ඉතුරු සල්ලි. ඔන්න දැන් අපේ ණය ගණුදෙනුව හමාරයි!"

"...ආ, ආ, ආ, ආ, ආ, ආ, ආ,.. ..,හ්, හ්, හ්, හ්!!!"

-කතන්දරකාරයා

ප/ලි
ඔය අන්තිම ලයින් එකේ තියෙන්නේ එදා කතන්දරහාමිනේ ගෙදර ආවයින් පස්සේ, මංතුමා දුක් වේදනාවෙන් කෑ ගහපු සද්දෙයි.

Wednesday 23 February 2011

සරොම් අස්සේ ජොකා බලකාය


කාන්තාවන්ට ලංකා සමාජයේ සම තැන තාමත් සම්පූර්ණ වශයෙන් ලැබිලා නැති බව පෙන්වන පොස්ට් එකක් මං පෙරේදා දැම්මා. ඒකට ලැබුණු ප්‍රතිචාරය නං හොඳයි.

කාන්තාවන් ට අසාධාරණකම් වෙන විදියට සෙට් කරලා තියෙන නීතිවලට මූලික හේතුව නම් අනිවාර්යෙන් ම පුරුෂාධිපත්‍යය කියලයි මට හිතෙන්නේ.

සමාජ අසාධාරණයන් ට භාජනය වෙන අය වෙනුවෙන් ඒ ගැන කතා කිරීම ප්‍රගතිශීලී දෙයක්. හැබැයි පහුගිය දවස්වල මට තේරුණා ඕක හැම තිස්සෙම වෙන දෙයක් නොවේය කියලා. අපි පිරිමි වශයෙන් ගෑනුන් ගේ අයිතිවාසිකම් ගැන කතා කළාට අද නැතිවී යන පිරිමින් ගේ අයිතිවාසිකම් ගැණ කවුද කතා කරන්නේ?

දැන් ඔය කොට ගවුම් තහනම් කරන්න යනවාය, ගවුම් වල දිග තීරණය කරන්න කාලෝ ෆොන්සේකා ලොක්කට බාර දීලාය කියල පහුගිය දවස්වල ලොකු හා හෝවක් ගියා මතකද?

ආණ්ඩුවෙන් දාන්න යනවාය කියූ ඒ අවනීතිය ගැන බැනලා නොයෙකුත් ලිපි පවා ලියවුණා. තමන්ට ඕනෑ කොට ගවුමක් ඇඳීමේ කාන්තා පක්‍ෂයේ අයිතිය ගැන පිරිමි පක්‍ෂයේ පුදුම සපෝට් එකක් තිබුනේ.

පුදුමේ කියන්නේ ඒ එක්කම දානවාය කියපු තවත් සංස්කෘතික පොලිස් නීතියක් ගැන වැඩි කතා බහක් ඇති වුනේ නෑ. මේක හැබැයි අපේ පිරිමින් ට බලපාන නීතියක්.

යට ඇඳුම් නැතුව සරොම් ඇඳීම තහනම්!

මේක නං මහා අපරාදයක්. ඝාන්ඨාර මාක් සරමක් ඇඳගෙන නිදහසේ පාරක බැහැලා යන්න ලංකාවේ පිරිමින් ට තිබුණු පරම නිදහස නේද මේ නැතිවෙන්න යන්නේ?

ඕනෑම නීතියක් ක්‍රියාවට නංවලා ඒකෙන් බලාපොරොත්තු වුණු ප්‍රතිපලය ලබාගන්න නම් නීතිය රකිනවාදැයි බලන්න පිරිසක් ඕනෑ. ඒ ගොල්ලෝ නීතිය කඩන අය අල්ලන්නත් ඕනෑ.

දැන් ඔය හයි ස්පීඩ් යනවා අල්ලන්න, අරක්කු බීල කාර් එලවනවා අල්ලන්න පොලීසිය ඉන්නේ. අන්න ඒ වගේ.

ඉතිං මේ සරොම් සහ යට ඇඳුම් නීතියේ තියෙන හොඳම ප්‍රතිපලය මෙන්න මේකයි.

මේ නීතිය කඩන අය අල්ලන සංස්කෘතික හමුදාව තනිකරම "කාන්තා බලකායක්" කරන්න පුළුවන් නේ.

ඒ ගොල්ලන්ට තියෙන්නේ සරොම් ඇඳන් යන අය නවත්තලා සරොම් කාරයෝ නීති ගරුක පුරවැසියෝ ද කියලා බලන්න විතරයි. ඒක සිම්පල් වැඩක් නේ.

නීතිය කඩපු අයට එතනම "දඩ කොළ" දෙනවා. රිපීට් ඔෆෙන්ඩර්ස් ලා ව අධිකරණය හමුවට ගෙන එනවා.

හොඳයි නේද වැඩේ!

මගේ මේ යෝජනාවේ මුලික අරමුණ, ලංකාවේ කාන්තා පක්‍ෂයට රැකියා අවස්ථාවන් තව තවත් වැඩි කිරීමයි.

ඒ එක්කම, මේ කාන්තා සංස්කෘතික බලකායට කාන්තාවන් ගේ ගවුම් කොච්චර කොටද කියලා මැනලා බලන්න දාන අර කාලෝ ෆොන්සේකා බලකායේ අයට දෙන පඩියම හරි හරියට දෙන්න ඕනෑ.

මොකද ලංකාව කාන්තාවන් ට සම තැන දෙන එක ගැන ලෝක ප්‍රසිද්ධ රටක් නේ!

-කතන්දරකාරයා

ප/ලි
ඔය කියන කාලෝ ෆොන්සේකා බලකායට ඒ නම දාන්නේ අපේ කාලෝ ෆොන්සේකා ට උපහාර පිණිසයි. අර කල්පයකට විතර කලින් තිබුණ කුඩහපොල බලකාය, බාලසූරිය බලකාය, චාල්ස් ඇන්තනි බලකාය වගේ.

සරොම් අස්සේ ජොකා බලන බලකායටත් නමක් දාන්න ඕනැ. තාම හිතට ආවේ නෑ හොඳ ගැලපෙන නමක්.

(image: http://halloween-craft.blogspot.com/2010/06/halloween-cop-costume.html)

Monday 21 February 2011

ඇයි ගෑනු කියන්නේ බබ්බු ද?


"කාන්තාවක් වන ඔබට පිරිමින් හා සම වැටුප් අවශ්‍ය නම් කළ යුතු හොඳම දෙය ඔබේ විදෙස් ගමන් බලපත්‍රය ද රැගෙන ශ්‍රී ලංකාව බලා පිටත් වීමයි. කාන්තාවන් ට පිරිමන් හා සම සේවයට සම වැටුප් ලැබෙන ලෝකයේ හොඳම රට එයයි."

අක්‍ෂි කුනීත දන් දීම විතරක් නෙමෙයි පොදු වශයෙන් පින ට දීම අතින් ලංකාව ලෝකයේ ඉදිරියෙන් ඉන්න බව අපි කවුරුත් අහල තියෙනවා නේ. ඒ එක්කම අපි අහල තියෙන දේවල් තමයි, දූෂණය, පුවත්පත් නිදහස නැතිකම, පුවත්පත් කලාවේදීන් මරා දැමීම, මාධ්‍ය ආයතන ගිනි තැබීම සහ සිය දිවි නසා ගැනීම් අතිනුත් කාලාන්තරයක ඉඳන් තවමත් ලංකාව ඉදිරියේ ම ඉන්න බව.

ඒක පුද්ගල අරක්කු සහ කෂියා පරිබෝජනය අතිනුත් අපිට වෙන්න ඕනැ කප් එක!

දැන් ඕවයෙ සංසන්දනාත්මක සංඛ්‍යා ලේඛන ගැන මගෙන් ප්‍රශ්ණ අහන්න එන්න එපා. මොකද මං මේ ලියන්න යන්නේ ඒව ගැන නෙමෙයි.

මං ටික කාලෙකට කලින් අන්තර්ජාලයේ කියවපු ලිපියක මුල් ඡේදය තමයි ඔය උඩින් දාල තියෙන්නෙ. කාන්තාවන් ට රැකියා සඳහා සම අවස්ථා වගේම, සම සේවයට සම වැටුප තියෙන රටක් හැටියටත් ලංකාව සැලකිලි ලබනව වගෙයි පේන්නේ.

සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක ලෝකේ ප්‍රථම කාන්තා රාජ්‍ය නායිකාව වුණු එකත් තාමත් ලෝකේ විවිධ රටවල්වල විටින් විට ඇහෙන ට්‍රිවියා ප්‍රශ්ණයක්.

අපි දන්නවා, පොදුවේ ගත්තහම, මිනිස් වර්ගයා ගේ ගෑනු සත්වයයි, පිරිමි සත්වයයි සමාන නැති බව ජීව විද්‍යාත්මක කාර්ය භාරය වගේම තවත් සමහර අංශ වලින්. ඕව ගැන විස්තරාත්මකව කියන්න ඩෙස්මන් මොරිස් ගේ අනුගාමික චරියා ඉන්නවානේ.

පොදුවේ ගත්තහම ශක්තිවන්තකම නිසා පිරිමින් ට ප්‍රජාවේ බලය හිමි වුණා. ඉතිං, පිරිමි ආධිපත්‍යය තවත් වැඩිවෙන විදියටයි, සමාජීය සිරිත් විරිත්, නීතිමය රාමු ගොඩ නැගුනේ.

පස්සේ කාලෙක සිදුවුණු කාන්තාවන් ට ඡන්ද බලය දීම, කාන්තාවන් ට සම තැන දීම වගේ දේවල් සුවිශේෂී සිද්ධීන් විදියට අපි සලක්නනේ ඒ නිසයි.

මේ සම්බන්ධයෙන් තිබුණු සමහර සමාජ අසාධාරණ කම්, පස්සේ නීති මගින් මග හැරුණා මට හිතෙන විදියට. උදාහරණයක් හුඟක් ඉස්සර කාලේ නිශ්චල දේපල(ඉඩ කඩම් වගේ) දූ වරුන්ට හිමිවෙලා නෑ දෙමව්පියන්ගෙන්. ඒව ගිහින් තියෙන්නේ ගමේ නතර වෙන පුතාලටයි. හරියට රජකම යනව වගේ. ගමෙන් පිට ට දීග යන දු ලා ට චංචල දේපලයි (හරක බාන වගේ) හිමිවෙලා තියෙන්නේ.

ඉස්සර කාලේ දූ ලා ට හැදෙන විදිය ගැන සුවිශේෂී අවවාද තියෙන විරිදු පවා ලියවුනේ මේ කාන්තාවන් මර්ධනය කරන සමාජ තත්වය යටතේයි. නමුත් අවාසනාවකට වගේ ලංකාව වගේ රටවල ඒ සමාජමය නීති රීති විධිවිධාන වැඩිපුරම ක්‍රියාත්මක කෙරුනේත් කාන්තාවන් අතින් ම යි.

දැන් ඉතිං නීතිය හමුවේ දූ ලා පුතා ලා ඔක්කොම සම-සමයි නේ.

ඒ වුනත් තාමත් ලංකාවේ කාන්තාවන් ට අසාධාරණ නීති තියෙනවා.

දැන් කාලෙකට කලින් මට අහන්න ලැබුණු කතාවක් තමයි, ලංකාවේ කොල්ලෙක් පිටරට ගිහිල්ලා විදේශික කෙල්ලෙක් බැන්දහම, ඒ බිරිඳට ලංකාවේ පුරවැසිභාවය ලැබුණට, ලංකාවේ කෙල්ලෙක් විදේශිකයෙක් ව බැන්දොත්, ඒ පොරට ලංකාවේ පුරවැසි භාවය ලැබෙන්නේ නෑ කියන එක.

ඒ මදිවට, අම්මා ලංකාවේ වුණු පළියට ළමයින් ට ලාංකීය පුරවැසිභාවය ලැබෙන්නේ නැතිලු. මේක විශේෂයෙන් ම බලපාන්නේ අර ලාංකික අම්මා දික්කසාද වෙලා ළමයින් එක්ක ලංකාවට ආවොත් තමයි. ළමයින් ට සල්ලි ගෙවලා වීසා අරගෙන තමයි ලංකාවේ ඉන්න වෙන්නේ. එහෙම දුක හිතෙන කේස් එකක් ගැන මට මේ ලඟදි ආරංචි වුණා.

මේ සේරම කතා මට මතක් වුනේ මීට මාස කීපයකට කලින් පිලියන්දල පැත්තේ සුපිරි වෙළඳ සැලකට අහම්බෙන් මෙන් ගොඩ නැගුණු වෙලාවෙයි. මේ ෂොප් එක ඇතුලේ වෙනම ම බෝතල් සාප්පුවක්, ඒ කියන්නේ වයින් ෂොප් එකක්, තිබුණා. නිකමට ඒකට හොට දාලා බැලින්නම් මෙන්න බොලේ ගහලා තියෙනවා "ගෑණුන් ට මත්පැන් විකුණන්නේ නෑ" ය කියලා.

මට පේන විදියට, කාන්තාවන් ට ලංකාවේ තියෙන තවත් නීතිමය අසාධාරණයක් තමයි, ඒ කියල තිබුණු විදියට, කඩේකින් මත්පැන් මිලදී ගන්න නොහැකි වීම.

ඔන්න දැන් ඉතිං බණ කියන්න එන්න එපා -අරකද, -මේකද කියලා.

මේ නීතිය නං කාන්තාවන් ගේ අයිතියක් අමු අමුවේ පැහැර ගැනීමක්. මොකා මොනවා කිව්වත් අපේ සමාජයේ පුරුෂාධිපත්‍යය පෙන්වන රෝග ලක්‍ෂණයක්.

වැඩිහිටි වයසට එළඹිලා නැති අයට මත්පැන්, සිගරට් විකුණන්නේ නැති කාරණය පැහැදිලියි. දහ අටට අඩු අය වැඩිහිටියෝ නෙමේ නේ. ඉතිං, මේ කාන්තාවන්ටත් ඒ තහනම දාලා තියෙන්නේ මොකද, ඒ ගොල්ලෝත් කිරි බොන බබ්බු ද?

මට හිතෙන විදියට, මේක සුද්ද ගේ කාලේ ඉඳලා ආපු නීතියක්. බටහිර රටවලත් ඔය වගේ අසාධාරණ නීති තිබිලා තියෙනවා විසිවන සියවසේ මැද හරියත් පන්නන කං. කාන්තාවන් ට සම අයිතිය ඉල්ලලා සටන් කරපු පුරෝගාමී කාන්තාවෝ සෑහෙන්න ෆයිට් එකක් දීලා තමයි ඒ අසාධාරණ පුරුෂෝත්තමවාදී නීති රීති අයින් කරවාගෙන තියෙන්නේ.

අපේ රටේ කාන්තාවන් මේ ගැන සම්තින් කළ යුතුයි නේද?

-කතන්දරකාරයා

ප/ලි
මේ පොස්ට් එකෙන් පරණ කතන්දර ලින්ක්ස් අඩුයි. හැබැයි ඉස්සරහට දාන්න ඉන්න කතන්දර කීපයක් ම මේ පෝස්ට් එකට සම්බන්ධ ඒවා.

ප/ප/ලි
අදම ලින්ක් කරන්න කතන්දරයක් දෙකක් මතක් වුණා!

මතකද, මහාචාර්ය ගුණරත්න ගේ අදහන්න වටින නෝනා ගේ අති විශේෂ කතන්දරේ?

ඔන්න මේ අවනීතිය නිසා වෙන අපරාධ!

(image: http://www.teacherplanet.com/resource/womensequity.php)

Saturday 19 February 2011

කේක් ගෙඩි අප්පු ට ටෙටනස් ඉන්ජෙක්ෂන් එකක්!


මේ මං කියන්න යන කතාව නං අමූලික ඇත්ත එකක්. මේ කතාවේ කතානායකයා ගේ නම හේරත් කියලා කියමු කෝ.

ඒ වගේ හොඳ ගාම්භීර නමක් දැම්මේ මේකයි. මං අපේ රත්නායක මහත්තයා ගැන කතන්දර කියනවා වගේ, ඉස්සරහට හේරත් ගැනත් තව කතා කියන්න හිතාගෙනයි ඉන්නේ.

හේරත් හොඳ මීටර් කාරයා.

දවසක් හේරත් සයිකලයකින් ද කොහෙද වැටිලා හොඳටම තුවාල වෙලා. මේ කාලේ හේරත් කැම්පස් එකේ කොල්ලෙක්.

ඉතිං පොර කරලා තියෙන්නේ යුනිවසිටි එකේ හෙල්ත් සෙන්ටර් එකට යන එකයි. එතන ඉන්න දොස්තර හොඳ හිත කෙලින්ම ටෙටනස් ඉන්ජෙක්‍ෂන් එක ගහලා. ආයේ සතියකින් හයකින් ද කොහෙද එන්න කිව්වලු දෙවෙනි ටෙටනස් ඉන්ජෙක්‍ෂන් එක ගහ ගන්න.

හේරත් ඉතිං කාර්ය බහුල පුද්ගලයා නේ කවදත්. පොර ට ඔය දෙවෙනි ඉන්ජැක්සොමේ වග අමතක වෙලා.

ඔය අතරේ හේරත් ගේ ක්ලාස් මේට් කෙනෙක් අළුතින් කැම්පස් එකට ඇවිත් තියෙනවා ස්ථාන මාරුවක් අරගෙන. මේ යාළුවා එන කොටම ඌට අසනීප වෙලයි ඇවිත් තියෙන්නේ.

වෙන මොකවත් නෙමේ අමාරුව -කේක් ගෙඩි අප්පු!

ඉතිං බල බල ඉන්න බෑනේ, බේත් ගන්නත් ඕනෑ, හැබැයි, හෙල්ත් සෙන්ටර් එකට යන්න විදියක් නෑ, තාම රෙජිස්ට්රේෂන් වැඩ ඉවර නැති නිසා.

හේරත් හොඳ මීටර් කාරයා.

පොර කරලා තියෙන්නේ යාළුවා ව හෙල්ත් සෙන්ටර් එකට එක්කගෙන ගිහින් තමන් ගේ අයි.ඩී. නම්බර් එක දීලා, දොස්තර ලඟට ඇරලා.

දොස්තර හොඳ හිත ෆයිල් එක බලන කොට පොරට පෙනිලා මේ -හේරත්- අර දෙවෙනි ටෙටනස් ඉන්ජෙක්‍ෂන් එක ගහගෙන නෑ කියලා.
කේක් ගෙඩි අප්පු කපලා බේත් දාන අතරේ, දොස්තර හොඳ-හිත කරලා තියෙන්නේ දෙවෙනි ටෙටනස් ඉන්ජෙක්‍ෂන් එකත් ගහන එකයි.

මොකද, කේක් ගෙඩි අප්පු වගේ නෙමේ නේ ටෙටනස් වලින් වලක්වන්න හදන ආසාදන!

හේරත් ගේ යාළුවා කර කියා ගන්න දෙයක් නැතුව ඉඳලා. ඇයි ඉතිං, ඇත්ත කියන්නයැ? පොර අර මියුචුවල් ට්‍රාන්ස්ෆර් එකත් අල්ලලා දාලා ගියාය කියලයි ආරංචිය.

ඔය සිද්ධියෙන් සති දෙකකින් විතර වගේ හේරත් ට පොඩි කැස්ස හෙම්බිරිස්සාවක් හැදිලා. එදා කොහොමටත් ඩිසයින් ලැබ් එක තියෙන දවසක් ලු. මූ ඒකට කට් එක දාලා, කෝකටත් මෙඩිකල් එකක් ගන්නයි කියල හෙල්ත් සෙන්ටර් එකට ගිහින්.

දොස්තර හොඳ හිත ලඟට ගියාම පොර කියලා තියෙනවා ගිහින් ඇඳට නගින්න කියලා. හේරත් කාරයා ඒත් ඉතිං හිතලා ඇයි මේ කැස්ස හෙම්බිරිස්සාවට බේත් දෙන්න චෙක්-අප් එකක් කරන්න යන්නේ ඇයි කියලා.

බැලින්නම් දොස්තර හොඳ හිත ට ඕනැ වෙලා තියෙන්නේ කේක් ගෙඩි අප්පු ඔපරේට් කරපු තුවාලේ සනීප වෙලා ද කියලා බලන්නයි.
එදා තමයි දොස්තර හොඳ හිත මිරැකල් එකක් අත්දැක්කේ.

සති දෙකක් ඇතුලත කේක් ගෙඩි අප්පු ගේ තුවාලේ කැලලක්වත් නැතුව සනීප වෙලා!

-කතන්දරකාරයා

ප/ලි
මටත් එක පාරක් කේක් ගෙඩි අප්පු ලැබුනානේ. ඒ කතන්දරේ දන්නවාද?

(image: http://cake-injection.deviantart.com/#/dmhbqc)

Thursday 17 February 2011

අර ජොබ් එක මට ලැබුණා මචං, තෑන්ක්ස්!


කාලයක් තිබුණ මට සඳුද උදේ හරියට ම නමයට ඔෆිස් එකේ අනිවාර්යයෙන් ම කළ යුතු වැඩක් තියෙන.

මේක හරියට කරන්න නං, නිකං 8:55 ට විතර එතනට අත වන වනා ගිහින් බෑ. ඒ වෙලාව වෙනකොට, කලින් සතියෙ ඉදිරිපත් වුණු අස්-කොන් වැඩ සේරම අවසානයක් කරල, අළුත් සතියට වැඩ ප්ලෑන් කරල, ඒ සේරම කොම්පැනි ඉන්ට්‍රානෙට් එකේ සෙට් කරල තියන්න ඕනැ. එතකොට කරන්න තියෙන්නේ විනාඩි කීපයක් කලින් ගිහින් හරියට උදේ නමයට වැඩේ පටන් ගන්න එක විතරයි.

එතන ඉඳලා වැඩේ අනිත් හරිය ස්මූත් සේලිං!

අර මහනුවර තිප්පොලේ කෝස් වර්ක් ගහන කාලේ ඉඳලම මංතුමා හරි දස්සයි අන්තිම මොහොතේ ජස්ට්-ඉන්-ටයිම් ක්‍රමයට වැඩ කරන්න. ඉතිං ඒ පුරුද්දට මේ කියන දවස්වලත් මං කලේ වැඩ සේරම ටික ඉරිද රෑ වෙනකම්ම තියා ගන්න එකයි. නමුත් ඉතිං හැම වැඩක් ම ගෙදර ඉඳන් කරන්න බෑ. ඒ නිසා හුඟක් සතිවල වුනේ ඉරිද හවස ඔෆිස් එකට ගිහින්, සෙකුරිටිකාරයින් ට කියල බිල්ඩිම ඇරගෙන, දනි පනි ගාල වැඩ ටික කරල දාන එකයි.

දවසක් ඉරිද දවසක පහමාරට විතර ඔහොම මං ඔෆිස් එකේ කට්ට කකා ඉන්න වෙලාවේ ආව කෝල් එකක්.

බැලින්නං මේ උදුල් ධර්මවර්ධන ගෙන්.

මං එදා පොර ගෙදරට කෝල් කරල, මං නැති හින්ද, හාමිනේ ගෙන් ඔෆිස් නම්බර් එක අරගෙනයි මේ මාව කන්ටෑක්ට් කලේ. මේ කියන දවසේ මං හදිස්සියට මොබයිල් ෆෝන් එකත් ගෙදර දාලා ගිහින්.

බැලින්නං පොරට අපේ කොම්පැනියෙම වෙන සෙක්ෂන් එකක ජොබ් එකකට ඇප්ලයි කරල, අඟහරුවාදා ඉන්ටර්වීව් එක සෙට් වෙලා, මගෙන් ඒ ගැන උපදෙස් ගන්නයි මේ කතා කරන්නේ.

උදුල් ධර්මවර්ධන යි මායි එච්චර හොඳට අඳුණන වුන් නෙමේ. ඌ ගියේ වෙන යුනිවසිටි එකකට. හිටියේ වෙන පලාතක. හැබැයි මගේ හොඳම යාළුවෙක් වෙන රත්නායක ගේ හොඳම හිතවතෙක්. ඇත්තරම මට උදුල් ධර්මවර්ධනව හම්බ වෙලා තිබුනේ ඒ වෙනකොට රත්නායක ගේ ගෙදර පාටියක දී විතරයි මගෙ හිතේ.

උදුල් කාරයා කියපු සෙක්ෂන් එක ගැන මං වැඩිය තොරතුරු දැනගෙන හිටියේ නෑ. ඒකේ බොස් ලා ඉන්ටර්වීව් එකේ මොනවා අහයිද කියලා මං කොහෙමද දන්නේ? ඒ මොනවා වුනත් මූ විනාඩි හතලිහක් විතර මගෙන් හරස් ප්‍රශ්ණ ඇහැව්වා එදා ටෙලිෆෝන් එකෙන්.

ඌ හිතන්න ඇති මං මේ ඉරිදා හවස ඔෆිස් ඇවිත් ඉන්නේ නිකං ඉන්න බැරුවටය කියලා!

කමක් නෑ කියමුකෝ. වෙලාව කොයි හැටි උනත්, පොරකට උදව් කරන්න ලැබීමත් ලොකු දෙයක් නේ. මං පුළුවන් විදියට උත්තර දීලා, ගුඩ් ලක් කියලා විෂ් කලා.

රෑ අට වෙනකං ඔෆිස් එකේ තැපලා තමයි පහුවදාට ඕනෑ වැඩ ටික ඉවර කර ගත්තේ එදා.

ඉතිං ඔන්න ටික දවසක් ගතවෙලා ගියා. උදුල් කාරයා මාව ආපහු කන්ටෑක්ට් කලේ නෑ, ඉන්ටර්වීව් එකට මොනවා වුනාද කියන්න. මං හිතුවා සද්දයක් නැති නිසා වැඩේ සෙට් වෙන්න නැතිව ඇතිය කියලා.

අන්තිමේ දී මටත් ඕක අමතක වෙලා ගියා. මොකද අපිට වෙන වැඩ නැතුව කියලයැ?

සතියකට විතර පස්සේ වෙන වැඩකට මට කතා කරපු ගමන් අපේ රත්නායක මහත්තයා මගෙන් අහපි:

"උදුල් කාරයාට කියන්න ඇති නේද, උඹල ගේ කොම්පැනියේ ජොබ් එකක් ඌට සෙට් වුණාය කියලා?"

"නෑ මචං මට කිව්වෙ නෑ. පොර ඉන්ටර්වීව් යන්න කලින් නම් මට කෝල් කරලා සෑහෙන්න වෙලාවක් විස්තර ඇහැව්වා."

"මචං, උදුල් මට ඔය කතාව කීවේ දැම්ම කාටවත් කියන්න එපා කියලයි. උඹ වෙනකාටවත් කියන්න එපා. තාම උන් ඕක හරියට ඉන් රයිටින් දීලා නෑනේ."

රත්නායක ගේ කීම අහපු මාත් ඉතිං කා එක්කවත් කියන්න ගියේ නෑ. උදුල් ගෙන් අහන්න ගියෙත් නෑ!

තව දවසක් දෙකක් යන කොට මට හම්බ වුනා හර්ෂා මීටින් එකකට ඇවිත් ඉන්නවා. හර්ෂාත් අපේ කොම්පැනියෙමයි, හැබැයි වෙන ටවුන් එකක බ්‍රාන්ච් එකකයි වැඩ කලේ.

"ආ ඔයා ගේ යාළුවෙක් එනවා නේද මෙහේ වැඩට?" හර්ෂා ඇහැව්වා.

"කවුද ඒ?"

"ඇයි අනේ උදුල්?"

"ආ ඇත්තද? ඔයා උදුල්ව අඳුණනවද? කවුද ඔයාට ඔය කතාව කිව්වේ?"

"මං උදුල් ව එච්චර අඳුණන්නේ නෑ. එයා අනිත් යුනිවසිටි එකේ නේ. මගේ බැචෙකුගේ කසින් කෙනෙකු ගේ නේබර්ස් ලා. උදුල් ම තමයි මට කිව්වේ ගිය සුමානේ ප්‍රියා මට ඉන්ට්‍රොඩියුස් කරල දුන්නු වෙලාවේ!"

අන්තිමට බැලින්නං, මුළු රටම දන්නවා උදුල් කාරයාට ජොබ් එක ලැබුණු බව, මං හැර.

මේ සිද්ධිය වෙලා දැන් අවුරුදු හතක් වෙනවා. තාම උදුල් කාරයා මට කිව්වේ නැහැ ජොබ් එක ලැබුණා කියලා.

මොනව කියන්නද එක අතකට, ඌයි මායි අල්ලපු බිල්ඩින් වල අවුරුද්දකටත් වඩා වැඩ කළා, මං එතනින් වෙන ජොබ් එකකට යන කල්ම.

-කතන්දරකාරයා

Tuesday 15 February 2011

වැල්-අදින්නන් ගේ දිනය : Valentine's Day


ඔන්න මුලින් ම කිව්වා, මේ කියන්න යන කතන්දරේ වැඩි තේරුමක් නෑ. කොලිටිය බලන අය දැන්ම ම වෙන ලින්ක් එකක් ක්ලික් කරන්න.

ඉස්සර තිබුණා රිවිරැස කියලා පත්තරයක්. මේක ගැහැව්වේ දවස පුවත්පත් සමාගමෙන්. මං හිතන්නේ ගුණසේන සාප්පුවත් ඒ සමාගමේ තමයි මුලදී. මේ කෂ්ටිය ගේ ඉංගිරිසි පත්තරේ තමයි සන්.

රිවිරැස පත්තරේ පටන් ගන්න කාලේ ඒකේ කතෘවෙලා තියෙන්නේ මං අහල තියෙන විදියට ඩී.බී. ධනපාල. ඒ කියන්නේ ඩී.බී. නිහාල්සිංහ ගේ තාත්තා. සමහර විට ලාල් ප්‍රේමනාත් ද මැල්, ඒ කියන්නේ සුන්දර නිහතමානී හෙවත් මානී ගේ තාත්තාත් මේ රිවිරැස පත්තරේ කතෘ මණ්ඩලයේ ඉන්න ඇති (?).

ඒ කියන්නේ මේක පරණ පත්තරයක්.

දවස පුවත්පත් සමාගම කාලයක් වහලා දාලා තියෙනවා හදිසි නීතිය යටතේ. ඊට පස්සේ, දෙවෙනි පාර පටන් අරං ටික කාලයක් දිව්වා, රිවිරැස පත්තරේ පලවුණා, පස්සේ සදහටම වැහිලා ගියා.

මොන හේතුවක් ද මන්දා මේ කියන රිවිරැස පත්තරේ වැඩ කරපු බොටල්-ජර්නලිස්ට් ලා ට, විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ව පෙන්නන්න බෑ. කොහොම හරි නැති දේකට පටලවලා දාන්නය හැදුවේ හැමදාම.

මට මතක හැටියට ඔන්න මං කැම්පස් යන්න කලින් එක දවසක් මං රිවිරැස පත්තරේ බලනවා. මේ පත්තරේ පිටුවක් පුරා ලොකු ලිපියක් තිබුණා රට වනසන කුඩු මාරයා කියන හෙඩින් එකත් එක්ක. පොරක් කුඩු උරන ෆොටෝ එකකුත් තිබුණා.

සාමාන්‍යයෙන් මේ ආකාරයේ දිගු ලිපියක හෙඩිමට අමතරව තව සබ් හෙඩින්ස් තියෙනවා. ඒවා තියෙන්නේ, ඒ, ඒ සෙක්ෂන්ස් වෙන් කරලා පෙන්වන්නයි.

ලිපිය පටන් ගත්තේ කොළඹ කොහේද තැනක කුඩු වගයක් පොලිසියෙන් අල්ලපු කතාවක් එක්ක. එතැන ඉඳලා විවිධ කුඩු ජාති, ඒවා ලංකාවට එන තැන්, කුඩුවලට ඇබ්බැහි වෙන හැටි, කුඩුවලින් ඇති වෙන සෞඛ්‍යමය ගැටළු ආදී හොඳ විස්තර තිබුණා, ඒ, ඒ, සෙක්ෂන්ස් වලට ගැලපෙන සබ් හෙඩිනුත් එක්ක.

ඔන්න මේ ලිපිය සීඝ්‍රයෙන් කියවාගෙන යන මගේ ඇස් දෙක ගියේ වැදගත් සබ් හෙඩිමකටයි.

"සරසවි සිසුන්"

මේ දවස්වල කැම්පස් යන්න ඇඟිලි ගැන ගැන හිටපු හින්දා මං මාර උනන්දුවෙන් කියවං යනවා. කොළමක උඩ ඉඳලා යටටම ගියා, ම්හූ, සරසවි සිසුන් ගැන කිසිම කතා බහක් නෑ. මං හිතුවේ කුඩු ටික අල්ලපු කොළඹ පොට් එකේ කැම්පස් කොල්ලොත් ඉඳලාය කියලයි.

අන්තිමේ දී මෙන්න මේ කියන සෙක්ෂන් එක ඉවර වෙලා, ඊලඟ එක පටන් ගන්න කලින් පොඩි වාක්‍ය කෑල්ලක් තියෙනවා මෙන්න මෙහෙම.

"ඇමරිකාවේ සහ ඉතාලියේ කුඩු උරන්නන් අතර සරසවි සිසුන් ද සිටින බවට සැක කෙරේ!"

ඕක කියන්න තමයි අර සබ් හෙඩිම දාලා තියෙන්නේ!

ඊටත් වඩා ජොලි සීන් එකක් තිබුනේ අපි කැම්පස් ඉන්න කාලෙයි.

කැම්පස් වල නොයෙකුත් සෝෂල් යනුවෙන් චිරාත් කාලයක් තිස්සේ හැඳින්වෙන පාටි තියෙනවා නේ. එක එක ෆැකල්ටිවල, හෝල්ස් වල ඒවා වගේම හැමටම පොදු කලර්ස් නයිට් වගේ ඒවාත් තියෙනවා.

අපේ කාලේ ආට්ස් ෆැකල්ටියේ හිටපු උන් ගේ සෝෂල් එකේ නම කලා නිශාව. අපි ෆයිනල් ඉයර් එකේ දී මේ කලා නිශා සෝෂල් එක වෙලාවේ පොඩි ලාමක වලියක් ගිහින් තියෙනවා. ඒක එතනම ෂේප් වුණා කියලයි අපිට ආරංචි වුනේ. ජෙප්පෝ සහ ජුන්ටෝ අතර වලි තමයි දුර දිග ගියේ. මේක මේ බීමේ ආදිනව කියන වලියක්.

ඔන්න සතියකට පස්සේ රිවිරැස පත්තරේ මේ සාමාන්‍ය වලිය ගැන අසාමාන්‍ය ප්‍රමාණයේ විස්තරයක් තිබුණා.

ඒක පටන් ගත්තේ මෙහෙමයි.

"පසුගිය සති අන්තයේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පැවති කලා නිශාව (Colours Night) සාදයේ දී සිසුන් දෙපරිසක් අතර බරපතල ගැටුමක් ඇති විය."

මේ බොටල්-ජර්නලිස්ට් ලා හිතලා තියෙන්නේ කලා නිශාව කියන්නේ කලර්ස් නයිට් එකට කියලායි! ඒ මේ වචන සෙට් දෙකම එක වාගේ සද්ද වෙන නිසයි.

ඔය සේරම කතා කිව්වේ මෙන්න මේක කියන්නයි!

බැරි වෙලාවත් ඊයේ රෑ වැලන්ටයින් දිනයේ කැම්පස් කොල්ලෝ පාටියක් දාලා පොඩි වලියක් ගියා කියලා හිතන්න.

මුං හිටිය නං දායි, "වැල්-අදින්නන් ගේ (Valentine's Day) රාත්‍රිය දා මහ ගුටි කෙලි" කියලා.

-කතන්දර

ප/ලි
කලින් කතන්දරයක් ඇනෝ ට උපහාර පිණිස පල කළා. අද මේ කතන්දරේ කාට ඩෙඩිකේට් කරන්නද මන්දා?

(Photo: http://www.faqs.org/photo-dict/phrase/1169/St-Valentine)

Sunday 13 February 2011

කතන්දරකාරයා කඩේ ගිය හැටි


මේ කාලේ ලංකාවේ භාවිතය අනුව කඩේ යනවා ය කියන වචනයට ඇත්තේ අපි පොඩි කාලයේ දැන සිටි තේරුම නොවේ.

අපේ පොඩි කාලයේ කඩේ යෑම යනු ඇත්තටම සල්ලි සහ මල්ලක් අරං කඩේ යෑම විය. මල්ලක් උවමනා වුනේ සිලි-සිලි බැග් නොතිබුණු නිසා සහ පසුව ශත පනහක් බේරා ගැණීමට අවශ්‍ය වූ නිසාය. අපේ අම්ම ලා සින්තා වැල් වලින් බෑග් වියූයේ ද මේ කඩේ යාම සඳහාය.

අද කඩේ යාම යනුවෙන් අදහස් වෙන්නේ වෙනත් අයෙකු ගේ අවශ්‍යතාවයන් මත පෙනී සිටිම යන්නයි. විශේෂයෙන් ම දේශපාලකයෙකු වෙනුවෙන් පෙනී සිටින කලාකරුවන් හැඳින්වීමට මේ ප්‍රකාශය යොදා ගැනේ.

මේ පද පෙරලිය වුනේ කවදාදැයි මට හරියටම කිව නොහැක. ලූෂන් බුලත්සිංහල ගේ "තාරාවෝ ඉගිල යති" වේදිකා නාට්‍යයේ අඩංගු, රොඩ්නි වර්ණකුල ගයන "කඩේට පලයං චෑන් වූන්" යන ජනප්‍රිය ගීතය මේ කඩේ යෑම යන පදය ජනප්‍රිය කරන්නට උපකාරී වූවා විය හැක.

මා අවසාන වරට ලූෂන් ව දුටුවේ වසර 2000 දී පමණ වේදිකා ප්‍රසංගයක දී ඉහත නාට්‍යයේම එන "පුරුෂ භාවයයි අපේ" යන ගීතය ගායනා කරද්දී වන අතර ඊට පෙර මා ඔහු දුටුවේ 1994 ජනාධිපතිවරණ සමයේ කලාකරුවන් විසින් ඡන්ද අපේක්‍ෂිකාවකට සහය පලකිරීම සඳහා නුගේගොඩ දී පවත්වන ලද රැස්වීමක දී ය.

රොඩ්නි ව නම් මා අවසාන වරට දුටුවේ ජයලත් මනෝරත්න ගේ සුදුරෙදි හොරු නාට්‍යය බිෂොප් රඟහලේ දී නරඹද්දී බව මගේ මතකයයි.

මා වෙනත් කෙනෙකු වෙනුවෙන් කඩේ ගිය අවස්ථාවක් මගේ මතකයේ නොමැකෙන සේ සඳහන් වී ඇත. පහත දැක්වෙන්නේ ඒ අවස්ථාවේ නාට්‍යමය නිරූපනයකි.

* * * *

කඩේ යාම
=======

"ලොකු පුතේ."

"ඇයි අම්මේ?"

"ලොකු මල්ලිට හොඳටම උණ!"

"ඉතිං?"

"බේත් දුන්නා. එත් බොන්න මොකුත් දෙන්න ඕනෑ. පුතාට බැරිද ආංසිඤ්ඤො ගෙ කඩේට ගිහින් ක්‍රීම් සෝඩා එකක් ගේන්න?"

"හා!"

"මෙන්න හිස් බෝතලෙයි සල්ලියි."

"හා අම්මේ."

වේලාව හවස හයට පමණ ඇත. මද අඳුර මුළු පරිසරයම වසා පැතිරෙයි. බෝතලයක් අතින් රැගෙන වයස අවුරුදු නමයක පමණ කොලුවෙක් දෙවට පාරක් දිගේ කඩිනමින් යනු පෙනේ.

මහපාරට යන කොලුවා වමට හැරි යාර පන්සීයක් පමණ දුරින් පිහිටි ආංසිඤ්ඤො ගේ කඩේට ගොඩවෙයි.

"ක්‍රීම් සෝඩා එකක් දෙන්න."

"ක්‍රීම් සෝඩා ඉවරයි."

දැන් කුමක් කරන්නද එක් වනම හිතාගත නොහැකිව කොලුවා යලිත් පාරට පිවිසෙයි. ඉදිරියට තවත් යාර පන්සීයක් පමණ ගොස් වෙල පසුකර තවත් ඉදිරියට ගියොත් විමලසේන ලා ගේ කඩේ ඇත. නමුත් එතනත් ක්‍රීම් සෝඩා නැතිනම්?

කළ යුතු හොඳම දේ නම් පාරේ ආපසු ගමන් කර චෝක් කටා ගේ කඩය පැත්තට යාම බව කොලුවා තීරණය කරයි. එය කිලෝ මීටරයක පමණ දුරකි.

අවාසනාවට මෙන් චෝක්කටා ගේ කඩය වසා ඇත. එය බොහෝ විට ක්‍රියාත්මක වෙන්නේ බුකියක ඒජන්සියක් ලෙසින් පමණි.
දැන් අඳුර හැම අතම පැතිර ඇත. පාර අවස නිවෙස් වලින් විසිරෙන්නේ කුප්පි ලාම්පු කණාමැදිරි එලි පමණකි. තවත් ඉදිරියට යාමට කොලුවා තීරණය කරයි.

ඊ ලඟට ඇත්තේ සුදා ල ගේ කඩේ ය.

"ක්‍රීම් සෝඩා එකක් දෙන්න."

"ක්‍රීම් සෝඩා ඉවරයි."

එක්කෝ මුළු ගමේම පොඩි එවුන් ට උණ ගැණී ඇත. නැත්නං, එලිෆන්ට් හවුස් ඒජන්ට් ගේ වෑන් එක මේ පැත්තේ පැමිණ නැත.

අවට අඳුර කොලුවා ගේ හිතට ගෙනෙන්නේ බියකි. කොටින්, නරියන්, ඌරන් නැතත් මේ ඇනෝපිලිස් ලා අවට සරන සමයයි.

ඒ බිය මැඩගෙන කොලුවා ගේ සිතට නැගෙන්නේ උණ රෝගයෙන් පෙලෙන තම සොහොයුරාය. ක්‍රීම් සෝඩා මල්ලී ගේ ප්‍රියතම පානයයි.

සුදා ල ගේ කඩේ සිට තවත් ඉදිරියට ගියහොත් හමුවන්නේ අළුත් කඩේ ය. ඒ දුර මහ දුරක් නොවේ. ඒ අතර මැද පන්සල ද හමුවෙයි. පන්සල් හන්දියේ විදුලි පහන් කණුවක් ද ඇත. නමුත් පන්සල පසුවුණු පසු එළැඹෙන්නේ අඳුරු බිම් කඩකි.

දැන් රාත්‍රී හතට කිට්ටු නිසා අළුත් කඩේ වසා තියෙන්න ට ද, එසේ නොවුනත් එහි ක්‍රීම් සෝඩා නොතිබෙන්නට ද හොඳටම ඉඩ ඇත.

ආපසු හැරි යන්නද? අළුත් කඩේ ටත් ගොස් බලන්නද?

තීරණය ඉතා පැහැදිලිය.

පන්සල පසුකළ පසු කොලුවා පසුපස නොබලා දුවයි. ඔහු අළුත් කඩේ ට ගොඩ වෙන්නේ හති දමමිණි.

"ක්‍රීම් සෝඩා එකක් දෙන්න..."

තවත් විනාඩි පහලොවකට පමණ පසු කොලුවා නිවස ට හැරෙන පාර අසලට එන විට දකින්නේ බියපත් මුහුණින් යුතුව එහි රැඳී සිටින තම අම්මා ය.

කොලුවා ජයග්‍රාහී ලිලාවෙන් ක්‍රීම් සෝඩා බෝතලය ඇය අතට දෙයි.

නිමි.

-කතන්දරකාරයා

ප/ලි
කතන්දරකාරයා රඟපෑ තවත් නාට්‍යමය ජවනිකාවක ඡායාරූපයක් මෙතනින් නරඹන්න.

Friday 11 February 2011

අපි හොඳ රණමුඛ ලා - හරිය?


තාත්තා ගේ මළ ගෙදරට ආපු හේමන්ත කියපු කතන්දර නිදිමතේම අහගෙන ඉන්න අතරේ මට මතක් වුණා පරණ සිද්ධියක් මළ ගෙදරක් හා සම්බන්ධ.

ඉස්සර සමහර මළ ගෙවල් වල අවසාන කටයුතු කෙරෙන වෙලාවේ ලවුඩිස්පීකර දානවා. එතකොට එදා ට මළ ගෙදරට එන්න බැරිවුණු ගමේ අයට ගෙදර ඉඳන්ම ඒ වැඩකටයුතු වලට සහභාගී වෙන්න පුළුවන් නේ. ඒ හින්දා වෙන්න ඕනැ!

අපි පොඩි කාලේ කුලියට ගෙයක් අරං හිටපු ගමේ එක දවසක් ඔය වගේ අවමගුලක් තිබුණා. ලවුඩිස්පීකර් ක්‍රමයෙන් එදා හවස මුළු ගමම සහභාගී වුණා අවමගුල් සභාවට.

අපේ අවමගුල් සභාවල පන්සිල් ගැනීම්, පූජ්‍ය පක්‍ෂයේ අනුශාසනා සහ පැන් වැඩීමෙන් පස්සේ ඊ ලඟට එන්නේ ගිහි අය ගේ කතා.

මෙතෙනදී, බොහෝ වෙලාවට කතා කරන්න අය පෝලිමේ. ගමේ අවමංගලාධාර සමිතියේ අය, පන්සලේ දායක සභාවේ අය, අල්ලපු ගමේ අය, ඥාති පරම්පරා හතරේ කෂ්ටිය, පවුලේ අය ගේ වැඩපොලවල් වල අය.

ඔන්න ඉතිං, එදා මේ කියන මළ ගෙදර තිබුණු කතා පෝලිම මාත් ගෙදර ඉදන් නොමිලේම අහං හිටියා ටිකටුත් ගන්නේ නැතුව.

"මීලඟට ඉහල පේරුවේ ඥාතීන් වෙනුවෙන් පියසේන රණවක මහතා කතාකරනවා ඇති..." ඇම්.සී. කාරයා එනවුන්ස් කළා.

තත්පර කිහිපයකින් පස්සේ ඔන්න පියසේන රණවක මහතා ගේ කතාව ඇරඹෙනවා ඇහෙනවා.

"ඥාති මිත්‍රාදීන් ඇතුළු අවමංගල සභාවෙන් අවසරයි. ඉහල පේරුවේ ඥාති සමූහයා වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කිරීමට කලින් මට එක් කරුණක් කියන්නට තියෙනවා."

"මෙතනදී ප්‍රකාශ කෙරුණා මගේ නම රණවක කියා. මම මේ අවස්ථාවේ දී අවධාරණය කරන්න කැමතියි මගේ වාසගම රණමුඛ බව."

"මා පමණක් නොවෙයි අපේ ඉහල පේරුවේ ඥාතීන් සියළු දෙනාම පාහේ හොඳ රණමුඛ ලා....!"

-කතන්දරකාරයා

ප/ලි
තමන් නිර්නාමිකව සිටිමින් ම, ලොව දසත සිය ගණනක පිරිසක් දන්නා මගේ නම සෙවීමට කමෙන්ට් පිට කමෙන්ට් දමමින් වෙහෙසුණු ඇනෝනිමස් නංගී ට මේ ලිපිය උපහාරයක් වේවා!

Wednesday 9 February 2011

හිච්චි නංගී ලොකු උණා -ටැලිගිරැං එකක් ඇවිත්

Porn Shop
මේ කතන්දරේ මං කාලෙකට කලින් ලියපු එකක්.

පෙරේද දාපු කම් හෝම් -විමලා කතන්දරේ ට ආපු කමෙන්ටු ටික දැකලා, මේක පොඩ්ඩක් වෙනස් කරලා පල කරන්න හිතුණා.

අදහස් ප්‍රකාශනය නැත්තං සන්නිවේදනය කියන එක ලේසි පාසු දෙයක් නෙමේ. භාෂාව දැන ගත්තට විතරක් මදි. තමන්ට කියන්න අවශ්‍ය දේ, අහන කෙනාට හරියටම තේරෙන්න නොකිව්වොත් වැඩේ යූස්ලස්.

ඊට අමතරව, කටින් කියපු දේවල් නං පස්සෙ වෙලාවක මං එහෙම කිව්වෙ නෑ කියල බේරෙන්න පුළුවනි. රෙකෝඩිං එකක් නැත්තං ෂේප්. හැබැයි පුතෝ ලියපු එකක් නං තමන්ගෙන් මුදා හැරියට පස්සෙ වෙනස් කරන එක බොරු.

ටැලිගිරැං වලින් කරන්නේත් පණිවිඩයක් එක තැනක ඉඳන් තව තැනකට අරින එකනේ.

මේ කතන්දරේ කියවන මොබයිල් ෆෝන්, එස්.එම්.එස්., එම්.එස්.එන්., ගූගල් බස්, ෆේස් බුක්, ට්විටර් ගැන විතරක් දන්න පොඩි උන් ගේ ප්‍රයෝජනය පිණිස මෙන්න ටැලිගිරැං වලින් පණිවිඩ යවන හැටි කෙටියෙන්.

ඔන්න මහනුවර ඉන්න සෙනෙහෙලතා ට, මාතර ඉන්න සුමනසිරි ට පණිවිඩයක් යවන්න ඕනැ වුණා කියල හිතන්න.

සෙනෙහෙලතා තමන් ට ලඟම තියෙන ටෙලිෆෝන් පහසුකම් සහිත තැපැල් කන්තෝරුවට ගිහින් (ඉස්සර කාලේ උප තැපැල් කාර්යාල වල ටෙලිෆෝන් තිබිල නෑ) තමන් ගේ පණිවිඩයයි, සුමනසිරි ගේ ලිපිනයයි ලියල දෙනව. වචන ගානටයි ගාස්තුව.

තැපැල් කන්තෝරුවෙ ක්ලාක් කාරයා ඒ පණිවිඩේ, වචනෙන් වචනේ, ටෙලිෆෝන් එකෙන් කියනවා සුමනසිරි ගේ ගමට ලඟම, ටෙලිෆෝන් තියෙන තැපැල් කන්තෝරුවේ ඉන්න ක්ලාක් ට. පොර ඒක අතින් ලියා ගන්නව. ටැලිගිරැං පණිවිඩවල නොයෙකුත් පටලවිලි වෙන්නේ මෙන්න මේ හුවමාරුවේ දී යි. ඊ ලඟට, ඒ පණිවිඩය තැපැල් කාරයෙක් ලවා සුමනසිරි ගේ ගෙදරට යවනව බයිසිකල් එකේ.

සෙල්ලම්මා ගේ ටැලිගිරැං එක නඩරාජා ට යන්නේත් ඔය විදියටමයි.

අපේ ආච්චිලා ගේ කාලේ නං ටැලිගිරැං යවල තියෙන්නේ ඉංගිරිසියෙන් විතරයි. ඒ කාලේ කෙල්ලන් ට උගන්වන්නේත්, ටැලිගිරැං එකක් කියව ගන්න තරම් දැනුමක් එන්න විතරලු.

ඒ දවස්වල පණිවිඩ ටෙලිෆෝන් එකෙන් කියද්දී, විශේෂයෙන් ම නම්, ගම් හරියට ස්පෙල් කරන්න, භාවිතා කරලා තියෙනවා අපූරු සංකේතාවලියක්.

A = ආතර්
B = බොබ්
C = චාලි
D = ඩේවිඩ්
E = එඩ්වඩ්

යනාදී වශයෙන්. උදාහරණයක් ලෙස පෙරේරා කියල කියන්නේ මෙහෙමයි.

පීටර්, එඩ්වඩ්, රොබට්, එඩ්වඩ්, රොබට්, ආතර්.

මං මුලින් කීවනේ සන්නිවේදනය ගැන. දැන් මෙන්න ටැලිගිරැං ගැන අපේ කාලේ කතන්දර දෙකක්.

* * *

මං අර නුවර තිප්පොලේ ඉන්න කාලේ, දවසක් හදිසියේම කැම්පස් එක වැහැව්වා. ඊරියගම බෝඩිමක හිටපු දෙවන වසරේ අපිට ගෙදර යන්න හදිස්සියක් තිබුනේ නෑ. ඉතිං අපි එක්ක හිටපු එකෙක් ගෙදරට ටැලිගිරැං එකක් ගැහැව්වා මෙන්න මෙහෙම.

"විශ්ව විද්‍යාලය වැහැව්වා. මට කරදරයක් නැහැ. පසුව ගෙදර එන්නම්."

කරදරයක් නැති නං ඇයි ටැලිගිරං ගහන්නේ කියලා හිතලා මෙන්න බොලේ පහුවදාම පොර ගේ තාත්තා බෝඩිමට එනවා මහා කලබලෙන්!

* * *

සන්නිවේදනය ගැන හොඳ පාඩමක් එන තව ටැලිගිරැං කතන්දරයක් මෙන්න.

අපේ පොරකට දවසක් ගෙදරින් ටැලිගිරැං එකක් ඇවිල්ලා තිබුණා මෙන්න මෙහෙම.

"නංගී වැඩිවියට පත්වුණා. ගෙදර එන්න එපා."

-කතන්දරකාරයා

ප/ලි
මාත් දවසක් පේරාදෙනියේ පෝස්ට් ඔෆීසියෙන් ගෙදරට ටැලිගිරැං එකක් යවලා තියෙනවා.

"දෙවන ඉහල පෙල සාමාර්ථයක් ලැබුණා. දින දෙකකින් ගෙදර එනවා."

මගේ ආදරණීය තාත්තා ගේ එක් සිහිනයක් මං සැබෑවක් කලේ ඒ විදියටයි.

Monday 7 February 2011

කම් හෝම් -විමලා


මේකත් කතන්දරකාරයා පස්තාච්චි කුපාඩි කාලේ කතාවක්. හැබැයි කලින් ඒ කාලේ ගැන මං ලියපු වෙනත් කතන්දරවලට වැඩි සම්බන්ධයක් නං නෑ.

ඔය මං නිතරම කියන පස්තාච්චි ආයතනය හෙවත් පෝස්ට් ග්‍රැජුවේට් ඉන්ස්ටිටියුෂන් එක තිබුනේ තායිලන්තයේ බැංකොක් නුවර උතුරු පලාතේ ඉස්සර එයාපෝට් එක තිබුණු ඩොන් මුවංග් පැත්තේ.

අපි සිලෝන් එකට ලංකාව කියනවා වගේ තායිලන්තේ අය තමන් ගේ රටට කියන්නේ සියම් කියලයි.

ඔය සිලෝන් එකේ තියෙන සියම් නිකාය කියන සෙක්ට් එකට ඒ නම ඇවිල්ලා තියෙන්නෙත් ලංකාවේ මහනකම නැති භංගස්ථාන වෙලා ගිය කාලෙකද කොහෙද තායිලන්තයෙන් උපසම්පදාව ගත්තු හින්දා. හැබැයි එහේ අස්ගිරිය, මල්වත්ත කියල ස්ථාන නාම නං එහෙ නැහැ මගේ හිතේ.

තායිලන්තය බහුතර බෞද්ධ රටක්. පන්සල් හැම තැනම වගේ තියෙනවා. සමහර පැරණි නගර වලට ගියාම නිකං පොලොන්රුවෙ වගේ නටබුන් වෙච්ච පන්සල් අඩියෙන් අඩියට.

ඒ සේරම සියම් නිකායේ පන්සල් වෙන්න ඕනැ!

ඉස්සර ලංකාවේ නං එක ගම් හතරකට පන්සල් තිබුනේ එකයි නේ. අර මට සරොං ඇඳං යන්න කියල නාලන්ද අණ කරපු අපේ ගමේ පන්සල, රජ මහා විහාරයක්. ඒක තිබුනේ අල්ලපු ගමේ. අපි තමයි පන්සලේ දායකයින්ගේ උතුරු පේරුව. හතර පේරුවක්ම තිබුණා පන්සලට අයිති.

ඒකට දැං අපේ අම්ම ලා ඉන්න ගමේ පයින් යන දුර, ඒ කියන්නේ කිලෝ මීටරයක් ඇතුලත, පන්සල් තුනක් තියෙනවා. පිං කරන්න ඉඩකඩ වැඩියි ඉස්සරට වඩා. නිකං හරියට තායිලන්තෙ වගේ.

මං තායි පන්සලකට ගිය ගමනකදි අල්ලපු ෆොටෝ ටිකක් කලින් දවසක දැම්මා මතකද?

සිලෝන් එකේ ඉඳලා තායිලන්තේ වන්දනාවට යන්නේ බිස්නස් කාරයෝ විතරක් නෙමේ. හාමුදුරුවරුත් වඩිනවා. අපේ හිටපු සුදන්ත සාදුත් (මතකනේ තරිඳු?) අන්තිමේ දී එහේ ගිහින් නේ අතුරුදහන් වුනේ!

හැබැයි ඉතිං, මේ විදියට තායිලන්තේ යන සිලෝන් එකේ සියම් නිකායේ හාමුදුරුවරුන්ට වෙනවා එයාපෝට් එකේ දී ම තනි උරහිස වහන සිවුර වෙනස් කරලා උරහිස් දෙකම වැහෙන්න අඳින්න. මොකද තායිලන්තේ ඉන්න සියම් නිකායේ හාමුදුරුවරු සිවුර අඳින්නේ ඒ විදියටයි.

සිවුරෙන් දෙවුරම වැහෙන හින්දාද කොහෙද, ඒ තායිලන්තේ ඉන්න සියම් හාමුදුරුවරු කට්ටිය "අම්මා බුදු වේවා!" වගේ දහම් පාඨ අත් ගොබ වල නං පච්ච කොටාගන්නේ නෑ. හොඳට පේන තැනක එපායැ පච්ච කොටාගන්න.

ඉතිං ඔය සියම් එකේ ඉන්න කාලේ දවසක් මට පණිවිඩයක් ලැබුණා අපි දන්න කියන හාමුදුරු නමක් සිලෝන් එකේ ඉඳලා සියම් දේශයට වන්දනාවේ එනවාය කියලා. මාත් ඉතිං එයාපෝට් එකට ගියා සාදු ව මුණ ගැහෙන්න. එදා මේ කියන විමලානන්ද හාමුදුවෝ තමයි මට කීවේ ඔය කලින් මං ලියපු දෙවුර වහන්න වෙන කතාව.

විමලානන්ද හාමුදුරුවෝ සති දෙකකින් ලංකාවට වඩිනවාය කියපු දවසේ ඔන්න මං ආයෙත් ගියා එයාපෝට් එකට. මං හිතුවේ සාදු අතේ ලංකාවෙන් තැපැල් කරන් ලියුං ටිකකුයි, ගෙදරට චොක්ලට් පැකට් එකකුයි යවන්න.

ගිහිං බැලින්නං, අපේ සාදු ආපසු ගමන සතියකින් කල් දාලා, ඒ අතර කාලයේ මැලේසියාවත් වන්දනාමාන කරගෙන එන්න යන්න ප්ලෑන් එකක් ගහලා.

හාමුදුරුවෝ මැලේසියා වේ ඉඳලා ආපසු තායිලන්තෙට වැඩම කරන දවසේ මං ගියා, සාදු නතරවෙලා ඉන්නවාය කියපු පන්සල ට. ඒක තිබුනේ, බැංකොක්වල දකුණු ප්‍රදේශයේ තැනකයි.

පැය ගානක් රස්තියාදු වුනත් අනේ අපේ විමලානන්ද සාදු වැඩියේ නෑ. ඒ දවස්වල මොබයිල්, එස්එම්එස්, ඊ-මේල් හෙමත් නෑනේ. සිගප්පූරුවේ ඉඳලා, එහෙන්ම සිලෝන් එකට ගියාද?, නැත්තං බුරුමේ වගේ රටකට වැඩියා ද? දන්නේ නැති හින්දා මං ඉතිං එදාත් අරං ගිය චොක්ලට් එක කකා ආපහු ගියා පස්තාච්චි කුපාඩි ආයතනයට.

ඔන්න ටික දවසක් ගියා. මං සති අන්තයේ දවල් වරුවක හොඳ ක්‍රෑමක් දාගෙන ඉන්න වෙලේ, මෙන්න බොලේ මගේ කාමරයේ දොරට ගහපි සෙකුරිටි පොරක්.

"යූ හෑව් අ කේබල්!" ඌ කියපි!

කේබල් කියන්නේ රටකින් රටකට යවන ටෙලිගිරැං වලට නේ.

මං පපුව ගැහි, ගැහී ගියා සෙක්කා එක්ක උංගේ ඔෆිස් එකට. එදා සති අන්තය නිසා, තැපැල් වැඩ නෑ. සෙක්කෝ තමයි ඉන්-චාර්ජ් ඔෆ් කේබල්ස්. මං හිතුවේ ගෙදරින් හදිසි පණිවිඩයක් තමයි කියලයි. අසනීපයක් ද, කරදරයක් ද, බුදු අම්මෝ.

ඔන්න ඉතිං ටෙලිග්‍රෑම් එක කඩලා බැලින්නම් මෙන්න තිබුණු පණිවිඩය.

"කම් හෝම්. -විමලා"

මට මේක අංඩර දෙමලයක්. කවුද මේ විමලා. මගේ අම්මත් නෙමෙයි. ඇන්ටි කෙනෙක්වත් නෑ විමලා කියලා. සිලෝන් එකේ ඉන්න කාලේ උන්මාද චිත්‍රසේන දැකලා පිස්සු හැදුණු කෙනෙකුට විමලා වගේ නමක් තියෙන්න විදියක් නෑනේ, සිංහල නං පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් වෙන නිසා.

අනික, එහෙම උන්මාද චිත්‍රසේන ටයිප් එකේ මැටර් එකක් වුනත් ඇයි කම් හෝම් කියලා කියන්නේ මේ හදිස්සියේ කේබල් එකක් එවලා. වැඩේ චාටර් වෙලාද?

මොනව වුනත් මට කරන්න දෙයක් තිබුණෙ නෑ!

මට එදා හැදුණු හෙඩ්-ඒක් එක දවස් ගාණක් තිබ්බා. සතියකින් විතර තිබුණු එක්සෑම් එකෙන් පස්සේ ඇරිල ගියා. ඊටත් පස්සේ මුළු එපිසෝඩ් එකම අමතක වෙලා ගියා.

ඔහොම කාලයක් ගිහින්, ක්ලෝක් ඇඳලා ෆොටෝ එහෙම අරං, සේරම අකුලගෙන ආපහු සිලෝන් එකට ආවට පස්සේ දවසක, අපේ විමලානන්ද හාමුදුරුවෝ මුලිච්චි වුණා.

කතන්දර කුමාර, එදා මං මැලේසියාවෙන් ගියානේ සිංගප්පූරුවට, එහෙත් සතියක් ඉඳලයි ආපහු තායිලන්තෙට ඇවිත් ගෙදර ආවේ. මං එන්න කලින් එහෙදි ටෙලිග්‍රෑම් එකක් එව්වා, ලැබුණද? සාදු ඇහැව්ව මගෙන්.

ඔන්න එතකොටයි මට වැඩේ තේරුනේ.

ගෙදර යනවා. විමල. කියන ටෙලිග්‍රෑම් එක තමයි මට ඇවිත් තියෙන්නේ ඉංගිරිසියෙන් කම් හෝම්, විමලා. කියලා.

පණිවිඩේ කියවල කලබල වෙච්ච හින්දයි, සෙක්ක ගොයිය කේබල් එකක් ගැන කියපු හින්දයි මට එදා පෙනිල නෑ මේ ටෙලිග්‍රෑම් එක ඇවිත් තියෙන්නේ බැංකොක් වලම වෙනත් උප නගරයකින් කියන එක.

-කතන්දරකාරයා

Saturday 5 February 2011

බ්ලොග් අවකාශයේ "පඩ ෂෝ" එක!


කාලෙකට කලින් එක චූ කතන්දරයකින් පටන් අරං මං ලිව්ව චූ කතන්දර සීරිස් එකක් ම. ඊට පස්සෙ ලිව්ව කක්කි කතන්දරයක්.

මේ කතන්දරවලට "ෂහ්, මරු!" ආකාරයේ ප්‍රතිචාර වගේම, "චීයා, අනේ!" ආකාරයේ ප්‍රතිචාරත් ලැබුණා.

අද මං මේ සැරසෙන්නේ තවත් ඒ වගේම විවිධාකාර ප්‍රතිචාර බලාපොරොත්තු විය හැකි කතන්දරයක් කියන්නයි.

සේරටම කලින් කියන්නේ ඕනෑ, මේ කතන්දරේ මගේ වුණාට, ඔය දාල තියෙන මාතෘකාව නං මගේ නෙමේ බව.

දැන් ඔය පඩ කියන්නේ සාමාන්‍යයෙන් ඈනුමක්, කිඹුහුමක්, කැස්සක් යනවා වගේ ස්වාභාවික සිදුවීමක් නේ. ඒ වුනාට වැඩේ වෙන්නේ කටෙන් නෙමේ. ඒ පළමුවෙනි වරද!

ඒ වගේම, පඩයක් යනවා කියන්නේ නිකං චූ බරක් එනවා වගේ ශරීර කෘත්‍යයක් ගැන අපිට එන පොඩි සංඥාවක්. ඒ හින්දා ඕක කළබල වෙන්න දෙයක් නෙමේ. නමුත් ඉතිං, වූ බරක් හැදුනාම වගේ නෙමේ පඩේක සද්දෙයි, ගඳයි දෙකම තියෙනවානේ. ඒ තමා දෙවෙනි වරද!

මෙන්න මේ වගේ වරදවල් හින්දා, ප්‍රසිද්ධියේ පඩයක් ඇරීම සිලාචාර නොවන දෙයක් සහ නොදැනිම වගේ පඩයක් යෑම ලජ්ජාවට හේතුවෙන දෙයක් විදියට තමයි සැලකෙන්නේ.

සාමාන්‍ය පිළිගැනීම තමයි "සද්ද පඩ ගඳ නෑ, ගඳ පඩ සද්ද නෑ" කියන එක. මේක "පඩ පිළිබඳ සීරෝ නියමය" කියල මං හඳුන්වන්නම්.

නමුත් ඔය නියමය හැම තිස්සේම ඇත්ත නොවන බව අපි හැමෝම දන්න කාරණයක්. (ඒ කියන්නේ නියමයක් නෙමෙයි, නිකං කන්ජෙක්ටර් එකක් විතරයි).

මෙතෙන්දි මට මතක් වෙන්නේ අර පුටුව යට හිටපු බල්ලා සහ පඩ කතන්දරේ. ඒක හැමෝම වගේ දන්න නිසා මෙතන ආපහු ලියන්නේ නෑ. අහල තියෙන අය ඒ කතාව ආපහු මතක් කරගෙන හිනාවෙන්න.

දැන් ඔය සද්දෙ පඩ තියෙනවානේ. ඒවායේ ආවේනික ශබ්ධය අනුව මෙන්න මේ ආකාරයට ප්‍රධාන වශයෙන් කොටස් හතරකට වර්ගීකරණය කරන්න පුළුවන්.

කෙටි පඩ
මේවා හරිම කෙටි, නමුත් තීව්‍ර ඒවා. බඩ හොඳට වේලිලා හෝ තට්ටං තදවෙලා නං තමයි මේ පඩ උපදින්නේ.

දිග පඩ
පඩ නොයවා හිර කරගෙන, හිර කරගෙන, හිටියාම කෙටි පඩ වුනත් අන්තිමේදි දිග පඩ වෙනවා.

මුලින් සඳහන් කරපු පඩ පිළිබඳ සීරෝ නියමයේ කොරොලරි එක තමයි, පඩේක දිග ඒකේ ගඳට ප්‍රතිලෝමව සමානුපාතිකය කියන එක. ඒ අනුව දිග පඩ, ගඳ අඩුයි කියලා අපිට සාධනය කරන්න පුළුවනි.

තෙත පඩ
මේවා එන්නේ බඩ ටිකක් බුරුල් වුණාමයි. සද්දෙක් නිකං තෙත ගතියක් තියෙනවා. හරියට අර පොඩි ළමයෙක් එයා ගේ නැන්ද ගේ වෙඩිමට රත්තරන් බඩු ගන්න මීගොමු ගිහින් දවල්ට කාපු දේවල් අජීරණ වුණාම වෙනවා වගේ.

හුඟක් ම තෙත පඩ
හුඟක් ම තෙත වගේ තේරුණොත් රජෝ ඉතිං, බඩු ම තමා! ඒ කියන්නේ මේ කැටගරියේ පඩයක් ගියොත්, කෙලින්ම ගිහින් වෙල්ලා හැලියට පනින්න තමයි වෙන්නේ.

ඔය සේරම විස්තර ලිව්වේ මෙන්න මේ පඩ කතන්දරය කියන්නයි.

ඔන්න මං ඉපදෙන්නත් ඉස්සර කාලේ, ඒ කියන්නේ අපේ අම්මයි තාත්තයි කසාද බැඳපු අළුත පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ තාත්තා ගේ කැම්පස් එකට කිට්ටුව කුලී ගෙදරක. ඔය දවස්වල අපේ ඇන්ටි කෙනෙක් ඇවිත් එහේ නතර වෙලා තියෙනවා විභාගෙකට පාඩම් කරන්න කියලා. කැම්පස් ලඟ ඉන්න කොට නිකං පොඩි පහේ මෝටිවේෂනල් ෆැක්ටර් එකකුත් ක්‍රියාත්මන වෙනවා ඇතිනේ. පාඩම් වැඩ වලට.

දවසක් සති අන්තයේ දවාලක, අපේ තාත්තා කාලා පොඩ්ඩක් සාලේ සිළුමිණ පත්තරෙ බල බල ඉන්න කොට පොඩි පහේ පඩයක් ගිහිල්ලා තියෙනවා, තරමක සද්දෙකුත් එක්ක.

එතන අපේ ඇන්ටි පාඩම් කර කර ඉන්නවා, තාත්තා දැක්කද, නොදැක්කද මන්දා? හැබැයි අපේ නැන්දට ඇහිල තියෙන්නේ පඩයක් යන සද්දෙයි, ඊට පස්සේ අපේ තාත්තා මෙන්න මෙහෙම කියනවා විතරයි.

"හප්පා, හරිම සනීපයි...!!!"

"එදා ඉඳලා අපේ පවුල්වල අය අතර පඩ සම්බන්ධව කතාබහේ දී මෙන්න මේ වගේ කෑලි තමයි තිබිල තියෙන්නේ."

"හරි ගඳක් එනවා, කාට හරි සනීපයක් දැනුනද?"

"අනේ මේ සනීප විඳ ගන්නවා නං පොඩ්ඩක් එලියට ගිහින් සනීප විඳ ගන්න කෝ!"

-කතන්දරකාරයා

ප/ලි
ඔන්න, ළමයිනේ බ්ලොග් අවකාශයේ පඩ ෂෝ එක ඇරඹුණා!
ඔහොම යමු, ඔහොම යමු.

Thursday 3 February 2011

රුපියල් පහේ කාසියේ බලයෙන් පිටරට සවාරියක්...!!!


මේ කතන්දරේ මගේ සිහියට ආවේ පෙරේදා තුට්ටු දෙකේ කතාවක් පබ්ලිෂ් කරන වෙලාවෙයි.

තුට්ටු දෙකේ කතන්දරේ දී මං ඇහැව්වේ, මං පොඩි කාලේ ලංකාවේ භාවිතයේ තිබුණු 'හරි හතරැස් නමුත් කොන් රවුම් හැඩයේ' ශත පහේ කාසිය හින්දා 'ශත පහ' කියලා සුරතල් නමක් වැටිල තිබුණු මගේ මිත්තරයා වගේ උන්ට, දැන් ඒ ජාතියේ ශත පහක් බේතකටවත් හොයා ගන්න නැති කාලයේ,මොන නම දාන්නද කියලයි.

මේකට හොඳම උත්තරේ දීලා තිබුනේ 'බීට්ල්'. මූණ හතරුස් උන්ට 'අයි-පෑඩ්' කියලා නම දාන්නයි ඒ යෝජනාව. හැබැයි, ඒක හරියන්නේ මූණ හතරැස් වුණාට ටිකක් විතර දිග උන්ට විතරයි.

එදා කියපු විදියට අපි පොඩි කාලේ තිබුණු, ශතේ, දෙකේ, පහේ, දහයේ කාසි ක්‍රමක්‍රමයෙන් අභාවයට ගියාට පස්සේ, අපි අතරට ආවා රුපියල් දෙකේ සහ පහේ ඒවා.

මේ අළුත් කාසි දෙකෙන් රුපියල් පහේ කාසිය තමයි මගේ හිතට හොඳට අල්ලලා ගියේ. පොඩියි, බරයි, ඝණකමයි, හොඳ ප්‍රමිතියක් තියෙනවා කියලා හිතුණා. අනික ඒක ලස්සන තඹ පාටකින් තමයි හදලා තිබුනේ.

හැබැයි ඉතිං, රුපියල් පහේ කාසි වලට ආස වුණා කියලා ඒ දවස්වල කරන්න දෙයක් තිබුනේ නෑ. ගෙදරින් දෙන ගාන හූල්ල, හූල්ලා වියදම් කරනවා මිසක. නමුත්, පස්සෙන් පහු තිප්පොලේ දඬුවම ගෙවිලා ජොබ් කට්ටකට පැන ගන්න ලැබුණට පස්සේ ඒ සේරම වෙනස් වුණා.

මං පටන් ගත්තා අර ලස්සන තඹ පාට රුපියල් පහේ කාසි එකතු කරන්න.

කඩේකින් හරි, බස් එකකින් හරි, රුපියල් පහේ කාසියක් අතට ආපු ගමන් කරන්නේ පොකැට් එකේ දාගෙන ඉඳලා, නවාතැනට ගිය ගමන් ඒක ලාච්චුවට දානවා. අතට ආපු එකම රුපියල් පහේ කාසියක්වත් වියදම් කලේ නෑ!

මේ දවස්වල අපිට පඩි ලැබුනේ අතට. ලියුම් කවරෙක දාලා. ඒකේ උඩ නම ලියලා. මාසේ විසිපස් වෙනිදට පඩි පැකට් එක අරගෙන සාක්කුවට දා ගන්නවා, ඊ-ලඟ මාසේ පඩිය ලැබෙන කල් ඒක වියදම් කරනවා.

තනිකඩ ජීවිතේ නේ.

මට පොඩි කාලේ තැපැල් කන්තෝරුවෙන් ගත්තු ජාතික ඉතිරිකිරීමේ බැංකු පොත හැර වෙන බැංකු ගිනුම් තිබුණෙත් නෑ. ඒ පොත තිබුණෙත් අම්ම ගාව. දහඅට පැන්න ගමන් ගිහින් ඒකෙ තිබුණු සල්ලි අරගෙන කලිසම් දෙකක් මැහැව්ව හින්දා ඒකෙ ඉතුරුවෙලා තිබුනේ රුපියල් දහයයි මට මතක විදියට. ඉතිං බැංකු එක්ක මගේ ආශ්‍රයක් තිබ්බේ නෑ.

ඉතිං, මේ මාසේ පඩිය එන කොට පහුගිය මාසේ පඩි පැකට් එක ඉවර වෙන විදියටයි වියදම් කලේ. කෑමට, බීමට, ගමනට, මාසෙකට පාරක් ගෙදර යනකොට බඩු අරං යන්න, පොත් ගන්න, මූවීස් බලන්න. අම්මටයි, මල්ලිල දෙන්නට ත් පඩියෙන් කාලකට වැඩියෙන් දුන්නා.

ඔන්න බොලේ ඔය අතරේ මට අර හැමදාම කියල, කියල එපා වෙලා තියෙන පස්තාච්චි කුපාඩි වැඩේට යන්න සෙට් වුණා.

මගේ සිස්සස්සේ කොටසක් විදියට, ප්ලේන් ටිකට් එක ලැබෙනවා. එහේ ඉන්න මාසෙකට පාරක් බාට් වලින් පඩිත් දෙනවාය කියලා තිබුණා. ඒත් ඉතිං, ඒ සල්ලි හම්බ වෙනකං දවසක් දෙකක් ජීවත් වෙන්නත් ඕනැ. ඒකට ඩොලර් කීපයක් බැංකුවකින් ගන්න ඕනැ වුණා. අළුතින් ඇඳුම් ගන්න නං ඕනැ වුනේ නෑ. එහෙ ගිහිල්ලා ෆොරීන් බඩු ගන්න පුළුවන් නේ. නමුත් තියෙන ඇඳුම් ටික දාගෙන යන්න හරි හමං ට්‍රැවලින් බෑග් එකක් වත් තිබුනේ නෑ.

මේ සේරම කරන්න ඒ මාසේ හම්බ වෙන පඩිය මදි. ඉස්සර වගේ ගෙදරින් ඉල්ලන්නත් බෑනේ. දැන් තිප්පොලෙන් කැපිලත් අවුරුදු දෙක හමාරක් වෙලා!

ඔන්න මගේ සිහියට ආවේ මගේ රුපියල් පහේ කාසි එකතුව. ගැනල බැලින්නං, බුදු අම්මෝ මාසේ පඩිය විතර ගාණක් එතන තිබුණා.

ඒක දැකපු මගේ මූණ රුපියල් පහේ කාසියක් වගේ වෙන්න ඇති.

ඒ සල්ලි වලින් හොඳ රෝද තියෙන ට්‍රැවලින් බෑග් එකක් ගත්තා විතරක් නෙමේ, සතියක් විතර ජීවත් වෙන්න ඩොලර් ගන්නත් එතන සල්ලි තිබුණා.

අන්න බලන්න රුපියල් පහේ වටිනාකම!

-කතන්දරකාරයා

ප/ලි
මේ කතන්දරේ කියවපු අළුත ජොබ් වලට ගිය, තනිකඩ කොල්ලන් ට කෙල්ලන් ට මං දෙන අවවාදය මේකයි.

දැන් ඔය ලඟදී ම එනවාය කියනවා නේද, අළුතින් රුපියල් පන්දාහේ නෝට්ටු?

ඒවා ආපු දා ඉඳලා, අතට එන එක පන්දාහේ කොලයක් වත් වියදම් කරන්න එපා. කෙලින්ම දාන්න බැංකුවේ ලාච්චුවට!

ඔබට ආශ්චර්යමත්, සුභ අනාගතයක් ලැබෙනවා සිකුරුයි!

Tuesday 1 February 2011

තුට්ටු දෙකේ කතාවක්!


සිංහලෙන් කඩයප්පන් කියන්නේ සාමාන්‍යයෙන් අපි උදේට කන, ඉඳිආප්ප, ආප්ප, පිට්ටු, රොටී වගේ කෑම ජාතිවලටයි. දැන් නං අපි මේවා වැඩියෙන් කන්නේ රෑට.

මේ කඩයප්පන් කියන්නේ වචනය දෙමල වචනයක් මයෙ හිතේ - ක@ඩෙ අප්පම්. අප්පම් කියන්නේ ආප්ප, ඉඳි ආප්ප හෙම නේ. උදේට කන්න කඩෙන් ගන්න පාං වලට කඩයප්පන් කියල කියන්නෙ නැත්තේ ඒ හින්දා වෙන්න ඇති.

කොහොම වුනත්, ඉස්සර අපේ ආච්චි බඩු මිල ගැන කතා කරන වෙලාවට නිතරම කියපු දෙයක් තමයි, ආච්චිල තරුණ කාලේ ආප්පයක් තුට්ටුවයි කියන කතාව. තුට්ටුව කියන්නේ ශත එක හමාරට, මට මතක විදියට.

එතකොට තුට්ටු දෙකක් කියන්නේ ශත තුනකට.

හැබැයි, ඒ එක්කම ආච්චි කියන දෙයක් තමයි, ඒ කාලේ පොලි ගෙඩියක් ශතයයි කියන එක.

ආච්චිට කාල වකවානු වැරදිලා නැත්තං, පොල් ගෙඩියක මිළ වගේ එක හමාරකට ආප්පයක් විකුණනන්න පුළුවන් වීම තුලින් අපිට ඒ කාලේ සේවා ආර්ථිකය ගැන යම් අදහසක් ගන්න පුළුවන්.

මේ තුට්ටුව කියන්නේ වටිනාකමින් ඉතාම අඩු කාසියක් බවට නං සැකයක් නෑ. අර "ඉස්සන් මගුරන්" සින්දුවෙත් තියෙනවානේ "තුට්ටවෙ වාසියවත් මට ලැබෙන්නෙ ඔහෙලා වගෙ අයගෙන්නේ!" කියලා.

අපි පොඩි කාලෙ මේ තුට්ටු දෙකේ කතන්දර ආච්චිල සීයල දැනගෙන හිටියට, ඒ කාසි භාවිතයේ තිබුණෙ නෑ. වටිනාකමින් අඩුම කාසිය වුනේ ශතය. ඒක හැඩයෙන් රවුං එකක්. ඊලඟට ශත දෙක, හැඩයෙන් නිකං මලක් වගේ. ශත පහ හරි හතරුස් කාසියක් කොන් හතර රවුම්. ශත දහය, මුලින් කීව ශත දෙක වගේ හැඩය හැබැයි ඊට වඩා ලොකුයි.

ඒ දවස්වල ශතයක වුනත් වටිනා කමක් තිබුණ. මට මතකයි අපි කන්න කැමති නාරං බික් කියන ලොසින්ජර ජාතිය එකක් ශතයයි. නාරං බික් කියන්නේ නිකං වූචි සීනි කෑල්ලක් විතරයි. ව්රැප් කරලා තිබුණු ටොෆියක් ශත පහක් ද කොහෙද?

කොහොමින් කොහෙමින් හරි මුලින්ම ශතයේ, ශත දෙකේ කාසිවල වටිනාකම නැතුව ගියා. හැම බඩුවක්ම ශත පහේ ගුණාකාරයක් වුණාම සල්ලි ගෙවන්න, ඉතුරු සල්ලි දෙන්න ඒව මොකටද?

ඊලඟට, ඒ ඉරණමම ලැබුණා ශත පහේ, දහයේ කාසිවලටත්. සේරම ගණු දෙණු වෙන්න පටන් ගත්තා ශත විසි පහේ ගුණාකාරවලින්.

ශත පහේ කාසිය දැකල නැති ළමයින් ගේ ප්‍රයෝජනයට තමයි ඔය උඩ පින්තූරේ දාලා තියෙන්නේ. පේනව නේද ඒකෙ අමුතු හැඩය?

අපේ හොඳ යාළුවෙක් හිටියා පොර ගේ මුණ නිකං හරි හතරැස් ෂේප් එකෙන්. නමුත් ඉතිං මුණක් නිසා පොඩි රවුම් ගතියකුත් තියෙනව. ඉතිං පොරට කාඩ් එකක් වැදුණ සත පහ කියල.

මේ ලඟදි පොරගේ ෆේස් බුක් ප්‍රොෆයිල් එක දැක්කහම මට තේරුණේ දැන් අවුරුදු දහයකට විතර පස්සෙත් ඒ ෆේස් කට් එක වෙනස් වෙලා නෑ නේද කියල.

ඒ එක්කම ආව ලොකු ප්‍රශ්ණයක්.

දැන් අපේ කාලේ තිබුණු ඒ ශත පහේ කාසි භාවිතයේ නැති හින්ද, මේ වගේ හතරැස් මූණු තියෙන දැන් කාලේ කොල්ලන් ට දාන්න හොඳ සරදම් නම මොකක්ද?

තාමත් හිතනවා, ඒ ගැන!

-කතන්දර

ප/ලි
කොණ්ඩෙ බූ ගැවට පස්සෙ මගේ ඔළු ගෙඩිය නං හරියට බිත්තරයක් වගේ ලු කියල කියනව කතන්දර හාමිනේ.