
අපේ
එක්තරා ඇන්ටි කෙනෙකු ගේ සහ එම
අංකල් ගේ එක් වීරයෙකු වූයේ ඉස්කෝලේ යන කාලේ ඉඳලාම මේ දෙන්නාම හොඳින් දන්න අඳුණන පොරක් වුණු සන්තියාගෝ අයියා යි.
මේ සන්තියාගෝ අයියා ඉස්කෝලේ යන කාලේ ජවන හා පිටිය මලල ක්‍රීඩා ශූරයෙක්ව ඉඳලා තියෙනවා. මා දන්නා කාලෙදීත් පොර බඩ රස්සාවට කළේ එක්කෝ අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ නැත්තම් ක්‍රීඩා අමාත්‍යාංශයේ වගේ තැනක ශාරීරික පුහුණු උපදේශකවරයෙක් විදියට වැඩ කරන එකයි.
සන්තියාගෝ අයියා ගේ ප්‍රිය බිරිඳ සන්තියාගෝ අක්කාත් ඒ වගේම ක්‍රීඩා ක්ෂේත්රයේ ම කෙනෙක් ද කොහෙද?
ඊටත් වඩා වැදගත් කාරණය වුනේ මේ යුවලගේ දරුවන් දෙන්නා ජාතික මට්ටමින් විවිධ ක්‍රීඩා ඉසවු වලට සහභාගී වුණු ශූරයෝ දෙන්නෙක් වුණු එකයි.
ඔන්න දවසක් අපේ ඇන්ටියි අංකලුයි ගිහින් සන්තියාගෝ ලා ගේ ගෙදර. ගිහින් දවල්ට කාලා හවස් වෙලා තමයි ඇවිත් තියෙන්නේ.
එදා ගමන ගැන පස්සේ වුනු කතාවකින් මං එක් වැදගත් දෙයක් ඉගෙන ගත්තා. ඒක බෝංචි උයන එක ගැන ලොකු වැදගත් රහසක්.
සන්තියාගෝ ලා ගේ ගෙදර තිබුණු බෝංචි කරියේ බෝංචි කෑලි බාගෙට අමුවට තමයි තිබිලා තියෙන්නේ. කිරි, මිරිස්, ලුනු රහ හෙම නිකං ලාවට ලාවට වගේ වදින්න.
එළවළුවල මුළු ගුණම ඇඟට ගන්න නම්, ඒවා තැම්බෙන්නම උයන්නේ නැතුව නිකං ලාවට අමුවට හැපෙන ගානට උයන්න ඕනෑයි කියලයි ශරීරවර්ධනය ගැන හෙම හොඳට ගැන දන්න කියන සන්තියාගෝ ලා අපේ ඇන්ටි ට කියලා දීලා තිබුණේ.
බෝංචිවලට විතරක් නෙමේ, කැරට්, බීට්, පලාවර්ග වගේ බොහොමයක් එළවලුවලට මේ කතාව අදාලයි!
අර "වඩේ බදිනකොට අඩුවෙන් බදින්න!" කියනවා වාගේ එළෝළු උයන කොට බාගෙට ඉදෙන්න තමයි උයන්න ඕනෑ.
ඇන්ටිගෙන් මේ කතාව ඇහැව්වයි කියලා
අපේ අම්මා නං එයා ගේ පාරම්පරික උයන ක්‍රමය වෙනස් කළේ නෑ. නමුත් මේ කතාව මගේ හිතේ ඇතුලේ තැන්පත්වෙලා තිබුණා මේ වෙන කොට
ලියා පල කරපු පන්සීය පනහක් කතන්දර සහ තවත් පන්සීයක් විතර ලියන්න තියෙන කතන්දරත් එක්ක.
දවසෙන් දවස, සතියෙන් සතිය, මාසෙන් මාසේ, වසරෙන් වසර කාලේ ගෙවිලා ගිහින් මංතුමා
ඒ-ලෙවල් කරලා,
පේරාදෙනියේ රස්තියාදු වෙලා,
බොසී ලා යටතේ
මැවිසුරුකම් කරලා,
තායිලන්තයේ මහන වෙලා ඉඳලා,
කසාද බැඳලා යනාදී සියළුම කරණං ගහලාත් තව අවුරුදු කීපයක් ගතවුණාට පස්සේ ඔන්න මට නොමිලේම වගේ ලැබුණා උයන පිහන කටයුතු ගැන පොඩි උනන්දුවක් ඇති කරගන්න චාන්ස් එකක්.
මං මුලින් උයන්න ඉගෙන ගත්තේ බත්, පරිප්පු වගේ සරල දේවල්.
පස්සෙන් පහු මං ටික ටික එක්ස්පරිමන්ට් කර කර පුරුදු වුණා අනිත් එළවලු වර්ගත්, මස් වගේ දේවලුත් උයන්න.
බෝන්චි උයන එක රෙසිපියක් මං කලින් දැම්මානේ, ඒක නං හැබැයි හාමිනේ ගේ එකක්.
මේ වගේ තවත් මං ඉගෙන ගත්තු බෝංචි හදන ක්‍රමයක් තමයි
තායිලන්තේ තියෙන ග්‍රීන් කරි එක. මේ කරිය හදන එකේ තියෙන ජොලිම වැඩේ තමයි කඩෙන් පැකට් එකක් අරගෙන කෙලින්ම හොද්ද ඒදන්න පුළුවන් හරියට අර
ඇන්ටි ටින් එකක් දානවා වගේ.
දෙතුන් දවසක් උයලා, හාමිනේ එක්ක ටේස්ට් කරලා වැඩේ හොඳට පුරුදු පුහුණු වුණාට පස්සේ, මං මේ තායි ග්‍රීන් කරි පැකට් එකක් දවසක් අරං ගියා අපේ අම්මයි තාත්තයි බලන්න ගිය දවසක එහේ.
එදා මගේ ප්ලෑන් එක වුනේ අම්මටයි තාත්තටයි මගේ අතින්ම උයලා කන්න දෙන්න. (අන්න බලන්න අපේ කාලේ හැදුණු
රත්තරං කෑලි වගේ පුතා ලා ගේ හොඳ වැඩ!)
ඔන්න ඉතිං, බත් ඉව්වා,
පරිප්පු උයලා තෙම්පරාදු කළා. කුකුල් මස් කරි එකකුත් හැදුවා. ඒ එක්කම මේ කියපු තායි ග්‍රීන් කරියත් හැදුවා බෝන්චිවලින්.
දැන් ඔන්න මේසේ සූදානම්. දෙකෙලවර දේශනාවට මඩුව මත්වුණා!
අපේ ගෙදර
පොර ළමයා තාත්තා නේ. පොර තමයි ඉස්සෙල්ලාම කන්නේ. තාත්තා ආවා, බෙදා ගත්තා බත් පොඩ්ඩකුයි, හොදි මාලුපිණියි, පොඩ්ඩ පොඩ්ඩ අනලා කන්න පටන් ගත්තා.
"මේ බෝංචි මාලුව හරියට ඉදිලා නෑ, අමුයි!" එක බෝංචි කෑල්ලක් හපපු තාත්තා කීවේ එච්චරයි.
බෙදාගත්තු බෝංචි ටික එහෙමම පිඟානේ පැත්තකට ඉතුරු කරළා අනිත් දේවල් එක්ක බෙදා ගත්තු බත් වලින් ටිකක් කාපු තාත්තා පිඟන් කොටේ එතන තියලා කුස්සියේ සින්ක් එකෙන් අත හෝදාගෙන යන්න ගියා.
තාත්තා කාලා ඉතුරු කරපු පිඟානේ කරපිංචා කොළ ටිකකුයි බත් කටවල් දෙක තුනකුයි එක්ක මගේ තායි ග්‍රීන් කරි බෝන්චි ටික දිලිසි දිලිසී තිබුණා.
අම්මා සුපුරුදු පරිදි කළේ තාත්තා ගේ බත් කොටේ ඉතුරු වෙලා තිබුණු දේවල්වලට තව බත් හැන්දකුත් දාලා, මස් හොඳි ටිකකුත් දාලා, කලවම් කරලා ගෙදර ඉන්න බූලා ගේ පිඟානට දාලා පිලිකන්නෙන් තියපු එකයි.
මං නං එදා තායි ග්‍රීන් කරි එක එක්ක රහ කර කර බත් කෑවා.
හවස් වරුවේ ගෙදර පිටිපස්සට පැත්තට ඇස් යොමු වෙච්ච වෙලාවේ තමයි දැක්කේ අපේ බූලා බල්ලා කරලා තිබුණු අළුගුත්තේරු වැඩේ!
ඌ පිඟානේ තිබුණු අම්මා කලවම් කරලා දාපු බත් ඇටයක් ඉතුරු නොකර, කරපිංචා කොලත් එක්කම කාලා තිබුණා.
පිඟානේ දිලිසි දිලිසී ඉතුරු වෙලා තිබුණේ, මගේ තායි ග්‍රීන් කරි එකේ බාගෙට තැම්බුණු බෝන්චි කෑලි ටික විතරයි.
-කතන්දරකාරයා
ප/ලි:
තායි ග්‍රීන් කරි රෙසිපිය පසු දිනක සිතුවම් සහිතව පල කෙරෙනු ඇත.
ප/ප/ලි:
බෝංචි ඇට ගැන මං ලියපු කතන්දරය මතකද?
http://kathandara.blogspot.com.au/2010/09/blog-post_24.html