Sunday 30 March 2014

දරු දුක කියන්නේ දරුවන් ගෙන් ලැබෙන දුක ද නොහොත් ලෝකෙන්ම පජාති දුක! - Parenting - What not to do


සාමාන්‍යයෙන් නම් "දරු දුක" කියන්නේ දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ගේ හදවතේ ඇති වෙන දුකයි.

දරුවන්ට ලෙසක් දුකක් හැදුණාම, දරුවන් අනතුරක වැටුණාම, දරුවන් තාවකාලිකව හෝ තමන් අතහැරලා ගියාම, එහෙමත් නැත්නම් අකාලයේ වියෝ වුණාම දෙමව්පියන් කම්පාවට පත්වෙන එක, දෙමව්පියන්ට "දරු දුක" දැනෙන එක, සාමාන්‍ය මනුශ්‍ය ස්වභාවයක්.

දරුවන් නැති අයටත් ඒ නැති නිසාම "දරු දුක" දැණෙනවා.

මට හිතෙන්නේ "දරු දුකේ" තවත් ප්‍රභේදයක් තියෙනවාය කියලයි. ඒක තමයි, දරුවන් ගේ නොකටයුතුකම් නිසා, දරුවන්ගෙන් සිදුවෙන කරදර නිසා දෙමව්යන් ඇතිවන සැබෑ දුක!

මං පෙරේදා දාපු විෂම චක්කරයේ පෝස්ටුවට අදාල දෙවෙනි කතන්දරයයි මේ.

මේ කියන වැඩිහිටි දෙමව්පියන් යුවලට පුතුන් දෙන්නෙක් හිටියා. ලොකු පුතා රජයේ එක්තරා සේවයකට බැඳී එතැනින් උසස්වීම් ලබා ඉහල තත්වයක රැකියාවක් කරන්නේ මේ වන විට. ඔහු විවාහ වී සිය පවුල සමග ජීවත්වෙන්නේ තමන් ගේ නිල නිවාසයේ යි.

පුද්ගලික අංශයේ කම්හලක රැකියාව කළ තාත්තා පැන්ෂන් අරගෙන ඒ මුදලින් තමන්ගේ ගේ තරමක් හොඳට හදා ගත්තා. මේ කාලය වෙනකොට පොඩි පුතාත් කසාද බැඳලා බිරිඳ සමග ඒ නිවසේ ම පදිංචියට ආවා.

කොහෙමටත් සිංහල සිරිත අනුව ගේ හිමිවෙන්න තිබුණේ බාල පුතාටයි. ඔවුන්ට තිබුණු එකම දේපල ඒ පරචස් දහයක පමණ ගම්බද ඉඩම් කෑල්ල නිසා ලොකු පුතාට කිසිවක් හිමිවුණේ නෑ. මං දන්න තරමින් ගෙය සහිත ඉඩම පොඩි පුතා ගේ නමට ලිව්වා ජීවිත බුත්තිය සමග.

වයසක තාත්තයි අම්මයි ගෙදර මහන මැෂිමක් තියාගෙන ඔය පමුණුවේ කර්මාන්ත පුරයට අදාල ගෘහ කර්මාන්තයක් කරන්න පටන් ගත්තා, එදා වේල හොයා ගන්න.

ටික දවසකින්ම ලේලි සහ නැන්දම්මා අතර ප්‍රශ්ණ, ආරවුල්, අඩදබර ඇතිවෙන්න පටන් ගත්තා.

මං දන්නේ නැන්දම්මා ගේ පැත්ත විතරයි. ඇය කියන විදියට තව දුරටත් එකම ගෙදර ඉන්න, එක කුස්සියේ උයාගෙන කන්න, තමන්ගේ රෙදි මහන සුළු කර්මාන්තය කරන්න බැරි තත්වයකට පත්වුණා.

පුතා ඉතිං ගන්නේ තමන්ගේ බිරිඳ ගේ පැත්ත නේ!

අම්මයි තාත්තයි කොහේ කියලා යන්නද? ඒ දෙන්නා කෙරුවේ තමන් ගේ ගෙදර පැත්තකින් එක බිත්තියකටම අල්ලලා පොඩි හට් එකක් වගේ කාමරයකුයි, කුස්සි කෑල්ලකුයි ලීයෙන් හදාගෙන ඒකට පදිංචියට යන එකයි.

මං දන්නා තරමට අන්තිමේ දී එතැනත් ඒ විදියට තමන්ගේ පාඩුවේ ඉන්න බැරි තත්වයක් ඇතිවෙන්න ඇති.

මේ අතරතුර, මේ ජෝඩුව දන්නා කියන ගෙදරක හිටිය තවත් වයසක ජෝඩුවක ස්වාමි පුරුෂයා මිය ගියා. ඒ වැන්දඹු අම්මාට එතැන් සිට තනියම ඒ ගෙදර ඉන්න බැරි නිසා, මේ කතානායක ජෝඩුවට ආරාධනාවක් ආවා එහේ ඇවිත් නතර වෙන්නය කියලා!

වැඩිහිටි අම්මා කෙසේ වෙතත් සමහර විට තාත්තාගේ වැඩි කැමැත්තක් නැති වෙන්න ඇති තමන් ගේ ඉඩමෙන් පිටවෙලා යන්න. කොහොම නමුත් අන්තිමේදී මේ දෙන්නා ඒ ලැබුණු ආරාධනාව පිළිගත්තා.

නමුත් අළුත් ගෙදර පැත්තක පදිංචියට ගිහින් තමුන් ගේ කර්මාන්තෙත් කරගෙන අවුරුද්දක්වත් ඉන්න ලැබුණේ නෑ, මේ තාත්තා මියගියා!

දැන් මොකද කරන්නේ?
කොහේද මිනිය තියන්නේ?
කොහේද මළගෙදර ගන්නේ? පාංශුකූලය දෙන්නේ? මලබත උයන්නේ?

මේ තාවකාලික නවාතැනේ ද? තමන්ගේ පැල් කොටේ ද? දැන් පොඩි පුතා අයිතිකරගෙන ඉන්න තමන්ගේ නිවසේ ද? නැතිනම් ලොකු පුතා ගේ නිල නිවාසයේ ද?

ලොකු පුතා ගේ නිල නිවසට මිනිය ගෙනියන්න බෑ. ලෑලි පැලේ මිනිය තිබ්බොත් කොහොමද පුතා ලාගේ යාළුවන්ට හෙම මරණේ කියන්නේ? මොන විලිලැජ්ජාවක්ද තමන් ගේ තාත්තා ඒ වගේ ලී පැලක ඉන්නවාය කියන එක?

අන්තිමේදී ඒ පියා ගේ අවසන් කටයුතු කෙරුණේ මේ නවාතැන් ගත් නිවසේදීයි.

පුතා ලා, ලේලි ලා, පුතාලාගේ ලොකු ලොකු යාළුවෝ ඇවිත් මිය ගිය පියාට අවසන් බුහුමන් දක්වලා සිත් සන්තොසින් ආපහු ගියා!

දරුවන් දෙමව්පියන්ට දෙන දරුදුක එලෙසයි!

මේ කතන්දර දෙකේ එක එක සුවිශේෂී කරුණු කාරණා තියෙන්න පුළුවනි, නමුත් මං මේවා ලියන එකෙන් අදහස් කෙරුවේ අපේ සමාජයේ තියෙන මේ දෙමව්පියන් අමාරුවේ වැටෙන වි’ෂම චක්කරය ගැන මගේ මතය කියන්න අඩිතාලමක් හදාගන්න එකයි.

1. දරුවන් මෙලොවට බිහි කළා නම්, ඔවුන් බලා කියා ගැනීම, කන්න, බොන්න, අඳින්න දීම, ඔවුන්ට හරි මග පෙන්නා දීම, ඉගෙනුමට ඉඩ සැලසීම දෙමව්පියන් ගේ වගකීමකි.

2. දරුවන් වැඩිහිටි වයසට පත්වූ විට තම තමන්ගේ කාරණා කටයුතු ස්වාධීනව කර ගැනීම දරුවන් ගේ මූලික වගකීමයි. එය දෙමව්පියන් ගේ මූලික යුතුකම්වලින් පරිබාහිර වේ.

3. දෙමව්පියන් ගේ වගකීම විය යුත්තේ තමන් ට තව දුරටත් ආදායමක් උපයා ගැනීමට නොහැකි අබල දුබල තත්වයට පත් වූ පසු ජීවත්වීම සඳහා සම්පාදන සපයා ගැනීමයි.

4. දෙමව්පියන් තමන් ගේ දේපල, උපයාගත් දේ, අතමන්ගේ අර්ථසාධක අරමුදල වැනි දේ දරුවන්ට බෙදා දීම තමන් ජීවත්වන කාලය අතරතුර කිසිසේත් ම නොකළ යුතුය.

5. ඒ වෙනුවට ඔවුන් කළ යුත්තේ තමන් ගේ දේපල තමන් ගේ මරණයෙන් පසු කාට කොයි ලෙස හිමිවිය යුතුද යන්න ගැන අවසන් කැමති පත්‍රයක් ලියා තැබීමයි.

6. තමන්ගේ දේපල, ධනය තම දරුවන්ට දී, පසුව ඔවුන්ගෙන් තමන්ට සැලකිලි බලාපොරොත්තු වී, ඒ අපේක්‍ෂා කඩවී විඳින "දරු දුක" තරම් වෙනත් පජාති දුකක් මෙලොව නැතිවා විය යුතුය.

-කතන්දරකාරයා

ප/ලි:
පසුගිය කතන්දරට අදාලව අදහස් දැක්වූ සැමටත් මේ කතන්දරය කියවන, අදහස් දක්වන ඔබ සැමටත් ඉතා ස්තුතියි.

(image: http://gossiplankalive.blogspot.com.au/2013/12/ajasaththa-sinhala-film.html)

Friday 28 March 2014

පිටුදැක අවසන් කළ යුතු විෂම චක්කරය - Stop it right there!


දැන් අවුරුදු දෙකකට කලින් මං මේ බ්ලොග් එකේ තේරවිල්ලක් පල කළා. ඒක ඔරිම ඔරිජිනල් එකක් හින්දා අපේ කෂ්ටියට තෝරන්න සෑහෙන කාලයක් ගියා. මෙන්න ඒක කතන්දරේට පාර.
http://kathandara.blogspot.com/2012/01/original-riddle-from-kk.html

ඒ තේරවිල්ලෙන කියවුණේ පරම්පරාවෙන් පරම්පරාවට යන චක්කරයක් ගැනයි.

අද මං මේ කියන්න යන්නේත් ඒ වගේම චක්කරයක් ගැනයි.

හැබැයි මේක විෂම චක්කරයක්. අප විසින් පිටු දැක අවසන් කළ යුතු විෂම චක්කරයක්!

මෙන්න මං කියන්න යන පළමුවෙනි කතන්දරය.

මේ කියන දෙමව්පියන්ට ළමයි තුන් දෙනෙක් හිටියා. තාත්තා ෆෑක්ටරියක කම්කරුවෙක් විදියටයි වැඩ කෙරුවේ. තාත්තා පැන්ෂන් යන කොට (දැන් අවුරුදු දහයකට විතර කලින්) බාල කොල්ලා හැර අනිත් දෙන්නා විවාහ වෙලා ළමයි පවා ඉන්නවා. බාලයා ගෙදරමයි හිටියේ. හරි හමං ජොබ් එකක් තිබුණේ නෑ.

තාත්තට ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එක ලක්‍ෂ දහයක් විතර ලැබුණා. ඒකෙන් ටිකක් වියදම් කරලා ගෙය තරමක් පිළිසකර කර ගත්තා. ඉතුරු සල්ලිවලින් ළමයි තුන් දෙනාට ලක්‍ෂ දෙක ගානේ දුන්නා.
අනිත් ලක්‍ෂ දෙක සේවින්ග්ස් බැංකුවේ දාලායි තිබුණේ, වැඩි පොලී ලැබෙන ගිණුමක.

අවුරුදු දෙකක් විතර ගියාම මේ තාත්තා හදිසියේම මැරුණා. හදවත් රෝගයක් ද කොහෙද. ඊට පස්සේ අම්මාට තමයි අර බැංකුවේ තියෙන ලක්‍ෂදෙක හිමිවුණේ. හැමදාම පොලිය ගත්තු හින්දා ඒක තාමත් ලක්‍ෂ දෙකයි.

ටික දවසකින් පොඩි පුතාට ඕනෑ වුණා රට ජොබ් එකකට යන්න. ඉතාලියෙද, කොරියාවෙද කොහෙද! වැඩේ සේරම සෙට්. කරන්න තිබුණු එකම දේ තමයි රුපියල් ලක්‍ෂ තුනහමාරක් දෙන එක ඒජන්ට්කාරයාට.

පුතාගේ සල්ලියි, අම්මාගේ සල්ලියි දාලා ඒක ගෙවලා දැම්මා. පුතා මාස දෙක තුනකින් ඒ ගාන පඩියෙන් ඉතුරු කරගන්න තමයි ප්ලෑන් කරගෙන හිටියේ.

එහෙම ඉතුරු කරගන්න වුණත් ඉඩ තිබුණා, හැබැයි ඒ ජොබ් එකට රට යන්න ඇත්තටම ලැබුණා නම්!

අන්තිමේ දී වුනේ පුතාගේ මදිවට අම්මාගෙත් තිබුණු තුට්ටු දෙකට කෙලවීම විතරයි.

දැන් අම්මට ජීවත් වෙන්න ක්‍රමයක් ඇත්තෙම නෑ. බැඳලා ඉන්න ළමයි දෙන්නට කියල එහෙමත් ආදායමක් නෑනේ.

තාත්තා ජීවිත කාලයක් වැඩකරලා ලබා ගත්තු ලක්‍ෂ දහයේ අර්ථසාධක අරමුදලම ඉවරයි. තාත්තා නම් මිය ගිය නිසා බේරුණා.

ජීවත් වෙන අම්මා තමයි දුක් විඳින්නේ! ගේ එක්ක ඉඩං කෑල්ල තිබුණට ඒක විකුණලා ජීවත් වෙන්නයැ. කොහොමටත් ඒ පර්චස් දහයේ කෑල්ලත් පොඩි පුතාට ලියලයි තියෙන්නේ!

මේක මං මුලින් කියපු විෂම චක්කරය ගැන තරමක් හොඳ උදාහරණයක්.

දෙමව්පියෝ වැඩ කරන කල් තමන් උපයා ගන්න දේවල් දරුවෝ වෙනුවෙන් වැය කරනවා. පැන්ෂන් අරමුදලත් දරුවන්ටම දෙනවා. තියෙන බිම් අඟලත් ලියලා දෙනවා

අන්තිමේදී දෙමව්පියන් අසරණ වුණාම කාගේ පිහිටක් ද?

මට මතක් වුනේ අර බච්චන් ජෝඩුව රඟ පෑ බාග්බාන් හින්දි චිත්‍රපටියයි.

මගේ හිතවතෙක් වෙන රශ්මි කුරුකුලසූරිය නවකතාවකුත් ලියන්න ගියා ඒ ගැන!

-කතන්දරකාරයා

ප/ලි:
දෙවෙනි කතන්දරේ අනිද්දාට දාන්නම්. ඒක නම් මෙහෙම නොවෙයි සෑහෙන්න දුක එකක්!

එතකල් මෙන්න මේ කතන්දරේ බලන්න. මේකේ කියවෙන්නේ බල්ලෙක් වගේ පුතෙක් ගැනයි!
http://kathandara.blogspot.com/2013/08/believable-unbelievable.html

(image: http://www.express.co.uk/news/uk/396345/Why-4-in-10-won-t-get-an-inheritance)

Wednesday 26 March 2014

අපේ අයියලා ගේ (සහ නංගිලා ගේ) හෝමෝෆෝබියාව - One step forward, two steps backward?


මේ දිනවල ලෝක ශූරතා විස්සයි විස්සේ ක්‍රිකට් තරගාවලිය බංගලාදේශයේ දී පැවැත්වේ. කලාතුරකින් ක්‍රිකට් මැච් නරඹන, ඊටත් වඩා කලාතුරකින් ක්‍රිකට් ක්‍රීඩා කරන මා එසේ කලාතුරකින් ක්‍රීඩාකරන විට පා දඟ පන්දු යවන්නේ වමතිනි. පන්දුවට පහරදෙන්නේ ද වමතිනි.

වමත් පිතිකරුවන් සහ පන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහ වෙනත් ජාතික කණ්ඩායම්වල ද සිටියද ඒ සුළුතරයකි.

බහුතරයක් ක්‍රිකට් ක්‍රීඩකයෝ මෙන්ම ලෝකයේ බහුතරයක් පුද්ගලයෝ ද දකුණත්කාරයෝ ය. මා ද පෑනකින් පැන්සලකින් ලියන්නේ දකුණු අතෙනි. බත් කන්නේ ද දකුණතිනි.

වමත් පිතිකරුවෙක් දැකීම අපට අද අරුමයක නොවේ. නමුත් වමතින් බත් අනා කන්නෙකු දකින අපට සමහර විට එය අප්‍රසන්න දර්ශනයක් වීමට තරමක හෝ ඉඩක් ඇත.

දිගු කලකට ඉහත වමත හුරු අය හඳුණාගෙන ඇත්තේ සාතන් ගේ පුතුන් ලෙස බව අසා ඇත්තෙමි. පුරාණ යුගවල දී ඔවුන්ට එක්කෝ මරණය නැතිනම් දකුණු අතට මාරුවීම තෝරා ගන්නට සිදුවී ලු!

වාමාංශිකයින් ලෙස සමාජවාදීන්ව හඳුන්වන්නේත්, රයිට් යන ඉංගිරිසි වචනයේ දකුණට අමතරව නිවරදිය යන අරුත ඇත්තේ ද ඒ නිසාය.

අපේ කාලයේ, අපේ රටේ ද මා ද ඇතුළුව වමත්කාරයින්ගෙන් සමහරු දකුණතින් ලියන්නට පුරුදු වී සිටින්නේ තම දරුවන් වමත්කාර යැයි නොදැන ඔවුන්ගේ දකුණතට පැන්සල දුන් දෙමව්පියන් නිසාය.

වමතෙන් කෑම මොහොතකට අමතක කරමු. බිත්තරයක් කනවා නම් සාමාන්‍යයෙන් බුල්ස් අයි හෝ ඔම්ලට් හෝ හදා හෝ අඩුතරමින් ෆුල්බොයිල් කර හෝ කන මට දිගු කළකට පෙර දිනයක හාෆ් බොයිල් කළ බිත්තරයක් බත් පිඟානට කඩා දාගෙන බිත්තර සාරු සමග බත් අනමින් කන අයෙක් දුටු විට ඇතිවුණේ තරමක අපුලකි.

මෙයින් හැඟෙන්නේ අපට වඩා වෙනස් ආකාරයක හැසීරීමක් දුටු විට ඒ ගැන අපට අඩු වශයෙන් අසීරු හැඟීමක් හෝ ඇතිවෙන බවයි. හැකිනම් ඔවුන්ව අප මෙන් හදාගන්නට අපට සිතේ. එසේ කළ නොහැකිවූ විට ඔවුන්ට වෙනස් ආකාරයකට සළකන්නට අපි ඇතැම්විට පෙළඹෙමු.

අපට වඩා වෙනස් අය කෙරෙහි අපේ සිත තුල ඇතිවන ඒ හැඟීම බොහෝවිට බියකි, අනවශ්‍ය ෆෝබියාවකි.

මිනිස් සත්වයා පෙළෙන ෆෝබියා විශාල සංඛ්‍යාවක් වේ. වෙනත් සංස්කෘතියකට අයිති පිරිසක් ගැන, වෙනත් ආගමකට අයිති පිරිසක් ගැන පවා අපට ෆෝබියා තිබිය හැක. අප අතර එවැනි ෆෝබියා විටින් විට ඉස්මතු වෙන බව නොරහසකි.

මා දන්නා පරිදි මේ විවිධ ෆෝබියවලින් දරුණුම ෆෝබියාව නම් හෝමෝෆෝබියාවයි.

හෝමෝෆෝබියාව යන්නෙන් අදහස් කෙරෙන්නේ විෂම ලිංගික චර්්‍යාවන් ඇති අය ගේ සිත් තුල සමලිංගික හෝ වෙනත් විෂම ලිංගික නොවන චර්යාවන් ඇති පුද්ගලයින් කෙරෙහි එක්කෝ අනියත බියක් නිසා හෝ නැතිනම් විවිධ ආගමික අන්ධ විශ්වාසයන් නිසා ඇතිවන විරෝධය, වෛරය, අපහාසය, අවමානය, පිළිකුල, එදිරිවාදිකම, ජුගුප්සාව යනාදී මෙකී නොකී සෘණාත්මක ආකල්ප සමුදායටයි.

මෙය ප්‍රාඨමික ගණයේ මිනිස් හැසිරීමකි. එනිසාම, ශිෂ්ඨත්වයේ සහ මිනිසත්කමේ වැඩි දියුණුවත් සමගම අප අතරින් තුරන් වී යා යුතු අශීලාචාර දෙයකි.

විෂම ලිංගික නොවන ගේ, ලෙස්බියන් සහ ට්‍රාන්ස්ජෙන්ඩර් සුළුතර ජනකොටස් ලෝකයේ බොහෝ රටවල තමන්ගේ ලිංගිකත්වය නිසාම පීඩාවට පත්වී සිටිති.

වාසනාවකට මෙන් ලංකාවේ තත්වය ලෝකයේ ඇතැම් පසුගාමී රටවල් මෙන් දරුණු නැත. එසේ වුවද, වික්ටෝරියානු යුගයේ සිට පැවතෙන විවිධ මර්ධන නීති තවමත් අපේ රටේ පවතී.

මර්ධන නීති කෙසේ වුවද, සුළුතර ජනකොටසකට, ඒ නිසාම මුහුණ පාන්නට සිදුවෙන අකටයුතු, අසාධාරණකම් රාශියක් තිබිය හැක. ගේ, ලෙස්බියන් යනාදී සමලිංගික ජනකොටස්වලට සමාන අයිතිවාසිකම් ලබාදීම වෙනුවෙන් අප පෙනී සිටිය යුත්තේ එහෙයිනි.

සමලිංගිකයින් ගේ අයිතිවාසිකම් ගැන කතාකරන අයද සමලිංගිකයින් පමණක්මය කියා සිතීමද මා පෙර කී හොමෝෆෝබියාවේ ම කොටසකි.

හරියට සුළු ජාතියක ගේ ප්‍රශ්ණ ගැන කතාකරන්නවුන් සුළු ජාතිකයින් යැයි සිතනවා සේ ය. එසේත් නැති නම්, කාන්තාවන්ට සමාජයේ මුහුණ දෙන්නට වෙන ප්‍රශ්ණ ගැන කතා කරන්නට නම් කාන්තාවක්ම විය යුතුයැයි සිතනවා සේ ය.

අපේ මහජාතියේ එකෙක් කුමට සුළු ජාතිකයින් ගැන කතා කරන්නේද? අපේ පිරිමියෙක් කුමට කාන්තා ප්‍රශ්ණයක් ගැන කතා කරන්නේද?

සමලිංගිකයින් ගේ අයිතිවාසිකම් ගැන කතාකරන අයද සමලිංගිකයින් පමණක්මය කියා සිතීම ද ෆෝබියාවක් වෙන්නේ ඒ ආකාරයට ය.

අද වෙනත් කතන්දරයක් නැත. ඔය බයිලාව පමණි.

-කතන්දරකාරයා

ප/ලි:
මේ කතන්දරත් බලන්න.

1. සමලිංගික ("ගේ" සහ "ලෙස්බියන්" ලා ගේ) අයිතිවාසිකම් ගැන මගේ අදහස් - My two cents worth about the rights of Homosexuals
http://kathandara.blogspot.com/2013/08/my-two-cents-worth-about-rights-of.html

2. සමලිංගිකතාව ස්වාභාවික ප්‍රවණතාවයකි – ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන :: Homosexuality is a natural tendency - Dr Granville Dharmawardena
http://kathandara.blogspot.com/2011/08/homosexuality-is-natural-tendency-dr.html

3. සිංහල ලෙස්බියන් සින්දුව දන්නවාද? A Sinhala Lesbian Song?
http://kathandara.blogspot.com/2010/12/sinhala-lesbian-song.html

4. බැන්කි මූන් ගේ බටහිර අධිරාජ්‍යවාදී ගේ-ලෙස්බියන් සමරිසි කුමන්ත්‍රණය - කතන්දකාරයා ගේ සමාජමාමක හෙලිදරව්වකි :: Ban Ki Moon's gay-lesbian conspiracy revealed!
http://kathandara.blogspot.com/2012/02/ban-ki-moons-gay-lesbian-conspiracy.html

5. අපේ අයියලා ගේ ලෙස්බියන් භීතිකාව නොහොත් සිංහල බෞද්ධ ලේබල්කරුවන් ගේ ප්‍රලාප - What's wrong with being Gay or Lesbian?
http://kathandara.blogspot.com/2011/11/whats-wrong-with-being-gay-or-lesbian.html

6. සමලිංගික පරබල්ලා! - Homosexual Pariah dog
http://kathandara.blogspot.com/2013/02/homosexual-pariah-dog.html

7. ගෑණු නොරිස්සූ සිරි කාලකණ්ණි පිංගුත්තරයා සමරිසි "ගේ" පොරක් ද? - Was Pinguththara gay?
http://kathandara.blogspot.com/2013/10/was-pinguththara-gay.html

8. ටැබූ සබ්ජෙක්ට්ස් සින්දුවක්! - A taboo subject song
http://kathandara.blogspot.com/2010/11/blog-post.html

9. ටින් ටින් ටොයියා සහ සමරිසි ටින් ටින් - Is Tin Tin Gay?
http://kathandara.blogspot.com/2013/09/is-tin-tin-gay.html


(image: http://www.huffingtonpost.com/rev-dr-nancy-wilson/international-day-against-homophobia-and-transphobia_b_3285467.html)

Monday 24 March 2014

බඩගිනිවෙලා මා ගිය කල පුතුගෙ ගෙට - Childhood story-time


ඒ කාලේ මට අවුරුදු හතක් විතර ඇති. ඒ කියන්නේ මගේ මල්ලිලා ට වයස හයක් සහ හතරහමාරක් වගේ ඇති.

එදා රෑ අපේ අම්මා කුස්සියේ උයමින් හිටියා. අපේ තාත්තාගේ මහ ගෙදර කුස්සිය කියන්නේ පොඩි කාමරයක් නිකං අඩි 8x12 වගේ. ඒකේ එක පැත්තක බිම ලිප් තුනක් හදලා තිබුණා. උඩින් තිබුණේ ලීවලින් හදලා තිබුණු දුම. ඒ දුමේ තමයි හැලිවලං තිබුණේ.

කුස්සියේ අනිත් පැත්තේ මුළු ඉඩම පිරෙන්න ලොකු ලී පෙට්ටියක් තිබුණා අපේ තරමටම උස. ඒ පෙට්ටියේ තිබුණේ ආච්චී ගේ කුඹුර වගා කරලා ලබා ගන්න වී අස්වැන්නයි.

ඔය වී තිබුණු පළියටම බත් කන්න බෑ නේ. වී මුලින්ම තම්බබලා හොඳින් වේලාගන්න ඕනෑ. ඊට පස්සේ ඒවා වී මෝලට අරගෙන ගිහින් කොටාගෙන හාල් බවට පත්කරගෙන එන්න ඕනෑ. ඊළඟට ඒවා පොලලා හුණුහාල් සහ දහයියා අයින්කරන්න ඕනෑ. ඊටත් පස්සේ තමයි හාල් ගරලා, ගල් තියෙනවා නම් අයින් කරලා, උයන්නේ!

මීට අමතරව තිබුණේ පිඟන් රාක්කය, බිම තිබුණු මිරිස් ගල සහ හිරමණය සහ බංකු දෙක තුනක් විතරයි. කුස්සියේ වැඩ කෙරුණේ එක්කෝ බංකු හිරමණවල ඉඳගෙන නැතිනම් ඇණ තියාගෙන.

මේ කියන වෙලාවේ අම්මා පොල් ගැම, පොල් කිරි මිරීකම, හොඳි ඒදීම, ලිපේ තිබුණු බත් හැලියට ගින්දර දැමීම වගේ වැඩ කරමිනුයි හිටියේ.

මල්ලිලා දෙන්නා බංකුවල වාඩි වී සිටියා. මං කුස්සියෙන් එළියට යන දොරට හේත්තු වෙලා හිටියා.

අපි තුන් දෙනාම මේ ඉතා උනන්දුවෙන් මේ අහගෙන ඉන්නේ අම්මා කුස්සියේ වැඩ අතරතුර අපට කියන කතන්දරයයි.

ඔන්න අම්මා කතන්දරේ කියනවා.

"එක පවුලක හිටියා තාත්තයි අම්මයි ළමයි තුන් දෙනෙකුයි. මේ තාත්තා හොඳටෝම ලෙඩ වුණා. ඉතිං රස්සාවක් කරලා සල්ලි හොයාගන්න බැරි නිසා මේ ගොල්ලන්ට ගෙදර කන්න දෙයකුත් තිබුණේ නෑ."

"තාත්තාට අසනීප නිසා කැඳ තමයි හදලා දෙන්නේ. මේ අම්මා හිතුවා ලඟ ගෙදරකින් හාල් ටිකක් ඉල්ලා ගෙන එන්න තාත්තාට කැඳ උයන්න."

"කැඳ හදපුවාම ඒකේ බත් ඉතුරු වෙනවානේ. ඒ බත් මේ ළමයින්ට කන්න පුළුවනි ලුනු ටිකක් ඉහගෙන."

"ඉතිං ඒ අම්මා මෙන්න මෙහෙමයි ඒක කවියකින් කිව්වේ."
ලෙඩ වුණු තාත්තට කැඳ හදලා දෙන්න
හාල් මනාවක් ඉල්ලා ගෙන එන්න
යනවා මාත් කන්දේ ගෙදරට ඔන්න
හවසට හැකි වේවි උඹලට බත් කන්න
මේ කවිය අහලා ඉවරවෙන කොට අපේ ඇස්වල කඳුළු පිරිලා කඩාගෙන වැටෙන්න ඔන්න මෙන්න.

අම්මා ඊලඟට කිව්වේ මෙන්න මේ කතාවයි.

"ඔන්න මේ වගේ එක අම්මා කෙනෙක් හිටියා. එයා වයසට ගිහින් තනියමයි ජීවත් වුනේ. ඒ පවුලේ තාත්තා නෑ. පුතාලා දෙන්නා වෙනම ගෙදරක හිටියා. දවසක් මේ අම්මාට හොඳටම බඩගිණියි. ඒත් කන්න දෙයක් ගෙදර තිබුණේ නෑ."

"ඉතිං මේ අම්මා බෙහොම අමාරුවෙන් අර පුතාලාගේ ගෙදරට ගියා කන්න මොකුත් ඉල්ලා ගන්න."

"අම්මාට දැකපු පොඩි පුතා කෙරුවේ මල්ලකට වී කිලෝ දෙකක් මැනලා දෙන එකයි."

"අනේ! මේ අම්මා දැන් මොනවද මේ වීවලින් කරන්නේ. වී තම්බලා, වේලාගෙන, කොටලා, හාල් හදාගෙන, ඒවා පොලලා, ගරලා, උයලා කනකං අම්මාට බඩ ගින්නේ තමයි ඉන්න වෙන්නේ."

"අම්මාට මතක් වුණා එයා මේ පුතාලා පොඩි කාලේ කන්න බොන්න හදලා දීලා ආදරයෙන් බලාගත්තු හැටි."

"ඉතිං එයා මෙන්න මේ කවිය කිව්වා."
බඩගිණිවෙලා මා ගිය කල පුතුගෙ ගෙට
මැනලා වී දෙකක් දුන්නයි මල්ලකට
ගන්දෝ නොගන්දෝ කියලා හිතුණි මට
මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට
මේ කවිය අහලා ඉවරවෙනකොට මල්ලිලා දෙන්නයි, මායි තුන් දෙනාම අඬනවා.

අපේ අම්මා ඔය සෙට් එකේ ඉතුරු කවි තුනත් (ලේලිගේ කවිය, පුතා ගේ කවිය, අයියාගේ කවිය) අපිට කිව්වා සම්පූර්ණ කතන්දරේත් එක්කම විස්තර කරලා.

ඊළඟට අම්මා අපෙන් මෙහෙම ඇහැව්වා.

"හොඳයි, කවදා හරි මං වයසට ගිහිල්ලා ඔය තුන්දෙනා ලොකුවෙලා වෙනම ගෙවල්වල ඉනන දවසක මං බඩගිණි වෙලා ආවොත් මොනවද ඔයාලා මට දෙන්නේ?"

ඉස්සෙල්ලාම උත්තර දුන්නේ මගේ බාල මලයායි.

"මං වී කොටලා ගත්තු හාල් දෙනවා!"

මොකද එතකොට අර වී තම්බලා, කොටලා හාල්කරන අමාරු වැඩේ කරන්න ඕනෑ වෙන්නේ නෑ නේ අම්මාට, ඒකයි මලයාගේ හතරහමාරක පොඩි හිතට එහෙම හිතිලා තියෙන්නේ!

-කතන්දරකාරයා

ප/ලි:
මේ කතාව 2011 පෙබරවාරියේ ලියන්න සැළසුම් කළ මගේ වෙන්ඩ කතන්දර සීයෙන් එකක්. අදයි ලියන්න අවස්ථාව ලැබුණේ.

(image: http://www.etsy.com/market/three_sons)

Friday 21 March 2014

මැදිවිය යනු කුමක්ද? - What is the middle age?


මට මැදිවිය යනු කුමක්ද කියන ප්‍රශ්ණය තදින්ම යලිත් හිතුණේ ඊයේ මං සඳහන් කරපු මියගිය පීටර් පෙරේරා ගේ "මැදිවිය ද තරුණය!" කියන බ්ලොග් එකේ නම හින්දයි.

මට මතකයි මං පුංචි කාලේ අපේ තාත්තා ගේ, බාප්පලා ගේ වයසට මාත් කවදා හරි පත්වෙනවා නේද කියලා ගැන හිතුණාම බුදු අම්මෝ කියලා කියනවා. දැන් මගේ ඒ කියන වයසටත් වැඩිය වැඩිමල්, වයස දොළහක් වෙන මගේ පුතාටත් මං ගැන එහෙම හිතෙනවා විය යුතුයි.

නමුත්, දැන් තමයි ඇත්තටම හිතෙන්නේ ඒ මොන විහිළුවක් ද කියලා!

මොනවා වුනත් මේ මැදිවිය කියන්නේ මොකක්ද?

මං ඒ කාලේ හිතුවේ වයස 32 දී තමයි මැදිවියට එළැඹෙන්නේ කියලා. මගේ 32 වෙනි උපන් දිනය දා මට පොඩි දුකකුත් නොදැනුණා නොවේ!

නමුත් ඉතිං අපේ උපරිම වයස අවුරුදු සියක් නම්, මැදිවිය කියන්නේ අවුරුදු පනහ නොවේද කියලා පස්සේ හිත හදා ගත්තා.

පීටර් පෙරේරා ගේ දුක්බර ආදර කතන්දරය නැවත නැවත කියවන කොට මට තේරුණා මේ බ්ලොග්කරුවා මිය ගොස් ඇත්තේ ඒ තරම් වයසකින් නොවන බව. බොහෝ දුරට පේන්නේ මැදිවිය යන්න අවුරුදු හතලිහක් වගේ කියා ඔහු අර්ථ දක්වා තියෙන බවයි.

අවුරුදු හතලිහ මැදිවිය නම්, සම්පූර්ණ විය අවුරුදු අසූව විය යුතුයි නේද?

ඒ මොනවා වුණත් මට ඒ එක්කම මතක්වුණේ අවුරුදු හතලිහක් වයස කෙනෙක් අතින් ලියවෙන්නට ඉඩ තියෙන එක්තරා කවියක්.

මෙන්න ඒක.

මැදිවිය

අඩක් දිවියෙන් ගතවෙලා
හිතත් වයසට පත්වෙලා
හෙටක් එනතුරු සැපෙන් සපිරුණු
කොතෙක් ඉන්නද ඉවසලා

පතොක් කටු පිරි ජීවිතේ
මෙතෙක් ආ මග කෙලවරේ
කොතෙක් බිම්මල් පිපී තිබුණද
තෙතක් සිසිලක් එහි නැතේ

දවස් එක දෙක එකතු වී
තවත් වසරක් යයි ගෙවී
ලදොත් සතුටක් එක් දිනක්වත්
දහස් සැරයක් හිනැහෙමී

කාලෙකට පස්සෙයි මේ කයි-කතන්දරයක් පළකරන්නේ!

-කතන්දරකාරයා

(RSS Feed අවුලක් නිසා පැය හතරකට පමණ පසු මේ කතන්දරය නැවත පළකරන්නට සිදුවිය.)


(image: http://archive.indianexpress.com/news/rajinis-presence-on-ra.one-set-brought-tears-to-my-eyes-srk/855046/)

Wednesday 19 March 2014

මැදිවිය ද තරුණය! නමුත් අද තරමක් දුක හිතුණු දවසක් - Death of a blogger


මාස කීපයකට කලින් දවසක මං කතන්දරයක් ලිව්වා අර අමරසිරි පීරිස් ගේ "හන්තානට පායන සඳ" සින්දුවේ රිවර්ස් ඇක්ෂන් එක ගැන.

දවසකට විතර පස්සේ මං වෙන බ්ලොග් එකක මාතෘකාවක මේ ගැන කියවෙනවා දැකලා ඒ මොකක්ද කියා බලන්න ගියාම තමයි මුලින්ම "මැදි වියද තරුණය!" කියන බ්ලොග් එක ඇස ගැටුණේ.

ඒ බ්ලොග් එකේ දුරු රටක ඉන්න මැදිවියේ පිරිමියෙක් ලංකාවේ ඉන්නා තමන් කාලෙකට ඉස්සර ලව් කරපු නමුත් දැන් විවාහක ඉස්කෝලේ හාමිනේ කෙනෙකුට ලියන ලියුම්වල අනුසාරයෙන් කියවුණේ තරමක දුක්බර ආදර කතාවක්.

මේ බ්ලොග් එක ලියපු පීටර් වරින්වර කතන්දර බ්ලොග් එකේත් කමෙන්ට් කළා මට මතකයි. ඒ කමෙන්ට්ස් නිසා මට තේරුණා පීටර් කියන්නේ ඇමරිකාවේ පදිංචි දොස්තර කෙනෙක් බව.

මං මැදිවියද තරුණය බ්ලොග් එකේ කමෙන්ට් එකක් දැම්මාම පීටර් ඒක ගැනත් කියලා තමන්ගේ පරණ ඉස්කෝලේ හාමිනේට තවත් ලිපියක් ලිව්වා.

කාලෙකට පස්සේ අළුත්වෙන ආදරයක් ගැන කියවෙන සින්දුවක මං පීටර්ට යැව්වාම, පීටර් ඒක තමන්ගේ ඉස්කෝලේ හාමිනේට බලන්න බ්ලොග් එකේ දාලා තිබුණා!

මාස හයකට පස්සේ අද ඒ බ්ලොග් එකේ පලවෙලා තියෙන්නේ දුක්බර පුවතක්.

මේ කාලය තුල තමන්ට වැළදිලා තිබුණු පිළිකාවෙන් පීඩා විඳිමින් සිටි දොස්තර පීටර් මිය ගිහින්.

මරණය කාටත් පොදු දෙයක්. හැබැයි අකාල මරණ නම් කවදත් දුකක්. සනත් විජේවර්ධන ගේ මරණයෙන් පස්සේ මේ බ්ලොග්කාරයෙකු ගේ මරණයක් ගැන අහන්න ලැබෙන මුල්වතාව නේද? සනත් ගේ මරණය ගැනත් පීටර් සටහනක් දාලා තියෙනවා.

පීටර් ඔබ සමාදානයේ සැතපේවා!

-කතන්දරකාරයා

ප/ලි:
තදෂී නොගුචි කියන ජපන් නවකතාකරුවා සිංහලෙන් ලියපු ලියුම්වල ආධාරයෙන් කියවෙන නවකතාව කියවලා තියෙනවාද? මට මේ පීටර්ගෙයි, ඉස්කෝලේ හාමිනේගෙයි කතාව කියවන කොට මතක් වුනේ ඒ නවකතාවයි.

ඇත්තටම මැදිවිය කිලා කියන්නේ මොන වයස් සීමා කාලයද? මෙන්න මගේ සිතුවිලි.

http://kathandara.blogspot.com/2014/03/what-is-middle-age.html

(image: http://vimeo.com/41999827)

Monday 17 March 2014

බල්ලා බත් කයි කතන්දරේ කියූ නැන්දාගෙන් තවත් කතන්දරයක් - Political debates among middle-aged people


පොඩි කාලේ වැඩිහිටියන්ගෙන් කතන්දර අසා රස විඳ නොමැති අය වේ නම් ඒ ඉතා සුළු පිරිසක් විය යුතුය. "අනේ, කතන්දරයක් කියන්නකෝ?" යනුවෙන් කෙරෙන අපේ ඉල්ලීම් ඇතැම් විටෙක ඔවුනට කරදරයක් වෙන්නටද ඇත. නමුත් ඒ ඉල්ලීම් සෑම විටෙකම පාහේ ඉටු කෙරිණි.

මා කුඩා කාලයේ තාත්තාගෙන් කතන්දරයක් කියන්නැයි ඉල්ලූ විට ඔහු කියූ ඉබි පැටවුන් ගේ කතන්දරය ගැන මම මීට පෙර දිනක කීවෙමි. ඒ කෙසේ වෙතත් තාත්තා අපට නොයෙකුත් ඉතිහාස කතන්දර රාශියක් කියා දුන්නේය. ඉතිහාසය තාත්තා ගේ ප්‍රියතම විෂයක් විය.

මා පළමුවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි කාලයේ මට "බල්ලා බත් කයි, කොල්ලා හූ කියයි!" යනුවෙන් වාක්‍යයක් පවසා නිර්මාණාත්මක ලේඛනය ගැන පාඩමක් කියා දුන් නැන්දා ඔබට මතක ඇතැයි සිතමි.

එක් දිනක් ඇයගෙන් කතන්දරයක් කියන්නකෝ යැයි මා ඉල්ලා සිටි විට ඇය පැවසූ කතන්දරය මෙසේ විය.

"ඔන්න පුතේ එකමත් එක රටක හිටියා චූටි කුරුල්ලෙක්. දවසක් මේ චූටි කුරුල්ලාට ලොකු බඩගින්නක් දැනුණා. ඉතිං ඌ කෑමට යමක් හොයමින් ඉගිල්ලිලා ගියා."

"ඉතිං නැන්දේ?"

"ඉතිං, මෙහෙම යනකොට මේ කුරුල්ලා දැක්කා එක තැනක ලොකූ වී ගොඩක් තියෙනවා. මේ වී ගොඩ ලොකු ගෙයක් විතර විශාලයි."

"ඉතිං නැන්දේ?"

"ඉතිං, පුංචි කුරුල්ලා ඉතිං මොකද දන්නවද කළේ?"

"මොකක්ද?"

"ඉතිං, ඌ තමන්ගේ චූටි හොටෙන් වී ඇටයක් අරගෙන පියාඹලා ආපහු තමන් ගේ කූඩුවට ගියා. ඊට පස්සේ මේ චූටි කුරුල්ලා ඒ වී ඇටේ පොත්ත ඇරලා සුද්ද කරලා කෑවා."

"ඉතිං නැන්දේ?"

"ඉතිං, ඊට පස්සේ ඌ ආයෙත් පියාඹලා අර වී ගොඩ ළඟට ගිහින් තවත් වී ඇටයක් හොටෙන් අරගෙන ආපහු තමන්ගේ කූඩුවට පියඹලා ආවා. ඒ ඇවිල්ලා වී ඇටේ පොතු ඇරලා කෑවා."

"ඉතිං නැන්දේ?"

"ඉතිං ඔහොම එදා රෑ වෙනතුරුම මේ චූටි කුරුල්ලා කෙරුවේ අර ලොකු වී ගොඩෙන් ඇටේ ගානේ ගෙනැල්ලා කන එකයි."

"ඉතිං නැන්දේ?"

"ඉතිං, ඊට පස්සේ මේ චූටි කුරුල්ලා පහුවදා එළිවෙනකල් හොඳට නිදා ගත්තා."

"ඉතිං නැන්දේ?"

"ඉතිං, පහුවදා උදේ නැගිටින කොට මේ චූටි කුරුල්ලාට ලොකු බඩගින්නක් දැනුණා. ඉතිං ඌ කෙළින්ම ඉගිල්ලිලා ගියා අර වී ගොඩ ළඟට."

"ඉතිං නැන්දේ?"

"ඉතිං, ඌ තමන්ගේ චූටි හොටෙන් වී ඇටයක් අරගෙන පියාඹලා ආපහු තමන් ගේ කූඩුවට ගියා. ඊට පස්සේ මේ චූටි කුරුල්ලා ඒ වී ඇටේ පොත්ත ඇරලා සුද්ද කරලා කෑවා."

"ඉතිං නැන්දේ?"

"දැන් පුතාට පුළුවනි නේද කතන්දරේ ඉතුරු හරිය ඔයාටම කියන්න? අර ලොකු වී ගොඩ ඉවර වෙනකල්ම ඔය විදියට තමයි කතන්දරේ කියවෙන්නේ."

-කතන්දරකාරයා

ප/ලි:
සමාජවාදය ගැන හෝ ධනවාදය ගැන හෝ මොනයම් වෙතන් දේශපාලන කාරණයක් ගැන හෝ මේ වයස තිස්පහ, හතළිහ පැන්න මනුස්ස පරාණ අතර කෙරෙන සංවාදත් ඔන්න ඔය වගේ තමයි.

කතාවේ මුල් හරිය දන්නවා නම් වී ගොඩ ඉවර වෙනකල් කතාව යන හැටි හිතා ගන්න පුළුවනි.

(image: http://www.tallted.com/Story_Time_Twelve/index.html)

Saturday 15 March 2014

වෙන්ඩ සින්දුව වෙච්ච වගයි! - Yet another dream comes true!


අමරසේකරකාරයා හෙවත් (නො)දත් දොස්තර ගේය පද සාහිත්‍යය ගැන මොනවා කිව්වත් මං හිතන විදියට නම් කවියක් සින්දුවක් වෙනවා කියන්නේ ඒ කවිය කාලයක් පවතින්න, කීප දෙනෙකුගේ හෝ හිතේ මතකයේ රැඳිලා තියෙන්න තියෙන ඉඩකඩ වැඩිවෙනවා.

කොටින්ම මෑත යුගයේ හොඳම සිංහල කවියා විදියට සැලකෙන මහගම සේකර ගේ කවිවලට වඩා පොදු ජනයා අතර රැඳී තියෙන්නේ, ඒ කියන්නේ දනන් තුඩ තුඩ රැව් දෙන්නේ, පොර ලියපු, අමරදේව ලා, නන්දා මාලිනී ලා ගායනා කරපු සින්දු තමයි.

ගේය පද කියන්නේ සිංහල කාව්‍යය නමැති කෙත පුරන් කරන වල්පැල ය කියලා අමරසේකරකාරයා කියන කොට මට නං එහෙනං බම්බු ගහ ගනිං කියලා කියන්න හිතෙන්නේ ඒකයි.

කාලෙකට කලින් 2012 නොවැම්බරයේ මං වෙන්ඩ සින්දුවක පදමාලා පළ කෙරුවා මේ කතන්දර බ්ලොගයේ.

මෙන්න ඒකට පාර.
http://kathandara.blogspot.com/2012/11/more-details-to-follow.html

දැන් මේ වෙනකොට ඒ වෙන්ඩ සින්දුව ඇත්තම සින්දුවක් වෙලා.

මෙන්න පදමාලාව නැවතත්.
සලිත වෙයි සිත
කිති කවා හද
පුබුදුවයි පෙම් හැඟුම් සමුදා
ලලිත ඔබ වත
නිති සරා සඳ
පරදවයි සොමි කැලුම් විහිදා

සිතා ඔබ ගැන බවුන් වඩමින
ඉඳින්නට හැක දින ගනන්
ගොතා කවි සනසමින් මා මන
දකින්නෙමි සුබ සිහිනයයන්

පැතුම් ඉටුවෙන
හැඟුම් සැනසෙන
දිනක් නුදුරෙම උදා වේ
සිතුම් විලසෙන
පියුම් පිබිදෙන
වසත් කල හෙට සිනාවේ
තනුව- හේමාල් ජයවික්‍රම
ගායනය- ආරී සිටිනාමළුව

මෙන්න අහන්න සින්දුව.



-කතන්දරකාරයා

(image: http://weilinglovesclouds.blogspot.com.au/)

Thursday 13 March 2014

කාරෙකෙන් ගිය අංකල් ගේ කතන්දරය මෙන්න සුද්ද සිංහලෙන්ම - Keep away from Carbon Monoxide


මං පෙරේදා ලියපු අර ශල්‍යකර්මයකට පස්සේ සිහිය එන මනුස්සයෙක් එතකොට අහල පහල හිටිය ලස්සන ගෑණු කෙනෙක් තමන්ගේ බිරිඳය කියලා දැන ගෙන පුදුමවෙන "ජැක්පොට් එක ඇදුණා - Brownie points to last forever!" කතන්දරය කියවපු පාඨක අංකල් කෙනෙක් මට ඊ-මේලයක් එවලා තියෙනවා.

මේ පාඨක අංකල් ගේ අවධානය යොමුවෙලා තියෙන්නේ මගේ කතන්දරයේ තිබුණු මෙන්න මේ කෑල්ලටයි.
දැන් අපි ජීවත්වෙන හැම වෙලාවකම අවට තියෙන වාතය ආශ්වාස කරනවා නේද?

ඒක නිකම්ම වගේ කෙරෙන නිසාත්,
අර ෂොපින් සෙන්ටර් එකේ ටොයිලට් එකට යද්දී වගේ රුපියල් දහයක් දෙන්න ඕනෑ නැති නිසාත්,
අපිත් ඔහේ හුස්ම ගන්නවා,
පෙනහැල්ල වැඩ කරනවා,
හාට් එක පම්ප් වෙනවා,
ලේ ගමන් කෙරෙනවා,
අපි ජීවත්වෙනවා.

දැන් ඔය අපි ආශ්වාස කරන වාතය අපි අවට නොමිලේම ඇති පදම් තියෙන තාක් කල් අපිට ඒකේ වැදගත්කමක් තේරෙන්නේ නෑ.

ඕක කියවපු අපේ පාඨක අංකල්තුමා තමන් මේ ඊයේ පෙරේදා විඳපු අත්දැකීමක් මට ලියලා එවලා තිබුණා.

මේ කතාව අපි හැමෝටම කවදා හරි දවසක, කවදා හරි වෙලාවක, ඉතා වැදගත් වෙන්න ඉඩ තියෙන නිසා, අද දාන්න හිටිය මගේ විදුහල්පති අංකල් කෙනෙක් ගැන කතාව පසුවට කල් දලා, ඊට වඩා වැදගත් මේ ප්‍රායෝගික වැදගත්කමක් තියෙන කතන්දරේ පලකරන්න හිතුණා.

මෙන්න ඒ කතන්දරේ. අවධානයෙන් කියවන්න.


මං පාවිච්චි කරපු වාහනේ, ඒක මට දීල තිබුන නිල වාහනේ, තරමක් පරණ ‍එකක්. කීප දෙනෙක්ම කිව්වත් මේක මාරු කරවගන්න කියල මං ඒකට කැමති වුනේ නැත්තෙ, වාහනේ තිබුන හුරුබුහුටි කම නිසාමයි. ඉගිල්ලෙන්න කියාපු බඩුව.

හැබැයි මේකෙ වීදුරු අරින්න බැහැ. වයින්ඩර් කැඩිල.

වාහනේ රෙපයාර් කරන්නෙ ආයතනයෙ වැඩ පොලෙන්. එයාල කිව්වෙ අලුතින් දොරක් දාන එක ලාබයි කියල. කොහොම කොහොම හරි වැඩේ කෙරුනෙ නෑ. අවශ්‍යතාවක් තිබුනෙත් නෑ. ඒ සී එක වැඩ. රත් වෙන්නෙ නෑ. අවශ්‍ය වෙලාවට දොර ඇරගන්නවා. වීදුරුව පාත් කරන්නම ඕනැ නෑනෙ.

දවසක් මං මේ වාහනේ නුවර යන්න පිටත් වුනා (කොළඹ ඉඳල) රාජකාරියකට. නුවර කිව්වට නුවරට චුට්ටක් එහා. එතනට යා යුතුව තිබුනෙ දවල් එකට.

මං උදේ හතට කලින් ගෙදරින් පිටත්වෙලා පැච් එකක් ගිය ටයර් එකක් තිබුන නිසා කිරිබත්ගොඩ පැත්තෙ ටයර් කඩේකින් ඒ වැඩෙත් කරගෙන ගමන පිටත් වුනා. පැය හයක් තියනවනෙ යන්න. ගමනට පැය තුනහමාරක් විතර තමයි මගේ ඇස්තමේන්තුව. කොළඹ නුවර පාරෙ එච්චර සෙල්ලම් දාන්න බැහැනෙ.

හත හමාරට විතර ආව කෝල් එකක් දවල් එකට නෙවෙයි උදේ එකොළහට විතර එන්න පුළුවන්නම් හොඳයි කියල. පැය තුනකින් එතනට යනව කියන්නෙ කරන්න බැරිම ටාගට් එකකුත් නෙවෙයි. ඒත් උදේට කෑම කාල නොහිටි නිසා හෝටලයක් ළඟ කෑමට නවත්වන්න හිතාගෙන හිටපු ප්ලෑන් එක කැන්සල් කරල දාල ඇදලම ගියා.

ඒත් නිට්ටඹුව පැත්තට යද්දි මාර අමාරුවක් ඇඟට දැනෙනවා. උණ ගැනෙන්නවත් එනවද කියල මට හිතුනා. මට ඒ දවස්වල කවුරුත් කිව්වෙ "උඹ ඇවිදිනව වැඩියි!" කියල. මහන්සිය නිසා උණ ගැනෙන්න වුනත් පුළුවන්.

අපේ හාමිනේත් කිව්වෙ "දැන් ඉස්සර කරපු සෙල්ලම් කරන්න හදන්න එපා! පනහ පැන්න නේද? චෙකප් එකක්වත් කරගන්නෙ නෑ කොච්චර කිව්වත්. ෂුගර් වැඩිද දන්නෙත් නෑ. පහුගිය කාලෙ පොඩ්ඩක් හයි බ්ලඩ් ප්‍රෙෂර් තිබුන නේද? දැන් ළඟදි ඒකවත් චෙක් කළේ නෑනෙ?" අවවාද, අවලාද කෝටියයි.

මටත් දැන් ඔළුවට එන්නෙ මේ භයානක සිතුවිලි. ඊ මේල් එහෙමත් එනවනෙ, -මගදි හාට් ඇටෑක් එකක් වගේ ආවෙත්, අත් දෙක උස්සල කහින්න, කැහැ කැහැ ළඟම ඉස්පිරිතාලෙට යන්න!- යනාදී අවවාද එක්කල.

පපුවෙ වම් පැත්තට අත තියල බැලුව. ඒ පැත්තේ වේදනාවක් නෑ. හුස්ම ගන්න ටිකක් අමාරුයි වගේ. උරහිස් දෙක රිදෙනවා තදින්ම. "මොන මගුලෙ ලෙඩක්ද මන්ද මේක?" මං තනියම කල්පනා කර කර යනවා.

"සමහර විට උණ ගැනෙන්න එනව ඇති. මට විවේකය මදි තමා. ඒත් අද වැඩේටත් ගිහින් ඉවර වෙලා පොඩි රෙස්ට් එකක් ගන්න බැරියැ!"

ශාරීරික අපහසුතාවක් නිසා වැඩක් කැන්සල් කරපු ඉතිහාසයක් මට නෑනෙ. අමාරුව කාගෙනම දැන් මම දිගටම යනවා. ඇස් දෙකත් දැවිල්ලයි. උණ හැදෙනකොට ‍ඔහොම තමයි. වයස වැඩි නිසා, මහන්සි වෙනකොට උණ ගැනෙනව ඇති.

වරකපොල හරියට යද්දිනම් තවත් යන්න බෑ ‍වගේ. මගෙ අයිය කෙනෙක් ඉන්නවා තුල්හිරියෙ. ඕනැ මගුලක් කියල අදනම් ගමන කැන්සල් කරල අයියලාගෙ ගෙදර ගිහින් නිදා ගන්නවා පැයක් විතර කියල හිතාගෙන අඹේපුස්ස හන්දියට ගියා.

මම පුරුද්දක් වශයෙන් නුවර පැත්තට හරි කුරුණෑගල පැත්තට හරි යනවනම්, අඹේපුස්ස හන්දියේදි බුලත්විටක් ගන්නවා. ඒකට විශේෂ හේතුවක් තියනවා.

කොළඹ පැත්තෙත්, අපේ ගමෙත් බුලත්විට කනකොට පාවිච්චි කරන්නෙ සිංහල දුංකල. ඒත් නුවර, කුරුණෑගල පැතිවල බුලත් විට හදන්නෙ රට දුංකල නැත්තං පැණි දුංකල දාල. ඒක මට අල්ලන්නෙ නෑ.

ඉතින් අඹේපුස්ස හන්දියෙ නවත්තලා වාහනෙන් බැස්සා. අප්පට සිරි බොල කකුල් දෙක වලංගු නෑ හිටගන්න.

"මේ මොන මගුලක්ද? මට අහවල් එකක් වෙන්න එනවද මන්ද?"

ඒත් ටිකක් වෙලා යද්දි ඒක හරි ගියා. හිමින් සැරේ කඩේට ගිහින් බුලත්විට දෙකක් අරගෙන සාක්කුවෙ දාගත්ත. ඊට පස්සෙ ආපහු නැගල වාහනේ ඉඳගන්නකොට අපහසුතාව අඩුයි. ඒ නිසා, ගමන කැන්සල් කරන්න ගහපු ප්ලෑන් එක කැන්සල් කරල නුවර යන්න තීරණය කළා.

කෑගල්ල කිට්ටුවදි, මාවනැල්ල හරියෙදි, කඩුගන්නාව කන්ද මැදදි, චුට්ටක් විතර නවත්තගෙන විවේක ගත්තා වාහනේ ඉඳගෙනම ඒ සී එකත් දාගෙන. "දැන් තව පොඩ්ඩයිනෙ. ඔන්න ඔහෙ යං!" කියල ඇද්ද.

මළ කෙලියයි වුනේ!

පොල්ගහමුල හන්දිය පේන නොපෙනෙන තැනකදි එක පාරටම කටස් ගාල සද්දයක් ආව. මෙන්න බොලේ වම් පැත්තෙ සයිඩ් කන්නාඩිය නෑ! ‍

පාර අයිනෙ නවත්තලා තිබුන බට්ට ලොරියක ඇතිල්ලීගන මං ගිහින් තියෙන්නෙ. නින්ද ගියාද, සිහි නැති වුනාද කියන්න තේරෙන්නෙ නෑ.

මං දඩස් ගාල වාහනේ නැවැත්තුවා පාර අයිනට කරල.

"මට මහ පාරෙ මැරෙන්න වෙයිද? හාට් ඇටෑක් එකක් එන්න හදනව වෙන්න ඇති. මං එච්චර පව් කාරයෙක්ද? ඉස්පිරිතාලෙකට යා ගන්න බැරි වෙයිද?"

ඔන්න එතකොටම ටෙල්ෆෝන් එක රිං වුනා. ඉයර් ‍ෆෝන් එක ගහගෙන තමයි මං වාහන එළවන්නෙ. ටක් ගාල කෝල් එක ගත්ත.

"ඔයා කොයි හරියෙද? මං ලීව් එකක් දාල ගෙදර ආව!"

මේව ටෙලිපතිද චිත්ත ධර්ම විද්‍යාවද මොනවද මන් දන්නෙ නෑ. මං අමාරුවෙන් උත්තර දුන්නා.

"මං පොල්ගහමුල හරියෙ. වාහනේ පොඩ්ඩක් හැපුනා. මට චුට්ටක් අමාරුයි වගේ. පොඩ්ඩක් නැවතිලා ඉඳල යන්නං"

"කලබල වෙන්න එපා, ඔහොම චුට්ටක් ඉන්න, මං කාට හරි කියන්නං"

කෝල් එක කට්. මං ඒ පාර ගත්ත කෝල් එකක් නුවර මං යන්න බලාපොරොත්තුවෙන් හිටිය තැනට. එයා මගේ හොඳ මිත්‍රයෙක්.

"මචං මං මේ එන ගමන්, දැන් පොල්ගහමුල. කාර් එක පොඩ්ඩක් ඇක්සිටන්ට් වුනා. මට අසනීපයි ‍වගේ. පොඩ්ඩක් වරෙංකො මෙහෙට"

"හා හරි මේ දැන් එනව. ‍ඔහොමම ඉන්න"

දැන් මට වාහනේ දොර ඇරගන්න තරම් වත් අත පය වලංගු නැති ගානයි. කවුරුද කෙනෙක් ඇවිත් දොර ඇරල කතා කළා. මට වතුර පෙව්වා. ඉස්පිරිතාලෙට යන්න කතා කළා.

එතනින් පස්සෙ හැම දෙයක්ම ඉතා වේගයෙන් සිද්ද වුනා.

ඒ වෙනකොට මේ සිද්දිය මගේ සියළුම නෑදෑ හිතවතුන් වෙතට දැනුම් දීල ඉවරයි. පේරාදෙණිය ඉස්පිරිතාලෙදි මාව පරීක්ෂා කරල කිව්වෙ කිසිම රෝගයක් නෑ කියල. පැය තුනකට විතර පස්සෙ මගේ කැමැත්තෙන් ටිකට් කප්පවාගෙන ඉස්පිරිතාලෙන් එළියට බැස්සා.

දැන් ඒ වාහනේම ආපහු ගෙදර යන්න මගෙ කල්පනාව. අර අපහසුතාව උරහිස් වේදනාව ඇස් දැවිල්ල මොකවත්ම දැන් නෑ. මාව බලන්න ආපු එකසිය ගණනක් අය අතර මල්ලිලා දෙන්නත් හිටියා. චූටි මල්ලිට වාහනේ එළවන්න කියල, මමත් අනිත් මල්ලිත් වාහනේට නැගල එන්න සූදානම් වුනා.

ඉස්පිරිතාලෙ ඉඳල ගලහ හන්දිය පහු කරනකොට අපි තුන්දෙනාටම ඇස් දැවිල්ල ආවා.

මට තේරුනා වැඩේ. කාර් එක ඇතුළට එක්ස්හෝස්ට් ගෑස් එක එනව ඒ සී එක දාපුවහම. මට වෙලා තියෙන්නෙ ඒක.

ඔක්සිජන් නැතුව අපි කොහොමද ජීවත් වෙන්නෙ?

හොඳ වෙලාවට කණ්ණාඩිය හැපුනෙ. තව ටික දුරක් නොහැපි ආවනම්, වාහනේ ඇතුළෙම ස්වර්ගස්ථ වෙන්න තිබුනා.

මෙතනදී වෙලා තියෙන්නේ කාර් එකේ හයිඩ්‍රෝකාබන් දහනයේ දී නිපදවෙන කාබන් මොනොක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් සුළු වශයෙන් හෝ කාර් එක ඇතුලට ඇවිල්ලා රියදුරාගේ සිරුරට ඇතුලත්වීම බව පැහැදිළියි නේ.

මෙන්න ඒ ආකාරයට කාබන් මොනෙක්සයිඩ් විෂවීම ගැන විකිපීඩියාවේ තියෙන විස්තරය.

http://en.wikipedia.org/wiki/Carbon_monoxide_poisoning

මේ මරණය ගැන වාර්තාවත් බලන්න. අපේ බුලත්විට අංකල් බේරිලා තියෙන්නේ අනූනමයෙන් බව පැහැදිලියි.

http://www.nbcconnecticut.com/news/local/2-Bodies-Found-in-Car-in-Lebanon-249303831.html

මගේම කතන්දරයකින් තව දින දෙකකින් හමුවෙමු!

-කතන්දරකාරයා

ප/ලි:
මේ කතාව කියවන කෙනෙක් වැරදි වැටහීමක් ඇතිකර ගනීවී යැයි සැක සිතුණුණු නිසා මේබව නැවත අවධාරනයෙන් කියන්න අවශ්‍යයි.

මෙතන සිද්ධිය ෂටර් වහගෙන ඒසී දාගෙන ගිය එන නොවෙයි. එක්ස්හෝස්ට් එකෙන් අපවිත්‍ර වාතට ඒසී එක හරහා වාහනය ඇතුලට කාන්දු වීමයි.

මේ අංකල් ගේ වාහනය හරිහැටි නඩත්තු කරලා නෑ.

මෙහි එක්ස්හෝස්ට් එක සහ ඒසී එක නිසි පරිදි නඩත්තු කළා නම් මේ තත්වය ඇතිවන්නේ නෑ කියන එකයි මගේ අදහස.


(image: http://www.rnwilliams.co.uk/be-aware-of-carbon-monoxide-dangers/)

Tuesday 11 March 2014

ජැක්පොට් එක ඇදුණා - Brownie points to last forever!


මේ කතන්දරේ මං දැනගෙන ටික දවසක් වෙනවා. නමුත් අදයි මේක ලියලා දාන්න වෙලාවක් ලැබුණේ.

දැන් අපි ජීවත්වෙන හැම වෙලාවකම අවට තියෙන වාතය ආශ්වාස කරනවා නේද?

ඒක නිකම්ම වගේ කෙරෙන නිසාත්,
අර ෂොපින් සෙන්ටර් එකේ ටොයිලට් එකට යද්දී වගේ රුපියල් දහයක් දෙන්න ඕනෑ නැති නිසාත්,
අපිත් ඔහේ හුස්ම ගන්නවා,
පෙනහැල්ල වැඩ කරනවා,
හාට් එක පම්ප් වෙනවා,
ලේ ගමන් කෙරෙනවා,
අපි ජීවත්වෙනවා.

දැන් ඔය අපි ආශ්වාස කරන වාතය අපි අවට නොමිලේම ඇති පදම් තියෙන තාක් කල් අපිට ඒකේ වැදගත්කමක් තේරෙන්නේ නෑ.

හැබැයි කොලොන්නාවේ කුණු ගොඩ වගේ තැනක් ලඟින් යනකොට, නාස්පුඩු කකාරවාගෙන ගඳ දැනෙන කොට, ඔන්න අපිට තේරෙනවා වෙන වෙලාවට හුස්ම ගත්තු වාතය කොච්චර පිරිසිදුද, අපි ඒ විදියට ඒ වාතය ලබන්න කොච්චර වාසනාවන්තද කියලා.

ඇඟෙන් බහින රෝගයක් නැතුව හොඳ සනීපෙන් ඉන්න එකත් ඒ වගේම තමයි. කවද හරි අසනීප වුණු වෙලාවට තමයි තේරෙන්නේ සනීපෙන් හිටි කාලේ කොච්චර හොඳඳ කියලා.

මට මෙන්න මේ නිවුස් අයිටම් එක ගිය අවුරුද්දේ දවසක කියවන්න ලැබුණාම තමයි ඔය හුස්ම ගැනිල්ල ගැනයි, සනීපෙන් ඉන්න එක ගැනයි සිහිවුණේ.



මේ නිවුස් එකේ කියවෙන විදියට ජේසන් මෝටෙන්සන් කියන විවාහකයා ශල්‍යකර්මයකින් පසුව රෝහලක දී නැවත සිහිය ලබන මොහොතේ තමන්ගේම බිරිඳව දැකලා, ඒ බිරිඳ කොච්චර ලස්සනද කියලා වැටහිලා පොරට අදහා ගන්න බැරුව ගිහින්.

ඒ තමන්ගේ බිරිඳය කියලා දැන ගත්තාම පොරට දැනිලා තියෙන්නේ ලොතරැයිකින් ජැක්පොට් එක ඇඳුණා වගෙයි.

මෙන්න ඒකේ වීඩියෝ එක. මං හිතන්නේ සරල මොබයිල් ෆොන් එකකින් කරලා තියෙන්නේ.



දැන් මේ ඇත්ත කේස් එකෙනුත් අපිට පේන්නේ අර පිරිසිදු වාතය ගැන මං කියපු කතාවමයි.

කොටින්ම තමන් ලඟ තියෙන සැප තමන්ට තේරෙන්න නම් ඒක නැතිවෙන්නම ඕනෑ.

කොහොම වුණත්, තමන් ගේ බිරිඳ ගැන නොදැන කියන දේවල් නිසා, මේ සිද්ධියෙන් පස්සේ ජේසන්කාරයාට ඇත්තටම ජැක්පොට් එක ඇදුණා වගේ තියෙන්න ඇති.

මේ කතන්දරය ලිවීම නිසා මටත් එසේම වේවා!

-කතන්දරකාරයා

(image: http://darkintheboy.com/2013/09/13/love-at-first-sight-again/)

Saturday 8 March 2014

කතන්දරකාරයා කියවන බ්ලොග් - Not just a "my car, my petrol" case


අන් සෑම බ්ලොග්කරුවන් මෙන්ම මම ද බ්ලොග් පාඨකයෙක් මි. පාඨකයෙකු ලෙස මා කියවන බ්ලොග්වල ලයිස්තුව මේ බ්ලොගයේ දකුණු අත පැත්තේ දක්වා ඇත.

මුළදී මෙය තිබුණේ එක ලයිස්තුවක් ලෙසයි. පසුව සිංහල බ්ලොග්කරුවන් ගේ සංසදයේ බ්ලොග් කියවනයේ පොලිටිකල් බ්ලොග් වෙන් කොට ඒවා කුස්සිය පැත්තේ කාමරයට දැමූ පසු මා කළේ මගේ ලයිස්තුවේ තිබූ පොලිටිකල් බ්ලොග් වෙනමම ලයිස්තුවකට ගොනුකොට එය ඉදිරියට ගැනීමයි.

එයින් මද කලකට පසු කාන්තාවන් ලියන බ්ලොග්වලට කරන සැලකීමක් ලෙස මා කළේ මගේ ලයිස්තුවේ තිබූ ඒ කැටගරියේ බ්ලොග් එකට ගොනු කොට ඒ ගොනුවට ඉහළම ස්ථානය දීමයි. මෙදිනම සෙසු බ්ලොග් මා කියවන කතන්දර සහ මා කියවන කවි ලෙස වෙන් වෙන්ව ගොනු කළෙමි.

ඒ අතර සාමාන්‍යයෙන් කෙරෙන පරිදි මා අළුතින් කියවන්නට පටන් ගන්නා බ්ලොගයක් වේ ද, ඒය අදාල ගොනුවට එකතු කළෙමි.

අවාසනාවකට මෙන් මා කියවන කතන්දර බ්ලොග් ලයිස්තුවේ තිබූ බ්ලොග් කිහිපයක් දැන් වසරකට පමණ පෙර මට එයින් ඉවත් කරන්නට සිදුවිය.

එයට හේතුව වූයේ ඒ අදාල බ්ලොග්කරුවන් විසින් බාලචන්ද්‍රන් දරුවා මරා දැමීම විදහා දැක්වෙන ඡායාරූප පිළිබඳව දක්වා තිබූ (වඳ කෙසෙල් මොටයි තියරිය වැනි) අමානුශික අදහස් පිළිබඳව මට ඇතිවුණු කළකිරීමයි.

මෙසේ ඉවත් කරන ලද එක් බ්ලොගයක අයිතිකරුවා විටින් විට තමන්ගේ බ්ලොගය මගේ බ්ලොග් රෝලට නැවත ඇතුළත් කරගන්නා ලෙස කීපවරක්ම ඉල්ලා සිටියද මට ඒ ඉල්ලීම් සියල්ල ඉවත දැමීමට සිදුවිය. එයට හේතුව නම් ඔහු තමන්ගේ අමානුශික අදහස් වෙනස් කර නොගෙන, මගේ ප්‍රතිපත්තිය පමණක් වෙනස් කරන මෙන් කෙරූ එම ඉල්ලීමේ තිබූ අතාර්කික ස්වභාවයයි.

ඒ කෙසේ වෙතත් මගේ බ්ලොග් ලයිස්තු අද එදාටත් වඩා දිගු වී ඇත. ඒ නිතිපතාම අළුතින් බ්ලොග් එකතුවෙන බැවිනි.

මේ අතර ඊයේ තමන්ගේ බ්ලොගය මගේ ලයිස්තුවට එකතු කර ගන්නා මෙන් අළුත් බ්ලොග්කරුවෙකුගෙන් මට ඉල්ලීමක් ලැබී තිබේ.

එය පොලිටිකල් බ්ලොගයකි. පොලිටිකල් බ්ලොග් අතරින් මා කියවන්නේ මගේ පොලිටිකල් අදහස්වලට තරමක් හෝ සමපාත වෙන බ්ලොග් පමණක් නිසා, ඒ බ්ලොගය දැනට මගේ ලයිස්තුවට එකතු කර ගත නොහැකි බව මම ඔහුට දැන්වූවෙමි.

ඒ පිළිතුර ලියන අතරතුර පොලිටිකල් නොවන කතන්දර බ්ලොග් මා කියවන ලයිස්තුවට ඇතුලත් වෙන්නේ කවර පදනමක් මතදැයි පැහැදිළිවම කිවයුතු බව සිතුණු නිසා මේ සටහන ලිවීමට සිත්විය.

රසය විවිධාකාර වේ. රස විඳීම ද විවිධාකාර ය. රස විඳීම පුද්ගලික දෙයකි. මා කියවන්නේ මට රසවත්, වින්දනයක් ලැබෙන බ්ලොග් පමණි. එය බලෙන් ඇති කළ හැක්කක් නොවේ. ඒ අනුව මගේ බ්ලොග් ලයිස්තුවට බලෙන් ඇතුළත් විය නොහැක.

මගේ වර්තමාන ලයිස්තුවට ඇතුලත් විය යුතු තවත් බ්ලොග් රාශියක් මා කියවා ඇත. නමුත් බොහෝ විට මා බ්ලොග් කියවන්නේ දුම්රියේ සේවයට යන අතරතුර ජංගම දුරකතනයෙන් නිසා, ඒ අවස්ථාවලදී වහා එම එකතු කිරීම් කිරීමට අවකාශ නොමැති නිසා පසුව අතපසු වී ගොස් ඇති බව මම දනිමි. ඒ වරද හැකි විගස නිවරද කරගැනීමට මම අදහස් කරමි.

මේ සටහන කියවූ ඔබ සැමට ස්තුතියි.

-කතන්දරකාරයා

ප/ලි:
කතන්දරකාරයාට සිංහල බ්ලොග් ලෝකයේ සිවිල් බලයක් තිබේ යැයි කවුදෝ කියා තිබුණි. එවැනි දෙයක් තිබුණත් (පසුව ලැබුණත්) මා ක්‍රියාකරන ආකාරයේ වෙනසක් සිදු නොවෙනු ඇත.


(image: http://convenientsolutions.blogspot.com.au/2012/06/win-petrol-bowser.html)

Thursday 6 March 2014

බල්ලා බත් කයි, එතකොට කොල්ලා? - My first lesson in creative writing


මගේ "වෙන්ඩ කතන්දර 100" ලයිස්තුවේ අඩංගු මේ කතන්දරය හදිසියෙන්ම වාගේ මට අද නැවත මතක් වුනේ මා කලින් දවසක විශේෂ හඳුන්වා දීමේ සටහනක් තැබූ ඔටුකතා බ්ලොගයේ මෑත දී පලවුණු ලිපියක් කියවමින් සිටිය දී ය.

ඔටුකතා වේ ලියවී තිබුණේ බල්ලෝ හෙවත් බල්ලා ගේ බහු වචනය ගැන කේස් එකකි. නමුත් මා මේ කියන්න යන්නේ ඒක වචන බල්ලෙක් ගැන මිස බල්ලෝ ගැන නොවේ!

බැල්ලියෝ ගැන නම් මේ දෙපොලේම කිසිම සඳහනක් ඇත්තේම නැත. කොහොමටත් බැල්ලී යන්න බල්ලා යන්නට වඩා නරක වචනයකි!

"බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙන්න" කියා සමහර නිවෙස්වල ගේට්ටුවේ බෝඩ් ගසා තියෙනවා දැකලා ඇති නේද? ඒ සමහර තැන්වල බල්ලන් ඇත්තේම නැත. ඉන්නා තැන්වලද බොහෝ විට ඉන්නේ එකෝම එක බල්ලෙකි.

එනමුත් බල්ලන්ගෙන් කියා මිස "බල්ලාගෙන් ප්‍රවේශම් වෙන්න!" කියා ඒක වචනයෙන් අනතුරු හඟවා තියෙනවා මා දැක ඇත්තේ එකම එක වරක් පමණි. එහි "බිවෙයාර් ඔෆ් ද ඩෝග්ස්" කියා නොව එහි "බිවෙයාර් ඔෆ් ද ඩෝග්" කියා ලියා තිබුණි.

එලෙස බෝඩ් ලෑලි නැති නිවෙසක් අසලට පැමිණ බල්ලා බැඳලා ද? කියා ඇසීම සාමාන්‍ය සිරිතකි. බල්ලා දුටුවහොත් සහ ඌ බුරාගෙන පැන්නොත් බල්ලා කයි ද? කියා ඉබේම වගේ ඇසේ. මේ වගේ ප්‍රශ්නවලට "අපොයි ඌට තාම බඳින වයසක් නෑ!" කියා හෝ "දුන්නොත් නං ඌ කයි ඕනෑම දෙයක්!" යනාදී වශයෙන් පිළිතුරු දීම උචිත නොවේ. බල්ලන් තමන් ගැන එවැනි කච කැඩිච්චි කතා කියණු ඇසීමට අකමැතිය.

මා ප්‍රාථමික පාසලේ පළමුවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කාලයේ මගේ ප්‍රියතම කාර්යය වූයේ සිංහල අකුරු, වචන ලිවීමයි. (අකමැතිම දේ වූයේ චිත්‍ර ඇඳීම බව කලින් දිනයක කිව්වානේ!)

ටික කලෙකින්ම මම පොඩි පහේ වාක්‍ය ද ගලපා ලියන්නට පටන් ගත්තෙමි. මා දිනපතා ම වාගේ කළ එක් කාර්යයක් වූයේ ගෙදරදී වාක්‍යයක් හෝ දෙකක් ගල්ලෑල්ලේ ලියාගෙන ගොස් පන්තිය බාර චීචර් ට පෙන්නීමයි.

ටීචර් එය බලා ගල්ලෑල්ල පුරා හරියක් දැමූ විට ඇතිවෙන සතුට මෙන් වෙනත් සතුටක් ඒ දිනවල නොතිබුණි!

බොහෝ දිනවල පාසල නිමවී නිවසට ගිය පසු මා කරන්නේ පසුදාට අවශ්‍ය වාක්‍යය ගල්ලෑල්ලේ ලිවීමයි. නමුත් සමහර දිනවල මට මෙය සිහියට එන්නේ උදෑසන පාසල් යාමට ලැහැස්ති වී පාසල් බෑගය පරීක්‍ෂා කරන මොහොතේය.

මෙවැනි වේලාවක ලිවිය යුත්තේ කුමක් දැයි සිත සිතා සිටීමට වේලාවක් නැත. මා කරන්නේ අම්මා ගේ පිහිට පැතීමයි.
මම හොඳ ළමයෙක් වෙමි.
මා මගේ අම්මාට ආදරෙයි.
මගේ මල්ලී හරි දඟයි.
වැනි වාක්‍යයක් එවිට අම්මා මට කියා දෙයි.

මා කරන්නේ හැකි ඉක්මණින් එය ගල්ලෑල්ලේ ලියා ගැනීමයි.

මෙලෙස එක් දිනක හදිසියේ මා ගල්ලෑල්ලේ ලිවීමට වාක්‍යයක් සොයන මොහොතක අම්මා මට එකින් එක කියූ වාක්‍යය කිහිපයම කලින් වතාවල භාවිතා කළ ඒවා බව මට මතක් විය.

"එහෙනම් ගිහින් ලොකු නැන්දාගෙන් අහගන්න!" අම්මා බැරිම තැන කීවාය.

ලොකු නැන්දා මගේ ඉල්ලීම සැනකින් ඉටු කළාය. ඒ එක් වාක්‍යයක් නොව වාක්‍ය දෙකක්ම පවසමිනි.
බල්ලා බත් කයි.
කොල්ලා හූ කියයි.
මා වෙනදා ලියන වාක්‍යවල මෙන් නොව මේ වාක්‍ය දෙකේ මොකක්දෝ අමුතු වෙනසක් තිබන බව මට වැටහිණි. නමුත් කාල වේලාවේ ප්‍රශ්ණය නිසා ඒ ගැන නොසිතා වහාම ඒ වාක්‍ය දෙක ගල්ලෑල්ලේ ලියාගෙන මම එදා පාසලට ගියෙමි. ටීචර්ගෙන් ගල්ලෑල්ල පුරා විහිදුණු හරියක් ද ලදිමි.

කතන්දර බ්ලොගය අරඹා ඉදිරි සැලසුම් කරන අතරතුර වෙන්ඩ කතන්දරයක් සඳහා මේ සිද්ධිය සිහි ගන්වාගත් දින සිටම අද දක්වා කල්පනා කළ ද මේ වාක්‍ය දෙක පිළිබඳව මට හරිහැටි නොතේරුණු කරුණු රාශියක් වෙයි.
එදා ලොකු නැන්දා මේ වාක්‍ය දෙක මේ ආකාරයට ගොතා මා හා පැවසූයේ ඇයි?
මේ බල්ලා සහ කොල්ලා අතර සම්බන්ධය කුමක්ද?
කොල්ලා හූ කියන්නේ බල්ලාටද? බල්ලා බත් කෑම ගැන සරදමටද?
"කොල්ලා බත් කයි. බල්ලා හූ කියයි" හෝ "කොල්ලා බත් කයි. බල්ලා නිදා ගනියි" යැයි පැවසීම වඩාත් තාත්වික නොවේද?
ප්‍රශ්ණ රාශියකි.

ඒවාට පිළිතුරු කෙසේ වෙතත් එදා මා පළමුවෙනි ශ්‍රේණියේ උගන්නා පස්වසරක ළමයෙකු ලෙස ඇසූ මේ වාක්‍ය දෙක නිර්මාණාත්මක ලේඛනය ගැන මා ලද මුල්ම පාඩම දෝ හෝ යි මට අද සිතෙයි.

-කතන්දරකාරයා

ප/ලි:
සුගතපාල ද සිල්වා නම් නිර්මාණකරුවා "බල්ලෝ බත් කති" කියා නවකතාවක් මීට පසු කලෙක ලිව්වේය.

ඔටුකතා ලියන සෙරන්ඩිබ් ඔටුවා අකමැති වුවද, "බල්ලොත් එක්ක බෑ!" යනු වැඩි අවුලකින් තොරව නරඹා විනෝදවිය හැකි වේදිකා නාට්‍යයකි.

(image: http://www.sienaheights.edu/Academics/NewMajorsProgramDetail/tabid/73/MajorID/CRE/CampusID/1/Default.aspx)

Monday 3 March 2014

පූස් පැටියන්ට නම් තැබීමේ කලාව (උදාහරණ සහිතයි) - Naming Kittens (with examples)...!


අර සුද්දෝධන රජ්ජුරුවෝ තමන්ගේ පුතාට නමක් දාගන්න වාත වෙච්ච හැටි ගැන කියවෙන කතාව දන්නවා නේ?

ඒ දවස්වල අහුබුදුවන් හිටියේ නෑනේ. ඉතිං වෙන බමුණෝ ටික දෙනෙකුට එන්න කියලා කන්න බොන්න දීලා පුතාව පෙන්නලා තාත්තා කියලා තියෙනවා කොල්ලට නමක් දාලා දෙන්නැයි කියලා.

බමුණෝ කරලා තියෙන්නේ නිකම්ම නිකං නමක් දාන්නේ නැතුව කොලු පැටියා ගේ අංග ලක්‍ෂණ හෙම බලලා ඇඟිලි එක දෙක උස්සලා අනාවැකි කියන්න පටන් ගත්තු එකයි.

කොහොමින් හරි අන්තිමේදී 'සිද්ධාර්ථ' කියලා නමක් දැම්මාලු.

ඔයිට අවුරුදු දාස් ගාණකට පස්සේ මරදාන පුංචි බොරැල්ල හන්දියේ හොස්පිටිතාලෙක පුත් කුමරෙකු ඉපදිච්ච කතාව මතකයි නේද? ඉතිං මේ කියන පුත් කුමරාට නම දාන්න ඔය එක එක බමුණෝ කැඳෝලා නෑ.

පුත් කුමරා ගේ මෑණියෝ එක්තරා නමක් හිතාගෙන ඉඳලා තියෙනවා. හිතමු ඒක 'ජයන්ත' කියලා.

නමුත් කුමරාගේ පියාණෝ කැමති වෙලා තියෙන්නේ ඔහුගේ නැගෙණිය යෝජනා කරපු 'ජනිත' කියන නමටයි.

ඒ 'ජනිත' නාමය පින්වත් කුමරාට රෙජිස්ටර් වෙන අතරේ මේ කියන නැන්දණිය කරලා තියෙන්නේ ගෙදර ගිහින් අළුත ඉපදිලා හිටිය හිටපු පූස් පැටියාට 'ජයන්ත' කියන නම දාපු එකයි!

ඒ යාන් හෑලි කෙසේ වෙතත් නමක් දානවාය කියන්නේ සීරියස් වැඩක්.

බබෙකුට විතරක් නොවෙයි, ඇත්තටම කියනවා නම් බ්ලොග් පෝස්ට් එකකට නමක් හෙවත් ටයිටලයක් දාන එකත් හිතලා මතලා කල් අරගෙන පරිස්සමින් කළ යුතු වැඩක් කියලයි මං නං සලකන්නේ.

මේ බ්ලොග් එකේ කතන්දරවලට නම් දාන කොට වඩාත් ප්‍රශස්ත නම් මොනවාද කියලා මං නිතරම වගේ පරීක්‍ෂණ කරලා බලනවා.

මේ ලඟදී දේශකයා ලියා තිබුණු ලිපියක් නිසා මට මේ ගැන යළිත් මතක් වුණා.

මෙන්ම මං ඒ ආකාරයට මං ලියපු කතන්දර සඳහා යොදපු පර්යේෂණාත්මක නම් කීපයක්.

1. මං එක පාරක් කියන්න තියෙන මුළු කතන්දරේම මාතෘකාවෙන් කියලා දැම්මා.

W3Lanka ගේ පිහිටෙන් ඇනෝනිමස් නැති ආතල් එකක් ගැනීම හෙවත් ටැබූ කාරයා ට වැරදුණ (තවත්) තැනක් හෙවත් ඉන්ද්‍රනාම නමැති හිටපු ජෙප්පා ගේ වැඩ කිඩ හෙවත් ශාස්තෲ
http://kathandara.blogspot.com/2011/01/w3lanka.html

2. තව පාරක් ඒකේ අනිත් පැත්ත, ඒ කියන්නේ මාතෘකාව කෙටිම කෙටි කරලා මාතෘකාවේ මුලකුරු විතරක් දැම්මා.

සුඋදිවේකහා - HBD2UKH
http://kathandara.blogspot.com/2012/07/hbd2ukh.html

3. මෙන්න මේ කතන්දරයේ අන්තර්ගතයේ කියවෙන දේ විස්තර උදාහරණයක් වදදියට දෙන්න මං ඒ දේම මාතෘකාවටත් කෙරුවා.

යාද්වි තිදාද ම්යනවි - topsy turvy!
http://kathandara.blogspot.com/2013/07/topsy-turvy.html

4. මේ කතන්දරේ කියවෙන්නේ මං හතරේ පන්තියෙන පහට පාස් වුණු එක හැබැයි ඇත්තටම මට ඕනෑ වුනේ මගේ බ්ලොග් එකට අවුරුදු හතරක් පිරිලා පහට ලබපු එක සමරන්නයි.

කතන්දරකුමාර හතරෙන් පහට පාස්වෙයි - Grade five, here I come!
http://kathandara.blogspot.com/2013/07/grade-five-here-i-come-kathandara-blog.html

5. මෙන්න ඒ වැඩේම, මං ඊට කලින් අවුරුද්දේ කරපු විදිය.

ගෑල්ළමයෙකුගේ අවාසනාව නිසා හතරේ පන්තියට කලර්ස් පෙන්නා පාස් වුණෙමි - Leaping into the fourth year of existence with colours!
http://kathandara.blogspot.com/2012/07/leaping-into-fourth-year-of-existence.html

6. මේ පහල තියෙන කතන්දරේ තියෙන්නේ ටෙලිකොම්/මොබිටෙල් ලා ගේ ෆෝන් සහ නෙට් පැකේජ් දෙකක් ගැන වගෙයි නේද? නමුත් මගේ අවශ්‍යතාවය වුනේ වෙන එකක්.

උපහාර" සහ "අභිමාන" (ඇඩ්වර්ටීස්මන්ට් එකක් නොවේ) - No advertisements here, yet!
http://kathandara.blogspot.com/2012/10/no-advertisements-here-yet.html

7. මෙන්ම මේ කතාවේ කතා කීයක් තියෙනවාද?

ගොරක යකා, දත් දොස්තර යකා සහ පිස්සු යකා - He is still around!
http://kathandara.blogspot.com.2014/02/he-is-still-around.html

තවත් උදාහරණ නං එමට (නිකං නොවෙයි නමසිය ගානක්!) දෙන්න පුලුවනි.

ඔහෙලා කැමති මං කතන්දරවලට දාපු වෙනත් නම් තියෙනවා නම් ඒවා ගැන හෝ ඔහෙලා දැකපු වෙනත් නම් ගැන හෝ කැමති පරිදි සඳහන් කරන්න.

-කතන්දරකාරයා

(image: http://www.lakehouse.lk/alokoudapadi/2013/06/05/_art.asp?fn=a1306051)

Saturday 1 March 2014

කොල ඉරුණු යුරෝපයේ චාරිකාව - Unfinished business


දැන් දවස් දෙක තුනකට කලින් බකමුණු කතා බ්ලොග් එකේ පලවුණු "රොමාගේ වාසනාව සහ බස්සාගේ අවාසනාව" කියන කතන්දරේ කියවන කොට තමයි මට මේ අද මං කියන්න යන කතන්දරේ සිහියට ආවේ.

මේක මං පොඩි කාලේ කියවපු පොතක් ගැනයි.

බස්සා බාගෙට කියවලා තිබුණු පොත වගේම මේ මං කියවපු පොතෙත් කොල ඉරිලා, කැඩිලා ගිහිණුයි තිබුණේ.

පොතේ මුල හරියේ කොල කීපයක් අඩුයි. ඒක නං වැඩියෙම අවුලක් වුණේ නෑ කතාව අල්ලාගෙන යන්න. නමුත් පොතේ අවසානය තිබුණු කොලත් කැඩිලා ගිහින් තිබුණු එකේ පාඩුව නම් දරාගන්න බැරි වුණා.

මට මේ කතන්දරේ අද ලියන්න හිතුණේ, බැරිවෙලා හරි මේ මං කියන්න යන පොත මුළුමණින්ම කියවපු කවුරු හෝ මේක දැක්කොත් කියලා හිතලයි.

මේ කියන පොත ලියලා තිබුණේ ජේ.ඊ. සේදරමන් වගේ නමක් තියෙන ලේඛකයෙක්. පොතේ අන්තර්ගතය වුණේ මේ ලේඛකයා තරුණ නැට්ටුවෙක් විදියට දෙවන ලෝක යුද්දේටත් කලින් කාලෙක නැවක නැගිලා තවත් කීප දෙනෙක් එක්ක යුරෝපයට ගිහින් එහේ ගතකල කාලය තුල ලබපු අත්දැකීම්.

මේ තුන් හතර දෙනා එහේ ගිහින් තියෙන්නේ යුරෝපයේ තිබුණු සර්කස්වල සිංහල නැටුම්, බෙර ගැසීම් වගේ දේවල් ඉදිරිපත් කරන්නයි.

මට මතක විදියට ඒ විවිධාංග ඉදිරිපත් කරලා තියෙන්නේ අර සර්කස් කණ්ඩායමේ මූලික අංග අතරේ අමතර විශේෂාංග විදියටයි. මේ අයට සර්කස් කණ්ඩායමෙන් පඩි දීලා තියෙනවා. ඊට අමතරව සර්කස් බලන්න එන පිරිසත් සන්තෝශම් මුදල් දීලා තියෙනවා.

ඉතිං සර්කස් කණ්ඩායම් කියන්නේ එක තැනක ඉන්න පිරිසක් නොවෙයි නේ. එක නගරයක සතියක් විතර සර්කස් එක පෙන්නලා අහවර කරළා, ඊලඟට සේරම බඩු මුට්ටු, සත්තු සරපයි, කූඩාරම් ලොරිවලට පටෝගෙන ඊලඟ නගරයට යනවා.

යුරෝපය කියන්නේ ලංකාව වගේ දුපතක් නොවෙයි නේ. ඉතිං මේ නගරයකින් නගරයකට යනවා කියන්නේ සමහර විට රටකින් රටකට යැමයි.

සේදරමන් තරුණ නැට්ටුවා ඒ ඒ රටවල්වලදී දැකපු දේවල්, ලබපු අත්දැකීම් මේ පොතේ අවුරුදු දහයක විතර ළමයෙකු ගේ සිතේ වීරක්‍රියා වගේ ඇදෙන්නට අපූරුවට ලියලා තිබුණු බව මට මතකයි.
මෙන්න මේ පොතේ තිබුණු මට මතක කෑලි කීපයක්.

1. සේදරමන් කොළඹින් නැවට නැගලා යන්න පටන් ගන්න කොටම කෂ්ටිය වයින් බොන්න සෙට් වෙනවා. පාර රතු නිසාත් සහ මිදිවලින් හදලා තියෙන බව දන්නා නිසාත් පොර හිතන්නේ වයින් නිකං ෆැන්ටා වගේ පැණි රහට ඇතිය කියායි!

2. මේ ගොල්ලෝ අමතර සල්ලි හොයන්න එක කාලෙක දී කරන්නේ ජපානෙන් ආනයනය කරපු ප්ලාස්ටික් ජාතියකින් හදපු ඇත් රූප ලංකාවේ ඇත් දලවලින් හදපු එවා විදියට හඟවලා විකුණන එකයි.

3. මුලින්ම ප්‍රංශයේ උමං දුම්රිය පොළකට ගිහින් පොළොව යටින් කෝච්චි යන උමං දැක්කාම ලංකාවෙන් ගිය සමහරු හිතන්නේ මේ මහෞෂධ පංඩිතයා වේදේහ රජාට පැනලා යන්න හදපු උමං කියායි.

4. මේ කණ්ඩායම මුලින් සල්ලි යහමින් හොය ගත්තත් පස්සේ යුද්දේ නිසා දෝ සර්කස් කර්මාන්තය වැටිලා ජොබ් එකක් නැතුව අන්ත දුක් විඳිනවා. සමහර දවසට එක වේලක් කාලා තමයි පණ නල ගැට ගහ ගන්නේ. මාසයක් දෙකක් යන කොට සේදරමන්ට පොඩි පොඩි කැෂුවල් ඩේ ජොබ් සෙට් වෙනවා.

5. නමුත් කතාවේ අවසානයට මොකද වෙන්නේ කියලා දැන ගන්න කලින් අන්තිම කොල ටික ඉරිලා ගිහින් මේ දක්වාම සම්පූර්ණ කරගන්න බැරිවුණු හිඩසක් මගේ හිතේ ඉතුරු වෙනවා.

කෙසේ වෙතත් අපේ කතානායක සේදරමන් යහතින් ලංකාවට ආපු බවනම් සැකයක් නෑ. පොර පසුව රාජ්‍ය සේවයට බැඳිලා ලංකාවේ නාට්‍ය උපදේශකයෙක් වගේ සේවය කළ බවට සඳහනකුත් මේ පොතේ තිබුණු බවයි මට මතක!

ගූගල් සර්ච් එකකින් මං හොයා ගත්තා සේදරමන් ශිල්පියා බලි යාග ගැන පොත් පත් ලියා තියෙන බව. නමුත් මේ මං කියන පොත ගැන නම් සඳහනක් තිබුණේ නෑ!

කවුරු හරි ඉන්නවාද මේ පොත සේදරමන් ගේ යුරෝපයේ චාරිකා පොත කියෝලා තියෙන?

-කතන්දරකාරයා

ප/ලි:
වෙන කොල ඉරුණා වගේ නොවෙයි අග්ගිස්සේ කොල ඉරුනොත් වෙන්නේ ලොකු පාඩුවක් බව අමතක කරන්න එපා.

ප/ප/ලි:
මෙන්න මගෙ යුරෝපීය චාරිකාව ගැන ලියවුණු කතන්දර කීපයක්.

1. කතන්දරකාරයා අතුරුදහන් වේ! - Kathandarakaraya missing in action
http://kathandara.blogspot.com/2013/04/kathandarakaraya-missing-in-action.html

2. සිත් සන්තොසින් ගුවනේ දී බැඳි හාද - KK's movie marathon
http://kathandara.blogspot.com/2013/04/kks-movie-marathon.html

3. ඒරොප්පේ ගුවන් තොටකදී ශ්‍රී ලන්කන් ගුවන් යානයක් දුටුවෙමි! - Metallic memories
http://kathandara.blogspot.com/2013/04/blog-post.html

4. ඉතාලියේ රෝම නගරයේ අරුම පුදුම දසුනක් - A Roman Circus Act
http://kathandara.blogspot.com/2013/05/roman-circus-act.html

5. ඉතාලියේ පුංචි පුංචි කාර් - Small is beautiful?
http://kathandara.blogspot.com/2013/05/small-is-beautiful.html

6. රෝමයේ සිට කිලෝ මීටර් විසිපහක් දුර ගෙවා පොලොන්නරුවට ගියෙමි! - Photos from Ostia Antica
http://kathandara.blogspot.com/2013/06/photos-from-ostia-antica.html

7. ඉතාලියේ දී මා දුටු ඉසරුමුණි පෙම් යුවල - An Italian Affair
http://kathandara.blogspot.com/2013/06/italian-affair.html


8. රෝම ශිෂ්ඨාචාරයේ පරිහානියට හේතුව Xක්කු ප්‍රශ්නයක් ද? - A hereto unknown reason for the decline of Roman Empire
http://kathandara.blogspot.com/2013/06/x-hereto-unknown-reason-for-decline-of.html

9. ඒරොප්පේ කෝච්චි නේ හලෝ කෝච්චි - Train-spotting in Europe
http://kathandara.blogspot.com/2013/05/train-spotting-in-europe.html

10. දුම්බීම සහ තුවක්කු - Smoking Guns
http://kathandara.blogspot.com/2013/04/smoking-guns.html

11. දින එකොළහකට පසු බත් කටක් කෑවෙමි - Oh, what a feeling
http://kathandara.blogspot.com/2013/04/oh-what-feeling.html

12. ෆ්‍රෑන්ක්ෆර්ට් හි දී ජර්මන්කාරයින්ව පැරද්දූ කතන්දරකාරයා - Kathandarakaraya conquers Frankfurt
http://kathandara.blogspot.com/2013/05/kathandarakaraya-conquers-frankfurt.html

13. යුධ අපරාධකාරයා ගේ රඟපෑම අවසාන වෙයි? - War criminals' good guy acting will end one day!
http://kathandara.blogspot.com/2013/05/war-criminal-acting-will-end-one-day.html

14. ජර්මනියේ දී මුණ ගැහුණු ඉන්දියානු ටැක්සිකාරයා - Still in Germany
http://kathandara.blogspot.com/2013/05/still-in-germany.html

15. හිතේ හැටියට බියර් බොන්න ඕනෑ නම්, සසර වසන තුරු නිවන් දකින් තුරු ජර්මනියේ ඉපදෙමු! - Amber, amber everywhere!
http://kathandara.blogspot.com/2013/05/amber-amber-everywhere.html

(image: http://www.reuters.com/article/2007/01/15/businesspro-eurotunnel-court-dc-idUSL1520276920070115)