සෝමරත්න දිසානායක අද අප කවුරුත් හඳුනන්නේ ජාත්‍යන්තර සම්මානලාභී සිනමාකරුවෙකු ලෙසිනි. ඒ සමගම රාජපාක්‍ෂිකයෙකු ලෙසිනි. සරෝජා, පුංචි සුරංගනාවී, සූරිය අරණ, සමනල තටු, සිරි රජ සිරි චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළ ඔහු ගේ නවතම නිර්මාණය වූයේ බිංදු නම් වූ ළමා චිත්‍රපටයයි.
පසුගිය වසරේ අග භාගයේ දිනක කතන්දරකාරයා ගේ ප්‍රශ්න කිහිපයක් සහ ඒවාට සෝමරත්න දිසානායක දුන් පිළිතුරු ඇසුරින් වැඩි සංස්කරනයකින් තොරව මේ ලිපිය සැකසේ.
කතන්දරකාරයා-මුලින්ම අහන්න ඕනෑ, සෝමා කියලා කතා කළාට කමක් නැද්ද කියලා?
සෝමා-එහෙම තමයි මට කතා කරන්න ඕනෑ, වෙන විදියකට කතා කළොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
කතන්දරකාරයා- හොඳයි සෝමා, වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍ය අතරින් ආ ඔබ සිනමාවට පිවිසියේ සරෝජා නිර්මාණය තුළින්. මා ඔබ සමග මුලින්ම කතා කළේ සරෝජා චිත්‍රපටියේ විශේෂ දර්ශනයකදී එහි විවේක කාලයේදී යි. එදා ඔබ මගෙන් ඇහුවා මල්ලී මොකද හිතේනේ චිත්‍රපටිය ගැන? කියලා. මම ඔබ සමග කතා කරන්න පටන් ගත්තේ චිත්‍රපටියේ මුල් කොටස බලා ඒ කඳුළු අතරින්. ඒ තරමට මගේ හිතට වැදුණු චිත්‍රපටියක් සරෝජා.
මට හිතෙන විදියට, සරෝජා කියන්නේ ඒ දිනවල, මීට වසර දොළහකට පෙර, ලංකාවේ පැවති ත්‍රස්තවාදී ප්‍රශ්නය දෙස මානුෂික ඇසකින් බලා ඒ පිළිබද අපේ අවධානය යොමු කළ, සමාජ දේශපාලනික වශයෙන් ඉතාම වැදගත්කමක් තිබූ චිත්‍රපටියක්.
ඒත් එදා ඔබට සමහරුන් චෝදනා කළා ඔබ සරෝජා චිත්‍රපටිය තුළින් කොටින්ට උඩ ගෙඩි දෙනවාය කියා.
මේ පිළිබද අද වසර දශකයකට පමණ පසු ඔබ හැරී බලන්නේ කොයි ආකාරයටද?
සෝමා- සරෝජා චිත්‍රපටිය ගැන මට ඇත්තටම කියන්න තියෙන්නේ මේකයි. ලංකාවේ සාමකාමීව සමගියෙන් ජීවත්වෙන සිංහල සහ දෙමළ බුද්ධිමත් මිනිසුන් අතර සිටි එක්තරා අන්තවාදී දේශපාලනයක් මතයක් දරණ පිරිසක් විසින් ජාතිවාදී ප්‍රශ්නයක් ලෙස වැරදියට හැඳින්වුණත් ලංකාවේ තිබුණේ ඇත්තටම ත්‍රස්තවාදී ප්‍රශ්නයක්. ප්‍රභාකරන් සහ ඔහුට උඩගෙඩි දුන් ඔහුගේ උල්පන්දංකාරයෝ විසින් ලංකාවේ සිටින සිංහල සහ දෙමළ මිනිස්සුන්ට සමගියෙන් ඉන්න බැහැ, මේ හතුරු ජාතින් දෙකක් යැයි කියා පතුරවපු ඒ මතය නිවරද කිරීම අවශ්‍ය වුණා.
ස්වාධීන මත දරණ, රටට ආදරය කරණ, සමස්ත ශ්‍රී ලාංකික ජනතාවටම, සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් කියන සකල ශ්‍රී ලාංකිකයින්ටම ආදරය කරණ, ස්වාධීන කලාකරුවන් ලෙස අපේ යුතුකමක් මේ ප්‍රශ්නය ටිකක් නිරවුල් කරලා, මේ ගැන හිතන්න මිනිස්සුන්ව යොමු කරන එක. සරෝජා චිත්‍රපටියෙන් මම කළේ ඒකයි.
මම මගේ නිර්මාණය තුළින් මිනිස්සුන්ව හිතන්න පෙලඹෙව්වා, ඇයි? මොකක්ද මේ වෙනස? මනුස්සකම කියන එක මේ දෙගොල්ලෝ අතරේම පොදු දෙයක් නේද? කියා
මං හිතුවා ඒ පණිවිඩය වැඩිහිටි වචනවලින් කියනවාට වැඩිය, පුංචි ළමයින් ගේ, ඒ ළමාවියේ චමත්කාරය තුළින් කියපුවාම ඒකේ තියෙන සංවේදීතාවය වැඩියි කියා.
ආපහු හැරිල බලන කොට කතන්දරකාරයා මම එදා ප්‍රාර්ථනා කරපු දෙය, එනම් සිංහල දෙමළ මිනිසුන් පීඩාවට පත් කරන මේ ත්‍රස්තවාදී ප්‍රශ්නය කවදා හෝ නිමාවට පත්වෙලා සිංහල දෙමළ මිනිසුන් සමගියෙන් ජීවත්වෙන දවසක් උදාවේවා කියන දේ, එය අද සඵල වෙලා තියෙනවා.
එක්තරා විදියකට මට පුංචි ආඩම්බරයක් තියෙනවා කතන්දරකාරයා. මගේ චිත්‍රපටිය තුළිනුත්, ඉන් පිට මා පැවැත්වූ විවිධ දේශනවලදී සහ විවිධ කථාබහේදී මා මේ පණිවිඩය ගෙන ගියා. අප ලැබූ සාමයේ එක්තරා දායක්වයක් මටත් තියෙනවා කියලා මට අද හිතෙනවා.
කතන්දරකාරයා- මෙතෙනදී අපිට මෙහෙම ප්‍රශ්නයක් එනවා නේද? සරෝජා තුළින් ඔබ අදහස් කළ දේ එසේ වුණත්, ඔබට චෝදනා කළ අය කීවේ, ඒ චිත්‍රපටියේ දී ත්‍රස්තවාදියෙක් වූ සරෝජා ගේ පියා ගේ සමාජමය ප්‍රශ්න සහ සංවේදී මානුෂික පැත්ත පෙන්වීම තුළින් ත්‍රස්තවාදයට අනුබලදීමක් වෙනවා ය කියායි. ඒ ඔවුන් ගේ වැරදි වැටහීමද, නැත්තම් ඔබේ පණිවිඩය ඔවුන් අතරට හරියට ගියේ නැද්ද?
සෝමා- මං හිතන්නේ මෙහෙමයි. ඔය අන්තවාදීන් කියන අය ඉන්නේ දෙමළ ත්‍රස්තවාදීන් අතර පමණක් නෙමෙයි. සිංහල ජාතිකයින් අතරත් ඉන්නවා. ලංකාව මහා ජාතියවෙන සිංහලුන්ට මිස දෙමළ අයට අයිතියක් නෑ කියලා හිතන අයත් ඉන්නවා. ඔවුන් වැරදියි.
ප්‍රභාකරන්ගේ දෙමළ ත්‍රස්තවාදීන් වගේම, ලංකාව සිංහලයින්ට පමණක් අයියතිය කියල හිතන අයත් මං හදුන්වන්නේ ජාතී විරෝධීන් හැටියටයි.
කවුරු හෝ කෙනෙක් ලංකාවේ ඉපදුනා නම් ඔවුන්ට අපේ රටේ අයිතිය තියෙනවා. මං සරෝජා චිත්‍රපටියේ කතා කරන්නේ ඒ මධ්‍යස්ථ මතයේ ඉඳගෙනයි. ලාංකික පුරවැසියන් සියලුම දෙනාට ලංකාව අයිතියි.ඒක මේ ඇණ කොටගෙන, වැටවල් ගහගෙන, බෙදා වෙන් කරගෙන ජීවත්වෙන්න නෙමේ, තියෙන දේ බෙදා හදාගෙන සතුටින් සාමයෙන් ජීවත්විය යුතුය කියන මතයේයි මං ඉන්නේ.
මගේ මතයේ නැති සිංහල ජාතිකයෝත් ඉන්නවා. ඔය චිත්‍රපටියේ එන සුන්දරම් ගේ චරිතය ගන්න. එයා කොටි සංවිධානයට බලෙන් වගේ බඳවා ගත්තු කෙනෙක්. ඔහු අසරණ වෙලා ඉන්න කොට සිංහල පවුලක් එයාව බලාගන්නවා. එතකොට අන්තවාදී සිංහලයන් කියනවා ඇයි මේ කොටි ආරක්‍ෂා කරන්නේ කියලා.
මම එතන බලන්නේ සුන්දරම් කොටියෙක් හැටියට නෙමේ මනුෂ්‍යයෙක් හැටියටයි. ඔහුගේ පුංචි දියණිය අපේ දුවෙක් විදියටයි මං දකින්නේ. ඒක තමයි මගේ පණිවිඩය. සමහර අයට මේ පණිවිඩය දිරවන්නේ නෑ. ඒ පටු විදියට හිතන අය එදා මාව සහ මගේ සරෝජා චිත්‍රපටිය ඔය කතන්දරකාරයා දැන් කියපු විදියට විවේචනයට ලක් කළා. ඒකට කමක් නෑ. මං ඒකට සූදානමෙන් තමයි චිත්‍රපටිය කළේ. මං දෙපැත්තේම අන්තවාදී මත හෙළා දකින ස්වාධීන පුද්ගලයෙක්.
කතන්දරකාරයා- ඔය කාලයෙන් පස්සේ, යුද්ධය දරුණුව පැවති අවදියේ දී, කවුරුන් හෝ දෙමළ ජනතාව පිළිබඳව වචනයක් හෝ කතා කළා නම් ඔවුන් සිංහල කොටින් ලෙස හැඳින්වෙන ප්‍රවණතාවයක් ආවා. ඒ වචනය එදා සරෝජා චිත්‍රපටිය කාලේ තිබුණා නම් ඔබවත් සිංහල කොටියෙක් ලෙස හැඳින්වෙන්නට ඉඩ තිබුණා කියලයි මට අද හිතෙන්නේ.
සෝමා පසුව හැදු චිත්‍රපටවල, ළමුන් ගැන සහ ඒ තුළින් වෙනත් සමාජ ප්‍රශ්න ගැන කතාකළත්, ලංකාවේ ලොකුම ප්‍රශ්නය වන යුද්ධය ගැන කතා කෙරුණේ නැහැ. ඒකට හේතුවක් වුණාද, එදා සරෝජා චිත්‍රපටියට ලැබුණු සෘණාත්මක විවේචන?
සෝමා- නෑ, කිසිසේත්ම නෑ, ඒවායින් මං කිසිම පසුබෑමකට ලක්වුණේ නෑ, තවත් ධෛර්යමත් වුණා විතරයි. ඇත්තටම කතන්දරකාරයා, සරෝජා චිත්‍රපටියෙන් පස්සේ මං හැදුවේ පුංචි සුරංගනාවී. එයිනුත් මං කතා කළේ සිංහල, දෙමළ මිනිසුන් අතර තියෙන සමගිය පිළිබදවයි.
මානසික පීඩනයකට ලක්වෙලා ඉන්න දරුවක්, දෙමළ දැරියක ගේ සෙනෙහස නිසා නිවරැදි, නීරොගී ළමයෙක් බව පත්වෙන කතාවයි එහි ඇතුළත් වුණේ. එතන තිබුණෙත් මනුස්සකමේ මහිමය.
මා ඒ කථාවේ අවසානයේදී 83 ජූලි කලබලය එයට සම්බන්ධ කළා. එතනදීත් මට සිංහල අන්තවාදීන් කිව්වා ජූලි කලබලය නැවත මතක් කළ එක වැරදියි කියලා. මං කවදාකවත් ඒ ලැබෙන විවේචනවලට බයේ මාතෘකාව වෙනස් කළේ නෑ.
සරෝජා චිත්‍රපටියේ පසු මා පුංචි සුරංගනාවී චිත්‍රපටය තුළින් ඇතැම් පිරිස් වලට පෙරට වඩා රිදෙව්වා වෙන්න පුළුවන්. මොකද, 83 ජුලි කලබලයේදී අපි පිළිගත යුතුයි අපේ අතින් වැරුද්ක් වූ බව. අපේ ඇතැම් සිංහල මිනිසුන් ක්‍රියා කළ විධිය වැරදියි. අමානුෂිකයි. ඒ වන්දිය තමයි අපි ගෙව්වේ අවුරුදු තිහක් පමණ දක්වා. අපට පිළිතුරු දෙන්න වුණා ඒ කරපු අපරාධවලට. ඒ වැරැද්ද අප පිළිගත යුතුයි.
පුංචි සුරංගනාවී චිත්‍රපටියෙන් පසු මා තවදුරටත් ඒ මාතෘකාව ගැන කතා කළේ නෑ. එහෙම කළා නම් මා නිර්මාණකරුවෙක් නොව එකම දෙයක් ගැන කතා කරන වාර්තාකරුවෙක් වෙනවා.
ඒ නිසා ඉන් පසු මම ලංකාවේ පවතින වෙනත් ප්‍රශ්න ගැන, සූරිය අරණින් පරිසරය, ආගම, සතා සීපාවා ගැන, සමනල තටුවලින් වීදි දරුවන් ගැන, සිරි රජ සිරි වලින් රටේ තියෙන අධ්‍යාපන ප්‍රශ්නය ගැන, බින්දු චිත්‍රපටියෙන් රටේ තියෙන අලි-මිනිස් ගැටුම පිළිබඳව කතා කළා.
කතන්දරකාරයා- ඔතනින්ම මතුවෙන තවත් ප්‍රශ්නයක් තමයි මේක. සමහරු කියනවා, සෝමරත්න මුලින්ම ත්‍රස්තවාදීන්ට උල්පන්දම් දෙන චිත්‍රපටියක් හැදුවා. අපි කිව්වා සෝමා, ඔය වගේ චිත්‍රපට හදනවා නම් අපි ඔයාගේ චිත්‍රපටි බලන්නේ නෑ කියලා. සෝමරත්න ඒ කතාව අහලා ඔන්න ඊට පස්සේ හදනවා හොඳ චිත්‍රපටි! ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
සෝමා- ඒ අය එහෙම හිතන්න පුළුවන්. නමුත් සත්‍යය තමයි මං මුලින් සඳහන් කළේ. මං වෙනස් වෙලා නෑ. කලාකරුවෙක් ලෙස පසුව රටේ වෙනත් ප්‍රශ්න දෙස බැලුවා පමණයි.
කතන්දරකාරයා- ඒ මතයේම අනිත් පැත්තේ ඉන්න අය කියනවා මෙහෙම. ඔවුන් කියන්නේ සෝමරත්න හොඳ සිනමාකරුවෙක්, නමුත් ඔහුගේ ප්‍රශ්නය තමයි තමන්ගේ මුල් කෘතියෙන්ම උච්චස්ථානයට පත්වීම කියලා. ඒ කියන්නේ සරෝජා තමයි ඔහු ගේ අග්‍රගණ්‍ය චිත්‍රපටිය. ඔහුගේ පසුකාලීන නිර්මාණ තුළින් එතරම් කම්පනයක් ජනතා සිත් සතන් තුළ ඇති කළේ නෑ කියලා. ඒ අදහස ගැන සෝමා මොකක්ද කියන්නේ?
ඒ ප්‍රශ්නයට සෝමරත්න දිසානායක දුන් උත්තරය සහ "කඩේ යාම" ගැන ප්‍රශ්ණෝත්තර ඊළඟ සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් එකෙන් කියවන්න.
http://kathandara.blogspot.com/2011/08/xx-chat-with-soma.html-කතන්දරකාරයා
මෙය තවත්
නේම් ඩ්‍රොපින් කතන්දරයකි.
මේ ආකාරයේ වෙනත් කතන්දර මෙන්න.
1.
ජැක්සන් ඇන්තනි සමග කළ කතා බහ2.
රෝහන බැද්දගේ සමහ පිළිසඳර3.
විජේරත්න වරකාගොඩ ගැන 4.
අනුර කුමාර දිසානායක ගෙන් ඇසූ ප්‍රශ්ණය5.
අර්ජුණ රණතුංග ගේ විහිළු කතා(image: http://www.colombopage.com/)