Showing posts with label විශ්ව විද්යාලය. Show all posts
Showing posts with label විශ්ව විද්යාලය. Show all posts

Monday, 27 August 2012

අධ්‍යාපන අර්බුදයේ ගැඹුර කොච්චරද? මෙච්චරයි! - How deep is the education crisis? This deep!


යූ ටියුබ් එකේ වීඩියෝ ක්ලිප් එකක් බලමින් ඉන්න කොට පරණ කතන්දරයක් මතක් වුණා.

මේ වීඩියෝ ක්ලිප් එකේ ලින්ක් එක මට ඊ-මේල් එකකින් එව්වේ යුනිවසිටිකාරයෙක්වෙන සිඩ්නි සිතුවිලි බ්ලොග් එක ලියන ප්‍රියන්ත ෆොන්සේකා යි.

දැන් බලමු වීඩියෝ ක්ලිප් එක.



අද ලංකාවේ අධ්‍යාපනයේ තියෙන අර්බුදය ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ? දීර්ඝ කාලයක් තිස්සේ නිසි පරිදි ආයෝජනයක් නොකිරීමේ පල විපාක තමයි.

වැඩේ කියන්නේ මීට අවුරුදු ගණනාවකට කලින් මං මුලින්ම විශ්ව විද්‍යාලයකට ගිය කාලෙත් ඔය අර්බුදේ තිබුණා. ඒ ගැන කතා බහ කළා. වාද කළා. ප්‍රශ්නය ඔද්දල් වෙවී ඉදිරියටම ගියා.

උං හිටියත් එච්චරයි. උං ගිහින් මුං ආවත් එච්චරයි.

දැන් මෙන්න මට මතක් වුණු කතන්දරේ.

ඔන්න අපි ඒ කාලේ මේ අධ්‍යාපනයේ අර්බුදය ගැන සම්මන්ත්‍රණයක් සංවිධානය කළා. ඒ දවස්වල කැම්පස් එක දින නියමයක් නැතුව වහලා දාලා හින්දා අපි නුවර පැත්තේ විශාල ශාලාවකයි මේ සම්මන්ත්‍රණය පැවැත්තුවේ.

නලින් ද සිල්වා ලොක්කාට මං ගිහින් ආරාධනා කළාට පොර මුලින් හා එන්නම් කීවාට පස්සේ ආවේ නෑ.

ඒ දවස්වල විපස්සයේ හිටිය වර්ණපාලකාරයා නං එක පයින් කැමති වෙලා ආවා. පොරට ආරාධනා කරන්න ගියේ මායි මගේ සුමිත්‍රයෙකුයි. මගේ ඒ සුමිතුරා තමයි මේ කතන්දරයේ කතානායකයා.

සම්මන්ත්‍රණය සංවිධානය කරන්න සාකච්ඡාකරන වෙලේ කවුරු හරි නොවැදගතෙක්ව මූලාසනයේ තියමු කියලා අපි කතා වුණා. මූලාසනයට තියෙන්නේ ඉතිං කතාකරන දේශකයින්ව හඳුන්වා දෙන එක විතරයි නේ.

ඔන්න ඉතිං ඒ තියරිය අනුව මායි එදා මූලාසනේ. අපේ කැම්පස් එක වෙනුවෙන් කතා කරන්න ඔන්න මං සුමිතුරාව හඳුන්වා දුන්නා.

පොර කතා කරන්න යන්නේ අධ්‍යාපනයේ අර්බුදය ගැනයි!

"ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදර සහෝදරියනි, අද මේ සම්මන්ත්‍රණයේ දී ඔබ අමතා කතා කරන්නට මට ආරාධනා කිරීම ගැන මුලාසනයේ සිටින කතන්දරකාරයාට මා ස්තුති කරන්න කැමතියි". පොර කතාව පටන් ගත්තා.

"මා අද කතාකරන්නට යන්නේ අපේ රටේ අධ්‍යාපනය අද මුහුණ දී තිබෙන අර්බුදය ගැනයි. මේ අධ්‍යාපන අර්බුදය ඉතාම ගැඹුරු එකක්. මේ අර්බුදය කෙතරම් ගැඹුරුද කියනවා නම් ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදර, සහෝදරියනි,..."

ඔන්න ඔතන දී තමයි අපේ පොරට ටිකක් වචන හොර වුනේ, ඒත් පොර ඇරියේ නෑ.

"මේ අර්බුදය කෙතරම් ගැඹුරුද කියනවා නම්, ඉතාම ගැඹුරුයි, කොටින්ම මෙහි ගැඹුර මනින්න බෑ! අන්න ඒ තරමට ගැඹුරු අර්බුදයක තමයි අද අපේ රටේ අධ්‍යාපනය වැටිලා තියෙන්නේ."

මගේ සුමිතුරා ඒ තමන් වැටුණු අර්බුදයෙන් නම් ගොඩ ආවා ඒ විදියට.

හැබැයි එදා ඉඳලා අපි කැම්පස් එකෙන් අවුට්වෙන තුරුම පොරට අපෙන් ගැලවිල්ලක් වුනේ නෑ. පොරව දැක්ක ගමන් අපි අහන්නේ:

"මචං උඹ අරකේ ගැඹුර දැන් මැනලා ඉවරද?"

"මචං ගැඹුර හරියටම දැන ගත්තු දවසකට අපිට කියපං හරිද?" කියලයි.

-කතන්දරකාරයා

ප/ලි:
මිත්‍රයා නං දැන් ආණ්ඩුවේ තරමක ලොක්කෙක්.

මේ කතන්දර බ්ලොග් එක සමහර ලොක්කොත් කියවන බව දන්නවා වුනත් මේ ලොක්කා නං කියවනවාද කියලා දන්නේ නෑ. බලමු!

ප/ප/ලි
අධ්‍යාපනයේ අර්බුදයට මූලික හේතුව නම් කාලයක් තිස්සේ පැවති ආණ්ඩු විසින් නිසි පරිදි ආයෝජනය නොකිරීමයි. විශ්ව විද්‍යාල ක්‍ෂේත්‍රයේ මේ ආයෝජනය සිදුකරන්න රජයේ මුදල් ප්‍රතිපාදන නොලැබෙන නිසා ඇති විසඳුම නම් පුද්ගලික අරමුදල් ලබා ගැනීමයි. මේ පිළිබඳ මා ලියූ "ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රශ්ණයට විසඳුම පුද්ගලික විශ්ව විද්‍යාල නොවේ, මෙන්න මේකය! දැවෙන ප්‍රශ්ණයකට කතන්දරකාරයා ගෙන් පිදුරු ගොඩක්!! - Private money for higher education industry" ලිපිය මෙන්න.
http://kathandara.blogspot.com.au/2012/01/private-money-for-higher-education.html

Friday, 10 February 2012

යුනිවසිටි යන කොල්ලන්ට කෙල්ලන්ට අවවාද කීපයක්


මුල් කාලේ කතන්දරවල මං ගිය විස්ස විජ්ජාලේ ගැන කියන කොට මං පාවිච්චි කලේ නුවර පැත්තේ තිප්පොලක් කියන යෙදුමයි. පස්සෙන් පහු, පේරාදෙනිය ගැන කතන්දර කීපයක් වගේම කයි-කතන්දර බර ගනක් පල කෙරුවා.

මේ වෙනකොට නං ඉතිං මංතුමා මෙරට, නොරට යුනිවසිටි බර ගාණක අම්බානකුත් ටිකක් විතර චාටර් වෙච්ච පොරක් බව කතන්දර බ්ලොග් එක නිතිපතා කියෝන බහුතරයක් අය දන්නවා නේ.

දැන් නං මං ඔය "කැම්පස්-රම්පස්" වලින් අයින්වෙලා, දෙයියන් ගේ පිහිටෙන්, මගේ දාඩිය මහන්සියෙන් කීයක් හරි හොයාගෙන ඉන්නේ ආණ්ඩුවට කඹුරලායි. ඒත් ඉතිං මට හිතුණා අද යුනිවසිටි යන කොල්ලන්ට කෙල්ලන්ට පොඩි උපදෙස් කීපයක් දීලා දාන්න ඕනෑ කියලා.

ඕනැ නම් පිළිපැදපල්ලා, එපා නම්, ඒත් පිළිපැදපල්ලා!

1. ඉගෙන ගන්නා දෙයට ඇල්මක් ඇති කරගන්න

තරඟෙන් දිනලා ජොලි මූඩ් එකෙන් යුනිවසිටියට ගියාට වැඩි කල් යන්න කලින් ඉගෙන ගන්නා දේවල් එපා වෙන්න ඉඩ තියෙනවා.

මේක කීප විදියකට සිද්ධ වෙන්න පුළුවන්.

අ. මං දන්නවා අපේ අධ්‍යාපන ක්‍රමය නිසා සමහර වෙලාවට අපි ඔහේ රැල්ලට ගහගෙන ගිහින් පස්සේ අපිට ලැබෙන හොඳම දේ තමයි අන්තිමට ඉගෙන ගන්නේ. ඒක අපි කැමතිම දේ නොවෙන්න පුළුවනි.

ආ. ට්රෙන්ඩ් එකට, රැල්ලට, අරයා මෙයා කියපු නිසා, වැරදි වැටහීමෙන් මෙන්න මේ කෝස් එක තමයි මං කරන්න ඕනෑ කියලා තමන් පතාගෙන හිටපු කෝස් එක කරන්න පටන් ගත්තට පස්සෙන් පහු වුනත් වැඩේ එපා වෙන්න ඉඩ තියෙනවා.

ඇ. ඒ විතරක් නෙමේ, රැල්ලට නොගිහින් තමන්ගේ ම ස්ව-කැමැත්තෙන් පටන් ගත්න දෙයක් ගැන වුනත් පස්සේ කළකිරීමක් ඇතිවෙන්න ඉඩ තියෙනවා.

විවිධ හේතු නිසා ආපහු හැරෙන්න බැරි තත්වයක නං ඉන්නේ, මගේ උපදෙස තමයි තමන් ඉගෙන ගන්න දෙයට ආසාවක් ඇති කරගන්න කියන එක. මේක කොම්ප්‍රමයිස් එකක් තමයි. නමුත් ප්‍රායෝගික එකක්.

තමන් අකමැත්තෙන් කරන දෙයකට කැමැත්තක් ඇතිකර ගැනීම කියන්නේ හරියට පොලීසියෙන් අල්ලලා බැන්දෙව්ව අය පවා පස්සේ හොඳට ආදරෙන් පවුල් කනවා වගේ සීන් එකක්.

මුලදී මොනවා වුනත් හොඳට කළොත්, ඒ මුල් උපාධියෙන් පස්සේ පුළුවන් තමන්ට කැමති කැමති පරිදි ඉගෙන ගන්න උත්සාහයක් දෙන්න.


2. එක්ස්ට්‍රා කරිකියුලර් වැඩ කරන්න, විනෝද වෙන්න, නමුත් සීමාව පන්නන්න එපා!

යුනිවසිටි කාලේ ජීවිතයේ හොඳම කාලයක්. මේ කාලේ නොදාන පාටි කවදා දාන්නද? කරන්න පුළුවන් දේවල් ආයේ කවදා කරන්නද? හැබැයි මොන දෙයක් වුණත් කරන්න ඕනෑ, අනුන්ට කරදරයක් නොවෙන සීමාවේ ඉඳගෙන.

මං කියන්නේ අකමැති දේවල් කරන්න කියලා නෙමෙයි. කරන්න පුළුවන් දේවල් නොකර ඉන්න එපා කියලයි. අපේ කාලේ මට මතකයි, වෙනත් යුනිවසිටිවලින් බැච් ට්‍රිප් එනවා හන්තාන නගින්න. නමුත් අපේ කාලේ පේරාදෙනියේ අවුරුදු හතරක් ඉඳලා අවුට් චෙච්ච උන් ඕනෑ තරම් ඇති ජීවිතේට ගලහා පාරෙන් උඩට නොගිය.

මං විශ්ව විද්‍යාලයේ දී ස්පෝර්ට්ස් හැර අන් සියළුම බාහිර වැඩ කටයුතු කළා. ස්පෝර්ට්ස් කරන්න නං ඉතිං උනන්දුව විතරක් තිබිලා මදිනේ හැකියාවත් ඕනෑ. මං දැකපු වැදගත්ම දෙයක් තමයි, ස්පෝර්ට්ස් කරන උං, තමන්ගේ ස්ටඩීස් ටිකත් තිතට කළ බව!

මෙතන සීමාව පන්නන්න එපා කියන්නේ තමන් ගේ කබරයා තමන්ම අදින්න පුළුවන් සීමාවක් තියාගන්න කියන එකයි. ඒක අනුන්ට අදින්න වුණොත් ඒක තමන්ගේ පරාජයක්!


3. ලෙක්චර්ස්වලට, ටියුට්වලට, ලැබ්වලටසහභාගී වෙන්න

ෆර්ස්ට් ඉයර් එකේ දී කොහොම වුනත්, සාමාන්‍යයෙන් සෙකන්ඩ් ඉයර් එකේදී අමතක වෙලා යනවා ලෙක්චර්ස් කියලා ජාතියක් තියෙනවාද කියලා. මේක වැඩි පුරම වෙන්නේ කොල්ලන්ටයි. ඔය කියන දවස්වල මං ලියපු කෙටි කවියක් මෙන්න.

දේශන

කළු ද?
සුදු ද?


මේක ලොකුම ප්‍රශ්ණයක්. මංතුමා නං පස්සේ වැරැද්ද නිවරැදි කර ගත්තා. ඒත් අපේ කාලේ සමහර පොරවල් හිටියා ෆර්ස්ට් ඉයර් එකෙන් පස්සේ ලැබ්වලට, ඩිසයින්වලට මිස වැරදිලාවත් ලෙක්චර්ස් නොගිය.


4. මිතුරු ජාල හදා ගන්න, හැබැයි, කල්ලිවාදය අත හරින්න

මේක ටිකක් විස්තර කරන්න අමාරු මාතෘකාවක්. අවුරුදු තුනක් හතරක් එක තැනක කල් මරන්න බෑ, හොඳ යාළුවෝ ටිකක් නැත්තං. ඒ ඇතිකරගන්නා යාළු කං සමහරවිට ජීවිත කාලය පුරාම වැදගත් වෙනවා.

නමුත්, කල්ලිවාදය නම් හලාහල විස වාගේ අත අරින්න ඕනෑ.

අපේ මුළු රටටම කෙලවෙලා තියෙන්නේ මේ කල්ලිවාදය නිසයි. තමන්ගේ වැරදි තමන්ටම විවේචනය කරගන්න පුළුවන් තත්වයක් ඇති කරගන්නයි අවශ්‍ය. තමන්ගේ නොවේ තමන්ගේ කල්ලියේ ඉන්න උන්ගේ වැරදිත් පේන්නේ නෑ සමහරුන්ට. (මේක විස්තර කරන්න නං, කතන්දර කීපයක් ලියන්න වෙනවා වගේ!)


දැනට අවවාද එච්චචරයි! පසුව හමුවෙමු.

සතුට හා දුක මුසු සති අන්තයක් මේ උදා වෙන්නේ. බලන්න ඒකෙත් හැටි!

-කතන්දරකාරයා

ප/ලි:
මං කලින් මේ වගේ පෙම් කරන්න දුන්නු උපදෙසක් වැඩ කළ බවට පසුගිය දිනවල කියවුණා. මෙතන බලන්න.
http://tikakhinawenna.blogspot.com.au/2011/07/blog-post_14.html
අප දුන් උපදෙසක් වැරදුනේ නැත!

(image: http://www.ezyadmissions.com/australian-national-university/)

Thursday, 15 September 2011

අභිනිෂ්ක්‍රමණය කියන්නේ ප්‍රශ්ණ වලින් පලා යාමක් ද? Renunciation or running away from problems?


පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මං හිටපු කාලේ ගැන කියවෙන කයි-කතන්දර දාන්න පටන් අරං දැන් සති දෙකකටත් වැඩියෙන් ගතවුණා.

එහේ ගිය ගමන් ඇතිවුණු ඉච්ඡාභංගත්වයක් හරි ගෘහදායක ව්‍යාධිය හරි නිසා මුලින් මුලින් ලියවුනේ දුක්බර කවි තමයි. කවිය කියන්නේ කොහෙමටත් භාවාත්මක ප්‍රකාශනයක් නේ. ඒ එක්කම අතිශයෝක්තියත් නැතුවම බෑ, හරියට අර තිසර තන කේස් එකේ දී වගේ.

ඒ එක්කම ඉතිං කියන්නෝනැ, වැලිකතරේ, පතොක් ගස් අතරේ, කහමල්, රෝසමල් නොතිබුණේමත් නැතිය කියන වග!

ඔය කාලේ වෙනකොට පළමු වසරේ මුල් වාරය ගෙවෙන්නත් ආවා. ඒ කියන්නේ මුලු දෙසැම්බරයම අපිට නිවාඩු.

ඒ ගැන හිතද්දී හිතේ ජොලියට වගේ ලියවුණු කවියක් තමයි මේ.

අභිනිෂ්ක්‍රමණය

හාෆ් ෂීට් ෆයිල් කවර
කෝස්වර්ක් මැද හිරවුණු
ජීවිතයට සිසිලක් සැණසුම් සුවයක් ඕනෑ
මේ සීතල කඳු අතරේ
තවත් බැරිය හිරවෙන්නට
හැකි තරමින් ඉක්මන් කර ගෙදර යන්න ඕනෑ

අම්මා ගේ අත් ගුණයෙන්
රසවත් වුණු බත් කන්නට
උදේ අටට ඇහැරෙන්නට
රෑ නමයට නිදියන්නට
හැන්දෑවට සයිකලයෙන් පොඩි රවුමක් කැරකෙන්නට
සන්තෝසෙන් හිනැහෙන්නට
ගෙදර යන්න ඕනෑ

කාලසටහනින් තොර වූ
ඒ සුන්දර ලෝකය වෙත
අපාය අත්හැර දාලා නික්ම යන්න ඕනෑ
කම්මල් ගොරහැඩි බව නැති
සොබා දහම් රූ අතරට
හදවත තුටියෙන් පුරවා නික්ම යන්න ඕනෑ෴


අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

-කතන්දරකාරයා

ප/ලි:
මරුමුස්කාරයා නං ඔය මං උඩින් කියපු වැලිකතරේ මල් කතාව එක්ක එකඟ නෑ වගේ.

(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

(image: http://wetravelworld.com/2009/05/23/letting-the-train-take-the-strain-p5484/)

Tuesday, 13 September 2011

පේරාදෙනියේ වැලි කතරට වසන්තය උදාවේ - The Spring springs in Pera desert!


මෙන්න පේරාදෙනියේ හිටපු අය, නොගිය අය, යන්න ඉන්න අය එන එකී නොකී සියළු දෙනාගේම සතුට හේතු වේ යැයි හිතෙන කවියක්.

සමහර විට හිතෙන්න පුළුවන් මං මේ සාහිත්‍ය මාසයේ දැම්ම හොඳම කවි පන්තියත් මේකය කියලා!

පේරාදෙනියේ වැලි කතරට වසන්තය උදාවිය!

පෙර කරුමෙට මලකඩ පිරි කම්මලකට කොටු වූවා
බැලු බැලු හැම අතකින් කරදර දුක් සිත වෙත ආවා
සරසවි බිම ගැන ඇතිවුණු ප්‍රාර්ථනා බොඳ වූවා
සිසිලක් සැනසුම් සුවයක් ගැන හදවත මොර ගෑවා

පාලුව දුක වේදනාව සිත ඇතුලේ තෙරපුනේය
දහස් ගණන් දුක් සුසුමන් හද පතුලේ හිරවුනේය
ඇගෙ දසුනෙන් සිතට හදට සැනසිල්ලක් එළැඹුනේය
හදවත තුල නිසංසලේ ආදරයක් ඉපදුනේය

හද පතුලේ ඇය වෙනුවෙන් ආදරයේ මල පිපුණා
දහස් ගණන් සොඳුරු සිහින ඇය මැදිකරගෙන මැවුණා
දිනෙන් දිනම වැඩිවුණු ආදරයෙන් හදවත පිරුණා
සිත ඇතුලේ උපන් හැඟුම් ගී පදයක් වී ගැයුණා

කම්මල් බිම ගොරහැඩි බව මකා දැමූ දසුන ඇයයි
කඩු පන්තියෙ නිදිමත බව නසා දැමූ පහන ඇයයි
අවිවේකෙන් හෙම්බත්වුණු සිතට සිහිල් පවන ඇයයි
කෝස්වර්ක් මැද හිරවුණු ජීවිතයට මිහිර ඇයයි

පරිසරයේ අඳුර මකා තරු දහසක් සිනාසුනා
දාහය පලවා හරිමින් මුදු පවනක් ලඟාවුණා
ප්‍රාර්ථනා මල් ගොමුවේ සුවඳ මලක් මෝදුවුණා
සීතල උදුවප් මාසෙක වසන්තයක් උදාවුණා

සත් සතියක් පැතූ පැතුම් ඒ විලසින් සඵල වෙලා
සත් සතියක් දුටු සිහිනය නෙත් ඉදිරියෙ සැබෑ වෙලා
සතර අතේ සුවඳ විදා මල් ගොමුවක් පුබුදු වෙලා
ආදරයෙන් පිරුණු සිතක් තව සිතකට එකතු වෙලා

උදාගිරෙන් රන් අරුනළු රැස් දහරා වැටෙන්නේය
රන් චාමර සෙමෙන් සලා මහවැලි ගඟ ගලන්නේය
හන්තානේ සීත සුලං ආසිරි ගී ගයන්නේය
කඳු මුදුනේ වළාකුලෙන් මල් වැස්සක් වසින්නේය෴


අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

-කතන්දරකාරයා

ප/ලි:
කවි වලටත් ලින්ක්ස් දාන්න පුළුවන් වෙයි කියලා ටිම් බර්නර්ස්-ලී වත් එදා හිතුවද මන්දා?

ප/ප/ලි:
වැඩිය හිට් නොවිච්ච මෙන්න මේ පරණ කතන්දරේ දැකලා තියෙනවාද?
http://kathandara.blogspot.com/2009/11/50.html

(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

(image: http://www.funlogg.com/index.php/2010/10/26/university-of-peradeniya)

Friday, 9 September 2011

අඩුව ගැසීම (පේරාදෙනියේ කතන්දරයක් ) : Poverty-stricken students of Peradeniya


පේරාදෙනිය විශ්ව විද්යාලය තමයි මං හිතන්නේ ලංකාවේ තියෙන හොඳම නේවාසිකාගාර පහසුකම් තියෙන විශ්ව විද්යාලය.

මේවා නේවාසිකාගාර, හෝල්ස් ඔෆ් රෙසිඩන්සස්. හොස්ටල්ස් නෙමේ.

හොස්ටල් තියෙන්නේ ඉස්කෝලවලයි. මං අවුරුදු හතරක් විතර කල් මරපු මරියකඩේ පැත්තේ ඉස්කෝලෙ නම් අන්න හොස්ටල් එකක් තිබුණා.

අනාදිමත් කාලෙකට ඉස්සර නම්, මේ පේරාදෙනියේ නේවාසිකාගාරවල නතරවෙලා ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට විශ්ව විද්යාaලෙන් ම කෑම බීම දීලා තියෙනවා. නමුත් අපි යන කාලේ වෙන කොට මේ භෝජනාගාර පවත්වාගෙන ගියේ කොන්ත්රාත්තු ක්රමයට මුදළාලි ලා විසින්. එදා වේල සල්ලි ගෙවලා ගන්නයි අපිට තිබුනේ.

නැවතත් මේවා භෝජනාගාර (කැෆටේරියා) මිස කැන්ටින් නෙමේ. අන්න මං ඒ ලෙවල්ස් කරපු මරිකඩේ ඉස්කෝලේ නං කැන්ටිමක් තිබුණා.

කැන්ටින් නැතුව කැෆටේරියා තියෙන, හොස්ටල් නැතුව හෝල්ස් ඔෆ් රෙසිඩන්සස් තියෙන මේ වැදගත් වෙනස ගැන මං පස්සේ දවසක වෙනම ම කතාවක් ලියන්නම්.

ගෙදර ඉන්න කාලේ ඉස්සෙල්ලා උදේ කිරි තේ බොනවා. ඊට පස්සේ කනවා. ආයේ කිරි තේකක් හරි ප්ලේන් ටී එකක් හරි බොනවා.

පේරාදෙනියේ ගියාම පුරුදු වුණා, කෙලින්ම උදේට කාලා ඊට පස්සේ කිරි තේ එක බොන්න. උදේට හැමදාම මං කෑවේ පාන් භාගයයි, පරිප්පු දීසියයි. මේක නිකං ඒ දවස්වල මට අමෘත්යය වගේ. තාමත් ලැබුනොත් කනවා.

ඉඳිආප්ප වගේ ජාති තිබුණට, ඒව කන්න හිතුවේ නැත්තේ මූලිකවම වියදම වැඩි නිසයි. අනික කොහොමටත් මං ඉඳිආප්ප වලට කැමති නෑ.

දවල් ට සහ රෑ ට ඉතිං බත් ම තමා.

මුලින් නං මට මේ බත් සහ මාළුපිනි උගුරෙන් පහලට යවා ගන්න බෑ. ඇඬෙන තරමට නීරස ජරාවක්. මං හිතන්නේ මේක කාටත් පොදු දෙයක් ගිය අළුත.

මේ කාරණය හොඳින් දන්න අපේ ජ්යෙෂ්ඨ උත්තමයෝ කලේ අපිට බත් එක එක ඇටයක්, කරපිංච කෑල්ලක් පිඟානේ ඉතුරු නොකර කන්න අණ කිරීමයි. ඒ උත්තමයින් ට පින් සිද්ධ වෙන්න රැග් සීසන් එක ඉවර වෙන කොට අපි හොඳට මේ බත් එකට සීසන් වෙලයි හිටියේ.

බත් කනවා නම් චොයිසස් දෙකක් තිබුණා. එළවළු. නැත්තං මස්. මස් කියන්නේ ඉතිං "ජහ් කොටියා" තමා. චිකන් කියන්නේ ඒ දවස්වල සුඛෝපභෝගී කෑමක්. මං නං ඉතිං කොහොමටත් එළවළු ජීවිතයක් නෙමේ නේ. ඉතිං දිවා, රෑ මෂ් ම තමා.

බිත්තරත් ගන්න තිබුණා මගේ හිතේ. වෙනම සල්ලි දෙන්න ඕනෑ. මං කවදත් ඔය කොලොස්ටරෝලි ගුලි වලට කැමති නෑ.

බත් පිඟානේ ප්‍රමිතිය රැක ගන්න, කැන්ටිමේ ටෙන්ඩරය ගන්න මුදළාලි ලා ට නීති කීපයක් දාලා තිබුණා යුනිවසිටි එකෙන්.

1. එළවළු ජාති තුනක් තියෙන්න ඕනෑ.
2. ඉන් එකක් පරිප්පු හරි බෝන්චි හරි අල හරි වෙන්න ඕනෑ.
3. තව එකක් මැල්ලුමක් වෙන්න ඕනෑ.

ඕනෑ නීතියක හිලක් තියෙනවා නේ. ඉතිං, අපිට කවදාවත් බත්වලට බෝන්චි හෝ අල තිබුනේ නෑ. ඉඳලා හිටලා හරි තිබුනේ පරිප්පු ඇට වැටුණු හොද්දක් විතරයි. අනිත් හැම දවසටම තිබුනේ මුං ඇට. මුං ඇටත් පියලි වෙන්කලාම මුං ඇට පරිප්පු වෙනවානේ අර දැන් වැඩිය දකින්න නැති කඩල පරිප්පු, තෝර පරිප්පු වගේ.

මැල්ලුමටත් ගොටුකොල, මුකුණුවැන්න, සාරණ, කංකුං, තිබුණාය කියල හෙම හිතන්න එපා. හැමදාම තිබුනේ කොළ ගෝවා මැල්ලුම තමයි.

එළවළු බත් එකක් ගත්තත්, මස් එකක් ගත්තත් පිඟානේ තිබුනේ නං බත් පීරීසියක් විතර ප්රාමාණයක් තමයි.

අපේ සමහර උන්ට ඕක මදි. ඒකට ප්‍රතිකර්මයක් විදියට තිබුනේ අඩුවක් ගන්න එකයි.

අඩුවක් කියන්නේ බත් පිඟානෙන් බාගයක් විතර එළවළු ඩිංග, ඩිංග එක්ක බෙදලා දෙන එකටයි. මේකට ගෙවන්න ඕනෑ වුනේ සාමාන්ය එළවළු බත් එකේ මිලෙන් සියයට විසිපහක් විතරයි.

බඩගිණිකාරයින් ට කේටර් කරන්න හදලා තිබුණු මේ අඩුව ගැනීමේ ක්රමය වැඩිපුරම පාවිච්චි කලේ වැඩිපුර කන්න ඕනෑ වුණු උන් නෙමේ. අතේ වියදමට මුදල් ප්‍රශ්න තිබුණු කොල්ලෝ.

මේකට කියන්නේ අඩුවක් ගහනවා කියලයි.

මෙහෙමයි ඕක කරන්නේ. ඔන්න එක කොල්ලෙක් කාල ඉවර වෙන කොට, අනිකා කරන්නේ ඌට සල්ලි දීලා අඩුවක් ගෙන්න ගන්නවා. ඒක කාලා, පස්සේ මූ ම ගිහින් තව අඩුවක් අරං කනවා.

මුල් අඩුව මුලින් පිඟානේ කන එකාට කියලා ගෙන්න ගන්නේ ඉඳුල් ගෑවිලා තියෙන්නේ උගේ අතේ නිසයි. එහෙම රහසින් වගේ මේක කළාට, කොහොමටත් එළවළු ජීවිත නොවෙන උන් මුල් අඩුවට වැඩිපුර ගාණක් ගෙවලා මස්, බිත්තර දාගන්න නිසා, මං හිතන්නේ මේක ප්‍රසිද්ධ රහසක්.

දැන් විශ්ව විද්යාවලවල කොල්ලන් ඉස්සර තරං දුප්පත් නැති වුනත්, සමහර විට මේ අඩුවක් ගහන එක තාමත් භාවිතයේ ඇති.

මේ අඩුව ගැසීමේ කතාව නිවරදිව විස්තර කරන්න නම් රුපියල් සත එක්ක කතා කරන්න වෙනවා. මේ මිළ ඇත්ත ඒවා නොව උදාහරණ පමණකි.
(ඇත්තටම පසුව ලියමි).

කෑම පිඟානක් එළවළු එක්ක රුපියක් 25
කෑම පිඟානක් මස් එක්ක රුපියක් 32.50
කෑම අඩුවක් (සාමාන්‍ය ප්‍රමාණයෙන් බාගයයි, බත් සහ එළවළු විතරයි) රුපියල් 7.50
මස් කරි පිඟානට දාන්න රුපියල් 7.50

අඩුව ගහන අයට මේ අනුව රුපියල් 22.50 ක මුදලට මස් කෑම එකක් කන්න පුළුවන් (මුලින් ගන්න අඩුව, මස් කරි, පස්සේ
ගන්න අඩුව).

එය එක වේලකට රුපියල් 10 ක ඉතුරුවක් හෙවත්, මසකට රුපියක් 600 ක ඉතුරුවකි.


-කතන්දරකාරයා

ප/ලි:
අපේ සමහරු අඩු දෙකක් කාලා ගානක් ඉතුරු කර ගත්තේ, ඒ සල්ලි වලින් කෑමෙන් පසු සිගරට් එකක් බොන්නයි.

මතකනේ අර කුකුල්ලු දෙන්නා ගේ කතාවට පදනම් වුණු විශ්ව විද්යානලයේ කොල්ලන් ගේ බීම සම්බන්ධයෙන් මං ලියපු අරක්කු ඕනා, කෝක් වානා කතාව?

ඒ කතන්දරේ ඉකොනොමික්ස් තියරිය වැඩිදුර විස්තර කරන්න මට දෙවෙනි පෝස්ට් එකකුත් ලියන්න වුනා!

ප/ප/ලි:
මේ අද කතන්දරේ නැගලා ගියොත්, පේරාදෙනිය ෆුල් සීරීස් එකක් ලියන්නත් හිතේ තියෙනවා. දැනට මං ලියල තියෙන්නේ මට ලියන්න පුළුවන් පේරාදෙනිය කතන්දරවලින් සීයට පහක් විතරයි.

පේරාදෙනිය ජීවිතේ ගැන කයි-කතන්දර සීරීස් එක නංතාම පටන් ගත්තා විතරයි නේ.

http://www.panoramio.com/user/2946631/tags/Kandy%20-%20Peradeniya?photo_page=2)

Saturday, 3 September 2011

පේරාදෙනියේ යන්නට පෙර මනෝ ලෝකයේ දී ලියූ කවියක් - A day dream


මං අද උදේ දාපු කවියේ පසුපස තියෙන කතන්දරේ වැඩිපුර ලිව්වේ නෑ.

නමුත් ඒ ගැන අදහස් දක්වලා තිබුණු එහේ හිටපු ගීතක සහ මරුමුස් දෙන්නත් ඒ වගේම ලඟදී යන්න ඉන්න චතු ගේ හිත සනසන්න මට හිතුණා මේ කවියත් දාන්න.

මේක මං පේරාදෙනියේ කැම්පස් යන්න මාස පහකට විතර කලින් ලියාපු එකක්. මේ වෙන කොට මං ඒ පැත්ත පලාතේවත් ගිහින් තිබුනේ නෑ, වැස්සකටවත්.

තනිකර මනෝ ලොකයක ඉඳලා ලියපු කවියක් කියලා කියන්න පුළුවනි.

අහිංසක පැතුමක්
හන්තානේ කඳු අතරේ
සීතල සුළඟක එතිලා
පවසන්නම් ඔබේ කනට
කොඳුරාලා ආදරේ

මහවැලියේ ගංතීරේ
දිය රැල්ලක දැවටීලා
මුමුණන්නම් ඔබේ කනට
කොඳුරාලා ආදරේ

සරසවියේ තුරු සෙවනේ වෙහෙස නිවාලා
මල් ගොමුවේ තණ බිස්සේ පහස ලබාලා
පවසන්නම් කොඳුරාලා ආදරේ
මුමුණන්නම් කොඳුරාලා ආදරේ

මල් පෙත්තක නල රැල්ලක සිසිල ලබාලා
රෑ යාමෙක තරු පොකුරක එළිය ලබාලා
පවසන්නම් කොඳුරාලා ආදරේ
මුමුණන්නම් කොඳුරාලා ආදරේ෴


අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

-කතන්දරකාරයා

(පේරාදෙනිය විශ්ව විද්‍යාලයට යාමට මාස පහකට පමණ පෙර මා විසින් ලියන ලද ඉහත පදවැල ඒ කාලයේ ම හස්තද්වාරයෙන් එලිදක්වන ලද "ගී පදමාලා 25" කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

(image: http://www.greatmirror.com/index.cfm?navid=918)