Wednesday 26 February 2014

සබන් කෑල්ලක කතන්දරයක් - Soap Comradery


ඔන්න නොකිව්වැයි කියන්නෙපා, මේ අද මං කියන්න එන කතන්දරේ මහ ලොකු කේස් එකක් නෑ. මේක නිකම්ම නිකං සබන් කෑල්ලක කතන්දරයක් විතරයි.

ඉස්සර අපි පොඩි කාලේ අපේ ගෙදර පාවිච්චියට තිබුනේ එක සබන් කෑල්ලයි. මං කියන්නේ ඇඟේ ගාන සබන්. රෙක්සෝනා, ලක්ස්, සඳුන්, සමන්, කොම්ඹ, ඩෙටෝල්, ලයිෆ්බෝයි වගේ ඒවා. රෙදි හෝදන්න ගත්තු සන්ලයිට්, ස්නෝවයිට් නැත්තං පස්සේ කාලේ වොන්ඩර්ලයිට් වගේ ඒවා නොවෙයි!

අම්මයි, තාත්තයි, මායි, මල්ලිලා දෙන්නයි පාවිච්චි කෙරුවේ ඒ එකම සබන් කෑල්ලයි.

ලොකු මහත්වෙලා පේරාදෙනියේ සිර දඬුවම විදින්නය යනකොට තමයි හා හා පුරා කියලා මට ම කියලා සබන් කෑල්ලක් ගත්තේ. සබන් කෑල්ලක් විතරක් නොවෙයි ප්ලාස්ටික් සබන් පෙට්ටියකුත් ගත්තා!

පේරාදෙනියේ දී මුල දවස්වල අපේ සබන් කෑලි අපිම පාවිච්චි කළත් පස්සේ ඒ වෙනස්කම් නැතුව ගියා. අරූගෙ ද, මුගේ ද කියලා වෙනසක් නැතුව තිබුණු සබන් කෑල්ල පාවිච්චි කළා.

දෙවෙනි අවුරුද්දේ බෝඩිං ජීවිතේ ගත කරන කොට චමරියේ එකවුන්ට් එකට තමයි සබන් ගෙනාවේ මට මතක හැටියට.

මේ අද කතන්දරේ ඔයිට පස්සේ කාලෙක දී සිද්ධ වෙච්ච වැඩක්.

මේක වුනේ එක්තරා චමරියක. මේ චමරියේ හිටියේ එකම බැච් එකේ බැචාලා තුන් දෙනෙක්. නමුත් මේ තුන් දෙනා පස්තාච්චි කුපාඩිවලට සෙට් වෙන්න කලින් ඔවුන් ඉගෙන ගත්තු මං හරිහැටි නොදන්නා ආයතනයේ දී, එච්චර කිට්ටුවෙන් ආශ්‍රය කරපු අය කියලා මට පෙණුනේ නෑ.

කොහොම හරි මේ කතාවට අදාල වෙන්නේ එකම චමරියේ එකම බාත්රූම් එකෙන් නාපු මේ තුන් දෙනාට සබන් කෑලි තුනක් තිබුණු එකයි.

එක දවසක් මෙයින් එක පොරක්, අපි කියමු ප්‍රමෝද් කියලා, නාන්න ගිහින් බලන කොටයි මතක්වෙලා තියෙන්නේ පොරගේ සබන් කෑල්ල කලින් දවසේ හොඳටම ඉවර වෙලා බිම වතුර පාර දිගේ අන්තරස්දාන වෙලා ගිය බව.

දැන් ඉතිං ආයේ කඩේ යන්නයැ?

පොර තුවාය ඇඳගෙන එලියට ඇවිල්ලා ඒ වෙනකොට චමරියේ හිටපු එක මිතුරෙකුගෙන්, අපි කියමු විසල් කියලා, ඔහුගේ සබන් කෑල්ල ඉල්ලා ගත්තා.

එදා හවස තමයි ප්‍රමෝද් ට මතක් වුනේ ඒ සබන් කැල්ල ගැන ආපහු. පොර කෙරුවේ විසල්ට ඒ තමන් ඉල්ලා ගත්තු සබන් කෑල්ල සබන් පෙට්ටිය පිටින්ම ආපහු දුන්නු එකයි.

විසල් ප්ලාස්ටික් සබන් පෙට්ටිය විතරක් අරගෙන සබන් කෑල්ල ආපහු ප්‍රමෝද්ටම දුන්නා.

"මේ ඔයා ගෑව සබන් කෑල්ල ඔයාම තියා ගන්න. මං වෙනිං අය ගාපු සබන් කෑලි ගාන්නේ නෑ!" විසල් ඒ දෙන ගමන් කිව්වා.

ප්‍රමෝද් ට දැනුනේ මේක තමන්ට කරපු එක්තරා ආකාරයක අවමානයක් විදියටයි.

හරියට තමන් වාඩි වෙලා ඉඳලා නැගිට්ටායින් පස්සේ වෙනත් කෙනෙක් ඒ පුටුව පිහදාලා වාඩි වෙනවා දකිනවා වාගේ හිතෙන්න ඇති.

සමහර විට ඊටත් වඩා දරුණු විදියට දැනෙන්න ඇති. නිකං සහෝදරත්වය නැතිවුණා වගේ?

නමුත් මට නං හිතුනේ විසල් කරපු වැඩේ වරදක් නෑ ය කියලයි.

ඇත්තටම එදා ප්‍රමෝද් අළුත් සබන් කෑල්ලක් කඩෙන් ගේන්න නියමිතයි නේ. පොරට තිබුනේ ඒ අළුත් සබන් කෑල්ල විසල්ට දීලා, තමන් විසල්ගෙන් ණයට ගත්තු සබන් කෑල්ල දිගටම පාවිච්චි කරන එකයි!

මේ සබන් කේස් එක ගැන මොකද හිතෙන්නේ? සැඟවුණු අරුත් හොයන්න නම් එපා. නිෂ්ඵලයි!

-කතන්දරකාරයා

(image: http://blogs.babycenter.com/products_and_prizes/who-knew-11-crazy-shaped-soaps-for-kids/)

Sunday 23 February 2014

චන්ද්‍රිකා කුමාරණතුංග ගේ තාත්තා හෙවත් බණ්ඩාරණායක ගැන අනුර පුතා කියූ කතාවක්! - "What-if" analysis


මං මේ කියන්න යන කතන්දරේ පත්තරේක තිබීලා කියෙව්වේ දැන් අවුරුදු දහයකට පාළහකට විතර ඉස්සර කාලෙක.

මේ ලඟදී මේ ගැන ආපහු සිහියට ආවේ මතුගම හිටපු මන්ත්‍රී කෙනෙක් සහ ඇමති කෙනෙක් වෙන කන්නංගර ගැන W3Lanka එකේ පැරා ලියපු ලිපිය නිසායි.

ඇස් ඩබලිව් ආර් ඩී බණ්ඩාරණායක කියන්නේ ලංකාවේ හතරවෙනි අගමැතිවරයායි. පොර ගේ සම්පුර්ණ නම සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක. ඉපදිලා තියෙන්නේ 1899 දී. දේශපාලන පලිගැනීමකට වෙඩි තියලා මරලා දාලා තියෙන්නෙ 1959 දී යි.

බණ්ඩාරණායක ලා කියන්නේ ලංකාවේ ලිඛිත ඉතිහාසයක් තියෙන පරම්පරා කීපයෙන් එක් නඩයක්. මේ පරම්පරාවේ පරණම සීයා වෙන "නීලප්පෙරුමාල්" ලංකාවට ඇවිල්ලා තියෙන්නේ දාසයවෙනි සියවසේ දී නවගමුවේ දේවාලේ කපුවා ගේ වේකන්සියටයි. පස්සේ ඉතිං ලාංකික නම් අරගෙන, ක්‍රිස්තියානි ආගම වැලඳගෙන, "සිරිලංකාකාරයෝ" වුණා!

විසිවන සියවස වෙනකොට සුද්දා ගේ ආණ්ඩුවේ හිටිය ඉහලම දේශීය පුද්ගලයා මේ ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. ගේ තාත්තා ලු.

එංගලන්තේ ඉගෙන ගෙන බැරිස්ටර් කෙනෙක් විදියට ලංකාවට ගොඩ බැස්ස බණ්ඩාරණායක මුලින්ම පොලිටික්ස්වලට බැහැලා තියෙන්නේ කොළඹ නගර සභාවට චන්දේ ඉල්ලලායි. ඊට පස්සේ ඒ දවස්වල තිබුණු සුද්දා ගේ පාර්ලිමේන්තුවට (රාජ්‍ය සභාව) පත්වෙලා ඇමතිකම් හෙම කරලා ඊටත් පස්සේ 1947 පිහිටවපු යුඇම්පී ආණ්ඩුවේත් ඇමතිකමක් කරලා තියෙනවා.

සිරිලංකා එක හදාගෙන ආණ්ඩුවෙන් 1951 දී අයින්වුණු බණ්ඩාරණායක, 1952 ඡන්දෙන් පාඩම් ඉගෙන ගෙන 1956 ඡන්දෙදී ලෙෆ්ට් එකත් එක්ක නෝ-කොන්ටෙස්ට් සම්මුති ගහලා යුඇම්පීය ආසන අටට බස්සලා ලංකාවේ අගමැති වුණා.

බණ්ඩාරණායක අගමැති වුණු ආණ්ඩුවෙන් ලංකාවේ කරපු වෙනස්කම් බොහොමයි. අපිට ලාංකීයත්වයක් ඇතිවුණේ ඒ සමහර දේවල් නිසාය කියන එකයි මගේ අදහස. ඒ වුණාට විවිධ බලපෑම් ඒවා හරියට ක්‍රියාත්මක වෙලා නෑ. කොහොමටත් අගමැති වෙලා අවුරුදු තුනකින්ම පොරව ඒ සිස්ටම් එක විසින්ම අයින් කරලා දැම්මා නේ!

බණ්ඩාරණායක ගේ කාලේ ලංකාවේ ජාතිවාදී ප්‍රශ්නය ඇවිලුණා.

සුනිල් ආරිරත්න හදපු, ගාමිණී ෆොන්සේකා රඟපාපු, "සරුංගලය" කියන චිත්‍රපටියේ එන ජාතිවාදී කෝලාහල කොළඹ ඇති වුණේ ඒ කාලේ.

ඒකට ආසන්නම හේතුව වාහනවලට ශ්‍රී අකුර දාපු එකයි ලු. හැබැයි පස්සේ කාලේ ප්‍රේමදාස ඇල්ටීටී එක්ක කොලඹ සාම සාකච්ඡා කරලා වාහන අංකවල ට ඩෑෂ් එක දානකම්ම ඒ ශ්‍රී අකුර එහෙමම තිබුණා.

මං හිතන්නේ තාමත් ගමේ ගොඩේ ඇති ඒ ශ්‍රී අකුර තියෙන වාහන!

ඔය හේතුව හින්දා ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය ගැන කතා කෙරෙන තැන්වල දී බණ්ඩාරණායක ගැන සඳහන් වෙන එක ඒ දවස්වල නිතරම සිදුවුණා.

ඉතිං මං මුලින්ම සඳහන් කරපු පුවත්පත් සාකච්චාවේ දී, පත්තරෙන් අනුර බණ්ඩාරණායකව ඉන්ටර්වීව් කරන්න ගිය ජර්නලිස්ට්කාරයා පොරගෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්.

"ඔබේ පියා, ඇස් ඩබලිව් ආර් ඩී බණ්ඩාරණායක මහතා අද ජීවත් වෙලා හිටියා නම්, ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්ණය ගැන මොන විදියේ අදහසක් දරයිද?"

ඔය ජේආර්පී සූරියප්පෙරුමාල් කියන දේශපාලකයා හුඟක් ඉස්සට ඉඳලා තියෙන්නේ යූඇම්පී එකේ. කොටින්ම පොර 1977 චන්දේ දී සිරිමා බණ්ඩාරණායක අත්තගල්ල සීට් එකේ යූඇම්පී අපේක්‍ෂකයා ලු. මං අහලා තියෙන විදියට සුරියප්පෙරුමාල්කාරයා ඒ දවස්වල අනුර බණ්ඩාරනායක ගේ නම අර්ථ දක්වලා තියෙන්නේ අඥාණ නූගත් රදලයා කියලයි!

හැබැයි ජර්නලිස්ට්කාරයා ගේ ප්‍රශ්නයට අ.නූ.ර. දිලා තිබ්බ උත්තරේ මෙන්න මෙහෙමයි.

"මගේ පියා ඇස් ඩබලිව් ආර් ඩී බණ්ඩාරණායක මහතා අද ජීවතුන් අතර සිටියා නම් එතුමා ජනවාර්ගික ප්‍රශ්නය ගැණ කිසිදු අදහසක් නොදරන බව මට කියන්න පුළුවනි. මොකද අද ජීවත්ව හිටියා නම් එතුමාට වයස අවුරුදු 105ක් පමණ වෙනවා, මං හිතන්නේ නෑම එතරම් වයසක කෙනෙක් මේ දේශපාලන කාරණා ගැණ අදහස් දක්වමින් වාද විවාද කරාවිය කියලා!"

මොනවා කරන්නද? කට උත්තර නෑනේ?

අපේ ජර්නලිස්ට්කාරයා ඊලඟ ප්‍රශ්නට ගිහින් තියෙනවා.

-කතන්දරකාරයා

ප/ලි:
බණ්ඩාරණායක ගැන කියවෙන කොට ඊලඟට සඳහන් වෙන දේ තමයි 1956 රාජ්‍ය භාෂා පනත. ඒ ගැන මගේ අදහස වෙන දවසක, රාජ්‍ය භාෂා පනතේ ශත සංවත්සරය දා වගේ දවසක, ලියන්නම්.

(image: http://press.anu.edu.au/anzsog/dep_secs/mobile_devices/ch10.html)

Thursday 20 February 2014

හෝඩියේ පන්තියේ සිත්තරාවිය - Wonder years


දවසේ පැය විසි හතරෙන් අප අවදිව සිටින එයින් තුනෙන් දෙකකටත් වැඩි කාලය පුරා, වසරේ තුන්සිය හැටපස් දවස පුරා, අප අවට සිදුවන, අප නෙත් ගැටෙන, අපට අසන්නට ලැබෙන, අප අත්දකින, සියක් දහසක් දර්ශන, සංසිද්ධි, කතාබහ අතරින් වසර ගණනාවකට පසුවද නොමැකී මතකයේ රැඳි තිබෙන්නේ කවර ඒවාද යන්න තීරණය වෙන්නේ කුමන සාධක මතද යන්න මට සැමදා ඇති ප‍්‍රශ්නයකි.

අද කළ යුතු දේ අමතක වුවද, ඊයේ රාත‍්‍රියේ ආහාරයට ගත්තේ මොනවාදැයි දැන් මතකයේ රැඳී නොමැති වුවද, දශක ගණනාවකට කලින් එක් දිනයක සිදුවුණු සමහර අති සරල කුඩා සිදුවීම් අද ද මතක පොතෙන් නොමැකී තිබීම පුදුමයක් ම වේ.

මේ එවැනි එක් සුන්දර මතකයක් ඔබ හා බෙදා ගන්නට කාලයයි.

හෝඩියේ පන්තිය හෙවත් පළමුවැනි ශ්‍රේණියේ සිටින සිසුන් සඳහා විෂය නිර්දේශයක් එදා තිබුණේදැයි මම නොදනිමි. එවැන්නක් තිබෙන්නට ද ඇත. නොතිබෙන්නටද ඇත.

ඒ කෙසේ වෙතත් එදා අප කළේ හෝඩි පොත කියවීමයි. අකුරු ලිවීමයි. චිත‍්‍ර ඇඳීමයි. ඒ මොනවා ලිව්වත්, ඇන්දත් ඒ සඳහා අපට තිබුණේ එකම උපකරණයකි. එනම්, අද පෑඞ් නමින් හැඳින්වෙන ගැජට්ටුවේ ආරම්භය වූ ගල්ලෑල්ල සහ අද ස්ටයිලස් නමින් හැඳින්වෙන ගැජට්ටුවේ ආරම්භය වූ ගල්කූරයි.

අකුරු ලිවීම මට ලෙහෙසි කටයුත්තක් විය. අපට තිබුණේ එක්කෝ හෝඩි පොතේ සාමා හෝ අමර ගැන ලියවී තිබුණු වචනයක් ගල්ලෑල්ලේ ලිවීමයි. නැතිනම් අපේ පන්තිය භාර ඥානවතී ටීචර් කළුලෑල්ලේ ලියන අකුරක් හෝ වචනයක් ගල්ලෑල්ලේ ලිවීමයි. සමහර විට එකම අකුර හෝ වචනය කීප පාරක්ම ගල්ලෑල්ලේ ලියන්ට සිදුවිය.

එය එසේ වී නමුදු මට අසීරු කාර්යය වූයේ අදත් මට විශාල අභියෝගයක් වන චිත‍්‍ර ඇඳීමයි.

අප මේ කතාකරන්නේ පාට පැන්සල් හෝ පැස්ටල් කූරු හෝ දිය සායම්වලින් සුදු කොළ මත චිත‍්‍ර ඇඳීමක් නොවේ. ගල්ලෑල්ල මත ගල්කූරෙන් චිත‍්‍ර ඇඳීමයි. මේවා වචනයේ අර්ථපරිසමාප්ථාර්ථයෙන් ම කළු සුදු රේඛා චිත‍්‍ර විය.

එසේම මේ සඳහා අපට ලැබුණේ ද පස් වසරක ළමා සිතකින් ඔබ්බට යන අභියෝගාත්මක මාතෘකා යැයි අද මට සිතේ.

ඥානවතී ටීචර් අපට ඇඳීමට නියම කළ මගේ මතකයේ රුඳී ඇති එක් චිත‍්‍රයක් වනුයේ චීත්ත මෝස්තරයකි.

අපේ ආච්චී නිවසට, අහල පහළ ගමන් යාමට, ඇන්දේ චීත්තය. අම්මා ඇඳි දිගැති ගවුම් වුවද මසා තිබුණේ චීත්ත රෙද්දෙනි. ඒවායේ තිබූ මෝස්තර, පොඩි මල්, ලොකු මල්, ඉරි, තිත් යනාදී ලෙසින් විස්තර කළ හැකිවුවද ඒවා ළමා සිතකට සරල ඒවා නොවීය. මෙහිදී වැදගත්වන අනිත් කරුණ නම් වදෙන් පොරෙන් එක මලක් ඇඳගත්තා වුවද, ඒ හා සමාන රුවෙන් යුතු තවත් මල් රාශියක්ම ඇඳ මෝස්තරයක් මවන්නේ කෙසේද යන්නයි.

මේ දැවෙන ප‍්‍රශ්නයෙන් මා ගලවාගෙන ඉතා සරල නමුත් ශූර විසඳුමක් මට ලබා දුන්නේ හෝඩියේ පන්තියේ මගේ පුටුවට ඉදිරිපස පුටුවේ වාඩිවී සිටි ශානිකා කිරිබත්ගොඩ දැරියයි.

දශක කිහිපයකට පසුව අදත් මගේ සිතේ නොමැතී පැවතෙන ඒ චීත්ත මෝස්තරය අඳින ආකාරය පහත පරිදි වේ.

පළමුව, ගල්ලෑල්ල පුරා දිග්අතට සහ හරස් අතට එක සමාන අඟලක පමණ පරතරයකින් යුතුව ඉරි ඇඳ කොටුරූල් පොතක මෙන් සකසා ගන්න.

දෙවනුව ඒ කොටුවල විකර්න රේඛා ඇඳගන්න.


තෙවනුව, තිරස් සහ සිරස් රේඛා සහ ගැලපෙන විකර්න රේඛා මැදිවන පරිදි ඒ දිගේ කොටුවල කොන් යා කරමින් සිහින් දිගැති මල් පෙති අඳින්න.


අවසානයේ තිරස්, සිරස් සහ විකර්ණව ඇඳි රේඛා මකා දමන්න. අටපෙති මල් මෝස්තරයක් එහි මැවෙනු ඇත.


මේ චීත්ත මෝස්තරය ඇඳීම පිළිබඳව ශානිකා ට සමහරවිට වැඩිහිටියෙකුගේ උපදෙස් ලැබෙන්නට ඇත. එසේ වුවද, ඒ ආකාරයෙන් මල් මෝස්තරයක් නිර්මාණය කිරීම පස් වසරක් වයැසැති ළමයෙකුට එක්තරා ආකාරයකට විශ්ම කර්ම ක‍්‍රියාවක් විය.

ශානිකා ගෙන් මා උගත් දෙවන විත‍්‍රකර්ම පාඩම වූයේ මුහුදු වෙරළක දර්ශනක් ඇඳීමයි. එය චීත්ත මෝස්තරයකට වඩා විස්තර සහිත, නමුත් පෙරටත් වඩා ශූර නිර්මාණයක් විය.

කුඹුරු, ලියැදි, කමත්, ගුරුපාර, දෙවට, බඩවැටිය, කලාතුරකින් බසයක් යනෙන තාරපාර, පොල් ගස්, කජු ගස් පිරි වතු, පන්සල, පාර දෙපස තැන තැන පිහිටි කුඩා සිල්ලර කඩ වැනි අංගයන්ගෙන් සමන්විත ගම්බද පරිසරයක් ජීවත්වුණු අපට මුහුදු වෙරළ යනු හුරු පුරුදු දර්ශනයක් නොවීය.

අපේ ගම්මානයේ සිට කොළඹට තිබුණේ සැතපුම් පහළොවක පමණ දුරකි. ඒ ගෝල්ෆේස් යනවා නම් ය. කඳාන හෝ ජාඇල හරහා බටහිර මුහුදු වෙරළට ළඟාවීම නම් ඊට වඩා අඩු දුරක් ගෙවා කළ හැකි විය. නමුත් අපේ පන්තියේ මා ඇතුළු බහුතරයක් සිසුන් ට මුහුදු වෙරළක දර්ශනයක් සිතින් මවා ගැනීම මහා අභියෝගයක් වූවාට සැක නැත.

ඒ අභියෝගය ජයගන්නා හැටි ශානිකා මට කියා දුන්නේ මෙලෙසය.

පළමුව ගල්ලැල්ල දෙකට බෙදෙන පරිදි තිරස් ඉරක් අඳින්න. මෙය ක්ෂිතිජ රේඛාවයි.

මේ රේඛාව උඩින් අඩක් ගිලෙන හිරු ද, නවතා ඇති නැවක් ද සරල ඉරි කිහිපයකින් අඳින්න.


අහසේ පියාඹන කුරුල්ලන් රංචුවක් එකතු කරන්න. මේ සඳහා අවශ්‍යවන්නේ ද ගල්කූරෙන් කුඩා රේඛා කීපයක් ඇඳීම පමණි.

දැන් මුහුද ඇති කොටස පුරා රැළි මාලාවක් අඳින්න. අවශ්‍ය නම් බෝට්ටුවක් ද එකතු කරන්න. වෙරළ අයිනෙන් පොල් ගසක් හෝ දෙකක් සරල රේඛා කීපයක් මගින් ඇඳ ගැනීමත් සමගම චිත‍්‍රය සම්පූර්ණ වේ.


මේ සරල ක‍්‍රමවේදය අනුගමනය කිරීමේදී ගල්කූරු පහරින් ගල්ලැල්ල මත මැවෙන්නේ අනර්ඝ රේඛා චිත‍්‍රයක් බවට ඔබ මා සමග එකඟවනු ඇත.

එදා මට හෝඩියේ පන්තියේදී චිත‍්‍ර කර්මය කියා දුන් ශානිකා කිරිබත්ගොඩ නම් සිත්තරාවිය මා පරදවා පන්තියේ පළමුවැනියා වූවාය. පසුව කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍යවේදී උපාධිය ලබාගත් ඇය අද හෘද රෝග පිළිබඳ විශේෂඥවරියෙකි.

මා ලියන මේ ලිපිය ඇය කියවන්නට ඉඩ ඇතත්, එදා දශක කිහිපයකට පෙර සිදුවූ මේ සිදුවීම ඇගේ මතකයේ රුඳී තිබේදැයි මට සැක සිතේ.

-කතන්දරකාරයා

ප/ලි:
මෙය සඟරාවක පළ කිරීම සඳහා ලියන ලද කතාවකි. මේ මා මෑත කාලයේ ලියූ හොඳම ලිපිය යැයි අවංකවම මට සිතේ.

(image: http://www.tvworthwatching.com/post/Whats-YOUR-Wish-List-of-TV-Shows-That-Ought-to-Be-Out-on-DVD.aspx)

Monday 17 February 2014

වැඩේ හිතෙන තරමටම ලේසි නෑ! - It was not that easy!


මාක් ෂුකර්බර්ග් ගේ ෆේස්බුක් උගුලට මං අහුවෙලා ඇබ්බැහි වෙලාද කියලා බලන්න සතියක උපවාසයකට නිරත වෙලා ඒක ජය ගත්තට පස්සේ මගේ ඊළඟ ව්‍යාපෘතිය වුණේ ලැරී පේජ් ගේ බ්ලොගර් එකෙන් ගැලවිලා සතියක් බ්‍රහ්මචරියාවෙන් ඉන්න පුළුවනි ද කියලා ටැස් කොරලා බලන එකයි.

ඒ සතිය අද උදේ ගෙවුණා.

මේ ලියන්නේ මගේ ඒ අත්දැකීම කෙටියෙන් හරි ඔහේලා එක්ක බෙදා ගන්නයි.

මං සතියකට කලින් සඳුදා දවසේ කෙරුවේ ග්‍රිනිච් වෙලාවෙන් මධ්‍යම රාත්‍රී දොළහට, ඒ කියන්නේ ලංකාවේ වෙලාවෙන් උදේ පහයි තිහට, මේ ඒක පුද්ගල බ්ලොග් ස්වයංවාරණ ව්‍යාපෘතිය ගැන ලියවුණු පෝස්ට් එක පළවෙන්න දාලා කෙලින්ම බ්ලොගර් එකවුන්ට් එකෙන් ලොගවුට් වුණු එකයි.

ඒ එක්කම කමෙන්ට් මොඩරේෂන් කරන්නත් දැම්මා, මොකද ආයෙත් සතියක් වෙනකං බ්ලොග් එක පැත්ත පළාතේ යන්නේ නැති නිසා.

ඊට පස්සේ කුරුල්ලා වගේ නිදහසේ හිටියා.

දවසක් ගියා.

දෙකක් ගියා.

ඔය අතරේ ෆේස් බුක් එකේ දී එහෙන් මෙහෙන් වෙනත් බ්ලොග් ගැන විස්තර දැක්කත් නොදැක්කා වගේ හිටියා. කතන්දර එකවුන්ට් එකෙන් අයින් වෙලා හිටියත් මගේ සාමාන්‍ය ගිනුමට එන වෙනත් බ්ලොග්වල ඊ-මේල් නොසලකා හිටියා.

නමුත් බදාදා හවස් වරුවේ ඒ වෙනතුරු ඒ සතියේ පාවිච්චි වෙනත් පරිගණයක් ඕන් කරපු ගමන් මෙන්න බොලේ කතන්දර ඊ-මේල් එක නිකම්ම ආවා.

කමෙන්ට්ස් කන්දරාවක්ම ඊ-මේල් විදියට ඇවිත් තියෙනවා දැක්කත්, ඒඑා හොයන්නේ නැතුව ලොගවුට් වුණා එතනිිණුත්.

ඒ වුණාට බ්‍රහස්පතින්දා උදේ නැගිට්ට වෙලේ ඉඳලාම අර ඊ-මේල් ටික ගැන හිතේ වැඩ කරන්න පටන් ගත්තු නිසා, දවල් වෙනකොට ඔන්න ඔහේ කියලා, කමෙන්ට්ස් ටික කියවලා දැම්මා!

නමුත් අනෙක් බ්ලොග් බලන එකවත්, කමෙන්ට් කරන එකවත් කරන්න හිත පෙළඹුනේ නෑ!

අන්තිමට ග්‍රිනිච් වෙලාවෙන් අද දවස උදාවෙන කොටම ලොගින් වෙලා අර කමෙන්ට්ස් ටික අනුමත කරලා, මාත් කමෙන්ටුවක් දැම්මා.

අප්පේ ඇඟට, හිතට දැනුණු සනීපේ!

නිකං ලෙමන් ෆෆ් එකක් කාලා, තැඹිළි වතුර ටිකක් බිව්වා වගේ.

දැන් මෙන්න මේ ව්‍යාපෘතිය අතරතුර මා ලැබූ අත්දැකීම් සාරාංශය.

1. බ්ලොග් ඇබ්බැහියෙන් අයින් වී සිටීම ලේසි නැත.
2. වඩාත් ලේසි වෙන්නේ තමන් නොලියා සිටීමයි.
3. වඩාත් අමාරු කාර්යය නම් වෙනත් බ්ලොග් නොකියවා සිටීමයි.

මේ අත්තකිලමතානු දුෂ්කරක්‍රියාවෙන් මං තරමක් හෝ දුරට පැරදුණා තමයි.

ඒ වුණත් මේ ලැබූ අත්දැකීම මට වැදගත් එකක්.

ඔහෙලාටත් එසේම වේවා!

-කතන්දරකාරයා

ප/ලි
පසුගිය සතිය තුල මේ ස්වයංවාරණය නිසා මං ලැබූ ලොකුම වාසිය තමයි, වෙනදාට වඩා පැය දෙකක් විතර නිදා ගත්තු එක.

Monday 10 February 2014

මාර්ක් ෂුකර්බර්ග් ගේ ෆේස්බුකියට කොකා පෙන්නූ සිංහල බ්ලොග්කාරයා සහ පොර ගේ මීලඟ ඉලක්කය - One down, many to go!


කලින් දවසක මං කතන්දරයක් කිව්වා මතකයිනේ ඕනෑම දේකට ඇබ්බැහි වීම නරක දෙයක් නිසා, ඒ විදියට ඇබ්බැහි වෙලාද කියලා හොයාගන්න හොඳම ක්‍රමය තමයි ඒ පුරුද්දෙන් ටික කාලෙකට අයින්වෙලා ඉන්න එක කියලා.

ඉතිං ඒ කිව්වා වගේම පහුගිය අඟහරුවාදා ඉඳලා මං ෆේස්බුකියෙන් ලොග් අවුට් වුනා. ගෙදර කම්පියුටරයේ, ෆොන් එකේ හැම තැනකින්ම බුකිය අයින් කරලා දැම්මා. හැබැයි ඉතිං එහෙම ලොග් අවුට් වෙන්න කලින් ඒ බව කියලා ස්ටේටස් අප්ඩේට් එකක් කරන්නත් අමතක කලේ නෑ!

මගේ සැලසුම වුණේ සතියක් බුකියෙන් පිටමං වෙලා ඉන්නයි.

හෙට අඟහරුවාදා උදේ පාන්දර පහමාර වෙනකොට ඒ සතියේ කාලය ගෙවී අවසන් වෙනවා. ඒත් තාම මං තීරණය කෙරුවේ නෑ, ආපහු බුකියට ලොගෝන් වෙනවාද, වෙනවා නං ඒ කවදාද කියන එක!

දැන් මේ ගෙවීයන සතිය ගැන විස්තර කියනවා නං. මට එහෙමයි කියලා විත්ඩ්‍රෝවල් සිම්ටම්ස් නං දැණුනේ නෑ. හැබැයි දෙතුන් වතාවක් නොයෙකුත් දේවල් දැක්කාම, අළුත් කෑම ජාතියක් කන වෙලාවට වගේ පුරුද්දට වගේ ෆොටෝ එකක් ඇල්ලුණා. පස්සේ දවසක ආපහු බුකියට ගියාම දාන්න පුළුවනි නේද කියලා!

පරණ යාළුවෙක් අවුරුද්දකට විතර පස්සේ ගිය සිකුරාදා මුණ ගැහුණ වෙලේ පොර, ආ උඹ බුකියෙන් අයින් වුණා කියලා දාලා තියෙනවා දැක්කා කියපු වෙලේත් මට හිතුණා ආ එහෙනං කෂ්ටිය එකසිය ගාණට මගේ ස්ටේටස් එක ගැන කතා වෙනවා වෙන්න ඇති කියලා!

ඒ හැර බුකියට ගොඩ වැදුනේ නැති හින්දා මට ඉහෙන් බහින් රෝගයක් නං හැදුණේ නෑ.

ඒ කියන්නේ මට ෆේස් බුක් ඇඩික්ෂන් එකක් නැති බව පැහැදිළියි.

දැන් ඉතිං මාර්ක් ෂුකර්බර්ගේ ෆේස් බුකිය සමතික්‍රමණය කරපු මට ඊළඟට කරන්න තියෙන්නේ බ්ලොග් ලියන්න, කියවන්න, කමෙන්ට් කරන්න මට තියෙනවාය කියලා හොදටෝම හිතෙන ඇබ්බැහිකම ගැන හරියටම ටෙස්ට් කරලා දැන ගන්නයි.

ඒ අනුව, අද මේ කතන්දරය පබ්ලිෂ් වූවායින් පසුව, සතියක් යනතුරු මංතුමා බ්ලොග් ලෝකයෙන් තාවකාලිකව සමු ගන්නට නියමිතයි!

මේ ටැස්ට් එක නං, ගිය සුමානේ කරපු එකට වඩා අමාරුවෙයි කියලා හිනෙවා.

කරලාම බලමු!

මට ජයවේවා!

-කතන්දරකාරයා

බ්ලොග්වලට ඇබ්බැහි වීම ගැන අපේ බ්ලොග්කාරයෝ, බ්ලොග්කාරියේ එදා 2012 දී කියපු කතා මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com/2012/09/blogcoholic-anonymous.html

Saturday 8 February 2014

ගොරක යකා, දත් දොස්තර යකා සහ පිස්සු යකා - He is still around!


බහුතරයක් පොඩි එවුන් වගේම මාත් පොඩි කාලේ දෙමව්පියන්ගෙන්, ආච්චී සීය ලා ගෙන්, අනිත් වැඩිහිටියන්ගෙන් රසවත් කතන්දර අසා දැනගෙන තියෙනවා.

අපේ තාත්තා නිතරම අපිට කියපු කතන්දරයක් තමයි ඉබි පැටව් තුන්දෙනා ගේ කතන්දරේ. ඒ ගැන මං අවුරුදු තුනකට විතර කලින් දවසක ලිව්වා.
http://kathandara.blogspot.com/2010/04/blog-post_24.html
(මාතලංට නම් ඒ කඳුළු කතන්දරය සමහරවිට මතක ඇති?)

ළමයින්ට කියන සාමාන්‍ය සුරංගනා කතාවලට වැඩියෙන් මගේ සිත ගත්තේ නං යක්කු ගැන කතන්දරයි. ඒකට හේතුව සමහර විට ඔය කියන සුරංගනාවෝ කියන කට්ටිය බොහෝවිට බටහිර චරිත වීම වෙන්න ඕනෑ. අපි ඉතිං කවදත් කැමති දේශීය දේවල්වලට නේ! අන්න ප්‍රායෝගික ජාතික චින්තනය!!

මේ ඊයේ පෙරේදා ඉස්සර පොඩි කාලේ අහලා ඉගෙන ගත්තු යක්කු ගැන කතන්දර තුනක් මතක් වුණා.
1. ගොරක යකා
2. දත් දොස්තර යකා
3. පිස්සු යකා.

මෙන්න මුලින්ම ගොරක යකාගේ කතාව.

ඔන්න එක ගමක් අද්දර කැලයක ලොකු ගොරක ගහක් තිබුණා. මේ ගොරක ගහට අරක් ගත්තු යකෙක් හිටියා. කිසිම නිර්මාණශීලීත්වයක් නොතිබුණු මුගේ දෙමව්පියෝ මූට දාලා තිබුණු නම තමයි ගොරක යකා.

දවසක් මේ ගමේ හිටිය ගමරාල කෙනෙකුට හිතුනා හේනක් කොටන්න. දන්නවානේ ඉතිං ඕනෑම ප්‍රොජේක්ට් එකක් පටන් ගන්න කොට ඉස්සෙල්ලාම කරන්න ඕනෑ දේ ගස් ටික කපන එක බව. දැන් ගමයා ගොරකා ගහ කපන්න පටන් ගත්තා විතරයි, ගොරක යකා නිකං විදුලි පුටුවකට දක්කන ගොං වස්සෙක් වගේ බයවෙලා ගමයා එක්ක සාම සාකච්ඡාවකට ආවා. අන්තිමේ දී වැඩේ සමතයකට පත්වුනේ යකා ගමයාට හැමදාම ගොරකා මල්ලක් දෙන්න පොරොන්දු වෙලයි.

ගමයා ගොරකා ගහ මගහැරලා වෙන පැත්තකට වෙන්න හේන කොටන්න පටන් ගත්තා.

සතියක් දෙකක් යන කොට ගොරකා යකාට මේ වැඩේ අමාරුකම තේරුණා. ඌ කෙලින්ම ගිහින් යක්‍ෂ මණ්ඩලේට පැමිණිලි කළාම එතැනින් ලොකු යකෙක් ආවා ගමයාව බයකරලා මේ කප්පං දෙන වැඩේ නවත්තන්න.

මේ දෙවෙනි යකා ගමයාව බය කරන්න ඉස්තෝප්පුවේ ඇඳ යට හැංගිලා ඉන්න කොට, වැඩකරලා කෑමට ගෙදර එන ගමයා යකෙක් කන්න බඩගිණියි කියන එක ඇහිලා අන්තිමේදී එක මල්ලට දෙමල්ලක් ගොරකා දෙන්න පොරොන්දු වෙලා තමයි කේස් එක සෙටල් වුණේ!

ඔය වගේ මෝඩ හොරක යකාලා දැන් මේ ලෝකේ නෑ මයෙ හිතේ.

මෙන්න දෙවෙනි කතාව - මේක දත් දොස්තර යකෙක් ගේ කතාවක්.

ඔන්න එක ගමක හිටියා ටිකක් දත් බොල්ලෑ මිනිහෙක්. පොර දවසක් හොඳට රා බීලා, දඩමස් හෙම කාලා අම්බලමක නිදාගෙන ඉන්න කොට අර දඩමස් පුසුඹට එතැනට ආවා යකෙක්. යකා බඩගින්න වැඩිකමටද කෙරුවේ මේ මිනිහා ගේ දත් ගලවලා ඒවා අස්සේ රැඳිලා තිබුණු දඩමස් කෑලි කාපු එකයි. පස්සේ අර දත් ටික ආපහු කටේ හයි කෙරුවා.

මිනිහා පහුවදා ඩෝප් හිඳිලා බලද්දී ඉස්සර තිබුණු බොල්ලෑව නැත්තටම නැතිවෙලා. දත් දොස්තර යකා දත් දෙපේලිය ම හරිම ක්‍රමවත්ව හිටවලා!

ඕක දැකපු මේ මිනිහගේ මායියාටත් ඕනෑ වුණා, තමන්ගේ දන්ත කල්‍යාණයත් යකාට කියලා නිකං පර්ල් නෙක්ලස් එකක් වගේ සෙට් කරගන්න.

ඉතිං මේ මනුස්සයත් එක දවසක් රෑ හොඳට දඩමස් කෑලි දත් අස්සේ හිරකරගෙන අම්බලමේ නිදා ගත්තා. එදත් දඩමස් සුවඳට යකා එතනට ඇවිත් දත් දොස්තර වැඩේ කර කර ඉන්න කොට පොරට වෙන හදිසි කන්ට්‍රැක්ට් එකකට එන්න කියලා එස්එම්එස් එකක් ආපු නිසා යකා කෙරුවේ උදුරපු දත් ටික එහෙන් මෙහෙන් ඇනලා දාලා එතැණින් දිරාමර් වෙන එකයි.

අන්තිමේ දී මායියාට තිබුණු දත්වලටත් වැඩිය අප්සෙට් දත් සැට් එකක් එක්ක ජීවත්වෙන්න වුණා.

ඔය වගේ දත් දොස්තර යකාලාත් දැන් මේ ලෝකේ නෑ මං හිතන විදියට.

-කතන්දරකාරයා

(image: http://john-schwegel.blogspot.com.au/2010/07/mad-devil.html)

Thursday 6 February 2014

බංගලාදේශ්කාරයා ගේ ස්තුති කතාව - Talking tips from your friend Mr Bangiya!


මේ දවස්වල සංගක්කාර් බංගලාදේශයේ වාර්තා පිට වාර්තා තියාගෙන යනවා. තව ටික දවසකින් පොර තෙන්ඩුල්කාර්වත් පරද්දන්න බැරි නැහැ ඔය යන විදියට.

බංග්ලාදේශ් ගැන ඇහෙන කොට මට මතක් වුණේ මට තරමක් දන්නා බංගලාදේශ්කාරයෙක්වයි.

මට මුලින්ම බංග්ලාදේශ්කාරයෙක්ව මුණ ගැහුණේ මං පස්තාච්චි කුපාඩි වැඩේට තායිලන්තේ ගිහින් තැප්ප කාලේයි. අපි ඒ දවස්වල බංග්ලාදේශ්වලට කිව්වේ ඔළිද රට කියලයි. බංග්ලාදේශ්කාරයින්ට කිව්වේ බංගියෝ කියලයි.

අපේ පස්තාච්චි කණ්ඩායමේ හිටියා බංගියෝ තුන් දෙනෙක්ම. එකෙක් නං ටිකක් ආගමික අන්තවාදියෙක් වගෙයි මට පෙනුනේ. අනිත් දෙන්නා නං ඔහේලා අපි වගේ හොඳ ළමයි. ඇත්තටම නං උං තුන්දෙනා ම අපිට වඩා හොඳයි. මොකද මුං තුන් දෙනාගෙන් එකෙක්වත් බියර් එකක්වත් බොනවා මං දැකලා නෑ.

දැන් මෙන්න මගේ අද කතාව.

ආහ්, ඊට කලින් මේකත් කියන්න ඕනෑ.

මේ කතාව බංග්ලාදේශ්කාරයෙක් ගැන වුණාට, මේකෙන් සමස්ත බංග්ලාදේශයම මනින්න යන්න එපා, හරිය? ඒ කියන්නේ හරියට සංගක්කාර් තුන්සීයේ ඒවා ගැහැව්වාට, ලංකාවේ අපි හැමෝටම ඇහැකියැ එහෙම කරන්න? අන්න ඒ වගේ!

මේ කතාව සිදුවුණු කාලේ මං වැඩ කෙරුවේ පිටරටක කොම්පැනියකයි. මෙතන තමයි ඔය බංගියාත් හිටියේ. හැබැයි වෙනිං සෙක්ෂන් එකක.

ඔන්න දවසක් අපේ සීනියර් මැවිසුරුවෙක් විශ්‍රාම යන දවසේ සමුගැනීමේ ටී-පාටි එකක් තිබුණා. මෙන්න බොලේ මේ ප්‍රොටැගොනිස්ට් බංගියත් කොහේද ඉඳලා ඒකට කඩා වැටුණා.

පස්සේ මූ කතාවක් පවත්වන්න පටන් ගත්තාම තමයි මට තේරුණේ ඒ ඇයි කියලා. අපේ බංගියා මුලින්ම මේ කොම්පැණියේ වැඩට අරං තියෙන්නේ මේ පැන්ෂන් යන සීනියර් මැවිසුරුවායි.

මෙන්න බංගියා ගේ කතාවේ සාරාංශය.

"මට තාම මතකයි රිචර්ඩ් මහත්තයා මාව හෙඩ් ඔෆිස් එකේදී ඉන්ට්රවීව් කරපු හැටි. මගේ කොලිෆිකේෂන්ස් සහ එක්ස්පීරීයන්ස් වලට ඔහු ඉතාමත් පැහැදුණාය කියා මට තේරුණා. ඔහු වහාම මාව සේවයට ගත්තා එවකට ඔහු සේවය කර බටහිර කොට්ඨාශයේ වැඩබිමට."

"මං සති දෙකකට පස්සේ එතැනට යනකොට මට හොඳ පිළිගැනීමක් තිබුණා. පස්සේ තමයි මං දැනගත්තේ ඒකට හේතුව. -අයැම් එක්සයිටඩ්! අයෑම් ගොයින් ටු ගෙට් එ ඩොක්ටර් වර්කින් ෆෝ මී- කියා රිචර්ඩ් ඒ දවස්වල දිගටම කියමින් සිටි බව බටහිර කොට්ඨාශයේ වැඩබිමේ සිටි අනිත් අය මට කිව්වා."

(එතකොට තමයි අපිත් දැනගත්තේ බංගියාට පීඑච්ඩී එකක් තියෙනවාය කියලා).

"අවුරුද්දකට විතර පස්සේ මං රිචර්ඩ් ගේ සෙක්ෂන් එකෙන් වෙන තැනකට මාරුවෙලා යනකොට රිචර්ඩ් දුක්වුණා මට මතකයි -අයෑම් ගොයින් ටු ලූස් මයි බෙස්ට් ඉංජිනියර්!- කියලා."

තේරුණා නේද? පෙන්ෂන් යන්නේ මොකා වුණත් කමක් නෑ, අන්න එහෙමයි ෆෙයාවෙල් පාටිවල කතා පවත්වන්න ඕනෑ!

-කතන්දරකාරයා

(image: http://www.fanpop.com/clubs/kumar-sangakkara/videos/31884264/title/sangas-speech-lords)

Tuesday 4 February 2014

ෆේස් බුකියට, බ්ලොග් ලිවීමට, කියවීමට, කමෙන්ට් කිරීමට ඇබ්බැහි වී ඇති දැයි දැනගන්නා ක්‍රමය මෙන්න! - Testing if you are really addicted to FB and Blogging!


ඕනෑම දේකට ඇබ්බැහි වීම හොඳ නැතිබව අමුතුවෙන් කියන්න ඕනෑ නෑ නේ.

අරක්කු බීම, සිගරැට් බීම, ගංජා, හෙරොයින් බීම වගේ දේවල්වලට විතරක් නොවෙයි, ගේම් ගැසීම, ෆේස් බුකියේ කල්මැරීම සහ බ්ලොග් ලෝකයේ සැරිසැරීම, ලිවීම, කීයවීම, කමෙන්ට් කිරීම වගේ දේවලටත් එකසේ ඇබ්බැහි වෙන්න ඉඩ තියෙනවා හොඳටෝම.

ඉතිං මොකක්ද මේ ඇබ්බැහි වීම කියන්නේ? කොහෙමද ඒ බව දැනගන්නේ?

උදේට, සවසට, තේ බොන්න කලින්, තේ බීව්වට පස්සේ, කෑමට පෙර, කෑමට පසු වගේ සිගරැට් බොන්න ඕනෑම නං ඔන්න ඇබ්බැහි වෙලා!

සති අන්තයේ ටිකක් විතර අනුමත වෙනවාට වැඩියෙන් හැමදාම හවසට දෙකක් නමාගන්න හිතෙනවා නම් ඔන්න ඇබ්බැහි වෙලා!

මං කලින් දවසක ලියපු බ්ලොග්වලට ඇබ්බැහි වීමේ කතන්දරේට මෙන්න පාර.
http://kathandara.blogspot.com/2012/09/blogcoholic-anonymous.html

මේ විදියට ඇබ්බැහිවීම ඇත්තටම සිද්ධවෙලා ද කියලා දැන ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඒ දේවල්වලින් හිතාමතාම ඈත් වෙලා ඉන්නට උත්සාහ කිරීම.

එතකොට ඇත්තටම ඇබ්බැහිවෙලා නම් අර විත්ඩ්‍රෝවල් සිම්ටම්ස් කියන දේවල් දැනෙන්න පටන් ගන්නවා. ඒ තමයි ඇබ්බැහි වුණු ගත, සිත තමන් රුචි දේ නැති තැන ඒ ගැන දක්වන ප්‍රතිරෝධය!

උදාහරණයක් ලෙස මෙන්න සිගරැට් බීමට ඇබ්බැහි වුණු කෙනෙක් ඒක අතහරින්න හදන කොට දැනෙන විත්ඩ්‍රෝවල් සිම්ටම්ස්.

Urges to smoke
Depressed mood
Difficulty sleeping or sleep disturbances
Irritability, frustration or anger
Anxiety
Difficulty concentrating
Restlessness
Decreased heart rate
Increased appetite (hunger) or weight gain
Decreased adrenaline and cortisol (brain chemicals)
(http://www.quit.org.au/about/frequently-asked-questions/faq-smoking-withdrawal/faq-withdrawal-symptoms.html)

බුදු අම්මෝ නේද? ඒකයි ඔය ඇබ්බැහිකම්වලින් ඈත් වෙන එක හරිම අමාරු දෙයක් වෙලා තියෙන්නේ!

මං පසුගිය ජනවාරි මාසේ කරපු පොඩි පරීක්‍ෂණයකින් හොයා ගත්තා පස්පවෙන් එක්තරා පවකට මගේ ඇබ්බැහි කමක් නැති බව.

මට කිසිම විත්ඩ්‍රෝවල් සිම්ටමයක් දැණුනේ නෑ! ඒ කියන්නේ ඇඩික්ෂන් එකක් තිබිලා නෑ!

දැන් මං හොයන්න හදන්නේ බුකියට මගේ ඇබ්බැහිකමක් ඇතිවෙලාද කියලයි.

මගේ ප්ලෑන් එක අද සිට සතියක් ෆේස් බුක් එකට නොයා ඉන්නයි. මොකද මං මේ මෑත අතීතයේ ටිකක් වැඩිපුර බුකියේ හිටියාද කියලා මට සැක හිතුණා!

බලමු මොකද වෙන්නේ, විත්ඩ්‍රෝවල් සිම්ටම්ස් ඒවිද, ඒ මොනවාද කියලා.

මේකෙන් පස්සේ ඊලඟට බ්ලොග්වලින් සතියක් අයින්වෙලා මොකද වෙන්නේ කියලා හොයලා බලන්නයි මං ඉන්නේ.

සතියක් නිවාඩු දැම්මා නං, කෙලින්ම කොම්පියුටර් එකෙන්ම ඈත්වෙලා ඉඳලා බලන්න තිබුණා තත්වය!

-කතන්දරකාරයා

ප/ලි
මේ ආකාරයටම පස්පව් වලට, දස අකුසල් වලට ඇඩික්ට් වෙලා වගේ හිතේනවා නම් ඒවායින් අයින් වෙලා බලන්න පුළුවන් ඇත්තටම තත්වය!

((image: TBA))

Sunday 2 February 2014

තවත් බ්ලොග් කියවනයකින් වැඩක් තියේද? - Oh, no, not again?


මං 2005 දී මගේ මුල්ම සිංහල බ්ලොග් එක පටන් හදපු කාලේ ඒ ගැන අනිත් අයට දන්වන්න තිබුණු එකම ක්‍රමය තමයි බ්ලොග් එකේ ලිපිනය දාලා පුද්ගලිකව ඊ-මේල් යවන එක.

ඊට අමතරව මං ඒ දවස්වල තිබුණු විවිධ සිංහල/ලාංකික වෙබ් අඩවිවලිනුත් මේ ගැන හැකිතාක් දුරට ප්‍රචාරයක් ලබා ගන්න ට්‍රයි කළා.

මං ඊළඟට කෙරුවේ විසිටින් කාඩ් එකක් හදලා, ඒක මට හමුවෙන මිතුරු, මිතුරන්ගේ මිතුරු අයට දෙන එකයි.

එහෙම මං විසිටන් කාඩ් එකක් දුන්නු එක් කෙනෙක් තමයි අර ජයසේන කියන මට ඉතා වැදගත් උපදෙසක් දුන්නු හිතවතා!

පස්සෙන් පහු කාලෙක 2009 දී මං කතන්දර බ්ලොග් එක පටන් ගත්තු ගමන්ම කෙරුවේ, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙන් කරන බ්ලොග් රීඩර් එකට කතන්දර බ්ලොග් එක දාගන්න අයැදුම් කරන එකයි. එතැණින් තමයි බ්ලොග් එක ගැන හුඟ දෙනෙක් දැන ගත්තේ!

රාජකීය විද්‍යාලයෙන් කරපු සාහිත්‍ය ඩොට් එල් කේ රීඩර් එකට කතන්දර බ්ලොග් එක දා ගන්න ඒ ළමයි පටන් තග්තු බ්ලොග් තරගයටත් මං ඉදිරිපත් වුණා.

සිංහල බ්ලොග් සංසදය එක්ක අවුලක් ඇති වුණු හින්ද ද කොහෙද පසු කාලෙක ලාංකීය සිතුවිලි සින්ඩිකේටරය ඇරඹුණා. මං එතැනත් ලියා පදිංචි වුණා. තවත් ටික කාලෙකින් තමයි අඹ ගග යට, හත් මාළුව වගේ සින්ඩිකේටර් ඇරඹුණේ.

ඔය අතරේ මාත් මගේ බ්ලොග් රෝල, දේශපාලන බ්ලොග්, ගෑල්ළමයි ලියන බ්ලොග්, මං කියවන කතන්දර බ්ලොග්, කවි බ්ලොග් විදියට කොටස්වලට වෙන් කරලා දැම්මා. මගේ බ්ලොග් රෝල හරහාත් කීප දෙනෙක් හරි වෙනත් බ්ලොග්වලට පාර හොයා ගන්න බව මං දන්නවා.

මීට අමතරව මගේ බ්ලොග් එකට ට්‍රැෆික් තියෙන්නේ මාතලන් ගේ සින්ඩියෙනුයි. එතැන ඉඳලා බොහෝවිට එන්නේ මාතලන්ම නොවෙයි, වෙන අංකල් කෙනෙක්. හිස් අහස බ්ලොගයේ අළුත් ලිපියක් පළවුණාම එතැනින් මගේ බ්ලොගයට පාර නැවතත් හොයාගන්න අයත් ඉන්නවා.

ඉතිං මං දන්නා ඔය කියපු බ්ලොග් සින්ඩිකේටර් ඉතිහාසයේ ලඟදීම සිදුවුණු සිද්ධිය තමයි මාතලන් සහ නලීන් ගේ මූලිකත්වයෙන් කැම්පස් සින්ඩිය ඇරඹීම. ඒ ගැනත් බොහෝ ලිපි ලියවුණා ඒ දවස්වල.

දැන් ඉතිහාසයෙන් වර්තමානයට එමු.

වාළුකා කාන්තාරයේ සිට ලිපි ලියන සෙරන්ඩිබ් ඔටුවා ගේ ඔටු කතා බ්ලොග් එක ගැන ලියලා අත ගන්න කලින් මට ඊයේ වාර්තාවුණු ආකාරයට තවත් අළුත්ම සින්ඩිකේටරයක් දොරට වැඩලා තියෙනවා.

මේකේ නම රට ගිය ඇත්තෝ.
http://ratagiyaeththo.blogspot.com/

එතැන දැක්වෙන විදියට මෙහි අරමුණ ලංකාවෙන් පිටවෙලා වෙනත් රටවල දැනට ජීවත්වෙන අය ලියන බ්ලොග් එකට එකතු කරන්නලු.

විවිධ රටවල ඉන්න අතරේ සිංහල අමතක නොකර කියවීම, ලිවීම හොඳ දෙයක් බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑ නේ.

මාත් හරිම ආසයි විවිධ රටවල ජීවත්වෙන අපේ අය ඒ ඒ රටවල් ගැන, සමාජය ගැන, පරිසරය ගැන ලියන ලිපි කියවන්න.

ඒ වගේ ලියන දේවල්වල නිකං සංචාරයක ගිය කෙනෙක් ලියනවාට වැඩි දෙයක් තියෙනවා කියලා මට හිතෙනවා. මොකද එකපාරටම දැක්ක දේම නැතුව කාලයක් තිස්සේ අත් විඳපු දේ අනුසාරයෙන් ඒ ලිපිය, කතන්දර ලියවෙන්න ඉඩකඩ වැඩි නිසා.

නමුත් අපේ පිටරට ඉන්න බ්ලොග්කාරයෝ, බ්ලොග්කාරියෝ මේ වැඩේ කරන්නේ ඉතාම කලාතුරකින්. බොහෝ දෙනා බොහෝ විට ලියන්නේ කාටත් පොදු දේවල් ගැනයි.

දැන් ඉතිං මේ සින්ඩිකේටර්ය ගැන කියනවා නම්, මේ වැඩේ හින්දා අළුතින් වෙන හොඳක් නම් මට හිතා ගන්න බෑ. ඔන්න මේ නිසා පිටරට ඉන්න සිංහලයෝ අළුතින් බ්ලොග් ලියන්න, කියවන්න පුරුදු වුණොත් ඒක වැදගත්. නමුත් මේ වගේ සින්ඩිකේටරයකින් ඒ වගේ ලොකු දෙයක් ඉක්මණින් සිදුවේවිය කියලා බලාපොරොත්තු වෙන්න බැරි බවයි මගේ අදහස.

ඒ මොනවා වුණත්, ඔන්න මගේ යුතුකම මං කළා!
http://ratagiyaeththo.blogspot.com/

-කතන්දරකාරයා

(image: http://www.youtube.com/watch?v=pmcd6druxgI)

Saturday 1 February 2014

වාලුකා කාන්තාරයෙන් ඇසෙන ඔටු කතා - Enter the camel


මං ඉපදෙන්නත් ඉස්සර අපේ අම්මාගේ ඥාති වැඩිමහල් සොහොයුරියක් එංගලන්තෙට ගිහින් තියෙනවා රැකියාවට. ඇය හෙදියක්. එහෙට ගිහින් රැකියා කරලා දැන් පැන්ෂන් ගිහින්.

මං මුණවීර ගේ ගුවන් ගමන ගැන ලියපු කතන්දරේ හිටපු බාප්පාත් ඒ වගේ සිංගප්පූරුවේ රස්සාවට ගිය කෙනෙක්. ඇයි, එංගලන්තේ ගිය අංකල්?

ඒ දවස්වල රට රස්සාවකට යනවා කියන්නේ එහේම පදිංචි වෙනවාය කියන එකයි.

ලංකාවේ ඈයෝ පිටරට රැකියාවලට යෑම කියන එකේ මූලික වෙනසක් සිද්ධ වුනේ අරාබිකරයේ රස්සාවලට යෑම පටන් ගත්තු කාලෙයි. ඒ හින්දා තමයි දයානන්ද ගුණවර්ධන ගේ මධුර ජවනිකා නාට්‍යයට ඩුබායි කාන්තාව ගැන වෙනම ජවනිකාවක් ම ඇතුලත් කරළා තිබුණේ.

මට මතකයි සෑහෙන කාලෙකට ඉස්සර ටෙලි නාට්‍යයක් තිබුණා ඒකේ ප්‍රධාන චරිත දෙකක්මත් ඩුබායිවල වඩුකාර්මික රැකියා කරලා ආපහු ලංකාවට ආපු දෙන්නෙක්.

අනිත් රටවල්වලට යෑමට සාපේක්‍ෂව ඩුබායි යෑම හෙවත් අරාබිකරයේ රස්සාවලට යන එකේ තියෙන ලොකුම වෙනස තමයි ඒ යන අය එහේ යන්නේ තාවකාලිකව වීම.

පස්සෙන් පහු අවුරුදු විසි තිස් ගණං ඉන්න අයත් හිටියාට බොහෝ දෙනෙක් එහේ යන්නේ අවුරුදු දෙක තුනකින්, තුන හතරකින්, හතර පහකින්, පහ හයකින්, හය හතකින්, හත අටකින් සල්ලි ටිකක් හම්බ කරගෙන ආපහු ලංකාවට ඇවිල්ලා චූන් එකේ ජීවත් වෙන්න හිතාහෙනයි.

ඉතාලියට යෑම පවා ඒ අතින් වෙනස්!

එහෙම අරාබිකරයට ගිය අපේ අයගෙන් සෑහෙන්න සම්මාදමක් සිංහල බ්ලොග් ලෝකයට තියෙනවා.

හිටපු බ්ලොග්කරුවෝ වෙන දුකා, දුමී, ඩුබායි වට්ටක්කා, අදත් බ්ලොග් ලොව පෙරලි කරනා ඉන්දික උපශාන්ත වගේම අතීත ගමන් මග, හැලප කඩේ, පිණි පළස (චූටි ටීචර්) මේ මොහොතේ මගේ මතකයට එන කීප දෙනෙක්. (බීට්ල් ඉන්නේ මොන රටේද?)

ඔය අස්සේ අළුතින් ලංකාවේ සිට එහේට ගිය පොරක් බ්ලොග් එකක් අරඹලා ය කියන ආරංචිය ලැබුණා.

සෙරන්ඩිබ් ඔටුවා කියන අන්වරථ නමින් ලියවෙන මේ බ්ලොග් එක තමයි වාළුකා සිතුවිලි නොහොත් ඔටු කතා!

මෙන්න පාර.
http://otukatha.blogspot.com/

මේක තාමත් මුල් අවධියේ තියෙන බ්ලොග් එකක්.

මේල ලියන ලේඛකයාට බ්ලොග් ලෝකයේ තවත් ඉගෙන ගන්න දේවල් තියෙන බව පේනවා.

නමුත් පොර ලංකාවේ දී හොඳ පළපුරුදු ලේඛකයෙක් බව මං දන්නා නිසා මේ බ්ලොග් එක දිගටම අල්ලාගෙන ගියොත් අපිට හොඳ වින්දනයක් ලබන්න හැකිවෙන බව මට කියන්න පුළුවනි.
මං මේ බ්ලොග් එකේ දැකපු එක් හොඳ දෙයක් තමයි, බ්ලොග් කාර සෙරන්ඩිබ් ඔටුවා හැමදාම සිකුරාදාට අළුත් ලිපියක් දාන එක.

වාළුකාවේ සිකුරාදාට නිවාඩු නිසා වෙන්න ඇති!

හැකි අය ගිහින් කියෝලා කමෙන්ටුවක් දාලා එන්න.
http://otukatha.blogspot.com/

-කතන්දරකාරයා

ප/ලි:
මේ සති අන්තයේත් පිං අතේ වැඩ. පරලොවට නොවෙයි, මේ බූරු සමයෙන් පසුව එළඹෙන ඔටු සමයට මොල්ලි දෙකට වතුර එකතු කරනවා.