Saturday 31 May 2014

කයි කතන්දර ලිවීමත් කලාවක් ද? - How to become an artiste?


තුනේ පන්තියේ දී මුහුදු වෙරළ ගැන කවියක් ලියා මිහිර පත්තරේට දැම්මා වුණට, මගේ කවි ජීවිතේ නැගලා යන්න පටන් ගත්තේ අවුරුදු දාසයේ දී විතර ඉඳලායි.

ඒ කාලේ මං ගණේමුල්ලේ ඉඳලා කෝච්චියේ මරදානට යනවා ඉස්කොලේ. හෝමෝන් වැඩිවීගෙන ආපු නිසාම ඔන්න කවි ලියවෙන්න පටන් ගත්තා.

ඒ ලියපු මුල් කවිය ගැන කතන්දරේ කලින් දවසක මං කියලා තියෙනවා.
http://kathandara.blogspot.com/2009/11/blog-post_14.html

පසු කාලෙක ඔය කවි ලිවීම ගැන මං හිතවතෙකුට ලියා යැව්වේ මෙහෙමයි.

අවුරුදු දාසයෙදි දුම්රියෙ යන කාලේ
කෙල්ලන් දුටිමි බැන්දෙමි කවි මනමාලේ
ඒ කවි ලියූ පොත් ගොඩ විතරයි රාලේ
මගෙ කවිකමට ඉතුරුව ඇත්තේ සාලේ!


ඒ දවස්වල මං පරණ පොත්වල, කටුවැඩ කොළවල තමයි කවි ලිව්වේ. උසස් පෙළට පාඩම් කරන කාලේ මං එහෙම ලියපු කවි සිය ගාණක් එකතු වුණා.

මං ඊලඟට කෙරුවේ ඒවා පොත් වශයෙන් ඇක්සයිස් පොත්වල ලිවීමයි.

පෙරවදන, පිළිගැන්වීම, පටුන යනාදී සියළුම දේ සහිතවයි ඒ පොත් සැකසුණේ. දෙවෙනි, තුන්වෙනි පොත්වලදී කතෘ ගේ වෙනත් කෘති කියලා තවත් කෑල්ලක් එකතු වුණා.

ඒ විදියට මං කවි පොත් හතරකුයි, කෙටිකතා පොත් දෙකකුයි, නවකතාවකුයි හස්තද්වාරයෙන් එළිදක්වලායි තිබුණේ විශ්ව විද්‍යාලයට යන කාලේ වෙනකොට.

එයින් එක කවි පොතකුයි, කෙටිකතා දහයක එකතුවකුයි දැන් අස්ථානගත වෙලා.

මෙන්න මා ගාව තාමත් තියෙන ඒ කවි පොත්වල නම්.

ගී පදමාලා 25 (පද්‍ය)
සය දිනක සටහන් (පද්‍ය)
වාසනා හෙවත් සැබෑවුණු සිහිනය (පද්‍ය)


ඔය කවි පොත් ලියපු එකෙන් මට එකම ප්‍රයෝජනයයි වුණේ.

මගේ කවි පොත් දැකපු අපේ පුංචි අම්මා ඒවා අරගෙන ගිහින් එයා ගේ ඔෆීසියේ ඒ දවස්වල හිටපු කවියෙකුට බලන්න දුන්නා. පොර පසු කාලෙක ජනප්‍රිය ගීත රචකයෙකුත් වුණා.

මං පේරාදෙනිය විශ්ව විද්‍යාලයට යනවාය කියා දැනගත් මේ කවියා කෙරුවේ ඒ දිනවල ඒ තිප්පොලේ ඉගෙන ගත්තු අද කාලේ නං කවිවලට වඩා ගද්‍ය රචනයේ යෙදී සිටින ශිෂයෙකුට මා ගැන හැඳින්වීමක් කිරීමයි.

ඒ හින්දා තමයි මට විශ්ව විද්‍යාලයට ගිය ගමන්ම වගේ ඉංජිනේරු පීඨ කලා කවයේ කටයුතුවලට සහභාගී වෙන්න ලැබුණේ.

කලා කවයෙන් කරපු ප්‍රධාන වැඩේ තමයි සිසුන් ගේ නිර්මාණ එළි දැක්වීම සඳහා නිර්මාණ පුවරුවක් පවත්වාගෙන යෑම. මං ඒකට කවි ලිව්වේ පේරාදෙනියට ගිය මුල් සතියේ ඉඳලාමයි. ඒ වාගේ කවි ලියන අය කීප දෙනෙක්ම ෆැකල්ටියේ හිටියා. කවි මිසක්, කෙටිකතා වගේ නිර්මාණ නම් එතැන පලවුණේ නෑ කියලයි මගේ මතකය.

ඔය උඩ ඡායාරූපයේ තියෙන්නේ ඒ එදා තිබුණු නිර්මාණ පුවරුවම තමයි.

අවුරුදු ගාණකට පස්සේ වුණත් ඔතනට ගියාම තාමත් පොඩි සොඳුරු හැඟීමක් දැනෙනවා.

ඒ කෙසේ වෙතත් මට අද තියෙන ප්‍රශ්ණ තමයි, කවියක් දෙකක් ලිව්වාට කලාකාරයෙක් වෙනවාද? කලා කවයේ කමිටු සාමාජිකයෙක් හෝ සංස්කාරක හෝ ලේකම් වුණාට කලාකරුවෙක් වෙනවාද කියන එක.

හැබැයි කතන්දරයක් දෙකක් ලියලා තියෙනවා නම් කතන්දරකාරයෙක් කියලා හඳුන්වා ගන්න පුළුවනි මට හිතෙන විදියට.

-කතන්දරකාරයා

ප/ලි:
සමහරවිට කවියක් තියා කිසිම නිර්මාණයක් නොකලත් කලාකරුවෙක් වෙන්න පුළුවන් ඇති.

මොකද කියනවා නම් අපේ කාලේ ෆැකල්ටියේ හිටි එක සීනීයර් පොරකගේ අන්වර්ථ නාමය වුණේ "නිහඩ කලාකරු" කියන එකයි.

හැබැයි පොර කවියක් ලියපු බවක් හෝ සින්දුවක් කියපු බවක් හෝ මං දැකලා නෑ.

නමුත් ඇත්තටම පොර කලාකරුවෙක් කෙසේ වෙතත් හොඳ කලා රසිකයෙක් කියලා කියන්න පුළුවනි.

මිනිහා එකතු කෙරුවේ චිත්‍රපටිවලට කේමදාසලා වගේ අය කරපු පසුබිම් සංගීතය තියෙන කැසට් වගේ සම්භාව්‍ය කලා නිර්මාණයි.

Thursday 29 May 2014

ලොකේ හතර දිග්බාගෙම ඉන්න හස්බන්ඩලාට (සහ වයිෆරේලාට) ප්‍රශ්ණයක් - ඇයි එහෙම වුණේ? : For all husbands (and wives) out there!


මාර වැඩේ!

මට අමතක වුණා!

හැබැයි, හොඳ වෙලාවට මට විතරක් නොවෙයි, හාමිනේටයි මටයි දෙන්නටම අමතක වුනා.

මොකක්ද දන්නවාද?

අපි දෙන්නගේ ඇනිවර්සරි එක, එනම්, විවාහ සංවත්සරය.

දැන් මාසයක විතර කලින් දවසක දි නම් මැයි 28 දිනයේ එළැඹීමට නියමිත ඔය වෙඩින් ඇනිවර්සරි දවස ගැන මගේ මතකයට ආවා.

එදා මං හාමිනේට ඉතා වැදගත් යෝජනාවකුත් කළා වගේ මතකයි, විවාහ සංවත්සරය සැමරීම ගැන.

නමුත් අන්තිමේදී මොකද දන්නවාද වුණේ.

හදිසියේම සම්මන්ත්‍රණයකට සහභාගීවීම සඳහා හාමිනේට ගෙදරින් බැහැරව යන්න වුණා. හාමිනේ දවස් දෙක තුනකට ගෙදර නැති වුණාම ගෙදර රාජකාරී කටයුතු කෙරෙන්නේ කොහොමද කියලා සැලසුම් කරන අතරතුරේ දී, අපේ ඇනිවසරි එක ගැන මතකය බැක්බර්නර් එකට ගිහින්.

කලින් කිව්වා වගේ මගේ විතරක් නොවෙයි, අපි දෙන්නාගේ ම මතකය අවුල් වෙලා.

මට මතකයි 2010 අවුරුද්දේ මං අපේ ඇනිවසරිය වෙනුවෙන් හාමිනේට සින්දුවක් ලිව්වා.

ඊළඟට 2011 දී නම් මේ කාලයේ නොදැනුවත්වම වගේ ලියවුනේ තරමක වැරදි කතන්දරයක්. වැරදිමත් නොවෙයි, නොගැලපෙන එකක්.

ඒකටත් එක්ක 2012 දී මං අපේ ව්ව්ඩින් ඇනිවසරිය සමරන්න හොඳම පිස්සු කවියක් ලිව්වා. මේ කවිය ජොනී වෝකර් විස්කි ගැනයි.

ගිය අවුරුද්දේ (2013) මං ලියපු ආදරබර ෆ්‍රයිඩ් රයිස් කතාව නං බොහෝ දෙනෙකු ගේ සිත් ගත්තා.

ඇනිවසරිය වෙනුවෙන් හාමිනේ ගැන ගිය වසරේ මං ලියපු කවි පන්තිය මං පල කෙරුවේ නොවැම්බරයේ දී යි.

නමුත් 2014 නිකම්ම බ්ලාස් වෙලා ගියා නොව, චැහ්!

මං කලින් දා දවල් ඉඳලා අපේ කොම්පැනියේ මාසික රැස්වීමේ වැඩවලට හිරවෙලා. ඇනිවසරි දවසේත් උදේ ඉඳලා හවස වෙන කල්ම.

හාමිනේ අල්ලපු රටේ!

ඒ නිසා දවසට ම එක පාරයි අපි දෙන්නාට කතා කරන්න ලැබුණේ. එක එස්එම්එස් එකයි හුවමාරු වුණේත්.

කොහොම හරි මේ වැඩ රාජකාරි හින්දාමද කොහෙද ඇනිවසරි එක ගැන මතකය දුරස්ත වෙලා!

ටිකක් හිතට දුකයි. ඒත් මක්කැයි කොරන්නේ? සිකුරාදා හවස වෙනකං ඉවසලා ඉන්න වෙනවා!

-කතන්දරකාරයා

ප/ලි:
මෙලෝ හතුරෙකුටවත් මෙහෙම අමතකවීමක් නොවේවා!

(image: http://www.jantoo.com/cartoons/keywords/brainstorms)

Tuesday 27 May 2014

බුද්ධාගමේ අයිතිකාරයින්ට ම කියාපු හොඳ වටිනා බණ කතාවක් - An ant and a honey drop


පෙරේදා මං දාපු "පන්සිල් පදයක් ඩිංගිත්තක් වෙනස් කරමුද?" කියන කතන්දරේ ලියන වෙලාවේ සහ ඒකට ලැබුණු විවිධ ප්‍රතිචාරවලට පිළිතුරු ලියන කොට මට මතක් වුණා පොඩි කාලේ බුද්ධාගම ඉගෙන ගත්තු හැටි ගැන.

බුද්ධාගම විෂයක් විදියට අපි මුලින්ම ඉගෙන ගන්න පටන් ගත්තේ තුනේ පන්තියේ දී යි. අපේ පන්තියේ සිටි කතෝලික සිසුවාටත් ඒ හැර වෙනත් විකල්ප විෂයක් තිබුණේ නෑ.

හතේ පන්තියේ දී විතර තමයි මට අර මිගදායේ කේස් එක වුණේ.

ඒ වගේ බුද්ධාගම ගුරුවරු අතරේ අටේ පන්තියේ බුද්ධාගම උගන්වපු ටීචර් වගේ හොඳ ගුරුවරුත් හිටියා.

ඒ ආකාරයට විෂයක් විදියට කරපු බුද්ධාගම ඉගෙනීම ජෙනරල් එඩියුකේෂන් සර්ටිෆිකේට් විභාගේදී (අර පවිත්‍රා වන්නිආරච්චි ගණිතය ගැන කිව්වා වගේ) ඩිෂ්ටින්ෂන් එකක් එක්ක පාස් වෙන කල්ම කරන්න වුණා.

ඔය අතරේ මං හතරේ පන්තියේ විතර කාලේ දී අපේ ගමේ පන්සලේ දහම් පාසලක් ඇරඹුණු දා ඉඳලා අපි ඒ ගමෙන් පිට ගමකට ගිය කාලේ වෙනකං මං ඉරිදා දහම් පාසලටත් ගියා. දිගටම දහම් පාසල් ගිය නාලන්ද පියතිලකලා නම් එතැන විභාගත් පාස් වුනා ද කොහෙද?

මගේ බුද්ධාගම දැනුම එච්චරයි!

ඒ කොහොම වුනත් මං දන්නා ටික අනුව මං දකින විදියට බුද්ධාගමේ තියෙන හොඳම කොලිටිය තමයි, ඒකේ අන්ධානුකරණයෙන් විශ්වාස කළ යුතු යැයි බල කෙරෙන කිසිම දෙයක් නොතිබීම.

බුදු හාමුදුරුවොත් කියලා තියෙන්නේ හැම දෙයක්ම ප්‍රශ්ණ කරන්න කියලායි.

නමුත් අපේ සමහර බුද්ධාගමේ අයිතිකාරයෝ ඔය කතාව දන්නේ නෑ!

ඒ කොයි වෙතත් මං මේ කියන්න යන්නේ වෙනත් දෙයක්.

මං මීට කලින් මං අහපු බණක් ගැන කතන්දරයක් කියලා තියෙනවා, ඒක තමයි හොම්බට අණින බණ ගැන කතන්දරේ.

මේ ළඟදී දවසක මං අහපු තවත් කතාවක් තමයි අර සිටුවරයා සහ බිරින්දෑවරු හතර දෙනා ගැන කතන්දරේ.

බණ අහනගෙන ඉන්න කොට සාමාන්‍යයෙන් ඔය වගේ හොඳ හොඳ කතා ඇහෙනවා.

දැන් වසර කීපයකට කලින් පන්සලට දානයක් දෙන්න ගිය වෙලේ ඇසුණු බණක තිබුණු, බුද්ධාගම ගැන ඉතාම හොඳ උදාහරණයක් තමයි මෙන්න මේක. මං මෙතුවක් කාළෙකට අහපු හොඳම උදාහරණය කියලා කියන්න පුළුවනි.

අපේ හාමුදුරුවෝ කිව්වේ බුදු දහම මී පැණි බින්දුවක් වගේ කියලයි.

දන්නවානේ මී පැණි බින්දුවක් පැතලි තලයකට දැම්මාම මීපැණීවල දුස්ස්‍රාවීතාව වැඩි නිසාත්, පෘෂ්ඨික ආතතිය නිසාත්, ඒක තවදුරටත් වටකුරුව තරමක් ගෝලාකාරව පවතිනවා.

දැන් ඔහේලා අපි වගේ කූඹියෙක් ඒ මී පැණී බින්දුව දිහා ඕනෑම පැත්තකින්, ඕනෑම කෝණයකින්, බැලුවාම පේන්නේ එකම දර්ශණයයි. අපි කොයි පැත්තෙන් ඇවිල්ලා මී පැණි බින්දුවෙන් ටිකක් තොළ ගාලා බැලුවාම එන්නේ එකම මී පැණි රසයයි!

මං හිතන්නේ මේ ගැන විස්තර කරන්න එක්කෝ පාලි කවියක් ණැත්නම් සංස්කෘත ස්ලෝකයක් කිව්වා හාමුදුරුවෝ. ඒක නං දැන් මට මතක හිටියේ නෑ.

ඔය උදාහරණයෙනුත් වැටහෙන විදියට මගේ අදහස නම් බුදු දහම දිහා විවිධාකාරයෙන් බලන එක, ප්‍රශ්ණ නගන එකේ කිසි අවුලක් නෑ ය කියන එකයි!

-කතන්දරකාරයා

ප/ලි:
පවිත්‍රා වන්නිආරච්චි ගේ වීඩියෝ එක මෙන්න.





(image: https://www.flickr.com/photos/mghro0r_w_mdala3/2467609291/)

Sunday 25 May 2014

පන්සිල් පදයක් ඩිංගිත්තක් වෙනස් කරමුද? - Killing Vs Torture


කලබල වෙන්න කාරි නෑ!

මේක අර "සුභද්‍ර ගේ අභද්‍ර වචනය" වගේ කේස් එකක් නොවෙයි.

මං මේ යෝජනා කරන්න යන්නේ පන්සිල් පදේකට පොඩි වෙනසක්. හැබැයි, නරකට නොවෙයි හොඳට.

දැන් ඔය පන්සිල්වල මුල්ම ශික්‍ෂා පදය තියෙනවා නේද? පාණාතිපාතා වේරමණී, එහෙම නැත්තං පර පණ නැසීමෙන් වළකිමි කියලා.

මං දැන් අවුරුදු විස්සකට විතර කලින් නැරඹුවා, රූපවාහිනී චැනල් එකක ගිය හද්දා පරණ ඉංගිරිසි ඩොකියුමෙන්ට්‍රියක්. මේකේ නැරේටර් සුද්දාට භාෂා පරිවර්තක කටයුතු කෙරුවේ ආචාර්ය නන්දසේන රත්නපාල.

පොර ඔය පාණාතිපාතා කියන එක සුද්දාට විස්තර කෙරුවේ "අයි විල් නොට් කිල් ඇනිමල්ස්!" කියලයි. අපි සාමාන්‍යයෙන් ඇනිමල්ස් ලා කියන්නේ මිනිස්සු හැර අනිත් සත්තුන්ට පමණක් නිසා මට නම් ඒක පොඩ්ඩක් අවුල් විදියටයි දැනුණේ. "අයි විල් නොට් කිල් ලිවින් බීන්ස්!" වගේ දෙයක් කීවා නම් වඩා නිවැරදියි කියලයි මට හිතුණේ.

ඒ කොහොම වෙතත් මං මේ යෝජනා කරන්න යන්නේ මෙන්න මේ පාණාතිපාතා, පර පණ නැසීම කියන ශික්‍ෂා පදයට පොඩි සංශෝධනයක්.

මට හිතෙන්නේ ඕකට, "මම වෙනත් ප්‍රාණීන්ට හිංසා ද නොකරමි", කියලා වැඩිපුර කෑල්ලක් එකතු වෙන්න ඕනෑ කියලයි.

එළියකන්ද වද කඳවුර ගැන පොතක් කියෝලා දුකෙන් මං ලියපු කතන්දරේට ආපු කමෙන්ටුවක තිබුණා ඌරෙකුට වද දෙන කොට අඬන හැටි?

මං හිතන්නේ සතෙක් එක පාර මරනවාට වඩා මහා පාපයක් තමයි වද දෙන එක. ඒක නිසානේ එළියකන්ද, බටලන්ද, අබු ග්‍රේ, ගන්තනමෝ බේ වගේ වද කඳවුරු දැම්මේ.

මාව මරන්න හැබැයි චරිත ඝාතනය කරන්න එපාය කියලා හිටපු ජනාධිපති ප්‍රේමදාසත් කිව්වා නොවැ!

පන්සලක අලියෙකුට වද දෙන එක ගැන දැක්වෙන වීඩියෝවක් එක්ක මං කාලෙකට කලින් කතන්දරයක් ලිව්වා මතකද?

අන්න ඒ වගේම සීන් එකක් මට දකින්න ලැබුණා දැන් මාසෙකට විතර කලින් නුවර ඉඳලා නුවරඑළිය බලා යන ගමනේ අතරමග දී.

අපි කන්ද නගින කොට අලි පටවන් එන ලොරි දෙක තුනක් හමුවුණා. මං හිතන්නේ ඒ පැත්තේ පෙරහැරකට අරගෙන ගිහින් ආපහු ගෙදර ගේන සත්තු වෙන්න ඕනෑ. එහෙම නැතිනම්, නුවර පැත්තේ පෙරහැරකට ලොරි මතින් වඩම්මන සත්තු වෙන්න ඕනෑ.

මේ සත්තු එක වනාන්තරයකින් තවත් එකකට ස්ථාන මාරු ලබපු වල් අලි කියලා නම් පෙනුණේ නෑ.

ඔහොම අලි ලොරි තුන හතරක් අපිව පාස් කරගෙන කන්ද බැස්සාට පස්සේ තමයි මෙන්න මේ සීන් එක දැක්කේ නුවරඑළිය නගරයට ඉතා කිට්ටුව.


මේ ලොරියේ අලි ඩබලක්ම පටවලා.

ලෝඩ් එක වැඩිකමටද කොහෙද ලොරිය කැඩිලා.

මොකද අර එක බස් එකක් කැඩුණාම මිනිස්සුන්ව පස්සෙන් එන බස් එකක පටෝලා අරිනවා වගේ අලි දෙන්නෙක්ව දාලා අරින්න කියලයැ.

ඉතිං මේ අලි දෙන්නාට ලොරියේ හිරවෙලා අපා දුක් විඳින එකට අමතරව වෙනත් විකල්පයක් නෑ!

ඔන්න ඔය වගේ හේතු නිසයි මං කියන්නේ මම පර පණ නැසීමෙන් වැළකෙමි කියන පන්සිල්වල පළමු ශික්‍ෂා පදයට මම වෙනත් ප්‍රාණීන්ට හිංසා ද නොකරමි කියලා ඌන පුර්ණයක් කරලා සංශෝධනය කළ යුතුයි කියලා මං යෝජනා කරන්නේ!

-කතන්දරකාරයා

ප/ලි:
පානාතිපාතා වලට අදාල සත්වයින් අතරට කතන්දරකාරයා ද අයිති යැයි සිතමි!

http://dontpaniconline.com/magazine/radar/improvements-that-could-be-made-to-football

Friday 23 May 2014

සම-සෞඛ්‍ය ශිෂ්‍යයින් සමග විනාඩි පහක් - Equals and unequals!


විශ්ව විද්‍යාල සම-සෞඛ්‍ය (Allied Health Sciences) කේස් එක ඇදි ඇදි ගිහින් අන්තිමේදී ශිෂ්‍යයින් පිරිසක් ලඟදී දවසක පොලිස් "මිනිමම් ෆෝස්" පහරදීම්වලට ලක්වෙලා ය කියලා පත්තරවලින් ආරංචි වුනා. හරිම කණගාටුදායක, නමුත් පුදුමයක් නැති පුවතක්!

එදත්, අදත් කවදත් විශ්ව විද්‍යාලවල විවිධ ප්‍රශ්ණ තිබුණා!

අපේ කාලේ තිබුණු උං ගේ ආණ්ඩුවෙන් ඒ ප්‍රශ්ණ විසඳුවෙත් දැන් කාලේ ඉන්න මුං ගේ ආණ්ඩුවෙන් ප්‍රශ්ණ විසඳනවා වගේම ඉතාම සුමුදු සුසිනිදු "මිනිමම් ෆෝස්" ක්‍රමවේදවලින් තමයි.

උනුයි, මුනුයි නැතුව අරුං ආණ්ඩුවක් පිහිටෙව්වා වුනත් ඔය ප්‍රශ්ණ විසඳිල්ලේ වැඩි වෙනසක් වේවි ය කියලා මං හිතන්නේ නෑ.

සමහරවිට උනුයි, මුනුයි නැතුව අරුං ආවොත් ඔය වගේ ප්‍රශ්ණ ඇති වෙන එකක් නෑ ය කියලා කෙනෙකුට කියන්න පුළුවනි. නමුත්, ඇත්තටම කියනවා නං අරුං ආවොත් කොහොමටත් ඔය තියෙන නිදහසවත් නැති වෙන බවයි මගේ අදහස. මොකද අරුං යටතේ (ඉස්සර විදියට නං) තියෙන්න පුළුවන් එක මතයයි, ඒකට විරුද්ධතාවයක් තියෙන්න කිසිම විදියක් නෑ!

ඒ වල්පල් මොනවා වුණත්, මෙන්න මං කියන්න පටන් ගත්තු කතන්දරේ.

දැන් සති තුන හතරකට විතර කලින් දවස්වල මං ගියා පේරාදෙනිය පැත්තේ ඔය පරණ ජෙට් එන්ජිමක් හෙම නරඹලා එන්නයි කියලා. ඔය අතරේ, ගලහා හන්දිය ඉස්සරහිනුත් තුන්-හතරපාරක්ම යන්න ඉඩ ලැබුණා.

ඒ යන අතරේ දී තමයි මං දැක්කේ ගලහ හන්දියේ පැවැත්වෙන ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරය.

අන්තිම දවසේ දී මට පොඩි ඉඩක් ලැබුණා ඒ ලඟට ගිහින් විනාඩි පහක් විතර මේ උපවාසකරුවන් සත්‍යග්‍රහකාරයින් එක්ක කතා කරන්න. මෙන්න අපේ දෙබස මට මතක හැටියට.

මම- මොකක් ගැනද මේ විරෝධතාවය?

ශිෂ්‍යයෙක්- මෙහෙමයි, දැන් අපේ සම-සෞඛ්‍ය පීඨයේ දෙවෙනි තුන්වෙනි අවුරුදුවල ඉන්න අයියලා අක්කලාට අවුරුදු හතරේ පාඨමාලාව කරන්න දෙන්නේ නෑ. ඒක වෙනස් කරන්න කියලයි අපි මේ උපවාසය සත්‍යග්‍රහය ගෙනි යන්නේ!

මම- ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ පවුල්වල අයියලා, අක්කලා මේ පාඨමාලාව කරන හින්දා ද ඔය අයත් මේ පාඨමාලාව තෝරා ගත්තේ.

වෙනත් ශිෂ්‍යයෙක්- නෑ, අංකල්, අපි විශ්ව විද්‍යාලේ සීනියර්ස්ලාට කියන්නේ අයියලා අක්කලා කියලයි. ඒ අය අපේ පවුල්වල අය නොවෙයි

මම- එතකොට මට අංකල් කිව්වේ ඇයි? අංකල් කියන්නේ විශ්ව විද්‍යාලයෙන් අවුට් වෙච්ච අයටද? කොහොමද ඔය අයියලා සහ අංකල් ලා වෙන් වෙන විදිය තීරණය කරන්නේ? අයියා කෙනෙක් අවුට් වෙලා අවුරුදු කීයක් ගියාමද අංකල් කෙනෙක් වෙන්නේ?

ශිෂ්‍යයෝ- හි, හි, හි!

මම- දැන් ඔය සම-සෞඛ්‍ය විද්‍යා පීඨය (Faculty of Allied Health Sciences) මං මෙහේ ඉන්න කාලේ තිබුණේ නෑ. ඒකේ ඉගෙන ගන්න අය මොනවාගේ රැකියාවලටද යොමුවෙන්නේ.

ශිෂ්‍යයෙක්- සෞඛ්‍ය සේවයේ හෙදියන් සහ දොස්තරලා අතර තියෙන හැම සේවාවකටම පිරිස් පුහුණු කරන්නේ මේ සම සෞඛ්‍ය පීඨ පාඨමාලාවලින් තමයි.

මම- එතකොට, මේ සම-සෞඛ්‍ය පීඨ පිහිටුවන්න කලින් ඒ ජොබ්වලට පිරිස් පුහුණු වුනේ කොහොමද?

ශිෂ්‍යයෙක්- ඒ අය රැකියාවලදීම පුහුණු වුනා!

මම- ඇයි, දැන් එහෙම කරන්න බැරිද?

ශිෂ්‍යයෙක්- නමුත් හැම දෙයක්ම දියුණු වෙන්න ඕනෑ නේ.

තවත් ශිෂ්‍යයෙක්- මෙහෙමයි, මීට අවුරුදු හතරකට(?) කලින් A/L කෙමිස්ට්‍රි පේපර් එකේ ලකුණුවල පොඩි වරදක් සිද්ධ වුණා. ඒ නිසායි, මේ සම-සෞඛ්‍ය විද්‍යා පීඨ පිහිටෙව්වේ!

මම- ඒ කියන්නේ මේ සම-සෞඛ්‍ය විද්‍යා පීඨ පටන් අරගෙන තියෙන්නේ වැරදීමකින් එහෙනම්?

ශිෂ්‍යයෝ- හි, හි, හි!

මම- පුතා, ඔයගොල්ලෝ මීට වඩා හෝම් වර්ක් කරලා එන්න ඕනෑ මේ වගේ ප්‍රශ්ණවලට උත්තර දෙන්න.

ශිෂ්‍යයෝ- හි, හි, හි!

මම- හොඳයි එහෙනං ජයවේවා. මං ගියා!

මට තිබුණු විනාඩි පහ ඉවර වුණු නිසා මං එතැන තිබුණු ආධාර පෙට්ටියට සල්ලි කොලයක් ඔබලා ආපහු එන්න ආවා.

-කතන්දරකාරයා

ප/ලි:
කෝකටත් කියලා, මං එතැනදී ගත්තු ෆොටෝ එකේ කොල්ලන් ගේ මුණු තියෙන හරිය කපලා දැම්මා.

Wednesday 21 May 2014

ඇති පදං බස් තියෙද්දී කාර් එකේ ගෙදර යෑම - Free and easy travel plan goes crazy!


සාමාන්‍යයෙන් කතාවට කියන්නේ "බස්තියං ඇයි පයින් යන්නේ?" කියලනේ.

හැබැයි මේ මගේ කතන්දරේ නං බස්තියං කාර් එකේ ගිය කතාවක්. කාර් එකේ ගිහිල්ලා අම්බානක පරිප්පුවක් කාපු සිද්ධියක් ගැන කතන්දරයක්!

දැන් ටික කාලෙකට ඉස්සර මං වැඩ කළා කොළඹ නුවර පාර අයිනේ පිහිටා තියෙන එක්තරා තිප්පොලක.

මේ කාලේ හාමිනේයි මායි, අපි දෙන්නා, අළුත බැඳපු ජෝඩුව, අර සත්ගුණවත් මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් ගේ ගෙදර කුලියට ගන්න වැඩේ හරි ගියේ නැති නිසා, කතන්දර හාමිනේ ගේ ගමන් පහසුව පිණිස පදිංචි වෙලා හිටියේ ගම්පහ අර රිමෝට් කොන්ට්‍රොල් ඇන්ටි ගේ ඇනෙක්සියේයි.

ඔය කියන කාලේදීම තමයි මං කලින් දවසක කියපු "අඩෝ! උඹ බැඳලා නේද යකෝ?" කියන කේස් එක වුණෙත්.

ඔය දවස්වල මං උදේට කරන්නේ ඇනෙක්සියේ ඉඳලා ගම්පහ ප්‍රධාන බස් නැවතුමට ඇවිදගෙන ගිහින් කොළඹ යන බස් එකක නැගලා හුලං වැදි, වැදී ෂපාන් එකේ ඉඳගෙන යන එකයි.

උදේට එහෙම වුණාට හවසට වැඩපොල ලඟ ඉඳලා ගම්පහට එන එක නං ටිකක් අමාරු වැඩක්.

මොකද, කොළඹ ඉඳලා එන ගම්පහ බස් මේ හරියට එන කොට කට කපලායි එන්නේ. යන්තං ඇඟිල්ලක් දෙකක් ගහ ගන්න විතරයි ඉඩ තියෙන්නේ!

නමුත් ඉතිං, වැඩ ඇරුණම ගෙදර නොයා මක් කරන්නද?

අනික, මේ බැඳපු අළුත!

ඔය දවස්වල අපේ වැඩපොලේ හිටියා තවත් හාදයෙක් ගම්පහ පැත්තේ ඉඳලා වැඩට එන. ඒ මදිවාට පොරට සමහර දවසට ගෙදර යන්නේ කාර් එකකයි.

සමහර දවස්වලට ඔන්න ඉතිං මටත් පොට්ට චාන්ස් එකක් වදිනවා ඒ කාර් එකේ නැගලා ගෙදර යන්න.

දවසක් මං දැක්කා, මංතුමා වැඩ ඉවර කරළා පිටත් වෙන්න හදන කොටම අපේ කාර්කාර පොරත් පිටත් වෙනවා.

"මිස්ට මලිත් ගම්පහ නේද යන්නේ?" මං ඇහැව්වේ බලාපොරොත්තු නිකං ඔලිම්පික් පහනක් වගේ දල්වාගෙනයි.

"ගම්පහ තමයි යන්නේ, බැහැයි ඊට කලින් වෙනිං ගමණක් යනවා පාදුක්කේ, ටිකක් පරක්කු වෙයි!" මලිත් කිව්වා කාර් එකට නගින ගමන්.

"හා කමක් නෑ! කොහොම හරි අන්තිමට ගම්පහ හරහා නේ යන්නේ". මං පුරුදුකාරයා වාගේ කාර් එකට පැන්නා.

"හැබැයි අපි පරක්කු වෙනවා!" පොර ආයේ පොඩි වෝනිං එකක් දුන්නා.

මං බැලුවා වෙලාව. හවස හතර හමාරයි. මේ වෙලාවට කොළඹ ඉඳලා එන බස් ගැන කියලා වැඩක් නෑ.

මං "ඕ.පු. මොනවා වුණත් කාර් එකේ යන එක තරම් සැපක් කොහෙද බස් ගමනේ?" කියලා හිතලා තවත් හරි බරි ගැහිලා වාඩි වුණා.

කාර් එක යන්න පිටත් වුණා.

එහෙනං මං කියන්නං පොඩි කතාවක් අපේ කාර්කාර මලිත් පොර කතන්දරයක් කියන්න පටන් ගත්තා.
ඔන්න දවසක් අපි යාළුවෙක්ව ඩ්‍රොප් කරන්න වෑන් එකේ කටුනායක එපාපෝට් එකට ගියා හවස් වරුවක. එතනින් ආපහු එන්න එන කොටම එයාපෝට් එකේ වැඩ කරන දන්න කියන ගම්පහ මනුස්සයෙක් මුණ ගැහුණා වැඩ ඇරිලා ගෙදර යන්න යන.

මිනිහා ඇහැව්වා ගම්පහට නේද යන්නේ? මටත් එන්න පුළුවනිද කියලා.

මං කිව්වා, ගම්පහ තමයි යන්නේ හැබැයි අපි මුලින් අනුරාධපුරේ ගිහින් තමයි ගෙදර යන්නේ කියලා.

ඒත් මෑන් හිනාවෙලා කාරෙකට නැග්ගා. අපි මීගමුව පහු කරලා යන කොට පොර තරමක් නිදි.ඒ් වෙනකොට නං මෑන්ට තේරිලායි තිබුණේ කර ගත්තු වැරැද්ද. අන්තිමේදී අපි පුත්තලම හරහා අනුරාධපුරේට ගිහිල්ලා ඒ ගිය වැඩේ පැයකින් දෙකකින් විතර කරගෙන ආපහු ගම්පහට එන කොට රෑ එකත් පහුවෙලා!

ඉතිං ගම්පහින් දාන්නේ නැතුව අපි මෑන්ව ගෙදර ලඟටම ගිහින් බැස්සුවා.
මලිත් ගේ ඒ කතාව කියලා ඉවරවෙන කොට මටත් ටිකක් සැකයක් ඇති වෙලායි තිබුණේ මං කර ගත්තේත් අර මලිත් කියපු කතනාදරේ වගේම ගොං වැඩක් ද කියලා!

මගේ සැකය හරියටම හරි.

ඔන්න ඉස්සෙලාම මලිත් කාර් එකේ ගියා පාදුක්ක ට.

ඒ යන අතරේ අතර මග කඩේක පැය බාගයකටත් වැඩිය කල් ගත කලා.

පාදුක්කේ මලිත් ලා ගේ නෑ කෙනෙකුගේ ඉඩමක් බලන්නයි මේ ගමන ගිහින් තිබුණේ.

එතැනින් පිටත් වුනේ හවස හතත් පහුවෙලා.

ඒ වෙනකොට වැඩිය ට්‍රෑෆික් තිබුණේ නැති හින්දා ගම්පහට ආවා යාන්තං අටහමාර විතර.

වැඩපොළ ලගින් බස් එකක කොළඹට ගිහින් එතැනින් ආපහු බස් එකක (ඉඳගෙන) ආවත්, මට ගෙදර එන්න තිබුණා මීට පැයකට දෙකකට කලින්!

"බස්තියං කාර් එකේ යනවා" කියන්නේ මෙන්න මේ වගේ පරිප්පු කෑම්වලටයි.

කොහොම වුනත් කටුණායක ඉඳලා අනුරාධපුරය හරහා ගම්පහ යන එකට වඩා කිරිබත්ගොඩ ඉඳලා පාදුක්ක හරහා ගම්පහ යන එක තරමක් හෝ හොඳයි, නැද්ද මං අහන්නේ!


-කතන්දරකාරයා

(image: http://tvaraj.com/2012/08/18/six-word-saturday-august-14-2012-mad-guy/)

Monday 19 May 2014

කාන්තාවක් සමග මහ වැස්සේ කුඩයක් යට කිටි-කිටියේ තුරුලූ වී ඇවිද ගියෙමි - It is Spring again!


මං දැන් ටික දවසකට කලින් පරණ හින්දි ෆිල්ම් එකක ඩීවීඩි එකක් බැලුවා. මට මතක විදියට ආරාධනා ද කොහෙද නම. රාජේෂ් කන්නා සහ ෂර්මිලා තාගෝර් තමයි රඟපෑවේ.

මේකේ අළුත (හොරෙන්) බැඳපු ජෝඩුවක් ඉන්නවා. මිනිහා ඉන්දියන් එයාෆෝස් එකේ පයිලට් කෙනෙක්. පොර ගැණිගෙන් සමු අරගෙන ඩියුටි යනවා. ගියා ගියාමයි ආයේ එන්නේ නෑ!

පස්සේ මේ සිංගල් මදර් තමන්ගේ ඒ වෙනකොට කුසේ හිටිය දරුවාව හදා ගන්න කතාව තමයි මේ මූවි එකේ තියෙන්නේ මට මතක විදියට.

දිගටම ඩීවීඩී එක බලාගෙන යද්දී මට මෙතන පොඩි අවුලක් අවුලක් තියෙනවා වගේ දැනුණා.

එයාෆෝස් පයිලට් ඩියුටි යන්න පිටත් වෙන සීන් එක හරිය මං ආපහු ප්ලේ කරලා බැලුවාම තමයි මට තේරුණේ කෙල්ලයි කොල්ලයි යාළු වෙලා ඉන්න කාලේ කොච්චර ප්‍රේම දර්ශන රඟපෑවත් (කොටින්ම මේ කෙල්ල ගර්භණී වෙන්නේ කසාද බඳින්නත් කලින්) අර අවසන්වරට සමුගෙන යන වෙලාවේ මේ පොර තමන්ගේ ගෑණි ගේ තොල්වලට, කම්මුලට කෙසේ වෙතත්, නළලටවත් උම්මා එකක් දෙන්නේ නෑ නේද කියලා!

ඒ කියන්නේ බඳින්න කලින් මොන පෙම් කෙලියත් බැන්ද ගමන් ජෝඩු දුරස්ත වෙනවා කියන එකයි.

උදේ හවස වැඩට යනකොට, වැඩට ගිහින් ගෙදර ආපසු තම කලත්‍රයායට අඩු වශයෙන් උම්මා එකක් වත් දීම කළ යුතුමයි.

අනික තමයි, බඳින්න කලින් අත්වැල් අල්ලාගෙන මුහුදු වෙරලේ, පාලු පාරවල්වල, පියවර මැන්නාට බැන්දට පස්සේ ඇඟිලි ගැවුණත් නිකං ලැජ්ජයි ලැජ්ජයි වගේයි අපේ තරුණ බැඳපු ජෝඩු පවා හැසිරෙන්නේ.

මංතුමා නම් ඔය විදියට නොවෙයි වැඩ කරන්නේ.

මං ඒ බව "බැඳපු අයගේ මල් කැඩීම" කියන කතන්දරයේත් පැහැදිලි කරලා කිව්වා.
http://kathandara.blogspot.com/2011/03/blog-post_29.html

කොහෙම වුණත් මේ කතන්දරේ ලියන්නේ මෙච්චර මේ ගැන පොර ටෝක් දෙන මංතුමාත් බැන්දායින් පස්සේ මේ දක්වාම කරලා නොතිබුණු දෙයක් කරන්නට මේ ළඟදී හදිසියෙන්ම වගේ ලැබුණු අවස්ථාවක් ගැන කියන්නයි.

ඔන්න දැන් සති දෙකකට විතර කලින් සිකුරාදාවක හවස් වරුවේ හාමිනේ යි මායි නිට්ටඹුව ටවුමට ගියා පොඩි වැඩ දෙක තුනකට. පොඩි වැහි කළුවක් තිබුණත් ඒක එච්චර ගාණකට ගත්තේ නෑ අපි දෙන්නා.

බැංකුවටත් ගිහිල්ලා සල්ලි ටිකක් අරගෙන, පොත් කඩේටත් ගොඩ වෙලා හෙන්රි වර්ණකුලසූරිය ගේ "නෙත් මා දකිනු පිණිසය" කියන කෙටිකතා පොතයි, ඩී බී කුරුප්පු ගේ "සැඳෑ තරු එලියේ කිමිදෙන හිරු" කියන පොතයි අරගෙන, පයින්ම ගෙවල් පැත්තට එන්න ආවා.

මෙන්න බොලේ එක පාරටම කඩාගෙ වැටුනේ නැද්ද වැස්ස නිකං දොඹ ගෙඩි වගේ.

අපි වහාම ළඟම තිබුණු සතොස ඇතුලට පැන ගත්තා.

පෝරණුවක් වගේ ඒ සතොස කඩේ ඇතුලේ අසතුටෙන් පැය බාගයක් විතර ගත කළත් වැස්ස පායන පාටක් නෑ. එතන ඉඳලා පාරේ යන ත්‍රී වීල්වලට අත වැනුවට ඒවායේ මාතලී ලා ට අපිට පේන්නේ නෑ.

"ඉතිං මොකද කරන්නේ!" කිය කිය කල්පනා කරන කොට මට හොඳ අදහසක් ආවා.

සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ගෙඩි රුපියක් පන්සීයක් ම දීලා සතොසෙන් ගත්තා කුඩ රාජයෙක්.

ඒක දිග ඇරගෙන අපි දෙන්නා හොඳට තුරුලු වෙලා අර මහ වැස්සේ නිවස බලා පයින් එන්න පටන් ගත්තා.

ලොකු කුඩයක් වුණාට, ඒ වැස්සට ඒක හොඳටෝම මදි හතර පැත්තෙන්ම වැහි බින්දු. ඒ නිසා තව තවත් තුරුලු වෙන්නයි සිදුවුණේ. දන්නවානේ අර එක අතකින් කුඩේ අල්ලාගෙන අනිත් අත ඉන වටේ අත දාලා හිර කරගෙන!

ඔන්න ඒ වෙලාවේ අර බඳින්න කලින් දවස්වල කළුබෝවිල, නුගේගොඩ පැත්තේ ඇවිදින කොට හිතට ආපු ආකාරයේ සොඳුරු සිතුවිලි ආපහු පාරක් හිතට ගලාගෙන එන්න පටන් ගත්තා!

උදේ හවස උම්මා දුන්නාට, මං අර "බැඳපු අයගේ මල් කැඩීම" කියන කතන්දරයේ කියපු විවිධ දේවල් කළාට, මේ වගේ කුඩයක් යට තුරුලු වෙලා යන්න ඒ කාලෙන් පස්සේ අවස්ථාවක් මෙදා වෙනතුරුම ලැබුණේ නෑ නේද කියලා එවෙලේයි මට තේරුණේ.

කොහොම හරි ඉතිං අමරදේව ගායනා කරන "කබාය ඉරිලා" සින්දුවට අළුත් විකල්ප වචන දාමින් අපි දෙන්නා නිවස දක්වාම ඒ ආකාරයටම තුරුලු වෙලා ඇවිදගෙන ගියා!

ඔන්න මේ කතන්දරය කියවන කලකට පෙර බැඳපු ඈයෝ ඉන්නවා නං පොඩ්ඩක් මේ අත්දැකීම ආපහු අරගෙන බලන්න කියලා යෝජනා කරන්න කැමතියි.

-කතන්දරකාරයා

ප/ලි:
කුඩේ යටින් ආවත් ඒ දොඹ වැස්සේ හැටියට ගෙදර එනකොට අපි දෙන්නාම හොඳටෝම තෙමිලා.

වහාම නා ගන්න එක හැර වෙනත් විකල්පයක් තිබුණේ නෑ.

ගෙදර එවෙලේ වෙනත් අය නොහිටියා නං ෂවර් එකත් ෂෙයාර් කරන්න තිබුණා!

(image: http://www.cartoonstock.com/directory/l/lovey_duvey.asp)

Friday 16 May 2014

හැපි බර්ත්ඩේ බුදු සාදු! - Happy Birthday Buddha!


වෙසක් උත්සවය සමරන්න මං හැපි බර්ත්ඩේ බුදු සාදු! කියලා ෆේස් බුකියේ දාලා තිබුණු ස්ටේටස් අප්ඩේට් එක දැක්ක සමහරු ඒ ගැන තරමක අප්‍රසාදය පළ කරලා තිබුණා.

අප්‍රසාදය ඒ විදියට තරමකින් නතර වුනේ නං ඉතිං ෆේස් බුකියේ ඉන්නේ පොතේ හැටියට යාළුවෝ නිසාත්, ඒ යාළුවන්ට ඇනෝනිමස් ආතල් ගන්න බැරි නිසාත් වෙන්න පුළුවනි!

මගේ උත්තරේ වුනේ මේකයි.

ඇයි ඉතිං ඒ හැපි බර්ත්ඩේ බුදු සාදු! සුභ පැතුමේ තියන වරද?

ඒක ඉංගිරිසියෙන් තියෙන නිසාද?

නමුත් ඉතිං හැපි බර්ත්ඩේ කියන්නේ ගුඩ් මෝනින්, තෑන්ක් යු, එක්ස්කියුස් මී කියනවාටත් වඩා සිංහල යෙදුමක් නේ!

ඇත්තටම වෙසක් ය කියන්නේ බුදු සාදු ගේ උපන් දිනය කියලා තාම හිත කුරුවල් වෙලා නැති පොඩි එකෙකුට කීවොත් ඒ ළමයා එදා බුදු පිළිමයක් දැක්කාම හැපි බර්ත්ඩේ බුදු සාදු! කියලා කියන්න සෑහෙන්න ඉඩ තියෙනවා.

පොඩිහිටියෙක් නොවෙයි වැඩිහිටියෙක් උණත් හැපි බර්ත්ඩේ බුදු සාදු! නොකියා කොහොම විෂ් කරන්නද කියලා මට නං තේරෙන්නේ නෑ.

මොකද, යනවාට වඩිනවා, කනවාට වළඳනවා, නිදාගන්නවාට සැතපෙනවා වගේ වෙනම ගෞරවාන්විත වචනයක් තියෙනවායැ කියලයැ උපන් දිනේ ට?

අනිත් කාරණය තමයි ඔය වඩිනවා, වළඳනවා, සැතපෙනවා වගේ කෑලි සිංහලෙන් තිබුණාට අපි දන්න ඉංගිරිසියේ නං ඕවාට ගිහියන්ට එක වචන සෙට් එකකුයි, ලොක්කන්ට එකකුයි නෑ.

එනිසා හැපි බර්ත්ඩේ බුදු සාදු! නම් හැපි බර්ත්ඩේ බුදු සාදු! ම තමයි!

හැබැයි මෙහෙම එකක් තියෙනවා.

මං ඔය කියන විෂ් එක කෙරුවේ වෙසක් දා නොවෙයි. ඊට පහුවෙනිදා.

ඒ හින්දා ඇත්තටම නං කියන්න ඕනෑ, හැපි බිලේටඩ් බර්ත්ඩේ බුදු සාදු! කියලයි.

ඉස්සර හිටි සාදුලා නොකලාට දැන් කාලේ අපේ පොඩි සාදුලාත් බුදු සාදුට විතරද හොඳ කියලා හිතිලා ද කොහෙද තමන්ගේ බර්ත්ඩේ පාටි ජයටම ගන්නවා නේ වර්ග මීටරේ විතර කේක් ගෙඩිඅප්පු ලා හදලා.

අන්න ඒ වගේ පාටි එකකට ආරාධනා ලැබිලා ගියොත් කියන්න වෙන්නෙත් ඉතිං හැපි බර්ත්ඩේ පොඩි සාදු! කියලා තමයි! හැබැයි අමතක කරන්න එපා ඔය උඩ තියෙන ෆොටෝ එකේ ඉන්න තිස්ස වගේ වැඳගෙනයි හැපි බර්ත්ඩේ ගීතය ගායනා කරන්න ඕනෑ!

-කතන්දරකාරයා

ප/ලි:
තවත් එකක්.

මේක බුදු සාදු ගේ තෙමගුල නේ. උප්පත්ති මංගල්‍යය, බුදු වීමේ මංගල්‍යය සහ පිරිනිවන් මංගල්‍යය. ඉතිං අනිත් මගුල් දෙකටත් අර ආකාරයෙන්ම විෂ් කරන්න වෙනවා.

කොන්ග්‍රැජුලේෂන්ස් ඔන් යුවර් ග්‍රේට් ඇචීව්මන්ට් බුදු සාදු! වෙල් ඩන්!

මයි ඩීපසට් සිම්පතීස් ඇන්ඩ් හාට් ෆෙල්ට් කොන්ඩෝලන්සස් රාහුල සාදු!

(image: http://gallery.lankagossip.info/2014/03/pitiduwe-siridhamma-theros-birthday.html)

Wednesday 14 May 2014

"මං ලියන්නේ මට ඕනෑ දේවල්, ඇයි උඹ ලියන්නේ කාට ඕනෑ දේවල් ද?" - Writing for fun!


මං අතීත-අනතීත පොඩි සිදුවීම් දෙකක් අල්ලලා කතන්දරයක් ලියාගෙන ගියත් ඒක ටිකක් දිග වෙච්ච හින්දා පස්සේ හිතුනා කෙටියෙන් මගේ පොයින්ට් එක විතරක් ලියන්න.

මෙන්න අතීත සිද්ධිය

මේ කතන්දර බ්ලොග් ලියන්න කලින් මං මගේ පාසල් ජීවිතයේ විවිධ සිදුවීම් ගැන කතන්දර කීපයක් ලියලා තිබුණා. සඟරාවක් කරන පොරක් මට ලිපියක් ලියන්න කියලා ආරාධනාවක් කළ වෙලේ මං ඒවායින් දෙක තුනක් දුන්නා. පොරත් ඒවා පළ කළා.

නමුත් පොර කියන්නේ මං ලියන්න ඕනෑ ඒ වගේ කතන්දර හරි කවි හරි වෙනත් නිර්මාණ හරි නොවෙයි ලු. ඒ වෙනුවට විස්ස විජ්ජාලේ දී ඉගෙන ගත්තු ඉංජිනේරු විජ්ජා ගැන ලිපි ලියන්නලු!

මං පොරට කිව්වා "මං ඒවා ලියනවා, හැබැයි ඒ ලියන ඒවා අදාල ජර්නල්වලට යවනවා හෝ ශිෂ්‍ය අත්පොත් විදියට ප්‍රකාශනය කරනවා මිසක් මේ වගේ පවුලේ සඟරාවලට දාන්න අදහසක් නම් නෑ!" කියලා.

මං මගේ සී.වී. එකෙන් පබ්ලිකේෂන් ලිස්ට් එක කොපි පේස්ට් කරලා ඊ-මේල් එකකුත් ඇරියා. පොරට ඒකට තදවෙන්නත් ඇති!

මෙතන තිබුණු උත්ප්‍රාසය මේකයි.

මේ කියන පොර සිංහල විශේෂ උපාධියක් කරපු එකෙක්. ඉතිං, පොරට කිසි අප්සෙට් එකක් නැතුව, කතන්දර, කවි, වෙනත් නිර්මාණ කරන්න පුළුවන්, පළ කරන්න පුළුවන්.

හැබැයි මං ඉංජිනියරිං කරපු නිසා මට ඒවා තහනං!

චෝයි නේද?

මෙන්න වර්තමාන සිද්ධිය

මගේ හිතවතෙක් ඉන්නවා, පොර සභාපතිකමක් කරන සංගමයකින් නිවුස් ලෙටර් එකක් කරනවා, නිකං මාස තුන හතරකට පරක් අවාරෙට පොල් වැටෙනවා වගේ.

පොර පහුගිය සති අන්තයේ මං කෝල් කරපු වෙලාවේ මගෙන් ඉල්ලුවා ඉංජිනේරු අධ්‍යාපනය ගැන ලිපියක් ලියන්නයි කියලා ඔය කියන නිවුස් ලෙටර් එකට දාන්න.

මං පොරට දුන්නු උත්තරේ කෙටියෙන් මෙන්න මෙහෙමයි.

1. "මචං උඹට ඕනැ ලිපි උඹ ම ලියා ගනිං, මං ලියන්නේ මට ඕනෑ දේවල් විතරයි."

2. "උඹට ඇයි හිතුණේ උඹට ඕනෑ දේවල් මට කියලා ලියවා ගන්න පුළුවන් කියලා?"

3. "ඇරත් මචං, මං මීට කලින් පාරක උඹලා සුවනියර් එකක් කරද්දී ඉංජිනේරු අධ්‍යාපනය ගැන මගේ අත්දැකීම් ගැන ලියපු ආර්ටිකල් එක උඹ පළ කෙරුවේ නෑ නේ? ඉතිං ආයේ ඉල්ලන්නේ මොන වෙඩිමකට ද?"

ඔතන දී මං සඳහන් කරපු, මං මීට අවුරුදු තුනකට විතර කලින් ලියපු, ඔය ලිපිය පළ නොවීම ගැන මට ඒ දවස්වල ලැබුණු ප්‍රතිචාරය වුනේ මෙන්න මේකයි.

"අපෝ මචං ඒක පළ කළා නං අපිට ගුටි කන්න තමයි වෙන්නේ!"

මං වහාම හැරෙන තැපෑලෙන් මෙන්න මෙහෙම ඇහැව්වා.
මචං මොකක්ද ඒ කතාවේ තේරුම?
කවුද උඹට ගහන්නේ?
ඇයි එහෙම ගහන්නේ?
මං ලියපු ලිපියකට උඹට ගහන්නේ ඇයි?
කාට වුනත් ලිපියක ලියන අදහසක් නිසා ගුටි කන්න වෙන්නේ ඇයි?
උඹලා ඇයි මේ තරම් දින වෙලා?
තාම නෑ මට ඒ ප්‍රශ්ණවලට උත්තර ලැබුණේ!

මං හිතන්නේ කවුරු මොන මොන උදාහරණවලට ගත්තත් මඩ ගොඩක කාලයක් තිස්සේ ඉන්න කොට මොන අරවින්දය වුනත් මඩ ගඳ ගහන්න පටන් ගන්නවා. එහෙව් එකේ අපි වගේ නිදිකුම්බා මල් ගැන කුමන කතාද?

-කතන්දරකාරයා

(image: http://www.freewordcentre.com/blog/2012/10/100-hours-of-solitude/)

Monday 12 May 2014

ඉතාලියේ දී මා දුටු බංග්ලාදේශ්කාරයෝ - Bangladeshi's in Italy


පසුගිය වසරේ මට සතියක පමණ කාලයක් ඉතාලියේ නගර දෙක තුනක සංචාරයක් කරන්නට පොට්ට චාන්ස් එකක් ලැබුණා.

මං ඒ කාලේ අහපු දැකපු දේවල් ගැන කතන්දර කීපයක්ම ලිව්වා සමහර විට ඔබ කියවන්නට ඇති. ඒ දවස්වල අමතක වුණු එක කාරණයක් අද අන්සතු දිනපොත බ්ලොගයේ චිතගොන් හි නැව් කැඩීම ගැන තිබුණු ලිපිය කියවද්දී හදිසියේ මතක් වුණු නිසයි මේ ලියන්නේ.

අපි ඉතාලියේ රෝමා නගරයේ විවිධ ඓතිහාසික තැන් නරඹන්නට ගියා දවස් හතර පහක්. ඒ වගේම ෆිරැන්සියා හෙවත් ෆ්ලොරන්ස්වල දවසකුත් වැනීසියා හෙවත් වෙනීස්වල දවස් දෙකකුත් කල් ගත කළා.

මේ හැම තැනදීම මා දැක්කා මේ සංචාරකයින් ගැවසෙන තැන්වල ඇවිදමින් පොඩි පොඩි සුකුරුත්තං බඩු විකුණන ඉන්දියානු මුහුණු. ලං වෙලා කතා කළාම තමයි දැන්ගත්තේ මේ ඉන්දියානුවන් නොව බංග්ලාදේශ්කාරයින් ය කියලා.

මේ බහුතරයක් දෙනා ම මෙහේ ජීවත් වෙන්නේ එක්කෝ නීති විරෝධී සංක්‍රණිකයින් ලෙස, නැති නම් මාස දෙකක පමණ වීසාවකිනුයි.

මා කතා කළ දෙදෙනා කියපු කතාවේ හැටියට ඔවුන් ඉතාලියට ඇවිත් තියෙන්නේ එහේ ගොවිපොළවල්වල වැඩ කරන්නයි. නමුත් අන්තිමේදී කරන්නේ යුරෝ එකට දෙකට පොඩි පොඩි ප්ලාස්ටික් කෑලි, සුවනියර්ස්, රෝස මල් විකිණීමයි.

මිලානෝවල දී නම් දැක්කා කොල්ලෝ කීප දෙනෙක් සන් ග්ලාසස් විකුණමින් ඉන්නවා. වැනීසියේ දී ඒ දවස්වල වැස්ස කාලේ නිසාද කොහෙද එහේ හිටිය බංග්ලාදේශ්කාරයෝ විකුණුවේම කුඩ.

වතුර බෝතලයකුත් යුරෝ දෙකක් වෙන රටේ මේ අය මේ නිස්සාර වෙළඳාමෙන් ජීවත් වෙන්නේ කොහොමද කියන එක නම් මට හිතා ගන්න බැරි වුණා.

ඒජන්ට්ස්ලා ට ගෙවන්න යුරෝ දාස් ගණං සල්ලි තමන්ගේ ගෙවල් දොරවල් උගසට තියලා, නෑයින්ගෙන් ලෝන් ගහලා මෙහෙට ඇවිත් ඉන්න මේ බහුතරයකට ආපහු යෑම කියන එක කළ නොහැකි දෙයක් බවත්, කවදා හෝ රජයේ සමාවක් යටතේ නිත්‍ය වීසාවක් සහ වඩා හොඳ රැකියාවක් ලැබෙන තුරු මේ විදියට ඉන්න එක හැර වෙන විකල්පයක් නැති බවත් මේ ගැන කියවූ මට දැනගන්නට ලැබුණා.

මේ බංගලාදේශ්කාරයින් දකින කොට නිකමට වගේ මට හිතුණා අපේ ලංකාවෙන් කාලෙකට කලින් බෝට්ටුවල නැගිලා ඉතාලි ගිය අයත් මේ වගේ තැන්වල වාත වෙනවා ඇති ද කියලා.

මං දවසක් මගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටී ෂර්ට් එක ඇඳගෙන නගර සංචාරක කෙරුවත් මට ලංකාවේ කෙනෙකුගෙන් නම් ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. (සාමාන්‍යයෙන් ලංකාවේ කෙනෙක් නං තවත් එකෙක්ව දැක්කාම නොදැක්කා වගේ යන්නත් ඉඩ තියෙනවා!)

එකම එක පාරක් මගේ ටී ෂරට් එක දැකපු බංගියෙක් කෑ ගැව්වා, "ආ! චිරි ලංකා, චිරි ලංකා, වාස්, වාස්!" කියලා. ඒ ගැන පස්සේ කල්පනා කරන කොටයි මට තේරුණේ සමහර විට පොර එහෙන් මෙහෙට ඇවිත් තියෙන්නේ වාස් ක්‍රිකට් ගහන කාලේ වෙන්න ඕනෑ, ඊට පස්සේ පොරට ක්‍රිකට් මැච් බලන්න වෙලා නැතිය කියන එක.

කොහොම හරි එක දවසක් මං ෆ්ලොරන්ස්වල ස්ටේෂන් එක හරියේ පාරක මුල්ලේ තිබුණු අයිල කඩේකින් ඉටැලියන් තොප්පියක් ගත්තු වෙලේ එතැන හිටපු බංග්ලාදේශ් පොර එක්ක කතා කළාම පොර කිව්වේ ලංකාවේ අයට හොඳට ඉංගිරිසි සහ ඉටැලියන් පුළුවන් නිසා ඒ අයට හොටේල්වල වගේ හොඳ ජොබ් ලැබෙනවාය කියලයි.

ඒ වගත් මෙසේම,

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න ගිය වසරේ මා ලියූ ඉතාලියේ කතන්දර

1. ඉතාලියේ පුංචි පුංචි කාර් - Small is beautiful?
http://kathandara.blogspot.com/2013/05/small-is-beautiful.html

2. ඒරොප්පේ කෝච්චි නේ හලෝ කෝච්චි - Train-spotting in Europe
http://kathandara.blogspot.com/2013/05/train-spotting-in-europe.html

3. ඉතාලියේ රෝම නගරයේ අරුම පුදුම දසුනක් - A Roman Circus Act
http://kathandara.blogspot.com/2013/05/roman-circus-act.html

4. ඉතාලියේ දී මා දුටු ඉසරුමුණි පෙම් යුවල - An Italian Affair
http://kathandara.blogspot.com/2013/06/italian-affair.html

5. රෝමයේ සිට කිලෝ මීටර් විසිපහක් දුර ගෙවා පොලොන්නරුවට ගියෙමි! - Photos from Ostia Antica
http://kathandara.blogspot.com/2013/06/photos-from-ostia-antica.html

6. රෝම ශිෂ්ඨාචාරයේ පරිහානියට හේතුව Xක්කු ප්රශ්නයක් ද? - A hereto unknown reason for the decline of Roman Empire
http://kathandara.blogspot.com/2013/06/x-hereto-unknown-reason-for-decline-of.html

Friday 9 May 2014

ජේමිස් පැකර් කේස් එකේ වගේ ගෑණියි මිනිහයි විරසක වුණාම යාළුවෝ එක පැත්තක් ගන්න එක හරි ද? - Till death do them apart!


මේ කතන්දරේ (ඇත්තටම කතන්දර කීපයක්ම තියෙනවා මෙතන) සිහියට ආවේ මේ ඊයේ පෙරේදා අර ලංකාව ගලවා ගන්න එනවාය කියන දේවදුතයා වෙන ජේමිස් පැකර් ගොයියා දාවිත් ගින්ජල් කියන හාදයෙක් එක්ක කළාය කියන ගුස්ති පොරය ගැන ආරංචිය කණ වැටුණු වෙලේයි.

ජේමිස් සහ දාවිත් දෙන්නා ගජ යාළුවෝ ලු මේ වෙනකල් ම. කොටින්ම මුං දෙන්නාම තමයි මුං දෙන්නා ගේ දෙවෙන මනමාලයෝ විදියට ඉඳලා තියෙන්නේත්.

නමුත් දෙන්නා මේ මෑතකදී විරසක වුණා. ඒකට හේතුව ලෙස සැලකෙන්නේ ජේමිසා තමන්ගේ බිරිඳව දික්කසාද කිරීම යි. දැන් පොර ඊට වඩා තරුණ, රූමත් නිරූපිකාවක් එක්ක සෙට් වෙලා ලු.

මෙතනදී වෙලා තියෙන්නේ ජේමිසා ගේ දෙවෙනි මනමාලයා වෙච්ච දාවිතා තම මිතුරා ගේ හිටපු ගෑණි ගේ පැත්ත ගැනීමයි.

මේ වගේම පොඩි කේස් දෙකකට විතර මටත් මූණ දෙන්න වෙලා තියෙනවා.

එකක දී ගෑණියි මිනිහයි දෙන්නා වෙන් වුණා. මං මෙතන අඳුණන්නේ මිනිහාවයි, පස්සේ තමයි වයිෆරේව අඳුණා ගත්තේ.

අපි නං මේ දෙන්නා එක්කම හිතවත් තාමත්. නමුත් දුර බැහැර නිසා වැඩි ඇසුරක් වෙන්නේ නෑ. දුරකතනයෙන් කතා කරනවා. හැබැයි දෙන්නාටම එක දවසේ පාටියකට හෙම ආරාධනා කරනවාද කියන එක නම් හිතලා බලන්න වෙනවා.

දෙවෙනි කේස් එකේදී, මටත් තවත් පොදු යාළුවෝ කී දෙනෙකුටත් තේරුණා අපේ පොරකුයි, උගේ වයිෆරෙයි අතර පොඩි අවුලක් තියෙන බව.

අපේ ප්‍රශ්ණය වුනේ දැන් අපි කාගේ පැත්තද ගන්නේ කියන එකයි.

මෙතනදී මං අනිත් උන්ට කීවේ උන් දෙන්නාගේ ප්‍රශ්ණ උන් විසඳා ගනියි, නමුත් දෙන්නාම අපේ යාළුවෝ නිසා, දෙන්නා වෙන් වුණත් ඊට පස්සේ දෙන්නාටම මගේ ගෙදර නම් විවෘතයි කියලායි.

අපේ අනිත් උන් නම් ඒකට එකඟ වුණේ නෑ කියලයි මට හිතුණේ. මොනවා වුණත් මේ කපල් එක නම් තමත් එක වහලක් යට ඉන්නවා.

ඊයේ පෙරේදා ගුවන් ගමනක් යද්දී කාළෙකට පස්සේ මට බලන්න ලැබුණු "කර්බ් යුවර් එන්තූසියැසම්" සීරීස් එකේ එක එපිසෝඩ් එකකත් මේ වගේ කතාවක් තිබුණා. එතනදීත් මිනිහා ගේ මිතුරන් හුඟ දෙනෙක් ගන්නේ ගෑණි ගේ පැත්තයි.

සිදුහත් ශාඛ්‍ය තමන්ගේ කසාද ගැණිව දාලා ගිය කේස් එකේදීත් අපි හුඟ දෙනෙක් ගන්නේ මිනිහ ගේ පැත්තනේ. ඒක නම් ඉතිං බුදු බැතිය කියලා හිතන්න පුළුවනි.

ඒත් මංතුමා නම් මේ කේස් එකේදීත් නිව්ට්‍රල්ව තමයි ඉන්නේ.

-කතන්දරකාරයා

(image: http://www.thebuddhism.net/books/our-gautama-buddhas-life/part-1/)

Thursday 8 May 2014

කලකට පස්සෙමි, වෙළකට බැස්සෙමි - Long time no see!


කතන්දර 1,000 ක් ලියපු මහන්සියේ හති අරින්න සතියක නිවාඩුවක් ගන්න කියලා ප්ලෑන් කළාට අන්තිමේදී ඒක සති හතරක් විතර දිගට ඇදුණා ටිකෙන් ටික.

ඔය අතරේ බ්ලොග් අවකාශයේ වලි ගැන එකෝම එක කතන්දරයක් ලියා පල කරන්න ඉඩ ලැබුණත්, අනිත් මුළු කාලයම ගත වුනේ ලිවීමේ කටයුතුවලින් මුළුමණින්ම බැහැර වෙලයි.

ඒ අතරේ ඉඳලා හිටලා දවසක, දුවන ගමන්ම ෆෝන් එකෙන් ලොග් වෙලා බ්ලොග් තුනක් හතරක් කියෝලා කමෙන්ටුවක් දෙකක් දාගත්තා. එච්චරයි.

ආපහු කතන්දර බ්ලොග් එක යාවත්කාලීන කරන්න ඕනෑය කියලා දැන් දවස් දෙකකට විතර කලින් දිනය හිතුවාට කලින් තිබුණු උණ ටිකක් බැහැලා බැහැලා වගේ ගතියකුත් මට දැනුණා.

මං හිතන්නේ ඒක නම් හොඳ ප්‍රවණතාවයක්!

කතන්දර බ්ලොගයේ කොල නිවාඩුව කාලේ බ්ලොග්වලට අදාලව සිදුවුණු එකම සිදුවීම තමයි "සයිබර් අවුරුදු උත්සවය" ට සහභාගී වීම.

නිවාඩුවෙන් පස්සේ මුලින්ම ලියන මේ කතන්දරේ ඒ ගැන වචනයක් දෙකක් ලියන්න ඕනැයි කියලා හිතුණා.

අවුරුද්දට නෑ ගමන් යන්න තිබුණු හින්දා මං එදා උත්සවයට ආවේ තරමක් අපහසුතා මැදය කියලා කීවොත් එය නිවරදියි.

කලින්දා රාත්‍රියේ මංතුමා හිටියේ මාතර පැත්තේ අපේ නෑදෑයෙකු ගේ අහයි.

මාතර තිබුණු රස්නේ කොච්චරද කියනවා නම් එදා මං හතර පාරක් ම නෑවා. හැබැයි ඉතිං කොළඹ ආවා කියලා වැඩි වෙනසක් වුනේ නෑ. පහුවදා තුන් පාරක්ම නාන්න වුණා!

ඉරිදා උදේම නාකියා ගෙන ඇඳ පැළැද ගෙන අංකල්ට කියලා මාව මාතර බස් නැවතුමට ඇරළවා ගත්තා. එතැනින් නැග්ගා කෙලින්ම මහරගම යන බස් එකකට. දක්‍ෂිණ (සල්ලි ගන්න - Toll Road) මාර්ගයේ උපරිම වේගය පැ.කි. 100 වුණාට බස් නං යන්නේ 90 ටත් අඩුවෙන් කියලයි මගේ ස්ටොප් වොච් එක නං පෙන්නුම් කළේ.

පන්නිපිටියෙන් බැහැලා, කෙටි පාරකින් ගෙදර ගිහින් ඊලඟට කෙරුවේ, තට්ටේ ගාලා, රැවුල ට්‍රිම් කරළා, දවසේ දෙවෙනි පාරට නාපු එකයි. ඊලඟට පොත් දාපු බෑග් එකක් ඇදගෙන බත්තරමුල්ලේ යන්න පිටත් වුණා.

අවුරුදු ක්‍රීඩාවලට සහභාගී වෙන්න නොලැබුණත්, ඒ ගත කරපු පැය කිහිපය ඉතා ප්‍රයෝජනවත් එකක් වුණා. ඒ කලින් එහෙන් මෙහෙන් විතරක් දැනගෙන හිටිය සෑහෙන පිරිසක් මුණ ගැහිලා හඳුණා ගන්න ලැබීම නිසයි.

අතත්‍ය සයිබර් ලෝකයේ තියෙන සබඳකම්, ඒ ආකාරයට සැබෑ ලෝකයට අරගෙන ඒම එක්තරා ආකාරයක විරෝධෝක්තියක් (oxymoron) වුණත්, ඒක එච්චර වැදගත් කාරණක් නොවෙයි. කොහොමටත් මේක අර 2009, 2010 වසරවල තිබුණු බ්ලොග්කාරයින් ගේ බ්ලොග් පිළිබඳ කතාවෙන හමුවකට වඩා, බ්ලොග්කාරයින් ගේ සෝෂල් ඉවෙනට් එකක් විදියටයි නේ සංවිධානය වෙලා තිබුණේ!

මේ ආකාරයෙන් එකිනෙකා අඳුණා ගැනීමට ලොකු භාදාවක් වුණේ බොහෝ දෙනා තමන් කලින් දන්නා කියන අය සමග එකතු වෙලා කතා බහේ නිරතව සිටීමයි.

මං නං කලේ පිට්ටනිය වටේම ගිහිල්ලා එක්කෝ කෙලින්ම මාව අඳුන්වලා දීලා, නැතිනම් මගේ කාඩ් එකක් දීලා කතා කරපු එකයි. නමුත් මං හිතන්නේ නෑ සමහර අය ඒ විදියට ප්‍රොඇක්ටිව් වුණා කියලා.

අර සම්මන්ත්‍රණවලදී කරනවා වගේ හැමෝම තම තමන්ගේ නම් ලියපු කාඩ් එකක් එල්ලා ගෙන හිටියා නම් වැඩේ මීටත් වඩා ලේසි වෙන්න තිබුණා! මේක මං ගිය අවුරුද්දෙත් තැනක ලිව්වා මතකයි.

තරගවලට සහභාගී වෙන්නට ඉඩ ලැබුණේ නැතිවුණත්, තරගවලින් දිනපු අයට තෑගි බෙදා දෙන්නත්, එක තරගයක් විතරක් විනිශ්චය කරන්නත් මට ඉඩ ලැබුණා.

ඒ සමගම මා ලඟ තිබුණු පොත් දෙකක පිටපත් කීපයකුත් හමුවුණු අය අතරේ බෙදලා දෙන්නත් මට හැකි වුණා.

කාලය පිළිබඳ ප්‍රශ්ණයක් නිසා මං පහමාරට විතර එතැණින් ගියේ ජන ගායනා තරගය පැවැත්වෙන අතරතුරදීයි.

මං එතැන දිගටම ඉන්න පුළුවන් වුණා නම් මගේ නූතන ජන කවි ගායනා කරන්න තිබුණා නේද කියලා පාරේ දී මට හිතුණා.

දැන් වචන 500 ක් විතර ඉබේම වගේ ලියවිලා!

ඒ කියන්නේ මට අර කූප්‍රකට රයිටර්ස් බ්ලොක් එක සෙට්වෙලා නෑ වගේ. එහෙම නම්, හෙට ඉඳලා ලියන්නම් ආයෙත් කතන්දර!

-කතන්දරකාරයා

ප/ලි:
මාතෘකාවේ ඇති ව්‍යාකරණ දෝෂයට මට්ටම් පොලු නොදමා ඔහේ තියෙන්නට අරිමි!

(image: )