Showing posts with label මගේ පුතා හරි හපනා. Show all posts
Showing posts with label මගේ පුතා හරි හපනා. Show all posts

Wednesday, 28 September 2011

අංකල් ගේ පුත්තු දෙන්නා - Uncle and his two sons


මං කාලෙකට කලින් ලියල පලකළ කඩ්ඩ හොර අයට දෙන එංගලන්තේ යන ශිෂ්‍යත්වයක් ගැන කතන්දරේ මතකයි නේද? ඒ වගේ තවත් කතාවක් කියන්නයි මේ සැට් වෙන්නේ.

අපේ පරණ ගම් පලාත කිට්ටුව හිටියා අංකල් කෙනෙක්. ඒ අංකලුයි, ඇන්ටියි දෙන්නම යුනිවසිටි හෙම ගිය දෙන්නෙක්. අංකල් ප්‍රයිවෙට් සැට්ටරේ තමයි වැඩ කරන්නේ. ඇන්ටි නං මං හිතන්නේ ආණ්ඩුවට කඹුරනවා කොළඹ දෙපාර්තමේන්තුවක. මේ දෙන්නම ලොකු මැනිජර් ලා.

මේ ජෝඩුවට හිටියා පුත්තු දෙන්නෙක්. (අංකල් හොඳ හපනෙක් වගේ, නේද?). මං මේ කොල්ලෝ දෙන්නාව පොඩි කාලේ ඉඳලා දන්නවා.

ඉතිං ඔහොම කාලයක් ගිහින් ලොකු කොල්ලා පහේ පන්තියේ ශිෂ්‍යත්ව විභාගය හොඳින් පාස් වුණා. ඒ අනුහසින් ඊළඟ අවුරුද්දේ ඉඳලා කොල්ලා යන්න පටන් ගත්තා කොළඹ පැත්තේ ලොකු ජනප්‍රිය ඉස්කෝලෙකට.

ඊට අවුරුදු දෙකකට පස්සේ ඔන්න පොඩි එකා ගේ වාරේ ආවා සිස්සස්සේ කරන්න. ලොකු එකාව වගේම ඉතිං පොඩ්වාවත් ටියුෂන් පන්තිවලට ඇරියා. උපකාරක පොත් පත් ගෙනල්ලා ගෙදරදීත් උදව් පදව් කළා.

අනේ ඒත් කොල්ලා එච්චරම හොඳට පාස් වුනේ නෑ. කොළඹ ලොකු ඉස්කෝලෙකට තියා තරමක් ජනප්‍රිය එකකටවත් යන්න.

කොල්ලට යන්න පුළුවන් කම තිබුනේ ගෙදරින් කිලෝමීටර් දෙක තුනක් දුරින් තිබුණු මහා විද්‍යාලයට විතරයි.

ඒකත් හැබැයි ඒ ගම් පලාතේ හොඳම ඉස්කෝලයක්.

නමුත් අංකල්ගෙයි, ඇන්ටිගෙයි හිතට හරි නෑ. අයිය යන්නේ කොළඹ හොඳ නම ගිය ඉස්කෝලෙකට නේ.

ජෝඩුව හොඳ ජොබ් කරන නිසා, ආර්ථිකේ එච්චර අවුලකුත් නෑ. ඉතිං දෙන්නා තීරණය කළා පොඩි කොලුවා ව දාන්න පෞද්ගලික පාසලකට. අර ඉන්ටර්නැෂනල් ඉස්කෝල කියලා හැඳින්වෙන දේශීය පාසල් වලින් එකක්. ඉගැන්වීම ඉංගිරිසියෙන්. නිල ඇඳුම සුදු නෙමේ අවපාටක්. විභාග එංගලන්තේ ඒවා.

දැන් ලොකු පුතා ස්කූල් බස් එකේ ආණ්ඩුවේ ඉස්කෝලෙට යනවා.
පොඩි පුතා තාත්තා එක්ක කාරෙකේ ප්‍රයිවේට් ඉස්කෝලෙට යනවා.

ඔහොම අවුරුදු තුන හතරක් ගතවුණා.

ලොකු එකා උසස් පෙළ විභාගේ ඉතා හොඳින් සමත් වෙලා යුනිවසිටියට තේරුණා. පොර ගෙදර ඉඳන්ම ඉතිං බස් එකේ දුර ගෙවාගෙන යන්න පටන් ගත්තා කැම්පස්.

ඔය අව් අස්සේ පොඩි එකාත් ඇඩ්වාන්ස් ලෙවල් කළාය කියමුකෝ. පොඩි එකා කෙරුවේ නිකං ලපයි සිපයි ගේ ඇඩ්වාන්ස් ලෙවල් නෙමේ, හොඳ රට ෆොරීන් එක!

ඌත් ඒක පාස් වුණා ඉතාම ඉහලින්.

දැන් ඉතිං මොකද කරන්න වෙන්නේ? පොඩි එකාව යවන්න ඕනෑ පිටරට යුනිවසිටි එකකට!

මට අන්තිමට මේ අංකල්ව මුණ ගැහෙන දවසේ එයා මේ වැඩේට ලක්‍ෂ ගානක් හොයනවා. ඉඩමක් විකුණන්නයි අදහස් කරගෙන හිටියේ.

ලොකු එකා ඒ වෙනකොට යුනිවසිටියේ තුන්වන වසරේ. ගෙදර ඉඳන් බස් එකේ කට්ට කාලා කට්ට එපා වෙලා මේ වෙනකොට යුනිවසිටිය අහල පහල බෝඩිමකට ද කොහෙද සෙට් වෙලාලු!

දැන් නං අංකල්ගෙයි ඇන්ටිගෙයි පොඩි කොල්ලා පිටරට යුනිවසිටියට ගිහින් ඇති මට හිතෙන විදියට.

ලොකු එකා බෝඩිමේ වාතවෙන කොට සමහර විට ඌට හිතෙනවාත් ඇති අනේ මාත් ශිෂ්‍යත්වේ ෆේල් වුනා නං කියලා!

-කතන්දරකාරයා

ප/ලි:
තමන්ගේ දරුවන්ට කෙසේ හෝ හොඳ අධ්‍යාපනයක් ලබාදෙන්නට තැත් කරන දෙමව්පියන්ට මේ කතන්දරේ උපහාරයක් වේවා!

මං මේ කතන්දරේ ලිව්වේ දෛවයේ සරදම පෙන්වන්නයි.

(image: Microsoft Clip Art)