Saturday 31 March 2012

ව්‍යායාම කිරීමෙන් ගෑණුන් ට ලිංගික සුරතාන්ත තෘප්තිය ලැබේ! - Exercise orgasm for women!


ඔය අමුතු ටැලිවිෂොං චැනල්වල තියෙන අමුතු ආකාරයේ දිගම දිග ඇඩ්වර්ටීස්මන්ට්වලින් බඩ බස්සගන්න උදව්වෙනවාය කියලා මාකට් කරන ඇක්සයිස් ගැජට්-බැජට් දැකලා තියෙනවා නේද?

ඉඩ ලැබුණු ලැබුණු විදියට ඇවිදිනවා මිස මං නං කවදාකවත් ඔය මැෂින්වලින් ඇක්සයිස් කරලා නෑ. මැෂින්වලට කෙසේ වෙතත් ඔය මැෂින් ඇතුව හෝ නැතුව හෝ ව්‍යායාම කරන ගෑණු ගැණ නං මගේ හිතේ කොනක පොඩි බයක් තිබුණා.

ගිය සතියේ දවසක පත්තරයක් බලමින් ඉන්න වෙලාවේ ඇහැ ගැටුණු එක ප්‍රවෘත්තියක් නිසා ඒ මගේ බයට යම්කිසි පදනමක් තියෙනවාය කියලයි දැන් මට හිතෙන්නේ.

අද කතන්දර දැනුම් සාගරේ සීරීස් එක යටතේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවක් විදියට මේ ලියන්න යන්නේ ඒ නිවුස් අයිටම් එකේ විස්තරයයි.

මෙන්න මං බලපු පත්තර කෑල්ල.



වැඩි විස්තර මෙතනින් බලන්න.
http://www.dailymail.co.uk/health/article-2117220/Captains-chair-The-exercises-likely-YOU-orgasm.html

දැන් මෙන්න ඒ නිවුස් අයිටම් එකේ සරල සිංහල පරිවර්තනයක්.

"ව්‍යායාම කරන අතරතුරේ දී නිරුත්සාහයෙන්ම ලිංගික සුරතාන්ත තෘප්තිය ලබන කාන්තාවන් ගැන කෙරෙන අධ්‍යයනයක් සඳහා සති පහක් ඇතුලත එවැනි අත්දැකීම් ලබා ඇති කාන්තාවන් 370 දෙනෙක්ම විස්තර දී තිබේ. එයින් පෙනෙනුයේ මෙය බහුලව සිදුවෙන සංසිද්ධියක් බවයි.

මේ අධ්‍යයනට ලක්කරන ලද සිදුවීම් අතරින් 50%කටම බලපා තිබූ ප්‍රධාන හේතුකාරකය වූයේ බඩ ආශ්‍රිත ව්‍යායාමය. බර ඉසිලීම සහ යෝගී ව්‍යායාම ඊලඟට විය. ගස් නැගීම, කඹ දිගේ ණැගීම, සයිකල් පැදීම සහ එකතැන කැරකෙන ව්‍යායාමයන් ද මේ ආකාරයෙන් නිරුත්සාහයෙන් ලිංගික සුරතාන්තය කාන්තාවන්ට ලබාදුන් අනෙකුත් ප්‍රධාන ව්‍යායාම අතර වෙයි.

මේ අධ්‍යයනය බාරව කටයුතු කරන ඉන්ඩියානා විශ්ව විද්‍යාලයේ ඩෙබී හර්බෙනික් සොයා ගෙන ඇති ආකාරයට, වයස අවුරුදු 18 සහ 63 අතර සිටි මේ කාන්තාවන්ගෙන් අඩක්ම මේ ලිංගික සුරතාන්තය දහවරකට වඩා අත්විඳ තිබේ.

ව්‍යයාමයක් ලෙස ඇවිදීම ලිංගික සුරාන්තය ලැබීමට හේතුකාරයක් වී ඇත්තේ වාර්තාගත සිද්ධීන්වලින් 10%ක දී පමණි. නමුත් දිවීම නම් මේ කාන්තාවන් 13.3% කට ව්‍යායාමයෙන් ලැබෙන සුවයට වඩා වැඩි යමක් දී ඇති බව පෙනේ."

සිංහලෙන් කියනවා නං මෙහෙමයි.

ඇක්සයිස් කරන සමහර කාන්තාවන්ට ඒකෙන් ලිංගික තෘප්තියක් ලැබෙනවාලු. බඩ ආශ්‍රිත ව්‍යායාම කරන කොටයි මේක වැඩිපුරම දැනෙනවාය කියන්නේ. යෝගා ව්‍යායාමත් නරකම නෑ වගේ.

අනේ පව් පිරිමි! අපිට කොයින්ද ඒ සැප?

-කතන්දරකාරයා

ප/ලි:
වෙන මොනවා කියන්නද? මට මතක් වෙන්නේම මෙන්න මේ සින්දුවයි.
http://kathandara.blogspot.com.au/2011/11/calling-all-men-get-up-stand-up.html

(image: http://www.shutterstock.com/pic-82952449/stock-photo-group-of-young-women-in-the-gym-centre.html)

Friday 30 March 2012

විජේකොන් නාන්න යයි - Wijekoon goes for a bath


විජේකෝන් කියන්නේ කාලයක් මාත් එකක්ක එක හැලියේ බත් කාපු පොරක්. හොඳ හාදයා. අහිංසකයි. වලියට බර නෑ.

මට වඩා අවුරුදු පහක් හයක් විතරවත් සීනියර් මගේ මතකය අනුව. සීනියර් මැවිසුරුවෙක් වුණාට අපි සමසමාජයේ තමයි කල් ගත කලේ. සීනියොරිටි ඕනෑ නෑනේ එක චමරියේ ඉන්න කොට.

විජේකෝන් චමරියේ බාත්රූම් එකට නාන්න යනකොට තමයි බලං ඉන්න ලස්සන.

බාත්රූම් කියන කොට මතක් වුනේ අපි පොඩි කාලේ නං ඔය බාත්රූම් තිබුණේ නෑ අපේ ගෙවල්වල. වෙල අයිනේ ලිඳට ගිහින් තමයි නෑවේ. ගෙදර ලිඳ හරිඟ ගැඹුරුයි. ඒ හින්දා ඒකෙන් වතුර ගත්තේ උයන්න, මූණ හෝදන්න, රෙදි හෝදන්න සහ වැසිකිලි වැඩවලට විතරයි. කක්කි කොල තිබුණෙත් නෑනේ.

මං ඉස්ඉස්සෙල්ලාම බාත්රූම් එකකින් නෑවේ අපේ ඇන්ටිලා රෙන්ට් එකට හිටිය ඇනෙක්සියේදී වගෙයි මට මතක.

ඉස්ඉස්සෙල්ලාම ඇඳුම් නැතුව නාන එකත් හරිම ජොලි අත්දැකීමක් නේද?

ගෙදරදී ලිඳට නාන්න යනකොට නං ඉතිං සබල් පෙට්ටියයි, තුවායයි, බාල්දියයි අරං තමයි අපි යන්නේ.

ගෙදරක බාත්රූම් එකේ නං ඉතිං ඔය ඕනෑ කතන අඩුම-කුඩුම සේරම එතනම තියලා නේ තියෙන්නේ.

අපේ චමරියේ කීප දෙනෙක්ම හිටිය නිසා විජේකෝන් කළේ තමන්ගේ නාන බඩුබාහිරාදිය තමන්ගේ කාමරයේම තියා ගන්න එකයි.

ඔන්න විජේකෝන් නාන්න යනවා.

මෙන්න ගෙනියන බඩු ලයිස්තුව.

1. තුවාය
2. නාලා අඳින අළුත් ඇඳුම් (ජොකා, කලිසම, කමිසය)
3. ෂේවින් ක්‍රීම්
4. රේසර් එක
5. ආෆ්ටර් ෂේව්
6. සබන් පෙට්ටිය
7. ස්පොන්ජ් එක
8. ෂැම්පූ
9. ඩියෝඩරන්ට්
10. කොලෝන්
11. ටැල්කම් පව්ඩර්
12. දත් බුරුසුව
13. ටූත් පේස්ට්
14. ඩෙන්ටල් ෆ්ලොස්
15. හෙයා ඩ්‍රයර්
16. හෙයා බ්‍රෂ්
17. කකුලේ නියපොතු මදින පරණ දත් බුරුසුව

දැන් තේරෙනවා නේද ඇයි විජේකෝන් මේ නාන බඩු අඩුම-කුඩුම ටික බාත්රූම් එකේ නොතියා තමන් ගේ කාමරේ තියාගත්තේ කියලා?

අපේ චමරියේ තුනයි, තුනයි බාත්රූම් එකේ කොහොමද ඔය සේරම තියන්නේ. අර කඩවල තියෙන ෂෝකේස් එකක්ම ඕනෑ වෙයි ඒකට.

-කතන්දරකාරයා

ප/ලි:
මගේ බාත්රූම් සින්දුවට තනුවක් දාලා, මියුසික් කරලා, ගායනා කරන්න කෙනෙක් තාම නෑනේ.

(image: http://www.thatrestlessmouse.com/product/NF1267/Bathroom-Items-Poster.html)

Wednesday 28 March 2012

සාමා කෙල්ල ගේ ඇස් පෑදූ අම්මා - Raising kids the correct way


අපේ සමහරු ඉන්නවා, සියලු දේම පරිපූර්ණව, ක්‍රමානුකූලව, හැලහැප්පීම්වලින් තොරව, සිද්ධවෙන ලෝකයකයි අපි ජීවත් වෙන්නේ කියලා හිතාගෙන ඉන්න.

හීනෙන් නෙමේ ඇත්තටම, හැබැහින්!

පොඩි පොඩි දේවල් රෝං සයිඩ් ගියාම එක්කෝ මේ ගොල්ලන්ට ඒවා පේන්නේ නෑ, නැත්තං නොදැක්කා වගේ ඉන්නවා. සිලෙක්ටිව් බ්ලයින්ඩ්නස් එකක් හෙවත් තෝරාගත් අන්ධභාවයකින් යුතුව.

හැබැයි ඔහොම ඉඳලා, ඉඳලා තමන්ට වඩාත් දැනෙන දෙයක් වැරදිලා ගියාම හොඳ සිහිය සැපත් වෙලා ලෝකේ පෙරළන්න එන තරමට කලබල වෙනවා.

මං මේ කියන්න යන කතන්දරය නම් ඒ තරම්ම භයානක දෙයක් ගැන නෙමේ. පොඩි චූට්ටං එකක්.

සාමා කෙල්ල කියන්නේ අපේ කාලේ කැම්පස් එකේ හිටිය යුවතියක්. මගේ හොඳ යාළුවෙක්.

මතකයිද, අර "මාටින් වික්‍රමසිංහ ගේ ගොළු හදවත" කතන්දරේ? අන්න එයා තමයි සාමා.

ඔන්න සාමා කැම්පස් ගියා කියමුකෝ.

දන්නවනේ ඒ කාලේ සිතුම් පැතුම්. වයස දහනවයයි. උසස් පෙළ හොඳින් පාස්. හොඳම පාඨමාලාව, හොඳම විශ්ව විද්‍යාලයේ කරන්නේ. ඉතිං නිකං මිස් යුනිවර්ස් වුණා හා සමානයි.

ඩිග්‍රියත් හොඳට කරගෙන, සිරා ඉංජියෙක් වෙලා, හොඳ පොරක්වත් අයිති කරගෙන, දැහැමෙන් සෙමෙන් ඉන්න එකයි එකම පැතුම!

ඇත්තම කියනවා නං සාමා කෙල්ල නං ඔය සේරම සිතුම් පැතුම් සාර්ථක කරගෙන දැන් ජයට ඉන්නවා.

ඒ කෙසේ වෙතත් මේ කතන්දරේට සම්බන්ධ ප්‍රධාන සිද්ධිය නං ඒ වගේ සුඛාන්තයක් නෙමේ.

කැම්පස් ගිය සාමා කෙල්ලට මුණ ගැහුණු හොඳම යාළුවා ඔන්න ඒ දවස්වලම පොරක් එක්ක හිච් වුණා. ඒ කියන්නේ සෙම් සබඳතාවක් ඇති කරගත්තා.

නමුත් මේ ලව් කේස් එක, අර මං "බඳින්නමයි ට්‍රයි කළේ" කියන කතන්දරේ කියපු විදියට වැඩි කල් නොගොසින්ම හබක් වුණා!

කොල්ලා කෙල්ලට බූට් දුන්නාද, කෙල්ල කොල්ලාට බූට් දුන්නාද කියන එකඑ ච්චර වැදහත් දෙයක් නෙමේ මෙතනදී. නමුත් ලව් එක ඉවර වුණා. ඒ දෙන්නා දෙපැත්තට වුණා.

තමන් ගේ නොගැලපීම වටහාගෙන දෙන්නෙක් දෙපසට වුණාම, අහක ඉන්න උන්ටත් ඉවසන්න බැරුව යනවානේ. "ඌ හරි මේකි වැරදි", "මේකි හරි ඌ වැරදි" ආකාරයේ කතා බහ වලින් පස්සේ වුණේ අර පොර එක්ක සාමා කෙල්ලත් තරහ බැඳ ගැනීමයි. ඒ එක්කම සාමාට හරිම හිතට අමාරු මේ ලෑන්ඩ් මාක් ලව් එක ඉවර වෙච්ච ඉක්මන ගැනයි.

ඒ සතියේ ගෙදර ගිය සාමා කෙල්ල අම්මාට මේ කතාව විස්තර කරලා කිව්වා.

"බලන්න අම්මී, ඒ බෝයි හරිම නරක කෙනෙක්. මේ විදියට ටික කාලෙකින් සම්බන්ධය නතර කරන්න නං ඇයි යාළු වුනේ නේද?"

"දුවේ, ඔය කියන සම්බන්ධය කොච්චර කල් තිබුණද?"

"මාස තුනක් විතරම තිබුණානේ අම්මී."

"ඉතිං දුවේ, ඔය මාස තුනක ලව් අෆෙයාර් එකක් කැඩුණු එක ගැන පුදුම වෙලා දුක්වෙන එක තේරුමක් තියෙනවායැ? මේ කසාද බැඳලා අවුරුදු ගණං ගිය අයත් දික්කසාද වෙන්නේ ඕනෑ තරම්! එහෙම තත්වයකට යන්නේ නැතුව ඕක ඔතනින් නතරවුණු එක වඩා හොඳයි නේද?"

දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට ලෝකය ගැන යථාර්ථය කියලා දෙන්න ඕනෑ අන්න එහෙමයි!

-කතන්දරකාරයා

ප/ලි:
හැබැයි ළමයි ටිකක් ලොකු වෙනකං ඉන්න.

නැත්තං මිනීමැරුම්, පැහැර ගැනීම්, හොරකම්, දූෂණ, වංචා සහ අපි සුදනෝ දේශප්‍රේමය වගේ දේවල් වලින් ළමයින් ගේ සිහි විකල් වෙයි.

(image: http://vintageholidaycrafts.com/vintage-art-cats/)

Monday 26 March 2012

ජොක්කු ගන්න ආයෙත් කඩේ ගියා - Superiority complex?


මැන්චෙස්ටර් සේල්ස් ඇත්තී හිටපු හොරණ පැත්තේ කඩෙන් සුදු කමිසයක් ගන්න ගිහින් අන්තිමට ජොක්කු සයිස් එක තෝරන්න වෙච්ච කතන්දරේ නං ඉතිං කතන්දර බ්ලොග් එක කියවන බහුතරයක් දෙනා කියෝලා තියෙනවානේ මේ වෙනකොට.

ඒකේ දාලා තියෙන ඔසී පිලේ ක්‍රිකට් නායක මයිකල් ක්ලාක් ගේ ෆොටෝ එකට ගෑල්ළමයි සමහරු බයයි වගේ.

අද කියන්න යන්නේත් ජොක්කු ගන්න ගිහින් වෙච්ච අකරතැබ්බක් ගැන කතන්දරයක්.

මේ පාර සිද්ධිය වුනේ පිළියන්දල කඩේකදී. සාප්පුවේ නම නං හරියටම මතක නෑ. ටවුමේ කැස්බෑව පැත්තට වෙන්න කොළඹ යන්න බස් නවත්තන පැත්තේ තියෙන ලොකු කඩ කීපයෙන් එකක් මේක. පාරේ ඉඳලා කඩේට ඇතුල් වුණාට ඒ දවස්වල සල්ලි ගෙවා පිටවෙන්න තිබුණේ බිම් මට්ටමට වඩා යටින් තියෙන තට්ටුවක ඉඳලා පඩි නැගලයි.

ඔන්න ඔය බේස්මන්ට් එකේ සල්ලි ගෙවන තැනදී තමයි මේ සිද්ධිය වුනේ.

මං සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ජොක්කු තුන් දෙනෙක්ම ගත්තා එදා. එකක් රුපියල් 160 කියලා හැම පෙට්ටියකට ස්ටිකර් එකක් ගහලා තිබුණා.

ඉතිං 160x3=480 යි නේ. මං පෙට්ටි තුන කැෂියර් කෙල්ලට දිලා යි දාහේ පටියකුත් ඇදලා දුන්නා සල්ලි ගන්න.
පොඩි එකෙක් වුනත් දන්න විදියට 1,000-480=520 යි නේ. ඉතිං මං පන්සීයේ කොලේකුයි, විස්සේ කොලේකුයි ඉතුරු සල්ලි විදියට ලැබෙන කං බලං හිටියා.

මං දැක්කා කෙල්ල සීයේ කොල ගණිනවා. එතකොට මං හිතුවේ පන්සීය වෙනුවට සීයේ කොල පහක් දෙන්නයි යන්නේ කියලායි.

ජොක්කු පෙට්ටි දාපු උරේයි, බිල් තුණ්ඩුවයි එක්ක මට ලැබුණේ රුපියක් 400 යි. මුං මගෙන් 600 ක් අරං.

"මෙතන සල්ලි අඩුයිනේ. එකක් 160 ගානේ සේරම 480 නේද? මට 520ක් ලැබෙන්න ඕනෑ."

"නෑ, නෑ, මේවා අද ස්පැෂල් සේල් නිසා 20% ක් අඩුයි. සාමාන්‍ය ගාණ එකක් 250 යි. එතකොට තුනට 750 යි. සේල් ඩිස්කවුන්ට් එක අඩු කළාම 600 යි. ඉතුරු සල්ලි 400 තමයි ඔය මං දුන්නේ."

"ඉතිං සේල් එකක් තියෙනවා නං, ඒ සේල් ගාණ මේ ස්ටිකර් එකේ තියෙන ගාණට අඩු වෙන්න ඕනෑනේ. සේල් ප්‍රයිස් එක කොහොමද ස්ටිකර් එකේ තියෙන ගාණට වඩා වැඩි වෙන්නේ?"

"මං දන්නේ නෑ. මං ගත්තේ හරි ගාණ කෙල්ල කිව්වා."

"ඔය කියන 20% සේල් එක තියෙනවා නං මගෙන් ගන්න ඕනෑ රුපියල් 480ටත් වඩා 20%ක් අඩුවෙන් නේද? දැන් මගෙන් ඔයා වැඩිපුර 20%ක් අරං නේ!"

මාත් අතහැරියේ නෑ. මොකටද කඩකාරයින්ට සල්ලි නිකං දෙන්නේ, අර පාරේ ඉන්න හිඟන්නෙකුට හරි, ස්වීප්කාරයෙකුට හරි දෙනවානේ.

"මිස්...!!!" කෙල්ල කෙඳිරි ගෑවා.

මිස් එතනට ආවා.

ගත්තා බඩුයි, බිලයි, ඉතුරු සල්ලියි.

ගණං හැදුවා.

මගේ අතට රුපියල් 520 කුයි, බඩු ටිකකයි, අළුත් බිලකුයි දීලා යන්න හැරුණා.

"ඉතිං එච්චරද?" මං ඇහැව්වා.

"ඔව්! එකක් 160 ගානේ තුනට 480 යි. ඉතුරු සල්ලි 520 ක් දීලා ඇති."

"ඒක හරි. නමුත් මගෙං වැඩිපුර සල්ලි ගන්න ගිය එක ගැන අඩු ගානේ සොරි කියලාවත් කියන්නේ නැද්ද?"

මිස් ගේ මුණ නිකං හිස් කඩදාසියක් වගේ. ජීවිතේට සොරි කියලා වචනයක් හෙම අහලා නෑ වගෙයි.

කෙල්ලත් අනේ මට මක්කෙයි වගේ ලුක් එකක් දාගෙන ඉන්නවා.

"ඕ ගොල්ලන් ගේ පුදුම පාරිභෝගික සේවාවවක් නේ තියෙන්නේ. හරිම ලස්සනයි"! මං කිව්වා.

මිස් ගස්සගෙන යන්න ගියා.

කෙල්ලත් මාව නිග්ළෙක්ට් කරලා පෝලිමේ ඊලඟට හිටිය පොර පැත්තට බෙල්ල උස්සලා බැලුවා.

මාත් ඒ පැත්ත බැලුවා. පෝලිමේ උං ටිකත් නිකං ගල් ගිල්ලා වගේ ඉන්නවා.

කේන්දියකටත් වඩා මට දැනුණේ මහා සංවේගජනක හැඟීමක්.

අනේ අපේ රට! අනේ අපේ ජාතිය!!

තමන් අතින් වෙච්ච වැරැද්ද පිළිගෙන සමාවෙන්න කියන්න දිව නැවෙන්නේ නැත්තේ අපි ලෝකෙන් උතුම්ම රටේ ඉන්න ලෝකේ ශ්‍රේෂ්ඨතම ජාතිය නිසා වෙන්න ඕනෑ!!!

-කතන්දරකාරයා

ප/ලි:
මේවා ලියනවාට වඩා හොඳයි අර වවුල් ජොකෙක්වත් හොයාගෙන මූණේ මුකවාඩමක් බැඳගත්තා නං.


(image: http://www.panoramio.com/photo/35139630)

Saturday 24 March 2012

චූ ෂැම්පේන් සහ චූ මවුත්වොෂ් හෙවත් සුළු දිය දහරේ බහුවිධ ප්‍රයෝජන - Big uses of "wee"


පරම්පරාවකට විතර වගේ කලින් අපේ මිතුරු රට ඉන්දියාවේ හිටියා මොරාජි දේශායි කියලා අගමැතිවරයෙක්. ඉන්දිරා ගාන්ධිව පරදවලා බලයට ආව එකටත් වැඩියෙන් පොර ප්‍රසිද්ධ වුනේ වෙනත් කාරණයකටයි.

පොර දිනපතා පානයක් ලෙස චූ බොනවා.

හැබැයි තමන් ගේ ම චූ!

චූ බීමෙන් ඖෂධීය ප්‍රතිඵල ලැබෙනවා කියන විශ්වාසය තියෙන්නේ ඉන්දියාවේ විතරක් නෙමේ. පුරාණ ශිෂ්ඨාචාර වෙන ඊජිප්තුව සහ චීනය කියන දෙරටෙත් මේ අදහස මුල් බැසගෙන තියෙනවා.

දැන් මෙන්න මේ විශ්වාසය ඇමරිකා එක්සත් ජනපදය දක්වාත් පැතිරිලා.

මං මේ ලඟදී කියවපු ප්‍රවෘත්තියක් මෙන්න.



වැඩි විස්තර මෙතනින්.
http://www.dailymail.co.uk/femail/article-2115945/I-like-warm-pee--comforting-Meet-woman-drinks-bathes-urine.html?ito=feeds-newsxml

කැරී කියන මේ අවුරුදු 53 ක කාන්තාව කැමති උණුසුම් චූ වලටලු. ඒවා බීමෙන් හරිම සහනයක් ලැබෙනවා කියලයි කැරී කියන්නේ.

තමන්ට වැලඳිලා තියෙන පිලිකාවකින් සුවය ලබාගන්න හිතාගෙන දැන් අවුරුදු හතරක් තිස්සේ දවසකට වීදුරු පහ ගානේ තමන්ගේ චූ බීලා තියෙන කැරී චූ වලින් දත් මදින්නත් කැමතියි ලු.

ඒ මදිවට කැරී චූ වලින් තමන් ගේ ඇස් දෙකත් හෝදනවා ලු.

චූ ටිකක් පරණ කරලා අරගෙන ඒවායින් ආලේපයක් හදලා ඇඟ පුරා ආලේප කරන එකත් කැරී ගේ තවත් වෙද-හෙදකමක්.

කැරී නෝනා හොයාගෙන තියෙන විදියට තමන් කන කෑම වර්ග අනුව චූ වල රස වෙනස් වෙනවා. ඒ හින්දා එයා සමහර කෑම ජාති කන එක දැන් අතහැරලා.

"සමහර දාට චූ ලුනු රහයි. හැබැයි සමහර දවසට නං චූ හරියට පුහුලං වලින් හදපු ෂැම්පේන් වගේ!" කැරී කියනවා.

දියේ ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ පිළිකාවෙන් ගැලවෙන්න කැරී නෝනා චූ බිව්වාට, පෝෂණය පිළිබද විශේෂඥයෝ නං කියන්නේ ඒවායින් ප්‍රයෝජනයක් නැති බවයි.

ඒ කෙසේ වෙතත් චූ බීම ගැන ආයුර්වේදයේ එන විස්තර මහ වෙදනා මෙන් මෙහෙම කියලා තිබුණා.
http://wedagedara.blogspot.com.au/2011/07/blog-post_22.html

කැරී ගේ පිළිකාව සුව වේවා කියා අපි ප්‍රාර්ථනා කරමු!

අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා ලෙස පලකෙරෙන කතන්දර දැනුම් සාගරේ ලිපිය මෙතනින් නිමයි. (ඉරිදා පත්තර සෙනසුරාදා බලනවා වගේ අද මේ සන්ඩේ ස්පෙෂල් ඇක්ස්ට්‍රා එක ඔන්න සෙනසුරාදාම බලන්න කලින් පලකළා).

-කතන්දරකාරයා

ප/ලි:
මං නං බොන්නේ වතුර තමයි වැඩිපුරම.

එක පොඩි ප්‍රශ්ණයක් තියෙනවා හැබැයි.

වතුර හරිම දිය රහයිනේ!

Friday 23 March 2012

සංගීත් ඔස්තාද් අහවලා නොහොත් ගණිකාවකට බැඳි පෙම - How long is too long?


ඔන්න දවසක් මගේ මිතුරෙකුගෙන් කෝල් එකක් ආවා.

"කතන්දර, පොඩි උදව්වක් ඉල්ලන්නයි කතාකළේ!"

"ඔව් මචං මක්කෙයි ඕනැ උදව්ව. ඇහැකි දෙයක් නං කරල දෙන්නං."

"අපොයි, මේක ඔහේට හොඳට පුළුවන් දෙයක්. මට සින්දුවක් කියන්න චාන්ස් එකක් තියෙනවා. ඒකට පදමාලාවක් ලියා ගන්න ඕනෑ."

"මං නං එහෙම සින්දුකාරයෙක් නං නෙමෙයි හැබැයි."

"නෑ, නෑ, එහෙම කියන්න එපා. මං මේකට මියුසික් කරවාගන්න ඉන්නේ සංගීත් ඔස්තාද් අහවලාට කියලයි. මේක උඹටත් හොඳයි."

"ඉතිං මං ලියල තියෙන පෙම් ගීයක් අර ගනිං කෝ."

"නෑ මචං එහෙම නෙමේ, මට ඕනෑ අසම්මත සිද්ධියක් ගැන සින්දුවක් කියන්නයි. අඩු ගානේ පොඩි කන්ට්‍රවසි එකක්වත් තියෙන."

"ඒ කියන්නේ කොයි වගේ එකක්ද? නිකං සම-රිසි පෙමක්, ගණිකාවකට ඇතිවෙන ප්‍රේමයක් වගේ?"

"අන්න හරි, ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ!"

"හොඳයි බලමුකෝ!"

"බලමුකෝ නෙමෙයි මචං ලබන සතියේ ඕනෑ. මං යනවා සංගීත් ඔස්තාද් අහවලා හම්බ වෙන්න."

ඉතිං ඔන්න මං සින්දුවකට පදමාලාවක් ලිව්වා.

බාඳුරා මලකට පෙම් බැඳි සමනලයෙකුගේ ගීතය

දහස් ගනන් බඹර කැලට පෙම් මදිරා බෙදනා
අමල්බිසෝ නුඹ මලකිය මද සුළෙඟ් සැලෙනා
බාඳුරා රේනු සුවඳින් මගෙ ලෝකය පිරුනා
සිතේ උපන් කුළුඳුල් පෙම නුඹට දෙන්න සිතුනා

සුවඳ නුඹෙ පැමිණි මගේ ගව් දුර සිට දැනුනේ
නුහුරු හැගුම් ගොන්නක් මැද හදවත කිති කැවුනේ
නුරා පිරුණු නෙතඟ බැළුම් ඔය සඳවන් මුහුණේ
මට එක වරයක් දෙන බව පවසනවද ලඳුනේ

මලෙක මෙලෙක නැත කිසිදා සිහිනෙන් වත් දැනිලා
කෝඩු සිතේ ආදරයක් නුඹ ගැන ඇත දළුලා
වසන්තයේ අරුනැල්ලේ සහන් සුවය විඳලා
සැබෑ කරන් මගෙ සමනල සිහිනය රොන් පුදලා


ඇත්තම කියනවා නං මාත් ඒ කවියට එච්චරම කැමැත්තක් නෑ. මොකද, ඒක ලියපු විදියේ පොඩි කෘතිම ගතියක් තියෙනවානේ. කොහොම හරි කන්ට්‍රවර්ෂල් අදහස කවියට නගලා දවස් පහ යන්න කලින් නවක ගායකයාට යැව්වා.

සති තුන හතරක් ගියා. කිසි ආරංචියක් තිබුණේ නෑ, මටත් ඕක අමතක වෙලා ගියා. මෙන්න පොර ඒ පාර අපේ ගෙදර ආවා.

"කතන්දර, අර වැඩේ හරි ගියේ නෑ."

"ඇත්තද?"

"මේකයි වුනේ, සංගීත් ඔස්තාද් කිව්වා උඹේ සින්දුවේ චවන වැඩියි කියලා. පොර මං ගෙනිච්ච වෙනත් කවි පන්තියක් ගත්තා සින්දුවක් හදන්න."

ඉතිං අන්තිමේදී මගේ මිතුරා අසම්මතයේ සින්දු කෙසේ වෙතත් හඳයි, වලාකුළුයි ගැන සෞන්දර්යාත්මක සින්දුවක් කිව්වා.

මං ලියපු පදමාලාව අද 2012 මාර්තු 23 සිකුරාදා එලියට එනතුරු අවුරුදු දෙක තුනක් දුක් විඳින්න හමස් පෙට්ටිය ඇතුලට ගියා.

-කතන්දරකාරයා

ප/ලි:
* මට බයයි ගෙදරට අහුවෙයි කියලා.
* ඉගෙනීමේ වැඩ ඉවර වෙනතුරු මං ඕවා ගැන හිතන්නේ නෑ.
* මං දැම්ම ඕවා ගැන හිතන්නේ නෑ.
* අනේ මා එක්ක තරහා වෙන්න නං එපා.
* අපි හැමදාම යාළුවන් විදියට ඉමු.

ඒ තියෙන්නේ කෙල්ලෙක්ගෙන් අහලා වැඩේ රිජෙක්ට් වෙන කොට අහන්න ලැබෙන පොදු ප්‍රකාශ කීපයක්.

මේ තියෙන්නේ පදමාලාවක් රිජෙක්ට් කරන විදියක්.

* මේක හොඳයි, හැබැයි වචන වැඩියි.

එහෙමවත් අහගත්තා මදෑ. මේ සංගීත් ඔස්තාද් කියලා තියෙන සින්දු කීපයක්ම තියෙනවා මීටත් වඩා වචන තියෙන.

(image: http://www.minermusic.com/cc/littledrummer.htm)

Wednesday 21 March 2012

ඔෆීසියේ දී දුටු යුවතිය - Girl at the office


මං පේරාදෙනියෙන් අවුට් වෙලා දෙවෙනි ජොබ් එකට ගියේ කොළඹ ලොකු කොම්පැනියකටයි. මෙතන හිටිය හැමෝම ලොකු මැනේජර්ස් ලා. කොම්පැනියේ තිබුණු විවිධ බිස්නස් දහ පාලොස් ගාණක මැනේජ්මන්ට් සර්විසස් තමයි මෙතන ජොබ් එක.

ඉතිං මාත් ගියේ අත් දිග කමිසයක් ඇඳලා, ටයි එකකුත් දාලායි.

ඒ දවස්වල මට ටයි දෙකක් ම තිබුණා. පස්සේ පඩි ලැබුණාම තව එකක් ගත්තා!

උදේ පාන්දර හයාමාරට වගේ මං ගෙදරින් පිටත් වෙනවා, හැබැයි කමිසේ අත් නවාගෙන ටයි පොල්ල නවලා සාක්කුවේ දාගෙනයි යන්නේ. ඔෆීසියට ගිය ගමන්ම කරන්නේ ටොයිලට්ස් ලොබියේ කණ්ණාඩියකින් බලාගෙන ටයි පොල්ල බෙල්ලේ එල්ලාගන්න එකයි. ඒ වෙලාවට අපි වගේ කොල්ලෝ කී දෙනෙක්ම එතන ටයි බඳිනවා.

අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ, ඊලඟට ෂර්ට් එකේ අත දිග ඇරලා බොත්තං දාගන්නවා.

ආපහු ගෙදර එන වෙලාවට ටයි එක ගලෝලා සාක්කුවේ දාගෙන, ෂර්ට් අත් නවාගෙන තමයි බස් එකට නගින්නේ. ඒකට හේතුව තමයි බස් එකේ ටයි දාං යෑම නිකං ඔඩ් වැඩක් වගේ වීමයි. අනික, ඔෆීසියේ ඒසී තිබුණට, එළියට බැස්ස වෙලේ ඉඳලා දාඩිය නේ.

තවත් එකක්, මොනව කලත් අත් කොට ෂර්ට් ඇන්දේ නම් නෑ. මොකද, අත්කොට ෂර්ට් ඇඳලා ටයි දැම්මොත් නිකං සේල්ස් රෙපෙක් වගේ වෙනවානේ!

ඒ කොළඹ කොම්පැනියේ මං හිටියේ මාස දෙකයි. ඊට පස්සේත් විටින් විට ටයි දාන ජොබ් කළත් දැන් නං ඒක අතහැරලා.

මේ දවස්වල මං වැඩට යන්න අඳින ඇඳුම මෙහෙමයි.
  • ලා පාට අත් දිග කමිසය (එමරල්ඩ් හෝ අර හවුස් ඔෆ් ෆැෂන් එකේ ලාබෙට තියෙන වෑන් හියුසන් තමා මගේ ප්‍රියතම)

  • කළු කලිසම (පිලියන්දල නිව් රත්න ටේලර්ස්. පොර තමයි මගේ කලිසං මහන්නේ 1990 විතර ඉඳලා)

  • කළු සපත්තු (සැම්සන්ස්. බාටා මොකැසිනෝ දෙක දාලාම ගෙවිලා ගියා. බැටන්ස් කුට්ටමක් ගත්තා ඒක එකපාරටම කැඩිලා ඇණ පවා එලියට ආවා)

  • කපු මිශ්‍ර මේස් (පිලියන්දල පේව්මන්ට් එකෙන් ගත්තු ඒවා)

ජොක්කු ගත්තු තැන නං කලින් ලියලා තියෙනවානේ.

ජොකා ගේ පාට ගැන විස්තරේ මෙතන.
http://kathandara.blogspot.com.au/2011/10/may-day-may-daymay-day.html

ඉතිං ඔය සේරම විස්තරේ කිව්වේ අද කතන්දරේට එන්නයි.

ඔන්න මං මේ පහුගිය දවසක ඔය කියපු ඇඳුම් පැලඳුම්වලින් සැරසිලා හිස් මුදුණත් ක්‍රීම් ගාලා පොලිෂ් කරගෙන ජෙන්ට වගේ ඔෆීසියට ගියා.

එදා හරිම රස්නේ දවසක්. මං ඔෆීසියට ලඟා වුනේම කොලර් එකට පිඹ, පිඹ. ඔෆීසියේ ඒසී එක අස්සට ගියාම තමයි ගතට වගේම සිතටත් සිසිලසක් ආවේ. පුටුවේ වාඩිවෙලා, කොම්පියුටරේ ට ලොගින් වෙලා වැඩ පටන් ගත්තා.

ටිකක් වෙලා යනකොට ඔන්න හිතුණා තේකක් බොන්න.

අපේ ඔෆීසියේ තියෙනවා තේ හදන අඩුම කුඩුම තියෙන කුස්සි කෑල්ලක්. ඩිල්මා ලොගෝව ගහපු මගේ පෝසිලේන් මග් එකත් අරං ඒ පැත්තට ගිය වෙලේ තමයි අද කතන්දරේට වස්තු බීජය ලැබුණේ.

අපේ ඔෆීසියේ වනිතාවක් එතන තේකක් හදනවා. වෛවර්ණ අත් නැති බ්ලවුස් එඑකුයි, කළු ස්කර්ට් එකකුයි ඇඳලා, නිකං පටි දෙකක් තියෙන සෙරෙප්පු දෙකක් දාලා.

මට දැනුනේ ඉරිසියාවක් නෙමේ. ඉතා සරල ප්‍රසන්නදායී සංවේදී හැඟීමක්.

දිග කලිසම්, ෂර්ට්, සපත්තු, මේස් විතරක් නෙමේ ටයි පවා දාගෙන පිරිමි දුක් විඳින අතරේ, අඩු වශයෙන් වනිතා පක්‍ෂයටවත් මේ විදියට නිදහසේ සැහැල්ලුවෙන් වැඩට එන්න ලැබීම කොච්චර දෙයක්ද?

-කතන්දරකාරයා

ප/ලි:
මේක අර මං කාලෙට කලින් ලියාපු පෙන්නීම සහ හැංගීම වර්ගයේ බ්ලවුසයක් ගැන නෙමේ!


(image: http://www1.macys.com/shop/product/calvin-klein-printed-sleeveless-top-pencil-skirt?ID=534620)

Monday 19 March 2012

පුක පිහදාන කක්කි කොල සහ සුද්දෝ - Toilet papers and cleanliness


ගලක් උඩ කක්කි කරපු පූසෙක් ඒ ගූ ගොඩ වහගන්න විදියක් නැතුව චාටර් වෙන විදිය ගැන කියවෙන "ගල-උඩ පැහැරූ බළලා වගේ!" කියන ආත්තෝපදේශ වැකිය දන්නවා නේද?

ඉස්සර වගේ නෙමේ මේ අන්තර්ජාල ඩිජිටල් කැමරා යුගයේදී ඒ කළ වැරදි සඟවාලා, සාක්‍ෂි පුච්චලා දැම්මත් වැඩක් නැති බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ?

ඔය විදියට පූසෙක් කක්කා දානවා දැකපු හිම වලහෙක් ඒකට වලියක් ඇදලා.

ඔන්න එතකොට පූසාට සංකේතාත්මකව මල පැනලා මෙන්න මෙහෙම කීවලු.

"අනේ බොල හිම වලහෝ! කක්කා දාලා හෝදන්නේ නැතුව පස්ස පැත්ත කොලවලින් පිහදාන උඹද එන්නේ මේ මට උපදෙස් දෙන්න?"

ඔය කක්කි කළාට පස්සේ පස්ස පැත්ත පිහදාන කොල වර්ගයට කියන්නේ ටොයිලට් පේපර් කියලයි. සිංහලෙන් කියන්න පුළුවනි එක්කෝ "පුක්-කොල" නැත්තම් "කක්කි කොල" කියලා.

බැංකුවක වැඩකරන මගේ ඇන්ටි කෙනෙක් ඔෆීසියේ තියෙන ඇඩින් මැසිමකට දාන කොල රෝලක අන්තිමට ඉතුරුවෙන කොට කීපයක් මං පොඩි කාලේ මට ගෙනත් දුන්නා කටුවැඩ කරන්න. මං පස්සේ දැනගත්තු විදියට මේවා නිව්ස් ප්‍රින්ට් කොල. හරිම අඳුරු පාටයි.

සුදුපාට හාෆ්ෂීට් දැකලා තිබුණු මං මේ කොල රෝල දැක්ක ගමන් කීවේ "මේවා නිකං පුක පිහදාන කොල වගේ නේ!" කියලායි. එහෙම කිව්වට මං ඒ වෙන කොට කක්කි කොල ප්‍රැක්ටිකලි පාවිච්චි කරලා තිබුණේ නෑ.

ඒ වාසනාව මට උදාවුනේ පේරාදෙනියෙන් අවුට්වෙලා මැවිසුරු සේවය කරන අතරතුර තායිලන්තයේ පස්තාච්චි වැඩේට සෙට් වුණාට පස්සේයි.

තායිලන්තේ බෙහොමයක් වැසිකිලිවල කක්ක දාලා පස්ස පැත්ත හෝදන්න අර බිඩේ ෂවර් කියන වතුර ජෙට් හයි කරල තිබුණට මං හිටපු ශිෂ්‍ය නේවාසිකාරවල නං ඒ උපකරණය තිබුණේ නෑ.

ඒ වෙනුවට අපේ පිහිටට තිබුණේ කක්කි කොල තමයි.

කක්ක කරලා පස්ස පැත්ත කක්කි කොලවලින් පිහදානවාය කියලා හිම වලසුන්ට හිනාවෙන පූසෝ අමතක කරන දෙයක් තමයි ටොයිලට් ලඟම බාත්රූම් තියෙන බව.

හිම වලසුන් ඉන්න උත්තරධ්‍රැවය ගැන නං මං දන්නේ නෑ. තායිලන්තයේ දී මං නං කෙරුවේ කක්ක දාලා පස්ස පැත්ත කක්කි කොල වලින් පිහදාලා අත ලඟම තියෙන ෂවර් එකට යන එකයි.

එක්කෝ නාලා නැත්තං ඇඟපත හෝදාගෙන ෂවර් එකෙන් එලියට එනකොට කොයි පූසත් අපිට පරාදයි!

-කතන්දරකාරයා

ප/ලි
අනුන් ගේ පස්ස හෝදන විදිය ගැන කතා කරන වෙලේ අර ගල උඩ පැහැරූ එකෙන් ඉගෙන ගත්ත පාඩම් ගැන යමක් කළොත් නරකද කියලයි මට හිතෙන්නේ.

(image: http://www.coolchaser.com/graphics/568604)

Sunday 18 March 2012

ඇඟ පුරාම මයිල් නං ගෑල්ළමයි කරේ! - What women want!


ඔළුවේ කෙස් යන්නේ පිරිමි හෝමෝනය වෙන ටෙස්ටෙස්ටොරාන් පමණට වඩා වැඩි වුණාම බව දන්නවානේ? එහෙම අයට ඊස්ටජන් කියන ගෑනු හෝමෝනය ඉන්ජෙක්ෂන් කරගෙන ඕනෑ නං කෙස් වවා ගන්න පුළුවනි ලු.

ඊස්ටජන් ඇඟ පුරාම තියෙන සුන්දර කාන්තාවෝ වැහි වලාකුළු වගේ කෙස් කළඹින් යුක්තව ඔය ඉන්නේ පාර තොටේ, ටෙලිවිෂන් තිරයේ බැබලී බැබලී.

ඒත් මං හිතන්නේ නෑ කොච්චර තට්ටේ පෑදුණත් පිරිමියෙක් කැමතිවෙයි කියලා ඊස්ටජන් ඉන්ජෙක්ෂන් ගහගන්න.

ඔලුවේ කෙස් ගැන කේස් එක එහෙම වුණාට, පපුවේ මයිල් නං සැලකෙන්නේ පුරුෂ භාවයේ සංකේතයක් හැටියටයි.

විශේෂයෙන් ම කාන්තා පාඨකයින් ටාර්ගට් කරගෙන ලියවුණු මිල්ස් ඇන්ඩ් බූන් වර්ගයේ මල් කතා කියන නවකතාවල පිරිමියෙකුගේ පපුවට තුරුළු වෙලා රෝම කූප අතරින් ඇඟිලි තුඩු යවමින් පිරිමදින්නට පෙරුම් පුරණ ගෑල්ළමයි ගැන එමට සඳහන් වෙනවලු.

ඒ පපුවේ මයිල් නේ!

මං මේ ලඟදී කියෙව්ව ප්‍රවෘත්තියකට අනුව එක්තරා මැක්සිකන්කාරයෙක් ඉන්නවාලු මුළු ඇඟපත පුරාම මයිල් තියෙන.

ඒ කියන්නේ පොරගේ:
මූණේ මයිල්
පපුවේ මයිල්
පිටේ මයිල්
බඩේ මයිල්
අතේ මයිල්
කකුලේ මයිල්.

සර්වලෝක පූට්ටුව ඇතුළු පංචායුධ සැට් එකෙත් මයිල් ඇති!

මේ ගැන කියවපු වෙලාවෙම මට හිතුනා මේ ප්‍රවෘත්තිය කතන්දර දැනුම් සාගරේට එකතු කරන්න. දැන් සති කීපයක ඉඳලා කරනවා වාගේ මෙන්න ඒ විස්තරේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකක් විදියට.

වලහෙක් වගේ ඇඟේ මයිල් තියෙන නිසා ඉංගිරිසි ක්‍රමයට වෘක මිනිහා හෙවත් Wolfman කියන නමින් හැඳින්වෙන මේ පොර ගේ නම ඩැනී රාමෝස් ගෝමස්.

මෙන්න මං කියවපු ප්‍රවෘත්තිය.



http://www.dailymail.co.uk/news/article-2109971/Danny-Ramos-Gomez-Wolfman-rare-condition-says-change-it.html

ගෝමස්ට මේ මයිල් කේස් එක එන්නේ හයිපර්ට්‍රිකෝසිස් කියන ලෙඩේ හින්දයි. පොර කියන විදියට ගමේ උං නං නම් පට බැඳලා හිනාවුණාට, ගෑල්ළමයි කට්ටිය නං මේ මයිල්වලට හරිම ප්‍රිය මනාපලු.

අඩු ගානේ මූණේ මයිල් ටිකවත් ගාලා දාන්න ගෝමස් ගේ අදහසක් නෑ.

මොකද දන්නවද?

බලන්න මේ ප්‍රවෘත්තිය.



පොර දැන් ලොස් ඇන්ජලීස්වලට ඇවිල්ලා. මේ වෙනකොට පොරට ගෑල්ළමයි 35 දෙනෙක් විතර ඉඳලා තියෙනවා.

"ඒ හැමෝම කැමති මගේ රෝම අත ගාන්නයි. මුළු ඇඟේම රෝම තියෙන එක පිරිමි බවේ සළකුණක් විදියටයි ඔවුන් සලකන්නේ!" ගෝමස් කියනවා.

-කතන්දරකාරයා

ප/ලි:
මගේ පපුවේ ෆොටෝ එකකුත් දාන්න හදලා සිප් එකක් පේන නිසා නිකං හිටියා.

(image: http://www.dailymail.co.uk/news/article-2109971/Danny-Ramos-Gomez-Wolfman-rare-condition-says-change-it.html)

Friday 16 March 2012

පැන්සොන් මීටිම - When should a man retire?


තමන් ජීවත්වෙන රටේ පැන්සොන් ගන්න හැටි සහ පැන්සොන්කාරයින්ට තියෙන පහසුකම් ගැණ විස්තරාත්මක ලිපියක් ලියල පලකරපු ඔබ්සෝවර් හෙවත් ඔබා මාමා හෙවත් ඔබා-මා තුමා ඒ ලිපියේ අග්ගිස්සේ කවුදෝ පොරක් පෙන්ෂොන් ගන්න ගිහිල්ල වෙච්ච අකරතැබ්බක් ගැනත් වල් කතන්දරයක් දාලා තිබුණා!

ඒ වල් කතාව නං පහුගිය දවස්වල ඊ-මේල්වලින් ලෝකේ පුරා සංසරණය වුණු කතාවක සිංහල පරිවර්තනයක්.

ඒක කියවපු මටත් හිතුණා මං අහල තියෙන තවත් ඔය වගේ කතන්දරයක් කියල දාන්න. අපේ අංකල් කෙනෙක් මේ කතාව රස කරමින් කියනවා මං අහං උන්නේ මීට අවුරුදු විස්සකට විතර ඉස්සර දවසකයි.

ඔන්න පැන්සොන් වයස, ඒ කියන්නේ නොහැකි හෙවත් නාකි වයස එලැඹිලා එක පොරක් තමන් කරමින් හිටිය රස්සාවෙන් පැන්සොන් ගත්තලු. අන්තිම දවසේ ඔෆිස් එකේ තිබුණු පාටියෙන් පස්සේ හැමෝගෙන්ම සමුගෙන ඇවිත් පොර ගෙදර විවේක සුවයෙන් ඉන්න වෙලේ පොරගේ අවයව, අංගෝපාංග, පංචායුධ ටික හදිසි රැස්වීමක් කැඳවලා.

රැස්වීමේ මූලාසනය අරං තියෙන්නේ අවයවවල ප්‍රධානියෙක් වෙන මොලයයි.

"අද මේ රැස්වීම කැඳවන්න මූලිකම හේතුව වුනේ අපේ අයිතිකාර සුනෙත් විජේරත්න මහතාගේ විශ්‍රාම යෑමයි. ඔහු මේ අවුරුදු හැටක් වෙනතුරු වැඩපොල කරගත්තේ ඔහුගේ අවයව, අංගෝපාංග, පංචායුධ වෙන අපේ පිහිටෙනුයි. සුනෙත් විජේරත්න මහතාගේ අදහස නම් හෙට සිට ඉදිරි ජීවිතකාලය විවේක සුවයෙන් ගත කිරීමයි."

"මේ නිසා හෙට සිට අප කුමක් කළ යුතුද කියා සලකා බැලීඟට කාලය එලැඹ තිබෙන බවයි මගේ අදහස. ඒ ගැන ඔබේ අදහස් ඉදිරිපත්කරන මෙන් අද මෙහි රැස්වී සිටින සහෝදර අවයව, අංගෝපාංග, පංචායුධ ඔබ සැමගෙන් මා ඉල්ලා සිටිනවා."

කවුරුත් බලාපොරොත්තු වූ පරිදිම මොලේ ගේ කතාව ඉවර වෙන්නත් කලින් වගේ කතා කරන්න පටන් ගත්තේ සුනෙත් ගේ කට යි.

"උපන්දා කිරි ඉල්ලා අඬන් පටන් ගත්තු මොහොතේ ඉඳලා මේ වනතුරු සුනෙත් ගේ ජීවිතයට මගේ වුණු සේවය අප්‍රමාණයි. පොර ඔෆීසියේ දී ජාම් බේර ගත්තේ මගේ උදව්වෙන්. ගෙදර ඇවිල්ලා නෝනාගෙන් ගැලවිලා ඉන්නේත් මගේ පිහිටෙන්.
දැන් අපි මේ විදියට සුනේත් ට කැඹුරුවා හොඳටෝම ඇති."

"මා යෝජනා කරනවා අප සියළු දෙනාම පැන්සොන් යා යුතුය කියා!"

මහා අත්පොලසන් හඬක් නැගුණා.

ඊලඟට කතා කළේ සුනෙත් විජේරත්න ගේ දකුණු අතයි.

"උපන් දා සිට සුනෙත් තමන් ගේ බරපතල වැඩ බොහොමයක් කළේ මගේ උදව්වෙන්. ආහාර ගැනීම, දඟර පන්දු යැවීම විතරක් නෙමේ ඔහු කළ තරමක් ඇණ මුරුච්චි බුරුල් කළේත්, තද කළේත් මගේ උදව්වෙන්. මට කැමතියි අපේ කට සහෝදරිය ගෙනා යෝජනාව අනුමත කරන්න. අපි වහාම පැන්සොන් යන්න ඕනෑ!"

"මාත් ඒකට එකඟයි" ඊලඟට වම් අත කතා කළා. "කක්ක දාලා පස්ස පැත්ත හෝදන එක විතරක් නෙමෙයි මගේ සහෝදර දකුණු අතින් විතරක් කරන්න බැරි හැම වැඩකටම සුනෙත් ට මගේ සහයෝගය මා ලබා දුන්නා. හෙට සිටම පැන්සොන් යෑමේ යෝජනාවට මා එකඟයි."

ඔය අතරේ සභාවේ එක කොනකින් හීන් හඬක් නැගුණා.

අනේ මටත් ඕනෑ හැකි ඉක්මණින් පැන්සොන් යන්න!

කවුද මේ කතා කරන්නේ, මොනවද කියන්නේ කියලා කාටවත් තේරුණේ නෑ.

"කවුද ඒ? කරුණාකර, ටිකක් හයියෙන් කතා කරන්න". මූලාසනයේ සිටි මොලේ කිව්වා.

අනේ මටත් ඕනෑ හැකි ඉක්මණින් පැන්සොන් යන්න!

"කවුද හලෝ ඔය? කියන දෙයක් පැහැදිලිව කියනවකො හලෝ පොඩ්ඩක් නැගිටලා!" අවයව, අංගෝපාංග, පංචායුධ සභාවේ පොරක් වන දකුණු කකුල එහෙම කිව්වා.

"නැගිටලා කතාකරන්න? නැගිටින්න පුළුවන් නං පෙන්සොන් ඉල්ලනවද ඕයි?"

ඔන්න ඒ පාර නං කවුද මේ කතා කරන්නේ කියලා හැමෝටම පැහැදිලි වුණා!

-කතන්දරකාරයා

ප/ලි:
මේ කතන්දරේ ඔරිජිනල් වර්ෂන් එක කියපු අපේ අංකල් නං හැට පැන්නත් පැන්සොන් ගියේ නෑ. දැන් පොර කන්සල්ටන්ට් කෙනෙක් විදියට උපදේශක සේවාවක් දාලා.

(image: http://societies.dsu.ca/DalOUT/resources/symbolsdoc)

Wednesday 14 March 2012

ඇත්තටම මේක ලියුවේ කව්ද? මහා ආන්දෝලාත්මක නිර්මාණයක්! - Don't kill the messenger!


හීනයක් බලමින් කෝච්චියේ යද්දී පරණ මතකයක් අවදිවුණා!

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ කලා කවයට අයිති නිර්මාණ පුවරුව ගැන මං විටින් විට කියලා තියෙනවානේ.

මගේ කයි-කතන්දරවල තියෙන කයි පද කෑලි අති බහුතරය මුලින්ම පලවුනේ ඔය කියන කලාකවය නිර්මාණ පුවරුවේ තමයි.

අපේ ෆයිනල් ඉයර් එකේදී වගේ මෙන්න මේ පල්ලෙහා තියෙන කවිය ඒකේ පලවෙලා තිබුණා.

කවියේ අදහස නිසාත්, පද ගැළපුමේ අපූර්වත්වය නිසාත් මට මේ කවිය විටින් විට සිහි වෙනවා.

මේක ආන්දෝලාත්මක කවියක්. ඒ නිසා, අවශ්‍ය අයට පුළුවන් පහලින් තියෙන ලින්ක් එකෙන් මෙතනින් වෙන හොඳ තැනකට යන්න.

http://kathandara.blogspot.com.au/2009/11/blog-post_08.html

නොගිය අයට මෙන්න ඒ කවිය.

||
||
||
||
||
||
||
||
||
||
||
||
\/









රැවුළු වවති හිස පීරති සුවඳ දියර ගතට ඉසිති
රට පිළියට පමණි කැමති කිහිලි පෙනෙන ලෙස පොරවති
ගැහැණු පතති කය සතපති වායු සමන රියෙන් වඩිති
අපිදු පෘථග්ජන කියමින් තවමත් මුන් සිවුරෙ වෙසෙති!


කොහොමද, වෙඩි වගේ නේද?

මේ කවියේ යටින් තිබුණු නම අපේ ජූනියර් බැච් එකක පොරකගේ බව මට හොඳට මතකයි.

මීට කලින් දවසක මේ කවිය සිහියට ආපු වෙලාවක පොරගේ ඊ-මේල් එක මා ලඟ තිබුණු හින්දා මං අහලා යැව්වා මේ කවිය ලිව්වේ පොරමද කියලා. ඌ උත්තරයක් එව්වේ නෑ!

එහෙම අහන්න හේතුව තමයි මේ වගේ කවියක් ලියන්න නිර්මාණාත්මක හැකියාවක් සහ භාෂා පරිචයක් තිබුණු කෙනෙක් තව කවි සහ නිර්මාණ අනිවාර්යෙන්ම කරලා තියෙන්න ඕනෑ.

නමුත් පොර මීට පෙර සහ පසු ඒ වගේ කවි ලියා පලකළාය කියලා මගේ මතකයේ නෑ!

මේ කවියේ අන්තර්ගතය ගැන නම් විවාද කරළා වැඩක් නෑ. වචන ගැලපුම සහ නිර්මාණ ශක්තියත් ඉතාම ඉහලයි කියලයි මට හිතෙන්නේ.

ඔහෙලාට මක්කයි හිතෙන්නේ?

-කතන්දරකාරයා

ප/ලි:
ආයේ ඊ-මේල් එකක් දාලා අහන්න ඕනෑ මේ කවිය ලිව්වේ පොරමද කියලා!

(image: http://www.art.com/products/p610878358-sa-i4038936/miller-john-one-rotten-apple-amongst-other-green-apples.htm)

Monday 12 March 2012

වයිස් චාන්සලර් ගේ පඩිය කීයද? - VC meets his match!


වයිස් චාන්සලර් හෙවත් වීසී හෙවත් උපකුලපති තමයි යුනිවසිටියේ සර්ව බලධාරී ලොක්කා. හරියට ලංකාවේ ජනාධිපති වගේ.

යුනිවසිටිවල චාන්සලර් හෙවත් කුලපති කියලා තනතුරක් තිබුණාට ඒක නිකං නමට විතරක් තියෙන සෙරමෝනියල් තනතුරක් විතරයි. හරියට ඉන්දියාවේ ජනාධිපති වගේ.

යුනිවසිටිවල එදිනෙදා පරිපාලනය පිලිබඳ හැම තීන්දුවක් ම වගේ ගන්නේ වීසී ගේ අනුදැනුම සහ අත්සන එක්කයි. කොල්ලන් ගේ පන්ති තහනම් කළාම හෙම වීසීට විරුද්ධව පෙළපාලි යන්නේ ඒ හින්දනේ.

විශ්ව විද්‍යාලයක හිටපු වීසී කෙනෙක් හා සම්බන්ධ මේ කතාව මට කිව්වේ අපේ රත්නායක මහත්තයායි.

මේ රත්නායක විශ්ව විද්‍යාලයෙන් අවුට්වෙලා වෙනත් විශ්ව විද්‍යාලයක වැඩ කරන්න පටන් ගත්තු අළුත. අවුට් වෙච්ච ගමං ඉතිං බොහෝ දෙනෙකුට ගන්න පුළුවන්නේ තාවකාලික උපදේශක (ඉන්ස්ට්‍රක්ටර්) හෝ ප්‍රදර්ශක (ඩිමොස්ටේ‍ර්ටර්) තනතුරු.

එහෙම ජොබ් එකකට ආපු පොරක් තමයි රේඛීය විජේනායක.

රේඛීය විජේනායක ගේ ඔය රේඛීය කියන්නේ නම නෙමේ, ඒක නික් නේම් එකක් හෙවත් අන්වර්ථ නමක්. විජේනායකට රේඛීය කියන්නේ පොර නිතරම ගමන් කරන්නේ සරල රේඛාවල නිසයි. හැරෙන්න ඕනෑ වුණාම හැරිලා ආපහු සරල රේඛාවකම ගමන් කරනවා. ඒකට හේතුව ගමන් කරන දුර අවම කරන්න වෙන්න ඕනෑ. මොකද, ලක්‍ෂ්‍ය දෙකක් අතර අවම දුර තියෙන්නේ ඒ දෙක අතර අඳින සරල රේඛාව දිගේ නේ!

යුනිවසිටිවල තාවකාලික තනතුරුවලට බඳවා ගන්න අයගේ පත්වීම් සාමාන්‍යයෙන් අධ්‍යයන වර්ශය ඉවර වෙනවාත් එක්කම ඉවර වෙනවා. එතැන ඉඳලා ඊලඟ අවුරුද්දේ වැඩ පටන් ගන්න තුරු ලැබ්වල, ටියුට්වල වැඩ නෑනේ, ඒකයි හේතුව. අනික ඊලඟ අධ්‍යයන වර්ෂය පටන් ගන්න කොට කොහොමටත් අළුතින් අවුට් වෙන බැච් එකේ අය ඉන්නවානේ තාවකාලික පත්වීම් දෙන්න!

ඔන්න ඔය සයිකල් එකේ ගිය රේඛීය විජේනායකගේ තාවකාලික පත්වීමත් අධ්‍යයන වර්ෂය අවසානයත් එක්ක අවසාන වුණා. පොර හිතුවා වීසී පත්වීම දික් කරයි හරි එහෙම නැත්තං අළුතින්ම තාවකාලික පත්වීමක් දෙයි කියලා. නමුත් මොකක් හරි හේතුවක් නිසා ඒක වුනේ නෑ. රේඛීය විජේනායකට වෙනත් ජොබක් සෙට් වෙලා නොතිබුණු නිසා ගෙදර යන්න වුණා!

පොර ඒ ගියේ වීසී එක්ක මල පැනලා, මහා කෝපයෙන්.

හැබැයි ඉතිං ඒ ගියා කියලා රේඛීය විජේනායක නිකං හිටියේ නෑ. පොර මැවිසුරුවෙක් නේ. ජොබ්වලට ඇප්ලයි කරන ගමන් පොඩි ඉඳිකිරීම් කටයුතුවලට සම්බන්ධ බිස්නස් එකක් පටන් ගත්තා. ලාවට වගේ පටන් ගත්තාට, මාසෙන් දෙකෙන් වැඩේ නැගලා ගියා, පොර ඊට පස්සේ මාර උනන්දුවෙන් වැඩට බැහැලා බිස්නස් එක කරගෙන ගියා.

රේඛීය විජේනායක විශ්ව විද්‍යාලයේ ජොබ් එකෙන් ගෙදර ගිහින් මාස හයකට විතර පස්සේ ඔන්න වීසීට කෝල් එකක් ආවා. කෝල් එක ගත්තේ වීසී ගේ ඇසිස්ටන්ට් ස්ටෙනෝ නෝනායි.

"හලෝ මට වීසීට කතා කරන්න පුළුවන්ද?"

"සර් නං ඔෆීස් එකේ නෑ. කවුද කතා කරන්නේ?"

"මං මේ රේඛීය විජේනායක කියලා කෙනෙක්. මට කියන්න පුළුවන්ද වීසී ගේ පඩිය කීයද කියලා?"

"මං නං ඒක දන්නේ නෑ. ඇයි අහන්නේ?"

"එහෙනං වීසීට රේඛීය විජේනායක කිව්වා කියලා මෙහෙම කියන්න. ඔන්නං ජොබ් එක දාල එන්න මා ගාව වැඩ කරන්න, දැන් හම්බවෙන පඩියට වැඩියෙන් මං ගෙවන්නම්!"

-කතන්දරකාරයා

ප/ලි:
කතන්දර හාමිනේත් මේ ඊයේ කිව්වා ඔන්නං මට ජොබ් එකක් දෙන්නං කියලා!

(image: http://www.malcolmreading.co.uk/)

Sunday 11 March 2012

ටොයිලට් එකේ සිට එස් එම් එස්, ෆේස් බුක්, ට්විටර් කරලා තියෙනවාද? Phone in the Loo


මොබයිල් ෆෝන් ලංකාවට ආපු කාලේ මට මතකයි, අපේ මස්සිනා ගඩොල් භාගයක් අරං එහෙ මෙහේ ගිය හැටි. ගෙදරකට ගොඩ වැදුණු ගමං පොර කරන්නේ ෆෝන් එක චාජ් කරන දාන එකයි. වාහන පදවන කොට ෆෝන් පාවිච්චි කරන්න එපාය කියලා නීති තිබුණෙත් නෑ ඒ කාලේ.

දැන් නං ඉතිං අපි කාගේ අතේ පොඩි හුරුබුහුටි ෆෝන් තියෙනවානේ. යන යන තැන ඕක සාක්කුවේ දාගෙන ගියේ නැත්තං අත කැඩුණා වාගේ තමයි.

ගෙදරදී කෙසේ වෙතත් ඔෆීසියේ දී නං ඉතිං ෆෝන් එක තියෙන්නේ කලිසං සාක්කුවේ නිසා, දවසට දෙතුන් පාරක් චූ කරන්න, ඉඳලා හිටලා දවසක කක්කි කරන්න හෙම ටොයිලට් එකට යනකොටත් ෆෝන් එකත් අපිත් එක්ක යනවා.

එහෙව් වෙලාවක කෝල් එකක් හෙම ආවොත් මංතුමා නං කරන්නේ කෙලින්ම සයිලන්ස් මෝඩ් එකට දාන එකයි රිං ටෝන් සද්දේ නොඇසෙන්න.

ඒකටත් එක්ක සමහරු ටොයිලට් එකේදී එන කෝල්ස්වලට උත්තර දෙනවා විතරක් නෙමේ, තමන් කෝල්ස් ගන්නවාලු, එස් එම් එස් අරිනවාලු, ෆේස් බුක්, ට්විටර් යනාදී මෙකී නොකී සමාජජාල වැඩ කටයුතුත් නොඅඩුව කරනවාලු!

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමීක්‍ෂණයකින් හොයාගෙන තියෙන්නේ, ඇන්ඩ්‍රොයිඩ් සහ අයිෆෝන් භාවිතාකරන අය තමයි මේ වැඩේ වැඩිපුර කරන්නේ කියලා. ඒ කියන්නේ ඒ ෆෝන් දෙවර්ගය තමයි වැඩිපුරම "ටොයිලට්-ෆ්‍රෙන්ඩ්ලි"!

මෙන්න මං බලපු නිවුස් අයිටම් එක.


වැඩි විස්තර මෙතනින්.
http://www.mobileburn.com/18411/news/bathroom-time-means-mobile-phone-time-for-many-users

කෝල් කරන කොට අනිත් පැත්තේ ඉන්න උංට මොන මොන සද්ද බද්ද ඇහෙනවා ඇද්ද? මට මතක් වුනේ අර ට්‍රැක්ටරයේ කතන්දරයයි.

-කතන්දරකාරයා

ප/ලි:
මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා සහ දැනුම් සාගරේ ඒකාබද්ධ කතන්දරය ලියන වෙලේ මට මුලින්ම හිතුනේ මේ විදියට මොබයිල් ෆෝන් එකේ වැඩ කරන්න කක්කුස්සියට යන්නේ කොයිවගේ උන්ද මන්දා කියලයි.

පස්සෙයි මතක්වුනේ, නවකතා පොත්, පත්තර අරගෙන කක්කුස්සි යන පිරිසකුත් ඉන්නවා නේද කියලා!

ප/ප/ලි:
ඇයි, කක්කුස්සියේ සිට පෙම් හසුන් ලියන අය?

(image: http://www.worldofstock.com/stock_photos/HUM1122.php)

Friday 9 March 2012

මට දෙන්න හැකි දේවල් මෙන්න :: Wishlist Vs What you can offer


තමන් ගේ අත ගන්න එන කොල්ලෙකුගෙන් තමන් බලාපොරොත්තු වෙන දේවල් ගැන පොඩි කුමාරිහාමි දැරිවිය ලිපියක් දාලා තිබුණා.

ඒක දැකපු මාතලන් ගොයියත් ලයිස්තු ගත කරලා තිබුණා ගෑල්ළමයින්ට මොනවාද ඕනෑ කියලා පොරට හිතෙන දේවල්.

තමන් බලාපොරොත්තුවෙන දේවල් ගැන ලයිස්තු හදන එක හරිම ජොලි වැඩේ. මේවාට ඉංගිරිසියෙන් කියන්නේ විෂ්-ලිස්ට් කියලායි.

අපි අනුන්ගෙන් බලාපොරොත්තුවෙන දේවල් ගැන විෂ්-ලිස්ට් හැදීමට වඩා මං හිතන්නේ වැදගත් අපිට අනුන්ට දෙන්න, අනුන් වෙනුවෙන් කරන්න පුළුවන් මොනවාද කියලා ලයිස්තුගත කරන එක.

අර හිටපු ඇමරිකන් එක්සත් ජනපද ජනාධිපති කෙනඩිත් කියලා තියෙනවා නේ Ask not what your partner can do for you - ask what you can do for your partner වගේ තේරුමක් ගෙන දෙන කතාවක්.

මං මේ හදන්නේ මට මගේ සහකාරියට දෙන්න පුළුවන් දේවල් ගැන ලයිස්තුවක් හදන්නයි.

හැබැයි ඉතිං හැම එකකම සීමාවකුත් තියෙනවා!

දැන් මං මේ විස්තර ලියන්නේ ඇයිද කියලා ආයෙත් කියනවා නං, අපි අනුන්ගෙන් බලාපොරොත්තුවෙන දේවල් ගැන ලයිස්තු හදනවාට වඩා අපිට අපේ සහකාරයාට හෝ සහකාරියට දෙන්න පුළුවන් දේවල් ගැන කියන එක වැදගත් බව පෙන්නන්නයි.

දැන් මෙන්න අද කතන්දරේ. මං කාලෙකට කලින් අහලා තියෙන එකක්.

ඔන්න එකමත් එක රටක හිටියාලු රාජකුමාරියෙක්. මෙයා විවාහ වෙන්න හොයලා තියෙන්නේ අංග සම්පූර්ණ කුමාරයෙක්වයි.

ඉතිං, ස්වයංවරයේදී විවිධ ප්‍රාන්තවලින් ආපු රාජකුමාරවරු තමන්ගේ වැඩ කිඩ, ශිල්ප හරඹ, අඩුම කුඩුම සහ පංචායුධ පෙන්නුවට මේ කුමාරි නෙමේ ඒ එකෙකුටවත් කැමති වෙලා තියෙන්නේ.

හැමෝගෙම මොකක්දො අඩුවක් ලු !

ඔහොම ඔහොම කාලයක් ගියාම කුමාරිට හම්බ වුණාලු තමං පොඩි කාලේ ඉඳලාම ප්‍රාර්ථනා කරගෙන හිටියාකාරයේ සර්ව සම්පූර්ණ කුමාරයෙක්. ආරෝහ පරිනාහ සික්ස්-පැක් දේහයෙන්, පුළුල් උරතලයෙන්, ඡවි වර්ණයෙන් පරිපූර්ණ පැකේජ් එකක්!

නමුත් ඒ මගුලත් හරි ගිහින් නෑ!

ඇයි දන්නවාද?

මේ කියන කුමාරයා හොයමින් ඉඳලා තියෙන්නේ පරිපූර්ණ කුමාරිකාවක්!

-කතන්දරකාරයා

ප/ලි:
ආයේ මෙන්න මේ ආකාරයේ සින්දු හෙම ඕනෑ නං කියන්න.

(image: http://www.blogger.com/img/blank.gif)

Wednesday 7 March 2012

දුම්රිය නැවතුමේදී දුටු යුවතිය හෙවත් විකල් සිතින් ලියූ 000 පෙම් කවිය - Ambulance or Fire engine?


වෙනදට මං පලකරන්නේ කයි-කතන්දර. අද පොඩි වෙනසකට වගේ හිතුනා කතන්දරේ නැතුව කවිය විතරක් දාන්න.

දුම්රිය නැවතුමේදී දුටු යුවතිය හෙවත් විකල් සිතින් ලියූ 000 පෙම් කවිය

ගත සිත දවනා
හිස කර කරනා
ගිනිගත් සුළඟින් ලොවම පිරී ගිය
දා බිඳු වැසි වස්සාන සමේ
නෙත් අඳ කරනා
මෙලනෝමා සදනා
සැඩ හිරු අභියස ලොවම විකල්වූ
එක් බියකරු ගිම්හාන සැඳෑවක
ඇය නෙත ගැටුනා
ගත සිත සැළුනා

කර්න විලෝපන රත් යවුලක් වූ
යකඩ දුම්රියේ ගොරහැඩි හඬ මැද
අනුමස්තිශ්කය විලම්බීත කර
ස්කි‍්‍රට්ෂ්රොෆී‍්‍රනියා මන සොල්වන සඳ
දෙනෙත විවර වූ අතුරු නිමේෂෙක
ඇය නෙත ගැටුනා
ගත සිත සැළුනා

සරා සඳක් සේ බබලන වුවණයි
ගත පණ ගන්වන නෙත් යුගලයි
නුරා සුරා පිරිබඳුනක් සිහිකළ
තද රතු පැහැ ගත් තෙත දෙතොළයි

නිල් සළු පට වැසුවද රඹ කැන් ගත
එක්ස් කිරණින් දැක විකල් වුනා සිත
බාධක මැඩ ඉදිරියට නෙරා ආ
පුන් පියයුරු මැද
නතර වුනා හද

පළල් උකුල සිහිනිඟ රන් සිරුරේ
රාග ගින්න ඇවිලිනි හද පතුලේ

ගත උණුසුම් කල
සිත උන්මත් කල
සැලෙන සිලක් වන් රුවැත්තියේ
ඔබ රූ සිරි දැක හදවත පැලහෙන
රාග ගිනි නිවා දමන් පි‍්‍රයේ


-කතන්දරකාරයා

ප/ලි:
යුනිකෝඩ් අකුරු අප්සෙට් ද මන්දා. පස්සේ හදන්නම්.

(image: http://adamthinks.com/tag/the-girl-on-the-train/)

Monday 5 March 2012

ආදරේ අද නෙමෙයි හෙට...! - Tomorrow never comes


සාමාන්‍යයෙන් නොකෙරෙන වැඩක් ගැන කියන්නේ "බාලගිරි අද නොවේ හෙට!" කියලානේ. ඕක ඉස්සර ලංකාවේ පොඩි ළමයි ඉන්න සිංහල ගෙවල්වල ලියලා තිබුණාලු! 'බාලගිරි දෝශය' කියන ළමා රෝගය වලක්වා ගන්න කෙමක් විදියටයි එහෙම කරලා තියෙන්නේ.

"ආදරේ අද නෙමෙයි හෙට!" කියන්නේ එහෙම කේස් එකක් නොවෙයි. මෙතන කියවෙන්නේ ඕනෑකමින්ම ලව් එක කල්දාන ට්‍රික් එකක් ගැන නෙමේ.

මේ බලන්නකෝ මේ කයිය කියෝලා!

දිනෙක මතුදා ලොවට හඬගා කියන්නම්
ඔබට මා, ආදරෙයි ඉඳුරා කියන්නම්
එතෙක් අපි ඉමු සැඟවිලා
ලොවේ දෙනෙතින් සැඟවිලා
මගේ කුමරියනේ

ඔබ ඔබේ ලොව, මා මගේ ලොව හිරවුණා
ආදරේ අප කියාගන්නට බැරිවුණා
මේ පවින් ගැලවී, මිදෙන දින ලංවී
හෙට පහන් තරු දිලිසෙනා
මගේ කුමරියනේ

සීත සිසිරය මැද වසන්තය එලැඹිලා
දෙහද පෙම් මල් දෙවන වරටත් පිබිදිලා
ඔබ මගේ වේ නම්, මා ඔබේ වේ නම්
අද දුරින් ඉමු සැඟවිලා
මගේ කුමරියනේ

ඕක නිකංම නිකං කයියක් නෙමේ, ගී පදමාලාවක්. ඇත්තටම කියනවා නං යුග ගීතයක්.

තනුව-හේමාල් ජයවික්‍රම
සංගීතය-විශාරද තුෂාරි එදිරිසිංහ
ගායනය-හේමාල් සහ තුෂාරි

මෙන්න බලන්න යූ ටියුබ් ක්ලිප් එක.



-කතන්දරකාරයා

ප/ලි:
යූ ටියුබ් වීඩියෝව ගායකයා විසින් සකසන ලද්දකි. ඔහුගේ අනෙකුත් ගී ගායනා දුසිමක් පමණ ඔබට ඔහුගේ චැනලය ඔස්සේ නැරඹිය හැක.

(image: http://www.flickr.com/photos/dappers/2242173865/)

Sunday 4 March 2012

දික්කසාද වෙන එක ගැන කියවෙන ගෑණු ජානයක් - Divorce gene of girls identified!


ලව් එකෙන් පස්සේ එන බූට් එක වගේම අපි අහල පුරුදු දෙයක් තමයි කසාදෙන් පස්සේ එන දික්කසාදේ.

කසාදය කියන වචනය ලන්දේසි හෙවත් ඕලන්ද ජාතිකයින් ගේ ඩච් භාෂාවෙන් සිංහලට ආපු එකක්. දික්කසාදේ කියන එකත් ඒ එක්කම එන්න ඇති. මොකද, එහෙම නැත්තං, කසාදය කියන්නේ විවාහයට නං දික්කසාදේ කියන්නේ විවාහය දික් කරනවා කියන එකට වෙන්න ඕනෑ නේ.

බටහිර රටවල නං දික්කසාද ලංකාව වගේ රටවලට වඩා සුලබයි කියලයි කියන්නේ. අපේ ලංකාව වගේ රටවල්වල වෙලා තියෙන්නේ, විවිධ සමාජ ආර්ථික ප්‍රශ්ණ නිසා, විවාහයේ ප්‍රශ්ණ ඇති වුණත් ඔහේ අල්ලං යන එකයි.

බීලා ඇවිල්ලා පහර දෙන, නොසලකා හරින, පිට ගෑණුන් ලඟට යන මිනිස්සුන්ගෙන් දික්කසාද නොවී ඉවසං ඉන්න ගෑණු අපි නවකතා, කෙටිකතා, ටෙලිනාට්‍යවල විතරක් නෙමේ ජීවිතයේ ඇත්තටමත් කොච්චරක් කියලා දැකලා තියෙනවාද?

දික්කසාද වෙන ගෑණියෙකුට ඊට පස්සේ සමාජයේ ජීවත් වීම දැන් තියෙන කරදරකාරී විවාහයට වඩා අමාරු නිසා තමයි හුඟක් ගෑණු ඔය විදියට ඉවසාගෙන ඉන්නේ.

බටහිර සංස්කෘතියේ ගෑණුන්ට මීට වඩා නිදහස තියෙන නිසා දික්කසාදය ලේසියි වගේ.

සාමාන්‍ය පිළිගැණීම නං එහෙමයි නේද?

හැබැයි මෙන්න අළුත්ම පර්යේෂණයකින් මේකට වෙනත් හේතුවක් තියෙනවාය කියලා යෝජනා කරලා!

අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දර දැනුම් සාගරේ එපිසෝඩ් එක ඒ ගැනයි.

ස්වීඩනයේ විද්‍යාඥයින් පිරිසක් විසින් ගෑණුන් ගේ තියෙන දික්කසාද ජානයක් හොයාගෙන. මේ ජානය තියෙන ගෑණුන්ගේ විවාහ ජීවිතය හැලහැලැප්පීම්වලට ලක්වෙලා, ඒ අයට තමන්ගේ සහකරුවා එක්ක දිගු විවාහ ජීවිතයක් ගතකරන්න බැරිවෙනවා ය කියලයි කියන්නේ.

මෙන්න මං කියවපු පත්තර කෑල්ල.


වැඩි විස්තර මෙතනින්.
http://www.dailymail.co.uk/news/article-2106464/Divorce-It-genes-How-DNA-play-big-people-argue.html

මේ ජානයට දීලා තියෙන නම ඒ-ඇලීල්. ඒකේ විවිධ ප්‍රභේද පිළිසිඳ ගැනීමේදී උරුම වෙන ගෑල්-ළමයි විවාහ වෙන්න තියෙන ප්‍රවණතාවය අඩුයිලු. මොකද ඒ ගෑල්-ළමයින්ට පිටස්තර පුද්ගලයින් එක්ක සබඳතා ඇතිකරගන්න අමාරු නිසා.

එහෙම තිබිල වුණත් බඳින අය කරදරකාරී විවාහ ජීවිතයක් ගෙවන්න තියෙන සම්භාවිතාවය 50% කින් වැඩියි ලු.

මේ සේරටම හේතුව මොකක් කියලාද හිතන්නේ දන්නවද?

මේ ජානය නිසා ඔක්සිටොසින් කියන හෝමෝනය නිපදවීමට බාධා ඇතිවෙනවලු. ඔක්සිටොසින් නිසා තමයි එකිනෙකා වැළඳගන්න, ආලිංගනය කරන්න හිතෙන්නේ.

කඩ්ල් කරන්නේ නැතුව කොහොමද කසාදේ ගෙනියන්නේ?

මට නං කඩ්ල්ස් නැතුවම බෑ!

-කතන්දරකාරයා

ප/ලි:
මේ අවවාදය කතන්දර බ්ලොගේ කියවන බැඳපු නොබැඳපු ගෑල්ළමයි සියළු දෙනාටමයි.

තමන් ගේ සහකරුවාට, පෙම්වතාට දිනකට කඩ්ල්ස් කීපයක්ම දෙන්න අමතක කරන්න එපා!

ප/ප/ලි:
මේ කතාව කියවන ගෑල්ළමයි දුවලා දුවලා ගිහින් තමන්ගේ මහත්තැන්ලාට, වෙන්ඩ මහත්තැන්ලාට කඩ්ල්ස් දීගෙන, දීගෙන යනවා මට මැවිලා පේනවා.

ඒ පිනම ඇතිවෙයි මට නිවන් දකින්න!

http://wonderwoman.intoday.in/story/women,-please-note-divorce-could-be-in-your-genes/1/98302.html

Friday 2 March 2012

කතන්දර හාමිනේ පශ්චාත් උපාධි කළ හැටි - What a cruel husband?


මේ කතන්දරේ කියෙව්වයින් පස්සේ සමහරු මට හොඳටෝම දොස් කියන්න, බනින්න, දෙහි කපන්න ඉඩ තියෙනවා. ඒත් කරන්න දෙයක් නෑ. කියන්න තියෙන කතන්දර කියන්න එපායැ?

පශ්චාත් උපාධි හෙවත් පස්තාච්චි වැඩේ කියන්නේ හැමෝගේම හිත යන දෙයක් නෙමේ. සමහරු මුල් උපාධිය අරගෙන කැම්පස් එකෙන් දොට්ට බහින්නේ ආයේ නං යුනිවසිටිවල පස් පාගන්නේ නෑ කියලයි. ඒත් තව පිරිසක් ඉන්නවා ජීවිතේට යුනිවසිටිවලින් එළියට බහින්නේ නැතුව එතනම ඉඳලා වයසට යන අයත්.

සමහර වෙලාවට තමන් කරන රස්සාවේ ඉහලට යන්නත් ඔය පස්තාච්චි වැඩ කරන්න අවශ්‍ය වෙනවා. එහෙම වුනත් ඒවා ගැන නොසොයා නිකං සාමාන්‍ය විදියට පොල් කඩ කඩ ඉන්න අයත් ඉන්නවා දුසිං ගාණක්.

මංතුමා කතන්දර හාමිනේබැන්දේ එතුමිය විශ්ව විද්‍යාලයෙන් පිට වෙලා ජොබ් එකකට ගිය අළුතමයි. ඔය කියන්නේ මං පස්තාච්චි ඇදලා ආපු කාලේ!

ඇන්ටිගේ ඇනෙක්සියේ කල් යවලා, පස්සෙන් පහු අපේම තැනක් සෙට් කරගෙන අපි රාජා ගේ කඩේ පැත්තේ පදිංචියට ගිය කාලේ ඔන්න දවසක් කතන්දර හාමිනේට අයිඩියාස් එකක් ඇවිත් මට කතා කළා.

"කතී!"

"ඇයී?"

"මටත් හිතෙනවා කතී පෝස්ට් ග්‍රැජුවේට් කරන්න."

"ඉතිං, හරිම හොඳයිනේ."

"පෝස්ට් ග්‍රැජුවේට් ඉන්ස්ටිටියුට් එකට ගිහින් විස්තර ගන්න ඕනෑ."

"ඒක තියෙන්නේ ඔයා ගේ වැඩ පොළ ලඟ පාරෙන් එහා නිකං අල්ලපු වත්තේ වගේ නේද?"

"ඔව්."

"හොඳයි, එහෙනං ලේසියිනේ."

"එහෙනං ඔයා හෙට වැඩට හිහින් පොඩ්ඩක් කලින් එනවද මගේ වැඩපොළ පැත්තේ?"

"ඇයි ඒ?"

"අපි දෙන්නටම එතකොට යන්න පුළුවනි නේ පෝස්ට් ග්‍රැජුවේට් ඉන්ස්ටිටියුට් එකට."

"මං මොකටද? ඔයා නේ පෝස්ට් ග්‍රැජුවේට් කරන්න යන්නේ, මමයෑ, ඔයා යන්න."

"අනේ කතී එන්නකෝ!"

"මට නං එන්න විදියක් නෑ. ඔයා ගේ වැඩ පොලේ ඉඳලා මීටර් දෙසීයක් දුරින් තියෙන පෝස්ට් ග්‍රැජුවේට් ඉනන්ස්ටිටියුට් එකට යන්න ඔයාට මං නැතුව බැරි නං ළමයෝ ඔයා කොහොමද පෝස්ට් ග්‍රැජුවේට් කරන්නේ?"

ඉතිං ඒ කතාව එතනම ඉවර වුණා.

හාමිනේ පශ්චාත් උපාධි ආයතනයට ගියේ නෑ විස්තර ගන්න. ටික කාළෙකට පස්සේ අපි දෙන්නා තුන්දෙනා වුණාට පස්සේ ඒ පශ්චාත් උපාධි අදහස් කාලයේ වැලි තලාවෙන් වැසිලා ගියා.

ඔන්න මිනිස්සුන් ගේ හැටි නේද! බඳින්න කලින් ලව් කරන කාලේ නං අපායට යන්න වුනත් ඒවි. බැඳලා අවුරුද්දක් ගියෙත් නෑ, මේ පොඩි ගමණක් යන්නත් එන්න බෑ කියනවා.

මිනිස්සු වෙනස් වෙන හැටි!

-කතන්දරකාරයා

ප/ලි:
හැබැයි මේ කතන්දරේ කියවලා හිතන්න එපා මං නරක හබියෙක් කියලා. මං හාමිනේට මෙව්ව එකක් පවා අරං දීලත් තියෙනවා නේ.

අනික මේ අද වෙනකොට හාමිනේ ඔය සේරම පස්තාච්චි ජාති සමතික්‍රමණය කරලායි ඉන්නේ. කාටද ආඩම්බර!


(image: http://www.buzzinefilm.com/reviews/film-post-grad-08272009)