
හැමදාම සීය ගැන ම කතා ලියන්නෙ ඇයි නේද?
මං සීය ජෝන් මහත්තයගෙ හැකර කට වහපු හැටි ගැන ලිව්ව. සීය ගෙ ජීවිතේ දෛවෝපගත දිනයක් ගැන ලිව්ව. සීය ගෙ කෝට් එක නැතිවුණු කතන්දරේ ලිව්ව.
ඉතිං අද ආච්චිගෙ දවස!
අපේ ආච්චි ගෙ තාත්ත වෙද මහත්තයෙක්. ඒ කාලෙ ඉතිං ඉස්පිරිතාලෙ යන එකයි කොටින්ම බටහිර වෙදකමයි ගම්වල වැඩිය කෙරුණු දෙයක් නොවෙයි නෙ.
ඉතිං ආච්චි ගෙ තාත්ත ගෙන් බේත් ගන්න මිනිස්සු පිරිලා ලු උදේ හවස වෙනසක් නැතුව. විවිධාකාර මිනිස්සුන් ගෙ විවිධාකාර කතා අහන්න හැසිරීම් බලන්න ආච්චිලටත් ඒ නිසා ලැබුණා.
එක දවසක් වෙද මහත්තයගෙන් බේත් ගන්න ආපු ගමේ ලොකු පවුලක කාන්තාවක් කතා කරනව ආච්චිට ඇහිල තියෙනව ගේ ඇතුලට.
මෙන්න මෙහෙමයි එයා කතා කරල තියෙන්නෙ.
"ඒඛයෑහ්, වෙධ මහත්ථයෝහ්, මා ඊයේහ් රාඨ්රියේ පුධුමාකාර භය වීමඛ් භය වුනාහ්. මා අම්මාථ ඛඨා ඛලාහ්, ඛඨා ඛලාහ්, ඒත් ඇය ඛඨාහ් ඛලේම නෑහ්."
මං හිතන්නෙ අපේ වෙද මුත්තා හොයා ගන්න ඇති මේ ලෙඩාට තියෙන්නෙ මහාප්රාණ පිළිබඳ රෝගයක් බව!
මේ කතන්දරේ ලියන කොට මට අපේ නැන්ද කියපු කතන්දරයකුත් මතක් වුනා.
අපේ ගමේ ඉඳල තියෙනව ඒ කාලෙ ඉතා ප්රසිද්ධ භාෂා විශාරද පණ්ඩිතයෙක්. හෙළ හවුලෙ සාමාජිකයෙක් සහ කවියෙක්. එයාගෙ දුව අපේ නැන්දගෙ යාළුවෙක්.
ඉතිං මේ භාෂා විශාරදය කලකට පස්සෙ මිය ගියා. අපේ නැන්දත් ගියා අවමගුලට. එදා තාත්තගෙ ශරීරය ආදාහනය කරන වෙලේ චිතකය ගිණි ගනිද්දී එයා ගෙ දුව ඇඬුවෙ මෙහෙමළු.
"පියාණනි, පියාණනි, අහෝ කෙතරම් ඛේද ජනකද?"
"අහෝ! අහෝ!! අහෝ ඇවිලෙන ගිනි ජාලය!!!"
කොහොමද දුවගේ භාෂා විලාශය!
කතන්දරකාරයා