Monday 31 May 2010

දුප්පත් පෝසත් ලව් පටලැවිලි - මගේ සමීක්‍ෂණය ගැන වචනයක්


මං ඉරිදා පටන් අරගෙන මේ දිනවල ජයටම කෙරීගෙන යන ලව් ස්ටෝරීස් ගැන සමාජ මත විමසුම ගැන පොඩි වචනයක් කියන්නයි මේ ලියන්නේ.

මේ වෙන කොට සෑහෙන ගානක් තමන්ගෙ මතය ප්‍රකාශ කරක තියෙනව.

නමුත් මට ලැබිල තියෙන සමහර ප්‍රතිචාර වලට අනුව නං සමහරු ටිකක් පොට වරද්දගෙන වගෙයි පේන්නෙ.

මගේ මුල් ලිපියෙ මං කිව්ව විදියට, ලව් ස්ටෝරීස් වට්ටෝරු තුනක් තියෙනව. ඒවායින් වැදගත් දෙක ගැන තමයි මගේ සමීක්‍ෂණය. ඒකියන්න කොල්ල පොසත් කෙල්ළ දුප්පත් කතන්දර සහ කෙල්ල පොසත් කොල්ල දුප්පත් කතන්දර අතර තමයි මේ කෝකද හොඳ කියල හොයන්න යන්නෙ.

තුන්වැනි වර්ගය, ඒ කියෙන්නෙ දෙන්නගෙම වත්කම් සමාන ස්ටෝරීස් වල ඇති වැදගම්මක් නෑ. ඒ වගේ කතා ලියවෙන්නෙත් නෑ. ලියවුනත් කියවෙන්නෙත් නෑ. කියෙව්වත් නීරසයි!

කතන්දරයක රසය මතුවෙන්න නම් ගැටුමක් තියෙන්න ඕනැ බව දන්නෙ නැද්ද, හැබෑටම?

අනිත් එක තමයි මේ පෝසත් දුප්පත් කියන සංකල්ප සාපේක්‍ෂයි කියලත් සමහරුන්ට අමතක වෙලා. බිල් ගේට්ස් ට සාපේක්‍ෂව මුළු ලෝකෙන් එක් කෙනෙක් හැර දුප්පත් නේද?

තවත් හිනා යන වැඩක් තමයි සමහරු කියනව - මං කැමති මෙන්න මේකටයි, ඒකත් දාන්නකො තියෙන options අතරට කියල.

හරියට අපි ඡන්දෙ නේන ගියාම අපිට ඕනෑ අයිඩියල් අපේක්‍ෂකයාගේ නම ඡන්ද කොලේ තිබුන වගේනේ කතාව, නේද?

කතන්දරකාරයා

Sunday 30 May 2010

ඡන්ද ප්‍රතිඵල විකාශන ඇන්ටර්ටේන්මන්ට් - හන්දියේ හෝටලේ චූ කතාව


සිංහල බ්ලොග් බලන ජනතාව වඩා කැමති කෙල්ල පෝසත් කොල්ල දුප්පත් ලව් ස්ටෝරීස් වලටද නැතිනම් කොල්ල පෝසත් කෙල්ල දුප්පත් ලව් ස්ටෝරීස් වලට ද යන්න සොයා ගැනීමේ මහා සමීක්‍ෂණය පැවැතවෙන බව දැන් මං දෙතුන් පාරක්ම කියලා කියලා එපා වෙලා ඇතිනේ.

මේ ඡන්ද ප්‍රතිඵල එනතුරු මෙකුත් ඇන්ටර්ටේන්මන්ට් කෑලි නැද්දැයි සයිබර් යාය ලියන කෙසෙල් කොටුවේ චූටි මහත්තයා අසා තිබේ.

මාසයක් මැලේසියාවේ හනිමූන් කා නොබෝදා පෙරලා ලංකාවට පැමිණි මුන්නැහේව අපි කොයි ලෙසින් ඇන්ටර්ටේන් කරන්නදැයි මට නොසිතේ.

කෙසේ වෙතත් හුදී ජන පාං සංවේගය පිණිස මෙන්න මේ පරණ කතාව ඇද බාන්නට සිතුවෙමි.

=====හන්දියේ හෝටලේ චූ කතාව==================

ඔන්න දුර ගමන් යන බස් පාරක එක් අප්‍රධාන හන්දියක පොඩි කඩයක් පටන් ගෙන තිබුණා. මුලින් ගමේ අයියලා බීඩියක් ගන්න, කහට එකක් බොන්න තමයි මෙතනට ආවේ.

පස්සෙන් පහු ඉඳහිට ලොරියක් දෙකක් නතර කරන්න පටන් ගත්තා. ඔන්න කඩේ ටික ටික දියුණු වෙනවා. කඩේ කරපු සිමියොන් අයිය සිමියොන් මුදළාලි වුනා. තේ ගහන්න කොල්ලෙක් ගත්තා. සීනි බනිස් දාන්න වීදුරු ෂෝ කේස් එකක් ගත්තා. පොඩියට කක්කුස්සියකුත් හැදුණා, කඩේට ගොඩ වෙන අයට එළියට පහලියට යන්න.

ඔන්න ඊට පස්සෙ මෙතන බස් නවත්තන්න ගත්තා. දවසකට දෙක තුනක්. බිස්නස් දැන් සරුයි.

මේ අව් අස්සෙ අල්ලපු ගමේ පොරකටත් පොඩි බිස්නස් අයිඩියා එකක් ආවා. මොකක්ද දන්නවද? මෙතනම තව තේ කඩයක් දාන්න.

හැබැයි මේ අළුතින් දාපු තේ කඩේට හැදුවෙ නෑ කක්කුස්සියක් අළුතින්. මෙතන තේ බොන අයත් යන්නෙ අර සිමියොන් ගේ කඩේ පිටිපස්සෙ තියෙන එකටමයි.

සිමියොන් ට මාර ජුවල්.

ඇයි වදේ, බිස්නස් දෙකෙන් එකට බැස්සා, ඒ මදිවට අළුත් කඩෙන් ගල් බනිස් කාල කහට ගහපු උනුත් චූ කරන්න එන්නේ තමන්ගේ තැනටයි.

ටික දවසකට පස්සෙ මෙන්න බොලේ කක්කුස්සියෙ දොරේ එල්ලා පොඩි පහේ දැන්වීමක්.

"අල්ලපු කඩෙන් තේ බී, මේ වැසිකිලියේ මුත්‍රා කරන්නා ද්‍රෝහියෙකි!"

=======පරණ ලංකාදීප පත්තරකින් උපුටා ගත්තකි===========

තවත් දන්න ඇන්ටර්ටේන්මන්ට් ස්ටෝරීස් හෙම තියෙනවනං ලියල යන්න.

ආ! වෝට් කරන්නත් අමතක කරන්න එපා.

කතන්දරකාරයා

කෙල්ල/කොල්ල/දුප්පත්/පෝසත් - සමීක්‍ෂණය දැන් ජයටම


කෙල්ල දුප්පත් කොල්ල පෝසත් ලව් ස්ටෝරීස් ද එහෙමත් නැත්තං කොල්ල දුප්පත් කෙල්ල පෝසත් ලව් ස්ටෝරීස් වලටද වැඩි පාඨක මනාපය තියෙන්නේ?

මට හිතෙන විදියට ඕකට තමන් කවුද කොල්ලෙක් ද කෙල්ලෙක් ද කියන එකත් බලපානවා.

මේ ගැන මං ලියූ හැඳින්වීම මෙතනින් බලන්න.

ඉතිං, මං අද උදේ මේ ගැන පොඩි සමීක්‍ෂණයක් පටන් ගත්තා.

තාම මේ සමීක්‍ෂණයට සහභාගී වුනේ නැත්තං වෝට් කරන්නකෝ - ඔය දකුණු අත පැත්තේ උඩින්ම තියෙන්නේ ප්‍රශ්ණෙ අහල උත්තර හතරත් එක්ක.

මේ වෙන කොට වෝට් කරපු අයට ඔන්නං වත්මන් ප්‍රතිඵලය බලාගන්නත් පුළුවනි.

ස්තුතියි. I love you!

කතන්දරකාරයා

පෝසත්, දුප්පත් ලව් ස්ටෝරීස් - මහා සමීක්‍ෂණය දැන් පැවැත්වේ!


ලව් ස්ටෝරීස් ප්‍රධාන වර්ග දෙකක් තිබේ. එක වර්ගයක කොල්ලා පෝසත්ය කෙල්ල දුප්පත්ය. අනිත් වර්ගයේ කෙල්ල පෝසත්ය, කොල්ලා දුප්පත්ය.

මේ ගැන මං ලියූ පොඩි හැඳින්වීමක් මෙතනින් කියවන්නට පුළුවන්.

මේ දෙවර්ගයෙන් ජනතාව වැඩියෙන් කැමති කොයි වර්ගයටද කියා සොයා බලන්න සිංහල බ්ලොග් පාඨක පිරිස අතර මේ ගැන සමීක්‍ෂණයක් තියන්න මට හිතුණා.

ඉතිං හොඳ ළමයි වගේ ඔය දකුණු අත පැත්තේ කොලම් එකේ උඩින්ම තියෙන ප්‍රශ්නෙට උත්තර දීල යන්නකෝ.

අවංකවම උත්තර දෙන්න. තමන් කොල්ලෙක් ද කෙල්ලෙක් ද කියල කියන එකත් මේ සමීක්‍ෂණයේ වැදගත් අංගයක්.

තෑන්ක් යූ එකක් නොව දෙකක් ම වේවා!

කතන්දරකාරයා
ප/ලිඃ
ඔන්න මං ඉස්සිස්සෙල්ලාම වෝට් කළා! මේ වෙනකොට "සූ ගාල බර ගානක්" ඡන්දය දමා තියෙනවා.

පෝසත් කෙල්ලයි දුප්පත් කොල්ලයි ද? දුප්පත් කෙල්ලයි පෝසත් කොල්ලයි ද?


ඔය ලව් ස්ටෝරීස් තියෙනව නේද? ඕව ලියන එක එක වට්ටෝරු තියෙනව. ඒ මොන වට්ටෝරුව අනුව ලිව්වත්, ලව් ස්ටෝරීස් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වර්ගීකරණය කරන්න පුළුවන්.

පලමුවෙනි වර්ගය තමයි පෝසත් කෙල්ලෙකුයි දුප්පත් කොල්ලෙකුයි අතර ඇතිවන ආදර සම්බන්ධකම් ගැන කියවෙන ලව් ස්ටෝරීස්. දෙන්නගෙ ආර්ථිකේ එහෙම වෙනස් වෙලා විතරක් මදි, ඒ අසමානතාවය ලව් ස්ටෝරියට බලපාන්නත් ඕනැ. දන්නවනෙ, කෙල්ලගෙ තාත්ත කියනව "උඹ ඌ එක්ක ගියොත් මගෙන් සතයක් වත් හම්බවෙන්නෙ නෑ!" කියල. කෙල්ල කියනව කොල්ල එක්ක "මට පුළුවන් ඔයා එක්ක ගිහින් සම්බෝලයි බතුයි හරි කාල ජීවත්වෙන්න!" කියල. අන්න ඒ ජාතියෙ කතා.

දෙවෙනි වර්ගය තමා මේකෙ අනිත් අන්තය, ඒ කියන්නෙ, දුප්පත් කෙල්ලෙකුයි පෝසත් කොල්ලෙකුයි අතර ඇතිවෙන ආදර සම්බන්ධකම් ගැන කියවෙන ලව් ස්ටෝරීස්. නැවතත්, සල්ලි ඇති නැති පරතරය, ලව් ස්ටෝරි එකට බලපාන්න ඕනැ. කොල්ල කාරෙකෙන් එනව කෙල්ල බලන්න. කෙල්ලගෙ ගෙදරින් අකමැතිම නෑ. "දුවේ, ඔය සල්ලිකාරයො විශ්වාස කරන්න පුළුවන්ද?" කියල කෙල්ලගෙ අම්ම අහනව. "මට එයා ඉර හඳ වගේ විශ්වාසයි අම්මෙ!" කෙල්ල කියනව. දන්නවනෙ මේ ජාතියෙ කතා.

එච්චර වැදගත් නැතිවුනත් තුන්වෙනි ලව් ස්ටෝරීස් වර්ගයකුත් තියෙනව. ඒ තමයි කෙල්ලගෙයි, කොල්ලගෙයි ආර්ථික තත්වය ආදර සම්බන්ධයට බලපාන්නෙ නැති ලව් ස්ටෝරීස්. එහෙම වෙන්න නම් අනිවාර්යයෙන්ම එක්කො දෙන්නම දුප්පත්, නැත්නම් දෙන්නම පෝසත් වෙන්න ඕනැ. එහෙම නැතුව පොඩ්ඩක් හරි ඇති නැති පරතරයක් දෙන්න අතර තිබුනොත් ඉතිං ඕක කොහෙන් හරි කොනකින් ඇදිල එනවනෙ රියලිස්ටික් ලව් ස්ටෝරීස් වල!

අපි දන්න කෙල්ල පෝසත්, කොල්ල දුප්පත් වර්ගයේ ලව් ස්ටෝරීස් ගැන පොඩ්ඩක් හිතල බලමු. චුල්ලපදුම කුමාරයගෙ බිසවගෙ දෙවෙනි ලව් එකේ, පටාචාරා ගෙ කතාවෙ ඉඳල, කුමාර කරුණාරත්න ගේ, එඩ්වඩ් මල්ලවාරච්චි ගේ වගේම මං කියවලා නැති සුජීව ප්‍රසන්නආරච්චි ගේ නවකතාවල මේ වගේ ලව් ස්ටෝරීස් ගොඩක් තියෙනව. බොහොමයක් කතන්තර ඉතිං සුඛාන්ත තමයි. හැබැයි, සමහර ඒවා දුඛාන්ත.

අනිත් පැත්තෙන් බැලුවොත්, කොල්ල පෝසත් කෙල්ල දුප්පත් වර්ගයේ ලව් ස්ටෝරීස් ගැන -බුදු අම්මෝ, මේව තමයි වැහි වැහැල තියෙනේනෙ. මල් කතා, ටෙලි නාට්‍ය ඉතිං බොහොමයක් මේ කැටගරි එකේ තමයි.

ටික කාලෙකට කලින් මට මේ සම්බන්ධයෙන් ආව පොඩි ප්‍රශ්ණයක්. ඒක තමයි අර මුල් දෙවර්ගයේ ලව් ස්ටෝරීස් වලින් කොයි වර්ගය වඩාත් තාත්වික ද කියන එක තෝරා බේරා ගන්න. ඒ කියන්නෙ පෝසත් කෙල්ලයි දුප්පත් කොල්ලයි ඉන්න ලව් ස්ටෝරීස් ද වඩා රියලිස්ටික් නැත්නම් දුප්පත් කෙල්ලයි පෝසත් කොල්ලයි ඉන්න ලව් ස්ටෝරීස් ද කියන ප්‍රශ්ණය.

ඔන්න ඔය ප්‍රශ්ණෙට පිලිතුරු හොයාගන්න මං මීට අවුරුදු කීපයකට කලින් පොඩි සමීක්‍ෂණයක් කළා, මං දන්න දන්න අය අතරේ.

ඒකෙන් සොයාගත්තු කරුණු සහ නිගමන ගැණ කියන්න කලින් මට හිතුන, සිංහල බ්ලොග් පාඨක පිරිස අතර මේ ගැන සමීක්‍ෂණයක් තියන්න.

ඉතිං හොඳ ළමයි වගේ ඔය දකුණු අත පැත්තේ කොලම් එකේ උඩින්ම තියෙන ප්‍රශ්නෙට උත්තර දීල යන්නකෝ. අවංකවම උත්තර දෙන්න. තමන් කොල්ලෙක් ද කෙල්ලෙක් ද කියල කියන එකත් මේ සමීක්‍ෂණයේ වැදගත් අංගයක්.

තෑන්ක් යූ එකක් වේවා!

කතන්දරකාරයා
ප/ලිඃ
ඔන්න මං ඉස්සිස්සෙල්ලාම වෝට් කළා!

Saturday 29 May 2010

වැසිකිලියට තවත් නම්


මගේ චමරියේ කතා සීරිස් එකේ දෙවෙනි කොටස සහ චූ කතා සීරිස් එකේත් දෙවන කොටස විදියට මං ලියපු චමරියක තව කතාවක් -අපි චූ කළ හැටි කියන කතන්දරේ ලියන්න මං රී-සර්ච් කරන කොටයි මට මේ කෙටි ලිපියට කරුණු හම්බ වුනේ.

සාමාන්‍යයෙන් අපේ ජීවිතවලට වඩාත් සම්බන්ධ දේවල් ගැන විස්තර කරන්න තියෙන වචන ගාන වැඩියිනේ අනිත් ඒවට වඩා. ඉර, සඳ, බුදුහාමුදුරුවෝ වගේ වචන වලට සමාන වචන කොයි තරම් තියෙනවද?

ඒ වගේ අපේ ජීවිත වලට කිට්ටු දෙයක් තමයි වැසිකිලි. මෙන්න බලන්න වැසිකිලිය කියන වචනෙට සමාන තේරුම ඇති වෙනත් සිංහල වචන කීයක් තියෙනවද කියල.

වැසිකිලිය
වැසිකිලි කාමරය
දිය ගේ
කක්කුස්සිය
කක්කූසිය
මජෝර
මඩොර
විකිලිය
නාන කාමරය
බට නිලය
ලැට් එක
බාත්රූම් එක
........... බුදු අම්මෝ!

කතන්දරකාරයා
(මේ සඳහා උපකාරී වුනේ මුද්‍රිත, ඔන් ලයින් සහ මධුර ශබ්දකෝෂ බව සිහිපත්කරමි.)

Friday 28 May 2010

කතන්දරකාරයා කතන්දර හාමිනේ ට ලියූ නාඩගම් ගීතය


මේ සටහන පලවෙන්නේ කතන්දරකාරයා සහ හාමිනේ ගේ අද (මැයි 28) දිනට යෙදෙන විවාහ සංවත්සරය නිමිත්තෙනි.

කතන්දරකාරයා කවිවලටත් කැමති බව මේ බ්ලොග් එක මුල ඉඳලා කියවන අය නං දන්නවානේ.

අද මෙන්න බලාගන්න, කතන්දරකාරයා පෙම්බර සිතින් යුතුව කතන්දර හාමිනේ වෙනුවෙන් ලියූ නාඩගම් ගීතය.

======================
විඩා නිවා මා හද සනසන්නී
සිතට සෙමෙර රන් පවන් සලන්නී
සදාතනික සෙනෙහස ගෙන එන්නී
මා පෙම්බර දේවී
මා පෙම්බර දේවී

විසිර දුවන සිත රන්දා
හසරැලි මල් මුව බන්දා
සඳ සිසිලස මුදු පහස දෙවන්නී
මා පෙම්බර දේවී
මා පෙම්බර දේවී

ගිම්හානය නෙත දවනා
සන්තාපය හද පෙලනා
සිඳ අමරස සුව සිසිල සදන්නී
මා පෙම්බර දේවී
මා පෙම්බර දේවී
======================

හොඳයි නේද?

කවද හරි ඕක සින්දුවක් විදියටත් කියන්නයි ඉන්නේ. තනුව සහ සංගීත රචනය - ෂෙල්ටන් ප්‍රේමරත්න මාස්ටර්.

මාස්ටර් ගෙ තනුව අනුව එයා ඕක මෙන්න මේ විදියට වෙනස් කලා.

======================
විඩා නිවා මා හද සනසන්නී
සිතට සෙමෙර රන් පවන් සලන්නී
සදාතනික සෙනෙහස රිවි කිරණ ගෙනෙන්නී
මා පෙම්බර දේවී
මා පෙම්බර දේවී

විසිර දුවන සිත රන්දා රන්දා
හසරැලි මල් මුව බන්දා බන්දා
සඳේ සිසිල මුදු පහසින් දොවනා
මා පෙම්බර දේවී
මා පෙම්බර දේවී

ගිම්හානය නෙත දවනා දවනා
සන්තාපය හද පෙලනා පෙලනා
නැතේ මෙදින ඔබ සිටිනා හන්දා
මා පෙම්බර දේවී
මා පෙම්බර දේවී
======================

තවත් හොඳයි නේද?


-කතන්දරකාරයා

Thursday 27 May 2010

මං හොඳ වෙන්න උත්සාහ කරන කෙනෙක්


අද කතන්දරේ පටන් ගන්නේ අග ඉඳලා මුලට කියන්නයි.

එක්තරා වෙලාවක මගේ කටින් අවංකවම පිටවුනු - මං හොඳ වෙන්න උත්සාහ කරන කෙනෙක් - කියන ප්‍රකාශය මගේ ජීවිතයේ වැදගත් වෙනසක් සිදු කළා.

ඒ ගැන විස්තර කියන්න කලින්, අහල තියෙනවද බලන්න මෙන්න මේ කතාව?

ඔන්න හොඳ අඹ යාළුවෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ඉතාමත් හොඳ ධාර්මික ජීවිතයක් ගත කලේ. සුරා සූදු නෑ. අඩි පුඩි නෑ. අවලං වැඩ නෑ. නිකං බෝ පැලයක් වගේ කෙනෙක්.

ඒකටත් එක්ක අනිත් එකා හරිම පව්කාරයා. පොතේ තියෙන සේරම නරක වැඩ ටික කළා. දුම දාගෙන, බෝතලේ ඇරගෙන, බ්ලූ බල බල, .., .., .., යනාදී වශයෙන්.

ඔන්න ඉස්සෙල්ලාම ධර්මිෂ්ඨ පොර මළා. ටික දවසකින් අනත් එකාත් අවසන් ගමන් ගියා.

පව්කාරයා ගියේ දිව්‍යලෝකෙයි. ධර්මිෂ්ඨයා අපායටයි.

මේ කතන්දරේ හැටියට, මේකට හේතුව තමයි පව්කාරයා නරක වුනත් ආශ්‍රය කලේ හොඳ මිනිහෙක්ව. ධර්මිෂ්ඨයා හොඳ එකා වුනාට, ආශ්‍රය කලේ පව්කාරයෙක්.

මෙහෙමයි. අපි කවුරුත් පරිපූර්ණ මිනිස්සු නෙමේනේ. මාර්ග ඵල ලබල නෑනේ. කා අතිනුත් වැරදි වෙනවා. නමුත් වැදගත් දේ තමයි, ඒ වැරදි ඉදිරියට නොවෙන්න කටයුතු කරන එක.

මං මුලින් කිව්ව වගේ එක දවසක, සාමාන්‍ය කතා බහක යෙදිල ඉන්න අතරේ, මං කිව්වා මෙන්න මෙහෙම.

මං නං කියාගන්නෙ නෑ, මං හොඳම හොඳ කෙනෙක් කියලා. ඒත් මං හොඳ වෙන්න අවංකවම උත්සාහ කරන කෙනෙක් කියල නං කියන්න පුළුවන්.

ඉතිං ඔය කතාවෙන් සති කීපයකට පස්සේ, මා අතින් කලින් දවසක සිදුවුණු වැරදි වැඩක් එළිදරව් වුනා.

මං බොරු හදල නිදහසට කරුණු කියා පාන්න ගියේ නෑ.

හැබැයි මට මතක් වුණා, මං සති කීපයකට කලින් කියපු අර කතාව. මං ඒ කතාව මතක් කළා.

දන්නවද වුණු දේ.

මට සමාව ලැබුණා.

පව්කාරයා දිව්‍යලෝකෙ ගියා වගෙයි නේද?

මේ වෙසක් පෝය දවසේ සැමට ශාන්තියද, ලොවට සාමයද පතමි.

කතන්දරකාරයා
p/s:
මෙන්න මං එකම ලින්ක් එකක්වත් නැති පෝස්ට් එකක් දැම්මෝ!

Wednesday 26 May 2010

මෙන්න තවත් බුද්ධාගම පාඩමක කතන්දරයක්



මේ ලෝකේ සිද්ධවෙන බොහොමයක් දේවල් එකක් නිසා තවත් එකක් වෙලා දිගෙන් දිගට වැල වගේ ඇදෙන දේවල්. හරියට අර පටිච්චසමුප්පාදය එහෙම නැත්තං හේතුඵලවාදය වගේ.

කතන්දර කීමත් ඒ වගේමයි.

ඔන්න චූටි ටීචර් අර සාම්පූර් කතන්දරේ ලිව්ව, ඒක දැකල ඉන්දික උපශාන්ත කාරය ඉරාක් කතන්දරේ ලිව්ව, ඒක හින්ද මං ලැජ්ජ නැතුව ජාතක වුනු කතන්දරේ ලිව්ව, ඒක හින්ද තමයි මේ අද බුද්ධාගම පාඩමේ කතන්දරේ ලියන්න මග පෑදුනේ.

මෙතනින් කොහේට ඇදිල යයිද දන්නෙ නෑ. බලමු බලමු.

ඉස්සර අර අමාරිස් අයිය කිව්ව වගේ කොච්චර කොහේ ගියත් අන්තිමේදී තොටලඟට එන්න එපායැ.

ඉතිං ළමයිනේ, මෙන්න මේකයි අද මං කියන බුද්ධාගම පාඩමේ කතන්දරේ.

අර නන්ද හාමුදුරුවන්ගෙන් බැනුම්, ගැරහීම් ලැබීම කෙසේ වෙතත්, කතන්දර කුමාර හතේ පන්තිය පලමුවෙනියට පාස් වෙලා අටේ පන්තියට ගියා. හැබැයි, පහේ පන්තියෙදි 87% ක් ලකුණු ගත්තු මගේ සාමාන්‍යය දැන් 75% ට විතර අඩුවෙලා. ඒකට මොකෝ? අපේ අධ්‍යාපන ක්‍රමය අනුව වැඩියෙන් වැදගත් පන්තියෙ පලවෙනියා වෙන එකනේ! මාත් හැපී, අපේ ගෙදරත් හැපී, නෑදෑයොත් හැපී.

හතේ පන්තියෙදි මට ඉසිපතනය ට නම වැටුණු හැටි මගේ මතකයේ නොරැඳීම නිසා බුද්ධාගම උගන්නපු නන්ද හාමුදුරුවන්ගෙන් අපහාස විඳින්න වුනේ, මං පන්තියෙ පොරක්ය කියන එක උන්නාන්සෙ දැනගෙන හිටියෙ නැති නිසයි. දන්වනං ඔය ප්‍රශ්ණෙ අහන්නෙ මගෙන් නෙමේ අර සුලි දෙකේ බලි කටා කතන්දරේ හිටපු කොල්ලො දෙන්නගෙන් එකෙක්ගෙන්.

ඒකටත් එක්ක අපිට අටේ පන්තියෙදි බුද්ධාගම උගන්වන්න ආපු අබේසිංහ ටීචර්. අනේ අපූරු ටීචර්. එයා හොඳින් දැනගෙන හිටිය පන්තිය කරගෙන යන්න ඕනැ විදිය. කවදාක්වත් මගෙන් ඔය අනවශ්‍ය ප්‍රශ්ණ අහන්න ආවෙ නෑ.

පන්සිල් ගත්තාම, මල් පූජා කළාම පින් සිද්ධ වෙනව වගේ ගාථා කිව්වහමත් පින් සිද්ධ වෙනවනේ. අහල තියෙනවා නේ ඒ ගැන නේද?

ඉතිං, ඕක හින්ද වෙන්න ඇති අපිට ඒ දවස්වල ඉස්කෝලෙදි බුද්ධාගම විෂයයට ගාථා කට පාඩම් කරන්න කියන්නෙ.

ඔන්න දවසක් අබේසිංහ ටීචර් අපිට නියම කළා මොනව හරි ගාථා දෙකක් පාඩම් කරගෙන එන්න කියල. මං හිතන්නේ ධම්ම පදයෙ, යමක වග්ගයෙන් වෙන්න ඕනැ.

මට ඒ බව මතක් වුනේ, ඊලඟට බුද්ධාගම තිබුණු දවසෙ ටීචර් පන්තියට ඇවිල්ල පාඩම පටන් ගත්තු වෙලෙයි. මළ කෙලියයි නේද? අදත් පුටුව උඩ නගින්න වෙයිද කතන්දර කුමාරට?

ඒ කිසි අවුලක් වුනේ නෑ මෙදා.

ඔන්න අබේසිංහ ටීචර් කිව්ව පන්තියෙ ළමයි හැමෝගෙන්ම ගාථා පාඩම් ගන්නවයි කියල. පන්තියෙ හිටියනේ තිස් පස් දෙනෙක් විතර. එක්කෙනෙකුට ගාථා පහ කියන්න විනාඩි දෙකක් ගියොත් මේ විභාගෙට පැය එකයි කාලක් යනව.

අබේසිංහ ටීචර් හරිම නුවණක්කාරී. එයා කිව්ව මෙහෙම.

"හොඳයි කතන්දර කුමාර පිරිමි ළමයි ගෙන් ගාථා කට පාඩම් කරලද බලන්න. ගෑනු ළමයි එක්කෙනා එක්කෙනා එන්න මට ඇවිත් පාඩම දෙන්න."

ඉතිං මං පන්තියෙ ඉස්සරහ පුටුවක් තියං වාඩිවෙලා ඉන්නව නිකං මනමේ කුමාරය වගේ. කොල්ලො ටික පන්තියෙ වාඩිවෙලා ඉන්න අනුපිළිවෙලට එක එකා මා ගාවට ඇවිත් ගාථා කියනව.

මං බුද්ධාගම පොත අතේ තියන් කොල්ලො කියන ඒවා හරිද බලනවා.

පන්තියෙ කොල්ලො පාලොස් දෙනෙක් එක්ක ඔය වැඩේට මට පැය භාගෙකටත් වැඩිය ගියා. පීරියඩ් එක ඉවර වෙන්නත් ලඟයි.
අන්තිමේදී අබේසිංහ ටීචර් කිව්ව මට ඇවිත් එයාට පාඩම දෙන්න කියල.

මොනවද ඉතිං අහිංසක කුමාරය දිසාපාමොක් ඉස්සරහ ශිල්ප දක්වනව වගේ තමයි. පාලොස් පාරක් කොල්ලො ගාථා කියන හැටි අහං හිටපු, ඒ හැම පාරම අතේ තිබුණු පොත බලාගෙන හිතෙන් කියවපු කතන්දර කුමාරයට, ඕක හාඩ් ඩිස්ක් එකට rip කරගන්න එක මහ කජ්ජක් යැ.

මේ සේරම වැදගත් සහ නොවැදගත් සිදුවීම් සේරම සේව් කරගෙන දැන් නං හාඩ් ඩිස්ක් එක හොඳටම පිරිල. අදවත් රෑට අර මතකය දියුණු කරන හැටි තියෙන පොත හොයාගෙන කියවන්න මතක තියාගන්න ඕනැ.

කතන්දරකාරයා

Tuesday 25 May 2010

කතන්දරකාරයා - විලි ලැජ්ජාවක් නැති එකා


මේ කතාව මතක් වුනේ චූටි ටීචර් එවපු සාම්පූර්වලට බෝම්බ ගහපු කතාව කියවලා ඉන්දික උපශාන්ත ලියල එවපු ඉරාකෙට බෝම්බ ගහපු කතන්දරේ බ්ලොග් එකට දාන්න සකසන වෙලේයි.

ඒත් අදම මේක දාන්න ඕනැ කියල හිතුනෙ නං ඔය කියපු ඉරාකෙට බෝම්බ කතන්දරේ බුද්ධාගමට පහර දෙන්න බලං ඉන්න අයට උදව් දෙන කැත වැඩක් කියල මට බැනල Katz කියන හාදය දාපු කමෙන්ට් එක බලපු වෙලෙයි.

බුදු අම්මෝ, මං ඊලඟට දාපු කතන්දරෙන් ලංකාවේ පොලීසියටත් අපහාස කරලා නොවැ.

ඇයි දුටුගැමුණු ට අපහාස කළ හැටි.

ශිෂ්‍ය නායකයින් ට අපහාස කළ හැටි.

එතකොට, නපුරු ගුරුවරුන් ට අපහාස කළ හැටි.

කතන්දර කියල ඉවරයි රජෝ!

ඕකෙං මේකෙන් පටන්ගන්න යන කතන්දරෙත් අමතක වෙනව. කෙටියෙන් කියන්නං.

පොඩි පන්තිවල නං අපිට ඉංගිරිසි හැර අනිත් හැම විෂයයක්ම ඉගැනුවෙ පන්තිය බාර ගුරුවරයා නොවැ. ඒත් ලොකු පන්තිවලදි, ගණිතයට, විද්‍යාවට, සමාජ අධ්‍යයනයට වගේ හැම විෂය ගුරුවරයෙක් ඉන්නව.

මෙකෙන් වෙන දේ තමයි, මේ ගුරුවරු තමන්ට බාර පන්තිය හැර, වෙනත් පන්තිවලට තමන්ට නියමිත විෂයය උගන්වන්න ගියාට ඒ පන්තියෙ ඉන්න ළමයින් අතරින් පොර ළමයි කවුද කියල අඳුනන්නෙ නැති එකයි.

හතේ පන්තියෙදි අපිට බුද්ධාගම උගන්වන්න ආවෙ, නන්ද හාමුදුරුවෝ.

පාඩම යන වෙලේ මගේ සිහිය ඉතිං වෙනදා වගේම "දුරං ගමං ඒක චරං" ද කොහෙද කියනවා වගේ වෙන ලෝකෙක තිබුණෙ.

ඒක දැකල වෙන්න ඇති පොර මගෙන් ප්‍රශ්ණයක් ඇහැව්ව මෙන්න මෙහෙම.

"ඉසිපතනයට ඒ නම යෙදුනේ මොකක් හින්දද?"

හාමුදුරුවො උගන්වපු පාඩම අහං හිටිය නං ඕකට උත්තරේ මට කියන්න තිබුණ. නමුත් ඉතිං "සිත හීලෑ නෑ, හරිම මුරංඩුයි තැන තැන ඇවිදිනවා" නේ! මං උත්තරේ දැනගෙන හිටියෙ නෑ.

මෙන්න බොලේ පොර එතකොට කියපි.

"ඔහොමද පන්තියෙ පාඩම අහගෙන ඉන්නේ? නගිනව පුටුව උඩට!" කියල.

මුළු පන්තියම තක්බීර් වුනා. කතන්දර කුමාර තමයි පන්තියෙ පොර ළමයා. වැඩ කාරයා සහ වාර විභාග වලින් නොකඩවා පලමුවෙනියා.

මං කලින් කිව්ව වගේ, ඔතන වරද වුනේ, හාමුදුරුවෝ ඔය බව දැනගෙන හිටියෙ නෑ!

මං තුමා ප්‍රශ්ණයට අති සාර්ථකව මුහුණ දුන්නා. වැඩි බැලිල්ලක් ඇඹරිලක් නැතුව කෙලින්ම නැග්ග පුටුව උඩට. සමහර විට පොර හිතන්න නැතුව ඇති මං ගට ඇතුව එහෙම කරයි කියල.

මෙමරි ගේම්වලට දඬුවම් දීම එදත් අදත් තේරුමක් නැති වැඩක්. එත් ඔය දඬුවම නං කමක් නෑ කියමුකෝ.

පොර ඊලඟට කියපු කතාව තමයි අන්තිම පාහර කතාව.

"ලැජ්ජ නැතුව නැග්ග හැටි පුටුව උඩ. විලි ලැජ්ජාවක් නැති එකා! තමුසෙව ජාතක කරන්න ඇත්තෙත් ඔය වගෙම ලැජ්ජ නැතුව වෙන්න ඇති".

ඔය වෙන කොට මගෙ වයස අවුරුදු දොලහක් විතර. පොර කියපු ඒ කුණුහරුප කතාව මට නිවරැදිව තේරුණේ ඊට පස්සෙ කාලෙකයි.

කතන්දරකාරයා

ප/ලිඃ
මෙදා පාරත් වෙසක් පෝයට සිල් දානෙට ෆෲට් සැලඩ් අපේ සමිතියෙන්.

ප/ප/ලිඃ
ඔය උඩ තියෙන ප/ලි කෑල්ල ලිව්වේ මගේ හිත සංසුං කරගන්නයි.

Monday 24 May 2010

ඡායාරූපයක කතන්දරයක්



සිංහල බ්ලොග් අතර කතන්දර බ්ලොග් වගේම කවි බ්ලොග්, ඡායාරූප බ්ලොග් වගේ දේවලුත් තියෙනවානේ.

අද මෙන්න මගෙන් ඡායාරූපයක් මත පදනම් වූ කතන්දරයක්. වෙන වචනවලින් කියනව නං පහුගිය දවස්වල ඊ-මේල් වලින් ආපු ඔය උඩ තියෙන ෆොටෝ එක දැක්කහම මට මෙන්න මේ කතන්දරේ මතක් වුනා.

ඔන්න කාලෙකට ඉහත දවසක අපේ කෝට්ටේ නිවස හොරු බින්දා. අපි ගමණක් ගිහින් එන කොට හොර අංකල් ලා ඇවිල්ලා සේරම වටිණ දේවල් අත පත ගාගෙන ගිහිල්ලා ඉවරයි.

මං ඉතිං වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කළා.

වෙන වෙන වැරදි දේවල්වලට අහුවෙන මිනිස්සු පාපෝච්ඡාරණයක් කළොත් අපේ හොරකම් කරපු බඩු හම්බ වෙන්ණ ඉඩ තියෙනව කියල කිව්ව, මගේ පැමිණිල්ල ලියාගත්තු සාජන් කාරයා.

සතියකට විතර පස්සෙ මං වාහනේ යනකොට වැලිකඩ හන්දයෙ දැකල පුරූදු මූණක්. බැලින්නං කවුද මේ පාරෙ මැද්දෙ ඉඳන් වාහන හසුරුවන්නෙ.

පොලිසියෙ ක්‍රයිම් බ්‍රාන්ච් එකේ සාජන් කාරයා.

මං හිතන්නෙ රෑට වෙන්න ඇති උන්නැහෙලා ක්‍රයිම් ඉන්වෙස්ටිගේට් කරන්නෙ!

කාට කියන්නද ආයිබෝං ඔව්වා.

කතන්දරකාරයා

සාම්පූර් වලට පස්සේ - ඉරාකෙට බෝම්බ ගහපු හැටි


අපේ චූටි ටීචර් ලියා එවපු සාම්පූර්වලට බෝම්බ දාපු හැටි ගැන තිබුණු කතන්දරේ කියවපු ඉන්දික උපශාන්ත සහෘදයා ලියල එව්ව කතාවක් මේක.

සාම්පූර් බෝම්බත් බෝම්බද මේ ඉරාකෙට දාපු බෝම්බ එක්ක බලන කොට? කියවල බලන්නකෝ!

================================================
මේ සිද්දිය උනේ අපි අටේ පන්තියෙදි. අපිට බුද්ධ ධර්මය උගන්නන්න හිටියෙ අත්තුඩාවට අයිති විචිත්‍ර ධර්මකතික පට්ටමක් එහෙම තියෙන හාමුදුරු නමක්.

උන්නාන්සෙ හැමදාම කරේ පොඩි බණක් කියන්නැහෙ එක පාඩමක් විනාඩි 20ක් විතර තනියමම කියවල, අපිට ඒකට අදාල ප්‍රශ්න 10ක් දෙනව ඉතුරු වෙලාවෙ උත්තර ලියන්න. අපි උත්තර ලියනකන් හාමුදුරුවො අර ගුරු පුටුවෙ හේත්තුවෙලා නින්දත් නොනින්දත් අතරෙ සුව විඳින ගමන් කවුරුහරි කොල්ලෙකුට කියනව ඇවිත් එයාගෙ තට්ටෙ අත ගාන්න කියල.

ඔය අතගාන කෙනා උත්තර ලියන්න ඕනි නැති නිසා, එදා පාඩම නොතෙරුන උන් පොරකාල යන්නෙ වැඩේට.

ඉතින් දවසක් අපේ හිටපු හොඳම ඇම්ඩන් කෙනෙක් තට්ටෙ අතගාන වැඩේට සෙට්. ටික වෙලාවක් යනකොට මිනිහ එක අතකින් තට්ටෙ අත ගාන ගමන් අනික් අතින් කලුලෑල්ල අත ගාන්න ගත්ත. තව ටික වෙලාවක් යනකොට අර කලුලෑල්ල අත ගාල හුණු පිරිච්ච අත ඔලුව අත ගාන්නත්, ඔලුවෙ තිබුන අත කලු ලෑල්ලටත් මාරු කරා. දැන් සැරෙන් සැරේ මෙහෙම මාරු වෙවී වැඩෙ යනව.

අපේ හාමුදුරුවොත් තට්ටෙ සුදු කරන් හොඳට නිදි.

කොහොමහරි ඔන්න පීරියඩ් එක ඉවර වෙන්න විනාඩි 5ක් විතර තියෙද්දි උන්නාන්සෙ නැගිටල අපි ඉවරකරල මේසෙ උඩ තිබ්බ පොත් ටිකත් දඩ බඩ ගාල බලල, යන්න නැගිට්ට. එතකොට තමයි දැක්කෙ තමන් කලුලෑලෙ ලියපුව මොකෙක් හරි එහෙන් මෙහෙන් කාල බව.

"කවුද මේක කරපු පාහරය?....." අරක මේක කියල දැන් අපේ හාමුදුරුවොත් ආටානාටිය දෙසනව. ඔය අතරෙ අපි දන්නෙත් නෑ බෙල් එක ගහල, ඊලඟ පීරියඩ් එක අයිති ගුරුතුමීත් මෙතනට කඩන් පහත් උනා.

හුණු නාපු අපේ හාමුදුරුවන්ගෙ යක්ෂාවේසය දැකපු චූටි ටීචර්ගෙන හිනාව දැකල අපි හැමොම මෙච්චර වෙලා ඉතාම අමාරුවෙන් හිරකරන් හිටපු හිනා කටවල් මහ සද්දෙන් ඔන්න එලියට පැනපි.

මේක දැකල උන්නන්සෙගෙ මල උපරිම්යෙන් පිපෙන්න ගත්ත. වැඩෙ තවත් බලන් ඉන්න එක හොඳ නැති හින්ද හරි බලන් ඉන්න තියෙනන අමාරුව හින්ද හරි අපේ චූටි ටීචර් හාමුදුරුවො ලඟට ගිහින් හෙමීට "ඔබ වහ්න්සෙගෙ ඔලුවෙ හුණු!" කිව්ව විතරයි, වෙච්චි දේ පූර්වාපර සන්දි ගලපගන්න අපේ හාමුදුරුවන්ට මයික්‍රෝ තප්පරයක්වත් ගියේ නෑ.

ඩෙස් බංකු පීරගෙන (ඇත්තටම පෙරලගෙන) අපේ මිත්‍රය ගාවට පැනපු හාමුදුරුවො ගෝලයගෙ බෙල්ලෙන් අල්ලල මිනිහව පසග පිහිටුවෝල දෑතින්ම තඩිබාන ගමන් කියනව "තොට වෙලා තීන්නෙ නම වස් වැදිල.. තෝ කෝසල නෙමේ බොල දේවදත්ත!"

මේ පොල්කඩන සද්දෙ කොයි තරම් දරුණුද කියනවනම්, පහල තට්ටුවෙ හිටපු ළමයිනුයි ගුරුවරුයි කඩාගෙන උඩට දුවන් ඇවිත්, තව අපේ උප විදුහල්පතිතුමත් මැදිහත් වෙලා තමයි මේ බෝම්බ දැමිල්ල නවත්තුවෙ.

ඒ එක්කම අපේ යාලුවට first aid room එක හරහ ඉහල උසාවියටම ගිහින් විදුහල්පතිතුමා එක්ක වචනයක් දෙකක් කතා කිරීමෙ විරල අවස්ථාවත්, පහුවෙනිද ඒ අවසථාවම මිනිහගෙ දෙමව්පියන්ටත් ලැබුන.

සැනසිලි තෑග්ගක් හැටියට සති දෙකක නිවාඩුවකුත්, වෙන පන්තියකට මාරුවකුත් තිබුන (ප්‍රින්සිපල් හිතන්න ඇති ඒකෙ උන් ටිකත් නරක් කරන්න ඕනි කියල.)

ඒ කේස් එකන් පස්සෙ අපේ හාමුදුරුවන්ට පහල පන්තිවල උන් නම දාල තිබුනෙ "ජොර්ජ් බුෂ්" කියල. මොකද ඒ දවස්වල තමයි බුෂ් (තාත්ත) කුවේට් අල්ලපු ඉරාක කාරයො එලවන්න බෝම්බ දමමින් හිටියෙ සහ අපි ඉස්සෙල්ලම උඩින් ගිහින් බෝම්බ දානව TV එකේ හැබහින් දැක්කෙ.
================================================

මේ කතන්දරේ කියෝපු වෙලේ මට මතක්වුනා මං ගිය ඉස්කොලෙක හිටිය හාමුදුරුකෙනෙක් ගැන කතන්දරයක්. ලඟදිඟ ලියන්න ඕනෑ ඒ කතාව.

කතන්දරකාරයා

ප/ලිඃ
බොහෝ දෙන ප/ලිඃ ලියන නිසා නොලියමි.

Sunday 23 May 2010

[කතන්දර] පොඩි ප්‍රශ්ණයක් - Catch 22


පොඩි ප්‍රශ්ණයක්

මගේ බ්ලොග් ලිපි SBU සින්ඩියේ දකින්නේ නැති ලු. බ්ලොග් FOLLOW එක කරන්න රෙජිස්ටර වෙලා ඉන්න නිසා, ගූගල් රීඩර් එකෙන් කියවනවා ලු.

මෙහෙම කියන්නේ රොයිලි ප්‍රනාන්දු සහෘද බ්ලොග්කරුවා.

මේක මටත් තේරිලා තිබුණු එකක්. මගේ කතන්දර බලන්න වැඩිපුර අය එන්නේ කෙලින්ම යි, කිසිදු සින්ඩියක් හරහා එනවාට වඩා. ඒකට හේතුව මට FOLLOWERS ලා 180+ සිටීම විය හැකියි.

SBU Syndicator, Kottu සහ iNetLanka හරහාත් ඒ හා සමාන පිරිසක් එනවා.

සින්ඩියට මගේ පෝස්ට් එකක් එන්න පැය ගනාක් යනවා. ඒක හින්දයි හුඟ දෙනෙකුට මිස් වෙන්නේ.

ප්‍රශ්ණයක් තියේ නං මාව කන්ටෑක්ට් කරන්න.

ඊ-මේල්ඃ kathandara@gmail.com

මගේ facebook ෆෑන් පේජ් එකට එකතු වෙන්න.

Facebook: කතන්දරකාරයා ගේ ෆෑන් පේජ් එක

කතන්දරකාරයා

ප/ලිඃ දෙයියොත් නිදාගත්තු අද Sunday මාත් නෝ කතන්දර. තව පොඩ්ඩකින් දොයියන්න යනවා.

ඒක නෙමේ Catch 22 කියන්නේ මොකක්ද කියා දන්නවාද?

Saturday 22 May 2010

සරමේ චූ ගිය කතන්දරේ හෙවත් පාප මිත්‍රයෝ - මෙන්න මගේ විශ්ලේෂණය


මේ කතන්දර බ්ලොග් එකේ නම කියන්න අකමැති පාඨක සහෘදයෙක් ලියල එවපු සරමේ චූ ගිය කතන්දරේට සෑහෙන්න ප්‍රතිචාර ලැබුණා.

ඒ කතාව මං අවසාන කලේ, පාප මිත්‍රයින් හතර වර්ගය ගැන විස්තර ලියල, ඒ කතන්දරේ සරමේ චූ ගිය පාලිත ට හිටියෙ මොන වර්ගයේ යාළුවො ද කියල අහලයි.

මෙන්න ඒ ගැන මගේ විශ්ලේෂණය.

පාප මිත්‍රයෝ හතර වර්ගයෙන් විස්තර කරන්නේ පුද්ගලයින්ගේ එක එක ලක්‍ෂණයි. මේ ලක්‍ෂණ සියල්ලම පාහේ අඩුවැඩි වශයෙන් මිශ්‍රවුණු පුද්ගලයින් අපි සමාජයේ දැකල තියෙනවානේ.

පාලිත ට ඉඳලා තියෙන්නේ මේ සිව් වර්ගයේම පාප මිත්‍ර ගතිගුණ එකට මිශ්‍රවුනු යාළුවෝ නඩයක්.

මුලින්ම වචීපරම - උදව් කරන්නං කියල කිව්වට යාළුවො කලේ පාලිතව අමාරුවේ දැමීමයි. ඒක තමයි දරුණුම වරද.

ඊලඟට අපායසහාය - අපායෙ යන වරදක් නොවුනට, කොච්චර චූ බර තිබුණත් පාරේ අයිනේ පොදු තැන්වල චූ කරන එක හරි වැඩක් නෙමේ නේ. ඒකට පාලිතව පෙළඹවීම වරදක්. අහල පහල ගෙදරක වැසිකිලියට යන්න තිබුණ නේද? ඇයි ඉස්කොලෙ තියෙන්නෙත් අත ලඟනේ?

අනුපියභානී - වැරදි වැඩක් කිරීම අනුමත කිරීම වැරදියි. ඒ මදිවට අනුපියභානී ලා තමයි පස්සේ නැති තැන කළ වැරදි කියන්නෙත්.

අන්තිමට අඤ්ඤදත්ථුහර - එක පාරමට තේරුණේ නැති වුනාට, මෙතෙන්දි යාළුවෝ ටික පාලිතගෙන් යමක් කොල්ලකාල තියෙනව. ඒක තමයි පාලිතව කෙල්ලෝ ඉස්සරහ අමාරුවේ දැමීම නිසා, ඉදිරියේ දී, මල් කඩන්න ඌට තියෙන අවස්ථාවලට මග අහුරා දැමීම. එක කම්පෙටිටර් කෙනෙක් අඩුවුණ එකේ වාසිය යාළුවන්ටයි.

ඔන්න ඔහොමයි මගේ ඇනලිසිස් එක.

කතන්දරකාරයා

ප/ලිඃ
මගේ මේ පසුව ලියමි හෙවත් ප/ලි කෑල්ල නැගලා යනවා වගේ.

ලඟදී ආගිය කතා වලත් මේ ගැන ලියා තිබුණා.

අද මං දැක්කා අර මුලින් තුන්වැන්නී ගේ කතන්දර ලියපු දැන් ගමන් වග තුග ලියන මනෝ ගේ අහස්ගව්ව බ්ලොග් එකෙත් ප/ලි කෑල්ලක් දාලා තියෙනවා. මං මනෝ ගේ ගුරුන්ණාන්සේ කියල කියන්නේ.

Friday 21 May 2010

ඔන්න බබා තෙමාගෙන


චූ කතන්දර නැගලා යනවා, ඔන්න මාතලං ගොයියත් දාලා එකක් ඊයෙ පෙරේදා. මේක බෝවෙන ලෙඩක් වගේ වෙලා!

ඔය අස්සෙ නම කියන්න අකමැති කතන්දර පාඨකයෙකුත් චූ කතාවක් එවා තියෙනවා මගේ බ්ලොග් එකේ දාන්න කියලා. මෙන්න ඒක.

=======================================================
අපි ඕ ලෙවල් කරපු කාලේ දවල් වරුවේ ගමේ ඇවිදිනවා සයිකල් වලින්.

අපේ යාළුවෙක් හිටියා පාලිත කියලා. දවසක් අපි ඉස්කෝලෙ ලඟින් යන කොට පොරට චූ බරක් ආවා.

අපි මිනිහට කිව්වා, "උඹ ඉස්සරහ වංගුව ගාවදි චූ කරපං, අපි බලන්නං කවුරුහරි එනවද කියලා".

ඔන්න අපි දැක්කා අපේ පන්තියේ කෙල්ලෝ ටිකක් එනවා, ඒත් අපි පාලිතට කිව්වේ නෑ.

කෙල්ලෝ ටික වංගුවෙන් මතුවෙන කොටම පාලිත දැක්කා උන්ව. පොරට වෙන මොකවත් කරගන්න බැරුව සරම පහලට දාලා අපි ගාවට ආවා. එතකොට කෙල්ලෝ ටිකත් අපි ගාවටම ඇවිත්.

දැන් අර කෙල්ලෝ අපිත් එක්ක කතා කරනවා. පාලිතත් මුකුත් වුනේ නෑ වගේ ඉන්නවා.

මං මිනිහ ගේ සරම දිහා බලනකොට සරම පහලට තෙත් වේගෙන යනවා. බැලින්නම් එතකොටත් මිනිහට කොන්ට්‍රෝල් නැතුව චූ යනවා.

ඊට පස්සේ වුනු දේවල් කියන්න ඕනැ නැහැනේ?
=======================================================

මට නං ඒ කරපු වැඩේ අනුමත කරන්න බෑ කොහෙත්ම. ඒත් ඉතිං ඕ ලෙවල්කාර කොල්ලන් ගෙ අඳ බාල වැඩනේ.

ඔය කතන්දරේ කියවපුවාම මට මතක් වුනේ මේකයි.

දැන් සති දෙක තුනකට විතර කලින් අරුණි ෂැපිරෝ ගේ බ්ලොග් එකේ මං දාපු කමෙන්ට් එකකට අරුණි කියල තිබුණු දේ නිසා මට තේරුණා, බුදුහාමුදුරුවෝ කියල දුන්නු "පාප මිත්‍රයෝ" හතර වර්ගය ගැන සමහරු දන්නේ නෑ කියලා.

නොදන්න අයට මෙන්න ඒ විස්තරඃ

අන්නදත්තුහර: අපේ තියෙන දෙයක් කඩා වඩා ගන්නම බලන, කවදාකවත් උදව්වක් නොකරන උං.

වචීපරම: කයිය නං දෙනව උදව්කරන්නං කියල, ඒත් කතාව විතරයි, වැඩ නෑ.

අනුපියභානී: මේ ගොල්ලො අපි මොකක් හරි වැරදි වැඩක් කරන්න ගියත් ඒක අනුමත කරනව. අපිට කවදාකවත් හොඳ ඇඩ්වයිස් එකක් දෙන්නෙ නෑ.

අපායසහාය: අපිව අමාරුවේ දාන්නමයි මේ කෂ්ටිය බලන්නෙ.

වැඩි විස්තර මෙතනින්:
http://www.dailynews.lk/2009/11/02/fea26.asp

කතන්දරකාරයා

ප/ලිඃ පුළුවන් නම් උත්දර දෙන්න!
අද කතාවේ ප්‍රධාන චරිතය වන උපාලි ට හිටියේ කවර වර්ගයේ මිතුරන්ද?

මී කිරි කෑම


ඔන්න එක මනුස්සයෙක් මගුල් ගෙදරක ගිහින් උස්මුරුත්තාව වෙන්න කාල, බඩ පුරෝල දාල අසනීප වුනාම දොස්තර කෙනෙක් ලඟට එක්කගෙන ගිහින් තියෙනව.

"ඔය වගෙ වෙලාවට කරන්න තියෙන හොඳම දේ තමයි කටේ ඇඟිල්ලක් දාල වමනේ කරන එක!" කියල කිව්වලු දොස්තර.

අපේ පොර මොකක්ද දන්නවද කියල තියෙන්නෙ?

"අනේ ඩොක්ට, කටේ ඇඟිල්ලක් දාන්න ඉඩ තිබුණ නං, මං තව කිරි-පැණි කෝප්යක් කනවනේ" කිව්වලු!

මී කිරි කන්න කවුද අකමැති? යෝගට් වලට වඩා හොඳයි නේද?

ඔතන වෙනස මේකයි. යෝගට් හදන්නෙ එළදෙනුන්ගෙන් දොවන කිරි වලින්. මී කිරි කියල කියන අර මැටි වලං වල අසුරල තියෙන යෝගට් ජාතිය හදන්නෙ මී දෙනුන් ගේ කිරිවලින්.

මෙතන මී දෙනුන් කියන්නේ මී හරක් ගෙ ගෑනු සත්තු, නැතුව මීයන් ගෙ ගෑනු සත්තු නෙවෙයි. මීයන් ගෙ ගෑනු සත්තුන් ගෙන් කිරි දොවන හැටි ගැන කතාවක් තියෙනවා, "මීට් ද පේරන්ට්ස්" කියන චිත්‍රපටියේ නං.

මුදවපු කිරි වලින් වැඩියෙන් රහ මී කිරි වුනාට, සාමාන්‍ය කිරිවලින් නං හොඳ එළකිරි බව අවිවාදාත්මකයි. ඒ හින්ද තමයි ඔය "එළකිරි", "එළ" කියන වචන දැන් අවුරුදු පහක හයක ඉඳල ජනප්‍රිය වෙලා තියෙන්නේ.

එළකිරිවලින් හදන විවිධ නිෂ්පාදන පස් වර්ගයකටයි පස්-ගෝ-රස කියල කියන්නේ. ඒ පස් පංගුව තමයි, කිරි, මුදවපු කිරි හෙවත් යෝගට්, වෙඬරු හෙවත් බටර්, කේජු හෙවත් චීස් සහ ගිතෙල් හෙවත් ගී.

මං දන්න තරමින් ඔය පස් පංගුවම මේදය හෙවත් ෆැට් කන්ටෙන්ට් එක වැඩි කෑම ජාති. අඩු කරන තරමට හොඳයි.

ඉතිං අද කතාව මේකයි.

ඔන්න අපේ පොඩි පාටියක දී, මුදවපු කිරි ගැන කතාවක් ඇදිල ආවා. මොනවද මී කිරි වලට ලඟින්ම යන හොඳම යෝගට් ජාතිය කියන එක ගැනයි වාදය. ඒ කියන්නෙ" හයිලන්ඩ් යෝගට්" ද, "නිව් ඩේල් යෝගට්" ද, අරව ද, මේව ද වඩා හොඳ කියන එකයි.

මගේ හොඳ යාළුවෙක් ඔතන සෑහෙන්න හයියෙන් කතාව.

මිනිහ රුහුණෙ පොරක්, ඒ හින්ද ගමේ දි නිතරම මී කිරි කාල තියෙනව, ඒ වගේම ඇත්තටම හොඳට මී කිරි ගැන දන්නව.

හැබැයි "මද පමණින් දෂ්ඨ කරල" හිටිය හින්දද කොහෙද කතාව මහ හයියෙන්.

මිනිහගෙ කට වහන්න මං කිව්වෙ මෙච්චරයි.

"මචං, ඔන්න මව් කිරි ගැන නං ඉතිං මට කතා කරන්න පුළුවන්, හැබැයි ඉතිං මී කිරි ගැන නං ඉතිං උඹ කියන දේ මට අනිවාර්යයෙන්ම පිළිගන්න වෙනව".

ටියුබ් ලයිට් අයට තව ටිකකින් තේරෙයි.

කතන්දරකාරයා

ප/ලිඃ
ඔය පාටියෙදිම තමයි අර තිස්ස ගෙ ආගම් මාරුව ගැන කතන්දරේ කියන්න ගිහින් මයුරි ගේ වඩේ පාර නොකා මං බේරුනේ!

Thursday 20 May 2010

දැං තාත්තා ට කොහොමෙයි?


අප්‍රියෙල් මාසෙ දහඅටවෙනිද, අසනීප වෙලා ඉස්පිරිතාලෙට ඇතුලත් කළ තාත්තාව බලන්න ගමට යන නිසා කතන්දර බ්ලොග් එක තාවකාලිකව වහනව කියල මං පොස්ට් එක දාපු දවසෙ ඉඳන් තාත්තාට ඉක්මන් සුවය පතා ආපු පණිවිඩ වලින් අඩුවක් වුනේ නෑ.

ඒ හැමෝටම මගේ ස්තුතිය නැවතත්.

මුදලින් පවා මට උදව්කරන්න කිසි දිනක මාව නොදැකපු, කතා නොකරපු අය ඉදිරිපත් වුණු හැටි දැකල, ඇහැට කඳුළු බිඳුවකුත් නාව නෙමේ!

මං සැරයක්, දෙකක්, තාත්තාගේ සුව දුක් ගැන ලිව්වා.

ඒ එක්කම ඉස්පිරිතාලේ ඉන්දැද්දි, උදේට කාපු හැටි, පාන් කාපු හැටි, පස්සෙ මදුරුවො මාව කාපු හැටි ගැනත් කතා ලිව්වා.

මේ දවස්වල ඊ-මේල් සෑහෙන්න එනවා තාත්තාගේ සුව දුක් අහලා.

ඒ හැමෝටම වෙන වෙනම උත්තර ලියනවාට වඩා, මේ විදියට, අළුත් පෝස්ට් එකක් දාන එක හොඳයි කියල මට හිතුණා.

තාත්තට දැන් හොඳයි, ඒ කියන්නෙ එදා ඉස්පිරිතාලෙට ඇතුලත් කරපු දවසට වඩා හොඳයි. නමුත් ඉතිං ඊට කලින් හිටිය තත්වෙට නං තාම ආවෙ නෑ.

තාත්තගෙ වයස ගැනත් හිතුවහම, ඉතිං, දොස්තරලටත් ලොකු සැකයක් තියෙනව සම්පූර්ණයෙන් ම සුව වීම ගැන. ජීවිත ඔහොම තමයි.

අද නාරද දිසාසේකර ගෙ මරණෙ ගැන අහන්න ලැබුණ. අපි කවුරුත් මැරෙනවනේ කවද හරි. මා ගැනත් මං පොඩි ඉඟියක් කළා කලින් දොහක.

ඉන්න කං හොඳින් ඉඳිමු.

සියළු දෙනාටම නැවතත් ස්තුතියි.

කතන්දරකාරයා
ප/ලි
හැමදාම උදේට, කතන්දර බ්ලොග් එක කියවල ජීවිතේ ෆ්‍රෙෂ් කර ගන්නව කියල නොදුටු පාඨකයෙක් ලියල එවල තිබුණ පෙරේද. මගේ ජීවිතෙත් ෆ්‍රෙෂ් වුනා ඒ ඊ-මේල් එක බලපු වෙලාවෙ.

Wednesday 19 May 2010

චූටි ටීචර් ලියා එවන චූටි කතන්දර - 3


මට මීට කලින් කතන්දර දෙකක් එවපු චූටි ටීචර් ආයෙත් එව්ව පොඩි පොඩි කතා දෙක තුනක්.

චූටි ටීචර් කියල කිව්චට මෙයා අර බස් එකේ මට හම්බ වුනු ටීචර් තුමියවත්, නපුරු ගුරුතුමියක් වත් නෙමේ හොඳේ?

ඉස්සෙල්ලාම මෙන්න මේ ටීචර් ගැන පොඩි විස්තරයක්.

එයා දැන් ගුරු සේවයෙන් අස්වෙලා. හබිය එක්ක පිට රටකයි ඉන්නේ. රට යන්න ලීව් ඉල්ලුවත් ලැබුනෙ නැහැල්ලු.

ඉතිං මේ දවස්වල එයා චූටි දුවව බලාකියා ගෙන ගෙදර ඉන්නවා ඔය කියන දේශ දීපංකරේ.

මෙන්න එයා එවපු පොඩි කතාවක්.
===============================================

අපේ ඉස්කෝලෙ තිබුනු තැන කතන්දර දන්නවා නේ. මේ කියන්නෙ අර සාම්පූර්වලට බෝම්බ ගහනවා ඇහෙන ඉස්කෝලේ.

අපි ඇතුල් වෙන්නෙ, පිට වෙන්නෙ මුර පොලක් හරහා.

යුද්දෙ දරුණු වෙද්දි අපිවත් උදේට පරීක්ෂා කරන්න ගත්තා කාන්තා සෙබලියො ලවා.

මුල් කාලෙ නම් ගුරුවරුන්ට නිදහසේ අතුල් වෙන්න දුන්නා.

ඒ පරික්ෂා කෙරුවෙ පුන්චි කුටියක් ඇතුලෙ. පොඩි වැසිකිලියක් තරම් ඇති.

අපේ සර්ලා ඉක්මනින්ම ඒකට නමක් හැදුවා.

මොකක්ද දන්නවද ඒ?

කිච්කූඩුව!
===============================================

මං හිටියනං ඕකට කියන්නේ "කිචිකිලිය" කියලයි.

එහෙම කිවව නං, මගේ වැසිකිලිය, කැසිකිලිය සහ ගඳකිලිය කතන්දරේ ට අල්ලලා තවත් කතන්දරයක් ලියන්න තිබුනා නොවැ?

කතන්දරකාරයා

ප/ලිඃ
පොඩි වෙනසක් පතා අද ප/ලි නොලියමි.

චූ කතා, කඳුළු කතා සහ හොටු කතා


මේක නං කතන්දරයක් නෙමේ, මගේ හිතේ පැන නැග්ග පොඩි ප්‍රශ්ණයක්.

ඔය ප්‍රශ්ණ විචාර තරගය ගැන කතන්දරයි, චූටි ටීචර්ගෙ කතන්දරයි ලියන්න කලින් මං පහුගිය දවස්වල චූ කතා සීරිස් එකක් ලිව්ව මතකයි නේද?

මුලින්ම - අර ඔන්ඩච්චිගෙ ආච්චිගෙ කතන්දරේ.

ඊ ලඟට - අපි චමරියේ දි චූ කරපු හැටි කතන්දරේ.

ඊටත් පස්සේ - කැතීටර් ගැන කතන්දරේ.

අන්තිමට වැසිකිලිය, කැසිකිලිය සහ ගඳකිලිය කතන්දරේ.

අන්තිමේ දි මං කිව්වා අදින් චූ කතන්දර ඉවරයි, හෙට ඉඳල "කඳුළු කතන්දර" පටන් ගන්නවා කියල.

මෙන්න ඒකට ප්‍රතිචාර සෑහෙන්න ආපි, "අනේ අප්පේ කඳුළු කතා නං එපා" ය කියල.

මට අද වෙනකං හිතාගන්න බෑ ඒ ඇයි කියල.

සමහරවිට ඔය "කඳුළු කතන්දර" එපාය කියන ඇත්තෝ එහෙම කියන්නේ ඒ කතන්දර කියවලා ඒ ගොල්ලන්ට අඬන්න වේවිය, තමන්ට ඇඬෙන එකට කැමති නැතිය වගේ හේතු කාරණා නිසා වෙන්න ඇති.

නමුත් මෙතන පොඩි ප්‍රශ්ණයක් තියෙනවා.

කඳුළු කතාවලට ඒ විදියට දුක හිතෙනව නං, ඊට පස්සේ ඇඬෙනව නං, ඒ කියන්නේ මං ලියපු චූ කතාවලට චූ බර හැඳිල, ඊට පස්සේ චූ ගියාද?

ඒ විදියට ඉතිං හොටු කතන්දර කියවනකෙට හෙම්බිරිස්සාව හැදෙයිනේ, නේද?

ළමයිනේ "කඳුළු කතන්දර" කියන්නේ කඳුළු එන කතන්දර නෙමේ. කඳුළු ගැන කතන්දර.

ඔය මොනව වුණත්, මගේ කතන්දර දාන්න කලින් මගේ රසිකයෝ එවපු කතන්දර දාන්න තියෙනව.

තරහ අවසර!

කතන්දරකරු

ප්‍රශ්ණ විචාරත්මක තරගය -මෙන්න පිළිතුරු


මං කියාගෙන ඇවිත් කොනක් ඉතුරු කරපු කතන්දරේ මෙන්න මෙහෙමයි.

මීට අවුරුදු බර ගාණකට කලින් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව අනුග්‍රහය දක්වපු "ටේක් ඉට් ඕ ලීව් ඉට්" කියන ප්‍රශ්ණ විචාරාත්මක රේඩියෝ ෂෝ එක රෙකෝඩ් කරනව බලන්න මං අපේ අංකල් කෙනෙක් එක්ක ගියා. එවෙලේ, සර්ජි අයිසන්ස්ටයින් කියන්නෙ කවුද කියල දන්නෙ නැතුව එක තරගකරුවෙක් අවුට් වුනාම ඒ ප්‍රශ්ණෙට උත්තර දීල මට ලැබුන තෑග්ගක්. පස්සෙ බැලින්නම්, තරගෙට හිටිය අපේ අංකල් දිනපු තෑග්ගයි, මං දිනපු තෑග්ගයි දෙකම එකම එක දේ. මට ඒ තෑග්ගෙන් වැඩක් නෑ. ඒකත් දුන්න අංකල්ටම.

දැන් මේ හදන්නේ මං එවෙලෙ අහපු ප්‍රශ්ණ තුනට උත්තර දෙන්නයි.

මෙන්න ප්‍රශ්ණ තුන.

1. මොකක්ද ඒ ප්‍රශ්ණෙට හරි උත්තරේ දන්නවද?
2. මොකක්ද මට ලැබුණු තෑග්ග කියල හිතාගන්න පුළුවන්ද?
3. මං ඒ තෑග්ගත් අංකල්ට ම දුන්නේ ඇයි?

හුඟ දෙනෙක් දැනගෙන හිටිය පලමුවෙනි ප්‍රශ්ණෙට උත්තරේ නම්.

නිවැරදි පිලිතුර තමයි අයිසන්ස්ටයින් කියන්නෙ රුසියානු ජාතික සිනමාකරුවෙක්ය කියන එක. එදා මං උත්තර දුන්නේ, "හී ඉස් එ සෝවියට් ෆිල්ම් ඩිරෙක්ටර්!" කියලයි.

මොකද මං අයිසන්ස්ටයින් ගැන දැනගත්තෙ "සෝවියට් දේශය" සඟරාවලින් නේ.

දෙවෙනි ප්‍රශ්ණෙනට උත්තරේ තමයි මටයි අංකල්ටයි ලැබිල තිබුණෙ වොට් පහේ පොඩි සයිස් එකේ පාට පාට බල්බ් තුනක පැක් එකක් බැගින් කියන එක.

ඉතිං, ඇයි මං ඒක අපේ අංකල්ට ම දුන්නෙ?

ඇයි හලෝ, මං ඒ බල්බ් අපේ ගෙදර අරං ගිහිං මක් කොරන්නද? අපේ රෑට ගෙදර වැඩ කලේ භූමිතෙල් ලාම්පුවල එළියෙන් නේ.

කතන්දරකාරයා

ප/ලිඃ
ඔය තුන්වෙනි ප්‍රශ්ණෙට හරි උත්තරෙන් මට තව කතන්දර තොගයක්ම ලියන්න පුළුවන් වගේය කියල එදා කිව්වනෙ.

දැං ඉතිං ලියපංකො ඒවත්!!!

හැබැයි, ඊට කලින් දාන්න මං දැනටම ලියපු කඳුළු කතා තියෙනව.

ඊ ලඟට අසංකයි එවපු කතාවක් තියෙනව චූ කතා සීරීස් එකට දාන්න.

ඊලඟට, ඉන්දික එවපු කතාවක් තියෙනව ඉස්කෝලෙ කතා -නපුරු ගුරුවරු සීරිස් එකට මැච් චෙන.

ඒ සේරමත් එක්ක, අපේ චූටි චීචර් එවල තියෙනව තව පොඩි පොඩි කතන්දර දෙක තුනක්ම.

අනේ මන්ද, මටත් ලැබෙන කොන්ත්‍රාත්තු!

Tuesday 18 May 2010

ගුවන් විදුලි ප්‍රශ්ණ විචාර තරගය - Take it or leave it!


මීට අවුරුදු බර ගාණකට කලින් මගෙ පන්තියෙ යාළුවෙක් ගුවන් විදුලි ප්‍රශ්ණ විචාර තරග වැඩ සටහනකට සහභාගී වෙන්න ගිහින් පොරට ලැබුණු දෙවෙනි ප්‍රශ්ණෙන්ම කැපිල ගිය බව කිව්ව කතන්දරේ මතකයිනේ?

පොරට ලැබුනේ මහා අසාධාරණ ප්‍රශ්ණයක් නේ නේද?

කතන්දරේ ලියන වෙලේ මට මතක් වුණා මං බලන්න ගිය ප්‍රශ්ණ විචාරාත්මක තරග දෙකක්.

අද මෙන්න එකක් ගැන විස්තරේ.

ඔය කියන දවස්වල ලංකාවෙ තිබුණ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව කියල ශ්වේත හස්තියෙක්. මේ ගොල්ලො සිංහල සහ ඉංගිරිසි රේඩියෝ වැඩසටහන් දෙකකට අනුග්‍රහය දැක්වුවා. දෙමළ වැඩ සටහනකුත් තියෙන්න ඇති මං අහල නැතිවුනාට.

සිංහල වැඩසටහන එකේ නම "පුළුවන් නම් දිනා ගන්න!" ඉංගිරිසි ෂෝ එක හැඳින්වුනේ "ටේක් ඉට් ඕ ලීව් ඉට් (take it or leave it)" කියලයි.

ඔන්න දවසක් අපේ අංකල් කෙනෙකුට ඔය ටේක් ඉට් ඕ ලීව් ඉට් ෂෝ එකට සහභාගී වෙන්න චාන්ස් එකක් ලැබුණා, එක්කො අංකල්ගෙ කොම්පැනිය හරි නැත්තං මොකක් හරි වෘත්තීමය සංගමයක් හරි හරහා.

අංකල් තනියම යන්නෙ නැතුව මටත් කතා කළා යන්න රෙකෝඩින් එක බලන්න. ඒක රෙකෝඩ් කලේ, නිදහස් චතුරශ්‍රය ලඟ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ.

එදා වැඩ සටහන් දෙකක් රෙකෝඩ් කළා. මුල් වැඩ සටහනට හිටිය අපේ අංකල් තුන්වෙනි ප්‍රශ්ණෙන් පැරදුනා. මට මතක විදියට ඒ ප්‍රශ්ණෙන් ඇහැව්වෙ, ඒ වෙන කොටත් අහෝසි වෙලා ගිහින් තිබුණු, දැන් දැන් ආයෙ කතා බහට ලක්වෙන, සෙනෙට් සභාව ගැනයි.

අංකල් ට හම්බ වුනා සැනසිලි තෑග්ගක්.

ඔය ආකාරයට තරගෙට සහභාගිවෙන අයට බැරිවෙන ප්‍රශ්ණ අහනවනේ ඕඩියන්ස් එකෙන්. තමන් උත්තරේ දන්නව නං අත උස්සලා, නිවේදකය කතාකළාම ගිහින් උත්තර දෙන්න ඕනැ. හරි නම් තෑග්ගක් දෙනවා.

එදා නිවේදකයා වුනේ විජය කොරයා.

දෙවෙනි වැඩ සටහනේදි මට ආව චාන්ස් එකක්. තරගෙට හිටපු පොරක් දැනගෙන හිටියෙ නෑ, සර්ජී අයිසන්ස්ටයින් කියන්නෙ කවුද කියල.

පොර කිව්වෙ, අයිසන්ස්ටයින් කියන්නෙ "රිලටිවිටි තියරි" එක ඉදිරිපත් කරපු කෙනා කියලයි. මිහිහට අයිසන්ස්ටයිනුයි, අයින්ස්ටයිනුයි ටැපලිලා.

මං අත ඉස්සුව. හැබැයි මං හිටියෙ පිටිපස්සෙම පේළියෙ.

ඉස්සරහින් හිටපු තව පොරක් අත උස්සල උත්තරේ දෙන්න නැගිටල යන්න හදන කොටම, නිවේදක විජය කොරයා දැක්ක පිටි පස්සෙ හිටපු කතන්දර කුමාරව.

පොරට හිතෙන්න ඇති මේ පොඩි කොල්ලට චාන්ස් එකක් දෙන්න ඕනැ කියල.

මං ඉස්සරහට ගිහින් වීරය වගේ මයික් එකට කිව්ව හරි උත්තරේ.

ගත්ත විජය කොරය දුන්නු තෑග්ග.

පස්සෙ බැලින්නම්, තරගෙට හිටිය අපේ අංකල් දිනපු තෑග්ගයි, මං දිනපු තෑග්ගයි දෙකම එකම දේ.

මට ඒ තෑග්ගෙන් වැඩක් නෑ. ඒකත් දුන්න අංකල්ටම.

කතන්දරකාරයා
ප/ලිඃ

1. මොකක්ද ඒප්‍රශ්ණෙට හරි උත්තරේ දන්නවද?
2. මොකක්ද ලැබුණු තෑග්ග කියල හිතාගන්න පුළුවන්ද?
3. මං ඒ තෑග්ගත් අංකල්ටම දුන්නේ ඇයි?

එදා ප්‍රශ්ණවලට උත්තර දුන්නු මං අද ප්‍රශ්ණ විචාරකයා වෙලා!

කොහොමින් වුනත් මේ තුන්වෙනි ප්‍රශ්ණෙට නිවරදි උත්තරෙන් මට තව කතන්දර තොගයක්ම ලියන්න පුළුවන් වගේ.

ප/ප/ලිඃ
පිලිතුරු ලැබෙමින් පවතී. තවත් ඒමටද ඉඩ ඇත.
තුන්වන ප්‍රශ්ණයට පිලිතුරු දන්නේ මම්තුමා පමණක් ද?

ප/ප/ප/ලි:
මෙන්න පිළිතුරු.
http://kathandara.blogspot.com/2010/05/blog-post_19.html

Monday 17 May 2010

චීචර් කෙනෙක් විසින් කතන්දරකාරයාට ලියා එවූ දෙවෙනි කතන්දරය


මට චීචර් කෙනෙක් මේ කතන්දර බ්ලොග් එකේ දාන්න කියල කියපු මුල් කතාව මීට විනාඩි ගාණකට කලින් පලකළා.

මේ ඒ ටීචර් ලියා එවූ දෙවෙනි කතන්දරයයි. (පොඩ්ඩක් සංස්කරණය කළා.)

=============================================
සාම්පූර්වලට ගහපු ගැහිල්ල

මේ කියන සිද්ධිය උනේ මං උගන්නන කාලෙ.

එහෙම කිව්වම හිතෙයිද දන්නෙ නෑ මං පෙන්ෂන් ගිය ටීචර් කෙනෙක් කියලා.

නෑ මම ආදරය හින්ද රස්සාව දාලා ආපු කෙනෙක්. කොහොම උනත් මගේ විස්තර නම් බ්ලොග් එකට දන්න එපා හොදේ.

මම ඉගැන්නුවෙ ගණිතය. දවසක් මම අටේ පන්තියෙ උගන්නනවා. ඊට එහායින් තියෙන්නෙ තුනේ පන්තිය.

ඒ පන්තිය භාර ටීචර් ටිකක් සැරයි. ටිකක් නෙමේ හුගක් ම සැරයි. නම කාන්ති. අවිවාහකයි. පෙනුම ඉන්ද්‍රාණි පෙරේරා වගේ. හපොයි එයත් කාන්ති පෙරේරා.

ඒ කාලෙ තමයි සාම්පුර් වල ඉදන් කොටි ත්‍රිකුණාමලේ ට ගැහුවෙ.

ඒ කාලෙ අපිත් සද්දෙන් කියන්න දන්නව පිපුරුවෙ, බිම් බෝම්බයක් ද? බට්ටෙක්ද? කාල තුවක්කුද? මල්ටි බැරල් ද කියල.

අතුරු කතා කියල වැඩක් නැහැ අනේ. ඔන්න මම ගණන් හදන්න දිලා හදනකම් බලාගෙන ඉන්න අතරේ ළමයි ටික ටික කසු කුසු.

ඇහුවට කීවෙම නැහැ. ටිකක් සද්ද කරලා ඇහුවම කියනවා, සාම්පුර් වලට ගහන සද්දෙ ඇහුණ ලු.

අනේ මට නම් ඇහුණෙ නෑ. සාම්පුර් වලට ගැහුවනම් කණ ලග ගැහුව වගේ ඇහෙන්න ඕන.

මටත් තද උණා. ඒ ගමන අටේ පන්තියෙ ළමයි මට කියනවා අහගෙන ඉන්න එතකොට ටීචර්ටත් ඇහෙයි කියලා.

අනේ දෙයියනේ! ඊට ටිකකට පස්සෙ මටත් ඇහුණා, මල්කාන්ති ටීච පොඩි උන්ට තඩිබානවා.

අටේ පන්තියෙ ළමයි ඒ සද්දෙට තමයි කියන්නෙ සාම්පුර් වලට ගහනවා කියලා.

=============================================

ආයෙමත් අපේ ටීචර් කතන්දර එව්වොත් ඉතිං පලකරන්නම්. එතකං බලන්නකො මේ දිව උලුක්කු වෙන පද වැල්.

කතන්දරකාරයා

චූටි ටීචර් කෙනෙක් එවූ චූටි කතන්දර කීපයක්- I


මං මාස දෙකකට විතර කලින් චූටි ටීචර් කෙනෙක් ගැන කතන්දරයක් ලිව්ව මතකයි නේද? ඒ කතන්දරේ හුඟ දෙනෙකුගේ කුතුහලයට ලක්වුණු එකක්.

අපේ සීයත් පරණ ටීචර් කෙනෙක් නේ. සීය ජෝන් මහත්තය ට කියපු කතන්දරෙයි , සීයගෙ කෝට් එක නැතිවුණු වෙලේ ලොකු ටීචර් කෙනෙක් මුණ ගැහෙන්න ගිය කතන්දරෙයිත් මං ලිව්ව පහුගිය දවස්වල.

ඊට පස්සෙ මං නපුරු ගුරුවරු ගැන කතන්දර සීරිස් එකක් ලියන් පටන් ගත්ත. ඒක ඉවර කරන්නත් තියෙනව.

ඒ අව් අස්සෙ මට ටීචර් කෙනෙක් ගෙන් ඊ මේල් එකක් ඇවිත්. මං ඉස්සර දැනං හිටපු චූටි ටීචර් ගෙන් නං නෙමේ. මෙයා ලොකු ටීචර් කෙනෙක් වෙන්නත් ඉඩ තියෙනව.

මං පොරොන්දු වුනු නිසා මේ ටීචර් ගෙ නම ලියන්න බෑ මෙතන.

මෙන්න එයාගෙ පලමු කතාව. (ටීචර් ලියපු කතාවෙ අක්‍ෂර වින්‍යාසය මං දන්න තරමින් හැදුවා.)

========================================================
ප්‍රින්සිපල්ට ගලකින් ගහලා

මේ සිද්ධිය උනේ නිමලව ස්කෝලෙ teacher traning කරන කාලෙ, පත්වීමකුත් නෙමෙයි, ඒත් පත්වීමක් වගෙත් තමයි.

නිමලව කියන්නෙ කණිශ්ඨ පාසලක්, තියෙන්නෙ හැම ශ්‍රේණියකින් ම එක පන්තිය ගානෙ. අපිට අලුත් උනාට මෙහෙම training යවන එක නිමලව ළමයින්ටයි, ගුරුවරුන්ට යි හොදට පුරුදුයි.

අපිත් ඉතින් ගිහින් වැඩ බාර ගත්තා.

එහෙට යන්න කලින් නිමලව ඉස්කෝලෙ ගැන දන්න කීප දෙනෙක් ම කියල තිබුනා එහෙ ඉන්න ඇට්ටර ළමයි එක්ක ටිකක් අමාරුයිත් කියලා. ඒත් බෝඩින් වෙන්නෙ නැතුව, වෙද සීයලගෙ ගෙදර ඉදන් යන්න පුලුවන් විදිහට අමාරුවෙන් හද ගත්තු ඉස්කෝලෙ නෙ.

ටික වෙලවකින් දැක්කා, ලොකු සර් ඒ කියන්නෙ principal පොඩි ළමයෙකුට වේවැලෙන්ම හොඳට බෙදනවා.

අපි ලඟ හිටිය ළමයෙක් ගෙන් ඇහැව්ව ඒ මොකද කියල.

ලැබුනු උත්තරේ තමයි මේ. "තුෂාර ප්‍රින්සිපල්ට ගලකින් ගහලා !"

අම්මෝ මේ ළමයි ප්‍රින්සිපල්ට ගල් වලින් ගහනවා නම් අපිට මොනව නොකරයි ද? අපිට හීන් දඩිය දැම්මා.

ඒත් එතන හිටපු අනිත් ළමයි මහ හයියෙන් හිනාවෙලා අපේ ප්‍රශ්නෙ විසදුවා.

බලනකොට ප්‍රින්සිපල් කියන්නෙ පහේ විභාගෙ ෆේල් වෙලා , ඒ පන්තියෙනුත් ෆේල් වෙලා, අවුරුදු තුනක් තිස්සෙ පහේ පන්තියෙ ඉන්න ළමයෙකුට !

පන්තියෙන් ම ඉන්න ලොකුම ළමය නිසා එයාට ප්‍රින්සිපල් කියල නම දාල අනිත් ළමයි.

කොහොමද වැඩේ?
========================================================

දෙවෙනි කතාව තව ටිකකින් දාන්නං.

කතන්දරකාරයා

ප/ලිඃ මේ කතාව ඇත්තටම එයා බ්ලොග් එකක් හදලා දාලයි තියෙන්නේ. හැබැයි ඒක මට ලින්ක් කරන්න එපාලු. අනේ මන්දා!!!

වැසිකිලිය, කැසිකිලිය සහ ගඳකිලිය


අද කතන්දරේ මං ලියපු චූ කතා (එක, දෙක, තුන) සීරීස් එකේ අතුරු කතාවක්.

චූ කතාවලට අකමැති අයත් හිටියට, කැමති අය ඊට වැඩියි මට තේරුණු විදියට. කොටින්ම මං ලියපු චූ කතා බලල නදී ගේ සිතුවිලි සහ ආගිය කතා බ්ලොග්කරුවන් දෙන්නාත් කතා ලිව්වනේ.

චමරියේ දී අපි චූ කල හැටි කියන කතන්දරේ කියද්දී මං වැසිකිලිය සහ කැසිකිලිය අතර වෙනස පැහැදිලි කළා මතකයිනේ මට තේරෙන විදියට.

අපේ චමරිය තිබුණු ගෙදර අයිතිකාර අංකල් හදල දුන්නු කැසිකිලිය, වැස්ස නැති නිසා, ටික කාලෙකින්ම ගඳ ගහන්න පටන්ගත්ත. මං නෙමේ ඉන් පස්සෙ ඒ පැත්ත පලාතෙ ගියේ, රෑ ජාමෙට වුනත්.

කැසිකිලිය ගඳ ගහන්න පටන්ගත්තට, ඒකට "ගඳකිලිය" කියල නං කියන්න එපා රජෝ.

මොකද පරණ සිංහල පොත්වල "ගඳකිලිය" කියල කියන්නෙ බුදුහාමුදුරුවන් වැඩ වාසය කරපු කුටියටයි.

සිංහල ව්‍යාකරණය ගැන පරණම පොතක් වෙන, සිදත් සඟරාවෙ තියෙනවලු මෙහෙම. (තියෙනව ලු කියල කිව්වෙ, අමුතුවෙන් නොකිව්වට, ඒක මං බලපු පොතක් නොවේ නිසා.)

"මහද ගඳකිලි කර
සවුනේ ගෙවා දත් හට
දුහුණන් දැණුම් සඳහා
කරනෙමි සිදත් සඟරා"

ගඳ කියන සිංහල වචනේ ඇත්තටම ජෙනරික් එකක් නේ. හොඳ ගඳක් නම් සුගඳ, නරක ගඳක් නම් දුගඳ. ගඳ කියන වචනෙ ඇහුණාව සාමාන්‍යයෙන් එන්නේ දුගඳ කියන තේරුම වුනාට ඒ තර්කයෙන් ම සුගඳ කියන තේරුම ගන්නත් පුළුවනි මගෙ හිතේ.

සමහර විට ගඳකිලිය කියන වචනේ වෙනස්ම තේරුමක් තියෙන්නත් ඉඩ තියෙනවා.


ඇත්තටම මේ පරණ සිංහල පොත්කාරයො මහ අප්‍රභංශ වචනනේ පාවිච්චි කරල තියෙන්නෙ.

ඔන්න මීට අවුරුදු බර ගාණකට කලින් අපි ඉස්කෝලෙ ඉන්න කාලෙ, ඔය සුපුන් සුදාරක ගෙ විතර වයසෙදි, මගෙ පන්තියෙ යාළුවෙක් ගියා ගුවන් විදුලි ප්‍රශ්ණ විචාරක වැඩ සටහනකට සහභාගීවෙන්න. (සුපුන් ල නං ඉතිං යන්නේ මුහුරත් උත්සව වලට නේ!)

මගේ යාළු පොරට ලැබුණු දෙවෙනි ප්‍රශ්ණෙ මෙන්න මේකයි.

"බුදු හිමියන් ගේ අසාධාරණ බුදු ගුණ යන යෙදුමේ, අසාධාරණ යන වචනයෙන් අදහස් වෙන්නේ කුමක්ද?"

දීපල්ලකො පුළුවන් නං උත්තර!

අර ගඳකිලිය වගේම අපිව කරකෝල අතහරින වචනයක් නේද? (ඇයි මුහුරත් උළෙල, නේද සුදාරක?)

කතන්දරකාරයා

ප/ලිඃ
මාත් ගියා ඒ වගේ radio show එකකට ඉස්කොලෙ යන කාලෙ. ඊලඟට ලියන්නං ඒක.

Sunday 16 May 2010

රවි මේසෙන් ඉවත් වෙන්නේ ගොනා ට අඳින්නද?


අපි කවුරුත් දන්නවා නේ රවි ව නේද? හරිම හොඳ එකා. වෙලාවකට සැරයි තමයි, ඒත් ඌ නැත්තං අපි ඉඳල හමාරයි. ඔය චන්ද්‍රා ට වුනත් ඉතිං බලය ඇවිල්ල තියෙන්නෙ මේ රවි හින්ද බව අපි අමතක කරන්න හොඳ නෑ.

ඉස්සර සමහරු හිතුවා රවි තැනින් තැන කරක් ගහන පොරක් කියලා එක තැනක ඉන්න ස්ථිර ප්‍රතිපත්තියක් නැති. එහෙම හිතුවේ වැඩියෙන්ම කතෝලික පූජකයො යි ඔවුන් ගෙ කතා අදහන අයයි.

ඒක එහෙම නෙමේ, රවි ස්ථිරව ඉන්න කෙනෙක් අපි තමයි ඔහේ කැරකෙන්නේ කියල වාද කරන්න හිහින් සමහරු මරණයට පවා ලක්වුනා, සමහර විට අහල ඇතිනේ?

අන්තිමේදි කවුරුත් පිලිගත්තා රවි ගේ ස්ථිර බව සහ අපේ කෂ්ටිය තමයි බම්මන්නො කියන එක.

නමුත් අපේ මාරයා ගේ හෝරාව ලියන මාරයා මතක් කරල දුන්න එයාගෙ අළුත් ලිපියෙන් රවි ගෙ අළුත්ම කරණම ගැන.

පහුගිය කාලෙ අර මීන එක්ක තිබුණු ඇයි හොඳයිය අත හැරල දාපු රවි කාරය ඔන්න බොලේ ලඟදි මේසෙන් අස්වෙලා ගිහින්.

මට නං හිතෙන්නේ රවි ඔය කලේ "ගොනාට ඇඳීමක්" කියලයි.

ඔය යන ගමනෙ ඊලඟට කා එක්ක හරි "මෙවුන් දමක" පැටලෙන්න, කක්කුට්ටෙක් විදියට ඇඳට යන්න, සිංහ සෙයියාවෙන් කෑ ගහන්න හෙම ඉඩ තියෙනව. රවුම ගහල එන්නෙ නැතෑ ආයෙ මීන ගෙ ගුබ්බෑයමටම වදින්න!

හැබැයි රවිගෙ ඔය කරණම් වලින් අපි කාටවත් බලපෑමක් නැහැයි කියලයි මාරය කියන්නෙ.

ඒකටත් එක්ක මේ ලිපියේ මාරයා කියල තිබුණ අපට බලපෑඟක් කරන්න පුළුවන් වෙනත් ග්‍රහ මාරු කීපයක් ගැනම.

ඉන් එකක්, ඒ කියන්නෙ ගුරු ගේ මාරුව සිදුවුනු මැයි දෙවෙනිදා මගේ ජීවිතෙත් ස්ථාන මාරුවක් වුනා. එදා තමා මං අසනීප වුනු තාත්තව බලන්න ගමේ ගිහින් ඉඳල ආපහු ගෙදර ආවෙ. ඒ එනකොට මං කර කර හිටපු ජොබ් එකට කෙලවෙලා මට ආපහු මුලින් හිටපු තැනට යන්න වෙලා.

දෙවෙනි එක වුනේ පහළොස්වෙනිද ලු. ඒකෙ බලපෑමක් නම් තාම දැනුනෙ නෑ. සමහර විට බලාගන්න පුළුවන් වෙයි සඳුදා වැඩට ගියාට පස්සෙ. මොකද කියනව නං, මං අළුත් ජොබ් දෙකකටම ඉල්ලුම් කළා දාහතරවෙනිද හවස් වරුවෙ.

මාරය වගේම මාත් දැන් බලන්න ඉන්නෙ තුන්වෙනියට කියල තියෙන කුජ මාරුව එනකන්. ඒක මේ මැයි මාසෙ විසි හයවෙනිද ලු වෙන්නෙ. අපේ සීය වගෙම ධනු ලග්න කාරයෙක් වෙන මට ඒක වැඩ කරලා දාපු ජොබ් දෙකෙන් එකක් සෙට් වුනොත් අත පය දිග හැරල පුතය වගේ ඉන්න පුළුවන් වෙයි.

බලමු බලමු.

කතන්දරකාරයා

ප/ලිඃ
මීට කලිනුත් මං මාරයා ගැන සඳහනක් කලා අර කතන්දරකාරයා මහන වුනු හැටි විස්තර ලියපු වෙලේ. තෑන්ක්ස් මාරයා.

Friday 14 May 2010

හීල් බත්, අළුත් බත් සහ රමණී මෙතඩ්


මේක කෑම ගැන කතන්දරයක්. හැබැයි කෑම උයන හැටි ගැන නෙමේ කෑම කන හැටි ගැනයි.

රමණී කියන්නේ අපේ යාළුවෙක්. අර කීප්-අ-සයිඩ් ක්‍රමයට අන්තර්ජාලෙන් කෑම උයන්න පුරුදු වුනු රත්නායක කියන මගේ මිත්‍රයා ගේ ප්‍රිය බිරිඳ.

ඔය රත්නායක වැඩියෙන් ප්‍රසිද්ධ රත්නායක ජෝක්ස් දාන්න බව මතකයි නේ? රමණී හරිම සිරියස්. වැඩි ජෝක්ස් බෝක්ස් නෑ.

ඉතිං කතාව වියෙන්නේ මෙන්න මෙහෙමයි.

දැන් අපේ ගෙවල් වල දවල්ට හරි රෑට හරි ඉව්වහම සමහර විට ඉතුරු වෙනවනේ. ඉස්සර අපේ ආච්චිල ගෙ ගෙදර නම් ප්‍රියතම කෑමක් තමා හීල් බත් කෑම.

හීල් බත් කියන්නේ රෑට උයලා කෑවට පස්සේ ඉතුරුවෙන බත් සහ හොදි මාළුපිණි කුස්සියෙ ඒ ඇතිලිවලම තියල උදේට රත්කරගෙන කන එක. අපේ ආච්චිල ගෙ කෂ්ටිය කොච්චර ඔය හීල් බතට කැමතිද කියනවනම් රෑට වැඩිපුර උයනව පහුවදා උදේට කන්නත් එක්ක.

මට නම් එදත්, අදත් හීල් බත් පෙන්නන්න බෑ. කවදත් කන්න කැමති පාන් ම තමා. අපේ තාත්ත ඊටත් එහා, කන්නෙම බනිස්.

ඒ කාලෙ ආච්චිලට හීල් බත් කන්න පුළුවන් වුනේ එකක් ඒ පැත්ත රෑට හරිම හීතල හින්ද කෑම නරක් වෙන්නෙ නැති නිසයි. ඒ කාලෙ ඔය ශීතකරණ තිබුනෙ නෑ එහෙ. කොහොමටත් මං හිතන්නෙ නෑ, රෑට ෆ්‍රිජ් එකේ දාපු කෑම උදේට කන එක හීල් බත් කෑමක් කියල. රහ වෙනස් ඇති. දන්නෝ දනිති.

රෑට හරි දවල්ට හරි උයල කන්න යන වෙලාවට ඊට කලින් වේලට උයපු බත් හරි හොදි ජාති හරි තියෙනවනං අපි කරන්නෙ ඉස්සෙල්ලාම අර පරණ බත්, හොදි බෙදාගන්න එකයි. මොකද ඒව ඉවර කරල එපායැ අළුතින් උයපු ඒව කන්න, නේද?

රමණී ඒ වැඩේට විරුද්ධයි.

එයා කියන්නෙ අපි ඉස්සෙල්ල කන්න ඕනැ, අළුතින් උයපු බත් සහ හොදි ජාති කියලයි.

රමණි ගෙ තර්කය තමයි, එහෙම නොකලොත් අපිට හැම වේලටම පරණ බතුයි හොදියි කන්න තමයි වෙන්නෙ කියල. ඇයි දැන් පරණ ඒව කෑවහම, අළුතින් උයපු ඒව ඉතුරු වෙලා, ඊලඟ වේලට කන්න වෙන්න ඉඩ තියෙනවනේ.

ඔන්න ඕකට තමයි මං කියන්නෙ "රමණි මෙතඩ්" එක කියලා.

කතන්දරකාරයා

ප/ලිඃ
චූ කතන්දර සීරිස් එකට පස්සෙ අද පටන් ගන්න හිටිය කඳුළු කතන්දර වැල පොඩ්ඩක් කල් දැම්මා.

අපේ කෂ්ටිය වැඩි දෙනෙක් කඳුලු කතන්දර වලට කැමතිම නැහැල්ලු!

Thursday 13 May 2010

තවත් චූ කතාවක් සහ අපේ තාත්තාගේ රෝගී තත්වය


මං කලින් දාපු චූ කතා දෙකට ආපු ප්‍රතිචාර අනුව සමහරු මේවට කැමතියි. තවත් සමහරු අකමැතියි. ඒත් මං හිතන්නේ බහුතරය විරුද්ධත්වයක් නෑ කියලයි.

ඒ හින්දා හිතුනා මේ කතන්දරෙත් කියල දාන්න.

තවත් හේතුවක් තියෙනවා මාතෘකාවේ දාලා තියෙනවා වගේ. ඒක කතන්දරේ අන්තිමේදි තේරෙයි.

මේක අද ඊයෙ සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. එක්දාස් නමසිය පොඩි ගනං වල කොළඹ අවට ගම් ප්‍රදේශයක සිදුවුනු දෙයක් ගැන කතන්දරයක්.

ඔන්න එදා මේ ගමේ ගෙදර ලොකු කයියක් තිබුනා. ටවුමෙ බබා ල ගේ දැන ගැනීම පිණිස කියනවා නම්, කයියක් කියන්නේ, කුඹුරු වපුරන දවසට, ගොයම් කපන දවසට තියෙන ගමේ හැමෝම එකට එකතුවෙලා වැඩ කරන වර්කින් බී (working bee) එකයි. මේ විදියට වැඩකරන එකට අත්තම් ක්‍රමය කියලාත් කියනවා. ඒ කියන්නේ ගමේ හැම ගෙදරකින්ම ඒ අයගේ කුඹුරු වල වැඩ කරන්න කෙනෙක් යවනවා. මුදල් හුවමාරුවක් නෑ. කුලියක් නෑ. ඒ වෙනුවට කරන්නේ අනිත් අයගේ කුඹුරු වැඩට ඒ හා සමානව උදව් වෙන එකයි.

අත්තම කියන්නේ මිනිස්-සේවා-දිනයක (man-day) මිණුමටයි.

එදා කුඹුරේ වැඩකටයුතු වලට සහය වෙන හැමෝටම සංග්‍රහ කරන්නේ කුඹුර අයිති පවුලේ ගෙදරිනුයි. කයිය කියන්නේ මේ දවසේ කෙරෙන සංග්‍රයටයි.

ගොයම් කයියකට උයනවා කියන එකත් ලේසි පාසු වැඩක් නෙමේ. ඇයි මුළු ගමේම සෙනඟ වගේ එකතු වෙනවානේ.

ඉතිං එදා මේ ගෙදර තිබුණු කයියට සම්බෝලයක් හදන්න පොල් ගෙඩි හතක් ම ගෑවාළු. එහෙම කියන්නේ මගේ ආච්චී, ඒ කියන්නේ තාත්තා ගේ අම්මා.

වැඩිම වුනොත් පොල් ගෙඩි තුනක් ගාලා තියෙන්න ඇති. එහෙම කියන්නේ මගේ තාත්තා, ආච්චී ගේ පුතා.

ඔය කාලෙ උඹලෑ තාත්තට වයස අවුරුදු හතක් විතර ඇති. එහෙම කියන්නේ මගේ ආච්චී.

අපො නෑ, මට ඔන්නං වයස අවුරුදු හතරක් ඇති. එහෙම කියන්නේ මගේ තාත්තා.

කවුරු මොනවා කිව්වත් වුනේ මේකයි. පොල් ගාලා, ගොයම් කයියට ආපු අයට කන්න මහා පතරංග සයිස් පොල් සම්බෝලයක් හදල තිබුණා.

එක පාරම ඔතනට දුවගෙන ආපු මේ ගෙදර ඉන්න කොළු පැටියා කෙලින්ම චූ පාරක් ඇල්ලුවා ඒ සම්බෝල පුරෝල තිබුණු තඩි කොරහට.

සේරම ඉවරයි!!!

ආච්චියි ගෙදර හිටපු අනිත් අයයි එකතුවෙලා විගහට ආයෙමත් පොල් ගෙඩි ගාණක් ගාලා හැදුවාලු ඒ වගේ ලොකුම ලොකු සම්බෝලයක්.

මොකද කොළුවට ගැහැව්ව කියල, සම්බෝලෙ පිරිසිදු වෙනවයැ.

ඔන්න ඕකයි ඉතිං කතන්දරේ.

කතන්දරකාරයා

ප/ලිඃ
දැන් කියන්නං මේ කතන්දරේ දාන්න දෙවන හේතුව.

කීප දෙනෙක් ම පහුගිය දවස් දෙක තුනේ දී මගෙන් අහල තිබුණා තාත්තාගේ සුව දුක්. මේ කතන්දරේ පිට දාලා ඒකටත් උත්තර දෙන්න පුළුවනි.

කෙටියෙන් කියනවා නම් තවම වැඩි සනීපයක් නෑ. අප්‍රියෙල් මාසේ වැටුනු එකේ ප්‍රතිවිපාක තමයි. ඉස්පිරිතාලෙ ඉඳලා ආව දවස්වලට වඩා නම් සාමාන්‍යයෙන් සුව ගතියක් තියෙනවා. වචන ගලපලා තරමක් කතාකරන්න පුළුවන්. ඒත් සම්පුර්ණ අවබෝධය එන්න නං කලක් යයි.

තාත්තා අද ඉන්න තත්වය ගැන හිතන කොට මට මතක් වෙන්නේ අවුරුදු කීපෙකට කලින් මං ඉස්පිරිතාලෙ ලැග්ග හැටි. මේ ගැන මං ලුහුඬු සඳහනක් කළා මෙන්න මෙතන. ඒ රෝගී ජීවිතේ එක් අමතක නොවෙන දෙයක් තමයි කැතීටර් එකක් හයිකරගෙන ඒකෙ බෑග් එක කකුලෙ එල්ලගෙන ඉන්න වුනු එක.

මං චූ කතන්දර තුනක් ම දාන්න හේතුව දැන් තේරෙනව නේද?

අදින් ඉවරයි මේ චූ කතන්දර සීරීස් එක. හෙට ඉඳලා කඳුළු කතා.

Wednesday 12 May 2010

චමරියක තව කතාවක් - අපි චූ කළ හැටි


මාසෙකට විතර කලින් මං තනියම බ්ලොග් මැරතන් එකක් දුවන කාලෙ මං කිව්ව චමරියේ කතන්දරේ මතකයි කියල හිතනව. නැත්තං මෙතනින් කියවන්න පුළුවන්.

තාත්ත අසනීප වුණාම ගමේ ගිය නිසා බ්ලොග් ලිවීම ටිකක් අඩපණ වුණා. චමරියේ කතාව අගදි තව ගොඩක් චමරියේ කතා ලියන්නම් කියල කිව්වට ඒකට වෙලාවක් හම්බ වුනේ නෑ අද වෙනකං.

එහෙම බලනවනං, අර මං ලියන්න පටන් ගත්තු නපුරු ගුරුවරු සීරිස් එකේත් තව කතන්දර ගණනාවක් තියෙනව ලියන්න. ඒ සීරීස් එක මගදි පටන් ගත්තු පන්ති නායකත්වය ගැන අතුරු කතන්දර ටිකත් තාමත් අතරමග නවත්තපු තැනමයි.

ජූලි 11, උපන් දිනේ ට කලින් කලින් ඔය සේරම කතන්දර ලියල දාන්නයි ඉන්නෙ.

ඒ අව් අස්සෙ, ඊයෙ ලියපු චූ කරන කතන්දරේටත් හොඳ හොඳ ප්‍රතිචාර ලැබුණු නිසා මට හිතුන, චමරියෙ කතන්දරයි, චූ කතන්දරයි කියන දෙවර්ගයටම අහුවෙන එක කතන්දරයක් ලියන්න. මේ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක්.

කවුරු හරි කියනවනං මේ චූ කතන්දර මහ අසික්කිත ඒව කියල මට කියන්නේ තියෙන්නේ කරුණු දෙකයි.

එකඃ චූ කරන එක තරම් නැචුරල් දෙයක් මේ ලෝකේ වෙන නෑ.

දෙකඃ වැඩි කතාවට ආවොත් මං ලියන්න ගන්නව කක්ක කතා, නොකිව්වයි කියන්න එපා.

චූ කිරීම, ඒ කියන්නෙ නම්බර් වන් එක, කක්ක කිරීමෙන් තරමක් වෙනස් දෙයක් නිසා ඒ සඳහා අවශ්‍ය පහසුකම් අඩුයි. චූ කළාම වතුර හෝ ටොයිලට් පේපර් නැතුවට කමක් නෑනෙ. අනික, මයිකල් ඔන්ඩච්චිත් කිව්ව වගේ ගෑනු පිරිමි දෙපක්‍ෂයටම ඕනි නම් හිට ගෙන චූ කරන්න පුළුවන්. මෙන්න මේ කරුණු නිසා, අපේ කාලේ ගමේ ගොඩේ සමහර ගෙවල්වල තිබුණ, චූ කරන්න වෙනම තැනක් හදල. මේකට කිව්වෙ අතු-කොටුව කියලයි.

වැසිකිලිය (ටොයිලට්) සහ කැසිකිලිය (යුරිනල්) කියන වචන දෙකේ තේරුම් වල වෙනස හොයල බැළුවොත් මේක පැහැදිලි වේවි. මේ අතු-කොටුව කියන ගම්බද කැසිකිලිය කියන්නේ පොල් අතු වලින් ආවරණය වෙච්ච චතුරශ්‍රාකාර තැනක්. උඩට වහලක් නෑ. පොළව සාමාන්‍ය පරිදිමයි, හිල්, ගුල්, වලවල් නෑ. ඇයි ඉතිං චූ කළාම ඒක පොලොවට උරා ගන්නවනෙ. ඊට පස්සෙ අර නැචුරල් ෆිල්ටරින් ප්‍රොසෙස් එක හරහා පෙරිල, අපද්‍රව්‍ය අයින් වෙලා ගිහින් නැචූරල් ස්ප්‍රිං වෝටර් බවට පත්වෙලා බෝතල් වල ඇහිරිලා රුපියල් තිහ ගානෙ විකිණෙනව. සොරි හොඳේ?

ඉතිං අද කතන්දරේ මෙන්න මේකයි.

ඔන්න මං කාලෙකට ඉස්සර ඔය මහනුවර පැත්තෙ තිප්පොලක කාලෙ නාස්ති කරන කාලෙ, අවුරුද්දක් විතර නැවතිල ඉන්න වුනා චමරියක. අපේ චමරිය තිබුන පොඩි ගෙදර තිබුනෙ අයිතිකාරයගෙ ගෙදර තිබුණු පොඩි ඉඩම් කෑල්ලෙම පැත්තකින්. කාමර දෙකයි, මැද කෑල්ලයි, කුස්සියයි තමයි මුළු ගෙදරම. මේකෙ නතර වෙලා හිටිය අපි අට දෙනෙක්.

අයිතිකාරයගෙ පරණ ගෙදර මේක. අළුත් ගෙදර එයාගෙ පවුලෙ ලොකු හතර දෙනාට අමතරව, අපේම යාළුවො පස් දෙනෙකුත් බෝඩිං වෙලා හිටිය. චමරියෙ අපි අට දෙනාටයි, බෝඩිං කාරයො පස් දෙනාටයි තිබුනෙ එකම එක වැසිකිලියයි. ඒක තිබුනෙ මේ පොඩි ඉඩමෙ අනිත් කොනේ.

මං මුලින් කිව්ව අර චූ කරන එකෙයි, කක්ක කරන එකෙයි තියෙන වෙනසින් ප්‍රයෝජන ගන්න හිතපු බෝඩිමේ අංකල් කාරය මොකද කලේ, අපේ චමරිය තිබුණු ගෙදර පිටි පස්සෙ අගුවෙ වතුර බහිණ කානුවට අල්ලල එක පැත්තකින් පොල් අතු ගහල හැදුව කැසිකිලියක්. ඒ අපි අට දෙනාට චූ කරන්න.

වැඩේ පහසුයි, කාර්්‍යක්‍ෂමයි, වැඩි දුරක් යන්නත් ඕනැ නෑ. රෑටත් ලේසියි.

නමුත් ඒ ජොලිය තිබ්බෙ දවස් කීපයයි.

ටික දවසකින්ම ඒ පැත්ත පලාතෙ යන්න බැරි විදියට ගඳ ගහන්න පටන් ගත්ත.

මොකද, අංකල් කාරය හිතපු විදියට, අපේ චූ හේදිලා ගිහින් පල්ලෙහා තිබුණු වෙල් යායට යූරියා පෝර හදන්න වැහි වතුර ආවෙ නෑ!!!

කතන්දරකාරයා

ප/ලිඃ
මගේ චූ කිරීම ගැන පෝස්ට් එකට ප්‍රතිචාරක් දෙන චානක මුණසිංහ කියනව මේක ටැබූ සබ්ජෙක්ට් එකක් කියල. ටැබූ සර් ලඟදි ලිව්වනෙ යටිවතට ඇයි මේ සරදම්? කියල ලිපියක්.

මට නං ඊයෙ කතන්දරේ ලියන්න හේතු දෙකක් තිබුණා.

එක: පිටස්තරයා ගේ පණිවිඩයට පොඩි ප්‍රචාරයක් දෙන එක.

දෙක: දන්නෙ නැති අයට මයිකල් ඔන්ඩච්චි කියන ලේඛකයව හඳුන්වා දෙන එක. මේ ක්‍රමය ලේසියි අටවක පුත්තු ගැන ටැබූ ලිව්ව ක්‍රමයට වැඩියෙන්!!!

Tuesday 11 May 2010

අපේ අයියලා ගේ (සහ අක්කලා ගේ) චූ කිරීම


ආතල් ගන්න යාපනේ යන අපේ කාණ්ඩෙට වැදගත් කරුණු කිහිපයක් අඩංගු ලිපියක් ලියල තිබුන අපේ පිටස්තරයා කියන බ්ලොග්කරුවා.

ඔය යන සිය ගනං ජනතාවට හරියන්න ආහාර පාන, නවාතැන් පොලවල් විතරක් නෙමේ චූ කරන්නවත් පහසුකම් අඩු බවයි ඒ ලිපියෙ තිබුනෙ. ආතල් ගන්න කෂ්ටියයි, එහෙ වෙළඳාමට යන කෂ්ටියයි සේරම කෝවිල් ඉඩමක ශරීර කෘතයන් කරන බවයි ආරංචිය.

ලිපිය බලන වෙලේ තමයි මේ කතන්දරේ සිහියට ආවෙ.

අද කියන්න යන්නෙ එක විදියක ජරා කතන්දරයක් කියල සමහරුන්ට හිතෙන්න පුළුවන්. හැබැයි ඉතිං මේ සේරම කතන්දර අපේ ජීවිතවල කතන්දර. මවපු ගොතපු ඒව නෙමේ.

දැං අපි වැසිකිලියකට ගියාම කරන වැඩ දෙකක් තියෙනවනේ. නම්බර් වන් කියන්නෙ චූ දාන එක. නම්බර් ටූ කියන්නෙ කක්ක කරන එක.

අළුත් කොමොඩ් වැසිකිලිවල ඔය කර්තව්‍යයන් දෙක කරල ෆ්ලෂ් කරන්න දෙවිදියකුත් තියෙනව වතුර ඉතුරු කරගන්න. නම්බර් වන් කලොත් හාෆ් ෆ්ලෂ්. ෆුල් ෆ්ලෂ් කරන්න ඕනැ නම්බර් ටූ එකක් කළොත් විතරයි.

පිරිමි අයට නං ඔය නම්බර් වන් කරන එක මහ දෙයක් නෙමේ. ගමේ ගොඩේ නං ඔය ගහකට ගලකට මුවා වුනාම ඇති.

හැබැයි ඉතිං කාන්තා පක්‍ෂයට නං ඕක නම්බර් වන්, ටූ කියල වෙනසක් නෑ. මහා බැරෑරුම් සංසිද්ධියක්. ඇත්තම කියනව නං ලංකාවෙ හරි හමං වැසිකිලි පහසුකම් නැති නිසා කාන්තාවො හරියට දුක් විඳිනව.

සමහර අපේ කාන්තාවො උදේ ගමනක් පිටත්වෙලා හවස ගෙදරට එනකම්ම, අඳුනන ගෙදරකට ගොඩ වැදුනෙ නැත්තං, ඉවසං ඉන්නව වැසිකිලි යාම.

නමුත් මං දන්න තරමින් කාන්තාවන්ටත් පුළුවන් සාරියක් හරි දිග ගවුමක් හරි ඇඳල ඉන්නව නං හිටගෙනම පරිස්සමින් ඔය නම්බර් වන් කර්තව්‍යය කරන්න කාටවත් නොපෙනෙන්න.

පුදුමයි නේද? අද කාලෙ කෙල්ලො නං මේක විශ්වාස කරන එකක් නෑ. ඇත්තටම කතන්දර බ්ලොග් එකේ කාන්තා පාඨකයින්ව ටර්න් ඕෆ් කරන දෙයක් වෙන්න පුළුවන් ඒ කතාව.

නමුත් පොඩ්ඩක් ඉන්න.

මේ මං හිතල ගොතපු කතාවක් නෙමේ. මයිකල් ඔන්ඩච්චි ගේ (michael ondaatje) රනින් ඉන් ද ෆැමිලි (running in the family) කියන පොතේ එයාගෙ ආච්චි කෙනෙක් ගැන කියපු කතාවක් ඒ. මට මතක හැටියට මේ ආච්චි කොළඹ කොන්වන්ට් එකක කානිවල් එක දවසෙ දෙනෝදාහක් ඉන්දැද්දිත් මේ වැඩේ සාර්ථකව කරල තියෙනව.

සාර්ථකව කියන්නෙ කකුල් දෙකේ ගෑවෙන්නෙ නැතිවෙන්න වෙන්න ඕනෑ.

මට බනින්න එපා, ලංකාවෙ ඉපදිලා, අවුරුදු දොලහෙදී එංගලන්තයට ගිහිං, දැන් කැනඩාවෙ ඉංග්‍රිසි සාහිත්‍යය පිළිබඳ මහාචාර්ය කෙනෙක් වෙන, තමන් ලියපු ඉංග්ලිෂ් පේෂන්ට් කියන පොතට සම්මානනීය බුකර් ත්‍යාගය දිනාගත්තු මයිකල් ඔන්ඩච්චිට බනින්න.

කතන්දරකාරයා
ප/ලිඃ තවත් චූ කතන්දරයක් දාන්නංකො හෙටම. මොකද කියන්නෙ?

Wednesday 5 May 2010

ත-යන්නේ සින්දුව


මං පොඩි කාලෙ කියවපු සින්දු හෝඩිය මතකයෙන් ගිලිහිලා යන්න කලින් ලියන්න පටන් ගත්තා. මුලින්ම අ-යන්න, ආ-යන්නේ සහ ඇ-යන්නේ සින්දුවල මතක තියෙන කොටස් ලිව්වා.

ඊ ලඟට ද-යන්නේ සින්දුව සෑහෙන්න සාර්ථකව මතක් කර ගත්තා.

මේ පොතේ පසු කාලීන මුද්‍රණයක් තිබුණත් ඒක බලලා මතකේ තියෙන අය කතන්දර බ්ලොග් එක බලන්නේ නැති හැඩයි.
කොහෙම වුනත් මෙන්න අද ත-යන්නෙ සින්දුවේ මට මතක තියෙන කොටස.

ත-යන්නේ සින්දුව

තඹුත්තෙ තල් ගහ ගාවා
තම්බිගෙ තේ වතුර කඩේ
තල ගුලියක් තුට්ටු තුනයි
තවත් වටිනවා

තම්බි එදා තල කොටලා
තල ටික තසිමක තියලා
තව තසිමක් අරං එන්න
පැත්තකට ගියා

තම්බිගෙ තනියට ඉන්නා
තඩි බල්ලා දුවගෙන විත්
තල තසිමට කිට්ටු කලා
හව් හව් ගාලා

ඊලඟ පද ටිකෙන් කියවෙන්නේ තම්බි, බල්ලව තැඹිලි ගහේ බැඳලා තැළුව හැටියි.

අනේ කාට හරි මේ සින්දුව මතක තියෙනවා නම්!

කතන්දරකාරයා

Tuesday 4 May 2010

ද-යන්නේ සින්දුව - පොතක මතක II


පුංචි කාලෙ කියවපු සින්දු හෝඩිය පොත ගැන කියල ඒකේ තිබුණු අ-යන්නෙ සින්දුවයි, ආ-යන්නෙ එකෙන් පේලි දෙකකකුයි, ඇ-යන්නෙ සින්දුවෙන් කොටසකුයි මං කලින් පොස්ට් එකේ දැම්ම.

ඒ පොතෙන් තවත් සින්දුවක් මෙන්න. මේ ලියන්නේ මගේ මතකයෙන්. මේ පොත මා ලඟ නෑ.

ද-යන්නේ සින්දුව

දවස ගානෙ දිද්දෙණියේ
දර්මදාස හති දම දම
ගෙදර වලට ඇවිද බෙදයි
දවස පත්තරේ

දර්මදාස මුලදි මුලදි
දඟ දල පොඩි දරු පැටයෙකි
ලද්දුව මද්දුම සීයයි
හොඳ හැටි හැදුවේ

දකුණු කකුලේ දදේ තියන්
දහදුක් විඳ විඳ ඉඳිනා
දම්බැද්දේ දයානන්ද
දර්මගෙ මිතුරා

දවසක් දා දයානන්ද
දුක් විඳ විඳ කොර ඇද ඇද
වෙද ගෙදරට ඇදෙන විදිය
දුටු දර්මේ තදින් දුක්වුනා

----
----

දොලෙන් එහා වෙද ගෙදරට
ගිහින් ඉන්දුවා

සමහර කොටස් මතක නෑ. දන්න අය සම්පූර්ණ කරන්න.

තව සින්දු කීපයක් කෑලි කෑලි මතකයි. සෙස්ස පස්සට.

කතන්දරකාරයා

පොතක මතක - පුංචි කාලෙ කියවපු සින්දු හෝඩිය


මගේ කෙටිකාලීන මතකය ගැන ලියපු කතන්දරේ මතකයි නේද? තමන් ගේ කෙටිකාලීන මතකය හොඳ අයට මතක ඇතිනේ. මෙන්න අනිත් අයට ඒකට ලින්ක් එකක් නැවතත්.

මගේ කෙටි කාලීන මතකය අඩුවෙන්න හේතුව තමයි මතක හාඩ් ඩිස්ක් එක මුළුමනින්ම පරණ දේවල් වලින් පිරි තිබීමයි.

මෙන්න ඒ වගේ පරණ මතකයක්.

මං පහේ පන්තියෙ විතර ඉඳිද්දි අපේ ඇන්ටි කෙනෙක් මගේ මල්ලිට ගෙනත් දුන්න පොඩි පොතක්. ඒකෙ නම සින්දු හෝඩිය.

සිංහ හෝඩියෙ හැම ස්වරයකටමයි, මහාප්‍රාණ හැර අනිත් හැම අකරටමයි ඒ පොතේ සින්දුවක් තිබුණ. මගේ මේ උත්සාහය ඒ සින්දු හෝඩියේ තිබුණු සින්දුවලින් මට මතක ටික වමාරන්නයි.

සින්දු තුන හතරක් විතර මුළුමණින් ම මතකයි. තවත් කිහිපයක පේලි කීපයක් විතරයි මතක.

මේ පොතේ පසු කාලීන මුද්‍රණයක් තිබුණ වගෙයි මගේ මතකය. ඒ හින්ද මේ සින්දු වල අඩු පුරවන්න පුළුවන් කට්ටියත් ඉන්න ඕනැ.

අ-යන්නේ සින්දුව

අම්මෙ, අම්මෙ අන්න අතන
අගල අයිනෙ අඹ ගහේ
අග අත්තේ අග ඉත්තේ
අඹයක් තිබුණා ඉදී
අපූරු ලේනෙක් ඇවිදින්
අතු අස්සෙන් බල බලා
අත් දෙකෙන්ම අල්ලාගෙන
අඹයෙන් කෑවා ටිකක්

අපේ අයිය ඒ දැකලා
අප්පුඩියක් ගැහැව්වා
අනේ අඹේ අතහැරලා
ලේනා අහකට ගියා
ලේන කොටේ අහුලාගෙන
අයිය මාත් එක්කලා
අරලිය ගහ යට ඉඳගෙන
කෑව තමයි හරි රසයි

ආ-යන්නේ සින්දුව - මට මෙච්චරයි මතක

ආදර ආතා ආදර ආච්චි
ආවා ආයේ අරගෙන ආස්මී

දන්න අය ඉතුරු ටික කියනවද, ප්ලීස්?

ඇ-යන්නේ සින්දුව

ඇතෙක් ඇවිත් ඈත කැලෙන්
ඇල් අද්දර ඇටඹ ගහට
ඇන්න පාර ඇටඹ ගොඩක්
ඇත ඇද වැටිලා

ඇටඹ ඇහිඳ ඇහිඳ උන්නු
ඇහැටුල්ලේ ඇඹිත්තයා
ඇතා දැකල බයවෙච්චී
ඇලට වැටිච්චී

තව කවියක් අඩුයි මේකෙ. මතක අය ඉන්නවදෝ?

සෙස්ස පස්සට.

කතන්දර කාරයා

Sunday 2 May 2010

අපූරු මෛක්‍රෝ බ්ලොග් එකක් - A wonderful MICRO blog!


සති දෙකක පමණ කාළෙකට පස්සේ සුපුරුදු පරිසරයේ සිට බ්ලොග් කියවන්නට අද මට ඉඩ ලැබුණා.

වැඩිය නොකළ දෙයක් කරන්නයි අද සැරසෙන්නේ.

ඒ ඉතා කෙටි සටහනක් - එනම් මෛක්‍රෝ බ්ලොග් පොස්ට් එකක් - දැමීමටයි.

මේ සටහනත් මෛක්‍රෝ බ්ලොග් එකක් ගැනයි.

නමඃ සතුටු මනස ගැන. ලියන්නේ: පුබුදු සිරි නිවාස.

URL: http://siriwansa.wordpress.com/

මේකෙ තියෙන්නේ ඉතාම කෙටි සටහන්. පොඩියි. හොඳයි.

කියවලම බලන්නකෝ.

අද දාල තියෙන පෝස්ට් එකත් මරේ මරු. වසර 2040 දී පලවෙන දේශපාලකයෙකු පිළිබඳ ගුණ වැනුමක්!

කතන්දරකාරයා
ප/ලිඃ
හිතේ දුක දරාගෙන මං ගෙදර ආවා. තාත්තා තවමත් ලෙඩ ඇඳේ. සුව වීමේ ප්‍රගතිය හොඳ නෑ. තව මාසෙකින් පමණ තත්වය ගැන වෛද්‍ය නිගමනය දැන ගත හැකි වේවි.

දැං ඉතිං සති දෙකක විරාමයකට පසුව නැවතත් රැට් රේස් එක පටන්ගන්න වෙලා තියෙනවා හෙට ඉඳලා.