Tuesday 31 July 2012

කවුද බොලේ මේ කල්‍යාණි? - Who on earth is this Kalyani?



රොනී ලීච් කියන තට්ට පොර ගායනා කරන කවුද බොලේ මේ ඇලිස් සින්දුව දන්නවා නේද? මං කලින් දවසක සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකක ලිව්වා වගේ කවුද බොලේ මේ ඇලිස් සින්දුවත් අන්න සුද්දෝ කොප්පේ ගහලා සින්දුවක් හදාගෙන තියෙනවා ලු!

හැබැයි මං අද මේ කියන්න යන "කවුද බොලේ මේ කල්‍යාණි?" කතන්දරේ නං සින්දුවක් ගැන නෙමෙයි. මේක වෙනත් ආකාරයක මෙව්ව එකක්.

මගේ කතන්දර දෙක තුනක හිටපු සාමා ළමයා මතකයි නේද? එයා තමයි අර මාටින් වික්‍රමසිංහ ලියපු ගොළු හදවත පොත කඩෙන් ගන්න ගියේ. ලෝක ස්වභාවය ගැන කැම්පස් කාලේ අම්මාගෙන් පාඩමක් ඉගෙන ගත්තේ. ඒ විතරක් නොවෙයි, කාල් අංකල් ගේ තේ හැදිල්ල ගැන කතන්දරේ මට කිව්වෙත් සාමා ළමයාම තමයි.

රත්නායක මහත්තයා සහ රමණී නෝනා වගේම, සාමා ළමයාත් එයාගේ මහත්තැන් අමර ගොයියත් මගේ හොඳ යාළුවෝ.

මගේ තව නොදුටු හිතවතෙක් වෙන මාක් සකර්බර්ග් ගොයියා මේ මූණත් තහඩු පොත හැදීම කියන සමාජ විප්ලවය කරලා දැන් අවුරුදු බර ගාණක් වෙනවා. අද ලෝකේ ඉන්න ඩයල්වලින් අරික්කාලකට විතර මූණත් තහඩු පොතේ ගිනුම් තියෙනවාද කොහෙද. මාක්කාරයා දැන් බිලියනර් කෙනෙක්.

ඒත් අපේ සාමා ළමයා හෙම නොවෙයි ඔය මූණත් තහඩු පොතට තමන්ගේ මූණ දාන්න ගියේ තාමත්.

මොන ලඩ්ඩයිට් ට වුනත් පියර් ප්‍රෙෂර් එකෙන් බේරිලා අද වෙනතුරුත් එහෙම ඉන්න එක්කෝ සෑහෙන්න ආත්ම ධෛර්්‍යයක් තියෙන්න ඕනෑ, නැත්තං සෑහෙන්න කම්මැලිකමක් තියෙන්න ඕනෑ!

අපි අළුතින් ෆේස් බුක් එකවුන්ට් එකක් හදන්න යනකොට දන්නවානේ වෙන දේ? ඒ ක්‍රියාවලියේ එක තැනකදී අපිට පුළුවනි අපේ ජී-මේල්, හොට්-මේල්, යාහූ-මේල් වගේ එකකට ලොගින් වෙලා අපේ ඇඩ්‍රස් පොතේ ඉන්න අයගෙන් දැනටම ෆේස් බුක් එකේ ඉන්න අයට මිතුරු ඇරයුම් යවන්න.

ඒ එක්කම තාමත් මුණත් තහඩුව ෆේස් බුක් එකට දැම්මේ නැති අයට ඊ-මේල් යවන්නත් පුළුවනි, බුකියේ ගිනුමක් අරඹලා අපි එක්ක යාළුවෙන්න එන්න කියලා.

සාමා ළමයාටත් තමන්ගේ යාළුවන්ගෙන් විටින් විට ඔය වගේ ඊ-මේල් ලැබිලා තියෙනවා. ඒත් සාමා නෙමෙයි ඒවට අහුවුනේ!

ඉතිං මේ ළඟදී දවසක උදේ සාමා ළමයා තමන් ගේ ඊ-මේල් චෙක් කරන කොට ඔය කියන ජාතියේ ඊ-මේල් එකක් තිබුණා.

කල්‍යාණි පෙරේරා ඉන්වයිට්ස් යූ ටු ජොයින් ද ෆේස් බුක්!

කවුරු?
කල්‍යාණි පෙරේරා?
අහල පුරුදු නමක් වගේ!

කවුද බොලේ මේ කල්‍යාණි?

කැම්පස් එකේ මෙහෙම නම තියෙන කෙල්ලෙක් හිටියෙත් නෑ.
ඔෆීසියේ, ගමේ රටේ, අහල පහල, දන්න කියන කෙනෙකුත් නෙමේ.

කවුද බොලේ මේ කල්‍යාණි?

ඉස්කෝලේ කාලේ හිටිය යාළුවෙක් ද? දැන් බැඳලා නම වෙනස් වෙලාද?

කවුද බොලේ මේ කල්‍යාණි?

දවස් දෙක තුනකට පස්සේ, මල්ලිගේ පවුලත් එක්ක මහගෙදර ඉන්න සාමා ළමයා ගේ අම්මා කෝල් කරපු වෙලේ මේ ප්‍රශ්නය විසඳුණා!

වෙන කවුරුත් නෙමේ මේ කල්‍යාණි පෙරේරා, සාමා ළමයා ගේ ම අම්මා!

අම්මා මූණු පොතේ ගිනුක් අරඹලා දුවට කලින්!

-කතන්දරකාරයා

ප/ලි:

මගේ කතන්දරකාරයා එකවුන්ට් එකේ දැන් මාස ගාණක ඉඳලා මිතුරන් 5,000 පැනලා නිසා අළුතින් කාවවත් එකතු කරගන්න බෑ. තරහා වෙන්න එපා.

(image: http://blogs.telegraph.co.uk/news/danielknowles/100159144/100159144/)

Saturday 28 July 2012

ඉරිදා බඩු මෙන්න සෙනසුරාදාම - Sunday come early!


මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක සින්දුවක් ගැනයි.

මං ගිය ඉරිදා ලියපු "පැරණි රසාංගයක්, නව රිද්ම වෙලා අවුල්වෙලා යනවා" වගේ කේස් එකක් තමයි මේකෙනුත් කියවෙන්නේ.

මෙන්න පද මාලාව.

       මලක් සේ සුමුදු ඔබ හද
ගලක් සේ රළුව ඇයි අද
කඳුළු විල මැද තනිවෙලා මා තනිවෙලා

පෙර භවේ පවෙන් මිදෙනට
මට වරම් ලැබේවිද හෙට
කඳුළු විල මැද තනිවෙලා මා තනිවෙලා

මේ ලෙසින් දුකෙන් තැවෙනට //
සිතුවෙ නෑ සිතුවෙ නෑ
ඔබ මෙසේ වෙනස් වේ යැයි
සිතුවෙ නෑ සිතුවෙ නෑ

මලක් සේ සුමුදු ඔබ හද
ගලක් සේ රළුව ඇයි අද
කඳුළු විල මැද තනිවෙලා මා තනිවෙලා

පෙර එදා සතුටු සුව යලි //
එන්නෙ නෑ එන්නෙ නෑ
අප සදා යලිත් හමුවෙද
දන්නෙ නෑ දන්නෙ නෑ

මලක් සේ සුමුදු ඔබ හද
ගලක් සේ රළුව ඇයි අද
කඳුළු විල මැද තනිවෙලා මා තනිවෙලා

පෙර භවේ පවෙන් මිදෙනට
මට වරම් ලැබේවිද හෙට
කඳුළු විල මැද තනිවෙලා මා තනිවෙලා

මෙන්න සින්දුවේ යූ ටියුබ් ක්ලිප් එක. තනුව, සංගීත නිරමාණය සහ ගායනය හේමාල් ජයවික්‍රම.



මේ වීඩියෝ ක්ලිප් එකේ තියෙන්නේ නං එක එක තැන්වලින් අහුලා ගත්තු කෑලි, හැබැයි නියමෙට ගලපලා තියෙනවා කියලයි මට හිතෙන්නේ.


ඊයේ මේ බ්ලොග් එක බලපු අය දන්න විදියට මං සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක හෙනහුරාදාම දැම්මා. ඒ ගැන ලියපු ඉන්ට්‍රොඩක්ටරි පට්ටන්දරය තමයි මේ පහලින් දාලා තියෙන්නේ.


ඉරිදා පත්තරේ කියන්නේ සිංහල පත්තරවල හොඳම එකනේ.

අපි පොඩි කාලේ සිළුමිණ සහ සූත්තර පුංචා, ඊලඟට දිවයින සහ ජනක රත්නායක ගේ චිත්‍රකතාව, පස්සේ ඉරිදා ලංකාදීප, ලක්බිම ඉරිදා සංග්‍රහය හෙමත් නැගලා ගියා.

ඒ එක්කම තිබුණු රාවය සහ යුක්තිය කියන ටැබ්ලොයිඩ් ප්‍රමාණයෙ විකල්ප පත්තරත් ආවේ ඉරිදාටයි.

හැබැයි ටික කාලයකින්ම ඒවා සෙනසුරාදා එන්න පටන් ගත්තා. කොළඹ හෙම නං ඉතිං සිකුරාදාත් තිබුණා. ඉරිදා පත්තර සේරමත් සෙනසුරාදා වෙන කොට බොරැල්ලේ විකුණනවා.

ඕකෙන් මේකෙන් වුනේ "ඉරිදා පත්තරේ" කියන නමේ තේරුම නැතුව ගියා.

"අදවෙයි ඉරු දින, ඇය හමුවේවිද?" කියන සින්දුව අහලා තියෙනවා නේද, අනිල් බාරතී කියන. ඒකේ තියෙන්නේත් ඉරිදා ට වෙන සොඳුරු හමුවක් ගැනයි. සින්දුව අවසාන වෙන්නේත් ලබන ඉරිදා ගැන සිතමිණුයි.

ඔය සේරම ලිව්වේ මේක කියන්නයි.

මං හිතුවා මං දැන් සාර්ථක දෙවන වසරේ කරගෙන යන සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක අද සෙනසුරාදාම පල කරන්න.


-කතන්දරකාරයා

ප/ලි:
සින්දුව ගැන මොකද හිතෙන්නේ?

(image: http://weblogg-ed.com/2007/the-so-unexpected-present/)

Wednesday 25 July 2012

ලෝකේ වෙනස් වෙලා ද? - Has the world really changed for good?


ලෝකේ එන්න එන්න වෙනස් වෙනවා. අළුත් වෙනවා. සමහරු වෙනස් වෙන ලෝකේ එක්ක වෙනස් වෙනවා, අළුත් වෙනවා. තවත් සමහරු අර පරණ ලෝකවලම ඉන්නවා.

ඒ මොනවා වුනත් තමන් ඉන්නේ අළුත් ලෝකේ ද, පරණ ලෝකේද කියලා සැකහැර හොයා ගන්න සරලම ක්‍රමය මෙන්න.

තමන් කරන ජොබ් එක හෝ ඉගෙන ගන්න විෂය කරුණු හෝ ආච්චී එක්ක කියන්න.

ආච්චීට ඒවා ගැන මෙලෝ සංසාරෙක අයිඩියා එකක් නැත්තං, තමන් ඉන්නේ අළුත් ලෝකේ!

ආච්චීට කතාව මීටර් වෙනවා නං ඉතිං තමන් ඉන්නේ තාම පරණ ලෝකේ!

ඔය කතාව මට අහන්න ලැබුණේ 2001 දී විතර. අළුත් මිලනියම් එකේ දී. ඒ වෙනකොට මගේ ආච්චී ලා දෙන්නම මිය පරලොව ගිහින් ඉවරයි.

හිටියා නං එක්කෙනෙක් කියාවි "අනේ පුතේ, මාත් කෙරුවේ ඔය ජොබ් එකම නේ!" කියලා. අනිත් ආච්චී කියාවි "අනේ කොළුවෝ, උඹලා ගේ තාත්තාත් පැන්ෂොන් යනකම්ම කෙරුවේ ඔය ඉගැන්නිල්ලම නේද?" කියලා. (හැබැයි මං උගන්නපු විෂයයන් ගැන කිව්වා නං ආච්චිලා අනිවා ඩෙෆා සරෙන්ඩර්.)

ඒ තමයි අද පිවිසුම කතන්දරේ. දැන් මෙන්න අද ප්‍රධාන කතන්දරේ. ඇත්තටම කියනවා නං කතන්දර සැට් එකක්.

1. මෙන්න පළමුවෙනි කතන්දරේ

මීට අවුරුදු කීපෙකට කලින් මා ගාව තිබුණු ඩෙනිම් ජැකට් එකක අත කොටට හදා ගන්න මට ඕනෑ වුණා.

මං ඕක අරගෙන මගේ කලිසම් මහන පිලියන්දල රතන ටේලර්ස් එකට යන්නේ නැතුව ගමේ හන්දියේ කඩ මණ්ඩියේ තිබුණු අළුතින් දාපු ටේලර් ෂොප් එකට ගියා. කොල්ලෝ දෙන්නෙක් සෙට් වෙලා එතන කඩ කෑල්ල දාලා ඒ වෙනකොට මාස කීපයයි. පරණ මැසිං කබල් දෙකකුයි, රෙදි කෑලි කිපයක් දාපු වීදුරු අල්මාරියකුයි විතරයි කඩේ තිබුණේ.

"මට මේ ජැකට් එකේ අත කොට කරලා දෙන්න."

"හොඳයි සර්."

කැපුම් දෙකයි, මැහුම් දෙකයි, විනාඩි දහයයි, රුපියල් විස්සයි. මං වැඩේ කරගෙන ෂුටුස් ගාලා ගෙදර ගියේ හරි ආඩම්බරයෙන්.

ගමේ ජොබ්, ගමේ කඩේට!

ඔය සිද්ධියෙන් අවුරුදු දෙකකට විතර පස්සේ මගේ හොඳම කලිසමක් පස්සෙන් පැලුනා. මට ඕනෑ වුණා මේකට මැහුමක් දාගන්න. මං මේ මැහුම දාගන්න ගියේ ආයෙත් ගමේ තැනටමයි.

"මේ කලිසමට මැහුමක් දාලා දෙන්න."

"අයියෝ අයියා, අපි ඔය වගේ වැඩ කරන්නේ නෑ."

"පුහ්!"

මං ආපහු හැරිලා ගෙදර එන්න හැරිලා කඩේ දිහා බැලුවාම තමයි තේරුණේ මේ වෙනසට හේතුව.

අළුත්ම කිරි කිරි මහණ මැෂින්. ඕවලොක් කරන එකකුත් තිබුණද කොහෙද? වීදුරු ෂෝ කේස්වල රෙදි බේල් පිටින් පුරෝලා. කොට් බෝට් අන්දපු ඩමී දෙකක්. ඕඩර්ස්වලට මහපු කලිසම් පුරෝලා.

වෙන එකක් තියා අර සිංගිං ස්ටාර් රියලිටි ෂෝ කොලිටියේ සික්වීන් අල්ලපු කෝට් පවා තියෙනවා කුලියට දෙන්න.

මෙහෙව් ඩොලර්, පවුං අස්සේ නේ මං මේ සූටි සුපියලක් ගහන්න ඇවිත් තියෙන්නේ!

ලෝකේ වෙනස් වෙලා!

2. මෙන්න දෙවෙනි කතන්දරේ

මගේ සපත්තු කුට්ටමක එක කකුලක අඩිය ගැලවුණා. මේක අරගෙන වැඩි කාලයක් නෑ. විසිකරන එක අපරාදයක්.

ඉතිං මං කෙරුවේ කොළඹ යන දවසක සපත්තුව සිලි-සිලි බෑග් එකක දාගෙන අරං යන එකයි. මොකද මට මතකයි පිළියන්දල හන්දයේ හිටියා සපත්තු හදන මනුස්සයෙක්.

මං යනකොට පොර ලස්සන නෝනා කෙනෙකුගේ මල් මෝස්තර සෙරෙප්පුවක කැඩුණු පටියට ටින්ටස් ඇණයක් ගහමිනුනයි හිටියේ. ඒ වැඩේ ඉවර වුණාම මං පොරට කැඩිච්ච සපත්තුව පෙන්නුවා.

"මහත්තයා, ගෙදර යන ගමන් අර හාඩ්වෙයා එකෙන් සුපර් ග්ලූ එකක් අරගෙන ගිහින් ඕක අලාව ගන්න, මා ගාව ග්ලූ ඉවරයි."

ලෝකේ ඇත්තටම වෙනස් වෙලා!!

3. මෙන්න තුන්වෙනි කතන්දරය

මං මේ ලඟදී දවසක ගියා දේශපාලන රැස්වීමකට. රැස්වීමක් කිව්වාට මේක රැලියක් නෙමේ එක්තරා විදියක සම්මන්ත්‍රණයක්.

දියවන්නා මන්ත්‍රියෙකුගෙයි, පක්‍ෂ නායකයෙකුගෙයි කතා දෙකක් අහගෙන ඉඳලා ඊට පස්සේ එලැඹුණු ප්‍රශ්න අහන වෙලාවේ මාත් සුට්ටං ප්‍රශ්නයක් ඇහැව්වා.

මතකනේ මං අර අනුර කුමාර දිසානායකගෙන්, අර්ජුන රණතුංගගෙන් අහපු ප්‍රශ්න? අන්න ඒ ආකාරයේ එකක්.

පුදුමයි.

පුදුමෙනුත් පුදුමයි.

කැමති නං විශ්වාස කරන්න, එපා නං ඒත් විශ්වාස කරන්න, මට ලැබුණානේ අවුලක් නැතුව පිළිගන්න පුළුවන් වගේ කියලා හිතෙන උත්තරයක්!

-කතන්දරකාරයා

ප/ලි:
ඔය තුන්වෙනි කතන්දරයෙන් පේන්නේ ලෝකේ වෙනස් වෙලාය කියන එකද, මං නාකි වෙලාය කියන එකද මන්දා?

(image: http://canadianabroad.com/?m=200806)

Sunday 22 July 2012

පැරණි රසාංගයට නව රිද්මයක් - Golden oldies and cover albums


ගුණදාස කපුගේ තමන් ගේ පැරණි රසාංග ටික සන්ෆවර්ස් ලා එක්ක "නව රිද්ම" කළා මතකයි නේද?

ඔය කාලේ රේඩියෝ ඉන්ටර්වීව් එකක කපුගේගෙන් රේඩියෝ ජොකියා ප්‍රශ්ණයක් ඇහැව්වා ඒ ගැන.

"ඇයි එහෙම සින්දු ටික කෑවේ?" කියලයි ඇහෙව්වේ, ඒ වචනවලින්ම නැති වුණත් වටින් ගොඩින්.

කපුගේ ගේ උත්තරේ දන්නවද?

පොර කිව්වේ මේකයි.

"මගේ පුතා එංගලන්තේ ඉගෙන ගන්නවා. මාස කීපෙකට සැරයක් ලක්‍ෂ පහක් යවන්න ඕනෑ. ඒ සල්ලි හොයා ගන්න තමයි මං එහෙම මගේ සින්දු නව රිද්ම කෙරුවේ!"

එතනින් නතර නොවී කපුගේ මෙහෙමත් ඇහැව්වා, හොඳට ඇදලා පැදලා.

"පැහැදිලිද?"

රේඩියෝ ජොකියා ගේ කට වැහුණා!

මංතුමාත් ඔය වගේම ප්‍රශ්ණයක් රෝහණ බැද්දගේගෙන් ඇහැව්වා. ඒකට දුන්නු උත්තරේ කලින් සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවක දැම්මා නේ. මෙන්න ඒ කතන්දරේට පාර.

http://kathandara.blogspot.com.au/2011/06/interview-with-rohana-beddage.html

අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවෙන් කියන්නේ ඔය අරූගේ, මූගේ වැඩ ගැන නෙමේ මගේම කවියක් ගැනයි.

මෙන්න පැරණි රසාංගය

කියන් මා හට ඔබේ හදවත මලක් දෝ?
ගිලන් හද සුව කරන ඔසුවක
පහන් එළියක
සඳුන් සිසිලක
අරුම කැටි කොට අරුණ සුපිපුණු
කියන් මා හට ඔබේ හදවත මලක් දෝ?


දැන් මෙන්න නව රිද්ම කවිය

කියන් මා හට ඔබේ හදවත ගලක් දෝ?
දුකින් පිරි සිත පෙළන සුසුමක
නුවන් කඳුලක
සවන් යවුලක
කුරිරු බව ගෙන රුදුරු ලෙස සැදු
කියන් මා හට ඔබේ හදවත ගලක් දෝ?


ඔහේ ලා මේ කවි ගැන මගෙන් ප්‍රශ්න අහන්න කලින් මට අහන්න තියෙන්නේ කපුගේ අහපු ප්‍රශ්ණයමයි.

"පැහැදිලිද?"

-කතන්දරකාරයා

ප/ලි:
මූ අරූ කියන්නේ කවුද කියලා දන්නවාද?

සිංහල චිත්‍රපටි බර ගාණක් හදපු අධ්‍යක්‍ෂවරයෙක්. නම "මු. අරුක්ගොඩ".

"මු" කියන්නේ මුදියන්සේ වෙන්න ඇති.

(image:http://actsofbeauty.co.uk/wordpress/tag/rock/)

Friday 20 July 2012

ඇනෝ කමෙන්ට් නිසා පොඩි වෙනසක් - Anonymous power


ඊයේ මට ආවා හොඳ කමෙන්ට් එකක්. ඇනෝවෙක් ගෙන්. මෙන්න ඒක බලන්න ඉස්සෙල්ලා දැකපු නැති අය.

        Anonymous July 19, 2012 10:53 AM

තනිකඩයකු වූ ජී. බී. සේනානායක නතර වී සිටියේ විවාහක වැඩිමහළු සහෝදරයාගේ ගෙදරය. හිටි හැටියේ දවසක ඔහුගේ අයියා නැතිවිය. අවබෝධය වූයේ කවර හෝ හේතුවක් නිසා ඔහු ගෙදරින් තරහ වී ගිය බවයි.

ජී. බී. දුප්පතෙකි. පත්තරයේ දැන්වීම් දමන්නට ඔහු අත මුදල් නැත. ඔහු පත්තරයට තමන්ටම ආවේණික නිසඳැස් අච්චුවේ කවියක් ලීවේය. (උපුටනය මතක ඇති විදියටයි. වචන එසේම නොවිය හැක.)

අයියේ නුඹ ගොසිනි
අඹු දරුවෝ සොවිනි
මා ලියන්නට පටන් ගත් පොතද
නැවතිලාය, එතැනම
ඉවර කරන්න, පොත
අයියේ ගෙදර එන්න.

මෙවැනිම කවියක් අද මම ලියමි.

අනේ කතන්දර
බෝ දුක්ය, ජීවිතය
රැකියාවේ වැඩ බොහොමය
වැඩ අතර ඉඳහිට
ඔබේ බ්ලොගයට ඇවිත්
නිවා ගතිමි, සරතැස
සිනාසීමි, ජීවයක් ලැබීමි.
අඩුය, දැන් බ්ලොග් පෝස්ට්
අඩුය, අපේ කාර්යක්ෂමතාවයද
පෙර මෙන් වැඩ කරන්න
අනේ කතන්දර
ලියන්න සතියට පෝස්ට් හතරක්.

http://kathandara.blogspot.com/2012/07/assumptions-can-go-wrong-and-cause.html?showComment=1342675413148#c8850978768662593446

මේ කමෙන්ටුව නිසා මට අද හිතුණා මං කාලෙකට කලින් ලියපු කවියක් අද පලකරන්න කයි-කතන්දරයක් විදියට.

මේ කවියට එක් නිමිත්තක් වුනේ මං දවසක් හොස්පිටිතාලෙක දැකපු මහළු රෝගියෙක්. එදා ඔහුව බලන්න කවුරුවත් ආවේ නෑ.

ඒ අත්දැකීමත්, වෙනත් අත්දැකීම් කිහිපයකුත් එකතු කරලා ලියපු කවිය මෙන්න.

හෘද රෝග වාට්ටුවේ නේවාසික මහල්ලා ගේ කවිය

සතර පෙර නිමිත්තෙන් හරි අඩක්
ලෝහමය සයනයේ වැතිරිලා
ශ්වේතවන් පොරෝණයෙ ගුලිවෙලා
විශ‍්‍රාම ගිය දෙනෙත්
බිත්ති ඔරලෝසුවක හිරවෙලා
අමුත්තන් පැමිණෙනා හෝරාව එනතුරා
ගිලන් වූ හද කොණක
කොලොස්ටරෝල් පැතුම් පොදි ඉපදිලා

හද අඬන රිද්මයේ රටාවන්
රුධිර පීඩන මනින උපකරණ
සතුරු ලෙස සිනාසෙති
නව අනූවක් රෝග
සුවහසක් ව්‍යාධින් සුවකරන ඔසු දියර
ගී‍්‍රවයේ ශිරා නාලිකාවට
බිඳෙන් බිඳ ඇතුල් වෙති
ගත වෙහෙස මැද නිරායාසයෙන්
නෙත් කෙවෙනි බරව පියවෙනා තුරු
නෙක වර්ණ උන්මාද බලි රූප කල් බලති
ඔරලෝසු දිගු දෑත හුස්ම හිර කරන සඳ
නෑසියෙක් හිතවතෙක් දකින්නට කළ පැතුම්
ටිකෙන් ටික දුරස් වෙති

සති තුනක් මැෂින්ගත දුබල ගත
මේ සිපිරි කූඩුවෙන් මිදෙන වර
කොයි දිනක ලබන්න ද?
බිත්ති හතරෙන් එහා ලෝකයට
කොයි දිනක යළිදු පා නගන්න ද?
කොයි දිනක සුමුදු සඳු තරු පොකුරු
හිරු නගින බසිනයුරු දකින්න ද?
කොයි දිනක ගෙයි පිසුන බත් පතක
පොලොස් ඇඹුලක සුවඳ විඳින්න ද?


-කතන්දරකාරයා

මෙතනින් බලන්න: පරණ කයි-කතන්දර

Tuesday 17 July 2012

වයිෆ් තරහා වීම නිසා හබියාට සිදුවිය හැකි පාඩු දෙකක් - Assumptions can go wrong and cause irrecoverable damage


සමහර වෙලාවට අපි අවට සිද්ධවෙන, දකින දේවල් සලකලා ඒ හා සම්බන්ධව විවිධ උපකල්පනයන් කරලා නිගමනයන්ට එළැඹෙනවා. ඊට පස්සේ ඒ නිගමන අනුව හිතලා තීරණ ගන්නවා.

පස්සේ බැලින්නම් අර මුලින් කරපු උපකල්පන වැරදියි. ඒ කියන්නේ නිගමන වැරදියි. ගත්තු තීරණවලින් පාඩුයි.

අද මේ කියන්න යන්නේ ඒ වගේ කතන්දරයක්.

ජෙනරික් මාතෘකාවක් දැම්මට මේ කතන්දරෙත් ඉතිං මගේම ජීවිත පොතෙන් පිටුවක් තමයි. ඒ කියන්නේ එක්තරා නිරීක්‍ෂණයක් ගැන වැරදි උපකල්පනයක් මත පදනම් වෙලා වැරදි නිගමනයක් කරලා, ඒ සම්න්ධව ගත්තු තීරණයක් නිසා මට සිද්ධ වුණු පාඩුවක් ගැනයි මේ කතන්දරේ.

එක පාඩුවක් නං බැරියෑ, දෙකක් ම!

ඔන්න එක දවසක් අපි පොඩි පාටියකට ගියා රත්නායක මහත්තයලා ගේ ගෙදර. මට මතක හැටියට මේ අර තිස්ස ගේ ආගම් මාරුව ගැන කතාබහ වුණු දවසේ ද කොහෙද.

රත්නායක මහත්තයා ගේ උපන් දිනය වගේ නොවුණත් එදා අර ශක්‍ර දෙයියං ගේ සින්දු පාටිය දවස වගේ රතුවා, සුදුවා, දුඹුරුවා පුරෝලා තිබුණා. පී-නාන්න තරමට.

මාත් ඉතිං දැහැමෙන් සෙමෙන් පොඩ්ඩක් අනුමත වෙලා පොඩි පහේ ජෝක්ස් දෙක තුනක් ක්‍රැක් කර කර හිටියා ෂේප් එකේ අවුලක් නැතුව.

ටික වෙලාවකින් මං දැක්කා හාමිනේ ගේ මූණ හොඳ මදි!

නිකං පුන් සඳ වසාගෙන වලාකුලක් යනවා වගේ.
පෑදි දියට බොර දිය එක් වුණා වගේ.
නිදිකුම්බා මල් කැකුල් හැකුලුණා වගේ.

"ඇයි, මොකක්ද අප්සෙට් එක?" මංතුමා කිට්ටු වෙලා ඇහැව්වා.

හාමිනේ ඇහුණේ නෑ වගේ හිටියා.

මං තව පාරක් ඇහැව්වා.

මෙන්න බොලේ ගස්සලා අහල බලා ගත්තා.

වැඩේ හරි වගේ!
මං බිව්වාය කියලා හාමිනේ ට තද වෙලා.
මල කෙලියයි.
අනේ සුසානෝ, මං මක්කැයි දැං කොරඤ්ඤේ?

මං එකක් හිතා ගත්තා. ආයෙ ඔය ගැන අහන්නේ නෑ!

බත් කාලා, කෝපි බීලා, පාටිය ඉවරවෙලා ගෙදරත් ආවා. හාමිනේ නෝ සිනා, නෝ කතා.

මං ඉතිං හොඳ ළමයා නේ. ඊට අමතරව කවදත් තව තවත් හොඳ වෙන්න උත්සාහ කරන කෙනෙක් නේ.

මං එදා සුවිශේෂී තීරණයක් ගත්තා.

ආයේ බොන්නේ නෑ!

හැබැයි මං මේ බවක් හාමිනේට කියන්න ගියේ නෑ.

පහුවදා එලිවුණා ඉරිදාට. සුපුරුදු පරදි දවස ගෙවුණා. දවල් බත් හැලිය ඉදෙන කොටම වගේ හාමිනේ මා එක්ක ටික ටික කතා බහ කරන්න පටන් ගත්තා. හැබැයි මාත් සද්ද නැතුව හිටියා ඊයේ රෑ අවුල ගැන අහන්නවත් මගේ තීරණය ගැන කියන්නවත් ගියේ නෑ.

මං හිතා ගත්තා මගේ තීරණය ක්‍රියාවෙන්ම පෙන්නනවා ය කියලා. නියම වීරත්වය කියන්නේ ඒකනේ?

ඔන්න ඒ සුමානේම මට චාන්ස් එක ආවා මගේ තීරණය ප්‍රායෝගිකව පෙන්නන්න. එක චාන්ස් එකක් නෙමෙයි, චාන්සස් දෙකක් ම.

ඒ සතියේ සිකුරාදා අපිට ශ්‍යාමලා ගේ ගෙදර යන්න තිබුණා.

සෙනසුරාදා සංජීව ලා ගේ ගෙදර පාටියක්.

ශ්‍යාම ලා ගේ ගෙදර ගිහින් බැලින්නම් ගැමුණු රට ගිහින් එන කොට කළු ඩග්ලස් ද මොකක් ද අළුත් ම අළුත් පානයක් ගෙනැල්ලා. ඒ ජාතියේම වීදුරුත් තිබුණා.

මං නෙමෙයි ඇහැක් ඇරලා බැලුවේ. ස්ප්‍රයිට් ටිකක් බීබී හිටියා. කෝක් නොබී ස්ප්‍රයිට් බිව්වේ හාමිනේ ට පේන්න. මොකද කෝකුයි, අරක්කුයි එක පාටනේ.

පහුවදා තිබුණු සංජීව ලා ගේ පාටියේත් රතුවා, දුඹුරුවා වැහි වැහැලා තිබුණා. එදාත් මං කෝක් වානා කියලා ස්ප්‍රයිට්මයි බිව්වේ.

අන්තිමේ දී සංජීවකාරයා හාමිනේට කිව්වත් එක්ක හාමිනේ කතන්දරකාරයාව හොඳ ළමයෙක් කරලා ය කියලා.

එදා ආපහු ගෙදර එන ගමන් ඔන්න හාමිනේ මගෙන් අහනවා:

"කතී, අද ඔයා බීව්වේ නෑ නේද?"

"මං අද විතරක් නෙමෙයි, ඊයේ බිව්වේත් නෑ."

"ඇයි ඒ හොඳ ළමයෙක් වෙන්න හිතුනේ?"

"මට හිතුණා මොකටද මං ඔයාව තරහා කරන්නේ ඔය බීම ජාති බීලා කියලා, ඒකයි."

"ඒක නං හොඳ කල්පනාව. ඒත් ඉතිං මං කවදද ඔයා එක්ක තරහා වුනේ ඔයා බිව්වයි කියලා?"

"ඇයි අර ගිය සෙනසුරාදා රත්නායක ලා ගේ ගෙදරදී ඔයා මං බීලාය කියලා මූණ දිග්කරගෙන හිටියේ?"

ඔන්න ඒ පාර හාමිනේට කැකිරි පැලෙන ටිකිරි හිනාවක් ගියා.

"ඇයි හිනාවෙන්නේ?"

"මං එදා ඔයා එක්ක තරහා වෙලා හිටියේ බීලා කියලා නෙමේ කතී."

"එහෙනම්?"

"ඒ එදා අර ඔයා කියපු මොකක්ද මන්දා දෙපැත්ත කැපෙන විහිලුවකටයි!"

අපරාදේ....
මට හෝස් ගාලා හුස්මක් ගියා.
ඔය බවක් දන්නවා නං මං අර වගේ ස්වයං හානිකර තීරණයක් ගන්නේ නෑනේ!
අපරාදේ....

දැන් ඉතිං ඊයේ සිකුරාදා රෑ ගැමුණු ලා ගේ ගෙදරයි, අද සංජීව ලා ගේ ගෙදරයි මිස් කරගත්තු ඒවායේ පාඩුව කොහොමද පුරවා ගන්නේ?

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න අදහන්න වටින වයිෆර් ලා! http://kathandara.blogspot.com.au/2010/06/blog-post_23.html


(image: http://www.thetimepass.com/2011/08/12/good-husband/)

Sunday 15 July 2012

සුඋදිවේකහා - HBD2UKH


සිංහලයේ මහා සම්මත රාජ පරම්පරාවේ බලි, තරු, රාවණ යුගයේ සිට අද මහ දියසෙන් යුගය දක්වා සියළු තතු මනා ලෙස දන්නා මීවනපලානේ ජයරත්නයන් ගේ මාධ්‍ය ප්‍රකාශක මීවනපලානේ රාජපක්‍ෂයෝ වරෙක මෙලෙස පැවසූහ.

         "දිනපතා උදෑසන චිත්ත සමාපත්තියට සමවැදී ලෝකය විමසා බැලීම මගේ දින චර්යාවේ අංගයකි. පසුගිය දිනෙක එසේ චිත්ත සමාපත්තියට සමවැදුණු මට ඔබගේ පෙර අත්භවයක් පිළිබඳව අපූරු කාරණාවක් දැන ගත හැකි විය.

එනම්, ඔබ කිතුවසින් හත්වන සියවසේදී තුන්වන අග්‍රබෝධි රජ දවස එතුමන්ගේ රාජසභාවෙහි රජතුමන් දිනපතා නින්දට යනතුරු කතන්දර කීමේ වගකීම දැරූ ඉතා වැදගත් ඇමැතිවරයකුව සිටි බවයි. මේ ඇමැතිවරයාගේ නම වූයේ "කතන්ද්‍ර"ය. එනිසා කතන්දර කීම ඔබේ සංසාර පුරුද්දක් බවත්, ඔබ මේ ඉදිරියට ගෙන යන්නේ එකී සංසාර පුරුද්ද බවත් දතයුතුයි.

එසේම අද කතන්දර හාමිනේ නමින් වන ඔබේ සොඳුරිය ඒ භවයේදීද "කතන්ද්‍රී" නමින් ඔබේම ඇඹෙණිය වූ බවත් මගේ චිත්ත සමාපත්තියට මීටර් වී ගිය බව දත යුතුයි."

තවත් වරෙක එතුමෝ මෙලෙස ද පැවසූහ.

         "නුඹ පෙර අත්භවයක (කිතුවසින් හත්වන සියවසේදී තුන්වන අග්‍රබෝධි රජ දවස) රාජසභාවෙහි රජතුමන් දිනපතා නින්දට යනතුරු කතන්දර කීමේ වගකීම දැරූ ඉතා වැදගත් ඇමැතිවරයකුව සිටි බවත් මේ ඇමැතිවරයාගේ නම වූයේ "කතන්ද්‍ර" බවත්, මම චිත්ත සමාපත්තියට වැදී දැක නුඹට කියා ඇත්තෙමි.......

....ඔබේ බිරින්දෑ "කතන්ද්‍රී"ද කතන්දර කීමට සමැත්තියකැයි....."

නාඩි වාක්‍යම් පරදවන ඒ බලාගෙන හිටියාක් වැනි වූ අතීත තොරතුරු වලින් පෙනී යන්නේ මගේ ප්‍රියම්භිකා කතන්දර හාමිනේ එදා සිට අද දක්වාම මා සමග මේ සංසාර ගමනේ යෙදෙන බවයි.

ඉතිං අනාගතය ගැන අමුතුවෙන් සිතිය යුතු නැත.

කතන්ද්‍ර සහ කතන්ද්‍රී ජෝඩුව මතු ආත්මවලත් අද මෙන්ම ආදරයෙන් බැඳී නිකං හරියට සඳුන් ගසේ වෙලි සමන් වැලක් මෙන් සිටිනු ඇත.

මා ආදරණීය කතන්ද්‍රී, ඔබට සුබ උපන් දිනයක් වේවා.

Happy birthday darling...!!!

කතන්දරකාරයා කතන්දර හාමිනේ ට ලියූ නාඩගම් ගීතය මෙන්න.
http://kathandara.blogspot.com.au/2010/05/blog-post_28.html

-කතන්දරකාරයා

ප/ලි:
මෙය සන්ඩේ ස්පැෂල් ඇස්ක්ට්‍රා කතන්දරයක් බව කරුණාවෙන්න සලකන්න.

Friday 13 July 2012

මං බ්ලොග් ලිව්වේ ඇයි සහ ලියන්නේ ඇයි? (කිසිදු විවාදාත්මක කරුණක් අඩංගු නැත!) - Past, present and the future


මේ ලියන්න යන කරුණු ටිකත් මගේ හතරවෙනි පන්තියට කලර්ස් පෙන්වා පාස් වුණු කතන්දරේ අගින් ලියන්න හිටියට ඒ පෝස්ට් එක දිග වැඩි වුණු නිසා පස්සට කල් තිබ්බා.

මාතෘකාව ගැන කතා කරන ගමන් ම තවත් දෙයක් තියෙනවා කරන්න. ඒක තමයි එදා නොකළ අනිත් දේ, එනම් ස්තුති කතාව.

මීට අවුරුදු තුනකට කලින් දවසක මට හිතුණා මගේ හිතේ තියෙන කතන්දර ගොන්න බ්ලොග් එකක් හරහා ලියලා දාන්න ඕනෑය කියලා. හොඳට ප්ලෑන් කරලා, සතියකට එක ගානේ කතන්දර මාස තුනක් දාන්න දහතුනක්ම කෙටුම්පත් කරලායි මේ වැඩේට බැස්සේ.

එක්කෝ නැකත හොඳයි නැත්තං පෙරමග සුබ ලකුණු තිබිලා තියෙනවා. තාමත් මං එදා වගේම ගමනේ.

තවත් එකක්. මං අන්වර්ථ නාමයක් යොදා ගත්තේ හැංගෙන්න නෙමේ, බ්ලොගයේ නමට අදාලව චරිතයක් නිර්මානය කරන්නයි. මං කවුද කියලා දන්නෝ දන්නවා.

දැන් අවුරුදු තුනකට, කතන්දර පෝස්ට් 668 කට, ෆලෝවර්ස් ලා 920 කට හිට්ස් 955,000 කට, කමෙන්ට්ස් 19,950 කට පස්සේ ආපහු හැරිලා බලන කොට මුලින්ම ස්තුති කරන්න ඕනෑ මගේ හාමිනේ ට සහ දරු පවුලටයි. මං ගෙදර ඉන්න සුළු වෙලාවෙනුත් දවසකට පැය දෙක තුනක් මේ බ්ලොග් එක සඳහා ගත කරන්නේ ඔවුන් ගේ පිහිටෙන් තමයි. හාමිනේ විටින් විට මට බැන්නාට මේ වැඩේට අකමැත්තක්මත් නෑ!

හාමිනේටත්, රෝස බබාටත්, පුතු පැටියාටත් ස්තුතියි.

ඊලඟට මගේ ස්තුතිය පාඨක ඔබ සැමට. මං බ්ලොග් එක පටන් ගත්තේ මට කියන්න කතන්දර තියෙන නිසයි. කතන්දර ලියාගෙන ලියාගෙන යන්නේ ඒකෙන් හිතට විනෝදයක් ලැබෙන නිසයි. හොඳ වෙලාවට කතන්දර කියවන්න පිරිසකුත් ඉන්නවා. නැත්තං ඒ විනෝදය නැතිවෙලා යන්න තිබුණා. දිනපතා මේ බ්ලොග් එකට ලැබෙන හිට්ස් සහ කමෙන්ට්ස් නිසා දිනපතාම හිතේ තියෙන සතුට අළුත් වෙනවා.

මගේ ජීවිතය දැන් අවුරුදු හයක ඉඳලා ගෙවෙන්නේ ණයට ගත්තු කාලයෙන් කියලයි මං විශ්වාස කරන්නේ. ඒ නිසා මේ දිනපතා සතුට මට ඉතාම වැදගත්.

කතන්දර බ්ලොග් එක කියවන, කමෙන්ට් කරන ඔබ සැමට කෙරෙන මගේ මේ අවංක ආදර ස්තුතිය පිළිගන්න.

බ්ලොග් එකේ කමෙන්ට් දානවාට අමතරව මට පුද්ගලිකව ඊ-මේල් ආදිය එවා මිතුරුවුණු පිරිසකුත් ඉන්නවා. ඔවුන්ටත් මගේ ආදරය සහ ස්තුතිය.

මං ගැන හෙවූ බැලූ ඇනෝලාටත්, මං ගැන ලිපි කීපයක්ම ලියූ ඇනෝ ආතල් ගොයියාටත්, තවත් ලිපියක් ලියූ අභීතටත්, මාව කීපවරක් ම කාටුනයට නැගූ බුද්ධිටත් ස්තුති නොකරම බෑ.

ඇනෝවෙක් මේ ඊයේ පෙරේදාත් කියලා තිබුණු විදියට "නාසිසිස්ටික්" පොරක් වෙන මං අවසාන වශයෙන් ස්තුති කරගන්න යන්නේ මටමයි. ඒ ඇත්තටම මගේ මතකයටයි. මොන හේතුවක් නිසාද මන්දා මෑත කාලේ සිදුවුණු සමහර දේවල් මුලුමණින්ම අමතක වෙලා ගියාට, මට පොඩි කාලේ සිදුවුණු දේවල් විස්තරාත්මකව මතකයි. ඒ නියුරල් නෙට්වර්ක් එක හැමදාම අද මෙන්ම තියුණුව තියෙන්න තියෙන ඉඩකඩ අඩුයි. බලමු මොකද වෙන්නේ කියලා!

මට දෙන්න තියෙන හොඳ ආරංචිය තමයි මං දිගටම බ්ලොග් එක කරගෙන යනවාය කියන එක. නරක කෑල්ල තමයි, එහෙම වුණත් මේ සඳහා ගතකරන කාලය ටිකක් අඩු කරන්න මට අවශ්‍ය වෙලා තියෙන බව.

ඒ හින්දා දැන් සෑහෙන කාලෙක ඉඳලා කරගෙන ගිය සඳුදා, බදාදා සහ සිකුරාදා කතන්දර පල කිරීම සහ ඉරිදා ට සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා දැමීම මේ සතියෙන් අවසාන වෙනවා. ඊට වඩා පොඩ්ඩක් ස්ලෝ කරන්නයි මගේ අදහස. සාමාන්‍යයෙන් සතියකට කතන්දර දෙකක් විතර දක්වා වගේ.

ඉතිං අදට එපමණයි. අද නිකං හෑල්ලක් විතරයි ලියවුනේ. රියල් කතන්දරයක් නෑ.

ලබන සතියේ දවසක වෙනදා වගේ කතන්දරයකින් හමුවෙමු.

-කතන්දරකාරයා

ප/ලි
මෙන්න අමතක වීම ගැන පොඩි උදාහරණයක්.

මං ඊයේ හැඳුවා රස කෑමක්. බීෆ් ස්ටර් ෆ්‍රයි (Beef Stir-fry). හදලා ඉවර වුනාට පස්සේ තමයි මතක් වුනේ ෆොටෝ ගන්න අමතක වුණා නේද කියලා.

ෆොටෝ ගන්න මතක් වුණා නං, ඒ ගැන කතන්දරයක් දාන්න තිබුණා මේ ඉරිදාට රෙසිපියත් එක්ක, අර බීෆ් කතන්දර ස්ටයිල්, පරිප්පු, බීන්ස් විත් පීනට්ස්, බොම්බිලි කරෝල ගැන ලිව්වා වගේ.

Wednesday 11 July 2012

ගෑල්ළමයෙකුගේ අවාසනාව නිසා හතරේ පන්තියට කලර්ස් පෙන්නා පාස් වුණෙමි - Leaping into the fourth year of existence with colours!


මා මුලින්ම පාසල් ගියේ අප ඒ දිනවල පදිංචිව සිටි තාත්තා ගේ මහගෙදර සිට කිලෝමීටරයක පමණ දුරින් පිහිටි කණිෂ්ඨ විද්‍යාලයටයි.

අපේ නිවස පිහිටා තිබුනේ ගමේ එක් කෙලවරක අවසාන ඉඩමේ නිසා මා ගිය ඒ පාසල අපේ ගමේ පාසල ලෙස හැඳින්වීම නිවරදි නැත. එය අල්ලපු වත්තේ පදිංචිව සිටි නාලන්ද පියතිලකගේ නම් ගමේ පාසලයි. නාලන්දගේ පියාත් මගේ පියාත් ඔවුන් කුඩා කාලයේ ඉගෙනුම ලබා ඇත්තේ මේ පාසලේ ය.

එක්තරා සීතල ජනවාරියක මුල් සතියේ සඳුදා උදෑසන හතට පමණ ඇරඹුණු මගේ අවුරුදු දාහතරක පාසල් දිවියෙන් මුල් වසර පහ ගෙවුනේ මේ කණිෂ්ඨ විද්‍යාලයේ ය.

අදින් හරියටම වසරකට පෙර දිනයක මා කණිෂ්ඨ විද්‍යාලයේ දෙවෙනි ශ්‍රේණියේ සිට තුන්වෙනි ශ්‍රේණියට සමත් වුණු කතන්දරය මම මෙහි ලියා පල කළෙමි.

අද මා මේ කියන්නට යන්නේ මා තුන්වෙනි ශ්‍රේණියේ සිට හතරවෙනි ශ්‍රේණියට සමත් වූ ආකාරයයි.

තුන්වෙනි ශ්‍රේණියේ මා ගත කළ මුල් කාලය මට තරමක අභියෝගජනක එකක් වී යැයි කීම අතිශයෝක්තියක් නොවේ. එයට හේතු කීපයක්ම තිබුණි. ඒවා පිළිවෙලින් අත්වැඩ, චිත්‍රකර්මය සහ ප්‍රීතිකා සුබෝධිනී නම් වේ.

ඉන් සමහර අභියෝග ජය ගැනීමට මම හැකි උපරිම උත්සාහය යෙදුවෙමි.

සමහර අභියෝග දෛවය විසින්ම විසඳන්නට යෙදුණි.

අත්වැඩ වනාගී මට මහා අභියෝගයක් විය. එය පාසලේ දී අපේ ගුරුවරිය අපට උගන්වන දෙයක් නොවේ. වාර විභාගය සඳහා පමණක් ප්‍රාතිභූර්ත වන්නකි. විභාගය පැවැත්වෙන දිනයේදී පහත සඳහන් කාර්යන්ගෙන් එකක් හෝ කීපයක් කිරීම ලකුණු ලබා ගැනීමේ ක්‍රමයයි.

1. පොල් ලෙළි කිහිපයක් පොඟවා තලා කොහු වෙන්කර ඉන් ලණු කැරල්ලක් ගොතා පාසලට ගෙන යාම.

2. හුඹස් මැටි වතුර සමග අනා ඒ මැට්ටෙන් අඹ ගෙඩියක්, පුහුලම සහිත කජු ගෙඩියක්, රුවන්වැලි සෑයේ හෝ (එවකට) මිරිසවැටියේ අනුරුවක් අඹා වේලා පාසලට රැඝෙන යාම.

3. සපත්තු පෙට්ටියකට ප්ලාස්ටික් නුල් රෝද දෙකක් හෝ හැකිනම් හතරක් ඉරටු ඇක්සල් සමග සවිකර ජනෙල් සහ දොරවල් ඇඳ කපා විවර කර බස් රථයක ආකෘතියක් සාදා පාසලට ගෙය යාම.

මගේ අති මහත් උත්සාහය සාර්ථකයැයි හැඟෙන්නේ පන්තිය බාර හේමලතා ගුරුවරියගෙන් ලකුණු පනහක් හෝ හැටක් ලැබුණු විටය.

දෙවෙනි අභියෝගය වූයේ චිත්‍රකර්මයයි.

විත්‍රකර්මය විෂයයද ඉහත කී අත්වැඩ විෂයය මෙන්ම ගුරුවරුන් විසින් අපට උගන්වනු ලැබූ විෂය නිර්දේශයක් සහිත එකක් නොවීය. අපේ පන්තිබාර හේමලතා ගුරුවරිය කිසි දිනක චිත්‍රයක් ඇඳ අපට පෙන්වනු මගේ මතකයේ නැත. ඇය කරන්නේ අපට චිත්‍රයක් ඇඳීමට මාතෘකාවක් ලබා දී අප අඳිනා තුරු බලා සිටීමයි.

මේ සඳහා අපට නිරතුරු ලැබුණු මාතෘකා කිහිපයක් පහත පරදි වේ.

1. චීත්ත මෝස්තරයක්
2. මුහුදු වෙරළක දර්ශනයක්
3. වැසි දිනයක දර්ශනයක්

එක්කෝ හොම්රන්පැස් නැතිනම් පාට පැන්සල් භාවිතා කරමින් අප සුදු පැහැති කොළ සහිත චිත්‍රපොත්වල බලිරූප ඇන්දෙමු.

සතියකට වරක් පමණ පැවැත්වෙන චිත්‍රකර්ම කාල පරිච්ඡේදය සමතික්‍රමණය කිරීම සරල එකක් විය. අප එදිනට නියමිත චිත්‍රය ඇඳ ගුරුවරියට පෙන්වූ විට හරි ලකුණක් වැටේ.

නමුත් ප්‍රශ්නය වූයේ වාර විභාගයයි. වාර විභාගයේ දී නියමිත කාලය ඇතුලත අප අඳින චිත්‍රයට ලකුණු දිය යුතුය. හේමලතා ගුරුවරිය තුන්වැන්නේ මුල් වාර විභාගයේ දී මා ඇඳි චිත්‍රයට ලකුණු හැටක් ම දුන්නාය.

මගේ තුන්වැනි අභියෝගය වූයේ ප්‍රීතිකා සුබෝධිනී ය.

ප්‍රීතිකා පියකරු දැරියකි. කොණ්ඩය කොටට කපා සිටියාය. ඇය අපේ හේමලතා ටීචර් ගේ නංගී ගේ දියණියයි.

මා දෙකේ පන්තියේ මාලවතී ගුරුවරිය ගේ පන්තියේ සිටයදී ප්‍රීතිකා සුබෝධිනී සිටින්නට ඇත්තේ අල්ලපු පන්තියේය. දෙකේ පන්ති දෙකකි. තුනේ පන්ති තුනකි. තුන්වැන්න සඳහා පන්ති බෙදද්දී ප්‍රීතිකා සුබෝධිනීත් මාත් එකම පන්තියට වැටී ඇත. මා සමග පලමුවැනි ශ්‍රේණියේ දී එකට සිට දෙවැන්නේ දී වෙන්වුණු නාලන්ද පියතිලක සහ ශානිකා කිරිබත්ගොඩ දෙදෙනා මෙවරද වෙනත් පන්තිවලය.

ප්‍රීතිකා සුබෝධිනී මගේ පන්තියේ සිටීමේ ප්‍රීතිය මට හරිහැටි වැටහුනේ පළමු වාර විභාගයේ ප්‍රතිපල සටහන් ලැබුණු දිනයේ ය.

ප්‍රීතිකා සුබෝධිනී පන්තියේ පළමුවෙනියාය. මා දෙවෙනියාය.

පළමුවෙනි ශ්‍රේණියේ අවසාන වාර විභාගයේ සිට මා පවත්වාගෙන ආ වාර්තාව බිඳ වැටී ඇත.

අම්මාට දුක හිතෙනු ඇත.

මා දෙවන්නා වීමට හේතුව මදක් විමසා බැලූ මගේ කුඩා මොලයට වැටහුනේ එහි කිසිදු පුදුමයක් නොමැති බවයි.

තුන්වැන්නේ දී අප උගත් සාමාන්‍ය විෂයයන් වන සිංහල, ඉංගිරිසි, ගණිතය, බුද්ධාගම, පරිසරය, ඉතිහාසය වැනි විෂයයන් සඳහා විභාගයේ දී ප්‍රශ්ණ දහයක් ලැබේ. ඒ සඳහා ලකුණු අනූවක් හෝ අසූවක් හෝ ගැනීම පහසු දෙයකි. එසේ නමුදු විභාග පැවැත්වීමේ හෝ ලකුණු දීමේ ක්‍රමවේදයක් නොමැති අත්වැඩ සහ චිත්‍රකර්මය වැනි විෂයයන්ට මට ලැබී ඇත්තේ සාපේක්‍ෂව ඉතා අඩු ලකුණු විය.

කෙසේ හෝ මා පන්තියේ දෙවෙනියාය.

මා ඉදිරියේ ඇති මේ සියළු අභියෝග ජය ඝෙන යලිත් පන්තියේ පළමුවෙනියා වීමට ම අධිෂ්ඨාන කර ගත්තෙමි. ඒ ගැහැණු ළමයෙකුට දෙවෙනියා වීම ගැන තිබූ ලජ්ජාවක් හෝ වෙනත් ඒ ආකාරයේ පුද්ගලික කරුණක් නිසා නොවේ. මගේ අම්මා සහ පුංචි අම්මලා පමණක් නොව සමස්ත ලෝකයාම ළමයෙකුගේ ඉගෙනීමේ දක්‍ෂකම තීරණය කළේ පන්තියේ කී වැන්නාද යන්නෙන් වූ නිසාය. සාමාන්‍ය පෙළ වෙනතුරුම සිසුවෙකු ලබන ලකුණු ප්‍රමාණය හෝ ලබන සාමාර්ථ ශ්‍රේණිය හෝ ප්‍රශ්න නොකෙරිණි.

එකී අභියෝග සමතික්‍රමණය කර පන්තියේ පළමුවෙනයි වීමේ මගේ උත්සාහය අවසානයේ කෙසේ හෝ සඵල විය. ඒ මගේ උත්සාහයට වඩා ප්‍රීතිකා සුබෝධිනී ගේ අවාසනාව නිසා යැයි මට සිතේ.

ඒ කතාව කෙටියෙන් මෙසේය.

ඒ වසරේ මැද හරියේ අපේ කණිෂ්ඨ විද්‍යාලයට අළුතින් මුල් ගුරුවරයෙක් පත්වී ආවේය. දේශපාලන පත්වීමක් වූ ඔහු ගේ මුල්ම රාජකාරිය වන්නට ඇත්තේ පාසල් සිසු සිසුවියන් ගේ උප්පැන්න සහතික පිරික්සීම විය යුතුයි. සමහරවිට ඔහු එසේ කරන්නට ඇත්තේ, අළුත නිකුත් කෙරුණු අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛනයක් නිසා විය යුතුයි.

ඒ කෙලෙසක වුවත් එක් දිනක් අපේ පන්තියේ කෙටි තාප්පයට එහායින් පැමිණ හේමලතා ගුරුවරිය කැඳවූ මුල් ගුරුවරයා අසල සිටි අප කිහිප දෙනෙකුටද ඇසෙන පරිදි පවසා සිටියේ අපේ පන්තියේ නියමිත වයසට වඩා අඩු වයසක සිසුවියක් සිටන බවත් ඇයට පහල පන්තියට යාමට සිදුවෙන බවත්ය.

ඒ අවාසනාවන්ත සිසුවිය වුයේ ප්‍රීතිකා සුබෝධිනී විය.

ප්‍රීතිකා සුබෝධිනී පසු දිනම දෙවෙනි ශ්‍රේණියේ මගේ සොහොයුරා ඉගෙන ගත් පන්තියට ගියාය. එහිදී වාර විභාගයෙන් තෙවෙනියා වුවාය.

මම කිසිදු අතුරු ආන්තරාවකින් තොරව තුනේ පන්තියේම වැඩ වාසය කරමින් පන්තියේ පළමුවැනියා ලෙස හතරේ පන්තියට සමත් වුණෙමි.

-කතන්දරකාරයා

ප/ලි:
අදට යෙදෙන කතන්දර බ්ලොගයේ තෙවෙනි උපන් දින සැමරුම වෙනුවෙනි.

හෙට සිට අප හතරවැනි ශ්‍රේණියේය.


(image: http://www.cartoonstock.com)

Monday 9 July 2012

කැම්පස් එකේ රැග් කතන්දරයක් :: ඔයා මගේ නංගී වගේමයි! - Cruelty at its best


මේ දවස්වල විශ්ව විද්‍යාල රැග ගැන නොයෙකුත් ඊ-මේල් යනාදිය සංසරණය වෙනවා.

ඒවා ඇත්ත වුනත් නැත්ත වුනත්, පහුගිය දශක දෙකක විතර කාලයේ සමාජයේ සිදුවුණු වෙනස්කම් නිසා රැග් එකත් දැන් අති දරුණු තත්වයකට ඇවිල්ලා වගේ.

මගේ අදහස නම්, මේ රැග් මලඉලව්ව නිසා පොදුවේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට වෙන හානිය අනිත් හැම දේකටම වඩා වැඩි නිසා ඔය අසම්මතයේ සම්ප්‍රදායට දැන් පුල්ස්ටොප් එක තියන්න කාලේ වගේ.

දැන් මෙන්න රැග් සීසන් එකේ කතන්දරයක්.

අළුතින් ශිෂ්‍ය කණ්ඩායමක් විශ්ව විද්‍යාලෙට ආවාම සීනියර් බැච්චල වේලි වේලී ඉන්න කොල්ලෝ හැම දෙනාම උත්සාහ කරන්නේ අළුත් කෙල්ලෝ ටික අල්ලාගෙන මඩවන්නයි.

කෙල්ලන්ට රැග් කරන්න යන කොල්ලන් ගේ විවිධ අරමුණු තියෙනවා.

ඉන් ප්‍රධානම එක තමයි, තමන් ලකුණු ටිකක් දාගෙන, හිතට අල්ලපු කෙල්ලෙක් හිටියොත් මෙදාපාරවත් හිච් වෙන්න ට්‍රයි එකක් දෙන එකයි.

එහෙම අවශ්‍යතාවයක් නැති එවුණුත් ඉන්නවා. උන්ට තමයි කෙල්ලෝ අකමැතිම. මොකද මේ ජාතියේ කොල්ලන්ගේ තමන්ට ලකුණු දා ගැනීමේ කිසිම අදහසක් නැති නිසා, උන් කෙල්ලන්ට කියන කෂඩ කතාවල කිසිම සීමාවක්, චාරයක් නැති වීම.

ඔන්න මේ ආකාරයේ සීනියර් පොරක් එක දවසක් හොඳ ලස්සන ඇහැට කනට පේන, ෆෙෂියෙක් ව අල්ලා ගත්තා කතාවට.

"ඔය නංගී පොඩ්ඩක් මෙහාට එන්න."
"නංගී ගේ නම මොකක්ද?"
"නංගී ගේ ගම කොහේද?"
"නංගී කොයි ඉස්කෝලෙටද ගියේ?"
"නංගී කොයි හෝල් එකේද ඉන්නේ?"

හරිම අමුතු කරුණාවකින් තමයි මේ අයියා ගේ කතාබහ.

නංගීටත් හරි පුදුමයි මේ සීනියර් බැච් එකේ අයියාගේ කරුණාව ගැන. නංගීගෙනුත් කරුණාවන්ත උත්තර ලැබුණා.

"නංගී දන්නවාද ඇයි මං මේ නංගීට, නංගී, නංගී කියලා කතා කරන්නේ කියලා?"

"නෑ අයියේ."

"ඔයා හරියටම මගේ නංගී වගේමයි!"

"ආ, අයියේ ඇත්තද?"

"ඔව් නංගී, එකම උස මහත, එකම මුහුණුවර, නහය, ඇස් දෙක. මගේ නංගියි ඔයයි එක වගේමයි. නිවුන්නු වගේ."

"ආනේ!"

"මට ඔයාව අද දැක්ක ගමන් මගේ නංගීව මතක් වෙලා කඳුළු ආවා නංගී."

"අනේ, ඇයි අයියේ ඒ?"

"මගේ නංගී ගිය අවුරුද්දේ මැරුණා නංගී."

"ආනේ! අනේ අයියේ ඒ මක්වෙලාද?"

"එයා වග බිව්වා නංගී."

"ආනේ, ඇයි අයියේ ඒ?"

"එයා ගේ මූණ කොච්චර කැතද කියන එක එයාට දරාගන්න බැරිවුණා නංගී. එයා ඒ දුකට තමයි පොලිඩෝල් බීලා සිය දිවි නසාගත්තේ!"

-කතන්දරකාරයා

ප/ලි:
මෙතන පොලිඩෝල් කියන්නේ කෘමි නාශකයක් (Pesticide) වෙන්න ඕනෑ. ඒවා බිව්වාම තමයි මිනිස්සු මැරෙන්නේ. වල්නාශක (Herbicide) කියන්නේ ඊට වඩා සැර අඩු රසායනික මිශ්‍රනවලටයි. (මගේ ඒ අදහස වැරදියි. පහත කමෙන්ටුවල ඇති විස්තර බලන්න.)

මෙන්න කාලෙකට ඉස්සර වල්නාශකයක් ගැන රේඩියෝවේ ගිය ජිංගලයක්.

ගොජිරි බජිරි මාරුක් ඇතුළු වල් පැල
හාක්‍රොස්වලට වැනසිය හැක කුඹුරුවල
සරුවී වැඩෙයි සරුසාරෙට ගොයම් පැල
හාක්‍රොස් තමයි, වල්නාශක අති ප්‍රභල


(image: http://www.wikinewforum.com/showthread.php?t=16771)

Sunday 8 July 2012

කලිසම නොගලවා ජොකා ගලවන්න හැකිද? - You may have seen this clip previously!


අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ? සැබෑ ලෝකයේ ජීවත්වෙන අපි සියළු දෙනාම ඉස්සෙල්ලා ජොකා ඇඳලා ඊට උඩින් තමයි කලිසම අඳින්නේ.

හැබැයි සුපර්මෑන් නම් අපි ඔහේලාට වඩා වෙනස්.

පොර ගේ රතු ජොකා අඳින්නේ කලිසමට උඩිනුයි. බැට් මෑන් හරි, ස්පයිඩර් මෑන් හරි, වෙන මොකා මෑන් හරි ඒ විදියට ජොකා ඇඳන් ඉන්නවා මං නං දැකලා නෑ.

ඇත්තටම සුපර් වුමන් අඳින්නේ කොහොමද? දැකපු කාලයක් මතක නෑ!

අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට ලියවෙන මේ කතන්දරෙන් කියවෙන්නේ සුපර්මෑන්ට හැර අන් සියළු මෑන්ස්ලාට කරන්න බැරි දෙයක් ගැනයි.

ඇඳලා ඉන්න කලිසම නොගලවා ජොකා ගලවන්න පුළුවන්ද?

එහෙමත් නැත්තං, ඇඳගෙන ඉන්න කලිසම නොගලවා, ඒ කලිසමට යටින් ජොකෙක් අඳින්න පුළුවන්ද?

ඔය දෙවෙනි ප්‍රශ්නේ මහා අප්‍රභංශයක් වගෙයි බැලු බැල්මට පේන්නේ. ඒක තව ටිකක් විස්තර කරනවා නම්, හිතන්න ජොකෙක් නැතුව කලිසම ඇඳන් ඉන්නවාය කියලා සිවිල් පිට. දැන් කලිසම ගලවන්න වෙනවාය කියලා හිතමු, මූදේ නාන්න යන්න වගේ කේස් එකකට සෙට් වෙන්න.

තුවායකුත් නැත්තං කොහොමද මේක කරන්නේ තමන්ගේ පරම්පරා කුට්ටම මහජන ප්‍රදර්ශනයට නොතියා?

මේ කර්තව්‍යය කරන්න පුලුවන් එක සමතෙක් ඉන්නවා අඩු ගානේ. ඒ තමයි මිස්ට බීන්.

මෙන්න දැකලා නැති අයට, අමතක අයට, අද ඉරිදා නිවාඩු පාඩුවේ බලන්න ඒ වීඩියෝ කෑල්ල.



-කතන්දරකාරයා

ප/ලි:
මේ ජොක්කු කතන්දරවල අවසානය නොවේ!

තව දෙක තුනක් ම ඇති බව කණගාටුවෙන් දැනුම් දෙමි.

(image: http://thedorkreview.blogspot.com.au/2011/01/spider-man-vs-superman-back-icons.html)

Friday 6 July 2012

දැන් කාලේ හැදෙන ළමයි සහ විස්ස විජ්ජාල ප්‍රොෆෙසර් ලා! - Oh these kids (and these University Professors)


ලඟදී දවසක බ්ලොග් එකක් කියොලා ඒකේ තිබුණු එක කතන්දරේකට මං කමෙන්ට් කෙරුවේ "දැන් කාලේ හැදෙන ළමයි!" කියලයි. (මේ බ්ලොග් එක Off the Tangent කියලයි මං හිතන් හිටියේ. නමුත් මට ඒ ලිපිය හොයා ගන්න බැරිවුණා!)

ඒ වෙලාවේ මට මතක් වුණා මගේ වෙන්ඩ කතන්දර ලයිස්තුවේ සෑහෙන කාලයක් තියෙන මේ කතන්දරේ ලියලා දාන්න ඕනෑ කියලා.

මං හිතන්නේ ඔය "දැන් කාලේ හැදෙන ළමයි!" කියන කෑල්ලත් අර මං කලින් දවසක ලියපු තේරවිලි කතන්දරේ වගේ පරම්පරාවෙන් පරම්පරාවට යන එකක්.

අපේ සීයා ගේ තාත්තා සීයා ගැන මෙහෙම කියන්න ඇති, සීයා මගේ තාත්තා ගැන කියන්න ඇති. තාත්තා මං ගැන මෙහෙම කියනවා මට මතකයි.

අන්තිමේදී මටත් මගේ දුව ගැන එහෙම කියන්න වුනා!

"දැන් කාලේ හැදෙන ළමයි!" කියලා දුව ගැන මට හිතුනේ මෙන්න මේ නිසයි.

කතන්දරහාමිනේයි මංතුමායි කසාඳ බැඳලා දෙවෙනි අවුරුද්දේ රතු කොරොල්ලා කාරෙකෙන් ගෙදර ගෙනාපු රෝස බබා දැන් ටික ටික ලොකු ළමයෙක් වෙලා.

උස් මහත් වෙනවා වගේම ඉතිං පණ්ඩිතකමත් වැඩි වෙලා.

අර පහුගිය දවසක ලියපු කතන්දරයක මං කිව්වා වගේ නොට්ටිගේ දුව වගේ දෙමව්පිය දෙපල හතර විළි ලැජ්ජාවට පත්කරමින් කලා විෂයයන් තෝරා ගත්තේත් ඒ පණ්ඩිත කම නිසා නේ.

දුව ඉපදුණු කාලේම වගේ අර හැමෝම කරනවා වගේ අපිත් දුවගේ කේන්දරේ හදවා ගත්තා අපේ ඥාති හාමුදුරුනමකට දීලා. ඔය කේන්දර පොත අපේ වැදගත් ලියකියවිලි අතරේ හැංගිලා තිබිලා අවුරුදු ගණනාවකට පස්සේ මේ පහුගිය දවසක අපිට හම්බවුණා.

මේ වෙනකොට හාමිනේයි, මායි අර විද්‍යා, කලා කේස් එකෙන් පරාජය බාර අරගෙනයි හිටියේ.

"දැන් කාලේ හැදෙන ළමයි!" නේද?

ඒ දුක ටිකක් හෝ නිවෙන එක්තරා වාක්‍යයක් තිබුණා අර හාමුදුරුවෝ හදලා දුන්නු කේන්දර පොතේ ලියලා තිබුණු පලාපලවල.

මේක දැකලා හාමිනේට හරි සතුටුයි!

හාමිනේ දුවට මෙහෙම කිව්වා.

"කමක් නෑ ෂීනි, ඔයා ඔයාට කැමති සබ්ජෙක්ට්ස් තෝරාගන්න කෝ. හැබැයි මොනවා ඉගෙන ගත්තත් උනන්දුවෙන් හොඳට ඉගෙන ගන්න..."

"...ඔයා හොඳට ඉගෙන ගෙන යුනිවසිටි ප්‍රොෆෙසර් කෙනෙක් වෙනවා ය කියලා ඔයා ගේ කේන්දර පලාපලවල කියලා තියෙනවා."

දැන් කාලේ හැදෙන ළමයින් ගේ හැටි!

දන්නවාද මේ පණ්ඩිත කෙල්ල ගත් කටටම මොකක්ද කිව්වේ කියලා?

"අනේ අම්මී, මට නම් බෑ ඔය ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න. අම්මී දන්නවාද යුනිවසිටිවල සැලරීස් කොච්චර අඩුද කියලා?"

ඔන්න දැන් කාලේ හැදෙන ළමයින් ගේ හැටි!

විස්ස විජ්ජාල බර ගාණක අවුරුදු බර ගාණක් රස්ටිෆයි වෙලා තියෙන මංතුමා නෙමේ කටක් ඇරියේ.

-කතන්දරකාරයා

ප/ලි:
අපේ ආච්චී නං ඉස්සර දවසක අහවලාට බැණ වැදුනේ දැං කාලේ හැදෙන විලිසංගේ නැති කෙල්ලෝ කියලයි.

(image: http://www.nannystate.com/rules/Teachers%20May%20Not%20Say%20'Shit'%20in%20Arizona-93.html)

Wednesday 4 July 2012

රාවණාගමනයේ දිනය හෙලි කළ ශ්‍රී රාවණා සුර රාජයා - The return of Ravana the Great, date revealed!


මගේ පිය පාර්ශවයේ පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන මහා උදළු රාජයා පිළිබඳ කතන්දර පුවත ඔබට මතක ඇතැයි සිතමි. වසර සියයක් පමණ කාලයක් අපට නොකඩවා සේවය සැපයීම හැර ඒ උදළු රාජයා ගේ වෙනස් හාස්කමක් නොමැත.

කුමකටද? ඒ ම මදෑ!

මගේ මව් පාර්ශවයෙන් පට හිමි වූ මහා බලසම්පන්න නවරත්න මුදු රාජයා නම් මහා හාස්කම් සහ අනුහස් සහිත වස්තුවකි.

අද මේ මංතුමා ලිඛිත බසෙන් ම ලියමින් මේ සැරසෙන්නේ ඒ නවරත්න මුදු රාජයාටත් වඩා බලසම්පන්න වස්තුවක් මා සතුව ඇති ඔබ සැමට දැනුම් දීමටයි.

එය නම් ශ්‍රී රාවණ බලයෙන් සපිරි මහා සුර රාජයෙකි.

දැන් ස්වල්ප මොහොතකට කලින් ගන්නා ලද ඒ මහානුබලසම්පන්න ශ්‍රී රාවණා මහා සුර රාජයාගේ ඡායා රූපයක් පහත දක්වමි.


මේ ශ්‍රී රාවණා බල සපිරි මහා සුර රාජයාගෙත්, හන්දියක් ගානේ රස්තියාදුවෙන කොලු කුරුට්ටන් පැළඳ සිටින තබක්ක සුරවලත් කැපී පෙනෙන වෙනසක් ඔබට බැලු බැල්මට නොපෙනීමට ඉඩ ඇත.

වෙනත් සුර මෙන්ම මේ ශ්‍රී රාවණා බල සපිරි මහා සුර රාජයා ද සැදී ඇත්තේ එකක් අස්සේ එකක් බැස්සවූ සිලින්ඩ්‍රිකාර කොටස් දෙකකිනි.

එසේ වුවත් මේ ශ්‍රී රාවණා සුර රාජයාගේ ඇති වෙනස නම් මේ ශ්‍රී රාවණා බල සපිරි මහා සුර රාජයාගේ එකී සිලින්ඩ්‍රිකාර දෙකොටසම සාදා ඇත්තේ රාවේණියම් (Ravaniam) නම් ලෝහයෙන් වීමයි.

මේ පොලෝතලය මත සොයා ගත නොහැකි මේ රාවේනියම් ලෝහය එකල ශ්‍රී රාවණා රජු සමයේ ඉම්පෝට් (ඉම් = ඒම, පෝට් = පිටත සිට, පිටත සිට ගෙන ඒම) කරන ලදුයේ ශ්‍රී රාවණා රජුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය වූ විශ්වජිතයින් යුව රජු තනතුරු දැරූ ඔයායොන් බෙල්ටයේ ඇති විවිධා ග්‍රහවස්තු වලිනි.

එදා ශ්‍රී රාවණ රජු දවස මේ ශ්‍රී රාවණා බල සපිරි මහා සුර පැළදුවේ රජු ගේ ගගන බල සේනාංකවල සෙනෙවිරත්වරුන්ය. ඒ හැම සුර රාජයෙකු ගේම ඇතුලත සුරුට්ටුවාකාරයෙන් රුවා ඇති ප්ලැටිනම් ලෝහ තහඩුවක අන්තර් ග්‍රහලෝක ව්‍යවසනයකදී භාවිතා කළ යුතු රහස් න්‍යෂ්ඨීක අවි ගබඩා ක්‍රියාත්මක කිරීම සඳහා අවැසි රහස් කේත අඩංගුවේ.

ආරක්‍ෂක හේතු මත මෙම ප්ලැටිනම් තහඩුවේ ඡායාරූපයක් මෙහි පළ කළ නොහැකි බව සලකන්න. ඒ, එකී අවි ගබඩා වසර දහස් ගණනකට පසුව අදත් සුරුකිව ඇති බැවින්, එම රහස් දොස්තර ඊවිල් (Dr Evil) ලා ගේ හෝ මිනි මී (Mini-Me) ලා ගේ අතට පත්වීමට ඉඩ ඇති බැවිනි.


මෙම ප්ලැටිනම් තහඩුවේ එදා ශ්‍රී රාවණයින් ගේ ගගන සේනාංකයක් බාරව සිටි මගේ මී මුත්තෙකුවන සෙනෙවිරත්වරයෙකු ගේ ඉනීෂියල් (ඉනි=මුල්, ෂියල්=අකුරු, මුළකුරු) ද අඩංගු වේ.

මේ ඒ කොටසේ අතින් කරන ලද කටු සටහනකි.

ශ්‍රී රාවණ යුගය පිළිබඳ සුවිශේෂඥයෙකු වන මහාචාර්ය මීවනපලානේ රාජපක්‍ෂයින් විසින් ඔහු අමෙරිකානු රජයේ අත් අඩංගුවට පත්වෙන්නට පැය කිහිපයකට කලින් "මිරර්" නමින් හැඳින්වෙන අධිතාක්‍ෂණ රාවණා යුගයේ මෙවලමකින් විශ්ලේෂණය කර මා සමග පවසා සිටි පරිදි මේ සලකුණ අනුව මෙම සුර රාජයා "කතන්ද්‍ර කාර්" නම් වූ ශ්‍රී රාවණ සෙනෙවියනට අයිතිව තිබූ බව තහවුරු වේ.

එපමණක් නොවේ.මීවනපලානේ රාජපක්‍ෂයෝ කාලයක් තිස්සේ එක්සත් ජනපදයේ ඒරියා 51 ස්ථානයේ රහස් පුස්තකාලයක තිබී පසුව තමන් අතට පත්වූ රාවණා යුගයේ ඩිජිටල් ඡායාරූප ඇල්බමයක අඩංගු වුණු කතන්ද්‍ර කාර් මහ සෙනෙවියා මෙම සූරය පැළඳ සිටි අවස්ථාවක ගන්නා ලද ඡායාරූපයක් ද මට ලබා දුන්නෝය. ඒ දුර්ලභ ඡායාරූපයෙන් කොටසක් පහත දැක්වේ.

දැනට මෙම ශ්‍රී රාවණා බල සපිරි මහා සුර රාජයා පසුවන්නේ ශිශිර නිද්‍රාවේ ය. එනිසා, සුර රාජයා මගේ නවරත්න මුදු රාජයා මෙන් විස්කම්, හාස්කම් නොපෙන්වයි.

නමුත් ඒ සියල්ල වෙනස්වන දිනය වැඩි ඈතක නොවේ. තව මාස කිහිපයක් පමණි. එනම් 2012 ඔක්තෝම්බර් මස 27 වෙනිදාය.

එදා ශ්‍රී රාවණා ගගන බල සේනාවේ මහ සෙනෙවිරත් තනතුර දැරූ, රාම යුද්ධයේ අවසන් දිනයේදී, න්‍යෂ්ඨික අවි රහස් කේත ඇතුලත් සුරය නාන කාමරයේ අමතක කර ගිය හේතුව නිසා දිවි පූජා කර පූජනීය "ශ්‍රීරාවණවිරු" තත්වය හිමිකරගත්තා වූ ද, "කතන්ද්‍ර කාර්" මහ සෙනෙවියා ගේ පරපුරේ වත්මන් පුරුකේ ජෛව සන්ධිස්ඨාන සැමරුමක් එදිනට යෙදෙන අතර, ඉහත කී ප්ලැටිනම් තහඩුවේම අධෝ ලිපියක දැක්වෙන පරිදි එදිනට සංවිධානය කෙරෙන මහා බර්ත්ඩේ (බර්ත්=බරත=භූමිය, ඩේ=දිනය, භූමිය දිනූ දිනය=උපන් දිනයය) මේලාවට සහභාගීවීම සඳහා ශ්‍රී රාවණයෝ තම ශිශිර නිද්‍රාවෙන් අවදිව මේ හෙළ ධරණිතලයේ ප්‍රාතිභූර්ත වීමට නියමිතයි.

අන්න ඒ දිනයේ දී මේ ශ්‍රී රාවණා බල සපිරි මහා සුර රාජයාද ශිශිර නිද්‍රාවෙන් අවදිව මහා අනුහස් විස්කම් ප්‍රාතිහාර්ය විදහා දක්වනු ඇත.

පාඨක, ලේඛක සහෘදයෙනි! එතෙක් ඉවසා බලා සිටිමු.

ශ්‍රී රාවණ සිද්ධම්.

-කතන්දරකාරයා (කතන්ද්‍ර කාර් මහ සෙනෙවිරත් පරපුරේ වත්මන් පුරුක)

ප/ලි:
මේ කතන්දරයේ ප/ලි කොටස 28/10/2012 දින බලාපොරොත්තුවන්න.

(image: http://villains.wikia.com/wiki/Ravana)

(image: http://investingcaffeine.com/2009/07/16/ppip-becomes-miniaturized-%E2%80%9Cmini-me%E2%80%9D/)

Monday 2 July 2012

සිංහල බ්ලොග් ලිවීම ගැන "අපි නොදන්නා ඇනෝ" ගේ මතය - Why blog? (by Anonymous)


චාමී ලියන රියර් ගේට් නොහොත් "පස්සා දොර" බ්ලොගය දන්නවා නේද? මේ ගැන මං ලිපියක් පල කලා දැන් අවුරුදු දෙකකට විතර කලින්.

පහුගිය දවසක චාමීට හදිසියේම මතක් වෙලා තමන් ගේ බ්ලොග් එකට අවුරුදු දෙකක් පිරිලා නේද කියලා. පොර ඒ ගැන ලියූ ලිපියට ප්‍රතිචාරයක් ලෙස "අපි නොදන්න ඇනෝ" කෙනෙක් සිංහල බ්ලොග් ලිවීම ගැන අදහස් දක්වලා තිබුණා.

ඒ අදහස් නැවතත් මෙතන දාලා ආපහු අවුස්සලා ගන්නයි මං මේ උත්සාහ කරන්නේ.

මෙන්න "අපි නොදන්න ඇනෝ" ගේ අදහස් ඒ ආකාරයෙන් ම.
       
බ්ලොග් කලාව ගැන ඔබේත් පොදුවේ බොහෝ දෙනකුගේත් ඇති දුර්මත කිහිපයක් පමණක් නිෂේධනයට සිතීමි.

1. බ්ලොග් කලාව මහා ලොකු දෙයක් නොව තත්‍ය සමාජයේ "පොරක්" වන්ට බැරි කෙනෙකුට "පොරක්" වීමේ මාර්ගයක් පමණකි. උදාහරණයක් හැටියට අධ්‍යාපනය, ආර්ථිකය හා ලිංගික ජීවතය යන තුනින්ම තත්‍ය ලෝකයේදී සාර්ථකත්වයක් නොලැබූ කොම්පැණියක සුළු සේවකයෙක් සලකන්න. මේ පුද්ගලයාට පොරක් විය හැක්කේ අතත්‍ය අවකාශයේදී පමණෙකි. ඔහු එතැන "පොරක්" වී අහිංසක ලෙස තම අවශ්‍යතාව සපුරා ගනී. කුමක් හෝ වහන්තරාවක් අකුරු කොට මැට්ටියන් "මං එක" කියා කමෙන්ට් දමන්නට පොරකනු බලා ස්වයං වින්දනයක් ලබයි. ඒ හැරුණු විට මහා ලොකු දෙයක් එතැන නැත.

2. අප කැමැති වුවද නැතද, අනෙකුත් ජන මාධ්‍ය වලට සාපේක්ෂව බ්ලොග් වලට ඇත්තේ අවම පාඨක පිරිසකි. එයින්ද හතරින් තුනක් වත් තමන්ද මොකක් හෝ බ්ලොග්කටුවක් ලියා ඊට හිට්ස් බලාපොරොත්තුවෙන් ඉන්නා පිරිසකි. එබැවින් ඔබේ සාර්ථකත්වය ඔබ ලබන හිට්ස් හෝ කමෙන්ට් ගණනින් නොමනින්න. සාර්ථක කමෙන්ට් ලබන/ලැබූ බ්ලොග් ගණන ඇඟිලි ගණනටත් වඩා අඩුය.

3. බ්ලොග් ලිවීමේදී ඔබට රැවුළත් කැඳත් දෙකම බේරා ගැනීමට අවශ්‍ය නම් (කතන්දර මෙන් - ඔහුද සියයට සියයක් සාර්ථක නැත.) ජොකා කතා, කක්කා කතා, චූ කතා, පරණ ලව් කතා, බූට් කතා පමණක් ලියා සෑහීමකට පත්වන්න. ඒ හැරුණු විට ඇත්තක් ලිවීමේදී අනිවාර්යයෙන්ම යම් පිරිසකගේ සිත රිදේ. ජ්‍යොතිෂය මිථ්‍යාවකි. එහෙත් ඒ ප්‍රකාශය අනිවාර්යයෙන්ම ඒ මිථ්‍යාව බඩ-රස්සාව කර ගෙන ඉන්නා පිරිසගේ සිත් රිදවයි. ඉන්පසු ඔවුහු සරම් උස්සාගෙන ඇති. මේ නිසා එකක් තෝරා ගන්න. එක්කෝ විපාක ගැන නොසිතා ඇත්ත ලියන්න. නැතිනම් සුන්දර කතා ලියා ජනප්‍රිය වන්න. ඔය මාර්ග දෙකේම ගියෝ වෙති.

4. වෙනත් බොහෝ දේ සේම බ්ලොග් ලිවීමද ආර්ථික වාසි ලබන මාර්ගයක් කර ගත්තෝ වෙති. "අපි පොඩිකාලෙ හිටියෙ මෙහෙමයි; බස් හෝල්ට් වලත් නිදා ගත්තා" වැනි සූක්ෂ්ම ලෙස අනුන්ගේ අනුකම්පාව දිනා ගන්නා කතා ලියූ විට අව්‍යාජව කඳුළු උණන පිරිසක් මොවුන්ට මුදල්, විස්කි බෝතල්, කැමරා, ඉලෙක්ට්‍රොනික් ආම්පන්න තෑගි දෙති. (ගලා යන දොළින් දිය දෝතක් ගත්තත් මදෑ!) මෑතකදී අප අතරින් වියෝ වූ "ඔබා මාමා" මෙසේ අනුන්ගේ දුකේදී හිත උණු වූ පුද්ගලයෙකි. නමුත් තමා ඇඳෙගෙන සිටි ඇන්දීම ඔහු මියෙන තුරා දැන නොසිටියේය. ඒ බ්ලොග් කලාවේ ස්වරූපයයි.

5. අවසාන වශයෙන්, ඔවුන් ලියන කියන දේ කවරක් වුවද බ්ලොග් අවකාශය යනු සුපිරිසිදු මිනිසුන් ගැහැණුන් වෙසෙන තැනක් නොවේ. එහි ඇත්තේද සමාජයේ පැති කඩක්ම පමණෙකි. එබැවින් සමාජයේ ඇති සියළු දුර්ගුණ බ්ලොග් අවකාශයේද වෙයි. අද ටැබූ නැතැයි කියමින් විස්සෝප වන පිරිස විශාලය. එහෙත් ටැබූ ඉන්නා කාලයේ ඔහුට පහර ගසමින් ලියැවුණු බ්ලොග් පෝස්ට් සංඛ්‍යාව ගැන කිසිවකු කතාවක් වත් නැත.

අන්න එහෙමයි ඇනෝ ගේ අදහස් ගොන්න.

මේ හැම කාරණයක් ගැනම මට සුවිශේෂී මතයක් නැති වුණත් මගේ සූටි සුපියල් පහේ වටිනාකම මෙතන කොටලා දාන්න හිතුණා.

ඒ සඳහා භාෂා විලාසය මෙතැන් සිට වෙනස් කරමි.
       
1. මගේ අදහසට අනුව බ්ලොග් ලිවීම වනාහී විනෝදාංශයකි. හොබියකි. කොටි වල්ගයකි. නමුත් හොඳ කොටියෙකු ගේ ය.

බ්ලොග් ලිවීම ඇඩික්ටිව්ය. එදිනෙදා ජීවිතයෙන් සෑහෙන කාලයක් මේ සඳහා ගතවේ. එනිසා ලිවීම නතර කිරීම ලේසි නැත. විත්ඩ්‍රෝවල් සිම්ප්ටම්ස් ඇතිවෙනු ඇත.

නතර කළ අයට පවා පසුව විවිධ වේශයෙන් ලිවීමට සිතෙනු ඇත. කමෙන්ට් කිරීමට සිතෙනු ඇත.

පොරක් වීම යනුවෙන් "අපි නොදන්න ඇනෝ" අදහස් කරන්නේ ආත්ම තෘප්තිය නම්, ඒ ගැන මගේ විවාදයක් නැත. බ්ලොග් ලියන්නෝ ද, ලියන්නියෝ ද සැවොම මා සමග එකඟ වෙනු ඇතැයි සිතමි.


2. බ්ලොග්වලට කමෙන්ට් දමන අති බහුතරය බ්ලොග් ලියන අය බවට විවාදයක් නැත. ඒත් ලිපි නොලියන නමුත් කියවන අය ද බොහෝය. නවකතා පොත් මිලට ගෙන හෝ පුස්තකාලයෙන් හෝ මිතුරන්ගෙන් ඉල්ලා ගෙන කියවන්නේ වෙනත් නවකතාකරුවෝ පමණක් ද?

පුද්ගලිකව මා දන්නා මගේ මිතුරන් හා ඥාතීන් මගේ බ්ලොගය කියවති. ඒ හරහා ගොස් වෙනත් බ්ලොග් ද කියවති. නමුත් කමෙන්ට් නොකරති.


3. බ්ලොග්කරුවන් ලිවිය යුත්තේ තමන්ට කැමති දේය. ජනප්‍රියතාවය හිතා නොවේ.

මා හැමවිටම ලියූයේ මා කැමති දේය. "අපි නොදන්න ඇනෝ" මා ලියා ඇත්තේ "ජොකා කතා, කක්කා කතා, චූ කතා, පරණ ලව් කතා, බූට් කතා" යැයි ඉඟි කරයි.

මෙය පාඨකයා නොමග යැවීමක් බව අමුතුවෙන් කියන්නට ඇවැසි නොවේ. අවශ්‍ය කෙනෙකුට මා ලියා ඇති මුලු කතන්දර ප්‍රමාණය වන 650 අතරින් කීයක් ඉහත ආකාරයේ "ජොකා කතා, කක්කා කතා, චූ කතා, පරණ ලව් කතා, බූට් කතා" දැයි ගනං කර බැලිය හැක. එය කුඩා ප්‍රතිශතයක් පමණක් බව අදරුති "අපි නොදන්න ඇනෝ" ට මම පවසමි.


4. බ්ලොග් කියවන අය රවටා වාසි ලබාගත් බ්ලොග්කරුවන් ගැන "අපි නොදන්න ඇනෝ" මේ පවසන දේ එලෙස ඇන්දවීමට ලක්වූවායැයි පවසන අයට අපහාසයක් යැයි මම සිතමි. වෙනත් කිව යුතු දෙයක් මට නැත.


5. බ්ලොග් අවකාශය අපේ සමාජයේම පැතිකඩක් බව මම ද පිළිගනිමි. ඇත්ත වශයෙන්ම මා එය පැවසූයේ බස් රේඩියෝ කතා බහ තුලින් දැන් සෑහෙන කාලයකට කලිනි.

"අපි නොදන්න ඇනෝ" ගේ මේ පස්වෙනි කමෙන්ටුවේ ටැබූ ගැන කියවෙන අදහසේ ඇති පොඩි වරදක් ඇත. ටැබූ කිසිදා තමන් වෙනුවෙන් කතාකරන්නට, සටන්කරන්නට පිරිසක් තනන්නට සැදූ කෙනෙක් නොවේ. ටැබූ එලෙස අන් අයගෙන් උපකාරයක් බලාපොරොත්තු වූවා යැයි කීම ටැබූට කරන අපහාසයකි.

මගේ වැටහීමේ හැටියට බොහෝ දෙනා ටැබූ ගැන තවමත් ඇති ප්‍රසාදයට එක හේතුවක් මෙහි සඳහන් පහර ගසන්නන් මැද දිස්වූ ටැබූ ගේ නිර්භීත භූමිකාවමය.

මගේ අදහස් එසේය. "අපි නොදන්න ඇනෝ" - ඔබට ස්තුතියි.

-කතන්දරකාරයා

ප/ලි:
කැමති නම් පමණක් අදහස් දක්වන්න. ප්‍රතිචාරවලට ප්‍රති පිළිතුරු දීමට මට මේ සතියේ විවේකයක් ලැබෙන්නේ නැත.


(image: http://www.zazzle.com.au/sexting+buttons)

Sunday 1 July 2012

ජිරා මාමා ගේ බෙල්ල - Pain in the Neck!


ඔය උඩින් දාලා තියෙන්නේ කතන්දර දෝණී පොඩි කාලේ එයා ගේ සෙල්ලම් බඩුවක්. ජිරාෆ් සතෙකුගේ අනුරුවක්. රබර් වැනි ප්ලාස්ටික් වර්ගයකිනුයි හදලා තියෙන්නේ.

අපේ දෝණි ඒ කාලේ මේ ටෝයි එකට හරිම ආදරෙයි. කොටින්ම එයා මේ ජිරාෆ් ට කිව්වේ "ජිරා මාමා" කියලයි.

ජිරාෆ් කිව්වාම අපිට මතක්වෙන්නේ බෙල්ල දිග උස ශාකභක්‍ෂක සතෙක්. අනිත් වෙජිටේරියන් සතුන්වෙන හරක්, මුවෝ, අශ්වයෝ වගේ එවුන් බෙල්ල පොළොවට හරෝගෙන බිම තියෙන තණකොල විතරක්නේ කන්නේ සාමාන්‍යයෙන්. හරක් නං පොල් පැළත් කනවා.

ජිරාෆ් ගේ බෙල්ල දිග්වෙලා තියෙන්නේ ගස්වල උඩ තියෙන අතුවල කොල කඩලා කන්නත් පුළුවන් වෙන විදියට ස්වභාවික පරිනාමයේ ප්‍රතිපලයක් විදියට කියලයි කියවෙන්නේ.

ඉතිං ජිරා මාමා කෙනෙක් වෙනවා කියන්නේ හරිම ජොලි ලයිෆ් එකක් නේද?

නිකංම නිකං "ලෝ හැඟින් ෆෲට්ස්" විතරක් නොවෙයි අර "නෙලා ගන්න බෑ, අපේ අත දිග නෑ" ආකාරයේ හොඳ හොඳ කැමවලටත් බැස්ටිය දෙන්න පුළුවනි!

ඔන්න ඔතන තමයි අපිට වැරදෙන තැන.

උස අතු අල්ලන්න ජිරා මාමා ගේ බෙල්ල විතරක් නොවෙයි දික්වෙලා තියෙන්නේ. උගේ කකුල් හතරත් දික්වෙලා. ඉස්සරහා සැට් එක අඩි හයකටත් වඩා උසයි සාමාන්‍යයෙන්.

කොච්චර කකුල් දික්වෙලාද කියනවා නම්, ජිරා මාමාට බෙල්ල නවලා පොළොව මට්ටමේ තියෙන දෙයක් කන්න බෑ.

එක අතකට ඉතිං ඒකට මොකෝ නේද? පොළොවේ තියෙන පයට පෑගෙන දේවල් කන්නේ ඇයි අර ගස්වල උඩ අතුවල තියෙන රහ රහ ජාති ගිලින්න පුළුවන් එකේ?

නමුත් වැඩේ මේකයි. ජිරා මාමා ට බෙල්ල නමලා පොළොවට දිග් කරන්න වෙන්නේ තණකොල කන්න නොවෙයි. වතුර බොන්නයි.

මේ බලන්න ජිරා මාමා වතුර බොන හැටි ෆොටෝ එකක්.



මෙන්න පොඩි වීඩියෝ කෑල්ලක්. (Just 26 seconds)



මෙහෙම කකුල් නවාගෙන ඉන්න වෙලාවට ජිරා මාමාලා හරිම "ගොදුරුබර" වෙනවා.

හිමින් සීරුවේ පස්සෙන් ඇවිල්ලා ගේම දෙන්න බලන් ඉන්න සිංහයින්, ව්‍යාග්‍රයින් අතින් මරණයට පත්වෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩිවෙනවා.

බෙල්ල දිග්වෙලා උඩ ගෙඩි කඩාගන්න ඇහැක් වුණාට වැඩක් තියේද, වතුර ටිකක් බොන්නත් මෙහෙම වාත වෙන්න ඕනෑ නං? ඒ එක්කම වතුර බොන එක ජීවිතේ පරදුවට තියෙන වැඩක් නං?

-කතන්දරකාරයා

ප/ලි

අද මේ කතන්දරය සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවක් ලෙස පලවෙන්නේ කතන්දර දැනුම් සාගරේ කොටසක් ලෙසිනි.

(image: http://slowvelder.wordpress.com/tag/giraffe/)