Monday 30 April 2012

කසාදෙටත් දේශපාලනේ - Politics and marriage

දේශපාලනේ නැති තැනක්, නොගෑවිච්ච තැනක් නෑනේ.

කෞතුකාගාරයේ ඉඳලා කැවුතුකාගාරය දක්වාම, අකාරයේ ඉඳලා විකාරය දක්වාම, සූතිකාගාරයේ ඉඳලා ආදාහනාගාරය දක්වාම, මංගලාරාමයේ ඉඳලා චාරිකාරාමය දක්වාම, මල්වත්තේ ඉඳලා පොල්වත්ත දක්වාම, අර්ජුන රණතුංග ගේ ඉඳලා මයිකල් ක්ලාක් දක්වාම දේශපාලනේ.

එහෙව් එකේ කසාදෙටත් දේශපාලනේ බලපාන බව කිව්වොත් ඉතිං පුදුම වෙන්න දෙයක් නෑ.

කසාදේ ගැන කියන කොට මට නං මතක්වෙන්නේ රත්නායක මහත්තයා ගේ බොස් ගේ ලයිස්තුවට මං එකතු කරපු නම්බර් සීරෝ කොන්දේසියයි. ඒක අති වැදගත් එකක් තමයි, හැබැයි මං මේ අද කියන්න යන්නේ ඒ සේරටම වඩා වෙනස් කතාවක්. තියරියක් කියලා කියන්නත් පුළුවනි.

ඒ කියන වෙනස තමයි, බාහිර පරිසරයේ සාධක පවුල් ජීවිතේට බලපාන හැටි ගැන මේ තියරියෙන් කියවෙන එක.

දැන් මෙන්න මගේ තියරිය.

විවාහ ජීවිතය යහපත්ව පවත්වාගෙන යාමට නම්, පති-පතිනි යුවල එකම දිශානතියක දේශපාලන දර්ශනයක් දැරිය යුතුය.

මේකේ විලෝම නියමය මෙහෙමයි.

සැමියා සහ බිරිඳ එකිනෙකාට ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස් දරන්නේ නම්, ඔවුන් ගේ විවාහ ජීවිතය හැල හැලැප්පීම්වලට ලක්වීමට ඉඩ ඇති අතර, අවසානයේ දික්කසාදයෙන් පවා අවසන් වීමට ඉඩ ඇත.

සුද්ධ සිංහලෙන් කියනවා නං මෙහෙමයි.

ගෑණියි, මිනිහයි දෙන්නාගේ ම පොලිටිකල් අදහස් සමාන නම් කසාදේ නැගලා යනවා. විරුද්ධ අදහස් තියෙන දෙන්නෙක් අතර පවුල් කෑම අමාරුයි. දික්කසාද වෙන්න පවා ඉඩ තියෙනවා.

ගෑණියි, මිනිහයි වෙනස් දේශපාලන අදහස් තියෙන පවුල්වල ප්‍රායෝගිකව වෙන්නේ මේකයි. කසාදෙන් පස්සේ කාලයත් සමග එක්කෝ ගෑණි මිනිහා ගේ විදියට හැඩ ගැහෙනවා, නැත්තං මිනිහා ගෑණි ගේ විදියට වෙනස් වෙනවා. බොහොමයක් තැන්වල දෙන්නාම වෙනස්වෙලා දේශපාලන අදහස් සමපාත වීමක් සිදුවෙලා දෙන්නාට සාමකාමී සහජීවනයෙන් ඉන්න ඉඩ ලැබෙනවා.

දැන් මෙන්න උදාහරණ විදියට මං දන්න පොඩි කතන්දර දෙකක්.

මං දන්න ඇන්ටි කෙනෙකුයි, අංකල් කෙනෙකුයි හිටියා, අංකල් අති උග්‍ර දක්‍ෂිණාංසිකයෙක්, කොටින්ම ඊශ්‍රායලයට පක්‍ෂපාත, රොනල්ඩ් රීගන් දිනන කොට රතිඤ්ඤා පත්තු කරන තරමේ. ඇන්ටි මේ අංකල්කාරයා එක්ක ඉහ ගහගෙන හිටියේ ඇන්ටිගේ නි්‍යුට්‍රල් කම හින්දයි. ඒත් ඝර්ෂණය ඇතිවෙන තරමට අංකල් දකුණු ඉවුරේ. දැන් නම් අංකල් මිය පරලොව ගිහින්.

තව ඇන්ටි කෙලනෙකුයි අංකල් කෙනෙකුයි ඉන්නවා, බඳින්න කලින් ඇන්ටි යූඇම්පී. කොටින්ම පලාතේ මංත්‍රී පාරේ යනකොට තමන්ගේ ඉස්කෝලේ කොලපාට ටයි එකෙන් වේව් කරන තරමට යූඇම්පී ඉස්කෝලේ කෙල්ල කාලේ ඉඳලාම. අංකල් නං කොල්ලා කාලේ ඉඳලාම වම් ඉවුරේ පොරක්.

දෙන්නා බැඳලා ටික කාලයක් ගියාට පස්සේ මට තේරුණා දෙන්නාම ආගම්වාදී, ගෝත්‍රවාදී, ජාතිවාදී ලයින් එකකය යන්නේ කියලා. දැන් මේ වෙනකොට ඩබලම බලන්නේ අයිටීඇන්. උදේ හවා සුභ අනාගතයක් කියනවා හම්බවෙන අයට. මෙතන වුනේ ඩබලම ඩයිවර්ජ් වෙලා සමපාත වීමක්.

-කතන්දරකාරයා

ප/ලි:
තවත් ඔය වගේ කතා අනන්තවත් ඇති නේද?

(images: http://www.dailynews.lk/2006/04/29/spice03.asp
http://www.lankaegossip.com/2011/04/anoma-janadari-nudity-is-life-of-woman.html)

Sunday 29 April 2012

එක අදහසක්, කවි දෙකක් සහ සින්දු දෙකක් - One seed and two fruits


දැන් අවුරුදු දහයකටත් එහා කාලෙක මං දවසක් කවි කීපයක් කුරුටු ගෑවා. ටිකක් පද ගැලපිලා එනකොට මේක නිකං සින්දුවක පදවැලක් වගේ සෙට් වෙලා ආවා.

ඔහොම තවත් කාලයක් ගියාට පස්සේ මං අතින් ඔයවගේ සින්දු අච්චුවේ කවි දහයක් දෙලහක් විතර ලියවුණාය කියමුකෝ. ඒ දවස්වල ඊ-කොමර්ස් වගේ කතා නැගලා යන හින්දා මට හිතුණා මේ රචනා ටික වෙබ් එකේ දැම්මොත් නවක ගායක ගායිකා කෂ්ටියගෙන් පොඩි පහේ ඉල්ලුමක් එන්න ඉඩ තියෙනවා නේද කියලා.

මගේ පලමු බ්ලොග් එක බිහිවුනේ ඒ විදියටයි.

ඒ මුල්ම ගීතයේ පදවැල මෙන්න මෙහෙමයි ලියවුනේ.

ඉස්සර දවසක
ලස්සන සවසක
අත්වැල් බැඳ ගෙන අප දෙන්නා
මහවැලි ඉවුරේ
නන්දන උයනේ
මතකයි හෙමිහිට පිය මැන්නා

හන්තානේ කඳු
පිසගෙන සුසිනිඳු
සීතල පිණි පොද හමාගියා
සිත සන්සුන් කල
හද කුල්මත් කල
සුන්දර ගී හඬ ගලා ගියා

නාදළු පහසක
මල් පෙති රහසක
රස පිරි සමයයි ගෙවී ගියේ
කොළොම් පුරවරේ
ගිනිදැල් අතරේ
තාමත් ඒ සුව මතක තියේ


ඔය පදමාලාව මගේ අහවල් බ්ලොග් එකේ තියෙනවා දැකලා ඒකට හිත ගිය පේරාදෙනියේ ඊ-ෆැක් එකේ හිටපු ශිෂ්‍යාවක් වන ධම්මිකා දේවසුරේන්ද්‍ර දැන් අවුරුද්දකට විතර කලින් ඒක ගායනා කළ බව මං කලින් කියලා තියෙනවානේ.

ඔය සින්දුව හැදෙන අතරේ ඉතාලියේ ඉඳලා ලාංකිකයෙක් මගෙන් ඔය සින්දුව කියන්න අවසර ඉල්ලලා ඊ-මේල් එකක් එව්වා.

පොර කාලෙකට කලින් පේරාදෙනිය, කටුගස්තොට පලාත්වල වැඩ කරලා තියෙන හින්දා තමයි මේ පදමාලාවට කැමතිවෙලා තිබුනේ.

එකම පදමාලාවක් සින්දු දෙකකට දෙන සිරිතක් නෑනේ. ඉතිං මං කළේ, ඒ අදහසම මෙන්න මේ විදියට වෙනස් වචනවලින් ලියලා ඉතාලියේ හිටපු ලෝලිත විජේසිංහට යවපු එකයි.

මතකයි මට තව ඉස්සර දවසක
මහවැලි ඉවුරේ අපි දෙන්නා
ආසිරි මල් සිරිපොද වැසි මැද්දේ
අත්වැල් බැඳගෙන පියමැන්නා

හන්තානේ සෙවනැලි සිපගෙන ආ
සීතල මදනල හමන වෙලේ
මතකයි තුරුලුව උණුසුම් වූ හැටි
මැයි ගස් සෙවනේ හවස් කලේ

දුරු රට සීතල හිම කැටි අතරේ
ගත උණුසුම අද ඇතිය සිඳී
සොඳුරු මතකයේ පාළුව විතරයි
හදවත උණුසුම නැතිය රැඳී


මෙන්න ලෝලිත තමන්ම සංගීත නිර්මාණය කරලා ගයපු ගීතයේ ඇම් පී ත්‍රී එකක්. මෙතනින් අහන්න.


මෙතනින් බාගන්න.
http://www.divshare.com/download/17533084-238

අද මේ සින්දු දෙකම අහපු මට හිතුනේ එකම සිතක ඉපදුණු එකම අදහසකින් කොච්චර වෙනස් ප්‍රථිපල දෙකක් ලැබෙන්න පුළුවන්ද කියන එකයි.

අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට මේ ගැන ලියන්නේ ඒ ඇතිවුණු හැඟීම ඔහේලාත් එක්ක බෙදාගන්නයි.

-කතන්දරකාරයා

ප/ලි:
ධම්මිකා නෝනා නං බටහිර බලවේග රටක සුවෙන් ඉන්නවා. ඉතාලියේ හිටිය ලෝලිත මහතාගෙන් නම් දැන් සෑහෙන කාලෙකින් ආරංචියක් නෑ.

(image: http://www.illustrationsource.com/)

Friday 27 April 2012

කොළඹ දී ලඟදීම ගරිල්ලා රස බොජුන් - Guerilla Dining in Colombo


කොළඹ නගරයේ ලඟදී විවෘත කරන්නට යන චේ (ගුවේරා) භෝජන ශාලාව ගැන ප්‍රවෘත්තිය ඇසූ මගේ මිතුරෙක් එතැන කෑමට තියේයැයි විශ්වාස කරන්නට හැකි විවිධ ආහාර පාන ගැන අපූරු විස්තරයක් ලියා තියෙනවා.

ඔහුගේ අවසර සහිතව ඒ සටහන කතන්දර බ්ලොග් එකේ දාන්න මං අදහස් කළා.

මේ නිර්මාණාත්මක කෑම වට්ටෝරුවේ රසය නොමරා එය ඉංගිරිසියෙන්ම මෙතන දාන්නම්.
In commemoration of the great historic event that took place 95 years ago, a new cafe was officially opened on 17 October in Colombo. The proprietor of the cafe Karl Marcus Fernando said this marks the dawn of the classless dining in Lankamatha.

The hip rap outfit Gang of Four gave a rousing rendition of "Saa dukeen pelenawun" while the bourgeoisie and proletariat VIPs joined in the traditional lighting of the Molotov lamp. Among the A-listers present were Vasideva, Wimalawansa, Rosie, Harry J, and Paba

The media spokesperson Victor Ivanov said that this is a BOI approved joint venture between the Comprador Inc. USA and the Lanka Lumpen Ltd.

The Lumumba Friendship University trained executive chef Rohana presented the May Day Menufesto designed especially for the 2012 May Day.

Among the dishes on the special menufesto are:

Mains:

Pol pot roast (chose your preferred doneness from: Conservative, Radical, Liberal or Athi Dhavanakaree)

Prague Spring chicken with Beluga Caviar

Tender cut of venison Bahu deep fried in virgin UNP oil

Steamed Great Leap frog legs

Roasted Sri Lankan free range peasant



Revolutionary spirits:

Absolut Trotskaya

Petersberg Beer

Vat 71

Sandalanka Mojito

Vietnamese Coffee prepared by our own Batista

Havana Cigars


The Niyamuwa-Michelin Red Guide has recently awarded the Che Cafe its highest ‘3 sickle & hammer’ rating.

(Menu created by Lal Kuruppu)

-කතන්දරකාරයා

ප/ලි:
ගරිල්ලා ඩයිනින් කෑම වට්ටෝරුව සඳහා ඔබේ යෝජනා දන්වන්න.

http://exploresrilanka.lk/2012/04/cafe-che-reopens-in-collaboration-with-raffles/

Wednesday 25 April 2012

හෙළුවෙන් බනිමු - මෙන්න හොඳ සුද්ද සිංහල වචන කීපයක් :: A few rarely heard Sinhala words


හෙළුවෙන් වනනවා කියන්නේ සිංහල භාෂාවෙන් වර්ණනා කරනවාය කියන එක බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ? නමුත් ඇත්තම කියනවා නං, හොඳට හෙළුවෙන් බණින්න නම් හෙළුව විතරක් මදි හොඳ සංස්කුරුත ටිකකුත් ඕනෑ!

මේ ලඟදී දවසක පරණ කතන්දර ගැණ අතීතාවර්ජනාවක ගැලිලා ඉන්න මොහොතම මතකයට ආවා හොඳ සිංහල වචන කීපයක්.

මේවා වැඩිපුර භාවිතයේ තියෙන වචන නෙමේ. ඒ නිසාම අභාවයට යන්නත් ඉඩ තියෙනවා. කොටින්ම ගූගල් එකේ සර්ච් කළාම මේ වචනවලින් සමහර ඒවා සිංහලෙන් ජාලගත වෙලා තියෙන්නේ හරිම අඩුවෙන්.

දැන් මෙන්න මගේ මතකයේ තියෙන වචන සෙට් එක.

වහන්තරාව    ඕනෑම ඇඳුමකට කියන්න පුළුවන් වචනයක්. සරත් විජේසූරිය කාරයා ප්‍රස්ද්ධ කළ හුචක්කුව කියන එක මේකේ එක අනු කුලකයක්. ඉංගිරිසි එන්විලෝප් කියන වචනයට නියමිත සිංහල පාරිභාෂික වචනයත් මේකයි.
මල හෝන්තුව   යම් කෙනෙකු ගැන අප්‍රසාදය පලකරමින් හඳුන්වන්න පාවිච්චි වෙන වචනයක්.
පජාති   ජාතිය පහත්කරලා අපහාස කරන වචනයක්.
පට්ට   අද නම් මේකේ අර්ථය සුපිරි, උපරිම කියන එකයි. ඉස්සර නම් අපහාසාත්මක වචනයක්. විශේෂයෙන්ම පරට්ට කියන වචනයත් එක්ක එකට පාවිච්චි කරන කොට.
පරට්ටයා   මේකත් බනින්න භාවිතා කරන වචනයක්. මේකේ සුවිශේෂී කාන්තා විශේෂණ පදය පරට්ටී.
පට්ටන්දර   මං හින්නේ පට්ට + අන්දර කියන එකයි. දිග කතාවලට ඕපාදූපවලට මේ වචනය භාවිතා කෙරුණා.
ඕසරේ   විශාල ප්‍රමණය කියන අරුත දෙන වචනයක්.
දහදුරා   වලත්ත, පාහර වගේ අපහාසාත්මක වචනයක්. කුලය සම්බන්ධද මන්දා?
කාඩයා   තවත් අපහාසාත්මක වචනයක්.
සෝබනේ   ෂෝ එකට කරන වැඩ වලට සෝබනේ කියලා කිව්වා කාළෙකට කලින්
බඩ කඩුත්තුව   නොවැදගත් දෙයක් හඳුන්වන අපහාසාත්මක පදයක්

මේ වගේ තවත් වචන දන්නවා නම් ලියලා යන්න හොඳේ?

-කතන්දරකාරයා

ප/ලි:
හැබැයි මේ හෙළුවෙන් බනින එකයි, මං කලින් දවසක ලියපු නිරුවතින් රණ්ඩු වෙන එකයි නං පටලා ගන්න යන්න එපා!

ප/ප/ලි:
අද පෝස්ට් එකට පාදක වුණු කතන්දරය නොදා වචන සැට් එක විතරයි දැම්මේ, හරිය?

(image: http://www.militaryphotos.net/forums/showthread.php?53823-Hellenic-Armed-Forces-Photos/page76)

Monday 23 April 2012

මනමාලයා ඩොට් කොම් වෙබ් සයිට් එකෙන් කතන්දරකාරයාට ආරාධනයක් - An invitation to KK from Manamalaya dot com site


පහුගිය දොහක උදේ පාන්දරම මගේ එකවුන්ට් එකට ඊ-මේල් එකක් ඇවිත් තිබුණා.

     "සුහද ආරාධනා

ආයුබෝවන්!

අන්තර්ජාලයේ වෙබ් පිටු අතර සැරි සරමින් සිටියදී එක තැනක මම නැවතුනෙමි. (http://kathandara.blogspot.com.au/). ඒ ඔබේ අනර්ඝ නිර්මාණ එකතුවත් සමගිනි.

ඔබගේ නිර්මාණ ලොව පුරා විසිරී සිටින මිලියන 1.5 ක් වූ මනමාලයා ඩොට් කොම් ((The most favorite sri lankan web site) - සාමාජික පිරිසට රසවිදීමට අවස්ථාව ලබා දීමට අපි කැමැත්තෙමු.

දැනට අප සමග බොහෝ නිර්මාණ කරුවන් පිරිසක් එකතු වී ඇත.

ඔබේ නිර්මාණත් අප සමග බෙදාගැනීමට කැමතිනම් ඔබගේ දුරකථන අංකය සමග අපට පණිවිඩයක් තබන්න."

ඊ-මේලයේ අගින් තිබුණු සිග්නේචර් බ්ලොක් එක අනුව මේක මට එවලා තියෙන්නේ මනමාලයා ඩොට් කොම් එකේ කලමනාකරන අධ්‍යක්‍ෂක ළමයා!

මා වැනි බිළින්දා කිව්වලු.

ඒ විතරක් යෑ, මේ බලන්න කෝ මුළු අත්සන.

අහවලා ගේ අහවලා
BSc (Hons) in IT, University of Moratuwa


මේ අපේ කාල් අංකල්ලා ගේ, රත්නායක මහත්තයලා ගේ යුනිවසිටියේ ග්‍රැජුවේට් ළමයෙක් නේ. මේ වගේ කෙනෙකුට උදව් කරන එක අපේ යුතුකමක් නේ.

අනික, මිලියන එකහමාරක් පාඨකයෝ ඉන්න තැනක කතන්දර බ්ලොගේ ප්‍රොමෝට් වෙනවා කියන්නේ එසේ මෙසේ දෙයක් යෑ.

මං හැරෙන තැපෑලෙන් උත්තරයක් දැම්මා. මෙන්න ඒකේ අනුවාදයක්.

     "ප්‍රිය අහවලා

ඔබ එවූ ඊ-මේලයට ස්තුතියි.

ඔබේ යෝජනාව ක්‍රියාත්මක කරන්න.

ඔබට එක්කෝ:

(1) මගේ බ්ලොගයට සබැඳියක් ඔබේ වෙබ් අඩවියෙන් ලබා දිය හැක

(2) මගේ පෝෂකය සම්බන්ධ කොට ගෙන කතන්දර බ්ලොගයේ අළුත් කිරීම් කෙලින්ම ලබා ගත හැක,

නැතහොත්

(3) ඔබට මගේ බ්ලොගයෙන් අවශ්‍ය කතන්දර පිටපත් කරගෙන ඔබේ අඩවියේ පල කළ හැක - නමුත් එසේ කරන්නේ නම්, ඒ ඒ කතන්දරවලට සම්පූර්ණ සබැඳියක් කරුණාකර ලබාදෙන්න.

ස්තුතියි

-කතන්දරකාරයා
BScEng Hons (Peradeniya)"

මනමාලයා වෙබ් එකේ බොස් ගෙනුත් මට වහාම පිළිතුරු ලැබුණා.

     "හායි කතන්දරකාරයා,

ඉක්මන් පිළිතුර ගැන ස්තුතියි. ඔබේ ලිපි අපේ ජාලය හා බෙදා ගැනීමට ලැබීම සතුටකි.

ඔබ කියා තිබූ (3) ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අප කැමතියි, නමුත් ඒ යම් යම් වෙනස් කම් සහිතවයි.

අපි ඔබේ බ්ලොගයට සබැඳියක් ලබා දුන්නොත්, අපේ පාරිභෝහිකයෝ කෙලින්ම ඔබේ අඩවියට හොස් ලිපි කියවනු මිස අපේ අඩවියට නොඑනු ඇත. එනිසා අප කැමති අපේ අඩවිය හරහා ලිපි පල කිරීමටයි.

සබැඳියක් ලබාදීමට නොහැකි අතර ඒ ගැන මම කණගාටුවෙමි. අපට ඔබේ ලිපිවලට ප්‍රචාරක් ලබාදිය හැකි නමුත් ඔබේ බ්ලොග් අඩවියට ප්‍රචාරයක් ලබා දිය නොහැක.

අප ඔබ ගැන හැඳින්වීමක් අපේ අඩවියේ දී කරන නිසා ලිපිවල හිමිකම ඔබ සතුවම තිබේ යැයි සිතමු.

මගේ යෝජනා ගැන ඔබ සිතන්නේ කුමක්ද?

ස්තුතියි.

අහවලා ගේ අහවලා
BSc (Hons) in IT, University of Moratuwa
"

මට පොඩි ජොලියකුයි, ඒ එක්කම කේන්තියකුයි ආවා මේක දැකලා.

ජොලිය ආවේ මේ ළමයාගේ කපටි කතාව නිසයි. මෙයා හදන්නේ මගේ කතන්දර එයාලාගේ වෙබ් සයිට් එකේ දාලා ඒකෙන් ආර්ථික වාසියක් ගන්නයි. ආර්ථික වාසියක්ය කියන්නේ මේ කියන මනමාලයා ඩොට් කොම් වෙබ් සයිට් එක ඇඩ්වර්ටීස්මන්ට්වලින් පිරුණු කැඳ හැලියක් වගේ එකක් වීම නිසයි.

මගෙන් කොපි-පේස්ට් කරන කතන්දරවලට ලින්ක්ස් දෙන්න බැරි හේතුව මොකක්ද දන්නවාද?

මේ ගොල්ලෝ අනුංගේ කතන්දර ඟෙතන පල කරන්නේ ඉමේජස් විදියට මනමාලයා ඩොට් කොම් කියලා වෝටර්මාක් එකකුත් එක්කයි.

ඒ ජොලිය මැද්දේට මට කෙන්ති ආවේ මෙච්චර දන්න කියන ළමයෙක් බීඇස්සීද, මොරටුවද, අරවද, මේවද කියලා දාගෙනත් පිළිගත් ආචාර ධරමවලට පටහැනි යෝජනා කිරීම නිසයි.

මාත් වහාම ලිපියක් ලිව්වා.

     "අහවලා ළමයා,

ඔවුන් ඔබට මොරටුවේ දී මොනවා ඉගැන්වූයේදැයි නොදනිමි. මා වසර ගණනාවක් විශ්ව විද්‍යාල කතිකාචාර්යවරයෙකු ලෙස සේවය කර ඇති අතර වෘත්තීමය ආචාර ධරම යනු අප සිසුන්ට ඉගැන්වූ එක විෂයකි."

IT Ethics යන්න BCS සහ ACS වැනි ආයතනවලද නිර්දේශිත විෂයක් බව ඔබ දන්නේ යැයි මම සිතමි.

ඔබ පහත විෂයය අවසාන වසරේදී හෝ ඉගෙන ගත්තාද?

IS 4200 Professional Practice

මා එය උපුටා ගත්තේ මෙන්න මේ ස්ථානයෙනි. http://www.itfac.mrt.ac.lk/newsite/files/2010/12/Curriculum_2009.pdf

ඉහත විෂයය යටතේ ආචාර ධර්ම ගැනද ඔවුන් උගන්වනවා ඇතැයි මම උපකල්පනය කරමි.

ඔබ යෝජනා කරන්නේ මගේ බ්ලොගයෙන් අන්තර්ගතය ගෙන ඔබේ මනමාලයා ඩොට් කොම් අඩවියේ එය මූලාශ්‍රය පිලිබඳව කිසිදු සඳහනක් හෝ නොකර පලකිරීමයි. එය කොතරම් සදාචාර සම්පන්නද?

මොරටුවේදී ඔවුන් ඔබට ආචාර ධර්ම ඉගැන්වූයේ නැති යැයි සිතූවද, මූලාශ්‍ර සඳහන් කිරීම පිළිබඳව උගන්වා තිබිය යුතුය.

මෙය ඉතාමත්ම විහිළු සහගත අවස්ථාවක් බව පමණක් සඳහන් කරමි. ඇත්තටම කියනවා නම්, මෙතැන මගේ බ්ලොගයට තවත් කතන්දරයක් ඇත.

මගේ කතන්දර බ්ලොගයේ අන්තර්ගතය ඔබේ අඩවියේ පලකිරීමට ඔබට කිසිදු අවසරයක් නැති බව කරුණාවෙන් සලකන්න.

වෙබ් ලෝකය ක්‍රියාත්මක වෙන ආකාරය ගැන ඔබට මූලිඛ අදහසක් හෝ ඇතිනම්, යම් දෙයක් එක්වරක් ප්‍රකාශනය කරණ ලද පසු අවශ්‍ය වන්නේ එයට සබැඳි යෙදීම පමණක් බව ඔබට වැටහිය යුතුය.

එසේ වුවද, පහත සඳහන් කතන්දර කිහිපය පමණක් ඔබේ බ්ලොගයේ පලකීරීමට මම ඔබට අවසර දෙමි.

1. http://kathandara.blogspot.com/2011/12/deciding-between-peradeniya-and.html

2. http://kathandara.blogspot.com/2011/04/tale-of-two-cocks-of-katubedda-campus.html

3. http://kathandara.blogspot.com/2011/04/two-cocks-of-katubedda-campus-contd.html

4. http://kathandara.blogspot.com/2011/04/two-cocks-of-katubedda-secret-revealed.html

මේ අවසරය පහත සබැඳි වලින් යාවෙන කතන්දර සඳහා ම පමණකි. ඉහත 2, 3 සහ 4 කොටස් එකට සම්බන්ධ බව සලකන්න.

මගේ බ්ලොගය පිළිබඳ ඔබේ උනන්දුව ගැන ස්තුතියි.

මෙයට කතන්දරකාරයා"
ඔන්න ඔහොමායි වුනේ!

-කතන්දරකාරයා

ප/ලිඃ තව ඊ-මේල් දෙකක් විතර හුවමාරු වුණා. අවශ්‍ය නම් පස්සේ දාන්නං.

(image: A cartoon by Anjana Indrajith)

Sunday 22 April 2012

අපූරු බිත්තර තැම්බිල්ලක් - How to make a spicy boiled egg


අද සුවිශේෂී දවසක් හින්දා බිත්තරයක් තම්බන්න හිතුණා!

මේක සුවිශේෂී බිත්තර තැම්බිල්ලක්. නිකං බිත්තරයක් නෙමේ ස්පයිසී, කුළුබඩු රස සහිත බිත්තරයක්.

ඒ බිත්තර රෙසිපියට කලින් කියන්න දෙයක් තියෙනවා. අද සුවිශේෂී දවසක්ය කියලා මං මුලින් කිව්වේ මං මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දර දාන්න පටන් අරං අවුරුද්දක් ගතවීමයි. අද මේ පලවෙන්නේ 52 වෙනි සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරයයි.

මුල්ම සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට මට නිමිත්ත දුන් සංජුගේ සයිබර් සමාගමට මගේ ස්තුතිය.

දැන් මෙන්න බිත්තරේ තම්බන හැටි.

අවශ්‍ය ද්‍රව්‍ය

1. බිත්තරයක්
2. බත් ඔතන කොලයක්
3. වීදුරුවක්
4. ලුනු, ගම්බිරිස්, මිරිස්, කහ කුඩු, තුනපහ කුඩු යනාදිය
5. බිත්තරය තැම්මීමට භාජනයක්

සාදන ක්‍රමය

බත් කොලය විදුරුව ඇතුලට දමා එහි හැඩයට ඇතුලට ඔබන්න. බත් කොලය දෙකට නවා ගත්විට වඩා හොඳයි.



බිත්තර කඩා ඒ තුලට සාරය දමන්න. කොලයේ තෙල් ටිකක් ගා ගත්තොත් පසුව බිත්තරය ගැලවීම පහසු වෙනු ඇත.



අවශ්‍ය ප්‍රමාණයට ලුනු, ගම්බිරිස්, මිරිස්, කහ කුඩු, තුනපහ කුඩු යනාදිය බිත්තර සාරුවලට දමා පරිස්සමින් කවලම්කර ගන්න (කොලේ ඉරා ගන්න එපා!). දැන් මිශ්‍රණය සහිත බත් කොලය රවුම් හැඩයට සකතා උඩින් නුලක් ආදාරයෙන් හොඳින් බැද ගන්න.



ඉන්පසු, බිත්තර පොදිය සාස්පානේ දමා පරිසමින් තම්බා ගන්න.



බිත්තරය තැම්බුණු පසු මෙලෙස දිස්වේ.



බත් කොලය ඉවත් කර ගත්විට එය මෙලෙසය.



අපේ පුතු පැටියා සඳහා මා සැකසූ කෑම පිඟාන තමයි ඔය කතන්දරේ උඩින්ම දාලා තියෙන්නේ.

මේ මං හිතන විදියට "පෝච්ඩ් එග් (poached egg)" එකක් හදා ගන්න එක ක්‍රමයක්. මේකේ වෙනස අපට අවශ්‍ය පරිදි මිරිස් තුනපහ දාලා රහකර ගන්න පුළුවන් වීමයි. මෙය ජේමී ඔලිවර් නමැති ඉංගිරිසි ජාතික සූපවේදියා ගේ රෙසිපියක් අවුව කතන්දර හාමිනේ විසින් මිරිස්, තුනපහ යොදා වෙනස් කළ ක්‍රමයකි. ගම්මිරිස් කුඩු වගේද ළමයි රතු මිරිස් කුඩු?

මං අරුණී ෂැපිරෝට උගන්නන්න ගිය පාඩමේ තිබුණු ක්‍රමවලට වඩා මේ ක්‍රමයෙන් රසට බිත්තර කන්න පුළුවන් බවත් කියන්න ඕනෑ.

-කතන්දරකාරයා

මෙන්න තවත් කෑම හදන හැටි ගැන ලියවුණු කතන්දර.
1. රමණී නෝනා ගේ කෑම

2. පරිප්පු තෙම්පරාදු

3. බීන්ස් විත් පීනට්ස්

4. බීෆ් විත් සෝයි සෝස්

5. බොම්මිලි නොහැදිය යුතු ආකාරය

(images: kathandarakaraya - Nokia E63)

Friday 20 April 2012

මහරගම බැංකුවක පෝලිමට XX ගහනවා ඇස් පනාපිට දුටුවෙමි! - Jackson goes to Bank

මේ කතන්දරේ ටයිටලයේ මුලින් තිබුණු ජැක් යන වචනය දැක රැවටී මෙහි කීප පාරක්ම පැමිණි අංකල්ලා ගෙන් සමාව අයදිමින් ටයිටලය වෙනස් කළෙමි.


පිලියන්දල තැපැල් කන්තෝරුවේ තියෙන මයියොක්කා අල වර්ගයේ අපූරු පෝලිමේ දී ජැක් වදින අතරේ පොලිමෙන් පිට අයට සේවාවන් සැපයෙන හැටි ගැන මං ලියපු කතන්දරේම දිගුවක් තමයි අද මේ කියන්න යන්නේ.

මේ සිද්ධිය වුනේ මහරගම හයිලෙවල් පාරේ තියෙන එක්තරා බැංකුවකදීයි. පුද්ගලික බැංකුවක් වන උංගේ නම අදාල නැති නිසා නොලියමි.

මං බැංකුවට ගිය වෙලේ හොඳ වෙලාවට වගේ වැඩිය සෙනගක් හිටියේ නෑ. පෝලිමේ හිටියේ දෙන්නයි. එක්කෙනෙක් කවුන්ටරේ ගණුදෙණු කරනවා. ඊලඟට හිටියා ගෑණු පරාණයක්.

ඔන්න මාත් ගිහින් තුන්වෙනියාට පෝලිමට එකතු වුණා.

පෝලිමක ඉන්නවා කියලා ඇඟේ ගෑවි ගෑවී ඉන්න ඕනෑ නෑනේ. මං හිටියේ මට ඉස්සරහිං හිටිය ලලනාවට සෙන්ටිමීටර් 50 කට විතර පිටිපස්සෙන්, අපි දෙන්නාගේම පුද්ගලික අවකාශය රැකෙන විදියටයි.

ඒ ඉඩ හොඳටෝම ඇතිනේ!

තව තත්පර කීපෙකින් මගේ පිටි පස්සෙනුත් කෙනෙක් ඇවිත් හිට ගත්තා.

ඔන්න තව විනාඩියක් විතර ගියා. එක පරාටම ආවා අංකල් කෙනෙක් අපේ පෝලිම පැත්තට. කළු කලිසමයි, සුදු අත්කොට කමිසෙකුයි ඇඳලා, හම්පටි සෙරෙප්පු දෙකක් දාලා, මල්ලක් අතේ අරං. මට පෙණුන හැටියට පැන්සොං අංකල් කෙනෙක්.

පොර කෙලින්ම ඇවිත් මට ඉස්සරහා හිටිය ලලනාවයි, මායි අතර මං තියාගෙන හිටිය සෙන්ටිමීටර් පනහේ ඉඩ ඇතුලට රිංගුවා!

පොරට අර ලලනාවට ජැකක් ගහන්න ඕනෑ වෙලාද, නැත්තං, මට කියලා එකක් ගහ ගන්න ඕනෑ වෙලාද මන්දා?

මට සාමාන්‍යයෙන් මේ වගේ වැඩවලට කේන්ති යන්නේ නෑ. තවත් හොඳ අත්දැකීමක් නේද කියලා හිතිලා සතුටක් ඇතිවෙනවා. පොඩි හිනාවක් යනවා.

ඒ ජොලිය පිට වුනත් මට හිතුණා අංකල්ට පෙන්නන්න ඕනෑ කියලා එයා පෝලිම පැන්න බව.

මං කලේ ඉස්සරහට නැවිලා අංකල්ගේ මූණ දිහා හොඳ විමර්ශනාත්මක බැල්මක් හෙලීමයි.

අනේ පොරට ගාණක්වත් නෑ.

දවල්ට බත් එක්ක කාපු මැල්ලුමේ තිබිලා දත් අස්සේ රැඳිලා ඉතුරු වෙච්ච ගෝවා කොළ කෑල්ලක් අතුරු පසට වික විකා ඔය හිටියේ බබා වගේ!

-කතන්දරකාරයා

ප/ලි
තැන්කියු තැපැල් නෝනා, තැන්කියු බැංකු කස්ටමර් අංකල්. ඔය දෙන්නා නිසා මං කතන්දර දෙකක්ම කොටා ගත්තා. පුද්ගලිකවම ස්තුති කරන්න නොලැබීම ගැන සමාව අයැදිමි.

ප/ප/ලි:
මීලඟට මහල්ලා ඩොට් කොම් වෙබ් අඩවියේ බොස්ගෙන් කතන්දරකාරයාට ආ අපූරු යෝජනාව පිළිබඳ කතන්දරය බලාපොරොත්තු වෙන්න.

එයා ට නං ඊ-මේල් එකකින්ම ස්තුති කරලායි තියෙන්නේ දැනටම!


(image: http://daveberta.ca/2011/06/queue-jumping-for-political-insiders-could-unleash-the-wrath-and-fury-of-albertans/)

Wednesday 18 April 2012

තැපැල් කන්තෝරුවේ දී සහ බැංකුවේ දී ජැක් වදින හැටි - Jackson in the Queue


පිලියන්දල කඩේකින් ජොක්කු තුන් දෙනෙක් ගන්න ගිහිල්ලා වෙච්ච අකරතැබ්බය ගැන කතන්දරේ ලියන වෙලාවේ මට මතක් වුණා තවත් අපූරු සිදුවීම් දෙකක්.

එක සිදුවීමක් වුනේ පිලියන්දලම තැපැල් කන්තෝරුවේ දී.

දෙවෙනි සිද්ධිය පිලියන්ද ඉඳලා 341 බස් එකේ ගියාම හමුවෙන මහරගම නගරයේ සම්පත් බැංකුවේ දී වුණු එකක්.

පිලියන්දල සහ මහරගම පලාත් ගැන මං කතන්දර දෙකතුනක්ම ලියලා තියෙන්නේ ඇයි කියලා දැන ගන්න ඕනෑ නම් මෙන්න මේ අයගෙන් අහන්න.

1. සිහි සටහන් ලියන/ලියපු චානුක වත්තේගම
2. පිණි පලස ලියන හරී
3. හද ගී පොත ලියන තිස්ස දොඩංගොඩ
4. ටිකක් හිනාවෙන්න ලියන අභීත එදිරිසිංහ
5. සයිබර්යාය ලියන බුද්ධි ලක්ඛණ
6. වැප් ලියන වැප් නිශාන්ත
7. ජේඩී ෂේඩී ලියපු ජේඩී
8. සංසාරේ අපි ලියන දිල්සරා (ජීවීතේ මල්)
9. මගේ සඳ ලියන පසන්

දැන් මෙන්න තැපැල් කන්තෝරුවේ සිද්ධිය.

මං එදා පිලියන්දල තැපැල් කන්තෝරුවට ගියේ ලොකු සයිස් ලියුම් කීපයක් තැපැල් කරන්නයි. එතන ෂු ගාලා සෙනග පිරිලා පොඩි පහේ පෝලිමක් වගේ එකකුත් තිබුණා එක කවුන්ටරයක් ඉස්සරහින්.

හැබැයි ඒකට පෝලිමක්ම කියලා කියන්න බෑ. මොකද, පෝලිමක් කියන්නේ නිකං පේලියට හැඩ ගැසුණු එකක් නේ. මේ කියන පෝලිම නිකං අර හොඳට බැහැපු මයියොක්කා පැලයක අල වගේ දසත විහිදුණු එකක්.

තැපැල් කන්තෝරුව නං එයාර් කන්ඩිෂන්ද කොහෙද, ඒත් මේ කවුන්ටරයේ නෝනා දාඩිය දාගෙන වැඩ. හැබැයි අල්ලපු කවුන්ටරයේ නෝනා ෂපාන් එකේ ඉන්නවා. මොකද එයාගේ රාජකාරිය ලියුං රෙජිස්ටර් කිරීම හෝ විදුලි, දුරකතන බිල් ගෙවීම වගේ වෙනම එකක්.

මුද්දර ටිකක් තියාගෙන ඒ කවුන්ටරයෙනුත් විකුණලා, වැඩ සමතුලිත කරන්න පුළුවන්බව මේ අයට තේරෙන බවක් නං පෙණුනේ නෑ.

කොහොම හරි විනාඩි කීපයක් ගියාට පස්සේ ඔන්න මාවත් තල්ලුවෙලා ගියා කවුන්ටරේ ලී දාරය ගාවට.

මේ වෙනකොට අර මයියොක්කා අල පදුර මට පිටුපස්සේ හොඳ සරුසාරෙට වැවිලා.

මගේ අතේ තිබුණු එක ලියුමක් අරගෙන ඒකේ බර අනුව මුද්දර කීයක ගහන්න ඕනෑද කියලා අහගන්න දෙන්න යනකොටම මට තේරුණේ මට ජැක් ගහගෙන පස්සෙන් හිටි දෙතුන් දෙනෙකුගේ අත් මගේ ඔළුවට උඩින් කවුන්ටරේ නෝනාගේ පැත්තට දික්වෙන බව.

මං පෝලිමේ ඉස්සරහා හිටියාට, ඒ අනුපිළිවෙල මට පිටිපස්සෙන් ඉන්න සමහරුන්ට නං ප්‍රශ්ණයක් නෑ වගේ.

අපේ කන්තෝරු නෝනා මක්කෙයි දන්නවද කෙරුවේ?

මාට නිග්ලෙක්ට් කරලා, මගේ ඔළුව උඩින් එතුමිය පැත්තට පාත්වෙන ලියුමක් අරං ඒකේ වැඩ කරන්න පටන් ගත්තා. ඒ ලියුමට මුද්දර ගහලා, පොතේ ලියලා රෙජිස්ටර් කරන්න විනාඩි දෙකතුනක් ම ගියා.

ඔන්න ආපහු මගේ වාරේ.

"මේ ලියුමට කීයක මුද්දර ඕනෑද?" මගේ එක ලියුමක් කවුන්ටරේ යටින් තල්ලු කරලා මං තැපැල් නෝනාගෙන් ඇහැව්වා.

අනේ නෝනාට ඒක ඇහුනේ නෑ නොවැ.

මගේ ඔළුව උඩින්ද, කිහිල්ලේ යටින්ද කෙහෙන්ද මන්දා ආපු ලියුමක් අරගෙන ඒක ප්‍රොසෙස් කරන්න පටන්ගත්තා.

වැටත් නියරත් ගොයං කා නං කාට කියමිද ඒ අමාරුව?

-කතන්දරකාරයා

ප/ලි:
මහරගම බැංකුවේ ජැක් ගැසීමේ කතන්දරය සිකුරාදාට.

(image: http://timberry.bplans.com/2007/08/an-internet-inc.html)

Monday 16 April 2012

රස්ටිෆයින් වීම යනු කුමක්දැයි දන්නවාද? - Rastifying, WTF?


එක දවසක් මං දුව ගේ ඉස්කොලේ ඇරුණයිං පස්සේ එයත් එක්ක අත්‍යවශ්‍ය බඩු කීපයක් ගන්න ගියා ඒ ඉස්කෝලේ හරියේ තියෙන වෙලඳශාලා සංඛීර්ණයකට ගෙවත් ෂොපින් සැන්ටරේකට. ඔය නිකං ඇම්සී එක වගේ තැනක්.

අපි දෙන්නා එක කඩේකට ගිහින් එළියට ඇවිල්ලා කොරිඩෝර් එක දිගේ ඇවිදගෙන යනකොට මෙන්න වෙනත් ඉස්කෝලෙක කෙල්ලෝ දෙතුන් දෙනෙක් එතන චාටර් වෙවී ඉන්නවා.

පැය බාගේකට විතර පස්සේ අපි ආපහු එතනින් යනකොටත් මේ කෙල්ලෝ ටික එතනමයි.

"ෂීනි, ඔයා නං කවදාවත් මේ වගේ ෂොපින් සෙන්ටර්වල හරි වෙනත් තැන්වල හරි රස්තියාදු ගහන්න එපා!" මං දුවට කිව්වා.

"මොකක්ද තාත්ති රස්තියාදු ගහනවා කියන්නේ?"

"රස්තියාදු ගහනවා කියන්නේ අය ළමයි කරනවා වගේ නිකං තේරුමක් නැතිව එක එක තැන්වලට ගිහින් ඔහේ කාලය නාස්තිකරන එකටයි."

"තාත්තී, රස්තියාදු ගහනවා කියන එකට ඉංගිරිසියෙන් කියන්නේ මොකක්ද තාත්තී?"

ඔන්න දැන් කාලේ හැදෙන ළමයින්ගේ හැටි! දැන් ඉතිං කොහොමද මේකට උත්තර බඳින්නේ?

හොඳ වෙලාවට, එක්කෝ හිත ඇතුලේ කොහේදෝ මන්දා හැංගිලා තිබිලා හරි නැත්තං එවෙලේම හිතේ නිෂ්පාදනය වෙලා හරි එකපාරටම අපූරු වචනයක් මගේ හිතට ආවා.

"ඒකට කියන්නේ රස්ටිෆයින් කියලයි."

"රස්ටිෆයින්?"

"යර්ස් රස්ටිෆයින්, ඇන්ඩ් ඉට් ඉස් නොට් අ ගුඩ් තින් ටු ඩූ ඇට් ඕල්. යු ෂුඩ් ප්‍රොමිස් මී දැට් යු විල් නෙවර් ගෝ රස්ටිෆයින් ආෆ්ටර් ස්කූල්."

"ඕ.කේ. තාත්තී."

මට පස්සේහිතුණා ඔය වචනේ මගේ හිතේ ඇතිවුණු එකක් නෙමේ මුලින්ම ඇහැව්වේ මං පුංචි කාලේ අපේ අල්ලපු ගමේ හිටිය බාප්පා කෙනෙකුගෙන්වත්ද කියලා.

ඇත්තටම රස්තියාදු ගහනවා කියන වචනේ මූලාශ්‍රය මොකක්ද?

ලොයිටරින් (Loitering) කියන්නේ අපි දන්නා සමාන තේරුමක් තියෙන ඉංගිරිසි වචනයනේ. රස්තියාදු වෙනවා කියන්නේ රස්ටිෆයි කියන යුරෝපීය වචනයකින් ආපු එකක්ද?

දෙයියො දනී, මං නොදනී.

-කතන්දරකාරයා

ප/ලි:
මතකද අත්තනගල්ලේ ටුවර් ගයිඩ් සීයා ගේ බෝතලේ කතන්දරේ?

Sunday 15 April 2012

බැඳපු මිනිස්සුන් ට සැමදා කම් සැප ගෙන දෙන රහස එලිවේ - How to enjoy sex every night...!!!


කසාද බැඳපු මිනිස්සුන්ට කෙරෙන සුවිශේෂී නිවේදනයයි.

තම බිරිඳ සමඟ නිතිපතා කම්සුව විඳින්නට උවමනාද?

එසේ නම් මෙන්න විසඳුම.

නිතිපතා ගෙදර අතුපතු ගා පිරිසිදු කරන්න.
ඒ පින එදින රාත්‍රියේම වාගේ පල දෙනු ඇත.


ඇයි, බොරුයි කියලද හිතන්නේ? එහෙනං බලමු මෙන්න මේ පත්තර කෑල්ල.


වැඩි විස්තර මෙතනින්.
http://www.dailymail.co.uk/news/article-528682/Men-housework-sex-wives.html

මෙන්න මං කියවූ නිවුස් අයිටම් එකේ සරල සිංහල අනුවර්තනයක්.
තම බිරිඳ සමග ප්‍රීතිමත් සබඳතාවක් රැකගැනීමේ සහ නිතිපතා කම්සැප ලැබීමේ රහස ගේ දොර වැඩපොල කිරීම විය හැක.

ඇමරිකානු පර්යේෂකයින් කණ්ඩායමක් විසින් සෙයාගෙන ඇති පරිදි ගෙදරදොරේ වැඩපල වැඩියෙන් කරන ස්වාමි පුරුෂයින්ගේ බිරින්දෑවරුන් අන් අයට වඩා ප්‍රීතියෙන් ජීවත්වෙන අතර ඒ ස්වාමි පුරුෂයෝ වඩා වැඩියෙන් කම්සැප විඳ, වඩා දිගු විවාහ ජීවිතයක් ගෙන යති.

"මිනිස්සු ගේදොර වැඩ වැඩියෙන් කරන තරමට කාන්තාවන් ප්‍රීතිමත් වෙනවා" සමාජ විද්‍යාඥ ස්කොට් කොල්ට්රේන් පවසයි.

"ඒ සතුටට හේතුව කාන්තාවන් ගේ සිතේ විවාහ ජීවිතය ගැන සහ සාධාරණය ගැන ඇතිවන වැඩි තෘප්තිමත්බවයි. එයින් ජෝඩුව අතර ගැටුම් අඩුවෙනවා."

ඒ විදියට ගැටුම් නොමැතිවීම නිරතුරුවම වැඩිවාර ගණනක් කම්සැප ලැබීමට හේතුවේ.

"චිකිත්සකයින් කියන විදියට මිනිසුන් වැඩියෙන් ගෙදර වැඩ කිරීම සහ වැඩිවාර ගණනක් කම්සැප ලැබීම අතර කෙලින්ම සම්බන්ධතාවක් තියෙනවා. ඒ එක්කම ගැහැණුන් පවසන්නේ, ඒ ආකාරයෙන් ගෙදරදොර වැඩට උදව්වෙන ස්වාමි පුරුෂයින් ගැන වැඩි ආදරයක් සහ කම්සැප විඳීම පිළිබඳව වැඩි උනන්දුවක් තියෙන බවයි."

ස්කොට් කෝල්ට්රේන් කියන විදියට ලෝකයේ මිනිසුන් අතුපතුගාන, රෙදි හෝදන වැඩවලට ඉස්සරට වඩා දැන් දැන් වැඩියෙන් යොමුවෙනවා. ඒත් තාමත් ඒ කරන වැඩ කොටස බිරිඳ කරන වැඩ කොටසින් බාගයක් විතරයි. නමුත් ඒ සම්මාදම එන්න එන්න දියුණු වෙනවා.

මේ අධ්‍යයනය කරලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ තත්කාලීන පවුල් පිළිබඳ කවුසිලයෙනුයි.
මොනවා වුනත් මේ නිවුස් එකේ අපේ පිරිමි හැමෝටම වගේ වැදගත් පණිවිඩයක් අඩංගු බවයි මට නං පේන්නේ.

අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක විදියට ඉදිරිපත් කෙරුණු කතන්දර දැනුම් සාගරේ එපිසෝඩය මෙතනින් නිමයි.

-කතන්දරකාරයා

ප/ලි:
මේ පත්තර කෑල්ල මං බැලුවේ අද ඊයේ නෙමේ 2008 මාර්තු මාසේ.

මේ කතන්දර කියවලා තියෙනවාද?
1. බැඳපු උංට මල් කඩන්න උපදෙස්

2. නිරුවතින් රණ්ඩු කිරීම

3. සතියකට පාරක්වත් නම්බර් සීරෝ කරන්න

4. නෝනා ගේ උපන් දිනේ  ගැන වැදගත් අවවාදයක්

(image: http://excelmathmike.blogspot.com.au/2010_10_17_archive.html)

Friday 13 April 2012

මාස හයකට වරක් ඔබේ ජොකා මාරු කරන්න - වෛද්‍ය ප්‍රේමකුමාර ගෙන් උපදෙසක් :: Serious medical advice from Dr Premakumara


මං ජොක්කු ගැන කතන්දර කීපයක්ම මේ වෙනකොට ලියලා තියෙනව බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ? එයින් දෙකකටම පාදක වුනේ මං කඩෙන් ජොක්කු ගන්න ගිහින් වෙච්ච අකරතැබ්බ තමයි.

මේ ලඟදී දාපු ජොක්කු කඩේ කතාවට ආපු කමෙන්ට්වලින් අහලා තිබුණා, ඇයි මට මේ ජොක්කු ගන්න කඩේ ගියාමම මේ දේවල් වෙන්නේ කියලා.

ඒකට හේතුව මේකයි.

මංතුමා මාස කීපයකට පාරක් ජොක්කු ගන්න කඩේ යනවා.

එහෙම යන්නේ දොස්තර ප්‍රේමකුමාර දුන්නු වෛද්‍ය උපදේශයක් මතයි.

මේ වෛද්‍ය උපදේශය ප්‍රේමකුමාර මට විතරක් පෞද්ගලිකව දීපු උපදේශයක් නෙමේ. පොදුවේ ලංකාවේ හැමෝටම දුන්නු උපදේශයක්.

කාලෙකට කලින් ඉරිදා ලංකාදීප පත්තරේද කොහෙද ප්‍රධාන පිටුවක තමයි මේ දොස්තර ප්‍රේමකුමාර ගේ වෛද්‍ය උපදේශය සහිත ලිපිය පලවුනේ.

ලිපිය ලියවිලා තිබුණේ, සනීපාරක්‍ෂාව, ඒ කියන්නේ පර්සනල් හයිජීන් ගැන ප්‍රේමකුමාර එක්ක කෙරුණු සාකච්ඡාවක් ආශ්‍රයෙනුයි.

ඔන්න මං ලිපිය කියවං යනවා.

"හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්වාගෙන යාමට නම් තමන්ගේ පිරිසිදුකම ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෑ!" දොස්තර ප්‍රේමකුමාර කීවේය. "අඩු වශයෙන් මාස හයකට වරක්වත් තමන්ගේ යට ඇඳුම් මාරු කරන්න ඕනෑ."

මගේ ඇස් උඩ ගියා. මේ ප්‍රේමකුමාරයා මොන පිස්සුවක් කෙලිනවද මන්දා? පොර කියන්නේ මාස හයක් එක ජොකාම ඇන්දාට කමක් නෑ කියලාද?

මං නං එක ජොකෙක් අඳින්නේ එක ගමනකට විතරයි. උදේ ගිහින් ඝෙදර ඇවිත් හවස ආපහු ගමනක් යනවා නං ඇඟ හෝදලා වෙන ජොකෙක් ගහගෙනයි යන්නේ.

එකම ජොකා මාස පහ හයක් ඇන්දොත් හොඳට තියෙයි...!!!

බයවෙන්න දෙයක් නෑ!

අපේ දොස්තර ප්‍රේමකුමාරට වචන ටැපලිලා. පොර වහාව ඒක හරිගස්සලා තිබුණා ඊලඟ වාක්‍යයෙන්.

"මං එයින් අදහස් කරන්නේ, එකම යට ඇඳුම මාස හයක් එක දිගට ඇඳීම හොඳය කියා නොවෙයි. මං කියන්නේ මාස හයකට පමණ වරක් තමන් භාවිතා කරන යට ඇඳුම් වෙනුවට අළුතින් ඒවා ගන්න කියලායි."

ඔන්න ඔහොම එන්නකෝ ප්‍රේමකුමාර!

ඒ ටික කියෙව්වාම තමයි මගේ ඇඟේ වතුර ටික ලේ වුනේ.

ඉන්ටර්වීව් එක කරපු බොට්ල් ජර්නලිස්ට්කාරයාත් ඉන්ටර්වීව් එක එඩිට් නොකරම දාලා. මං හිතන්නේ පාඨක රසාස්වාදය උපරිම කරන්න හිතාගෙන වෙන්න ඕනෑ.

ප්‍රේමකුමාරව මං අන්තිමට දැක්කේ ලේඩි රිජ්වේ එකට අපේ රෝස බබා අසනීප වෙලා අරංගිය වෙලාවක වගෙයි මට මතක.

මේ පීඩියට්‍රික්කාරයෝ මොනවට ජොක්කු ගැන කතාකරන්න යනවද මන්දා? ඒවා මේ අපි වගේ පොරවල්වලට තියන්නේ නැතුව.

ඔය කියන ඉන්ටර්වීව් එක තිබුණු පත්තර කෑල්ල මං කියෙව්වේ මීට අවුරුදු හත අටකට කලින්. ඒ දවස්වල මංතුමා මේ බ්ලොග් කලාව ගැන හාංකවිසියක්වත් දැනගෙන හිටියේ නැති හින්දා, ඒ පත්තර කෑල්ල කපලා තියාගත්තේ නෑ, දැං කරනවා වගේ.

-කතන්දරකාරයා

ප/ලි:
පත්තර කෑලි බලන්න ඕනෑ නං, මගේ කතන්දර දැනුම් සාගරේ සීරීස් එක බලන්න.

ඒ එක්කම මාස හයකට පාරක් අළුත් ජොක්කු ගන්න අමතක කරන්න එපා.

(image: http://www.spreadshirt.com/)

Wednesday 11 April 2012

පරම්පරා හතරක් පැරණි ඓතිහාසික කැවුතුකාගාර කොලිටියේ උදැල්ලක් - A page from the Guinness Book of Records


මව් පාර්ශවයේ මුත්තණුවන්ගෙන් කතන්දරකාරයාට හිමි වූ මහා බලසම්පන්න, මහා අනුහස් සහිත නවරත්න මුදු රාජයා ගැන කතන්දරය කියවූ මගේ ප්‍රියම්භිකා කතන්දර හාමිනේ තොමෝ "කතී, ඔයාට ඔයාගේ තාත්තාගේ පරම්පරාවෙන් ලැබුණු උදැල්ල ගැනත් ලියන්නකෝ, ඩාල්!" යැයි මගෙන් ඉල්ලා සිටියහ.

එතුමිය ගේ ඉල්ලීමක් කෙලෙසක නම් මංතුමා පැහැර හරින්නද?

එනිසා මෙසේ ලියමි.

මේ කියන උදැල්ල එසේ මෙසේ එකක් නොවේ. පරම්පරා හතරක් පැරණි ඓතිහාසික භාණ්ඩයකි. කොටින්ම අර කැවුතුකාගාරයෙන් සුදුවෑන්කරණය වුණු කඩු වෙනුවට එතැන තියන්නට පවා හොඳ එකකි.

මේ උදැල්ල මිලට ගන්නා ලද්දේ මගේ පිය පාරශවයේ සීයා විසින් මින් අවුරුදු සීයකට පමණ පෙර දිනයක බව මා අසා ඇත. ඒ එංගල්තයේ ෂෙෆීල්ඩ් නගරයේ පිහිටා තිබූ මහා කම්මලක නිපදවන ලද කිඹුලා ලකුණ දරණ මහානර්ඝ උදළු තලය සඳහා මිට කපා ගන්නා ලද්දේ එවකට බද්දට දී තිබූ නිසා බදුවත්ත නමින් හැඳින්වුණු අක්කර දෙකහමාරක පමණ ඉඩමේ කොනක පිහිටි ගසකිනි.

සීයා කලෙක රජයේ සේවයේ යෙදුනද, පසුව ඉන් අස්වී ගමට විත් ගොවිතැන් කර තම ජීවිකාව සපයා ගත්තේය. සීයාගේ ගොවිතැන වූයේ බුලත්ය. කුඹුරු කරන ලද්දේ ආච්චී විසිනි.

සීයා විසින් තම බුලත් වගාව සඳහා භාවිතාකරන ලද මේ උදැල්ල ඔහු මිලදී ගත් දිනයෙන් වසර පනහකට පමණ පසුව අපේ තාත්තාට හිමිවිය.

තාත්තා නම් කිසිදු ගොවිතැනක් කළ අයෙක් නොවේ. නමුත් ඔහු සති කිහිපයකට වරක් මේ උදැල්ලෙන් මිදුලේ තණකොල කපා දැම්මේය. අපේ ගෙවත්තේ බතල සහ මයියොක්කා යනාදිය හිටවීම සඳහා අම්මා ද මේ උදැල්ල භාවිතා කරනවා මා දැක ඇත.

තාත්තා ගේ ලොකු පුතා වශයෙන් මේ උදැල්ල දැන් හිමි මංතුමාටයි.

මං කරන ගොවිතැනක් නැත. තණකොල කපනවා වෙනුවට වවමි. නමුත් විටින් විට මට මේ උදැල්ලෙන් විවිධ ප්‍රයෝජන තිබේ. ඒ මල් පාත්ති සැකසීමටය.

මගෙන් පසුව මේ උදැල්ලේ හිමිකරුවන්නේ මගේ දහ හැවිරිදි පුත්‍ර රත්නයයි.

කොල්ලා නං තවම මේ උදැල්ල උස්සා බලාවත් නැත. නමුදු, තම පිය පාර්ශවයෙන් තමන්ට හිමිවන්නට නියමිත මේ ඓතිහාසික උදළු රාජයා මගේ පුතා විසින් මගේ මුණුපුරෙකුටද මතු දිනයක උරුම කර දෙන බවට මට කිසි සැකයක් නැත.

මේ අරුම පුදුම උදැල්ල කැවුතුකාගාරයේ තියන්නට පවා සුදුසු ඓතිහාසික උදැල්ලක් බව මා මුලින්ම කිව්වේ ඒ නිසාය.

-කතන්දරකාරයා

ප/ලි:
මෙතරම් කලක් මේ උදැල්ල පැවතීමට හේතුව නම් මගේ සීයා ද, තාත්තා ද, මා ද මේ පාරම්පරික වස්තුව මනාව නඩත්තුකරමින් රැක බලාගැනීමයි.

මගේ සීයා මේ උදැල්ලේ තලය ගෙවෙන හැමවරකම අළුත් ම අළුත් කිඹුලා ලකුණ දරණ උදළු තලයක් යොදා උදැල්ලේ නඩත්තු කටයුතු කළේය. උදළු මිට කැඩුණු හැම වරකදීම වත්ත පල්ලෙහා ගසකින් කපා ගන්නා ලද ඉස්තරම් මිටක් ඒ සඳහා යෙදීය.

තාත්තා නං පාවිච්චි කලේ එංගල්නතයේ ෂෙෆීල්ඩ්හි සාදන ලද කිඹුලා ලකුණ දරණ උදළු තල නොවේ. යක්කල නිපදවූ ලංලෝ ලකුණ දරණ ලද උදළු තලය. උදළු මිට නම් එක් වරක් පමණ වත්තෙන්ම සපයාගන්නා නමුත් පසුව ගනේමුල්ලේ කඩේකින් ගෙන එන ලදී.

මංතුමා නං මේ ලඟදී යෙදුවේ වත්තේ ගසකින් කපාගන්නා ලද මිටකි. උදළු තලය නම් අපේ සදාකාලික පාපමිතුරු දේශය වන කොණ්ඩේ බැඳපු රටෙන් ආනයනය කරන ලද්දකි.

(image: http://www4.schoolnet.lk/edusoft/agriculture/grade-12_13/more.php?sub=Mamoty&main=main7)

Monday 9 April 2012

කතන්දරකාරයා ගේ මහා බලසම්පන්න, අනුහස් සහිත, පරවේණීගත මුදු රාජයා - The lord of the RING


හැමදාම නෑ! හැමතැනම නෑ!!

මේ වගේ මහා බලසම්පන්න, අනුහස් සහිත මුදු රාජයෙක් දැක බලාගන්න වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්.

ඉස්සරනං මේ වගේ මුදු රාජයෝ කැවුතුකාගාරයේ වැඩ උන්නලු.. ඒවට වුණු දේ නං ඉතිං, දෙයියෝ දනී මං නොදනී.

මං දන්න දෙයක් තියෙනවා. ඒ තමයි, මහා බලසම්පන්න අනුහස් සහිත, පරවේණීගත මහා නවරත්න මුදු රාජයෙකු ගේ පෞඪ හිමිකාරයා මංතුමාය කියන එක.

මේක පරම්පරානුගත මුදු රාජයෙක්!

මං දන්න කාලේ මේ මුදු රාජයා පැළඳී තිබුණේ මගේ සීයා ගේ ශ්‍රී හස්තයේ ඇඟිල්ලකයි. මේ සීයා ය කියන්නේ මගේ ආදරණීය මැණියන්වහන්සේ ගේ පියාණන්දෑ ගැණයි.

එතුමා ගැන මං වරින්වර කතන්දර කීපයක් ලියලා තියෙනවා. ඒවා කියවලා නැති අටය මෙන්න ලින්ක්ස්.

1. පාන් නොකා සහ පාන් ජොකා

2. යුෂ්මතුන් කොයි පලාතේ ද?

3. කටු කම්බී සාස්තරේ

4. මහාමායා දේවී ගැබිණි වාට්ටුවේ

5. අපේ සීය කොල්ල කාලේ

අපේ සීයා අවුරුදු හැත්තෑ අටක් පමණ කල් දැහැමෙන් සෙමෙන් රාජ්‍ය විචාරලා මිය පරලොව ගියා. ඉන් පස්සේ මේ මහා බලසම්පන්න අනුහස් සහිත, පරවේණීගත මහා නවරත්න මුදු රාජයා පරම්පරානුගත චාරිත්‍රය අනුව හිමිවුණේ සීයා ගේ වැඩිමහල් දියණිය ගේ වැඩිමහල් පුත්‍ර රත්නය වන මංතුමාටයි.

දැන් මෙන්න බලාගන්න ඒ මහා බලසම්පන්න අනුහස් සහිත, පරවේණීගත මහා නවරත්න මුදු රාජයා.


මං හොයා ගත්තු විදියට මේ නවරත්න මුද්දෙ තියෙන්නේ පද්මරාග, මුතු, රතු, ගෝමේද, කාකනිල්, වෛරෝඩි, පුෂ්පරාග, මරකත වගේ මැණික් ගල් වර්ගයි.

දැන් මෙන්න මේ මුදු රාජයා ගේ හාස්කම්.

මේ මුදුව පැලඳගෙන ඉන්නා විට:

1. දවසට දෙතුන් සැරයක් හාමිනේ ගෙන් උම්මා ලැබේ.

2. සීවලී හාමුදුරුවන්ට මෙන් යන යන තැන දානය නොවරදී.

3. හෝටලයකට කන්න ගිය විට ලොකු මාලු කෑල්ල ලැබේ.

4. ගෙදරදී එක බිත්තරයක් තම්බා දෙකට කපා කන්න ගියොත් ලොකු බිත්තර කෑල්ල ලැබේ.

5. කවදත්, කොතැනත්, තෑගි වැසි වසී.

6. අවුරුදු දෙකයි මාස නමයක් තිස්සේ හයසීයක් කතන්දර ලියුවද, වෙන්ඩ කතන්දර ලයිස්තුව අවසාන නෙවේ.

-කතන්දරකාරයා

ප/ලි:
කසාදය හා සම්බන්ධ මුදු (Rings) තුන මොනවාද කියලා දන්නවාද?

(image: http://www.shutterstock.com/pic-35563390/stock-vector-family-tree.html)

Saturday 7 April 2012

වයිෆ්ලා ට බයවෙන්න කාරණයක්! - All wives out there, take note.


ගෑණියෙක් තමන් ගේ කසාඳ බැඳපු මිනිහා එක්ක ලිංගිකව එකතුවෙන එන ප්‍රතික්‍ෂේප කරන එක කුරිරු කමක්!

ඒක නීතියෙන් දඬුවම් ලැබිය යුතු හිංසක ක්‍රියාවක්!!

මේ මං කියන දෙයක් නෙමේ. ඉන්දියාවේ උසාවියකින් තමයි ඔන්න ඔය තීන්දුවක් දීලා තියෙන්නේ.

අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකෙන් ඉදිරිපත් කරන කතන්දර දැනුම් සාගරෙන් දිය දෝත මෙන්න මේකයි.

මෙන්න මං කියවපු පත්තර කෑල්ල.


වැඩි විස්තර මෙතනින්.

http://www.dnaindia.com/india/report_denying-sex-to-spouse-cruelty-ground-for-marriage-annulment_1666955

ඉතිං, ඒ ආකාරයට ලිංගිකව එකතුවෙන එක ප්‍රතික්‍ෂේප කිරීම දික්කසාදයට සාධාරණ හේතුවක් විදියටත් මේ නඩුකාරයා පිළිඅරගෙන.

මේ නඩුවේ පැමිණිලිකාර මනුස්සයා කියලා තියෙන විදියට, වෙඩිම දවසේ රාත්‍රියේවත් මේ මනමාලි වැඩේට කැමතිවෙලා නෑ. ඒ මදිවට, ඊලඟ මාස පහ හය ඇතුලත කාලේත් පොරට චාන්ස් එකක් ලැබිලා තියෙන්නේ දහ පාලොස් පාරක් විතරයි.

මේ අසරණයා කියලා තියෙන විදියට, ඉඳලා හිටලා පොඩි ඉඩ කඩක් ලැබුණත්, ගෑණි කිසිම ප්‍රත්‍රික්‍රියාවක් ණැතුව නිකං දර කොටයක් වගෙයි ඉඳලා තියෙන්නේ මිනිහා අච්චර මහන්සි වෙලා හුලං ගහද්දී.

සාධාරණ හේතුවක් නැතුව, හිතාමතාම, ලිංගිකව එක්වෙන එක ප්‍රතික්‍ෂේප කිරීම කුරිරු හිංසනයක් බවයි නඩුකාරයා කියන්නේ.

"විවාහයේ පදනම ලිංගික ක්‍රියාවලියයි. ලංගිකව එක්වීමක් නොමැති විවාහය පිළිකුල් සහගතයි!" නඩුකාරයා කියනවා.

මේ අපුරු ජෝඩුව බැඳලා තියෙන්නේ 1991 දී. මිනිහාගේ දික්කසාදයට අවසර දීලා තියෙන්නේ 2001 දී බවයි මේ නිවුස් අයිටම් එකෙන් පේන්නේ.

මට හිතෙන විදියට මේ මිනිහා හොඳ ඉවසීමක් තියෙන හාදයෙක්. නැත්තං අවුරුදු දහයක් ම දරකොටයක් එක්ක ඉඳීවියැ?

-කතන්දරකාරයා

ප/ලි:
හැබැයි මට හිතාගන්න බැරි, 2001 දුන්නු මේ නඩු තීන්දුව ගැන කතන්දරේ ඊට අවුරුදු එකොලහකට පස්සේ මේ ගිය සතියේ පත්තරේක නිවුස් අයිටම් එකක් වුනේ කොහොමද කියන එකයි!


(image: http://images.mylot.com/userImages/images/postphotos/1953760.gif)

Friday 6 April 2012

අනේ කොහෙන්ද මෙයා ඔයාට ඔච්චර කතන්දර? - Marching forward


කැප්ටන් ලා කිව්වහම වර්ග කීපයක් ම ඉන්නවා!

ස්පෝර්ට්ස් කැප්ටන්, හවුස් කැප්ටන් වගේ ඉස්කෝලවල ඉන්න ළමයි. අර්ජුන ලා, මයිකල් ක්ලාක් ලා වගේ රටේ ක්‍රීඩා කණ්ඩායම්වල නායකයෝ. ඒ එක කැප්ටන් ලා ජාතියක්.

අනිත් වර්ගය තමයි ආමි එකේ සහ නේවි එකේ ඉන්න කැප්ටන් කියන නිලධාරියෝ.

මෙතනදී ආමි කැප්ටන් කියන්නේ පහල නිලයක්. අර කොලොන්නාවේ කේස් එකට අහුවුනු කණ්ඩායමෙත් කැප්ටන් ලා හිටියාය කියලයි ලංකා-ඊ-නිවුස්කාරයෝ වාර්තා කරළා තිබුණේ.

ඒ අතින් බැලුවාම නේවි කැප්ටන් කෙනෙක් කියන්නේ ඉහල නිලයක්. කැප්ටන් හැඩොක් වගේ අය මුළු නැවටම අධිපති නේ.

මං දන්න නේවි කැප්ටන් කෙනෙක් හිටියා අපේ ගං පලාතේ. පොර අවුරුදු හතලිස් ගාන වෙනකොටම වගේ පැන්ෂොන් ගියා. ඒ ඔෆිසර් කෙනෙක් වගේම ජෙන්ටල්මන් කෙනෙක් විදියටයි.

පොර නියමිත කාලයට කලින් රිටයර් වෙන එක ගැන කියලා ලියපු ඊ-මේල් එකක් මටත් කියවන්න ලැබුණා. ඔෆිසර් කං කරනවාට වඩා ජෙන්ටල්මන් කෙනෙක් විදියට ඉන්න එක කොච්චර අමාරු වැඩක්ද කියන එක හොඳට තේරෙනවා ඒ ලියුම බැලුවාම.

අද කතන්දරේටත් සම්බන්ධ ඒ වගේ නේවි කැප්ටන් කෙනෙක්. හැබැයි අද කාලේ කෙනෙක් නෙමෙයි මෙයා රජ කාලේ කෙනෙක්.

දවසක් මේ නේවි කැප්ටන් ට තිබුණා සීමන් කෙනෙක්ව ඉහල නිලයකට උසස් කරන ඉන්ටර්වීව් එක පවත්වන්න. ඔන්න දැන් ඉන්ටර්වීව් එක යනවා.

කැප්ටන්: "කියනවා බලන්න උතුරු පැත්තෙන් මහා කුණ්ටුවක් ආවොත් තමුසේ මොකද කරන්නේ?"

සීමන්: "උතුරු පැත්තට නැංගුරමක් දානවා සෑර්."

කැප්ටන්: "හොදයි එතකොට දකුණු පැත්තෙන් මහා කුණ්ටුවක් ආවොත්?"

සීමන්: "දකුණු පැත්තට නැංගුරමක් දානවා සෑර්."

කැප්ටන්: "හොදයි එතකොට නැගෙනහිර පැත්තෙන් මහා කුණ්ටුවක් ආවොත්?"

සීමන්: "නැගෙනහිර දකුණු පැත්තට නැංගුරමක් දානවා සෑර්.

කැප්ටන්: "හොදයි එතකොට බටහිර දකුණු පැත්තෙන් මහා කුණ්ටුවක් ආවොත්?"

සීමන්: "බටහිර දකුණු පැත්තට නැංගුරමක් දානවා සෑර්."

කැප්ටන් ට හොඳටම කේන්ති ගියා!

කැප්ටන්: "කොහෙන්ද මිනිහෝ ඔච්චර නැංගුරම් ගන්නේ?"

සීමන්: "අර කුණාටු ගන්න තැනෙන්ම තමයි සෑර්!"

* * * *

ඔය කතන්දරේ කලින් අහල තිබුනේ නැත්තං කියන්න. වැඩි විහිළුවක් නැති වෙන්න පුළුවන්. නමුත්, ඒ කතන්දරේ අද මේ පෝස්ට් එකට සම්බන්ධයි. ඒ මෙහෙමයි.

මේ මගේ 600 වෙනි කතන්දර පෝස්ට් එකයි.

සමහරු මගෙන් අහනවා, "කතන්දර, කතන්දර කොහෙන්ද කතන්දර ඔච්චර කතන්දර ලියන්න කතන්දර නිමිති හොයා ගන්නේ කතන්දර?" කියලා.

"අර කුණාටු ගන්න තැනින්ම තමයි!"

-කතන්දරකාරයා

ප/ලි:
මේ ලින්ක් එක නං නොදාම බෑ.

මීට අවුරුද්දකට විතර කලින් මං දාපු වෙන්ඩ කතන්දර 100 ලයිස්තුව මතකයි නේද?

ඒ ලයිස්තුව දාලා මාස හයක් ගිය තැන මං කතන්දර 101 ක් පල කරලා තිබුණාට වෙන්ඩ ලයිස්තුවෙන් ලියලා තිබුණේ 13 ක් විතරයි.

අද තත්වයෙත් වැඩි වෙනසක් නෑ. එදා ලයිස්තුව දාපු දවසේ ඉඳලා අද වෙනකොට කතන්දර 267 ක් ලියලා. ඒත් ලයිස්තුවේ 77 ක් ඉතුරුයි!

කුණාටු, කුණාටු!!

(image: http://us.tintin.com/meet-the-characters/captain-haddock/)

Thursday 5 April 2012

ටැබූ සබ්ජෙක්ට්ස් සිහිවී - Taboo, Taboo, where are you?


සිංහල බ්ලොග් ලෝකයේ පොරක් ලෙස කාලයක් තිස්සේ පිනුම් ගසමින් සිටි ටැබූ ලියූ ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය එකපාරටම වගේ වහලා දාලා දැන් අවුරුද්දකුත් සති තුනක් විතර ගෙවිලා ගිහින්.

ටැබූ ගැන නොදන්නා බ්ලොග් කියවන කෙනෙක් ඉන්නවා නං ඒ පහුගිය අවුරුද්ද ඇතුලත මේ හොබිය පටන්ගත්තු කෙනෙක් විතරක් වෙන්න ඕනෑ.

මං මුලින් ටැබූ ගේ ලිපියක් කියෙව්වේ බූන්දිය හරහා ආපු ඊ-මේල් එකක ලින්ක් එකක් හරහා ගිහින් වගෙයි මට මතක. මං බ්ලොග් එකක් පටන් ගන්නත් ටැබූගේ බ්ලොගය එක හේතුවක් වෙන්න ඇති.

ටැබූ දේශපාලන ලිපිත් ලිව්වා. කතන්දරත් ලිව්වා. ඒ කතන්දරවලත් වැඩිපුර තිබුණේ දේශපාලනයයි. ඒ කියන්නේ පක්‍ෂ දේශපාලනයම නෙමේ. බොහොමයක් තහනම් මාතෘකා ගැන ලිවීමත් කතා කිරීමත් දේශපාලනය, ඒ කියන්නේ පොලිටික්ස්, තමයි.

මගේ මතකයට එන ටැබූ ගේ ලිපි කීපයක් මෙන්න.

1. චුල්ල රාජපක්‍ෂ ජාතකය
2. කැම්පස් කෙල්ල ගේ කතාව
3. ගවුමක් අඳින්න පෙරුම් පිරූ කොල්ලා ගේ කතාව
4. ගමේ මිනී මැරුම

ටැබූ මුලදී මගේ කතන්දරවලට අතුරු කතා ලිව්වේ අර පොඩි කුමාරිහාමිගේ ලිපිවලට රවී ලියනවා වාගේමයි. ඉතිං මං කලේ ඒ කතන්දර වෙනම පෝස්ට් විදියට පල කිරීමයි.

මේ බලන්න.

1. ටැබූ නමැති කතන්දරකාරයා ලියන කතන්දර
2. තුම්මුල්ල ගැන ටැබූ ලියු ටයිනි කතන්දර
3. වන් මෑන් ෂෝ - ටැබූ ලියයි.....!

ඊට අමතරව, මං ටැබූ ගැනත් වෙනම පෝස්ට් දැම්මා.

1. ටැබූ කතන්දරකාරයා වලිය ෂේප්
2. ටැබූ ගේ ප්‍රියතම බ්ලොග් එක කතන්දර බ්ලොගයද?

අන්තිම කාලේ නං ටැබූ මා එක්ක වලියට ආවා. පොර ගේ ලිපියක ගිය අදහසක් මං වැරදි විදියට විස්තර කළාය කියලා. ඒත් මං වලියට බර නැති නිසා මං පැහැදිලි කළා, පොර කියූ එක මට තේරෙන විදිය වෙනස් වීම මගේ වරදක් නොවන බව.

අන්තිමේදී ටැබූ අතුරුදහන් වුනා. ඒ කාලේම බියොන්ඩ් ෆ්‍රේම් බ්ලොග් එකත් හැක් කෙරුණා. කවුදෝ මටත් තර්ජනය කරලා තිබුණු හින්දා මං නං සුදු කොඩියක් දාලා බේරුණා. මොකද සුදු කොඩි දාපු අයට අනතුරක් නෑනේ.

මට නං හැමදාම හිතෙන්නේ බ්ලොග් එක නැති වුණාට ටැබූ අප අතර ඉන්නවාය කියලයි. මොකද මේ බ්ලොග් ලිවීම කියන්නේ මහා කොටි වලිගයක්. හැබැයි මූ හොඳ කොටියෙක්. ලේසියෙන් පුරුද්ද අතහරින්න බෑ.

අවසානයේ මෙන්න ටැබූ වෙනුවෙන් ශෝකප්‍රකාශ කවියක්.

මුලු බ්ලොග් ලොවම තනිකර රෑ අමාවකේ
ඔබ සැඟවුණා අයියෝ සයිබරේ මුකේ
ටැබූකාරයාණෙනි අප හෙලූ දුකේ
හොඳ කකුලක්ය උඹ අපගේ බජාරෙකේ

-කතන්දරකාරයා

ප/ලි:
ටැබූ ගේ සමහර ලිපි වෙබ් ආර්කයිව් එකේ තියෙනවා. මෙන්න ඒවා.
http://wayback.archive.org/web/20100601000000*/http://taboosubjects.wordpress.com

(image: http://informe.com/taboosubjects.wordpress.com/)

Wednesday 4 April 2012

පොඩි එකාට බයියං කැව්ව හැටි - Baby Kathandara at dinner time


පොඩි ළමයින්ට බත් කවන හැටි ගැන මේ වගේ කතන්දර නම් ඔහේලා කප්පරකට අහලා ඇති. නමුත් මේ කතන්දරේ, මට නං එක වැදගත්කමක් තියෙනවා. ඒක තමයි මේ කතන්දරේ පොඩි එකා කියන්නේ කතන්දරකාරයා පොඩිම පොඩි කාලේ චරිතය නොහොත් "කතන්දර බබා" වීම.

ඇත්තටම කියනවා නං අපේ අම්මා මට බත් කවන්න ගිහිල්ලා වුණාට කියන මේ සිද්ධිය මගේ මතකයේ තිබුණේ නෑ. මේ කතන්දරේ මට මතක් කරලා දුන්නේ අපේ ඇන්ටි කෙනෙක්. (මේ කියන්නේ අර රුපියල් විස්සට පෙට්‍රල් ගන්න තාමත් බලං ඉන්න ඇන්ටි ගැනයි).

පොඩි උං බත් කැමට හොර බව ඉතිං අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ. මංතුමාත් ඉතිං ඒ කාලේ එහෙම තමයි. මොකද, බත් කියන්නේ වැලිතලපයැ නේද?

ඉතිං ළමයින්ට බත් කවාගන්න අම්මලා දාන පරම්පරානුගත අත්දුටු උපාය, රැවටිලි, දහංගැට සේරම වගේ අපේ අම්මාත් පාවිච්චි කරළා තියෙනවා.

ඒ එක උපක්‍රමයක් තමයි ගුණපාල.

ගුණපාල කියන්නේ අපි ඒ දවස්වල කුලියට හිටපු ගෙවල් පැත්තේ ගෙදරක හිටපු කොල්ලෙක්. මේ කියන කාලේ පොර නිකං අවුරුදු දහයක දොලහක විතර ඉස්කෝලේ යන ළමයෙක්.

මුලින්ම, "ඔන්න කුරුල්ලෙක් එනවා කට අරින්න!" කියලා අම්මා මට බත් කටක් කවනවා. ඒ කට කෑවට පස්සේ මං ආයේ කුරුල්ලන්ට කට අරින්නේ නෑ.

ඊලඟට, "ඔන්න අහස් යාන්තරාවක් එනවා කට අරින්න!" කියලා තව කටක් කවනවා. ප්ලේන් ට්‍රික් එකත් එතනින් ඉවරයි.

ඊට පස්සේ ඔන්න අම්මා පාවිච්චි කරන්නේ ගුණපාල උපක්‍රමයයි.

"ඔන්න ගුණපාල එයි මේ බත් කට කන්න!" කිව්වාම කතන්දර බබා තව කටක් කනවාලු.

ඊලඟ කට කවාගන්න ඊටත් වඩා අමාරුයි නේ. එතකොටම ඔන්න ගුණපාල දොරට තට්ටු කරනවා. ඔය තට්ටු කරන වැඩේ කරලා තියෙන්නේ ඒ දවස්වල අපේ ගෙදර හිටිය මං කලින් කියපු ඇන්ටි තමයි.

දොරට තට්ටු කරන සද්දෙ ඇහුණම මං තව එක කටක් කන්න ඇති.

ඉති මේ කියන දවසේත් කතන්දර බබාට බත් කැවීමේ ක්‍රියාවලිය සුපුරුදු පරිදි සිද්ධවුණා.

කුරුල්ලෙක් ආවා. කට ඇරුණා. බත් කටක් කැවුණා. අහස් යාන්තරාවක් ආවා. කට ඇරුණා. බත් කටක් කැවුණා. ගුණපාල එන ආරංචියට තවත් බත් කටක් බඩට ගියා.

ඒත් එදා අපේ ඇන්ටි ගෙදර නැති හින්දා දොරට තට්ටු කරන්න කෙනෙක් ඉඳලා නෑ. අම්මා කල්පනා කරන්න ඇති අද කොහොමද ඊලඟ කට කවා ගන්නේ කියලා.

කතන්දර හොඳ බබා, අම්මා ගේ ඒ ප්‍රශ්ණය තමන්ම තේරුම් අරගෙන ක්‍ෂණයකින් විසඳුවා.

"ඇන්ටි නැති නිසා අම්මා ගිහින් දොරට තට්ටු කරලා එන්න, මං එතකොට තව එක කටක් කන්නං!"

-කතන්දරකාරයා

ප/ලි:
නාසිසිසම් ඇනෝ කාලෙකින් දැක්කේ නෑ මේ පැත්තේ. අදවත් එයිද මන්දා?

ඒක නෙමේ, බෝංචි ඇටේ කතන්දරේ කියවලා තියෙනවාද?

(image: http://www.picturesof.net/pages/100716-218332-341053.html)

Monday 2 April 2012

කසාදේ රැකගන්න අනිවාර්ය කොන්දේසියක් - A necessary condition for a successful marriage


ධම්පදයේ එන මනෝපුබ්බංගමා ධම්මා ගාථාවේ තියෙන චක්කංව වහතෝ පදං කෑල්ල දන්නවා නේද? ඒ ආකාරයට තමයි බොහොමයක් ලව්වලින් පස්සේ බූට් එන්නේත්, ඒ වගේම සමහර කසාදවලින් පස්සේ දික්කසාද එන්නේත්.

මුලින් ලව් කලකට පස්සේ මල ඉලව් වෙනවාට වඩා අඩු ප්‍රතිශතයකින් තමයි මුලින් කසාද කලකට පස්සේ දික්කසාද වෙන්නේ. මං කලින් දවසකත් කිව්ව විදියට මේකට නං හේතුව ඉතිං බැඳගත්ත බෙරේ ගහන්න වෙන්නේ තමන්ට කරුමය උරුමය වෙලා කියලා හිතන ඈයෝ වැඩි නිසයි.

අනිත් හැමෝටම ආදර්ශයක් වෙමින් හොඳ යුගදිවි ගත කරන අයත් අපි අතරේ ඉන්නවා.

රත්නායක මහත්තයා ගේ ඔෆීසියේ ලොක්කෙක් තමන් ගේ විසිපස්වෙනි විවාහ සංවත්සරය සමරලා, ඒ අවස්ථාව තවත් අර්ථවත් වෙන්න තමන් විවාහ වෙන්න කලින් අනාගත බිරිඳ එක්ක ගිවිස ගත්තු කොන්දේසි දහයක් ලේඛනගත කරළා, ඊ-මේල්වලින් තමන් ගේ හොඳම යාළුවන්ට යවලා තියෙනවා.

පොර කියලා තියෙන්නේ ඒ දේවල් පිළිපැද්ද නිසා අවුරුදු විසිපහක් සතුටින් යුග දිවිය ගෙව්වාය කියලයි.

හොඳම යාළුවන්ගෙන් උන්ගේ හොඳම යාළුවන්ටත් ලැබුණු නිසා මටත් මේ ලයිස්තුව කියවන්න ලැබුණා.

එකේ සිට දහයට අංකගත කෙරුණු ඒ ලයිස්තුව මෙන්න.

1. එකිනෙකාව අගය කරන්න. කිසිවිටෙක තම සහකරු/සහකාරිය සුළුකොට තකන්න එපා.

2. කුරිරු, කර්කෂ වචන පාවිච්චි කරන්න එපා, එකිනෙකා විවේචනය කරන්න ඉක්මන් වෙන්න එපා. සමාව ලැබුණද, අමතක නොවෙනු ඇත.

3. එකිනෙකා වෙනුවෙන් යම් යම් දේ සතුටින් සහ ආදරෙයෙන් කරන්න.

4. එකිනෙකා ගේ පවුලේ සාමාජිකයින් විවේචනය කරන්න එපා.

5. ඔබ කරන කොයි දෙය හෝ (රැකියාව, ඉවීම, වත්තේ වැඩ) හොඳින් කිරීමෙන් සහකරු/සහකාරිය ගේ ග්‍යෙරවය දිනාගන්න උත්සාහ කරන්න.

6. උපන් දින, සංවත්සර දින යනාදිය කිසිවිටෙක අමතක කරන්න එපා. මේවා ආදරය අළුත් කරගැනීමට උපකාර වෙනු ඇත.

7. ඔබේ මිතුරු මිතුරියන් සමග සහකරු/සහකාරිය ගේ ගුණ අවංකවම පවසන්න. සහකරු/සහකාරිය ගැන කීමට හොඳ දේ ඔබට සැමවිටම ලැබෙනු ඇත.

8. දරුවන් ඉදිරිපිටදී සහකරු/සහකාරිය සමහ විවාද කරන්න එපා. ඔවුන්ට ඔබ දෙදෙනා එක ඒකකයක් ලෙසින් පෙනිය යුතුය. දෙදෙනාගේ ප්‍රශ්ණ දෙදෙනා එකතුව විශ්වාසය සහ අන්‍යෝන්‍ය ගෞරවය ඇති වාතාවරණයක් තුල විසඳාගන්න.

9. දවසේ රාජකාරි නිමකට නිවසට එන ඔබේ සහකරු/සහකාරියට තනිව ගත කිරීමට කාලයක් ලබා දෙන්න. එය ඔවුන්ගේ ආතතිය නිවා ගැනීමට උපකාරී වනු ඇත.

10. කිසිවිටෙක ඔබේ සහකරු/සහකාරිය අන් අය හා සසදන්න එපා. අප සියළුදෙනාම අපේම වූ ශක්තීන් සහ දුර්වලතා සහිත අය වෙමු. ඔබේ සහකරු/සහකාරියට කවරෙකු වේවා ඒ පුද්ගලයාට ආදරය කරන්න.

මේ ලයිස්තුව කියවලා බලපු මට පෙනුණේ ඔය සේරටම වඩා අතිවැදගත් මූලිකම කොන්දේසියක් තියෙනවා නේද සාර්ථක විවාහ ජීවිතයක් ගතකරන්න අවශ්‍යම කියලායි.

මං එකතු කළා ඒ කොන්දේසිය මෙන්න මේ විදියට.

0. අඩු වශයෙන් සතියකට එක්වරක්වත් ලිංගිකව එක්විය යුතුය. එයින් ඇතිවන චමත්කාරය සිත්තුල පවතිනතාක් කල් මෙහි අංක 1 සිට 10 දක්වා ඇති කරුණු අදාල නොවේ.

මං කෙරුවේ මේ අංක 0 එකතු කරපු ලයිස්තුව මට මුල් ඉ-මේල් එකේ කොපියක් එවපු හිතවතාට යවපු එකයි. පොරත් ඒක උඩට යැව්වා නම් අවසානයේ මුල් ලයිස්තුවේ රචකයාට ලැබෙන්න ඇති.

-කතන්දරකාරයා

ප/ලි:
මේ ආකාරයේ තවත් මගේ සොයා ගැනීමක් තියෙනවා.

ඒක ලඟඳීම ලියන්නම්! එතකල් කසාද ජීවිතේ ගැන ලියූ මේ පරණ කතන්දර බලන්න.

1. රෝස පාට තුවා

2. රෝස පාට තුවා - වලි ෂේප්

3. බැඳපු අයට මල් කඩන්න තහනම්ද?

4. ගෙදර පොඩි අවුලක්

5. ගෙදර අවුලක් - මෙන්න ඇත්ත!

6. හාමිනේ ට ලියූ නාඩගම් ගීතය

7. හාමිනේ ට මෙව්වා එකක් අරං දුන්නෙමි

8. බිත්තර තැම්බීම

9. බැඳපු අයට උපදෙස් කීපයක්

10. නෝනා ගේ උපන් දිනේ ගැන වැදගත් අවවාදයක්

p/s/s:
Here the original eMail in verbatim.

"I hope you will not mind if I take a little more of your time to share some of our thoughts with you regarding marriage. When we decided to get married (we married one year later) we swore to each other that we will make our marriage the happiest ever.

We realised, based on the experience of our friends and relatives, that to make
a marriage succeed is not easy. After some years of marriage many couples start leading what we call a "polite marriage" not a "delightful marriage."

We wanted to feel during each day of our marriage that we were still newly wed.
So, during that one year after our marriage was fixed, we both read many books
on marriage, problems in marriage, etc. and shared our thoughts. Based on our research we formulated some guidelines to foster a "delightful marriage." We would very much like to share this with you.

We sometimes refer to these as the 10 commandments to be adhered to, faithfully, each day of our married life.

1. Never take each other for granted.

2. Never use harsh words and do not be quick to criticise.
Once words come out of your mouth you cannot take them back in.
People may forgive but it is not easy to forget.

3. Do things for each other happily and lovingly.

4. Never criticise each other's family and family members.

5. Command the respect of your spouse through excellence in whatever you do
(your job, cooking, gardening, home projects etc.).

6. Never forget birthdays, anniversaries, Valentine's Day etc.
(these are opportunities to rekindle passion).

7. Praise your spouse (sincerely, no flattery please) to your friends.
You can always find great things about your spouse to tell others.

8. Never argue with your spouse in the presence of your kids
(your kids must see you both as a single, united entity).
Differences are to be worked out in private in an atmosphere of trust and mutual respect.

9. Allow your spouse some time to be alone each day after coming home (they need their private space to recover from stress at the workplace).

10. Never compare your spouse with others. We are all individuals with our own strengths and weaknesses. Love your spouse for what she/he is.

We decided to follow these rules from day 1 of our marriage and such conduct has now become part of our personalities. We certainly have our flaws but our marriage is still very happy and deeply passionate.

Our greatest reward came last year when our daughters, on our wedding anniversary, told us that they wished, hoped, and prayed that their marriage would be as wonderful as ours.

We are sure that your kids too will feel the same way about you."


(image: http://www.fanpop.com/spots/celeb-weddings/images/5982532/title/amitabh-jaya-wedding-photo)