Showing posts with label රත්නායක මහත්තයා. Show all posts
Showing posts with label රත්නායක මහත්තයා. Show all posts

Monday, 18 March 2013

දුමින්ද කඩේ යයි - Duminda goes shopping


දුමින්ද ගේ එයාපෝර්ට් ට්‍රිප් එක ගැන කතන්දරේ ලිව්වාට පස්සේ මට පොර ගැන අමතකම වෙලා ගියා. බැලුවාම දැන් අවුරුදු දෙකකටත් වැඩිය ගතවෙලා.

කතන්දර බ්ලොග් එක මුල කාලේ ඉඳලා කියවන අයට නම් සමහර විට තාමත් මතක ඇති දුමින්ද ගැන කියවුණු මෙන්න මේ කතන්දර දෙක.

1. කෝක් වානා - අරක්කු ඕනා
2. යුග දිවියක් ගායනා කිරීම

අද කතන්දරේ දුමින්ද කඩේ ගිය හැටි ගැනයි. මේතන කඩේ යනවාය කියන්නේ අනියම් අරුතෙන් නොවෙයි අර කතන්දරකාරයා කඩේ ගියා වගේ කඩේ යාමක්. වෙත් විදියකින් කියනවානම් විජේකෝන් නාන්න යනවා වගේ කේස් එකක් ගැනයි.

මේ කාලේ දුමින්ද හිටියේ පස්තාච්චි අදින්න ගිහින් තායිලන්තයේ. අපිට වඩා සීනියර් පොරක් වුණු දුමියා ඒ දවස්වලත් බැඳලා, තමන්ගේ සුන්දර බිරිද සුරංගි එක්කයි කැම්පස් එකේ විවාහක සිසුන් සඳහා තිබුණු ගෙදරක වාසය කෙරුවේ.

සුරංගි උයන්න පිහන්න දස්සයි. නිකම්ම නිකං, පරිප්පු, බෝංචි, බොම්බිලි කරෝල නොවෙයි, හොඳ මැකරෝනි, පාස්ටා, බුරියානි වගේ පොෂ් කෑම බීම හදන්නත් එයා එක්ස්පර්ට්. හොඳ හොඳ තායි කෑම, චීන කෑම ජාති හෙමත් හදලා ඒ දවස්වල සුරංගි දුමින්දට කවන්න ඇති.

ඔය කාලේ අපි කෂ්ටිය සතියේ දවස් හයක්ම කෑවේ චමරියක් දාගෙනයි. අපි කැම්පස් එකේම තිබුණු කඩේකට එලවලු බඩු ලයිස්තුව දෙනවා. උන් බඩු ගෙනත් දෙනවා. තායි කුක් කෙනෙක් ඇවිත් උයල දීලා යනවා.

බැඳපු කෂ්ටියට ඒ ක්‍රමය හොඳ මදි. ඒ ගොල්ලෝ පවුල් ටික එකතුවෙලා සති අන්තයේ කැම්පස් එකට ලඟ ටවුමක පොළට යන්නයි කැමති.

මුල කාලේ සුරංගි සහ දුමින්ද කපල් එක අනිත් අය එක්ක බස් එකේ ටවුමට ගිහින් බඩු අරගෙන එනකොට වෑන් (ලූත්) එකක් කුලියට අරගෙන ආපහු එන්නයි පුරුදු වෙලා හිටියේ.

ඉතිං ඔහොම කාලය ගතවෙන කොට සුරංගි ගර්භනී වුණා. නමුත් සති අන්ත ෂොපින් ගමන සුපුරුදු ලෙස කෙරුණා. හැබැයි තවත් මාස කිහියක් ගියාට පස්සේ සුරංගිට මේ ගමන ඔරොත්තු දුන්නේ නැති නිසා කඩේ යන වැඩේ මුළුමණින්ම බාරවුණා දුමින්ද ට.

දුමින්ද ඒ දවස්වල උයන්න තියා කුළු බඩු මොනවද කියලාවත් අඳුණන පොරක් නොවෙයි. ඉතිං සුරංගි කරන්නේ අර කතන්දර හාමිනේ මට නුගේගොඩින් ගේන්න ලියලා දෙනවා වාගේ බඩු ලයිස්තුවක් ලියලා දෙන එකයි.

1. පොටෑටෝස්
2. ටුමෑටෝස්
3. ෆිෂ්
4. බිග් අනියන්
5. මැකරෝනි
6. බීන්ස්
7. චිකන්
8. ගාර්ලික්
9. එග්ස්
10. කොරියන්ඩර් ලීව්ස්

මෙන්න රත්නායක මහත්තයා මට විස්තර කළ විදියට දුමින්ද තායි පොලෙන් බඩු ගන්න හැටි.

මුලින්ම එලවළු කඩේකින් අර්තාපල් ගන්නවා. ඒවානේ සුරංගි ගේ ලයිස්තුවේ අංක එකට ලියලා තියෙන්නේ. රත්නායක ලාත් ඔන්න එතනින්ම ගන්නවා තමන්ට අවශ්‍ය දේවල්. ඊට පස්සේ දුමින්දත් රත්නායක කපල් එක එක්ක යනවා.

දැන් කට්ටිය ඇතුල් වෙන්නේ මස් ජාති තියෙන කෑල්ලටයි. නමුත් දුමින්දට ඕනෑ මස් ගන්න නොවෙයි, ලයිස්තුවේ අංක දෙකට තියෙන තක්කාලි ගන්නයි.

"මේ ටුමෑටෝස් ගන්න තියෙන්නේ කොතනද රමණී?" දුමින්ද අහනවා.

"අයියෝ දුමින්ද අර අපි අර්තාපල් ගත්තු කඩේට අල්ලලු තැන තිබුණනේ!"

"ඇත්තද? එහෙනං මං ගිහින් අරගෙන එන්නම්."

ඉතිං දුමින්ද ආපහු එලවළු කඩ තියෙන පැත්තට ගිහිල්ලා තක්කාලි අරං එනකං රත්නායක ලා චිකන් ගන්නවා.

"හොඳයි මට දැන් ඕනෑ මාළු ගන්න" දුමින්ද කියනවා. ඔන්න කට්ටියම මාළු ලෑලි තියෙන පැත්තට ගිහින් මාළු ගන්නවා.

දැන් ඔන්න දුමින්ද බඩු ලයිස්තුව අරගෙන අංක තුනට ඉස්සරහින් ටික් එකක් දාලා රමණී ගෙන් අහනවා මෙහෙම.

"රමණී කොහෙන්ද මේ ලොකු ලූණු ගන්නේ. බොම්බයි ලූණූ?"

"ඇයි දුමින්ද අර අර්තාපල් ගත්තු තැන තිබුණනේ. ගත්තේ නැද්ද එතනින්?"

දැන් ඉතිං දුමින්ද යනවා ආපහු අර මුලින්ම ගිය කඩේට.

ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ.

බඩු ලයිස්තුව සේරම අරං ඉවරවෙන කොට දුමියා පොළ වටේ පස් හය සැරයක් ගිහිල්ලා! රත්නායකලාටත් හොඳටම හති වැටිලා.

මං ඔය කාලේ හිටියා නම් දුමින්දට කියලා දෙනවා අර ඔපරේෂන් රිසර්ච්වල තියෙන ක්ලැසික් ප්‍රශ්නයක් වෙන ට්‍රැවලින් සේල්ස්මන් ප්‍රොබ්ලම් එක විසඳන ඇල්ගොරිතම් එකක්වත්.

සේරටම මුලින් සුරංගිට කිව්වා නම් බඩු ලයිස්තුව වර්ගීකරණයක් කරලා කොටස් කීපයකට හදන්න, දුමින්ද ගේ ෂොපින් ප්‍රශ්නය ටිකක්වත් ලේසි කරගන්න තිබුණා!

-කතන්දරකාරයා

ප/ලි:
මේ වෙනකොට නම් දුමින්ද බත් ටිකක්, පරිප්පුවක් වත් උයා ගන්න ඉගෙන ගෙන ඇති!


(image: http://www.bangkokpost.com/)

Wednesday, 25 January 2012

රත්නායක මහත්තයාගෙන් රමණී නෝනා ට වැදගත් උපදෙසක් - Ramani gets an important advice


අර තිලොවට තිලක වූ, ශාඛ්‍ය සිංහ වූ, සමන්ත භද්‍ර වූ, කරුණා නිධාන වූ, මෛත්‍රී නිවාස වූ, ත්‍රිභූවන චුඩා මාණික්‍යයක් බඳු වූ අප මහා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන කාලේ ඒ පළාතේ හිටිය එක්තරා කෙල්ලෙකුට කසාද බඳින්න කලින් දවසේ තමන්ගේ තාත්තණ්ඩිගෙන් "ඇතුලත ගිනි පිටත නොදෙනු, පිටත ගිනි ඇතුලත නොදෙනු!" කියලා මොලේ කොලොප්පං වෙන ක්‍රිප්ටික් උපදෙසක් ලැබුණු බව කියවෙන පුරාණ කතන්දරේ බුද්ධාගම පාඩමක දී වගේ අහලා තියෙනවාමතකද?

මතක නං කියන්න බලන්න, කවුද එහෙම ඒ උපදෙස් ලැබූ කෙල්ල?

විශාකා ද,
නැත්තං බන්දුල මල්ලිකා ද?

ඔය දෙන්න ගෙන් කෙනෙක් මිස අපි අඳුණන රමණී නෝනා නම් නෙවෙයි.

මොකද රමණී නෝනාට ඕකම නොවුණත් ඔයිට ලඟින් වගේ යන ජාතියේ උපදෙසක් දුන්නේ ඇත්තටම ඇගේ පෙම්බර රත්නායක මහත්තයා යි. ඒ මොහොතේ මේ ලියන මාත් එතන හිටියා.

මෙන්න මේකයි සීන් එක.

ඔන්න දැන් කාලෙකට ඉස්සර දවසක හවස් වරුවේ ගෙවල් ලඟ කඩමණ්ඩිය පැත්තට ගියා හාමිනේයි, අපේ දෝණියි, මායි. හරියටම ඒ වෙලාවේම රත්නායක පවුලත් කඩේ ඇවිල්ලා. ඒ මදිවට අපි දෙගොල්ලම අඳුණන දම්මිත් ඇවිත් හිටියා.

ටවුමේ සතොසේ හරියේමයි දම්මි ලා ගේ ගෙදර තිබුණේ. යන ගමන් තේකක් බීලා යන්න කියලා එයාගෙන් ආරාධනාවක් ලැබුණා.

"ඇනි ටයිම් ටී ටයිම්!" කියල කිව්වනේ ඩිල්මා-මා. ඉතිං ඔන්න අපි දෙගොල්ලොම ගොඩ වැදුණා දම්මි ගේ ගෙදරට.

ඉස්සෙල්ලාම මාරී බිස්කට්. ටිකිරි එක නෙමේ හොඳ ලොකු සයිස් එක.

ඊට පස්සේ නයිස් බිස්කට්. ඇතුලේ සීනි මදිවට උඩිනුත් සීනි දාලා තියෙන නිසා කන කොට හරිම නයිස්.

දැන් ඔන්න තේ හදන වෙලාව ආවා.

"ඕගොල්ලෝ සීනි කොහොමද බොන්නේ අඩු සීනි ද, සාමාන්‍යද, වැඩි සීනි ද?" දම්මි ඇහැව්වා. අපේ කාල් අංකල් වගේ තමයි දම්මි ගේ කතාව.

අපි සේරටමත් එක්ක උත්තර දුන්නේ රමණී නෝනා.

"රත්නෙටයි මටයි සීනි හැඳි එක ගානේ දාන්න දම්මි. කතන්දර ජෝඩුවට නම් දෙකහමාර ගානේ දාන්න."

කතන්දර හාමිනේට මොනවා හිතුනද මන්දා. මට නම් හිත යටින් හොඳටෝම හිනා ගියා. ඒත් අපි මොකුත් කීවේ නෑ.

කතා කළේ රත්නායක මහත්තයා විතරයි.

"මේ රමණී, අනුන්ගේ සීනි ගණං බලන්නේ නැතුව ඉන්නවද ඔයා?"

රමණී නෝනා ඊට පස්සේ කට ඇරියේ තේ එක බොන්න විතරයි!

-කතන්දරකාරයා

ප/ලි:
මං නං රමණීගේ වැඩේ දැන් ඇනෝනිමස් ලා ට දීලයි තියෙන්නේ!

(image: http://gordonbruce-modernartwork.com/ANITA-INVERARITY-ARTIST)

Wednesday, 18 January 2012

රමණී නෝනා හොඳ වැඩක් කරපු හැටි - Ramani method of conflict resolution


හාමිනේ පොඩි චීනේ ගිය දවස්වල මටයි පුතු පැටියටයි කෑම හදල දුන්නු නිසා කියනවා නෙමේ, රමණී නෝනා කියන්නේ ආදර්ශයට ගත යුතු හොඳ ගුණ යහපත් කෙනෙක්.

මෙන්න ඒ ගැන හොඳම උදාහරණයක් සපයන මට මතක් වුණු තරමක් පරණ පොඩි පහේ කතන්දරයක්.

ඔන්න රමණී නෝනා තමන්ගේ දෙවෙනි ජොබ් එකට ගිය අළුත එක සති අන්තයේ දවසක අපි ඒ පැත්තේ ගියා.

"කොහොමද රමණී අළුත් ජොබ් එක?"

"කියන්න නං වරදක් නෑ කතන්දර."

"කොහොමද එතැන වැඩ කරන අනිත් උං? හොඳයිද? අපි අඳුණන පොරවල් හෙම ඉන්නවද?"

"සේරම වගේ හොඳ කට්ටිය වගෙයි පේන්නේ. ඒත් එක මනුස්සයෙක් නං ඉන්නවා අනේ මං ගිය දවසේ ඉඳලා මා එක්ක නයි වෛරයක් තියෙන විදියටයි හැසිරෙන්නේ."

"ඇයි ඔයා එක්ක රංඩුවට ආවාද? නැත්තං බැන්නද?"

"රණ්ඩුවට එනවා තියා මේ මනුස්සයා මා දිහා බලන්නේවත් නෑ. මාව දැක්කාම රවලා වගේ අහක බලාගන්නවා. මිනිහා එක්ක මට වැඩපොළේ කෙලින්ම ගණුදෙණුවක් නැති හින්දා හොඳයි."

"ඔන්න ඔහේ අල්ලල දාන්න රමණී."

"නෑ, නෑ, මං මේක එහෙම ලේසියෙන් අත අරින්නේ නෑ. හොඳ වැඩක් කරන්න ඕනෑ!"

රමණී කිව්වේ ස්ථිරසාර කටහඬකින්. මට පොඩ්ඩක් විතර බයක් වගේත් ආවා ඒ කතාවට. මේ මනුස්සයා මොනවා කරගනීවිද, මන්දා?

රත්නායක මහත්තයා නං ඔහේ ගාණක් නෑ වගේ හිටියා.

තව සතියකින් විතර ඔන්න ආයෙත් රත්නායක ජෝඩුව මට මුණ ගැහුණා. මට කෙලින්ම සිහියට ආවේ රමණී නෝනා ගේ වැඩපොළේ වලිය.

"කොහොමද රමණී වැඩපොලේ කටයුතු?"

"හොඳයි කතන්දර. හොඳට කරගෙන යනවා."

"දැන් ඉතිං මාසයක් විතර වුණානේ නේද?"

"ඔව් මේ දෙවෙනි මාසේ යන්නේ. දන්නනෙම නැතුව කාලේ යනවා."

ඔන්න මං ඇහැව්වා අර කේස් එක ගැන.

"කොහොමද අර ඔයා එක්ක වලියට බර පොර දැන්?"

"ආ! මනුස්සයා හොඳයි වරදක් නෑ."

"දැන් කතාබහ කරනවාද?"

"තරමක් විතර."

"ආ, ඇත්තද? කොහොමද ඉතිං මිනිහා ෂේප් වුනේ? රමණී එදා කිව්වේ නං හොඳ වැඩක් කරනවා කියලනේ!"

"මං කෙරුවේ කරන්න පුළුවන් හොඳම වැඩේ තමයි. හැමදාම උදේට වැඩට ගිය ගමන් ගුඩ් මෝනින් කිව්වා. හවසට ගුඩ් ඊවිනින් කිව්වා. දැක්ක දැක්ක තැන කොහොමද කියලා අහලා පොඩි හිනාවක් දැම්මා. ඒත් මුලින් මුලින් මේ මනුස්සයා රවන එක නැවැත්තුවේ නෑ. හැබැයි ඉතිං මාත් නැවැත්තුවේ නෑනේ. හැමදාම, ගුඩ් මෝනින්, ගුඩ් ඊවිනින් කියන එක අතහැරියේම නෑ. අන්තිමේදී මිනිහා ගේ මූඩ් එක ටික ටික වෙනස් වුණා. දැන් යාන්තං විතර හිනාවකුත් දානවා. මෝනිං කියන ගමන්."

කොහොමද රමණී නෝනා ගේ හොඳ වැඩේ? වෛරයට වෛරයෙන් ප්‍රතිචාර දැක්වීම වෙනුවට කරුණාව සහ මෛත්‍රිය පෙන්නීම.

නාලාගිරි ඇතා දමනය වුනෙත් ඔහොම තමයි!

-කතන්දරකාරයා

ප/ලි:
නහී වේරේන වේරානී
සම්මන්තීධ කුදාචනං
අවේරේනච සම්පත්තී
ඒස ධම්මෝ සනන්තනෝ

අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මේ
යේ තං න උපනය්හන්ති
වේරං තේසූපසම්මති

මං මේ ගාථා දන්නේ කොහොමද කියලා මෙන්න මේ කතන්දරේ තියෙනවා.
http://kathandara.blogspot.com/2010/05/blog-post_26.html

(image: http://www.projecthappilyeverafter.com/2010/07/compassion-is-the-antidote-to-everything/)

Monday, 28 November 2011

රමණී නෝනා මහත්තයා ගේ ආගන්තුක සත්කාරය - A few quick recepies from Ramani Ratnayake


මේ දවස්වල පොඩි පහේ 'කලේ පැන් නැත!' කේස් එකක් නිසා මායි පුතු පැටියායි නිකං කරකෝලා අත ඇරලා වගේ තමයි ජීවිතේ ගෙවන්නේ.

මුල දවස් දෙක යාන්තං ගෙදර උයලා ෆ්‍රිජ්කරණය කරලා තිබුණු ඒවායින් ජාම් බේරා ගත්තා. තුන්වෙනි දවසේ, ඒ කියන්නේ සෙනසුරාදා, දවල් ට ඔන්න ඔය අධිවේගී පාර හරිනේ අයිල කඩේකින් රොටි දෙකකුයි, අල වගේකුයි බඩට දාගෙන ෂේප් වුණා.

එදා හවස් වරුවේ කෑම බීම තියෙන උත්සවයක් යෙදිලා තිබුණු හින්දා 'දෙඤ්ඤං බත්!' කියලා තමයි මං හිටියේ.

ඒකට සෙට් වෙන්න පැය දෙකක් විතර තිබුණ හින්දා මොකද කරන්නේ කිය කියා හිතන වෙලේ පූරුවේ වාසනාවකට වගේ මතක් වුණා බොලේ රත්නායක මහත්තයා ලා ගේ ගෙදර පැත්තෙන් ගියොත් නරකද කියලා.

අපිට කොයින්ද ඉතිං "උපහාර" ෆෝන්? මා ලඟ තිබුණු "අපහාස" ෆෝන් එකෙන් දුන්නා කෝල් එකක්. ජෝඩුවම ගෙදර එවෙලේ හොඳ වෙලාවට.

ඉතිං බලෙන් ම වගේ අපි දෙන්නා එහෙට කඩාගෙන වැදුණා හිස් අතින් ම. අපි යනකොට රමණී සහ රත්නායක ජෝඩුව කඩි-බිඩියේ, දඩි-මුඩියේ උයනවා.

මොකද මේ කියලා අහලා බැලින්නම්, ඒ ලඟ ගෙදරක ඉන්න වයසක ජෝඩුවක් අසනීප වෙලා. මාත් හොඳට දන්නවා ඒ ඇන්ටියි, අංකල්වයි දෙන්නාවම. ඉතිං ඒ කෂ්ටියට දෙන්නයි මේ උයන්නේ.

ඔය අතරේ මගේ කටෙන් නිකමට වගේ පිටවුණා, "අනේ හාමිනේත් දුරු රට වැඩියා නේ!" කියලා. ඒක අහපු රමණී නෝනා මහත්තයාගේ හිත නිකං වෙඬරු පිඩක් වගේ උණු වෙලා ගියා.

සාධු කියන්න පින්වතුණි!

දන්නවනේ සර්වලෝක නියාමයක් තියෙනවා හිස් අතින් ගියොත් අත් දෙකම පුරවන් එන්න ලැබෙනවා කියලා? ඉතිං පුතු පැටියයි මායි එහෙන් පිටවුනේ බරටම කෑම මල්ලක් ම අරගෙනයි.

ඒ ආනුභාවයෙන් ඉරිදා දවල් අපි නිකං රජ ගෙදර වගේ තමයි කෑවේ.

කාලා බීලා රාමතෙල් ඇර ඇර මාතරේ ගෙයි, මල්යා කෲස් ගේයි හරඹය කියවමින් ඉන්න අතරේ තමයි මට හිතුනේ මේ රසවත් ආහාර වේල ගැන ලියලා දාන්න.

මෙන්න තියෙනවා බඩු!


බණ්ඩක්කා
ලූණූ, කරපිංච තෙම්පරාදු කර, උම්බලකඩ, කුරුඳුපොතු කැලි මිරිස්, කහ මිශ්‍ර කර කපාගත් බණ්ඩක්කා දමා උයාගන්න. අවශ්‍ය පමණට ලුනු දමන්න.


මාළු
මිරිස් කුඩු, ගම්බිරිස් කුඩු, බැඳපු තුනපහ, කහ, උළුහාල්, කරදමුංගු, එනසාල්, කුරුඳු, සුදු ලූණු, ලූණූ, ඉඟුරු, ඇඹරූ ගොරක, කරපිංච, රම්පේ, අමුමිරිස් දමා හොඳින් අතගා යාන්තං වතුර දමා ඉදෙන්නට අරින්න. අවශ්‍ය පමණට ලුනු දමන්න.


කුකුළු මස්
ලූණූ, මිරිස්, බැඳපු තුනපහ, සුදු ලූණූ, කරපිංච, කරදමුංගු, කරාබුනැටි, උළුහාල් තෙම්පරාදු කර, මිරිස්, ගම්බිරිස්, තක්කාලි සහ විකන් කෑලි එකතු කර වතුර දමා උයා ගන්න. අවශ්‍ය පමණට ලුනු දමන්න.


කජු
පැය දෙකතුනක් පමණ පොඟවන්න. ලූණූ, කරපිංච තෙම්පරාදුකර, මිරිස්, තුනපහ සහ පොල්කිරි දමා ප්‍රෙෂර් කුකරයේ උයාගන්න. අවශ්‍ය පමණට ලුනු දමන්න.


බෝංචි
කපාගත් ලූණූ, කරපිංච, සුදු ලූණූ, අමු තුනපහ, සූදුරු කුඩු, උළුහාල් දමා තෙම්පරාදු කර පොල්කිරි ස්වල්පයක් එකතු කර උයන්න. අවශ්‍ය පමණට ලුනු දමන්න.

සබ්බේ සත්ථා ආහාරට්ඨිකා

-කතන්දරකාරයා

ප/ලි
රමණී නෝනා මහත්තයා ආගන්තුක සත්කාරයට බර කෙනෙක් බව දැන් තේරෙනවානේ?

අපරාදේ කියන්න බෑ රත්නායක මහත්තයාත් ඒ වගේම තමයි. මං ගිය ගමන් ෆ්‍රිජ් එකෙන් කාල්ස්බර්ග් ම තමයි එලියට ගන්නේ.

අර යාළුවෙක් ජපානේ ඉඳන් ගෙනත් දුන්නු "සාකේ" බෝතලේයි, තව කෙනෙක් ඩියුටි ෆ්‍රී එකෙන් ගෙනත් දුන්නු "ෂිවාස් රීගල්" එකයි ඉතිං කබඩ් එකේ දාගෙන හිර කරං ඉන්නේ.

අපිට කොයින්ද ඉතිං ඒ හයි ෆයි? අපි ගෙනිච්චොත් ඉතිං ඔය "සිංහ වංසේ" දෙකක් තුනක් තමයි!

(image: http://massagetherapyworks.businesscatalyst.com/_blog/Boston_Healing_Blog/page/3/)

Wednesday, 16 November 2011

රත්නායක මහත්තයා ගේ අනන්‍යතාව හෙලිවේ! - Mr Ratnayake's identity revealed


කතන්දර බ්ලොග් එක බලන අයට රත්නායක මහත්තයා අමුතුවෙන් අඳුන්වා දෙන්න ඕනෑ නෑනේ? පොර නැත්තං මං තාමත් කතන්දර 500 සැතපුම් කණුවට ඇවිල්ලා නැති වෙන්න ඉඩ තිබුණා.

මට කීප දෙනෙකුනේම දැනගන්න ලැබුණු විදියට පහුගිය කාලේ අපේ බ්ලොග්කරුවන් ගේ විවිධ කණ්ඩායම් අතර මේ රත්නායක මහත්තයා ය කියන්නේ සිහි සටහන් ලියන චානුක වත්තේගම විය යුතුයි කියලා කතාවක් ගිහිල්ලා තියෙනවා.

ඒකට එහ හේතුවක් සිහි සටහන් අඳුන්වා දෙමින් මා ලියූ මෙන්න මේ සටහන ලු!
http://kathandara.blogspot.com/2011/04/blog-post_10.html
අපේ සිංහල කියවා අවබෝධ කර ගැනීමේ හැකියාව ගැනත් ප්‍රශ්ණයක් ආවා ඒ කතාව අහලා!

ඉතිං මට හිතුණා මේ ගැන පොඩි සඳහනක් කරන්න අද කතන්දරේට යන්න කලින්.

මෙන්න රත්නායක ගැන මෙතනට අදාල විස්තරයක්.

රත්නායක මහත්තයා කොළඹින් පිටයි පාසල් ගියේ. සතර පත්තරේ මිස විදුසර බැලුවේ නෑ. ඒ ලෙවල් පාස් වෙලා ලංකාවේ විශ්ව විද්‍යාලයකයි ඉගෙන ගත්තේ. මැවිසුරු උපාධිය ගත්තා. පස්සේ පස්තාච්චි වැඩ සඳහා පිටරට ගියා.

ලේඛණ කටයුතු කියලා පොර කරන්නේ ජොබ් එකේ වැඩට ලියන කියන එක විතරයි. පොර ගේ ප්‍රොෆෙෂනල් වැඩවලට අදාල පොත් පත් හැර පොත් සමග වෙනත් ලොකු ගණුදෙණුවක් කවදාකවත් නෑ. නවකතා අරහං.

මං කුලසේන ෆොන්සේකා ගේ "උඩු බිරුම" කියන නවල් එක බලන්න කියලා ගෙදරටම ගෙනිහිං දීලා තිබිලා අවුරුද්දකට පස්සේ ආපහු ගෙනාවා. පොර එක පිටුවක්වත් කියවලා තිබුණේ නෑ, පොත කියවපං කියලා මං දුන්නු දවසේ ඒකේ අන්තර්ගතය ගැන හොඳට පැහැදිලි කළා වුනත්.

හැබැයි ඔන්න දැන් නං පොර ටිකක් සිංහල, අඩු තරමේ කතන්දර බ්ලොග් එකවත්, කියවනවා වගේ.

අන්තිම කරුණ මෙන්න. රත්නායක මහත්තයා මට නිතරම හමුවෙනවා. කොටින්ම අද කතන්දරෙත් ඒ හමුවීමක් ගැනයි.

වත්තේගම මහත්තයා මා දැක ඇත්තේ දින දෙකයි. මුලින්ම 2009 දෙසැම්බර් සිංහල බ්ලොග් සංගමයේ හමුව දවසේ. එදා වචන කීපයක් කතා කළා. හොඳින් කතාබස් කලේ දෙවෙනියට හමුවුණු මගේ පියා ගේ අවමගුල කාලයේයි. ඒ 2010 දෙසැම්බරයේ.

ඒ සේරම ලිව්වේ රත්නායකයි, වත්තේගමයි දෙන්නා දෙන්නෙක් බව පෙන්නන්නයි.

දැන් මෙන්න අද දවසේ කතන්දරය.

පහුගිය දවසක මං රත්නායක මහත්තය ලා ගේ ගෙදර ගියා. රමණී මැඩම් තමයි ඒ නිවසේ එක්සෙකටිව් චෙෆ්. හැබැයි මෙදා රත්නායකත් හදලා තිබුණා සලාදයක්.

අර කීප් අ සයිඩ් කුළුබඩු ටික දැම්මාද මං මුලින්ම ඇහැව්වා.

මොකද ඔය පරණ කතන්දර මතක් කරනවාට රත්නායක වැඩි කැමැත්තක් නෑ. කබර පෲෆ් මෙතඩ් කතාව නම් අරහං!

ඔන්න කාලා-බීලා ඉවර වෙලා (ඇත්තම කියනවා නං, බීලා-කාලා ඉවර වෙලා) මං රත්නායක ට මෙහෙම කිව්වා.

"මචං, මට කියන්න පුළුවන් ද මේ සැලඩ් එක හදපු ක්‍රමය හරියටම විස්තර ඇතුව?"

රත්නායකට පොඩි හිනාවක් ගියා.

"ඇයි මොකටද? උඹ මේක කතන්දර බ්ලොග් එකේ දාන්නද අර පරිප්පු, මස්, බෝංචි හදපු විදිය හාමිනේ ගෙන් අහගෙන උඹේ වගේ හිතෙන්න දැම්ම විදියට?"

"අපෝ නෑ මචං, එහෙම දාන්න නෙමේ, අර බොම්බිලි කරෝල හදපු හැටි දැම්මා වගේ, මෙන්න මේ විදියට නං සැලඩ් හදන්න එපා කියලා දාන්නයි උඹේ රෙසිපිය මට ඕනෑ!"

-කතන්දරකාරයා

ප/ලි:
හොඳම කුක් මං ද, රත්නායක ද කියන එක නම් අමාරු වැඩක්.

හැබැයි, චානුක වත්තේගම ගේ ලංකාවේ හොඳම රාජ්‍ය නිලධාරියා ලිපිය කියවපු දවසේ මට මොනවට පැහැදිලි වුණා ලංකාවේ ශූරම බ්ලොග්කරුවා කවුද කියන එක.

චානුක ට ජයවේවා!

(image: http://www.lankantunes.com/)

Tuesday, 25 October 2011

බූට් කාලා තියෙනවාද? - Never give up hopes!


චොකලට් කන්න කවුද අකමැති? කන නොකන එක තම තමන්ගේ කැමැත්ත අනුවයි.

ඒත් බූට් කෑම නං එපා වෙන දෙයක්. අනික බූට් කන්න ලැබෙන්නේ තමන් ගේ කැමැත්තම මත නොවෙයි. අනුන් ගේ නොකැමැත්තම මතයි!

හැබැයි, බූට් කෑවා කියලා, බලාපොරොත්තු අතහරින්න නම් නරකයි. කීප් ඔන් මාචින් සෝල්ජර්!

මෙන්න මං පේරාදෙනියේ දෙවෙනි අවුරුද්දේ දී ලියපු තවත් කවියක්.

තනිකමේ ගීතය

කුරිරු නියඟය රුදුරු විලසින්
තෙතමනය ලොව සිඳින්නට පෙර
පුරා වසරක් එපිට දිනයක
සිහින් සිරිපොද වැටුණ මතකයි

නැවුම් දිය බිඳු ගත ගැටෙන සඳ
සියුම් හැඟුමින් සිත පිරීලා
සුළං පහරක පුළුං විලසින්
සිහින ලොවකට ගියා මතකයි

එදා පොද වැසි වැටුණු දින සිට
මෙදා ගිනිගෙන දැවෙන දින තෙක්
නිදාගෙන ඇත වැසි කුමාරිය
පුරා වසරක් එක ලෙසින්

නිවා සියොළඟ දැවෙන දාහය
පොවා ජීවන නිමල පානය
සදා දිවියට මිහිර වෙන දෙන
අමා වැසි නුදුරෙම වසින්෴


(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී මා විසින් හස්තද්වාරයෙන් එලිදක්වන ලද "හන්තානේ කඳු පාමුල" කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

-කතන්දරකාරයා

ප/ලි:
චොකලට් කන්න අකමැති අයත් ඉන්නවා, දැනුයි මතක් වුනේ. ඒ තමයි රත්නායක මහත්තයා සහ රමණී මැඩම් දෙපොල.

(image: http://www.chocolate.com/products/chocolate-boot/)

Monday, 10 October 2011

අපි නොදන්න එලකියුෂන් - The rain in Spain stays mainly in the plain


පොඩි කාලේ අපි දහම් පාසල් යද්දී "බුද්ධඝජ්ඣය (බුද්ධ ගද්‍යය?)" කියලා පොතක් කියෝලා තියෙනවා. ඒකේ තිබුණේ මහා දරුණු මහාප්‍රාණ ශ්ලෝක වගේ ඒවා.

මෙන්න මට මතක එකක්.

"ජය ජය ධර්මරාජ
ජනකෘත ශර්මපූජ
අසදෘශ බුද්ධ ලීල
අතිපරිශුද්ධ ශීල"

ඔය "බුද්ධගජ්ඣය" මුළුමනින්ම කියෝපු කෙනෙකුට නං කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නෑ, ඕනෑ මහාප්‍රාණයක් ශබ්ද කරලා කියන්න!

බුද්ධගජ්ඣය වගේම පොතක් වෙන්න ඕනෑ සකස්කඩ කියන්නේ. "සකස්කඩ නොකී කට උඹේ කට හුඹස් කට!" යැයි කතාවක් තියෙනවා අහලා තියෙනවාද?

මං අහල තියෙන විදියට සකස්කඩ කියන්නේ ඉස්සර පාවිච්චි වුණු සිංහල පොතක් ලු. මං නං දැකලා, කියෝලා නෑ. ඒ පොත නම් සිංහල වචන උච්චාරණය කරන්න උගන්වන එකක් වගෙයි පේන්නේ.

අපි මුල් භාෂාවක ඉඳලා දෙවෙනි භාෂාවකට හුරුවෙන කොට අර මුලින් කතාකරපු භාෂාවේ වචන උච්චාරනය කරපු විදිහ, දෙවෙනි භාෂාවට කාන්දු වෙනවා. මේකට තමයි කියන්නේ ඇක්සන්ට් එක කියලා.

උදාහරණක් විදියට, ඉංගිරිසි භාෂාව ඉන්දියන් පොරක් කතාකරන විදියයි, ස්කොටිෂ් පොරක් කතාකරන විදියයි වෙනස් වෙන්නේ ඒ නිසයි.

ඔය වචන උච්චාරණය හරියට ඉගෙන ගන්න නං, එලකියුෂන් පන්ති යන්න ඕනෑ. හැබැයි ඉතිං ඒවා උගන්වන අයගේ උච්ඡාරනය තමයි අන්තිමට හුරුවෙන්නේ. ලංකාවේ ඉංගිරිසි ඉගෙන ගන්න ළමයි සහ එංගලන්තේ දී ඉගෙන ගන්න ළමයින්ගේ උච්ඡාරණය වෙනස් ඒකයි.

"මයි ෆෙයා ලේඩි" කියන පරණ චිත්‍රපටිය දැකලා තියෙන අයට මතක ඇති කොක්නි ඇක්සන්ට් එකක් තියෙන එලයිසා ට, ඉහල පන්තියේ ඉංගිරිසි උච්ඡාරනය උගන්වන්න මහාචාර්ය හිඟින්ස් වෙන මහන්සිය.

ඔය සේරම කතා ලිව්වේ මේක කියන්නයි. මේක රත්නායක මහත්තයා ගේ කතා බහේ සියුම් උපහාසය පිළිබඳ හොඳ නිදර්ශනයක්.

දැන් අපි ඔය ලංකාවේ ඉගෙන ගෙන පස්තාච්චි කුපාඩි වැඩවලට පිටරට ගියාම තමයි තේරෙන්නේ අපේ ඉංගිරිසි උච්ඡාරණය සමහරුන්ට තේරෙන්නේ නැති බව. උච්ඡාරණය ගැන කුමණ කතාද ඉංගිරිසි දැනුම පිළිබඳ ප්‍රශ්ණත් තියෙන කොට? මතකනේ වී.කේ. විරාජ් ජර්මනියට යන්න ප්ලෑන් කරපු හැටි?

පොඩි කාලේ ඉඳලා එක්කෝ ගෙදරින්ම නැත්තං එලකියුෂන් පන්ති ගිහින් පොෂ් ඉංගිරිසි කතාකරන්න ඉගෙනගෙන තිබෙන අයට නං ඒ ප්‍රශ්ණය එන්නේ නෑ බොහෝ දුරට.

ඔන්න අපේ පොරක් එක දවසක් මේ ගැන දුක් වෙනවා.

"ඇත්තටම අපේ තාත්තාට තිබුණා අපි වැඩි කාලයක් කොළඹත් හිටපු එකේ මාව එලකියුෂන් ක්ලාස් එකකට යවන්න! ෂිහ්!"

අනේ, මුගේ තාත්තයි අම්මයි දෙන්නාම රජයේ සේවයේ කඹුරලා, ළමයින්ව කොළඹ ඉස්කෝලවලට යවලා ඉගෙන ගන්න පහසුකම් සපයලා දීලා, අන්තිමේදී මෙන්න අහගන්න වෙන කතන්දර!

ඇත්තටම මූ තාත්තටත් කිව්වද මන්දා ඔය කතාව මූණටම?

ඔය කතාව මං කියවා අහලා අපේ රත්නායක මහත්තයා කිව්වේ මෙච්චරයි.

"අයියෝ, පොර කොහොමද එලකියුෂන් දන්නේ කොළඹ ඉඳලා. අපේ ගමේ නං එලකියුෂන් වැහි වැහැලා. ගමේ ගොඩේ හැම වැටකටම ඉන්දලා තියෙන්නේ ඒවානේ. අපි නොදන්න එලකියුෂන්!"

දාන්න රත්නායක මහත්තයා පහක්!

-කතන්දර

ප/ලි:
මේ අදට යෙදී ඇති රත්නායක මහත්තයා ගේ උපන් දිනය වෙනුවෙන් ප්‍රකාශයට පත්කෙරෙන දෙවෙනි කතන්දරයයි.

මෙන්න රත්නායක කතන්දර ලේඛනය
රත්නායක ජෝක්ස්
රත්නායක මහත්තයා ගෑණුන් ගේ xxx හොයපු හැටි
රමණී මෙතඩ්
පුරාතන මධ්‍යතන නූතන
එසේම වේවා
මී කිරිවල ගුණ
කටුබැද්දේ කුකුල්ලු දෙන්නා
අරක්කු ඕනා, කෝක් වානා
කීප් එ සයිඩ් - Keep aside - අන්තර්ජාලයේ ඉවුං පිහුං
රත්නායක මහත්තයා ගේ තවත් වැඩකිඩ
රත්නායක මහත්තයා ගේ ඉටිරෙද්ද

(image: http://ahamas.glogster.com/my-fair-lady/)

රත්නායක මහත්තයා ගේ ඉටිරෙද්ද : Kabara-proofing Ramani Method


රත්නායක මහත්තයා කියන්නේ කතන්දර බ්ලොග් එක කියවන බොහෝ දෙනෙකු හොඳන් දන්නා කියන කෙනෙක් නේ. මං පොර ගැන ලියපු කතන්දර සේරම ලයිස්තුව පල්ලෙහා දාලා තියෙනවා නොදන්න අයට බලාගන්න.

අද රත්නායක ගේ උපන් දිනය නිසා මට හිතුණා තව කතන්දර කීපයක් ම පලකරන්න.

ඔන්න කාලෙකට ඉස්සර දවසක රත්නායක මහත්තයා සිය පවුලත් සමග දුර බැහැර මිතුරෙකුගේ නිවසට ගියා. මේ මිතුරා අළුතින් නිවසක් සාදා ඒ ගෙට ගෙවැදීම වෙනුවෙනුයි මේ ගමන යෙදුනේ.

එදා ටිකක් සීතල දවසක්. නමුත් ඉතිං සීතල බියර් එකක් දැක්කාම සීතල කියලා අත හරින්න පුළුවනී යැ, නේද?

ඒ මදිවට එකක් නං මොකෝ. මේ නව නිවෙස හිමිකරු මිතුරා බෝතල් මහ ගොඩක් ගෙනැල්ලා නොවැ!

ඉතිං ඔහොම ඔහොම කාලය ගෙවුණා. මස් දීසි ඉවර වුණා. සින්දු කවි කෙරුණා. ජෝතිපාලව විතරක් නෙමේ අර හොඳට ඉන්න අමරදේවවත් නොමරා මැරුණා!

බත් කාලා ඉවරවෙනකොට රාත්‍රී දොලහත් පහු වුනාලු.

මේ දවස්වල රත්නායක මහත්තයා ගේ දෝණී අත දරුවෙක් හින්දා ගෙදර ඇත්තෝ රත්නායක පවුලට තමන්ගේ නිදන කාමරේම දුන්නා.

අනිත් ඈයෝ ඉතිං සාලේ පැදුරු එලං නිදාගත්තා.

පහුවදා ඔන්න හතට විතර අපි නැගිටලා උදේ තේ බොමින් ඉන්න අතරේ රත්නායක මහත්තයා නැගිටලා, නාලා, ඇඳ පැළඳගෙන ආවා කෑම කාමරෙ පැත්තට.

"රමණී, මොකක්ද අර ඉටිරෙදි දෙකක් තියෙන්නේ ඇඳේ?" රත්නායක මහත්තයා ඒ ඇහැව්වෙ රමණී නෝනා මහත්තයාගෙන්.

රමණී මොකුත් නොකියා හිටියා.

ඇතුලත ගිණි පිටට නොදෙනු කියලා කිව්වානේ!

පස්සේ බැලින්නම් මේකයි කේස් එක.

රත්නායක මහත්තයාට බියර් කුප්පි දෙක වැඩි වෙලා පොඩි පහේ කබරයෙක් ගියොත් අළුතින් හදපු ගෙදර ටෙරාසෝ බිම, අළුත් ඇඳ, ඇඳ ඇතිරිලි වැනසේය කියලා බයවෙච්ච රමණී නෝනා ඇඳේ රත්නායක මහත්තයා ගේ පැත්තටයි, ඒ පැත්තේ බිමටයි ඉටිරෙදි දාලායි ඊයේ රෑ නිදාගෙන තියෙන්නේ.

ඇතුලත ගිණි පිටට නොදෙනු එක්කම කියල දෙන එකක්ද මන්දා අර සූදානම් සරීරේ කියන කතාව?

රත්නායක මහත්තයාට ශුභ උපන් දිනයක් වේවා!

-කතන්දරකාරයා

ප/ලි:
අද සවස රත්නායක මහත්තයා ගේ නිවසේ දී පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහයේ දී කියන්නට මා ලියූ හිටිවන කවිය මෙන්න.

ශීතකරණයේ ලූ සීතල බියරේ
රස ගුණ නොමද විඳගන්නා අතරතුරේ
ඔබ දිවිමගේ අද ඇරඹෙන නව වසරේ
මහැදුරුකම ලැබේවා පතනෙමි මිතුරේ


මංතුමා ඉතිං සති ගාණකට කලින්ම බ්ලොග් එකේ ලිපි දාලා උදේ හයට පබ්ලිෂ් වෙන්න සෙට් කරලා තියෙන කෙනෙක්නේ. හිටිවන කවිය වුනත් කලින්ම ලියලයි තියෙන්නේ.

ප/ප/ලි:
මෙන්න රත්නායක කතන්දර ලේඛනය
රත්නායක ජෝක්ස්
රත්නායක මහත්තයා ගෑණුන් ගේ xxx හොයපු හැටි
රමණී මෙතඩ්
පුරාතන මධ්‍යතන නූතන
එසේම වේවා
මී කිරිවල ගුණ
කටුබැද්දේ කුකුල්ලු දෙන්නා
අරක්කු ඕනා, කෝක් වානා
කීප් එ සයිඩ් - Keep aside - අන්තර්ජාලයේ ඉවුං පිහුං
රත්නායක මහත්තයා ගේ තවත් වැඩකිඩ

(image: http://test.ical.ly/2011/07/28/today-is-the-day-symfony-2-0-is-being-released/)

Friday, 3 June 2011

පුරාතන, මධ්‍යතන සහ නූතන - Ancient, Medieval and Modern (Hey, wait-a-minute!)



PamelaJuliaCalista
මේ දේශපාලන කරුණක් ගැන කෙරෙන තර්කයක් හෙම නං නෙමෙයි. ඒක හින්දා, සාමාන්‍යයෙන් විහිළු කතන්දර ලියන මංතුමා, ඉඳලා හිටලා එක්කෝ පොලිටික්ස් කතා කරන කෙනෙක් ලියපු පොතක් ගැන පෝස්ට් එකක් ලිව්වොත් හරි, නැත්තං මගේ කතාවක ලාවට වගේ මේ කියන කෂ්ටියට බූදලයෙන් අයිති වෙලා තියෙන පොලිටිකල් ග්ලොසරියෙන් වචනයක් හෝ වැරදිලා ලියවිලා තිබුණොත් හරි, මේ අහිංසක මට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන පොලිටිකල් ඇනිමල්ස් ලා මේකට කලබල වෙන්න හේතුවක් නෑ.

දැන් ටික කාලෙකට කලින් අපේ රත්නායක මහත්තයා එක්ක කයියක් දිදී ඉන්න වෙලාවක ඉගෙන ගත්තු මේ කරුණු බ්ලොග් එකේ ලියන්නද නොලියන්නද කියලා මාස ගානක් තිස්සේ හිත හිත ඉඳලා, ඔන්න අද හිතුණා, ඕ.පූ. වේවා, ඔන්න ඔහේ ලියලා දානවා කියලා.

පුක කියන්නේ කුණුහරුපයක් නොවේය කියා තර්ක කරලා, පx යනු පදාර්ථයක්ද, පරමාණුවක් ද? කියන කතන්දරෙත් ලියපු මට මේක ලියන එක මහ කජ්ජක් ද නේද?

මේ කතන්දරේ සිහියට එන්න මූලික හේතුව වුනේ පසුගිය දවසක පත්තරේක ගිය ලිපියකද කොහෙද කියවපු කතාවක්.

"අතීතයේ ඉඳල වර්තමානය දක්වා ඉතිහාසය සලකා බලන කොට, ලංකාව එන්න එන්නම පිරිහිලා!" කියලයි මේ ලිපියේ කියන්නේ.

ලංකාව විතරක් නෙමේ මුළු ලෝකෙම එහෙමයි කියන එකයි මගේ මතය.

"මේ නූතන යුගයේ මිනිසත් බව කියන එක ටිකෙන් ටික නැතිවෙලා යමින් තියෙනවා."

ඒක ඇත්ත! තවත් මිනිහෙක් මැරුණාය කියල අහල සතුටු වෙන්න නම්, තමන් ගේ මිනිසත්කම ටිකක් හරි කොම්ප්‍රොමයිස් නොකර බෑ කියලයි මට නම් හිතෙන්නේ.

ඔතන ඔය නූතන යුගය ගැන කියවෙද්දී මතක තියාගන්න ඕනෑ, ඉතිහාසය ගැන කතා කරද්දී, සාමාන්‍යයෙන් යුග තුනක් ගැන කතා වෙන බව.

පුරාතන, මධ්‍යතන සහ නූතන යුගය.

දැන් රත්නායක මහත්තාය කියන විදියට, ඔය තුන අර්ථ දැක්වෙන්නේ මෙහෙමයි.

පුරාතන කියන්නේ අපි කවුරුත් සැමදා ආදරයෙන් සිහි කරන කිරියෙන් ඉතිරී ගිය, සම්පතින් ආධ්‍ය වූ සශ්‍රීක එකක්. මතක් වුනත් සිත ඔකද වෙනවා! හදවත කින්කින් වෙනවා.

මධ්‍යතනත් නරකම නෑ. අපි බොහෝ දෙනෙකු කැමති දෙයක් තමයි. පුරාතනය තරම් නැති වුනත්, මධ්‍යතනත් කිරියෙන්, සම්පතින් පිරී ගිය එකක්.

ඒකටත් එක්ක නූතනය. කියලා වැඩක් නෑ, අන්තිමයි. කවද හරි වැඩි දියුණු කරල ගත්තෙ නැත්තං කාටවත් වැඩක් වෙයි ද මන්දා.

-කතන්දරකාරයා

ප/ලි:
සිංහල භාෂාව මරු භාෂාවක්. ඒත් ගොන්නු තාමත් කන්නේ තණ නේද? ඒ හින්දා ද මන්දා මට මේ කතන්දරේ ලියන්න සෑහෙන වෙලාවක් ගියා.

ඔය උඩින් දාලා තියෙන ෆොටෝ හොයා ගන්න නම් වැඩි වෙලාවක් ගියේ නෑ.

ප/ප/ලි
ස්ටාටරේ ගහල ගිහින් තියෙන ටියුබ් ලයිට් කෂ්ටිය මට ඊ-මේල් එකක් එවන්න. කතන්දරඇට්ජීමේල්ඩොට්කොම්

(Photos from: http://au.askmen.com/)

Monday, 18 April 2011

කතන්දරකාරයා චීන ක්‍රමයෙන් සුගන්ධිකා ගේ XXX හොයපු හැටි - A Chinese method to find XXX of females


චීනකණ්ණාඩිය (චීනක්කණ්ණාඩිය ලෙසින් උච්චාරණය කරන්න) කියන්නේ ඈත තියෙන දේවල් හොයා ගන්න පුළුවන් දුරේක්‍ෂයට.

චීන කටු චිකිත්සාව කියන්නේ නිල අල්ලා ඉඳිකටු ගහලා ලෙඩ සනීප කරන ක්‍රමේකට.

චීන අඩි කියන්නේ පුරාණ සටන් ක්‍රමයකට.

අද මං මේ කියන්න යන්නේ වෙනත් පුරාණ චීන ක්‍රමයක් උපයෝගී කරගෙන කතන්දරකාරයා ගේ සුගන්ධිකා කියන ලේඩීස් නෝනා ගේ XXX හොයපු විදියයි.

මේක අර රත්නායක මහත්තයා ගෑනුන් ගේ XXX හොයන විදියට වඩා සෑහෙන්න වෙනස් එකක්. මගේ පර රස්සා විජාණන ඥාණය වගේ අහම්බෙන් වගේ සෙට් වෙලා ටක්කෙටම හරිගිය දෙයක් කියලා කියන්න පුළුවන්.

සුගන්ධිකා අක්කයි, සුසිල් අයියයි අපි හොඳට දන්න ජෝඩුවක්. සුසිල් අයියා මාර ගිටාරිස්ට්. ඒකට හරියන්න සුගන්ධිකා අක්කා හොඳ වෝකලිස්ට්. සුජාතා අත්තනායක පරාදයි!

ඔන්න දැන් කාලෙකට ඉස්සර දවසක අපි දෙගොල්ලෝ මුණ ගැසුණා ප්‍රදර්ශණ භූමියකදී. ඔතන තිබුණා පොඩි ප්‍රදර්ශක කුටියක් චීන බඩු විසිතුරු බඩු තියෙන. එතෙනදි තමයි අපි දැනගත්තේ චීන කැලැන්ඩරේ ගැන.

චීන කැලැන්ඩරේ කියන්නේ අවුරුදු දොලහක නොනවතින චක්‍රයක්. හරියට අපි සූර්‍යයා වෘශ්චික, ධනු, මකර, කුම්භ වල රවුං ගහනවා වාගේ චීන කැලැන්ඩරේ අවුරුදු දොලහක සයිකල් එකක යනවා.

හැම අවුරුද්දම හැඳින්වෙන්නේ ඒ අවුරුද්ද අයිති සතෙකු ගේ නමින්. මේ සත්තු තමයි අශ්වයා, එළුවා, වඳුරා, කුකුළා, බල්ලා, ඌරා, මීයා, හරකා, කොටියා, හාවා, මකරා සහ සර්පයා.

හරකා (වෘෂභ) සහ මකරා විතරයි සමානකමකට තියෙන්නේ චීන රාශිවලයි අපි දන්නා රාශිවලයි.

උදාහරණයක් විදියට ගිය අවුරුද්ද (2010) චීන කැලැන්ඩරේට අනුව කොටියා ගේ අවුරුද්ද. මේ අවුරුද්ද (2011) අයිති හාවාටයි. ලබන අවූරුද්ද මකරා ගේ.

අවුරුදු දොලහේ චක්‍රය ගතවෙලා ආපහු ඒ සත්තුන් ගේ අවුරුද්ද උදාවෙනවා. හරියට හැම මාස දොලහකටම පාරක් රවි මේසෙන් අයින් වෙලා ගොනාට අඳිනවා වාගේ.

ඉතිං මේ චීන කඩේ චීන කැලැන්ඩර් විස්තරේ බල බල ඉන්න කොට අපේ සුගන්ධිකා අක්කා කියපි

"ආනේ! මායි දුයි දෙන්නම ඉපදිලා තියෙන්නේ එකම සතාගේ අවුරුද්දේ නේ!" කියලා.

මං මුවින් නොබැන හිටියා.

හැබැයි මගේ හිත ඇතුලේ කෙලින්ම වැඩ කලේ ඒ කතාවේ හැටියට එක්කෝ දුව ඉපදිලා තියෙන්නේ අම්මාට අවුරුදු විසිහතරේ දී හරි තිස් හයේ දී හරි කියලා. ඒ එක්කම අපි අක්කා ගේ දුවගේ අවුරුදු හතේ උපන් දිනයටත් ගිහින් තිබුණා ඒ වෙනකොට. ඔය සේරම එකතු කරලා, මං රත්නායක මහත්තයට හොයනවාට වඩා ඉතා පහසුවෙන් සුගන්ධිකාගේ XXX හොයා ගත්තා.

හැබැයි මං මුවින් නොබැන හිටියා.

සුළු පටුකාලයක් නෙමෙයි අවුරුදු අටක් ම.

ඔන්න සුගන්ධිකා අක්කගෙයි, සුසිල් අයියගෙයි දුවගේ දාහතරවෙනි බර්ත් ඩේ එකට අපිට ආරාධනා කරන්න කෝල් එකක් ආවා.

"මල්ලී, ලබන සෙනසුරාදා බර්ත් ඩේ එකකට ඉන්වයිට් කරන්නයි කතා කලේ."

"කාගෙද සුගන්ධිකා අක්කගෙද?"

"නෑ අපේ දුවගේ."

"හා අපි එන්නම්, ඇයි මේ අවුරුද්දේ නේද අක්ක ගේ අර ලොකුම ලොකු බර්ත් ඩේ එක තියෙන්නේ?"

"මේ කොල්ලෝ මේ, උඹට ටොකු කන්න ඕනැද ඕවා මතක් කරලා?"

"හිකිස්!"

"ඇත්තටම බං, උඹ කොහොමද සුගන්ධිකා ගේ වයස දන්නේ?"

"මං ඒක චීන ක්‍රමයකින් හොයා ගත්තේ, මෙන්න මෙහෙම... ..."

-කතන්දරකාරයා

ප/ලි
ගෑනුන් ගේ වයසයි, මිනිස්සුන් ගේ පඩියයි අහන්න එපා කියලා පුරාණ සෘෂිවරු කියලා තියෙන බව අමතක කරන්න එපා. මෙතන XXX කියා ලියා තියෙන්නේ ඒ තහනම නිසයි!


(image: http://www.theselfishgene.com/the-12-chinese-zodiac-sign/)

Monday, 4 April 2011

මටාටා ටිටා - රා බොමු ද?


මේ කතන්දරේ ලියන්න නිමිත්ත වුනේ ආණ්ඩුවෙන් කිතුල් මල් මදින්න පර්මිට් ගන්න ඕනෑය කියලා දාලා තිබුණු නීතිය අහෝසි කරන්න යනවාය කියන ආරංචිය ගැන W3Lanka දාලා තිබුණ ලිපියයි.

කිතුල් මල් කපල, මැදල, තෙලිජ්ජ අරගෙන රා පෙරනවා කියන්නේ හොඳට එලිමහනේ හැමෝටම පේන්න කරන්න සිද්ධ වෙන වැඩක් නේ. රා පෙරීම ගැන රටේ නීති තද කිරීම නිසා, හොර රහසේ කළ හැකි කෂියා නිෂ්පාදනය සහ කෂියා බීම මිනිස්සු අතර වැඩි වුණු බවයි පොදු පිළිගැනීම.

"සීනි කරිඤ්ඤං", "ගල් බමුණා", "අල හොඳි", "දෙංඤං මචං" වගේ අතීත කාල කෂියා වර්ග පරදවලා "කටු කම්බි" බජාර් එකට ඇවිල්ලා රජ කරන්න පටන් ගත්තේ, ඔය රා බිස්නස් බැස්සට පස්සෙලු.

ආයෙ කිතුලක් මදින්න ඉඩ දුන්න වුනත්, කෂියා ගහලා ඇඟ කුරෝලු කර ගත්තු උන් නම් කොච්චර කළත් ආපහු රා කට්ට ගහන්න සෙට් වෙයි ද කියන එක නං සැකයි.

මේ ලඟදි, අපේ රත්නායක මහත්තයා ගේ ගෙදරට ආපු කෂ්ටියකගෙන්, වයින් පොඩ්ඩක් බොමුද කියල ඇහැව්වහම, ඒ නෝන කිව්වලු, අනේ, වයින් නම් බිව්වට වැඩක් නෑ අනේ, කිසි ගතියක් නෑ! කියලා.

වයින් වලට වයින් නොවෙන කෂ්ටිය ගේ කැමැත්ත ජින් වලටයි මයෙ හිතේ!

මාත් එකම එක දවසක් රා බීල තියෙනව. කිතුල් රා. ඒ බිව්වේත් කිතුල්ගල දී. අර ඩේවිඩ් ලීන් ගේ බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි කියන මූවි එක හදපු තැන, ගං ඉවුරේ වාඩි වෙලා.

එදා රා බොන ගමන්, තම්බපු මයියොක්කා සැර ලුණුමිරිසක් එක්ක කාපු බවත් මතකයි.

ඔය කිතුල්ගල ගිය ගමනේ දී අහපු රා සින්දුවක් තමයි මේක. පොඩ්ඩක් විතර රස්ට් වෙලා දැන්.

(තාලය: මුණී නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ)

ඇගේ රා ටික නං හරිම හොඳයි
විස්කි වගේමයි
ගැහැව්වම හොඳට වදිනවා
ඇගේ රා ටික නං හරිම ප්‍රනීතයි

නාලාගිරි ඇතා බිව්වෙ ඇම්බසඩර් රා
සිදුහත් හට බුදු වෙන්නට උදව් වුනෙත් රා
වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා

ඇගේ රා ටික නං හරිම හොඳයි
විස්කි වගේමයි
ගැහැව්වම හොඳට වදිනවා
ඇගේ රා ටික නං හරිම ප්‍රනීතයි

මෛත්‍රිපාල සේනා-නායකලත් බොන රා
සිරිම ට අගමැති වෙන්නට උදව් වුනෙත් රා
වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා

ඇගේ රා ටික නං හරිම හොඳයි
විස්කි වගේමයි
ගැහැව්වම හොඳට වදිනවා
ඇගේ රා ටික නං හරිම ප්‍රනීතයි


මේ සින්දුව රා බීලා, මයියොක්ක කන ගමන් විතරක් නෙමේ ගල් පොල් බීල උම්බලකඩ කන ගමන් වුනත් කියන්න පුළුවන් එකක්.

එදා කිතුල්ගලදී බිව්වට පස්සේ නං මං රා බීල නෑ, හැබැයි.

බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි මූවි එකේ සෙට් එක හදපු තැනට විතරක් නෙමේ, පස්තාච්චි කුපාඩි කාලේ, මං ඇත්තම ක්වායි ගඟේ පාලම තිබුණු තැනටත් ගිහින් තියෙනවා.

-කතන්දරකාරයා

ප/ලි
මත්පැන් ගැන මගේ අවවාදය මෙන්න මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com/2009/11/blog-post.html

ඩිස්ක්ලේමර්: දිස් බ්ලොග් ඩස් නොට් එන්ඩෝස් ඩ්‍රින්කින් ඇල්කොහොල් - ගල්, පොල්, කෂියා, රා, ඕ රංග මාකටින් බ්‍රෑන්ඩ්ස්. මටාටා ටිටා.

ප/ප/ලි:
මං කලින් දෙපාරම W3Lanka ගැන සඳහන් කරපු කතන්දර දැම්ම වෙලේ W3Lanka එක්ක ඔරොප්පු පොරවල් මාව කන්න සෙට් වුණා.

බලමු n=3 තත්වය...!!!


(image: http://en.wikipedia.org/wiki/File:Kitulgala-bridge.jpg)

Friday, 14 May 2010

හීල් බත්, අළුත් බත් සහ රමණී මෙතඩ්


මේක කෑම ගැන කතන්දරයක්. හැබැයි කෑම උයන හැටි ගැන නෙමේ කෑම කන හැටි ගැනයි.

රමණී කියන්නේ අපේ යාළුවෙක්. අර කීප්-අ-සයිඩ් ක්‍රමයට අන්තර්ජාලෙන් කෑම උයන්න පුරුදු වුනු රත්නායක කියන මගේ මිත්‍රයා ගේ ප්‍රිය බිරිඳ.

ඔය රත්නායක වැඩියෙන් ප්‍රසිද්ධ රත්නායක ජෝක්ස් දාන්න බව මතකයි නේ? රමණී හරිම සිරියස්. වැඩි ජෝක්ස් බෝක්ස් නෑ.

ඉතිං කතාව වියෙන්නේ මෙන්න මෙහෙමයි.

දැන් අපේ ගෙවල් වල දවල්ට හරි රෑට හරි ඉව්වහම සමහර විට ඉතුරු වෙනවනේ. ඉස්සර අපේ ආච්චිල ගෙ ගෙදර නම් ප්‍රියතම කෑමක් තමා හීල් බත් කෑම.

හීල් බත් කියන්නේ රෑට උයලා කෑවට පස්සේ ඉතුරුවෙන බත් සහ හොදි මාළුපිණි කුස්සියෙ ඒ ඇතිලිවලම තියල උදේට රත්කරගෙන කන එක. අපේ ආච්චිල ගෙ කෂ්ටිය කොච්චර ඔය හීල් බතට කැමතිද කියනවනම් රෑට වැඩිපුර උයනව පහුවදා උදේට කන්නත් එක්ක.

මට නම් එදත්, අදත් හීල් බත් පෙන්නන්න බෑ. කවදත් කන්න කැමති පාන් ම තමා. අපේ තාත්ත ඊටත් එහා, කන්නෙම බනිස්.

ඒ කාලෙ ආච්චිලට හීල් බත් කන්න පුළුවන් වුනේ එකක් ඒ පැත්ත රෑට හරිම හීතල හින්ද කෑම නරක් වෙන්නෙ නැති නිසයි. ඒ කාලෙ ඔය ශීතකරණ තිබුනෙ නෑ එහෙ. කොහොමටත් මං හිතන්නෙ නෑ, රෑට ෆ්‍රිජ් එකේ දාපු කෑම උදේට කන එක හීල් බත් කෑමක් කියල. රහ වෙනස් ඇති. දන්නෝ දනිති.

රෑට හරි දවල්ට හරි උයල කන්න යන වෙලාවට ඊට කලින් වේලට උයපු බත් හරි හොදි ජාති හරි තියෙනවනං අපි කරන්නෙ ඉස්සෙල්ලාම අර පරණ බත්, හොදි බෙදාගන්න එකයි. මොකද ඒව ඉවර කරල එපායැ අළුතින් උයපු ඒව කන්න, නේද?

රමණී ඒ වැඩේට විරුද්ධයි.

එයා කියන්නෙ අපි ඉස්සෙල්ල කන්න ඕනැ, අළුතින් උයපු බත් සහ හොදි ජාති කියලයි.

රමණි ගෙ තර්කය තමයි, එහෙම නොකලොත් අපිට හැම වේලටම පරණ බතුයි හොදියි කන්න තමයි වෙන්නෙ කියල. ඇයි දැන් පරණ ඒව කෑවහම, අළුතින් උයපු ඒව ඉතුරු වෙලා, ඊලඟ වේලට කන්න වෙන්න ඉඩ තියෙනවනේ.

ඔන්න ඕකට තමයි මං කියන්නෙ "රමණි මෙතඩ්" එක කියලා.

කතන්දරකාරයා

ප/ලිඃ
චූ කතන්දර සීරිස් එකට පස්සෙ අද පටන් ගන්න හිටිය කඳුළු කතන්දර වැල පොඩ්ඩක් කල් දැම්මා.

අපේ කෂ්ටිය වැඩි දෙනෙක් කඳුලු කතන්දර වලට කැමතිම නැහැල්ලු!

Wednesday, 14 April 2010

එසේම වේවා!!! -කතන්දරකාරයාගෙන් ටෙලිෆෝන් පණිවිඩයක්


අද උදේම මං දැම්ම මගේ මිත්‍රයෙකුට කෝල් එකක්. මේ අපේ ප්‍රාණප්‍රිය මිත්‍ර රත්නායක. මතකයි නේද? අර රත්නායක ජෝක් වල නිර්මාතෘ සහ කීප්-අ-සයිඩ් ඉන්ටර්නෙට් කුකිං වලට දක්‍ෂයා.

පොර ඒ පැත්තෙන් "හලෝ" කියන්නත් කලින්ම මං මෙන්න මෙහෙම අළුත් අවුරුද්දට සුභ පැතුවා.

"එසේම වේවා!"

මං එහෙම කිව්වෙ මොකද කියල පැහැදිලියි නේ?

ඔය "එසේම වේවා" කියන කෑල්ල තමයි මේ දවස්වල සිංහල මිනිස්සු අතර වඩාත්ම භාවිතාවෙන "ග්‍රීටින්" එක.

හොඳ සිංහලෙන් ඕකට කියන්නේ "සේම් ටු යූ". ඒ කියන්නෙ "ඔබට එසේම".

මේ සුමානෙ මුල ඉඳල, එස්.එම්.එස්, ටෙලිෆෝන් කොල්ස්, ඊමේල් මේ සේරගෙම සිංහල අළුත් අවුරුදු සුභභැතුම් පිරිල ඉතිරිල ගිහින්. ඒ මදිවට, මූණු පොතට ඉමේජස් දාල ඒව අපේ නම් වලින් ටැග් කරල ඒවායින් එන කමෙන්ට්ස් සහිත ඊමේල්.

කොටින්ම මගේ ඊමේල් එකවුන්ට් දෙකේම නොබලපු ඊමේල් ගාන 500 පන්නල.

ඔන්න එක මිත්‍ර සමාගමක යාළුවෙක් යවනව දන්න හැමෝටම ඊමේල් එකක් අවුරුද්දට සුභ පතල "සුභ අළුත් අවුරුද්දක් වේවා!" කියල.

ඔන්න දැන් ඕකට එනව උත්තර හැට හුට හාමරක්. ඒ සේරගෙම වගෙ තියෙන්නෙ "සේම් ටු යූ - එසේම වේවා!!!" කියලයි.

ඕව බැලුවට පස්සෙයි මට තේරුණේ වඩාත් ම ජනප්‍රිය අළුත් අවුරුද්දට සුභ පැතුම, "ග්‍රීටින් එක", මොකක්ද කියල.

ඉතිං මං කිව්ව මගේ මිත්‍රයට "එසේම වේවා!" කියල.

මෙන්න පොර දුන්න උත්තරේ.

"එසේම වේවා!"

කතන්දරකාරයා
ප/ලිඃ ඔබ සැමටත් "එසේම වේවා!"

ප/ප/ලිඃ අවුරුද්දෙ අඩුවක් හෙම දැනුනෙ නැත්ද?

Wednesday, 31 March 2010

රත්නායක ජෝක්ස් - a new classification of jokes


අද කතන්දරේ ජෝක්ස් ගැනයි. හැබැයි මේක ජෝක් එකක් කියල නං හිතන්න එපා, හරිය?

දන්නව නේද අපේ සමහර කෂ්ටිය ඉන්නව ඒ ගොල්ලන්ට බොහොමයක් දේවල් වගේම ජෝක් එකක් වුනත් ටියුබ් ලයිට්!

ඔය ටියුබ් ලයිට් කතාව තේරුණේ නැති අයට පොඩ්ඩක් විතර විස්තර කරල දෙන්නංකො මුලින්ම.

ටියුබ් ලයිට් එකක් පත්තු වෙන්නෙ ස්විච් එක දාල ටික වෙලාවක් ගියාට පස්සෙනේ. ජෝක් එකක් ටියුබ් ලයිට් කියන්නෙ අහල ටික වෙලාවකට පස්සෙයි ඒක තේරෙන්නෙ කියන එකයි.

ඒ එක්කම හැබැයි මේකත් මතක තියාගන්න. බෙට(ර්) ලේට් දැන් නෙව(ර්) කියල කියනවනෙ. ඒ වගේ, පරක්කු වෙලා හරි ටියුබ් ලයිට් එක පත්තුවෙනව නම් ඒ මදෑ. ඒකටත් එක්ක, ස්ටාටරේ ගහල ගිහිල්ල නං, ස්විච් එක දැම්මත්, කරන්ට් තිබුනත්, සැමදා අඳුරෙ තමයි!

ඔය ජෝක් සාමාන්‍යයෙන් ටියුබ් ලයිට් වෙන කෂ්ටිය ඒ වගේ එක ජෝක් එකකට තුන් පාරක් හිනාවෙන බව දන්නව නේද? ඒක වෙන්නෙ මෙන්න මෙහෙමයි.

  1. ඔන්න ජෝක් එක අහපු ගමං, අනිත් සේරම අය හිනාවෙන හින්ද හින්ද මුලින්ම හිනාවෙනව.

  2. ඊ ලඟට, ටියුබ් ලයිට් එක වැඩ කරල, ජෝක් එක ඇත්තටම තේරිලා, දෙවෙනි පාරට හිනා යනව.

  3. පස්සෙ ඔන්න හිතෙනව, මේ ජෝක් එකට මං මුල්ම සැරේ හිනාවුනේ ඇත්තටම ජෝක් එක තේරෙන්නෙ නැතුව නේද කියල. තුන්වෙනි පාර හිනාවෙන්නෙ ඒකටයි. ඒ කියන්නෙ තමන්ටමයි.

දැන් ඉතිං අපේ ප්‍රධාන කතන්දරේට බහිමුකෝ.

රත්නායක කියන්නෙ මගෙ හොඳ මිත්‍රයෙක්. අර, කීප් අ සයිඩ් ක්‍රමයට අන්තර්ජාලෙන් උයන්න ඉගෙන ගත්තෙ ඔන්න පොර තමයි.

මිනිහටම ආවේණික වුනේ නැතිවුනත්, ඔය රත්නායක ජෝක් කියල මං කියන්නෙ අපේ රත්නායක මහත්තය නිතරම කියන කරන ආකාරයේ විහිළු තහළු වලටයි.

විහිළු වර්ගීකරණය කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවනේ.

මුලින්ම, "සිරා ජෝක්ස්" සහ "මෝඩ ජොක්ස්".

"සිරා ජෝක්ස්" කියන්නෙ ජෝක් එක දාන එකා හිනාවෙන්නෙ නැතුව අනිත් අයට හිනා යනවනම් ලු. "මෝඩ ජෝකස්" කියන්නේ ජෝක් එක දාන එකා හිනාවුනත් අනිත් අයට හිනා යන්නෙ නැති ජෝක් වලටයි.

ඊලඟ වර්ගීකරණය තමයි "ක්ලැසික් ජෝක්ස්" සහ "පඩ ජෝක්ස්".

"ක්ලැසික් ජෝක්ස්" කී පාරක් අහල තිබුණත් අහන අහන සැරේට හිනා යනව. "පඩ ජෝක්ස්" කියන්නෙ හිනා වෙනව තියා එක පාරක්වත් අහගෙන ඉන්න බැරි ඒවට.

අනිත් වර්ගීකරණය තමයි "රත්නායක ජෝක්ස්" සහ "රත්නායක නොවන ජෝක්ස්".

සාමාන්‍යයෙන් අපි ජෝක් එකක් දාන්නෙ වෙනත් කෙනෙකුට හිනාවෙන්න බව අමුතුවෙන් කියන්න ඕනැ නෑනේ. සමහර වෙලාවට එකෙකුටම කොච්චර හිනාවෙනවද කියනව නං ඌව බයිට් එකට ගත්ත වගෙ වෙනව. අනුන්ගෙ වරදක් ගැන හරි, වැරදීමක් ගැන හරි, අඩුපාඩුවක් ගැන හරි, හිනාවෙන එකට තමයි පොදුවේ අපි ජෝක්ස් කියල කියන්නෙ. මෙන්න මේවා තමයි "රත්නායක නොවන ජෝක්ස්" කියල වර්ගීකරණය වෙන්නේ.

"රත්නායක ජෝක්ස්" කියන්නෙ මේ පොදු ජෝක්ස් වර්ගයට අයිති නොවෙන ඒවා. ඒ කියන්නේ, අනුන්ට හිනාවෙනව වෙනුවට තමන්ටම සරදම් කරගන්න ජෝක්ස්.

"රත්නායක ජෝක්ස්" දාන මං දන්න එකම කෙනා අපේ රත්නායක මහත්තය තමයි. මෙන්න පොඩි උදාහරණ කීපයක්.

මමඃ මචං උඹ හරක් මස් කනවද?
රත්නායකඃ අනේ නෑ බං, හරක් මස් කනවයැ, අපි කන්නෙ තණකොල නෙ?

මමඃ මචං, මට මේක කොහොම හරි හෙටම කරල දීපං.
රත්නායකඃ අපෝ බෑ බං, හෙට මං බිසි. අප්‍රියෙල් පලමුවෙනිද නේද? යකෝ මනුස්සයෙකුට උගේ උපන් දිනේ දවසෙවත් විවේකයක් නැද්ද?

මමඃ මොනවද බං උඹට තියෙන වැඩ රාජකාරි, උඹ ඔච්චර බිසිවෙන්න?
රත්නායකඃ ඇයි බං උඹ දන්නෙ නැත්ද, බල්ලට හෙමින් ගමනකුත් නෑ, ඇති වැඩකුත් නෑ.

තේරුණා නේද රත්නායක ජෝක්ස් කියන්නෙ මොනවද කියල? නැත්තං මේ ටිකත් කියවන්නකෝ.

ඔය කලින් තිබුණු කතාබහම අනිත් පැත්තට වුණා නම්, මෙන්න මෙහෙමයි.

රත්නායකඃ මචං උඹ හරක් මස් කනවද?
මමඃ අනේ නෑ බං, මං කොහොමද උඹේ මූණ බලාගෙන හරක් මස් කන්නෙ.

රත්නායකඃ මචං, මට මේක කොහොම හරි හෙටම කරල දීපං.
මමඃ ආ, හෙට අප්‍රියෙල් පලමුවෙනිද උඹේ උපන් දිනේ හින්ද නිවාඩුවක් දාන්නද යන්නේ?

රත්නායකඃ මොනවද බං උඹට තියෙන වැඩ රාජකාරි, උඹ ඔච්චර බිසිවෙන්න?
මමඃ උඹ හිතන්නෙ මාත් උඹ වගේම හෙමින් ගමනකුත් නෑ, ඇති වැඩකුත් නෑ කියලද?

දැන් තේරුණා නේද රත්නායක ජෝක්ස් කියන්නෙ මොනවද කියල?

කතන්දරකාරයා

ප/ලි:
දැන් නං රත්නායක කාරය පොරගෙ නම වෙනස් කරල වගේ. ඉස්සර වගේ රත්නායක ජෝක්ස් දාන්නෙ නෑ!

Wednesday, 3 February 2010

කීප් එ සයිඩ් - Keep aside - අන්තර්ජාලයේ ඉවුං පිහුං



අපි පොඩි කාලෙ අපේ අම්ම ගියා කුකිං ක්ලාස් එකකට.

එතනදි එයා ඉගෙන ගත්තෙ කේක්, පුඩිං, ඩෙසර්ට් හදන හැටි, අයිසිං කරන හැටි වගේ දේවල්. අපේ අම්ම පොඩි කාලෙ ඉගෙන ගෙන තිබුනෙ අග්ගල, හැලප, ලැවරිය හදන්න විතරනෙ. ආච්චිල ගෙ ගෙදර දර ලිප් වල මොන කේක් ද?

අම්මගෙ කුකරි ක්ලාස් නිසා අපිත් ඉගෙන ගත්ත අළුත් වචන කීපයක්ම. "රෙසිපි එක", "ඉන්ග්‍රේඩියන්ට්ස්", "මෙතඩ් එක" වගේ දේවල්.

ඒ සේරටම වැඩිය අපි කැමති වුනේ පන්තිය ඉවර වෙලා ගෙදර එකකොට අම්ම අරං එන කේක් කෑල්ලටයි. ඒකට කිව්වෙ "ෂෙයාර් එක" කියල.

දැං නං අපි කාට කාටත් ඔය කෑම හදන හැටි ගැන ටෙලිවිෂන් එකෙන්, අන්තර්ජාලෙන් හෙමත් ඉගෙන ගන්න පුළුවන්නෙ. කෑම බීම ගැන අපේ මරේ ල, නොදරුවල, මුචලින්ද ල, බූරුබබාල ඇතුළු කිහිප දෙනෙක් එකතුවෙලා "කමු බොමු" කියල බ්ලොග් එකකුත් පටන් අරගෙන. ඒක කියවන වෙලාවෙ තමයි මේ කතන්දරේ මතක් වුනේ.

මේක අන්තර්ජාලෙන් කුකිං ඉගෙන ගන්න ගිය මගෙ යාළු පොරකට වෙච්ච වැඩක්.

ඔන්න පොරගෙ වයිෆ් සති අන්තයෙ ජොබ් එකක් කරන්න පටන් ගත්ත. එයා බැඳපු කාළෙ ඉඳල ළමයි බලාගෙන ගෙදර හිටිය රැකියාවක් නොකර. නමුත් "වැඩ රුපියල් පඩිය ඩොලර්" ආකාරයේ ජොබක් සෙට්වුනු නිසාද කොහෙද මේ ජොබ් එක පටන් ගත්ත.

මේ වෙනසත් සමගම මගෙ යාළුව පටන් ගත්ත උයන්න ඉගෙන ගන්න. මුලින්ම බත් එකක් රයිස් කුකර් එකේ. ඊට පස්සෙ පරිප්පුවක් හදන හැටි. සොසේජස් බදින හැටි වගේ සරල දේවල් ඊළඟට.

පොරට මේ කුකිං වැඩේ නැගල ගියා. මෑන්ස් ටිකෙන් ටික පටන් ගත්ත විවිධ කෑම ජාති හදන්න. කොහෙද මන්ද ඉන්දියන් කඩයකින් කාපු බටර් චිකන් ද, කොර්ම ද මොකක්ද එකක් රහ වැටිල ඔන්න පොර අන්තර්ජාලෙ සැරිසරල ඒකෙ රෙසිපි එක හොයාගෙන එක සෙනසුරාදාවක සෙට් වුනා උයන්න.

ඔන්න ඉස්සෙල්ලාම, මස් ටික කෑලි කපල, ලුනුයි, විනාකිරියි, කහයි මිශ්‍ර කරල ශීතකරණයේ තිබ්බ ඉන්ටර්නෙට් එකේ කියල තිබුණු හැටියට.

ඒ අතරේ තුනපහ, මිරිස්, අබ, සියඹලා මිශ්‍ර කරල හැදුව පේස්ට් එකක්. ඒක "කීප් එ සයිඩ්", දැනට පැත්තකින් තියන්න කියලයි කියල තිබුනෙ.

දැං, භාජනයක් ලිපේ තියල, තෙල් දාල, ටිකකින් අර ෆ්‍රිජ් එකේ දාල තිබුණු මස් ටික තෙම්පරාදු වෙන්න දැම්ම. ඊට පස්සෙ කිරි ටික මිශ්‍ර කරල මදගින්නේ විනාඩි 30 ක් විතර උයා ගන්න කියලයි උපදෙස් තිබුනෙ.

පොර ප්‍රින්ට් අවුට් එක කුස්සියෙ මේසෙ උඩ තියාගෙන ඒ උපදෙස් අකුරට ම ෆලෝ කළා.

පැය භාගයක් විතර ගියා, වයිෆුත් ආව ගෙදර "මොනවද අනේ ඔයා උයන්නෙ අද?" කියල අහගෙන.

අපේ පොර වීරය වගේ සාස්පාන ඇරල පෙන්නුව බටර් චිකන් එක!

හැබැයි, අර කඩේදි කාපු එක තරම් සුවඳක්, පාටක්, රසක් නැහැ!!

මේ මොනවද මේ කියල වයිෆ් අහන කොටයි පොරට මතක් වුනේ අර "කීප් එ සයිඩ්" කියල තිබුණු නිසා පැත්තකින් අරං තියපු කුළුබඩු අඹරපු පේස්ට් එක මස් වලට දැම්මෙ නෑ කියල.

ඇයි එහෙම කරන්න කියල තිබුනෙ නෑනෙ ඒ අන්තර්ජාලෙන් ගත්තු රෙසිපි එකේ!!!

කතන්දරකාරයා