Saturday 31 July 2010

අද එතැන් සිට ---- කතන්දර දාහක් ලියන්න පුළුවන් හොඳ ක්‍රමයක්


පරම්පරාවකට කලින් කාලෙක හිටිය හොඳම තීරු ලිපි රචකයෙකු, කාටූන් ශිල්පියෙකු සහ උපහාස රචකයෙකු තමයි තෙන්නකෝන්.

පොර ලියපු පොඩි එකාගේ ලියුම කියන තීරු ලිපිය අසමසම එකක්. තෙන්නකෝන් ම ලියල ඇඳපු, අම්ම, තාත්ත, අයිය, අක්ඛ, නංගි, මල්ලි, ආච්චි, සීය, බල්ල යනාදී පිරිවර ඉන්නා ලොකු පවුලක උපහාස කතා තියෙන කාටූන් එක, සමාජ සමයං, තාමත් පලවෙනවා. දැං නං ඒක ලියල අඳින්නේ දයා රාජපක්‍ෂ.

තෙන්නකෝන් ලියපු තවත් තීරු ලිපියක් තමයි - "අනේ ඌ නොහිටියා නං!" කියන එක. මේ කතාවල තිබුනේ අපි දන්න ඊසොප් ගේ වගේ සත්තු ඉන්න උපදේශණාත්මක කතාවක් අතර ගෙන ඒකේ අග වෙනස් කරල ඉස්සරහට ලියාගෙන යන එක. උදාහරණයක් ලෙස "කපුටා ගේ කටින් කේජු කෑල්ල පහලට වෙටෙන කොට, නරියා එතන නොහිටියා නං?" වගේ මාතෘකා.

මේ ජාතියෙම පොර ලියපු තව කතා සෙට් එකක් තමයි - අපි දන්න ජනකතා වගේ ඒවගේ දෙවන කොටසක් ලිවීම. උදාහරණයක් විදියට "යකෙක් කන්න බඩගිණියි" කියන කතාවේ යකා ආපහු ගියාට පස්සෙ වෙන දේවල් හෙම.

මට මේ සේරම කතන්දර මතකයට ආවේ සම්පත් බණ්ඩාර කියන කතන්දර බ්ලොග් එකේ පාඨකයෙක් ලියල එවල තියෙන මෙන්න මේ කතන්දරේ දැක්කහමයි.

=========================================================
මෙන්න මේකයි සම්පත් බණ්ඩාර එවල තියෙන කතාව......
=========================================================
අර දර කපන්න කැලේට ගිහින් දර කපද්දි පොරව ගගට වැ‍ටුන සිද්දිය මම හිතන්නෙ හැමොම වගේ අහල තියනව. දන්නෙ නැති අය දන්න කෙනෙක්ගෙන් අහගන්න.

මේ දර කපන්නගෙ කතාවෙ දෙවෙනි කොටස...

ඉතින් අන්තිමට දර කපන්නට පොරෝ තුනක් ම හම්බ උනානෙ. ඒ කියන්නෙ මිනිහගෙ අවංක කම ගැන පැහැදිලා දෙයියො දුන්නනෙ. ඉතින් මිනිහත් අවංක, අහිංසක, නිහතමානී මනුස්සය නිසා වැඩිය උඩ පනින්ඩ දගලන්ඩ ගියේ නෑ. පාඩුවෙ පරන රස්සාවම කරගෙන ඉන්නව. හැබැයි ඉතින් රත්තරන්, රිදී පොරෝ දේක විකුනල ගත්ත සල්ලිවලින් හොද ලස්සන පොඩි ගේකුයි (මිනිහ මොල කාරය, දන්නව ලොකු ගෙවල් හදන්ඩ ගියොත් ඇනෙනව කියල) දර අදින්ඩ කරත්තෙකුයි එහෙම අරගෙන ටිකක් පිලිවෙලකට ඉන්නව. හැබැයි කරන්නෙ පරන රස්සවමයි.

ඉතින් ඔහොම ඉන්නකොට දැන් ගෙදරට අඩු "වලළු දාපු අතක්" තමයි. කෙල්ලො නම් වැහි වැහැල ලු මිනිහ බදින්ඩ. (ඇයි සල්ලි කාරයනෙ) ඒ උනාට මිනිහ පුලුවන් තරම් හොයල බලල හොද දෑවැද්දකුත් ඒක්ක පට්ට කෑල්ලක් බැන්දලු. දැන් සෙරම හරි කියල තමයි මිනිහ හිතාගෙන ඉදල තියෙන්නෙ.

ඉති ඔහොම ටික කාලයක් යද්දි (වැඩි කල් නෑ හය මාසයයි....??????? නෑ..නෑ...බබෙක් නෙවෙයි) හැමෝටම වෙනව වගෙ මෑන්ටත් හිතුනලු මේක කරගත්ත මෝඩකම කියල.

වෙන මොකුත් හින්ද නෙමෙයි, කොයි වෙලාවෙත්:

"කොහෙද යන්නෙ?"
"ඇයි යන්නෙ?"
"කාත් එක්කද යන්නෙ?"
"ඇයි තනියෙන් යන්නෙ?",
"කීයටද එන්නෙ?"
"බ්ලා....බ්ලා....බ්ලා..."

ගොඩයි ලු.

අපිට වගේ නෙවෙයිනෙ, මිනිහට මේක පුරුදු නැති නිසා මල වදයක් වෙලා.

ඔහොම ටික දවසක් යනකොට යනකොට අනවශ්්‍ය දේවලුත් අහන්ඩ පටන් ගත්ත ලු.

"මේ.... මම මේ අහන්ඩමයි හිටියෙ... ඔයා දර කපන එක විතරනෙ රස්සාවකට කරන්නෙ. ඉතින් කොහොමද මෙච්චර සල්ලි හබ්බ කරේ...?"

ඉතින් මිනිහත් ඕකට උත්තර දෙන්නෙ නැතිව හැමදාම මග අරිනව ලු. අන්තිමට දවසක් උත්තර නොදී මගාරින්ඩ බැරිම උනා ලු. අනේ අර අහින්සකය සේරම විස්තරේ කියලා වයිෆ් එක්ක.

ඉවරයි! දැන් දන්නවනෙ කට්ටිය මොකද වෙන්නෙ කියල?

දැන් "අනේ මට එතන බලන්ඩ යන්ඩ ඕනෑ!" කියල මල වදයක් දෙනවලු වයිෆ්.

අන්තිමට බේරගන්ඩම බැරි තැන "හරි යමු පෙන්නන්ඩ " කිවුව විතරලු මෙන්න විනාඩි පහෙන් ඇදගෙනත් ඉවරයිලු.

කොහොම කොහොම හරි තැන හොයාගෙන ගිහිල්ල. දැන් වයිෆ්ට මාර ආතල් ලු. දැන් ඉතින් අයෙ ප්‍රශ්න වැලයිලු.

"ආනේ, මෙතනද?"
"ඔයට ෂුවර් ද?"
"කොතන ගහ ද?"
"දෙයිය ආවෙ කොහෙන්ද?"
"කොයි පැත්තෙන්ද?"

අන්තිම ප්‍රශ්ණය: "පොරව වැ‍ටුනෙ කොතනින්ද...?" කියල අහපුවම දර කපන්න කිව්වලු "මෙන්න මෙතනින්" කියල.

එතකොටම "හානේ, මෙතනින්ද?" කියල ගඟට නැමුන ලු. කකුල ලිස්සුව ලු.

"ජබොක්....!!!"

වයිෆ් ගඟේ ලු. මලා! (නෑ තම මලේ නෑ).

මොනව කිවුවත් කලත් වයිෆ් නෙ. දුකට, සැපට, මොකට උනත් අසනීපයක් උනත් ආදරෙන් බලගන්නෙ වයිෆ් නේද?
කියල මිනිහට එකපාරටම මතක්වෙලා. (අපි වගේමයි පොරත්) ඔලුවෙ අත් දෙක ගගහ අඩනව ලු.

"අනේ, මොකක්ද මේ උනේ?"

"මගෙ රත්තරං වස්තූව, මගෙ මැණික, පැටියෝ..." කිය කිය දැන් මර ල‍තෝනි දෙනව ලු.

ඔන්න මිනිහගෙ වෙලාව හොදකම කියන්නෙ, දෙයියා අදත් ඉන්නව ලු වෙලවට ලඟ පාතම. මොකද සීන් එක කියල බලනව ලු දෙයියො දැන්.

"ආ! මෙ අර මනුස්සයනෙ. හරි අවංක මනුස්සය. මොකද දන්නෙ නෑ, මේ පාර වෙලා තියෙන්නෙ" කියල ආවලු ලඟට.

දෙයියො දැක්ක ගමන් මිනිහට දෙයියෙක් දැක්ක වගේ හැපී ලු (ඈ, දෙයියෙක් නේන්නං ආවෙ).

ඉතින් දෙයිය අහනව ලු - "ඒ පාර මොකද දරුවා?"

"අනේ දෙයියනේ විස්තරේ පස්සෙ කියන්නම්. වයිෆ් ගගට වැ‍ටුනා. ඉක්මනට ගොඩට ගත්තෙ නැත්තම් මැරෙයි!"

ඉතින් දෙයිය ඇහැව්වෙ නෑ ලු මොකද පැනල බේරගන්නෙ නැත්තෙ කියල. මොකද එය දන්නවනෙ මෙයාට පීනන්ඩ බෑ කියල.

හැබැයි දෙයියන්ට හිතුන ලු මිනිහා තාම අවංකද කියල බලන්ඩ ඕන කියල. ජබොක් කියල ගගට පැන්නලු. පැනල ටික වෙලාවකින් ගොඩට අරගෙන එනවලු ගෑනු කෙනෙක්ව.

හැබැයි වයිෆ් නෙවෙයි ලු. ඒත් "ජැකොලින් ෆර්ඩිනැන්ඩස්" වගේ ලස්සනයි ලු. දෙවියො හිතුවලු මිනිහ අවංක නිසා මෙ ගෑනුකෙනා නෙවේයි මගෙ වයිෆ් කියයි කියල.

හැබැයි වෙල තියෙන්නෙ වෙන දෙයක්!

"මෙයාද වයිෆ්?" කියල ඇහැව්වලු. මිනිහ පැනපු ගමන් බදාගත්තලු අර ගෑනිව.

"අනේ බොහෝම පිං දෙවියනේ! මේ තමයි මගෙ වයිෆ්".

දෙයියන්ට ෆුල් අප්සට් ලු.

"ඕක තමයි මිනිස්සුන්ගෙ තියන කැත ගතිය. සල්ලි භාගෙ හම්බ උනාම අවංක කම වගේ හොද හතිගුන උන්ට අමතක වෙනව නේද? මටනම් හරිම කනගා‍ටුයි උඔ ගැන. උඔ දුප්පත්කමට ඉන්න කාලෙ උඔ කොච්චර හොඳද? සල්ලි ලැබුන ගමන්ම උඔ වෙනස්වුනා නේද? ඉස්සර වගේ දැං උඹ අවංක නෑ. ලස්සන ගෑනියෙක් පෙන්නපු ගමන්ම උඹ පැනල ඒක බදාගත්ත නේද?" කියල ඇහුවලු.

එතකොට දර කපන්නා කියනවලු:

"අනේ නෑ දෙයියනේ, ඔබ වහන්සේට මම කිව්වනම් මේ මගේ ගෑනි නෙවේයි කියල ඔබ වහන්සේ තව ගෑනියක් ගෙනත් පෙන්නයි. මම ඒ ගෑනිත් නෙවෙයි කිව්වනම් ඔබ වහන්සේ මගෙ ඈත්ත ගෑනිව ගෙනත් පෙන්නයි. මට මේ එක ගෑනියෙක් එක්කම ඉන්ඩ අමරුයි.මම කොහොමද දේයියනේ ගෑනු තුන්දෙනෙක් එක්ක ඉන්නෙ. ඒකයි මම දුන්න මුල ගෑනිවම බර ගත්තේ"

එතකොටලු දෙයියන්ට තේරුනේ සීන් එක.

=========================================================

දැන් තේරුණා නේද කතන්දර දාහක් ලියන්න පුළුවන් හොඳ ක්‍රමය. ගන්න පරණ ජනකතාවක්. ඒඛෙ දෙවෙනි කොටසක් ලියන්න මුල් කතන්දරේ තියෙන සේරම දේවල් ප්‍රශ්ණයට ලක් කරමින්.

මේක තමන්ගේ රචනා ශක්තිය වැඩි දියුණු කරගන්නත් හොඳ ක්‍රමයක්.

හැබැයි මේ කතාව සම්පත් බණ්ඩාර ගේ නිර්මාණයක් නං වෙන්න බෑ. මං මේක කලින් අහල තියෙනවා. ජැකොලයින් ෆර්නැන්ඩස් කියන නම විතරයි අළුත්!

-කතන්දරකාරයා

Friday 30 July 2010

බලාපොරොත්තු තබාගත හැකි බ්ලොග් එකක්


කතන්දර බ්ලොග් එක පටන් අරං තාම අවුරුද්දයි ගිහින් තියෙන්නේ. මිනිස් පරිමානයෙන් ගත්තොත් තාම අත-දරු වයස. නමුත් ජංජාල මිණුම් දංඩෙන් නම් මේක කල්පයක් විතර කාලයක්.

මං මේ බ්ලොග් එක පටන් ගත්තේ, සැහැල්ලු භාෂාවකින් සරල කතන්දර ටිකක් හැමෝම එක්ක බෙදාගන්නයි.

මං මගේ ඇත්ත නමින් වෙනත් විවිධ නිර්මාණ කලාට, ඒවා මේකට ගෙඩිය පිටින් අතහරින්න මගේ අදහසක් නෑ. මේ ලියන කතා, මේ භාෂා ශෛලියෙන් ලියන්නත් පොඩි වෙහෙසක් ගන්න ඕනෑ. නමුත් වියරණ ගැන අවුලක් නැති හින්ද වැඩේ සම්ප්‍රදායික රචනා ශෛලියට වඩා පහසුයි.

මේ සේරම කිව්වෙ මං මේ ලඟදි කියවපු හොඳ බ්ලොග් එකක් දැනට ඒක දැකලා නැති අයට අඳුන්වා දෙන්නයි.

මෙන්න ඒක: http://reargate.blogspot.com/

බය නැතුව බලාපොරොත්තු තබාගත හැකි බ්ලොග් එකක් කියල කියන්න පුළුවන්, මේකෙ අඩංගු සටහන් ලියවිලා තියෙන භාෂා ශෛලිය සහ ඒවායේ අන්තර්ගතය විශ්ලේෂණය කලහම. ටොප් ක්ලාස්.

කෙටි, සරල නිර්මාණ තුලින් උසස් ගැඹුරු රසවින්දනයක් ලබාගන්න කැමති අය අනිවා මේක බුක්මාක් කරගන්න. නැත්තං රීඩර් එකට දාගන්න.

යූ වොන්ට් ගෙට් ඩිසපොයින්ටඩ් ඇට් ඕල්. (හැබැයි ඒ මෙයා දිගටම ලිව්වොත් තමයි!)

කතන්දරකාරයා

Wednesday 28 July 2010

ඉන්න ටිකේ ඉඳිමු සුදෝ


මරණය තණ අග පිණි බිදු වැන්නේ කියල කියන එකේ අර්ථය හොඳට ඇඟට කාවදින්නේ කවුරු හරි ටිකක්වත් දන්න කෙනෙකු ගේ මරණය ඇහුණු වෙලාවටයි.

උපදේශණාත්මක බ්ලොග් එකක් කරපු කුමුදු මිය ගිහින්.

මේ ආරංචිය දැකපු මොහොතේම මං අද පල කරන්න ගිය කතන්දරය පොඩ්ඩක් පැත්තකට දාල වෙන දෙයක් කරන්න හිතුව.

මාත් වතාවක් මැරෙන්න ගිය මිනිහෙක්. දිව්‍යලෝකෙ ලඟටම ගිහින් තමයි ආපහු හැරිල ආවේ.

ඒ කතන්දරේ මෙහෙම කියන්න බෑ. හැබැයි මං පොඩ්ඩක් ඉඟි කළා කලින් දවසක මේ ගැන.

ඒ සේරටම හරියන්න මෙන්න ඒ ගැන ලියපු කවි පන්තියක්.

කවි ටික තේරෙන්නේ නැති නං මට කියන්න. පස්සෙ දවසක ගද්‍යයෙන් ලියන්නම්.

දවස තාමත් තරුණයි
=============
කපා දැමූ රඹ කඳ මෙන් වැටුනි ඇද
දපා එලෙස සිටියෙමි තණ පිටිය මැද
සැපා කියා දිය කෙළි විඳි කටක රද
තොපා දුන් ඔවා මට මිත අකැප විද

බඳවා රැහැන් ඉඳිකටු ලා දුබල ගතේ
හඬවා සයිරනය ඉගිළුනි ගිලන් රතේ
කැඳවා යන්න ආ මරුවා සිනාසෙතේ
වඩවා විරිය ගත දිරි ඉපිදවිමි සිතේ

නහර තුල බැඳුණු කාරම් බලය දිදී
නතර කළා හදවත ගත සිසිල සැදී
වැතිර සිටි මගෙ ම රුව නිසසලව බැඳී
අතර තුර බැලූවෙමි සිට අහසෙ රැඳී

සිව් සාලිස් වසක ගතවෙන දිවි මගෙහී
ලිව් කවි මිසක කළ පොතකුදු නැති සඳෙහී
පව්! පුතු සිතෙන් යයි පිය මතකය ගිලිහී
එව් සිතුවිලි රැසින් ඇතිවිය දිරි සිතෙහී

එන් නට බැහැ තවම දාතම පැමිණ නැත
යන් නට පෙර කළ යුතු වැඩ අපරිමිත
සන් කර මරු යවා ආපසු එලොව වෙත
සන් සුන් ගත තුලට යලි වැද ගතිමි මිත

වැතිර ඇඳක දැඩි සැලකුම් ඒකකයේ
වයර ලා අතේ නාසයෙ ගෙලේ ලයේ
නිතර සිහින මැද ඔසු බල දරා කයේ
සසර කළ පවද ඒ ලෙස ගෙවී ගියේ


කුමුදු පින්තු ට දුකින් තොර සදාකාලික සැනසුම ලැබේවායි පතමු.

-කතන්දරකාරයා

Monday 26 July 2010

ක්‍ෂණික බොගා- ඉකේයියා මෙන්න මෙයා කක්ක කතා ලියනෝ.. .. ..!!!


මං සෙනසුරාදා ලියපු එලාම් කතන්දරේ මතකයිනේ.

කොච්චර ලොකු මහැදුරු ලා කිව්වත් උදේට නැගිටින්න එලාම් එක සෙට් කරනවා වෙනුවට වතුර බීලා නිදාගන්න කියලා ඒ වැඩේ මට නං හරියන්නේ නෑ.

හේතුව මේකයි. නිදාගන්න කලින් වතුර බිව්වාම වෙන්නේ ඇඳට ගිය වෙලේ ඉඳන් විටින් විට නැගිටින්න වෙන එකයි. අන්තිමේදී නින්ද ගියත්, අඩු නින්ද සහ නින්දට වුනු බාධා නිසා පහුවදාට තවත් අමාරුයි.

වතුර පොඩ්ඩක් බීලා නිදාගෙන කෙලින්ම උදේ පාන්දරම ඇහැරුණොත් මට නම් වෙන්නේ නම් මෙන්න මේකයි. ඔන්න නැගිට්ටා, නින්දෙන් ඇවිදිනවා වගේ ටොයිලට් ගියා, අත සේදුවා, කට සේදුවා, ඉන් පස්සේ ආයෙ කෙලින්ම ඇඳට ගච්ඡාමි. වෙනදත් වැඩිය පරක්කු වෙනවා ෆයිනල් ඇහැරීමේ අවස්ථාවට.

මගේ අත්දැකීමේ හැටියන නං උදේට නැගිටින්න හොඳම විසඳුම චූ බරක් හදාගැනීම නෙමේ කක්ක බරක් හදා ගැනීමයි!

එතකොට වෙන්නේ මේකයි. ඔන්න ටොයිලට් යනවා. මේ නම්බර් ටූ වැඩේට ටිකක් වෙලාත් යනවනේ චූ සීන් එකට වඩා. ඉතිං ටිකක් නිදිමත ඇරෙනවා.

ඊලඟට මම නං කරන්නේ කෙලින්ම ෂවර් එකට යන එකයි. එතෙන්දි වතුර ටික ටික ඇඟට වැටෙනකොට සේරම හරි. පොඩි සින්දුවකුත් කියලා, විනාඩි දහයක් විතර ගත කරලා තමයි ආපහු එන්නේ නැවුම් එළකිරි ගතක් සිතක් ඇතිව.

නිදිමත කැලේ. අර ෂවර් එකේ ඉන්න වෙලාවේ හිතට ආපු කතන්දර ටික අමතක වෙන්න කලින් නෝට් කරගන්න එක තමයි හිතේ වැඩ කරන්නේ.

දැං මෙතන ප්‍රශ්ණය මේකයි. චූ බර වගේම අපිට ඕනැ වෙලාවට කක්ක බර හැදෙන්නේ නෑනේ. චූ බරට උත්තේජකයක් සපයන්න වතුර බීලා නිදාගත්තත් වැඩිපුර කන සිරිතක් නෑනේ. වැඩිපුර කෙසේ වෙතත් කාපු ටික යවා ගත්තොත් මදෑ.

ඒ හින්දා මේක උදේ නැගිටින්න ප්‍රායොගික ක්‍රමයක් නං නෙමේ.

ඒ මොනවා උනත් ඔන්න ඔය කක්ක කරන එකෙයි අද කතන්දරේ මූලික වස්තු බීජය තියෙන්නේ.

අවුරුදු බර ගාණකට කලින් මං අර මහනුවර පැත්තේ තිප්පොලට සෙට් වුණු කාලේ අපි එක්ක වැටිලා හිටියා සොමි කකුලක්. අපි හුඟක් දෙනෙකුට උදේට ටොයිලට් යන්න නං ඉතිං තේ එක බොන්න ඕනෑම නේ. තේ නැත්තං නෝ කතා නෝ සිනා.

ඒකට මෙන්න අපේ පොර. නැගිට්ට ගමන් ගියා ටොයිලට් එකට. විනාඩියෙන් වැඩේ කරලත් එලියට එනවා.

මිනිහ කොච්චර කාර්්‍යක්‍ෂමතාවයකින් මේ ශරීර කෘත්‍යය කරනවද කියනවනං, ඒ දවස්වල පොරට අපි කාඩ් එකක් ගහලා තිබුණේ ක්‍ෂණික බොගා කියලා.

පස්සේ මං අහල දැනගත්ත විදියට මේ ක්‍ෂණිකත්වයේ රහස මෙන්න මෙහෙමයි.

පොර උදේ නැගිට්ට ගමන් සිට්-අප්ස් අභ්‍යාසය දහ දොලොස් එක දිගට පාරක් කරනවා හිටු කියලා. පොර කියන විදියට, ඒ අභ්‍යාසයෙන් පස්සේ බඩ නිකං බබා වගේ වෙනවා.

ඉතිං දැන් තියෙන්නේඃ
ගියා
දැම්මා
ආවා.

ප්ලෑන් එක හරිම සිම්පල්. විනාඩියෙන් කර්තව්‍යය හමාරයි.

-කතන්දරකාරයා

ප/ලි
අපේ කට්ටිය දැන් පටන් ගනීද කක්ක කතා ලියන්න?

අනේ මන්දා බයේ බෑ, සුවරිතවාදයෝ මගේ ඇඟට ගොඩ වෙයි!

කරන්න හොඳ නං ලියන්න නරක ඇයි නේද මෙයාලා?

Saturday 24 July 2010

ටිකක් නෝටි කතන්දරයක්


අපේ ගෙදර ටෙලිෆෝන් එකට වයර් නැති හෑන්ඩ් සෙට් තුනක් තියෙනවා. මේවායේ වෙනම එලාම් වදින්න සෙට් කරන්න පුළුවනි. කුරුල්ලෝ කෑ ගහන ලස්සන රිංග්-ටෝන් එකක් දාලා මම ඒ එලාම් තුනම උදේට වදින්න හදලයි තියෙන්නේ.

හැබැයි ඉතිං එලාම් එකක් වැදිච්ච ගමන් කරන්නේ හෑන්ඩ් සෙට් එකේ තියෙන කැන්සල් බට්න් එක ඔබන එකයි. ඊලඟ එක වදින කොටත් ඒකමයි කරන්නේ. ඔළුවවත් උස්සන්නේ නෑ අඩුතරමින්. මේ හින්දම අත දිග හරියෙන් මේ හෑන්ඩ් සෙට් තියාගන්න වෙනවා.

කතන්දර හාමිනේ නං කියන්නේ ඒ එලාම් තියලා තියෙන්නේ, මට නැගිටින්න නෙමේ ඒවා ඕෆ් කරන්න මතක් කරගන්නයි කියලයි.

ඔන්න තුන්වෙනි එලාම් එකට තමයි මං තුමා දනි පනි ගාලා ඇහැරෙන්නේ. පෙම්බර දේවි නං තාමත් නිදි.

එතන ඉඳන් බාත් රූම් වන්දනාව කරලා, කාලා, බීලා කෝච්චියට පැන ගන්න කං ඉතිං මාර යුද්දේ තමයි. හොඳ වෙලාවට හාමිනේ මේ වෙන කොට නැගිටලා, මට තේ හදලා, ලන්ච් එක පැක් කරලා තියෙන හින්දා හොඳයි.

උදේට නැගිටින එක මට විතරක් නෙමේ හුඟ දෙනෙකුට අමාරු දෙයක්. කලින් නිදාගන්න එක මේකට එක පිළියමක්. කොල්ලො කාලේ නං ඉතිං සමහරු උදේ නැගිටින්න හදනවානේ පාඩම් කරන්නත්.

ඉතිං අද කතන්දරේ මේකයි.

මං අර මහනුවර පැත්තේ තිප්පොලකට සෙට් වෙලා හිටිය කාලේ අපිට අවුරුද්දකට විතර පස්සේ ඔතනටම සෙට් වුනා එක විදියක "ළමා පොරක්".

මෑන්ස් පොඩි සූට් කේස් එකක් අරං තමයි ගමං බිමං ගියේ. වීක් එන්ඩ් එකට තාත්තා එනවා මට මතක විදියට හැතැප්ම එකසිය හතලිස් ගාණක් ගෙවා ගෙන පොරව බලල යන්න. සමහර සති අන්තවල ගෙදර එක්කරං යනවා මං හිතන්නේ. හැබැයි ආපහු ගෙනත් බස්සනවා.

අපේ "ළමා පොර" හරිම උනන්දුයි අධ්‍යාපන වැඩ වලට. උදේ පාන්දර නැගිටලා පාඩම් කරන ජාතියේ හොඳ කකුලක් මං හිතන්නේ.

ඔය තිප්පොලේ අපේ මහැදුරු කෙනෙක් හිටියා මාර වාත පොරක්. එයාගෙ වගතුග ගැන අතුරු කතාවලට යන්නේ නැතිව මේ කතන්දරේ ඉතා කෙටියෙන් කියනව නං මෙහෙමයි. මේ මහැදුරු පොර දවසක් කොල්ලන්ට ටෝක් එකක් දෙන්න ආවා ඉගෙනීමේ ආදිනව ගැන හරි භාවනාව ගැන හරි. පොර ඔය වගේ බයිල කියන වැඩ වලට කූප්‍රසිද්ධයි.

ඔය අතරේ අපේ ළමා පොර ඇහැව්වා මහැදුරුගෙන් පොඩි ප්‍රශ්ණයක්. මෙන්න ඒකෙ සාරාංශය සිංහලෙන්.

"සෑර්, දැන් ඔය ටයිම් මැනේජ්මන්ට්, මෙඩිටේෂන් වගේ එක එක විධික්‍රම මගින් අපිට පාඩම් වැඩ කරන්න උදව් ගන්න පුළුවන්ද? විශේෂයෙන්ම උදේට නැගිටලා පාඩම් කරන්න මට ඕනෑ. මේකට මොකක්ද හොඳම ක්‍රමය හිත පාලනය කරන්න?"

මෙන්න බයිල චක්‍රචර්තී මහැදුරු දුන්නු පිළිතුර.

"උදේට නැගිටින්න ඕනැ නං, රෑ නිදාගන්න කලින් වතුර වීදුරු තුන හතරක් බීල නිදාගන්නවා!"

ඔය එලාම් සෙට් කරනවාට වඩා මේ වතුර මෙතඩ් එක හොඳ ක්‍රමයක් වගෙයි නේද?

අන්න බලන්න, මහැදුරුලා කියන්නේ නිකං අපි වගේ සූදුරුලා නෙමේ නේ. දන්න කියන ඇත්තෝ නේ.

කතන්දරකාරයා

ප/ලි
මං මේක නෝටි කතන්දරයක් කියල වර්ගීකරණය කළාට ඇත්තටම මේක මගේ එක්තරා කතන්දර මිනි සීරිස් එකට දාන්න පුළුවන්.

මෙන්න ඒ කතන්දර මිනි සීරීස් එක සහමුලින්ම.
1. පලමුවෙනි කතන්දරය

2. දෙවෙනි කතන්දරය

3. තුන්වෙනි කතන්දරය

4. හතරවෙනි කතන්දරය

5. පස්වෙනි කතන්දරය

6. හයවෙනි කතන්දරය

Thursday 22 July 2010

මෙලෝ රහක් නෑ


මෙන්න කතන්දර බ්ලොග් එකේ නිර්ණාමික පාඨකයා ලියල එවපු තවත් කතාවක්.

මෙයාම තමයි කලින් ලියල එව්වේ:
1. පාප මිත්‍ර චූ කතන්දරය
2. ඇවරිය එලියේ කතන්දරය

ඉස්සෙල්ලා මේක කියවලා බලමුකෝ.

===============================================
කතන්දර බ්ලොග් එකේ ගිය පාඨශාලා පරීක්‍ෂක කිරි බීපු කතන්දරය බැලුවාට පස්සේ මට මේ කතාව ලියා එවන්න හිතුණා.

මීට අවුරුදු ගාණකට කලින් පත්තරයක තිබුණා එක මනුස්සයෙක් තමන් ගේ ළමයාට බොන්න දෙන්න තියෙන කිරි ටික බීලා උදේ වැඩට යනවා කියලා. ඉතිං මේ ළමයාගේ අම්මා අන්තිමට පොලීසියට ගිහිල්ලා. පත්තරේ වැටුනේ ඒ නිසයි.

ඉතිං ඒ නිවුස් එක පත්තරේ තිබ්බ දවසේ හවස මගේ යාළුවෝ කට්ටියක් පොඩි අඩියක් ගහන්න හොටේල් එකකට සෙට් වෙලා.

මෙතන බොස් ලා, ගෝලයෝ, ඩ්‍රැයිවර් ලා, පියන් ලා, එකී මෙකී නොකී හැමදෙනාව ඉඳලා තියෙනවා.

දැන් ඔන්න හැමෝටම හොඳ පදමට වැදිලා.

මේ අස්සේ එකෙක් මතක් කරලා තියෙනවා අර පත්තරේ තිබ්බ කතාව. එතකොට හොඳටම වැඩි වෙලා හිටපු පොරක් (සුනිල් කියල කියමු) කිව්වලු:

"අයියො බොස් ඕක මොකක්ද මාත් බීල තියෙනවා!"

දැන් අනිත් අය කට අතින් වහගෙන හිනාවෙනවා.

එතකොට බොස් අහනවා:

"ඕව මොන රහද බං?"

එතකොට සුනිල් කට අරින්නත් කලින් එතන හිටපු වෙන පොරක් (නිමල් කියල කියමුකෝ) කිව්වලුඃ

"අනේ මෙලෝ රහක් නෑ බොස්!"

වෙරි පිටම සුනිල් ගෙයි නිමල් ගෙයි දෙන්නගෙම වැඩ අතේ මාට්ටු වුනේ එහෙමයි.

සති ගාණක් යනකං පොරවල් දෙක ඔෆිස් එකේ අයට මූණ දුන්නෙම නෑ. ඔෆිස් එකත් මෙලෝ රහක් නැතිව ඇති.
=======================================

මේ කතාව දැකලා මට ආවා පොඩි ප්‍රශ්ණයක්.

නිමල් කතා කලෙත් සුනිල් සුනිල් බීපු කිරි ගැනම නේද? නැත්තං පොර කොහොමද දන්නේ ඒ කිරි මෙලෝ රහක් නෑ කියලා?

කතන්දරකාරයා
ප/ලි:
කැලණි පාලම වේදිකා නාට්‍යය බලපු අය ඉන්නවා නං මතක ඇති නේද අර බර කීයද කියල ප්‍රශ්ණයක් අහන තැන. මට පේන්නේ මේකත් ඒ ජාතියේ සීන් එකක්!

Tuesday 20 July 2010

පවුලේ දොස්තර


ඉස්කෝලේ යන කාලේ දහයේ පන්තියේ වගේ ඉඳලා අඳුණන මගේ හොඳ යාළුවෙක් තමයි සුසන්ත සුරන්ජිත්. ක්ලාස් මේට් කෙනෙක් නං නෙමේ. කොහෙමටත් පොර බයෝ සයන්ස් නේ කලේ. මුලින් ටිකක් අඳුණාගත්තත් ඒ ලෙවල්ස් ඉවර වෙලා රස්තියාදු කාලේ තමයි හොඳටම ෆිට් වුනේ.

මං නිතරම පොරගේ ගෙදර යනවා. පව්ලේ කට්ටියත් හොඳට අඳුණවා.

දැන් නං මුණ ගැසුණු කාලයක් මතක නෑ. පොර ඉන්නේ පිටරටක නිසා. හැබැයි ඉතිං ස්කියිපියට පින් සිද්ද වෙන්න මුණත් තහඩුව නං ළඟදී දැක ගත්තා.

පොර ළඟක නැති නිසා මේ කතාව කියන්න බය වෙන්න ඕනැ නෑ මගෙ හිතේ.

ඉතිං ඔන්න විභාග ප්‍රතිපල අනුව පොර ගියා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයට.

පොර ගේ මල්ලී ගියේ අපේ ඉස්කෝළෙටමයි. මැන්ස් කළෙත් බයෝ. තව අවුරුදු දෙකක් විතර යද්දී මල්ලිත් තේරුණා රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්ය පීඨයට.

ඊළඟට හිටියේ පොඩි නංගියා යි. එයා නං ගියේ අපේ ඉස්කෝලෙට අල්ලපු බාලිකාවටයි. එයාත් කලේ බයෝ සයන්ස් ම තමයි ඉතිං පවුලේ ට්‍රැඩිෂන් එක පරිදි.

ඉතිං තවත් අවුරුදු දෙකකින් විතර මට සුසන්ත සුරන්ජිත් හමුවුණු වෙලාවක කිව්වා ඔන්න වූටි නංගී ඒ අවුරුද්දේ ඉඳලා යනවා කියලා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය විද්‍යාව කරන්න.

මගේ කටට කෙලින්ම ආවේ මෙන්න මේකයි.

"ඇති යන්තං මචං, දැන් ඉතිං තව අවුරුදු හතරකින් උඹලෑ පවුලට බේත් ගන්න පවුලේම වෛද්‍යවරියක් ඉන්නවා..."

කතන්දරකාරයා

ප/ලි
මේ ලඟදී තිබුණු සංදර්ශණයකදී දේශපාලකයෙකු ගේ රෝගී තත්වය බලන්න වෛද්‍ය ජයන්ත පෙරේරා ද කොහෙද ආවය කියන ආරංචිය දැකලා කවුදෝ කඩප්පුලි කතාවක් කියලා තිබුණා එයා ආවේ ඇයි එන්න තිබුණේ වෛද්‍ය ප්‍රමිත් නේද කියලා.

පස්සෙ බැලින්නම් මේ ප්‍රමිත් මගේ යාළුවාගේ නංගී ඉගෙන ගත්තු තැන උපාධිධාරියෙක් ලු.

ඒ කතාව අහලයි මේ ලියපු කතන්දරේ සිහියට ආවේ.

ප/ප/ලි
පල්ලම් පොලු විවේකය හොඳින් ගෙවේ!

Friday 16 July 2010

ඇවරිය එලියේ


මේ කතාව ලියලා එව්වේ නම කියන්න කැමති නැති පාඨකයෙක්. ගමේ පොරක් කියලා විතරක් කියන්නම් කෝ.

පොරම තමයි අර මං ලියපු චූ කතාවක් දැකලා පොරගේ චූ කතාවක් මට ලියලා එවලා, ඒකෙන් පාප මිත්‍රයෝ හතර වර්ගය ගැන අපි බණ දහම් කතා බහකට පෙලඹුනේ.

එහෙම බලන කොට මෙයා අපේ කල්‍යාණ මිත්‍රයෙක්!

මෙන්න කතාව.

========================================
ඔය අපේ ගම්වල ගොයම් කපලා ඉවරවෙලා කමතට ගේනවනේ ගොයම් මඩවන්න. ගොයම් මැඩෙව්වාට පස්සේ වී හුලං කරන්න ඕනෑ. ඒ කියන්නේ තියෙන බොල් වී අයිං කරලා හොඳ වී ටික පැත්තකට ගන්න එකයි.

මේ වැඩේ කමතේම කරගන්න අපේ ගම්වල හදනවා අවෙරිය කියලා එකක් උණ ගස්වලින්, කණු තුනක් බිමට තියලා. මනුස්සයෙක් ඒක උඩට නැගලා හුලඟ එන වෙලාවට චූටි කුල්ලකින් වී ටික බිමට හලන කොට බොල් වී හුලඟේ ඈතට යනවා.

අර අමරදේවගේ සින්දුවකුත් තියෙන්නේ අජන්තා රණසිංහ ලියපු.

බොල් වී අහුරු වී හුලඟේ ගිය සේම
දීගෙක ගිහින් උඹ මටවත් නොකියාම

කියල.

දවසක් ගමේ කමතක ඔහොම වී හුලං කරනවා. මෙතනට පොඩ්ඩක් විතර ෂොට් එකක් දාපු ගමේ කෙනෙක් ඇවිත් කිව්වා මිනිහා වී ටික හුළං කරලා දෙන්නම් කියලා.

ඉතිං මිනිහා අවෙරිය උඩට නැග්ගා. මේ අවෙරිය අඩි හතක් විතර උසයි.

මිනිහා ඔන්න ඉතිං උඩ. දැන් හුලඟක් එනවා ටිකක් හයියෙං. මිහිහා කිව්වා "ඔන්න කොල්ලෝ හුලඟක් එනවා" කියලා.

හුලඟ ආවා. මිනිහා හුලඟේ සැරට බිම. අවෙරියා එහෙමමයි. අවෙරියා උඩ කොඩියක් දාලා වගේ මිනිහගේ සරම එල්ලෙනවා.

ඉතිං අවෙරිය වැහිලා හැබැයි ඇවරිය එලියේ.
========================================

-කතන්දරකාරයා
(ලබන සතියේ නැවත හමුවෙමු.)

(image - sent in by නම කියන්න කැමති නැති පාඨකයා on 27 Aug 2011)

Wednesday 14 July 2010

මෙන්න මූ පල්ලං පොල්ල දානෝ


අපි පොඩි කාලේ හිටිය තාත්තලාගේ ගමෙන් ලඟම නගරයට යන පාරේ තිබුණ මහා කන්දක්. ඕක නැගල ඉවර වුණාම අපි වැටෙන්නෙ පස්සල කිට්ටුවටයි. ඒ හින්ද ඔය කන්දට කිව්වෙ පන්සල් කන්ද කියල. මේක මාර නැග්මක් තියෙන කන්දක්. බස් පවා මැද්දෙදි ගොරොද්දෙ අදිනව.

ඒ ලෙවල් කරල ගෙදර ඉන්න ගන්ධබ්බ කාලෙ ලයිබ්‍රියට යන්න මං උදේ හවා ඔය පන්සල් කන්ද පැද්ද. සාමාන්‍යයෙන් කන්දක් පදින්නෙ බයිසිකල් එකේ පොල්ලෙ වුනත්, මට ඒ දවස්වල පුළුවන් සීට් එකේ ඉඳලම ඒ කන්ද පාගන්න. අවුරුදු පහකට පස්සෙ මං ඔය දේම කරන්න ගිහින් නං අම්බානක ඇණ ගත්ත.

කන්දක් නගිනවට වැඩිය සාමාන්‍යයෙන් ලේසියි නේ පල්ලම බහින එක. බයිසිකලේක නං යන්නෙ තියෙන්නෙ හැන්ඩල් එක අල්ලගෙන ෆ්‍රී විල් එකේ සයිකලේ අරන් යන්න විතරයි.

හැබැයි පුතෝ බ්‍රේක් ඕනෑ!

කාරෙකක උනත් කන්ද නගින කොට නං ඇක්සලේටරේ උඩ නැගගෙන වගේ ගියාට, ආපු එනකොට නං බ්රේක් ඕනෑමයි.

ඔය බ්රේක් එකට සිංහලෙන් කියන්නෙ පල්ලම් පොල්ල කියලයි.

මං හිතව විදියට ඔය වචනේ ඔරිජින් එක ඇවිල්ලා අර කරත්ත වල රෝද වලට යටින් දම්වැල් දෙකකින් එල්ලිලා එන පොලු දෙකයි. මේ පොලු දෙක තමයි කරත්තේ බ්රේක්.

කරත්තේ කන්දක උඩට යනකොට මේ පොලු දෙක පස්සෙන් ඇදීගෙන එනවා. හැබැයි කරත්තෙ බැරිවෙලාවත් පස්සට යන්න ගියොත් රෝද නවත්ත ගන්න පුළුවන් මේ පල්ලම් පොලු වලට හරියට අර කූඤ්ඤයක් වගේ වැඩ කරලා.

ගොනා අමාරුවෙන් කරත්තෙ කන්ද උඩට ගෙනිච්චට, කන්දෙන් පහලට බහින කොට ඒකෙන් කිසිම වාසියක් නෑ. ගියාටත් වඩා හෙමින් එන්නයි වෙන්නේ. කරත්තේ ඇවිල්ලා ගොනාවත් යට කරගෙන යන්න පුළුවන්.

කන්ද උඩට යන කොට ෆුල් ඩම් එක දාගෙන අද්දලා, පල්ලම් බහින කොට ඒ විභව ශක්තියා චාලක ශක්තිය බවට පරිවර්තනය කර නොගෙන බ්රේක් මෝඩ් එකේ එන්න විමත් මහා ගොන් කමක් තමයි.

මේ සේරම කතා ඇද බෑවේ පොඩි කාරණයක් කියන්නයි.

අද පටන් කතන්දර බ්ලොග් එකට පල්ලං පොල්ලක් දමනු ලැබේ!

එනම්, පෙබරවාරි අග සිට කරගෙන ආ දිනකට එකක් කතන්දර පෝස්ට් දැමීමේ දේවකාරියට අද සිට පොඩි විවේකයක් දෙමි.

මගේ අදහස සතියකට එක කතන්දරයක් පමණක් දාන්නයි.

සතියේ මැද අතුරු කතාවක් කියන්නට කාලය හොයා ගන්න පුළුවන් වේවි.

මෙන්න මගේ මූලික අරමුණු.

1. මද විවේකයක් ලබා ගැනීම

2. පටන් ගෙන ඇති වෙනත් ව්‍යාපෘති සඳහා කාලය හොයා ගැනීම

3. "ටිකයි - හොඳයි" තියරිය හරිද කියා ටෙස්ට් කර බැලීම

4. ලැබෙන කමෙන්ට්ස් වලට පිලිතුරු දෙන්නට අදට වඩා කාලයක් හොයා ගැනීම

දුක හිතුන අය ඉන්නව නම් අත් ඔසවන්!

-කතන්දරකාරයා
ප/ලි:
හෙට අනිද්දා සිට මට ලැබී ඇති පාඨක කතන්දර දෙක තුනක් දැමීමට අදහස් කරමි.

Tuesday 13 July 2010

කේන්තියෙන් ලියු එකක්


මේ ලඟදී දවසක අපේ ටැබූ සර් දාල තිබුණු ලියවිල්ලක් දැක්ම මට එක පාරටම හිතුනේ පොර ඒක ලියල තියෙන්නේ කේන්තියෙන්ය කියලයි.

"Take a deep breath mate, before you start writing!" කියල මං ටැබූට පොඩි ඇඩ්වයිස් පාරක් දුන්න.

පොර ඒකට උත්තර බඳින ගමං කියාපි, කේන්ති පිට ලියල ඒ ආවේගයත් එකතු කරගන්න ඕනෑ කියල ලියවිල්ලට.

එතකොටයි මට මතක් වුනේ බොලේ මාත් කේන්තියෙන් ලියපු දෙයක් තියෙනව නේද කියල.

මෙන්න ඒක.

අවසන් පැතුම

තෙත සිඳුණු නුඹ හදේ මට ඉඩක් නොදුන්නැයි
නැත මගේ තුන් හිතක නොහොඳ බිඳුවක් ලඳේ
කතර දිවි ගත කරන අතුරු සැණ ගෙවී ගොස්
මතකයෙන් සිහින සුව ගිලිහේවි හෙට උදේ

සිත සලිත වූ එදින මතක පොත ගිණි තබා
ගත පෙලන හිරු ලෙසින ඇයිද නුඹ හිනැහුනේ
ගිණි සිසිල අකැප කල මගෙ අඳුර මට හොඳයි
හද කොණෙන් පිට වෙයන් ඇණෙන කටු විස ගෙනේ

දිවි සයුර කෙලවරේ හිරු බසිණ මතු දිනේ
පව් නොකළ මගෙ සිතට වරද නැත කිසි කලේ
හැරමිටිය අතට ගත් දිනක යලි මුණ ගැසී
සසර මතු හමු නොවන ලෙස ගිවිස ගමු ළඳේ


කතන්දර බලන සමහරු නං කවිවලට කැමති නෑ. ඒත් කවියෙන්ම දිවි ගෙවන වත් (සොඳුරු සිත) සහ සචී (සිතුවිලි) වගේ අයත් ඉන්නවා.

කවි කැමති නැති අයට වුනත් මෙතන ලොකු කතන්දරයක් තියෙනව. මට තියෙන්නේ කවි පදවල ඉඳලා පරණ කතන්දර වලට ලින්ක්ස් දෙක තුනක් දාන්න විතරයි.

ඇහැක් අය ඔහෙලාම දාගන්නකෝ!

කතන්දරකාරයා
ප/ලි:
හෙට කතාව: පල්ලං පොල්ල. දුක හිතෙන එකක්.

Monday 12 July 2010

අති විශේෂ නිවාඩු දිනයක් ගැසට් කර ඇත


අපි කොල්ලො කාලේ තමයි ලංකාව ඉස් ඉස්සෙල්ලාම ක්‍රිකට් ටෙස්ට් තරඟයක් දිනුවේ.

ඒ දවස්වල ජනාධිපති වෙලා හිටිය ජේ.ආර්. පප්පට කොච්චර ජොලියක් ගියාද කියනව නං පහුවදා ජාතික නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කළා.

හැබැයි පැයක් යන්න කලින් ඒක දවසකින් වෙනස් කළා. ඒකට හේතුව තමයි පහුවදා කොහෙද මන්දා (මුල්කිරිගල?) අතුරු මැතිවරණයක් තියන්නට නියමිතව තිබීම.

අතුරු මැතිවරණත් දැන් නෑ. ජේ.ආරුත් නෑ. ක්‍රිකට් දිනුවට නිවාඩුත් නෑ.

ඕවට සැලෙන කෙනෙක් නෙමේ මේ මං තුමා!

ඊයේ කතන්දර බ්ලොග් එකේ අවුරුද්දේ උපන් දින ප්‍රීතිය නිමිත්තෙන් අද විශේෂ නිවාඩු දිනයක් ඔන්න ඔහේ ගැසට් කරල දැම්ම.

ඔය උඩින් තියෙන්නේ සයිබර් යාය ලියන කෙසෙල් කොටුවේ චූටි මහත්තයා නිදි නොබලා මට දැඳලා එවපු සිත්තර සහිත හැපි බර්ත් ඩේ කාඩ් එකයි.

කතන්දර බ්ලොග් එකේ පළමුවෙනි උපන් දිනේට සුභ පැතූ හැමෝටම මගේ ආදර ස්තූතිය. අපි හැමෝටම ජයවේවා!

ආයේ කතන්දරයකින් හමුවෙමු.

කතන්දරකාරයා

ප/ලි:
පලමු ටෙස්ට් ජය ගැන දන්නේ නැති අයට නං මේකත් කතන්දරයක් නේද?
පොඩ්ඩක් crickinfo එකේ සර්ච් කරල බලන්නකෝ!

Sunday 11 July 2010

කේක් ගෙඩි අප්පු - Happy B'day Kathandara


මං පුංචි කාලෙ බලපු සිංහල චිත්‍රපටියක එක කොටසක් තාමත් මට හොඳට මතකයි. මේක බර්ත් ඩේ පාටි එකක්. ගෙදර ලස්සනට සරසලා තියෙනවා. බැලුම් බෝල. ක්‍රේප් කොල. සාරි, ටයි කෝට් පිරිලා.

ඔන්න ලොකු කේක් එකක් තියෙනවා. ඒක කපනවා. හැමෝම අර ලෝකේ වැඩියෙන්ම කියන සින්දුව (දන්නවනේ?) කියනවා. ඒ සින්දුවම ඔන්න සිංහල පෙම් ගීයකට මෝප් වෙලා යනවා.

චන්දන ඇල්ලෙන් නාලා... ...

සුපිරි කිරි පිරි ඉතිරි කොළඹ අවට සහ වෙනත් නගරවල පොෂ් කට්ටියට නං ඔය වගේ බර්ත් ඩේ පාටි තියෙන්න ඇති. ඒත් දියකිරි තියා කැකිරි වත් නොතිබුණු ගමේ ගොඩේ අපිට නං ඒවා නිකං චිත්තරපටි කෑලි විතරයි.

කුකින් ක්ලාස් ගිහින් කේක් හදන්න ඉගෙන ගත්තායින් පස්සේ නං ඔන්න අපේ අම්මා අපේ උපන් දිනවලට කේක් හදන්න පටන් ගත්තා. ඩේට් කේක් තමයි අම්මගේ ප්‍රියතම කේක් වර්ගය. සමහර වෙලාවට අම්මා බටර් කේක් හැදුවා. ඒත් අර අයිසින් කරන්න උගන්නපු දවසේ අම්මට ක්ලාස් එක මිස් වෙලයි තිබුනෙ, ගෙදර වැඩ කටයුත්තක් නිසා. ඒ නිසා අර චිත්‍රපටියේ තිබුණු හැඩ වැඩ දාපු කේක් නං සැලෝලයිට් වලින් මේ පැත්තට ආවෙම නෑ.

අපේ දෝණි ගේ අවුරුද්දේ උපන් දිනය තමයි ඔන්න මං සම්බන්ධ වුනු මුල්ම උපන් දින සාදය. හැබැයි ඒක තිබ්බෙ ඉරිද දවසක හවස. ආවෙත් දුවගෙ ආච්චිල කීප දෙනෙක් විතරයි. කතන්දර හාමිනේගෙන් එදා අපූරු කේක් එකක් ලැබුණා. ඒ කේක් එක ගත්තු බංගලා හන්දියෙ බේකරි කඩෙන්ම අපි ගත්ත රෝල්ස්, කට්ලට්ස්, පේස්ට්‍රීස් ගොඩාරියක්.

කෙල්ල ගේ උපන් දිනේ පිට දාලා අපි දීල ඇද්ද උස්මුරුත්තාවටම එනකං.

දැනුත් අවුරුද්දකට තුන් හතර වතාවක් අපේ ගෙදරට ලඟ කඩෙන් බර්ත් ඩේ කේක් ගෙඩි එනව. ගීතය ගැයෙනව, කේක් කැපෙනව, කැවෙනව. නමුත් අර සාරි, ටයි කෝට් සහ චන්දන ඇල්ලෙන් නාලා සීන් එකක් නං තාමත් නෑ.

මේ සේරම කතන්දර කිව්වෙ පොඩි කේස් එකක් නිසයි.

අද තමයි කතන්දර බ්ලොග් එකේ උපන් දිනේ. පහුගිය අවුරුද්දෙ ජුලි 11 දා තමයි මේ කොටි වලිගය අල්ල ගත්තෙ.

මූ හොඳ කොටියෙක්.

මේ වගේ වැඩක් අවුරුද්දක් තිස්සෙ හති නොවැටී කරගෙන යන්න නං, අපේ කාලේ භාෂාවෙන් කියනව නං, "හොඳ ගැට්ටක්" තියෙන්න ඕනැ. ඔය ගැට්ට තියෙන්න ඕනැත් ශරීරයේ එක්තරා ස්ථානයකයි.

අද මේ උපන් දිනේ ට "කේක් ගෙඩි අප්පු" සම්බන්ධ වෙන්නේ ඒ ආකාරයෙනුයි.

පහුගිය අවුරුද්දක කාලය තුල මට ප්‍රතිචාර එවපු, ඊ-මේල් එවපු, කතන්දර ලියල එවපු, මගේ පරණ කතන්දර මට මතක් වෙන දේවල් කියපු හැමෝටම මගේ බොක්කෙන් ම ස්තූතිය.

කතන්දර බ්ලොග් එකට හොඳම වින්දනාත්මක අඩවිය ලෙස සම්මානයක් දෙන්න තීරණය කරපු රාජකීය විද්‍යාලයේ සාහිත්‍ය සංගමයටත් තැන්ක් යූ එකක් වේවා!

ඒ සේරටමත් වැඩිය ලොකු දෙයක් තියෙනව.

දුකා ගේ, ටැබූ ගේ සහ ඒ එක්කම මගේ මේ බ්ලොග් එකත් බලල කතන්දර ලිවීමේ කලාවට සැලකිය යුතු පිරිසක් පහුගිය වසරක කාලය තුල එකතු වීම තමයි මට තියෙන ලොකුම සැටිස්ෆැක්ෂන් එක.

අනාගත සිංහල ලේඛකයෝ බිහිවෙන්නේ මේ බ්ලොග් අවකාශයෙන් කියන එකයි මගේ මතය.

එහෙනං ඉතිං හැපි බර්ත් ඩේ කියල ඔය කේක් ගෙඩි අප්පුව අපි බෙදා හදා ගනිමු.

සිංහල බ්ලොග් අවකාශය සදාකල් දිනේවා!

කතන්දරකාරයා
1. මගේ ආරම්භක පෝස්ට් එක - ජාල සටහනක ඇරඹුම
2. මුල්ම කතන්දරේ - කාලෝ ට සීට් එක දුන්නු දා

Saturday 10 July 2010

ගනේමුල්ලේ කුරුවිට (කියන පොර) දන්නවාද?


අළුතින් කාව හරි මුණ ගැහිල නමින් දැන ඇඳින ගත්තයින් පස්සේ, මුලින් ම අහන්නේ මොකක්ද?

"ඔයා කොහෙද?"

"මං ගම්පහ."

"ගම්පහ කොහෙද?"

"ගනේමුල්ලෙ."

"ගනේමුල්ලෙ කොයි හරියෙද?"

"ගලහිටියාවෙ."

"ගලහිටියාවෙ කොයි හරියෙද?"

"ගම්සභා පාරෙන් ගිහින් පල්ලෙහා වෙල පැත්තට යන්න ඕනැ."

ඉතිං ඊලඟට එන ප්‍රශ්ණෙ දන්නව නේද?

"අඳුණනවද, ගනේමුල්ලෙ කුරුවිට කියල පොරක්ව. අර තර්ස්ටන් එකට ගියේ?"

"ම්හු, දන්නෙ නෑ."

ඕක ඔතනින් ඉවර වෙන්නෙ නෑ.

"ඔයා කොහෙද ඉස්කෝලෙ ගියේ?"

"මරදානෙ."

"මරදානෙ කොහෙද?"

"මරියකඩේ."

"මරියකඩේ මොන ඉස්කෝලෙද?"

"මරියකඩේ සෙන්ට්‍රල්."

"ආ එහෙනං දන්නව ඇති නේද සුසන්ත සුරන්ජිත්ව. පොර මරියකඩේ සෙන්ට්‍රල් එකේ තමයි ඒ ලෙවල්ස් කලේ."

"ම්හු, දන්නෙ නෑ."

මේ කතාවලින් එක දෙයක් හොඳින් තේරෙනවා. ඒ මනුශ්‍යයෝ විදියට අපි එකිනෙකා සමග මිතුරු දමින් බැඳෙන්න තියෙන කැමැත්ත. යාළුවෙකුගේ යාළුවෙකුත් අපේ යාළුවෙක් නේ.

මියුචුවල් ෆ්‍රෙන්තෝ ඉන්න කොට හිතවත් කම තවත් වැඩි වෙනවා. අනාදිමත් කාලෙ ඉඳලා තිබුණු ඒ සංසිද්ධිය තමයි අද facebook කාරයොත් පාවිච්චි කරන්නේ.

අද කතන්දරේ මෙන්න මේකයි. සයිස් එකෙන් නං මයික්‍රෝ කතන්දරයක්.

දවසක් මගේ යාළුවෙක් මගෙන් ඇහැව්වා මෙහෙම.

"මචං උඹ ගනේමුල්ලේ ඉඳලා තියෙනවා නේද?"

"ඔව්. ඒ දැන් ටික කාලෙකට කලින්."

"උඹ ගනේමුල්ලේ කුරුවිට කියන පොරව දන්නවාද?"

"ඔව් මං පොරව දන්නවා. අපිත් එක්ක ටියුෂන් ගියා."

"යන්තං ඇති."

"ඇයි බං, ඒ. උඹ කොහොමද කුරුවිටව අඳුණන්නේ? උඹ ගනේමුල්ල පැත්තේ ගිහින් නෑ නේද?"

"මං ඌව දන්නෙ නෑ බං."

"එහෙනං ඇහැව්වෙ?"

"මේකයි, මං උඹ ගනේමුල්ල පැත්තේ කියලා මං මගේ වෙනිං යාළුවෙකුට කිව්වහම, ඌ කිව්වා මට උඹෙන් අහන්න කියලා උඹ ගනේමුල්ලේ කුරුවිටව දන්නවාද කියලා."

"මං ඌව දන්නවා කිව්වනේ. ඒත් ඇයි ඉතිං ඔය උඹේ යාළුවා ඒක මගෙං අහන්න කිව්වේ?"

"මේකයි, පොර ඌට හම්බවෙලා තියෙන හැම ගනේමුල්ලේ පොරක් ගෙන්ම ඇහැව්වලු ගනේමුල්ලේ කුරුවිටව දන්නවාද කියලා. හැබැයි අද දක්වා ඌට ගනේමුල්ලේ කුරුවිටව දන්න එකෙක්වත් හම්බවෙලා නෑ. ඒකයි ඌ මට කිව්වේ අඩු තරමේ යාළුවෙකු ගේ යාළුවෙක් වෙන උඹවත් ගනේමුල්ලේ කුරුවිට ව දන්නවාද කියලා අහන්න කියලා!"

කතාව එච්චරයි. මේක හරිම සරලයි. ටියුබ් ලයිට් නං කියන්න හොඳේ මෙයාලා? එක්කෝ කමෙන්ට් එකක් දාන්න නැත්තං ඊ-මේල් කරන්න.

කතන්දරකාරයා

ප/ලි
ෆේස් බුක් එකෙන් අපිට ෆෙන්ඩ්ස් ලා සජෙස්ට් කලාට සමහර වෙලාවට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් යවන්න බලන කොට මෙන්න බොලේ කියනවා, "දැට් යූසර් හෑස් ටූ මෙනි ෆෙන්ඩ්ස්!" කියලා.

එහෙනං මොන මගුලකටද අපිට උන්ව සජෙස්ට් කරන්නේ?

බයිද වේ, මාත් ඉන්නවා ෆේස්බුක් එකේ. මෙන්න විස්තර.
http://www.facebook.com/profile.php?id=100000242809041

Friday 9 July 2010

අපූරු කොලිටි කොන්ට්‍රෝලර්ස් ලා


මේක මං ඉස් ඉස්සෙල්ලාම රස්සාවට ගිය කොම්පැනියේ සිද්ධියක්. අවුරුදු ගානකට පස්සේ මගේ මතකයට නැගුනේ ඊයෙ කියපු විචාරකයෝ සහ විවේචකයෝ කතන්දරේ නිසයි.

මේ කොම්පැනියේ සිය ගානක් කෙල්ලෝ, කොල්ලෝ වැඩ කළා. කෙල්ලෝ තමයි අති බහුතරය. දුර පලාත් වලිනුත් ඇවිත් හිටියා කට්ටිය.

මේ අර ශනිදා ලොතරැයියක් රුපියල් දහය කාලේ. මෙතන වැඩ කරපු කෙල්ලන්ට කොල්ලන්ට සාමාන්‍යයෙන් පඩි ලැබුනේ රුපියල් දාහයි. දවසකට පැට අට ගානේ සතියකට දවස් හයක් වැඩ. කෙල්ලෝ බහුතරයක් කලේ මහන එකයි. වෙන නොයෙකුත් වෙනත් වැඩත් තිබුණා, කපන, මදින, පැක් කරන අංශවල. කොල්ලෝ නම් මහන අංශේ හැර අනිකුත් හැම තැනම වැඩ කළා.

අළුතින් වැඩට එන කෙල්ලන්ට මුලින්ම තියෙන්නේ පුහුණුවක්. මාසයක් විතර කාලයක්. මේ කාලේ ගෙවීම අඩුයි මයෙ හිතේ.

මේ අධිවේගී මැෂින් වලින් මහන එක ලේසි වැඩක් නෙමේ. මාත් පැය දෙකක් තුනක් ට්‍රයි කරලා තියෙනවා මෙතන ජොබ් එකට ගිය මුල් දවස්වල.

හොඳට මහන්න පුළුවන් අයව ගන්නවා කෙලින්ම සේවයට අර කියපු රුපියල් දාහේ පඩියට. මහන්න බැරි අයව දාලා තිබුණා, ඔය මහපු ඇඳුම් වල නූල් කපන්න වගේ වැඩ වලට. පඩිය සියයට දහයක් විතර අඩුයි.

ඔහොම යන කොට ඔන්න එක දවසක් කොම්පැනියේ ලොක්කා ආවා රට ඉඳලා.

අපේ නිෂ්පාදනවල කොලිටිය අඩුයි කියා පාරිභෝගික මතයක් ගොඩ නැගෙනවාලු. කොලිටිය තව උසස් කළ යුතු බව මහා රැස්වීමක් තියලා ලොක්කා ප්‍රකාශ කළා. ඕඩර්ස් නැතිවුනොත් හැමෝටම බඩුනේ.

ඉතිං පාලනාධිකාරිය වහාම ක්‍රියත්මක වුනා. හැම අංශයකම, හැම මහන ලයින් එකකම කොලිටිය රකින්න, වැඩි කරන්න පියවර ගත්තා.

මහන අංශ වල හිටපු නූල් කපන, අස්පස් කරන කෙල්ලෝ ටික වහාම කොලිටි චෙකර්ස් ලා විදියට නම් කළා. මේ අය ඇන්ද රෝස පාට යුනිෆෝම් එක වෙනුවට රතුම රතු පාට අළුත් යුනිෆෝම් එකක් දුන්නා. රතු පාට දැම්මේ හැමෝටම හොඳින් පේන්නයි.

හොඳම ජොලි වැඩේ වුනේ ඊට පස්සේ. කොම්පැනියේ අළුත් අවශ්‍යතාවය වන කොලිටිය වැඩි දියුණු කිරීමේ අරමුණ නිසාම අර කොලිටි චෙකර්ස් ලා ගේ පඩිය රුපියල් දෙසීයකින් වැඩි කළා!

මල සේක කිව්වලු.

හොඳට මහන්න පුළුවන් අයට වඩා, මහන්න බැරුව training එක ෆේල් වුනු උන්ට සියයට විස්සක් පඩි වැඩියි!

කොලිටි කොන්ට්‍රොල් කෙරුවාවත් නරක නෑ නේද?

කතන්දරකාරයා

Thursday 8 July 2010

විචාරකයෝ සහ විවේචකයෝ


ලංකාවේ ඉංගිරිසියෙන් ලියා පලකෙරෙන නවකතා, කෙටිකතා නිර්මාණ වලින් හොඳම කෘතිය තෝරල පිරිනමන සම්මානය තමයි ග්‍රේෂන් සම්මානය. මේක පිහිටුවල තියෙන්නේ, ලංකාවේ ඉපදිලා කොලු කාලේ පිටරට ගිහින් දැන් කැනඩාවේ ඉන්න මයිකල් ඔන්ඩච්චි තමන්ගේ ඉංග්ලිෂ් පේෂන්ට් කියන පොතට හම්බ වෙච්ච බුකර් ප්‍රයිස් එකේ මුදල් වලින්.

මේ ඔන්ඩච්චි ගේ පොතක තිබුණ කාරණයක් ගැන කියලනේ මගේ චූ කතා සීරීස් එක පටන් ගත්තේ, මතකයි නේද?

ඉතිං, මේ පාර ග්‍රේෂන් එවෝඩ් එක දීලා තියෙන්නේ ළමා කතාවකටයි. මේ වගේ කතාවල කිසිම කොලිටියක් නෑ කියල තර්ක කරන ලංකාවේ විචාරකයෙක් වෙන රාජ්පාල් අබේනායක ඔන්න අර කොවූර් වගේ මහා අභියෝගයක් කරලා. මිනිහා ලියල පෙන්නන්නං කියල දවස් හතරකින් ඔය ග්‍රේෂන් එවෝඩ් එක දීල තියෙන කෘතිවලට වඩා සාපේක්‍ෂකව හොඳ තත්වයේ පොතක්!

මේ අභියෝගය පොත් ප්‍රකාශකයින්ටයි. හොඳ අවස්ථාවක් අපිටත් ප්‍රකාශකයෙක් වෙන්න – සල්ලි ටිකක් තියෙනව නං.

පොතක ප්‍රකාශකයා කියන්නේ පොත මුදුණය කරන්න සල්ලි ආයෝජනය කරන කෙනාටයි. ඒකෙන් වැඩි වියදම මුද්‍රණයටයි. පොතක විකුණුම් මිලෙන් වැඩි කොටස ඒ හින්දා යන්නේ ප්‍රකාශකයාටයි. ලේඛකයාට 10% යි. පොත් කඩේට 40% ක් යනවා-ඒකෙන් තමයි පොත් කඩෙන් වට්ටම් දෙන්නේ. ඉතුරු ගාන ප්‍රකාශකයාටයි වියදම සහ ලාභය.

ඒ කෂ්ටියට බාහිරව ඉන්න කෙනෙක් නේ විචාරකයා.

විචාරකයෝ කියන්නේ සාමාන්‍යයෙන් නිර්මාණ කරන අය නෙමේ නේ. වෙනත් අයගේ නිර්මාණ විශ්ලේෂණය කරලා, ගුණ දොස් පෙන්නන අයයි.

ඉතිං අපේ හුඟක් නිර්මාණවල ගුණ ට වඩා දොස් වැඩි නිසා, විචාරකයෝ අතින් හුඟක් වෙලාවට ලියවෙන ලිපිවලින් වඩාත් ඉස්මතු වෙන්නේ නිර්මාණයේ වැරදි ගොඩ විතරයි. විචාර වලට බොහෝවිට විවේචන කියලා කියන්නේ ඒ හින්දා වෙන්න ඕනෑ. මොනවා වුනත් විචාර, විවේචන වලින් තමයි කොලිටි එක කොන්ට්‍රොල් වෙන්නේ.

ඉස්සර තිබුණා "දෙඤ්ඤං බැටේ" විචාරය කියලා එකක්. මේකට ඉතා ප්‍රසිද්ධ වුනේ විශ්‍රාමික මහාචාර්ය සුචරිත ගම්ලත්. මිනිහා ගේ ලයින් එක හතරවෙනි ජාත්‍යන්තරයේ විප්ලවවාදී විචාර ක්‍රමයයි. ඉතිං, ලංකාවේ ප්‍රකාශනය වෙන ඕනෑම කෘතියකට, සමාජ සමානතා පක්‍ෂයේ කෙනෙක් සම්බන්ධ නැති, ඇට්ටි හැලෙන කං බැෂ්ටිය දෙන්න පුළුවන්.

මං උසස්පෙල කරන කාලේ, මං ගිය ඉස්කෝලේ තිබුණා නොයෙකුත් සංගම්, විවිධ වැඩ කටයුතු කරන. මේ හැම සංගමයකටම වාගේ දැන්වීම් පුවරු තිබුණා ඒ අයගේ වැඩ කිඩ, නිවේදන හෙම පල කරන්න.

ඉස්කෝලේ එක ගුරුවරයෙකුට ඕනැ වුනා ළමයින් ලවා අළුතින් සංගමයක් හදන්න. මොනව කරන්නද දන්නවද? අර සංගම් විසි තිස් ගානේ වැඩ කටයුතු නිරීක්‍ෂණය කරලා විවේචනය කරන්න. ඒක හොඳ හිතින් කරපු අපූරු යෝජනාවක්. කොලිටි කොන්ට්‍රොල් (තත්ව පාලන) පැත්තේ. ඒත් අනේ කවුරුවත් එහෙම සංගමයක් හැදුවේ නම් නෑ. අපේ ගුරුතුමාට විවේචන ජිනසේන කියලා නමක් පට බැඳුණා මිසක්.

මේ සේරම මයික්‍රෝ කතන්දර දුසිම් බාගෙම මතක් කලේ මෙන්න මේක කියන්නයි.

මේ කතන්දර බ්ලොග් එකට පොසිටිව් පාඨක ප්‍රතිචාර ලැබෙනවා. සම්මානයකුත් ලැබිලා තියෙනවා. ඒව මතක් වෙනකොට ජොලි.

ඒ මොනවා වුනත්, බ්ලොග් එක දියුණු වෙන්නේ නම්, මට ලැබෙන විවේචන, විචාර, නිවරද කිරීම් සහ එකතු කිරීම් හින්දයි. කලින් කිව්වා වගේම, ඒ ප්‍රතිචාර තමයි මේ බ්ලොග් එකේ කොලිටි කොන්ට්‍රෝල් මිකැනිසම් එක.

කාලය පිළිබඳ මෙච්චර ප්‍රශ්ණ තියාගෙන, තව දවස් කීපයක් හෝ බ්‍රේක් නොගසා මේක තාමත් අද්දන් යන්නේ ඒ ගහන පෙට්‍රල් වලින් තමයි.

අපි හැමෝටම ජයවේවා.

කතන්දරකාරයා

ප/ලි
හෙට ලියන්නම් කොලිටි කොන්ට්‍රෝල් කිරීම ගැන අපූරු කතන්දරයක්.

Wednesday 7 July 2010

ඊයේ දාපු "කොල්ලන්ට උපදෙස්" කතන්දරේ ට ආපු කමෙන්ට්ස් මෙන්න


ඊයේ මං කියපු කතන්දරේ සමහර අයට තේරිලා නෑ.

ඒ මදිවට තේරිච්ච අය දාපු කමෙන්ට්ස් වත් ඒ නොතේරුන අයට නොපෙනුණ නිසා, ටියුබ් ලයිට් නෙමේ, කෙලින්ම පවර් කට්!

ඒ නිසා, මෙන්න මුලින්ම ඒ කතන්දරේ තේරෙන භාෂාවෙන්.

=============================================
කොල්ලා: මං ඔයාට ආදරෙයි. ඔයා මා එක්ක යාලු වෙන්න කැමතිද?

කෙල්ල: මට වෙන ප්‍රශ්ණ ගොඩාක් තියෙනවා. ඒ නිසා මට බෑහැ.

නිහැඬියාව රජයයි.

කෙල්ල: අනේ මා එක්ක තරහ වෙන්න නං එපා.

කොල්ලා: මං කොහොමද ඔයා එක්ක තරහා වෙන්නේ, මං ඔයාට ආදරෙයි නේ?

නිහැඬියාව රජයයි.

මාස ගණනකට පසු:

කෙල්ල: එදා මට පුදුම දුකක් දැනුනේ.

කොල්ලා: තව අවුරුදු බර ගාණකින් මං කතන්දර කියලා බ්ලොග් එකක් කරන්නයි ඉන්නේ. ඒකේ මේ කතන්දරේ ලියන්න ඕනෑ.
=========================================

ඊයේ හවස් වෙන කොට ප්‍රතිචාර කන්දරාවක්ම ඇවිල්ලා තිබුණා. ඒත් එකයි පලවෙලා තිබුනේ. මං දාපු එකවත් නෑ. අද උදේ ඬෙනකොට සමහර ඒවා (17ක් විතර)පලවෙලා. තවත් කීපයක් මිසින් ඉන් ඇක්ෂන්.

මෙන්න ඒවා.

වැම්පයර්
හ හා.. හරියටම හරි.. ඕක ටක්කෙටම හරි.. මටත් තෙල් ටිකට වැඩ කරලා තියනවා!
=============================

ඉලංදාරියා
ක.සු ගේ රහසේ සැගවුන ආදර කතා.....පවු අපා අපේ අහින්සකයා
=============================

priyantha.ඒබී
කතන්දර තමයි දවසකටවත් පොර
=============================

පිස්සා පලාමල්ල
ඒක නම් නියම කතන්දරේ.....
=============================

Hasitha ජයසූරිය
හික්zz මරු
=============================

ගයන්ත
කිසියම් ප්‍රගතියක් තියෙනවද? ;)
=============================

budhajeewa
කනට ගැහුව වගේ ** නොදී පලයං කීවොත් මොකදැයි කොරන්නේ? :S
=============================

හෘද සාක්ෂිය
what is that bullshit..........
=============================

සිරකරුවොත් මනුෂ්‍යයො‍් ය
තේරුණේ නෑනේ.. :'(
=============================

Buratheno
හහ් හහ් හා‍.. no comments කකා.. :)
=============================

කාංචන දිනූක
එක සිතක් විතරමයි උනුවෙලා තියෙන්නේ. එහෙම නොවුනනම් කතන්දර කියන්න කතන්දර කාරයෙක් ජීවතුන් අතර නොසිටින්න තිබුනා. හික් හික් :)
=============================

wath
අනේ මන්ද මට නම් මෙය නොතේරේ
=============================

arjuna
දැන් බලනකොට කතන්දරගේ කතා වැඩි හරියක් කියවන්නේ කොමෙන්ට් කරන්නේ කෙල්ලො :D
=============================

ඉතුරු කමෙන්ට්ස් ටික මෙතනින් බලන්න.

ඕකෙන් මේකෙන් අද කතන්දරේ දාන එක හෙටට කල් දාන්න වුනා.

හෙට හමුවෙමු, නැවතත්.

කතන්දරකාරයා

Tuesday 6 July 2010

කොල්ලන්ට පොඩි උපදෙසක් - කෙල්ලන් ට මේ කතන්දරය බැලීම තහනම්ය


මේ කතන්දරේ නං කතන්දර බ්ලොග් එකට එකතු වෙන හොඳම හොඳ කතන්දරයක් බවයි මගේ හැඟීම.

ඕනැ නං එකඟ වෙන්න, එපා නං එකඟ වෙන්න. (ඔය කියමන මගේ පරණ විද්‍යා ගුරුවරයෙක් ගේ මොටෝ එක පොඩ්ඩක් වෙනස් කරල හදාගත්තු එකක්!)

මං දැං මාස දෙක තුනකට කලින් කිව්වා මතකද, මං හොඳ වෙන්න උත්සාහ කරන කෙනෙක් කියලා කළ ප්‍රකාශයක් ගැන කතන්දරයක්. බලපු නැති අයයි, අමතක අයයි, ඉස්සෙල්ල ඒක බැලුවොත් හොඳයි. (නැත්තං පස්සෙ ගිහින් බලන්නකෝ).

අද කතන්දරයත් ඒ වගෙමයි, හැබැයි ඊට වඩා අති ප්‍රභලයි.

කාලෙකට ඉස්සර කතන්දර කුමාරගෙ සිතටත් ඔය කොයි, කොයි කුමාරලටත් වෙන විදියට ආදර සිතුවිලි ගලා ගෙන එන්න පටන් ගත්තා.

සියයට පනහේ ඒක පාර්ශවික ආදර සම්බන්ධතා නම් අපමණක් තිබුණා. ඒවා කවි වලින් එහාට ගියේ නැති තරම්.

තවත් ටිකක් කල් ගිහින් අර කන්ද උඩරට තිප්පොලේ කල් මරණ කාලේ, ඔන්න ඉතිරි සියයට පනහ සෙට් කරගන්න උත්සාහ ගන්න තරම් තත්වයකට කතන්දර පොර දියුණු වෙලා ආව.

අන්තිමටම දැක්ක අළුත් නැව නැංගුරම් ලාපු කාලේ ඔන්න ඉතිං මාර රැග් එකක් කාලා, පැය ගානක් තිස්සේ රස්තියාදු වෙලා, ෆේස් 2 ෆේස් සෙෂන්ස් පහක් විතර පවත්තලා (මේ ක්‍රියාවලිය සේදීම ලෙසින් හැඳින්වේ!) අර භයානක ප්‍රශ්ණය දැම්මාය කියමුකෝ.

පස්සෙන් පහු අද වගේ දවසක කතන්දර බ්ලොග් එකට කතන්දරයක් එකතුකරන්න මොකක් හරි සම්මාදමක් වෙන්න ඕනෑ නේද කියල හිතෙන්න ඇති!

කෙලින්ම "මට බැහ්!" කියල නොකිව්වත්, හොඳ ලස්සන වචන වලින් කණට ආවෙ අර අපි හුඟ දෙනෙක් අහල පුරුදු දුක්බර නෙගටිව් උත්තරේ.

එවෙලෙ මගෙ මූණ මැලවිලා යන්න ඇති, ඒකයි මෙහෙම කියවුනේ ඊ ළඟට.

"අනේ කතන්දර මා එක්ක තරහ වෙන්න නං එපා!"

ඔන්න හරියටම මේ වෙලාවේ තමයි ඒ ඓතිහාසික මොහොත උදාවුනේ.

සමහර විට -හරියට අර චූටි ටීචර් ගේ කතන්දරේ දී කිව්වා වගේ- කතන්දරකාරයාගේ තැනට සුදුසු නුවණ වෙන්න ඇති.

සමහර විට කතන්දරකාරයාගේ අවංකකම වෙන්න ඇති.

බොරු නොකියවෙන, හිතේ එකක් තියං එකක් නොකියන හොඳ ගතිය වෙන්න ඇති.

ඒ මොනව වුනත්, -මා එක්ක තරහ වෙන්න එපා- කියන එකට කටෙන් පිටවුනු උත්තරේ මෙන්න මේකයි!

"මං කොහොමද බබෝ ඔයා එක්ක තරහ වෙන්නේ? මං ඔයාට ආදරෙයිනේ!"

පව් නේද? දුක හිතෙනවා නේද?

ඒ වචන ටික සිත් උණුකරන වචන සෙට් එකක්. අඩු වශයෙන් එක සිතක් එදා උණුවුනා.

අනික මං මුලිනුත් කිව්ව වගේ ඔය කතාව ඇත්තම ඇත්ත අවංක එකක් නේ.

ඔයින් මාස ගානකට පස්සෙ එවරස්ට් කන්ද ඇත්තටම තරණය කරපු වෙලේ තමයි මට වැටහුනේ මගේ ඒ කතාව එදා කොච්චර සිත සසල කරල තියෙනවද කියල.

අදට එච්චරයි. හොඳේ.

අද කතන්දරේ තේරුනේ නැතිනං, ආපහු කියවලා හරි තේරුම් ගන්න. කවද හරි ප්‍රයෝජනවත් වෙයි. ඒක ෂුවර්.

මෙන්න ආයෙත් අර මං හොඳ වෙන්න උත්සාහ කරන කෙනෙක් කියලා කළ ප්‍රකාශයක් ගැන ලියපු කතන්දරේ ට ලින්ක් එක.

කතන්දරකාරයා

Monday 5 July 2010

නිව් ඉයර් රෙසොලූෂන් එක


හැමෝම මං වගේ නෙමේ නේ. සමහරු ඉන්නවා නරක පුරුදු තියෙන. ඒ කියන්නේ මේ සිගරැට් බොන එක, රේස් ඔට්ටු දාන එක, වගේ දේවල්. අර වෙන්ඩ මනමාලයෙකුටත් වැරදුනේ ඕවා ගැන කතා කරන්න ගිහිල්ලා.

ඒ පුරුදු නරක පුරුදු බව දන්න අය සමහරු තමන්ගේම උවමනාවට හරි, වයිෆරේ ගේ බර බරේ හින්ද හරි ප්ලෑන් කරනවා ඒවායෙන් අත් මිදෙන්න.

ඔය අතරේ තවත් අය ඉන්නවා, නරක පුරුදු නැතිවුනත් අළුතින් හොඳ පුරුදු ඇති කරගන්න ප්ලෑන් කරන අය.

මේ හැමෝගේම ටාගට් දවසක් තමයි ජනවාරි පලමුවෙනිදා.

සිගරැට් බොන උන් හිතනවා ඔන්න එදා ඉඳලා සිගරැට් බීම අතහරිනවා කියලා. බර අඩු කරගන්න දිනපතා ඇවිදින්න හිතන කට්ටියත් රනින් ෂූස් හෙම අරගෙන සෙට් වෙනවා ජනවාරි පලමුවෙනිදා ඉඳන් ඉස්කෝලේ පිට්ටනියේවත් ඇවිදින්න.

අද කතන්දරේ මේකයි.

ඔන්න දවසක් අපි කෂ්ටියක් එකතු වෙලා ඕගනයිස් කළා තර්ටි ෆස්ට් නයිට් පාටි එකක් යාළුවෙකුගෙ ගෙදරක.

ඔතන ගිහින් කාලා, බීලා, සින්දු කවි කරලා, දොලහ පහු වුණාම හැමෝටම විෂ් කරගෙන හෙම ජොලියේ ඉන්න වෙලේ පැත්තකින් ඇහුණා ලාමක ඉකි බිඳුමක්.

බැලින්නම් අපේ සුන්දර කාන්තාවක් මේ අළුත් අවුරුද්ද ලැබුවා විතර ටිකක් බෙරි වෙලා.

මේකයි වෙලා තියෙන්නේ.

අපේ යාළුවෙක් හිටියා අර "ධූම පමා දෂ්ඨානා වේරමණී" කියන්නේ නැති වර්ගයේ. බැඳපු දවසේ ඉඳන්ම හාමිනේ ගෙන් බර බරේ හින්දා, පොර ප්‍රොමිස් කරලා අළුත් අවුරුද්දේ ඉඳලා smoking වැඩේ නවත්තනවා කියලා.

එදා තර්ටි ෆස්ට් නයිට් පාටියේ දී දොලහ වදිනවා බලන් ඉඳලා අපි විෂින්, කිසින් පාරක් දාලා විනාඩි කීපයක් යන්නත් කලින් මේ හාමිනේ දැකලා තියෙන්නේ අපේ පොර ගෙදර මිදුලේ තවත් යාළුවෙක් එක්ක සිගරැට් එකක් ගහන සීන් එකයි.

පොඩ්ඩක් බලාගෙන ගියාම මෙතන තියෙන්නේ පොඩි කොමියුනිකේෂන් ඉෂු එකක්.

අපි මේ තාමත් තර්ටි ෆස්ට් නයිට් පාටියෙනේ ඉන්නේ. ඉතිං අපේ පොර හිතන්නේ තාමත් දෙසැම්බර් 31 කියලයි. පොරගේ දුම් බීම අතහැරීම පටන් ගන්නේ හෙට උදේ ඉඳලයි.

පොර ගේ හාමිනේ හිතන්නේ දැන් රෑ දොලහත් පන්නලා, විෂ් කරලා, කිස් කරලාත් ඉවරයි, මේ අළුත් අවුරුද්ද නේ කියලායි.

ඉතිං, පුදන කොටම කාපි යකා වගේ අපේ පොර නිව් ඉයර් රෙසොලූෂන් එක මුල් විනාඩි පහේ දීම කැඩුවා නේද කියල බර බරයක් දාලා ඊට පස්සෙයි හාමිනේ මේ ඉකිබිඳුම පටන් අරං තියෙන්නේ!

මං දෙන්නටම කිව්වා ඊලඟ අවුරුද්දේ ඉඳලාවත් මේ වගේ පොඩි පොඩි දේවල් ගැන වලි දාගන්නේ නෑ කියලා අධිෂ්ඨානයක් කරගන්න කියලා.

කතන්දරකාරයා

Sunday 4 July 2010

ඕනෙ නං ඉගෙන ගන්න, එපා නං ඉගෙන ගන්න



කාලෙකට ඉස්සර මං ක්‍රිකට් තරග විස්තර ප්‍රචාරයක් අහං ඉන්න කොට ජාත්‍යන්තර නිවේදකයෙක් මෙන්න මෙහෙම කතාවක් කිව්වා.

"ඉස්සර අපි ටෙස්ට් ගහන කොට, ටොස් එක දිනුවොත් මුලින්ම බැට් කරනවා. පිච් එක ගැන ප්‍රශ්ණයක් තියෙනවා නම්, ඒ ගැණ සාකච්ඡා කරනවා, ඉන් පස්සේ බැට් කරනවා."

ඒක නිකං "ඌ මට ගහනවා, මට ඌ ගහනවා" වගේ කතාවක්.

මට මේ වෙලේ මතකයට එන්නේ මං පොඩි කාලේ (හයේ සිට නමය දක්වා) ඉගෙන ගත්තු ඉස්කෝලේ හිටපු විද්‍යා ගුරුතුමා.

ළමයින්ට නිරපරාදේ දඬුවම් කරන ගුරුවරුන් අතර මෙතුමා දෙවියෙක් වගේ. ඕනෑ දෙයක් ඉතිං සාපේක්‍ෂකයි නේ.

පොර නිතරම කියන වාක්‍යයක් තමයි මෙන්න මේක.

"ඕනෙ නං ඉගෙන ගන්න, එපා නං ඉගෙන ගන්න."

මුලින්ම විහිළුවක් වගේ පෙනුනට ඒක ගැඹුරු අර්ථයක් තිබුණු එකක්. අදටත් ගැලපෙනවා මටත් ඔබටත් අපි හැමෝටම.

ජීවිතේ සමහර දේවල් වලට ඔප්ෂන්ස් නෑ. හොයන්න යන්නත් ඕනෑ නෑ. එක අරමුණෙන් වැඩ කරන්න ඕනෑ.

මෙන්න අපේ මේ ගුරුතුමා ගැන තව පොඩි කතන්දර අරික්කාල් දෙකක්.

මෑන්ස් අපිට ඉගැන්නුවේ විද්‍යාව. පොර ලැබ් එකේ හතර වටේම කළු කඩදාසි අලෝලා, කාචයක් මගින් නෙගටිව් කෑලි වලින් අපිට ස්ලයිඩ් ෂෝ පෙන්නනවා ඒ දවස්වල. අපි මුලින්ම දැකපු ඩොකියුමෙන්ටරි ඒවා තමයි. ඒ එක්කම පොර ෆෝටෝ, පින්තූර අරගෙන ලිපි හදලා මහා ප්‍රදර්ශණ වගේ ඒවා තියෙනවා හැම සතියේම වගේ ප්‍රධාන බිල්ඩිමේ කොරිඩෝර් එකේ. ඒවායිනුත් අපි සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා.

ඉතිං ඔය ප්‍රදර්ශන පුවරු එල්ලන්න පොරට තනියම බැහැ නිසා ඒ අහලින් පහලින් යන කීප දෙනෙක්ව උදව්වට ගන්නවා. හැමෝම කැමැත්තෙන් උදව් දෙනවා. ජොලිම කෑල්ල මේකයි, වැඩේ සේරම ඉවර වුනාම පොර අර උදව් කරන අයට කියනවා මෙන්න මෙහෙම.

"දැන් නිදහස්, යන්න පුළුවනි."

එතකොට තමයි අපිට තේරෙන්නේ මෙච්චර වෙලා අපි කරලා තියෙන්නේ ස්වේච්ඡා සේවයක් නෙමේ, වහල් සේවයක් කියලා!!!

අනිත් අරික්කාල මේකයි.

අපේ නමේ පන්තයේ විද්‍යාව පොතේ දහනමවෙනි පරිච්ඡේදය තිබුනේ මිනිස් ප්‍රජනන පද්ධතිය ගැනයි. හොද ඩයග්‍රෑම් හෙමත් තිබුණා. අපි ආසාවෙන් හිටියේ පොර ඒ පාඩම විස්තර කරන කං. මෑන්ස් කලේම නෑනේ ඒ පාඩම.

මුලින් ම කිව්වා කරන්නේ නෑ කියලා. ඇත්තටම කළෙත් නෑ.

-කතන්දරකාරයා

Saturday 3 July 2010

සාර්ථක කතන්දර සහ අප්සෙට් කතන්දර



කතන්දර දෙ-සීයකටත් වැඩිය ලියල මං කතන්දර සීයෙක් වෙලා ඉන්න නිසා මං ලියපු කතන්දර වලින් හොඳම එක මොකක්ද, ජොලිම එක මොකක්ද, අලම එක මොකක්ද, වාතම එක මොකක්ද යනාදී වශයෙන් මං කල්පනා කළා, අද නාන කාමරේ ඉන්දැද්දී.

මට හිතෙන විදියට නං මෙන්න මෙහෙමයි.

හොඳම කතන්දරය - ලෝ කට් බ්ලවුස්

ජොලිම කතන්දරය - කතන්දරකාරයා ගේ මහන දිවිය

අලම කතන්දරය - යුධ බිමේ අත්දැකීම් - මේක බහුතරයකට තේරුණේ නෑ. අඩු වශයෙන් කතාවට උඩින් තියෙන පින්තූරය වත්!

වාතම කතන්දරය - මාස දෙකෙන් වැඩේ පබා වෙයිද? වුනේ නෑනේ තාම.

කතන්දරකාරයා

ප/ලිඃ අද අලුතින් කතන්දර ලියන්න වෙලාවක් නෑ. අර බෝල බෝල මැටි වැඩේ පොඩි රාජකාරියක් තියෙනවා!

Friday 2 July 2010

සමරු පොතක මතකය ගැන ජොලි කතා


අද කතන්දර ගොඩකට මුල පුරන්න පුළුවන් කතන්දරයක් කියන්නයි යන්නේ. හැබැයි, මං මුල් හරිය කියන්නං, හැකි විදියට සම්මාදම ඕනෑ.

අපේ අම්මලා ගේ පාසල් කාලේ හරිම ජනප්‍රිය දෙයක් වෙලා තියෙනවා සමරු පොත්, එහෙමත් නැත්තං ඔටෝග්‍රාෆ් පොත්.

මේව ප්‍රමාණයෙන් පොඩි දිගටි හුරුබුහුටි හැඩයක් තියෙන, පාට පාට කොලයි ඝණකම් කවරයකුයි තියෙන සටහන් පොත් විශේෂයක්.

ඒ දවස්වල කොල්ලො කෙල්ලො මේවයෙ තමන්ගෙ යාළුවන්ට, ගුරුවරුන්ට කියල සමරු සටහන් ලියව ගත්ත.

දැන් නං මේව නෑ මගෙ හිතේ.

සමරු පොත් ගැන දන්නෙ නැති අය වුනත් මේ සින්දු අහල ඇතිනේ?

1. සිහිවටනය සේ කුමක් ලියන්නද ඔබේ සුවද රැඳි සමරු පොතේ.... [අබේවර්ධන බාලසූරිය]
2. [නුඹෙ සුවඳ පිරුණු].......මගෙ සමරු පොතේ රෝස පිටු පුරා .... [සනත් නන්දසිරි]

මාත් අටේ පන්තියෙ විතර ඉඳිද්දී ඔය ක්‍රේස් එක ආව අපේ ඉස්කෝලෙටත්. මං මුළින්ම කලේ පරණ ඇක්සයිස් පොත් පිටු එකතු කරල, කපල, බයින්ඩ් කරල පොතක් හදා ගත්තු එකයි. පස්සෙ නමේ පන්තියෙදි, කඩෙන් එකක් ගත්ත පාට, පාට පිටු තියෙන.

දැන් මේ පොත් දෙක බලන කොට සිත අතීතයට යනව. පරණ කතා මතක් වෙනව. මේවට සමරු පොත් කියන්නේ ඒකනේ.

ඔය පොඩි පන්තිවලදි අපි ඕවයෙ ලියන්නේ වෙන කොහේ හරි තිබුණු ඒවා. අළුතින් නිර්මාණ නෙමේ.

මෙන්න මගේ සමරු පොත් වල ලියල තියෙන සටහන් කිහිපයක්. මේ හැම එකක් පිටු පස්සෙම කතන්දරයක්, දෙකක් තියෙනව. ඒව පස්සෙ කියන්නං කෝ.

නුවර එලියෙ කානේෂන්
ගනේමුල්ලෙ ඉස්ටේෂන්
මගුල් ගෙදර ඩෙකරේෂන්
ඔයා හරිම ඉමිටේෂන්

බිව්වත් අයියෙ යම ලෝකේ ගිනිවතුර
බොන්නට එපා නැන්දම්මගෙ තේ වතුර

පැන යන විටදි කිරි බැබැලෙන හඳපානේ
ඉටිපන්දමයි පොල් කට්ටයි මා ගානේ

සුරතල් කරන්නට මුහුණට දෙතොල තබා
සුරතල් පුතෙක් වේවා ඔබෙ පලමු බබා

ඔන්න සමරුව දුන්න හින්දා
මෙන්න ආසිරි වදන ලිව්වා
නයන නන්දන රසික අදහස්
ඔබේ සිත තුල පහල වේවා!

මේ සමහර ඒවා අපේ අම්මලාගේ කාලේ ඉඳල පැවතගෙන එන කවි පද.

මේ වගේ සමරු පොත් දැකල තියෙනව නං, ඒ වගේ තියෙන කවි පද සහ ජොලි කෑලි දන්නවනං ලියල දාන්නකො, ප්ලීස්.

කතන්දරකාරයා

Thursday 1 July 2010

තට්ටෙන් සොමිය දීම



මේ කතන්දරේ දාන්න හිටියෙ ඊයෙ උදේ. ඒත් UCSC ඔන්ලයින් කන්වර්ටර් එක ඩවුන් හින්ද කපුටා ෆොන්ට් එකෙන් ටයිප් කරපු එක පැත්තකට දාන්න වුනා. කාලෙකට කලින් ලියල අභය වලින් තිබුණු කවි කිහිපය විතරයි දැම්මේ. ඒකත් ඉමේජ් එකක් විදියට.

මගේ කවි පෙලේ මුල් කවියෙන් කියවුණු කතන්දරේ හැමෝම දන්නවනේ? දන්නැති අය සඳහා මෙන්න කෙටියෙන්.

ඔන්න එකමත් එක රටක ගමරාල කෙනෙක් හිටියා. මිනිහට හිටිය ගෙදර අඹුවට අමතරව හොර අඹුවකුත්. ඔන්න කාලයක් යනකොට මිනිහගේ කෙස් එකින් එක පැහෙන්න පටන් ගත්ත.

මේක දැකපු හොර ගෑනි කලේ ඒ පැහෙන පැහෙන එක ගලවපු එකයි. එයාට ලැජ්ජයි ලු, ගමයා වයසයි කියල පේනවට.

ගෙදර ගෑනිට ඕනැ කලේ ගමයව තවත් නාකි කරල පෙන්නන්නයි. එයා කලේ, සුදු කෙස් ඉතුරු කරල, කළු ඒව එකින් එක ගලෝපු එකයි.

අන්තිමේදි ගමය තට්ටයෙක් වුනා.

ගමරාළ ගෙ හොර අඹුවට දැනී කැත
ගමයගෙ පැසෙන කොණ්ඩය ගැලවීය මිත
මහගේ කළු කෙස්ස ගලවයි තුටින් සිත
ගමයා තට්ටයෙක් විය විපතක මහත!


* * *

මං කාලයක් කොණ්ඩෙ වවල හිටිය. ඇත්තටම කියනව නං පෝනි ටේල් එකකුත් දාලයි හිටියෙ. ඒ දවස්වල මට තිබුණ පොල් කටු දෙකක් විතර ලොකු වීදුරු තියෙන කණ්නාඩි කුට්ටමකුත්.

මං දවසක් අපේ හාමිනේ වැඩ කොරපු තැනට ගියාම ඒකෙ හිටපු පොරක් මට රැවටුනා නිහාල් නෙල්සන් කියල.

තට්ටය ටිකෙන් ටික මතුවී එන කාලේ
වැව්වෙමි ගෙල දිගට කොණ්ඩය මන ලෝලේ
තට්ටය සැමට අමතක වී ඒ වේලේ
කොණ්ඩඤ්ඤ යැයි නම පට බැඳුණා රාලේ


* * *

මං මුලින්ම තට්ටෙ ගෑවෙ පිළිකා අරමුදලට ආධාර කරන වැඩ සටහනකටයි. එදා තමයි අපේ ඔෆීසියේ කාන්තා පක්‍ෂයේ හොඳම පිරිපුන් කෂ්ටිය දෙන්නෙක් තුන්දෙනෙක් මගේ අළුත් ලුක් එක ගැන පොසිටිව් කමෙන්ට්ස් දුන්නේ.

අඩුතැන් වැසූ කෙස් බූ ගා තට්ටෙටම
පසුගිය දිනක ඔෆිසිය වෙත ගියෙමි මම
සුකොමළ තරුණ ලළණාවෝ පිරුණු ළැම
පෝලිම් ගැසී ආවෝ මා දැකුමටම


ඊට පස්සෙ මං නිතරම තට්ටෙ ගාන්න පටන් ගත්ත බව අමුතුවෙන් කියන්න ඕනැ නෑනෙ!

පෙර හිස තට්ටෙ ඇත්තෝ කට්ටයෝ ලූ
පසු පස තට්ටෙ ඇත්තෝ මොට්ටයෝ ලූ
බූ ගා දැමූ කල මුළු හිස අගේ ලූ
තට්ටෙන් දෙන සොමිය සුර සැප වගේ ලූ


ගිය අවුරුද්දෙ නොවැම්බරේ තිබුණු සිංහල බ්ලොග්කාරයින් ගේ සංගමේ සුහද හමුවට ආපු අය දැක්කනේ මගෙ තට්ටේ උජාරුව.

ඕනැ කෙනෙකුට ඒ ෆොටෝ තියෙන බ්ලොග් එකකින් ඒ සුන්දර දසුන නරඹන්න පුළුවන්. ළඟදි තිබුණු බ්ලොග් මැරතන් එක ගැන පත්තරේ ගිය ලිපියෙත් මං තුමාත් ඉන්න ගෲප් ෆොටෝ එකක් තිබුණ වගෙයි මතක.

* * *

අපේ රවා ළමයගෙ හිතේ කොණ්ඩෙ යන්නෙ වයසට කියලයි. නොදන්නකම නේ. එහෙමනං, එතකොට ගෑනු අය වයසට යනකොට රැවුල එන්නේ ඇයි?

බයලොජි කාරයො නං මේකෙ සත්‍යය දැන ගන්න ඕනැ. බයලොජි කළත් නොකළත් අරුණි නං දන්නව ඇති ෂුවර් එකටම. ඇත්තටම එයා නං නොදන්න දෙයක් නෑ.

මං දන්න විදියට නං කොණ්ඩෙ හොඳට වැවෙන්න මූලිකම හේතුව නං "ඊස්ටර්ජන්" කියන ගෑනු හෝමෝනයයි.

පිරිමි හෝමෝනය වන "ටෙස්ටෙස්ටොරන්" වැඩි වුනාම වෙන්නේ කොණ්ඩය යන එකයි.

ඔය තට්ටෙන් සොමිය දෙනව කියන කතාවත් මං හිතන්නෙ ඕකට සම්බන්ධයි. එකයි, එකයි දෙක බව දන්න අය නේ අපි සේරම.

මෙන්න අද කතන්දර බාග දෙක.

අපි කට්ටියක් මහනුවර හරියෙ රස්තියාදු වෙන කාලෙ දන්න කියන හාමුදුරුවරු කීප නමක් හිටිය. එයින් එක නමක් හැර අනික් සියළු දෙනාගෙම සෙන්ටිමීටර් එකක් විතර කොණ්ඩෙ තිබුණ. කළු වලාවෙ තිබුණ රිදී රේඛාවට හේතුව සිල්වත් බව විතරක් නෙමේ, ඇත්තටම වයස විසි පහ වෙන්නත් කලින් කොණ්ඩේ හොඳටම ගිහින් තට්ටේ පෑදීමයි.

දෙවෙනි බාගෙ තමයි ඔය තට්ටෙන් සොමිය දෙන කතාව. ඕක මුලින්ම කිව්වෙ මගේ යාළුවෙක් අර රස්තියාදු කාලෙ. හරි කොන්ටෙක්ස්ට් එක නං දැන් අමතක වෙලා ගිහින්. ඒත් මට ඔය කතාව ආපහු මතක් වුනේ නං මේ ළඟදි වෙනිං හිතවත් පොරක් කියපු කතාවක් අහලයි.

මේ පොර හොඳට තට්ටේ තියෙන පොරක්. මං වගේ තට්ටේ ගාපු කෙනෙක් නෙමේ, නියම ඔරිජිනල් බඩුවක්. අර "ඉස්සරහ තට්ටයෝ කට්ටයෝ, පස්සෙ තට්ටයෝ මොට්ටයෝ" කියන කතාව ඇදිල ආපු වෙලාවක පොර කියපි මෙන්න මෙහෙම.

"දෙපැත්තෙම තට්ටයෝ සෙක්සියෝ!"

-කතන්දරකාරයා