Showing posts with label අම්මා. Show all posts
Showing posts with label අම්මා. Show all posts

Wednesday, 15 February 2012

මේව්ව උඹට හොඳ පාඩම් නොහොත් බෝංචි ග්‍රීන් කරිය - How not to cook Beans


අපේ එක්තරා ඇන්ටි කෙනෙකු ගේ සහ එම අංකල් ගේ එක් වීරයෙකු වූයේ ඉස්කෝලේ යන කාලේ ඉඳලාම මේ දෙන්නාම හොඳින් දන්න අඳුණන පොරක් වුණු සන්තියාගෝ අයියා යි.

මේ සන්තියාගෝ අයියා ඉස්කෝලේ යන කාලේ ජවන හා පිටිය මලල ක්‍රීඩා ශූරයෙක්ව ඉඳලා තියෙනවා. මා දන්නා කාලෙදීත් පොර බඩ රස්සාවට කළේ එක්කෝ අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ නැත්තම් ක්‍රීඩා අමාත්‍යාංශයේ වගේ තැනක ශාරීරික පුහුණු උපදේශකවරයෙක් විදියට වැඩ කරන එකයි.

සන්තියාගෝ අයියා ගේ ප්‍රිය බිරිඳ සන්තියාගෝ අක්කාත් ඒ වගේම ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ම කෙනෙක් ද කොහෙද?

ඊටත් වඩා වැදගත් කාරණය වුනේ මේ යුවලගේ දරුවන් දෙන්නා ජාතික මට්ටමින් විවිධ ක්‍රීඩා ඉසවු වලට සහභාගී වුණු ශූරයෝ දෙන්නෙක් වුණු එකයි.

ඔන්න දවසක් අපේ ඇන්ටියි අංකලුයි ගිහින් සන්තියාගෝ ලා ගේ ගෙදර. ගිහින් දවල්ට කාලා හවස් වෙලා තමයි ඇවිත් තියෙන්නේ.

එදා ගමන ගැන පස්සේ වුනු කතාවකින් මං එක් වැදගත් දෙයක් ඉගෙන ගත්තා. ඒක බෝංචි උයන එක ගැන ලොකු වැදගත් රහසක්.

සන්තියාගෝ ලා ගේ ගෙදර තිබුණු බෝංචි කරියේ බෝංචි කෑලි බාගෙට අමුවට තමයි තිබිලා තියෙන්නේ. කිරි, මිරිස්, ලුනු රහ හෙම නිකං ලාවට ලාවට වගේ වදින්න.

එළවළුවල මුළු ගුණම ඇඟට ගන්න නම්, ඒවා තැම්බෙන්නම උයන්නේ නැතුව නිකං ලාවට අමුවට හැපෙන ගානට උයන්න ඕනෑයි කියලයි ශරීරවර්ධනය ගැන හෙම හොඳට ගැන දන්න කියන සන්තියාගෝ ලා අපේ ඇන්ටි ට කියලා දීලා තිබුණේ.

බෝංචිවලට විතරක් නෙමේ, කැරට්, බීට්, පලාවර්ග වගේ බොහොමයක් එළවලුවලට මේ කතාව අදාලයි!

අර "වඩේ බදිනකොට අඩුවෙන් බදින්න!" කියනවා වාගේ එළෝළු උයන කොට බාගෙට ඉදෙන්න තමයි උයන්න ඕනෑ.

ඇන්ටිගෙන් මේ කතාව ඇහැව්වයි කියලා අපේ අම්මා නං එයා ගේ පාරම්පරික උයන ක්‍රමය වෙනස් කළේ නෑ. නමුත් මේ කතාව මගේ හිතේ ඇතුලේ තැන්පත්වෙලා තිබුණා මේ වෙන කොට ලියා පල කරපු පන්සීය පනහක් කතන්දර සහ තවත් පන්සීයක් විතර ලියන්න තියෙන කතන්දරත් එක්ක.

දවසෙන් දවස, සතියෙන් සතිය, මාසෙන් මාසේ, වසරෙන් වසර කාලේ ගෙවිලා ගිහින් මංතුමා ඒ-ලෙවල් කරලා, පේරාදෙනියේ රස්තියාදු වෙලා, බොසී ලා යටතේ මැවිසුරුකම් කරලා, තායිලන්තයේ මහන වෙලා ඉඳලා, කසාද බැඳලා යනාදී සියළුම කරණං ගහලාත් තව අවුරුදු කීපයක් ගතවුණාට පස්සේ ඔන්න මට නොමිලේම වගේ ලැබුණා උයන පිහන කටයුතු ගැන පොඩි උනන්දුවක් ඇති කරගන්න චාන්ස් එකක්.

මං මුලින් උයන්න ඉගෙන ගත්තේ බත්, පරිප්පු වගේ සරල දේවල්.

පස්සෙන් පහු මං ටික ටික එක්ස්පරිමන්ට් කර කර පුරුදු වුණා අනිත් එළවලු වර්ගත්, මස් වගේ දේවලුත් උයන්න.

බෝන්චි උයන එක රෙසිපියක් මං කලින් දැම්මානේ, ඒක නං හැබැයි හාමිනේ ගේ එකක්.

මේ වගේ තවත් මං ඉගෙන ගත්තු බෝංචි හදන ක්‍රමයක් තමයි තායිලන්තේ තියෙන ග්‍රීන් කරි එක. මේ කරිය හදන එකේ තියෙන ජොලිම වැඩේ තමයි කඩෙන් පැකට් එකක් අරගෙන කෙලින්ම හොද්ද ඒදන්න පුළුවන් හරියට අර ඇන්ටි ටින් එකක් දානවා වගේ.

දෙතුන් දවසක් උයලා, හාමිනේ එක්ක ටේස්ට් කරලා වැඩේ හොඳට පුරුදු පුහුණු වුණාට පස්සේ, මං මේ තායි ග්‍රීන් කරි පැකට් එකක් දවසක් අරං ගියා අපේ අම්මයි තාත්තයි බලන්න ගිය දවසක එහේ.

එදා මගේ ප්ලෑන් එක වුනේ අම්මටයි තාත්තටයි මගේ අතින්ම උයලා කන්න දෙන්න. (අන්න බලන්න අපේ කාලේ හැදුණු රත්තරං කෑලි වගේ පුතා ලා ගේ හොඳ වැඩ!)

ඔන්න ඉතිං, බත් ඉව්වා, පරිප්පු උයලා තෙම්පරාදු කළා. කුකුල් මස් කරි එකකුත් හැදුවා. ඒ එක්කම මේ කියපු තායි ග්‍රීන් කරියත් හැදුවා බෝන්චිවලින්.

දැන් ඔන්න මේසේ සූදානම්. දෙකෙලවර දේශනාවට මඩුව මත්වුණා!

අපේ ගෙදර පොර ළමයා තාත්තා නේ. පොර තමයි ඉස්සෙල්ලාම කන්නේ. තාත්තා ආවා, බෙදා ගත්තා බත් පොඩ්ඩකුයි, හොදි මාලුපිණියි, පොඩ්ඩ පොඩ්ඩ අනලා කන්න පටන් ගත්තා.

"මේ බෝංචි මාලුව හරියට ඉදිලා නෑ, අමුයි!" එක බෝංචි කෑල්ලක් හපපු තාත්තා කීවේ එච්චරයි.

බෙදාගත්තු බෝංචි ටික එහෙමම පිඟානේ පැත්තකට ඉතුරු කරළා අනිත් දේවල් එක්ක බෙදා ගත්තු බත් වලින් ටිකක් කාපු තාත්තා පිඟන් කොටේ එතන තියලා කුස්සියේ සින්ක් එකෙන් අත හෝදාගෙන යන්න ගියා.

තාත්තා කාලා ඉතුරු කරපු පිඟානේ කරපිංචා කොළ ටිකකුයි බත් කටවල් දෙක තුනකුයි එක්ක මගේ තායි ග්‍රීන් කරි බෝන්චි ටික දිලිසි දිලිසී තිබුණා.

අම්මා සුපුරුදු පරිදි කළේ තාත්තා ගේ බත් කොටේ ඉතුරු වෙලා තිබුණු දේවල්වලට තව බත් හැන්දකුත් දාලා, මස් හොඳි ටිකකුත් දාලා, කලවම් කරලා ගෙදර ඉන්න බූලා ගේ පිඟානට දාලා පිලිකන්නෙන් තියපු එකයි.

මං නං එදා තායි ග්‍රීන් කරි එක එක්ක රහ කර කර බත් කෑවා.

හවස් වරුවේ ගෙදර පිටිපස්සට පැත්තට ඇස් යොමු වෙච්ච වෙලාවේ තමයි දැක්කේ අපේ බූලා බල්ලා කරලා තිබුණු අළුගුත්තේරු වැඩේ!

ඌ පිඟානේ තිබුණු අම්මා කලවම් කරලා දාපු බත් ඇටයක් ඉතුරු නොකර, කරපිංචා කොලත් එක්කම කාලා තිබුණා.

පිඟානේ දිලිසි දිලිසී ඉතුරු වෙලා තිබුණේ, මගේ තායි ග්‍රීන් කරි එකේ බාගෙට තැම්බුණු බෝන්චි කෑලි ටික විතරයි.

-කතන්දරකාරයා

ප/ලි:
තායි ග්‍රීන් කරි රෙසිපිය පසු දිනක සිතුවම් සහිතව පල කෙරෙනු ඇත.

ප/ප/ලි:
බෝංචි ඇට ගැන මං ලියපු කතන්දරය මතකද?
http://kathandara.blogspot.com.au/2010/09/blog-post_24.html

Monday, 31 October 2011

දාම් ඇදීමට කැරැක්ටර් සැටිෆිකේට් එකක්? - A Chess move in a Draughts game


ටිකක් හිනාවෙන්න බ්ලොගේ ලියන අභීතට මලියදේවෙන් අයින් වෙද්දී හම්බ වුණාලු පිටු දෙකක කැරැක්ටර් සර්ටිෆිකේට් එකක්.

ඉස්කෝලවලින් හම්බවෙන ඔය සැටිෆිකේට් දිග වෙන්නේ තමන් කොරන ඇක්ස්ට්‍රා කරිකියුලර් වැඩ ගොඩ හින්දයි.

මං දහයේ පන්තියේ ඉඳලා ස්ටඩි කරපු ඉස්කෝලෙන් ලැබිච්ච සැටිෆිකේට් එකේ නං මගේ ඒ-ලෙවල් රිසල්ට්ස් වලට අමතරව තිබුනේ පේලි දෙකකයි. ඒකට හේතුව තමයි ඉස්කෝලේ හැට-හුටමාරක් සංගම්, සංවිධාන තිබුණට මං හිටියේ සංගම් දෙකෝම දෙකේ වීමයි.

එකක් එනර්ජී කන්සරවේෂන් සොසයිටි. ඒ සංගමෙන් මොනව කළාද කියලා දැන් නං මට මතක නෑ.

අනික තමයි දාම් සංගමය.

දාම් කියන්නේ මං පුංචි කාලේ ඉඳලාම ටික ටික දැන ගෙන හිටිය බෝඩ් ගේම් එකක්.

චෙස් කියන බෝඩ් ගේම් එක දන්නවා නේද? චෙස් තමයි ඉතිං රට ෆොරිජින් පොෂ් ගේම, ඔය මකරා වගේ අය කැමති.

අපි නොදන්න චෙස් කිව්වලු!

දාම් කියන්නේ ගං චෙස්, වල් චෙස් නැත්තං ලෝකල් චෙස් කියලා හඳුන්වලා දෙන්න පුළුවන්.

අපේ ආච්චී ලා ගේ ගෙදර තිබුණා දාම් බෝඩ් එකක්. ඇත්තටම කියනවා නං ඒක ඩුවල් පර්පස් එකක්. ඒකේ එක පැත්තක දාම් පෙත. අනිත් පැත්තේ පංචි පෙත.

දන්නවනේ අර කවඩි බෙල්ලෝ හයදෙනෙක් හොල්ලලා බිමට දාලා එන ලකුණු අනුව කොටුවෙන් කොටුවට පැනලා දිනුම් කණුවට යන ගේම් එක?

අපේ ආච්චී, අම්මා, පුංචි අම්මලා හෙම වැඩියෙන් කැමති පංචි දාන්නයි. මගේ හිත ගියේ නං පංචි සෙල්ලමට නොවෙයි, දාම් අදින්නයි.

අපේ අම්මගේ තාත්තා, අපි එයාට කිව්වේ සීයා කියලා නෙමෙයි ආතා කියලයි, තමයි දාම් වලට සූරයා. දාම් ඇදලා ආතාව පරද්දන්න බැරි හින්දා තමයි ආච්චී, අම්මා, පුංචිලා පංචි දාන්න වැඩියෙන් කැමති.

ඇයි මේ ගේම් දෙකම තියෙන්නේ එක බෝඩ් එකේ දෙපැත්තේ නේ. බහුතරයේ කැමැත්තෙන් පංචි දාද්දී ආතාටත් එන්න වෙනවා ඒකට එකතුවෙන්න.

පංචි කියන්නේ ලක් එක අනුව දිනන ගේමක් නිසා ආතා ට දාම් ඇදිල්ලේ දී වගේ දිනන්න බෑ. ඒ නිසා ආතා වැඩියෙන් කැමති දාං අදින්නයි.

මේ දාම් බෝඩ් එකත් අසමසම එකක්. දාම් ඉත්තෝ සෙට් දෙකක් ඉන්නවානේ ප්ලේයර්ස් ලා දෙන්නට. සාමාන්‍යයෙන් මේ එක සෙට් එකක් සුදු පාටයි, අනික කළු පාටයි. ආතා ගේ සෙට් එකේ සේරම සුදු ඉත්තෝ වෙනුට තිබුණේ මෝර මාළු කටු. ඇත්තම කියනවානම් මොර මාළුවාගේ කොඳු ඇට පෙලේ කටු!

ඔව්, මෝරා කියන්නේ කෙලවල්ලා, ඇටවල්ලා, හුරුල්ලා වගේ නෙමේ කොන්දක් තියෙන මාළුවෙක්!

කොහොම හරි ඉතිං මං ආතා එක්ක දාම් අදින්න පටන් ගත්තා. මේ කාලේ මං පහේ පන්තියේ විතර ඉන්න ඇති.

එදා ඉඳලා, අවුරුද්දකට දෙපාරක්වත් පාසල් නිවාඩු කාලේ අපි ගමේ ගිහින් ඉන්න කොට එක දිගට හැමදාම එක පාරක් හරි දාං ඇදලා, ඇදලා, මං අන්තිමේදී හතේ පන්තියේ විතර ඉඳිද්දී එක දවසක් ආතාව පැරුද්දුවා.

ඒ සංසිද්ධිය සිද්ධ වුනේ මෙහෙමයි.

මං වගේ පොඩි එකෙක් එක්ක දාං අදින එක ආතා වගේ කෙනෙකුට මහ කම්මැලි වැඩක් වෙන්න ඇතිනේ! මේ කියන දවසේ දාං අදින ගමන් ආතා මා එක්ක කතාවට පැටලුනා. එදා ආතා මා එක්ක කිව්වේ කෝට් එක හොයන්න ගිය කතන්දරේ ද, බූරුවා ගහපු කතන්දරේ ද මට මතක නෑ. ආතා ජෝන් මහත්තයාව මට්ටු කරපු කතාව නං මට කිව්වේ අම්මා. ආතා පේන අහපු හැටි මට කිව්වේ පුංචි අම්මා.

ඒ මොකක් වුනත්, කතාවෙන් කතාවෙන් මං ආතාට දාම් පෙතේ හදපු ට්‍රැප් එක ආතා නියම වෙලාවට දැක්කේ නෑ. මං ආතාගේ ඉත්තෝ පහක් එක දිගට කැපුවා.

ඊ ලඟට ආතා ට මගේ මිස්ටේක් එකක් මිස් වුණා. මං දාං ගියා.

ආතා පැරදුණා!

-කතන්දරකාරයා

ප/ලි:
අභීත ගේ කැරැක්ටර් සැටිෆිකේට් කතාව මං දැන ගත්තේ කතාබස් වැඩසටහනේ ඕඩියෝ ට්‍රැක් එක අහන වෙලේයි.

අන්න අහනවනං අන්න ඇසිය යුතුම වැඩසටහනක්.

මං නං ඕඩියෝ ට්‍රැක් එක ඩවුං ලෝඩ් කරලා තියාගත්තා.

මොකද කියනව නං ඒ රේඩියෝ ඉන්ටර්වීව් එකේ අභීතගේ කතාවේ මටත් කැරැක්ටර් සැටිෆිකේට් එකක් තියෙනවා!

ඉස්කෝලෙන් ගත්තු සැටිෆිකේට් එක නං මට කිසිම පල ප්‍රයෝජනයක් ගන්න තියා කවදාකවත් ෆයිල් එකෙන් එලියට ගත්තු එකක් නෙමේ.

බලමු අභීත මට දුන්නු සැටිෆිකේට් එකෙන්වත් ප්‍රයෝජනයක් තියෙයිද, කොහොම වෙයිද කියලා.

ප/ප/ලි
සැප්තැම්බර් මාසයේ සිට මා ඇරඹූ අඟහරුවාදා, බදාදා සහ සෙනසුරාදා කයි-කතන්දර පල කරන වැඩ පිළිවෙල ලබන මස සිට අත් හිටුවන බව කණගාටුවෙන් දැනුම් දෙමි.

සඳුදා, බදාදා සහ සිකුරාදා කතන්දර පල කෙරෙනු ඇත. ඒවා කයි-කතන්දර වීමටද ඉඩ තිබේ. ඉරිදාට සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාව ද පල කෙරෙනු ඇත.

මේ දක්වා දැක්වූ ඔබේ සහයෝගයට ස්තුතියි.

(image: http://www.tradgames.org.uk/games/Draughts.htm)

Monday, 13 December 2010

අම්මා ට ටී.වී. එකක් - To Mother with love


ආදරය කරන කෙල්ලට නං පුදයි ජීවිතේ
පව් නේද? මව්ට කුස්සියෙ වැඩ ඉවරයක් නැතේ!

අහල තියෙනව නේද ඒ සින්දුව. මං හිතන්නෙ ඒක කියන්නෙ, මැක්ස්වෙල් මෙන්ඩිස්. අද මං මේ කියන්න යන කතන්දරයට අදාල හින්ද මට හිතුන ඒ සින්දුවෙන් පටන් ගන්න.

මේ කතන්දරය තරමක් වෙනස් එකක්. මගෙ වෙන බහුතරයක් කතන්දර වගෙ උපහාසාත්මක එකක් නොවේ. අම්මලා ගැන කවුද උපහාස, අපහාස කතා ලියන්නෙ නේද? (ප්‍රයිඩ් ඔෆ් ශ්‍රියාලතා කතන්දරේ පොඩ්ඩක් අමතක කරමු කෝ!)

මේ කතන්දරේ ලියන්න මූලිකම හේතුව වුනේ මගේ හිතවත් බ්ලොග්කාරියක් වන මනෝ ගේ අහස්ගව්ව බ්ලොග් එකේ කාළෙකට ඉස්සර තිබුණු කතාවක්.

මගේ පුතා හරි හපනා පනම් තුනක් පඩි කනවා ඉන් පනමක් මට දෙනවා කියන කවිය ඇත්තක් කරන්න පොඩි කාලෙ හිතාගෙන හිටියට, තුන්වැන්නී හෙවත් මනෝ තාමත් අම්ම දෙන සාරි අඳිනව මිසක් අම්මට හරි හමං තෑග්ගක් අරං දීල නෑ වගෙයි එදා ඒ කතාවෙන් මට තේරුනේ.

ඒ කතාව කියවල ටික දවසකට පස්සෙ උපුල් සන්නස්ගලකාරයා තමන්ගෙ අම්ම ගැන සිළුමිණ ට ද කොහෙද කියල තිබුණ කතාව මං කියෙව්ව. පොර ට කොච්චර බර තිබුණත්, අම්ම ජීවත්ව ඉන්න කාලෙ, අම්මට ආදරෙන් සලකල නෑ වගෙයි දැනුනෙ.

අම්ම මළා ට පස්සෙ වෙන අයට අගස්ති මාල අරං දීල ඒ දුක ගෙවාගන්න පුළුවන්ද?

ඒ මාල දානයත් පොර කරල තියෙන්නෙ ලංකාවෙ නෙමේ ඉන්දියාවෙදි. ඉන්දියාවෙ අගස්ති මාල වලට සැපයුම හොඳ ඇති ඉල්ලුම ට වඩා.

අනුංගෙ කතන්දර වලින් පස්සෙ මෙන්න මගේ කතන්දරේ.

අම්මල පුතාලට කොච්චර ආදරේද කියල අමුතුවෙන් ලියන්න ඕනැ නෑනෙ. පවුලෙ ලොකු පුතාට ඒ ආදරේ තවත් වැඩියි කියලයි මං හිතන්නෙ.

නමුත් ඉතිං, ලොකු එකාට නංගිල මල්ලිල හිටියොත් ඉතිං අම්ම කෙනෙකුට ඒ ආදරේ වැඩිකල් දක්වන්න වෙන්නෙ නෑ.

මං පොඩි කාලේ ඉඳලම දැකල තියෙන්නේ අපේ පවුලේ පොඩි එකා අම්මට හුරතල් වෙනව විතරයි. පොර තමයි පොඩි කාලේ හැමදාම අම්මට තුරුළු වෙලා නිදාගන්න ගියේ හෙම.

මට ලැබුනේ ඇඳේ බිත්තිය අයිනේ කොණ තමයි හැමදාමත්!

පිරිමි අපිට, අපේ තාත්තලා පොඩි කාලේ ඉඳලා අපි වෙනුවෙන් කරපු දේවල් වලට කළගුණ සැලකීම ලේසියි වැඩක්. අපිට කරන්න තියෙන්නේ අපිත් අපේ දරුවන් ට හොඳ තාත්තලා වෙන එකයි.

මේ අහස්ගව්ව බ්ලොග්කාරිය නොකළාට අම්මලාට හැකි පරිදි තෑගි බෝග අරන් දෙන එකත් අපේ යුතුකමක්. අඩු ගණනේ අවුරුද්දටයි, අම්මගේ බර්ත් ඩේ එකට වත්.

ඔන්න, මං කැම්පස් එකෙන් අවුට් වෙලා, ස්ථිර රැකියාවකට ගිහින් අවුරුද්දක් විතර යනකොට මට සිස්සස්සයක් ලැබුණා පස්තාච්චි අදින්න යන්න (හෙවත් පශ්චාත් උපාධියක් කරන්න යන්න). වැඩ කලේ රාජ්‍ය අංශයේ සංස්ථාවක නිසා අවුරුදු දෙකකට විතර පඩිත් එක්ක නිවාඩු ගන්නත් පුළුවන් වුණා.

පර්සනල් ඩිපාර්ට්මන්ට් එකෙන් ඇහුව්වාම තමයි මතක් වුනේ නිවාඩු ඉන්න කාලේ පඩිය යවන්න බැංකු ගිනුමක් ඕනැ බව. ඒ වෙනකං කලේ, මාසෙ විසිපස් වෙනිද හම්බ වෙන පඩි පැකට් එක කමිසෙ උඩ සාක්කුවේ දාගෙන, ඊලඟ මාසේ පඩිය හම්බ වෙනකං වියදම් කරපු එකයි.

ඔන්න ඉතිං රට පැටවෙන්න දවසකට කලින් ලංකා බැංකුවේ ගිනුමක් දාලා, ඒ ගිනුමෙන් තාත්තගේ ගිනුමට සල්ලි ටික යන්න ස්ටෑන්ඩින් ඕඩර් එකක් දැම්ම.

තාත්ත ගේ ගිනුමට සල්ලි ටික යන්න දැම්මෙ, ඒ දවස්වල තමයි තාත්ත අපේ ගෙදර හැදුවේ. ඒ වැඩපල වලට ගන්නයි.

ඉතිං, මං අර තායිලන්තෙ පස්තාච්චි ඇද ඇද ඉන්න කාලෙ, සංස්ථාවෙ පඩි වැඩි කළා අපි හැමෝගෙම. පඩි වැඩි වුණාට ඉතිං බැංකුවේ ස්ටෑන්ඩින් ඕඩර් එක වෙනස් කලේ නෑනෙ. අවුරුදු දෙකක් විතර ගිහින්, උපාධි ලෝගු දාල ෆොටෝ අරගෙන ආපහු ලංකාවට එනකොට මෙන්න බොලේ මගේ ගිනුමේ සල්ලි ටිකක් ඉතුරු වෙලා.

ගෙදර ආපු දාට පස්සෙන්දම මොකද දන්නවද කලේ.

ගියා බැංකුවට, ගත්ත සල්ලි ටික, එතනින් සිංගර් එකට ගියා, ගත්ත ඒ සල්ලි වලින් ගන්න පුළුවන් ලොකුම ටී.වී. එකයි, ඇන්ටෙනා එකකුයි. යාන්තං, ත්‍රී-වීලර් එකට රුපියක් දෙසීයක්(+) විතර ඉතුරු වුණා.

වීරය වගේ ගෙදර ඇතුලට ටී.වී. එක අරං ගිහින්, වොරන්ටි කාඩ් එක අම්මට දීල වැඳපු වෙලේ මගේ හිතට ආපු සන්තෝශය කියල නිම කරන්න බෑ.

ඒ වොරන්ටි කාඩ් එකේ තියෙන්නේ මගේ නම නෙමේ, අම්මගේ ම නම කියල දැක්ක වෙලේ, අම්මටත් ඒ වගේම සතුටක් දැනෙන්න ඇති.

දැන් මෙන්න එඩ්වර්ඩ් ජයකොඩි ගේ ගීතයකින් කොටසක්.

හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්
ගෙදර දොරට දුන්නේ මං, හිතේ මනාපෙන්

-කතන්දරකාරයා

ප/ලි
සින්දුවකින් පටන් අරගත්තු මේ ජීවිතේ සින්දුවකින්ම අවසාන කළා වගේ අපේ මුළු ජීවිතේම එකම ගීතයක් කරගන්න පුළුවන් නම්?