Sunday 31 July 2011

අර්ජුන රණතුංග ගේ විහිළු සැපයීම - Arjuna Ranatunge acts joker


කතන්දරකාරයා අනුර කුමාර දිසානායකගෙන් ඇසූ ප්‍රශ්නය ගැන ලියපු මගේ පොලිටිකල් බ්ලොග් කතන්දරේ මතකයි නේද?

ඒකට ආපු රෙස්පොන්ස් එක නරකම නැති හින්දා මේ දෙවෙනි කෑල්ලත් ලියල දාන්න හිතුණා ඔන්න ඔහේ!

කොහොමටත් ඉරිදා ට සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් එකක් දාන එක මං දැන් කාලයක් තිස්සේ කරගෙන එන වැඩක් නොවැ.

මං පහුගිය ඉරිදා කියපු විදියට, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත නගා සිටුවීමමේ සංවිධානයේ රැස්වීිමකදි තමයි මං අනුර කුමාර දිසානායකගෙන් රිටෝරිකල් ප්‍රශ්ණයක් ඇහැව්වේ.

අනුරකාරයා ගේ ෂෝයි උත්තරේ ඉවරවෙනවාත් එක්කම මං ආපහු නැගිට්ටා දෙවෙනි ප්‍රශ්ණේ අහන්න.

ඒ දෙවෙනි ප්‍රශ්නයට නිමිත්ත වුනේ මෙන්න මේකයි.

මං මේ ප්‍රජාතන්ත්‍රවාදේ නැවත පිහිටුවමු රැස්වීමට එනකොට ඒක පටන්ගන්න නියමිත වෙලාව ඇවිත් තිබුණ වුනත්, මුලින්ම අපිට පෙන්නුවේ වීඩියෝවක්.

මතක ඇතිනේ දැන් අවුරුදු දෙකකට විතර කලින් ලංකාවේ විරූපවාහිනී නාලිකාවල සහ සමහර රේඩියෝවල උදේ හවා ගිය "ආයුබෝවේවා මහරජාණෙනි!" කියන බයිලා එක. සහේලි ද කවුද කියන ගෑල්ලමේක් තමයි මේක කියන්නේ.

අන්න ඒ සින්දුව තියෙන වීඩියෝ එකක් තමයි මුලින්ම ගියේ ජනහමුවේ ඇපිටයිසර් එක විදියට.

අනුරකුමාර ලා, අර්ජුන ලා කතාකරන දේශපාලන වේදිකාවක මේ "ආයුබෝවේවා මහරජාණෙනි!" සින්දුවේ වීඩියෝ එකක් දාන එක නිකං අප්සැට් අප්සැට් වගෙයි කියල නේද හිතෙන්නේ මේ කතන්දරේ කියවන කොට?

වැඩේ මේකයි. මේ වීඩියෝ එකේ පසුබිමෙන් මේ "ආයුබෝවේවා මහරජතුමාණෙනි!" සින්දුව තිබුණට, විෂුවල් එකේ ඉන්නේ අපේ රජතුමා හෙම නෙවෙයි. කවුදෝ ආමි පොරක්, එහෙට යනවා, මෙහෙට යනවා, බටයින් ගේ ආචාර පෙළපාලි බලනවා, යුද්ධ කරනවා, කපටි සූට්ටෙක ඇඳන් පන්සල් යනවා වගේ සීන්.

හොඳට බැලින්නම් මේ යන්නේ සරත් ෆොන්සේකා ගේ ඉලෙක්ෂන් කැම්පේන් එකේ වීඩියෝ එකක්. ඒකට සහේලි ගේ "ආයුබෝවේවා මහරජාණෙනි!" සින්දුව ඩබ්කරලා.

http://youtu.be/Q4XQeFKKhpU

ඉතිං සතරවරං බඹුන් ගේ පිහිටෙන් අපිටත් රජෙක් පහලව ඇතේ කියලා සහේලි කියන කොටම සරත් මාමා දත් පෙන්නලා විරිත්තනවා.

ඔන්න එතකොට තමයි මට මීටර් වුනේ මේ පොලිටිකල් රැස්වීමේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටවමු කියන ස්ලෝගන් එකට අමතරව දෙවෙනි සටන් පාඨයකුත් තියෙන බව. ඒක තමයි සරත් ෆොන්සේකා වහා නිදහස් කරගනිමු කියන එක.

මගේ දෙවෙනි ප්‍රශ්ණයට නිමිත්ත වුනේ මේ වීඩියෝ එකයි.

"අනුර, මං කැමතියි තවත් ප්‍රශ්ණයක් අහන්න. ඔබේ කතාවේදී ඔබ කිව්වා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙලා තියෙන බව. ඒකට හේතුව පැහැදිලියි. මොකද දැන් ආපහු බිහිවෙලා තියෙන්නේ රාජාණ්ඩුවක් නේ!

දැන් මේ රැස්වීම පටන් ගන්න කලින් මම දැක්කා එක්තරා වීඩියෝවක් ප්‍රදර්ශණය කරනවා. එතෙන්දී අප දැක්කේ ආයුබෝවන් මහරජාණෙනි කියන ගීතය පසුබිමෙන් ඇහෙද්දී සරත් ෆොන්සේකා රඟපාන දර්ශණ කීපයක්.

මේ වෙලාවේදී මට මතක් වෙනවා 1994 මැතිවරණ සමයේදී රූපවාහිනී කතාවක ඔබේ පක්‍ෂයේ කාන්තා අපේක්‍ෂිකාවක් කළ එක්තරා ප්‍රකාශයක්.

ඇය එදා කිව්වේ, ඒ 1994 මැතිවරණයේ දී පොදු පෙරමුණ බලය ඉල්ලන්නේ 1977 සිට අවුරුදු දා හතක් තිස්සේ යුඇම්පීය රට කාගෙන, කාගෙන, කාගෙන ගිහින් නවත්තපු තැන ඉඳලා අපිට රට කාගෙන, කාගෙන, කාගෙන යන්න බලය දෙන්නය කියලාය කියන එකයි.

අපි හැමෝම දන්නා පරිදි පස්සේ ඇත්තටම සිද්ධ වුනෙත් ඒකයි.

මෙතන පෙන්නුව ඒ වීඩියෝ එක දැක්ක වෙලාවේ මටත් ඇතිවුනේ ඒ හා සමාන ප්‍රශ්ණයක්.

දැන් රාජාණ්ඩුවක් බිහිවීම නිසා නැතිවෙලාය කියලා ඔබ කියන ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඔබ ආපසු පිහිටුවන්න යන්නේ, දැන් ඉන්න රජා වෙනුවට, ඒ සින්දුවම දාගෙන, වෙන රජෙක් පත්කරගෙනද?"

මගේ මුල් ප්‍රශ්ණය වගේම මේ දෙවෙනි ප්‍රශ්ණයත් මං ඇහුවේ උත්තරයක් ඕනැවට නෙමේ. මගේ මතය ඉඳිරිපත් කරන්නයි.
මගේ ප්‍රශ්ණයට අනුරකාරයා ට කට කොණකින් පොඩි හිනා කෑල්ලක් යනවා වගේත් මං දැක්කා.

ඒ හින්දද කොහෙද මේකට උත්තර දෙන්න ඉදිරිපත් වුනේ අර්ජුනකාරයායි.

"ඔබතුමා හරි!" අර්ජුන කිව්වා.

මට ෆුල් ත්‍රිලක් ආවා.

මාරයි නේ. මෙන්න බොලෝ මෙච්චර බලගතු අර්ජුනකාරයාත් මට ඔබතුමා කියනවා.

ඒ මදිවට මං හරි ලු!

හැබැයි ඒ ජොලිය තිබුනේ තත්පර කීපයයි.

අර්ජුන විහිළු සපයන්න හොඳින් දන්න කෙනෙක් බව මට වැටහෙනවාත් එක්කම ඒ ජොලිය නැතිවෙලා ගියා.

මෙන්න අර්ජුන රණතුංග ගේ උත්තරේ. මට වැටහුණු විදියට මගේ වචනවලින්.

"ඔබතුමා හරි, මෙච්චර කල් වැඩ සිද්ධ වුනේ එහෙම තමයි.

හැබැයි මේ පාර ඒ සේරම වෙනස්.

මං ෆොන්සේකා තුමාව හුඟක් ලඟින් ආශ්‍රය කළා පසුගිය කාලේ. එතුමා නිකං බෝධිසත්වයෙක් වගේ ගුණවත් කෙනෙක්. දූෂණය පිටු දකින කෙනෙක්."

මට වැටහුණු විදියට ඒ අර්ජුන රණතුංග කිව්වේ අළුත් රජතුමාව රජ කොරෝලා, ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටෙව්වාම, ලංකාව නිකං කේතුමතී පුරේ වගේ වෙනවා, ඒ ගැන කිසිම සැකයක් නෑ, ඉර හඳ වගේ විශ්වාසයි, කියලයි.

මගේ දූෂ්රා එකට අර්ජුන ලෝන්ග් ඕන් හරහා හයේ පාරක් දුන්නේ එහෙමයි.

-කතන්දරකාරයා

ප/ලි:
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවන්න කරන්න තියෙන්නේ එක දෙයයි.

ඔන්න ඔහේ අර්ජුනව ක්‍රීඩා ඇමති කරලා දාන්න, අයියෝ.

ප/ප/ලි:
කේතුමතී පුරය කියන්නේ සියළු ධන ධාන්‍යයෙන් සශ්‍රීක උටෝපියාවක්. ජේ.ආර්. රජ්ජුරුවන් ගේ කාලේ ලංකාවේ බිහිවුණු කේතුමතිය ගැන සුනිල් ආරියරත්න ලියා නන්දා නැන්දා ගැයූ සින්දුව මෙන්න.

http://www.sinhalajukebox.org/cgi-bin/smi.cgi?s=A0170173C01

දන්සල් දොරෙහි නැත යදියෝ
සල්පිල්වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

නොමැත ඇසක කඳුලක් නොවැටුනොත් රොඩු කැබැල්ලක්
දකිණු නොහැක ලේ බිඳුවක් නොමලොත් මකුණෙක් මදුරුවෙක්
මළ බැඳුණු ගිණි දණ්ඩේ දැල් බඳිති මකුළු සේනා
වෙඩි හඬ අසනු රිසි දනෝ පුපුරවති අහෝ රතිඤ්ඤා

මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා
උපදින්න මතුවාසනා

දස රජ දම් හි නිති පැවතී
නරපති ඇමති වඩන රුතී
සත වෙත පතල මෙත සදතී
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

රැකෙයි අකුරට නීතිය
දෙයක් දේ නම් යම් සුදුස්සාටම අයිතී වී ඇත
නැත අක්‍රමිකතා වැඩේ සුහදතා සුන්දරතා සුවතා
හෝ සැපයි සැපයි මෙපුර විසුම නම්
මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා
උපදින්න මතුවාසනා

කියමින් නිබඳ ගී මියුරූ
දකිමින් අවට රූ සොඳුරූ
සතුටින් රඟති මේ නුවරූ
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

නැත මුදලේ වටිනාකම්
බුහුමන් කරයි ශිල්ප ශාස්ත්‍රයටම
නැත පවුල්වාද, පිල් බේද, කුලවාද, දෑ වාද
නැත බදුබර, පවුල් බර ජීවන බර
මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා
උපදින්න මතුවාසනා

දන්සල් දොරෙහි නැත යදියෝ
සල්පිල්වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

Friday 29 July 2011

අයිටී ෆීල්ඩ් එකේ තාත්තලා ට වැඩිපුර ලැබෙන්නේ දූවරු ය කියන කතාව ඇත්තක්ද? - Is it true that IT professionals mostly sire daughters?


අපේ කොලු පැටියා ඉපදෙන්න ඉස්සර හාමිනේ උඩරට නිළමෙට ඇඳල හිටිය කාලේ, වෙන්ඩ තාත්තා හපනෙක් ද කියලා හරියටම දැනගන්න පුළුවන් පුතෙක් ඉපදුණොත් ය කියලා අපේ මිතුරියක් කියපු කතාව ගැන මං පෙරේදා ලිව්වා මතකයි නේ.

මේකේ විද්‍යාව නං මං හරියට දන්නේ නෑ, මං මුලින් අහල තිබුණු විදියට කතාවට කියන්නේ ඔය බිත්තරේ බලා දුවන රේස් එකට හොඳ ජවසම්පන්න ඉස්ගෙඩියෝ දාන්න පුළුවන්නම් ලු පුත්තු ලැබෙන්නේ.

පෙරේදා කතන්දරේට කමෙන්ටු දාපු බුරා ලයි, ඇනෝලයි චීන කැලැන්ඩරයක් සහ ඒකේ පදනම ගැන කතා කරල තිබුණා. ඉන්දිකත්, තවත් ඇනෝලත් මේ ගැන දන්නවා වගේ.

(ටැබූ සෑර් හිටියා නං ඩෙස්මන් මොරිස් ගෙන් හරි අහලා කියාවි මේ කතාවේ අල-ගිය-තැන. සිංහල බ්ලොග් ලෝකයේ මහදැනමුත්තිය කියලා මං විරුදාවලියක් දීපු අරුණි ෂපීරෝ නං දන්නේ බිත්තර නොකඩා ඔම්ලට් හදන්න විතරයි නේ!)

ඔය කතාව අපිට කියපු අපේ හිතවතියට ඉන්නේ පුත්තු ම දෙන්නෙක් නිසා උන්දෑ ඒ නොකියා කිව්වේ තමන් ගේ මිනිහා හරි හපනා කියලයි.

දැන් මේ කතන්දරේ කියවන දූවරු විතරක් ඉන්න තාත්ත ලා මේ ගැන දුක් වෙන්න නං එපා. අපේ අම්මලාගේ තාත්තලාට හිටියේ පුත්තු විතරක් නම්, අපි අද කෝ?

අද කතන්දර කෑල්ල මෙන්න මේකයි.

දූවරු දෙන්නෙක් ම ඉන්න මගේ හොඳ යාළුවෙක් වෙන විරාජ් කියනවා, අයිටී ප්‍රොෆෙෂනල්ස් ලා ට වැඩිපුර ලැබෙන්නේ දූවරු ලු!

පොර මල්ටි-නැෂනල් කම්පැනියක සිස්ටම් ආකිටෙක්ට් කෙනෙක්. (n=1)

විරාජ් කියපු ඒ කතාව හරි නේ දෝ කියලා වෙලාවකට මට හිතෙනවා.

මොකද මගේ තව යාළුවෙක් හිටියා කැම්පස් කාලේ ඉඳලම දන්න මිකැනිකල් ඉන්ජිනියරිං කරලා ඔය ෆැක්ටරි ගානේ රස්තියාදු වෙච්ච මං වගේ. පොර බැඳලා අවුරුදු තුන හතරක් යන කොට මෙන්න දුලා දෙන්නෙක් ම ලැබුණා එක පිට එක වාගේ.

ඔය "දෙ-දුරු පියා" කාලේම වගේ තමයි පොර ඒ මිකැනිකල් ඉංජිනේරු රස්සාවෙන් ටිකෙන් ටික ට්‍රැක් මාරු කරලා, පස්තාච්චි කුපාඩියක් හෙම කරළා, අයීටී ප්‍රොෆෙෂනල් කෙනෙක් වුනේ. දැන් මං හිතන්නේ පොර රටේ ලොකුම ලොකු තැනක අයිටී කප්පිත්තෙක්.

මට මේ ලඟදී පොර ව මුණ ගැහුණා. දැන් ඒ පවුලේ ළමයි හතර දෙනෙක් ම ඉන්නවා. පඩි පෙළ වගේ. හැබැයි උස පඩි දෙක එක ලඟ. ඊලඟ පඩි දෙක එක ලඟ. මේ පඩි යුගල අතර තරමක ජම්ප් එකක් තියෙනවා. ඇත්තටම පඩි පෙළක් කියන්නත් බෑ, ඒ හින්දා.

නියම වැඩේ මේකයි. ඒ හතර දෙනාම දූවරු! (n=2)

අපේ පොර ට මිකැනිකල් ඉංජිනියරිං දාලා අයිටී කප්පිත්තෙක් වෙන්න වුනේ විරාජ් ගේ තියරි එකට අනුව දුවරු ම ලැබෙන්න තියෙන හින්දද?

-කතන්දරකාරයා

ප/ලි:
"අයිටී ෆීල්ඩ් එකේ තාත්තලා ට වැඩිපුර ලැබෙන්නේ දූවරු ය කියන කතාව ඇත්තක්ද?"

මේ තියරිය අපිට බැරිද ගණිත අභ්‍යුහනයෙන් ඔප්පු කරන්න?

ඔන්න දැන් n=1 ට හරි, n=2 ට හරි. තව ටිකයි තියෙන්නේ. දෙන්නකෝ බලන්න සපෝර්ට් එකක්.

(image: http://www.india-forums.com/tv-show/655/rakt-sambandh/gallery/pictures/90991-father-with-five-daughters.htm)

Wednesday 27 July 2011

බබා ගේ තාත්තා හරි හපනා! You want to be a hero?


මෙන්න මේ කතන්දරේ කලින් අහල තියෙනව නේද?

ඔන්න එක මනුස්සයෙක් පොඩි ළමයෙක්ව වඩාගෙන ගෙදර මිදුලේ ඉන්න කොට ඉස්සරහ පාරේ යන කාන්තාවක් මේ මනුස්සයව දැකල නතරවෙලා බබාව හුරතල් කරන්න පටන් ගත්තලු.

දන්නවනේ කාන්තා පක්‍ෂය, අනුන් ගේ ළමයි හුරතල් කරන්නත් හරි දක්‍ෂයෝ නේ?

පස්සේ මේ කාන්තාව කිව්වලු අනේ බබා නං තාත්ත වගේමයි කියල.

මේක අහපු බබාව වඩාගෙන හිටපු පොර බයවෙලා වටපිට බලල තියෙන්නේ කාට හරි ඒ කතාව ඇහුණද කියලයි. මොකද පොර මේ වඩාගෙන ඉන්නේ අල්ලපු ගෙදර බබාවයි!

අපේ පොඩි එකාගේ උපන් දිනේ දවසේ ගත්තු ෆොටෝ එකක් එක්ක මං දරුවෝ නලවපු සින්දු තුනක් ගැන ලියපු පෝස්ට් එක මං ඔන්ලියන් කියවනකොට මට මතක්වුණු කතන්දර කීපයක් ලියන්නයි මේ සැරසෙන්නේ.

ඉස්සර රජ කාලේ තමන්ගෙන් පස්සේ රජකම බාරදෙන්න රජ්ජුරුවන්ට ඕනෑ වෙනවා පුතෙක්. සමහර රජවරුන් ගේ අග බිසෝ ට පුත්තු ලැබෙන්නේ නෑ. දුලාමයි ලැබෙන්නේ. ඉතිං රජා ගේනවා තව බිසවක්. ඒ බිසවගෙන් පුතෙක් නොලැබුණොත් ඊට පස්සේ තව බිසවක් යනාදී වශයෙන්.

අවුලක් නෑ, මේක නේ ඉතිං රජ සැප විඳිනවා ය කියන්නේ!

ලංකාවේ නරේන්ද්‍රසිංහ රජ්ජුරුවෝ මොනරවිල බිසව පැත්තකට දාලා ප්‍රමිලා ව ඉන්දියාවෙන් ඉම්පෝට් කළෙත් ඔය පුත්තු කාරණාව නිසයි මං හිතන්නේ.

මෙතනදී නං මයෙ හිතේ පුතෙක් තියා දුවෙක්වත් ඉඳලා නෑ.

පර්සියාවේ ෂා, තමන්ගේ මුල් බිරිඳ ෆව්සියාව ඩිවෝස් කරලා සොරායා ව බිසෝකමට අරගෙන තියෙන්නේත් ඔය නිසයි. පස්සෙ සොරායා ට බූට් එක දීලා ෆාරා ඩීබා ව බැන්දාලූ.

රජ සැප, රජ සැප, ළමයිනේ!

නමුත් ඔය පුතාලා ගේ කේස් එකේ ඇත්ත කතාව ඔයිට වඩා වෙනස් එකක්. මිනිස්සුන් ගේ ජානවල තියෙනවා X සහ Y කියලා ක්‍රොමසෝම දෙවර්ගයක්. ගෑණුන් ගේ ජානවල තියෙන්නේ X වර්ගයෙන් යුගලක් විතරයි.

ඒ කියන්නේ පිරිමි XY, ගෑනු XX.

දැන් ඔය ගෑනු පිරිමි එකතු වුණාම ළමයි හැදෙන හැටි ගැන නමවෙනි ශ්‍රේ‍ණියේ විද්‍යාව පොතේ පවා විස්තර කරළා තියෙන බිත්තර සහ ඉස්ගෙඩි කතන්දරේ දන්නව නේද?

ඉතිං ගෑණියෙකුයි, මිනිහෙකුයි එකතුවෙලා පුතෙක් ලැබෙන්න නම් අවශ්‍ය Y ක්‍රමසෝමය යන්න ඕනෑ පිරිමියාගෙනුයි.

ඒ කියන්නේ පුතෙක් හම්බ නොවුණාය කියලා රජා බිසව මාරු කළාට වැඩක් වෙන්නේ නෑ. බිසෝවරු ගාව කොයින්ද Y ක්‍රොමසෝම?

ඔන්න බිසව මේ රජාව මාරු කරලා වෙන රජෙක් ගත්ත නං, නිකං අනුලා දේවි වගේ, වැඩේ හරියන්න ඉඩ තියෙනවා.

මේකේ විද්‍යාව නං මං හරියට දන්නේ නෑ, කතාවට කියන්නේ ඔය බිත්තරේ බලා දුවන රේස් එකට හොඳ ජවසම්පන්න ඉස්ගෙඩියෝ දාන්න පුළුවන්නම් ලු පුත්තු ලැබෙන්නේ.

ඉතිං අද කතාව මේකයි.

අපේ පුතණ්ඩියා ලැබෙන්න හාමිනේ නිළමෙට ඇඳලා ඉන්න කාලේ අපේ ගෙදර ආපු ලලනාවක් මට කියනවා මෙන්න මෙහෙම.

"ඔන්න පුතෙක් ලැබුණොත් තමයි තාත්තා හපනා!"

මේකයි වැඩේ. අපේ හිතවතියට ඉන්නේ පුත්තු ම දෙන්නෙක්. ඒ නොකියා කිව්වේ තමන් ගේ මිනිහා හරි හපනා කියලයි.

-කතන්දරකාරයා

ප/ලි:
"පස්වෙනියත් පුතෙක්" කියන පොඩි කතා පොත කා ගාව හරි තියෙනවද? මේක ලියපු පොරම තමයි "උගෙනුව, නැත පිටවෙව" කියන පොත ලිව්වෙත්. මට දැනගන්න ඕනෑ, මේකේ කතෘ ගේ නම, චන්ද්‍රසේ** වගේ එකක්.

http://fancyarchive.blogspot.com/2008/12/like-father-like-son.html

Monday 25 July 2011

බැච් එකේ පොර කවුද?


මං අර ගණේමුල්ලේ කුරුවිට ගේ කතන්දරේ කිව්ව වගේ දැන් අපි කලින් නොදන්න දෙන්නෙක් මුලින්ම හමුවෙච්ච ගමන් කරන්නේ:

ඔයා කොහේද?
කොහේද ඉගෙන ගත්තේ?

යනාදී වශයෙන් ප්‍රශ්ණාවලිය මුලින් ම අහලා ඊට පස්සේ:

ඔයා ඒ පැත්තේ ගෙවල් තියෙන අරයාව දන්නවාද?
ඔයා ඒ ඉස්කෝලෙට ගිය මෙයාව දන්නවාද?

ආදී වශයෙන් මියුචුවල් යාළුවෙක්ව හොයා ගන්න බලනවා.

එහෙම කරන්නේ මුලින්ම ඇඳුනම්කම වඩාත් හොඳින් ඇතිකරගන්නයි, පස්සෙන් පහු ඒ මියුචුවල් යාළුවන් ව හමු වුණාම, අන්න ඔයා දන්න කෙනෙක් මට හම්බ වුණා කියලා කතා බහට පැටලිලා, අළුත් හැඳුණුම් කම තවත් හොඳින් ස්ථිර කරගන්නයි.

කැම්පස් දෙකක ඉගෙන ගත්තු දෙන්නෙක්, එහෙම නැත්තං එකම කැම්පස් එකේ වුනත් ෆැකල්ටීස් දෙකක ඉගෙන ගත්තු දෙන්නෙක් හම්බ වුනත් කරන්නේ ඔය රූටීන් එකේම යන එක තමයි.

ඔන්න දැන් අවුරුද්දකට දෙකකට කලින් දවසක කතන්දර හාමිනේයි, මායි ගියා පොඩි පහේ උත්සවයකට. ඔතන අපි දෙන්නා වගේ සොක්කෝ විතරක් නෙමේ තරමක් ලොකු ලොක්කෝ පවා ආපු තැනක්.

ටික වෙලාවකින් හාමිනේ මට ඇවිත් කතා කළා.

එන්න කතී (එහෙම කියන්නේ ආදරේට හොඳේ, දන්නවානේ?) මං ඔයාට කෙනෙක්ව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න.

මං එවෙලේ හිත හිත හිටියේ කොයි වෙලේ රෑට කන්න සෙට් වෙයිද කියලායි. ඒත් ඉතිං හාමිනේ කතා කළාම නොගිහින් පුළුවනියැ. මාත් ඉතිං හාමිනේ ගේ පස්සෙන් වැටිලා ගියා ශාලාවේ ඉස්සරහා තිබුණු මේසයකට.

"මේ ඉන්නේ මගේ හස්බන්ඩ්, කතන්දර."

හාමිනේ මාව අඳුන්වලා දුන්නේ වෙන කාටවත් නෙමේ, මේ උත්සවයට ඇවිල්ල හිටපු ලොක්කියෙක් වුණු යසෝදරා ට යි.

"කතී, මේ ඉන්නේ අපේ උත්සවයේ ප්‍රධාන අමුත්තිය. මගේ පරණ යාළුවෙක් යසෝදරා."

බැලින්නං, මේ යසෝදරා කියන්නේ කතන්දර හාමිනේ කැම්පස් හිටිය කාලේ ම වෙනත් ෆැකල්ටියක හිටපු කෙල්ලෙක්. ඒ විතරක් යෑ, දෙන්නම ඒ කාලේ වැඩ වාසය කරලා තියෙන්නේ එකම නේවාසිකාගාරයේ යි!

"හෙලෝ, කොහොමද?" මාත් ඉතිං පුටුවක් ඇදගෙන වාඩි වුණා.

දැන් ඔන්න යසෝදරාවනුයි, මායි අර සම්ප්‍රදායානුකූල කතා බහේ.

"ඔයා හිටියෙත් අපේ කැම්පස් එකේ ද කතන්දර?"

"ඔව් නේ, මං හාමිනේට වඩා අවුරුද්දක් සීනියර්."

"අනේ ඇත්තද, එහෙනං අපි දෙන්නා එක කාලේ නේ!"

"ආ ඇත්තද? එතකොට ඔයා මොනවාද කලේ කැම්පස් එකේ?"

"මං නං කෙරුවේ අහවල් ස්පැෂල් එක."

"ආ ඇත්තද? එහෙනං ඔයා ලක්සිරිව දන්නව ඇතිනේ. පොරත් කලේ අහවල් ස්පැෂල් එක තමයි. ඒ දවස්වල මගේ හොඳ යාළුවෙක්."

"ඔව්, ඔව්, මං දන්නවා ලක්සිරිව. එයා කෙරුවේ නං ඉංග්ලිෂ් මීඩියම්, හැබැයි, මං ලක්සිරිලා ගේ කට්ටිය එක්ක එකටම තමයි හිටියේ. මං හොඳට දන්නවා."

"හොඳයි, හොඳයි, මට පොරව අන්තිමට හම්බ වුනේ, පොර පී.එච්.ඩී. එක ගහලා ආවට පස්සේ කොළඹදී."

"ඉතිං කතන්දර මොනවද කෙරුවේ කැම්පස් එකේ? කම්මල් වැඩ නේද?"

"ඔව්, මං කම්මලේ තමයි හිටියේ."

"එහෙනං ඔයා කුමාරි පෙරේරා ව දන්නවා ඇති."

"ඔව්, එයා අපිට ජූනියර් බැච් එකේ."

"එතකොට කුමාර පෙරේරා ව දන්නවාද?"

"ඔව් මං දන්නවා, පොර අපිට වඩා අවුරුද්දක් සීනියර්."

"එතකොට කුමාරි ෆර්නැන්ඩෝ?"

"එයා මට වඩා අවුරුදු දෙකක් ජූනියර්."

"එතකොට කුමාර ෆර්නැන්ඩෝ?"

"පොර මට වඩා අවුරුදු දෙකක් සීනියර්."

"අයියෝ ඇත්තද?

අපේ යසෝදරා නෝනට හරි දුකයි. මොකද එයා දන්න, දන්න කම්මලේ හිටපු කොල්ලෝ කෙල්ලෝ එකෙක්වත් මං අඳුණනවා වුණාට මගේ බැච් එකේ නෙමේ නේ. මගේ බැච් එකේ එකෙක් ව වත් යශෝදරා අඳුණන්නේ නෑ.

ඉතිං, යසෝදරා මෙහෙම ඇහැව්වා.

"කතන්දර, ඉතිං කවුද ඕගොල්ලන් ගේ බැච් එකේ හිටපු හැමෝම වගේ දන්න අය?"

"ඔයා ඔය අහන්නේ, අපේ බැච් එකේ පොර කවුද කියලනේ. ඕකත් අහන්න දෙයක්ද? අපේ බැච් එකේ පොර තමයි මං!"

යසෝදරා නෝන ලැජ්ජාවෙන් මුකුලිත වෙලා ගියා.

හොඳ වෙලාවට එවෙලෙම එනවුන්ස් කළා, කෑම කන්න පුළුවන් කියල බුෆේ එකෙන්.

-කතන්දරකාරයා

ප/ලි:
තමන්ගේ ක්ලාස් එකේ, බැච් එකේ, ගෲප් එකේ පොර කවුද කියල ලියල යන්න පහලින්.

(image: http://www.bowdoin.edu/isle/current-recent-programs/2008-fall-program/fall2008-session1.shtml)

Sunday 24 July 2011

කතන්දරකාරයා අනුර කුමාර දිසානායකගෙන් ඇසූ ප්‍රශ්නය - Anura Kumara Dissanayake F2F with KK


ලියන කොට මට ජොලියක් එන කතන්දර මිසක මේ බ්ලොග් එකේ මුළුමණින්ම දේශපාලන කතන්දර නං දාන්න මගේ අදහසක් තිබ්බේ නෑ මේ වෙනකංම.

හැබැයි ඒ, නිකමට හරි පොලිටික්ස් ගෑවිලා යන කතාවක් ලිවුවොත් මට බැෂ්ටිය දෙන්න සෙට් වෙන පොලිටිකල් ඇනිමල්ස් කෂ්ටියට බයේ නං නෙමේ.

කොහොමටත් මංතුමා පොලිටික්ස්වලට ලොකු කැමැත්තක් නෑ. මංතුමා ගේ පොලිටික්ස් වලට නං අඩුගානේ කතන්දර හාමිනේගේවත් කිසිම කැමැත්තක් නෑ.

නමුත් ඉතිං මේ කතාව නං නොකියාම බෑ කියලා මට හිතුණා. කොහොමටත් ඉරිදා ට සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් එකක් දාන එක මං දැන් කාලයක් තිස්සේ කරගෙන එන වැඩක් නේ. මේකත් ඒ ගොඩටම දාගමු එහෙනම්!

ඔන්න දැන් මාස කීපෙකට කලින් මට අවස්ථාවක් ලැබුණා පොඩි පහේ පොලිටිකල් රැස්වීමකට යන්න. පොඩි පහේ කිව්වේ එතනට ඇවිල්ලා හිටියේ කීප දෙනෙක් විතරක් නිසයි. අනික රැස්වීමක් කිව්වාට ඒක මේ ශාලාවක තිබුණු නරඹන්නන් පුටුවල ඉඳගෙන ඉන්න ජාතියේ එකක්.

මේ රැස්වීම තිබුනේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටවමු කියන අරමුණ යටතේ, ඒ ගැන කතා කරන්නයි. අනුර කුමාර දිසානායක තමයි එක කථිකයෙක්.

මං හිතන්නේ අනුරකාරයා පැයක් විතර කතා කළා. ඊට පස්සේ කතා කලේ එතනට ඇවිල්ලා හිටිය මේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවන සංවිධානයේ අනිත් දේශපාලන ප්‍රවේගය නියෝජනය කරන අර්ජුන රණතුංග යි.

මේ දෙන්නම කිව්වේ "අනේ බලන්න කො, අපේ රටේ දැන් ප්‍රජාතන්ත්‍රවාදය නැත්තටම නැතිවෙලා ගිහින් නේ අනේ. මේක බේරා ගන්න අපි එක්ක එන්න කෝ අනේ!" වගේ දේවල් තමයි.

අනුරකාරයා නං ෆයිල් එකකින් බල බල මොනවද සංඛ්‍යා ලේඛන වගයකුත් ඇද බෑවා!

ඔන්න මේ දෙන්න ගේ කතා ඉවර වෙලා ප්‍රශ්ණ අහන කාලය ආවා.

අනුර කුමාර දිසානායක ගේ කතාවේ පොර කියපු එක කරුණක් තමයි ලංකාවේ හැම අවුරුදු දහයකට පාරක් ලොකු ගංවතුරක් එන බව. මිනිහා ඒ උපමාව ගත්තේ ඒ වගේ දේශපාලන පෙරලිත් වෙන බව කියන්නයි.

මංතුමා නැගිටලා ඇහැව්වා පොඩි ප්‍රශ්ණයක්. මෙන්න ඒක ඒ හැටියෙන්ම.

"මගේ ප්‍රශ්ණය අනුර කුමාර දිසානායකටයි. අනුර, දැන් ඔබේ කතාවේදී කිව්වා, අපේ රටේ අවුරුදු දහයකට විතර පාරක් මහා විශාල ගංවතුරක් එනවාය කියා. ඒ ගංවතුර ඔබ සමාන කළේ දේශපාලන පෙරළිවලටයි.

දැන් අද අපි මෙතන කතා කරන්නේ ලංකාවේ නැති වුණු ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවීම ගැනයි. නමුත් ඇත්තටම කියනවා නං, අර අපි දන්නා දේශපාලන පෙරළි අපි කෙරුවේ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවන්නට නේද?

අපි අතීතය සලකලා බැළුවොත්, හැත්තෑවේදී සමගි පෙරමුණු ආණ්ඩුව පිහිටුවලා තියෙන්නේ නැතිවුණු ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවන්නයි.

ඊ ලඟට හැත්තෑ හතේ යූඇම්පී ආණ්ඩුව පිහිටුවාගෙන තියෙන්නේත් නැතිවුණු ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවන්නයි.

ඊට පස්සේ අනූ හතරේදී ඔබේ පක්‍ෂයේත් අනුග්‍රහය ඇතුව පොදු පෙරමුණ බලයට ගෙනාවේ නැතිවුණු ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවන්නයි.

ඊ ලඟට දෙදාස් පහේ දී ත්, අපි කළේ අඩු වැඩි වශයෙන් නැතිවුණු ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවීමක් නේද?

ඒ විදියට අන්තිම ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවීම කරලා, දැන් අවුරුදූ පහක් යන්නත් කලින් අපි නැවතත් අද කතා කරන්නේ නැතිවුණු ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවන්නයි.

මගේ ප්‍රශ්ණය මෙන්න මේකයි.

දැන් අපි කොහොම හරි නැතිවුණු ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටෙව්වා ය කියමුකෝ.

ඊට පස්සේ, අපි ආයේ කවදාද මෙහෙම රැස්වෙන්නේ නැතිවුණු ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවන්න?"

මේ වගේ රිටෝරිකල් ප්‍රශ්ණ අහන්නේ උත්තරයක් ඕනෑ හින්ද නෙමෙයිනේ. නමුත් අපරාදේ කියන්න බෑ, අනුර කුමාර දිසානායක උත්තරයක් දුන්නා.

පොර කිව්වේ ඉතිං මේ පාර නං ප්‍රජාතන්ත්‍රවාදේ නැවත පිහිටෙව්වහම ආයේ නිකං කොන්ක්‍රීට් කුළුණ වගේ නොසැලී, නොබිඳී තියෙන්නයි පිහිටුවන්නේ පුතෝ! වගේ බයිල එකක්.

එහෙම වුනොත් හොඳයි අනේ!

මොකද ඉතිං, දැන් දැං ඔය දේශපාලු රැස්වීම්වල බයිල අහන්න යන්නත් කම්මැලියි කම්මැලියි නේ. ඊලඟ පාර ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවන කාලේ එන කොට කවුද ඕවට යන්න ඉන්නේ?

-කතන්දරකාරයා

ප/ලි
මේ ගණිත ගැටළුව විසඳන්න:
9 + (89-71) = ?

ප/ප/ලි
මං අහපු දෙවෙනි ප්‍රශ්ණය සහ ඒකට අර්ජුන දුන්නු විහිළු උත්තරේ ඊලඟ ඉරිදා ට කියවමු.

Friday 22 July 2011

වෙබ් කාලා වතුර බීම - Web eating, water drinking and my body fish dancing


අපි ඉතිං කවුරු කවුරුත් ඉඩ ලද පරිදි ඔය විවිධ සමිති සමාගං වලට එකතුවෙලා වැඩ කරනවානේ. මං උසස් පෙල කරපු ඉස්කෝලේත් ඔය වගේ සංගම් හැට හුටහමාරක් තිබුණ. ඒත් මං නං මුලින්ම ස්වේච්ඡා සමිති වැඩවලට බැස්සේ කැම්පස් ෆස්ට් ඉයර් එකේදී කලා කවයට සම්බන්ධ වෙලයි.

එතන ඉඳල ෆයිනල් ඉයර් එකේ බැච් ෆොටෝ එක අරං ඉවරවෙන දවස වෙනකං විවිධාකරායේ ඇක්ස්ට්‍රා කරිකියුලර් වැඩවලට ගතකරපු කාලය නං අප්‍රමාණයි. ඒ ගැන දැනුත් මතක්වෙන්නේ ලොකු සතුටකුත් එක්ක.

ජීවිතේම ස්වේච්ඡා සේවා කෝටා එක ඒ කාලේ ම අවුරුදු විසිතුන වෙන කොට ඉවර වුණු හින්දා මේ කාලේ නං එහෙම නහින්න දෙහින්න යන්නේ නෑ. ඔන්න ඔහේ කතන්දරයක් ලියං ඉන්නව මිසක.

නමුත් මං පසුගිය කාලේ එක්තරා සංගමයක යම් කිසි වැඩ කොටසක් බාර අරං කළා.

අපේ සංගමයේ ඒ දවස්වලත් තිබුණා පොඩි වෙබ් සයිට් එකක්. අළුතින් සංගමයට නිලධාරීන් පත්වුණාම ඒ උනන්දුව පිට මේ වෙබ් සයිට් එක ටිකක් ටිකක් අප්ඩේට් වෙනවා. පස්සෙන් පහු ඔන්න ඔහේ අමතක වෙලා යනවා. මොකද මේවා අපි ජොබ් එකේ, ෆැමිලි එකේ වැඩ සේරම කරළා, ඊට පස්සේ කරන ස්වේච්ඡා වැඩනේ. ඊලඟ අවුරුද්දේ ආයෙත් ඔය කියපු සයිකල් එකේම යනවා.

හැබැයි ඉතිං හැමෝගෙමත් හිතේ තියෙනවා වෙබ් සයිට් එක දියුණු කරල ගන්න ඕනෑ ය කියන අදහස.

ඔන්න එක අවුරුද්දක අළුතින් සංගමයට කමිටුවක් පත්වුණා. වෙනත් වැඩකටයුතු එක්ක වෙබ් එකත් බාරවුනේ මගේ හොඳම හිතවතෙක් වෙන රෂ්මි ට. මිනිහා හිත හොඳ හාදයා. වැඩට පලට හොඳ උනන්දුවකුත් තියෙනවා.

"අපේ වෙබ් සයිට් එක මං නග්ගල ගන්නං!" පොර කිව්වා.

"මං මේ වැඩේට අල්ල ගන්න යන්නේ අළුතින් කැම්පස් එකෙන් අවුට් වුණු දෙන්නෙක්. වැඩි වයසක් නැති හොඳ තරුණ කොල්ලෝ වුණාට මුං දෙන්නම වෙබ් කාලා වතුර බීපු උං!"

දැන් ඉතිං ඔය කතාවෙන් අවුරුද්දක් විතර ගියාය කියමුකෝ. හැබැයි රෂ්මි ගේ කයිය කෙසේ වෙතත්,වැඩේ තවත් අල වුනා විතරයි මට පෙනිච්ච විදියට.

ඔන්න කවුදෝ වෙන කාරණයක් ගැන ලියපු ඊ-මේල් එකක අපේ වෙබ් සයිට් එක ගැනත් පොඩ්ඩක් විතර "නෙගටිව්" සඳහනක් කරලා තිබුණා.

මං ඒකට උත්තර විදියට ලිව්වේ මෙච්චරයි.

"වෙබ් සයිට් එක ගැන නං වරදක් කියන්න එපා. අපේ රෂ්මි බාරගත්තු වැඩේ හරියටම කළා. කොටින්ම පොර ට තව ඉතුරු වෙලා තියෙන්නේ අර කොල්ලෝ දෙන්නාට වතුර දෙන්න විතරයි!"

-කතන්දරකාරයා

ප/ලි:
මේ හා සමාන නොවුනත් අසමානත් නැති තව කතාවක් මෙන්න.
"පොඩි වැඩකට සෙට් වෙමුද, මචං?"

ඔය "මයි බොඩි ෆිෂ් ඩාන්සින්" කියන කතාව කාගේ එකක් ද දන්නව නේද?

http://www.workathometruth.com/blog/2009/08/21/make-money-whitening-your-teeth/

Wednesday 20 July 2011

රත්නායක මහත්තයා ගේ තවත් වැඩකිඩ - More adventures of Mr Ratnayake


රත්නායක කියන්නේ මගේ හොඳම යාළුවෙක් බව කතන්දර බ්ලොග් එක දිගටම කියවල තියෙන හැම දෙනෙක්ම දන්න කාරණයක්.

අළුතින් ආපු ඉන්නවනං අඩු වශයෙන් රත්නායක ජෝක්ස් ගැනවත් කියවල ආපහු මේ කතාවට එන්න.

රත්නායක මහත්තයයි, රමණී නෝනයි සම්බන්ධ සියළුම කතන්දර මං මේ පෝස්ට් එකේ යටින් උපලේඛනයක ලයිස්තුගත කරල තියෙනවා, කලින් කියවලා නැති අයට බලා කියා ගන්න.

අද මෙන්න රත්නායක මහත්තයා ගැන කතන්දර දෙකක්. මුල් කතාව නං පොඩ්ඩක් ප්‍රබන්ධයක් මගේ හිතේ. දෙවෙනි එක නං අමූලික ඇත්ත.


ඔන්න රත්නායක මහත්තයා රමණී මැඩම්ව බඳින්න කලින් කාලේ එක දවසක් හවස් වෙලේ රමණී ලා ගේ ගෙදර ගිහින් තියෙනව. මේ කාලේ රත්නායක මහත්තයා හිටියේ මහරගම. රමණී ලා ගේ මහගෙදර පානදුරේ.

එදා හවස් වෙලේ එහේ ගිහින් දෙමව්පිය අධීක්‍ෂණය යටතේ ඔන්න ජෝඩුව ඉස්තෝප්පුවේ කතාබහ කර කර ඉඳලා තියෙනවා. දන්නෙම නැතුව කළුවර වැටුණා. ඉතිං රත්නායක මහත්තයා යන්න නැගිට්ටාම ඔන්න ආරාධනාවක් ආපි, රෑට බත් ටිකක් කාලාම යන්න කියලා.

බත් කකා ඉන්න අතරේ, මහ හයියෙන් ගොරවලා මොර සූරන වැස්සක් වහින්න පටන්ගත්තා. දන්නවනේ වහින්න ගියාම පානදුරේ පැත්තට වහින වැහිල්ල!

දැන් මොකද කරන්නේ. මේ වැස්සේ ගෙදරින් යන්න තියා හිතන්නවත් බෑ.

රත්නායකට අද රාත්‍රියේ මෙහේ නතර වෙන්න වෙයි වගේ!

රමණී මැඩම් ගේ තාත්තා නං ඒ අදහසට කොහොත්ම කැමති වුනේ නෑ. ඒත් ඉතිං ලොකු කෙල්ලව බඳින්න ඉන්න මිනිහව තරහ කරගෙනත් බෑනේ.

මේ උභතෝකෝටිකයට හොඳ විසඳුමක් ආවා තාත්තට.

රමණී ගේ තාත්තා කිව්වා රත්නායකට මෙන්න මෙහෙම.

"පුතා ට මේ වැස්සේ යන්න දෙන්නත් බෑ. නමුත් ඉතිං මෙහේ ඉන්න කියන්න විදියකුත් නෑ. මොකද, ඇඳගන්න දෙන්න සරමක්වත් නෑනේ, සේරම හෝදලා තාම වේලිලා නෑ."

මේ වෙනකොට රාත්‍රියේ රමණී ලා ගේ ගෙදර ඉන්න සිහින බල බල හිටපු අපේ රත්නායක මහත්තයා ඕවයින් සැලෙන කෙනෙක් නෙමේ.

"කමක් නෑ, අංකල්, මං ටක් ගාල ගෙදර ගිහින් සරමක් අරං එන්නම්."


මෙන්න දෙවෙනි කතන්දරේ. මේකත් රත්නායක ගේ තැනට සුදුසු නුවණ ගැන කියවෙන එකක්.

රත්නායක ලා ගේ කැම්පස් එකේ ම (දන්නවනේ අර කුකුල්ලු දෙන්නා ගේ කතන්දරේ කියවුණු ස්ථානය?), පොරට අවුරුද්දක් ජූනියර් එකෙක් ඉන්නවා ශ්‍රියන්ත කියලා. ශ්‍රියන්තයත් පදිංචිය රත්නායක ඉන්න පැත්තේමයි.

ඔය ශ්‍රියන්ත ගේ වයිෆ් මයුරි ගැන තමයි මං අර තිස්ස ගේ ආගම් මාරුව කතන්දරේ ලිව්වේ.

දවසක් රත්නායක ණයට ගත්තු උදැල්ලක් රිටර්න් කරන්නද කොහෙද ශ්‍රියන්ත ගේ ගෙදර ගිය වෙලේ ශ්‍රියන්තගේ වෙන යාළුවෙක් එහේ ඇවිත් ඉඳලා.

"රත්නායක, මේ විපුල්, අපේ ඔෆිස් එකේ වැඩ කරන පොරක්." ශ්‍රියන්ත ඔන්න තමන් ගේ මිතුරෝ දෙන්නාව එකිනෙකාට අඳුන්වලා දෙන්න පටන් ගත්තා.

"මචං, විපුල් මේ තමා රත්නායක. අපේ කැම්පස් එකේ මට වැඩිය අවුරුදු දහයක් විතර සීනියර් පොරක්." ශ්‍රියන්ත එහෙම කිව්වෙ රත්නායකව චා කරලා දාන්නයි.

ඔය වගේ වෙලාව තමයි රත්නායකට නියම කතා හිතට එන්නේ.

"ඔව් විපුල් මං කැම්පස් එකේ දී නං ශ්‍රියන්ත ට වඩා අවුරුදු දහයක් සීනියර් තමයි. ඒත් අපි පහේ පන්තියේ දී ක්ලාස් මේට්ලා. මූ ඉතිං, පහේ පන්තියේ ෆේල් වුණා, හතේ දී ෆේල් වුණා, ඕ-ලෙවල් පස් පාරක් කළා, අන්තිමේදී ඒ-ලෙවල් තර්ඩ් ෂයි එකේ තමයි කැම්පස් ආවේ!"

"ඒක හින්ද මූ මට වඩා කැම්පස් එකේ දී අවුරුදු දහයක් ජූනියර්...!!!"

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න ඉහතී කී උප ලේඛනය
රත්නායක ජෝක්ස්
රත්නායක මහත්තයා ගෑණුන් ගේ xxx හොයපු හැටි
රමණී මෙතඩ්
පුරාතන මධ්‍යතන නූතන
එසේම වේවා
මී කිරිවල ගුණ
කටුබැද්දේ කුකුල්ලු දෙන්නා
අරක්කු ඕනා, කෝක් වානා
කීප් එ සයිඩ් - Keep aside - අන්තර්ජාලයේ ඉවුං පිහුං

(image: http://www.dvdbeaver.com/film2/DVDReviews35/i_am_legend.htm)

Monday 18 July 2011

ඕස්ට්‍රේලියාව ට පැන්න අපේ උං ගේ කවි - Australia : Sinhala Poetic Impressions


මට හිතෙන විදියට උපන් රට දාල යනවාය කියන්නේ ලේසි පාසු වැඩක් නෙමේ. හුඟ දෙනෙකා පිට රට පැන්නට හීනෙනුත් උපන් රටේ තමයි ජීවත් වෙන්නේ. පැළයක් උදුරල වෙන තැනක හිටෝල පැළකර ගන්න එක ලේසි වැඩක් යැ?

හැබැයි ඉතිං ඔය රට පනින එක නං අද ඊයේ එකක් නෙමේ.

ලංකාවේ ඉතිහාසය කියවන කොට අපිට මාට්ටුවෙන විජය ල, පඬුවස්දෙව් ල, පරාක්‍රමබාහු ල, නිස්සංකමලල ල, දුටුගැමුණු ල, වීදියේ බණ්ඩාර ල, අලකේශ්වර ල, සපුමල් ල, ශ්‍රී වික්‍රම ල කියන්නේ එක්කෝ තමන් උපන් රටෙන් ලංකාවට පැනපු එවුන් නැත්තං එහෙම පැනපු අය ගෙන් පැවතෙන එවුන්.

ඉතිං, ඒ කාලේ ඉඳලම ලංකාවේ අපේ ජාන වලට ඔය රට පනිනව කියන එක හොඳට කා වැදිලයි තියෙන්නේ කියල කියන්න පුළුවන්.

සුද්දගේ කාලේ ලංකාවේ කවුරුත් බ්‍රිටිෂ් සබ්ජෙක්ට්ස් හින්දා අපේ සමහරු එංගලන්තේ, සිංගප්පූරුවේ, මැලේෂියාවේ ගිහින් පදිංචි වෙලා තියෙනවා.

ඒ කොයි හැටි වුණත් ලංකාවට නිදහස දීල සුද්දො ගියාට පස්සේ තමයි අපේ අය සැලකිය යුතු විදියට රට පනින්න පටන් ගත්තේ මට තේරෙන විදියට.

ට්‍රෙන්ඩ් එක මුලින් තිබුණේ යූ.කේ. යන්නයි. (මේ කියන්නේ උස්වැටකෙයියාව ගැන නං නෙමේ!) පස්සේ ඇමරිකාව වගේ රටවල් වලටත් පොරවල් පනින්න පටන් ගත්තා. ඒ හුඟ දෙනෙක් ඉගෙන ගන්න ගිහිල්ලා එහේ ම ගල් වුණු අය වෙන්න ඕනෑ.

දැන් නං ලංකාවේ ඉපදුණු කෂ්ටිය පඳුරකට පයින් ගැහැව්වත් දෙතුන් දෙනෙක් විසිවෙන ගානට ඉන්නව ලු, කැනඩාවේ ටොරොන්ටෝ වලයි, ඕස්ට්‍රේලියාවේ මැල්බෝර්න් වලයි. ඒ රටවල් වල අනිත් පැතිවල, නවසීලන්තේ හෙමත් සෑහෙන ශී්‍ර ලාංකිකයෝ ප්‍රමාණයක් ඉන්නවා ය කියලයි ආරංචිය.

ඔය වගේ ඕස්ට්‍රේලියාව ට ගිය කට්ටියක් කරපු තිරස තරණ කියන කෙටි කතා පොත ගැන මං ලිව්වා මතකද? ඒ වගේ තවත් පොතක් මට ළඟදී කියවන්න ලැබුණා.

මේක කවියෙන් ඕස්ට්‍රේලියාව ගැන ලියවුණු පොතක්.

පොතේ නම දකුණු කුරු දිව් කව්. බෙදා හැරීම දයාවංශ ජයකොඩි සමාගම. මිල රුපියක් එකසිය ගානයි (ඩිස්කවුන්ට් එක එක්ක).

මේ කවි පොත මුළුමනින් ම ඕස්ට්‍රේලියාව ගැනයි ලියවිලා තියෙන්නේ. ඕස්ට්‍රේලියාවේ ඉතිහාසය, පරිසරය, සමාජ තොරතුරු විතරක් නෙමේ එහේ ඉන්න අපේ කෂ්ටිය කරන කියන දේවල් ගැනත් මේකේ කවියෙන් ම විස්තර වෙනවා.

නිකංම නිකං නිසඳැස් කවියෙන් නෙමේ හොඳ එළිසමය සහිත සිව්පද කවියෙන්.

ලංකාව හැර වෙන රටක් ගැන සිංහලෙන් ලියවුණු මේ වගේ මුල් ම කවි පොත මේක වෙන්න ඕනෑ.

කතන්දරකාරයෙක් වුණාට මං කවි වලටත් කැමතිය කියන එක අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ.

මූදු වෙරළ ගැන තුනේ පන්තියේ ලියපු කවිය ගැනත්, පස්සේ පෙම් කවියක් ලිව්ව හැටිත් මං කලින් කතන්දරවල ලියල තියෙනවා. ඇයි ඔබාමා ට ලියපු කවි පන්තිය, නූතන ජන කවි සෙට් එක, සින්දු කරපු කවි.

අද මේ කයි-කතන්දරේ ඉවර කරන්න මෙන්න දකුණු කුරු දිව් කව් කවි පොතෙන් කවි කීපයක්.

ඕස්ට්‍රේලියාවේ පිහිටීම ගැන ලියවුණු කවිවලින් එකක්:
දකුණු කෙළවරේ ලෝ කුස යටි පැත්තේ
බැඳුණු සයුරු ඉන්දිය පැසිපික් ඇත්තේ
දකුණු කුරු දිව ය යන කවි පද මත්තේ
වොරැඳි රට එහිය සුදනෙනි දත යුත්තේ

සිඩ්නි නගරය ගැන ලියවුණු කවිවලින් එකක්:
ඔපෙරා මැදුර ලොව සුපතල සළකුණකී
ගජරාමෙට සෙනග ගැවසෙන අඩවියකි
මදිරා සුරා පැන් හල් අඩු නැතිය සකී
මිතුරා කැමති නම් රස ගුණ බැලිය හැකී

ඕස්ට්‍රේලියාවේ නියගය ගැන ලියවුණු කවිවලින් එකක්:
යොදුන් දිගැති ගොවි බිම් ගෝ බිම් වනසා
රුපුන් බලැති නියගය ගති රටම වසා
බුදුන් පුදමි, හිමි දෙසු දම මේ විලසා
රජුන් දැහැමි රට හිඟ නැත වැසි වරුසා

ඕස්ට්‍රේලියාවේ රටේ ජීවිතය ගැන ලියවුණු කවිවලින් එකක්:
කලක් දැන් මෙහේ ඇවිදින් ගත වෙන්නේ
පෙළක් වෙලාවට සිරි ලක සිහි වෙන්නේ
පරක්කුවක් නැත වැඩ අකුරට වෙන්නේ
අරක්කුව කුමට අද විස්කිය බොන්නේ

ඕස්ට්‍රේලියාවේ සිටින අපේ සමහරුන් ගැන ලියවුණු කවිවලින් එකක්:
කටින් බතල කොළ හොඳ හැටි හිටවීම
සැපෙන් පුටුව මත හිඳ යුද්දෙට යෑම
තමන් මිස අනුන් හරි යැයි නොසිතීම
උපන් බිමෙදී මෙන් පුරුදුයි අද තාම

ඒ වගත් මෙසේම,

-කතන්දරකාරයා

ප/ලි:
මං මීට කලින් පොතක් ගැන ලිව්වේ -W3Lanka ගේ ශාස්තෘ ගැනයි. එදා නං මට කොහේදො හැංගිලා ඉන්න ඇනෝනිමස් අක්කි ලා දෙන්නෙක් විතර නොසෑහෙන්න ආඬපාලි කිව්වා.

අදත් ඒ කෂ්ටි සෙට් වෙයි ද මන්දා මට බැෂ්ටිය දෙන්න!

බලමු, බලමු!!

Sunday 17 July 2011

පැළඳ කඩු කස්තාන ගමට නම්බුව ගේන අපේ ආරච්චිල මැතිඳා වීරයා - විජේරත්න වරකාගොඩ සමග හෝරාවක් :: Wijerathna Warakagoda talks to KK


මෙන්න සන්ඩේ ඇක්ස්ට්රාම ස්පැෂල් සීරීස් එකේ මගේ තවත් නේම් ඩ්රොපින් කතන්දරයක්.

බැද්දගේ ගැන, ඇන්තනි ගැන දාපු කතන්දර පෝස්ට් වගේම මේකත් ඉන්ටර්වීව් එකක් ආශ්‍රයෙන් 2008 දී සඟරාවක් සඳහා ලියපු එකක්.


මෝඩයාගේ පෙට්ටිය ලෙසින් හැඳින්වෙන ටෙලිවිෂනය සිරි ලංකාව ආක්රමණය කර මුළු මහත් ජන සමාජයේ ජීවන රටාවම වෙළඳ දැන්වීම් අතරට ඔබා ඇති විනාඩි පහේ ටෙලිනාට්යය කෑලි අතරේ අතරමං කරවන්න ට පෙර ගම්බද නගරබද වෙනසක් නොමැතිව බහුතරයක් සිංහල ජනතාව අතර පැතීරී තිබූ එක්තරා සුන්දර ඇබ්බැහිවීමක් විය.

එය නම් සඳුදා දිනවල රාත්‍රී අටයි තිහට ගුවන් විදුලි යන්ත්‍රය වටා එක් රොක් වීමයි. ඒ වෙනත් කර්තව්‍යයක් සඳහා නොව මුවන්පැලැස්ස නමැති ගුවන් විදුලි නාට්යය ශ්‍රවනය කිරීමටයි.

නිදහසට පෙර සමයේ, පිටිසර කැලෑබද ගම්මානයක එදිනෙදා ජන ජීවිතය වටා ගෙතී තිබුණු අපූරු කතාවක් වූ මුවන්පැලැස්ස නාටකයේ දී අප හමුවූ, කදිරා, පිනා, වෙද මාමා, නාමලී, එතනහාමී යනාදී විවිධ ගැමි චරිත අතර කැපී පෙනුනු එක් ප්‍රධාන චරිතයක් වූයේ ගමේ ආරච්චිල ගේ චරිතයයි.

ඔහු රාජ නීතියේ නමින් ගමේ අසරණයින් ට තම ආධිපත්යය පෙන්වා ඔවුන් තැලීය, පෙලීය.

නමුත් ගමේ දඩබ්බරයා වූ කදිරා වැන්නන් ඉදිරියේ බියගුල්ලෙක් විය.

හුදෙක් ම කළු චරිතයක් බවට හැඳින්විය හැකි ආරච්චිල, එය එසේ වූවද, මුවන්පැලැස්ස ගමේ වීරයින් ගේ, පණ්ඩිතයින් ගේ චරිත පරදවා ශ්‍රාවක ජනතාව අතර වඩාත් ජනප්රිය චරිතය බවට පත්වූයේ වෙන කිසිදු කරුණක් නිසා නොව එම ආරච්චිල චරිතයට තම හඬ මුසු කොට පණ පෙවූ විජේරත්න වරකාගොඩ නමැති කලාකරුවා නිසා බව කීම කිසිසේත් ම අතිශයෝක්තියක් නොවේ.

පසු කළෙක කෝරළේ මහත්තයා ලෙස උසස්වීම් ලබා තම ඇඹෙනිය වූ මැණිකේ ද සමග ලොව දීර්ඝතම ගුවන් විදුලි නාටකයේ රඟපා වාර්තා පිහිටුවමින් අදත් ගුවන් විදුලියෙන් ලක් වැසියන් පිනවන විජේරත්න වරකාගොඩ ගුවන් විදුලිය, වේදිකාව, රූපවාහිණිය පමණක් නොව රිදී තිරය ද සමතික්‍රමණය කළ අග්‍ර ගණයේ නළුවෙකි, ගායකයෙකි, කලාකරුවෙකි.

වරකාගොඩ කලාකරුවා හෙවත් මුවන්පැළැස්සේ කෝරළේ මහත්තයා කළුබෝවිල නගරයේ දී එක් වරක් නොව දෙවරක් ම හමුවීමටත්, ඔහු හා සුහද සාකච්ඡාවක් පැවැත්වීමටත් මට 2008 ජනවාරියේ දී වරම් ලැබුනි.

මේ අපේ කතා බහේ දී මා දැනගත් තොරතුරු යි.

වර්ෂ 1933 දී කුරුණෑගල උපත ලැබූ විජේරත්න වරකාගොඩ, ශාන්ත ආනා විදුහල, ආනන්ද විදුහල හරහා මුලින් ලංකා බැංකුව ට එක් වුනත් පසුව 1956 දී පොලිස් සේවයට බැදුණි. පසුව 1964 දී වානේ සංස්ථාවේ සේවයට ගිය ඔහු 1976 දී චිත්‍රපට සංස්ථාවට බැඳී 1982 දී විදෙස් සේවයට යන තුරුම එහි සේවය කළේය. තමා හැම විටම කලා කටයුතු වල යෙදුනේ වෙනත් පුර්ණකාලීන රැකියාවක යෙදෙමින් බව ඔහු මා හා වැඩිදුරටත් පැවසීය.

විජේරත්න කලාකරුවා මුලින්ම වේදිකාවට පිවිසුනේ 1963 “අජාසත්ත නාඩගමේ” බිම්බිසාර චරිතය රඟපාමිනුයි. මේ ප්‍රථම රංගනය සඳහාම ඔහුට හොඳම ශෛලිගත නළුවා සඳහා වූ අග්‍රාණ්ඩුකාර සම්මානය හිමිවුනි.

ඉන්පසු හෙන්රි ජයසේනගේ “කුවේණි”, “තවත් උදෑසනක්”, “අපට පුතේ මගක් නැතේ”, “හුණු වටයේ කතාව” සහ “දිරිය මව සහ ඇගේ දරුවෝ” නාට්යවල ද, “මනමේ” නාට්ය යේ දිසාපාමොක් සහ වැදි රජු චරිත වලින් පටන් ගෙන සරත්චන්ද්‍රයන් ගේ “සිංහබාහු”, “පේමතෝ ජායතී ශෝකෝ”, “මහාසාර”, “ලෝම හංස” සහ “කපුවා කපෝති” නාට්ය වලද ඔහු 1964 සිට 80 දශකය දක්වා ම දිගටම රඟපෑවේය.

විජේරත්න වරකාගොඩ මුලින් ම සිනමා නළුවෙකු වුනේ රොබින් තම්පෝ ගේ “සුහද දිවි පිදුම” චිත්‍රපටයේ නීතිඥයෙකු ලෙස කල රඟ පෑමෙනි. තම්පෝ ගේ තවත් චිත්‍රපට කිහිපයක ද ලෙස්ටර් ගේ “ගම් පෙරලියේ” ද රඟපෑ ඔහුගේ සිනමා දිවියේ උච්චස්ථානය වූයේ අමරනාත් ජයතිලක ගේ “අරුණට පෙර” ප්‍රධාන චරිතය රඟපෑම සඳහා හොඳම නළුවා සම්මානය ලැබීමයි.

දක්ෂකම නිසාම නොව මූලික වශයෙන් හැඳුනුම්කම් මත චරිතාංග වලට නළු නිළියන් තෝරන සිංහල සිනමාවේ යලිත් එවැනි ප්‍රභල රංගනයක් ඉදිරිපත් කිරීම සඳහා සුදුසු ප්‍රධාන චරිතයක් වරකාගොඩ නළුවාට නොලැබීම සමස්ත සිංහල සිනමාවේ ම දුර්භාග්‍යයක් බව කිව යුතුම වේ.

ඞී.බී. සුරනිමල අධ්‍යක්ෂණය කළ මහපොල ප්‍රචාරක ටෙලි වෘතාන්තයක් වූ “සඳමාලී ගේ කතාවේ” රඟපාමින් පුංචි තිරයට පිවිසි විජේරත්න වරකාගොඩ තමන් ගේ සුපුරුදු දක්ෂකම් “එක ගෙයි කුරුල්ලෝ” හි පියා ගේ චරිතය වන් ප්‍රභල චරිත මගින් අපට පෙන්වූවේ ය. ඔහු රඟපෑ, “දූ දරුවෝ”, “නෑදෑයෝ”, “සත්පුර වැසියෝ” යනා දී රූපවාහිනී මාලා නාටක ද ඉතා ජනප්‍රිය විය. ඒ සමගම ඔහු රූපවාහිනී හඬ කැවීම් ශිල්පියෙක් ලෙසට ද කාලයක් තිස්සේ කටයුතු කර කර තිබේ.

විජේරත්න වරකාගොඩ ගැයූ “රඟහල අඩ අඳුරේ”, “මැණිකේ හිනැහෙනවා”, “මිහිරි සිහිනයක දැවටුන” යනාදී ගීත අදත් එදා මෙන් ම ජනප්‍රියයි.

විශ්‍රාම සුවයෙන් පසුවීම කෙසේ වෙතත් ඔහු අදත් සිනමා, ගුවන් විදුලි, රූපවාහිනී යනාදී මාධ්ය වලට තම දායකත්වය නො අඩුව ලබා දෙයි. ඔහු ගේ නවතම සිනමා රඟපෑම (2008) වන්නේ සෝමරත්න රාමනායක ගේ “සතියකට මට රට බාර දෙන්න” නමැති ප්‍රහසනය යි.

ඔහු ගේ ප්‍රිය බිරිය චිත්‍රාත් ජනප්‍රිය චරිතාංග නිලියකි. ඔවුන් දෙපල ගේ පුත් ජනනාත් විශාරද සංගීතඥයෙකි, ප්වීන බෙර වාදකයෙකි. දියණිය වින්ධ්යා‍ නැටුම් ශිල්පිණියකි. ඇය මේ දිනවල (2008) චන්න විජේවර්ධන ගේ නාට්ය කණ්ඩායමේ කටයුතු කරයි. දරු දෙපලම සෞන්දර්ය උපාධිධාරීහු වෙති.

විජේරත්න වරකාගොඩ කලාකරුවා ට දිගාසිරි පතමි.


ඒ වගත් මෙසේම,

-කතන්දරකාරයා

Friday 15 July 2011

ලොකු බැඳපු මෑන්ස් ලා ට අවවාදයක් - හාමිනේ ගේ උපන් දිනේ අමතක කරන්න එපා! Married men out there, dont forget your partner's birthday!


කොල්ලන්ට ලව් කරන්න අවවාද එක පාරක්, දෙපාරක් නෙමේ දැන් තුන් පාරක් ම දීල තියෙනවා නේ. අද පොඩි වෙනසක් කරන්න හිතුණා.

මේකයි ලොකු බැඳපු මෑන්ස් ලා ට දෙන අවවාදය, කතන්දරාශ්‍රයෙන්.

ඔන්න හාමිනේ යි මායි බැඳලා, ඇනෙක්ස් හොයලා, ඇන්ටි ගේ ගෙදර ඉඳලා, පස්සෙන් පහු අපේ ම කියලා තැනකට සෙට් වුණා නේ.

ඒ දවස්වල මංතුමා වැඩ කලේ එක්තරා තිප්පොලක ගෙදර ඉඳලා හැතැප්ම පාලහක් විතර දුරින්. මේ කාලේ මං හවස් වරුවේ අර්ථ-සාස්තරේ ඉගෙන ගන්න සැට් වෙලයි හිටියේ. සතියකට දවස් දෙකක් විතර හවස් වරුවේ කොළඹ යන්න ඕනෑ ඒකට.

ඔන්න මේ කියන දවසේ මං වැඩපොලෙන් ටිකක් කලින් ආවා. එනකොට හාමිනේ ගෙදර. මං ඉතිං, බාත් රූම් එකට වැදිලා නාලා, තේකක් බීලා හෙම ආපහු යන්න සෙට් වුණා.

හාමිනේ ගේ මූණේ කිසිම හිනා-මනාවක් නෑ!

අප්සැට් එකෙන්ම පාරට බැස්සා බස් එකක් අල්ලගන්න. හන්දිය පැත්තට ඇවිදගෙන යනකොට තමයි මතක් වුනේ මට වෙලා තියෙන සංගෙඩිය.

එදා තමයි හාමිනේ ගේ හැපි බර්ත් ඩේ එක!

දැන් ඉතිං මොකද කරන්නේ?

පාර අනිත් පැත්තට ගිහින් එවෙලේම ආපු බස් එකක එල්ලිලා ගියා නුගේගොඩ. සරසවියට ගොඩ වැදිලා ගත්තා පොත් තුන හතරකුයි, හැපි බර්ත් ඩේ කාඩ් එකකුයි.

කාඩ් එක එතනම තියෙන තැපැල් කන්තෝරුවට ගිහින් හාමිනේ ට තැපැල් කළා. පහුවදා වුනත් කාඩ් එක ගෙදරට එනවානේ.

අර්ථ සාස්තර බයිලා අහන් ඉඳලා එදා රෑ වෙලා ගෙදර ඇවිත් වීරය වගේ අර පොත් තුනේ තෑග්ග දීලා වැඩේ පොඩ්ඩක් විතර ෂේප් කරගත්තා.
ගෙදර එනකොට පොඩි පහේ කේක් ගෙඩියකුත් අරගෙනයි ආවේ.

පහුවදා හවස වෙනකොට හැපි බර්ත් ඩේ කාඩ් එකත් ආපු නිසා වැඩේ ගොඩ ගියා.

මේ කතන්දරේ අද මතක් වුනේ ඇයි දන්නවද? අද තමයි (ජූලි 15) කතන්දර හාමිනේ ගේ හැපි බර්ත් ඩේ දවස.

හා, එහෙනං එන්න කෂ්ටියම සෙට් වෙන්න කේක් ගෙඩිය වටේ.

හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ඩියර් හාමිනේ
හැපි බර්ත් ඩේ ටූ යූ!

හිප්, හිප්, හුරේ

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න අතුරු කතන්දර කීපයක්.

1.
අළුත බැඳපු ජෝඩුවක හාමිනේ, බැඳලා අවුරුදු දෙක තුනක් ගිය ජෝඩුවක හාමිනේව හැඳින්නුවේ, අර ලොකු බැඳපු කෙනා කියලයි. අද කතන්දරේ මාතෘකාව ආවේ ඒකෙන්.

2.
කොච්චර කළත් කොස්සක් හිටිනවා නොවැ. මං එදා හදිස්සියේ සරසවියෙන් අරන් තියෙන පොත් මොනවද දන්නවද? සූප ශාස්ත්‍ර පොතක්, ජවිපෙ ප්‍රභවය සහ බිඳ වැටීම, ඉටි පහන්.

දන්නෙම නැතුව මං කැමති පොත් තමයි අරගෙන තියෙන්නේ.

3.
මෙයින් අවුරුදු දෙක තුනක් පස්සේ කාලෙක, මං ජොලියක් ගිහින් හාමිනේ ට වැලන්ටයිං කාඩ් එකක් දැම්මා. (ඔව් වැලන්ටයිං තමයි, මොකද, බැඳපු අයට ඕවා හොඳ නෑ කියලද හිතන්නේ?). හරි දවසට හම්බ වෙන්න මං ඒක දැම්මේ හාමිනේ ගේ වැඩ පොලේ ඇඩ්‍රස් එකටයි.

කාඩ් එක ලැබිලා තිබුණා. හැබැයි සති දෙකකට විතර පස්සේ!

ඔන්න මටත් වෙන දේවල්.

(image: http://www.soulfulplanet.com/forum/forum_posts.asp?TID=96&PID=646)

Wednesday 13 July 2011

ඇති පදං බියර් බොන්න පුළුවන්...!!! - The day I visited Singha Beer factory in Bangkok


මං කාලයක් තායිලන්තේ ජීවත් වුණා නේ, අර මං නිතරම කියන පස්තාච්චි කුපාඩි කාලේ. මං රට ජාතිය වෙනුවෙන් මහණ වුනෙත් තායිලන්තේදී තමයි.

මං ඉගෙන ගත්තු ආයතනයෙන් ඔන්න දවසක් ඉන්ඩස්ට්‍රි විසිට් එකක් ලෑස්ති කළා. අපි ගියේ සිංහ බියර් හදන ෆැක්ටේරිය බලන්නයි.

ඉන්ඩස්ට්‍රියල් ඉංජිනියරිං ඉගෙන ගන්න අපිට අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ වගේ අධ්‍යයන චාරිකා. අනික බියර් හදනවා බලන්න යනවා කියන්නේ අන්තිම වැදගත් ගමනක් නේ!

තායිලන්තය කියන්නේ වැඩි හරියක් බෞද්ධයෝ ඉන්න රටක් මං අර කම් හෝම් විමලා කතාවේ කිව්වා වගේ. ඒත්, රටේ දකුණු පැත්තේ මැලේෂියාව හරියට වෙන්න මුස්ලිම් මිනිස්සුත් යහමින් ඉන්නවා. අනිත් පැතිවලත් ඉතිං නැතුවාම නෙමෙයි මයෙ හිතේ.

ඔන්න ඉතිං එදා අපි බස් එකකින් ෆැක්ටේරියට ගිහිල්ලා, බියර් මල් ගබඩාවේ ඉඳලා, බෲ කරපු බියර් ගබඩා කරන තැන වෙනකං බලාගෙන, බලාගෙන ගියා. අපිට වැඩ පිළිවෙල කියලා දුන්නේ ෆැක්ටේරියේ ලොක්කා. පොර ජර්මන් කාරයෙක්.

අන්තිමේ දී ප්‍රශ්ණ ඇසීමේ වාරයත් ඉවර වෙලා අපි හැමෝම ගියා ලොකු හෝල් එකකට.

මල කෙලියයි, පිස්සු පීකුදු හැදෙන සඳ, මහ රජ! කිව්වලු.

ඒකේ එක අයිනක මේසයක් උඩ බියර් වීදුරු පුරෝලා. ඒවා පුරවන්නේ නිකං වතුර ටැප් වගේ ටැප් එකකින්.

අපි කෂ්ටියත් ඉතිං වහාම වැඩට බැස්සා.

ඔන්න මං බියර් වීදුරුවක් අතින් අරගෙන ෆ්‍රැන්ක්ෆර්ට් එකක් කකා ඔතන ඉන්නකොට මාව දැකපු අපේ ක්ලාස් එකේ තායි කෙල්ලෙක් මගෙන් අහනවා.

"ආ! යු ඩ්‍රින්ක් බියර්?"

"ඔෆ් කෝස් අයි ඩූ!" මං කිව්වා.

"ඔහ්! අයි තෝට් මුස්ලිම්ස් කාන්ට් ඩ්‍රින්ක් බියර්."

"දැට් මේ බී ටෲ, බට් අයෑම් නොට් මුස්ලිම්. අයෑම් ඒ බුඩිස්ට්!"

"ආහ්! දෙන් ඉට්ස් ඕල්රයිට්."

හොඳ වෙලාවට බුද්ධාගං කාරයෝ වුනේ නේද? බොන්න කිසි ප්‍රශ්ණයක් නෑනේ. සිංහල තලිබාන් ලා වුනත් පන්සල් යන්න සරොං අන්දවන එක හැර වෙනත් කරදරයක් කරන්න එන්නේ නෑනේ.

කොහොම හරි, නිකං බඩු හම්බ වෙච්ච හින්දා අපි එදා ලෙසටම බිව්වා.

ආපහු බස් එකේ එනකොට ශර්මා, මිශ්‍රා (මතකනේ අර හැපි බර්ත් ඩේ කාඩ් එකක් ආපු කෙනා?), නාරායනන් සහ නාගේෂ් එක්ක එකතු වෙලා හින්දි සින්දු කියනවත් ලාවට වගේ මතකයි!

-කතන්දරකාරයා

ප/ලි:
ඔය සිංහ බියර් ෆැක්ටරියට ගිය කාලේ නං අපි සිංහ වංසේ තමයි. දැන් නං මං බියර් බොන්නෙම නැති තරං.

http://www.chelseafc.com/page/LatestNews/0,,10268~2111007,00.html

Monday 11 July 2011

තුනේ පන්තියට පාස් වුනෙමි - Marching into the third year...!!!


මං පළවෙනියා ය කියල
අම්මට හරි ආස හිතිල
දෙනව කිව්ව තෑගි ගෙනල්ලා..!!

ඒ තාමත් ජනප්‍රිය "දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ" කියන ළමා සින්දුවේ කොටසක්.

ඔය පොඩි පන්තිවල හිටියට, ඒ දවස්වල අපිට අවුරුද්දට වාර විභාග තුනක් තියලා රිපොර්ට් කාඩ් පවා දෙනවා.

අපි ඉස්කෝලේ යන කාලේ, ඒ කියන්නේ දැන් පරම්පරාවකටත් වඩා කලින්, පන්තියේ පළමුවෙනියා වෙන එක තමයි ලෝකේ තිබුණු ලොකුම දේ. අඩු වශයෙන් අපේ ගෙදර කියන ලෝකේ තිබුණු ලොකුම දේ.

ඒ ලොකුම දේ ඉතිං කරගන්න පුළුවන් වුනේ පවුලේ ලොක්කා වෙච්ච මංතුමාට විතරයි මට මතක විදියට. ඒකත් හැබැයි ඉස්කෝලේට ගිය අළුත නං නෙමේ.

මං හෝඩියේ පන්තියේ, ඒ කියන්නේ පළමුවෙනි ශ්‍රේණියේ, හිටිය අවුරුද්දේම මට පන්තියේ පළමුවෙනියා වෙන්න ම බැරි වුණා. මට ලැබුනේ තුන්වෙනි තැනයි.

ඒකට මුළුමණින්ම වග කියන්න ඕනෑ පන්තියේ මා ලඟම වාඩිවෙලා හිටිය නාලන්ද පියතිලකයි, මට ඉස්සරහ සීට් එකේ වාඩිවෙලා හිටිය ජානිකා කිරිබත්ගොඩයි දෙන්නා මිසක මං හෙම නං නෙමේ, හරිය?

මුල් වාරයේ මං තුන්වෙනියා වුනාම ගෙදරින් කිව්වේ, ඊලඟ වාරයේ උත්සාහ කරලා බලන්නයි කියලා. දෙවෙනි වාරයේ අගදීත්, තුන්වන වාරයේ අගදීත් කිසිම වෙනසක් නැතුව ඒ උපදෙසම තමයි ලැබුනේ.

හෝඩිය පාස් වෙලා අපි දෙකේ පන්තියට ගියාම මං වැටුනේ මාලවතී ටීචර් ඉගැන්නුව දෙක-බී පන්තියටයි. නාලන්ද පියතිලක සහ ශානිකා කිරිබත්ගොඩ දෙන්නාම වැටිලා තිබුනේ දෙක-ඒ පන්තියට. ඒ පන්තිය බාරව හිටියේ කොණ්ඩේ සුදුම සුදු ඒත් මහා රෞද්‍ර පාට වයසක ටීචර් කෙනෙක්. නිකං ඔසරියක් ඇඳපු බටකොළ ආච්චි කෙනෙක් වගේ.

මාලවතී ටිචර් නං එහෙම නෙමේ. හරිම සීදේවියි. එයා තමයි අර ඉස්කෝලේ ඉවර වෙලා බස් එකට දුවන්න යන වෙලාඇවක ඳගෙන හිටිය සාරිය පැටලිලා ඇදගෙන වැටුනේ!

දැන්නම් මාලවතී ටීචර් පැන්ෂන් ගිහිනුත් ඇති මගෙ හිතේ.

නාලන්දත්, ජානිකාත් නැති පන්තියේ මට චැලේන්ජ් එකක් දෙන්න හිටියේ දේශිකාත්, ශශීත් විතරයි මට මතක හැටියට.

ඉතිං ඒ අවුරුද්ද අවසානේදී මං තුන්වෙනි වසරට පාස් වුනේ පන්තියේ අවුරුද්දක් ඇතුලත තුන් පාරක් ම පන්තියේ පළමුවෙනියා වෙලා වාර්තාවකුත් එක්කයි.

-කතන්දරකාරයා

ප/ලි:
නාලන්ද දැන් ඉංගිරිසි උගන්වන ගුරුවරයෙක්. ජානිකා දොස්තරියක්.

අන්තිම වරට දකින විට දේශිකා ටයිපින් පුරුදු වෙමින් හිටියා. ශශී පෝනියෙක් පුරුදු වෙමින් හිටියා.

ප/ප/ලි:
ඔය කතාව ලිව්වේ අදත් "තුනේ පන්තියට පාස්" වුනා වගේ වැඩක් වෙන හින්දයි. මේ කතන්දර බ්ලොග් එක අද ජූලි 11 දා තුන්වන වසරට පා තබනවා.

මං මේ ගමන ආවේ මගේ හිතේ කියාගන්න කතන්දර ගොඩක් තිබුණු හින්දම නෙමේ. ඒ සඳහා මට ධෛර්ය ලබා දුන්නු කතන්දර හාමිනේටත්, කාලය බොහෝ දුරට ලබා දුන්නු දවසට පැය දෙකකට වඩා ඇදෙන කෝච්චි ගමනටත් පින් සිදුවෙන්නයි.

හැබැයි කොච්චර කතන්දර මං ලියල පල කළත්, මේ බ්ලොග් එක ර්ත් වුනේ නම් කතන්දර කියවපු සහ කියවල නතර නොවී ප්‍රතිචාර දක්වපු ඔබ සැම හින්දා ය කියන එක මට කිසිසේත් ම අමතක නොවෙන කරුණක්.

රාජකීය විද්‍යාලයේ සාහිත්‍යය සංගමයෙන් දුන්නු සම්මානෙනුත් පොඩි පහේ කික් එකක් ලැබුණා.

කතන්දර බ්ලොග් එක කියවල තමනුත් බ්ලොග් ලියන්න පටන් ගත්තු අයත් කීප දෙනෙක්ම ඉන්නවා. ඒකත් මට ලොකු ම ලොකු දෙයක්.

මෙන්න කතන්දර බ්ලොග් එකට අවුරුද්දක් පිරුනු දා මං දාපු පෝස්ට් එක. http://kathandara.blogspot.com/2010/07/happy-bday-kathandara.html.

ඉතිං එහෙනං බඩ ගාපු, දණ ගාපු, වැටි වැටි නැගිට්ට කාලේ ඉවරයි.

දෙපයින් නැගිටලා ඇවිදින කාලේ ඇවිත්!

හැබැයි, කකුල් තුනෙන් යන කාලේ ආපු දවසක වුනත් කතන්දර ලියන එක නවත්තන්න නම් තාම අදහසක් නෑ.

ලියන්න පුළුවන් වේගෙට වැඩියෙන් අළුතින් කතා එකතුවෙන එක තමයි ලොකුම ප්‍රශ්ණේ.

සැමට සැප සතුට ජය!

ප/ප/ප/ලි:
අද උපන් දිනය සමරන, සිතුවිලි බ්ලොග් එක ලියන, සචී පනාවල ට මගේ සුභ පැතුම්!

ඒ එක්කම, ඕනමැන්ටල් බ්ලොග් එක ලියන දුලිප් සිකුරාජපති ගේ උපන් දිනෙත් අදයි!

සචී නං කීයෙ පන්තියට ද මන්දා අද පාස් වෙන්නේ? ඕනයාට නං තාම මාස තුනයි නේ!

(image: Buddhi's FB)

Sunday 10 July 2011

ට්‍රැෆික් කෝට් කේස් එකක් ද? ට්‍රැෆික් දෙයියන්ව චැනල් කරන්න! - Channelling the Traffic God


මාසයකටත් වඩා දුවපු කාර් කතන්දර මෙගා සීරීස් එකේ සැර දැනිලා අපේ බ්ලොග්කරයෝ කීප දෙනෙකුගේ වෙන්ඩ කතන්දර පීදිලා තියෙනවා මේ දවස්වල දකින්න පුළුවන්.

සුජීව කොකාවල මාර්ග නීති කඩලා පගා දිපු, නොදීපු හැටි ගැන කවි ලියනවා!

අභීත එදිරිසිංහ පොලිස් මාමලාට චාටු දාන හැටි කියනවා!

බුද්ධි ලක්ඛණ ලා නං කෙලින්ම 1,500 ක් ම දීලා පොලිස් මාමලාට බනිස් කන්න.

ඔය අතරේ මට මෙන්න මේ කතාව ලියලා එවලා තියෙනවා පාඨකයෙක්. කියවලාම බලන්න. වාහන තියෙන අයට පොඩි ප්‍රයෝජනයක් හරි ලැබෙන්න පුළුවන් මේ කතාවෙන්.

කතන්දරකාරයාට වගේ මට රතුපාට කොරොල්ලා එකක් තියා හම ගිය මයිනර් එකක්වත් නෑ.

ඒ වුනාට ලයිසමක් තිබුනා කාලෙක ඉඳන්. ඒ විතරක් නෙවෙයි, අරවට තිත නොතියා මෝටර් සයිකල් පැදලා ඇක්සිඩන්ට් වෙලා උසාවියේ දඩ කාලා පුරුද්දකුත් එහෙම තිබුනා.

ඔය අතරවාරේ මං දවසක් එළවගෙන යනවා කැරවන් එකක්. මං යන්නෙ මැද ලේන් එකේ (මේ පාරේ ලේන් තුනක් තියනවා) ඔන්න හදිසියෙම දකුණු පැත්තෙ ලේන් එකේ ගිය ආමි ට්‍රක් එක, එක පාරටම වමට කපල මැද ලේන් එකට දැම්මා. මං හිතන්නෙ එතනිං කවුරුහරි යූ ටර්න් එකක් ගහන්න ඇති.

මං ඒ පාර අනතුරක් වළක්වා නොගෙන ඉන්නෙ නැතුව, වහාම බ්‍රේක් එක ගහල නවත්ත ගත්ත. හැබැයි වාහනේ දැන් අංශක දහයක් පහළොවක් වමට හැරිල. ඇයි අර යෝද ට්‍රක් එක ගෑවුනානං සයිඩ් කන්නාඩිය කුඩුවෙනවනෙ.

ඔන්න එතකොටම පිටිපස්සෙන් ආපු ත්‍රී රෝද තුමෙක් මගෙ වම් පැත්තෙ කීස් ගාල ගෑවීගෙන ගිහින් තවත් වමට දාලා පේමන්ට් එක උඩට නැගලා ආයෙත් පාරට දාන්න ගන්නකොට පේමන්ට් එක අයිනෙන් දාල තියන යකඩ වැටේ වැදුන්-නැද්ද ඩාං ගාල.

ත්‍රී වීල් එකේ වින්ඩ්ස්ක්‍රීන් එක කුඩු. එළවගෙන ආපු ත්‍රී-වීල් මල්ලී ගෙ නිකටට යටින් ලේ එනව ටැප් එක වගේ.

සෙනග සූ ගාල වටවුනා.

කවුරුත් ත්‍රී වීල් එක එළවගෙන ආපු මල්ලීයාට දොස් කියන්න ගත්ත පාලනය කරගන්න බැරි තරම් වේගෙකින් එළවගෙන ආවට. ‍

මේ අතරතුරේ මාත් එක්ක වෑන් එකේ ආපු මගෙ හාමිනේ ලේන්සු තිය තියා අර ත්‍රී-වීල් මල්ලී ගේ තුවාලෙ ලේ එන එක නවත්තන්න දඟලනව.

කොහොමහරි ඔන්න පොලිසියෙන් ආව.රාළහාමි දිගට හරහට ප්‍රශ්න කළා. දැන් අර පේමන්ට් එකේ වැඩ කැඩිච්ච එක භයානකයි. මොකද රජයේ දේපොල නේ. ත්‍රී-වීල් මල්ලී මා දිහා බලලා වෑන් එකට අලාබයක් නෑ නේද කියල ඇහුව. මෑන්ට තේරිලා තිබුනේ වරද එයා අතේ බව. කරදරේ ගැන සොරි කියලත් මිනිහ අමාරුවෙන් කිව්ව.

වෑන් එක යන්තං සීරිලා විතරයි තිබුනෙ. කොහොමත් ඒ වෑන් එකේ සීරිච්චි පාරවල් කෙළවරක් නැතුව තිබුන කළින් ඉඳන්ම. (වෑන් එක මගෙ නෙමෙයිනෙ) ඉතිං මේ සිද්ධිය කොහෙත්ම ගණන් ගන්න අවශ්‍ය නැහැ වෑන් එක සම්බන්ධයෙන් නං.

ඒ අතරෙ ඉලන්දාරියා බෙහෙත් දාන්න ඉස්පිරිතාලෙ හෙවත් හොස්පිටල් එකට එක්කගෙන ගියා. රාළහාමි කිව්වා මට වෑන් එකත් අරන් පොලිසියට එන්න කියල. මං ඇහුව මෙතනදි මගේ වරදක් නැති නිසාත් වෑන් එකට සැළකියයුතු අලාභයක් නැති නිසාත් මම මගෙ ගමන යන්නං නේද කියල. ඒත් රාළහාමි කිව්වෙ “කෝකටත් එන්න, මොකද පස්සේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නේ” කියල.

මම රාළහාමිගෙන් ඇහුව “වෑන් එකේ මගෙ හාමිනෙයි ළමයිනුයි ඉන්නවා, මං ඒ ගොල්ලන්ව ගෙදර දාල එන්නද?” කියල. ඉතිං රාළහාමි බොහොම කාරුණික විදිහට “හා හා කමක් නැහැ කළබල වෙන්න එපා” කියල කිව්ව. කොච්චර හොඳ රාළහාමි කෙනෙක්ද කියල මට ඒ වෙලාවෙ නං හිතුන. හැබැයි ‍මගෙ ලයිසම නං ඒ වෙනකොට රාළහාමිගෙ අතට අරගෙනයි තිබුනෙ.

ඉතිං මම නිවිහැනහිල්ලෙ පොලිසියට ගියා. මෙන්න යනකොට අර තුවාල කාරය බෙහෙත් දාගෙන ඇවිල්ල තව කළු මහත හාදයෙක් එක්ක.

මෑන් කතා කරන්න පටන් ගත්තෙ සම්පූර්ණයෙන්ම මට වරද පටවලා. මමත් ඇරගන්ඩ ගියෙ නෑ. මට එච්චර එක්සිපීරියන්ස් එකක් තිබුනෙ නෑ ඔය‍ වගේ සිද්ධි සම්බන්ධයෙන් ඒ වෙනකොට. තිබුනනං ඒ වෙලාවේ නිශ්ශබ්දව ඉන්නෙ නෑ.

මම හිතුවෙ “මේ අහක යන මෑන් කෙනෙක් එක්ක පැටලෙන්නේ මොකටද, සිද්ධියට අදාළ ත්‍රී-වීල් මල්ලී ඒ වෙනකොටත් මට සොරි කියල කියලනේ තිබුනෙ” කියලා.

පස්සෙ මගෙන් කටඋත්තරයක් අරගෙන ලියාගත්ත. ටිකක් වෙලා ඉන්න කියල ත්‍රී-වීල් මල්ලී ගෙ කටඋත්තරේ ලියන්න පටන් ගත්ත.

මම ටිකක් එහායින් තිබුන බංකුවේ වාඩි වෙලා හිටිය. ත්‍රී-වීල් මල්ලී කියන ඒව මට ඇහෙන්නෙ නෑ. ඒ අස්සේ අර කළු මහත මෑන් ඉඳගෙන ඉලන්දාරියට උපදෙස් දෙනව. රාළහාමි මිනිහට දොස් කියන්න ගත්ත, මොකක් හරි දේකට. මෑන් හිටපු පොලිස් කාරයෙක් මට තේරුන විදිහට.

ඉතින් දැන් මට පේන්නෙ නං ඇක්සිඩන්ට් එක ඉන්ක්වයර් කරපු රාළහාමි ඉතා අපක්ෂපාතී කරුණාවන්ත පුද්ගලයෙක් හැටියට.

ඔක්කොම කටඋත්තර ලියාගත්තට පස්සෙ රාළහාමි කියපි, “රජයේ දේපල වලට අලාභ වෙලා තියෙන්නෙ. වාහන දෙක පරීක්ෂණ ඉවර වෙනකං පොලිසියෙ තියාගන්න වෙනව” කියල.

මදැයි කොළා! අනේ ඉතිං මං ආපහු ගෙදර ආව.

ඉතිං මට යන්න ගිය ගමනත් නෑ, වෑන් එක අයිතිකාරයට දෙන්න හැටියකුත් නෑ. දැන් මොකද කරන්නෙ?

මේ වෙලාවෙ ඉතිං සුපුරුදු පරිදි මගෙ වැඩපොලේ හිතවත්තු විස්තර අහල උදව් කරන්න ලෑස්තියි. මං ඒ අයට කිවුවෙ “පුළුවං ඉක්මනට වෑන් එක නිදහස් කරගත්තොත් හොඳයි” කියල. මොකද ඒක අයිතිකාරයට බාර දෙන්න එපායැ.

ඉතිං ඔන්න පොලිසියෙ ට්‍රැපික් ඕ අයි සී අඳුරන ලොකු මහත්තයෙක් මාර්ගයෙන් වෑන් එක නිදහස් කරගන්න පුළුවන් වුනා යන්තං.

දැන් ඉතිං මටයි අර ඉලන්දාරියටයි පොලිසියෙන් නඩු දාල තියෙන්නෙ. ඔන්න නඩු දවස ආවා.

මම හිතුවක්කාරකම් කරන්න ගියෙ නෑ මොකද ඒ වෙනකොට 'ට්‍රැපික් කේස්' වලදි 'ගිල්ටි ප්ලීඩ්' කරල ඒ කියන්නෙ වරද පිළි අරං මට පුරුදුයි.

ඒක සම්මතයක් නෙ, තමන් අතේ වරදක් තිබුනත් නැතත්, ට්‍රැපික් කේස් එකකට ගිහාම උසාවියෙදි වරද පිළිගත්තනං වියදම අඩුයි කියන එක.

හැබැයි ඉතිං අර එතන ඉන්න කළු කෝට් පොරක් අල්ලගන්න ඕනැ. මොකද ඔය උසාවියෙ සීන් මට තේරෙන්නෙම නෑ. අර බැද්දේගම බබුංට වෙච්චි වැඩේ තමයි මට මතක් වෙන්නෙ උසාවියකට ගියහම.

ඉතිං මට හම්බඋනේ බාගෙට නින්ද ගියා වගේ ඉන්න, හීන්දෑරි වයසක පොරක්. මොකා උනාම මොකද “වරද පිළිගන්නව ස්වාමීනි” කියල කියන්න පුළුවන්නං ඇතිනෙ. මොකද ගොයම් කොලේට මුවා වෙලා වෙඩි තිබ්බ කියල චෝදනාවක් නෙවෙයිනෙ තියෙන්නෙ.

අනතුරක් වළක්වා නොගැනීම සහ අපරික්ෂාකාරී ලෙස වාහන පැදවීම.ඉතිං චෝදනාව කියෙව්ව, කළු කෝට් පොර අර වාක්‍යය කිව්ව. නඩු ඇහුවෙ මැඩම් කෙනෙක්. රුපියල් දෙදාස් පන්සීයක් දඩ කියල තෝල්කතුමා කිව්ව. දඩය ගෙවනකං පොඩ්ඩක් ඉන්න කිව්ව.

දඩේ ගෙවල එන්න හදද්දි ඔන්න අර ත්‍රී-වීල් මල්ලී ගෙ නඩුව අහන්න ගත්ත. මේ යකා “නිවැරදිකරු” කියපි.

මළා ‍ජෝන් තව පොඩ්ඩෙන් තෝල්ක තුමත් හිරේ යන කේස් එකක් නෙ. මොකද, පොලිසියෙන් නඩු දාල තියෙන්නේ අර ඉස්සෙල්ල කිවුව චෝදනා දෙකට අමතරව “රජයේ දේපල වලට අලාභ සිදුකිරීම” කියල එකකුත් එකතු කරල.

මගේ නඩුවෙදි ඒක තෝල්ක තුමා දැකල නෑ. චූටියටලු ලියල තියෙන්නෙ.

තෝල්ක තුමා පොලිසියට දොස් කියන්න ගත්ත චෝදනා ටික පැහැදිළිව ලිව්වෙ නෑ කියල. කොහොමින් කොහොමින් හරි දැං මට ආපහු කූඩුවට යන්න පාර පෑදීගෙන එන්නෙ.

අන්තිමට රුපියල් පනස්දාහකද කොහෙද ශරීර ඇපයක් මත මාව නිදහස් කළා. මගෙත් එක්ක ගිය යාළුවෙක්ගෙ අයිඩන්ටිටි කාඩ් එකේ පොටෝ කොපියක් උසාවියෙ තියා ගත්ත. ඇප දෙනව කියන්නෙ ඒකටලු!

දැං ඉතිං දෙයියන්ට තමයි කියන්න වෙන්නෙ.

ඒත් මොන දෙයියන්ටද? එක එක දෙයියෝ එක එක සබ්ජෙක්ට් එකට නෙ ඉන්නෙ. එක්කො කෙළින්ම ශක්‍ර දෙයියන්ට කියන්ඩ වෙනව. නැත්තං ට්‍රැපික් දෙවියෙක් අල්ලගන්ඩ වෙනව.

මොකද දැං අර ඉලංදාරිය කළු මහත පොරගෙ ඉගැන්නිල්ල උඩ කියන්නෙ වෑන් එක ඇවිල්ල ත්‍රී වීල් එකේ හැපීම නිසා ඒක විසි වෙල ගිහින් ‍වැටේ හැපුන කියල. දැන් මේකට කොනක ඉඳන් පරීක්ෂණ කරන්න වෙනවනෙ. මොකද පොලිසියෙන් එහෙම මොකවත් කළිං කරල නෑනෙ. නැත්තං ත්‍රී වීල් එකේ පිටිපස්සෙ හරි පැත්තකින් හරි වෑන් එක ඇවිත් වැදිච්ච පාරක් තිබුනද, නැත්තං වෑන් එකේ ත්‍රී වීල් එක වැදිච්ච පාරක් තිබුනද කියල දැං කොහොමද බලන්නෙ සුමාන දෙකකට විතර පස්සෙ.

ඔන්න ආයෙත් වැඩපොලේ හිතවත්තු මට පිහිට වෙන්න ආව. හොයාගෙන යනකොට අපේ වැඩපොලේම වෙන අංශෙක හිටියා ට්‍රැපික් වලට අදාළ දෙවියෙක්ගෙ දුව. එයාට දෙව්දුව කිව්වොත් ආඩම්බර වෙන නිසා මම එහෙම කිව්වෙ නෑ. ඉතිං දෙව්දුව මාර්ගයෙන් මං දෙවියන්ට පණිවිඩයක් යවලා උදව්වක් ඉල්ලුවා.

ඔය අතරෙදි මේ දෙවියො දවසක් හවස එතුමාගෙ වාහනයෙන් අපේ වැඩපොලේ ගේට්ටුව ළඟට වැඩම කරල තිබුන දෙව්දුව එක්කගෙන යන්න. මට මාර චාන්ස් ‍එකනෙ. මං කතන්දරේ පැහැදිළි කරල කිව්ව.

දෙවි තුමාට අ‍වබෝධ වුනා වැඩේ හරියටම. “හරි මං මැඩම්ට කියන්නං, මං එයාව හොඳට අදුරනවා” කියල දෙවි තුමා කිව්ව.

දෙයි හාමුදුරු‍වනේ ඒකනං කරන්ඩ එපා. ඒක මාර අසාධාරණයක්නෙ. මට දැන් මාර අප්සෙට්. මං ඉතින් අර ඒ දවස්වල සීල් ප්‍රොපාටවත් කීයක්වත් දුන්නෙ නැති එකා නෙ. (හැබැයි දැන් නං දෙනව සුදු පටි රාළහාමිලාට විතරක්).

එතකොට දෙවි තුමා මට පැහැදිළි කළා. “නෑ මම බලපෑමක් කරන්නෙ නෑ. ඇත්ත සිද්ධිය පැහැදිළි කරල දෙනවා. එතකොට හිතල මතල නඩුව අහයි” මං කැමති උනා. වෙන මොනව කරන්නද?

ඔය අස්සෙ මං තව වැඩක් කරා. ඒක තමයි හොඳ පෙරකදෝරුවෙක් හොයාගන්න එක. ඇයි දැන් ඉස්සෙල්ල වගේ නිකංම වරද පිළි ඇරං හරියන්නෙ නෑනෙ. තර්ක කරල නඩුව කඩාගන්ඩ වෙනව.

ඉතිං, මගෙ ඥාති සහෝදරියක් ඉන්නව ඉන්ෂුවරන්ස් කොම්පැනියක නීති කටයුතු කරන. මං එයා හම්බ වෙලා කතාව පැහැදිළි කරල හොඳ නීතිඥතුමෙක් හොයල දෙන්ඩ කියල කිව්ව. අක්ක අපරාදෙ කියන්න බෑ උසාවියේ ඉන්න (ම‍ට තේරුනු විදිහට) ඉස්තරම්ම නීතිඥතුමෙක් මට “කන්ටෑක්ට්” කරල දුන්න.

වැඩේ හැටි කියන්නෙ මේ නීතිඥතුමන්ල මූණ බලන්නෙත් නැතිවනෙ නඩු බාරගන්නෙ. උසාවියට ගියාම තමයි දෙන්නට දෙන්න පළමු වතාවට මුණ ගැහුනෙ.

ඒ වුනාට මාර වැඩක්නෙ වුනේ. අර ත්‍රී-වීල් මල්ලී අල්ලල තියෙන්නෙත් අපේ අක්ක මට අල්ලල දුන්න නීතිඥතුමා මයි!

අනේ නීතිඥතුමා මට උදව් කළා. එ‍යාගෙ හිතවතෙක් මට සෙට් කරල දුන්න. නඩුව ගෙනියන හැටිත් කියල දුන්න.

දැන් ඔන්න අහන්න පටන් ගත්ත නඩුව මුල ඉඳං.

මෙහෙමනේ, නිවැරදිකාරය කිව්වොත් කල් දානව. වැරදි කාරය කිව්වොත් දඩ ගහනව. ඔච්චරයි පළවෙනි දවසට.

දැන් දෙවෙනි දවස ආවා. ඔය අතරේ දෙවිතුමා බැල්ම හෙලල වෙන්න ඇති දෙවැනි දවසෙදි තෝල්ක තුමා මට කිව්ව “ත්‍රී-වීල් මල්ලී ට විරුද්ධ නඩුවේදී පැමිණිල්ලේ සාක්ෂිකාරයෙක් වශයෙන් යුෂ්මතා නම් කරනවා” කියල.

දැන් මට තියෙන්නේ ත්‍රී-වීල් මල්ලී නිවැරදිකාරය කියල කිව්වොත් වෙච්ච සිද්දිය මං දැකපු විදිහට උසාවියෙදි කියන එකයි.

දැන් ත්‍රී-වීල් මල්ලී ට තේරුණා වැඩේ අඤ්ඤ කොරොස් තමයි කියල. මොකද එතන වෙච්ච සිද්දිය පැහැදිළි කළාම බූරුවෙක් නොවන ඕනැ කෙනෙකුට තේරෙනව වෙලා තියෙන්නෙ මොකක්ද කියල. අනේ ඉලංදාරියා වරද පිළිගත්තා.

කොහොමද දෙවියන්ගෙ මොලේ?


මේ කතාව මට වෙච්ච එකක් නං මං කොටස් තුනකට විතර කුට්ටි කරලා තමයි දාන්නේ.

මොනවා වුනත් මෙන්න මගේ උපදේශය.

පොලිස් පැමිණිලිවලදියි, උසාවි කේස්වලදියි කිසිම දෙයක් උපකල්පනය කරන්න යන්න එපා!

-කතන්දරකාරයා

ප/ලි
හෙට විශේෂ දවසකි! ඒත් වැඩි විච්චූරණ නම් ඒත් ප්ලෑන් කර නැත!

(image: http://www.123rf.com/)

Friday 8 July 2011

ලව් කිරීමට කොල්ලන් ට උපදෙස් - පාඩම් අංක 2 : Advice for novice lovers (males only, please!)


මේ නෙට් එකෙන් ලව් කිරීම උගන්වන පාඩම් මාලාවේ පලමුවෙනි පාඩම බලපු අත්දැකීම් තියෙන සමහරු සාක්‍ෂි දුන්නා ඒ උපදෙස වැඩ කරන බව. ඒවත් අහලා කීප දෙනෙක් ම අත්හදා බලන්නත් පොරොන්දු වෙලයි තියෙන්නේ.

ඇත්තම කියනවා නං මේ පාඩම් මාලාවේ අංක බින්දුවේ සමාරම්භක පාඩමකුත් තිබුණා. ඒක කෙල්ලගෙන් අහලා, තරහ වෙන්න එපා කියන උත්තරේ ලැබුනහම කරන්න ඕනෑ දේ ගැනයි.

අද දෙන උපදෙස ලාවට වගේ වැඩේ සෙට් වීගෙන එන බව පේනවා නං අනිවාර්යෙන්ම නොකළ යුතු කාරණා කීපයක් ගැනයි.

තමන් මීට කලින් ට්‍රයි කරපුවා, ඒවයින් වැඩ කරපුවා, ලව් කරපුවා, බූට් කාපුවා ගැන හෙම විවිධාකාරයේ කතන්දර තියෙන අයටයි මේ මුල්ම උපදෙස.

වැරදිලාවත් ඒ පරණ කතන්දර හෙම මේ අළුත් ළමයා එක්ක නං කියන්න යන්න එපා පුතෝ!

මගේ අත්දැකීම අනුව කිසිම කෙල්ලෙක් කැමති නැහැ තමන් එක්ක සෙට් වෙන්නට ඉන්න කොල්ලා ගේ පරණ ලව් කතා අහන්න විනාඩියකට වත්.

මේක:
1. ට්‍රයි කරන කාලේ,
2. වැඩේ සෙට් වේගෙන එන කාලේ,
3. හා කිව්වට පස්සේ,
4. ලව් එක නැගලා යන කාලේ තියා
5. අවසානයේ බැන්දට පස්සේ
වුනත් නොකළ යුතු දෙයක්!

මගේ අදහස නං දෙන්න එකතුවෙලා එක සෙෂන් එකක් දාලා පරණ කතා හුවමාරු කරගත්තාට කමක් නෑ. හැබැයි අපි ඔය නිකං ඉන්න වෙලාවට වල් පල් කියවනව වගේ ඒ කතා ආපහු ආපහු උදාහරණ විදියට ගන්න හොඳ නෑ.

දෙවෙනි අවවාදය තමයි කලින් කෙල්ලන් ගේ ෆොටෝ, ඡායාරූප, ෆේස් බුක් ලින්ක්ස්, මොබයිල් අංක මෙකී නොකී කිසිම දෙයක් හෝ ඒවායේ අංශු මාත්‍රයක්වත් ඉතුරු කරලා තියාගන්න එපා.

අළුත් චැප්ටර් එකක් පටන් ගත්තට පස්සේ ඒ පරණ දේවල් සේරම දාන්න අතීතයේ කුණු බක්කියට.

ඉස්සර කාලේ නම් මේ කතාව ලව් ලැටර් වලටත් අදාලයි. නමුත් දැන් නං ඉතිං ඒ ලව් ලැටර් කියන ඒවා කොහෙමටත් තියෙන්නේ කෞතුකාගාර වල විතරයිනේ. ඔය වෙසක් කාඩ්, නිව් ඉයර් කාඩ්, වැලන්යින් කාඩ් වගේ දේවල් තියෙනවා නම්, ඒවාත් ඉතිං කුණු බක්කියට ඇරියොත් හොඳා.

මං දන්න තරමින් මේ ලෝකේ බහුතරයක් කෙල්ලෝ වැරදිලාවත් පරණ ලව් එකක අංශු මාත්‍රයක්වත් පේන්න තියෙනවාට කැමති නෑ.

මේවා ගණං නොගන්න අය ඉන්නත් පුළුවන්. ඒ වුනත් ඉතිං අහල තියෙනව නේද මේ උපදේශාත්මක කවිය?

ඇතත් නැතත් පරලොව සුදණෙනි මහත
හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
නැතොත් එපරළොව ඉන් වන අවැඩ නැත
ඇතොත් නැතැයි පව් කල හට වෙයි විපත


සූදානං ශරීරේ කියනවානේ.. .. .. !!!

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න තවත් මේකටම අදාල කවියක්

අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙසද හෙට මරු නේති සිතන්නේ
කිකලද මහසෙන් මරු ඇප වන්නේ
කුමටද කුසලට කම්මැලි වන්නේ


මේ කවි දෙකම ලෝවැඩ සඟරාවෙනි. කැමති නං මෙන්න මේ තාලයට ගායනා කරන්නත් පුළුවනි.

(image: http://www.zazzle.com/)

Wednesday 6 July 2011

කාර් කේස් එක ක්ලෝස් වෙයි - Car Kathandara Mega Series Finale'


අද මේ කාර් මෙගා කතන්දරේ අවසානයක් දකින්නයි යන්නේ. කතාවත් ඉවර කරනවා. සේරම ලූස් ස්ට්‍රින්ග්ස් ටිකත් ගැට ගහලා දානවා.

මෙතෙක් කතාව සේරම ෆ්ලෑෂ් බැක් එකක් විදියට ඕනෑ නෑ නේද? කෙටියෙන් කියනව නං කාර් එක ලේසියෙන් විකුණන්න ගිහින් වුනේ, තියෙන කාරෙකත් නැතිවෙන තැනට බඩු සෙට් වීමයි.

ෆර්නැන්ඩු ලා මට ෂැරේඩ් එක විකුණනවා කියලා දුන්නු පොරොන්දුව කැඩුවාය කියලා මට පුළුවන් ද මං පෙරේරා ට රතු කොරොල්ලා කාර් එක විකුණනවාය කියලා දුන්නු පොරොන්දුව කඩන්න?

ඒක නිකං හරියට ගෝතමාලාවේ ත්‍රස්තවාදියෝ නීති විරෝධී ත්‍රස්ත ක්‍රියා කරන කොට ගෝතමාලාවේ ආණ්ඩුවත් රාජ්‍ය ත්‍රස්තවාදී වැඩ කරලා ඒක සාධාරණීකරණය කරනවා වගේ වැඩක් නේ.

ඇඩ්වාන්ස් දුන්නු විසි පන්දාහ මට ආපහු දීලා, අත්සන් කරපු ඇග්‍රිමන්ට් කොලේ ඉල්ලගෙන ෆර්නැන්ඩු ලා යන්න ගියා.

පහුවදා හවස කියපු වෙලාවටම මිස්ටර් පෙරේරායි, නෝනයි දෙන්නාම ආවා සල්ලිත් අරගෙන.

හාමිනේ නං පොඩ්ඩක් විතර තාමත් අකමැති බව පෙන්නුවත්, මං පොරොන්දුව නොකඩා පෙරේරා යුවලට මගේ රතු කොරොල්ලා එක දුන්නා අරගෙන යන්න.

එක පොඩි කොස්සකට තිබුනේ පෙරේරා ට්‍රාන්ස්ෆර් පේපර් එකේ පොරගේ නම නොලියා මගේ අත්සන විතරක් ගත්තු එකයි. මං කාර් එක ගන්න කොටත් ඒක ඕපන් පේපර්ස් උඩ තිබුණු නිසා මං ඩබල් ට්‍රාන්ස්ෆර් එකක් දාගත්තා නේ වැඩි පරිස්සමට.

මේ කාරණය කේස් කරගෙන මට කාර් එක නොදී ඉන්න හදන්න තිබුණත් මං ඒක කළෙත් නෑ.

අපේ ඇන්ටිගේ ස්ටාෆ් එකේ එකට වැඩකරන කෙනෙක් හින්දා මං කළේ තව මාස හයකට විතර වලංගු ඉන්ෂුවරන්ස් එකත් පොරටම දීපු එකයි.

අන්තිමේ දී හාමිනේයි, මායි, අපි දෙන්නා පෙරුම් පුරලා, පෙරුම් පුරලා ගත්තු, පැජරොයියෙකුගෙන් උම්බා එකක් ලැබුණු, නොයෙකුත් වැඩවලට අපිට ඉතාමත් ප්‍රයෝජනවත් වුණු, අපේ රෝස බබී ඉස්-ඉස්සෙල්ලාම හොස්පිටිතාලේ ඉඳලා ගෙදර ආපු, මංතුමා ස්පීඩ් කරන්න ගිහින් අහුවෙලා, උසාවියේ ලැගලා, ලොක්-අප් එකට පවා වැටෙන්න හේතු කාරක වුණු අපේ රතු කොරොල්ලා කාරෙක ගෙදර පාරෙන්, කෝට්ටේ පාරට වැටිලා, නුගේගොඩ පැත්තට ඇදිලා, නොපෙනී යන හැටි දුකෙන් බලං හිටියා!

අංශක තුන්සිය හැටක් කැරකිලා ගිහින් දැන් අපි දෙන්නා හිටපු තැනටම ඇවිත්!

අපේ සුළු ධනේෂ්වර සිහිනයට තාවකාලික නිමාවක්...!!!

හාමිනේ මා දිහා බැලුවා. මං කාර් එක සාමාන්‍යයෙන් නවතලා තියෙන ගරාජ් එක හිස් වෙලා තියෙන හැටි බැලුවා. නොදැනුවත්වම අපි දෙන්නාටම දිග සුසුම් පිටවුණා!

මෙන්න මේ වෙලාවේ ඉතා දුක්බර වයලීන් වාදනයකට අපේ කතා බහ ක්‍රොස් වෙනවා. හාමිනේ ගේ මූණ බොඳ වෙලා යනවා. කාර් කතන්දර මෙගා සීරීස් එකේ ක්‍රෙඩිට් රෝල් එක ස්ක්‍රෝල් වෙන්න පටන් ගන්නවා.

කතන්දර සීරීස් එකේ අවසානය අන්න එහෙමයි සනිටුහන් වෙන්නේ.

-කතන්දරකාරයා

ප/ලි:
මිස්ට පෙරේරා එක්ක එක බැංකුවේ වැඩ කරල තියෙන මගේ ඇන්ටි මේ දවස්වල හිටියේ සී-ෂෙල්ස් වල නිවාඩුවකට ගිහින්. එහේ කාලයක් තිස්සේ ඉන්න අපේ නෑ ගෙදරක.

ඔන්න ඇන්ටි ආවට පස්සේ මං මිස්ට පෙරේරා ගැන කිව්වා.

"ආ ඔය කියන්නේ අර කාර් බ්‍රෝකර් වැඩ කරන මනුස්සයා නේද?" ඇන්ටි කියපි.

අන්තිමේදී බැලින්නම් මං මේ බ්‍රෝකර් කෙනෙකුගේ රඟපෑමකට අහුවෙලා නේ! පෙරේරා වයිෆ් එක්ක ආවත් කාර් එක ගෙනියන්න ඒක රඟපෑමක් විතරයි. පොර ඕපන් පේපර්ස් මත කාරෙක ගෙනිහින් තියෙන්නේ ඉක්මනටම ගාණක් තියං විකුණන්නයි.

ප/ප/ලි
තව සති තුනක් කට්ට කාලා මං ගත්තා නිසාන් මාච් එකක්. හොඳ වෙලාවට ඒ කතන්දරවල එච්චර කියන්න දෙයක් නෑ!

(image: http://bestanimations.com/Holidays/Fireworks/Fireworks.html)

Monday 4 July 2011

කාර් කේස් එකේ අප්සෙට් සීන් කෝන් එකක් - How not to sell your car


පෙට්‍රල් කන කොරොල්ලා එක ඕනෑ වෙලාවක ගන්න මිස්ටර් පෙරේරා කැමති වුණා නේ.

බ්‍රෑන්ඩ් නිව් ඉම්පොර්ට් කරපු වන් ඕනර් ඩයිහට්සු ෂැරේඩ් කිරි ටොයියෙක් ව ඔබ්සෝවර් එකෙන් හම්බ වෙච්ච ගමන් මං කලේ විසිපන්දාහක ඇඩ්වාන්ස් එකක් දීලා අඟහරුවාදා හවස ඇවිත් කෑෂ් දීලා කාරෙක අරගෙන යන්න කතා කරගත්තු එකයි.

පෙරේරා පොරොන්දු වුණු විදියටම සඳුදා එන්නං කීවා කොරොල්ලා එක ගන්න.

තියෙන කාර් එක විකුණලා ඒ සල්ලි වලින් වෙනිං කාර් එකක් ගන්න සති ගණන් වුනත් යන්ණ තිබුණා. බලන්නකෝ අපූරුවට වැඩේ සෙට්වුණු හැටි!

එදා රාත්‍රියේ ඔහොම හිත හිතා ඉන්න අතරේ තමයි ඉස්සරහ දොරට කවුදෝ තට්ටුවක් දානවා ඇහුනේ.

දොර ඇරලා බැලින්නම් මැදිවියේ ඉන්න හයේ හතරේ පොරක් දොරලඟ. පොරගේ පිටි පස්සෙන් ගෑනු කෙනෙකුත් හිටියා.

"මිස්ට කතන්දර?"

"යර්ස්?:

"ආ, අයෑම් ෆර්නැන්ඩු. දිස් ඉස් මයි වයිෆ්. දිස් ඉස් අබවුට් ද ඩයිහට් ෂැරේඩ් කාර්."

"ප්ලීස් කම් ඉන්."

ඔන්න ජෝඩුව ගෙදර ඇතුලට ඇවිල්ලා සාලේ පුටුවක වාඩි වුණා.

"මිස්ට කතන්දර, අයෑම් සොරි. මගේ නෝනට පොඩි වැරදීමක් වෙලා තියෙනවා. මං කියලා ගියේ ලක්‍ෂ හයට වැඩි ඔෆර්ස් ගන්නයි කියල මිසක්, ලක්‍ෂ හයට කාරෙක විකුණන්න කියල නෙමේ."

"ඉතිං?"

"ඉතිං, මේ අපි ආවේ මිස්ටර් කතන්දර ගේ ඇඩ්වාන්ස් එක ආපහු දීලා යන්නයි."

"ආ!"

"අයෑම් සොරි මිස්ටර් කතන්දර."

මට මුලින්ම හිතාගන්න බැරිවුණා මොනවා කියන්නද කියලා.

සමහරවිට ප්‍රනාන්දුකාරයා ට ලක්‍ෂ හයට වැඩි ඔෆර් එකක් ලැබිලා ඇති.

මං ඊට වඩා දුන්නොත් ජෝඩුව වැඩේට කැමති වෙයි. ඒත් දැනටම පෙරේරා මගේ කොරොල්ලා එකට දෙනවාට වැඩියෙන් මං ෆර්නැන්ඩෝ ලා ගේ ෂැරේඩ් එකට එකයි විස්සක් දෙනවා.

තව දහදාහක් කියන්නේත් ලොකු ගාණක් වෙලාවේ හැටියට.

මං ඒ අදහස අතරහැරලා දැම්මා.

හොඳයි මොනව කරන්නද ඉතිං, කාරෙක විකුණන්නේ නැත්තම්?

මං කාමරේට ගිහින් මායි මිසිස් ෆර්නැන්ඩු යි අත්සන් කරපු ඇග්‍රීමන්ට් එක ගෙනත් ෆර්නැන්ඩු අතට දුන්නා.

පොර මගේ රුපියල් විසිපන්දාහ මට දුන්නා.

කට්ටිය ගියාට පස්සෙයි හාමිනේ කට ඇරියේ.

"දැන් මොකද කරන්නේ කතී?"

"මොනවා කරන්නද? අපිට මෙහෙම වුනේ නැතිවුණොත් නේ පුදුම. හරි ජරා මිනිස්සු. මං නං දුන්නු පොරොන්දුවක් ඔය විදියට කඩන්නේ නෑ කවදාවත්."

"ඒක නෙමේ දැන් පෙරේරා එයිනේ හෙට රතු කොරොල්ලා එක ගෙනියන්න."

"ඉතිං ආවා වේ."

"ඔයා මොකද කරන්නේ?"

"කාරෙක දෙනවා!"

"දෙනවා නෙමේ කතන්දර, කෝල් එකක් දාලා කියන්න දැන්ම බෑ පස්සේ දෙන්නම් කියලා."

"අපෝ, ඒක නං කරන්න බෑ!"

"ඇයි ඒ කතන්දරකාරයෝ, ඇයි බැරි?"

"ඇයි ළමයෝ, එකක් පෙරේරා කියන්නේ අපේ ඇන්ටි ලා ගේ බෑන්ක් ස්ටාෆ් එකේ පොරක්. ඊටත් වඩා මං පෙරේරාට දුන්නු පොරොන්දුව කැඩුවොත්, පොරොන්දු කැඩුවා කියලා මං කොහොමද ෆර්නැන්ඩු ට දොස් කියන්නේ. ඒක හරිම හිපොක්‍රිටිකල් වැඩක් නේ."

"මං දන්න හිපපොටේමස් එකක් නෑ. අනේ මෙහෙමත් කතන්දරයෙක්!"

හාමිනේ කියන්නේ ඇත්ත. එයා දන්න හිපපොටේමස් කෙනෙක් නෑ තමයි. එයා දන්නේ හිපොක්‍රටීස් ඕත් එකනේ.

-කතන්දරකාරයා

ප/ලි:
ටික වෙලාකට පස්සේ හාමිනේ මට කතා කළා.

"කතී, එන්න කන්න. දැන් හොඳටම රෑ වෙලා!"

(කතී කියන්නේ ආදරේට හොඳේ!)

(image: http://shirtoid.com/13855/storm-in-a-teacup-2/)

Sunday 3 July 2011

ජැක්සන් ඇන්තනි කතන්දරකාරයා සමග භාතිය සන්තූෂ් ලා ගැන කියපු සවුදම් - Jackson Antony raps about Bathiya and Santhush with Kathandarakaraya


මේක මගේ සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් සීරීස් එකේ තවත් නේම් ඩ්‍රොපින් කතන්දරයක් කියලා කියන්න පුළුවනි.

ජැක්සන් ඇන්තනි හෙවත් ජැකා හෙවත් පනාපුත්‍ර කුහුඹු පැණියා මා එක්ක මේ සාකච්ඡාවට සහභාගී වුනේ මීට අවුරුදු කීපයකට කලින් 2006 දී යි.

මං අහපු මේ ප්‍රශ්ණ ඒ කාලේ ට ගැලපෙන ඒවා බව කරුණාවෙන් සලකන්න.

කතන්දරකාරයා: වැඩිහිටි පරම්පරාවත් තරුණ පරම්පරාවත් අතර මත ගැටුම, පරම්පරා ඝට්ඨනය, සැලකෙන්නේ සදාතනික ප‍්‍රශ්ණයක් ලෙසටයි. නමුත් සීඝ‍්‍රයෙන් වෙනස් වන අද ලෝකයේ මේ ගැටුම තීව‍්‍ර වෙලා යැයි මට හැගෙනවා. මේ ගැන ඔබේ අදහස් මොනවාද?

ජැක්සන්: දියුණුව කියන්නෙ පැවැත්ම ඒ ලෙසම පවත්වාගෙන යෑමවත්, පැවැත්මට පරිබාහිර, ප‍්‍රතිවිරුද්ධ දේ වෙනත් තැනකින් ගෙනැල්ල පැවැත්ම මත පටවන එකවත් නෙමේ. ද්වන්ධාත්මක භෞතිකවාදයට අනුව, දියුණුව යනු "එකක් මත එකක්" ගොඩ නැගීමයි. මෙයට සිංහල වචනය සමතික‍්‍රමණයයි.

මෙයටම අදාල තවත් සංකල්ප දෙකක් තමා, ප‍්‍රතික්‍ෂේපණය සහ අතික‍්‍රමණය. ප‍්‍රතික්‍ෂේපණය යනු දියුණුව නෙවේ. පැවැත්ම එලවා දමා, ප‍්‍රතික්‍ෂේප කොට, අළුත් දෙයක් කිරීමයි.

අතික‍්‍රමණය කියන්නේ පැවැත්ම පසුකර යෑම. පැවැත්ම හරහා, එහි ගුණ අගුණ සියලක්ල රැගෙන, ඊට වඩා ඉහල තැනකට යෑම. අතික‍්‍රමණය කිරීම.

සරලව කියනවා නම් තාත්තට වඩා පුතා උසස් වීම. තාත්තගෙ මට්ටමටම පුතා හිටිය වුනත් එය දියුණුවක් නොවෙයි.

මෙන්න මේ කාරණාව තමා පරම්පරා ගැටුමට හේතුව. තාත්ත දකින දේ නෙමේ පුතා දකින්නේ. පුතා දකින දේ නෙමේ තාත්ත දකින්නේ. මේක සිංහබාහුලගෙ කාලෙ ඉදල තිබුන දෙයක්.

ඔබ නිවරැදිව කිව්වා වගේ අද තත්වය ඊට වඩා තීව‍්‍රයි. ගෝලීයකරණය වුනු, ජාත්‍යන්තරකරණය වුනු යුගයකයි අපි ඉන්නේ. සන්නිවේදනය දියුණුයි. අන්තර්ජාලය හරහා, චන්ද්‍රිකා තාක්‍ෂණය හරහා මුළු ලෝකයම එකම කොදෙව්වක්, විශ්ව ගම්මානයක් බවට පත්වෙලා තියෙනවා. මෙන්න මේ තත්වය තුල මතුවෙන පරම්පරා ගැටුම තීව‍්‍රයි. ලංකාවේ තත්වයත් මේකයි. බටහිර රටවල මේ ගැටුම ඊටත් වඩා තීව‍්‍ර විය හැකියි.

කතන්දරකාරයා: ලංකාවෙ දැනට දැඩි ලෙස සාකච්චා වෙන කාරණයක් තමයි, රැප් සංගිතය මගින් සිංහල සංගීතයට ඇතිවෙන බලපෑම. මේ ප‍්‍රශ්ණ ඔබ කොහොමද දකින්නෙ?

ජැක්සන්: මේ කරුණු වලට නම් වැරදි කාරයො ලංකාවෙ වැඩිහිටි පරම්පරාවයි, අළුත් පරම්පරාව නෙමේ. ලංකාවෙ අධ්‍යාපනයෙ තියෙන ගැටළුව තමයි. රට දියුණු වුනාට, අපේ පාලකයින් වත්, අපේ ප‍්‍රජාවවත්, ඊළඟ පරම්පාරාව ගැන නිවැරදි වැඩ පිළිවෙලක් කි‍්‍රයාත්මක කළේ නැහැ. ඊළඟ පරම්පරාව අතරමං වුනා. මේකට හේතුව මේකයි. ඉස්සෙල්ලාම අපි අපේ දේ ඉගෙන ගත යුතුයි. අපේ සංස්කෘතිය දැනගත යුතුයි.

මේ රැප් කියන එක අළුත් දෙයක් නෙමේ. රැප් කියන නම අළුත් වුනාට, අපි සවුදම්, බෙර පද, ස්ලෝක, සැහැලි කියන නමින් අහල තියෙන්නෙ රැප්. රැප් කියන්නෙ, වේග රිද්ම වචන එකතුව.

සවුදම අපේ රටේ හැදෙන්නෙ, කි‍්‍රස්තු පුර්ව පලමුවන සියවසේ සිටයි. ඒ කාලේ සිට රැප් තිබුනා. මේ අහන්න සිරිපා සවුදම.

තත් තත් තරිකිට තෙයි,
සිරීපාද පුද සමනල ගිරි හිස තෙයි
සුමන සමන් දෙවි
පූජා හිමි කරතෙයි....

ඔබ සිංහල නිසා මේක සවුදමක් කියල තේරුනාට, බටහිර අයෙකුට මේක හිතෙන්නේ රැප් එකක් කියලයි. අපට රැප් අළුත් දේවල් නෙමේ.

අපි අපේ ස්ලෝකය, සැහැල්ල, සවුදම වර්තමානයට ගෙනාවෙ නැහැ. ගෙනාව නම් අපේ කොල්ලො කෙල්ලො අද ඇමරිකාවෙන් එන රැප් කියන්නෙ නැහැ. අපි අපේ සවුදම හිර කූඩුවෙ දාල, රැප් වලට බනිනව.

අද ඊයෙ විතරක් නෙමේ, තරුණයන්ට වේග රිද්මය අවශ්‍යයයි. එදා, එම් එස් ප‍්‍රනාන්දුටත් බැන්න වේග රිද්මයට. හැබැයි ඒ ගොල්ලො කිව්වෙ, පාර පුරා මල් ඉහිරුණු චීත්තෙ, වගෙ අපේ දේවල්. ඒ ගොල්ලන්ට ඒ දැනුම තිබුන. වර්තමාන පරපුරට, ඒ දැනුම, අපේ දැනුම, ඇතුල් කරල නෑ. තිබුන නම් අද ඔවුන් කියන්නේ සවුදම්. මේ දෙපැත්ත යා කරන පාලම අපි බඳින්න ඕනැ දැන්වත්.

හැම රටකම ජන සංගීතයක් තියෙනව. ලංකාවෙ මේව දියුණු කරල නැහැ. සංස්කෘතික කේන්ද්‍රයක් වත් නැහැ මේ කරුණු ගැන සොයන. නමුත් අපේ රටේ ජන සංස්කෘතිය විනාශ කල නොහැකි එකක්. මුහුදු වෙළඳ මාර්ගයක පිහිටල තියෙන නිසා අනාදිමත් කාලයක ඉඳලම නොයෙකුත් විදේශ බලපෑම් තිබුන. ඒත් අපේ ජන සංස්කෘතිය ඒවයින් පෝෂණය වුනා මිස විනාශ වුනේ නැහැ.

අපිට වර්තමානය ප‍්‍රතික්‍ෂේප කරල නම් දියුණු වෙන්න බැහැ.

කතන්දරකාරයා: සාමාන්‍යයෙන් පිළිගැනීම තමයි, ජාතියක සංස්කෘතිය යනු එක තැන, එක ලෙස නොතියෙන, සදාකාලිකව වෙනස් වෙන දෙයක් බව. නමුත් සමහර විට මේ වෙනස් කම් වලට සමහරු විරුද්ධ වෙනව. භාතිය සහ සන්තූෂ් ගැනත් නොයෙකුත් විරෝධතා තියෙනවා. මේ කාරණය ගැන ඔබේ අදහස් දැන ගන්න මම කැමතියි.

ජැක්සන්: ජාතික සංස්කෘතියක් එක තැන පල් නොවී දියුණු විය යුතුයි. මේකට දැනුම අවශ්‍යයි.

මම මේ භාතිය සහ සන්තූෂ් දෙස බලන මගේ දෘශ්ථි කෝණය පටන් ගන්නේ අද ඊයේ නොවෙයි. උන් දෙන්නාගේ බිහිවීමේ ම සිටයි. ඒ දිනවලම මම දැක්ක දෙයක් තමා, මේ තරුණයින් ඉතාමත් මැනවින් බටහිර සංගීතය ඉගෙන ගෙන තියෙන බව. සරල ජනපි‍්‍රය සංගිතය නොවේ, සම්භාව්‍ය සංගීතය. මේ අපේ ළමයි දෙන්නෙක්. අපි උන්ව ප්‍රතික්‍ෂේප කලොත් වෙන්නෙ, උන් අපේ සංස්කෘතියට, අපේ කමට, සම්බන්ධතාවයක් නැති පාරක ගමන් කරනවා.

මම "සවන" ගුවන් විදුලියෙ හිටියෙ ඒ කාලෙ. මම මේ දෙන්නව කැඳවල අවවාද කලා මෙහෙම. ඔබේ සංගීත දැනුම අතිශයින් ඉහලයි. ගමට යන්න. අපේ ජන සංස්කෘතිය, සංගීතය පිළිබඳව අත්දැකීම් ලබන්න. ඔවුන් එය කළා. එයින් පස්සෙ බෙර පද, රබන් පද, ජන කවි, සැහැලි අරගෙන ඒවා ඇසුරින් ඔවුන්ගෙ සංගීත නිර්මාණයන් කළා.

අපේ රටේ තිබුන ප‍්‍රශ්ණයක් තමයි, ජනපි‍්‍රය සංගීතය ඉදිරිපත් කළ, මුලින්ම ජෝතිපාල, මිල්ටන් පෙරේරා, එම්. එස්., මිල්ටන් මල්ලවආරච්චි, ඊලඟට, ක්ලැරන්ස් සහ රූකාන්ත වැනි අයව බැණ ඇඬුම් වලට ලක් කිරීම. ඔවුන්ව ගනන් ගත්තේ නැහැ. නමුත් රස්තියාදුකාරය කියල බැණුම් අහපු ජෝතිපාලගෙ මළගමින් පස්සෙ, කනත්තය ආ සෙනඟ දැකල, ජනපි‍්‍රය සංස්කෘතිය පලවා හැරිය යුතු දෙයක් නොවේ කියල උගතුන් මත ඉදිරිපත් කරන්න පටන් ගත්ත. අද මිල්ටන්ල ව, ක්ලැරන්ස්ල ව හරි ඉහලින් අගය කෙරෙනව. නමුත් ජීවත්ව සිටින කාලය තුල පරිභව කළා. ක්ලැරන්ස්ට කිව්වෙ කිසිම සංගීත විචාරයක් නැති කෙනෙක් කියල. මිල්ටන් මල්ලවආරච්චි ගසල් එකක්, රාගයක් කියාගන්න බැරි කෙනෙක් කියල.

වර්තමානය තුලදීම, ජනපි‍්‍රය සංගීත කරුවන් අගය කළ යුතුයි.

රූකාන්තට පස්සෙ, මේ ජනපි‍්‍රය සංගීත ගේට්ටුවෙන් ඇතුල් වුන දෙන්න තමයි, භාතිය සහ සන්තූෂ්. අපි උන්ව ආදරයෙන් පිළිගත්ත නම් උන් අපේ කම රකිනව. උන්ව ප‍්‍රතික්‍ෂේප කලාම වෙන්නෙ, උන් ආපු ඒ ගේට්ටුව දුර්වල වෙනවා. අද ඒ ගේට්ටුවෙන් විශාල පිරිසක් ඇතුළු වෙනව. ඒ පිරිස නන්නත්තාර වෙච්ච සංගීතයක් අපේ රටේ ගායනා කරනවා.

රැප් කියල සංගීතය විනාශ කලේ භාතිය සහ සන්තූෂ් නෙමේ. ඉන් පසුව ඒ ගේට්ටුවෙන් ආපු අය.

ජාත්‍යන්තර පාසැල් හරහා ගොඩ නැගිච්ච, අපේ සංස්කෘතිය ගැන අබ ඇටයක දැනුමක් නැති, අපේ භාෂාව කතා කරන්න බැරි, යැංකි පරම්පරාවක් අද රටේ ඉන්නවා. ඒ අය තමා අපේ සංගීතය විනාශ කරන්නේ.

නමුත් අපි අපේ භාතිය සහ සන්තූෂ්ලට මල් මාලාවක් දාල පිළිගත්ත නම්, අපි උන්ට වග කීමක් පිරිනැමුව නම්, ඒ ගේට්ටුව ශක්තිමත් වෙනවා. ඔය තරම් පිරිසකට ඒ ගේට්ටුවෙන් එන්න බැරි වෙනවා. මේ අය භාතිය සහ සන්තූෂ් තරම් සංගීත දැනුමක් නැති අය. වෘත්තීය මට්ටමක් නැහැ.

භාතිය සහ සන්තූෂ් ලාව ප‍්‍රතික්‍ෂේප කිරීම තුලින්, අපි ඊලඟ පරම්පරාවම ප‍්‍රතික්‍ෂේප කලා වෙනව. ප‍්‍රතික්‍ෂේප කරන්න නෙමේ උන්ව අපේ කමට දිනාගන්නයි ඕනැ.

මේකට පිළිගත් සංවේදීතාවටන් කිහිපයක්ම අද දකින්න පුළුවනි. එකක් තමා අද භාතිය සහ සන්තූෂ්ල ඉන්දියාවට සංගීතය ආනයනය කරනව. එදා අමරදේවල, සුනිල් ශාන්තල ඉන්දියාවෙන් සංගීතය ඉගෙන ගෙන ආව, පසුකාලෙක හින්දි චිත‍්‍රපට සංගීතය අපේ අය කොපි කලා. අද මේකෙ අනෙක් පැත්තයි සිද්ධ වෙන්නෙ. ඒක ලොකු දෙයක්.

ඊලඟ කාරණය තමයි, මීට වසර දෙකකට කලින් බක් මහ රංගන සංදර්ශණයේ මෙහේ තරුණ කොටස් නැටුවේ, ඉන්දීයානු නූතන බටහිර පන්නයේ සංගීතයටයි. නමුත් අද ඔවුන් නටන්නේ භාතිය සහ සන්තූෂ් ලගෙ සංගීතයටයි.

අද තරුණ පරපුර ආකර්ෂණය කරගන්න පුළුවන් අය සිටිද්දි, ඔවුන් අපේ දරුවන් බවට පත් කරගෙන, අපේ කිරි පොවන්නෙ නැතුව, අපේ කම හදුන්වල දීල, දීප්තිමත් තරුණයින් හැටියට පිළිගත්තෙ නැතිනම් මොකද වෙන්නෙ? මුළු පරම්පරාවක්ම අපිට නැති වෙනවා.

අප භාතිය සහ සන්තූෂ් ආරක්‍ෂා කර ගත යුතුයි.

මේ සාකච්ඡාව සිදු කෙරුනේ 2006 අප්‍රියෙල් මාසයේ දී බව කරුණාවෙන් සලකන්න. අද හම්බ වුනා නං මං අහන්නේ ඔය ප්‍රශ්ණ නෙමේ!

සඟරාවකට සැකසූ ලිපියකින් කොටසක් නිසා වෙනද මං කතන්දර කියන භාෂා විලාසය අදත් නෑ. අදත් හරියට රෝහණ බැද්දගේ ගැන දාපු ලිපියේ වගේ තමයි භාෂාව.

-කතන්දරකාරයා

ප/ලි:
කාර් මෙගා කතන්ර සීරීස් එකේ අවසන් කොටස් දෙක ලබන සඳුදා සහ බදාදා බලාපොරොත්තු වෙන්න.

Friday 1 July 2011

රතු කොරොල්ලා එක විකුණා ඩයිහට්සු ෂැරේඩ් එකක් ගත්තු හැටි - How I sold my red Corolla and bought a Daihatsu Charade


පැට්‍රල් ලීටරයකට කිලෝමීටර් දහයක්වත් වැඩ නොකරන කොරොල්ලා එක වෙනුවට, ලීටරයකට කිලෝමීටර් පාලහක් වැඩකරන ඩයිහට්සු ෂැරේඩ් එකක් හරි, නිසාන් මාච් එකක් හරි ගන්න මං ප්ලෑන් කළාට, දැන් තියෙන එක විකුණන්නේ නැතුව වෙන එකක් ගන්න මට සල්ලි කොහෙන්ද?

කාර් සේල් පොළකින් නං ඔය වගේ මාරුවක් කරන්න තිබුණා, ඒත් ඒක අතින් කයිට් වෙන වැඩක්.

මිස්ටර් පෙරේරා හම්බ වුනේ හොඳ වෙලාවට. මට කරන්න තියෙන්නේ පොඩි කාරෙකක් හොයලා ඇඩ්වාන්ස් දීලා, පෙරේරාට කියන්න විතරයි.

එතකොට පොර මගේ කාර් එක කෑෂ් දීලා ගන්නවා. මං එදාම ඒ කෑෂ් දීලා ඇඩ්වාන්ස් දීලා තියෙන කාර් එක ගන්නවා. ඇඩ්වාන්ස් එකට ගාණ විතරයි ඕනෑ!

ඊලඟ සතියේ ඉඳලම මං පොඩි කාර් හොයන්න පටන් ගත්තා. සති දෙක තුනක් යනකොට මෙන්න කළුබෝවිල පැත්තේ තැනක නියම කිරි ටොයියෙක් වගේ ඩයිහට්සු ෂැරේඩ් එකක් විකුණන්න තිබිලා හම්බ වුණා.

මේක බ්‍රෑන්ඩ් නිව් ගෙනාපු "වන් ඕනර්" කාර් එකක්. ගානත් මං හිතුවාට වැඩිය හොඳයි. මිස්ටර් පෙරේරා මගේ කොරොල්ලා එකට දෙන්න පොරොන්දු වුණු ගානට වඩා මේක ටිකක් වැඩියි නමුත් ඒක අවුලක් නැහැ, කාර් එක වටින නිසා.

මං පොඩ්ඩක් බඩුව අතගාලා බැලුවා. ටිප් ටොප් වගෙයි දැනුනේ. මගේ ෂැරේඩ් එකක් තියෙන ෆ්‍රෙන්තාට කෝල් කළා, ගෙදර ලඟ තිබුණු ෆෝන් බූත් එකකින්. මේ කාලේ මොබයිල් ෆෝන් තිබුනේ ලොකු බිස්නස්කාරයින්ට විතරයි.

පොර ආවට පස්සේ, අපි දෙන්නා පොඩි ට්‍රයල් එකක් හෙම ගිහිල්ලා කාර් එක ගන්න වටිනවාය කියලා තීරණය කළා.

කාර් එකේ අයිතිකාර මිසිස් ෆර්නැන්ඩෝ විතරයි ගෙදර හිටියේ. මිස්ට ෆර්නැන්ඩෝ එදාත් වැඩට ගිහින්. නේවි එකේද කොහෙද ඉඳලා අස්වෙලා දැන් සෙකුරිටි සර්විස් එකක් කරන බූවෙක් කියලා මිසිස් ෆර්නැන්ඩෝ කිව්ව බවයි මට මතක. සේරම ලියකියවිලත් අඩුපාඩුවක් නැතුව තිබුණා හොඳට සැට් කරලා ෆයිල් එකක.

මහත්තයා කිව්වේ විකුණන ගාන ලක්‍ෂ හයක් ය කියන්න කියලයි මිසිස් ෆර්නැන්ඩෝ කිව්වා.

හොඳයි මං කැමතියි. මං අද විසිපන්දාහක් ඇඩ්වාන්ස් එකක් දෙන්නම්. සතියේ දවසක හවස් වරුවේ ඉතුරු සල්ලි අරගෙන ඇවිත් කාරෙක අරගෙන යන්නම් ලියල මං කිව්වාම මිසිස් ෆර්නැන්ඩෝත් කැමති වුණා.

මං මිසිස් ෆර්නැන්ඩෝ ගෙන්ම කොල දෙකක් ඉල්ලං, ඇග්‍රීමන්ට් එකක් ලියලා, දෙන්නා අත්සන් කරලා, විසිපන්දාහත් මිසිස් ෆර්නැන්ඩෝ ලඟ තියලා, ඇග්‍රීමන්ට් එකේ මගේ කොලේ අරං වීරයා වගේ ගෙදර ආවා.

හාමිනේටත් මේ සුභ ආරංචිය දීලා, ඊලඟට කලේ අර නුගේගොඩ දී හම්බ වුණු මිස්ටර් පෙරේරාට කෝල් එකක් දාලා මගේ කොරොල්ලා කාර් එක විකුණන්න රෙඩි කියලා කියන එකයි.

අඟහරුවාදා හවස ඇවිත් සල්ලි දීලා බඩුව ගෙනියන්නම්, මිස්ටර් පෙරේරා කිව්වා!

ඊලඟට මට අඟහරුවාදා රෑට ඉතුරු සල්ලි දීලා කාරෙක ගෙනියන්න පුළුවන් බව මිසිස් ෆර්නැන්ඩෝ ට කෝල් කරලා දැන්නුවා.

හස්බන්ඩ් ගෙදර ආවාම මං කියන්නම් මිසිස් ෆර්නැන්ඩෝ කිව්වා.

එදා හවස් වරවේ මං මාර හැපි මූඩ් එකේ හිටියේ. වැඩිය කට්ට කන්නේ නැතුව ලීටරේට කිලෝමීටර් දහයක් වැඩ කරන රතු කොරොල්ලා එක වෙනුවට ලීටරේට කිලෝමීටර් පාලහක් වැඩ කරන ෂැරේඩ් එකක් බදාදා දවල් වෙනකොට මගෙ අතේ.

අනික කාර් එකක් නැතුව ඉන්න වෙන්නේත් පැය කීපයයි.

අපූරුවට වැඩේ සෙට් වුණු හැටි!

ඔහොම හිත හිතා ඉන්න අතරේ තමයි ඉස්සරහ දොරට කවුදෝ තට්ටුවක් දානවා ඇහුනේ.

වෙලාව රෑ නමයට විතර ඇති. කවුද බොලේ මේ වෙලාවේ?

-කතන්දරකාරයා

ප/ලි:
ඒ ආවේ කවුද කියල සඳුද ට තමයි දැනගන්න වෙන්නේ.

ඊට කලින් ඉරිදට එන සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් එක අමතක කරන්න එපා!

මෙන්න ගිය සුමානේ මං දාපු සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් එක - "කැසට් මුදලාලි ලා මාව රවට්ටලා මගේ කට හඬට නව රිද්ම සංගීතය දැම්මා :: රෝහණ බැද්දගේ සමග කතන්දරකාරයා පිලිසඳරක"

(image: http://laspinascity.olx.com.ph/)