
මේ ඊයේ පෙරේදා පත්තරේක තිබුණා කවුදෝ ටියුෂන් මුදළාලි කෙනෙක් තමන්ගෙන් ටියුෂන් අරගෙන ඉහලින් විභාගේ ගොඩ දාපු දැරිවියකට රුපියල් ලක්‍ෂ හතලිහක කාරෙකක් අරගෙන දුන්නු සීන් එකක් ගැන කතන්දරයක්.
මේ ගැන
ලිපියක් ලියන W3Lankaකාරයා කියලා තිබුණා සිසුන් 5,000 කට උගන්වන ටියුෂන් මුදළාලි කෙනෙකු ගේ මාසේ ආදායම ලක්‍ෂ හතලිහකටත් වඩා වෙනවාය කියලා.
ඒ කියන්නේ, එක ළමයෙක් එක විෂයකට මාසෙකට රුපියක් අටසීයක් ගෙවනවා කියන එකයි!
මට ඒ කතාව එකපාරටම විශ්වාස කරන්න බැරිවුනේ මේ කියන්නේ සූට්ටං රුපියක් 2,500 කින් මාසයක් ජීවත්වෙන්න පුළුවන් රට ගැන නේද කියලා මතක් වුණු නිසයි. මං හිතන්නේ ඒ සූට්ටං රුපියක් 2,500 කින් මාසයක් ජීවත්වෙනවා කියන්නේ උසස් පෙළ සබ්ජෙක්ට්ස් තුනකට ටියුෂන් ගාස්තු ගෙවන එකට වෙන්න ඕනෑ!
මාත් උසස් පෙළ කරන කාලේ ඔය ටියුෂන් ව්‍යාපාරවලට අමතක නොකර උදව් පදව් කළ හොඳ ආදර්ශමත් ශිෂයෙක්. නුගේගොඩ රේල්වේ ඇවනියු, බම්බලපිටියේ ටෙම්පල් ලේන් සහ වැල්ලවත්තේ තව මොකක්ද ලේන් එකකට (චැපල් ලේන්?) වගේම, ගම්පහ මෙට්‍රොපොලිටන් එකටත් මං ඒ දවස්වල සෑහෙන්න බඩ ගෑවා.
මුල සිට අගටම ටියුෂන් අරගෙන එයින් නොනැවතී රිවිෂන් කෝස් එකකුත් ඉවර කළා රසායන විද්‍යාවට. ඒ රෙජිනෝල්ඩ් සෙනෙවිරත්න ගේ. ෆිසික්ස්, පියෝ සහ ඇප්ලයිඩ් මැත්ස්වලට නම් මට අවශ්‍ය වුණු විෂයය කොටස් කවර් කරගන්න විතරයි ටියුෂන් ගියේ.
මගේ ඒ අතීත ටියුෂන් කතන්දරේ අහගෙන ඉඳපු කූප්‍රකට බ්ලොග්කාරයෙක් ගේ වයිෆරේ මට නැවත මතක් කරලා දුන්නා එයාගේ එක නයි ඇරීමක්.
"දන්නවද? මං ජීවිතේටම කවදාවත් කිසිම ටියුෂන් පන්තියකට ගිහිල්ලා නෑ!"
කොහොමද නයා? මං හිතන්නේ ඔය නයා පරද්දන්න ලේසි පුතයෙකුට බෑ අද තියා ඒ දවස්වලත්.
හැබැයි ඉතිං මේ නයා ගේ වර්ධනයට බලපාපු පොඩි හේතුවක් තියෙනවා. ඔය කියන කාලේ අපේ ගම් පළාත්වල ටියුෂන් කඩ විතරක් නොවෙයි ටියුෂන් සුපර් මාකට්ටු පවා තිබුණත් කූප්‍රකට බ්ලොග්කාරයා ගේ වයිෆරේ උසස් පෙළ කරපු බණ්ඩාරවෙල පැත්තේ නම් උසස් පෙළ ටියුෂන් කඩ වැඩිපුර තිබිලා නෑ වගේ.
කූප්‍රකට බ්ලොග්කාරයා ගේ වයිෆරේ ඒ දවස්වල කරලා තියෙන්නේ පාසලේ උගන්නපු දේවල් පාඩම් කරපු එකයි, පාසලේ පුස්තකාලේ තිබුණු පොත් පරිශීලනය කරපු එකයි විතරයි ලු. ගෙදරින් සැතපුම් ගානක් දුර වෙනත් නගරයක බෝඩිං වෙලා ඉන්න නිසා වෙන වැඩකුත් තියෙන්න නැතුව ඇතිනේ. අනික කොහෙමාටත් කූප්‍රකට බ්ලොග්කාර හස්බන්ඩා මැත්ස් කරපු වැඩකාරයෙක් වුනාට වයිෆරේ උසස් පෙළට බයොලොජි තමයි කරලා තියෙන්නේ.
මගේ උසස් පෙළ ප්‍රතිපල ආපුවාම තමයි මට තේරුනේ මං වැඩිපුර ටියුෂන් ගිය කෙමිස්ට්‍රිවලට මට අඩුම ලකුණුත්, අඩුවෙන් ටියුෂන් ගිය අනිත් විෂයන් තුනට වැඩිය ලකුණුත් තියෙන බව.
ඊට පස්සේ මං
පේරාදෙනියේ ද කටුබැද්දේ ද යන්නේ කියලා තීරණය කරපු හැටි ගැන කතාව මං කලින් දවසක කියලා තියෙනවා.
පේරාදෙනි යෑම නිසා වුනේ මා වෙනුවෙන්
තාත්තාට වැඩිපුර මුදල් වියදම් කරන්න සිදුවීමයි. මේ කාලේ මහපොළ ශිෂ්‍යත්වය දීම ඇරඹිලා තිබුණත් මට මහපොළ තියා ශිෂ්‍ය ණයක්වත් ලැබුණේ නෑ.
මහපොළ ශිෂ්‍යත්වයේ ඒ දවස්වල කැටගරි දෙකක් තිබුණා. ශිෂ්‍යත්ව කීපයක් මෙරිට් එකට, ඒ කියන්නේ මුළු ලංකාවෙන්ම සහ ඒ ඒ දිස්ත්‍රික්කවල වැඩිම ලකුණු ගත්තු ළමයින්ට දෙනවා. ශිෂ්‍යත්ව සංඛ්‍යාවේ බහුතරය වෙන අනිත කොටස දෙන්නේ පවුලේ ආදායම සලකලායි. ඉල්ලුම වැඩි සහ සැපයුම අඩු නිසා මෙතනදීත් විභාග ප්‍රතිඵල බලාපානවා.
කොළඹ දිස්ත්‍රික්කෙන් මං හිටියේ මැත්ස්වල 108 වෙනියාට ද කොහෙද නිසා නිසා මට කීයටවත් මෙරිට් ශිෂ්‍යත්වයක් ලැබෙන්න චාන්ස් එකක් තිබුණේ නෑ. කොරේ පිටට මරේ කිව්වා වගේ, මේ වෙනකොට මගේ තාත්තා පැන්ෂන් අරගෙන තිබුණා වුනත් මට ආදායම අනුව දෙන මහපොළ ශිෂ්‍යත්වයක් ලැබුණේත් නෑ.
"ඔය කියන ළමයාට ලක්‍ෂ හතලිහක කාර් එකක්යැ දෙන්න තිබුණේ. විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්න කාලේ වියදම් කරන්න ඒ සල්ලි ශිෂ්‍යත්වයක් විදියට දුන්නා නම් තමයි හොඳ ආදර්ශයක් ලැබෙන්නේ" මං මේ කියන කූප්‍රකට බ්ලොග්කාරයා ගේ බිරිඳ එක්ක කිව්වා. "දැන් මේ ළමයා කාර් එක ඉන්ෂුවර් කරන්නත්, පැට්‍රල් ගහන්නත් සල්ලි හොයා ගන්න ඕනෑ නේ!"
"මහපොළවත් ශිෂ්‍ය ණයවත් නැතුව ගෙදරිනුයි, පුංචි අම්මලාගෙනුයි ලැබෙන සල්ලිවලින් මං අවුරුදු හතර ගැටහග ගත්තු හැටි මට මතක් වෙනවා!" මං තවදුරටත් කිව්වා.
"මට නං මහපොළ ශිෂ්‍යත්වයක් ලැබුණා" කූප්‍රකට බ්ලොග්කාරයා ගේ වයිෆරේ ඒකට උත්තර දුන්නා, "ඒත් අපේ තාත්තා ඒක ගන්න එපා ය කියපු හින්දා මං ඒ ශිෂ්‍යත්වය බාරගත්තේ නෑ!" ඇය තමන් ගේ දෙවෙනි නයා පොඩ්ඩක් විතර ඇද්දා.
"ඔහේට කොහොමද මහපොළ ලැබුනේ? අපේ තාත්තා පැන්ෂන් පඩියෙන් හිටියත් මට නොලැබුණු එකේ? ඔහේ ගේ තාත්තා ට හොඳ ආදායමක් තියෙන්න ඇතිනේ ඒ දවස්වල?" මං වහාම කිව්වා.
"හහ්, හහ්, මට ලැබුණේ මෙරිට් එකට දෙන ශිෂ්‍යත්වයක්. මං තමයි දිස්ත්‍රික්කේ වැඩියෙන්ම ලකුණු අරං පාස් වුණේ!"
කූප්‍රකට බ්ලොග්කාරයා ගේ බිරිද ගේ දෙවෙනි නයා මගේ මුණටම පෙනේ පිප්පුවා!
-කතන්දරකාරයා
ප/ලි:
ඉස්සරහට විභාග හොඳට පාස් වෙන ළමයින්ට කාර් තෑගි දෙන්න බලාගෙන ඉන්න ටියුෂන් ගුරුවරුන් ගේ ඒ සඳහා වැයවෙන බරපැන අඩුකරගන්න පුළුවන් හොඳ යෝජනාවක් මට කරන්න පුළුවන්.
මේ ආකාරයට දෙන්නට බලාපොරොත්තු වෙන කාර්, කොළඹ නයිට් රේසින් කරන කාර්වල කැටගරියටම දා ගන්න ඕනෑ. ඒ ජාතියේ කාර්වලට ඉම්පෝට් ඩියුටි සහ ටැක්ස් හෙම අඩුයි කියලයි ආරංචිය. ලක්‍ෂ හතලිහේ කාර් එක ලක්‍ෂ විස්ස වෙන්නත් බැරි නෑ.
(
image: http://www.myxer.com/wallpaper/id/1056757/Jimmy-A/notuition/)