Tuesday 18 May 2010

ගුවන් විදුලි ප්‍රශ්ණ විචාර තරගය - Take it or leave it!


මීට අවුරුදු බර ගාණකට කලින් මගෙ පන්තියෙ යාළුවෙක් ගුවන් විදුලි ප්‍රශ්ණ විචාර තරග වැඩ සටහනකට සහභාගී වෙන්න ගිහින් පොරට ලැබුණු දෙවෙනි ප්‍රශ්ණෙන්ම කැපිල ගිය බව කිව්ව කතන්දරේ මතකයිනේ?

පොරට ලැබුනේ මහා අසාධාරණ ප්‍රශ්ණයක් නේ නේද?

කතන්දරේ ලියන වෙලේ මට මතක් වුණා මං බලන්න ගිය ප්‍රශ්ණ විචාරාත්මක තරග දෙකක්.

අද මෙන්න එකක් ගැන විස්තරේ.

ඔය කියන දවස්වල ලංකාවෙ තිබුණ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව කියල ශ්වේත හස්තියෙක්. මේ ගොල්ලො සිංහල සහ ඉංගිරිසි රේඩියෝ වැඩසටහන් දෙකකට අනුග්‍රහය දැක්වුවා. දෙමළ වැඩ සටහනකුත් තියෙන්න ඇති මං අහල නැතිවුනාට.

සිංහල වැඩසටහන එකේ නම "පුළුවන් නම් දිනා ගන්න!" ඉංගිරිසි ෂෝ එක හැඳින්වුනේ "ටේක් ඉට් ඕ ලීව් ඉට් (take it or leave it)" කියලයි.

ඔන්න දවසක් අපේ අංකල් කෙනෙකුට ඔය ටේක් ඉට් ඕ ලීව් ඉට් ෂෝ එකට සහභාගී වෙන්න චාන්ස් එකක් ලැබුණා, එක්කො අංකල්ගෙ කොම්පැනිය හරි නැත්තං මොකක් හරි වෘත්තීමය සංගමයක් හරි හරහා.

අංකල් තනියම යන්නෙ නැතුව මටත් කතා කළා යන්න රෙකෝඩින් එක බලන්න. ඒක රෙකෝඩ් කලේ, නිදහස් චතුරශ්‍රය ලඟ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ.

එදා වැඩ සටහන් දෙකක් රෙකෝඩ් කළා. මුල් වැඩ සටහනට හිටිය අපේ අංකල් තුන්වෙනි ප්‍රශ්ණෙන් පැරදුනා. මට මතක විදියට ඒ ප්‍රශ්ණෙන් ඇහැව්වෙ, ඒ වෙන කොටත් අහෝසි වෙලා ගිහින් තිබුණු, දැන් දැන් ආයෙ කතා බහට ලක්වෙන, සෙනෙට් සභාව ගැනයි.

අංකල් ට හම්බ වුනා සැනසිලි තෑග්ගක්.

ඔය ආකාරයට තරගෙට සහභාගිවෙන අයට බැරිවෙන ප්‍රශ්ණ අහනවනේ ඕඩියන්ස් එකෙන්. තමන් උත්තරේ දන්නව නං අත උස්සලා, නිවේදකය කතාකළාම ගිහින් උත්තර දෙන්න ඕනැ. හරි නම් තෑග්ගක් දෙනවා.

එදා නිවේදකයා වුනේ විජය කොරයා.

දෙවෙනි වැඩ සටහනේදි මට ආව චාන්ස් එකක්. තරගෙට හිටපු පොරක් දැනගෙන හිටියෙ නෑ, සර්ජී අයිසන්ස්ටයින් කියන්නෙ කවුද කියල.

පොර කිව්වෙ, අයිසන්ස්ටයින් කියන්නෙ "රිලටිවිටි තියරි" එක ඉදිරිපත් කරපු කෙනා කියලයි. මිහිහට අයිසන්ස්ටයිනුයි, අයින්ස්ටයිනුයි ටැපලිලා.

මං අත ඉස්සුව. හැබැයි මං හිටියෙ පිටිපස්සෙම පේළියෙ.

ඉස්සරහින් හිටපු තව පොරක් අත උස්සල උත්තරේ දෙන්න නැගිටල යන්න හදන කොටම, නිවේදක විජය කොරයා දැක්ක පිටි පස්සෙ හිටපු කතන්දර කුමාරව.

පොරට හිතෙන්න ඇති මේ පොඩි කොල්ලට චාන්ස් එකක් දෙන්න ඕනැ කියල.

මං ඉස්සරහට ගිහින් වීරය වගේ මයික් එකට කිව්ව හරි උත්තරේ.

ගත්ත විජය කොරය දුන්නු තෑග්ග.

පස්සෙ බැලින්නම්, තරගෙට හිටිය අපේ අංකල් දිනපු තෑග්ගයි, මං දිනපු තෑග්ගයි දෙකම එකම දේ.

මට ඒ තෑග්ගෙන් වැඩක් නෑ. ඒකත් දුන්න අංකල්ටම.

කතන්දරකාරයා
ප/ලිඃ

1. මොකක්ද ඒප්‍රශ්ණෙට හරි උත්තරේ දන්නවද?
2. මොකක්ද ලැබුණු තෑග්ග කියල හිතාගන්න පුළුවන්ද?
3. මං ඒ තෑග්ගත් අංකල්ටම දුන්නේ ඇයි?

එදා ප්‍රශ්ණවලට උත්තර දුන්නු මං අද ප්‍රශ්ණ විචාරකයා වෙලා!

කොහොමින් වුනත් මේ තුන්වෙනි ප්‍රශ්ණෙට නිවරදි උත්තරෙන් මට තව කතන්දර තොගයක්ම ලියන්න පුළුවන් වගේ.

ප/ප/ලිඃ
පිලිතුරු ලැබෙමින් පවතී. තවත් ඒමටද ඉඩ ඇත.
තුන්වන ප්‍රශ්ණයට පිලිතුරු දන්නේ මම්තුමා පමණක් ද?

ප/ප/ප/ලි:
මෙන්න පිළිතුරු.
http://kathandara.blogspot.com/2010/05/blog-post_19.html

13 comments:

  1. 1. හොද සොවියට් චිත්තරපටි අඩ්යක්ශකයෙක්.
    http://en.wikipedia.org/wiki/Sergei_Eisenstein

    2.ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවනේ. සිමෙන්ති කොට්ටයක්ද?

    3. ඒ කාලේ කතන්දර කුමාරට මොන සිමෙන්ති කොට්ටද නේද?

    ReplyDelete
  2. 1) චිත්‍රපටි අධ්‍යක්ෂ කෙනෙක් ද?
    2) තෑග්ග ???
    3)ඔයාට එපා නිසා අංකල්ට දුන්න.

    මේ දෙවෙනි හා තුන් වෙනි ප්‍රශ්ණ හරි අසාධාරණයි .....Grrr....... grrr

    ReplyDelete
  3. ප්‍රශ්ණ තුනට උත්තර ටිකත් කියමු.

    ReplyDelete
  4. 1. චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක්
    2. ගො.ද්‍ර.ස තෑගි වවුචරයක්
    3. අන්කල් ගෙයක් හදනව.

    ReplyDelete
  5. සර්ජි අයිසන්ස්ටයින් පෙට්‍රගෑඩ් වලදි හැදෑරුවා ගෘහ කර්මාන්ත ශිල්පයත්. ඉතින් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව අනුග්‍රහය නිසා තෑග්ග කතන්දර කුමාර කියන පොඩි කොල්ලට වැඩක් නැති ඒකක්. නිවසක් හදන්න සිමෙන්ති බෑග් ඒකක් ද?!!

    ReplyDelete
  6. අපි අහුවෙයි ඕවට! මෙන්න උත්තර

    1. http://en.wikipedia.org/wiki/Sergei_Eisenstein ;)

    2. මොකක්හරි පොතක්?

    3. ඒක නං ඉතින් දන්නෙ කතන්දරකාරයාම තමයි.

    ඕකෙන් පළවෙනි උත්තරේ නම් ටක්කෙටම හරි! දෙවෙනි එකටයි, තුන්වෙනි එකටයි උත්තරේ හරියටම දැනගන්න ආයෙත් එන්නම්කො ‍මේ පැත්තට. ;)

    ReplyDelete
  7. සර්ජී අයිසන්ස්ටයින් කියන්නෙ බැට්ල්ෂිප් පොටෙම්කින් ෆිල්ම් එකේ ඩිරෙක්ටර් නේද..? මට මතක හැටියට එයාගෙ තව ප්‍රසිද්ධ ෆිල්ම් කීපයක්ම තියෙනවා..

    ReplyDelete
  8. 1 රුසියනු ‍ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්
    2 සැනසිලි තෑග්ගක්
    3 අංකල් සනසන්ට

    ReplyDelete
  9. ෂුවර් එකටම අංකල්ට දුවෙක් ඉන්න ඇති...
    මාමණ්ඩිගෙ හිත් දිනාගෙන ඉන්න එක ඉතින් අනාගතයට හොඳ ආයෝජනයක්නෙ...
    අනෙක ඉතින් තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ගලුනෙ...

    ReplyDelete
  10. මම නම් අදිසි උපකාරකය බලාපොරොත්තු වෙනවා..

    ReplyDelete
  11. පළැවෙනි ප්‍රශ්නෙට නම් උත්තරේ රුසියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්.
    අනෙක් දෙකට නම් කිසිවක් සිතා ගත නොහැක.
    :)

    ReplyDelete
  12. 1‍. මං කැමතිම ප්‍රශ්නයක්‍. සර්ජි අයිසන්ස්ටයින් කියන්නේ රුසියානු සිනමාව වර්ධනයේදී සංස්කර‍ණය පි‍ළිබඳ රීතියක් වන සමෝ‍ධාන
    (Montage) රීතිය ඉදිරිපත් ක‍‍ළ සිනමාකරුවා..
    2.අනේ මන්දා තීන්ත බාල්දියක්වත්ද ? එක්කෝ නිකන් කොමඩ් පියනක් වගේ එකක්ද ? රේසරයක් වගේ එකක් ද ?
    3. 2 දන්නේ නැතිව මේකට යන්න බැහැනේ :(

    ReplyDelete
  13. සියළුම පිලිතුරු වලට ස්තුතියි.

    මේ කතන්දරයේ දෙවන කොටස, නිවැරදි පිලිතුරු සහිතව, තව ස්වල්ප වේලාවකින් බලාපොරොත්තුවන්න.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.