
මං හොඳින් අඳුණන පොරක් ඉන්නව මෑන් ටිකක් එක විදියක එකෙක්. (සමහර විට පොරක් නොවෙන්නත් පුළුවන්. මොකද පොර කියන එක සාපේක්‍ෂ වර්ගීකරණයක්නේ).
කොහොම වුනත් මිනිහගෙ ඊ-මේල් අත්සනේ තියෙනව මෙන්න මෙහෙම.
"මා යුද්ධයට කැමති එය හොලිවුඩ් හි සාදන ලද්දේ නම් පමණි."
I only like war if it is made in Hollywood.
පොරට එහෙම වුනාට මට නං හැබැයි හොලිවුඩ් වෙන්නම ඕනැ නෑ, බොලිවුඩ් වුනත්, කොලිවුඩ් වුනත් ප්‍රශ්ණයක් නෑ.
හාන්සි පුටුවෙ ඉඳන් යුද්ධ කරනව වගේම ජොලි වැඩක් තමයි හාන්සි පුටුවෙ ඉඳන් යුද්දෙ ගැන කතන්දර බැලීම.
මං පුංචි කාලෙ ආච්චිලගෙ ගෙදර නිවාඩු කාලෙට ගියාම ආච්චියි, සීයයි
පෙට්ටගමක එකතු කරල තිබුණු පරණ රසවාහිනී කියන සඟරාවේ පිටපත් බලන එකමයි වැඩේ කියල කිව්වනේ දවස් කීපෙකට කලින් දාපු කතන්දරේ.
ඒ සමහර රසවාහිනී සඟරා මං උපදින්නත් කලින් (බුදු අම්මෝ ඒ කියන්නේ සෑහෙන්න පරණයි!) මුද්‍රණය කරපු ඒවා.
රසවාහිනී සඟරාවල නොයෙකුත් ආකාරයේ ලිපි තිබුණා. ඒ අතරින් මං කැමතිම ලිපි මාලාවක් තමයි යුධ බිමේ අත්දැකීම්.
යුධ බිමේ අත්දැකීම් ලියල තිබුනෙ, විමල් කියල ලේඛකයෙක්.
ඒක ආරූඪ කරගත්තු නමක් ද, හරි නමේ මුල් කොටසද දන්නෙ නෑ. විස්තර හොයල බලන්න ඕනැ. ආරූඪ කරගන්ත නම් ඔයිට වඩා ටිකක් හොඳ නමක් දාගන්න එපායැ නේද? කොහොම වුනත් මේ කියන විමල් තමන්ගෙ අත්දැකීම් ලබල තිබුනෙ දෙවන ලෝක යුද්දෙ කාලෙ ඊජිප්තුව, ඉතාලිය වගෙ රටවල් කිහිපයකයි.
මේ ලිපි පෙලට දීල තිබුණු නම කොහොම වුනත් ඒකෙ වැඩියෙන්ම තිබුණෙ යුද්ධ, සටන් සහ මිනීමැරීම් ගැන නම් නෙමේ, ගමන් විස්තර, කාපු බීපු හැටි ආදී අත්දැකීම් ගැනයි. අද කාලෙ නං මේ ලිපි එකතු කරල පොතක් ගහනව ෂුවර් එකටම.
යුධ බිමේ අත්දැකීම් අතර තිබුණු කතන්දර කීපයක් මට තාමත් යාන්තමට වගේ මතකයි.
ඔන්න එක ඉතාලියානු කෙල්ලෙක් විමල් ට කියනව කල්ලන්ව විස්වාස කරන්න බෑ කියල. පොර මේ කෙල්ලව බඳින්න ඇහැව්වද මන්ද? එතකොට විමල් කියන්නෙ හැබැයි දුඹුරු පොරවල් එහෙම නෑ කියලයි.
තවත් කතාවක තියෙනව ඊජිප්තුවෙදි විමල් දැක්කලු ගෑනියෙකුයි බූරුවෙකුයි අතර ලයිව් ෂෝ එකක් තියෙනව කූඩාරමක් ඇතුලෙ සල්ලි අයකරල පෙන්නන. ඒක විස්තර කරල තිබුණෙ නෑ. පොර ගියේ නැහැල්ලු ෂෝ එක බලන්න. ටිකට් මාර ගණං හින්දද, අප්පිරියා හිතුන හින්දද මන්දා?
විමල් ගෙ තීරු ලිපි පෙල කෙසේ වෙතත්, දෙවෙනි ලෝක යුද්දෙ ගැන තියෙන පොත් බොහොමයකම යුද්දෙකදි වෙන ජීවිත හානිය ගැන ලොමු දැහැගැන්වෙන ආකාරයේ විස්තර තියෙනව.
අපේ රටෙත් මෑත ඉතිහාසයේ යුද්ධ, යුද්ධ කොච්චර තිබුනද? ඔය යුද්ධවලට සමාන්දරව කොච්චර අහිංසකයෝ මළා ද? මං ලියපු
"පොලිසියට බයේ දිව්ව කොල්ලා කතන්දරේ" මතකනේ?
ඒ මරණ ගැන අපිට ටික ටික අමතක වෙලා යනවා. අනූ ගනංවල මැද හරියේ නං හරි හරියට මිනී වළවල් හෑරුවා. ඒත් වෙච්ච මගුලක් නෑ. එහෙන් මෙහෙන් මිසක් සැබෑ සත්‍යය නම් නිරාවරණය වුනේ නෑ.
තව කොච්චර ඒ ආකාරයේ මිනී වළවල් ඇද්ද අර ඊරියගොල්ල ගේ සින්දුවේ කියවෙන "ඒ පැත්තේ, මේ පැත්තේ, අර පැත්තේ, අපේ පැත්තේ, තොපේ පැත්තේ, එක කොඩියේ දෙරණේ"?
අද කාලෙ හැටියට ලංකාවේ ජුරිස්ඩික්ෂන් එක ඉන්දීය සාගරේ හතර පැත්තටත් හැතැප්ම ගානක් විහිදිලා යන බවත් අමතක කරන්න බෑ, නේද?
දකුණු අප්‍රිකාවෙ වගේ තැන්වල, චිලියේ හෙම, දැම්ම ටෲත් කොමිසන් කියල ඒවා.
අපිටත් කොමිසන් නම් දාන්න තිබුණා අර බෙරේ පලුව හරිගස්ස ගත්තනං!
හැබැයි ඉතිං මුලින්ම බැකෝ යන්ත්‍ර ටිකක් ගෙනත් පොළොව ඇද තැන් ඇද හරින්න ඕනැ!!
ඒ මොනව වුනත්, කවද හරි දවසක ඒ සොහොන් බිම්වල නටපු විමල් ලා ටම තමයි ඔය සත්‍යයත් ලියන්න පුළුවන්.
මරණ මංචකවලදිවත්, කීප දෙනෙකුටවත්, ඇත්ත කියන්න හිතුනොත්?
-කතන්දරකාරයා