
නෙම් ඩ්‍රොපින් ගැන කියා මා දැමූ
සරච්චන්ද්‍ර, කාලෝ සහ ජයලත් මනෝරත්න ගැන කතන්දරය මතකද?
අදත් සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක යටතේ පලවෙන්නේ ඒ වගේ නේම් ඩ්‍රොපින් කතන්දරයක්. ඇත්තටම මේක කතන්දරකාරයා මීට වසර කිහිපයකට උඩ 2007 දී රෝහණ බැද්දගේ සමග කල සාකච්ඡාවක්.
කියවලා බලන්න. මේකේ භාෂා විලාසය වෙනස් සඟරාවක පලකරපු එකක් නිසායි.
කතන්දරකාරයා: ඔබේ ගම හොරණ ප්‍රදේශයේ බව අප අසා තියෙනවා
බැද්දගේ: මගේ ගම හොරණ, පාදුක්ක පාරේ උඩුව ප්‍රදේශයයි. මා මුලින්ම ගමේ පාසැලෙන් අධ්‍යාපනය ලැබුවා. ඉන් පසුව හොරණ තක්ෂිලා විද්‍යාලයේ ඉගෙන ගත්තා. ඉන් පස්සෙ හේවුඞ් කලායතනය ට බැදුනා. එහි ඉගෙනීමෙන් පසුව මම ගුරු වෘත්තිය ට අවතීර්ණ වුනා. මම වෘත්තියෙන් නැටුම් ශිල්පියෙක්. උඩරට නැටුම් කලාව තමයි ඉගැන්නුවේ.
කතන්දරකාරයා: අපි නම් ඔබ ගැන මුලින්ම ඇහැව්වෙ "මගෙ රත්තරං හෙලේනා" කියන ගීතයෙන් ගායකයෙක් විදිහට යි.
බැද්දගේ: ඇත්තටම සංගීතය සහ ගායනය මම මගේ වෘත්තියට අමතරව කළ දෙයක්. ඒ ගීතය මම 1968 දී පමණ ලියා ගායනය කළා එවකට මකුලොළුව මහත්තයා මෙහෙයවපු වැඩසටහනක දී. රත්තරං හෙලේනා ගීතයේ “කව්ද?” කියන කොටස කිව්වේ එම වැඩසටහනට සහභාගී වුනු ටී. එම්. ජයරත්න මහත්මයා යි. ගීතය පටිගත කළේ නම් කලකට පසුව 1974 දී. සංගීත පර්යේෂණ අංශයේ සඳැල්ල වැඩසටහන වෙනුවෙන්.
කතන්දරකාරයා: එතකොට බන්දුල විජේවීර සමග ඔබ ගායනා කළ ඉතාමත් ජනප්රිය වුනු මාමයි බෑනයි ගීත?
බැද්දගේ: ඒ ඊට දශකයක ට පමණ පස්සේ 1982 දී විතර. ගීත ක්‍ෂේත්‍රයට පිවිසුනත්, මා 1986 වන තුරු පාසැල් වල නැටුම් ගුරුවරයෙක් විදියට සේවය කළා. ඉන් පසු සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ ජන සංගීතය ඉගැන්වීමට පටන් ගත්තා.
කතන්දරකාරයා: ඔබේ නාට්‍ය රංගන පිලිබඳව කතා කළොත්?
බැද්දගේ: මා මුලින්ම 1974 දී දයානන්ද ගුණවර්ධන ගේ ගජමන් පුවත නාට්‍යයට සම්බන්ධ වුනා. ඉන් පසු ඔහුගේ ම ජසයා සහ ලෙංචිනා, මධුර ජවනිකා, ආනන්ද ජවනිකා යන නාට්‍ය වල සංගීතය සහ නැටුම් අධ්‍යක්‍ෂණය කළා. ජයලත් මනෝරත්න ගේ අන්දරේලා ඇතුළු නාට්‍ය කිහිපයකට ම සංගීතය නිර්මානය කළා. මුලින්ම ටෙලි නාට්‍යක රඟපෑවේ පලිඟු මැණිකේ නාට්‍යයේ 1982 දී.
කතන්දරකාරයා: මේ දිනවල මොනවගේ කලා කටයුතු වලද නිරත වෙලා ඉන්නේ?
බැද්දගේ: මේ දවස්වල (අප්රියෙල්) නම් කිසිම විවේකයක් නැහැ. අවුරුදු ලංවෙන කොට හැම මාධ්‍යයට ම කොහා මතක් වෙනව වගේ රෝහණ බැද්දගේ ව මතක් වෙනවා. රූපවාහිනී වැඩ සටහන් එක දිගටම යෙදී තියෙනවා.
කතන්දරකාරයා: මාමයි බෑනයි ගීත එකතුවට අමතරව වෙනත් කැසට් පට, සංයුක්ත තැටි හෙම නිෂ්පාදනය කරල තියෙනවද?
බැද්දගේ: මේ දිනවල මගේ පැරණි ගීත නැවත පටිගත කරන ව්‍යාපෘතියක් අරඹලයි තියෙන්නේ. මම තැටි දෙකක් පසුගිය කාලයේ කළා ඒ සන්ෆලවර් වගේ සංගීත කණ්ඩායම් එක්ක. නමුත් ඒව මගේ සංගීත ආරයට ගැලපෙන ඒව නෙවේ.
කතන්දරකාරයා: හුඟ දෙනෙක් ඔය නව රිද්ම වැඬේ කළා නේද? ඒව නම් හොඳ නිර්මාණ වුනේ නැහැ කියලයි මට හිතෙන්නේ.
බැද්දගේ: ඇත්තටම වෙළද ව්‍යාපාරිකයෝ යි ඕව කරන්නේ. ඒ අය මා එක්ක බෙර හෙම ගහල ගීත ගායනා කරල අවසාන වුනාට පස්සේ, පසුබිම් සංගීතය වෙනස් කරනවා බටහිර නාද වලට.
කතන්දරකාරයා: ඉතිං ඒක හරි අපරාධයක් නේ. කැමැත්ත නොදී එහෙම කරන්නේ කොහොමද?
බැද්දගේ: මගෙන් කළ ඉල්ලීමට යි මම කැමති වුනේ මගේ ගීත වලට හානියක් නොකරන වාචික පොරොන්දුව මත. නමුත් එහෙම වගන්තියක් ලිඛිත ගිවිසුම් වල නැති නිසා මට ක්‍රියාත්මක වෙන්න බැරි වුනා.
කතන්දරකාරයා: සන්ෆලවර්ස් ල එක්ක ගී ගයපු ගුණදාස කපුගේ නම් ඒ ගැන විමසූ වෙලාවෙ කිව්වෙ මුදල් අවශ්‍ය නිසා එලෙස ගී කිව්වාය කියලයි.
බැද්දගේ: ඔව් මුදලූත් වැදගත් තමයි. නමුත් ආයෙ නම් එහෙම දේවල් කරන්න මගේ අදහසක් නැහැ.
කතන්දරකාරයා: අපි දන්නවා විශාරද දයාරත්න සහ මහාචාර්ය රණතුංග ගායක යුවලත් ඔවුන් ගේ ගීත රැප් කිරීමක් කළා. මේ පිලිබඳ ඔබේ අදහස මොකක්ද?
බැද්දගේ: ඒ අයගේ අදහස තමයි අළුත් වන ලෝකයට ගැලපෙන පරිදි අප වෙනස් විය යුතුයි යන්න. මම විශ්වාස කරන විදියට නම් අපේ ගීත රස විඳින්න රැප් කරන්න අවශ්‍ය නැහැ. මේක වානිජ බලපෑම් නිසා, වෙළෙන්දන් ගේ කැමැත්ත අනුව ඇතිවෙන දෙයක්. ඔවුන් හිතනවා එලෙස කළ විට වැඩියෙන් මුදල් හම්බ කළ හැකිවේවි කියා. අද ලංකාවේ සංගීතය මුලින්ම ත්‍රී රෝද රථ සහ පෞද්ගලික බස් රථ රියදුරන්ගේත්, රසඥතාවය අනුවයි සිදුවෙන්නේ. සමහර විට මේ ඉදිරියේ අප අසරණ වෙනවා.
කතන්දරකාරයා: පසුගිය කාලේ ලංකාවේ මහත් ආන්දෝලනයකට කල් වුනු සිද්ධියක් තමා මේ එෆ්. එම්. නාලිකා වල පාවිච්චි කරන සිංහල භාෂාවේ පරිහානිය. හැබැයි මෙතනදී කෙනෙකුට තර්ක කරන්න පුළුවන් භාෂාව, සංගීතය වැනි දේ කාලයත් සමග ක්‍රමක්‍රමයෙන් වෙනස් වී යා යුතුයි, එසේ නොවුන හොත් ඒවායේ කිසිම දියුණුවක් වෙන්නෙ නෑ කියා. මේ පිලිබඳව ඔබේ අදහස?
බැද්දගේ: ඔව් සංස්කෘතියක් එලෙස වෙනස් වෙමින් යා යුතුයි තමා. ඒ වුනත් අපිට ජාතියක් වශයෙන් අනන්‍යතාවයක් අවශ්‍යයි.එය රැක ගත යුතුයි. අපි මේ ගැන සැලකිලිමත් වුනේ නැතිනම් අප ඉතා ඉක්මනින්ම සංකර ජාතියක් වේවි. බස රැකුනොත් තමා ජාතියක් රැකෙන්නේ. භාෂාව විකෘති කිරීම මහා අපරාදයක්.
කතන්දරකාරයා: දැන් සිංහල භාෂාවට, දෙමල භාෂාවෙන් වචන විශාල සංඛ්‍යාවක් එකතු වෙලා තියෙනවා. අපි සිංහල සංගීතයක් ගැන කතා කළත්, එයට හින්දුස්ථානි රාගධාරී සංගීතයේ බලපෑම ඉතා විශාලයි. එහෙම නම් පෙරදිග සංගීතයෙන්, භාෂා වලින් අපේ සංගීතයට, අපේ භාෂාවට ඇතිවන බලපෑම ට වඩා වැඩියෙන් අපරදිග සංගීතයෙන්, ඉංගිරිසි භාෂාවෙන් වෙන බලපෑම අපිට වැඩියෙන් දැනෙනවා වගේ නේද?
බැද්දගේ: ඔව්, ඉන්දියානු සංගීතය දැන් වසර සීයක් තිස්සේ අපේ රටේ ජන ජීවිතයට හොඳින් මුසු වෙලා. අපිට තවමත් සංගීතය පිලිබඳව ඥාණය ලාබාගන්නට පුළුවන වන්නේ භාරතීය සංගීතය හැදැරීමෙන් තමා. ජන සංගීතය එලෙස ශාස්ත්‍රීයව තවමත් ඉගැන්වෙන එකක් නෙමෙයි. නමුත් පර්යේෂණ මගින් අපේ ස්වර මාධ්‍යය හඳුනා ගෙන අපේ ජන සංගීතය සඳහාත් ශාස්ත්‍රීය පදනමක් ගොඩ නගන්නට හැකි වේවි. දැන් අපේ රටේ තරමක උනන්දුවක් තියෙනවා ජන සංගීතය මානව වංශ සංගීතය (එත්නො මියුසිකොලොජි) යන පුළුල් විෂයය යටතේ අධ්‍යයනය කරන්න. මෙය දැනට ඇමෙරිකාව වැනි රටවල කෙරෙන දෙයක්.
කතන්දරකාරයා: එතකොට ලංකාවේ සෞන්දර්ය විශ්ව විද්‍යාලය වැනි තැන්වල මේ ගැන පර්යේෂණ කෙරෙනවාද?
බැද්දගේ: මම මේ ගැන තරමක වැඩ කොටසක් පටන් අරගෙන තියෙනවා. දැනට පලවී ඇති ග්‍රන්ථ පරිශීලනය කරමින්, සිංහල ජන සංගීතය ගැන නිබන්ධනයක් සම්පාදනය කරන්නට පටන් අරගෙන තියෙනවා. මම මීට පෙර සිංහල සංගීත ශෛලිය නමින් ග්‍රන්ථයක් ප්‍රකාශ කරල තියෙනවා. එය සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් දෙවන වරටත් මුද්‍රණය කළා පසුගිය දිනවල.
කතන්දරකාරයා: ඔබ ගැයූ "රාජා ඕ මංගලියා" ගීතයේ තාලය සහ සංගීතය කොයි ආකාරයෙන් ද වර්ග කරන්න පුළුවන්?
බැද්දගේ: ඒ ගීතයේ වැදි ගී තාල මූලාශ්‍රයක් තියෙනවා. එය මා දියුණු කරලා යි නිර්මාණයක් ලෙස එලි දැක්වූයේ.
කතන්දරකාරයා: එතකොට ඉදිරි කාලෙදි මොන වගේ වැඩ කරන්නද බලාපොරොත්තු වෙන්නේ?
බැද්දගේ: එත්නො මියුසිකොලොජි ගැන පර්යේෂණාත්මක ග්‍රන්ථයක්, අපේ ජන සංගීතයේ මූලාශ්‍ර එකතුවකුත් සමග ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ වයස අවුරුදු 71 ක් වෙනවා. (මේ සාකච්ඡාව 2007 වසරේ දී කරන ලද්දකි.) මම සෞන්දර්ය විශ්ව විද්යාුලයේ බාහිර කතිකාචාර්ය තනතුරෙන් ඉවත්වෙලා සිංහල ජන සංගීතය පදනම් කරගත් සංගීත කණ්ඩායමක් ගොඩ නගන්න අදහස් කරනවා. මම හිතන විදියට අද කාලයේ අවශ්‍යතතාවයක් මේ පිටින් එන රැල්ලට මුහුණ දීම සඳහා අපේම දේවල් ඉදිරියට ගැනීම. මෙය ඇත්තටම අද වාතාවරණය අනුව උඩුගම් බලා යනවා වගේ වැඩක්. අද මාධ්‍ය වලින් මේ ජන සංගීතය වැනි අංශ වලට කිසිම අනුග්‍රහයක් නැහැ. ඔවුන් මුදල් පසුපසම ලුහුබඳින නිසා. කලාව දියුණු කිරීම ඔවුන් ගේ පරමාර්ථයක් නොවෙයි. මේ අතර සංස්කෟතික දෙපාර්තමේන්තුවේ ජන සංගීත අනු මණ්ඩලයේ සභාපති හැටියට මාව පත්කරල තියෙනවා. දෙපාර්තමේන්තුවේ සහයෝගය මගේ වැඩ පිලිවෙල ට ලබා දෙන බවට දැනට පොරොන්දු වී තියෙනවා.
කතන්දරකාරයා: ගුරුවරයෙකු ලෙසත් කතිකාචාර්ය වරයෙකු ලෙසත් වැඩ කල ඔබට ගෝලයින් සිය ගනනක් ඇති. ඒ අතරින් ඔබ ජන සංගීත ක්‍ෂේත්‍රයේ කරන වැඩ කොටස ඉදිරියට කරගෙන යන්න හැකි ගෝලයෙක් හෝ ගෝල පිරිසක් ඉන්නවද?
බැද්දගේ: ඔව්, ඇත්තටම විශ්ව විද්යා ලයේ දැනට ජන සංගීතය උගන්වන පස් දෙනෙක් පමණ ඉන්නවා. ඔවුන් සියළු දෙනාම මගෙන් ඉගෙන ගත් අය. මගේ ගෝලයෝ යැයි සලකන්න පුළුවන්. ඔවුන් ජන සංගීතය පිලිබඳව දරන්නේ මා දරණ මතයමයි. හැබැයි, ප්‍රායෝගිකව මං වාගේ ගායනා කරන කෙනෙක්, තවත් රෝහණ බැද්දගේ කෙනෙක්, හදන එක නම් අමාරු වැඩක්.
කතන්දරකාරයා: අප දන්නවා කලාකරුවන් සමහරු දේශපාලනයට සම්බන්ධ වෙන ප්‍රවනතාවයක් සාමාන්‍යයෙන් තියෙනවා. ඔබ කිසියම් ආකාරයක දේශපානයක නිරත වෙනවාද?
බැද්දගේ: නැහැ. මම කිසිම දේශපානලයක නිරත වෙන්නේ නැහැ. කිසිම පක්ෂයකට සම්බන්ධත් නැහැ. එහෙම නොකළේ මට කලාකරුවෙකු වශයෙන් ස්වාධීනව මගේ මතය ඉදිරිපත් කරන්නට, ඒ වෙනුවෙන් කතා කරන්නට අවශ්‍ය නිසයි. කලාකරුවන් දේශපාලනයෙන් ඈත් වෙන තරමට හොඳයි කියායි මා හිතන්නේ. දේශපාලනයට සම්බන්ධවුනොත් ගැත්තෙක් වෙන්න සිදු වෙනවා. එවිට කලාකරුවාගේ පෞරුෂය නැති වෙනවා.
කතන්දරකාරයා: අහන්නත් සංතෝශයි. ඒක ඉතාමත්ම වැදගත් ප්‍රකාශයක්. ඒ කියන්නේ ඔබ අදීන කලාකරුවෙක් වශයෙන් හඳුන්වන්න පුළුවන්?
බැද්දගේ: ඔව්, කිසිම කෙනෙකුට ගැතිවෙන්න මම කැමති නැහැ. මම දෙපයින් නැගී සිටින කෙනෙක්.
මේ සාකච්ඡාව කලේ 2007 දී බව නැවත අවධාරණය කරමි.
-කතන්දරකාරයා
ප/ලි:
ඔන්න මං කාලෙකට ඉස්සර පස්තාච්චි වැඩකට රට ගිහින් එන වෙලාවේ මං කටුණායක ඩියුටි ෆ්‍රී එකෙන් ගත්තේ ඥාති පුතෙකුට පොඩි යමහා කී බෝඩ් එකක් විතරයි.
කඩේ පොර කතා කළා මගේ පාස්පෝට් එකට ගන්න ටීවී එකක් ද, ඒසී එකක් ද කොහෙද. මට ගාණක් දෙන්නම් කිව්වා.
මං ජොලියට වගේ කීයක්ද කියලා අහලා බැලින්නම් අයියෝ පොර දෙන්න යන්නේ මේ ඩොලර් පණහක්.
මං පොරට කිව්වා ඒ ගානට මෙව්වර අධීන මාව විකුණන්නේ නෑ කියලා.
තමන් ගේ නියමිත මිළ එනතුරු අපි කවුරුත් එහෙම තමයි!
(image: tvlanka.com)