Monday 20 June 2011

හපොයි මදෑ කාර් එකක් ගත්තා-උසාවියක ගෙවුණු දවසක් - A day at the traffic courts


මෙතෙක් කතාව ඔහෙලා දන්නවා නොවැ?

පෙරුම් පුරල ගත්තු රතු කොරොල්ල එකේ රෙපයාර් ටික යාන්තමට ඉවර කරගත්තු ගමන් වගේ කතන්දර හාමිනේ රෝස බබෙක් ගෙදර ගෙනල්ල මැටනිටි නිවාඩු පිට හිටිය කාලේ, හාමිනේව පඩි ගන්න වැඩපොළට එක්කගෙන යන වෙලාවක ස්පීඩ් කළාය කියල පොලිසියෙන් මට දුන්නු දඩ කොලේ වෙලාවට ගෙවන්න මට අතපසු වුණු නිසා මට නඩුවක් වැටුණා.

නඩු දවසේ උසාවියට ගිය වෙලේ මා වෙනුවෙන් පෙනී ඉඳල මගේ දඩේ ගාන අඩු කරල දෙන්න පොරකාපු ලෝයර්කාරයින්ගෙන් බේරිලා ඔන්න යාන්තං ඇතුළෙන් ගිහින් වාඩි වුණාය කියමුකෝ!

මගෙ නඩුව අහනවය කියල තිබුනේ උදේ නමේටයි. බුදු අම්මෝ එතන හිටිය සෙනග.

මං ලඟින් හිටපු එක පොරක් එක්ක කතාකරල බැලින්නං, පොරගේ නඩුවත් තියෙන්නේ උදේ නමයටලු. පොරට අනිත් පැත්තෙ හිටිය පොරටත් උදේ නමයටයි නඩුව. එතකොට තමයි මට තේරුණේ වැඩේ.

මේ දෙතුන් සිය දෙනාටම එන්න කියල තියෙන්නේ උදේ නමයට. කොහොමද අපේ වෙලාවට වැඩ කිරීමේ ක්‍රමයේ හොඳකම? නඩු ද අවනඩු ද?

මට පේනවා අර කළු කෝට් දාගත්තු පොරවල් ටික තාමත් ගේට්ටුව ලඟ කැරකෙනව නිකං නිලමැස්සො ටිකක් වගේ නඩු හොයන්න.

වහලේ උළු ගණං කර කර ඔහොම ටික වෙලාවක් ගෙවා ගත්තට පස්සේ ඔන්න එක පාරටම අර ලෝයර් ලා ටික උසාවිය ඇතුළට කඩා ගෙන වැටුණා.

බැලින්නං නඩුකාරය එනව නඩු අහන්න.

ටිකක් වෙලා යන කොට මට තේරුණා වැඩේ.

මෙන්න මෙහෙමයි වෙන්නේ.

ඔය ස්පීඩ් කළා වගේ පොඩි පොඩි කේස් වලදී, තෝල්කයා නම කෑ ගහල නම කියල නඩුව පටන්ගන්නවා.

එතකොටම කවුරු හරි ලෝයර් කෙනෙක් නැගිටලා කියනවා: "අ විල් ඇපියර් ෆෝ හිම් යුවර් ඔනර්!" කියලා.

නඩුකාරයා කියන දේවල් නං මෙලෝ දෙයක් ඇහෙන්නේ නෑ. හොඳ වෙලාවට ලවුඩිස්පීකරේ වගේ තෝල්කයෙක් දාලා තියෙන්නේ.

නඩුකාරයා: මොනවද කියනවා.
තෝල්කය කැගහනවා: "අහවල් දවසේ, අහවල් වාහනයෙන් අහවල් එක කරපු එකට වරදකරුද? නිවරදකරුද?"
ලෝයර්: "වී ප්ලීඩ් ගිල්ටි යුවර් ඔනර්."
නඩුකාරයා: මොකක්ද මන්දා හිමින් කියනවා.
තෝල්කයා: "රුපියක් දාහක් දඩ!"
ලෝයර්: "තෑන්ක් යු, යුවර් ඔනර්."

ලෝයර්කාරයා තමන්ගාව තියෙන කොලේ ටික් එකක් දාගන්නව. පස්සේ ලෝයර් ගාස්තුව එකතු කරන්න වෙන්න ඇති. ඇයි ඉතින් උසාවියේ විත්තිකාරයා වෙනුවෙන් පෙනී ඉඳල මහා බරපතල රාජකාරියක් කළා නොවැ!

ඔයිට වඩා වෙනස් නඩුවක් තිබුණොත්, ඒ කියන්නේ තුවාලයක්, මරණයක් වගේ වෙච්ච කේස් එකක්, ඒ හැම නඩුවක්ම වෙන දවසකට කල් දානව.

ඒ කියන්නේ එදාටත් උදේ නමේට ඇවිල්ල වාත වෙවී හිටපල්ලා කියන එකයි!

දැන් ඔන්න උදේ එකොළහ විතරත් වුනා. නඩුවෙන් නඩුවට, නම් කතා කරනවා, ලෝයර් ලා නැගිටිනවා, එක්කෝ වැරදිකරු කියලා කියලා දඩ ඉල්ලං කනවා නැත්තං නඩුව කල්දානවා.

හැබැයි මට හොඳට පෙණුනු දෙයක් තමයි හැම නඩුවකටම ලෝයර් ලා පෙනී ඉන්න බව. ගේට්ටුව ලඟ කාක්කෝ වගේ කැරකී, කැරකී හිටපු කොලු ගැට ලෝයර් ලා නං විත්තිකාරයින් වෙනුවෙන් එච්චර ඉදිරිපත් වෙන බවක් පෙනුනේ නෑ. නඩු වලින් අති බහුතරයකට පෙනී හිටියේ එකම නාකි ලෝයර් පප්පෙක්.

කොලු ගැට ලෝයර් ලා ගොන්නම, මේ පප්ප ගේ සහායට ඩැනී ලා වගෙයි මට පෙනුනේ.

ඔන්න ඔය වෙලාවේ තමයි අපේ නඩුකාරයා ට තේ බරක් හැදුනේ. උන්නැහේ කුටියට සැපත් වුණු අතරේ මං අතපය හිරි ඇරගන්න කියල පොඩ්ඩක් නැගිට්ටා.

තරමක බඩගින්නක් ආවත් මේ කියන කාලේ නං මෙතන කන්න බොන්න විදියක් තිබුනේ නෑ.

පොඩ්ඩක් දොරෙන් එළියට හොට දාලා ආපහු හැරෙන කොටම මාව ආයෙ වටකර ගත්තෙ නැතෑ කපුටු රැල!

මේ පාර ඒ ගොල්ලන් ගේ බයිලා එක පොඩ්ඩක් බිය ගෙන දෙන එකක්. ඒ මදිවට මං පොඩි ලෝ පොයින්ට් එකකුත් අල්ලා ගත්තා!

කාර් කතන්දර මෙගා සීරීස් එකේ ඊළඟ "ජන-අප්‍රිය" කොටසින් ඒ දේවල් කියවමු.

කතන්දරකාරයා ගේ "අයි නෝ ද ලෝ"

-කතන්දරකාරයා

ප/ලි:
මේ කොටස කියවලා මගේ ලෝයර් බෑයා සහ ලෝයර් නෑනා අද හවස් වෙන කොට අපහාස නඩුවකට එන්තරවාසියක් එවයිද මන්දා.

එහෙම වුණොත් මගේ ලෝයර් මාමා ව තමයි අල්ලන්න වෙන්නේ!

ප/ප/ලි:
කාර් මෙගා කතන්දරේ කලින් කොටසේ ප/ලි යේ මං කියපු මිණිවන් පී තිලකරත්න ලියූ තවත් නවකතාවක් තමයි "තෘෂ්ණාභරණ".
ඒ ගැන මෙතනින් කියවන්න.
http://www.silumina.lk/img/print.asp?fn=ar10100311

(image: http://www.eatstudent.co.uk/terms.aspx)

35 comments:

  1. ගොඩගේ සමාගමට යන්ඩම වෙනවා දැන් මේ තිලකරත්න මහත්තය හින්ද, වෙබ් සයිට් එකකුත් ඇති මගෙ හිතේ, පොඩ්ඩක් හොයල බලන්න ඕනෙ.

    කාර් කතාව දැන් මුවන්පැලැස්ස වගේ, "ඩෝන්" ගාල සද්දයක් දාල තමා නවත්තන්නෙ නේද?

    ReplyDelete
  2. මේ මෙගා එකනම් නියමම මෙගා එකක්! කතාවේ හොඳම හරියෙදී.....මතු සම්බන්ධයි!
    අන්න එහෙම තමයි හොඳම මෙගා :D

    ReplyDelete
  3. පටිට ‍විදියට කසූ කොමාව දැම්මේ කතාවට...ප්‍රේක්ෂකයාගේ කුතුහලය උපරිමේට උස්සලා පහුවදට වරෙන් කියලා කිව්වා...හික්ස්....
    ‍අප්පේ ඔය නඩු ඇහිල්ල නම් ම‍හ ඇණයක්...ගානක් මිට මොලවලා වගේ ශේප්‍ වෙන්න ට්‍රයි කරේ නැද්ද....

    ReplyDelete
  4. මේ නඩුව අහන්න ආයෙත් දවස් ගානක් වාත වෙවී හිටපංකො. :D

    ReplyDelete
  5. මිණිවන් පී. තිලකරත්න මහත්මයගෙ පොත් වලින් "තෘෂ්ණාබරණ" විතරය් ගොඩගේ වෙබ් සයිට් එකේ පෙන්නන්නෙ. ක.ශු. හෝ වෙන දන්නා කෙනෙක් කියනවද වෙන ට්‍රය් කොරල බලන්න ප්‍රකාශකයෝ?

    ReplyDelete
  6. මේකත් ඉඩම් නඩුවක් වගේ දිගට ඇදෙන වද. උසාවියේ ඇතුලට ගිහින් නැති එකේ ගිහින් ආපු විරයෙක්ගෙන් මේ වගේ අහන්න ලැබෙන එකත් මදැයි

    ReplyDelete
  7. මේ ලෝයර් නෑනා TG එහෙම නෙමේ නේද?...D

    ReplyDelete
  8. අහවල් දවසේ, අහවල් ip එකෙන් ලොග් වෙලා අහවල් එක කියෙව්වද? නැද්ද?

    ** - "අයි රෙඩ් ඉට් යුවර් ඕනර්."

    නඩුකතන්දරකාරයා මොකක්ද මන්දා හිමින් කියනව.

    තෝල්කය - "කතාවෙ ඉතුරුටික අහන්න පස්සෙ දවසක වර!"

    ** - "තෑන්ක් යු, යුවර් ඔනර්."

    ReplyDelete
  9. පබා එකෙත් මුල විනාඩ් පහ ඉස්සර දවසෙ කොටසට. ඊට පස්සෙ ඇඩ්. මෙන්න කතාව පටන් ගන්න කොටම වෙලාව ඉවරයි.ඒ වුනාට ඉතින් බැන බැන බලනවා..

    මේකත් ඒ වගේ තමයි.

    ReplyDelete
  10. ලකී කියන්නෙ පට්ටපල් ඇත්ත! හැබැයි අද කතාවෙන් මම අලුත් වචනයක් ඉගෙන ගත්තා.

    ඒ තමයි තේ බර! එදා හොස්පිටිතාලේ වගේ මේකත් අලුත්

    ReplyDelete
  11. හැබෑවටම මෙහෙම රසට ලියන්න ඉගෙන ගත්තේ කොයින්ද..අයියා.
    මෙගා උනත් ආසාවෙන් කියවනවා.

    ReplyDelete
  12. ඇයි එහෙම කියන්නේ? කාරෙක නැත්නම් දවස් ගානක් උදේ නමයට බස් වල හිරවෙලා ගිහින් මොන දුකක්ද ඔයාට විඳින්න වෙන්නේ. අනික අර ටයි පොල්ල ද මොකද්ද එකත් දා ගෙන බස් වල යන්න බැහැනේ. උසාවි යන්නත් උදව් කලේ ඔය රෝද හතර බව අමතක නොකරන්න.

    අනේ හැබැයි පාරේ ගහන සරලම දඩය වන ස්පීඩ් දඩය [එතනදීම ඉවරයක්‌ කර ගන්න තිබ්බ එකේ] මෙච්චර දුර අරන් යාම ගැන නම් "මට" හරි ලැජ්ජයි.

    ReplyDelete
  13. ඉඳා කාලා වරෙන්...
    ඉතිරි කොටස ළබන සතියේ....

    කාලා වරෙන් කිව්වේ ජරාව නෙවෙයි හොඳේ....

    ReplyDelete
  14. බලමු ලෝයර්ලා එකතු වෙලා කතන්දරගේ දත ගලවපු හැටි ..මොකද්ද අප්පා ලෝයර්ලා කියපු ඔය තරම් බය හිතෙන බියකරු කතාව .

    මම මීට කලින් හිතාගෙන හිටියේ ලෝයර් කෙනෙක් නැතුව උසාවියට ඉදිරිපත් වෙන්න බෑ කියලයි .!

    ReplyDelete
  15. නියම මෙගාවක්. මෙගාවක දවස තිස්සෙම කියල තියෙන්නේ නොර්මල් කතාවකනම් විනාඩියක දෙයක්.

    "ස්පීඩ් දඩේ, නොගේවපු එකට වැටුන නඩුවට, අද දවසෙම මම චා උනානේ" කියල එක පේලියෙන් දාන්න තිබුන දේ, පොස්ට් එකකට දිග ඇරලා දාල.

    මෙගාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙගාවක් වගේ යනවා.. ඔහොම යන් අයියන්ඩි... කොර කොර...

    ReplyDelete
  16. මට පෞද්ගලිකව තවම ලංකාවේ උසාවියකට යන්න බැරි උනත් (එක දවසක් ගියා ඒත් මගේ කලිසමේ දිග පළල හොයලා මාව ඇතුලට ගත්තේ නෑ. ඒකත් හොඳයි නැත්නම් මටත් වෙන්නේ කතන්දර අයියට වෙච්ච දේම තමයි. )මේ ලෝයර්ස්ලාගේ වැඩ ගැන නම් තියෙන්නේ අපමණ කණගාටුවක්.
    ඇත්තෙන්ම ඔය කළු කාක්කෝ නොවන එකම එක මනුස්සයෙක් ලංකාවේ ඉන්නවා කියලා මට හිතෙන්නේ නෑ වැඩක් කරගන්න ගියාම....

    ReplyDelete
  17. නඩු කල්දානව වගේ ක.සූත් කථා කල් දාන්වනෙව.

    ReplyDelete
  18. @ Observer
    කතුතුමා මැරිලාත් දැන් ටිකක් කල්. ගොඩගේ සාප්පුවේ නම් පොත් ටිකක් තියෙනවා.

    ReplyDelete
  19. @ Observer
    @ පූසා
    මෙගා කියන්නේ, කොහෙමටත් මං සැබෑලෝකයේත්, සැබැවටම ටෙලිනාට්‍යකාරයෙක් ය කියල තමයි සමහරු හිතාගෙන ඉන්නේ.

    ReplyDelete
  20. @ මකුළුවා
    ෂිහ්, මගේ ඔය හොර බොරු නෑනේ.
    අවංකවම කවදාකවත් පගාවක් දීලාවත් අරගෙනවත් නෑ.

    ReplyDelete
  21. @ Praසන්ன
    මෙගා එකේ ජොලිය ඒකයි.
    ඉතිං ඊට පස්සේ....!!!

    ReplyDelete
  22. @ Bindi
    මේ උසාවි කේස් එක අවසාන වෙන්නේ නොසිතූ විදියකටයි. හෙට බලන්න පොඩි ඉඟියක් එනවා.

    ReplyDelete
  23. @ Podi Kumarihami
    අනේ නෑ, ලෝයර් කෙනෙක් කියලා මං දැනගත්තෙත් පොඩිකුමී ගේ බ්ලොග් එකෙන්.
    මං දැනං හිටියේ එයා "සහායට ඩැනී" කෙනෙක් විදියටයි.

    ReplyDelete
  24. @ කිඩෝ
    අන්න මේ ළමයට තේරුණා කතන්දරේ සෙට් වෙන විදිය!

    ReplyDelete
  25. @ Luckey
    සිම්පල් ලකී. රන් දෙපැය එපා නං දාන්න කෝ අයිටීඑන් එකට!

    ReplyDelete
  26. @ බුද්ධි
    බුද්ධිවන්තයෝ කුණු ගොඩෙන් වුවද මිණි මතු කර ගනිති.
    පෙර කල එක් මානවකයෙක් මී කුණකින් සිටුවරයෙක් වූවා සේ ය.

    ReplyDelete
  27. @ නිල් අහස
    ඇයි දන්නේ නැද්ද? සමහරු හිතන්නේ මට ටෙලිනාට්‍ය වලට සම්මානයකුත් ලැබුණාය කියලනේ!

    ReplyDelete
  28. @ සුජීව,
    අනේ මලේ උඹ නං අර කැන්ගරු රටෙන් ගිය එකමයි හොඳ. එහේම ගල් වුණා නං මෙලහකට ලොකප් එකේ.

    ReplyDelete
  29. @ මාතලන්
    අපෝ ලබන සතියේ වෙනකං ඉන්නේ ඇයි?
    මෙගා කියන්නේ හෙට එනවා.

    ReplyDelete
  30. @ හිස් අහස
    ලෝයර්ස් ලා ඕනෑ ලෝ නොදන්න අයටයි.
    මං කොහොමටත් අයි නෝ ද ලෝ නේ පුතා!

    ReplyDelete
  31. @ කොළුවා
    ඔය කියල තියෙන පේලිය මං දානවා, ඒ මෙගා එකේ ඊලගේ කොටසේ මුලට.
    හෙට බලන්න.

    ReplyDelete
  32. @ රංගි
    මෙහෙමයි, හොඳ මිනිස්සු ඉන්නවා. ඒ ගොල්ලෝ යටපත් වෙනවා. යටපත් කරනවා.

    ඇඳුම ගනනං මට අවුලක් වුනේ නෑ. මං ටයි පොල්ලකුත් කරේ බැඳගෙන නේ ගියේ.

    ReplyDelete
  33. @ නවම්
    නඩුත් මගේ බඩුත් මගේ!
    හෙහ්, හෙහ්!

    ReplyDelete
  34. මම කියවන්න අරං තියෙන්නෙ අග ඉඳන් මුලටනේ .......

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.