
මං
මුදළාලි ගේ මෝඩ පුතුට සල්ලිවලට උපාධියක් කියන අපේ කාලේ කැම්පස් කතාව ලිව්වේ මහා ලොකු පොලිටික්ස් කතා කරන්න නෙමේ වුනත්, කතන්දරේ බලපු අය විවිධ මත පලකරන්න පටන් ගත්තු නිසා මේ ලිපිය ලියන්න හිතිලා පටන් ගත්තා.
මේකේ මුල් කොටස
ප්‍රීති සහ සැලසුම්කිරීම විදියට පළ කළත් පස්සේ ඉතුරු හරිය විවිධ හේතු මත කල් ගිහින් අන්තිමේදී අමතක වෙලාම ගියා.
පුද්ගලික විශ්ව විද්‍යාලවලට විරුද්ධ සරසවි උද්ඝෝෂණය ගැන
රත්ගමයා ලියපු විස්තරය සහ
බ්ලොග් ගඩොල් එකේ ගිය මතය ගැන අද කෙරීගෙන යන විවාදයට කොනකින් සම්බන්ධ වෙච්ච හින්දයි මගේ අත්දැකීම් අනුව අද තියෙන ප්‍රශ්ණය ගැන මගේ විශ්ලේෂණය සහ විසඳුම ඉදිරිපත් කෙරෙන මේ ලිපිය හමස් පෙට්ටියෙන් අරගෙන මේ විදියට සංස්කරණය කරලා දාන්න හිතුනේ!
මෙතන මගේ අත්දැකීම් කියන්නේ
රටවල් තුනක විශ්ව විද්‍යාල හයකින් ශිෂ්‍යයෙක් විදියට ලබපු අත්දැකීම් විතරක් නෙමේ,
රටවල් දෙකක විශ්ව විද්‍යාල අටක දේශකයෙක් විදියට ලබපු අත්දැකීම් ගොන්නත් ඒකට ඇතුලත්. දේශණාගාරයේත්, කම්පියුටර් ලැබ් එකේත් ශිෂ්‍ය, දේශක දෙපැත්තේදීම ලැබුණු මගේ අත්දැකීම්
අවුරුදු විස්සකට වඩා වැඩි බවත් කියන්න ඕනෑ.
මෙන්න දැන් මගේ ශත දෙකේ මතය.
මොකක්ද මෙතන කේස් එක?ලංකාවේ උසස් අධ්‍යාපනයේ ප්‍රශ්ණයක් තියෙනවා. ඒක තමයි උසස් පෙල සමත් වෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලබා ගන්න ඕනෑකම තියෙන හැමෝටම විශ්ව විද්‍යාලවල ඉඩ නැති වීම.
ඒකට හේතුව මොකක්ද?හේතුව තමයි විශ්ව විද්‍යාල සඳහා රජයෙන් දෙන ප්‍රතිපාදන උසස් පෙල පාස් හැමෝටම විශ්ව විද්‍යාලවල නොමිලේ උගන්වන පහසුකම් සපයන්න ප්‍රමාණවත් නැති වීම
ඇයි ඉතිං ආණ්ඩුව එහෙම නොකරන්නේ? වෙන අපේම ආණ්ඩුවක් ගෙනාවොත් වැඩේ ෂේප් නේද?ආණ්ඩුවලට සල්ලිවලින් කරන්න වෙනත් වැඩ ඇති පදං තියෙනවා හලෝ. අනික
මුං ගිහින් අරුං ආවත් ඕවායේ කිසිම වෙනසක් වෙන්නේ නෑ.
ලෝකේ අනිත් රටවල වගේ පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්මම වැඩේ ෂේප් වෙයි නේද?ලෝකේ ඔය කියන තරමට පෞද්ගලික ව්‍යාපාර විදියට කරගෙන යන විශ්ව විද්‍යාල සංඛ්‍යාවක් නෑ මං දන්න තරමට නං.
එංගලන්තය, ඕස්ටේර්ලියාව වගේ පිටරටකට ගිහින් පුද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න කෙනෙක් ඉන්නව නං හොයල දෙන්න මට නිකං බේතකට වගේ.
ශතවර්ෂ හතක් අටක් පරණ විශ්ව විද්‍යාල තියෙන මුළු බ්‍රිතාන්‍යටම තියෙන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල දෙකයි. බකින්හැම් සහ බීපීපී. මුළු ඕස්ටේර්ලියාවේම තියෙන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල දෙකයි. බොන්ඩ් සහ නොට්‍රඩාම්. ඒවා කවුරුත් අහල පුරුදු නම් නෙමේ!
ඕස්ටේර්ලියාවට, එංගලන්තයට යන අපේ රටේ කොල්ලො කෙල්ලෝ හැමෝම වගේ ඉගෙන ගන්නේ රජයේ විශ්ව විද්‍යාලවලයි!
මං වැරදි වෙන්න පුළුවනි, නමුත් ඇමරිකා එක්සත් ජනපදය වගේ රටවල්වලත් තියෙන පුද්ගලික විශ්ව විද්‍යාල මහා දානපතින්ගේ අරමුදල්වලින් ඇරඹුණු ඒවා මිසක මේ ටියුෂන් මුදළාලි ලා සල්ලි දාලා පටන් ගත්තඵ ඒවා නොවෙයි!
සල්ලි කෝටි ගණං ආයෝජනය කරලා, ඒකෙන් වාර්ෂික ප්‍රතිලාභ ගන්න අරමුණෙන් විශ්ව විද්‍යාල අරඹනවාට වඩා වෙන කොච්චර හොඳ බිස්නස් තියෙනවාද?
පුද්ගලික සමාගම් ලෙස අරඹන විශ්ව විද්‍යාල ලංකාවේ සැබෑ ප්‍රශ්ණයට සෑබෑ විසඳුම නොවෙන්නේ අන්න ඒ නිසයි.
එහෙනං සෑබෑ ප්‍රශ්ණයට සෑබෑ විසඳුම මොකක්ද?ඒකට එන්න කලින් මේක කියන්නම්. ලංකාවේ අපි හුඟක් වෙලාවට කරන වැඩක් තමයි ප්‍රශ්ණය වැරදි විදියට තේරුම් අරගෙන වැරදි විසඳුමක් ක්‍රියාත්මක කිරීම.
උදාහරණයක් විදියට ඉංගිරිසි දැනුම අඩු එකට දුන්නු විසඳුම ඉංගිරිසි විෂයය ඉගැන්වීම ක්‍රමවත් කරන එක නෙමේ මුළු සබ්බ සකලමනා විෂයයන්ම ඉංගිරිසියෙන් උගන්වන්න පටන් ගත්තු එකයි. ඉංගිරිසි විෂයය උග්නවන්න අවශ්‍ය ප්‍රමාණයට ගුරුවරුන් නැති රටේ, සියළුවම විෂයයන් ඉංගිරිසියෙන් උගන්වන්න අය ඉන්නවද කියල බලන්නෙත් නැතුව තමයි වැඩේ ඇරබුවේ!
ලංකාවේ විශ්ව විද්‍යාල ක්‍ෂේත්‍රයට අද අවශ්‍ය දැනට වඩා විශාල වශයෙන් මූල්‍ය ප්‍රතිපාදන. ඒකට ආණ්ඩුවේ සල්ලි මීට වඩා නැති නිසා, සැබෑ විසඳුම පෞද්ගලික ව්‍යවසායකත්වය සහ පෞද්ගලික විශ්ව විද්‍යාල නොවෙයි. අවශ්‍ය පෞද්ගලික ධනය උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට යොදා ගැනීමයි.
කා ගාවද ඒ පෞද්ගලික ධනය තියෙන්නේ. කොහොමද ඒවා රජයේ විශ්ව විද්‍යාලවලට යොදාගන්නේ.ඒ පෞද්ගලික ධනය තියෙන්නේ විශ්ව විද්‍යාලවලින් නොමිලේ උපාධි අරගෙන දැන් රැකියා කරන අය ලඟයි. ඒ මුදල් ලබාගන්න නම් විශ්ව විද්‍යාලවල පාඨමාලා සඳහා සිසුන් බඳවා ගන්න ඕනෑ, පාඨමාලාව සඳහා යන වියදමෙන් කොටසක් ඔවුනුත් පසුකාලෙක (ඒ කියන්නේ තමන්ගේ ආදායම යම් මට්ටමකට පත්වුණාට පස්සේ) රජයට ගෙවන පදනම මතයි.
උදාහරණයකින් පැහැදිලි කළොත්?හිතන්න දැන් ක්‍රමය යටතේ ආණ්ඩුවට පුළුවන් වසරකට වෛද්‍ය සිසුන් 1,000 ක් සඳහා ප්‍රතිපාදන සපයන්න විතරයි කියලා. රජයේ මහජන සෞඛ්‍යය ප්‍රතිපත්තිය මත ජනගනණයෙන් සෑම දහ දාහකටම එක දොස්තර කෙනෙක් ඕනෑය කියලා හිතන්න. ඒ ටාර්ගට් එක තව අවුරුදු පහකින් සම්පුර්ණ කරගන්න නම් වසරකට ගන්න වෛද්‍ය සිසුන් ගාන 1,500 ක් කරන්න ඕනෑ. ඒ කියන්නේ රජයට අවශ්‍යයි දැනට වඩා 50%ක අමතර මුදලක්. මේ මුදල වෛද්‍ය උපාධිය සඳහා බඳවා ගන්න 1,500 දෙනා උපාධිය අරගෙන ජොබ්කරන කාලේ ආපහු ගෙව්වා නම් වැඩේ ෂේප්.
උසස් අධ්‍යාපන සම්මාදම් ක්‍රමය කියලා හැඳින්වෙන මේ ආකාරයේ ක්‍රමයක් සාර්ථකව භාවිතාවෙන රජයේ විශ්ව විද්‍යාල පද්ධතියක් ගැන විස්තර මෙතනින් කියවන්න.
http://en.wikipedia.org/wiki/HECS#HECSමේ ක්‍රමයේ තියෙන හොඳම වාසිය මොකක්ද?හොඳම වාසිය තමයි රට ජාතිය වෙනුවෙන් පණ වුනත් දෙන්න බලාගෙන නිෂ්මි ලා, බාලේ ලා, වෙනුර ලා ගිය පාරේ යන්න බලන්න ඉන්න අයට වුනත් මේකට එකඟ වෙන්න පුළුවන් වීම.
ජීවිතේ කැපකරන්න ඉන්න අයට ජොබ් එකක් කරන ගමන් තමන්ට උගන්වන්න වැයවුණු මුදලින් තුනෙන් එකක් විතර ආපහු ගෙවන එක මහ කජ්ජක්ද?
සල්ලි ගෙවල ඉගෙන හරි ගන්න බලන් ඉන්න අයට නං මේකේ කිසි අවුලක් තියෙන්න විදියක් නෑ.
පුද්ගලික විශ්ව විද්‍යාල නිසා මුදළාලි ගේ මෝඩ පුතාට සල්ලිවලට උපාධියක් ගන්න පුළුවන් කියලා කෑ ගහන අයගේ සාධාරණ ප්‍රශ්ණයටත් මේකෙන් විසඳුම ලැබෙනවා
-කතන්දරකාරයා
ප/ලි:
හැබැයි තව එකක් කියන්න ඕනෑ. එක එක ක්‍ෂේත්‍රවල උපාධිධාරියෝ රටට අවශ්‍ය ඒ ඒ ප්‍රමාණයක් විතරයි.
හැමෝම දොස්තරලා වුනොත් ඉතිං හැමදාම තමන් ලෙඩ වෙලා තමන්ටම බේත් කරගන්න වෙනවා. හැමෝම විද්‍යා උපාධිධාරියෝ වෙලත් බෑ. අනිත් ක්‍ෂේත්‍රවලත් එහෙමයි.
රටේ මධ්‍යම සැලසුම්වලින් මේ දේවල් තීරණය කරන්න ඕනෑ.
ඒ නැතිවුනත් රැකියා ක්‍ෂේත්‍රයේ ඉල්ලුම අනුව එක් එක් පාඨමාලාවලට තියෙන ඉල්ලුම තීරණය වේවි දීර්ඝකාලීනව.
ප/ප/ලි
සෙනසුරාදා සවස ලියමි.
මේ මං කියපු මුල්ම කතන්දරයකින් තොර දේශපාලන ලිපියයි. ආයේ කතන්දර පමණක් ලියන්නට හිතී ඇත!
(image: http://www.webe.com.au/hecs-help/hecs-help-paying-your-university-degree)