
අපේ ආච්චි ගේ තාත්තාගෙන් බේත් ගන්න ආපු ගමේ ගෑනු කෙනෙක් මහා භයානක භයවීමක් භය වෙච්ච හැටි ගැන මං කතන්දරයක් කිව්ව නේ දැන් ටික කාළෙකට කලින්.
අන්න ඒ වගේ මහා භයානක භයවීමක් භය වුනා මාත් මේ ලඟදි දවසක. ඒ වෙන මොකක්වත් ගැන නෙමේ මේ අපේ කතන්දර බ්ලොග් එක ගැනයි.
ගිය අවුරුද්දේ අග දී, මං පොඩි ස්ටොක් ටේකිං එකක් කරද්දී මගේ ලැප්ටොප් එකේ සම්පූර්ණයෙන් ම ලියල ඉවර කරපු කතන්දර පාලහක් තිබුණ. බාගෙට ලියල ඉවර කරපු කතන්දර පහක් තිබුණ. ලියන්න ප්ලෑන් කරපු කතන්දර ලයිස්තුවේ මාතෘකා හැටක් තිබුණ.
නමුත් පහුගිය සති අන්තයේ බලන කොට මෙන්න බොලේ ලියපු කතන්දර පහයි, අළුතින් බාගෙට ලියපු ඒව දෙකයි. ලිස්ට් එකත් එහෙමමයි. ඒ කියන්නේ මං ලියල තිබුණු කතන්දර බ්ලොග් එකේ පලකරපු වේගෙන් අළුතින් කතන්දර මා අතින් ලියවිලා නෑ.
ඒකම විතරක් නෙමේ මං මේ කියන මහා භයානක භයවීම භය වෙන්න හේතුව. කතන්දර ස්ටොක් එක වැඩි කර ගන්න කියලා වහාම ලැප්ටොප් එක ඕපන් කරල සෙට් වුණාට මට අකුරක්වත් ටයිප් කරන්න හිතුනේ ම නෑ.
පහුවදාත් ඒ සන්තෑසියමයි. අනිත්-පහුවදාත් ඒකමයි වුනේ.
ඉතිං මං මහා භයානක භයවීමක් භයවෙන එක අහන්නත් දෙයක් යැ.
දන්නවාද මොකක්ද කියල මට හැදිල තිබුණු ලෙඩේ?
මේකට කියන්නේ රයිටර්ස් බ්ලොක් කියලයි.
මේ ලෙඩේ හැදුනම එක අකුරක් ටයිප් කරන්න හිතෙන්නේ නෑ. වැඩි විස්තර මෙතනින් බලන්න කෝ.
ඉතිං ලෙඩේට බේත් විදියට මං මොකද දන්නවාද කලේ? තව දවසක් දෙකක් යන්න ඇරල, මෙන්න මේ කතන්දරේ ලියන්න පටන් ගත්තා.
දැන් මට තේරෙනවා ටික ටික ලෙඩේ හොඳ වේගෙන එනවා!
මේ අව්අස්සෙ මට මතක් වුණා තවත් මේ වගේ රයිටර්ස් බ්ලොක් එකක් තියෙන මගේ යාළුවෙක්ව. වෙනිං කවුරුත් නෙමේ, මේ කියන්නේ අර කීප්-අ-සයිඩ් කුකින් කරපු, මී-කිරිවල රස-ගුණ අඳුණන, කාන්තාවන් ගේ xxx හොයපු, රත්නායක ජෝක්ස් නිර්මාතෘවර අපේ සද්ගුණවත් රත්නායක මහත්තයා යි.
මීට අවුරුදු හතරකට, පහකට විතර කලින් දවසක මට ඇහුණා අපේ රත්නායක රේඩියෝ එකක සාකච්ඡාවක් යන වෙලාවේ හොට් නොම්බරේට කෝල් කරලා පරණ කතාවක් කියනවා. මාතෘකාව වුනේ වතුර නාස්තිය. රත්නායක කිව්වේ පොර පොඩි කාලේ ගම් පලාතේ වතුර නැතුව දුක් විඳපු හැටි ගැණයි.
මං ඔය දවස්වල පොඩි සඟරාවක් එඩිට් කළා. ඉතිං, සංස්කාරක හැටියට මං රත්නායක මහත්තයාට ආරාධනා කළා, ඒ අත්දැකීම් සඟරාවට ලියන්න නිකං තීරු ලිපියක් වගේ. මේක අවුරුද්දකට කලාප හතරක් පලකෙරෙන සඟරාවක්.
පොරත් කැමති වුණා -එක පයින් ම.
මාසෙකට විතර පස්සේ මං ඇහැව්වාම කිව්වා, කොටස් අටකින් ලියන්න සැලසුමකුත් හැදුවා කියලා.
හැබැයි ඊට අවුරුදු තුනකට පස්සේ මං සංස්කාරක රාජකාරිය වෙන කෙනෙකුට දෙනතුරුත්, ඒ තියා අද වෙනකනුත්, රත්නායකකාරයා ලියපු තීරු ලිපියක් නං නෑ.
මං හිතන්නේ රත්නායකටත් රයිටර්ස් බ්ලොක් එක හැදිලා. නිකං නෙමේ, එකම එක ලිපියක, එකම එක අකුරක් වත් ලියන්නත් කලින්!
ඒක නං මේ ආත්මේ සනීප වෙන ලෙඩක් නෙමේ වගේ පේන්නේ!!
-කතන්දරකාරයා
ප/ලි
මේ ලිපිය පල කෙරෙන අද දින වෙන විට, කතන්දර ස්ටොක් එක ඉතා සීඝ්රයෙන් වැඩි වී ඇති බව සතුටු සිතින් යුතුව මෙයින් දැනුම් දෙමි. ලියන්නට තියෙන ලයිස්තුවේ ප්රමාණය ද දැන් සීයකට ආසන්නයි!