
සමලිංගිකත්වය ගැන අන්තර්ජාලයේ සිංහලෙන් කතා බහ කෙරෙන තැන්වලදී දකින්නට ලැබෙන දේ අනුව අපට පෙනී යන්නේ අද ලංකාව පසුවන්නේ ඉතා පසුගාමී තත්වයක බවයි. අප යාන්තමින් හෝ ඉදිරියෙන් සිටින්නේ අරාබිකරයට සහ පූටින් ගේ රුසියාවට පමණි!
සමාජයක තිබිය හැකි සෑම බෙදීමකදීම සිදුවෙන්නාක් මෙන් මෙහිදී ද බහුතරය වන විෂමලිංගිකයින් ගේ හෝමෝපෝබියා කෙනෙහිලිවලට මුහුණ දීමට සුලුතරය වන සමලිංගික "ගේ" සහ "ලෙස්බියන්" ලා ට සිදුවී ඇති බව පෙනේ.
මේ හෝමෝපෝබියා තත්වයට එක් හේතුවක් නම් සමහර විෂමලිංගිකයින් තුල පැලපදියම් වී ඇති "මා මිස අන් අය වැරදිය!" යන ෂෝවිනිස්ටික් (අවිචාරාත්මක භේදවාදී) හැඟීමයි.
ඊට අමතරව නොදන්නාකමද, අණුවනකමද මේ විෂමලිංගිකයින් විසින් සමලිංගිකයින් කෙරෙහි දක්වන විරුද්ධත්වයට හේතු වෙන බව මගේ අදහසයි.
මට වැටහී ඇති පරිදි සමලිංගිකයින් පිළිබඳව හෝමෝපෝබියාවෙන් පෙළෙන විෂමලිංගිකයින් තුල ඇති වැරදි අදහස් කිහිපයක් මෙසේය. මේවා බොහෝවිට කියවෙන්නේ පිරිමි සමලිංගිකයින් සම්බන්ධයෙනි.
1. සමලිංගිකත්වය මානසික රෝගයකි.
සැබෑ මානසික රෝගය නම් එලෙස සමලිංගිකයින් රෝගීන් යැයි සිතීමයි. සංඛ්‍යාත්මකව මානසික රෝගීන්ගෙන් බහුතරය විෂමලිංගිකයෝය.
2. සමලිංගිකයෝ නපුංසකයෝය.
නපුංසකයන් යනු ලිංගිකත්වයක් නැති ලිංගික ක්‍රියාවක නොයෙදෙන්නෝය. නමුත් සමලිංගිකයන් යනු ප්‍රායෝගිකව ලිංගිකව හැසිරෙන්නෝ වෙති.
3. සමලිංගිකයෝ කෞමාරකාමය (පෙඩොප්හීලියා) ඇත්තෝය.
කෞමාරකාමයේ හැසිරීම හෙවත් බාලවයස්කරුවන් සමග ලිංගික ක්‍රියාවන් හි යෙදීම යනු සාපරාධී ක්‍රියාවකි. එලෙස හැසිරෙන්නන් ගෙන් යම් ප්‍රතිශතයක් ඒ සඳහා ගොදුරු කරගන්නේ තමන් හා සමාන ලිංගික දරුවන් විය හැක. එසේ වූ පමණින්, කෞමාරකාමයේ හැසිරීම සමලිංගිකත්වය ලෙස සැලකිය නොහැක. බාලාපරාධකාරයන් අතර බහුතරයක් විෂමලිංගිකයින් යැයි මට සිතේ.
4. සමලිංගිකයෝ බහු-ආදර සම්බන්ධතාවල (පොලිඇමරි) බැඳෙන්නෝය.
සමලිංගිකයින් අතර බහු-ආදර සම්බන්ධතා තිබෙනවා විය හැක. නමුත් ඒ සමාජයේ ම බහු-ස්ත්‍රී සේවනය මෙන්ම බහු-පුරුෂ සේවනය ද නො-අඩුවම ඇත.
මීට අමතරව සමලිංගිකත්වය පුනරුත්පත්තිය හා සම්බන්ධ කරමින් ග්‍රැන්විල් ධර්මවර්ධන වැන්නෝ ද ලිපි ලියා තිබේ.
ඉහත කරුණු අනුව වැටහෙන්නේ පෙර කී කිසිවක් සමලිංගිකයින්ට පමණක් සුවිශේෂී වූ දේ යැයි වෙන් කළ නොහැකි බවයි. ඒ සියළු දේ සමලිංගික හෝ විෂමලිංගික වෙනසකින් තොරව පොදුවේ මුළු මිනිස් සංහතියටම අදාල දේ වේ.
ලිංගිකත්වයේ ඇති වෙනසට අමතරව සමලිංගිකයින් සහ විෂමලිංගිකයින් අතර කිසිදු වෙනසක් මට නම් නොපෙනේ.
සමලිංගිකයෝ ද මනුෂ්‍යයෝ ය!
අන් අයසේ සමාජයේ ජීවත්වීමේ සමාන අයිතිය සමලිංගිකයින්ට ද හිමිය.
මානබව හිමිකම් සැමට පොදුය. ඒවා එක් එක් කණ්ඩායම්වලට වෙනස් වශයෙන් නොයෙදේ!
සමාජයක අසාධාරණයට ලක්වෙන සුළුතරයේ අයිතිවාසිකම් පිළිබඳව කතා කළ යුත්තේ ඒ සුළුතරයේ අය පමණක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. එය බහුතරයේ ප්‍රගතිශීලී අදහස් දරණ අය ගේ යුතුකමද වෙයි. වර්ණබේදවාදය, සුළු ජාතීන් ට කෙරෙන අකටයුතුකම්, කුල බේදය, ආගම් බේදය වැනි ලෝකයේ විවිධ ස්ථානවල විවිධ කාලවකවානුවල දක්නට ලැබුණු අසාධාරණකම් හමුවේ ඒවාට විරුද්ධව සටන් කලේ ඒ අසාධාරණකම්වලින් පීඩා ලැබුවන් පමණක් නොවේ.
සමලිංගිකයින් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කිරීම ප්‍රගතිශීලි අදහස් දරන, සමාජ අසාධාරණය නොඉවසන, සමානාත්මතාවය අගයන විෂමලිංගික අපේ ද වගකීමක් බව මම සිතමි.
විෂමලිංගිකයින් පෙළන හෝමෝපෝබියාව නම් මානසික තත්වය නැතිවේවා, ලංකාවේ සමලිංගික අයිතීන්ට එරෙහිව සම්පාදනය වී ඇති මානව හිමිකම් උල්ලංඝණය කෙරෙන අසාධාරණ නීති අහෝසි වී ගොස් "ගේ" සහ "ලෙස්බියන්" විවාහ නීතිගත කෙරෙන දිනයක් නුදුරේදී ම උදාවේවා යැයි මම ප්‍රාර්තනා කරමි!
-කතන්දරකාරයා
ප/ලි:
මේ අදහස් කිහිපය මෙසේ ලියා තැබීමට සිත්වූයේ ඊයේ W3Lanka අඩවියේ පලවූ "සමලිංගික විවාහය හා ද්වි ලිංගිකයන්ගේ ආශා" නම් ලිපියට ලැබී තිබුණු ප්‍රතිචාර සහ මා ඒ ලිපියට දැමූ ප්‍රතිචාරයට ඇතමුන් දක්වා තිබූ අදහස් කියවීමෙන් පසුවය.
ප/ප/ලි:
කලින් ලියූ ලිපියක්.
බැන්කි මූන් ගේ බටහිර අධිරාජ්‍යවාදී ගේ-ලෙස්බියන් සමරිසි කුමන්ත්‍රණය - කතන්දකාරයා ගේ සමාජමාමක හෙලිදරව්වකි :: Ban Ki Moon's gay-lesbian conspiracy revealed!
http://kathandara.blogspot.com/2012/02/ban-ki-moons-gay-lesbian-conspiracy.html
(image: http://www.bubblews.com/news/715868-human-rights-not-quotgayquot-rights)