
සාමාන්‍යයෙන් නම් "දරු දුක" කියන්නේ දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ගේ හදවතේ ඇති වෙන දුකයි.
දරුවන්ට ලෙසක් දුකක් හැදුණාම, දරුවන් අනතුරක වැටුණාම, දරුවන් තාවකාලිකව හෝ තමන් අතහැරලා ගියාම, එහෙමත් නැත්නම් අකාලයේ වියෝ වුණාම දෙමව්පියන් කම්පාවට පත්වෙන එක, දෙමව්පියන්ට "දරු දුක" දැනෙන එක, සාමාන්‍ය මනුශ්‍ය ස්වභාවයක්.
දරුවන් නැති අයටත් ඒ නැති නිසාම "දරු දුක" දැණෙනවා.
මට හිතෙන්නේ "දරු දුකේ" තවත් ප්‍රභේදයක් තියෙනවාය කියලයි. ඒක තමයි, දරුවන් ගේ නොකටයුතුකම් නිසා, දරුවන්ගෙන් සිදුවෙන කරදර නිසා දෙමව්යන් ඇතිවන සැබෑ දුක!
මං පෙරේදා දාපු විෂම චක්කරයේ පෝස්ටුවට අදාල දෙවෙනි කතන්දරයයි මේ.
මේ කියන වැඩිහිටි දෙමව්පියන් යුවලට පුතුන් දෙන්නෙක් හිටියා. ලොකු පුතා රජයේ එක්තරා සේවයකට බැඳී එතැනින් උසස්වීම් ලබා ඉහල තත්වයක රැකියාවක් කරන්නේ මේ වන විට. ඔහු විවාහ වී සිය පවුල සමග ජීවත්වෙන්නේ තමන් ගේ නිල නිවාසයේ යි.
පුද්ගලික අංශයේ කම්හලක රැකියාව කළ තාත්තා පැන්ෂන් අරගෙන ඒ මුදලින් තමන්ගේ ගේ තරමක් හොඳට හදා ගත්තා. මේ කාලය වෙනකොට පොඩි පුතාත් කසාද බැඳලා බිරිඳ සමග ඒ නිවසේ ම පදිංචියට ආවා.
කොහෙමටත් සිංහල සිරිත අනුව ගේ හිමිවෙන්න තිබුණේ බාල පුතාටයි. ඔවුන්ට තිබුණු එකම දේපල ඒ පරචස් දහයක පමණ ගම්බද ඉඩම් කෑල්ල නිසා ලොකු පුතාට කිසිවක් හිමිවුණේ නෑ. මං දන්න තරමින් ගෙය සහිත ඉඩම පොඩි පුතා ගේ නමට ලිව්වා ජීවිත බුත්තිය සමග.
වයසක තාත්තයි අම්මයි ගෙදර මහන මැෂිමක් තියාගෙන ඔය පමුණුවේ කර්මාන්ත පුරයට අදාල ගෘහ කර්මාන්තයක් කරන්න පටන් ගත්තා, එදා වේල හොයා ගන්න.
ටික දවසකින්ම ලේලි සහ නැන්දම්මා අතර ප්‍රශ්ණ, ආරවුල්, අඩදබර ඇතිවෙන්න පටන් ගත්තා.
මං දන්නේ නැන්දම්මා ගේ පැත්ත විතරයි. ඇය කියන විදියට තව දුරටත් එකම ගෙදර ඉන්න, එක කුස්සියේ උයාගෙන කන්න, තමන්ගේ රෙදි මහන සුළු කර්මාන්තය කරන්න බැරි තත්වයකට පත්වුණා.
පුතා ඉතිං ගන්නේ තමන්ගේ බිරිඳ ගේ පැත්ත නේ!
අම්මයි තාත්තයි කොහේ කියලා යන්නද? ඒ දෙන්නා කෙරුවේ තමන් ගේ ගෙදර පැත්තකින් එක බිත්තියකටම අල්ලලා පොඩි හට් එකක් වගේ කාමරයකුයි, කුස්සි කෑල්ලකුයි ලීයෙන් හදාගෙන ඒකට පදිංචියට යන එකයි.
මං දන්නා තරමට අන්තිමේ දී එතැනත් ඒ විදියට තමන්ගේ පාඩුවේ ඉන්න බැරි තත්වයක් ඇතිවෙන්න ඇති.
මේ අතරතුර, මේ ජෝඩුව දන්නා කියන ගෙදරක හිටිය තවත් වයසක ජෝඩුවක ස්වාමි පුරුෂයා මිය ගියා. ඒ වැන්දඹු අම්මාට එතැන් සිට තනියම ඒ ගෙදර ඉන්න බැරි නිසා, මේ කතානායක ජෝඩුවට ආරාධනාවක් ආවා එහේ ඇවිත් නතර වෙන්නය කියලා!
වැඩිහිටි අම්මා කෙසේ වෙතත් සමහර විට තාත්තාගේ වැඩි කැමැත්තක් නැති වෙන්න ඇති තමන් ගේ ඉඩමෙන් පිටවෙලා යන්න. කොහොම නමුත් අන්තිමේදී මේ දෙන්නා ඒ ලැබුණු ආරාධනාව පිළිගත්තා.
නමුත් අළුත් ගෙදර පැත්තක පදිංචියට ගිහින් තමුන් ගේ කර්මාන්තෙත් කරගෙන අවුරුද්දක්වත් ඉන්න ලැබුණේ නෑ, මේ තාත්තා මියගියා!
දැන් මොකද කරන්නේ?
කොහේද මිනිය තියන්නේ?
කොහේද මළගෙදර ගන්නේ? පාංශුකූලය දෙන්නේ? මලබත උයන්නේ?
මේ තාවකාලික නවාතැනේ ද? තමන්ගේ පැල් කොටේ ද? දැන් පොඩි පුතා අයිතිකරගෙන ඉන්න තමන්ගේ නිවසේ ද? නැතිනම් ලොකු පුතා ගේ නිල නිවාසයේ ද?
ලොකු පුතා ගේ නිල නිවසට මිනිය ගෙනියන්න බෑ. ලෑලි පැලේ මිනිය තිබ්බොත් කොහොමද පුතා ලාගේ යාළුවන්ට හෙම මරණේ කියන්නේ? මොන විලිලැජ්ජාවක්ද තමන් ගේ තාත්තා ඒ වගේ ලී පැලක ඉන්නවාය කියන එක?
අන්තිමේදී ඒ පියා ගේ අවසන් කටයුතු කෙරුණේ මේ නවාතැන් ගත් නිවසේදීයි.
පුතා ලා, ලේලි ලා, පුතාලාගේ ලොකු ලොකු යාළුවෝ ඇවිත් මිය ගිය පියාට අවසන් බුහුමන් දක්වලා සිත් සන්තොසින් ආපහු ගියා!
දරුවන් දෙමව්පියන්ට දෙන දරුදුක එලෙසයි!
මේ කතන්දර දෙකේ එක එක සුවිශේෂී කරුණු කාරණා තියෙන්න පුළුවනි, නමුත් මං මේවා ලියන එකෙන් අදහස් කෙරුවේ අපේ සමාජයේ තියෙන මේ දෙමව්පියන් අමාරුවේ වැටෙන වි’ෂම චක්කරය ගැන මගේ මතය කියන්න අඩිතාලමක් හදාගන්න එකයි.
1. දරුවන් මෙලොවට බිහි කළා නම්, ඔවුන් බලා කියා ගැනීම, කන්න, බොන්න, අඳින්න දීම, ඔවුන්ට හරි මග පෙන්නා දීම, ඉගෙනුමට ඉඩ සැලසීම දෙමව්පියන් ගේ වගකීමකි.
2. දරුවන් වැඩිහිටි වයසට පත්වූ විට තම තමන්ගේ කාරණා කටයුතු ස්වාධීනව කර ගැනීම දරුවන් ගේ මූලික වගකීමයි. එය දෙමව්පියන් ගේ මූලික යුතුකම්වලින් පරිබාහිර වේ.
3. දෙමව්පියන් ගේ වගකීම විය යුත්තේ තමන් ට තව දුරටත් ආදායමක් උපයා ගැනීමට නොහැකි අබල දුබල තත්වයට පත් වූ පසු ජීවත්වීම සඳහා සම්පාදන සපයා ගැනීමයි.
4. දෙමව්පියන් තමන් ගේ දේපල, උපයාගත් දේ, අතමන්ගේ අර්ථසාධක අරමුදල වැනි දේ දරුවන්ට බෙදා දීම තමන් ජීවත්වන කාලය අතරතුර කිසිසේත් ම නොකළ යුතුය.
5. ඒ වෙනුවට ඔවුන් කළ යුත්තේ තමන් ගේ දේපල තමන් ගේ මරණයෙන් පසු කාට කොයි ලෙස හිමිවිය යුතුද යන්න ගැන අවසන් කැමති පත්‍රයක් ලියා තැබීමයි.
6. තමන්ගේ දේපල, ධනය තම දරුවන්ට දී, පසුව ඔවුන්ගෙන් තමන්ට සැලකිලි බලාපොරොත්තු වී, ඒ අපේක්‍ෂා කඩවී විඳින "දරු දුක" තරම් වෙනත් පජාති දුකක් මෙලොව නැතිවා විය යුතුය.
-කතන්දරකාරයා
ප/ලි:
පසුගිය කතන්දරට අදාලව අදහස් දැක්වූ සැමටත් මේ කතන්දරය කියවන, අදහස් දක්වන ඔබ සැමටත් ඉතා ස්තුතියි.
(image: http://gossiplankalive.blogspot.com.au/2013/12/ajasaththa-sinhala-film.html)