Tuesday 27 May 2014

බුද්ධාගමේ අයිතිකාරයින්ට ම කියාපු හොඳ වටිනා බණ කතාවක් - An ant and a honey drop


පෙරේදා මං දාපු "පන්සිල් පදයක් ඩිංගිත්තක් වෙනස් කරමුද?" කියන කතන්දරේ ලියන වෙලාවේ සහ ඒකට ලැබුණු විවිධ ප්‍රතිචාරවලට පිළිතුරු ලියන කොට මට මතක් වුණා පොඩි කාලේ බුද්ධාගම ඉගෙන ගත්තු හැටි ගැන.

බුද්ධාගම විෂයක් විදියට අපි මුලින්ම ඉගෙන ගන්න පටන් ගත්තේ තුනේ පන්තියේ දී යි. අපේ පන්තියේ සිටි කතෝලික සිසුවාටත් ඒ හැර වෙනත් විකල්ප විෂයක් තිබුණේ නෑ.

හතේ පන්තියේ දී විතර තමයි මට අර මිගදායේ කේස් එක වුණේ.

ඒ වගේ බුද්ධාගම ගුරුවරු අතරේ අටේ පන්තියේ බුද්ධාගම උගන්වපු ටීචර් වගේ හොඳ ගුරුවරුත් හිටියා.

ඒ ආකාරයට විෂයක් විදියට කරපු බුද්ධාගම ඉගෙනීම ජෙනරල් එඩියුකේෂන් සර්ටිෆිකේට් විභාගේදී (අර පවිත්‍රා වන්නිආරච්චි ගණිතය ගැන කිව්වා වගේ) ඩිෂ්ටින්ෂන් එකක් එක්ක පාස් වෙන කල්ම කරන්න වුණා.

ඔය අතරේ මං හතරේ පන්තියේ විතර කාලේ දී අපේ ගමේ පන්සලේ දහම් පාසලක් ඇරඹුණු දා ඉඳලා අපි ඒ ගමෙන් පිට ගමකට ගිය කාලේ වෙනකං මං ඉරිදා දහම් පාසලටත් ගියා. දිගටම දහම් පාසල් ගිය නාලන්ද පියතිලකලා නම් එතැන විභාගත් පාස් වුනා ද කොහෙද?

මගේ බුද්ධාගම දැනුම එච්චරයි!

ඒ කොහොම වුනත් මං දන්නා ටික අනුව මං දකින විදියට බුද්ධාගමේ තියෙන හොඳම කොලිටිය තමයි, ඒකේ අන්ධානුකරණයෙන් විශ්වාස කළ යුතු යැයි බල කෙරෙන කිසිම දෙයක් නොතිබීම.

බුදු හාමුදුරුවොත් කියලා තියෙන්නේ හැම දෙයක්ම ප්‍රශ්ණ කරන්න කියලායි.

නමුත් අපේ සමහර බුද්ධාගමේ අයිතිකාරයෝ ඔය කතාව දන්නේ නෑ!

ඒ කොයි වෙතත් මං මේ කියන්න යන්නේ වෙනත් දෙයක්.

මං මීට කලින් මං අහපු බණක් ගැන කතන්දරයක් කියලා තියෙනවා, ඒක තමයි හොම්බට අණින බණ ගැන කතන්දරේ.

මේ ළඟදී දවසක මං අහපු තවත් කතාවක් තමයි අර සිටුවරයා සහ බිරින්දෑවරු හතර දෙනා ගැන කතන්දරේ.

බණ අහනගෙන ඉන්න කොට සාමාන්‍යයෙන් ඔය වගේ හොඳ හොඳ කතා ඇහෙනවා.

දැන් වසර කීපයකට කලින් පන්සලට දානයක් දෙන්න ගිය වෙලේ ඇසුණු බණක තිබුණු, බුද්ධාගම ගැන ඉතාම හොඳ උදාහරණයක් තමයි මෙන්න මේක. මං මෙතුවක් කාළෙකට අහපු හොඳම උදාහරණය කියලා කියන්න පුළුවනි.

අපේ හාමුදුරුවෝ කිව්වේ බුදු දහම මී පැණි බින්දුවක් වගේ කියලයි.

දන්නවානේ මී පැණි බින්දුවක් පැතලි තලයකට දැම්මාම මීපැණීවල දුස්ස්‍රාවීතාව වැඩි නිසාත්, පෘෂ්ඨික ආතතිය නිසාත්, ඒක තවදුරටත් වටකුරුව තරමක් ගෝලාකාරව පවතිනවා.

දැන් ඔහේලා අපි වගේ කූඹියෙක් ඒ මී පැණී බින්දුව දිහා ඕනෑම පැත්තකින්, ඕනෑම කෝණයකින්, බැලුවාම පේන්නේ එකම දර්ශණයයි. අපි කොයි පැත්තෙන් ඇවිල්ලා මී පැණි බින්දුවෙන් ටිකක් තොළ ගාලා බැලුවාම එන්නේ එකම මී පැණි රසයයි!

මං හිතන්නේ මේ ගැන විස්තර කරන්න එක්කෝ පාලි කවියක් ණැත්නම් සංස්කෘත ස්ලෝකයක් කිව්වා හාමුදුරුවෝ. ඒක නං දැන් මට මතක හිටියේ නෑ.

ඔය උදාහරණයෙනුත් වැටහෙන විදියට මගේ අදහස නම් බුදු දහම දිහා විවිධාකාරයෙන් බලන එක, ප්‍රශ්ණ නගන එකේ කිසි අවුලක් නෑ ය කියන එකයි!

-කතන්දරකාරයා

ප/ලි:
පවිත්‍රා වන්නිආරච්චි ගේ වීඩියෝ එක මෙන්න.





(image: https://www.flickr.com/photos/mghro0r_w_mdala3/2467609291/)

43 comments:

  1. දැන් දැන් මීපැණි කියලා පෙන්වන්නේ මී පැණි නෙමෙයි!

    ReplyDelete
  2. මේක මෝර තෙල් ගුලියක්නෙ

    ReplyDelete
  3. හැම පැත්තෙන් බැලුවත් පැණි බින්දුව එක වගේ නම්.. ඇයි එක එකාට එක එක විදිහට මේක ගැන හිතෙන්නෙ. එකම විදිහට නොපෙනී ??

    ගාථාව මතක් කරන්න ට්‍රයි කළා.. :(
    මතක නැතෝ..

    ReplyDelete
    Replies
    1. එක එකාගේ දෘෂ්ටිය වෙනස් නිසා එක එකාට එක එක විදිහට පේනවා වෙන්ටැති. ඒකත් හරියට අන්ධයෝ පස්දෙනා ඇතාගේ හැටි කිව්ව වගේ තමා, ඔවුන් එක එක විදිහට කිව්වත් ඇතාගේ සත්‍ය ස්වරූපයේ වෙනසක් වෙන්නෙ නැහැනේ. බුදු දහමත් ඒ වගේ තමා, මොකා මොනවා කීවත් එහි හරය වෙනස් වෙන්නෙ නැහැ.

      හැබැයි " වර්ථමාන බුදුදහමේ අයිතිකරුවන් " එය දන්නේ නැහැ, එක්කෝ තේරුම් ගන්නෙ නැහැ

      Delete
    2. ගාථාව උඹ කියලදෙයි කියල බලං හිටිය මදැයි

      Delete
    3. දහම් පාසල කට් කරපු දවසක උගන්වපු ගාථාවක් වෙන්න ඇති හැලපේ.. සොරි හොදේ ;)

      @සදරු- වර්ථමාන අයිතිකරුවන් ගැන කතා කරල වැඩක් නැහැ !

      Delete
  4. දැන් පිරිසිඳු මී පැණි හොයාගන්න එක හරි අමාරුයි කකා.. ඔක්කෝම බාල බඩු මාර්කට් එකේ තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත මී පැණි ඒ තරම් පැණි රහ නෑ. අපි රහ බලලා තියෙන්නෙම ෆේක් මී පැණි නිසා අපි ඒක දන්නෙ නෑ.

      Delete
    2. ආ ගුතලන් ලොක්කා අද ආගම ගැන දෙන්න පොර ටෝකක් නැතෙයි. මේ මී පැණි ගැන විතරක් මොකෝ

      Delete
  5. දැනෙන්නේ එකම රසය නම්, දර්ශණය වෙනස් වුනාට කමකුත් නෑනේද? :)

    ReplyDelete
  6. මටත් හිතෙන්නෙ එකම දේ උනත් වෙනස් විදිහට පේන්නෙ අපි ඒ දිහා බලන කෝණය එකිනෙකාට වෙනස් නිසයි. අපි කලින්ම කා වද්දගත් දැඩි මතයක් දෘශ්ඨියක් එක්ක බලන නිසයි එකිනෙකාට වෙනස් විදිහට පේන්නෙ.

    ඒකත් අර අන්ධයො ටික ඇතා ගැන විස්තර ක‍රපු විදිහම තමයි.

    ReplyDelete
  7. ක්කෝ පාලි කවියක් ණැත්නම් සංස්කෘත ස්ලෝකයක් කිව්වා හාමුදුරුවෝ.///
    කාක මං දන්න තරමිං බුද්ධාගම සංස්කෘත ලියවිල නෑ. ඒ හිංද පාලි වෙන්න ඇති... ඒ කීවේ මං දන්න තරමින් බුදුදහම ලියැවුනේ මාගධී භාෂාවෙන්..
    ඒකයි එහෙම කීවෙ...
    මී පැණි...???? ඔක්කම කලවං අය්යෝ....

    ReplyDelete
  8. සහතික ඇත්ත.. ඕනම විදියකට අර්ථ කතනයක් විවාදයක් ඇති වෙන්න පුළුවන් බුදු දහම ගැන. ඒකයි වටින්නේ..

    ReplyDelete
  9. කකා තෝමස් පිකෙටි වැනි ජාත්‍යන්තරයට පොත් ලියන ආර්ථික විද්‍යා මහාචාර්යවරුන් පවා ප්‍රාග්ධනය ගැන ජනතාව මුලාකරද්දී ඉතින් ඔය අන්තවාදී අදහස් කියන ලංකාවේ ගිරවුන් ද කැමති දෙයක් කියාගත්තාවේ, ඒකත් නිදහස තමයි!!!

    ReplyDelete
  10. ඕනම කෙනෙකුට ඕනම දෙයක් ඕනම කෝණයකින් බලන්න හැකියි. ඒ ගැන විග්‍රහ කරන්න හැකියි මත වාද තියාගන්න හැකියි. ඒකේ කිසිම වරදක් නැ තමා

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත නලින් අයියා,නමුත් ඒ තමන් දරන මතවාදය හරිම එක කියලාම කියන්න බැහැ නේද..? එත් අපේ අය හුගක් වෙලාවට කරන්නෙත් එකමනේ.හරියට නිකන් බන්දුල ගොයියාගේ 2500 වගේ.

      Delete
  11. කකා මීපැණි කියල පෙන්නන්නෙ මැණික් ගලක් නේද.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නෙ. මොකද රෙද්දක් උඩට මොන පැණිය වැටුනත් රවුම් වෙලා තියෙන්නෙ නෑ :)

      Delete
    2. ඒ සෙද්ද සම හරක් වෙලා වට මෑණි කෙනෙක්ගෙ සෙද්දක් වෙන්න බැරිද....?
      නමුත් ඔසී වල මී පැණි ඝනත්වයෙන් වැඩි නිසා ද දන්නෙ නැහැ මචං :) ....

      Delete
  12. OBITUARY

    Sanjaya Senanayake, one of the pioneering Sri Lankan bloggers, died May 20 after a long time suffering from a cancer. He was also a political activist, a journalist, and an actor for at least one tele drama. He played the role of the unforgettable ‘podi hamuduruwo’ in Asoka Handagama’s post-tsunami creation ‘Negenehira veralin esena’ (The east is calling).

    Sanjaya was a raucous blogger and a serious critic of Chandrika/Ranil/Rajapaksa governments in early and mid ‘00s. He blogged in English. So it is unlikely that he is well known among the Sinhala bloggers. He could be among the first five Sri Lankan bloggers.

    Sanjaya Senanayake was the son of late Ms. Sunila Abesekera.

    ReplyDelete
    Replies
    1. කකාගේ බ්ලොග් එක වටින්නේ ගැසට් එකේ වගේ මේ පලවෙන නිවේදන නිසයි.
      ඇනොල ගොඩක් එන්නෙත් කොමෙන්ට් කියවන්න කියලනේ කියන්නේ.

      සංජය මහත්මයාට තමන් අදහන්නා වූ අගාමානු කුලව පරලොව සැපවත් වේවා

      Delete
    2. අර මිනිස්සු සිළුමිණ ගන්නෙ මංගල දැන්වීම් බලන්න, ඔබ්සවර් එක ගන්නෙ ජොබ් එකක් හොයා ගන්න කියනවනෙ.

      Delete
    3. සංජය ඔබට සුව නින්දක් පතමි!

      සංජයගේ පියා බොහෝ කාලයකට පෙර ජවිපෙ විමුක්ති ගී සහ පක්ෂයේ ප්‍රභල ක්‍රියාකාරියෙකුවූ කෙලී සේනානායකයි.

      Delete
    4. සංජය සේනානායක බ්ලොග්කරුවෙක්ද මම දන්නෙ නෑ. හැබැයි නිදහස් මධ්‍යවේදියෙක් සහ වාර්ථා වීඩියෝ වැඩසටහන් විශිෂ්ඨයෙක් බව අහලා තියෙනවා. සංජයගෙ අම්මා ප්‍රසිද්ධ මානව හිමිකම් ක්‍රියාකාරිනියක්වූ (රජයේ වෛරයට සහ දැඩි විවේචනයට ලක්වූ ) නැසීගිය සුනිලා අබේසේකරයි (මතක විධියට පිලිකාවකින්ම තමයි ). සංජය ඔබට නිවන් සුව!!

      Delete
  13. තම නැණ පමණින් සිතන්න නිදහස තියෙනවා නේ

    ReplyDelete
  14. ඕනම දෙයක් //දිහා විවිධාකාරයෙන් බලන එක, ප්‍රශ්ණ නගන එකේ කිසි අවුලක්// නෑති විය යුතුයි.
    ඒත් දෑන් බුද්ධාගමෙත් ශරියා විදිහට හිතන මිලිටන්ට්ස්ල නෙ ඉන්නෙ. එතකොට අන් දේවල් ගෑන කවර කතාද?

    ReplyDelete
  15. මතයක් තියනවනෙ කකා හොඳ මීපැණි තියෙන්නෙ වැද්දො ළඟ කියලා.. එතකොට වැද්දංගෙන් බණ අහන් එකත් අවුලක් නෑනෙ :D

    ReplyDelete
    Replies
    1. වැද්දාගේ මීයයි එකාගේ බණයි කියන්නේ දෙකක් බං

      Delete
  16. අනිවාර්යෙන්ම ප්‍රශ්න අහන්න පුළුවන් වෙන්ඩ ඕනේ. ප්‍රශ්න නොඅහා කොහොමද අපි යමක් ඉගෙන ගන්නේ?

    මම නම් දහම් පාසල් ගියෙත් නෑ. ඉස්කෝලේ ඉගෙන ගත් ටික තමයි. ඒකත් බයේ හිටියේ ඕලෙවල් වලට සී එකක් එයි කියල, මොකද අපේ පාර සිලබස් අවුලක් උන නිසා. ඇත්තම කිව්වොත් විෂයක් හැටියට නම් බුද්ධාගම පීරියඩ් එකට මම ආසම නෑ. ගාථා පාඩම් කරන්නත් කම්මැලියි. කොටින්ම මට බුද්ධාගම ලියන්න පොතක් වත් තිබුනේ නෑ :)

    හැබැයි මගේ බුද්ධාගම පෙළ පොත් කියෙව්ව අම්මා කිව්වා එයාලගේ කාලෙට වඩා අපේ පාඩම් පොත් වල ගොඩක් කරුණු ගැඹුරින් තියෙනවා කියලා.

    ReplyDelete
  17. ගාථාවෙන් කියලා දුන්නේ කොතන ඉඳන් බැලුවත් පේන්නේ එක දර්ශනයයි, කොයිපැත්තෙන් ඇවිත් රස බැලුවත් දැනෙන්නේ එකම රසයයි කියලානේ....
    එහෙම උනාට කූඹියො පැනි බිංඳුව ඇතුලට බැහැලා (නිවන් දකින්න තියෙන කෑදර කමට ) වන කරගෙනනේද දැන් තියෙන්නේ?

    ReplyDelete
  18. අර පින්තූරෙ තියෙන්නෙ පැනිද නැත්තං වෙන මොකද්ද එකක්ද?

    ReplyDelete
    Replies
    1. නෑ පැනි නෙවෙයි, උඹ ටැබුවට ගහපු වෙලාවෙ ඌට චූ ගිහින්. ඒක ඒ.

      Delete
    2. මරනව මම තඩි බළලා - රා බිව් මීයෙක් කියලා...

      Delete
    3. ඔබ නිදහස අගයන්නෙක් ද? එහෙනම්, අරයාගේ පිටුවේ මා දැමූ කියමන ඔහු කපා දැම්මා යැයි කියමින් තමන් නිදහස යන අදහස නොදන්නා බව ලොවට කෙඳිරි ගාමින් පෙන්වන්නට එපා. ඔබේ පිටුවක, ඔබේ නිවහනක ඔබ කැමති දෙයක් කියන්නටත්, ඔබ අකමැති දෙයක් ප්‍රතික්ෂේප කරන්නටත් ඔබ අයිතියක් ඇත. ඒ අයිතිය අනෙකාට ද ඇත්තේ ඔහුගේ පිටුවේ සහ ඔහුගේ නිවහනේ දී යැයි පිළිගන්න. මෝඩ තකතීරු කතා කියන්නට ඔවුන්ගේ නිවහනේ ඔවුන්ගේ පිටුවේ ඔවුනට අයිතියක් ඇතිබවට ගරු කරන්න!!!!!!

      Delete
  19. ඕන්න එහෙනං මේ සුපිංවතුං සියලුදෙනාම සාදුකාරයක් දීල මේ ගථා පාඨය අහගන්ට

    මීපැණි බෝලානං
    කූඹිච්ඡාන දස්සනං
    දේවේන භෝජනං
    රස නං ඉස්තරං

    ReplyDelete
  20. කොහේ තියෙන ගවේෂනාත්මක නිදහසක්ද?. 'තර්ක එපා පිලි ගනින්, මේක තමයි හොඳම එක'. එහෙමයි අලුත් බණවල තියෙන්නේ

    ReplyDelete
  21. පිංතුරේ තියෙන්නෙ ඔසී වල මි පැණි ඩ්‍රොප් එකක්....
    ලංකාවෙ වැද්දො ලගත් නැහැ 100% මි පැණි....

    ගොඩක් වෙලාවට ලගකදී ඉදල සිංහලන් කොටන්න බැහැ ....කෙටුවත් සමහර බ්ලොග් වලට පබ්ලිෂ් වෙන්නෙ නැහැ... කවුරු හරි හේතුව කියන්න පුලුවන්ද මෙයාල.... PL

    ReplyDelete
  22. ප්‍රශ්ණ කරන්න බැරි හැම තැනකම බොරුවක් තියෙනවානේ. ඒ නිසානේ බුද්ධාගම ප්‍රශ්ණ කරන්න කියලා සැක නැතිව එදා හිටිය උගත් හිමිවරු කිව්වේ. කොහෙද ඉතින් දැන් මුගටියෝනේ බුද්ධාගමේ අයිතිකාරයෝ වෙලා ඉන්නේ.

    පවිත්‍රාගේ බින්දුව එහා මෙහා වෙලා තියෙන්නේ ,පාත්වෙලා වඳින වෙලාවේ ඉස්සරහ හිටිය කෙනාගේ බින්දුව දැකලා.

    ReplyDelete
  23. ඒ අයිතිකාරයො කවද්ද මී පැණි රහ බැලුවෙ! පොල් පැණි, කිතුල් පැණි මිසක්ක.

    ReplyDelete
  24. කතන්දරය කියවූ, ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාටම ස්තුතියි.

    මෙහි ඇති ඡායාරූපය මී පැණි බින්දුවක එකකි. එය මා සොයා ගත් ස්ථානය කතන්දරය අවසානයේ දක්වා ඇත. මෙන්න එය නැවතත්.

    https://www.flickr.com/photos/mghro0r_w_mdala3/2467609291

    ReplyDelete
  25. බෞද්ධ දර්ශනය කියන්නෙ මැටි ගොඩක් කියලා ''අන්සතු දිනපොත'' ලියන අමිල චතුරංග නම් මහා ප්‍රාඥයා ලියලා තිබුනා..

    ReplyDelete
  26. It's from the Madhupiṇdika Sutta: http://www.accesstoinsight.org/tipitaka/mn/mn.018.than.html


    When this was said, Ven. Ananda said to the Blessed One, "Lord, it's as if a man — overcome with hunger, weakness, & thirst — were to come across a ball of honey. Wherever he were to taste it, he would experience a sweet, delectable flavor. In the same way, wherever a monk of capable awareness might investigate the meaning of this Dhamma discourse with his discernment, he would experience gratification, he would experience confidence. What is the name of this Dhamma discourse?"

    "Then, Ananda, you can remember this Dhamma discourse as the 'Ball of Honey Discourse.'"

    That is what the Blessed One said. Gratified, Ven. Ananda delighted in the Blessed One's words.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.