
තුනේ පන්තියේ දී මුහුදු වෙරළ ගැන කවියක් ලියා මිහිර පත්තරේට දැම්මා වුණට, මගේ කවි ජීවිතේ නැගලා යන්න පටන් ගත්තේ අවුරුදු දාසයේ දී විතර ඉඳලායි.
ඒ කාලේ මං ගණේමුල්ලේ ඉඳලා කෝච්චියේ මරදානට යනවා ඉස්කොලේ. හෝමෝන් වැඩිවීගෙන ආපු නිසාම ඔන්න කවි ලියවෙන්න පටන් ගත්තා.
ඒ ලියපු මුල් කවිය ගැන කතන්දරේ කලින් දවසක මං කියලා තියෙනවා.
http://kathandara.blogspot.com/2009/11/blog-post_14.html
පසු කාලෙක ඔය කවි ලිවීම ගැන මං හිතවතෙකුට ලියා යැව්වේ මෙහෙමයි.
අවුරුදු දාසයෙදි දුම්රියෙ යන කාලේ
කෙල්ලන් දුටිමි බැන්දෙමි කවි මනමාලේ
ඒ කවි ලියූ පොත් ගොඩ විතරයි රාලේ
මගෙ කවිකමට ඉතුරුව ඇත්තේ සාලේ!
ඒ දවස්වල මං පරණ පොත්වල, කටුවැඩ කොළවල තමයි කවි ලිව්වේ. උසස් පෙළට පාඩම් කරන කාලේ මං එහෙම ලියපු කවි සිය ගාණක් එකතු වුණා.
මං ඊලඟට කෙරුවේ ඒවා පොත් වශයෙන් ඇක්සයිස් පොත්වල ලිවීමයි.
පෙරවදන, පිළිගැන්වීම, පටුන යනාදී සියළුම දේ සහිතවයි ඒ පොත් සැකසුණේ. දෙවෙනි, තුන්වෙනි පොත්වලදී කතෘ ගේ වෙනත් කෘති කියලා තවත් කෑල්ලක් එකතු වුණා.
ඒ විදියට මං කවි පොත් හතරකුයි, කෙටිකතා පොත් දෙකකුයි, නවකතාවකුයි හස්තද්වාරයෙන් එළිදක්වලායි තිබුණේ විශ්ව විද්‍යාලයට යන කාලේ වෙනකොට.
එයින් එක කවි පොතකුයි, කෙටිකතා දහයක එකතුවකුයි දැන් අස්ථානගත වෙලා.
මෙන්න මා ගාව තාමත් තියෙන ඒ කවි පොත්වල නම්.
ගී පදමාලා 25 (පද්‍ය)
සය දිනක සටහන් (පද්‍ය)
වාසනා හෙවත් සැබෑවුණු සිහිනය (පද්‍ය)
ඔය කවි පොත් ලියපු එකෙන් මට එකම ප්‍රයෝජනයයි වුණේ.
මගේ කවි පොත් දැකපු අපේ පුංචි අම්මා ඒවා අරගෙන ගිහින් එයා ගේ ඔෆීසියේ ඒ දවස්වල හිටපු කවියෙකුට බලන්න දුන්නා. පොර පසු කාලෙක ජනප්‍රිය ගීත රචකයෙකුත් වුණා.
මං පේරාදෙනිය විශ්ව විද්‍යාලයට යනවාය කියා දැනගත් මේ කවියා කෙරුවේ ඒ දිනවල ඒ තිප්පොලේ ඉගෙන ගත්තු අද කාලේ නං කවිවලට වඩා ගද්‍ය රචනයේ යෙදී සිටින ශිෂයෙකුට මා ගැන හැඳින්වීමක් කිරීමයි.
ඒ හින්දා තමයි මට විශ්ව විද්‍යාලයට ගිය ගමන්ම වගේ ඉංජිනේරු පීඨ කලා කවයේ කටයුතුවලට සහභාගී වෙන්න ලැබුණේ.
කලා කවයෙන් කරපු ප්‍රධාන වැඩේ තමයි සිසුන් ගේ නිර්මාණ එළි දැක්වීම සඳහා නිර්මාණ පුවරුවක් පවත්වාගෙන යෑම. මං ඒකට කවි ලිව්වේ පේරාදෙනියට ගිය මුල් සතියේ ඉඳලාමයි. ඒ වාගේ කවි ලියන අය කීප දෙනෙක්ම ෆැකල්ටියේ හිටියා. කවි මිසක්, කෙටිකතා වගේ නිර්මාණ නම් එතැන පලවුණේ නෑ කියලයි මගේ මතකය.
ඔය උඩ ඡායාරූපයේ තියෙන්නේ ඒ එදා තිබුණු නිර්මාණ පුවරුවම තමයි.
අවුරුදු ගාණකට පස්සේ වුණත් ඔතනට ගියාම තාමත් පොඩි සොඳුරු හැඟීමක් දැනෙනවා.
ඒ කෙසේ වෙතත් මට අද තියෙන ප්‍රශ්ණ තමයි, කවියක් දෙකක් ලිව්වාට කලාකාරයෙක් වෙනවාද? කලා කවයේ කමිටු සාමාජිකයෙක් හෝ සංස්කාරක හෝ ලේකම් වුණාට කලාකරුවෙක් වෙනවාද කියන එක.
හැබැයි කතන්දරයක් දෙකක් ලියලා තියෙනවා නම් කතන්දරකාරයෙක් කියලා හඳුන්වා ගන්න පුළුවනි මට හිතෙන විදියට.
-කතන්දරකාරයා
ප/ලි:
සමහරවිට කවියක් තියා කිසිම නිර්මාණයක් නොකලත් කලාකරුවෙක් වෙන්න පුළුවන් ඇති.
මොකද කියනවා නම් අපේ කාලේ ෆැකල්ටියේ හිටි එක සීනීයර් පොරකගේ අන්වර්ථ නාමය වුණේ "නිහඩ කලාකරු" කියන එකයි.
හැබැයි පොර කවියක් ලියපු බවක් හෝ සින්දුවක් කියපු බවක් හෝ මං දැකලා නෑ.
නමුත් ඇත්තටම පොර කලාකරුවෙක් කෙසේ වෙතත් හොඳ කලා රසිකයෙක් කියලා කියන්න පුළුවනි.
මිනිහා එකතු කෙරුවේ චිත්‍රපටිවලට කේමදාසලා වගේ අය කරපු පසුබිම් සංගීතය තියෙන කැසට් වගේ සම්භාව්‍ය කලා නිර්මාණයි.