
ගිය සති අන්තයේ බණ පිංකමකට යන්න සිදුවුණා. කියපු වෙලාවට වඩා පැයක් විතර පරක්කු වෙලායි මං එතැනට ගියේ, මොකද එතකොට
පන්සිල්,
ගාථා කීම් සහ බණ වගේ දේවල් මග හැරලා "සෝෂල් ඉවෙන්ට්" එකට විතරක් සහභාගී වෙන්න පුළුවන් නිසා.
නමුත් වැඩේ ටිකක් පරක්කුවෙලා පටන් අරගෙන තිබුණු හින්දා
බණ පදයකුත් කනේ වැටුණා නොදැනුවත්වම වගේ.
ඇස් වහං හිටියත්, කට වහගෙන හිටියත්, කණ වහන්න බෑ නොවැ. ඉතිං මාත් අහගෙන හිටියා.
මෙන්න එදා
හාමුදුරුවෝ කියපු බණ කතන්දරේ.
මේ බණ කතාව කියලා තියෙන්නේ බුදු සාදු කියලා තමයි කියවුනේ. හැබැයි මට නං ඒක ෂුවර් නෑ වගේ!
බුදු සාදු ලා ගේ කාලේ ඉතිං රජවරු ගාවට ඉන්න ලොක්කෝ සිටුවරු නේ. මේ අය අද ඉන්න සිටුවරු වගේ බිස්නස් ඩීල්ස්වල අතරමැදියෝ වෙලා ගාණ කපාගෙන සල්ලි හොයපු අය නෙමෙයි, කෙලින්ම බයින් ඇන්ඩ් සෙලින්වලින් සල්ලි හොයපු අය.
අනිත් වෙනස්කම තමයි, අද සිටුවරුන්ට වගේ මේ අයටත් වයිෆ්ලා තුන් හතර දෙනෙක් හිටියාට, ඒවා කෙරිලා තියෙන්නේ අද වගේ හොර රහසේ නොවෙයි, කෙලින්ම එලිපිට.
කොටින්ම බුදු සාදුත් දැනගෙන ඉඳලා තියෙනවා මේ සීන් එක! හැබැයි මොකුත් කියලා නෑ වගේ ඒ ගැන වරදක්.
බුදු සාදු කියලා තියෙන මේ කතන්දරේ ප්‍රොටැගොනිස්ට් සිටුවරයා ට ඉඳලා තියෙනවා වයිෆ්ලාම හතර දෙනෙක්.
පොර හැබැයි මේ හතර දෙනාට සලකලා තියෙන්නේ එක හා සමානව නොවෙයි, වෙනස් ආකාරවලටයි.
එක වයිෆරේකට හොඳට සැලකුවා ලු. සැප දුන්නාලු.
දෙවෙනි වයිෆරේට එච්චරම නැති වුනත් තරමක් හොඳින් සලකලා තියෙනවා.
තුන්වෙනියට ලැබිලා තියෙන්නේ මද සැලකිලි විතරයි.
හතරවෙනි වයිෆරේට කිසිම සැලකිල්ලක් ලැබිලා නෑ!
ඔය කොයි සිටුවරයාටත් වෙනවා වගේ ඔන්න ඉතිං අපේ මෑන්ස්ගෙත් කාලේ ඉවර වෙලා මරණය අත ලඟට ආවාලු.
මරණ මංචකයේ ඉන්න ගමන් පොරට හිතුණාලු දැන් මේ යන ගමන තමන් එක්ක එකට යන්න වයිෆ් කෙනෙකුට අඬගහන්න.
ඔන්න අර හොඳට සලකපු වයිෆ්ට කතා කලා ලු.
ඒ වයිෆ් ගත් කටටම කියලා තියෙන්නේ "අනේ ඩාලිං, ඔයා යන්න මට නං බෑ!" කියලයි.
ඉතිං පොර දෙවෙනි වයිෆ්ට කතා කරලා.
"අනේ ඩාල්, මං ඔන්නං එන්නං ඔයා එක්ක මේ වත්තේ මායිම ලඟට වෙනකං විතරක්!" අර තරමක් හොඳින් සැලකුම් ලබපු වයිෆ් එහෙම කිව්වලු.
මද සැලකිලි ලබපු තුන්වෙනි වයිෆ් ගෙන් ඇහැව්වාම උන්දෑ කියලා තියෙන්නේ ඔන්නං සොහොන් පිටියට එන්නම් කියලා ලු.
දැන් ඉතිං මොකද කරන්නේ? සිටාණෝ ඇහැව්වා ලු අර තමන් කිසිම සැලකිල්ලක් නොකරපු හතරවෙනි වයිෆරේගෙන් තමන් එක්ක යන්න එනවාද කියලා.
"අයියෝ හබී, ඕකත් අහන්න දෙයක්ද? මං ඔයා එක්ක ඕනෑම තැනකට යන්න එනවා!" ඒ මනුස්සයා කිව්වාලු.
දැන් මොකක්ද අපිට මේ කතන්දරෙන් ගන්න තියෙන ආදර්ශය?
මට නං හිතුණේ, ඉන්නේ එක වයිෆරේ වුණත්, එයැයිට නොසලකා හරින එක තමයි පරලොව වෙනුවෙන් කරන්න තියෙන හොඳම වැඩේ කියලායි.
ඔහේලාට හිතෙන්නේ මොනවාද?
-කතන්දරකාරයා
ප/ලි:
බණ කතන්දරයේ ඉතිරි කොටස ලැබෙන ප්‍රතිචාර අනුව පසුව පළකරමි.
ප/ප/ලි:
ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාට ස්තුතියි.
මෙන්න එදා බණේ දී හාමුදුරුවෝ මේ කතාවේ තේරුම විග්‍රහ කරපු අන්දම.
මුල් බිරිඳ තමයි අපේ ශරීරය - කොච්චර සැප දුන්නත් අප යන කොට අප එක්ක එන්නේ නෑ.
දෙවෙනි බිරිඳ තමයි වස්තුව, ගෙවල් දොරවල්, ඉඩ කඩම්. අපි හොඳට සලකනවා නමුත් අපි යන කොට වත්තේ සීමාවෙන් එහාට අපි එක්ක එන්නේ නෑ.
තුන්වෙනි බිරිඳ තමයි නෑදෑ හිතවත්තු. අපෙන් තරමක් සැලකිලි ලැබුවත්, ඒ අය එන්නේ කතන්තට විතරයි.
හතරවෙනි බිරිඳ තමයි අපි කරන පින්. පින් කරන්න අපේ කිසිම සැලකිලක් නෑ. නමුත් අප පසුපස අපේ සෙවනැල්ල මෙන් එන්නේ අපි කරන පින් විතරයි.
මේ කතාවේ මූලාශ්‍රය ගැනත් මං හොයා බැලුවා. එදා බණ කියූ හාමුදුරුවෝ නම් කීවේ මේක බුදු සාදු කියපු කතාවක් කියලයි. නමුත් මට ඒක ෂුවර් නැති හින්දාත් (කොහොමටත් මේක මං අහපු කතාවක් හින්දාත්) තමයි මං මේ කතන්දරේ මාතෘකාවට ඒවං මේ සුතං කියලා දැම්මේ.
ඒ හාමුදූරුවන්ගෙන්ම අහන්න බැරිවුණත් මං වෙනත් හාමුදුරු කෙනෙකුගෙන් ඇහැව්වාම නං පිළිතුර ලැබුනේ මේක උපමා කතාවක් කියලයි.
ඊට කලින් මං අන්තර්ජාලයේ හොයා බැලුවාම මට පෙණුනේ මේ කතාව මුස්ලිම්, ක්‍රිස්තියානි සහ හින්දු ආගමික සම්බන්ධතාවයන් ඇති තැන්වල පළවී ඇති බව.
මෙතන ප්‍රතිචාරයක අඩංගු සබැඳියක් තුලින් පේනවා මේ කතාව මහායාන බුද්ධාගමේ සූත්‍රයක (ද කොහෙද) දැක්වෙන බව.
මෙන්න ඒ ඒ තැන්වලට සබැඳි.
1. බුද්ධාගමට සම්බන්ධය
http://www.sinc.sunysb.edu/Clubs/buddhism/story/fourwives.html
2. ක්‍රිස්තියානි
http://www.kerysso.org/public/page131.htm
3. හින්දු
http://sites.tufts.edu/bhaktiyoga/entry/30
4. ඉස්ලාම්
http://www.islamcan.com/islamic-stories/the-merchant-with-four-wives.shtml#.UtfYy9IW1_A
(image: http://www.chinabuddhismencyclopedia.com/en/index.php?title=Dhamma_Day_(Asalha_Puja_Day))