
මතකනේ මං ඒක පුද්ගල බ්ලොග් මැරතන් එකක් කර කර ඉඳලා, පල්ලං පොල්ල දැම්මා. ඒකට එක හේතුවක් වුනේ කතන්දර හාමිනේයි මායි නිවාස ව්‍යාපෘතියක පැටලෙන්නට යෑමයි.
පොඩි ණයක් අරං ඉඩං කැල්ලක් නං අරං දැම්මා. ගෙදර ප්ලෑන් එකත් ඇඳලා ඉවරයි මේ වෙන කොට. හරියටම ඇස්තමේන්තුව දැන ගත්තට පස්සේ ගේ හදන වැඩේටත් ලොකු ණයක් ගන්නයි ඉන්නේ.
ඔය ණය කියන දේ මං පුංචි කාලේ, යාන්තම් බහ තෝරන කාලේ, ඉඳලාම දන්න දෙයක්. ඒ මං උපන්න ණයකාරයෙක් වීම නිසාවත්, මගේ දෙමව්පියෝ ඒ දවස්වල ණය අරගත්තු නිසාවත් නම් නෙමේ. වෙන හේතුවක් හින්දයි.
ඇත්තටම ඔය හේතුව නිසාම තමයි අපි සමහරු ඇණ ගැන දන්නේත් පොඩි කාලේ ඉඳලම.
දැන් දන්නවානේ හේතුව?
ඔව් ඒක තමයි සිංහල හෝඩියේ අකුරු ඉගෙන ගැනීම. ඔය මුර්තජ ණ-යන්නෙන් පටන් ගන්න එකම වචනය තමයි ණය කියන්නේ මගෙ හිතේ!
සමහර චිත්‍ර සහිත හෝඩි පොත්වල ණය කියන එක තේරෙන විදියට අඳින්න ක්‍රමයක් හිතාගන්න බැරි හින්දා වෙන්න ඕනෑ, මූර්තජ ණ-යන්නෙන් ඉවර වෙන ඇණ කියන වචනය යොදාගත්තේ.
අද කතන්දරේ මං හා හා පුරා ණයක් අරං, ණයකාරයෙක් වෙන්න ගිය හැටි ගැණයි.
මේ කාලේ මං වැඩ කලේ එක්තරා ආයතනයක. එතන තිබුණා ආපදා ණය ක්‍රමයක්. තමන් ගේ පඩිය වගේ හය ගුණයක් ණයට ගන්න පුළුවන්. එතන ඉඳන් අවුරුදු තුනක්ද කොහෙද ඇතුලත ගෙවන්න ඕනැ පඩියෙන් කොටස් වශයෙන් පොලියත් එක්ක.
මේ කාලේ තමයි, සිකුරා ලබලා උස්මුරුත්තාවටම ගිහින්, මට කතන්දර කුමාරි එක්ක විවාහ වෙන්න හිතුනේ.
ඉතිං මේ කතන්දරේ බලන බැඳපු කෂ්ටිය දන්නවා ඇතිනේ බඳිනවා කියන එකත් පණ යන වැඩක් බව. ඔය දවස්වල මාසේ විසිවෙනිදා විතර ලැබෙන පඩි පැකට් එක සාක්කුවේ දාගෙන, ගෙදර දොරට, දනට පිනට දීලා ඉවර කරලා දානවා මිසක් ඉතුරු කරන ක්‍රමයක් මට තිබුණේ නෑ.
ඉති ඔන්න මං කෝකටත් කියලා මාස හයේ ආපදා ණයක් ගන්න ඉල්ලුම් කළා.
ඕනෑම ආයතනයක ආපදා ණය දෙන්නේ සීමාසහිත අරමුදලකින්. හැම මාසෙම ආපහු ලැබෙන වාරික මුදල්වලින් තමයි අළුතින් ණය දෙන්නේ. ඒ හින්දා ණය අනුමත වෙන්න පොඩ්ඩක් කල් යනවා. ඒ හින්දා පොඩි පෝලිමකුත් ඇති වෙනවා.
ඇප්ලිකේෂන් එක දාලා මාස දෙක තුනකට විතර පස්සේ මං දැනගත්තු විදියට ඔය කියන පෝලිම ඇත්තටම පෝලිමක් නෙමෙයි. ණය අනුමත කරන අංශයේ ලොක්කා හම්බ වෙන්න ගියාම, ඒ යන යන අයගේ ඉල්ලුම් පත්තරේ උඩට එනවාලු!
ලොක්කා මුණ ගැහෙන්න යන්නේ නැති අයගේ ඇප්ලිකේෂන්ස් ඉතිං හැමදාම යටම තමයි.
කතන්දර කුමාරිව මං කරකාර බැඳපු දවසෙ තේක්ක ගහක් හිටේවනං, අද වෙන කොට ඒක කපල ඉරල අළුත් ගෙදරට ලී බඩු හදන්න ගන්න වුණත් තිබුණ.
මගේ ආපදා ණය ඇල්පිකේෂන් එකත් මං ඒ ආයතනයෙන් ඊට අවුරුදු කීපෙකට පස්සෙ අස්වෙන කොටත් හොඳට මුල් දාලයි තිබුණෙ.
-කතන්දරකාරයා
ප/ලි
කතන්දර කුමාරිව කසාද බඳින වෙඩින් එකට කලින් මං තාත්තගෙන් ලෝන් එකක් ගත්තා. බැන්දට පස්සේ කතන්දර හාමිනේගෙන් ලෝන් එකක් අරං තාත්ත ගේ ලෝන් එක ගෙවල දැම්මා.
සිම්පල්.
එදා ඉඳන් මං ණයකාරයෙක් නෙමෙයි!