
ඔන්න කැම්පස් ඉන්න අයියා තමන්ගේ මල්ලී ඒ ලෙවල් වලට පාඩම් කරන හැටි දැකලා දුක හිතිලා මුලින්ම කවියක් ලිව්වා.
ඊට පස්සේ දෙවෙනි කවියකුත් ලිව්වා මල්ලී විභාගේ ෆේල් වුණාට පස්සේ. ඒ කවියේ අන්තර්ගත වුණු අදහසට දේශපාලනිකව විරුද්ධ වුණු අයියා ගේ බැචාලා දෙන්නෙකුත් ඔන්න කවි දෙකක්ම ලියලා පල කළා.
එකක් අයියාගෙන් මල්ලීට අවවාද සහිතව. අනික මල්ලීගෙන් අයියාට, අයියාගේ මෝඩ කතා වල වරද පෙන්නලා! ඒ කවි නං දැන් මට මතක නෑ.
මේ චැප්ටර් එක අවසාන කරමින් මෙන්න අයියා මල්ලී ට ලියපු අවසාන කවිය.
මල්ලී ට පිලිතුරු
මල්ලියේ
සත්‍යය යැයි දෙකක් ලොව නැත
දුක දුකමය
සැප සැපමය
වෙනස් කරන්නට බැහැ එය
උඹෙ අයියා
වැලි කතරක සිරවීලා
කෝස්වර්ක් ගිනිමැල මැද
දියහොදි ගල්බත් ගිලිමින්
දුක් විඳිනා බව ඇත්තයි
උඹෙ අයියා එක්ක ඉන්න
දහසක් වූ අනෙක් අයත්
වෙන ලෝකෙක නෙමේ ඉන්නේ
එකම ඉරක
එකම සඳක
සෙවනැලි යට
දුක කාටත් පොදු දෙයක් ය!
කම්මල් බිම ඉන්න අයත්
(අතලොස්සක පිරිසක් හැර)
ලෝකෙ ඉන්න ඉතුරු අයත්
දුක් විඳිනව
අයිය දනී
හොඳ හැටි එය
විභාගයෙන් අසමත් උඹ
දුකෙන් තැවෙන අතරතුරේ
උඹේ හිතේ දුක මකන්න
හිතාගෙනයි
ඒ විභාගෙ සමත් වෙච්ච
අයියා අද සිරගත වී
විඳිනා දුක් පැවසූයේ
සරසවි බිම හරි සොඳුරුය
සුරංගනා ලෝකයක්ය
සන්තෝසෙන් ඉන්න හැකිය
සිහින මවං මෙහේ ඇවිත්
බිඳුණු සිහින සුංබුං මැද
අතරමංවු උඹ දකින්න
උඹෙ අයියා කැමති නැතිය
දුක ඇති බව ඇත්තක් නම්
එය කියනා එක වැරදිද?
දුක හංගා බොරු ගොතලා
නුඹ රවටන එක හරි වෙද?
දෙවන වරත් උනන්දු වී
උත්සාහෙන් වැඩ කරපං
කම්මල් බිම දුක දැනගෙන
දුක් විඳින්න මෙහේ වරෙං
-කතන්දරකාරයා
ප/ලි:
මේ චැප්ටර් එක එතනින් ඉවරයි. හැබැයි කයි-කතන්දර නම් එතනින් ඉවර නෑ. සොරි ඩොට් කොම්!
ප/ප/ලි:
මේ කවි සේරම පලවුනේ පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ බව කෘතඥතා පූර්වකව සඳහන් කරමි.
(image extracted from: http://youtu.be/YcGGYEM2gSA)