ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday, 2 December 2011
තාත්තේ මට සමාවෙන්න - Thaththe, please forgive me!
මගේ තාත්තා ගුරුවරයෙක්. අවුරුදු තිස් අටක් රජයේ සේවය කරලායි විශ්‍රාම ගියේ.
තාත්ත අධ්‍යාපනය අතින් පොරක් කියන්න පුළුවනි. මොකද, ඒ කාලේ ගමේ තිබුණ වර්නකියුලර් අධ්‍යාපනය ලබලා කරන්න තිබුණු හොඳම ජොබ් එක තමයි ගුරුවරයෙක් වීම. අවූරුදු දහනමයෙන් ඒ වෘත්තිය අරඹලා, මරදානේ කාර්මික විද්‍යාලය, මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලය, ස්වයං අධ්‍යාපනය සහ විද්‍යෝදය විශ්ව විද්‍යාලය හරහා තාත්තා ගිය ගමන තාත්තා ගේ සමකාලීනයෝ කවුරුවත් නොගිය ගමණක්!
ඒ වුණාට තාත්තා කවදාකවත් අපිට උගන්වන රාජකාරිය බාර අරගෙන "පොත් බලපං! ගනං හදපං!!" වගේ නීති දාන්න ආවේ නෑ.
තුනේ පන්තියේදී ටොකු ඇනලා චක්කරේ ඉගැන්නුවට පස්සේ, හතරේ පන්තියේදී සිංහල නම් ඉංගිරිසියෙන් ලියන්න ඉගැන්නුවට පස්සේ, නමේ පන්තියේදී ඉංගිරිසි ක්‍රියාපද වර නගන්න ඉගැන්නුවට පස්සේ තාත්තා මට උගන්වලා නෑ.
දන්නේ නැති දෙයක් තියෙනවනං අහපං කියලයි අපිට කියලා තිබුණේ.
ඒත් ඩික්ෂනරිය බලන්න කම්මැලි නිසා වචනයක තේරුම අහනවා ඇරෙන්න මං වැඩිපුර තාත්තාට වාතයක් වෙලා නෑ. සමාජ අධ්‍යයනයේ උගන්වපු සමහර දේවල්වලට වඩා තාත්තා කියපු කතා වෙනස්. ඒ වුනත් තාත්තාගේ ඉතිහාස භූගෝල දැනුම මට ප්‍රයෝජන වුණා.
මැත්ස් ද බයෝ ද කරන්නේ, පේරාදෙනි ද කටුබැද්දේ ද යන්නේ වගේ තීරණ පවා මට ඕනෑ විදියට ගත්තා මිසක් තාත්තා ඒවට ඇඟිලි ගහන්න ආවේ නෑ.
පේරාදෙනියේ ගත කරන අවසන් සති කිහිපය.
ආදරණීය තාත්තේ,
විභාගයට තව මාසයයි. තව සති හයකින් පමණ සියළු වැඩ අවසානයි. ඊට පෙර ගෙදර එන්න වෙන්නේ නෑ. එනිසා, මුදල් ටිකක් වැඩිපුර එවන්න.
මේ පුතා
ආදරණීය පුත්‍රයා වෙත,
මේ සමග මනිඕඩරයක් එවා ඇත.
පන්ති සාමාර්ථයක් ඇතුව විභාගය සමත්වෙන්න උත්සාහ ගන්න.
තාත්තා
වසර කිහිපයකට පසු
"දැන් ඔය පීඑච්ඩී එක ගන්න නං පොතක් ලියන්න ඕනෑ නේද?"
"ඔව් තාත්තේ රිසර්ච් එකක් කරලා තීසිස් එකක් ලියන්න ඕනෑ!"
"එහෙනං අපිටත් බැරියැ උඹ ලියන පොත කියවන්න දවසක".
තවත් වසර පහකට පසු
"කෝ බං අර උඹ ලියනවයි කියපු පොත ලිව්වද?"
"ලියාගෙන යනවා තාත්තේ දැන් පිටු එකසිය පනහක් ලියලයි තියෙන්නේ."
"ඔන්න ඕක වවාගෙන කන්නේ නැතුව ඉක්මනට ලියලා දාපං!"
තවත් වසර දෙකකට පසු
"අනේ උඹයි මායි ලියන පොත්!"
තවත් වසරකට පසු
"තාත්තේ මෙන්න තෑග්ගක්."
තාත්තා ගේ මූණ පුරා විශාල හිනාවක්.
"ආ! උඹ පොත ලිව්වද?"
"නෑ තාත්තේ, මේක නවල් එකක්."
"නවල් එකක් මෙච්චර ලොකු ප්‍රමාණයේ?"
"මේක ඩෑන් බ්‍රවුන් ගේ ඩාවින්චි කෝඩ් පොතේ ඉලස්ටේර්ටඩ් එඩිෂන් එක."
ඒ හිනාව අතුරුදහන් වුනා එක් නිමේෂයකින්.
"ආ, ඒකද? මං හිතුවා උඹ තීසිස් එක ලිව්වා කියලා!"
තාත්තේ මට සමාවෙන්න. මං තාත්තා ගේ දෙවෙනි බලාපොරොත්තුව ඉටු කලේ නෑ. මට මේ පසුතැවිල් ජීවිතය පුරාම තියේවි.
-කතන්දරකාරයා
ප/ලි:
මේ කතාව මීට වඩා හොඳින් ලියවෙයි කියලා මං හිතාගෙන හිටියත් ඔයිට වැඩිය ලියන්න ශක්තියක් මට මේ මොහොතේ නෑ.
අදට (දෙසැම්බර් 2) මගේ තාත්තා මියගොස් හරියටම අවුරුද්දයි.
Subscribe to:
Post Comments (Atom)
පුතා නරක මනුස්සයෙක් නොවී හොඳ එකෙක් වෙච්ච එක ගැන(එහෙම වෙන්න ඇති.මම හරියටම දන්නේ නෑ)තාත්තට සතුටු ඇති අර පොත නොලිවුවට වඩා.
ReplyDeleteපියාණන්ට නිවන් සුව පතමි.......
ReplyDeleteනමුත්..තාත්තලාගේ සතුට පුහු ආඩම්බර කාරිත්වයකින් තොරය...ඒ සතුටෙහි තරම ඔබ... මා... වැනි පුතුන්ට හරිහැටි නොතෙරෙන්නේ...තවම අප තාත්තලා තරම් මුහුකුරා ගොස් නොමැති බැවිනි...අද ඔබ සිටින තැන ඔබේ දියුනුව දැක ඔහු සතුටුවු අන්දම ඔබට අදටත් රහසක්වනු ඇත..නමුත් මතු දිනෙක ඔබටද ඒය වැටහෙනු නොඅනු මානය....ඔබ පියාට නිවන් සුව පතමි...
ReplyDeleteමේකෙ තව මොනවද මීට වඩා හොඳට ලියන්න තියෙන්නෙ?
ReplyDeleteදැන් වුනත් කමක් නැහැ පිය තුමාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරමු.
ReplyDeleteමේ ඇනෝ කීවා වාගෙම ආයේ මොනවද මේකේ ලියන්න තියෙන්නේ මහත්තයෝ?
ReplyDeleteඑතුමා තමුන්නැහැ පී එච් ඩී එක නොගත්තැයි කියලා පසු තැවෙන්ට නෑ කොහොමටවත් - තමුන්නැහැ තැමුන්හැටම හදාගත්තු එල්ලයට නොයන්ට බැරි වෙච්චි නිසා කණස්සලු වෙන්ට ඇති කියලයි මට හිතෙන්නේ
කවුද දන්නේ මුණුපුරෙක් හරි මිණිපිරියෙක් හරි කසූ මහත්තයාගේ පස්චාත්තාපය නිවාදමන්ට බැරි නෑ
මගේ උපන්දිනේට කෝල් එකක් දීල "බුදු සරණයි මගෙ පුතේ" කීවාට අමතරව අප්පච්චී කාඩ් එකකුත් එවා තිබ්බා. උන්නැහැ ඒකේ මෙහෙම ලියා තිබ්බා...
"රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ..
ඔටුනු නොපැලැන්දද නුඹත් අපට රජෙකි පුතුනේ.."
අපි තාත්තලා කවුරුත් එහෙමතමා ආයුබෝවන්ඩ
පසුතැවෙන්න කාරි නෑ...
ඕකම ශක්තියක් කරගෙන ලියලා ඉවර කරලා දමන්නකො ඔය පොත.. එතකොට තාත්තා ඉන්න තැනක ඉඳලා හරි සතුටු වෙයි !
ReplyDeleteමං හිතන්නෙ හැම පුතාටම, දුවටම, පොදු කතාවක් මේක
ReplyDeleteමොනා වුණත් පටන් ගත්ත වැඩේ ඉවරයක් කරා නම් තමා හොඳ... ඩොක්ට කකා නෙ එතකොට.
ReplyDeleteහැමෝටම පොදු කතාවක් වගේ. මෙන්න මගෙ ඇස් වලටත් කදුළු ඇවිත්...
ReplyDeleteතමන් තාත්ත කෙනෙක් උනාම තමයි තාත්තගෙ හැගීම් අපිට වැඩිපුරම තේරෙන්නෙ කියලයි මට හිතෙන්නෙ..
මේක කියවගෙන යද්දි පපුව පිච්චීගෙන වගේ ගියේ ඇ දන්නේ නෑ....
ReplyDeleteසමහරවිට මටත් කියන්න තියෙන්නේ "තාත්තේ මට සමාවෙන්න කියලා" හින්ද වෙන්න ඇති..
හැබැයි ඉතින් මට නම් මග ඇරුනේ පොතක් ලියන එක විතරක් නම් නෙමේ ඊට වඩා ගොඩක් දෙවල් ...
ඇත්තටම කිවවොත් තාත්තාගේ අගේ මට වැඩියෙන්ම තේරුනේ මමත් තාත්තා කෙනෙක් වෙච්චි දවසේ..
ඒ අතින් බැලුවාම කතන්දර මහත්තයට සංතෝෂ වෙන්න ගොඩක් දේවල් තියෙනවා.. වෙන ඒවා මොකටෙයි.. මේ කරන සමාජසේවේම ඇති කතන්දර මහත්තයා ගැන තාත්තාට සතුටු වෙන්න...
hm.... ayyata eka deyak maga herunata godak deawal karalane...
ReplyDelete-prasanna86k-
මේ මගේ පලවෙනි කොමෙන්ටුව. කශූගේ තාත්තා ගැන මීට වඩා ලස්සනට ලියන්න කියලා නීතියක් නැහැ. හොඳටම ලියවිලා තියෙනවා. කඳුලු එනවා. තිස්ස මහත්තයගේ කොමෙන්ටුවත් ලස්සනයි.තාත්තාගෙ අගේ දැනෙන්න තාත්තා කෙනෙක් වෙන්නම ඕනා.
ReplyDeleteඔය ලියඋනා හොඳටම හොඳයි...
ReplyDeleteමං මුලින්ම සීටීබී එකේ රස්සාවට ගිය දවසේ තාත්තා හරි සංතෝසෙන් හිටියේ..මං පටන් ගත්ත තැනට උඹත් එක දවසකට හරි ගිය එක ලොකු දෙයක්..ඒ වචන ටික සෑහෙන දෙයක් උනා..
ඒත් එයින් වසර කිහිපයකට පසුව මං ගුවන් හමුදා සේවයට බැඳුනට පස්සේ දවසක් මට ලියුමක් එවනවා.."මට සමා වෙයං උඹලා වෙනුවෙන් මට කරන්න තිබුන දේවල් මගේ අතින් උනේ නැහැ" කියලා...ඇත්තටම ඒ දවස්වලනං මමත් ටිකක් කේන්තියෙන් හිටියේ..
ඒත් අද මං දන්නවා තාත්තා හින්දයි අද මං මෙහෙම ඉන්නේ...මගේ ජීවිතේ ගැන මං සතුටෙන් ඉන්න හැම තත්පරේම මං තාත්තට පිං දෙනවා..ඒ මට ලොකු මිනිහෙක් වෙන්න නෙවෙයි සරල මිනිහෙක් වෙන්න කියා දීම ගැන...
කවදත් අපට ඉතුරුවෙන්නෙ පසු තැවීම විතරයි. ඉන්න තුරු අපට ඒ අයගෙ වටිනාකම දැනෙන්නෙ නෑ. ඒ අයගෙ බලාපොරොත්තු අපිට තෙරෙන්නෙ නෑ. අපි ඒ ත්ත්වෙට ආවට පස්සෙ තමයි ඒ අය අපි ගැන තියාගෙන උන්නු බලාපොරොත්තු ගැන තෙරෙන්නෙ. එතකොට අපි කොච්චර දුර ගිහිල්ලද...
ReplyDeleteඔබේ හිතේ තියන හැගීම උපරිමයෙන් ලියල තියෙනවා.
ReplyDeleteමම හිතන්නේ කාකා තවමත් ප්‍රමාද නැ ඒ පොත ලියල ඉවර කරන්න.
කතාව ලියපුවිදිය හොදයි. පොත තාමත් ඉවර නැද්ද?
ReplyDeleteමගේ ඇස් වලට කඳුළු ආවා.
ReplyDeleteකතන්දර කියන්නේ ජීවිතේ කතන්දර නිසා මේක ගොතපු කතාවක් නොවන බව දන්නා නිසා වෙන්න ඇති.
නුඹ හොඳ පුතෙක් පුතේ,
ආයේ අමුතුවෙන් සමාවක් මොකටද. සයිබර් ලෝකයේ කියවන දහසක් දෙනාගේ හිත් තාත්ත මිය ගිහින් අවුරුද්දක් පිරෙන දවසේ තාත්ත ගැන උපන්න ආදරයකින් පුරවන්න තරම් ගුණසමරුවක් කරන්න පුළුවන් උනාට පස්සේ. කොමෙන්ටු නොදැම්මත් මම දන්නවා කියවන අපි වගේ හැමෝම තාත්තාට පින් දෙනවා.
මීට වැඩිය හොඳක් මොකක්ද. යසට ලියල තියෙන්නේ. කියවන අයගෙන් එක් අයෙකුගේ හරි ඇසට කඳුලක් ඉනුවනම් වෙන මොනවද
තාත්තාට පින් අනුමෝදන් කරන හැමෝම අතරට මමත් එකතු වෙනවා.
නිවන් සුව ලබන්නට කලින් එක වරක් යලි පිය පුතු හමුවේවා මේ දීගු සසරේ.
කතාවට යටින් තවත් තවත් වටින කතා ගොඩක් තියෙනවා කියවන්න.
ReplyDeleteලොකු ජෝන් කියන එක කොයිතරම් හරිද.
ඔව් මේ වගේ සිද්දි වලින් මියගිය අතීතය ගැන දුක් වෙන ගමන්ම ජීවත් වෙලා ඉන්න ඉතුරු අය ඒවායින් පාඩම් ඉගෙන ගෙන ඊට වඩා වැඩි යමක් මව් දෙමව්පියන් වෙනුවෙන් කරන්න හිතට ගන්න ඕනේ
ඒක හොඳ කොමෙන්ටුව.
තිස්ස මහත්තයාගේ "පුංචි" කතාවත් හරි සන්වේදියිනෙ.
තාරක කිව්ව වගේ පපුව "පිච්චීගෙන" ගියා නේන්නම්.
කස්ස ඇතුලු අනිත් සේරම අදහස් හරි වටිනව.
(කතන්දරගෙ ජොබ් එක මම කරන එක හරිද මන්ද)
"පිය සෙනෙහසට කවි ගී ලියඋනා මදි" සින්දුව මතක් උනා
ReplyDeleteමීට වඩා මේකේ ලියවෙන්න දෙයක් නෑ අයියේ
ReplyDeleteතාත්තලා තමන්ගේ හැඟීම් තදකරගෙන ඉන්නවා, එළියට දාන්නෑ. ඒකයි ස්වභාවය. ඒඋනත් කකා සතුටුවෙන්න ඕන හොඳ පියෙකුට හොඳ පුතෙක් උන එක.
ReplyDeleteඒත් වැඩේ අතාරින්න එපා...කොහොම හරි කරන්න බලන්න. තාත්තා කොහේ හරි ඉඳන් බලගෙන ඉඳීවි.
මම දන්න කෙනෙක් ඉන්නවා අවු. 70 දී පී.එච්.ඩී. ගත්ත.
මේකෙ මීට වඩා මොන හොඳට ලිවිල්ලක්ද ???? මේ දැනුන හරිය හොඳටම ඇති . . .
ReplyDeleteඅනික පී.එච්.ඩී. තීසීස් එකක් නොලිවුවට කතන්දරගෙ තාත්ත දන්නව ඇතිනෙ කතන්දර ලියල තියන හරිය . . . කෝකටත් පුලුවං වෙච්චි වෙලාවක ඕක ලියල ඉවරකරන්න . . පී.එච්.ඩී. එකට වයස භාදාවක් නෙමේ නෙ.
කතන්දරගේ පියානන්ට නිවන් සුව පතනව.
කියන්නට වචන නැත.
ReplyDeleteසිහින් අනියත බියක් මනසේ හොල්මන් කරයි.
කතන්දර මාමේ....
ReplyDeleteදැන් දුක් වෙලා වැඩක් නෑ......
හිත හදාගන්න...
තාත්තාට නිවන් සුව....!
ReplyDeleteමේක උපරිමේට ලියවිලා තියෙනවා කසු
නැත්නම් කොයින්ද මේ කඳුළු
(මාරයාගේ කමෙන්ට් එකත් හිත පතුලටම වැදුනා)
කතන්දර පොත ලිව්වේ නැති එක ගැන තාත්ත ලොකුවට හිතන්න නැතුව ඇති කියලයි මට හිතෙන්නෙ.
මගේ කෙලිපොඩ්ඩගේ උපන් දිනය අද.. ඔබේ පියාගේ වියෝව මෙවන්ම දිනෙක.. ඔහුට නිවන් සුව.. පියාගේ කැමැත්ත ඉටු කිරීමට නොහැකි වූ මුත් කසු ඔබ ගේ කතන්දර කී දෙනෙක්ව අද තුටු කරන්නේද? එවන් තුටු සිත් ඔබේ පියාට සතුටක්ම වන්නේය..
ReplyDeleteපොත් දහක කරැණු පොඩි අකුරැ පොඩ්ඩක.. සෑමාගේ අසීමිත උපහාරය...
තාත්තලා හැමෝම මෙහෙම තමයි. දරුවෝ වෙනුවෙන්ම හැමදාම දහදිය හෙලනවා. මගේ තාත්තාත් තාම එහෙමයි. ඔය කාකා මල්ලී කරන දේම ඇතිනොවැ ඒ තාත්තාට සතුටු වෙන්න . පී.එච්.ඩී මොකටද? එතුමා කොහේහරි සිට සතුටු වෙනව ඇති. නිවන්සුව පතනවා මල්ලිගෙ පියාණන්ට.
ReplyDeleteමේකෙ තව මොනවද මීට වඩා හොඳට ලියන්න තියෙන්නෙ?
ReplyDeleteTraffic Ano
ReplyDeleteතාත්තාට නිවන් සැප ලැබේවා
කමෙන්ට් කරන්න අමාරුයි, මං ලංකාවෙ දෙවැනියට සංවේදී මනුස්සය නිසා වෙන්නැති.
පොත ලියල ඉවර කරපු එක දකින්න නොලැබීම ගැන තාත්තානම් පසුතැවෙන්න නැතිව ඇති, තාත්තා ගුරුවරයෙක් වූ නිසා. එත් අපට බැරි වුනු දේ ගැන අපි පසුතැවෙන එක වළක්වන්න බැහැ.
මගේ තාත්තා අන්තිම දවසට දිනකට හෝ දෙකකට ඉස්සෙල්ල කිව්වෙ “උඹල දෙන්න ඔහොම ඇඳ දෙපැත්තෙන් ඉන්න එක මට හොඳටෝම ඇති, සනීප වුනේ නැතත් කමක් නෑ” වගේ අදහසක්. තාත්තලා බලාපොරොත්තු වෙන්නෙ අපි “ලොකු මිනිස්සු” වෙනව දකින්න නෙවෙයි “හොඳ මිනිස්සු” වෙනව දකින්නයි කියල අපි ඉස්කෝලෙ යන කාලෙ කවුදෝ කියපු බව මතකයි.
මටත් මේ වගේ පසුතැවිලි වෙන්න වෙයි කියලා බයටම මේ දවස් වල තකහනියක් ඔය පොත ලියන්න ලෑස්තිවෙනවා... කිසිම දවසක නිදහස් අධ්‍යායපනය නොලබපු මම අද මෙතන ඉන්නේ මගේ තාත්තට පිංසිද්ධ වෙන්න නිසා ඒ බලාපොරොත්තුවත් ඉෂ්ට කරන එක මගේ යුතුකමක් :)
ReplyDeleteතාත්තාගේ එකම සිහිනයක් වත් සැබෑ කරන්නට බැරිවුණ පුතෙකුගේ හැඟීම් තෙරුම් ගන්ට පුළුවන්ද..?
ReplyDeleteඇස් වලට කඳුළු ඉනුවා.... ඔය දේ මගේ මගේ තාත්තත් බලාපොරොත්තු වෙනවා ඇති කියලා හිතුනා.... කවදාහරි පටන් ගත්තු මේ ගමන,තීසිස් එකක් ලියන තැනටම ගෙනිහින් මිසක් නතර කරන්නේ නෑ කියල හිතාගත්තා...ස්තුතියි ක.කා.
ReplyDeleteඔබේ පියාණන්ට නිවන් සුව!
තාත්තා ඔබෙන් තිසීස් එකක් බලාපොරොත්තු වෙන්නැතුව ඇති. ඔය තරම් දැනුම තේරුම තියෙන කෙනෙක් දන්නවා ඔය අකුරු තුනේ තියෙන හරි තේරුම. පුතණ්ඩියා ගිය දුට්ර ගැන [ඔහු දැන හිටියා නම්] අවංකවම සතුටු වෙන්න ඇති. ඉතින් අර එක එක පත්තර වල ලියාපුවා ගැදිපැදි පොත් වල පිටපත් තාත්තට ගිහින් දුන්නේ නැද්ද?
ReplyDeleteමං නම් ලිව්වොත් සාහිත්‍ය අංශයේ පොතක් පිදුම අම්මට. මොකද කිව්වොත් අපේ ඇහැ කන පාදන්න නොවිඳිනා දුක වින්දට අමතරව සිංහල ලිවීමේ මුල් ගුරුතුමිය අම්මයි. පහේ හයේ පන්ති වෙනකම් රචනා කෙටිකතා කවි ලියන හැටි කියා දිදී ඒවා කියවමින් අම්මා දීපු ගයිඩන්ස් එක සිංහල ගුරුවරු ඔක්කොම එකතු කලත් හැදෙන්නේ නැහැ. එක නිසාමද මන්දා මං ඒ කාලේ සිංහල හා රචනා ගැන ඉදිරියෙන්ම උන්නා.
හැබැයි ඉතින් මං පොතක් ලියයි කියා නම් මට තවම හිතෙන්නේ නැහැ.
මට කියන්න අදහසක් නෑ කතන්දර සහෝ...මොකද මගේ අදහස් ඔක්කෝම වගේ උඩින් ලියවිලා තියෙනවා...මොනවා වුනත් තාත්තා තීසිස් එක ගැන කෙසේ වෙතත් පුතා ගිය දුර ගැන අවංකවම සතුටු වෙනවා ඇති...ඒ වගේම තාත්තා කොහේ හරි ඉඳන් බලාගෙනත් ඉන්නවා ඇති පුතාගේ සාර්ථකත්වය ගැන....
ReplyDeleteමොනා කරන්න ද අයියා. අපට සමහර බලාපොරොත්තු ඉටු කරන්න වෙන්නේ නෑ. දුක තමයි.
ReplyDeleteඒ පොතට වැඩිය හොඳට මේ පොත කතන්දර දැන් කරගෙන යනවනෙ.
ReplyDeleteපියාණන්ට නිවන් සුව!
මේකට දෙමව්පියන් පටලවා ගන්ට එපා. ඔවුන් කවදත් දරුවන්ට කොන්දේසි විරහිතවම ආලය කරනවා.ඔහු ඔබ දිරිමත් කරන්ට එහෙම කියන්ට ඇති. ක්ලාස් එකක් එක්ක සමත් උනා වගෙ පස්සෙ කාලෙකවත් ඕක කරලදාන්න. නැතිනං ළමයින්ට ඇනයක් වෙයි වයසට යනකොට.
ReplyDeleteඔය පොත ඉතින් දැනුත් ලියලා ඉවර කරන්ට පුලුවන්නේ.
ReplyDeleteපියාණන්ට නිවන් සුව පතනවා.
@ All
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි.
තාත්තා මගේ දියුණුව බලා සතුටු වෙන්න ඇති. පොත ලිව්වා නම් තාත්තා ඊට වඩා සතුටු වෙන්න ඉඩ තිබුණා.
දැන් ඉතිං ගිය දේ ගියා.
ඉතුරුව තියෙන්නේ PHD එක (PHD = Permanent Head Damage) පමණයි!
කතන්දර අයියගේ තාත්තට නිවන් සුව පතමි..........!
ReplyDelete99% දේවල් ඉශ්ඨ කරලා තියෙනවනම් කරන්න බැරිවෙච්ච 1% ගැන දුක් වෙන එක තේරුමක් නැහැ නේද?
කකා Ph.D. ගැන දැනගෙනම ඒක පස්සෙ නොපන්නා හිටියද? අර්ථ දැක්වීමට එකඟයි.
ReplyDeleteඅන්තිමේ කොහොමත් කරපු දේවල වඩා කරන්න බැරිවුනු දේවල් වැඩියි. මේ දෙපැත්ත සසඳන්න යන එක නුවණක්කාර වැඩක් නොවෙයි.
අපේ සහෝදරත්වය... අද දවසට ශක්තියක් වෙනවා ඇතියි පතනවා.
-ලොකු
මචන් උබට වගේම මටත් දුකයි. ඒ පොත ලියන්න පුළුවන් උනානම් උබේ තාත්ත කොච්චර සතුටු වෙයි ද
ReplyDeleteපියාණන්ට නිවන් සුව පතමු.
ReplyDeleteබ්ලොග් ලෝකයේ මහචාර්‍ය පදවියක් ඔබට ලැබී ඇත.
ඒත් පියා වෙනුවෙන් ඒ දේ පමා වී හෝ කල යුතු බවයි මගේ හැඟීම.
පියාට නිවන් සුව පතමි.
ReplyDeleteපර්මන්ට් හෙඩ් ඩැමේජ් එක කර ගන්න කොහොම හරි.අපරාදෙනෙ නැත්නම්.. :D
කතන්දර තාත්තගෙ බලාපොරොත්තු ගොඩාක් ඉෂ්ඨ කරපු කෙනෙක් නිසා මේ බැරිවුනු එකම දේ ගැන හිත හිතා ජීවිත කාලෙම පසුතැවිලි වෙන්න එපා.... කතන්දරත් දැන් තාත්තකෙනෙක් හින්දා හොඳට තේරෙනව ඇතිනෙ තාත්තලගෙ හැටි.... එයා කවදාවත් තරහ වෙන එකක් නෑ ඕක එයා ජීවතුන් අතර ඉන්දැද්දිම සම්පූර්ණ කළේ නැතිවට.... දැන්වත් තියෙන්නෙ තාත්ත වෙනුවෙන් කියල ඔන්න ඕක ඉවරයක් කරලා දාන්න....
ReplyDeletePHD...!!!
ReplyDeleteතමන්ට යාමට නොහැකි වූ තත්වයට තම දරුවන් ළඟා කරවීම සහ ඔවුන් ළඟාවනු දැකීම තරම් වෙනත් සතුටක් දෙමාපියන්ට තිබේද
ReplyDeleteමමත් මගේ තීසිස් එක දැන් අවුරුද්දක් තිස්සේ වවාගෙන කනවා. කකාගේ තාත්තා වගේම අපේ තාත්තත් මට නිතරම කියනවා ඒක ඉක්මනට ලියලා ඉවර කරන්න කියලා. සමහර වෙලාවට මට ඒකට ටිකක් කේන්තිත් යනවා. අද මේ පෝස්ට් එක දැක්කම මට පුදුම දුකක් හිතට ආවා. තාත්තගේ හීනෙ පුලුවන් ඉක්මනටම සැබෑ කරනවා කියන අධිෂ්ඨානයක් මගේ හිතට ආවා. නැත්නම් මටත් කකාට වගේ පසුතැවෙන්න වෙයි. ගොඩක් ස්තූතියි මේ ලිපියට. ඔයා තව තාත්තා කෙනෙක්ගේ හීනයක් ඉටු කරන්න උදව් කළා.........
ReplyDelete