
මේ කාලීන මාතෘකාව ගැන මං ලියන්න පටන් ගත්තු කතන්දරේ ඇදිල ඇදිල දිග වැඩි වීම නිසා අතරමග නවත්තන්න වුණා. මුල් කොටස මෙතනින් බලල එන්න නොබලපු අය. මෙන්න අද ඉතුරු කොටස.
මනමේ කුමාරි ට ඒ නම ලැබුනේ මනමේ කුමාරයාව බැන්ද හින්දයි. එයාගෙ තාත්ත තමයි, තක්සලා විශ්ව විද්‍යාලයෙ වයිස් චාන්සලර් හෙවත් ප්‍රොෆෙසර් දිසාපාමොක්.
මනමේ කුමාරය බැච් ටොප් කරල ධනුද්ධර ස්පෙෂල් ඩිග්‍රියේ ෆස්ට් ක්ලාස් එකක් ගහපු ගමං ප්‍රොෆෙසර් දිසා, ජෝඩුවගෙන් කැමැත්ත විමසුව, පටස් ගාල බන්දල දැම්ම, දෙන්නව ඒ මොහොතෙම ගමේ පිටත් කළා.
මුං දෙන්න පොඩි හනිමූන් එකකටවත් නතරවෙන පාටක් වත් පේන්නේ නෑ. පොඩි සින්දුවක් දාගෙන කැලෑව මැදින් ඔහේ යනව. නාට්‍යය බලන් ඉන්න අපිට ඌරු ජුවල්. යකෝ දැන් කාලෙ තක්සලාවල ඉන්න කපල්වලට නං, ඔය පොඩි බංකුවක්, සමර් හට් එකක් තිබුනත් ඇති. (වරප්‍රසාද ලාභීන්ට නං ඉතිං මහවැලි ගඟබඩ පෙම් මග තිබුණා!) මේ පරණ රජ කෂ්ටිය හරි අමුතුයි වගේ නේද?
මේ කැලේ හිටිය වැද්දෝ රංචුවක්. මුං නාහෙට අහන්නේ නැති දඩබ්බර වනචරයෝ. ඒ වැදි රටෙත්, රජෙක් තමයි සීන් එක ගෙනිච්චේ.
මනමේ කුමාරි ගේ රූප ශ්‍රීය දැකල ඛේඨ ධාතුව ක්‍රමාංකුංඡණය කරපු වැදි රැලේ උන් ගේ හිතට මුලින්ම ආපු චේතනාව තමයි දුවල ගිහිං තමන්ගෙ රජාට ඔය නිවුස් එක දෙන එක.
අන්න බලන්න වැදි ගතිය. හොඳ කෑල්ලක් වැයික්කියට ආවාම ඒකෙ අයිතිය රජාට කියලයි බලු ගැත්තෝ හිතන්නේ. (අපේ ටැබූ සර් නම් මේක විශ්ලේෂණාත්මකව අර්ථ දක්වයි, ජන්මය/කුලය පදනම් කරගෙන).
කොහොම හරි චක් ගෝලයින්ගෙන් ආරංචිය හම්බවෙච්ච හැටියේ වැදි රජාත් කලේ සේරම වැඩ පොල පැත්තකට දාල මනමේ කුමාරිව බලන්න දුවගෙන යන එකයි. අරුණි ෂැපිරෝ කිව්ව වගේ අපි හුඟ දෙනෙක් යට සායක් දැක්ක ගමන් නාගන්නවා නේ.
මනමේ කුමාරිව දැක්ක ගමන් වැදි රජා තීරණය කළා, මනමේ කුමාරයව එලෝල දාල කෙල්ලව පැහැර ගන්න. වැදි ගතියෙනේ, අනුංගේ ගෑනුංව ගන්න යන්නේ.
තමන්ගෙ කෙල්ලව නිකංම දීල යන ජාතියෙ ලූසර් කෙනෙක් නෙමේ මනමේ. අනික ඉතිං, තාම බැන්ද මිසක් හනිමූන් වැඩ රාජකාරි කලෙත් නෑ නොවැ?
මනමේ කුමාරය මේ වෙනකොට තාත්තගෙ බල පරාක්‍රමය හිතට අරං මුළු රටටම මහරජ තමන් කියල හිතාගෙනයි හිටියෙ. හරියට කිම් ඉල් සුං ල ගෙ රටේ වගේ!
අපේ වැදි රජ නෙමේ මනමේව පයිසෙකටවත් ගනං ගත්තේ.
මුළු දඹදිවටම තොප මහ රජ වුව
මාගෙ විජිතය මෙම, මම වෙමි අගරජ
කවුද තට මෙහි පිවිසෙන්නට කීවේ?
අවසර නොමැතිව, බල තට වන දේ
ඉතිං ඔන්න සටන ඇරඹුණා.
මෙන්න වැදි රජ ගෙ සින්දු කෑල්ල.
මා ගේ අවසර නොම ගෙන ////////
ආවද තා මෙ මගෙ විජිතෙටා?
දෙරණ හෙලා සුන් කර තොප
ගොදුරු කරමි කැණහිළුනට
මෙන්න මනමේ ගේ සින්දු කෑල්ල.
මා ගේ තෙද බල නොම දැන ////////
ආවද මා සමග සටනටා?
වීර බලැති ධනුධර වෙමි
කෲර තොපගෙ එඩි බිඳලමි
ඉතිං ෆයිට් එක නැගල ගියා. අපි ඉතිං විසිල් ගහ ගහ බලාන ඉන්නව.
මනමේ කුමාරය ඩුවට් එකෙන් දිනල, වැද්දව මරන්න කඩුව ඉල්ලුවම මනමේ කුමාරිගෙන්, මෙන්න බොලේ මේකි නිකං බයිල කියන්න ගත්ත වැද්දව බේරන්න කියල.
ඒ සුදු කොඩි කතාව අහල මනමේ පොර අන්දමන්ද වුණු වෙලේ වැදි රජා කලේ කඩුව උදුරල අරගෙන මනමේට බැෂ්ටිය දුන්න එකයි, එතනම පත බෑවෙන්න.
වැදි රජාත් එක විදියක පොරක්. මිනී මැරුමෙන් පස්සෙ එතනම මනමේ කුමාරි එක්ක සෙට් වෙන්න ගියේ නෑ. මේ ක්‍රයිම් සීන් අස්සේ සෙක්ස් සීන් දාන්නේ ඇයි කියල හිතෙන්න ඇති මයෙ හිතේ. මිනිහ කෙරුවේ කෙල්ලව තමන්ගේ වාස භවනට එක්කරගෙන යන්න පටන් ගත්තු එකයි. මනමේ කුමාරි ගේ නොබිඳුණු කන්‍යාභාවය තව දුරටත් සුරැකුණා!
මනමේ මළාට පස්සේ වැද්ද එක්ක උගේ පොට් එකට යන් මනමේ කුමාරි අවුලක් නැතුවම සෙට් වුනාම අපිට මුලින්ම හිතුනෙ මනමේ කුමාරි, බයටත් එක්ක, නිකං පෙරළුණු පිට හොඳයි කියාගෙන ඉන්නව කියල. ඒත්, මෙන්න බොලේ මේකි ටික වෙලාවකින් කියන්ත ගත්ත වැද්ද කඩුව උදුරගන්න කලින් එයා හිතන් හිටියෙ කඩුව වැද්දටම දෙන්නයි කියල.
අන්න මනමේ කුමාරිට වැරදුණු තැන. ඔය කතාව අහපු වැදි රජා හිතුව, යකෝ මේකි මේ විදියට මාවත් පාවා දෙන්න පුළුවන් නේ කියල.
අමන ගති ඇති මෙවැනි අඟණන්
ම වැනියන් හට කුමන සරණද
සින්දවු ගෙල සැමියා, කවර සෙනෙ
යන්ට යව මෙහි නොසිටා.
ඔය තක්සලාවල උන් වගේ නෙමේ, වනචරයෙක් වුනත් වැද්ද මොලේ ඇති එකා. ඌ කලේ වහාම මේ මර උගුලෙන් බේරිලා පලා යන එකයි.
මේ වෙච්ච සේරම අංජ බජල් දරාගන්න පුළුවන්කමක් තිබුනේ නෑ මනමේ කුමාරිට. කෙල්ල, හැදුණු හාට් බ්‍රේක් එකෙන් එතනම මළා.
හැබැයි, මළත් ඒ මැරුනේ, තමන්ගේ කන්‍යාභාව සදහටම රැකගෙනයි!
වෙන කවුරුවත් යැ, මේ දිසාපාමොක් ගේ දුව නේ!
පව් නේද?
-කතන්දරකාරයා
ප/ලි
ජාතක පොතේ කතන්දරයක් ඇසුරෙන් මේ මනමේ නාටකය ලියපු එදිරිවීර සරච්චන්ද්‍රත් මහනුවර පැත්තේ තිප්පොලේ හිටපු දිසාපාමොක් කෙනෙක් නේ. පොරටත් හිටියා දූල තුන් දෙනෙක් -බැඳගත්තු කසාද දෙකෙන්.
සුනේත්‍රා - නිලියෙක්. බැඳල ඉන්නේ නිහාල් ව නේද?
කිසා ගෝතමී – ඉන්නේ යුරෝපයේ, මං හිතන්නේ.
යසෝදරා - පදිංචිය මෙල්බර්න්වල - බැඳලා ඉන්නේ කුසුම්සිරි ව. පොරත් නළුවෙක්.
ප/ප/ලි
ස්වප්නා ලියන සොඳුරු සිහින බ්ලොග් එකේ තිබුණා මනමේ නාට්‍යය ගැන හොඳ ලිපියක්. ගිහින් බලන්න.