
බස්වල යන එන කොට අපිට නොයෙකුත් ආකාරයේ අත්දැකීම් වලට මුහුණ පාන්න සිද්ද වෙනව. සමහර වෙලාවට අත්දැකීම් විතරක් නෙමේ, ඇයි කකුල් දැකීම් පවා ලැබෙනවනේ.
මට වෙලා තියෙන සංසිද්ධි නම් කියල නිමක් නෑ. කාලෝ ෆොන්සේකා ට සීට් එක දීම, චූටි ටීචර් ලා මුණ ගැසීම, බඩ දරු අම්මලා ගේ ආක්‍රමණය ඒවායින් කීපයක් විතරයි.
අද කියන්න යන්නේ තවත් ඒ වගේම මට වෙච්ච සන්තෑසියක් ගැණයි.
ඔන්න දවසක් මං බොරුල්ල ඉඳල කොට්ටාව පැත්තට බස් එකක එනව. මේ අර ටාටා, ලටෙක් වගේ හොඳ උස මහත හතර රියන් බස් මේ පාරේ දුවන්න පටන්ගන්න කලියෙන්. ෂූ ගාල සෙනග –-සැමන් ටින් දෙකක් වගේ. මං වාඩිවෙලා හිටියේ දොර ලඟමයි.
වෙලාව දොලහමාරට විතර ඇති. ඔන්න බස් එක එක තැනක නැවැත්තුව. දරුවෙක් වඩාගෙන අනිත් උරහිස්සෙන් බෑග් එකකුත් දාගත්තු ගෑනු කෙනෙක් නැග්ග බස් එකට.
මේ දෙන්නගේ පොඩි අප්සෙට් ගතියක් පෙනුණත්, කිසි කතාවක් නැතුව මං කෙලින්ම වාඩි වෙලා සීට් එක දීල එතනම පස්සෙන් අමාරුවෙන් හිටගත්ත බෙල්ල නමාගෙන.
අම්මයි, පුතයි වාඩි වුනාමයි වැඩේ තේරුණේ. වඩා ගෙන බස් එකට නැග්ගට මේ පුතා මොන්ටිසෝරි යන අවුරුදු පහක විතර දරුවෙක්. අම්මගෙ උරහිසේ තිබුනේ පුතා ගේ ස්කූල් බෑග් එකයි.
කොටින්ම පුතාව ඔඩොක්කුවේ තියාගෙන ඉන්නවත් බෑ අම්මට. කොහොම ළමයව වඩාගෙන බස් එකට නැග්ගද මන්ද?
ඉතිං අම්ම හරි බරි ගැහිල වාඩිවෙලා තමන්ගේ පොඩි හෑන්ඩ් බෑග් එකෙන් ගත්තු යුවති ද පතිනි ද මොකක්ද මන්දා පත්තරයක් කියවන්න පටන් ගත්ත. පුතා අම්මට ඉස්සරහින් හිටගෙන ගමන ගියා.
එතකොට තමයි මට තේරුනේ, තමන් ගේ මොන්ටිසෝරි පෙර පාසල් යන පුතාව අමාරුවෙන් වඩාගෙන මේ අම්ම බස් එකට නගින්න ඇත්තෙ ඇයි කියල.
බස් එක ඉස්සරහට ඇදුණ. අම්ම පත්තරේ බලනව. පුතා පාරෙ කඩ ගණං කරනව. මං දාඩිය නිවාගන්න කටෙන් ෆූ, ෆූ ගාල පිඹිණව.
කිඹුලො කනව ඉවසතෑකි, කොහිල කටු ඇණෙනව ඉවසන්න බෑ කිව්වලු.
අන්තිමේදි මොකක්ද දන්නවද වුනේ?
ටික වෙලාවකින් අම්ම පුතාවත් ඉස්සර කරගෙන බස් එකෙන් බැස්ස. නිකමටවත් මට කතා කරල සීට් එක ආපහු දුන්නෙ හෙම නෑ. කවුදෝ ග්‍රහයෙක් ඒකට සෙට් වුණා.
බස් එක කොට්ටාව පැත්තට ඇදෙන වෙලේ බෙල්ල නවාගෙන හිටිය මට ජනේලෙන් පේනව අම්මවයි පුතාවයි.
බෑග් එකත් කරේ එල්ල ගත්තු පොඩි එකා හොඳට ඇවිදගෙන යනව. අම්ම පස්සෙන් යනව.
දුක් වෙන්න එපා පොඩි එකෝ, හෙටත් දෙපාරක් ම අම්ම ඔයාව වඩා ගනී හොඳේ?
-කතන්දරකාරයා